පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, February 19, 2021

උඩරට ගිවිසුමෙන් පසු සමයේ දළදා ප්‍රාතිහාර්යක් පෑ හැටි

 

 

 


                            

               දළදා වහන්සේ මෙරට බෞද්ධයන් ගේ මුදුන් මල් කඩ වෙයි.රාජ්‍යයේ සංකේතය වෙයි.බුද්ධ ශාසනයේ වත්මන් පැවැත්ම තහවුරු කරන අසමසම ආශ්චර්යමත් වස්තුවක් බවටද පත් වෙයි.කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු සමයේ මෙරටට වැඩම කරන ලද දළදා වහන්සේ පිළිබඳ කතාව බ්‍රහ්මදත්ත රජ පරපුර හා සම්බන්ධ වෙයි. ගුහසීව රජු හා සම්බන්ධ වෙයි. මේ රජ පරපුර සිංහල රාජාවලියේ රජුන් සමග  කළ අවාහ විවාහයෙන් සම්බන්ධ වෙයි.බුද්ධ ආදාහන මලුවෙහි දී ඉතිරි වුණ ද්‍රෝණයක් පමණ වූ ධාතුන් වහන්සේලා අතරින් දකුණු දළදා වහන්සේ සහ යටි වම් දළදා වහන්සේ ලංකාවට වැදගත් ව තිබූයේ මේ රාජාවලියේ අවිච්ඡින්න පැවැත්ම උදෙසාය.

    එදා දන්ත කුමරු ගුහසීව රජු වෙත පැමිණ දළදා වහන්සේ වැඩ සිටි දළදා මාළිගයෙහි තේවාව ඉල්වා අයැදීය. ශ්‍රද්ධාවන්ත බවින් උසස් ඒ තරුණයා හට ගුහසීව රජු දළදා වහන්සේ භාරකරන ලද්දේ බුදුන් වහන්සේට කරන සත්කාර සංග්‍රහ  දළදා වහන්සේ උදෙසාද කළ යුතු බැවිනි. දඹදිව බ්‍රහ්මදත්ත පරපුර පිළිබද ඉතිහාස කතාවට ලංකාවේ රජ පවුලද සම්බන්ධය.කාලිංග රජපරපුරේ චක්‍රවර්තී මහාමේඝවර්ණ චේතිය රජු ගේ පුත්‍රයා වන දධිවාහන සහ පද්මාවතී දේවියගේ විවාහයෙන් චක්‍රවර්තී කරකණ්ඩු රජ බිහිවෙයි. මේ පද්මාවතී කුමරිය ලංකාවේ කුමරියකි.කරකණ්ඩු රජු විවාහ වන්නේ ද ලංකාවේ රජ කුමරියක් වන රිතිවේගා බිසව සමගයි.. ඒ විවාහයෙන් උපන් වාසුපාල රජුට පසුව සිටි ප්‍රබලතම රජු වූයේ බ්‍රහ්මදත්ත රජුය.බ්‍රහ්ම දත්ත රජුගෙන් පසුව කාරවේලද ඉන්පසු ගුහසීව රජු ද වෙයි.ලංකාවේ රජපවුල සමග වූ දීර්ඝ කාලීන සම්බන්ධය දරන කාලිංගරජ පවුලෙන් දියණියක් වන හේමමාලියත් දන්ත කුමරියත් ලංකාවට පැමිණෙන්නේ මේ දැඩි සබඳකම් හේතු කොටගෙනය.

       දළදා වහන්සේ මුල්වරට ප්‍රාතිහාර්ය පාන ලද්දේ දළදා යුද්ධය අවස්ථාවේ දීය.දළදා වහන්සේ කිණිහිරය මත තබා විනාශ කරන්නට අර අදින විට එයින්  මෑත්ව අහසට නැගී  ප්‍රාතිහාර්ය පෑ බව දැක්විය හැකිය . දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීම සඳහා තාම්‍රලිප්ත තොටුපලෙන් නැව් නැගිමට ප්‍රථම වැලි ගොඩක දළදා වහන්සේ නිදන් කොට තබන ලදී.එහිදී නාග ලෝකයෙන් පැමිණි පණ්ඩු නම් නා රජෙකු දළදා වහන්සේ පැහැර ගෙන නාග ලෝකයට ගිය අතර ඛේම නම් රහතන් වහන්සේ ගුරුලු වෙස් ගෙන නාග ලෝකයට ගොස් ආපසු තොටුපලේ වැල්ලට පැමිණි බවත් එහිදී දළදා වහන්සේ හේමමාලාවෝ ගේ ශීර්ෂයට වැඩම කොට ප්‍රාතිහාර්ය පෑ බවත් දැක්වේ. ඉන් පසු රාජකීය යුවල ට බිහිසුණු අත්දැකීම් කීපයකටම මුහුණ දෙන්නට සිදු විය. නැව දියත් කොට දියඹේ දී ඇති වූ කුණාටුව මැඩ පවත්වා යහතින් ලංකාවේ ලංකාපටුනට ගොඩ බැසීමට හැකි වූයේ ඛෙම නම් රහතන් වහන්සෙ නිසාය.මේ රහතන් වහන්සේ බ්‍රහ්මදත්ත රජ පරපුරට ඥාති සබඳකම් ඇති භික්ෂුන්වහන්සේ නමකි.

     දළදා වහන්සේ අනුරාධපුරයට සැපත් කරවීමේ ගමනද එදා දුෂ්කර වන්නට ඇත. ලංකාපටුනේ සිට නාග දේවාලයට වැඩම කොට රැයක් එහි තබා පිටත් වූ බව ජනප්‍රවාදයේ ඇත.එම ගමන් මග පිළිබඳ ප්‍රවාදකතා බහුලය. කෙසේ වෙතත් අනුරාධපුරයට වැඩම කල දළදා වහන්සේ මහත් භක්තියෙන් මේඝ විහාරයෙහි තැන්පත් කළහ. එහිදී රාජකීයන් විස්මයට පත්කරමින් දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පෑහ.මේ ආශ්චර්යයෙන් ඔද වැඩී ගිය රජු මුලු සිංහල ද්වීපයම දළදා වහන්සේට පූජා කොට සත්කාර කළහ..

  දළදා වහන්සේ සිය සිංහසාන මස්තකයේ තබා නව කරඬුවකට ඇතුලත් කර වාර්ෂිකව අභයගිරි විහාරය දක්වා දළදා පෙරෙහැර පැවැත්වීමට රජු කටයුතු කලේය. දළදා වහන්සේ ලංකාවට වැඩම කළ දන්තකුමරු සහ හේමමාලී කුමරියට කෑගල්ල දිසාවෙන් ගම්වරයක් දී පදිංචි කල අතර එතැන් පටන් දළදා භාරකාරත්වය(දාඨා රක්ඛ ) මේ දෙපළගේ දරුවන් සහ අනතුරුව පැමිණි කාලිංග රජදරුවන් විසින් ඉසිලූ ආකාරයත් ඉතිහාසයෙන් පැහැදිලි කරගත හැකිය.     පොලොන්නරුව අවදියේ දී මහා විජයබාහු රජු අභිනව දළදා මන්දිරයක් ඉඳි කල අතර තමන්ගේ බිසව ලෙසට කාලිංග කුමරියක් ගෙන්වා ගත්තේ දළදා උරුමයට සාක්ෂි වශයෙන් බව පැහැදිලිය.පොලොන්නරු යුගයෙන් පසුව ඇතිවූ සතුරු ආක්‍රමණ හමුවේ දළදා වහන්සේ කොත්මලේ පුසුල්පිටියේ නිදන් කොට තබා මහා සංඝ රත්නය විදෙස් ගත වූ බව ඉතිහාසයේ සඳහන්ය.මේ බැව් දැන ගන්නට ලැබුනු කාලිංග විජයබාහු කුමරු ( එකල රාජ්‍යත්වයට පත්ව නොමැත ) මහත් හරසිරින් දළදා වහන්සේ බෙලිගලට වැඩමවා දළදා මැදුරක් සාදවා තැන්පත් කල බව දැක්වේ. 1226 වසරේ මැදින් මාසයේ දී බෙලිගලදී දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පාන්නට යෙදුණු බව කීරවැල්ල පරපුරේ ප්‍රවාද අතර වෙයි.විජයබාහු කුමරුට රාජ්‍යත්වය හිමි වූයේ දළදා වහන්සේ ගේ අයිතිය ලැබුණු පසුවයි.

     .අනතුරුව දෙවනි පරාක්‍රමබාහු රජු සමයේ දඹදෙණියේ දළදා මන්දිරයට වැඩම කළ දළදා වහන්සේ එහිදීද ප්‍රාතිහාර්ය පෑ බව සඳහන්ය. දඹදෙණියෙන් පසු දළදා වහන්සේ යාපහු බලකොටුවේ අභිනව දළදා මැදුරේ තැන්පත් කර තිබූ අතර සතුරු ආක්‍රමණයකින් පසු දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ පාණ්ඩව දේශයට පැහැර ගෙන ගොස් තිබේ.නමුත් දළදා භාරය ඉසිලූ පරපුරේ රාජකීයන් යාපහුවේ වැඩ සිටි දළදා වහන්සේ රහසේම ඉන් පිටමං කොට සඟවන ලදැයි ජනප්‍රවාදයේ සඳහන්ය. පාණ්ඩව රටට පැහැර ගෙන යන ලද්දේ දළදා අනුරුවකි.  බුවනෙකබාහු රජු විසින් නැවත ලංකාවට මේ ධාතුන් වහන්සේ වැඩම කරවාලූ අතර වාරයේ කුරුණැගල අසල රත් කැරැව්වේ සපු ගසක් මස්තකයේ දී දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පා ඇත.එසේ ප්‍රාතිහාර්ය පාන ලද්දේ යාපහුවෙන් රහසේම සඟවා ගෙන යන ලද  සැබෑ දළදා වහන්සේය. මේ ආකාරයට විටින් විට රට අස්ථාවර වූ කාල වකාවානු වලදී දළදා වහන්සේ සඟවන ලදහ.දළදා අනුරුවක් තබා දිව නිලමේ විසින් දළදාව දුරු රටකට ගෙන ගොස් ඇත. කෝට්ටේ යුගයේ දී එලෙස සිදු විය. කීරවැල්ල පරපුරට අයත් හිරිපිටියේ දිවන නිලමේ තුමා දළදා අනුරුවක් දළදා මැදුරේ තබා රහසේම පිටමං විය.අනතුරුව සෙංකඩගල මහනුවරට දළදා වහන්සේ වැඩම කොට රාජ්‍යත්වය උදෙසා කොනප්පු බන්ඩාර ගෙන් යම් දිවුරුමක් ලබා ගත්තේය.ඒ අවස්ථාවේ දීද දළදා වහන්සේ හිරිපිටියේ නිලමේ වරයාගේ දෑත් මස්තකයේ සිට ප්‍රාතිහාර්ය පා ඇත. අනතුරුවකොනප්පුබණ්ඩාර කුමරු පළමුවන විමලධර්මසූරිය නමින් ඔටුණු පැළඳ  දළදා මන්දිරයක් කරවා දළදා වහන්සේ එහි තැන්පත් කොට මහත්සේ සත්කාර කළහ..

         දළදා ප්‍රාතිහාර්ය වනාහි රටසෙමෙහි තබන්නට උත්සාහ කළ නරපතියන්හට ලබා දුන් ආශිර්වාදයකි.ධාර්මික පිළිවෙත මේ යැයි පෙන්වා දීමට කළ වෑයමකි.දළදා භාරය හිමි කීරවැල්ල පරපුර දිවි හිමියෙන් දළදාව ආරක්ෂා කරමින් රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත කරලීමට කැපවූ ආකාරය ඉතිහාසයේ දැක්වේ.වීරපරාක්‍රමනරේන්ද්‍ර සිංහ රජුගෙන් පසු සිංහල රාජාවලිය අවසන් විය. දළදා භාරකාරත්වය උසුලන කාලිංග පෙළපත් වන වැදින. ඉන් පසුව මේ පරපුරු වලට ඥාති සම්බන්ධ කම් දැක්වූ මහා සංඝ රත්නය දළදා භාරකාරත්වය ඉසිලූහ.එසේම දළදා තේවාව ඉටු කලහ. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේ සිල්වත් සමාගම සමග රටෙහි ධාර්මික පෙරළියක් ඇති කළහ. උපසම්පදාව ගෙන ඒමට නායක්කාර රජුගේ දෑස් පෑදුහ.

උන්වහන්සේ ගේ ශාසනික පුනර්ජීවනයෙන් පසු දළදා වහන්සේ අවසාන වශයෙන් ප්‍රාතිහාර්ය පෑ බව සැලකෙන පුස්කොළ ලේඛනයක් දැනට ජාතික ලේඛනාගාරය සතුව ඇත. එම තල්පත් ඉරු දෙකේ මෙසේ දැක්වේ.

සකල සාමාන්‍ය ගුණගනා ලංක්‍රතවූපාතරට වාසී භූත ස්ථවීර මධිම නිකාදී සැම සංඝයා ලගන්නා පිනිස ලියා එවන වදන් පත්‍රයේ වග හැටිනන් ......ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් තුන්සිය තෙශටක් වූ මෙම වර්ෂයෙහි  දුරුතු පුර විසේනිය නම් තිථිය ලත් සියාවසේ නැකත ලත් සඳු දින මධ්‍යාන වේලෙහි නොහොත් ඉර උදාවූ තෙලෙස් පැයහමාර නිසම  හරිහර ත්‍යාග රබහ පුහු සම සත සුරෙන්ද්‍ර භ්‍රනැ වන්දිත ශ්‍රී මර තර විනැ.. නෙන්ද පත ක්ෂිත ජිනේද්‍රතමයන් වහන්සේ ශ්‍රීමත් ශ්‍රී ධාංෂඨ්‍රා දළදා ස්වාමීන් වහන්සේ වැඩ හුන් නානා විධ රතන කමමාප සෝභිත රන් කරඬුවෙහි ථූපිකාග්‍රයෙන් රිදී සම සුදු බුදු රැස් කදෙන් නෙග්ගිතව මාලිගාවෙහි රන් කොත සමීපයෙන් අහසට පැන නැගී  පහලොස් බඹයක් වැඩියක් පමන අද්‍රිසපයෙන් ගොස් එතැන්හිදී සමන් මාල්රාශියක් මෙන්ද සෙවුවන්දි මල් රැසක් මෙන්ද සුදු නෙලුම් මල් රාශියක් මෙන් පොළඟුන් රැසක් මෙන්ද ඉතා සුදු බුදු රැස් කඳන් අහස් කුස බුබුළුවා ආකාසයෙන් නොපෙනෙන තැන දක්වා ඉතා උස්ව පැන නැගී විනාඩියකට වරක් දෙවරක්  වාගේ සත් පැයක් ප්‍රමාන කල් බුදු රැස් විහිදුනු හැටි දකින්ඩ ලැබුණා ඇත.ඉන් නිසා  බුදුන් ගේ මෙබඳු ප්‍රාතිහාර්යයක් මෙබඳු ආශ්චර්යක් මෙබඳු විස්මයක් මෙබඳු මහිමතාවයක් නුදුටුවෝ අවාසනාවන්තයෝයි හැඟිම්හ.

   එතකුදු වුවත් පාතරට වාසී බුද්ධාගම යාදීම්ත්වය ඇති ශ්‍රද්ධාවේ බුද්ධි සම්බේත....රදල ප්‍රධානීන් ප්‍රමුඛ කොට සියලු ස්ත්‍රී පුරුෂයන් අතුරෙහි මේ ගැන සැළ කොට කියා බුදුන් කෙරෙහි සිත් පහදවා සඟ මොක් ඉසුරට පැමිණ විය යුතුය.අපිම කීර්ති ශ්‍රී මහ වාසල රාජසිංහ මහවාසල ප්‍රස්ථාවෛහිදී බුදුරැස් වැඩිය අන්දමට මේ මෝසමෙන් බුදු රැස් වැඩම කර වදාලේ බුද්ධ ශෑශන පසු බස්නා නිසාවෙන් බව සත්තය. එ බැවින් සංඝයා වහන්සේලා එක්වී සිය අන්තේවාසිකාදී දුස් කථා පත්තියෙන් දුරුව සම්‍යක් ප්‍රතිපත්තියෙන් දාරව පිහිටා තම තමන් ආශ්‍රය කරන ගෘහස්ථ උපාසක උපාසිකා දීන්ටත් අවවාදානුශෑසන කොට සම්‍යක් පිලිවෙත්හි යොදවා ස්වර්ග සම්පත්හි ප්‍රතිලාභයට පැමිණෙන ලෙසත් උත්සාහ කටයුතුය. මේ වගදක්වාලූවෙ පෝයමළු විහාරෙ වැඩ සිටිනා වැලිවිට නායක පදවිය ලැබීතිබෙන මහානායක උන්නාන්සේය.( වර්ෂ 1819 -1822 කාලයේ මහානායක පදවිය හෙබවූ වැලිවිට සරණංකර මහනාහිමි )

         දළදා ප්‍රාතිහාර්ය පාන අවස්ථා ගණනාවකදී රජුන් ප්‍රමුඛ කොට එය සිදු වී ඇත. රජුන් ගේ ශ්‍රද්ධාවත් දළදා භාරකාරිත්වය ඉසිලූ පරපුරේ ශ්‍රද්ධාව හා කැපවීමත් නිසා මෙවැනි අශ්චර්යයන් සිදු වී තිබෙන බව පැහැදිලිය.මෙයට හේතුව දළදාවහන්සේ ට පූජා කරන ලද සිංහල ද්වීපය ආරක්ෂා වීමටත් සිංහල රාජ්‍යත්වය ආරක්ෂා වීමටත් ඉන් මග සැලසීමය. මෙම තල්පතේ සඳහන් දළදා ප්‍රාතිහාර්ය ප්‍රවෘත්තිය මීට මදක් වෙනස්ය.පරංගි සහ ලන්දේසි පස්සේ වැටී සිටි ක්‍රිස්තියානිකාර බුද්ධ ඇදහිලිවන්තයන් ගේ පූජාසත්කාරයට ලක්ව සිටි පහතරට භික්ෂු සංඝයා වහන්සේලා පැහැදවීම මෙම ලියමනේ අරමුණයි.එසේම ඉන් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තහවුරු වන බව  මල්වත්තේ පුෂ්පාරාමයේ වැලිවිට පන්සලේ වැඩසිටි  වැලිවිට සරණංකර සඝ පරපුරේ මහ නා හිමියන් දකින්නට ඇත. 1815 න් පසු දළදා වහන්සේ සඟවා ගෙන සිටි කීරවැල්ල පරපුරේ වාරියපොල සුමංගල හිමියන් සිරභාරයට ගත් පසු ඉංග්‍රීසීන් විසින් දළදා වහන්සේ ඔවුන් සන්තක කරගන්නා ලදී.අද දක්වාම මහනුවර දළදා මාළිගයෙහි වැඩ සිටිනුයේ ඒ දළදා වහන්සේය.වත්මන් ශාසනික ප්‍රබෝධය උදෙසා දළදා වහන්සේ නැවතත් ප්‍රාතිහාර්ය පෑ යුතු බව සිංහල බෞද්ධයන්ගේ අධීෂ්ඨානයයි.

 

Sunday, February 14, 2021

කුරුන්දි විහාරයෙන් මතුවන්නේ යූප ගලක්ද ශිව ලිංගයක්ද

 

 

 


                                

           ශ්‍රී ලංකා කඩයම් පොත දක්වන පරිදි රුහුණු මායා පිහිටි නම් තුන්සිංහලේ රට නමින් වූ ස්ථාන රාශියක් ඇත. පිහිටි රට යනු සිංහල ශිෂ්ඨාචාරයේ හදබිමයි එය රජ රට යනුවෙන්ද ව්‍යවහාර වේ. පිහිටි රටේ පැවති කුරුඳු ගමු රට යනු කුරුන්දි රට්ඨ යනුවෙන් දැක්වූ බිම් පෙදෙසයි.     සිංහලයේ පැවති පැරණි හෙළ අටුවා අතර ජනප්‍රිය වූ කුරුන්දට්ඨ කතාවට එම නම ලැබුනේ කුරුන්දික විහාරයේදි ලියන ලද නිසා බව සඳහන් වෙයි. බල්ලාඨ නාග රජු විසින් කරවන ලද මෙම විහාරය කුරුන්දවාශෝක, කුරුන්දපාසක යන දෙනමින්ම මහවංශ පිටපත් වල සඳහන් වෙයි. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි පවසන පරිදි      කුරුන්දවාශෝක කුරුන්දවාපි අශෝක යන්න අක්‍රමවත් ලෙස කෙටවීමකි. කුරුඳු වැව අසල අශෝක විහාරය ඒ නමින් හැඳින්වූවා විය හැකිය. කෙසේ හෝ මේ සියල්ලේම කුරුන්ද යන කොටස සුරැකී තිබේ.  වර්තමාන "කුරුන්දම" යන්න මේ නමේම ව්‍යවහාරයකි. ඒ අනුව සිංහල අට්ඨකතා රචනා කරන ලද යුගයේ එනම් මිහිඳු මාහිමියන් වහන්සේ ගේ ආගමනයෙන් පසු යුගයේ සිටම කුරුන්දගම හා එම විහාරය පැවත ඇත. එම නම අද දක්වාම වෙනස් වී නැත. සිංහල අටුවා සාහිත්‍යයට අනුව මෙම විහාරයේ දී ද එක් අටුවාවක් ලියැවී ඇත. ලංකාවේ ශාසනික ඉතිහාසයේ අට්ඨකතා රාශියක් ගැන සඳහන් වේ.එය ගණනින් විසි අටකි.පච්චරියඅට්ඨකතා යනු පහුරක සිට රචනා කරන ලද්දකි.රයිගම පොකුණුවිට ශිලා ලිපියේ මෙවැනි අට්ඨ කතාවක් ගැන දැක්වේ.මේ පාළි අට්ඨ කතා අතර කුරුන්දි අට්ඨකතා ව ගැන දැක්වෙන්නේ ඉතා සැකවි විස්තරයකි.මෙම අට්ඨකතාව රචනා කරන ලද්දේ ලංකාවේ වර්තමාන නැගෙනහිර පළාතේ මුලතිව් නොහෝත් මූලදීප ආසන්න විහාරස්ථානයක සිටයි.මෙම අට්ඨ කතාව රචනා කිරීම නිසාවෙන්ම එම විහාරය කුරුන්දාවශෝක විහාරය ලෙසින් ඉතිහාසයේ හැඳින්වෙන්නට ඇත.. එසේ වී නම් ක්‍රි.පූ. යුගයේදී මෙම ප්‍රදේශය ජනපදයක් ව දියුණුව පැවති බවත් සිංහල බෞද්ධයන් මෙහි විසූ බවත් පැහැදිලිය. මෙහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා සියගණනක් වැඩ සිටි බවටද සාධක හමුවෙයි. මනෝරථපූරණියේ සඳහන් වන එක් තෙර නමක් කුරුන්දක වාසී යනුවෙන් විශේෂණය කොට ඇත. උන්වහන්සේ ඵුස්ස්මිත්ත තෙර නමින් අටුවා වල දැක්වෙයි.  (නැගෙනහිර පළාත හා උතුරු පළාත සිංහල බෞද්ධ උරුමය -පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි)

         පදී රට යනු පදවිය ප්‍රදේශයයි.පදින්නරු යනුවෙන්ද ව්‍යවහාරයකි.එයද ශ්‍රී ලංකා කඩයිම් පොතේ සඳහන් වෙයි.කුරුඳු රට සහ පදී රට අතර ඉපැරණි සිංහල ජනාවාස රාශියක් තිබී ඇත. 2 වන පැරකුම්බා රජු (1236 - 1270) විසින් විනාශ කරන ලද මාඝ ගේ එක් බලකොටුවක් කුරුඳු වෙහෙර ආසන්නයේ පැවති බව ඉතිහාස විමර්ශනයෙන් දත හැකිය.. මේ කාලයෙන් පසු මාඝ පරපුරේ  ජාවක චන්ද්‍රභානු ලංකාව ආක්‍රමණය කළ අතර ඔහුගේ කඳවුරක්  ද මෙහි පිහිටුවාගත් බව දැක්වේ. කුරුඳු විහාරය අසල තන්නිමුරුප්පු වැව පවතී. නෙල්ලාරු ඔය හරස්කොට තන්නිමුරුප්පු වැව කරවා ඇත. එය කුරුන්දම්මලේ කන්දට දකුණින් පිහිටා ඇත. මේ කන්දට උතුරු පැත්තෙන් කුරුන්දන්වාපි ( කුරුන්දන්කුළම ) පිහිටයි. මේ වැව් දෙකම පුරාතන නිර්මාණයන්ය..

    වංශ කතා වලින් සහ ජනප්‍රවාද ගත තොරතුරු අනුව කුරුන්දි විහාරය සියවස් ගණනාවක සිට බෞද්ධයන් වැඳුම්පිදුම් කරන ස්ථානයකි.චෝල ආක්‍රමණ මාඝ ආක්‍රමණ වලින් පසු දුබල වූ මෙහි සිංහල ජනතාව විවිධ ලෙඩ රෝගයන්ට ගොදුරුව මේ ප්‍රදේශයන් ජන ශූන්‍ය විය.උඩරට රාජධානි සමයේ අවසාන භාගයේ කීර්ති ශ්‍රි රාජසිංහ රජු සහ නිලමේවරු ද ලන්දේසි කොම්පඤ්ඤයද එක්ව අත්සන් කරන ලද හඟුරන්කෙත ගිවිසුම මගින් මුහුදේ සිට ගව්වක ප්‍රමාණයක් ලන්දේසින්ට අත්හරින ලදහ.මේ නිසාමුහුදු බඩ තීරය ඇරණු කොට එයට ආසන්න රට තුළ ප්‍රදේශ තවදුරටත් ජනශූන්‍ය විය.කුරුන්ද විහාරය වෙඩිකිරිනාමලේ නෙහොත් වඩ්ඩමාන පර්වතය කොච්චයි සමලන්කුලම් හෙවත් වර්තමාන සපුමල්ගස්කඩ  ගුරුකන්ද ආදී පැරණි බෞද්ධ සිද්ධස්ථාන විනාශමුඛයට ගියේ මේ නිසාය.තිස්වසරක් පැවති කොටි ත්‍රස්ත සමයේ දී මෙවැනි ස්ථාන කොටිබංකර බවට පත් විය

    

     පසුගිය යහපාලන රජයේ ස්ථාවරය වූයේ මෙවැනි ‌ෙඑතිහාසික පුදබිම් උතුර සහ නැගෙනහිර පාලනය කරන දෙමළ හෝ මුස්ලිම් දේශපාලඥයන් ගේ ගෝල බාලයන්ට රිසිසේ පරිහරණය කරලීමට ඉඩ සැලැස්වීමයි. පුරාවිදයා දෙපාර්තමේන්තුවට පවා මෙවැනි තැන් වලට අත ගැසීම සීමා කරන ලදී. ඒ තත්වය මත මුලතිව් ගුරුකන්ද විහාරයේ නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන උත්සවය පැවැත්වීමට එරෙහිව පවා තහනම් නියෝග පැනවිණ.  වත්මන් රජය බලයට පත් වූ පසුව මේ ප්‍රදේශයට වැඩම කළ සංඝයා වහන්සේලා කැළයට යටවූ බොදු පුදබිම් සොයා හෙළි පෙහෙළි කරමින් නැවතත් බෞද්ධ ප්‍රබොධයට අවස්ථාව සලසා දුන්හ.වවුනියාවේ ‌‌ෙඑතිහාසික සපුමල්ගස්කඩ විහාරයේ පිළිමගෙය සංරක්ෂණට බඳුන්වන්නේ ඒ පසුබිම මතය. එසේම සපුමල්ගස්කඩ විහාරයේ වැඩසිටින ශන්තබෝධී හිමියන් ගේ අප්‍රතිහත ධෛර්ය නිසා ‌ෙඑතිහාසික කුරුන්දි විහාරයද පීළිසකර කිරීමට රජය විසින් මුදල් වෙන් කරන ලදී.කාලානත්රයකට පසු එහි කරන ලද ගවේශණයක ප්‍රතිඵල වශයෙන් සතරවන උදය රජු විසින් කරවූ දහවන සියවසට පමණ අයත් ශිලා ලේඛනයක් කැලයේ යටවී තිබූ සම්මුඛ විය.අනතුරුව ස්ථුපය සංරක්ෂණ ආරම්භ කරන ලද්දේ වත්මන් සංස්කෘතික රාජ්‍ය ඇමති විදු වික්‍රමනායක මහතා ගේ ප්‍රධානත්වයෙනි.

       කුරුඳු විහාරයේ දැනට සිදු කරන ලද කැණීම්වලින්   පළමු සහ දෙවැනි සියවස්වලට අයත් පුරාණ ස්ථූපයක කොටස්  ද ශිලාමය ගජස්ථම්භයක් හෙවත් යූප ගලක් ද මතු කරන ගැනීමට හැකි වී තිබෙන බව   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇත. දාගැබේ උතුරු, නැගෙනහිර,දකුණු සහ බටහිර දිශාවන්ට හසුවන සේ අගල් හතරක කැණීම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. එම අගල්වල කැණීම් කටයුතු ඉදිරියට සිදු කරමින් පවතින අතර නැ‍ගෙහිර දිශාවෙහි කැනීම් කටයුතු පමණක් මේ වනවිට අවසන් කර තිබේ.

නැගෙනහිර  අගලේ කැණීම් කටයුතු මඟින් දාගැබේ පුරාණ ස්වරූපයට  අදාල තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ. තුන්මහල පේසාව මෙහි ඇති වැදගත්ම වාස්තු විද්‍යාත්මක ස්වරූපයයි. පේසා වළලු සමඟ දැනට දාගැබේ සම්පුර්ණ උස මීටර් 03යි සෙන්ටිමීටර් 50ක් පමණ වන බවට  පුරාවිද්‍යා කැණීම් නිළධාරීන් දක්වති. නැගෙනහිර දිශාවේ කළ කැණීමේ දී  මල් ආසනයක් තබා ඇති බවට තහවුරු  වී තිබේ. එය කැබලී කිහිපයකට පුපුරා හැර තිබේ.ස්ථූපයට අයත් යූප ගලේ කොටසක් නැගෙනහිර අගලේ කැණීම් ස්ථරයෙන් ලබා ගැනීමට හැකි වී ඇත. .  යූප කෑබැල්ලේ ඉහළ අටපට්ටම් වේ. මේ අතර දකුණු පස අගලේ කැණීම් මඟින් මෙන්ම උතුරුපස අගලේ කැණීම් මඟින්ද දාගැබේ සලපතල මළුවට අදාළ  තොරතුරු ද අනාවරණය වෙමින් පවතී..



      මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් සිය ලංකාවේ ස්ථූප නම් ග්‍රන්ථයේ දක්වන පරිදි තුන් මහල් පේසාව විශේෂ වාස්තු විද්‍යාත්මක ලක්ෂණයකි. අනුරාධපුර යුගයේ මෙවැනි මාලක සහිත ස්ථූපයන් කීපයක්ම දැක ගන්නට ඇත.කණ්ඨක චේතිය මිරිසවැටිය අභයගිරිය උදාහරණ වෙති. මහාවංශයෙහි මෙවැනි මාලක වලට පුප්ඵාධාන නම යෙදී තිබේ.මල්පියවසා යන්න සිංහල ව්‍යවහාරයයි. එනම් මේ මාලකයන් හි මල් පිදීමට තැනක් වෙන් කරවා ගෙන තිබේ. කැණීම් වලින් මතුව එන්නේ මෙලෙස මල් පිදීමට යොදා තිබූ මල් ආසනයයි.යූප ගල  ඉන්ද්‍ර කීලය යනුවෙන්ද ගජස්ථම්භය යනුවෙන් ද දක්වා ඇත. ලක්ෂ්මන් ඇඹූල් දෙණිය විසින් රචිත පෞරාණීක චෛත්‍ය හා එහි විද්‍යාත්මක පසුබිම නම් කෘතියේ දක්වා ඇති පරිදි ස්ථූපයට ඉහළින් ආරෝපණය වන අධිවොල්ටීය ධාරාවන් මේ ගජ ස්ථම්භය තුළින්  භූගත වේ. මේ යූපය සඳහා මුල් කාලයේ යොදා ගෙන තිබෙන්නේ දඹ දැවයකි.ගෙරවිලි ගොරතර විදුලි අකුණු මැද මහ දඹ රුක උනු මගෙ අම්මා යයි ජන කවියා දක්වන්නේ දඹ දැවයේ විශේෂත්වයයි. යූපය ශිලාමය  ව්‍යයහාරක් වූ පසුව ස්ථූපයන්හි  භාවිතයේ පූජනීය බව මෙන්ම අධ්‍යාත්මික පසුබිමද ක්‍රමයෙන්  සංවර්ධනය වී තිබේ.යූපයේ අට පට්ටම් හැඩය වර්ධනය වී ඇත්තේ යටකී ආරෝපණ ග්‍රහණය කර ගැනීමටයි.

  කුරුන්දි විහාරයේ කැණීම් වලින් මතු කර ගත් යූප ගල ශිව ලිංගයක් බවත් මෙහි පවතින්නේ ශිව කෝවිලක් බවටත් තර්ක කරන පිරිසක් මේ වන විට බිහි වී තිබේ. උතුරේ සහ නැගෙනහිර ප්‍ර දේශයන්හි පවතින සියලුම බෞද්ධ පුරාවස්තු වල ත්‍රී ශූල සවි කරමින් කෝවිල් ඉඳි කරන්නට උත්සාහ කරන ඔවුන්ට න්‍යායත්මක පසුබිම සලසා දෙන්නේ යාපන විශ්වවිද්‍යාලයේ සිටින ඇතැම් ජාතිවාදී ආචාර්ය වරුන්ය. ඒ අතර පුරාවිද්‍යා කටයුතු වල යෙදී සිටින එක් පුරාවිද්‍යා මහාචාර්ය වරයෙකුද සිටී.විශාව විද්‍යාලයෙන් බිහිවී යන සිසුන් මේ විද්වතුන් ගේ දෙමළ ජාතිවාදී මත විශ්වාස කරති. මෑතකදී පුරාවිද්‍යාවට බැඳුණු උපාධිදාරින් ද ඉගෙන ගෙන ඇත්තේ මේ රටේ සිංහල ඉතිහාසය නොව ඊලාම් ඉතිහාසයයි. එවැනි තත්වයක් යටතේ යූප ගලකට ශිවලිංගයක් යයි කීමට පෙළඹීඹ පුදුමයට කරුණක් නොවේ. කණගාටුවට කරුණක් වවන්නේ මෙරට විශ්ව විද්‍යාල පද්ධති වල සිටින ඉතිහාස ආචාර්ය මහාචාර්ය වරුන් හෝ පුරාවිද්‍යාඥයන් මෙවැනි දෙමළ ජාතිවාදී මත වලට ශාස්ත්‍රීයව පහර ගැසීට ඉදිරිපත් නොවීමයි.එම තත්වය තුළ මෙරට පමණක් නොව ජාත්‍යන්තරව පවා දෙමළ ජාතිවාදී ඉතිහාස මතවාදය හෙවත් ඊලාම් මතවාදය තහවුරු වන්නට අවස්ථාව සැලසී තිබේ. මාර්තු මාසයේ පැවැත්වෙන ජිනීවා සමුලුවේදී පවා මේ ජාතිවාදීන් උත්සාහ දරනු ඇත්තේ උතුරේ සහ නැගෙනහිර පවතින පුරාවිද්‍යා භූමි දෙමල කෝවිල් බව අර්ථ ගැන්වීමයි. .එයට කිසිසේත්ම ඉඩ දිය යුතු නැත.


 

 

 

 

+3

 

 

 

 

   

Wednesday, February 10, 2021

නීති අධ්‍යාපනය ට සිංහල බස තහනම් අධිකරණ ඇමති බලය අතට ගනී

 

 

 


                

         මෙරට පවතින වර්තමාන නීතියට අදාළව නීති අධ්‍යාපනය සංස්ථාගත කිරීම ආරම්භ කරන ලද්දේ වර්ෂ 1873 දී පමණය.නීති අධ්‍යයන සභාව පිහිටුවා 1874 දී ලෝකොලෝජිය ආරම්භ කර ඇත.ඉන්පසු 1889 උසාවි භාෂා පනත ප්‍රකාරව කටයුතු කර ශ්‍රේෂ්ඨාධිකරණයේ හොඳ පිළිගැනීමක් ඇති.දක්ෂ දැනුමක් ඇති අය වෙනුවෙන් බැරිස්ටර්වරුන් සහ ප්‍රොක්ටර්වරුන් වශයෙන් බඳවා ගැනීමට 1900 දරණ ආඥාව මගින්   සංස්ථාගත නීති අධ්‍යයන සභාවක් පිහිටුවන ලදහ.එංගලන්ත ක්‍රමයේ රෝම ලන්දේසි නීතිය හැදෑරීම පිණිස ලංකාවේ ඉඩ ප්‍රස්ථා සැලසීම මෙහි අරමුණ විය. මෙම සභාවට සාමාජිකයන් සත් දෙනෙකු නම් කරන ලදහ.

             විසිවන සියවස ආරම්භ කාල වකවානුවේ එංගලන්තයට ගොස් බැරිස්ටර් විභාගයට හිඳ යළි මෙරට පැමිණි සිංහලයන්ට සිංහල බසින් වැඩ කළ නොහැකි විය. ඔවුහු සිංහල ගැමියන් ඉදිරියේ උජාරුවෙන් ඉංගිරිසියෙන් නඩු ඇසූහ.අහිංසක ගැමියා ඔවුන් කියන දේ කුමක් දැයි නොදැන නිරුත්තරව සිටියහ. ලෙනාඩ් වුල්ෆ් රචනා කල විලේජ් ඉන්ද ජන්ගල් නම් කතාවේ සිළිඳු නම් ගැමියා මුහුණ දෙන්නේ එම ගැටළුවටයි. සංස්ථාපිත නීති අධ්‍යයන සභාව විසින් නැවත උත්සාහ කරන ලද්දේ ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් සකස් කරන ලද නීතිඥයෙකු බිහි කරලීම පිණිසය. 1948 වර්ෂයේ දී ස්වදේශිකයන්ට බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් යම් දේශපාලන නිදහසක් ලැබුණද ඉංග්‍රීසි නීතියෙන් ගැලවීමක් නොවුණි. 1815 න් පසු ස්ථාපිත වූ සියලුම නීති දිගටම ක්‍රියාත්මක විය. ඒ අනුව උසාවි වල වැඩ කටයුතු දිගටම සිදු කරන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙනි.නීතිය උගන්වනු ලැබූයේ දී ඉංග්‍රීසි භාෂාවෙනි.1960 බලයට පත් වූ සිරිමා බණ්ඩාරනායක මැතිණිය විසින් යටත් විජිත බැමී රාශියක් බිඳ හෙළීමට කටයුතු කළද ඇයගේ මුල් දේශපාලන කාලවකවානුවේ දී නීති ප්‍රතිසංස්කරණයකට අත ගැසිය නොහැකි විය.1970 දී යලි බලයට පත් වූ ඇය ගේ ආණ්ඩුවේ අධීකරණ ඇමතිවරයා වූ ෆීල්ක්ස් ඩයස් බණ්ඩාරනායක මහතා විසින් 1973 අංක 44 පණත මගින් 1900 ආඥා පනත තුළ පවතින ස්වභාවය අවලංගු කොට 1974 අංක 06 යටතේ (ගැසට් අංක 104/2 ) අධිකරණ ඇමතිවරයාගේ බලතල සහිත නීති අධ්‍යයන සභාවක් පිහිටුවන ලදී. ඒ අනුව මෙතෙක් එංගලන්තයේ ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ නීති බැඳීමෙන් මෙරට නීති විද්‍යාලය යම්තරමකින් වෙනස් විය.මෙම නිදහස් වීමත් සමගම නීති විද්‍යාලයේ අධ්‍යාපනය සිංහල භාෂාවෙන් ලැබ දීමටද විභාග වලට ඉදිරිපත් වීමේදී සිංහල භාෂාවෙන් ඉදිරිපත් වීමට හැකිවන පරිදද  අවස්ථාවක් ලැබුණි.ඉන්පසු 1993 දී  (1993 අංක 44 ) පනතක් මගින් යලි නීති අධ්‍යයන සභාව වෙනස් කර ඇත. ඒ අනුව අධිකරණ ඇමතිවරයා විසින් පත් කරන නියෝජිතයන් ගණන 07 දෙනෙකු බවට පත් කර ඇත. එහිදී නීතිපති අග විනිසුරු ඇතුලු 07 දෙනාට අමතරව ඇමතිවරයා විසින් පත් කර නියෝජිතයන්ද 07 දෙනෙකු විය.මේ කාලයේ නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගයට  ඉදිරිපත් වීමේ දී තමන්ට රිසි භාෂාවකින් ඉදිරිපත් වීමට අවස්ථාවද සලසා දී ඇත.

         2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වී තිස්වසරක කොටි ත්‍රස්තවාදය අවසන් කර නන්දිකඩාල් කලපුවේ දී ප්‍රභාකරන් පරලොව යැවූ නමුත් ඊලාම් මතවාදය අවසන් නොවුණි. ඊලාම් වාදීන් විදෙස් වල සිට සංවිධානය වූ අතර මුස්ලිම් අන්තවාදීන් ආණ්ඩුව තුළ සිට සංවිධානය විය. ඒ අනුව රවුෆ් හකීම් අධිකරණ ඇමතිවරයා බවට පත් විය.  මුස්ලිම් චන්ද කේවල් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් එය සිදුවිය.

 

මේ ඇමතිවරයා සහ නීති අධ්‍යපාන සභාවේ සෙසු සාමාජිකයන් එකතු වී 2010 වසරේ දී ගත් තීන්දුවක් මගින් නීති විදුහලේ අධ්‍යාපන කටයුතු ඉංග්‍රීසි බසින් පමණක් කළ යුතු බවට නීතියක් සම්මත කර ගන්නා ලද්දේය. ඒ කාලයේ ඒ තීරණයට එරෙහිව නැග ආ විරෝධය වඩා ප්‍රබල නොවුණි.නමුත් සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් විභාග වලට පෙනී සිටීමේ  අයිතිය එහිදී නැති කළ නොහැකි විය.ඒ සඳහා අගනා සේවයක් කරන ලද්දේ  ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි. හකීම් ඇමතිවරයා නීති විභාගයේ ප්‍රශ්ණ පත්‍ර යම් උපක්‍රමයකින් පිට කළ බවට ඒ කාලයේ රාවයක් පැතිරුණි. කෙසේ වෙතත් ඒ වසරේ නීති විද්‍යාලයට ඇතුලත් වූ මුස්ලිම් සිසුන් ගේ ප්‍රමාණය 150 කට වඩා ඉතා අධීක විය.

     ලංකාවේ නීතිය සැබවින්ම සැමට එක සමාන නොවේ. ඉංග්‍රීසි භාෂා ආධිපත්‍යය එයට එක හේතුවක් ලෙසට සැලකිය හැකිය. උසාවියක පවතින නඩු විභාගයකදී තවමත් ඒ තත්වය සාමාන්‍ය ජනතාවට බලපාන බව සත්‍යයකි.උපරිමාධිකරණයේ  සියලු නඩු ඇසෙන්නේ තවමත් ඉංග්‍රීසි භාෂවෙනි. හිටපු අධිකරණ ඇමතිවරයෙකු වූ දේවනායගම් මහතා උපරිමාධිකරණ භාෂාව පිළිබඳ නීති සංශෝධනයක් සකස් කලේය.එම උසාවි වලින් ලැබෙන නඩු තීන්දු වල පිටපත් පවා ලැබෙන්නේ ඉංග්‍රීසි   භාෂාවෙනි.පාර්ලිමේන්තුව වෙත යැවෙන්නේද ඉංග්‍රීසි භාෂාවෙනි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට පරිශීලනය කරන්නට ලැබෙන නඩු ලියවිලිද ඇත්තේ ඉංග්‍රීසි  භාෂාවෙනි. මේ නිසා යම් ගැටළුවකදී බොහෝ මන්ත්‍රී වරු නිශ්ශබ්දව අසා සිටිති.20 වන සංශෝධනය සභා සම්මත කරලීමේ දී අලි සබ්‍රි අධිකරණ ඇමතිවරාය තම කතාව කරන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙනි.  19 සංශෝධනය තුළ තිබූ එක් අහිතකර වගන්තියක් වූයේ ජාතික ආණ්ඩුවක් පිළිබඳ සංකල්පයයි.20 ගෙන ඒමේ මූලික අදහස වූයේ 19 අහෝසි කරලීමයි.එවිට ජාතික ආණ්ඩු සංකල්පයද අහෝසි වේ. නමුත් අලි සබ්‍රි අධිකරණ ඇමතිවරයා මේ වගන්තිය ඉතාමත් සූක්ෂමව 20 සංශෝධනයටද ඇතුලත් කරන ලදී.ඉංග්‍රීසි බසින් කළ මෙම වංචාව උසාවි පරිශ්‍රයන්හිද කළ හැකිය.නීති ක්ෂේත්‍රයේ භාවිතා කරන පාරිභාෂික වචන බොහෝ දෙනා නොදනිති.එවැනි තත්වයක් තූළ ඉංග්‍රීසි කතා කරන විනිසුරුවන් අතින් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මෙන්ම පශ්චාත් යටත් විජිත සමයේ ද සාමාන්‍ය ජනතාවට වූ අසාධාරණ කම් බොහෝ වේ.

       2010 වසරේ හකීම් අමැතිවරයා සහ නීති අධ්‍යයන සභාව එකතු වී නීති විදුහලේ අධ්‍යාපනය සිංහල බසින් ලැබීමේ අයිතිය සිංහල සිසුන් වෙත අහිමි කලා සේම වර්තමාන අධිකරණ අමතිවරයාද සිය බලතල අතට ගෙන නීති අද්‍යයන සභාව සමග එකතු වී සිංහල බසින් නීති විභාගය ලීවීමේ 2020/12/30 ගැසට්ටුව මගින් අහිමි කර තිබේ. මේ ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4(ඇ), 4(ඈ), 9, 21, 23(4), 24 ,27(6), 27 (10) යන වගන්ති උල්ලංඝණය කර තිබේ.සිංහල ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර තිබේ. නීතිඥ අරුණ උණවටුන මහතා මේ වන විටත් නීති අධ්‍යයන සභාවට විරුද්ධව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පණත යටතේ පොලිස්පති වරයාට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.පසුගිය දිනක පාර්ලිමේන්තුවේ සභා ගැබේ සිටි පාර්ලිමෙන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා අධිකරණ ඇමතිවරයාගේන් ප්‍රශ්ණයක් විමසන ලදී.එනම් උපරිමාධිකරණයේ නඩු තීන්දු සිංහල බසින් ලබා ගැනීම පිළිබඳවයි. එසේම පාර්ලිමෙන්තු මන්ත්‍රී  අනුප පැස්කුවල් මහතා පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයාට ලිපියක් යවමින් දන්වා සිට ඇත්තේ පාර්ලිමේන්තුවට ලබා දෙ නඩු තීන්දු වල සිංහල පාරිවර්තනයක් ලබා දෙන ලෙසටයි. නමුත් අධීකරණ ඇමතිවරයා මේ ප්‍රශ්ණ වලට විසඳුම් දෙනු වෙනුවට සිංහල භාෂා අයිතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටී.

   බද්යුදීන් හිස්බුල්ලා වැනි මුස්ලිම් අන්තවාදී දේශපාලකයන් එකතු වී මුස්ලිම් අන්තවාදය පෝෂණය කරමින් මනුෂ්‍ය ඝාතනයකට තල්ලු කරන ලද්දේ කුමන චින්තනයකින්ද එම චින්තනයේම රැඳී සිටින පුද්ගලයෙකු අධීකරණ ඇමතිවරයා බවට පත් වූ විට සිදුවන ශෝචනීය තත්වය අද ඇස් පනා විට තහවුරු වෙමින් පවතී.ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර දී මහා විහාරීය මහ නායක හිමිවරු බැහැ දැකගත් අවස්ථාවේ දී උන්වහන්සේලාගෙන් විශේෂ ඉල්ලීමක් විය.  අධිකරණ ඇමති කම අලිසබ්‍රි මහතාට නො‌දෙන ලෙසට උන්වහන්සේලා කරුණු දක්වමින් කියා සිටි බව දැන ගන්නට ඇත.නමුත් ඒ හඬට කන්නුදුන් ජනපතිවරයා නුසුදුස්සෙකු අධිකරණ ඇමතිකරමින් සිංහල ජාතියම පමණක් නොව තමනුත් අනතුරට පත් කරවා තිබේ.අධිකරණ ඇමතිගේ මූලධර්මවාදී ක්‍රියා එකින් එක දැන් හෙළි වෙමින් පවතින බැවින් එදා මහානායක ස්වාමීන් වහන්සේලා දැක්වූ අදහස් තහවුරු වෙමින් පවතී. මේ භයානක තත්වය වහා වෙනස් නොකළහොත් සිංහල හා දෙමළ  භාෂා දෙකම අහෝසි වී ඉංග්‍රීසි භාෂෘව සහ අරාබි භාෂාව පමණක් මේ රටේ ප්‍රධාන භාෂා වීම වැලැක්විය නොහැකිය.මේ ආණ්ඩුව පාර කපන්නේ එයටදැයි සොයන්නට හැටනව ලක්ෂයක සිංහලයන් අවදියෙන් සිටිය යුතුය.


 

Wednesday, February 3, 2021

සිංහ කොඩියට පටි ගසා බෙදුම්වාදය ඇතිකර වසර හැත්තෑවයි

 

 

 

 


                            

              බ්‍රිතාන්‍ය කිරීටයට සිංහලේ රටවල භාර දී මෙන් පසු සිංහල ජාතිය ක්‍රමයෙන් පරාධීන වීය.එම වේදනාව අපට තවමත් දැනේ. 1948 වසරේ දී  නිදහස් රාජඥා පනතෙන් දේශපාලන අයිතිය ස්වදේශිකයන්  වෙත සතු කර ගැනීමට යම් උත්සාහයක් ගත්හ.1972 වසරේදී එම දේශපාලන නිදහස පූර්ණ වශයෙන් දිනා ගැනීමට ඔවුන් සමත් වූහ. 1815 දී  සිංහලේ රාජ්‍යය බ්‍රිතාන්‍යයන්ට පවරා දීමට සකස් කරන ලද ගිවිසුම අත්සන් කිරීමට සුලු මොහොතකට පෙර  සිංහල රජතුමාගේ රාජකීය කොඩිය ඉංග්‍රීසි හේවායෙකු විසින් බිම හෙලන ලදහ. නමුත් අස්ගිරි මහා විහාරයේ අනුනායකව වැඩ සිටි වාරියපොල සුමංගල ස්වාමීන්වහන්සේ වහා මැදිහත්ව එම කොඩිය යලි ඔසවන ලදහ.   සිංහල රදළයන් විසින් සහ බ්‍රිතාන්‍ය නිළධාරීන් විසින් අත්සන් කරන ලද ගිවිසුම අනුව මාර්තු 02 දින පටන් එංගලන්තයේ මහ රජු ලංකාවේ මහ රජු බවටපත් විය. ඔහු ලංකාවේ සම්ප්‍රදායානුකූල ආගම ධර්මයයත් සිරිත් විරිත් ආදියත් ආරක්ෂා කල යුතු බවට ගිවිසුම අනුව සහතික විය. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා මේ වගන්ති වලට අකමැති වුවද භික්ෂූන් වහන්සේලා ගේ දැඩි ඉල්ලීම මත ගිවිසුමට එකඟ වූ බව පැවසෙයි. කෙසේ වෙතත් 1948 වර්ෂයේ දී  සහ 1972 දී යලි නිදහස ලබා ඇත්තේ අප භාර දුන් සිංහලේ රටවල් වල ස්වාධීනත්වය අරභයා නොවේ යැයි මේ වන විට තහවුරු වී තිබේ..

        1945 වර්ෂයේ දී පමණ ජේ.ආර්. ජයවර්ධන මහතා ගේ ප්‍රකාශයක් වූයේ ලංකාවට නිදහස ලැබෙන කල්හි සිංහලේ රාජකීය කොඩිය වශයෙන් තිබූ සිංහ කොඩිය යළි එසවිය යුතු බවයි. ඒ අනුව 1948 ජනවාරි 16 දිනදී මඩකලපු මන්ත්‍රීවරයාව සිටි සින්නලෙබ්බේ මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට එම යෝජනාව ඉදිරිපත් කර ඇත. එහිදී ඩී.එස්. සේනානායක මහතා ප්‍රකාශ කර සිටියේ ලංකාවේ අවසන් රජු දෙමළ ජන වර්ගයට අයත් නමුත් සිංහ කොඩිය නිල රාජකීය කොඩිය වශයෙන් පිළිගෙන කටයුතු කළ බැවින් එය එසවීම කාලෝචිත බවයි. නමුත් නිදහස දිනා ගැන්මේදී දෙමළ ජනතාවටද සම තැන ඉල්වා සිටි ජී.ජී. පොන්නම්බලම් චෙල්වනායගම් ඇතුලු දෙමළ නායකයන් මේ කොඩිය එසවීම ට සපුරා විරුද්ධ වූහ. දෙමළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ඔවුහු ආණ්ඩුකාරවරයා ට අභියාචනා ඉදිරිපත් කළහ. මේ පිළීබඳව ප්‍රශ්ණය සමහන් කිරීම උදෙසා ඩී.එස්. සේනානායක මහතා මේ දෙමළ නායකයන්ට යම් පොරොන්දුවක් දුනි. ඒ නම් නිදහස් දින උත්සයෙන් පසු නව ලංකාවේ නිල කොඩිය නිර්මාණය කරලීමට කොඩි කාරක සභාවක් පත් කරන බවවයි. පොරොන්දු වූ ප්‍රකාරව 1948 මාර්තු මස 06 දින එස්.ඩබ්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී.මෙම කමිටුවේ අනෙක් සාමාජිකයන් වූයේ ජෝන් කොතලාවල ජේ.ආර්. ජයවර්ධන ලලිත රාජපක්ෂ ටීබී. ජයා. සෙනරත් පරණවිතාන ජී.ජී. පෙනේනම්බලම් සහ එස් . නඩේසන් යන මහත්වරුය.මෙම කමිටුව 1948 පෙබෙරවාරි 15 ජූනි 12 ජූනි 22 සහ අගෝස්තු 15 -22 යන දිනයන්හිදීද 1949 වසරේ මැයි 10 ජූලි 08 නො22  දෙසැ 09 යන දිනයන්හිදීද 1950 ජන 20 සහ පෙබ 13 යන් දිනයන් වලදීද රැස්වී තිබේ.         

   එහිදී මහජනතාව වෙත ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර ඇත. ලංකාව බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලේ රටක් වශයෙන් ඩොමීනියන් තත්වය ලබා ඇති බැවින් බ්‍රිතාන්‍ය කතිර කොඩියට වෙනස්වූ රටේ අනන්‍යතාවය සහතික කරන ජාතික කොඩියක් පිළිබඳව යෝජනා ඉදිරිපත් කල යුතු බවද එහි සඳහන් විය. වසර දෙකක් තිස්සේ 227 දෙනෙකුගෙන් පමණ මේ පිළීබඳ සාක්ෂි ලබා ගෙන තිබුණි.එහිදී 159 දෙනෙකු සිංහල භාෂාවෙන්ද හැට අට දෙනෙකු ඉංග්‍රීසි භාෂවෙන්ද යෝජනා ඉදිරිපත් කර තිබුණී.ඒ වන විට සකස් කර තිබූ ජාතික  කොඩියට විරුද්ධව කොමිටියේ සාමාජික එස්.නඩේසන් මහතා අදහස් ප්‍රකාශ කරන ලද්දේය. ඔහු තර්ක කරන ලද්දේ මෙම කොඩියේ සිංහයාට පිටතින් ගසන ලද පටි දෙක නිසා සිය ජන වර්ගයේ අනන්‍යතාවය බැහැරට දමා ඇති බවයි.ඔවුන් ගේ ජාතික ජීවිතය සිරගත කිරීම සිදු නොවිය යුතු බව ඔහුගේ තර්කය විය.( In Our national life We do not Want create Water tight compartments &‍  මෙම කොඩි කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද යෝජනා අතරින් 97 දෙනෙකු ගේ කැමැත්ත වූයේ පැරණි සිංහ කොඩිය ජාතික කොඩිය වශයෙන් සම්මත කරගත යුතු බවයි.ඔවුන් සියල්ල සිංහලයන් වෙති.සිංහල ජනතාව අතරින් කීප දෙනෙකු ශ්‍රීපාද ස්ථානය සහ දළදා කරඬුව කොඩියේ සංකේතය වශයෙන් ත යුතු බවද සූර්යා සහ ශ්‍රී පාදය ගත යුතු බවද දක්වා තිබුණි.ඒ .මයාලන් නම් පුද්ගලයෙකු කියා සිට ඇත්තේ කඩුව නැති සිංහයාද වෘෂභ (නන්දි) රූපයද අඩ සඳ හා තරුවද සහිතව කොඩිය සකස් විය යුතු බවයි.ගරුතර ස්වාමීන් වහන්සේලාගේ අදහස් කීපයක් ඉරිදිපත් වූ අතර ලංකාව බෞද්ධ රටක් බැවින් බෞද්ධත්වය නිරූපණය වීමක් මෙම කොඩිය යෙන් සිදු විය යුතු බව දක්වන ලදී. ඇතැම් අය මෙතෙක් පැවති යුනියන් ජැක් කොඩිය සමග සිංහයා යෙදීමටද යෝජනා කර තිබුණි.වැදගත්ම කාරණය වශයෙන් සදහන් කළ හැක්කේ කොළඹ ආනන්ද විදුහලේ ගුරුමග නම් සංවිධානය කියා සිටි මතයයි.ඔවුහු සිංහයා අඩ සඳ තරුව දාගැබ කුරුසිය මෙන්ම කොන් සතරේ පිත්තල පහනද බෝකොළ ද යෝජනා කර තිබුණි.මෙහි අදහස් නම් ලංකාව බහුජාතික බහු ආගමික රටක් වශයෙන් ඔවුන් පිළිගත් බවයි.

        හලාවත බිෂොප් වරයා ප්‍රකාශ කර තිබෙන අදහසද ඉතා වැදගත්ය.ඔහු අනෙක් අයට වඩා මේ කොඩියේ ඉතිහාසය සඳහන් කරමින් අගනා ලිපියක් ඉදිරිපත් කර ඇත. එයට අනුව පැරණි සිංහ කොඩිය ඉතිහාසය විසින් ලබා දුන් ජාතික කොඩියක් බවත් නමුත් එය සිංහල කොඩියක් නොවන බවත් කියා තිබුණි. කපුකොටුව දොළපිහිල්ල කැප්පෙටිපොළ උනම්බුව ආදී උඩරට ප්‍රධානීන් බහුතරයක් සිංහ කොඩියම සම්මත කර ගනීමට මැලි කමක් දැක්වූහ.ඔවුහු තමන්ගේ උගත්කම දක්වාලමින් සියලු ජනවර්ගයා නියෝජනයට පටි අවශ්‍ය බව ප්‍රකාශ කර සිටි අතර හැට නව දෙනෙකු සිංහයා ඉවත් කර ජන වර්ග නියෝජනය සඳහා වර්ණ පටි යෙදීම හෝ දම්වැල් මෙන් පටි යෙදීම නිර්දේශ කර ඇත. එයින් 22 දෙදෙනනෙකු සිංහලයන් නොවෙති. ඔවුහු සිංහයා යෙදීමට එහෙලා අකමැති වූහ.මෙයින් තේරුම් ගත යුතුව පවතින්නේ බහුතර සාමාන්‍ය ජනතාවට පවා එදා ජාතික කොඩිය සකස් කර ගැනීමට තිබූ උනන්දුවයි.එසේම ඔවුහු තම හෘද සාක්ෂියට එකඟව සිංහ කොඩිය අනුමත කර තිබුණි.නමුත් සිංහල සිංහල බහුතරයේ ප්‍රජාතන්ත්‍රීය අදහස් වලට ගරු නොකළ කාරක සභාව සිංහ කොඩියට තැඹිලි වර්ණයෙන් සහ කොළ වර්ණයෙන් යුතු පටි දෙකක් එක් කිරීමට තීරණය කොට සම්මත කරගෙන ඇත.

         මෙම කොඩිය පිළිබඳව 1951 මාර්තු මස 01 සහ 02 දින පවත්වන්නට යෙදුණු නියෝජිත මන්ත්‍රී මණ්ඩල සැසි වාරයේ දී කොඩිය වෙනස් කිරීමට එරෙහිව සිංහල මන්ත්‍රීවරුන් දෙදෛනෙකු කතා කළහ.මතුගම මන්ත්‍රීවරයාව සිටි විල්මට් පෙරේරා මහතා එහිදී දැක්වූ අදහස් මෙසේය.ගරු කතා නායක තුමනි සිංහ කොඩිය ගැන වාද කරන අවස්තාවේ දී සිංහලයෙකු හැටියට මගේ අදහස් සිංහලෙන් ප්‍රකාශ කිරීම යෝග්‍ය යයි මම සිතමි.

   අතීතයේ සිට පැවත එන ත්‍රී සිංහල කොඩිය වූද නුවර රාජධානියේ කොඩිය වූද මේ කොඩිය ගැන විවේචනයක් කිරීමට බලාපොරොත්තු නොවෙමි.එහෙත් මා නගන එකම ප්‍රශ්ණය නම් විල්බාවේ කැප්පෙටිපොළ ආදී ශ්‍රේෂ්ට  ජාතිත වීරයන් මේ ලාංඡනය ආරක්ෂා කිරීමට ඒ වෙනුවෙන් දිවි පිදීමට ඉදිරිපත් වුණි නම් මෙරට මහ ජනයා වෙනුවෙන් මේ ගරු සභාවෙහි පෙනි සිටින මැති ඇමතිවරුන් ඒ ශ්‍රේෂ්ට ලාංඡනය කෙළසන්නටඑහි ඉරි අඳින්නට මොන හිතකින් අදහස් කරන්නේද මොන හිතකින් එවැන්නක් අනුමත කරන්නේ ද යන්න සිංහලයෙකු හැටියට මට නම් නොවැටහේ.

     සිංහ කොඩියට පටි ගසා බෙදුම්වාදී මානසිකත්වයක් දේශපාලනය තුළ ඇති කොට දැන් වසර හැත්තෑවක් ගත කර තිබේ.මේ කාලය තුළ මේ බෙදුම් වාදීන් තමන් ගේ ම වූ ඊලාම් දේශයක් සඳහා වෙනම භාෂා අයිතියක් දිනා ගෙන තිබේ.එම ප්‍රදේශ සඳහා දෙමළෙන් කතා කරන නිළදාරීන් විනිසුරුවරුන් පමණක් යෙදවීමට වග බලාගෙන තිබේ. ඒ අතර භූමිය අත්පත් කර ගැනීමට වසර තිහක ත්‍රස්තවාදී යුද්ධයක් ද දියත් කෙරුණි.එම ත්‍රස්තවාදය පරාජය කරනු ලෑබූවද බෙදුම්වාදය සඳහා උදව් උපකාර කළ විදේශීය හාම්පුතුන් විසින් ලංකාවේ යුධ හමුදාමව වෙත යුධ අපරාධ චෝදනා ගොනු කරමින් මානව හිමිකම් දඬුකඳේ හිර කර තිබේ.මේ අමාරුවේ වැටීම විහින් ළඟාකර ගත්තකි. සිංහලේ දේශය සිංහලයන් ගේ භූමියයි.එයට විදෙස් වලින් විවිධ ජන වර්ග පැමිණියද ඒ කිසිවෙකුට මේ භූමිය හිමි නැත. ඔවුන්හට මෙහි ගෞරවනීය පුරවැසියන් ලෙසට ජීවත්ව සිටි හැකි වුවද භූමිය බෙදා වෙන් කර ගැනීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකිය. සැබවින්ම මෙරට දේශපාලනය තුළ මෙකී සම්මුතිය නැත. පක්ෂ වලට බෙදී යෑම නිසා සිංහල ජාතිය සම්මුතියෙන් ඉවත් ව ගොස් තිබේ.ජිනීවා වලදී ලක් රජය අමාරුවේ වැටෙන්නේ මේ සම්මුතිය නැති බැවිනි.එම තත්වය තුළ සිංහලේ සිංහ කොඩියට නැවත ගෞරවනීය ‌ෙඑතිහාසික තත්වය ලබා දෙමින් මෙරට බෙදුම්වාදී මතවාදය සහමුලින්ම පැරදීවීමට අදිටන් කර ගැනීමට කාලය එළඹ ඇත.. වාරියපොල සුමංගල හිමියන් එදා සිහලේ කොඩිය අභීතව එසවූයේ නම් ඒ ජාන පරම්පරාවෙන් පැවත එන අප හට එය කිරීම අපහසු නොවනවා ඇත.


 

 

 

Thursday, January 21, 2021

වෛරස් ප්‍රහාරයකින් මීමැසි ජනපදත් විනාශයි

 

 

 


                                      

         වසංගතයක් මුවාවෙන් පැමිණි කොරොනා වෛරසය නිසාවෙන් ලෝකවාසී මනුෂ්‍ය සංහතියම අර්බුදයට ගොස් ඇත.මෙයට ලෝක මට්ටමින් විසඳුමක් තවමත් දී නොමැත. එන්නත් සූදානම් කිරීම ජංජාලයක් බවට පත්ව තිබෙන්නේ ප්‍රචලිත වෛරසය නැවත නැවතත් අලුත් වෛරස වශයෙන් ඉදිරියට පැමිණෙන බැවිනි. ලෝකයේ තාක්ෂණික ප්‍රගමනයට සාපේක්ෂකව මේ අර්බුදය පුදුමයට කරුණක් නොවේ.සොබාදහම ඉක්මවා යමින් මනුෂ්‍ය ප්‍රජාවම අනතුරට පත් කරමින් කරන නවීන සංවර්ධනය පිළිබඳ නැවත සිතන්නට පෙළඹවීමක් මේ මගින් කරනු ලබන බව නුවණ ඇත්තන්ට තේරුම් ගත හැකිය.නමුත් මේ විපතේ සැබෑ ස්වභාවය බොහෝ දෙනෙකුට තවමත් තෙරුම් ගන්නට නොහැකි වී ඇති බැවින් වෛරස් ප්‍රහාරයන් විවිධ අන්දමින් සිදු වේ.මේ ප්‍රහාරයන් අතර සිතා මතා දියත් කරන සූක්ෂම පහරදීම්ද දක්නට හැකිය. පසුගිය කාලයේ දී දිවයිනේ ගෙවතු සහ කැලෑ අසබඩ මීමැසි ජනපද හරහා පැතිරුණු සැක්බ්රූඩ්(Sacbrood ) නම් වෛරසයද එවැන්නකි.

       මෙම වෛරසය පළමුවරට මෙරටින් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් යැයි කියති. එහෙත් අගලවත්ත රබර් පර්යේෂණායතනයට අයත් කුරුවිට ස්ථානගතව තිබූ මී මැසි ජනපදවල  පැතිරෙන හඳුනානොගත් රෝගයක් ගැන 2006 වර්ෂයේ වාර්තා පළව තීබූ බව අසන්නට ඇත. කෙසේ වෙතත් මෙම වෛරසය ලෝකයේ පළමුවරට හඳුනාගන්නේ 1913 වර්ෂයේ දීය. . මෙම සැක්බ්රූඩ් වෛරසයට සමාන වෛරස ප්‍රභේද කීපයක් ලෝකය පුරා වාර්තා වී තිබෙන අතර 1964 වන විට .ඒවා නිශ්චිතව හඳුනාගන්නට යෙදී ඇත.මෙම ප්‍රභේද විවිධ නම් හඳුන්වන ලද නමුත් සැක්බ්රූඩ් යන නාමයෙන් ප්‍රචලිත විශේෂ වෛරසය පැතිරෙන්නේ ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කොට ගෙනයි.

      ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු මී මැසි පාලනය දියුණු කරලීම අරභයා ආන්දෝලනාත්මක තීන්දුවක් ගත්තේය. ඒ වර්ෂ 1999 දීපමණ විදේශයකින් මෙරටට බම්බල්බී වර්ගයේ මැසි ප්‍රභේදයක් ආනයනය කිරීමයි.නෝර්වේජියානු පුද්ගලයෙකු වූ ආන්ස් නමැත්තෙකුගේ ආයෝජන ව්‍යාපෘතියක් හරහා මේ මී මැසි වර්ගය මෙරටට ගෙනවුත් තිබිණ. පසුව රේගු දෙපාර්තමේන්තු නිළධාරීන් සහ වනජීවී අංශ එකතුවී එම මීමැසි ජනපද නැවත කොළඹ ගෙනවුත් විනාශ කර දමන්නට යෙදුණි.මේ සිද්දිය මත රේගුවට විරුද්ධව නඩුවක්ද පැවරිණ.මෙම මීමැසි වර්ගය නිදහස් කරලීම පිණිස එකල මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා දැඩිව බලපෑම් කොට ඇත. අවසානයේ දී ඔහුට රජයේ සේවකයන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නටද සිදු වී ඇත.

     මේ සිද්දියට පසු නොයෙකුත් පර්යේෂණ කටවුතු මුවාවෙන් වරින් වර නොයෙකුත් රටවලින් මීමැසි වර්ග මෙරටට ගෙන්වීමට බලධාරීන් කටයුතු කළහ.එසේම මීමැසි පාලනයට අවශ්‍ය උපකරණ රාශියක්ම ගෙන්වන ලදහ.මේ අතර වද අත්තිවාරම් විශේෂ වේ.මේ වන විට විදේශීය මී පැණි මෙට්රික් ටොන් 200 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ආනයනය කරති.ඔස්ට්‍රේලියානු මී පැණි ඉන් ප්‍රමුඛ වේ.සැක්බ්රූඩ් වෛරසය ලංකාවේදී පළමුවරට 2013 වාර්තා වන්නේ යැයි නිල වශයෙන් පීළිගනු ලබන්නේ මේ පසුබිම මතයි.මෙම වෛරසය මී මැසි ජනපදයකට ඇතුල් වූ පසු එහි සිටින වැඩකාර මැස්සියන්ගෙන් ඒ බැව් හඳුනාගන්නට හැකිය. අනතුරව පිලා පෙට්ටියේ පිලවුන් ක්‍රමයෙන් විනාශ වීමට පටන් ගනී.මේ සම්බන්ධව ඔස්ට්‍රේලියානු කෘෂීකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උපදෙස් කීපයක් ඔවුන් ගේ වෙබ් අඩවි වල අනතර්ගතය. ඉන් කීපයක් මෙසේය.

  

    මියගිය හෝ මිය යන පැටවුන් සිටීම පළමු රෝග ලක්ෂණයයි. පැටවුන් ගැසූ විගසම පිලවුන් වීමට පෙර මිය යයි. මිය ගිය කීටයන් සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති සෛල තුළ හෝ පසුව නොකැඩූ සෛල වල දක්නට ලැබේ. බලපෑමට ලක්වූ ආවරණ සෛල බොහෝ විට කුඩා සිදුරක් අඩංගු වේ. තරුණ කීටයන් දූෂිත පරාග පැණි හෝ ජලය පෝෂණය කිරීමෙන් සැක්බ්රූඩ් පැතිරීම සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ. රෝගී කීටයන් අඩංගු සෛල පිරිසිඳු කරන අතරතුර වැඩකාර මී මැස්සියන් වෛරසයට ගොදුරු වේ. දූෂිත උපකරණ හෝ මී මැස්සන් හුවමාරු කර ගැනීම හෝ මී මැස්සන් මංකොල්ලකෑම හෝ රෝගය පැතිර යෑමට උපකාරි වේ.

    ලංකාවේ දී මෙම රෝගය පැතිරීමට මූලික හේතුව වී ඇත්තේ දූෂිත උපකරණ එනම් වද අත්තිවාරම් විදෙස් වලින් ගෙන්වා බෙදාහැරීමයි. එසේම මී මැසි ජනපද ප්‍රවාහනයද මීට හේතු වේ.ලංකාවේ පැණි වාරය මාර්තු අප්‍රියෙල් සහ අගෝස්තු වන අතර මී මැසි පාලකයන් විශේෂයෙන්ම ව්‍යාපාරික පාලකයන් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ඒවා ගෙන යති.මේ තත්වය පාලනය කිරීමට ලංකාවේ කිසිම ක්‍රමවේදයක් හඳුන්වා දී නොමැත. මීමැසි සංවර්ධන මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ බණ්ඩාරවෙල බිඳුණු වැව ප්‍රදෙශයේ ය. මෙම ආයතනය තුළ වාර්ෂිකව මී පැණි කිලෝ 1400 ක් පමණ රැස් කිරීමට නියමිතව තිබුණද පසුගිය කාලයේ රැස් කර ගැනීමට හැකි වී තිබෙන්නේ කිලෝ 200 කටත් අඩු සංඛ්‍යාවක් බව වාර්තා වේ.බිඳුණු වැව සහකාර අධ්‍යක්ෂ විමුක්ති මහතා පවසන පරිදි මේ රෝගය මර්දනය කරලීමට මෙතෙක් සාර්ථක ක්‍රමයක් හඳුන්වා දී නොමැති අතර දියර සහිත මුං පිටි සහ සහල් පිටි අඩංගු මිශ්‍රණයක් ලබා දීමෙන් මී මැස්සන්ගේ පෝෂණය දියුණු කිරීමක් පමණක් ඉටු කරයි.කෙසේ වෙතත් 2020 වන විට රට පුරා විශාල මී පැණි හිඟයක් ඇති වී තිබේ. මේ රටේ සංඛ්‍යාලේඛන අනුව මීමැසි ජනපද පවත්වාගෙන යන බිඟු පාලකයන් 13431 ක්  විසින් නඩත්තු කරන මී මැසි පෙට්ටි 25000 ක් පමණ තිබේ. එයට අමතරව වනගත ජනපද සමග එක්කාසු කරන විට 45000 ක් ඉක්මවා යයි. මේ අනුව වාර්ෂිකව මී පැණි  කිලෝ 45000 ක් පමණ නිෂ්පාදනය වන්නේ යැයි කියති. නමුත් මේ වර්ෂය වන විට පෙර කී වෛරස රෝගයේ බලපෑම මධ්‍යයේ මී පැණි නිෂ්පාදනය විශාල වශයෙන් අඩු වී තිබේ.කොරෝනා වලට ඔසු සඳහා නිෂ්පාදනය කරනු ලබන දේශීය ඖෂධීය පැණි සඳහා විහාල මී පැණි තොග අවශ්‍ය වීම බලවත් අභියෝගයක් විය. දැන් සිදුව තිබෙන්නේ මී පැණි විදෙස් වලින් වැඩි වශයෙන් ආනයනය කිරීමයි.

    ලංකාවේ භෝග වලට වෛරස් ආසාදනය කොට විනාශ කිරීම සිදු වන්නේ අද ඊයේ සිට නොවේ.බිබිලේ පැණි දොඩම ට වෛරසයක් බෝකොට විනාශ කළ අන්දම අතීත සිද්දියක් වුවද එය රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රණයක් බව දන්නෝ දනිති. ඉන්පසු විවිධ සංවර්ධන ව්‍යාපෘති හරහා ලංකාවට ගෙන එන ලද සතුන් උපකරණ හරහා මෙරට ගවයන්ට නෙයෙකුත් ලෙඩ රෝග බෝ විය. මේවා හිතා මතා කුමන්ත්‍රණකාරී ලෙසට සකස්කරන සංවිධානාත්මක අපරාධයන්ය.මේ අපරාධයන්ට සුදු කරපටි නිළධාරීන් ඉහළින්ම සම්බන්ධ වේ. රජරට වකුගඩු රෝගයට මෙරටට ගෙන්වන ලද පලිබෝධ නාශක හේතුවන බව සොයා ගත් විට ඒවායේ අඩංගු ආසනික් තහනම් කර ගැනීමට දේශ හිතෛෂී නිළධාරීන් උත්සාහ දැරූහ. නමුත් පෙර සඳහන් කළ මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා මේ ආසනික් අඩංගු පලිබෝධනාශක නිදහස් කරගැනීමට දැඩිව වෙහෙසුණේය. ඔහු අදත් මෙරට මුල් පුටුවක වැජඹෙයි.කෙසේ වෙතත් මෙම රෝගය මර්දනය කරලීමට ලෝක ප්‍රකට විද්‍යාඥයන් පී.සී.ආර්. හඳුනා ගැනීම් ජාන හඳුනාගැනීම් ආදී නොයෙකුත් නවීන ක්‍රම අනුගමනය කරන කල්හි මේ පුංචි ලංකාවේ ගම්බද විද්‍යාඥයන් නොයෙකුත් දේශීය ඖෂධ(කොත්තමල්ලි වෙනිවැල්ගැට වැනි ඖෂධ යොදා ගනිමින් අත්හදා බැලීම් කරති. 

ඒ අනුව මේ වන විට මී මැසි ජනපද වල රෝගී තත්වය බොහෝ දුරට පාලනය කර ගැනීමට සමත් වී තිබේ.නමුත් ගැටලුව වී තිබෙන්නේ වර්තමාන කොරෝනා වසංගතය හමු වේ මී මැස්සන්ට විස සහිත වන විෂබීජ නාශකයන් බහුල ලෙසට පරිසරයට මුදා හැරීමයි.මේ නිසා මේ කාලයේ නව ජනපද සෑදීමට පිටත්ව යන මී මැසි පොදි අපට දක්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙනි.මේ නිසා නව ජනපද ආරම්භකිරීමට තිබෙන ඉඩකඩ ඉතාමත් අඩුය.තවමත් කෘෂීකර්ම අංශවල උනන්දුව නොමැති තරම්වන අවස්ථාවක දේශීය මී පැණි ජීවන රටාව රැක ගැනීමට ඉදිරියට පැමිණිය යුත්තේ ගම්බද බිඟුපාලකයන්ය. ඔවුහු විද්‍යාඥයන් නොවෙතත් පරිසරය සමග සුහදව ගනුදෙනුකරන්නන්ය.අනාගතය පවතින්නේ ඔවුන් අත බව නිසැකය.

    

Saturday, January 16, 2021

කොවිඩ් එන්නත ලබා දීම භයානක ප්‍රවේශයකි

 

 

                                         


             වර්තමාන වසංගත තත්වය පාලනය කිරීම සඳහා තිබෙන එකම විකල්පය එන්නත්කරණය යයි දැඩිව විශ්වාස කරන ආණ්ඩුවක් අප ඉදිරියේ තිබේ. කුමන හෝ එන්නතක් විදේශයකින් ගෙන්වා ගැනීම සඳහා විශේෂ නිළධාරියෙකුද පත් කර ඇති මෙම ආණ්ඩුව වෙනත් විකල්පයක් ගැන නොසිතන තරම්ය.වර්තමාන සෞඛ්‍ය ඇමතිවරියත් වසංගත පාලනය සඳහා පත් කර ඇති රාජ්‍ය ඇමතිවරියත් විකල්පයක් ගැන කතා කිරීමත් කාලය නාස්ති කිරිමක් යයි පවසා ඇත.ලෝකය ඉදිරියේ වරින් වර ඇති වූ වසංගත තත්වය යටතේ එන්නත් ලබා දීමෙන් සිදු වූ සේවය නිසා එන්නත් සම්බන්ධව විශ්වාසයක් ජනිතව තිබීම පුදුමයට කරුණක් නොවේ.වර්ෂ 1886 දී ලංකාවේ දී ප්‍රථම වරට එන්නත් ක්‍රියාවට නීතියක් ආදේශ කිරීමෙන් පසු සියවසකට අධික කාලයක් තුළ විවිධාකාර එන්නත් හඳුන්වා දීම සිදු වි තිබේ. මේ නිසා වසූරිය ගලපටලය කක්කල් කැස්ස පිට ගැස්ම මෙන්ම සෙංගමාලය ද සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත් වූ බව දක්වා තිබේ.

        එන්නත මගින් කරනු ලබන්නේ ශරීරය තුළ කෘතිම ප්‍රතිශක්තියක් ඇති කරලීමයි.ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පිළිගන්නා පරිදි ස්වභාවික ප්‍රතිශක්තිකරණය මෙන්ම කෘතිම ප්‍රතිශක්තිකරණයද මනුෂ්‍ය ප්‍රජාවේ රෝග නිවාරණයට අවශ්‍ය වේ.එහෙත් අද ඉදිරියට පැමිණ තිබෙන්නේ කෘතිම ප්‍රතිශක්තිකරණය පමණකි. මෙරට කෘතිම ප්‍රතිශක්තිකරණ ඉතිහාසයේ පළමු එන්නත වූයේ වසූරිය එන්නතයි.එම තත්වය තහවුරු කරලීම පිණිස ආඥා පනතක්ද ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය රජයට සිදු විය.අනතුරුව ඉදිරිපත් කල එන්නත් අතර ක්ෂය රෝග එන්නත  කක්කල්කැස්ස ගලපටල සහ පිට ගැස්ම එන්නත පෝලියෝ එන්නත සරම්ප එන්නත ජැපනිස් එන්සපලයිටිස් එන්නත රුබෙල්ලා එන්නත හෙපටයිටීස් බී එන්නත හිබ් එන්නත සහ අජීව පෝලියෝ එන්නත ද විය. එන්නත් නිෂ්පාදනයේ දී ආරම්භයේ පටන් අනුගමනය කරන ලද මූලික සිද්ධාන්තය නම් අදාළ රෝගයේ අජීව කොටස් ශරීරයට ඇතුලු කිරීමයි. චීන ගව වයිරසය වසූරිය මර්දනයට යොදා ගැනීම උදාහරණයකි.රෝග විෂබීජයක් ශරිරයට ඇතුල් වීමේ දී සිරුරේ පවතින සුදු රුධිරාණු ඒවාට පහර දී භක්ෂණය කිරීමට පටන් ගනී. නමුත් එම විෂබීජ පැමිණීම සහ එම තොරතුරු සුදු රුධිරාණු වලට සන්නිවේදනය කරනු ලබන්නේ  වසා සෛල මගිනි. නවීන ක්‍රමයට අනුව ස්වභාවික ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වන්නේ එලෙසයි.

       එන්නතක් මගින් කරනු ලබන්නේ සිරුරට ඇතුල්වෙන රෝගය කුමක්ද යන්න කලින් හඳුනා ගැනීමට මාර්ගයක් සැලැස්වීමයි.මිනිස් සිරුරේ සෛල වල ඩී.එන්.ඒ.සහ ආර්.එන්.ඒ (රයිබොනියුලික් අම්ලය )දෙකම පවතී. නමූත් ආගන්තුකව පැමිණෙන විෂබීජයන් හි අතැම් විට පවතින්නේ අර්.එන්.ඒ. පමණි. සුදු රුධිරාණු මගින් කල්තියා හඳුනාගනු ලබන ක්‍රමවේදය එන්නත් මගින් කෘතිමව උත්තේජනය කිරීම සඳහා අජීව එන්නත් සහ ජාන තාක්ෂණයෙන් සකස් කරන ලද එන්නත් වර්තමානයේ භාවිතා කරනු ලැබේ. අජීව එන්නත් යනු අර්ධ සෛලමය එන්නත් සහ පූර්ණ සෛලමය එන්නත් ලෙසට කොටස් දෙකකට බෙදේ .බොහෝ විට ප්‍රෝටීන් හා පොලිසැකරයිඩ භාවිතා කරමින් මේ එන්නත් නිෂ්පාදනය වේ.නමුත් ජාන තාක්ෂණයෙන් යුත් එන්නත් නිෂ්පාදනය වඩාත් සංකීර්ණය.ජාන ඉංජිනේරු විද්‍යාව මගින් යීස්ට් සෛලයේ වර්ණදේහයට බද්ධ කිරීම සිදු කොට එම රෝග කාරක විෂබිජයේ ප්‍රෝටීනය වර්ධනය කරයි.අනතුරව එය පිරිසිදු කොට එන්නත් වශයෙන් භාවිතා කරයි.

     මෙවැනි එන්නත් රාශියක් පසුගිය සියවසක පමණ කාලයක සිට ලංකාවේ ජනතාවට ලබා දී තිබේ.මේවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කරන ලද එන්නත් විය යුතුය.ඉන්පසු ලංකාවට ආනයනය කළ පසු වෛද්‍ය පර්යේෂණායතනය විසින් එම එන්නත් නියැදි ගැන පරීක්ෂණයක් සිදු කළ යුතුය.ඉන්පසු ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහන යටතේ මාර්ගෝපදේශ මාලාවක් යටතේ එන්නත් ජනතාව සඳහා නිකුත් වේ.1886 එන්නත් ආඥා පනත අනුව එන්නත් ලබා දීමේ පිළිවෙල ගැන රෙගුලාසි රාශියක් නිකුත් වී තිබේ. මෙම ආඥා පනතේ 12 වන වගන්තිය අනුව එන්නත් ලබා දීම පැහැර හැරීම සම්බන්ධ චෝදනා ගැනද දක්වා තිබේ.එම වගන්තියෙන් කියැවෙන්නේ එන්නත් ලබා නොගැනීමසුදුසු නොවන දෙයක් බවට ඒත්තු ගැන්විය යුතු බවයි. අනිවාර්යෙන්ම එන්නත් ලබා ගත යුතු යැයි බල කිරීමක් එහි නැති වුවද යම් අනියම් බලපෑමක් මෙම වගන්තිය මගින් දක්වා ඇත. මෙම ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ක්‍රමවේදය අතුරු ආබාධ ආදීය ගැන ලංකාවේ වසංගතරෝග විද්‍යා  අංශය මගින් 2016 වසරේදී අවසන් වරට නිර්දේශ රාශියක් නිකුත් කර තිබේ. කොරෝනා වංසගත තත්වය මර්දනයට එන්නතක් ලබා දෙන්නේ නම්  මේ නිර්දේශ අනුගමනය වනවා නිසැකය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒමග අනුව යන ලංකාවේ සෞඛ්‍ය අංශයත් කෘතිම ප්‍රතිශක්තිකරණය පිළිබඳ වෙසෙසි උනන්දුවක් දැක්වුවද ස්වභාවික ප්‍රතිශක්තිකරණය දියුණු කරලීමට කිසිම වැඩ පිළිවෙලක් යොදා නොමැත.ස්වභාවික ප්‍රතිශක්තිකරණය ඇති වීමට බලපාන හේතු අතර ආහාර විහරණ ගත හැකිය. වර්තමානයේ බහුලව පවතින කෘතිම ආහාර ක්ෂණික ආහාර අජිනොමෝටෝ වැනි කෘතිම ලවණ භාවිතය නිසා ස්වභාවික ප්‍රතිශක්තිය හීනව යා හැකිය.එසේම පලිබෝධ නාශක යොදූ ආහාර  දූෂිත ජලය දූෂිත තෙල් වර්ග මෙලමයින්  ඌරු තෙල් අඩංගු කිරිපිටි වර්ග සියල්ල භාවිතයෙන් ප්‍රකට වන්නේ මනුෂ්‍ය ශරීරය දුර්වල වන අවස්ථාවන්ය.නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයද නඩත්තු කරනුයේ මෙවැනි දූෂිත ආහාර නිපදවන බහුජාතික සමාගම් විසිනි.මේ නිසා වස විස යෙදූ ආහාර පරිභෝජනයෙන් පසුව දුර්වල වන ශරීරයට එන්නත් මගින් ප්‍රතිශක්තිය කෘතිමව ලබා දීම ඔවුන් ගේ රාජකාරිය වී තිබේ.දූෂිත ආහාර නිපදවීමෙන් සහ ඖෂධ නිපදවීමෙන් මෙම සමාගම් අත්පත් කර ගන්නා ලාභය කෝටි ගණනින් ලොව පුරා හුවමාරු වේ.කොවිඩ් 19 පරීක්ෂණ කට්ටල වලට පේටන්ට් හිමිව ඇත්තේ 2015 වසරේදීය.ඉන් කියැවෙන්නේ ලෝක සෞඛ්‍ය ආධිපත්‍ය මේ වෛරසය ගැන දැන සිටි බවයි.වර්තමාන කොවිඩ් එන්නත විදීමට කැස කවන පරිසරය නිර්මාණය වන්නේ මේ වසල වෙළඳ පළ මතය.මෙම කොවිඩ් එන්නත මගින් සිදුවනුයේ  ශරීර සෛල වල පවතින ඩී.එන්.ඒ. අණු වලට හඳුනාගත හැකි ආර්.එන්.ඒ. සහිත අජීව කොටස් ශරීර ගත කිරීමකි. මෙහිදී ඇති වන විපර්යාසය භයානක විය හැකිය. ශරීර සංකූලතා බහුලව ඇතිවීමට අමතරව මනුෂ්‍ය ඩී.එන්.ඒ වෙනස් වීමකට භාජනය වීමට තිබෙන ඉඩකඩ වැඩි වේ.ඒ ගැන පුලුල් අධ්‍යනයක් තවමත් කෙරී නැත. එම තත්වය තුළ කොවිඩ් එන්නත ලංකාවේ ජනතාවට ඉක්මනින් ලබා දීම යනු පර්යේෂණාගාර මීයන් බවට අප පත් කිරීමකි.

      දුරාතීතයේ පටන් මෙරට ජනතාවගේ ප්‍රතිශක්තිය හසුරුවා ගනු ලබන්නේ ස්වභාවික ආහාර මගිනි.යම් රෝගයක් ශරීර අභ්‍යන්තරයේ ඇතිවන්නේ වා පිත් සෙම් කෝපයෙන් බව ඔවුහු පිළිගෙන සිටියහ.සිරුරේ ආම තත්වය මත ක්ෂුද්‍ර ජීවී බලපෑම එල්ල විය හැකි බැවින් ආමය සමබරව තබා ගැනීමට උනන්දු වූහ. සිංහල ජනතාව හැන්දෙන් ගෑරෙප්පුවෙන් නොව අතින් බත් අනා කන්නේ යම් ක්ෂුද්‍ර ජිවීන් ප්‍රමාණයක් ආහාරයත් සමග සිරුරට ඇතුල් කිරීමේ විද්‍යාව ඔවුන් දැන සිටි බැවිනි.එම තත්වය මත ආහාර විහරණ ගැන දැඩි උනන්දුවක් සංස්කෘතිය තුළම නිර්මාණය කර ඇත.

 රෝගයනට ප්‍රතිකාර නියම කිරීමෙදී ද ස්වභාවික ඖෂධ මගින් සුවපත් කර ගැනීමට ඔවුහු දැන සිටියහ. කාස ස්වාශ වලදී ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වූ පවාට්ටා නොහොත් ආඩතෝඩා ඖෂධයක් වශයෙන් සකස් කිරීමේ දී (පැණියක් වශයෙන්) ක්ෂුද්‍රජීවී ක්‍රියාවලියකට ලක් කළහ.ඒ ස්වභාවික ප්‍රතිශක්තියට අමතරව බැහැරින් ප්‍රතිශක්තියක් ලබා දීම පිණිසය.කොරොනා වලට අවශ්‍ය ඖෂධ මෙරට නිර්මාණය වන්නේ ඒ පසුබිම මතය. වර්ෂ 1886 ට පෙර වසූරියට පාරම්පරික සිංහල බේත් නිර්මාණය වූවා සේම අදටත් මේ රටේ සිංහල වෛද්‍යවරුන් දක්ෂතා ප්‍රකට කරමින් ඉදිරියට පැමිණ ඇත. එසේම මුඛයෙන් ලබාදෙන බටහිර ක්‍රමයේ එන්නත් වලට සමාන වෛද්‍යමාතා නම් වූ නව නිපැයුමක්ද අපේ සිංහල වෛද්‍යවරයෙකු විසින් නිර්මාණය කොට තිබේ.කොවිඩ් එන්නත මගින් ඇති කරන භයානක සමාජ තත්වය වෙනස් කරලීමට මෙම ඖෂධ උපයෝගී වනවා නිසැකය.


Sunday, January 10, 2021

ජාතිය බෙදා දැක්වූ පක්ෂ දේශපාලනය සහ පළාත්සභා

 

 

 


                             

              මෙරට දේශපාලනය තුළ පක්ෂ බිහිවීම සිදුවන්නේ ලංකාවට සර්වජන චන්ද බලය ලැබීමෙන් පසු 1935 දී පමණය .බ්‍රිතාන්‍ය රජය ලංකාව සඳහා ආදේශ කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ ඇති කළ ප්‍රබල මතවාදී යාන්ත්‍රණයක් වශයෙන් පක්ෂ ක්‍රමය හැඳින්විය හැකිය.1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීම සඳහා පසුබිම  ඇති කරන ලද්දේ පක්ෂ ක්‍රමය විසිනි. මෙම උත්තේජනය ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තිය විසින් මහත් ආශාවෙන් වැළඳ ගත්හ.ඔක්ස්ෆඩ් පන්නයේ අධ්‍යාපන හික්මීම විසින් මෙම ආශාව සන්තර්පනයට පසුබිම ලබා දුන්නේය.මේ වන විට ලංකාව හසුරුවන ප්‍රධාන ධාරාවක් බවට පත්ව තිබෙන්නේ මේ පක්ෂ ක්‍රමයයි.ආදාහනයද භූමදානයද යන මෑත කාලීන ගැටුම අරභයා මෙරට භික්ෂූන් වහන්සේලා විසින් දැක්වූ විරෝධයට එරෙහිව වාසුදේව නානායක්කාර මහතා වහාම ප්‍රතිචාර දැක්විය.භික්ෂූන් වහන්සේලා පක්ෂ නාකයන් නොවන බව ඔහු පෙන්වා දුනි.මේ සිදුවීමෙන්  පෙන්වා දෙනුයේ වර්තමාන දේශපාලඥයන් කෙතරම් දුරට පක්ෂ දේශපාලන රාමුවේ සිරවී සිටිනවාද යන්නයි.

       පක්ෂ ක්‍රමය හසුරුවන යාන්ත්‍රණය නම් පාර්ලිමේන්තුවයි.පක්ෂ විපක්ෂ භේදය එහි ඉහළින්ම ඇත. රටට ජාතියට වැදගත්වූ කාරණෘ එහි සාකච්ඡා කරන කල්හි පක්ෂය ප්‍රමුඛස්ථානයට පත් වේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තියෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා ඇති නමුදු පාර්ලිමේන්තුවේදී එම බලයට එතරම් වටිනාකමක්   හිමි නොවේ.අපවත් වී වදාළ අති ගෞරවනීය නාපාන ප්‍රේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ පිළීබඳ ශෝකය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලීමට උත්සාහ දැරූ අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා විසින් එය වළක්වන ලද්දේ පක්ෂ රාමුව විසින් බිහිකළ චර්යාධර්ම බුද්ධ ශාසනයට වඩා ඉහළින් තිබෙන නිසාවෙනි.

       පක්ෂ දේශපාලනය තුළ පවතින්නේ සැඟවුණු පන්ති භේදයකි.එක්සත් ජාතික පක්ෂය සැමදිනම ධනපති පක්ෂයක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඉන් පසු බිහිවූ පොදු පෙරමුණු සහ පොදු ජන පෙරමුණ සැම විටම ගොවිකම්කරු පිරිසගේ පක්ෂයක් බවට මතයක් සැකසී ඇත. සමසමාජ කොමියුනිස්ට් සහ ජනතා විමුක්ති පෙරමුණ සැලකෙන්නේ වාමාංශික නිර්ධන පන්ති පක්ෂ ලෙසිනි.1948 පෙර මෙරට තිබූ කුල ක්‍රමයේ රාමුව පක්ෂ දේශපාලනයට අහිතකර ලෙසට බලපා ඇත.ආර්.ප්‍රේමදාස පමණක් නොව කොල්වින් ආර් ද සිල්වා වැනි වාමාංශිකයන් පවා මෙරට පැවති කුල ක්‍රමය පක්ෂ දේශපාලන වාසිය සඳහා අනියමින් යොදවාගෙන තිබේ.

          සිංහල ජාතිය විකසනය වන්නේ වසර දහස් ගණනාවක් තිස්සේ ඇති වූ ජානමය සහ සංස්කෘතික බැඳිමක් අනුවයි.රජුන් ඇමැත්තන් සහ මෙරට ශිල්ප ශ්‍රේණි අතර මනා සබඳතාවයක් පවත්වාගෙන යෑමට ජාතිය ඉවහල් විය.ශිල්ප ශ්‍රේණි යනු මෙරට කුල ක්‍රමයයි.එය ජාතික නිෂ්පාදනයට දායක කරගන්නා ලද්දේ රාජකාරිමය වශයෙනි.බ්‍රිතාන්‍යයන් විසින් රාජකාරිය අහෝසී කිරීම නිසා මේ බැඳීම ලිහිල් වී කලකදී විසිරීමට පත් විය.අවසානයේ ඉතිරි වූයේ ජාතියෙන් ඉවත් කරන ලද කුල ක්‍රමයක් පමණකි.මෙරට සිංහල ජාතියේ මූලාරම්භය මහාවංශය තුළ සඳහන් කරන ලද පුරාවෘත්ත හා බැඳේ.නමුත් මෙරට ශිල්ප ශ්‍රේණි වල ඉතිහාසය ඊට පැරණිය.පුරාවිද්‍යාත්මකව දැනට තහවුරු කොට ඇති පරිදි වසර දෙදහස් පන්සීයයකට වඩා ඉතිහාසයක් අපට හිමිය. 

පැරණි හෙළයන්ගේ ශිල්ප ශ්‍රේණි ක්‍රමය සිංහල ජාතියට එකතු වූ ආකාරය පණ්ඩුකාභය යුගයේ දී දක්නට හැකිය.මෙම තත්වය තුළ සිංහල ජාතිකත්වය ජානමය වශයෙන් බැඳී පැවතුණේ තමන්ගේ වංශ පරම්පරාව සමග බැඳී ඒ සැම අවසාන වශයෙන් රටේ රාජ්‍යත්වය සමග ආත්මීය වශයෙන් එක්වීමෙනි.පස්වාන්දහසකට බුදු වන්ඩ දේවයන්වහන්ස යනුයෙන් වැසියන් රජු ඉදිරියේ වැඳ වැටෙනුයේ මේ ආත්මීය බැඳීම නිසාය.රජු බෝධිසත්වවරයෙකු ලෙසට සැලකීම දේවත්වයෙන් සැලකීම නිසා රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් සුරැකෙන යාන්ත්‍රණයක් බිහිවන්නේ යැයි පැරණීයන් තුළ විශ්වාසයක් ජානගතව පැවතුණි.

        සිංහල බෞද්ධ රජෙකු තවදුරටත් නොවීමත් දුරු රටක සිටින අබෞද්ධ රජෙකුට හිස නමන්නට සිදු වීමත් මෙරට ජනයා ශෝකයට පත් කරවන්නක් විය.මේ නිසා ක්‍රමයෙන් මේ රටේ ජාතිකත්වය ජන මනස් වලින් බැහැර වන්නට විය.1818 මෙන්ම 1848 ජාතික විමුක්ති අරගල දෙකම පරාජයට පත් වන්නට මෙය ප්‍රබල හේතුවක් විය. මේ නිසා සංසාර ගතව ජාතිකත්වය හා ළබැඳි පිරිස් අනගාරික ධර්මපාල තුමා පියදාස සිරිසේන මහතා වැනි නායකයන් වටා රොක් වූහ.මිනිරන් පතල් නිසා ධනවත් වූ එෆ්.ආර්. සේනානායක මහතා ස්වකීය ජාතික නායකයා බවට පත් කරගන්නට ජනතාව කල්පනා කළ බව මෙහිදී මතක් කළ යුතුය.නමුත් සිංහලයන්ට නැවත ජාතිය එක්සත් කළ හැකි රජෙකු බිහි නොවීය. ඒ වෙනුවට පක්ෂ දේශපාලනය නිසා බලවත් වූ දේශපාලන නායකයන් මෙරට ජනතාවගේ ජාතික වීරයන් බවට පත් විය. ඩී.එස්.සේනානායක මහතා බණ්ඩාරනායක මහතා මෙන්ම සිරිමා මැතිණියත් මේ රටේ ජන හදවත් දිනා ගනු ලැබූයේ පක්ෂ නායකයන් ලෙසටයි.පසුව ජේ.ආර්.ජයවර්ධන සහ මහින්ද රාජපක්ෂ වැන්නවුන් ජාතියේ මහා නායකයන් ලෙසට මෙම ජන කොටස් විසින් තෝරා ගත්හ.නමුත් ඒ කිසිවකුට ජාතිය එක්සත් කළ නොහැකි වූයේ මේ නායකයන් සියල්ල මූලිකවම පක්ෂ නායකයන්  වීම නිසාය.

         මෑත කාලයේ දේශපාලනය තුළ මුස්ලිම් අන්තවාදයත් දෙමළ අන්තවාදයත් ඉස්මතු වන්නේ සිංහල ජාතිකත්වය අත්හළ දේශපාලන නායකයන් වසින් මෙරට නායකත්වය හොබවන බැවිනි.ඔවුන් තුළ මෙරට ජානගතව තිබූ සිංහල ජාතිකත්වය නැත්තා සේම සිංහල ජනතාව පුබුදු කරමින් නැවත ජාතිකත්වය ජානගත කරලීමටද හැකියාවක් නොමැත. ගෝඨාභය මහතා සඳහා සිංහල චන්ද බහුරතරයක් වැටෙන්නේ සැඟව තිබූ ජානගත ජාතිකත්වය නැවත මතු වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. පක්ෂ ක්‍රමය විසින් එකිනෙක බෙදා වෙන් කොට ජාතිය විසිරුවා හැර තිබුණත් ජානගත ජාතිකත්වය මතුවීම වැළැක්විය නොහැකිය.නමුත් යම් ජාතික ප්‍රශ්ණයකදී පක්ෂ වලට බෙදී සිටින්නන් නැවත ජානගත ජාතිකත්වය අමතක කොට පක්ෂ මුල් තැනට ගෙන කටයුතු කරති. චන්දයක් අවස්ථාවකදී සිංහල නායකයෙකුට තැන නොලැබෙන්නේ ඒ නිසාය. ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග මහතා මෑත කාලයේ දී සිංහල ජානගත ජාතිකත්වය පුබුදු කළ නායකයා විය. නමුත් ප්‍රධාන පක්ෂ දෙකකට බෙදී සිටින්නන් විසින් ඔහුට ඉදිරියට ඒමට ඉඩනුදුන් බව අප සිහිපත් කල මනාය.මේ ව්‍යයාමය දේශපාලන වශයෙන් සාර්ථක කරගත් චම්පික රණවක මහතාට සැබෑ ජාතිකත්වයක් නොමැති බව දැන් පැහැදිලි වී අවසානය. නමුත්  ජානගත ජාතිකත්වය පෝෂණය කරලීමට ඔහු කළ මෙහෙය අගය කළ යුතුය.      පක්ෂ  ක්‍රමය ප්‍රභලව ඉස්මතු වූ රටක පක්ෂ නියෝජිතයන්ට මුල් තැන් ලැබීම ස්වභාවිකය.පාර්ලිමේන්තු නියෝජනය සඳහා අවශ්‍ය පක්ෂ නායකත්වය මෙන්ම පළාත් පාලන නියෝජිතයන් ගේ පක්ෂපාතිත්වය මේ ක්‍රමයට ඉතා වැදගත්ය. 

 දෙමළ ඊලාම්වාදය වෙනුවෙන් සැකසූ පළාත් සභා අද සිංහල පක්ෂ නායකයන්ට වැදගත්වී තිබෙන්නේ උඩ සිට යටට විහිදෙන පාක්ෂපාතිත්වයක් පවත්වාගෙන යා යුතු බැවිනි.පළත් සභා විසින් මෙරට බෙදුම්වාදය ශක්තිමත් කරන බව දැන සිටියද මේ පක්ෂ නායකයන්ට වඩා වැදගත් වන්නේ බලදේශපාලනය පවත්වාගෙන යෑමට අවශ්‍ය පක්ෂපාතිත්වය පමණි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රාදේශීය සභා වලට පත් වූවන් මහජන නියෝජිතයන්ට වඩා පක්ෂ නියෝජිතතයන් බවට පත්කරලීමට නීති සැකසුණේ මේ පක්ෂපාතිත්වය නායකයන්ට අවශ්‍ය බැවිනි. මේ තත්වය නිසා හැටනව ලක්ෂයක සිංහල බහුතරයකගේ චන්දය ගෝඨාභය හරහා සාර්ථක කර ගැනීමට ප්‍රයත්න දැරූ සිංහලයන් හට වැරදී ගියෙ ඇයිදැයි තේරුම් ගැනීම පහසුය. නමුත් ඉන් කියැවෙන්නේ සිංහල ජාතිකත්වය මෙරට දේශපාලනය තුළ ආසර්ථක වන්නේ යැයි කියා නොවේ.එය සාර්ථක කර ගැනීමට නම් පක්ෂ දේශපාලනය මෙරටින් සම්පූර්ණයෙන් ඉවත් විය යුතු අතර පළාත් සභා සහ පක්ෂ මූලික කරගත් පළාත් පාලන ක්‍රමය අහෝසි කරලීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වේ.