දකුණු
ලක බටහිර මුහුදු තීරයේ උස් ගල් පර්වතයක
සිට රමණීය දර්ශනයක් දැකිය හැකිය. උතුරු පැත්තට වන්නට කලුතර ගංගාතිලක විහාරය හෙවත්
වර්තමාන බෝධි සමීප විහාරස්ථානයත් බටහිරෙන් මහා සාගරයත් දකුණෙන් කන්දේවිහාරය බෙන්තර
කාලිහෝ මුවදොර පංචකපුදූවත් නැගෙනහිරෙන් ශ්‍රීපාදයත් දකින කල්හි බොදු දනන්ගේ සිත්
නිතැතින්ම ශ්‍රද්ධා භක්තිය අවදි කරවන්නේය.මෙම විශේෂිත ස්ථානය ඓතිහාසිකව අනුරාධපුර
යුගයේ සිටි ශ්‍රේෂ්ඨ නරපතියෙකු වූ දුටුගැමුණු යුගයෙහි ආරක්ෂිත ස්ථානයක් වශයෙන්
පැවතියා යැයි යන ජන ප්‍රවාදය අසන්නට ලැබේ.දුටු ගැමුණු රජ දවස ඔහුගේ වේර නම් අමාත්‍යවරයෙකු
මෙහි සැඟව සිට ඇත. හාත්පස කුඹූරු යායන්ගෙන් සමන්විත වගුරු බිම් වලින්ද සමන්විත
තපෝවෘද්ධ රහතන් වහන්සේලාට වාස ග්‍රහණයට වේරගලකන්ද පත්වූයේ මෙම අමාත්‍යවරයාගේ
මැදිහත්වීම මත බව ජන ප්‍රවාද ගතය.. භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් භාවනා ස්ථාන සකස්
කරවා ධාතුන් වහන්සේලා වැඩම කොට පූජා සත්කාර කළ බව අසන්නට ලැබේ.ඉන්පසු පොළොන්නරු
යුගයේ දී මහා පරාක්‍රමබාහු රජ පස්යොදුන් රට අස්වැද්දීම සිදු කළහ.එසේම එකල
පස්යොදුන්රටට අයත්ව තිබූ බෙන්තොට ගලපාත විහාරය කරවූහ.අනතුරුව කීර්ති ශ්‍රී
නිශ්සංකමල්ල රජ දවස දී පයාගල වේරගල කන්දට
එතුමා පැමිණි බවද හාත්පස ගම් බිම් කරවීමට මුල් වූ
ආකාරය ද ජන ප්‍රවාදයේ පැවතෙයි.අදටත් පවතින බෙන්තර නිශ්සංක ගල මහ ගම්මැද්ද ,ගබඩාගම
සහ ඇත්ගල ආදී නාමයන් එම පාලනයේ ශේෂයන් වෙති.
වේරගල
කන්ද විහාරස්ථානයට පිවිසීම පිණිස පර්වතය පාමුළ සිට ශිලාමය පඩිපෙලක් පවතී. අවට පැරණි පොකුණු දෙකක් සහ රහතන් වහන්සේලා
භාවනායෝගීව වැඩ හුන් ලෙන් කුටි කීපයක් ද පවතී.මෙම විහාරස්ථානය අද බොදු දනන් ගේ ශ්‍රද්ධාව
වඩවන මනරම් පින්බිමකි.ඉලිපැන්ගමුවේ නම් ස්වාමීන්වහන්සේ නමක් මෙහි වැඩ සිටි බවට
ජනප්‍රවාද ගතය. ඇතැම් විට අඳුරු සමයේ දී උපසම්පදාව නොලද ගණින්නාන්සේලා වැඩ සිටියා
විය හැකිය.ගිරා සංදේශ කාව්‍යයේ වේරගල කන්ද වර්ණනාව ඇත.අසරණ සරණ වැලිවිට සංඝරාජ
හිමියන්ගේ ශාසන පුනර්ජීවනයෙන් පසු බෙම්තොට වනවාස විහාරය ,ගලපාත විහාරය ,කැකුළන්දළ
රජමහා විහාරය ආදී පුණ්‍ය භූමි වල නැවතත් උපසම්පදාලාභී සංඝ පරම්පරාවන් ඇති වූහ. වර්ෂ 1856 දී පූජ්‍ය පැපිළියානේ
ශීලවංශ යතීන්ද්‍රයන් වහන්සේ ගේ මූලිකත්වයෙන් පහත රට කල්‍යාණී භික්ෂු සංස්ථාව ඇති
විය. එතැන් පටන් විශේෂයෙන්ම පූජ්‍ය දෙහිපිටියේ විපුලතිස්ස මාහිමිපාණන් වහන්සේ ගේ
මූලිකත්වයෙන් පයාගල පොතුවිල ආදී පැරණි ගම්බිම් සිසාරා කීර්තිය පැතිරවූ සිද්ධස්ථානයකි.මෙම
විහාරස්ථානයට ළගා වීමට කළුතර ගාලු පාරේ පයාගල පොතුවිල හන්දියෙන් හැරී පැමිණිය
යුතුය.පොතුවිල ග්‍රාමයේ කුඩා කඳු ගැටයක පිහිටා තිබෙන මෙම ස්ථානය යුරෝපා ආක්‍රමණ
වලින් පසුව වල් බිහිව තිබී ගම්මානයේ සිටි මුණසිංහගොඩ ගම්මානයේ සිටි දායක මුත්තා
නමින් හඳුන්වන උපාසක ඇත්තෙකු විසින් සොයා ගෙන ඇතැයි යන කතාව දනන් තුඩ තුඩ පවතී.වැල්
කැපීම පිණිස මෙම කන්දට ගොඩවූ දායක මුත්තාට ගල්තලාව උඩ පැවති බුදු පිළිමයක් සහ කුඩා
චෛත්‍යයක් දිස් වී ඇත. ඉන්පසුව එම චෛත්‍ය වටා වර්තමානයේ පවතින ඝණ්ටාකාර දාගැබ නිර්මාණය කර තිබේ.වර්ෂ 1851 දී ප්‍රථම
වරට මෙම විහාරයට අයත් බිම් සීමාව මිනුම්දෝරු සිතියම් වලට ඇතුළත් වී තිබේ.
මෙම විහාරයේ
ස්මාරකයන් රැසකි. ඉන් පළමු වැන්න පැරණි හැඩය ගත් චෛත්‍ය රාජයාණන් වහන්සේය.එය නැවත
ගොඩ නැන්වීම පිණිස බෙන්තොට වන වාසයේ සිටි
බෙන්තර අත්ථදස්සී ස්වාමීන් වහන්සේ ගේ ශිෂ්‍ය ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වූ පොතුවිල
ඉන්ද්‍රජෝති නායක ස්වාමීන්වහන්සේ මුල් වී ඇති බව බෙම්තොට වනවාස විහාරවංශය සඳහන් කර
ඇත.අනෙකුත් ස්මාරකයන් අතර වර්ෂ 1846 දී තනවන ලදැයි සැළකෙන ධර්ම ශාලාව දැක්විය
හැකිය. එහි ගල් ස්ථම්භයන්හි කොටවා තිබෙන කෙටි ශිලා ලිපි වලින් ඒ
බැව් පැහැදිලි වේ.අතැම්හු පවසන පරිදි මෙම ධර්මශාලාව මැද පවතින ශිලාමය මණ්ඩපය
නිශ්සංකමල්ල රජ දවස දී නඩු ඇසීම සඳහා භාවිතා කර ඇත. මෙම ධර්ම ශාලාව තුන් මහල්ය.
එහි පියස්ස දරා සිටින්නේ පිටත මාලයේ ගල් කුලුණු 28 කින් සහ අතුළත ගල් කුළුණු 16
කිනි. එම ධර්ම ශාලාවේ මධ්‍යයේ තිබෙන ඉතා වැදගත්ම ස්මාරකය වන්නේ පෙර දක්වන ලද සත්
මහල් පිරිත් මණ්ඩපයයි.එය අට පට්ටම් හැඩැතිය. අෂ්ට ලෝක ධර්මය හෙවත් ලාභ අලාභ, යස
අයස, නින්දා ප්‍රසංශා, සුඛ දුක්ඛ, මූලයන් ගැන කියැවෙන අට පට්ටම් හැඩය සිංහල බෞද්ධ
කලා නිර්මාණයන්හි නිරන්තරයෙන් දක්නට හැකිය. එහි පළමු සඳකඩ පහණ මගින් බුදුන් වහන්සේ සංකේතවත් කරමින් අගනා
නෙළුම් මලකින් නිර්මත වේ.බුදුන්වහන්සේ ගත්
මග ගැන්ම සංසාර ලාභයට හෙවත් නිවනට හේතු වේ. ඊළඟ කයිරු කොටස අලාභය දක්වයි. මේ අනුව
ගත්කළ ලාභය කුඩාය. අලාභය විශාලය.යහපත කුඩාය අයහපත විශාලය.සඳකඩ පහණ තබා තිබෙන්නේ
ලාභ යහපත උදාවන ප්‍රවිශ්ඨයේය. ඒ මගින්
කියාපන්නේ ධර්මයේ මාර්ගයයි. ධර්ම මාර්ගය තුළ ගමන් ගන්නාට ඒ සමග එන අධර්මය පසු
බස්වා ගත හැකි බව මින් කියාපායි.සතර දිසාවේ පිහිටුවා තිබෙන විවිධ ලක්ෂණය්ගෙන්
යුක්ත සඳකඩ පහන් වලින් මෙයට ප්‍රවිශ්ඨ විය හැකි අතර ගල් පාදම් මත සකස් කළ පිටත කයිරුව පේකඩ සහිත ව
අලංකාරවත්ය.ඇතුළත කයිරුව මත අසුන් ගැනීමට වේදිකාවක් නිර්මාණය වී තිබේ.සත්මහල්
සැකිල්ල දැවයෙන් නිමවා තිබේ. එහි පහළ ප්‍රවිශ්ඨයන්හි කැටයම් කරන ලද අපූරු කලා
නිර්මාණයන් දක්නට ලැබේ. දැවමය කූඩුව මත විවිධ රූප සිතුවම් කර ඇත. නුවර චිත්‍ර
සම්ප්‍රදායේ අපූරු චිත්‍ර සටහන් ලෙසට මේවා හඳුන්වා දිය හැකිය. මෙම නිර්මාණයෙහි
තිබෙන අපූරුව නම් බණ පිරිත් දේශනයට විශේෂයෙන් අරියවංශ දේශනා, සතිපට්ඨාන දේශනා ආදී
විශේෂිත ධර්ම දේශනාවන් මගින් හාත්පස තැන්පත්ව සිටින බෞද්ධ උපාසක ඇත්තන් ගේ සිත් ශ්‍රද්ධවෙන්
පිරවීමට සමත් වීමයි.මෙවැනි නිර්මාණයන් ඉතා විරලය.ඒ යුගයේ විසූ මෙම විහාරස්ථානයේ
අධිපත්තිවය හෙබවූ යතිවරයාණන් වහන්සේ විසින් මෙම ස්ථානයේ පාරිශුද්ධත්වය ඉස්මතු කරවන
විශේෂත්වය ඉස්මතු කරවන මෙම ශිලාමය නිර්මාණය කරවා තිබේ.
මෙම
සිදධස්ථානයේ දෙවැනි වැදගත් ස්මාරකය වශයෙන් දැක්විය හැකි වන්නේ පුරාණ පිළිමගෙයයි.
පහත රට ලන්දේසි වාස්තු සම්ප්‍රදාය පදනම් කරගෙන ඒ යුගයේ විශේෂිත ගොඩනැගිලි නිර්මාණයන්ට
පාදක කරගත් බව පෙනේ.මෙහි අභ්‍යන්තරව මාල
කොටස් තුනකි. ප්‍රථමයෙන්ම දකින්නට තිබෙන්නේ ඉදිරිපස බරාඳයයි.කොට බිත්ති බැඳ ඇත.
දෙවනුව පිළිමගෙය ඉදිරිපස බරාඳයයි. එහි බිත්ති වල විවධ සිතුවම් වලින් අලංකාරවත්ය.
වර්තමානය වන විට එහි බිත්ති බොල් වී ඇතැම් සිතුවම් වලට හානි වී පවතී. තුන්වෙනුව
සැතපෙන පිළිම වහන්සේ සහ පරිවාර පිළිම වහන්සේලා තිබෙන පිළිමගෙයයි.එයට ඇතුළු වීමට
දොරටු දෙකකි.
මෙහි තිබෙන
ගල්ලෙන් වල කටාරාම් කොටවා නැත.කැටගලින් නිමවන ලද ආසනයක් තිබී ඇත. එසේම ඉදිරියෙන්
කැටගලින් නිර්මාණය කරන ලද සක්මන් මළුවක් ද දකින්නට ඇත. රහතුන් වහන්සේලා වැඩ සිටියා
යැයි මතයකි.වර්තමානයේ විෂ්ණු දේවාලයක් ඇත. සිසිල් පැන් සැනහිය හැකි පෙකුණු දෙක මෑත
කාලයේ දී පුරාවිද්‍යාව විසින් සංරක්ෂණය කර තිබේ.පොකුණක දිග අඩි විසිහයකි. පළල අඩි
අටකි. එක් පැත්තක ගල් ඇන්දද අනෙක් පස කැටගල් බැමි ද දක්නට තිබේ. පිළිමගෙයි දිරාපත්
ස්ථාන ද ඉවත් කර පිළිසකර කරන ලද්දේ 2001 වරෂයේ දීය.2005 වසරේ දී චෛත්‍ය රාජයාණන් වහන්සේ ගේ කොත නැවත පළඳවා වටා
තිබෙන සූවිසි විවරණ සහිත පිළිම තැන්පත කර අති කොන්ක්‍රීට් ස්ථාන සහ මල් ආසන ද ප්‍රතිසංස්කරණය
කර තිබේ. කන්ද පහළ සිට උඩට වන්නට මළු සීමා කිරීම උදෙසාද සෝදා පාළව වළක්වාලීම
පිණිසද විශාල ගල් යොදා කරන ලද බැමි දක්නට ලැබේ. මෙහි පැරණි බෝධි වෘක්ෂයක් මෙන්ම නව
බෝධියක් ද දක්නට ලැබිය හැකිය. පැරණි බෝධියේ බෝධී ඝරය කැටගලින් කළ බවට එහි ශේෂයන්
මගින් අනාවරණය වේ යැයි 2001 දී නිකුත් කරන ලද පුරාවිද්‍යා සංරක්ෂණ වාර්තාවේ
දැක්වේ.මෙම විහාරස්ථානයේ තිබෙන පැරණි අරලිය ගසේ මල් පිපෙන කාලයට ශ්‍රීපාදස්ථානය
වෙතට යොමු වී මල් පිපෙන බවද පැරණි කොහොඹ ගසේ එක් පැත්තක කොළ තිත්ත නොවන බවද අසන්නට
ලැබේ. මෙහි විහාරාධිපතිත්වය මුල් වරට ලියාපදංචි කොට තිබෙන්නේ පූජ්‍ය මතුගම වංගීස
ස්වාමීන් වහන්සේ වෙනුවෙනි. දැනට මෙම විහාරයේ අධිපතිත්වය හොබවනුයේ පූජ්‍ය මංගලගම
මෙත්තානන්ද ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ විසින් ආරමභ කරන්නට යෙඳුණු හිටි බුදු
පිළීම වහන්සේ සම්බන්ධ ඉඳි කිරීම් කටයුතු මේ වන විට නිම වෙමින් පවතී.
මතුගම සෙනෙවිරුවන්
