පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, April 26, 2020

කැස්ස හෙම්බිරිස්සාවට බිය විය යුතුද


                                             
            මෙලොව උපදින සෑම මනුෂ්‍යයෙකුම යම් කිසි ප්‍රකෘතියක් අනුව උප්පත්තිය ලබයි. මෙහිදී  සඳහන් ප්‍රකෘතිය යනු පංච මහා භුත තත්වයන් අනුව ජනිත ප්‍රකෘතියන්ය. ඒ අනුව කෙනෙක් සෙම් ප්‍රකෘතිකයෙක් බවටද තවකෙක් පිත් ප්‍රකෘතිකයෙකු බවටද ඇතැම් අය වාත ප්‍රකෘතිකයන් ලෙසටද නම් කළ හැකිය.සිංහල ජනතාව  මේ බැව්  දැන ගන්නේ කේන්ද්‍ර සටහනිනි. හඳහනේ ලියැවී තිබෙන මේ ස්වභාවය මේ රටේ කීයෙන් කීදෙනෙකු අධ්‍යනය කලාදැයි මම නොදනිමි. නමුත් ජ්‍යෙතිෂය පෙරදැරිව වෙදකම් කරන වෛද්‍යවරයෙකු නම් අදාළ රෝගියාගේ හඳහනද පරීක්ෂා කොට බලා ප්‍රතිකාර නියම කරලීම සිරිත වෙයි. වාත පිත්ත සහ සෙම යනුවෙන් පවතින මේ ප්‍රකෘතිය කෝප වීම නිසා දොස් කෝප තත්වයන් ජනිත වෙයි. මෙවැනි කෝප ලක්ෂණ ඇතිවූ කල්හි පුරුෂයෙකු ගේ නම් දකුණු අතේ නාඩිය පරීක්ෂා කිරීමෙන් ද කාන්තාවකගේ නම් වම් අතේ නාඩිය පරීක්ෂා කිරීමෙන් ද දැන ගත හැකිය. ඇතැම් විට වා සෙම් හෝ පිත් සෙම් රෝග ලක්ෂණද ජනිත වීම ස්වභාවිකය. පැරණි වෙද මහතුන් සියලු දෙන නාඩි ශාස්ත්‍රය ප්‍රගුණ කරනුයේ මේ දොස් කෝප තත්වය නිවරදිව විමසා බලා ප්‍රතිකාර නියම කරලීමටයි.එහෙත් අවාසනාවකට වර්තමාන ආයුර්වේද වෛද්‍යවරුන් පවා මේ ශාස්ත්‍රය ප්‍රගුණ කර නැත. ඒ වෙනුවට ඔවුන්ද බටහිර වෛද්‍යවරුන් මෙන් වෙද නලාව භාවිතා කරති. මෙයින් ගත හැකි සහාය අල්පය.
        සෙම කෝප වීම නිසා ශරීරයේ දියර ස්වභාවය වෙනස් වේ.සෙම්ප්‍රතිශ්‍යාව යනුවෙන් දක්වන්නේ එයයි. ඇතැම් විට නහයෙන් සොටු දියර ගැලීමට පටන් ගනී. වාත ප්‍රකෘතිකයෙකු නම් වාතය බලවත් වී සෙම නොයෙකුත් තැන් වල ට ගමන් කරමින් ඒ තැන් ආසාදනයට ලක් කරයි. උගුරේ වේදනාව හට ගන්නේ මෙවැනි විටකය. උගුරේ වියළී ගතිය මස් දලු ඉදිමීම රතුවීම ආදී කරුණු නිසා කැස්ස ඇති වීමට පටන් ගනී. සෙම්ප්‍රතිශ්‍යාවක්  ඇතැම් විට කෙනෙකුගෙන් බෝවන්නක් විය හැකිය. එවිට සෙම් කෝප වී පෙර සඳහන් කළ තත්වයම විවිධ අන්දමින් ඇති විය හැකිය.වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කොට පවතින දොස් කෝප තත්වයන් සලකා බලා ප්‍රතිකාර නියම කරයි.වාතය සහ සෙම සමබර වූ වහාම මේ හෙම්බිරිස්සාව හෝ එයින් හට ගන්නා උණ බැසයයි. තරුණ ජවරයකදී (උණකදී ) උපවාසය කොට ලුණු කැඳ ලබා දීමෙන්ම ආමය පැසවීම කොට රෝගියාට සුවය සලසා දිය හැකිය.නමුත් සෙමත් සමග  විශේෂයෙන්ම පිතත් සෙමත් සමග ඇතිවන සෙම් කෝප තත්වයකදී වමනය අතීසාරය ආහාර අරුචිය කැස්ස සහ උණ දරුණුවට ඇති වීමට තිබෙන අවස්ථා බොහෝය. වා පිත් සෙම් තුනම කෝප කර තත්වයකදී සන්නිපාත ලක්ෂණ පවා ඇති විය හැකිය.අතැම් පාරම්පරික වෙද පොත්වල කෝලේගාය යනුවෙන් දක්වා ඇත්තේ මෙවැනි අවස්ථාවන්ය.
       ගොවිතැනෙහි නියැලී සිටින ගොවියන් නිතර සෙම් රෝග වලට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ බොහෝය.සහජ පීනස් ලක්ෂණද එවැනි විටකදී මතු විය හැකිය.එවැනි අවස්ථාවලදී පැරණි ගොවීහු සෙම් කෝප වීම වාතය විමාර්ග ගත සහ ඇඟ පත රුදාව වළක්වා ගැනීමට තොටිල පොතු මුරුංගා පොතු අමු ඉඟුරු සහ සුදු ලූණූ අඩංගු ඖෂධයක් භාවිතා කළහ.එසේම  කුප්පමේනිය ඔළිඳ කොළ ඉඟුරු ඇඹුල් දොඩම් ආදිය ඇතුලත් ඖෂධයක් භාවිතා කළහ.සාමන්‍ය සෙම් කෝප අවස්ථාවලදී බුද්ධ රාජ කල්කය යොදා ගැනීම ගැමියන් ගේ ප්‍රශස්ථ ප්‍රතිකාර විදියක් විය.එහි අනුපාන වශයෙන් ගැනෙන ශාක ඔසු විවිධය.විශේෂයෙන්ම ආඩතෝඩ නික ඇඹුල් දොඩම් කිරි අඟුන දළුවල යුෂ අනුපාන සහිතව ගැනිණ.වා සෙම්  ප්‍රධාන ව හට ගැනෙන ස්වාශ  උණ සහ සන්නිපාත අවස්ථාවලදී  වලදී කුඹූරු දළු අමුඉඟුරු යකිනාරන් දළු යකවනස්ස දළු දෙහි දළු නික දළු සහ සුදු ළුනු යොදමින් කල්කය ලබා දුන්හ.මැදින් මාසය ගෙවී බක් මාසය උදාවන සමයේ දී වසංගත තත්වයන් ඇති වෙයි. එවිට සෙම කෝප වීම සිදු වෙයි.බෝවන රෝග පැතිරීම සිදු වෙයි.ඒ නිසා පත්තිනි මෑනියන්ට පුද සත්කාර කිරීමද ගම්මඩු නටා ආශිර්වාද සපයා ගැනීමද සිදු කළහ.විපත් රෝග උපත්‍රායාදී යස කීර්ති තේජසං පත්තිනි දේවි සමින්දා පාද පත්මා බි වන්දේ යනුවෙන් පත්තිනි මෑනියන් වන්දනා මාන කලේ එනිසාවෙනි.දෙයියන්ගේ ලෙඩ වැළඳුන කල්හි බෙලි කොළ කොහොඹ කොළ නික කොළ ආදීයෙන් තම්බා ගත් දියෙන් සේදීමද පැපිළිය කටුවැල්බටු තැම්බුම ලබා දීමත් සිදු විය.මේ අතර ශරීර ප්‍රතිශක්තිය ජනිත වන ආහාර ගැනීම අනිවාර්ය විය.ජනවාරි පෙබරවාරි කාලයේ ලබා ගන්නා ලද වැල් අල අස්වැන්න තුළින් සිරුර ශක්තිමත් කරන අතර බක් මාසයේ වට වැස්සත් සමග දලුලන විවිධ කොළ වර්ග ආහාරයට ගැනීමෙන් ශරීර ප්‍රතිශක්තිය තවදුරටත් වර්ධනය වේ.(නව දලු ඇඹුල )කුඹූරු වැඩ වල නිරත ගොවීන් සිංහල අවුරුද්දට ප්‍රථම වපුරා අවසන් කරනුයේ බක් මාසය තුළ මඩේ බැස වැඩ කිරීමෙන් ගවයන් සහ ගොවියන් දෙපිරිසම රෝගී වන බැවිනි.එසේම වන පළතුරු සියඹලා දන් සහ දිවුල්  ආහාරයට ගැනීමට රජරට ගැමියන් ට ලැබීමද මෙහිදී දැක්විය හැකි මහඟු නිදර්ශනයකි..
       සෙම් රෝග නැසීමට භාවිත වන ප්‍රධාන ඖෂධ අතර පාවට්ටා නොහොත් ආඩතෝඩා ප්‍රධානය. එයට වෛද්‍ය මාතා යයි ද කියති. පෙර දැක්වූ පරිදි මෙහි දලු අනුපානය සමග ඉඟුරු සුදු ලූනු සමග ගුලි කල්ක යෙදීම තුළින් සෙම නිසා ඇතිවන විවිධ සංකූලතා නැතිකරගත හැකිය. විශේෂයෙන්ම සෙම නිසා ඇති වූ උගුරේ ලෙඩ වලට පිළීයම් කර ගැනීම පිණීස කණ්ඩමාල කල්කය නමින් අගනා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වෛද්‍යවරුන් සකස් කරගෙන තිබුණී.උගුර ඉදිමීම උගුරේ ගෙඩි සෙම වියළීම නාසය ඇසිරීම ගිලීමට අපහසුව ගොළුවීම වැනි උත්සන්න අවස්ථාවලදී හිඟුරුපට ඉස්මෙන් කුකුරුමාන් ගෙඩි ඉස්මෙන් මෙන්ම දෙමට ගෙඩි ඉස්මෙන් කල්ක ලබා දීමෙන් අසීරු අවස්ථා මගහරවා ගනිති.අඩතෝඩා තිප්පිලි කුප්පමේනියා ඉඟුරු ඉරිවේරිය අරත්ත කලාඳුරු එලබටු යකිනාරන් කුඹූරු කරපිංචා ඔළීඳ වැල්මී නික යකිනාරන් යක වනස්ස සහ පිටවක්කා වැනි ඖෂධ ගෙවත්තේ වවා ගත හැකි අගනා ඔසු ශාක වෙති.අතැම් ශාක ඉබේ වැවෙන බව අප සිහිපත් කල යුතුය.මේ ඖෂධ මනා ලෙසට ප්‍රයෝග කර ගැන්මේ දැනුමක් අපගේ පැරණීයන්ට පිහිටා තිබුණි. එයට හේතුව ගමේ සිටි පාරම්පරික වෛද්‍යවරයා ගමේ ප්‍රධානියෙකු ද වීමයි. ඔහු දෙන උපදෙස් මත කටයුතු කිරීම සැම තැනකදීම දක්නට හැකි තත්වයක් විය. දෙයියන්ගේ ලෙඩක් හැදුණු විටදී එනිවෙස කිළීහරණයට ලක් කරන ලදී. ගමෙන් වෙන් කරන ලදී. නමුත් එම රොගීන් අරභයා ප්‍රතිකාර කිරීම ගමේ වෙදනාවන් ගේ උපදෙස් මත කිරීම සිදු විය
      කැස්ස හෙම්බිරිස්සාව දරුණූ රෝගයක් බවට පත් කරන්නට වර්තමාන නවීන සමාජය උත්සාහ කොට ඇත. වර්තමාන වසංගත තත්වය හමුවේ කිළිහරණය පැත්තකින් තබා නිරෝධානයට යොමු වී ඇත. සමාජ දුරස්ථකරණයට යොමු ව ඇත.කිළිහරණයට ඖෂධ ප්‍රතිකාරයන්ද ඇතුලත්ය එහෙත් නිරෝධානයට එය නැත. එහි දැක්වෙන්නේ මහජනතාව පාලනය කිරීමට අවශ්‍ය නීති රීති පමණකි.මෙය මහත්ම වූ දුක්ඛිත තත්වයකි. වසර දෙදහස් පන්සීයක් තිස්සේ අප වඩා ගත් පුරුෂාර්ථ පසෙක ලා රෝගයකට බිය වී ජන ජීවිතය අඩාල කර ගැනීම ඉතාම දුක්ඛිත තත්වයකි. නිදහස් අධ්‍යාපනයේ වැරදි සහගත ප්‍රවේශයක් මගින් ඇති කළ මොළ සේදීම නිසා අද වන විට දේශීය ඖෂධ ගැන දැන හැදිනීමක් ජනතාවට නැත. යට කියන ලද ඖෂධ වලින් ගෙදර වවා ගන්නේ ඉඟුරු පඳුරක් කහ පඳුරක්  සහ කරපිංචා ගහක්  පමණකි එයද කුලු බඩු වලට අවශ්‍ය බැවිනි. නමුත් අප‌ගේ මුතුන් මිත්තන් විසින් යටකී ඔසු වර්ග රාශියක්ම ගෙවත්තේ වගා කොට ගෙන තිබුණි.අවශ්‍ය අවස්ථාවක දලු මිටක් කඩාගෙන ගුලියක් දියකර දී ලෙඩක් සනීප කරගන්නට මනා හැකියාවක් ඔවුනට තිබුණි.නමුත් අද වන විට සුලු හෙම්බිරිස්සා තත්වයකදී වුවත් දොස්තරවරයෙකු චැනල් කොට රෝගියා පෙන්වීමේ මෝස්තරතයක් ඇති වීම කණගාටුදායකය. මේ වසංගත තත්වයට නිවරදිව මුහුණ දෙන්නට නොහැකි වී ඇත්තේ මෙවැනි නොදැනුවත්කම් බිය ගුලු කම් සහ පරගැතිකම් නිසාවෙනි.



Thursday, April 9, 2020

සිංහල වෙදකමට එරෙහි අනුකාරකයන් ගේ නැගීම


                                   
                 කොරෝනා වසංගත තත්වය තුළ වර්තමාන දේශපාලනය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක්ද කරන්නට හැකිව තිබේ. රුවන්වැලි මහා සෑය ඉදිරිපස දිව්රුම් දුන් ජනපතිවරයෙකු මෑත කාලීන දේශපාලනයේ දක්නට ලැබීමේ ආශ්වාදයෙන් සිටි මෙරට බහුතර ජනතාව බලාපොරොත්තු කඩ වේ දෝ යන බියකින් පසුවෙති.සිංහල බෞද්ධ චන්ද බහුතරය යනු පරම්පරා ගණණාවක සිට ශක්තිමත් වුණු සිංහල ජාතිකත්වයේ අපේක්ෂාවන්ය. තමන්ගේ ජීවන රටාව නිදහසේ කර ගෙන යෑමට සහ තමන්ගේ ජාතික උරුමය ආරක්ෂා කර ගනිමින් ඒ තුළ අනාගතය උදෙසා ශක්තිමත්ව නැගී සිටීම මේ අපේක්ෂා අභිලාශයන් අතර විය. රට පුරා වසංගතයක තත්වය ඇතිවන කල්හි වැඩි කලබලයක් නොමැතිව මේ බහුතරය නිවාස අඩස්සියට පත් වූහ. ඔවුහු යලි පාර්ලිමේන්තුව කැඳවන්නට හෝ මැතිවරණයක් විගැහින් තබන්නට උද්ඝෝෂණ නොකළහ.රටේ ජනනායකයාට දී තිබූ   විශාල ජනමතය කෙරෙහි ඔවුහු විශ්වාසය තැබූහ. විශේෂයෙන්ම තිස් වසරක යුද්ධයෙන් රට මුදවා ගත් හමුදාව කෙරෙහිද විශ්වාසය තැබූහ.
       රාජ ධම්මෝ ප්‍රජා රක්ඛා යනුවෙන් පැරණි පොත පතේ සඳහන්ව තිබෙන්නේ රජෙකුගේ නැතිනම් පාලකකයෙකු ගේ යුතුකම් පහදවා ලීම පිණිසය. රාජ ධර්මයෙහි හැසිරීම ලෙහෙසි පහසු නැත. මනා පුහුණුවක් දැඩි තීරණ ගැනීමේ හැකියාවක් සහ කාරුණික හදවතක් නොහොත් බෝසත් චර්යාවක් පාලකයෙකුට පිහිටා තිබිය යුතුය. චන්දයෙන් පත්වන බෙහෝ පාලකයන් හට මෙවැනි ගතිගුණ එකක් හෝ පිහිටන්නේ නම් කලාතුරකිනි. හේතුව එම පුද්ගලයා ප්‍රජා පාලනය පිළිබඳ මනා අන්තර්ඥානයකින් පුහුණුවූවකු නොවන බැවිනි. නමුත් වාසනා ගුණය හෝ පැවති දේශපාලන බලය මත පත්වන ජනප්‍රිය දේශපාලකයා සැබවින්ම ජනතාවගෙන් දුරස්තරව කටයුතු කිරීම ස්වභාවිකය.
          ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් අතර ආහාර සහ බෙහෙත් මුල් තැනේ ලා සැලකිය හැකිය. ආහාර නිපදවා ගනිමින් යම් ආනයනික ආහාර ද පරිභෝජනය කරලීම මේ රටේ ජීවන චර්යාව විය. නමුත් විවෘත ආර්ථිකයෙන් පසු ආහාර සුරක්ෂිතතාවය ගැන සැලකිල්ලක් යොමු නොකරමින් ආනයනික ආහාර ගැන පමණක් ප්‍රවර්ධනය කර තැබීමට රජය කටයුතු කළහ. ජනතාවගේ බඩ ගින්න නිවීම සඳහා හොඳම විකල්පය රටින් ආහාර ගෙන්වීම යැයි මේ දේශපාලකයන් කල්පනා කරන්නට ඇත. නමුත් පසුගිය කාලයේ දී ඇති වූ සුනාමිය ගං වතුර වැනි ආපදා සම්පන්න අවස්ථාවලදී ආහාර සුරක්ෂිතතාවයේ වටිනාකම යලි යලි මතක් කර දුන් බව පැවසිය යුතුය. එහෙත් ආණ්ඩු කරනවුන් මේ තත්වය තේරුම් නොගත්හ.එසේත් නැතිනම් රටින් ගෙන්වන භාණ්ඩ වලින් ලැබෙන කොමිස් මුදලට ගිජුව සිටියහ.වර්තමාන වංසගත තත්වය හමුවේ නැවත එම යථාර්තය දැඩිව පෙන්වා දෙමින් පවතී.
         නිරෝගීව ජීවත් වීම උදෙසා බෙහෙත් හේත් සපයා ගැනීමට නිදහස තිබිය යුතුය. තමන් රුචිකරන විශ්වාස කරන වෙද හෙදකම් ලබා ගැනීම හැකි විය යුතුය. සිංහල බහුතරය අතීතයේ පටන් ස්වභාවික වෙදකම් තුළින් තමන් ට වැළඳෙන ලෙඩ රෝග සුව කරගත් පිරිසක් විය.එයට අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාවක් ගම්බදව ජීවත්වි සිටියහ. ලන්දේසීන් සහ ඉංග්‍රීසිහු මෙම ජීවන රටාව වෙනස් කළහ. ඔවුහු ඒ කාලයේ පැතිරුණු වසංගත රෝගීන් ගාල් කරලීම පිණිස රෝහල් සහ කඳවුරු තනා මේ රටට ආගන්තුක බෙහෙත් වර්ග ලබා දුන්හ. මැලේරියාවට ක්වීනීන් ලබා දීම උදාහරණයකට ගත හැකිය. නමුත් බෙහෝ රෝග වලට දිව්‍ය ඖෂධයක් වන ත්‍රයිලෝක විජය පත්‍ර නොහොත් කංසා පැළැටිය වගා කරලීම තහනම් කළහ. සිංහල වෙද මහත්වරුන් ගේ ග්‍රමීය නායකත්වය අහෝසි කරලීම පිණීස ගම්වල ඇපොතිකරිවරු පිටත් කර හැරියහ.එසේම පොලිස් කාරයන් මෙන් හැඳ පැළඳ ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නොහොත් සැන්ටිපෝට් වරු  සනීපාරක්ෂක නීතිය ක්‍රියාත්මක කරලීමට යෙදවූහ.වසංගත වලින් හෙම්බත්ව අසරණව සිටි ගැමියන් අතරට ක්‍රිස්තියානි මිෂනාරීන්ද පැමිණීම සුලභ දර්ශනයක් විය.
     එහෙත් මදක් අතීතයට ගොස් බලන කල්හි සිංහලයන් ගේ සෞඛ්‍ය පිළිවෙත් වල වටිනාකම අවබෝධ කරගත හැකිය. වසංගත ඔවුන් හැඳින්වූයේ අම්මාවරුන් ගේ ලෙඩ සහ දෙයියන් ගේ ලෙඩ වශයෙනි. මේ ලෙඩ වලින් මග හැරීමට පත්තිනි මෑනියන්ට මෙන්ම අවලොකිතේශවර නාථ දෙවියන්ට භාරහාර වූහ. ගම්මඩු දෙවොල් මඩු නැටූහ. මළ ගෙදරකට ගොස් පැමිණි විට නා පිරිසිදු වී ඒමට පොදු ළිඳක් වෙත ගියහ.කිළිහරණය උදෙසා විවිධ තහංචි අනුගමනය කළහ. ගමේ වෙදනා සහ පන්සලේ ස්වාමීන් වහන්සේ එකට එකතු වී වදකහ ඉඟුරු සුදුලූණු කොහොඹ කොළ වන්ඩුවේ තම්බා කොටා මිරිකා පෙරුන්කායම් අනුපාන කොට දමා (ගැබිණියන්ට මී පැණි) ගමේ සියලු දෙනට කෝප්ප කාල බැගින් බොන්නට සැලැස්වූහ.අම්මාවරුන්ගේ ලෙඩ සෑදී ඇති නිවෙස් වල කොහොඹ අත්තක් එල්ලා තැබූහ.අදටත් ඒ සිරිත් වලින් සමහරක්  ජන සමාජය අතර ජීවමානව පවතී. පැරණි සිංහල ගෙදරක වැසිකිලිය පිහිටා තිබූයේ නිවසට මදක් ඈතිනි.නිවස තුළම එය පිහිටා තිබුණහොත් වාස්තු දෝෂ ඇති වන බවද විශ්වාස කළහ.මේවා නූතන සමාජයට විහිලුවට කාරණයක් විය. ඒ උපහාසය නූතනයන් තුළට පැමිණෙන්නේ සුද්දන් ගේ අධ්‍යාපනය හරහා බව සිහිපත් කළ යුතුය.
      කොරෝනාව(Sars-Cov-2RNA) ලෝකයට අලුත් දෙයක් නොවන බව විද්‍යාඥයන් දනී. ඔවුහු තමන්ගේ බල අවශ්‍යතාවයන් පිණිස මෙම වෛරස නඩත්තු කරති. වසූරිය වසංගත කාරකය පවා තවමත් විද්‍යාගාර වල සුරක්ෂිතව පවතින බව දක්වා ඇත. වරින් වර විවිධ එන්නත් හඳුන්වා දෙමින් ලෝක සෞඛ්‍ය පිළිබඳ තීරණ ගැනීමේ ආධිපත්‍ය පැතිරවීම කරන අතර ගෝලීය තත්වයකට හැඩ ගැසීමේ හේතුවෙන් බෙහෝ රටවල් මේ සම්මුතීන් හට හිස නමති. නමුත් 2008 බීජිං නුවර දී මුලු දුන් සෞඛ්‍ය සමුලුවකදී ගත් තීරණ අතර වැදගත් එකඟතාවයක් විය. එනම් ඒ ඒ රටවල පවතින දේශීය වෙදකම් සෞඛ්‍ය සංරක්ෂණය සඳහා යොදා ගැනීමේ පහසුකම් ඇති කිරීමට පියවර ගත යුතු ආකාරයයි. චීනුන් මේ සම්මුතිය අකුරටම පිළීපදින අතර එහි රෝහල් වල දේශීය වෛද්‍ය ක්‍රම වලින් ප්‍රතිකාර ලබාගන්නන් හට පහසුකම් සලසා දීතිබේ.ඔවුන් වූහාන් වල කොරෝනා මර්දනයට මේ වෙදකම් මැනවින් දායක කරගත්හ.
    ලංකාවේ තත්වය මෙය නොවේ. හැට ගණන් වලින් පසුව මේ රටේ දක්ෂ වෙද පරම්පරාවන් අභාවයට ගියහ. 1950 දී සිංහල වෙදකම පිළිබඳ පැවැත්වූ කොමිෂන් සභා වාර්තාවක් ඇති අතර රජය අද පිළිගනු ලබනුයේ 1947 වසරේ මුලු දුන් ආයුර්වේද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ය. ඒ අනුව අද ආයුර්වේද රෝහල් වල වෙදකම් කරන්නේ වෛද්‍ය වරු නොවේ. දොස්තරලාය. නාඩි පරීක්ෂාව වෙනුවට ඔවුහු ලෙඩ නලාව භාවිත කරති. ටයිපටි පළඳිති. බටහිර වෛද්‍යවරු මෙන් සිවිල් බලය ලබා ගැනීමට සහ ධනය ඉපැයීම මූලික අරමුණ කොට ගනිති. දහනව වන සියවසේ වසූරිය හා මැලේරියා (කැලෑ උණ ) එන විට නව බෙහෙත් සොයා ගත් සිංහල වෙදපරම්පරාවේ දක්ෂතාවයන් මොවුන්ට නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශ කරන සියලුම දේ යහපත් යැයි පිළිගනිමින් තමන් සතුව තිබෙන අගනා මූල ධර්ම නොසලකා හරිති. අද කොරොනා සඳහා බෙහෙතක් නොමැතිව බටහිර වෙදකම් අසරණව සිටින අවස්ථාවක සාර්ථක ප්‍රතිකාර පන්තියක් ඉදිරිපත් කොට රෝගීන් සුවපත් කරලීමට මේ අනුකාරකයන් ඉදිරිපත් නොවෙති.ඒ වෙනුවට ටයිපටි පැළඳ ගත් බටහිර වෛද්‍ය නිළධාරී සංගමයේ අතැමුන් වාෂ්ප මුට්ටිය (වේදුව ) ගැන කතා කරති. නමුත් සිංහල ප්‍රතිකාර පන්තිය මත සිට පර්යේෂණ ඇරඹීමට  මැලිවෙති . සිංහල වෙදකම ගැන කතා නොකරන ඔවුහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ  මිනී වළලන ක්‍රමවේදය අනුමත කරති. මේ ලිපිය අවසන් කරලිමට ප්‍රථම මැදමුලනේ කතාවක් කිව යුතුව තිබේ. ඒ මෙසේය.
       පනස් ගණන්වල බණ්ඩාරනායක මහතා සමග විපක්ෂයට ගිය ඩී.ඒ.රාජපක්ෂ මහතා ‌ගේ පුතුන් සිවුදෙනෙක්ම ජනප්‍රිය ‌දේශපාලනඥයන් වූහ.‌ ‌දෙදෙනෙක්ම ජනාධිපති තනතුරුට පත් විය.‌මේ සහෝදරයන් සිවුදෙනා හැට ගණන් වලදී ‌කොළඹ විද්‍යාල වල ඉගෙනුම ලබන කළ සති අන්තවල ‌දී ඩී.ඒ.රාජපක්ෂ මහතා සමග මැදමුලනට පිටත්ව යන අතර මාතර ‌වෙද මහත්මයෙක් හමුවී යන බව පැවසේ. ‌මේ ‌වෙද මහත්මයා   කලු ‌වෙදමහත්මයා යන නමින් ප්‍රසිද්ධ විය.  රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග තිබෙන හිතවත් කම නිසා ඔහුගේ ළමුන් ‌හොඳට පරීක්ෂා කර ‌විරේක ‌බෙහෙත් කෂාය එහෙම නියම කරයි.සිංහල කමට සිංහල ආහාර වලින් ‌පෝෂිතව සිංහල ‌වෙදකමෙන් නිරෝගී වූ ළමුන් සිවු ‌දෙනෙකු එලෙස පසුකලකදී රටේ ‌දේශපාලනයෙහි මූලිකත්වය ගත්හ.
බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයට පැමිණි අවස්ථාවක ‌වෛද්‍යවරු ඉදිරපිට ‌මේ කතාව ප්‍රකාශ කරන ලද බව ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා දක්වා ඇත..කලු ‌වෙද මහත්මයගෙ තිත්ත ‌බේත් බිව්ව එක තිත්ත ‌වෙච්ච හැටියි ඔහු සඳහන් කලේ. අද ‌වෙන ‌කොට ‌මේ සහෝදරයන්ට සිංහල ‌වෙදකම තිත්ත ‌බේත් වගේ තිත්ත ‌වී ඇති බව පෙනේ.සිංහල කම ‌හොඳට ඇගේ තියෙන මහින්දට ‌මේ වටිනාකම් ඉඳහිට මතක් වුණත් ඒවා ස්ථාවර කරන්න ‌වෙහෙසෙන්නේ නැහැ.‌මේ ‌කොරෝනා කාලෙ වත් සිංහල ‌වෙදකම මතක් වුණොත් රටේ ‌රෝබිය දුරු කරගන්න පිළිවන් ‌වෙන බව නිසැකයි.නමුත් අනුරුද්ධ පාදෙණිය මහතා විශ්වාස කරන වාෂ්ප මුට්ටියට එහා ගොස් පැරණි වට්ටෝරු වලින් ප්‍රත්‍යක්ෂ බෙහෙතක් සොයා ගැනීම තුළින් පමණයි ඉදිරි වසංගත තත්වයන්ට පවා මුහුණ දීමට හැකිවන්නේ.දැනටමත් රට තොට පතල වෙද මහත්වරු කීප දෙනෙකුම එවැනි බෙහෙත් සාදා තිබේ. ඔවුන් කැඳවා සිංහල බෙහෙතට තැනක් ලබා දිය යුතුයි.


Saturday, April 4, 2020

සම්ප්‍රදාය ඔස්සේ අභියෝග ජය ගනිමු


                                             

              ශත වර්ෂයකට ඉහත වසූරිය වංසගතයෙන් පීඩා විඳි මෙරට ජනතාව නැවතත් වරක් ඒ තුන් බියෙන් වෙලී සිටී.රටම එක කලාපයක් ලෙසට ගෙන අඳුරු නීතිය දමා වරින් වර වසා දැමීම හේතු කොට ගෙන සියලු මානව ක්‍රියාකාරකම් අකර්මණ්‍ය ව ඇත. අතීතයේ දී නම් මෙවැනි වසංගත තත්වයකදී හෝ ආපදා පන්න අවස්ථාවන්හිදී ගම් දහයක එකමුතුවකින් සැදි සභාවකින් ( ගම් අඩවි යුත් අටදෙනා) පෙදෙස් පාලනයකරමින් අභියෝග ජයගත් බව ඉතිහාසයෙන් පෙනේ. තමන්ගේ රටේ ඉතිහාසය මත පදනම්ව තීරණ ගැනීමට හුරුව නැති පාලනයක් තුළින් මෙවැනි දේ අපට බලාපොරොත්තු විය නොහැකිය. එසේ කලා නම් මේ තරමට ජනතාව අසීරු තාවයකට පත් වන්නේ නැත. ලංකාව කුඩා රටක් වුවද තනි මධ්‍ය ගත මෙහෙයවීමකින් ආර්ථික ක්‍රියාකාරකම් හැසිරීම ලෙහෙසි පහසු නොවේ. කෙසේ වෙතත් නිවෙස් වලට කොටුව සිටින ජනතාව යළිත් තම අතීතයට එබිකම් කරමින් මහ පොළව සමග පොර බදන්නට පටන් ගෙන ඇත. මිරිස් පැළයක් බටු පැළයක් මයියොක්කා දණ්ඩක් වැල් අලයක් මහ පොළවට දැමිය යුතු කාලය මෙයයි ඉවකින් මෙන් කියා දී ඇත. ආණ්ඩුව ඒවාට පිවිසෙන්නට ප්‍රථම මේ ජානමය හැකියාව ඔවුහු උරගා බලන්නට පටන් ගත්හ.ජනතාවගේ ආහාර ඇඳුම් පැළදුම් බෙහෙත් සහ නිවෙස් යන මූලික අවශ්‍යතාවන් සඳහා ස්වයංපෝෂිත බව ලබා ගැනීම ට අවශ්‍ය සම්පත් රට තුළ පිහිටා තිබේ.පසුගිය දශක කීපය තුළදී විවෘත ආර්ථක සංකල්පයන් මත මේ ස්වයංපෝෂිත භාවය යටපත් කොට තැබූහ.මේ නිසා ජනතාව වේගයෙන් ඇදී ගියේ තොරොම්බල් විච්චූරණ මත යැපෙන ආර්ථිකයකටයි. අද එහි ප්‍රතිවිපාක ඇස් පනා පිට දකින්නට ඇත.තවත් මාසයක් රටම වසා තැබුවහොත් අනිවාර්යයෙන්ම විශාල දුර්භික්ෂයක් පැමිණෙනු නිසැකය. රාජ ධම්මො ප්‍රජා රක්ඛා යයි පෙර සිරිත කියා දෙයි. එහි ගැඹුර දන්නෝ අවංක බෝසත් පාලකයන්ය.
       වසංගත වලින් බේරීමට මූඛ වාඩම් දැමිය යුතු යැයි සෞඛ්‍ය අංශ උපදෙස් දෙති. එහෙත් රෙදි කැබැල්ලේ මුඛවාඩම පවා ගෙන එන්නට පිරටට යැපෙන්නට සිදුව ඇත. රෝහල් වල භාවිත කරන පුළුන් ටික ගෝස් ටික පවා වැඩි වශයෙන් පිටරටින් ගෙන්වති. ගමේ තිබූ පෙහෙකම් හල් වසා දමා ඇඟ ලුම්කම්හල් වලට දක්කන ලද ගැමි තරුණියන් අද අනාථව ගම් රටවල් වලට දිව යති. ඇමරිකාවෙන් ලැබෙන හිඟන කෝටාවෙන් නඩත්තු කළ මේ ඇඟලුම් කම්හල් දේශිය අවශ්‍යතාවන් සඳහා යොදා ගත්තේ නම් කෙතරම් ආඩම්බරයක්ද.පේෂකර්මය පිළිබඳ නිපුණතාවයන් අපේ මූන් මිත්තන් අතර තිබුණේ කුවේණි ගේ කාලයේ සිට බව ඇත්තකි. එහෙත් එදා සිට වර්තමානය දක්වා එම ශිල්පයන් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන පැමිණි පිරසට අද ඇත්තේ ලොකු වටිනාකමක් නම් නොවේ. මෙවැනි එක පරම්පරාවක් තමයි. උඩුදුම්බර තලගුණේ කියන ගම්මානයේ ජීවත් වුණේ.රෙදි වියන්න පමණක් නොවෙයි  හැඩට වැඩට රටා දමන්නත් ඔවුන්ට දක්ෂතාවයක් තිබුණා. ඔවුන් ගේ මුල් පරම්පරාවන් ගමේ කපු වවල නූල් කැටීම කරලයි. නූල් හදා ගත්තෙ.
         විසිවන සියවස මුල් කාලය වන විට මේ පාරම්පරික ශිල්පීන් ගැන උනන්දුවක් ඇතිවී උඩරට කලා සංගමය බිහිවූ බව පැවසෙයි. මේ සංගමයත් සමග කටයුතු කළ ආනන්ද කුමාරස්වාමි මහතා තලගුණේ ගම්මානයට ගොස් තොරතුරු එකතු කොට ඔහුගේ මධ්‍යකාලීන සිංහල කලා නම් ග්‍රන්ථයට ඇතුලත් කර තිබේ.වර්තමානයේ එම පරම්පරාවේ සාමාජිකයන් ඒ අතීතය ගැන මෙසේ පවසා සිටිති.
     ටිකිරාති කියල සිටිය අපේ මිත්තනියක් තමයි තලගුණේ රෙදි පිළි රටා ඉදිරිපත් කරල තියෙන්නෙ. එදා තලගුණේ කපුවත්ත කියන ඉඩම් වල කපු වවල නූල් කැටල නූල් සායම් පොවල තමයි රෙදි වියල තියෙන්නෙ. පොළවේ සවි කළ අලුව තමයි රෙදි වියන යන්ත්‍රය. මේ අල්වලෙ රෙදි වියන එක ආසියාතික බොහෝ රටවල තියන ක්‍රමයක්. නමුත් අපේ අළුව අපටම ආවේණිකයි. වර්තමාන රෙදි වියන යන්ත්‍ර යේ ෂටල් එකට  අපි කිව්වේ නඩාව කියලයි.වොප් එකට කීවේ. නූල් හැදය කියලයි.රීඩ් එක පනාව යනුවෙන් නම් කලා. නූල් ඔතන යන්ත්‍රය හුළුදෑවයි. ඔහොම සවිමත් භාෂාවකින් තමයි මේ හැම දෙයක්ම තේරුම් කරල දීල තියෙන්නේ. අපේ පරපුර රාවණා යුගයේ සිට පැවතෙනවා  කියල තමයි අහල තියෙන්නේ. ඉන්දියාවෙන් ලංකාවට ආ ශිල්පීන් නිසා අපි වෙනස් වුණේ නැහැ.වර්තමානයේ තලගුණේ පවුල් දහයක පමණ මේ රෙදි පිළි කර්මාන්තය කෙරෙනවා. අපිට හොඳ වෙළඳෙ පළක් තිබෙනවා. නමුත් ක්‍රමයෙන් අපේ දූදරුවන් මේ කර්මාන්තයෙන් ඈත් වෙලා යනවා. නමුත් මම  මගේ දරුවන්ට මෙය උගන්වලයි තියෙන්නෙ.

          දුම්බර රටාවෙන් හැඩ ගැසුණු පුරාණ දිය කච්චිය අද වියමනට යන්නේ නැත.රටා දැමූ බුලත් මඩිස්සලයද එසේමය. ඒවා කෞතුකාගාරයට එක් වී තිබේ.අලුව ප්‍රදර්ශන උපකරණයක් පමණි. නමුත් ඉන්දියාව බුරුමය වැනි රටවල තවමත් මේ අලුවෙන් වැඩ ගන්නා හැටි අන්තර්ජාල තොරතුරු වලින් හෙළිවෙයි. තලගුණේ හේන් වල කපු වැවීමෙන් පසු කපු ඇට වෙන් කරන්නට ගත් යන්ත්‍රය කපු කපන යන්ත්‍රයයි. මේ කපු කපන යන්ත්‍රය වටා එක් රොක් වී තලගුණේ අඟනුන් කපු කැපූ හැටි කියැවෙන පුරාණ කවි සිවුපද දෙකක් දක්වමින් මෙහි සඳහන් කරනු වටී.ඒ එදා තලගුණේ පෙහෙකරුවන් ගේ ලෝකය විය.
මූකලන් කොටා කපු ඇට ඉසින්නේ. දෙපෙති වෙලා පැලපත ලොකුව යන්නේ
සමසක් ගිය කලට මල් බොකල වන්නේ-වෙසක් මසට සුරතල් කපු පිපෙන්නේ
රටින් ගෙනා වද විරුදු යන්තරේ - මෙරට තිබෙන්නේ කපු කපන යන්තරේ
ගැරෙන්ඩියට මතුලට අහයිද මන්තරේ -දී යන් ළඳේ නුඹ කපු කපන යන්තරේ
අඳුරු නීතියට හිරවී සිටින සමයක අපේ ග්‍රාමීය ආර්ථකය ක්‍රමයෙන් ක්ෂය වී යන බව පැහැදිලියි. පිටරටින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය පමණක් නොව රෙදි පිළි පවා ඉදිරියේ දි හිඟ වේවි. එ නිසා ගමේ තිබෙන පේෂ කර්ම ශාලාවලට නැවත පණ දී රෙදි පිළි වියාගතහොත් අපගේ මූලික අවශ්‍යථා වලින් එකක් පිරිමහගන්න පිළිවන් වේවිි.



Wednesday, April 1, 2020

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අර්බුදය ගැන රජය සැලකිලිමත්ද


                    
              ලංකාවේ ජීවත් වන බහුතර ජනතාවගේ ජීවනෝපායන මාර්ගය වන්නේ ගොවිතැනයි.ගොවි තැනට සාපේක්ෂකව එයට සේවා සපයනබොහෝ පිරිසක්ද එම ආර්ථිකයට ඇතුලත්ය.එසේම අනෙකුත් සියලුම දෙන  ජීවත් වීම පිණිස විවිධ ‌ජීවනෝපායන මාර්ගයන් අනුගමනය කරති..රැකියාවන්හි නිරත අය ව්‍යපාරයන්හි නිරත අය මාසයක නිමාවේදී වැටුපක් අතට ගන්නා අතර ව්‍යාපාරිකයන් තමන් ‌ගේ බැංකු ගිණුම් තර කර ගනිති. නමුත් බහුතර පිරිසක් ගමේ තිබෙන ‌දේ වැඩි වර්ධනය කර ගනිමින් ඒවාට ‌සේවා සපයමින් යැපේ.මේ තත්වය සම්බන්ධ නිවරදි වාර්තා ජන සංගණනයන් තුළ යම් තරමකින් හමු වුවද ඒවා සම්පූර්ණ නැති බව තේරුම් යන්නේ රට ආපදා අවස්ථාවකට පත් වූ විටය.වර්තමාන වසංගත තත්වයන් හමුවේ එවැනි නිවැරදි සංඛ්‍යාලේඛන මත රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම අඛණ්ඩ ඇඳිරි නීතියක් ක්‍රියාතමක කරන කල්හි. සේවා ආරථිකය බිඳ වැටෙන බැවින් ජන ජීවිතය අඩාල නොවන පරිදි පවත්වාගෙන යෑමට නිවරදි සංඛ්‍යාලේඛන මත රජය සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුය.
පහත දැක්වෙන්නේ ලංකාවේ ජනතාව ග්‍රාමීය වශයෙන් සිදු කරන ආරථික ක්‍රියාවන් කීපයකි. මේවා ඒකිනෙකට බැඳී පවතින අතර එකක් බිද වැටෙන කලිහ් අනෙකටද පැවතිය නොහැකිය.
1/
පුවක් ඒකතු කිරීම -පුවක් ‌තොග අපනයනය
2/
කුඹුරු ‌ගොවිතැන් කිරීම - වී ‌කෙටීම -සහල් පිටි කර්මාන්තය
3/
එළවලු ‌ගොවිතැන - එළවලු ‌තොග රැස් කිරීම ප්‍රවාහනය
4/
‌පොල් වගාව - ‌පොල් ‌තොග රැස් කිරීම -‌කොප්පරා කර්මාන්තය - ‌තෙල් සිඳීම
5/
කුලුබඩු ‌බෝග වගා කිරීම -කුලු බඩු එකතු කිරීම - අපනයනය
6/
පළතුරු වගාව - පළතුරු ‌තොග රැස් කිරීම
7/
මල් වගාව -මල් ‌තොග වශයෙන් සැපයීම
8/
කටුසර ‌භෝග වගාව - ධන්‍ය වලින් පිටි සකස් කරවිකිණීම
9/
මැටි වළන් නිෂ්පාදනය
10/
කම්මල් වැඩ - ‌වෙල්ඩින් වැඩ
11/
‌පොල් කැඩීම - ගස් කැපීම -‌පොල් ලී පැලීම
12/
දැව භාණ්ඩ නිෂ්පාදනය
13/
විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය
14/
‌දේශීය ඖෂධ එකතු කිරීම -සිංහල ‌බෙහෙත් සල් පවත්වාගෙන යෑම
15/
‌පෙදරේරු වැඩ
16/ පොල් ලෙලි වලින් කොහු සකස් කිරීම -කොහු ඉදල් නිෂ්පාදනය-අපනයනය
17/ ජ්‍යෙතිෂ සේවා සැපයීම
18/ පේෂකර්මාන්තය
19/ කුඩා තේවතු වගාව - තේ දලු නෙලීම
20/ රබර් වගාව -කිරි කැපීම - කිරි සහ රබර් ෂීට් එකතු කිරීම

මෙහි සඳහන් වන්නේආර්ථික ක්‍රියාකාරකම් කීපයක් පමණකි. මෙම ක්‍රියාකාරකම් තුළින් ආහාර සුරක්ෂිතතාවය ඇතිවන අතර හදිසි ව්‍යසනයකදී වුව ගමේ ජනතාව කිසිවෙකුටත් අත පෑමක් නොමැතිව සිය දිවි ගමනේ  යෙදෙති.නමුත් නාගරික ජනතාව එසේ නොවේ. ඔවහු වෙළෙඳ කටයුතු වල යෙදී සිටින අතර විවිධ ආයතනයන්හි රැකියාවලද යෙදී සිටිති. මාසික වැටුපක් ලබන පිරිසමධ්‍යම පන්තියට අයත්ය. දෛනික වැටුපක් ලබන පිරිස ඉතා විශාලය.නාගරය තුල ආහාර සුරක්ෂිතතාවය පවතින්නේ සිල්ලර වෙළෙඳ සල් සහ සුපරි වෙළෙඳ සල් ජාලයෙහි ශක්තියෙනි.මේවා යම් හෙයකින් බිඳ වැටුනහොත් දෛනික වැටුප් ලබන්නන් විහාල පිරිසක් අනාත වේ.ගමට මෙම තත්වය දරා ගැනීමට හැකි කාල සීමාව ඉහළය. නමුත් පෙර සඳහන් කළ ගමේ සේවා ආර්ථිකය බිඳ වැටුණ හොත් ආහාර සුරක්ෂිතතාවය තිබුනද ඒවා සපයා ගැනීමට තිබෙන අවස්ථාවන් නැතිවේ. නාගරික ජනතාව සිය මූලික ආර්ථික ක්‍රියාකාරකම් වලට  අමතරව නවීන තාකෂණයෙන් යුතු සේවා ආර්ථිකයකින්ද යැපේ. .නගරයක තිබෙන සංනිවේදන ආයතනයේ සිට විවිධ තාක්ෂණික සේවා සපයන්නන් මේ වන විට ජනතාවගේ අවශ්‍යතාවයන් මත ශක්තිමත්ව පවතී. ‌‌මෙම ආර්ථිකය මගින් ජනතාව ජීවත් කරවීමට කරන ‌සේවයද සුලුපටු ‌නොවේ.‌
       ග්‍රාමීයආර්ථිකය මගින් ලංකාවේ රුපියලේ අගය වැඩි කරලීමට උපකාරි විය යුතු නමුත් මහ බැංකු වාර්තා අනුව එය සිදු වන්නේ අල්ප වශයෙනි.එහෙත් ඒ මගින් ජනතාව ජීවත් කරවයි. කන්කෙඳිරියක් නොමැතිව රට පාලනය කර ගැනීමට පාලකයන් හට  හැකිවන්නේ සාම්ප්‍රදායික ආර්ථිකයේ බලයෙනි. ‌මෙම ආර්ථිකය බිඳ වැටීමක් සිදු වන කල්හි සමස්ත ආර්ථිකයම ශූන්‍ය කරලීමට බලපෑම් ඇති කරයි. වර්තමානයේ ඇතිව තිබෙන වසංගත තත්වය හමුව ආණ්ඩුව ඇඳිරි නීතිය දීර්ඝ වශයෙන් තබා ගැනීමෙන් ඉහතකී ග්‍රාමීය ආර්ථික ක්‍රියාකාරකම් සියල්ල බිඳ වැටී ඇත. එම නිසා නිවෙස් වලට ආහාර සැපයීමේ සිට විවිධ සේවා සපයන්නට පාලකයන්ට සිදු තිබේ.මෙය මහත් අසීරු කාරණයකි. ජනතාව තූළ පවතින අවශ්‍යතාවයන් එකිනෙකට වෙනස් බැවින් ඒවා අඩුපාඩුවක් නොමැතිව සැපයීම ලෙහෙසි පහසු කරුණක් නොවේ.  උදාහරණයක් වශයෙන් වට්ස්ඇප් සහ වයිබර්  මගින් ඉංග්‍රීසි බෙහෙත් වර්ග ගෙන්වා ගැනීම යෝජනා කිරීමයි. එම නවීන තාක්ෂණය ‌කෙරෙහි විශ්වාසය තබා සිටින අය කල්පනා කළ යුතු ‌දෙයක් නම් අන්තර්ජාලය හරහා ‌ද ‌‌වෛරස ගමන් කල හැකි බවයි.එසේම මෙම බෙහෙත් වර්ග වරින් වර දොස්තර වරුන් විසින් වෙනස් කරන අවස්ථා තිබේ. දොස්තරවරයෙකු මුණ ගැසීමට අවස්ථාවක් නැති සමයක එම බෙහෙත. දිගටම ගැනීම තුලින් ඇති වන බියකරු තත්වයට. අප මුහුණ දෙන්නේ කෙසේද.
    එම නිසා සමාජ සම්බන්ධතා විශාල වශයෙන් දුරස්තර ‌නොකර අදාල වසංගත ‌රෝග වලට නිවරදි ඔසු ‌සොයා ගත යුතුය.ජපානය විසින් එයට ඔසුවක් සොයා ගෙන ඇතැයි කියන අතර එය කඩිනමින් ගෙන්වා ගැනීමට රජය කල්පනා කරයි. නමුත් මේ රටේ තිබෙන පාරම්පරික ඔසු වට්ටෝරු පදනම් කොට නව බෙහෙත් සොයා ගැනීමටද හැකිය. ඒයටද  අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණයක්ද තිබේ.විශේෂයෙන්ම ‌දේශීය ‌වෛද්‍ය වරුන් ද සාභාගි කරවා ගැනීමෙන් දැනට සිටින ‌රෝගීන් සුවපත් කරගත යුතුය.බොරැල්ල ආයුර්වේදය මෙන්ම නාවින්න ආයුර්වේදය  සතුව එවැනි පහසුකම් රාශියක් තිබෙන අතර ඒවායින් වැඩ ගැනීම සෞඛ්‍ය ඇමතිතුමියගේ වගකීමකි. ග්‍රාමීය ආර්ථිකය තවදුරටත් බිද වැටීමට සැලැස්වීම රටට ඉතා අහිකකර ප්‍රතිඵල ළඟා කරදෙන්නකි. එම නිසා රොගීන් ඉතා ඉක්මනින් සුවපත් කර ගැනීමට බටහිරි වෛද්‍යවරුන් සහ දේශීය වෛද්‍යවරුන් ගෙන් සමන්විත ඒකාබද්ධ යන්ත්‍රණයක් සකස් කරන අතරතුර ග්‍රාමීය අංශයේ යටිතල පහසුකම් ඉතා ඉක්මනින් යථා තත්වයට පත් කළ යුතුය.එසේ ‌නොමැති වුවහොත් රට පුරා දුර්භික්ෂයක් ඇති වීම වැලැක්විය ‌නොහැකිය.