පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, October 18, 2023

ව්‍යවස්ථාවත් සමග සෙල්ලම් කළහොත් ලෙල්ලම් වෙයි

 


                                

          උසාවියක විනිශ්චය ආසනය ඉදිරියට පමුණුවන චූදිතයෙකුට චෝදනාවන් ඉදිරිපත් කල විට ඔහු එය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ යන්න සාමාන්‍ය පිළිගැනුමයි.වරදක් කල පසු දැන හෝ නොදැනීම යන්න උසාවියට වැදගත් නොවේ. ඒ නිසාම වින්දිතයන් විසින් තමන් වෙනුවෙන් කතා කිරීමට නීතිඥයන් ඉදිරිපත් කරති. අදාල චෝදනාවෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය නීතිය ගැන ඔවුහු විනිශ්චය කාරවරයා ඉදිරියේ තර්ක කරනු ලබයි. සැබවින්ම සාමාන්‍ය ජනතාව අතරින් බහුතරයක් නීතිය දන්නේ නැත. නීතිය පිළිබඳව සාමාන්‍ය දැනීමක්වත් ලබා දෙන පාසලක් රටේ නැත. ඒ අනුව නීතිය නොදැනීම යන්න පැහැදිලි සත්‍යයකි. එසේ නම් ඒ පුදගලයන්ට දඩුවම් පැමිණවීම කෙතරම් සාධාරණද යන්න කල්පනා කල යුතුය. පනත් මගින් හෝ දණ්ඩ නීති සංග්‍රහය තුළ පවතින නීතිවලට අමතරව මේ රටේ මූලික නීතියක් වෙයි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. විධායකය ව්‍යවසථාදායකය සහ අධිකරණය පැවැත්විය යුතු ආකාරය එහිදී විග්‍රහ වේ.පාර්ලිමේන්තුව විසින් පණවනු ලබන නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නම්  ඉහල අධිකරණයකට පැමිණිලි කොට තර්ක කොට ඒ ප්‍රතිපාදන වෙනස් කිරීමේ බලයක් ජනතාවට තිබේ. නමුත් එතනදීද විනිශ්චයකාර තුමා ඉදිරියේ කරුණු දක්වන්නේ තීතිඥයන් විසිනි. නොදන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතා කිරීමට සාමාන්‍ය ජනතාවට නොහැකිය.

   මෙම මූලික නීතිය මේ වන විට 21 වතාවක් සංශෝධනය කර තිබේ.ඒ සෑම විටකම ඒ වෙනස් කම් සම්බන්ධව ජනතාව දැනුම්වත් වූයේ නැත. විශේෂයෙන්ම 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද්දේ ඉන්දීය බලහත්කාරය මතය. එකල පැවති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අත කරකවා බිය පත් කර ඔහු ලවා සම්මත කරවන ලද මූලික නීතිය මගින් ලංකාවට පළාත් සභා ව්‍යුහයක් ආදේශ කරන ලදී. උතුර සහ නැගෙනහිර පළාත් වල අයිතිය වෙනුවෙන් සටන් වැද සිටින ත්‍රස්තවාදී සංවීධානයක් වූ කොටි සංවිධානයද ඔවුනට අනුබල දුන් විදේශ රටවල්ද මේ යෝජනාව ගෙන ඒ මට දහිරිය දෙන ලදී. දෙමළ ජනතාවට අවශ්‍ය බලය ලබා දීම මෙහි අරමුණ වුවද සාමාන්‍ය දෙමළ ජනතාවට ලැබුණු බලයක් නැත. ඒ වෙනුවට කොටි සංවිධානයේ දේශපාලන සංවීධානය වූ ටී.එන්. ඒ.පක්ෂයේ අනුගාමිකයන් හට බලය ලැබුණි. නැතිනම් දේශපාලනය කිරීමට බලය ලැබුණි. ඒ ආකාරයටම දකුණේ දේශපාලන පක්ෂ වෙතද බලය ලැබුණි. තම පක්ෂයේ රැළි සඳහා ජනතාව බස් වල පටවා ගෙන පැමිණීම ද පෝස්ටර් ගැසීමටද පළාත් සභා වලට වෙන් වන මුදල් වලින් කොටසක් මංකොල්ල කෑමටද මහ ඇමතිට අවශ්‍ය වාහන පාවිච්චි කිරීමටද තිබෙන ඉඩකඩ විශාල නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන කිසිම දේශපාලන පක්ෂයක් පළාත් සභා අහෝසි කරලීමට පක්ෂ නැත.

         මේ තත්වය දඩමීමා කර ගන්නා උතුරේ දේශපාලන පක්ෂ  වර්තමානයේ පත්වන සිංහල නායකයන් ට බලපෑම් කරමින් උතුරේ බෙදුම්වාදී ප්‍රවණතාවයන්ට අවශ්‍ය පහසුකම් ලබා ගනිති.චන්ද ප්‍රතිශතය වෙනස් කර ගැනීම දෙමළ රාජ්‍ය භාෂාව කිරීම පොලිස් හා ඉඩම් බලතල ලබා ගැනිමට උත්සාහ කිරීම. උතුරෙන් සිංහල හා මුස්ලිම් ජනතාව එළවා දැමීම ආදී තත්වයන් නිර්මාණය වීම නිසා පළාත් සභාව රටට මර උගුලක් වී තිබේ. විශාල මුදල් කන්දරාවක් නිකරුණේ නාස්ති වී යෑම මෙහි ප්‍රතිඵලයයි.මේ වෙනස් කම් පිළිබඳ උනන්දුවක් ජනතාව තුළ නැත. ඔවුන් බහුතරයක් තමන්ගේ පක්ෂය අනුගමනය කරන පිළිවෙත අනුගමනය කරති. පක්ෂයේ අනුගාමිකයන් වශයෙන් පුද්ගලිකව ඔවුන් ලබන වර ප්‍රසාදයන්ට ගිජු වී මූලික නීතියේ රටට නොගැලපෙන වෙනස් කම් දෙස නොදුටුවා සේ සිටිති.

        මේ වන විට රටේ සම්පත් බහුතරයක් විදේශයන්ට පාවා දී සිටින වත්මන් ජනපතිවරයා  කටයුතු කරන විට මූලික නීතිය නොදත් රටේ නීතිය නොදත් ජනතාව  නිහඬව බලා සිටිති. තමන්ගේ පක්ෂය විරුද්ධ වන්නේ නම් පමණක් පෙළපාලි යති.ව්‍යවස්ථාදායක සභාවන් ගැන කොමිෂන් සභාවන් පිළිබඳ පාර්ලිමේන්තුව තුළ පණ්ඩිත කතා කියමින් ජාත්‍යන්තරයට ඇමතූ වත්මන් ජනපති වරයා. අද ව්‍යවස්ථා දායක සභාවත් කොමිෂන් සභාත් නොසලකා හරිමින්  ව්‍යවස්ථා විරෝධි ව කටයුතු කිරීම පාර්ලිමේන්තුවට දැනෙන්නේ කෙලෙසදැයි විමසුවහොත් ලැබෙන උත්තරය නම් පක්ෂය තීරණය කරන දේට පිටින් යෑමට නොහැකි බව පැවසීමයි.ඒ නිසා ව්‍යවස්ථාව පිළිබඳ ගෞරවයක් නැති එය නොපිලිපදින මිනිසුන් සහ දේශපාලනඥයන් සිටින යුගයක ඒ ව්‍යවස්ථාවටම නවතම කෑලි එල්ලා ඇතැම් විට විෂ මරා ඉදිරිපත් කිරීම විහිලුවට කාරණයකි. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුගේ පාලන කාලය තුළදී නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට කමිටුවක් පත් කර තිබුණි. රොමේශ් ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ඒ කමිටුව විසින් සකස් කර ලද වාර්තාවද ජනපති වරයාට භාර දී තිබුණි. නමුත් හිටපු ජනපති වරයා එය ජනතාව වෙත ඉදිරි පත් නොකළේය.හේතුව අපි නොදනිමු. මීට කලින් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා විසින් පත් කරන ලද ජයම්පතී වික්‍රමරත්න කමිටු වාර්තාව නම් සමාජ ගත වී ඒ පිළිබඳ මහත් ආන්දොලනයක් ද ඇති විය.

          මේ කියන ව්‍යවස්ථාව සකස් කර තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. එහි සිංහල පරිවර්තනයක් ලබා දීමටද කමිටු සාමාජිකයන් අසමත් වී තිබුණි. එවැනි අවස්ථාවක පසුගියදා එය ජනගත කරලීමට රැස්වුණ විට එහි අඩංගු කරුණු පිළිබඳ දැඩි විරෝධයක් එල්ල විය. අවසාන මොහොත දක්වා එහි සත්‍ය පිටපත ජනතාව වෙත ඉදිරිපත් නොවුණු අවස්ථාවක එවැනි විරෝධයක් මතුවීම ස්වභාවිකය. එසේම ඒ පිළිබඳ යම් සංකථනයක් පැවැත්වේ නම් ඊට කලින් එහි සිංහල සහ දෙමළ පිටපත් සමාජය වෙත් මුදා හැර තිබිය යුතු වෙයි. එසේ නොවූ  විට මෙය ව්‍යවස්ථා සෙල්ලමක් විනා වෙනත් යමක් නොවන බවට සමාජ මතයක් ඇති වීම ස්වභාවිකය. ඉදිරි වර්ෂයේ දී පැවැත් වීමට නියමිත ජනපතිවරණය අවලංගු කර ව්‍යවස්ථාව වෙනස් කර අගමැති රටේ නායකයා කරලීමේ නව ව්‍යවස්ථාවක් කරළියට පැමිණෙන වගටද මේ අතර ආරංචියක් වෙයි.එහි අරමුණ නම් වත්මන් ජනපති වරයා අගමැති වී නාමික වශයෙන් තමන්ට හිතවත් පුද්ගලයෙකු ජනපති බවට පත් කර ගැනීමයි. 1978 ව්‍යවස්ථාවේ බොහෝ සංශෝධන ගෙන එන ලද්දේ පක්ෂ වලට හෝ විධායකයට අවශ්‍ය පරිදි බලය සීරු මාරු කර ගැනීමටයි. මේ තත්වය නිසා ව්‍යවස්ථාව පීලිබඳ තිබෙන ජනතා විරොධය දිනෙන් දිනම උත්සන්න විය. එසේම ජනපති ක්‍රමය පීලිබඳවද විශාල විරෝධයක් උත්සන්න විය.රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමද එහි තුළ තිබෙන විධායකය රටට ගැලපෙන ආකාරයට සකස් කර ගැනීමටද තවමත් අසමත්ව තිබෙන්නේ පෙර කී පරිදි බලය සීරු මාරු කර ගැනීමට වලිකන ආත්මාර්ථකාමී දේශපාලනඥයන් සහ පක්ෂ දේශපාලනය විසින් රටට දායාද කරන ලද බල පොරය බව කිව යුතුයි.

     ජනපති ක්‍රමය රටට අවශ්‍ය බල යන්ත්‍රණයකි. සිංහල බෞද්ධයන් ගේ මුදුන්මල්කඩ වන දළදා වහන්සේ පිළිබඳ භාර ධූර වගකීමද රටේ ආරක්ෂාව පිළිබඳ භාර ධූර වගකීමද පැවරී තිබෙන්නේ රටේ නායකයා වෙතය. එවැනි නායකයෙකු පත් විය යුත්තේ සමස්ත දිවයිනේම ජනතාවගේ චන්දයෙනි. නැතහොත් පෙර සිරිත පරිදි රාජකීය පවුල් වලිනි. එලෙස ජනතා සම්මතයෙන් පත් වූ රාජ්‍ය නායකයාට තිබෙන බලතල සම්මත ව්‍යවස්ථාවෙන් සහ චාරිත්‍ර ව්‍යවස්ථාවලින් බැඳී පවතී. මල්වතු නායක ස්වාමීන් වහන්සේ විසින් පැල්ක් ආණ්ඩු කාරයාට පැවසූ පරිදි රජෙකුට හිතූමතේ කටයුතු කරන්නට නොහැකිය. ඔහු පෙර සිරිත මගින් සහ දශ රාජ ධර්ම වලින් බැඳී සිටිති. එසේ නොකළහොත් තමන්ගේ  හිස සත්කඩකට පැලේ යැයි විශ්වාසයක් පැරණි සිරිත් වල තිබුණි. ඉදින් ජනපතික්‍රමය පිළිබඳ අපට බියක් ජනිත කර තිබෙන්නේ රටේ ස්වාධීනත්වය ශූන්‍ය කොට රට බෙදුම්වාදයට ඇදගෙන යන චන්ඩාලයන් විසිනි. අගමැතිවරකුට මේ බර දරන්නට නොහැකිය.පාර්ලිමේන්තුව ජනතා පරමාධිපත්‍යට යටත් නොවේ.එය යටත් වන්නේ නොපෙනෙන දෙවියෙකුටයි. එසේම සල්ලි වලට විකිණෙන පාර්ලිමේන්තුවකට ඒ බර දරන්නටද නොහැකිය. ඒ නිසා යම් කිසිවෙකු ජනපකි ක්‍රමය අවලංගු කර අගමැති ක්‍රමය ඉදිරියට ගෙන ඒමට තැත් දරන්නේ නම් ඔහු රට ආගාධයකට රැගෙන යයි. ඒ නිසා ව්‍යවස්ථාව සමග අනවශ්‍ය සෙල්ලම් නොකර විදේශ බලවේගයන්ට එරෙහි සටන ශක්තිමත් කර ගැනීම අද දවසේ වගකීම බව පැහැදිලිව සඳහන් කළ යුතුය..

මතුගම සෙනෙවිරුවන්