පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, February 14, 2021

කුරුන්දි විහාරයෙන් මතුවන්නේ යූප ගලක්ද ශිව ලිංගයක්ද

 

 

 


                                

           ශ්‍රී ලංකා කඩයම් පොත දක්වන පරිදි රුහුණු මායා පිහිටි නම් තුන්සිංහලේ රට නමින් වූ ස්ථාන රාශියක් ඇත. පිහිටි රට යනු සිංහල ශිෂ්ඨාචාරයේ හදබිමයි එය රජ රට යනුවෙන්ද ව්‍යවහාර වේ. පිහිටි රටේ පැවති කුරුඳු ගමු රට යනු කුරුන්දි රට්ඨ යනුවෙන් දැක්වූ බිම් පෙදෙසයි.     සිංහලයේ පැවති පැරණි හෙළ අටුවා අතර ජනප්‍රිය වූ කුරුන්දට්ඨ කතාවට එම නම ලැබුනේ කුරුන්දික විහාරයේදි ලියන ලද නිසා බව සඳහන් වෙයි. බල්ලාඨ නාග රජු විසින් කරවන ලද මෙම විහාරය කුරුන්දවාශෝක, කුරුන්දපාසක යන දෙනමින්ම මහවංශ පිටපත් වල සඳහන් වෙයි. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි පවසන පරිදි      කුරුන්දවාශෝක කුරුන්දවාපි අශෝක යන්න අක්‍රමවත් ලෙස කෙටවීමකි. කුරුඳු වැව අසල අශෝක විහාරය ඒ නමින් හැඳින්වූවා විය හැකිය. කෙසේ හෝ මේ සියල්ලේම කුරුන්ද යන කොටස සුරැකී තිබේ.  වර්තමාන "කුරුන්දම" යන්න මේ නමේම ව්‍යවහාරයකි. ඒ අනුව සිංහල අට්ඨකතා රචනා කරන ලද යුගයේ එනම් මිහිඳු මාහිමියන් වහන්සේ ගේ ආගමනයෙන් පසු යුගයේ සිටම කුරුන්දගම හා එම විහාරය පැවත ඇත. එම නම අද දක්වාම වෙනස් වී නැත. සිංහල අටුවා සාහිත්‍යයට අනුව මෙම විහාරයේ දී ද එක් අටුවාවක් ලියැවී ඇත. ලංකාවේ ශාසනික ඉතිහාසයේ අට්ඨකතා රාශියක් ගැන සඳහන් වේ.එය ගණනින් විසි අටකි.පච්චරියඅට්ඨකතා යනු පහුරක සිට රචනා කරන ලද්දකි.රයිගම පොකුණුවිට ශිලා ලිපියේ මෙවැනි අට්ඨ කතාවක් ගැන දැක්වේ.මේ පාළි අට්ඨ කතා අතර කුරුන්දි අට්ඨකතා ව ගැන දැක්වෙන්නේ ඉතා සැකවි විස්තරයකි.මෙම අට්ඨකතාව රචනා කරන ලද්දේ ලංකාවේ වර්තමාන නැගෙනහිර පළාතේ මුලතිව් නොහෝත් මූලදීප ආසන්න විහාරස්ථානයක සිටයි.මෙම අට්ඨ කතාව රචනා කිරීම නිසාවෙන්ම එම විහාරය කුරුන්දාවශෝක විහාරය ලෙසින් ඉතිහාසයේ හැඳින්වෙන්නට ඇත.. එසේ වී නම් ක්‍රි.පූ. යුගයේදී මෙම ප්‍රදේශය ජනපදයක් ව දියුණුව පැවති බවත් සිංහල බෞද්ධයන් මෙහි විසූ බවත් පැහැදිලිය. මෙහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා සියගණනක් වැඩ සිටි බවටද සාධක හමුවෙයි. මනෝරථපූරණියේ සඳහන් වන එක් තෙර නමක් කුරුන්දක වාසී යනුවෙන් විශේෂණය කොට ඇත. උන්වහන්සේ ඵුස්ස්මිත්ත තෙර නමින් අටුවා වල දැක්වෙයි.  (නැගෙනහිර පළාත හා උතුරු පළාත සිංහල බෞද්ධ උරුමය -පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි)

         පදී රට යනු පදවිය ප්‍රදේශයයි.පදින්නරු යනුවෙන්ද ව්‍යවහාරයකි.එයද ශ්‍රී ලංකා කඩයිම් පොතේ සඳහන් වෙයි.කුරුඳු රට සහ පදී රට අතර ඉපැරණි සිංහල ජනාවාස රාශියක් තිබී ඇත. 2 වන පැරකුම්බා රජු (1236 - 1270) විසින් විනාශ කරන ලද මාඝ ගේ එක් බලකොටුවක් කුරුඳු වෙහෙර ආසන්නයේ පැවති බව ඉතිහාස විමර්ශනයෙන් දත හැකිය.. මේ කාලයෙන් පසු මාඝ පරපුරේ  ජාවක චන්ද්‍රභානු ලංකාව ආක්‍රමණය කළ අතර ඔහුගේ කඳවුරක්  ද මෙහි පිහිටුවාගත් බව දැක්වේ. කුරුඳු විහාරය අසල තන්නිමුරුප්පු වැව පවතී. නෙල්ලාරු ඔය හරස්කොට තන්නිමුරුප්පු වැව කරවා ඇත. එය කුරුන්දම්මලේ කන්දට දකුණින් පිහිටා ඇත. මේ කන්දට උතුරු පැත්තෙන් කුරුන්දන්වාපි ( කුරුන්දන්කුළම ) පිහිටයි. මේ වැව් දෙකම පුරාතන නිර්මාණයන්ය..

    වංශ කතා වලින් සහ ජනප්‍රවාද ගත තොරතුරු අනුව කුරුන්දි විහාරය සියවස් ගණනාවක සිට බෞද්ධයන් වැඳුම්පිදුම් කරන ස්ථානයකි.චෝල ආක්‍රමණ මාඝ ආක්‍රමණ වලින් පසු දුබල වූ මෙහි සිංහල ජනතාව විවිධ ලෙඩ රෝගයන්ට ගොදුරුව මේ ප්‍රදේශයන් ජන ශූන්‍ය විය.උඩරට රාජධානි සමයේ අවසාන භාගයේ කීර්ති ශ්‍රි රාජසිංහ රජු සහ නිලමේවරු ද ලන්දේසි කොම්පඤ්ඤයද එක්ව අත්සන් කරන ලද හඟුරන්කෙත ගිවිසුම මගින් මුහුදේ සිට ගව්වක ප්‍රමාණයක් ලන්දේසින්ට අත්හරින ලදහ.මේ නිසාමුහුදු බඩ තීරය ඇරණු කොට එයට ආසන්න රට තුළ ප්‍රදේශ තවදුරටත් ජනශූන්‍ය විය.කුරුන්ද විහාරය වෙඩිකිරිනාමලේ නෙහොත් වඩ්ඩමාන පර්වතය කොච්චයි සමලන්කුලම් හෙවත් වර්තමාන සපුමල්ගස්කඩ  ගුරුකන්ද ආදී පැරණි බෞද්ධ සිද්ධස්ථාන විනාශමුඛයට ගියේ මේ නිසාය.තිස්වසරක් පැවති කොටි ත්‍රස්ත සමයේ දී මෙවැනි ස්ථාන කොටිබංකර බවට පත් විය

    

     පසුගිය යහපාලන රජයේ ස්ථාවරය වූයේ මෙවැනි ‌ෙඑතිහාසික පුදබිම් උතුර සහ නැගෙනහිර පාලනය කරන දෙමළ හෝ මුස්ලිම් දේශපාලඥයන් ගේ ගෝල බාලයන්ට රිසිසේ පරිහරණය කරලීමට ඉඩ සැලැස්වීමයි. පුරාවිදයා දෙපාර්තමේන්තුවට පවා මෙවැනි තැන් වලට අත ගැසීම සීමා කරන ලදී. ඒ තත්වය මත මුලතිව් ගුරුකන්ද විහාරයේ නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන උත්සවය පැවැත්වීමට එරෙහිව පවා තහනම් නියෝග පැනවිණ.  වත්මන් රජය බලයට පත් වූ පසුව මේ ප්‍රදේශයට වැඩම කළ සංඝයා වහන්සේලා කැළයට යටවූ බොදු පුදබිම් සොයා හෙළි පෙහෙළි කරමින් නැවතත් බෞද්ධ ප්‍රබොධයට අවස්ථාව සලසා දුන්හ.වවුනියාවේ ‌‌ෙඑතිහාසික සපුමල්ගස්කඩ විහාරයේ පිළිමගෙය සංරක්ෂණට බඳුන්වන්නේ ඒ පසුබිම මතය. එසේම සපුමල්ගස්කඩ විහාරයේ වැඩසිටින ශන්තබෝධී හිමියන් ගේ අප්‍රතිහත ධෛර්ය නිසා ‌ෙඑතිහාසික කුරුන්දි විහාරයද පීළිසකර කිරීමට රජය විසින් මුදල් වෙන් කරන ලදී.කාලානත්රයකට පසු එහි කරන ලද ගවේශණයක ප්‍රතිඵල වශයෙන් සතරවන උදය රජු විසින් කරවූ දහවන සියවසට පමණ අයත් ශිලා ලේඛනයක් කැලයේ යටවී තිබූ සම්මුඛ විය.අනතුරුව ස්ථුපය සංරක්ෂණ ආරම්භ කරන ලද්දේ වත්මන් සංස්කෘතික රාජ්‍ය ඇමති විදු වික්‍රමනායක මහතා ගේ ප්‍රධානත්වයෙනි.

       කුරුඳු විහාරයේ දැනට සිදු කරන ලද කැණීම්වලින්   පළමු සහ දෙවැනි සියවස්වලට අයත් පුරාණ ස්ථූපයක කොටස්  ද ශිලාමය ගජස්ථම්භයක් හෙවත් යූප ගලක් ද මතු කරන ගැනීමට හැකි වී තිබෙන බව   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇත. දාගැබේ උතුරු, නැගෙනහිර,දකුණු සහ බටහිර දිශාවන්ට හසුවන සේ අගල් හතරක කැණීම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. එම අගල්වල කැණීම් කටයුතු ඉදිරියට සිදු කරමින් පවතින අතර නැගෙහිර දිශාවෙහි කැනීම් කටයුතු පමණක් මේ වනවිට අවසන් කර තිබේ.

නැගෙනහිර  අගලේ කැණීම් කටයුතු මඟින් දාගැබේ පුරාණ ස්වරූපයට  අදාල තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ. තුන්මහල පේසාව මෙහි ඇති වැදගත්ම වාස්තු විද්‍යාත්මක ස්වරූපයයි. පේසා වළලු සමඟ දැනට දාගැබේ සම්පුර්ණ උස මීටර් 03යි සෙන්ටිමීටර් 50ක් පමණ වන බවට  පුරාවිද්‍යා කැණීම් නිළධාරීන් දක්වති. නැගෙනහිර දිශාවේ කළ කැණීමේ දී  මල් ආසනයක් තබා ඇති බවට තහවුරු  වී තිබේ. එය කැබලී කිහිපයකට පුපුරා හැර තිබේ.ස්ථූපයට අයත් යූප ගලේ කොටසක් නැගෙනහිර අගලේ කැණීම් ස්ථරයෙන් ලබා ගැනීමට හැකි වී ඇත. .  යූප කෑබැල්ලේ ඉහළ අටපට්ටම් වේ. මේ අතර දකුණු පස අගලේ කැණීම් මඟින් මෙන්ම උතුරුපස අගලේ කැණීම් මඟින්ද දාගැබේ සලපතල මළුවට අදාළ  තොරතුරු ද අනාවරණය වෙමින් පවතී..



      මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් සිය ලංකාවේ ස්ථූප නම් ග්‍රන්ථයේ දක්වන පරිදි තුන් මහල් පේසාව විශේෂ වාස්තු විද්‍යාත්මක ලක්ෂණයකි. අනුරාධපුර යුගයේ මෙවැනි මාලක සහිත ස්ථූපයන් කීපයක්ම දැක ගන්නට ඇත.කණ්ඨක චේතිය මිරිසවැටිය අභයගිරිය උදාහරණ වෙති. මහාවංශයෙහි මෙවැනි මාලක වලට පුප්ඵාධාන නම යෙදී තිබේ.මල්පියවසා යන්න සිංහල ව්‍යවහාරයයි. එනම් මේ මාලකයන් හි මල් පිදීමට තැනක් වෙන් කරවා ගෙන තිබේ. කැණීම් වලින් මතුව එන්නේ මෙලෙස මල් පිදීමට යොදා තිබූ මල් ආසනයයි.යූප ගල  ඉන්ද්‍ර කීලය යනුවෙන්ද ගජස්ථම්භය යනුවෙන් ද දක්වා ඇත. ලක්ෂ්මන් ඇඹූල් දෙණිය විසින් රචිත පෞරාණීක චෛත්‍ය හා එහි විද්‍යාත්මක පසුබිම නම් කෘතියේ දක්වා ඇති පරිදි ස්ථූපයට ඉහළින් ආරෝපණය වන අධිවොල්ටීය ධාරාවන් මේ ගජ ස්ථම්භය තුළින්  භූගත වේ. මේ යූපය සඳහා මුල් කාලයේ යොදා ගෙන තිබෙන්නේ දඹ දැවයකි.ගෙරවිලි ගොරතර විදුලි අකුණු මැද මහ දඹ රුක උනු මගෙ අම්මා යයි ජන කවියා දක්වන්නේ දඹ දැවයේ විශේෂත්වයයි. යූපය ශිලාමය  ව්‍යයහාරක් වූ පසුව ස්ථූපයන්හි  භාවිතයේ පූජනීය බව මෙන්ම අධ්‍යාත්මික පසුබිමද ක්‍රමයෙන්  සංවර්ධනය වී තිබේ.යූපයේ අට පට්ටම් හැඩය වර්ධනය වී ඇත්තේ යටකී ආරෝපණ ග්‍රහණය කර ගැනීමටයි.

  කුරුන්දි විහාරයේ කැණීම් වලින් මතු කර ගත් යූප ගල ශිව ලිංගයක් බවත් මෙහි පවතින්නේ ශිව කෝවිලක් බවටත් තර්ක කරන පිරිසක් මේ වන විට බිහි වී තිබේ. උතුරේ සහ නැගෙනහිර ප්‍ර දේශයන්හි පවතින සියලුම බෞද්ධ පුරාවස්තු වල ත්‍රී ශූල සවි කරමින් කෝවිල් ඉඳි කරන්නට උත්සාහ කරන ඔවුන්ට න්‍යායත්මක පසුබිම සලසා දෙන්නේ යාපන විශ්වවිද්‍යාලයේ සිටින ඇතැම් ජාතිවාදී ආචාර්ය වරුන්ය. ඒ අතර පුරාවිද්‍යා කටයුතු වල යෙදී සිටින එක් පුරාවිද්‍යා මහාචාර්ය වරයෙකුද සිටී.විශාව විද්‍යාලයෙන් බිහිවී යන සිසුන් මේ විද්වතුන් ගේ දෙමළ ජාතිවාදී මත විශ්වාස කරති. මෑතකදී පුරාවිද්‍යාවට බැඳුණු උපාධිදාරින් ද ඉගෙන ගෙන ඇත්තේ මේ රටේ සිංහල ඉතිහාසය නොව ඊලාම් ඉතිහාසයයි. එවැනි තත්වයක් යටතේ යූප ගලකට ශිවලිංගයක් යයි කීමට පෙළඹීඹ පුදුමයට කරුණක් නොවේ. කණගාටුවට කරුණක් වවන්නේ මෙරට විශ්ව විද්‍යාල පද්ධති වල සිටින ඉතිහාස ආචාර්ය මහාචාර්ය වරුන් හෝ පුරාවිද්‍යාඥයන් මෙවැනි දෙමළ ජාතිවාදී මත වලට ශාස්ත්‍රීයව පහර ගැසීට ඉදිරිපත් නොවීමයි.එම තත්වය තුළ මෙරට පමණක් නොව ජාත්‍යන්තරව පවා දෙමළ ජාතිවාදී ඉතිහාස මතවාදය හෙවත් ඊලාම් මතවාදය තහවුරු වන්නට අවස්ථාව සැලසී තිබේ. මාර්තු මාසයේ පැවැත්වෙන ජිනීවා සමුලුවේදී පවා මේ ජාතිවාදීන් උත්සාහ දරනු ඇත්තේ උතුරේ සහ නැගෙනහිර පවතින පුරාවිද්‍යා භූමි දෙමල කෝවිල් බව අර්ථ ගැන්වීමයි. .එයට කිසිසේත්ම ඉඩ දිය යුතු නැත.


 

 

 

 

+3

 

 

 

 

   

No comments:

Post a Comment