පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, May 17, 2026

අනුරාධපුර පුවරු ලිපියෙන් හෙළි වන භික්ෂු විනය නීති

 


                              

              භික්ෂූන් වහන්සේලා නිර්වාණ මාර්ගයට පිලිපන් විශේෂිත සංස්ථාවකට අයත්ය. මහණ වූ දා සිට යම් කිසි ශික්ෂාවකට අනුව හැඩ ගස්වනු ලබති. මහණ උපසම්පදාවට  පත් වූ පසු රැකිය යුතු සංවර ශිලයන් රැසකි. රහත් බවට නොපැමිණි භික්ෂූන් ද වෙති. උන්වහන්සේලා අතින් වැරදි සිදු වෙති. රහත් භික්ෂූන් ද එක් වූ කළ ඇති වන ආපත්තීන් කරණ කොට විනය නීති පැනවීය යුතු යැයි සැරියුත් තෙරුන් වහන්සේ පැවසූ  කල එය නිසි කළ කරන්නෙමැයි බුදුන්  වහන්සේ වදාල සේක.අනතුරුව භික්ෂූන් වහන්සේලා පාරාජිකා තත්වයට පත් වන අවස්ථා හතරක් ගැන දේශනා කර තිබේ. එසේම පරාජිකා වලට හේතු වන සංඝාදිසේෂයන් ගැන කරුණු දක්වමින් ඒවා විග්‍රහ කර දී තිබේ. පරාජිකා නොවූ භික්ෂුවක් අතින් වන වැරදි නිවැරදි කර ගැනීමටද නිර්වාණ මාර්ගයට පලිබෝධ රහිතව ඉදිරියට යෑමට ද පහසු වන පරිදි අධිකරණ සමථ හතක් ද පැණ වූහ. අධිකරණ යනු විවාදිකරණ ආපත්තිධිකරණ සහ කිච්චා අධිකරණ ලෙසට විග්‍රහ කර තිබේ.මෙහිදී මෙම අධිකරණ සත පිළීබඳ සලකා බැලූ කල්හි මහණ උපසම්පදා ලත් භික්ෂූන් වහන්සේ නමක් සසුනෙහි තැන්පත් කොට තබා ගන්නට සහ චිත්ත පාරිශුද්ධිය තුළින් නිර්වාණ මාර්ගය මතු කර ගැන්මට ගත් උත්සාහයන් ප්‍රකට වේ. රාජ නීතිය සහ බුද්ධ නීතිය නොගැටිය යුතුය.ගිහි සමාජයේ පලිබෝධ නිසා භික්ෂු චිත්තය කිළිටි නොවිය යුතුය. පෙර සිරිත අනුව රජු එයට ව්‍යවස්ථා පැණවූහ. ඒ සම්බන්ධව තිබෙන ප්‍රකට ශිලා ලේඛනය නම් අනුරාධපුර පස්වන කසුප් රජුගේ පුවරු ලිපියයි.

        අනුරාධපුරය  ජේතවනය අසල රත්න ප‍්‍රාසාදය ආසන්නයේ තිබී දශවන ශත වර්ෂයට අයත් පුවරු ලිපියක ලැබුණු බව රජයේ සෙල් ලිපි සංග්‍රහය වාර්ථා කර ඇත. උසින් අඩි පහක් ද පළලින් අඩි තුනයි අඟල් තුනක් ද වූ මෙම පුවරු ලිපිය පිහිටුවා ඇත්තේ වර්ෂ 914 සිට 923 දක්වා කාලයේ රාජ්‍ය විචාල පස්වන කසුප් නොහොත් සලමෙවන් අභය රජු විසිනි.වත්මනෙහි අපට අනුරාධපුර සිද්ධස්ථාන වන්දනාමානයට ඉඩ හසර ලැබ තිබෙන්නේ මෙම රජුගේ ඥාණාන්විත ක්‍රියා හේතු කොටගෙනයි.බුදු සස්න රැකුමට එදා ගත් නිවැරදි තීරණයන් මෙයට හේතු වේ.  දෙවන සේන රජු ගේ පුත‍්‍රයා වූ කාශ්‍යප කුමරු උපන් විගස යුවරජු ලෙසින් නමි කළ පින්වත් කුමරෙකි. දෙවරක් අභිශේක ලත් සංඝා බිසවගේ කුසින් උපන් මෙම කුමරා කුඩා කළ පටන්ම මහා සංඝයාගේ ආශ‍්‍රයෙන්  ලබන ලද මහත් ශාස්ත‍්‍ර ඥාණයක් ඇත්තෙක් විය. මොහුගේ විශාරද  භාවය මහා වංශයෙන් ප‍්‍රකට වන්නේ මෙසේය.

       ¨ හෙතෙම සෝවාන් වූවකු මෙන් ශ‍්‍රද්ධාවත්ය.අභිඥා ලැබූවෙකු මෙන් ප‍්‍රඥාවත්ය. සුරගුරු මෙන් ව්‍යක්ත කථිකයෙකි. කුවේරයා මෙන් ත්‍යාග වන්තයෙකි.බහුශ‍්‍රැතයෙකි. ධර්ම කථිකයෙකි. යුතු අයුතු විමසීමෙහි නිපුණ වූවෙකි.නීතියෙහි දක්ෂයෙකි. බුද්ධ ශාසනයේ අචල ශ‍්‍රද්ධාව ඇති මෙතෙම පරවාදීන්ට චංචල කළ නොහැකිය.දශ රාජ ධර්මයෙන් රජ කළ මෙතෙම සිවු සගරාවතින් ලොවට සංග‍්‍රහ කොට සිය ඇස මෙන් පාලනය කළේය.බුද්ධ ශාසනය ධර්මානුකූලව ශුද්ධ කළේය.¨  කසුප් රජුගේ පුවරු ලිපිය කීප අතෙකින් වැදගත් වන්නෙකි. එය ශාසනික ව්‍යවස්ථාවක් වැන්නකි.සංඝයා වහන්සේලා කෙරෙහි පිහිටා ධර්මය කෙරෙහි පිහිටා කටයුතු කළයුතු ආකාරය මෙම ලිපියෙන් මොනවට පැහැදිලි වේ. පේළි පණස් හයකින් යුක්ත මෙම ශිලා ලේඛනයේ  ආරම්භය අතිශයින් සිත් අලවන සුලුය. රජුගේ වංශය සුපුරුදු පරිදි පැහැදිලි කිරීමෙන් අනතුරුව ඇරඹෙන පේළි දාහතරෙන් ඉස්මතුව පවතින්නේ සිංහල රජ කෙනෙකුන් විසින් ලෝ සසුන් වැඩීමට කළ යුතු කාර්යයන්ය.

        කසුප් රජු පඩිවරයකු ග‍්‍රන්ථ කර්තෘවරයෙකු විශාරද බුද්ධිමතෙකු වශයෙන් ප‍්‍රකට වූයේ ධමිපියා අටුවා ගැටපදය වැනි විවරණයන් කළ හෙයිනි. බුද්ධඝෝෂ හිමියන් කළ ධම්ම පදට්ඨ කථාව සිංහල බසින් පැහැදිලි කිරීමට මෙම ග‍්‍රන්ථය රචනා කළ බව පැවසේ .කතුවරයාගේ කවීත්වයත් පාණ්ඩිත්වයත් නිර්මාණ ශක්තියත් රචනා චාතූර්යත් කලා නිපුණත්වයත් ග‍්‍රන්ථ ඥාණයත් විචාර බුද්ධියත් මෙම සන්න ග‍්‍රන්ථයෙන් හෙළි වන්නේයයි කොටහේනේ පඤාකිත්ති හිමියන් පවසති. එය පාළි රීතිය අනුව සකස් වී ඇතැයි උන්වහන්සේ තවදුරටත් පවසා තිබේ.   නමුත් සෙල්ලිපියේ ව්‍යවස්ථා සංග‍්‍රහය ආරම්භ කරන්නට මත්තෙන් රජු කර ඇති වැඩ කොටස පැහැදිලි කරවන පේළි දාහතර  කියවන්නෙකු ගේ සිත් සතන් පොබයන්නේ එහි තිබෙන පද විරිතේ   ගී රසයෙනි. සීගිරි ගී ලියූ පිටිසර ගැමියෙකු මෙන් හේ සිය කවීත්වයෙන් කියවන්නා අමන්දානන්දයට පත් කරවයි. ව්‍යවස්ථාවක් හෝ නීති සංග‍්‍රහයක් වැනි බල පණතක තිබිය යුතු ගැඹුරු බව එසේම තබා ගනිමින් එය කියවන්නාගේ  සිත් එයට ඇද බැඳ තබාගන්නා පිණිසම මෙම කවි පද පෙළ ගී විරිතකට සකස් කරන්නට ඇතැයි සිතේ. එසේම සිය කවි කමෙන් ඔහු විශාල ආශ්වාදයක් ලබා ඇති බව මෙම පද ගයන්නට උත්සාහ කරන්නෙකුට නිතැතින්ම දැනේ.                   

             මහාවංශයෙහි සඳහන් පරිදි විහාරයෙහි කරවූ මණ්ඩපයක සියලු භික්ෂූන් හා නුවරුන් පිරිවරා ගෙන හිඳ ආචාර්ය පාදයන් හමුවෙහි  රජු අභිධර්මය දේශනා කළේය.රන්පත්වල අභිධර්මය ලියවා ධමිමසංගණී නම් අභිධර්ම ප‍්‍රකරණයට විශේෂ පුද පෙරහැර පැවැත්වීය.අවුරුදු පතා පෙරහැර පවත්වා නුවර සැරිසරවා නුවර මැද ධම්මසංගණී මන්දිරයේ රන් පුස්තකයන් තබා ධම්මසංගණී පූජාව කරවීය.           පුරාණ නීති සමිප‍්‍රදාය අනුව රජු විසින් කළ යුත්තේ  භික්ෂූන් වහන්සේලාගේ චාම් ජීවිතයට කරදරයක් ඇති නොවන පරිදි විහාරාරාමවල සංඝාරාම වල විනය පවත්වාගෙන යෑමට ඉඩකඩ සැලැස්වීමයි.  පොළොන්නරු කතිකාවත ,දඹදෙණි කතිකාවත ආදී ව්‍යවස්ථා වලින් ප‍්‍රකට වන්නේ මෙයයි. එසේම සසුනට එරෙහි බලවේග මර්දනයටද රජුන් පියවර ගත්හ. මවු මැරීම ,පියා මැරීම, රහතුන් මැරීම ,පෙති පිළිම වැනසීම,  බුද්ධ ධර්මය හැර අන් ආගමක් ඇදහීම යන පංච  මහා සාවද්දයෙන් වැලකී  සිටීමට හැකිවන පරිදි රට  පරීක්ෂා කර බලන ලෙස කසුප් රජු කළ නියෝගය ඒ පුරාණ සම්ප‍්‍රදාය නැවත සිහිගන්වයි.  


                                       

           සංඝයා වහන්සේලා එක්ව කතිකා කොට තම නිකායන්ට අයත් විනය ද සමගිය ද පවත්වාගෙන යෑමට කටයුතු කිරීම සදහා රජු විසින් පහසුකම් සැලසීම පෙර සිරිත විය. එසේ නොමැති අවස්ථාවලදී සම්දරුවන් නොහොත් නිළධාරීන් මැදිහත් කරවා නීති පැණවීමට උත්සුක වූහ.    මෙම පුවරු ලිපියේ විසිනවය සහ තිස්වන පේළියේ සදහන් මෙම අර්ථය වර්ථමානයටද එකසේ වැදගත්ය. එසේම සම්දරුවන් පැණවූ යමි නීතියකට දඩයකට ගිගිරියක් නොහොත් විරුද්ධතාවයක් ඇතොත් සියලු දෙනා එක්ව විචාරා නීතිය සංශෝධනය කිරීමේ පිළිවෙතක් ද මෙහි වෙයි. එය සිංහල බෞද්ධයාගේ වැදගත් රාජ්‍ය තාන්ති‍්‍රක‍ ලක්ෂණයක් යයි කිව හැකිය.මෙම නීති සඳහා එතුමා නිසැකව ආභාෂය ලබන්නට ඇත්තේ බුදුන් වහන්සේ ජීවමාන කාලයෙහි ඇති වූ ශාසන පලිබෝධයන් වලදී උන් වහන්සේ කටයුතු කළ ආකාරය අධ්‍යනය කිරීමෙන් බව පැහැදිලිය. බුදුන් වහන්සේ ජීවමාන කාලයෙහි අනාචාර විෂයෙහි චෝදනා එල්ල වූ භික්ෂූන් සහ භික්ෂුනියන්ද වූහ. ඒ අවස්ථා වලදී ඉතාමත් ඥානවන්තව කටයුතු කළ උන් වහන්සේ සමාජය කැළඹීමට පත් නොවන සේ මැදිහත් විනිශ්චයන් ලබා දුන්හ.

මහාශ්‍රාවක කුමාර කාශ්‍යප මාතාවට අනාවාර චෝදනා නැගුණ අවස්‌ථාව උදාහරණයකි. එම මාතාව දරුවකු පිළිසිඳගත් බව නොදැන දේවදත්ත තෙරුන් වහන්සේ  සමීපයේ  පැවිදි වූවාය.  ටික දිනකින් ඇයගේ ගර්භය මෝරා වැඩෙන්නට වූ අතර සෙසු මෙහෙණියෝ ඇයට අවලාද නගා දෙව්දත් තෙරුන්ට දැන්වූවාය. දෙව්දත් තෙරුන් කිසිදු වගවිභාගයක්‌ නොකරම ඇය පැවිදි බවෙන් ඉවත් කළ බව සඳහන්ය.  කුමාර කාශ්‍යප මාතාව බුදුන් වහන්සේ සොයා ගියාය. බුදුරජාණන් වහන්සේ කරුණු විමසා ඇයගේ නිර්දෝෂිභාවය තේරුම්ගෙන අන් අයටද ඒ බව ඒත්තු ගැන්වීම සඳහා කරුණු සොයා බැලීමට විනය කමිටුවක් පත් කර ඇත. ඒ සඳහා කොසොල් මහ රජතුමාත්, අනේපිඬු සිටුතුමාත් විශාකා මහා උපාසිකාවත් පත්කරන ලද  බව සඳහන්ය. විසාකා මහා උපාසිකාව පත්කරන ලද්දේ කාන්තාවකගේ ප්‍රශ්නයක්‌ විසඳීමට කාන්තාවක්‌ වඩාත් සුදුසු නිසාත්, ඇය දරුවන් විසිදෙනකුම ප්‍රසූතකර හසළ අත්දැකිම් තිබූ නිසාත්ය. මෙම ත්‍රි පුද්ගල කමිටුව කුමාර කාශ්‍යප මාතාවගෙන් කරුණු විමසා ඇගේ නිර්දෝෂිභාවය බුදුරජාණන් වහන්සේට දැන්වූහ. බුද්ධ නීතිය අනුව මේ අවස්ථාව ඉතාම වැදගත්  ළෙස සැලකිය හැකිය. කුමාර කාශ්‍යප මාතාව නිර්දෝෂීබව බුදුරජාණන් හොඳාකාරවම දන්නා නමුත්  එය දිවැසින් බලා දැනගැනීමට හැකියාව තිබුණද . වරදක්‌ කළ විට සමාජය ඉදිරියේ නිරිදෝෂීහාවය ඔප්පු කළ යුතු බවත් එය වඩාත් සාධාරණ බවත්, එය සමාජය ඉදිරියේ ස්‌ඵුට කළ යුතු බවත් බුදුන් අදහස්‌ කළ සේක. මෙම ත්‍රිපුද්ගල කමිටුවට ඇයගේ නිරිදෝෂීභාවය සෙවීමට පත්කළේ එම නිසාය. පස්වන කසුප් රජු මෙම බුද්ධ නීතියෙන් ආදර්ශය ගෙන භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධ කටයුතු කිරීමට උන්වහන්සේලාටම අවස්ථාව ලබා දී ඇත. ආන්දෝලනයකට තුඩු දෙන අවස්ථාවක් නම් නිළධාරීන්  මැදිහත් කර  ගැනිම අනුමත කරන ලද්දේය.මෙම සම්ප්‍රදාය වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(4) වගන්තිය වෙත ආරෝපණය කර ඇති බවද මෙහිදී මතක් කළ යුතුය.

මතුගම සෙනෙවිරුවන්

 

Sunday, May 3, 2026

විදේශ කටයුතු ලේකම් ගේ හදිසි තීරණය පිටිපස සිටින්නේ කවුරුන්ද

 

                       

         මේ වන විට භික්ෂූන් වහන්සේලා විසි දෙනමක් මත් ද්‍රව්‍ය සමග කටුනායක ගුවන් තොටුපලේ දී අත් අඩංගුවට පත් වී ඇත. කාලයක් තිස්සේ කළ මගඩියක් මේ ලෙස හෙළිදරව් වූයේ මත්ද්‍රව්‍ය නාශක පොලිසියට ලැබුණු ඔත්තුවක් නිසා බව සැළවේ.මෙම මත්ද්‍රව්‍ය පැන්නවීම පිටිපස කඩවත රන්මුතුගල විහාරයක භික්ෂුවක් ද ගාල්ල ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ද සිටින බවට මේ වන විට වාර්තා පළ ව තිබේ.ඒ අතර අන්තර් ජාල සාකච්ඡාවකට සාභාගි වෙමින් නාමල් කුමාර මහතා ප්‍රකාශ කර සිටින්නේ මෙම ජාවාරම පිටිපස තායි කාන්තාවක්ද එංගලන්තයේ වසන ඇයගේ සැමියාද ඇතුළු විශාල පිරිසක් සිටින බවයි. මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන පැමිණි භික්ෂූන් වහන්සේලාගෙන් වැඩි පිරිසක් මේ සම්බන්ධව තොරතුරු නොදන්නා කමින් උගුලකට හසුව තිබෙන බව මේ සිද්දිදාමයෙන් පැහැදිලි වේ.

        භික්ෂූන් වහන්සේලා විදේශ ගත වීම අහම්බයක් නොවේ. විශේෂයෙන්ම ඉන්දියාව තායිලන්තය වැනි පැරණි බෞද්ධ රටවල් හි ආරාධනයෙන්ද වන්දනාව සඳහාද වැඩම කිරීම සුළභය.සියම් දේශය සහ අමරපුරය උප සම්පදා කර්මයන් සමග අතීතයේ සිටම තිබුණු සම්බන්ධය නිසා මෙරට භික්ෂූන් වහන්සේලා කෙරෙහි ඒ රටවල තිබෙන ගෞරවය අති මහත්ය. මෙම මත් ද්‍රව්‍ය සිද්දිය නිසා මෙම ගෞරවය පළුදු වීම සැබවින්ම ඛේදවාචකයකි. මෙතෙක් කලක් භික්ෂූන් වහන්සේලා විදේශ ගත වීමේ දී නායක ස්වාමීන් වහන්සේලා ගේ නිර්දේශය බුද්ධ ශාසන අමාත්‍යංශය හරහා නිකුත් කිරීම සිදුව ඇත. මන්ද වැඩම කරන කරණු ලබන භික්ෂූන් වහන්සේලා පිළීබඳව සංඝ සංස්ථාව දැන සිටිය යුතු බැවිනි. එම නිර්දේශය තානාපති කාර්යාල සඳහා ඉදිරිපත් කළ යුතු විය.පසුගිය ජනවාරි මස පළමු වන දින සිට මෙම නිර්දේශය අවශ්‍ය නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් විසින් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියකින් දන්වා ඇත. තානාපති කාර්යාල වලට මෙම යොමු කරලීම සිදු කර තිබෙන්නේ 2025 දෙසැම්බර් මාසයේ දීය.පසුව එහි පිටපතක් සහිතව බුද්ධ ශාසන අමාත්‍යංශයට දන්වා යවා ඇත. අනතුරුව එම තත්වය භික්ෂූන් වහන්සේලා වෙතද මෙහෙණින් වහන්සේලා වෙත ද ලිඛිතව දන්වා යවා ඇත.

       තායිලන්තය වැනි රටවලට වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවය පසුගිය කාලයේ අහෝසි කෙරුණු නමුත් නායක ස්වාමීන් වහන්සේලාගේ නිර්දේශය ලබා ගැනීමේ වැදගත්කමක් ඇත.ඒ නිර්දේශය මගින් විහෙෂයෙන්ම තරුණ භික්ෂූන් වහන්සේලා ගේ සංචාරයන් ගැන  පූර්ව අවබෝධයක් නායක ස්වාමීන් වහන්සේලාටත් අදාළ අමාත්‍යංශයටත් ලැබෙන බැවිනි.එහෙත් එම තත්වය නොසලකා හැර  විදේශ කටයුතු ලේකම් වරයා විසින් නිකුත් කරන ලද ලිපියේ බරපතල කාරණා අඩංගු  වෙයි. විදේශ ගත වීමක දී පොදු මහජනතාව ,අන්‍යාගමික පූජකයන් තානාපති කාර්යාල වලට ඉදිරිපත් කරන ලේඛන ලෙසටම භික්ෂූන් වහන්සේලාද කටයුතු කළ හැකි බව එහි දක්වා ඇත. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තිය මගින් කියැවෙන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන්නේය යන වගන්තිය මේ මගින් උල්ලංඝණය කර තිබේ. මෙම තීරණය ගැනීමට ප්‍රථම මහා නායක ස්වාමීන්වහන්සේලාගේ අදහස් විමසීමට විදේශ කටයුතු ලේකම් වරයා කටයුතු කර නැත. තානාපති කාර්යාල වලට ලිපිය තැපැල් කිරීමෙන් පසුව බුද්ධ ශාසන අමාත්‍යංශයට දන්වා යවා ඇති බව ලිපියෙන් පැහැදිලි වේ. මෙම තත්වය උදාවූයේ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම නිසාවෙන්ද එසේත් නැතිනම් අමාත්‍ය මණ්ඩල තීරණයකින් ද නැති නම් ජනාධිපතිවරයාගේ තීරණයකින් ද යන්න පැහැදිලි නැත.

       මෙම ක්‍රියාව මත බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ලිපියක් ගෞරවනීය ස්වාමීන් වහන්ලොට තැපැල් කළ පසු සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් මහා නායක ස්වාමීන් වහ්නසේලා දැනුම්වත් කරමින් 2026/ 01/ දින ලිපියක් යවා තිබුණි. ඒ සම්බන්ධව මහා නායක ස්වාමීන් වහන්සේලා සෘජුව මැදිහත් වූ බවක් පෙනෙන්නට නැත. මෙම තත්වයේ බරපතල කම ඉස්මතුව පවතින්නේ මත්ද්‍රව්‍ය ගෙන පැමිණි තරුණ භික්ෂූන් වහන්සේලා බහුතරයක් තම නායක ස්වාමීන් වහන්සේලා දැනුම්වත්ව විදේශ ගතව නොමැති බවයි.එලෙස කරුණු වසන්ගා ගැනීමට හේතු වන්නට ඇත්තේ වටස්ඇප් සමූහ වල උන්වහන්සේල සම්බන්ධ කොට ගෙන කරන සංවාද අනුව විය හැකිය. නායක ස්වාමින් වහන්සේලා දැනුම්වත් වීමෙන් ගමනට බාධාවක් ඇති වන්නට ඉඩ ඇති බව එහිදී සාකච්ඡා වන්නට ඇත. කෙසේ වෙතත් මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විහාරස්ථාන වල ඉතා වැදගත් කාර්යයන් කළ තරුණ භික්ෂුන් වහන්සෙලා සිවුරු අරවන්නට ද ගිහියන් ලෙසට නඩු කටයුතු සඳහා යොමු කරවන්නට ද මහා නායක ස්වාමීන් වහ්නසේලා අනුමැතිය දී තිබේ. මෙම තත්වය මෙම ප්‍රශ්ණය තවත් සංකීර්ණ කරන්නට හේතු වී තිබේ.මත්ද්‍රව්‍ය ගෙන ඒම සංවිධානය කිරීම ඊට සමගාමීව විදේශ ගත විමේ නිර්දේශය අවංලංගු කිරීම පැහැදලිව පවතින ආණ්ඩුවේ මැදිහත් වීමකින් සිදු වූවකි. මෙම භික්ෂූන් වහ්නසේලාගෙන් කීප දෙනෙකු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට ද සෘජුව සම්බන්ධ වී ඇති බව ප්‍රකටය. එලෙස සම්බන්ධ වූවන් දඩමීමා කරගෙන කිසිවක් නොදන්නා බහුතර තරුණ භික්ෂූන් වහ්සේලා මෙයට මැදිහත් කර ගැනීම ඛේදවාචකයකි.

යටත් විජිත සමයේ දී වැඩ සිටි නැණවත් ප්‍රාචීන පණ්ඩිත උගතෙකු වශයෙන් කටයුතු කළ ප්‍රකට යතිවරයෙකුට අත්වූ ඉරණම මෙහිදී සටහන් කර ලිපිය අවසන් කරමි. උන්වහන්සේ නමින් සූරියගොඩ සුමංගල විය. වර්ෂ 1919 දී බ්‍රිතාන්‍ය යේ ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයට ඇකුල් වීමට වරම් ලැබූ මෙරට ප්‍රථම භික්ෂූන් වහන්සේ වූයේ පූජ්‍ය සූරියගොඩ සුමංගල තෙරණුවෝය.බ්‍රිතාන්‍යයේ හෙන්රි මැන්චෙස්ටර් ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ උන්වහන්සේ උගෙනුම ලැබූ බව දක්වා ඇත. භික්ෂුවක් ලෙසට තම තරුණ වියෙහිදීම 1903 වසරේ දී සංයුක්ත නිකාය ගාථා සන්නය ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ උන් වහන්සේ ඉන්පසුව 1914 දී ධම්මපදය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද්දේය..පසුව දශකුමාර චරිතයද ප්‍රකාශයට පත් කර ඇත.මේ ග්‍රන්ථයන් ප්‍රකාශයට පත් කරන ලද්දේ ප්‍රාචීන භාෂෝපකාර  සමිතිය සහ රාජකීය ආසියාතික සඟරා ප්‍රකාශන මගිනි.ප්‍රාචීන භාෂා පිළිබඳ මහත් උනන්දුවක් දැක්වූ හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයා ගේ අනුග්‍රහයෙන් පූජ්‍ය සූරියගොඩ සුමංගල හිමියන්ට ඔක්ස්ෆඩ් මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයට දෙවසරක ශිෂ්‍යත්වයක් ලැබුණේ පෙර අපරදිග භාෂා පිළිබඳ උන්වහන්සේ සතුව තිබූ දැනුම නිසාවෙනි. මහා බ්‍රිතාන්‍යයේ වැඩි දුර අධ්‍යාපනය පිණිස  වැඩම කළ සූරියගොඩ සුමංගල හිමියන් යළි ලංකාවට වැඩම කළ පසු ලංකා විශ්ව විද්‍යාලයේ පෙරදිග භාෂා අධ්‍යන අංශය ආරම්භ කිරිමට උනන්දු කර අනුග්‍රහය ලබා දී ඇත.

      උන්වහන්සේ  එංගලන්තයට බල පිටතව ගොස් එහි සිටද තම ඥානාලෝකය බබුළුවමින් උපන් රටට ගෞරවයක් අත් කර දුනි.උන්වහන්සේ ආපසු සිය රටට වැඩම කර නැවෙන් ගොඩ බසින විට  ගෙනා ගමන් මළු පරීක්ෂා කෙරුණි. එහිදී කාන්තා නිරුවත් පින්තූර රැසක් සොයා ගන්නට හැකි විය. උගත් නැණ භික්ෂූන් වහන්සේ නමක් ලෙස උපන් බිමේ ගෞරවය ලබන්නට සිටි උන්වහන්සේ ගේ කීර්තියට කළු පැල්ලමක් එකතු විය.ස්වල්ප කාලයක් නිහඩව සිටි උන්වහන්සේ උපැවිදි වී සුමංගල සූරියගොඩ නමින් ප්‍රකටව සිට මෙරට බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට සිය කාලය ධනය වැය කරන ලද්දේය.නමුත් සුසුනට වැදගත් යතිවරයන් වහන්සේ නමක් අහිමි විය.ඒ අඩුව පිරිමැහිය නොහැකි තරම්ය.එම නිසා වරදෙහි යෙදෙන භික්ෂූන් වහන්සේලා නිවැරදි මගට පත් කර බුදු සසුන ආරක්ෂා කර ගැනීම අද දවසට වඩා සුවිශේෂීය. මන්ද සසුනෙහි පිහිටුවන්ට තරමේ දරුවන් ජාතියට අද දායාද නොවන බැවිනි.

මතුගම සෙනෙවිරුවන්