පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, February 25, 2012

ආනකෝට්ටේ මුද්‍රාව සහ යාපනයේ හෙළ උරුමය


                                                                 ආනකෝට්ටේ මුද්‍රාව                                 
         දෙමළ ජනාතාවට අනන්‍ය වූ ඓතිහාසික වාස භූමියක්  උතුරේ වන්නියේ සහ නැගෙනහිර ප්‍රදේශයන්හි තිබී ඇතැයි යන මතය දෙමළ උගත් ජන සමාජය අතර ප්‍රචලිතව පවතින්නේ අද ඊයේ සිට නොවේ. ඇමෙරිකානු මිෂනාරීන් විසින් උතුරේ දෙමළ ප්‍රභූ පන්තියට දෙන ලද අධ්‍යාපනය මගින් උතුරු සංස්කෘතිය අධ්‍යාත්මිකව දකුණෙන් වෙන් කරන ලද අතර ඒ පරතරයම මෙවැනි මතවාද බිහි කරලීමට වෙසෙසි පිටුබලයක් විය.
     මෙම දෙමළ ජනතාව ඓතිහාසික කණ්ඩායමක් නොවන බවට එදා සිටි බ්‍රිතාන්‍ය සිවිල් නිළධාරීන් පවා තේරුම් ගෙන තිබුණි. චෝල ආක්‍රමණ සමග උතුරු සහ ඊශාන ප්‍රදේශ දකුණු ඉන්දීය දෙමළ ආධිපත්‍යට යට වී තිබුණ ද දෙමළ ජනතාවගෙන් වැඩි පිරිසක් ලන්දේසීන් සහ ඉංග්‍රීසින් විසින් පදිංචි කරවන ලද්දන් බව ඔවුන් දැන සිටියහ. නමුත් යටත් විජිතය පවත්වාගන යාමේ අභිප්‍රාය මත දෙමළ ජන කණ්ඩායම් ශක්තිමත් කරවීම බ්‍රිතාන්‍ය රජයේ උපාය මාර්ගය විය. දෙමළ උගතුන් ලෙසට සැලකෙන කේ. ඉන්ද්‍රපාලන් පොන්නම්බලම්‚ රඝුපති ආදීන් දෙමල සිංහල විකාශනයේ සමාන බවක් දකිමින් වත්මන් දේශපාලන ගැටුම හුදෙක් වාර්ගික නොසන්සුන්තාවක් ලෙසට දක්වන්නට උත්සාහ කරති. ඒ උත්සාහයේ පරමාර්ථය දෙමළ නිජ භූමි සංකල්පය පොෂණය කිරීමයි. ඒ සඳහා ඔවුහු පුරාවිද්‍යාත්මක සාක්ෂි පවා විකෘති කොට යොදා ගන්නට උත්සාහ දරයි. 1980 වර්ෂයේ දී යාපන විශ්ව විද්‍යාලීය කණ්ඩායමක් විසින් යාපන අර්ධද්වීපයේ බටහිර කොටසේ ආනකෝට්ටේ  මෙගලිතික සුසානයේ කරන ලද කැණීම දෙමල වාසභූමි තහවුරු කර ගැනීමට යොදා ගන්නා ප්‍රබල සාධකයෙකි. ඒ අවට තිබෙන කදුරුගොඩ කරෙයිනගරය ආදී ප්‍රදේශ වල තිබෙන ප්‍රාග් ඓතිහාසික සාධක පවා සිංහල ඉතිහාසයට සම්බන්ධ කිරීමට ඔවුහු මැලි වෙති.
       විසිවන සියවසේ පුරාවිදු පර්යේෂණයන්ට සාපේක්ෂව වර්තමානයේ සිදු කරන පර්යේෂණ වඩා ඉදිරියෙන් ඇත. ඒ මගින් ලංකා ඉතිහාසයේ සැඟවුණු පැතිකඩක් ආවරණය කර ගැනීමට සමත්වී ඇත. මේ තත්වය මත මහාවංශය විශ්වාශනීය කෘතියක් නොවේ යයි සලකන පිරිසක් ද වෙති. මහා වංශය ලංකාවාසීන්ගේ ඉතිහාසය ලෙසට බොහෝ දෙනා දරන මතය ඒ තරම් සම්පූර්ණ වූවක් නොවේ. එම කෘතියේ දැක්වෙන්නේ ලංකාවේ රාජාවලියට අයත් රජවරුන් විසින් කරන ලද කාර්ය භාරයයි. එසේම ශාසනික ප්‍රවෘත්ති විශේෂ කොට දැක්වීම ඒ මගින් සිදු වී තිබේ. ලංකා ඉතිහාසයේ බොහෝ කරුණූ විග්‍රහ කර ගන්නට ඒ  කෘතිය මගින් ලැබෙන පිටිවහල සුලු පටු නොවේ. මේ තත්වය මත මහාවංශය ලඝූ කොට සැලකීමද යුක්ති යුක්ත නොවේ. එම කෘතිය මගින් අපගේ ඉතිහාසයේ ශ්‍රෙෂ්ඨ අභිමානය කියාපායි.
       මහාවංශයේ නොමැති තොරතුරු පුරාවිදු පර්යේෂණ මගින් සොයා ගැනීම නිසා එම තොරතුරු ද්‍රවිඩ ඉතිහාසයට සම්බන්ධ කොට කතා කිරීම වර්තමානයේ දක්නට ලැබෙන්නකි. අනුරාධපුරය තිස්සමහාරාමය උතුරේ කදුරු ගොඩ ආනකෝට්ටේ සහ පොම්පරිප්පුව ආදී ස්ථාන වලින් හමු වූ වළං කැබලි වල දක්නට ලැබෙන හඳුනා නොගත් අක්ෂර ද්‍රවිඩ භාෂාවට නෑකම් කියන බව දැක්වීම මගින් ඊළාම් මතවාදයට ලැබෙන ශක්තිය විශාලය. ආනකෝටේ ප්‍රදේශය යාපනයට ඉතා නුදුරු ය. කදුරුගොඩ විහාර සංකීර්ණය පිහිටා තිබෙන්නේ ද මේ කලාපය තුලයි. ක්‍රි.පූ. තෙවන සියවසේ ලාංකික බුද්ධ ශාසනයේ ආරම්භයත් සමග මේ ප්‍රදේශයේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය දැනට හමු වී ඇති පුරා වසුතු වලින් පැහැදිලි වේ. කන්කසනතුරේ අසල ජම්බුකෝල විහාරයේ හමු වූ සිරිපතුල් ගල ද මේ අතර වැදගත් කමක් ගනී. හුණූගමින්(චුන්නාකම්) හමු වූ බුදු පිළිමය මගින් ද කියා පාන්නේ උත්තර ප්‍රදේශයේ තිබුණූ බෞද්ධ ශිෂ්ඨාචාරයයි.
       1980 දී ආනකෝට්ටේ පෙදෙසින් හමු වූ මුද්‍රාව මගින් මේ සියල්ලටම හාත්පසින් වෙනස් සංස්කෘතියක් ක්‍රි.පූ. තෙවන සියවසට එපිටින් උතුරු අර්ධද්වීපයේ තිබුණූ බව හෙළි කරයි. මෙම මුද්‍රාව ලෝහමය නිමාවකින් යුක්තය. එය හුදෙක් මුද්‍රාවක් ලෙසට හඳුනා ගන්නට බොහෝ අය උත්සාහ දැරුවද එහට වඩා වෙනස් භාවිතාවකට එමපුරා වස්තුව යොමු කරගෙන තිබූ බව පෙනේ. මේ මුද්‍රාවේ අක්ෂර මහාචාර්ය ඉන්ද්‍රපාලන් විසින් කියවා ඇත්තේ කොවෙටාන් යනුවෙනි. බ්‍රාහ්මී අකුරෙන් තිබුණද එය දකුණු ඉන්දියාවේ ශිලා ලේඛනයන්හි ඇති කෝඅටන් නමැති දෙමළ වචනයට සමාන කරන්නට ඔහු උත්සාහ කරයි. දෙමළ හා මලයාලි බසින් කෝ යන්න යෙදෙන්නේ රජු වෙනුවෙන් බව ඔහු තර්ක කරයි. නමුත් මේ මුද්‍රාව පිළිබඳව පර්යේෂණයක් යෙදුණූ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මුද්‍රාවේ ඇති බ්‍රාහ්මී අක්ෂර කියවා ඇත්තේ කෙවෙත යනුවෙනි. මුද්‍රාවක් බැවින් මෙම අකුරු පිහිටා තිබෙන්නේ වමේ සිට දකුණටයි. එවිට එහි ඇති අක්ෂර සටහන් වන්නේ දකුණේ සිට වමටයි. ඒ  අනුව කො යනුවෙන් අක්ෂරයක් එහි සටහන් නොවේ. එය ‘කෙ’ යන්න බව කරන සඳහන නිවරදිය. බ්‍රාහ්මී අක්ෂර තුනට අමතරව මෙම මුද්‍රාවේ බ්‍රාහ්මී නොවනෙ අක්ෂර තුනක් ද අන්තර්ගතය. ඊනියා ද්‍රවිඩ නිජභූමිය පිළිබඳව මත ඉදිරිපත් කරන දෙමළ වියතුන් මෙම සළකුණු තුන විග්‍රහ කිරීමට ඉදිරිපත් නොවේ. දෙමළ අක්ෂර සමග සංසන්දනය කොට අර්ථයක් ඉදිරිපත් කිරීමට මේ අයට පසුබිමක් නොමැති බව පෙනේ. නමුත් ප්‍රාග් ඓතිහාසික අවදියේ දී ලංකාවේ ජනතාව භාවිතා කළ භාෂාවක් තිබූ බවට මෙය විසින් ඉඟියක් ලබා දෙයි.
         තඹුත්තේගම ජයබිම ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන් පතිව සිටි පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් ‘යක්ෂ ගොත්‍රිකයින්ගේ අප්‍රකට තොරතුරු’ හා‘ යක්ෂ ගොත්‍රික භාෂාව’ යනුවෙන් ග්‍රන්ථ දෙකක් මෑතකදී ලියා පළ කලේය. මෙම ග්‍රන්ථයේ සඳහන් පරිදි යගු කෞරාන මණ්ඨක නොහොත් රාවණ රජුගේ පුත්‍රයා උපේනද්‍රමිණිකයි. ඔහුට දාව රවි ශෛලාශ මණ්ඨක සහ කෙවෙසස්ථාන මණ්ඨක යන කුමාරවරු දෙදෙනෙක් සිටියහ. මේ අතරින් කෙවෙසස්ථාන කුමරු උතුරු අර්ධදවීපය පාලනය භාරව සිට ඇත. එකල උතුරු පෙදෙස යක් ගොත්‍රිකයින් ගේ ප්‍රධාන රාජ්‍යයක් විය.කෙවෙසස්ථාන පදියම ( පෙදෙස) යනුවෙන් එකළ එය හැඳුන්වුණි. කෙවෙසස්ථාන රජු ගෙන් පසුව යක්ෂ ගොත්‍රක පාලකයින් විශාල සංඛ්‍යාවක් මේ පෙදෙස පාලනය කරමින් සිට ඇත. ඔවුහු නාග ගෝත්‍රිකයින් සමග ආවාහ විවාහ කර ගත් බව පැවසේ.
      බුද්ධත්වයෙන් පසු  බුදුන් වහණසේ උතුරට වැඩම කරන අවස්ථාවේ එහි සිටි මනිභද්‍ර නම් කුමරු බුදුන් වහණ්සේ ගෙන් බණ අසා පැවිදි භූමියට පත් වූ බව පැවසේ. මොවුන් භාවිතා කර තිබෙන්නේ මිනි මිහිල භාෂාවයි. ඒ හා සම්බන්ධ අක්ෂර විශේෂයක් හෙළි දරව් කිරීමට පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් සමත්ව ඇත. ආනකෝට්ටේ මුද්‍රාවෙන් කියැවෙන කෙවෙත කෙවෙතස්ථාන යන්නම බව නිසැකය.  ඔහුගේ රාජ්‍ය බලය පෙන්වීමටත් ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු තහවුරු කරලීමටත් මේ මුද්‍රාව යොදා ගත් බව පැහැදිළිය. මුද්‍රාවේ තිබෙන හඳුනානොගත් සංකේත දෙක යක්ෂ ගොත්‍රික භාෂාවේ කවිලාශ පාලී අක්ෂරය ලෙසට පෙන්වා දිය හැකිය. එය මිත්‍රත්වය ප්‍රකාශ කරන සංකේතයකි. අවසානයට සඳහන් වන අක්ෂරය යක්ෂ භාෂාවෙන් බලොජ අක්ෂරයයි. එහ මගින් රජු සංකේතවත් කරයි. රේඛාව මතුපිට බිංදුව යොදමින් සළකුණූ කරන මෙම සංකේත සමගින් බ්‍රාහ්මී අක්ෂර යොදා ගත් මුද්‍රාවෙන් එකල ජාත්‍යන්තර ව පැවති වෙළෙඳ ගනු දෙනු අර්්ථවත් කර ඇතැයි සැලකිය හැකිය. ප්‍රකටව පැවතෙමින් තිබූ ප්‍රාකෘත භාෂාව යොදා ගනිමින් යක්ෂ ගොත්‍රික අනන්‍යතාවය ද දක්වමින් සකස් කර ඇති මේ මුද්‍රාව හෙළ යටගියාව පිළිබඳ ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කරන්නකි.
       යක්ෂ ගොත්‍රිකයින් බුදුදහම වැළඳ ගැනීමත් නාග ගොත්‍රිකයින් උතුරේ ආධිපත්‍යට පත් වීමත් හේතු කොට ගෙන උතුරේ යක්ෂ පාලනය අවසන් වූ බව පැහැදිළිය. උතුරේ වලිපුර පෙදෙසින් සොයා ගන්නා ලද රන්පත (වල්ලිපුරම් රන්පත) මගින් මේ තත්වය තේරුම් ගත හැකිය. වල්ලි පුරම් රන්පතේ උතුරු අර්ධද්වීපය හඳුන්වනනේ නකදිව නෙහොත් නාගද්වීපය යනුවෙනි. ඒ වසභ රජුලේ පාලන සමයේ දී ය. එහෙත් ප්‍රාග් ඓතිහාසික සමයේ දී මේ ප්‍රදේශය කෙවෙසස්ථ පදියම යනුවෙන් භාවිතා කර තිබේ. රාවණ පරපුර බලයෙන් දුබල වීම නිසා නාග ගෝත්‍රිකයින් එම පෙදෙසේ පාලන බලයට පත් වන්නට ඇතැයි ද කලපනා කළ හැකිය.
      විජයාගමනයෙන් පසුව දඹදිව ශාක්‍ය වංශිකයින් සහ නාග ගොත්‍රිකයින් අතර ඇති වූ සංහිඳියාව මත පාලන බලය ශාක්‍ය වංශිකයින්ට හුවමාරු වූ බවද අතර ඒ මගින් යක්ෂ නාග සහ දඹදිව ශාක්‍ය වංශිකයින් ගෙන් සැදුම් ලත් නව සිංහල බෞද්ධ සංස්කෘතියක් රට තුල නිර්මාණය වූ බවද කල්පනා කළ හැකිය. ඒ සංස්කෘතිය තුලට දෙමළ ජන වර්ගයන් ඇතුලු වන්නේ චෝල පාලන සමයෙන් පසුවය. නමුත් ඔවුහු ද සිංහල සංස්කෘතියට කලකදී එකතු විය. ආර්ය චක්‍රවර්තී පාලනයට උතුර නතු වීමෙන් පසු මෙකී සංස්කෘතික සබැඳියාව දෙදරා ගිය අතර එය නැවත ඇති වනන්ට උත්සාහ ගැනෙනුයේ කොට්ටේ යුගයේ දීය. නමුත් පෘතුගීසි ආගමනයෙන් පසුව එය නැවතත් විනාශ විය. මෙම තේරුම් ගැනීම තුලින් අඛණ්ඩ හෙළ සංස්කෘතියක අනන්‍යතාවය හෙළිවෙයි. එබැවින් ලංකාවේ පුරාවිදු සොයා ගැනීම් තව දුරටත් දෙමල ජාතිවාදය පෝෂණය කිරීමට යොදා ගැනීම වළක්වාලිය යුතුය. ඒ සඳහා රාවණා යුගය ගවේෂණයට  නිවරදිව ප්‍රවිෂ්ඨ විය යුතු යයි සිතමි.
2010 ඔක්තෝබර් 27 දිවයින බදාදා අතිරේකය

බුදු ගල සිරිපතුල මගින් හෙළිවන කූරගල ඉතිහාසය

                                           කූරගල නොහොත් කුහරේගල පර්වතය සපරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ මැද කෝරළයේ හෙළ උඩ පළාතේ පිහිටා තිබෙන්නකි. මෙම පර්වතය තරණය කොට එහි තිබෙන හිටුවන්ගල හෝ කුහරගල ශිඛර මතට නගින්නෙකුට ලංකාවේ තිබෙන රමණීයම දර්ශණයක් දක්නට හැකිවෙයි. දුටු මතින්ම සිත් සතන් පොබයන බැවින් දුරාතීතයේ සිටම මෙම  ස්ථානයට ජනී ජනයා ඇළුමි කොට ඇත. කූරගලට පහළින් පෙනෙන්නේ සපරගමු බින්තැන්නයි. එය වත්මනෙහි කල්තොට ජනපද ව්‍යාපාරය ලෙසට හැදින්වේ. එකම තැනිතලාවක් ලෙසින් දිස්වන මේ බින්තැන්නේ තිබෙන ලොකු කුඩා වැවි ද පිළිවෙලකට එලා ඇති ලියැදු සහ වන රොදවල් ද දකින්නෙකු ඉන් වශී වෙයි.
         දහනම වන ශත වර්ෂය ආරමිභයේ දී මේ කූරගල පර්වතය අවට පිහිටා තිබුනේ වනගත ගමිමාන කීපයක් පමණකි. කූරගල අසළම පිහිටියේ තන්ජමයි.දුරාතීතයේ දී භික්ෂූන් වහණ්සේලාගේ තපෝවනයක් ව පැවති මේ ලෙන් සංකීර්ණය වන ගහනයට මැදිව හුදකලා වූයේය. ඒ යටත් විජිත ග‍්‍රහණය නිසාවෙන් යයි සිතිය හැකිය.
              මේ වන ගහනයට මැදිව හේන් ගොවිතැනෙන් යැපුණු දුප්පත් ගොවි පවුල් කීපයක් සිටි අතර කල්තොට බින්තැන්නේ කුඩා වැව් වලින් ජලය ගෙන ගොවිතැන් කරන සුලු පිරිසක් ද විය. මොවුහු අස්වනු කපා පාගා ගෙන අලුත් සහල් මංගල්ල්‍ය සදහා කිරි ආහාර පූජා කිරීමට පැමිණියේ කූරගල පර්වතයටයි. ඒ එහි හාස්කම් පවතින බැවිනි. මංගර දෙවියන්ගේ බැල්ම සහ සමන් දෙවියන්ගේ බැල්ම මෙහි පවතින්නේ යයි ගැමියන් තුල විශ්වාශයක් පවතී. කල්තොට මැද බැද්ද බුදුගල වැලිපොතයාය ආදී ගම්මාන වලින් පිටත්ව බුදුගල පුරාණ ආරාම සංකීරණයේ නටබුන් දැක බලා ගෙන කූරගල පර්වතය තරණය කිරීම මේ ගම්මුන් ගේ සිරිත වූ බව කියති. අලි ඇතුන් ගේ වාස භූමියක්ව පැවති නමුත් මේ වන්දනා සමූහයට එහිදී කිසි අනතුරක් නොවුණු බව ගම්මුන් පවසන්නේ මේ දෙවියන් කෙරෙහි පැවති විශ්වාශය නිසාවෙනි.
         මේ වන්දනා පිරිස බුදුගල කන්ද නැග කූරගල පර්වතයට පිවිසෙන පඩිපෙළට අවතීර්ණ වෙති. පඩිපෙළ අවසාන වන්නේ ලුණු දිය පොකුණ ආසන්නයෙනි. එහි දියෙන් සැනහී පිරිසිඳුවී මේ වන්දනා නඩ හිටුවන් ගල හා කූරගල තරණය කරති. ප‍්‍රථමයෙන් හමු වන්නේ දත්ත සුමන හා ලක්ෂ්මන විසින් රහතුන් වහණ්සේලාට පූජා කරන ලද කටාරමි කෙටූ ගල්ලෙන් කීපයයි. එහි පිහිටුවා තිබෙන සමාධි පිළිම වහණ්සේ වැඳ පුදා ගෙන තමන් පැමිණි ප‍්‍රධාන කාර්යය වන අලුත් සහල් මංගල්ල්‍යට ලක ලෑස්ති වෙති.
        කූරගල පර්වතයට තාණ්ඩුල්‍යෙය පබ්බතය යයි ව්‍යවහාර වන්නේ මේ සිරිත් විරිත් නිසාවෙනි. කුහරගල මුදුනේ පෙර තපස් ඉසි වරුන් බවුන් වැඩූ තපස් පිළයි. එයින් මතුවන කුහරය අවසන් වන්නේ ගල පාමුල තිබෙන ලංකා පබ්බතය නොහොත් ශෝන ගල් ගේ ට පිවිසෙන උමං මාර්ගයකට බව පැරණියන් පවසති. නමුත් මේ කියන කාල වකවානුවේ දී එම උමග වැසී තිබුණි. වන්දනා නඩ හිටුවන්ගල මුදුනේ තිබූ ශී‍්‍ර පතුල් ලකුණ වැඳ පුදා ගෙන කිරි ආහාර පූජාව ද නිම කොට ආපසු ගම් රටවක් බලා පිටත්ව ගියහ.
       දහ අට වන සියවසේ ලන්දේසි පාලන සමයේ දී 1716 වර්ෂයේ දී කූරගල ඇතුළු තන්ජම ප‍්‍රදේශය වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් තන්ජම මුදියන්සේ ට පරිපාලනය පිණිස පවරා දී තිබුණි. ඉංග‍්‍රීසීන් සිංහලේ රටවල් ගිවිසුමකින් පවරා ගත් පසු මේ නින්දගම එම පරපුරේම මහවලතැන්න රටේ මහතාට 1816 ඔක්තෝබර් 07 වන දා සන්නසකින් පවරා දුන් බව සඳහන්ය.
       මේ කාලයෙන් පසු රත්නපුර බදුල්ල මහා මාර්ගය ඉඳිවී බළන්ගොඩ කඩමණ්ඩිය දියුණු වෙමින් පැවතුණි. වෙළෙඳ ව්‍යාපාර බලය මුස්ලිම් වරු අත් පත් කර ගෙන සිටියහ. දුම්කළ නැට්ටට බුලත් විඩට පවා ගම්මුන්ගේ ඉඩ කඩම් මේ ව්‍යාපාරිකයින් ලබා ගත් බව සඳහන්ය.  මේ අවදියේ මහවලතැන්න රටේ මහතා පදිංචිව සිටියේ මහවලතැන්න වලවිවේය. ඒ ඉංග‍්‍රීසි ආණ්ඩුවේ තානාන්තරයක් දරමිනි.    නිතර නිතර රත්නපුර කච්චේරියට යාමිඊම් කළ යුතුව තිබූ අතර රටේ මහතා ගෙන් පසූ දිසාපති වූ ඔහුගේ බෑනා වූ රත්වත්තේ දිශාවට බළන්ගොඩ නගරයෙන් ලැගුම් පළක් අවශ්‍ය විය.    මරික්කාර් නම් මුස්ලිමි වෙළෙන්දෙකු සතුව තිබූ මනරම් භූමි භාගයක් රත්වත්තේ දිශාවට ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ ඔහුගේ අශ්ව ගාල තැනවීමටයි. මහවලතැන්න පරපුර සතුව පැවති තන්ජම නින්දගම ආශි‍්‍රත ඉඩමකට හුවමාරු කොට බළන්ගොඩ කඩ මණ්ඩියේ ඉඩම ලබා ගන්නට දිශාවට හැකිවුණි. පසුකලෙක බළන්ගොඩ නගරයේ රත්වත්තේ වලවිව ඉඳි වන්නේ මේ භූමිභාගයේ ය.   මුස්ලිම් වරු දහඅට වන සියවසේ අග භාගයේ තන්ජමට ගොස් කංසා වෙළෙඳාම හා දඩමස් වෙළෙඳාම ජයටම කරගෙන යමින් සිටියහ. අපවත් වී වදාළ පූජ්‍ය විකිළියේ නාරද හිමියන් ඒ පුවත සඳහන් කරන්නේ මෙසේය.
 මෙයට වසර හැත්තෑවකට අසූවකට අතර කාලයෙහි බින්තැන්නේ සිට බෝවත්ත දක්වා අලි කොටි වලස් ආදී වන සතුන් බහුලව ගැවසුනු අතර මොලමුරේ දක්වාම එය එසේ විය. බළන්ගොඩ සිට යෑම සඳහා එකම මග වූයේ බෝවත්ත දක්වා වැටී තිබූ තරත්ත පාරයි. තන්ජමට හා කල්තොට දක්වා යා යුතු නම් බෝවත්තේ සිට කෙරතල දෙනිපිටිය හරහා තන්ජමට ඇති ගම්සභා පාරෙන් යායුතු විය. එකල මස්තම් නමි මුස්ලිම් භක්තිකයෙක් කූරගලට ගොස් හිටුවන්ගල ගල්ගෙයි නතරව සිට ඒ ප‍්‍රදේශයේ කංසා වවා ඒවා බළන්ගොඩට ගෙන ගොස් විකුණමින් සිටියේය.
    නාරද හිමියන් පවසන පරිදි 1922 වන විට මුස්ලිම් වරු කූරගල ගල්ගෙවල් වල ස්ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදෑනිවරු මේ ප‍්‍රදේශයේ සැරිසරන කල්හි මුස්ලිම් වරු ගල්ලෙන් වල තිබූ බුදු පිළිම කඩා බිද දමමින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය. මේ පිලිබඳ එමි. ජී. බ‍්‍රාහ්මණහාමි නමැති ආරච්චි වරයා ඉහළට රපෝර්තු කලේය. එහි    ප‍්‍රථිඵලයක් වශයෙන් ඔවුන්ගේ ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග ලැබුණි.එම ප‍්‍රදේශය භාරව සිටි මුල්ගම කෝරළේ මහත්මයාගේ රාජකාරි දිනපොතේ එම නියෝගය දක්වා ඇත්තේ මෙලෙසය.          
 ‘ කල්තොට ආරචිචි නමටයි..... අලි මස්තාන් විසින් කූරගල අළුතෙන් සාදා තිබෙන පැල නොහොත් ගේ වහාම කඩා දමා එය කල බව රපෝර්තු කරනු. ’
    දහඅට වන ශත වර්ෂයේ අවසාන භාගයේ සිට තන්ජම අවට නීති විරෝධී ව්‍යාපාර කළ මුස්ලිම් වරුන්ට    කූරගල වැදගත් වන්නට වූයේ එහි තිබූ හාස්කම් දැනගන්නට ලැබීමෙන් යයි සිතිය හැකිය. වෙසෙසින්ම ශ‍්‍රි පාද වන්දනාව ගැන ඔවුහු උනන්දු විය. ප‍්‍රධාන ශ‍්‍රීපාද ස්ථානයට විකල්ප වශයෙන් කූරගල පූජ්‍ය ස්ථානය වැදගත්  මුස්ලිම් සිද්ධස්ථානයක් ලෙසට වර්ධනය කරලීම ඔවුන්ගේ අරමුණ විය. 1923 දී ඔවුන්ගේ තාවකාලික පැළ ඉවත් කර ගැනීමට සිදුවුවද 1930 පමණ වන විට මුස්ලිම් පල්ලියක් මෙහි තාවකාලිකව අටවා ගැනීමට හැකි විය. එම තීරණය ගන්නා ලද්දේ බළන්ගොඩ ගොරොක්ගහමඩ  පල්ලියේ දී බව පූජ්‍ය විකිළියේ නාරද හිමියන් සටහන් කර තිබේ. 1968-07-15 දින නිකුත් කරන ලද දෆ්තර් ජෙයිලානි ගයිඩ් නම් ඔවුන්ගේ මග පෙන්වීම් පත‍්‍රිකාවේ සඳහන් පරිදි කූරගල මුස්ලිම් දේවස්ථානයක් බවට පත් වී ඇත්තේ එකොලොස්වන ශත වර්ශයේදීය.10 වන සියවසේ අරාබි අක්ෂර මෙම ස්ථානයේ තිබෙන බවද ඔවුන් සඳහන් කර ඇත. මස්තාන් වැනි සාන්තුවරයින්  ද අෂාම් අබ්දුල් නමැති දේශාටකයා ද මෙහි හිඳ භාවනා කල බව මේ ඊනියා ප‍්‍රකාශනයේ සඳහන් වේ.
      හිටුවන්ගල පතන හිටුවන්ගල වත්ත කූරගල පතන නම් ලත් අක්කර 33 පර්චස් 23 ක් වූ මේ ගල්ලෙන් සංකීර්ණය 1971 අගෝස්තු 11 දින පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ප‍්‍රකාශයට පත් කරන ලදී. ක‍්‍රි.පූ.දෙවනි සියවසට අයත් බ‍්‍රාහ්මී සෙල්ලිපි සහිත මෙම පූජ්‍ය ස්ථානය රහතුන් වහණ්සේලා වැඩ සිටි තපෝ භූමියක් වශයෙන් හඳුනා ගන්නා ලද්දේ පූජ්‍ය විකිළියේ නාරද පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල  පූජ්‍ය වටද්දර ඥාණ්ස්සර හිමි යන නායක හිමි වරුන් ගේ අප‍්‍රතිහත ධෛර්ය නිසාවෙනි. චාර්ල්ස් ගොඩකුඹුර පුරාවිද්‍යා කොමසාරිස් තුමා මෙම නිගමනයන් ස්ථීර කරන ලද්දේ වුවද මිථ්‍යා ඉතිහාසයකින් රැවටීමට පත් දේශපාලකයින් ගේ මැදිහත් වීම මත මෙහි අනවසර ඉදිකිරීම් දිගටම සිදුවුණි.
        කූරගල බුදුගල ලංකා පබ්බතය සහ ගල්ටැම්යාය යයි ආරාම සංකීර්ණ රාශියක් දුරාතීතයේ සිටම මේ   ප‍්‍රදේශයේ පිහිටා තිබුණි. පැරණි කුරුදියවල විහාරය වශයෙන් හඳුනා ගත හැක්කේ ගල්ටැම් යායයි. පලුගහවැව නම් දැනට කැඩී ඇති වැව් බැම්ම හරහා කුරුදියවල විහාරයටත් එතනින් ගල් ඇතිරූ පාරක් ඔස්සේ කූරගල  දෙසටත් පාරක් තිබූ බව පැරැණ්නන් කියති. මේ කුරුදියවල විහාරය අනුරාධපුර යුගයේ ඉඳිවූ පංචාවාස ආරාමයෙකි. ලංකා පබ්බතයේ වටිනා සෙල්ලිපි දෙකක් පිහිටා තිබෙන අතර බුදුගල ආරාමයේ ද පධානඝර නොහොත් පියන්ගල් දක්නට ඇත.මේ සියලු සිද්ස්ථාන ඉතිහාසයේ යුග ගණනාවකදී සංවර්ධනයට පත්ව   කෝටිටේ යුගයේ දී එකම ආරාම සංකීර්ණයක් බවට පත්වුණ ආකාරය අධ්‍යනය කළ හැකිය. යුරෝපීයන්ගේ යටත් විජිත සමයේ දී මේ ස්ථානය වනගත වන්නට ඇති බවද කල්පනා කළ හැකිය.
           මෙම ආරාම සංකීරණයේ පැරණිතම ස්ථානය කූරගලයි. එහි තිබෙන සෙල් ලිපි ක‍්‍රි.පූ. දෙවනි සියවසට අයත් ලෙසට සලකන නමුත් බෞද්ධ සිද්ධසථානයක් වශයෙන් එය ස්ථාපිතව ඇත්තේ බුදුන් වහණ්සේගේ ලංකාගමනය සිදුවූ අවස්ථාවේදී බවට සාධක පවතී.  බුදුන් වහන්සේ තෙවෙනි වර ලංකාවට වැඩිය ගමනේ දී සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි සමන්ත කූඨ මස්තකයේ ශ‍්‍රී පාද ලාංඡනය පිහිටුවීම පිළිබදව සඳහන් වන නමුත් ජන ප‍්‍රවාදයන්ට අනුව මහියංගනයට පැමිණීමට ද ප‍්‍රථම බුදුන් වහණ්සේ මුහුදු යාත‍්‍රාවකින් ලංකාවේ වයඹ මුහුදු තීරයට වැඩම කොට ඇත්තල මක්කම නම් ස්ථානයේ ප‍්‍රථම ශ‍්‍රී පාද සටහන තබා ඇත. මෙය සිද්ධ වූයේ රාක්ෂ ගෝත‍්‍රිකයින්ගේ ආරාධනය පරිදි බව සඳහන්ය. ඒ අනුව ලංකාවේ ශ‍්‍රී පාද වන්දනාව ඇතිවූයේ යයි මතයෙකි.
     කූරගල ද රාක්ෂ ගෝති‍්‍රකයින්ගේ වාස භවනයෙකි. ඔවුහු තෙරුවන් සරණ යෑමෙන් පසුව එහි ගල්ලෙන්  භාවනායෝගී රහතුන් වහණ්සේලාට පූජා කොට ඇත. එසේම සිරිපතුල් ලාංඡනයක් ද එහි පිහිටුවා වැඳුම් පිදුම් කරන්නට ආරම්භ කොට ඇත. කූරගල ආශ‍්‍රීත ජන ප‍්‍රවාද ජන කවි වල සඳහන් වන ආකාරයට සමන් පව්වට බුදුන් වහණ්සේ වැඩිය ගමනේ දී දිවා විහරණය පිණිස කූරගලට වැඩම කොට ඇත. ඒ සමන් දෙවියන්ගේ ආරාධනයෙනි. එම නිසා මෙම ස්ථානය දිවා ගුහාව යනුවෙන්ද නමක් දිනා තිබේ.
     අනුරාධපුර යුගයේදී සංවර්ධනය වූ බුදුගල පියන් ගල් ආරාමයේ මෙම ජන ප‍්‍රවාද තහවුරු කරන සළකුණු කීපයක් ඇත.ඉන් පළමුවැන්න එහි පහළ මළුවේ බෝධියට නුදුරින් ගල් කණුවක සටහන්ව තිබේ. සංඛයක හැඩය ගත්  රූපයක් ද ගුවන් යානාවක හැඩයක්ගත් රූපයක් ද එහි ඇත. දෙවැන්නේ ඇත්තේ සිරිපතුල් ලකුණයි. තිත් දෙකෙන් කියැවෙන්නේ සිරිපතුල් දෙකක් ඇති බවයි. තුන් වැන්න සවස්තිකයයි. එය රාක්ෂ ගොත‍්‍රිකයින්ගේ ගෝරා පසලම නමි සංකේතයයි. පළමු සළකුණත් දෙවැන්නත් අතර තිබෙන රේඛා චිත‍්‍රය එක වරම හඳුනා ගන්නට බැරි වුවද කූරගල ජන කවි අතර ඇති එක් කවියෙකින් එයට අවශ්‍ය අරුත දිය හැකි යයි සිතමි.  
 ‘තාරක අසුරා පෙරළු ගල යට කෙටුව සිරිපද පත්ම සටහන සැමට නොපෙනේ’  යයි සඳහන් කවි පදය අනුව කුහර ගල උමං මාර්ගයේ  දමා වසා ඇති සිරි පතුල මෙයින් සංකේතවත් වන්නේ යයි සිතමි. සටහනේ දක්වා ඇත්තේ ඒ උමං මාර්ගයයි.
       සපරගමු බින්තැන්නේ සිට වන්දනාවට එක්වෙන ජන සමූහයා බුදුගල මේ සංකේතය දැක ශ‍්‍රද්ධා භක්තියෙන් පිරී ඉතිරී ගොස් සාධු සාධු කියමින් කූරගල කරුණා කරන්නට ඇති බව කල්පනා කරන්නට හැකිය. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හික්ම වූ සාධු පිළිවෙතයි. අන්‍යාගමිකයින්ගේ යකුලු පහරකට හෝ මිථ්‍යා මතවාදයකට එම හැදියාව වෙනස් කළ නොහැකි බව ඉතිහාසය විසින් අපට පසක් කොට දී තිබෙන බව අවසන් වශයෙන් සටහන් කළ යුතුව තිබේ.
                                          
                                   

Friday, February 24, 2012

වාස්තු පුරුෂයා හා නිර්මිත


               වාස්තු විද්‍යාවේ ආරම්භය තේත්‍ර යුගයේ දී සිදු වූ බව ශිල්ප ශාස්ත්‍රීය ග්‍රන්ථ දක්වෙයි. විශ්ව කර්ම¸ මය මනු ¸තවෂ්ට්‍ර වැනි ඉසි වරුන් ගේ ප්‍රවාදයන් අනුව සකස් වුණු වාස්තු සම්ප්‍රදාය යුගයෙන් යුගයට නව අරුත් සපයමින් වැඩි දියුණු වී ඇත. තේත්‍ර යුගයේ දී මහ පොළවේ සිදු වූ වෙනස් කම් අනුව මහා බ්‍රහ්මයා විසින් වාස්තු පුරුෂයා හට දුන් වරදානය හේතු වෙන් නව ඉඳි කිරීමක දී මේ වාස්තු පුරුෂයා මුල් තන්හි ලා සැලකෙයි. මෙය සිදුවූ අයුරු සඳහන් කර ඇත්තේ මෙසේය.
පෙර තේත්‍ර යුගයේ දී සිය සිරුරෙන් මුලු ලොව වසා නිදන මහා භූතයෝ විය. මේ දුටු බියට පත් සක් දෙවිඳු මහ බඹු වෙතට ගියේය. බඹු ගේ උපදෙස් අනුව දෙවියන් මේ භූතයා අල්ලා යටි මුව කොට බිම හෙළීය. සුරයෝ එය මත හිඳ ගත්හ. බිණර මස අව පස තියවක දවස් හි දී මහ බඹු විසින් මේ භූතයා වාස්තු පුරුෂයා නැතහොත් බහිරවයා බවට පත් කර ලීය. උපත ශනි දිනක කැති නැකතේ වෙයි.
ගණනය කරන ලද දිගින් හා පළලින් යුතු වර්ග ඵලයක යම් ගොඩ නැගීමක් වෙත් නම් වාස්තු පුරුෂයා ගේ අරක් ගැනීමක් එහි වන බව පැවසේ. ඊශාන දිගට හිස ද නිරිතට දෙපය ද තබා ගෙන සිටින මේ වාස්තු පුරුෂයා තේරුම් ගෙන ගොඩ නැගීම කළ යුතු යයි පැරණි මතයයි. මෙහිදී ගෘහ හිමියා හා වාස්තු පුරුෂයා අතර සාපේක්ෂ සාම්‍යයක් ඇති විය යුතුය. මෙය තේරුම් ගැනීමට සරල උදහරණයක් ගනිමු. වාස්තු පුරුෂයා මහ පොළව බදා ගෙන සිටින අතර එම පිණ්ඩය x යයි ගත හොත් මහ පොළවේ කොතනක හෝ තනන ගෘහ පිණ්ඩයක් x-1 ලෙසට ගත හොත් මේ වර්ග පිණ්ඩයන් අතර සාම්‍යයක් හට ගැනීම සිදු විය යුතුය. වාස්තු පුරුෂයා හා ගෘහ හිමියා අතර සාපේක්ෂ බව ඇතිකරන්නේ වඩු රියෙනන් මැන ලබා ගත් වර්ග ඵලයෙනි.මෙය ඇති කල හැක්කේ ගෙයි හිමියාගේ දකුණු අතේ දිග අනුව ගෘහ පිණ්ඩය වර්ග කිරීමෙනි. අතේ දිග වඩු රියන වශයෙන් ද එහි පුරුක් අඟුල නැතහොත් අඟල වශයෙන් ද ව්‍යවහාර වේ.
මේ මිනුම් ක්‍රමයන්හි දී විස්කම් මතය හා මය මතය දෙකකි. ලංකාවේ වාස්තු විද්‍යා ඥයින් මේ ක්‍රම දෙකම අනුගමනය කරති. ක්‍රි.. 1892 දී ඩී.පී. සිල්වා අප්පුහාමි විසින් අවසාන වරට පිටපත්කරන ලද ජනප්‍රිය පැරණි ශිල්ප ග්‍රන්ථයක් වන මය මතය නෙහොත් සිංහල මයිමතය කවි පොතේ එන හැටියට වඩු රියනට අර්ථ දක්වා ඇත්තේ මෙසේය.
යහපත් ලෙස සිඳ ගත් මගුල් කප ගෙන – මනිනා වඩු රියන මෙලෙසට ගනු    හැඳින
දකුනෙන් එක් රියන් වියතක් සිවු ගුලෙන – මෙලෙස වඩු රියන මැන ගනු වඩු විසින
මය ලංකාපති රාවන ගේ මාමණ්ඩිය වෙයි. අසුරයන් ගේ කර්මාන්ත කරුවා ද වෙයි. එහෙයින් ම ලක් ජනතාව හට වඩාත් ලංව සිටින්නේ මය ඉසිවරයාය. ඔහු ගේ මාන ක්‍රමයන් අනුව වඩු රියන මෙසේය. වැලමිට හන්දියේ සිට සුලැඟිලි දක්වා රියන ද මහපටැඟිල්ලේ සිට සුළැඟිල්ල දක්වා වියතද දබරැඟිල්ලේ මැද පුරුකේ දිග අඟුල වශයෙන් ද සැලකේ. මෙය එකතු කර ගත් කල්හි ආසන්න වශයෙන් අඟල් තිස් එකකට සමානය. මෙලෙස තනා ගත් වඩු රියනක ආදර්ශයක් දැනට මහනුවර කටු ගෙයි තැන්පත් කර ඇත. පරිපූර්ණ මිනිසෙකුගේ උරහිසේ සිට සුළැඟිල්ල දක්වා දුර ද මෙයට සමානය. මේ වඩු රිනයි. . ශිල්ප ශාස්ත්‍රීය ග්‍රන්ථයන්හි සඳහන් ගුරු අදහස් කඩ නොකොට අනුගමනය කළ බැවින් පැරණි මුතුන් මිත්තන් මිනුම් ක්‍රමයන්ගෙන් වැඩ ගත්හ.
සමහරක් වාස්තු විද්‍යාඥයින් වැලමිට හන්දියේ සිට සුළඟිල්ල දක්වා වූ මිටි රියන ද ගෙවල් ගොඩ නැගීමට යොදා ගනිති. එය නිවරදි නොවේ. මිටි රියන භාවිත කරන්නේ දුර මැනීමටයි. අබ ඇටයෙන් පටන් ගැනෙන ඒ මිනුම් ක්‍රමය අනුව වියත හා රියන තීරණය වෙයි. වියතට විග්ගුහු දෙකකි.විගුස්ස යනු මිට මොළවා ගත් අත සහ දිග හැර ගත් මහ පටැඟිල්ලයි(අඟල් 4.5). එයින් දෙකක් වියතක් වෙයි. ( වත්මන් අඟල් නවයයි) වියත් දෙකෙක් මිටි රියනක්(අඟල් 18) වෙයි. මේ මිනුම් ක්‍රමය අවසන් වන්නේ මහ දුර නැමැති මිනුමෙනි. නගර පවුරු වීදි මැනීමේ දී මේ මිනුම භාවිත කර තිබේ. නමුත් වඩු රියන යනු වෙන් පැහැදිළිව සඳහන් වන්නේ වාස්තු පුරුෂයාට සාපේක්ෂව ගෙ හිමියගේ අතින් ලබා ගන්නා දුරකි. නමුත් මේ දුර පොදු වශයෙන් ගෙන අඟල් තිස් එකේ මිම්ම ගෙන ගෙවල් වර්ග කිරීම ද කරති. එය ද වර්තමානයට අනුව නිවරදිය.
මේ වඩු රියන පුරුක් විසි හතරකට විසි අටකට සහ තිස් දෙකකට බෙදා භාවිතා කරන ක්‍රමයක් ද පුරාණ ග්‍රන්ථ වල දක්වා තිබේ. සිටු ගෙවල් තැනීමට මාළිගා තැනීමට හා සාමාන්‍ය ගෙවල් තැනීමට මෙවැනි ප්‍රභේදයක් තිබූ බව තේරුම් ගත යුතුයි. සමහරුන් මේ ව්‍යවහාරය වැරදි ලෙසට තේරුම් ගෙන වර්තමාන අඟල් විසි හතරද වඩු රියන ලෙසින් ගැනීමට උතසාහ කරති. මෙසේ කිරීමේන් ගෘහ පිණ්ඩය නිවරදිව සකස් නොවේ. අවශ්‍ය වන්නේ වාස්තු පුරුෂයා ට සාපේක්ෂව මහ පොළව මත නිර්මිතයක් ගොඩ නැගීමයි. එවිට එය පරිසරයේම වස්තුවක් බවට පත් වේ.

Tuesday, February 21, 2012

කතුවරයාගේ කෘති පස් වැන්න

වාස්තු විද්‍යාව ----------                      සිංහල වාස්තු කිරිත්තම

මුල් පළ කෙරුම --------                                               1998

උපුටා ගැනීම -----------    වාස්තු නිර්මාණ කලාවත් ඊට පසුබිම් වන වාස්තු විද්‍යාවත් නිරනතරයෙන්ම 
                                         සමාජ   සම්ප්‍රදායන්ගෙන් පෝෂණය වනවා මෙන්ම ඒවා බිහි කරන්නටත් පවත්වා 
                                         ගන්නටත් රුකුල් දෙයි. මේ හේතුව නිසා කිසියම් සමාජයක සංස්කෘතිය හා 
                                         සම්ප්‍රදායය වාස්තු  නිර්මාණ තුලින් අපූරුවට පිළිබිඹු වෙයි. හෙළ වාස්තු නිර්මාණ 
                                         තුලින් අප දකින්නේ සමාජ සංස්කෘතියට නෑකම් කියන ආකල්ප මත හා 
                                         සංස්කෘතිය සම්ප්‍රදායන්ය.මේ සම්ප්‍රදායන්හි පැවැත්ම ,නිර්මාණ කලාව මෙන්ම 
                                         දේශිය  අනන්‍යතාවය ද ඔප මට්ටම් කරයි. මතුගම සෙනෙවිරුවන් විසින අධ්‍යනය 
                                         කොට   අප වෙත ඉදිරිපත් කෙරෙන මේ ග්‍රන්ථය තුලින් අප හඳුනා ගන්නා , වාස්තු
                                         නිර්මාණ සම්ප්‍රදායන් අපේ වාස්තු නිර්මාණ කලාවේ අනන්‍යතාවය හඳුනා
                                         ගන්නටත් එය ඉදිරියට ගෙන යන්නටත් රුකුලක් වනවා නොඅනුමානය.

                                         ආචාර්ය රංජිත් දයාරත්න
                                         වාස්තු විද්‍යා ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය 

 

Monday, February 20, 2012

ලිපි යොමුව


ලිපි යොමුව


කතුවරයාගේ කෘති සිවු වැන්න

ගොවිතැන ----            බිත්තර වී ශිල්පය

මුල් පළ කෙරුම ------                  1995
දෙවනි පළ කෙරුම ---                  1999


ඇතුලු මැය -----------  වී ගෙඩිය
                                    බිජු තර කිරීමේ තරම
                                    පොහොර කිරීම
                                    පැල හැදීම
                                    රෝග පිරික්සුම
                                    ඉර හඳ ගොවිතැන
                                    කොළ දින් කිරීම
                                    ගබඩා කිරීම

උපුටා ගැනීම --------- බිත්තර වී යනු මොනවා ද -
                                   පැරණි සිංහලයින් ගේ බසේ වන් හුරුව අනුව සලකතොත් බිත්තර යන පදය සකස වැ 
                                   පවතින්නේ මෙලෙසයි.
                                   බිජු (බීජය හෝ ඇටය)
                                   තර  ( තර කිරීම)
                                   බිජු තර --බිත්තර
                                   වී ගෙඩිය බීජයෙකි. එය තර කිරීමේ ශිල්පය සෑම ගොවියෙකුම දැන සිටිය යුත්තකි. ඒ
                                   මන්ද ගොවිතැනේ සාරවත් භාවයට අවශය පළමු සාධකය එය බැවිනි. එසේම ඒ    
                                  ශිල්පය අපේ මුතුන් මිත්තන් වසින් සිය පරම්පරා ගත ඉතිහාසය තුල දී එත් රැස් කර ගත්
                                  දැනුමක් ලෙසින් සැලකෙන හෙයිනි

බුලත් විට භාවිතයෙන් සුව සම්පත

                                                  


              නාග ලෝකයෙන් ලබා ගත්තේ යයි සැළකෙන බුලත් කොළයේ නාරටියේ විෂ ඇති හෙයින් නාරටියේ දෙකොණ ඉවත් කොට සැපීමට ගැනීම ගැමියන් ගේ සිරිතයි. බුලත් අත මෙන්ම හෙප්පුව ද සිංහල ගෙදරක සංස්කෘතික ලක්ෂණයෙකි. මගුල් පෝරුවට වැඩිහිටියන් ගුරු දෙගුරුන් නැමදීමට බුලත් අත යොදා ගන්නේ මහත් ගෞරව බුහුමානයෙනි. බුලත මංගල සංකේතයෙකි. මළ ගෙදරක දී බුලත් වට්ටියේ බුලත් කොළ ආ පිට හරවන්නේ ශෝකය පළ කිරීමට සහ අනිත්‍ය මෙනෙහි කිරීමටයි.
      බුලත් විට සැපීමෙන් මුඛ පිළිකා ඇති වන බවට නූතනයින් අතර පැතිර පවතින මතයනට හේතු වී ඇත්තේ බුලත් වලට ගැනෙන නොයෙකුත් අඩු වැඩිය පිළිබදව වරින් වර කරන ලද වියුක්ත විශලේෂණයන් නිසා විය හැකිය. දුම්කළ භාවිතය බුලත් අතට එක් වූයේ යුරෝපීය යටත් විජිත සමයෙන් පසුව වන අතර දුම්කොළය සැපීම ද දුම්කොළ වගාව ද මනුෂ්‍යාට හා පරිසරයට හිතකර නොවන බව තේරුම් ගෙන ඇත. එහෙත් පුවක් භාවිතය මගින් මුඛ සෞඛ්‍ය පිරිහෙන බවට දක්වා ඇති නූතන ප‍්‍රකාශ වල සත්‍යතාවයක් නොමැති බව සඳහන් කළ යුතුය.
      මනුෂ්‍යාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ක‍්‍රියා වලිය සාර්ථකව සිදු වීමට නමි ආහාරය මුඛයේ පටන්ම ක‍්‍ර‍්‍රමානුකූලව කොටස් වලට කැඩී පැසවීම ආරම්භ කළ යුතුය. මුඛයේ තිබෙන ටයලීන් නම් එන්සයිමය මේ ක‍්‍රියාවලිය ආරම්භ කරන අතර එසේ වීමට භාෂ්මික මාධ්‍යයක් අවශ්‍ය වේ. ආමාශයට මේ ආහාර කොටස් යන තුරුම මේ මාධ්‍යය ක‍්‍රියා නොකළහොත් ජීර්ණය නිසියාකාරව සිදු නොවේ. සිංහල වෙදකමේ පහදා දෙන පිළිවෙලට මුඛයේ දී ආහාර කැඩී වෙන්වී මධුර විපාකයට පත් විය යුතුය. එය සරල සීනි බවට පත් වීමේ ක‍්‍රියාවලිය ලෙසට හඳුනා ගත හැකිය. ආමාශයේ සිදු විය යුත්තේ ආම්ලික ක‍්‍රියාවලියකි. එහි පවතින රසායන ද්‍රව්‍ය ක‍්‍රියා කරන්නේ ආම්ලික මාධ්‍යයක් තුල පමණි. එහිදී පැසවීමට පත් ආහාරය වෙනත් ආකාරයකින් දිරවා රස කොටස් උරා ගැනීම ආරම්භ කරයි.
     සැබවින්ම බුලත් විට සැපිය යුත්තේ අලුයම සහ ආහාර අනුභවයෙන් පසුවය. බුලත් විටට ගැනෙන ප‍්‍රධාන ද්‍රව්‍යයන් වන පුවක් සහ හුණු මගින් මුඛයේ භාෂ්මික මාධයයන් ඇති කිරීමට සහාය ලබා දේ. මූකල පුවක් නැතහොත් රබ්බඩ පුවක් මගින් මුඛයේ පණු දොස් නසන අතර සෙම හා වාතය කිපී ඇත්නම් සමනය කරයි. මුඛයේ විරස ගතිය නැති කරලීමට ද එය උපකාරී වේ. දන්තාබාධයන් නැසීමට ද පුවක් වල කසට ගතිය උපකාරී වේ. ඇතැමුන් ගේ පරිභෝජනයට ගැනෙන ගොලෑ පුවක් වෙසෙසින්ම උණ හා පිපාසාව සංසිඳවන  ඖෂධයකි. පුවක් භාවිතයේ දී පැරණි ගැමියන් පුවක් මදය පිහියෙන් සූරා ඉවත් කලේ එහි මත් ගතිය ඇති කරන විසක් ඇති හෙයිනි. එසේම කුරුට්ට ද ඉවත් කිරීමට යෙදුනි. ඇතැමි පළාත් වල දී දැහැත් වට්ටියට ඇරුණු කොට පුවක් ගෙඩිය පළා සුද්ද කර තැබීම නොකරති. බුලත් හෙප්පුවේ ගිරය ඇති හෙයින් අවශ්‍ය කෙනෙකුට පුවක් ගෙඩිය පළා සුද්ද කොට විටට ගතහැකි වන ලෙසට එය තබා තිබුණි. මෙයට හේතුව කුඩා දරුවන් රෝගීන් ආදී බුලත් විට නොසැපිය යුතු යයි දක්වා ඇති පිරිස ගෙන් බුලත් පරිභෝජනය වළක්වාලනු පිණිසය. සිංහල පුවක් හම්බන් පුවක් රට පුවක් යයි භාවිතයේ තිබෙන වර්ග අතරින් සිංහල පුවක් විශේෂ වඩාත් සුදුසු අතර කරුංකා සහ මඩ පුවක් සෑදීමට ද ඒවා යෝග්‍ය වේ.
   දේශීය ඖෂධ අතර පුවක් ඉහළින්ම සැලකෙන අතර දන්තා රෝග නැසීමට කෙරෙන මුඛ ශෝධන ක‍්‍රියා වලියේ දී පුවක් සහ පුවක් මුල් යන දෙවගයම යොදා ගනී.    හුණු  භාවිතය ද නවීනයන් ප‍්‍රතික්ෂේප කරන නමුත් අපේ ගැමියන් හුණු භාවිතා කරන්නේ කහ දමා විෂ මරා ගැනීමෙන් බව මතක් කළ යුතුය. හුණු සඳහා වර්තමානයේදී බෙලි කටු හුණු බහුලව භාවිතා කළ ද හුණු ගල් විශේෂ වලින් තනා ගන්නා හුණූ ද ශාක කඳන් දවා ගෙන සාදා ගන්නා හුණු ද බුලත් විටට වඩාත් යෝග්‍ය බව පුරාණයන් දැන සිටියහ. හුණු භාවිතයෙන් ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය වන අතර මුඛයේ භාෂ්මික තාවය ද වර්ධනය කරයි. එසේම පණු රෝග නැසීමේ හැකියාවක් ද ඊට ඇත. එය මගින් වාතය නසන අතර රුජා ග‍්‍රහණි ආදී රෝගයන් ශමනයට ද උපකාරී වේ.
    බුලත් පුවක් සහ හුණු සංයෝග වූ විට තුන්දොස් නසන බවද කියා තිබේ. උදය වරුවේ. පුවක් වැඩියෙන් ද දහවල් තුන් වගය සමව ද පස්වරු කළ බුලත් වැඩියෙන් ද රාත‍්‍රියේ දී හුණු වැඩියෙන් ද ගෙන බුලත් සැපිය යුතු යයි ඉසි භාෂිතයේ දක්වා තිබෙන්නේ පෙර කී ආහාර ජීරණ ක‍්‍රියා වලියට  විට සැපීමෙන් ඉටු වන මහඟු සහාය නිසාවෙනි. .එසේම විට සැපීමෙන් පසුව ඇති වෙන මද දහදිය දැමීම මගින් ශරීරයේ ඇතිවන ඉක්මන් ක‍්‍රියාකාරීතවය ද ආහාර ජීර්ණයට හිතවත්ය.
     පුරාණ ගැමියන් බුලත් වර්ග රාශියක් භාවිත කළහ. ඒ අතර මුලින්ම එන නාග වල්ලිය බුලත මත් ගතිය ඇති කරන හෙයින් පරිභෝජනය නොකරති. රටකොළ ගස් බුලත් රට දළු ගැරඬි මානෙරු කහ මානෙරු ගල් දළු දිය බුලත් ගැට තෝඩු මහාමේරු වැම්මල් බුලත් අනෙක් වර්ග අතර වෙති. මේවායේ සමහර වර්ග වලට විදේශ වලදී උසස් මිළක් ද ලැබෙන බව කිව යුතුය. ඒවා අපගේ විදේශ විනිමය උපයන දේශීය ද්‍රව්‍ය අතර අතීතයේ පටන්ම ප‍්‍රමුඛාතාවෙහි ලා සැලකේ.  ගම් බුලත් හැරුණු කොට වන්නියේ බුලත් යයි සැලකෙන වන ශාක විශේෂ ද දැකිය හැකි ය. දඩයම් කරුවන් වැද්දන් වන්නි වරුන් ආදීන් මේ වර්ග බුලත් වෙනුවට භාවිතා කළහ. තලා කොළ පන්ගන් නැටි ගිනිහැලි දෙමට පොතු මේ වන්නි බුලත් විටට ප‍්‍රධාන වෙයි.
      බුලත් විට  ගැමි ගෙදර පටන් රජ මැදුර දක්වාම ඉහළින්ම සැලකූ ආගන්තුක සත්කාරය විෂයෙහි ප‍්‍රධානව තිබුණි. ලජ්ජා නැතිව ඉල්ලා ගත හැකි ද්‍රව්‍ය අතර ප‍්‍රධාන වන්නේ පැන් සහ බුලත් විටයි. ගැමි ගෙදරක බුලත් විටට වඩා රජ මැදුරේ බුලත් වඩිය විවිධත්වයෙන් යුක්තය. එයට පස් පලවතක් අඩංගු වේ යයි සැලකේ. බුලත් පුවක් කපුරු කස්තුරි ළමග තකුල් වසාවාසි  ආදිය ද එනසාල් ද භාවිතයේ යෙදෙන බව දක්වා ඇත. එයට අමතරව සාදික්කා කපුකිණිස්ස ඇට එනසාල් අරළු සහ පුවක් ඇතුලත් සංයොගයක් ද කරාබු නැටි වසා වාසි කයිප්පු කපුරු කස්තුරි හා මුතුඅළු ඇතුලත් බුලත් විට ද භාවිතා කර ඇත. යෝග රත්නාකර වෙද කවි පොතේ පස්පලවත ගැන සඳහන් වන්නේ මේ ආකාරයටයි.
 සාදික්කා තකුල්ද මේ - සිහිනෙනසල් අරළු ද මේ
 පූග පලද පස් වග මේ- පස් පළ වත වේ    නියමේ
             හුණු පුවක් සමග බුලත් සංයෝගයට තවත් ඖෂධීය කුළු රසය ද එකතු වන කල්හි බුලත් විට කෙතරම් බලගතු ඖෂධයක් බවට පත් වන්නේ දැයි පැරණියන් දැන සිටියේ වෛද්‍ය මූල ධර්මයන්ට එකඟවය.පණුවන් නසන කට සුවඳවත් කරන උත්තේජනය ඇති කරන මේ ඖෂධ සමග බුලත් විට ගත් රාජ සභාවල පණ්ඩිතයින් බුලතේ ගුණ වර්ණනා කලේ බුලත පණ්ඩිත සභාවට මෙන්ම යුවති සමාගම යේ ද කළ යුතු යයි නියම කර ඇති බැවිනි.    සුදසු වේලාවට බුලත් විටක් සැපීමෙන් ඇතිවන මුඛ සෞඛ්‍ය මෙන්ම දේහ ශක්තිය පිළිබඳවද ඉසි භාෂිතයේ පැවති ව්‍යවහාරයන් අපට කිසිසේතම අමතක කළ නොහැකිය. රාජ නිඝණ්ඩුවේ එය සඳහන් කර ඇත්තේ මෙසේය.
     බුලත් නොකෑමෙන්  - සෙම් පිත් වා වැඩෙයි
     දත් දුබල වෙයි       - හිස කෙස් වැටීමෙන්
     ගිනි මද වීමෙන්     - සිරුර බල හානි වෙයි
          පැරණි ගැමියන් සිය බුලත් මඩිස්සලය හැඩ වැඩ දමා සකස් කර ගත්තේ ද බුලත් කොටන පිත්තල වං ගෙඩි නිර්මාණය කර ගත්තේ ද පුවක් ලියන කටු පාරම්පරිකව තබා ගත්තේ ද බුලත නැතිවම බැරි හෙයිනි.පැපිලියාන සන්නස ට අනුව පැපිලියානේ සුනේත‍්‍රා දේවී පිරිවෙණට බුම්ත් පුවක් සැපයීම පිණිස කුඩලිගම නමි ග‍්‍රාමයක්ද වෙන් කර තිබුණී. අවසාන සිංහල රජ කාලයේ දී උඩරට පෙදෙස සිංහලේ වූවා සේම බුලත්  නිසාවෙන් බුලත් සිංහලේ යයි නම් ලැබූ ග‍්‍රාමයන් ද රටේ පිහිටා තිබුණි.
    වර්තමානය වන විට තරුණ පිරිස අතර බුලත් විට පරිභෝජනය අඩු වී ඇත. බාබුල් වැනි මත් කාරක අඩංගු  බුලත් විදේශ වලින් ගෙන්වීමට නිදහසේ ඉඩ ලැබීම නිසා වෙනත් සමාජ කොටසක් අනාරක්ෂිත තත්වයට පත් වී ඇත. බුලත් විට කෑමෙන් පිළිකා ඇති කරන්නේ යයි ප‍්‍රකාශ කරන සෞඛ්‍ය අංශ ශරීරයට අහිතකර කෘතිම රස කාරක වලින් වන විනාශය පිළිබඳව සොයා බලන්නේ නැත. කේටරින් සේවා බහුල වීම නිසා විශාල රස කාරක ප‍්‍රමාණයක් ශරීරයට එකතු වන අතර ආහාර විෂවීම් අම්ල පිත්තය බඩ වැල්වල තුවාල පවා ඇති වී බඩේ උෂ්ණත්වය මගින් රෝගියා අසාධ්‍ය තතවයකට පමුණුවන බව පෙනී ගොස් ඇත. මුඛ පිළිකා වලට ප‍්‍රමුඛ හේතුවක් වී ඇත්තේ මෙයයි. බොක්කේ උෂ්ණය නිසා අම්ල ගතිය ඉහළට ගසා දත් දිරාපත් කරන අතර කටේ නිරන්තර තුවාල ගෙඩි වලට ද එය හේතුවක් බවට පත් වී ඇත. නමුත් බුලත් විට සමග ඇති වන සෞඛ්‍ය ආරක්ෂාව දෙස ගර්හාවෙන් බලා දේශීය ජනතාව අතරින්  බුලත ඉවත් කිරීමේ ව්‍යපාරයක් මේ  ප‍්‍ර‍්‍රචාර සමග තිබෙන බව අප තේරුමි ගත යුතුය.
     බුලත් හා පුවක් අපට විදේශ විනිමය සපයන පාරම්පරික අපනයන ද්‍රව්‍යයකි. බුලත් පර්යේෂණායතනයක් පවා පිහිටුවා ඇත්තේ එ බැවිනි. බුලත්වලින් ඖෂධ ඇතුලු අතුරු නිෂ්පාදන කරලීමට මාර්ගය විවර නොකර බුලත් විට ප‍්‍රතික්ෂේප කරන සමාජයක් නිර්මාණය කිරීමත් දේශීය ආර්ථිකයට පහර ගැසීමත් මේ ව්‍යාපාර වල අරමුණු විය හැකිය. එම නිසා සිංහල සංස්කෘතියේ සංකේතය වන බුලත් හෙප්පුව ආශීර්වාදයක් ලෙසට වැළඳ ගැනීමේ ක‍්‍රියා වලිය වත්මන් ජතික ව්‍යාපාරයේ යුතුකමක් ලෙට ද සලකමි.