පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, April 23, 2024

බෙදා හදා ගැනීම පිළිබඳ රාජ නීතිය සහ පැරණි මූලාශ්‍ර

 

                          


          මෙරට ගැමි සමාජය හසුරුවන ප්‍රධානතම රැහැන නම් සාමූහිකත්වයයි.පැරණි ගැමියන් කිසි විටක සාමූහිකත්වයෙන් තොරව සංවිධාන ගත නොවූහ.ඔවුන්ගේ ප්‍රධානතම ආර්ථික ක්‍රියාවලිය වූ කුඹූරු ගොවිතැන සහ හේන් ගොවිතැන සාර්ථකත්වයට පත් කරනු ලැබූවේ එකට වැඩ කරගැනීමට තිබූ දක්ෂතාවයෙනි.මුල් කැටෑ හේන නම් වියළ් ගොවිතැනේ දී සියලුම දෙන එකතු වී මූකලානක් කොටා පුලුස්සා වටේ දඬුවැට සවි කර තමන්ගේ පංගු වෙන් කර ගත්තද හේනේ පැල් රැකීම කරන ලද්දේ සාමූහික හැඟිමකිනි. එසේම අස්වනු කපා පා ගා ගැනීම සහ බෙද‌ා හදා ගැනීම සඳහා පුද්ගලිකත්වයට වඩා සාමූහිකත්වය ඉස්මතු විය.මේ නිසා මුලු රටේම වැඩ කිරීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමින් තිබුණි. පසු කාලීනව රාජකාරිය යනුවෙන් නම් කළ අතර සියලුම රට වැසියන්ට තමන්ගේ කාර්යයක් හිමි විය. කුල වශයෙන් වෙන් කර තිබුණද ඒ ඒ අය අතර බෙදා හදා ගැනීමද අත්තමට කයියට වැඩ කිරීමද උපරිම මට්ටමින් තිබූ ආකාරය පැහැදිලි වේ.

          මේ බෙදා හදා ගැනීම ජාන වලින් පැමිණි දෙයක් නොවේ.බදු දහම වැළඳ ගැනීමෙන් පසු ඒ සාර්ධර්මයන් හි රජු පිහිටීම නිසා මෙවැනි හැදියාවක් ආරම්භ වන්නට ඇත. සතුරු ආක්‍රමණ මත රටේ අවුල් වියවුල් ඇති වූ නිසා නැවත ඒ පෙර සිරිත් පණ ගැන්වීම අවශ්‍ය විය.ඒ අනුව සකස් කරනු ලැබූ නීති සහ රීති මගින් නැවත ඒ සිරිත් ආරම්භ විය..චාරිත්‍ර සහ වාරිත්‍ර යනුවෙන් අප අතර අද ව්‍යවහාර වන්නේ එයයි. යම් නීතියක් චාරිත්‍රයක් වන්නට නම් ඒ සිරිත දිගු කාලයක් තිස්සේ ජන සමාජය විසින් භාවිත කල යුතු විය.එවිට එම පෙර සිරිත නීතියක් වුවත් නීතියක් නොවී ජන සමාජය විසින් ආරක්ෂා කරනු ලබති. බෙදා හදා ගෙන කෑම බෙදා හදා ගෙන වැඩ කිරීම සිංහල ජන සමාජයට පුරුදු පුහුණු කරන ලද්දේ එසේය.ඉරිපින්නියාව( පදවිය අසල ) ටැම් ලිපිය අනුව වාරිමාර්ග අමුණු බැන්දවීමටද පෙර සිරිත ක්‍රියාත්මක විය.එයද නීතියකින් පැමිණියකි.මේ සම්බන්ධව තිබෙන තවත් වැදගත් හොඳම උදාහරණයක් ලිඛිතව පැවතීම මේ පිළිබඳව විමර්ශනය කරන්නවුන්ට ඉතා වැදගත්ය. අනුරාධපුරයේ ඇතුලු නුවර මහාපාලි දාන ශාලාව ආසන්නයේ පවතින සතරවන මිහිඳු රජුගේ ශිලා ලේඛනය ඊට දෙස් දෙයි.

      සතරවන මහින්ද( ක්‍රි.ව.980 -996) පස්වන කාශ්‍යප රජුගේ පුත්‍රයෙකු ලෙස සැළකිය හැකිය. ඔහුගේ බිසව කාලිංග කුමරියක වූවාය. ඒ වන විට දළදා වහන්සේ සන්තකයේ පැවතීම කාලිංග දළදා පරපුරේ නොහොත් කීරවැල්ල බිසවක් සිටීම රාජ උරුමය තහවුරු කරලීමට බලවත් සාධකයක් විය.ඒ ශක්තිය නිසා මහින්ද රජු දඹදිව ආක්‍රමණය කොට තුන්වන කෘෂ්ණ රජු පරාජයට පත් කළේය.එසේම ඌරාතොට නැතිනම් කයිට්ස් දූපතට පැමිණි දෙමළ ආක්‍රමණිකයෙකු පරාජයට පත් කොට රාජ්‍ය ස්ථාවර කොට වසර දහසයක් රජකම් කලේය.මේ නිසා ඔහුට ශාසනික මෙහෙයක් කල හැකී වූ අතර දළදා වහන්සේ කෙරෙහි තිබූ භක්තිය නිසා දළදා මැදුර ප්‍රතිසංස්කරණයට ලක් කළේය. අනතුරුව ඒ ආසන්නයේ ශිලා ලේඛනයක් ද පිහිටුවන ලද්දේය. ඊට අමතරව වෙස්සගිරිය අසල සහ මිහින්තලයේ යන ස්ථාන වල පිහිටුවන ලද ශිලා ලේඛන මෙරට ශාසනික නීතිය සහ රටේ පෙර සිරිත හුවා දක්වන ප්‍රබල සාධක වෙති. අනුරාධපුර පුවරු ලිපියයයි සදහන් වන පහත සඳහන් ලිපිය මගින් කියැවෙන වැදගත් රීතින් සමාජය වෙත මුදා හැරීමට සිදු වූයේ කුමක් නිසාදැයි මේ ලිපි ය කියැවීමෙන් පසක් කරගත හැකිය. 


   

          'සිරිබර් කැත් කුල කොත් ඔකාවස් රජ් පරපුරෙන් බට් ලක්දිව් පොලොයොන පරපුරෙන් හිමි වූ සිරි සඟ්බො අබය් මහ රජ්හු තුමා සත් ලැගු සොලොස්වන හවුරුදුයෙහි මැදින් දින සන්ද් අවප් මස්හි  දස පක් දවස් සතර් පස්හි අය්වූ උකස් ගම්හි ඉසා පමුණු ගම්හි ඉසා ගිය තුවාක් දවස්හි රද් කොලට් වැලෙන්දමින් සිටි කැබැල්ලෙ හි කළැලි කුම්බුර් පෙරෙ වළන්දමින් සිටි සෙ වළදනු කොට් ඉසා සෙසු වියළ් තිබූ තුවාක් තැන් පමුණු ලදුවන් වියළ් නෙරුන් මුත් කැබලි ලදුවන් වියළ් නෙරනා කොට් ඉසා පමුණු ලදුවන් වියළ් නෙල් තැන්හි පහන් ........................ගත් කිරි අමුණ බා  දෙ කැබලි ලදුවන් බෙදා ගන්නා කොට් ඉසා ..............මෙයට් උපන් දෙවිතයක්  ඇත ගම් වැසියන් ......................පිරි කපා බා ගන්නා කොට් ඉසා පෙරෙ කැබලි .........................වල් පියොව තිබූ තුවාක් තැන් වැව් බැන්දැ....................කැරුණ් හසෙකැ බෙදා ගන්නා කොට් ඉසා ...............................ක් ඇත ගම් වැසියන් දුට් නැස්මක් ........................යන් බෙදා ගන්නා කොට් ඉසා මෙකුන් විය ................................බද් වැව් සර් වියළ් නෙළැයෙහි වැවූ ප............ගම්වැසියන් පස් දෙනෙකු කී බා දෙ කැබලි...................කොට් ඉසා පෙරෙ ඔත් ගස් කොලට් අ..............වහන්සෙ හුණන්හි වැඩැ වෙන කලැ කළ ව්‍ය ..................තුනින් එකක් නියායෙන් බෙදා ගන්නා කොට් ඉසා ...................තුවාක් දවස්හි පමුණු ලදුවනට කුඩී.................වැටෙමින් සිටි වැට්මක් ඇත පෙරෙ .........................කොට් ඉසා මෙකුන් අයෙළින් ඔත් නැරුළ් ත..................මහ වරක් දෙකැබලි ලදුවන් බෙදා ගන්නා කොට් ඉසා ................කින් පකක් දෙකැබලි ලදුවන් බෙදා ගන්නාකොට් ඉසා ................බුලත් දොඩම් කෙල් කොස් සෙසු උපො පල ............හවුරුදු පතා වත්තකට් ළිදෙකින් දෙ අකක් බැ...............න් බෙදා ගන්නා කොට් ඉසා...................ගම් වැසියන්................. ඇත  කුඩීන් නොපල්වා ගම් වැසියන්.....................කැබලි ලදුවන් බෙදා ගන්නා කොට් ඉසා .........තන්හි මෙලාට්සි ලද්දකු ගන්නා කොට් ඉසා ගම් වැසියන් පස් දෙනෙකු කී දඩ් ගන්නා කොට් ඉසා දෙකැබලි ලදුවන්  වෑ මෙහෙයට් දෙ ...................උපන් වියවුලක් ඇත මහා ලෙයක් හු ..................වරැඅරක්මෙහෙකැමියක් හු ඉසා ස..................කුසල් කැමි ලෙයක්හු ඉසා දඩ් නා ප.........................පි කාරයක් හු ඉසා ඇතුළ්වැ මෙතුවාක් ....................සාහා දෙනු කොට් ඉසා එකොලොස් ....................හිමියන් වහන්සෙ  පසුවනු ප...............කැබලි ලද් කෙනකු න් විචාර කොට් ......................ත්‍යාග කරනු කොට් ලියවා දළදා ගෙ ..................ලී කර්ම නො ඉක්ම වැ  වෙනු සන්ද් හා.................තබනු ලදි සතර් පස්හි දෙමෙළ් ගම්බිම් ...............ඔත් ගස් කොළ්හි පෙරෙ සිරිත් සෙ ගන්නා කොට් ඉසා මෙහි පවා මත්තෙ ඔත් ගස් කොළ්හි දස පැකින් පකක් හා සතර් මහ වරක් හා ළින්දෙකින් දෙ අකක් බැගින් ගතැ යුතු

         රදළ කුලයට පරිභෝග වූ උකස් ගම් සහ පමුණු ගම් වල කැබලි වල අස්වනු පෙර සේම වැළඳීම නොහොත් පරිභෝජනය කළ යුතු යැයි මෙහි මුලටම දක්වා තිබේ.මෙම ගම්හි හේන් ගොවිතැන් ගැන දක්වා තිබෙන්නේ වියළ් යනුවෙනි.ඒවා පෙර සේම වළන්දවමින් ඒ ලැබෙන අස්වැන්න ගම් වැසියන් විසින් අඩක් වශයෙන් බෙදා ගත යුතු බව දක්වා තිබේ.ඒ ගම්වල කැලෑ එළි කොට වැව් සකස් කර ගත් කල්හි ලැබෙන ලාභයන් බෙදා ගත යුතු බව දක්වා තිබේ. එසේම ගම් වැසියන්ට යම් කරදරයක් නොහොත් නැස්මක් වුවහොත් තිබෙන තැනින් ගෙන බෙදා හදා ගැනීම අගය කර තිබේ. සැබවින්ම අදටත් මේ සිරිත ගම් වල පවතී. කරදරයකදී ඔවුන් සැම එකතු වෙයි. සැමියා නැතිවූ බිරිඳ නඩත්තුවට කුඹුරු කැබලි පවා වෙන් කරන සිරිතක් දක්නට තිබුණි. දඹුල්ල අසළ කලුන්දෑවේ එලෙස වෙන් කරන ලද කූඹුරකට සුද්දන්ගේ පාලනය යටතේ අත්වූ ඉරණම ගැන විස්තර මෑත කාලයේ දී අසන්නට හැකිය.එකල රාජ්‍ය සේවයේ සිටි දෙමල අගම්පඩි සේනාවක්ට දුන් දෙමළ ගම් බිම් වලින් පෙර සිරිත් ලෙසම එනම් දෙමළ් කූලී අය කරගන්නා ලෙසටද මෙහි දක්වා තිබේ. ඒ අනුව සතරවන මහින්ද රජුගේ අනුරාධපුර පුවරු ලිපියෙන් හෙළිවන්නේ සිංහල නීතියේ වැදගත් මූලාශ්‍රයකි.

 

මතුගම සෙනෙවිරුවන්

 

Friday, April 5, 2024

කච්චතිවු අපේ - සිරිමාවෝ කිව් ලිව් හැටී මෙහෙමයි

 


                              

             ඉන්දියාවේ මහ චන්දය ළඟා වී ඇත.බහුජන සාක්ෂරතාවය  දුර්වල ඉන්දියාවේ චන්ද ගොඩ රැඳි තිබෙන්නේ මිනිසුන් ගේ හැඟීම් මත බැවින් ඒ හැඟීම් ඇවිස්සීමට නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා කච්චතිවු දූපත ඈඳා ගෙන ඇත. කච්චතිවු ලංකාවට ලබා දීම ගැන ඔහු ඉන්දීය කොන්ග්‍රස් බලධාරීන්ට දොස් කියා තිබෙන්නේ මේ ඇවිස්සීම කරන්නටයි.මේ උණුසුම අවුරුදු කටේ ලංකාවටත් දැනී තිබේ.ඉන්දියාවේ සරණ යන අන්තාවාදී දෙමළ දේශපාලඥයන් මෝදි ගේ කියුම් අල්ලා ගෙන නටන්නට බොහෝ විට ඉඩ ඇත.දැනටමත් උතුරේ ධීවර සහයෝගිතා ව්‍යාපාරය විරෝධය පළ කර ඇත. උතුරේ චන්ද ගොඩ වැඩි කර ගැනීමට වළිකන මේ දේශපාලඥයන් කිසිවිට සිංහල දෙමළ සමගිය පිළිබඳ කතා නොකරන බව සිකුරුය.කච්චතිවු හි යථාර්තය පිළිබඳ මහජනතාව දැනුම්වත් කළ යුත්තේ එහෙයිනි.

           1766 දී ලන්දේසීන් සමග කීර්ති ශ්‍රී රාජසිංහ සහ රදළයන් අත්සන් කල ගිවිසුම අනුවලංකාවේ මුහුදුබඩ පළාත් ලන්දේසීන්ට අයත් විය. මේ නිසා උතුරේ සමුද්‍ර තීරය සහ දූපත් සියල්ල ඔවුනට අයත් විය. මාලදිවයිනද තිබූ බව පැහැදිලිය. ඉන්පසු උඩරට ගිවිසුම ඉංග්‍රීසීන් සමග අත්සන් කරන කල්හිද මේ තත්වය එසේම විය.නුමුත් 1948 දී රට නිදහස් කර ස්වදේශික දේශපාලකයන් අතට ලංකාව නැවත පත් කරන කල්හි මාලදිවයිනේ අයිතිය අපට නැති විය.කෙසේ වෙතත් මන්නාරම් බොක්කට උඩින් තිබෙන දූපත් සමූහය යාපන දිස්ත්‍රික්කයේ පාලනය යටතේ පැවතේ.යාපනයට දුරින්ම තිබෙන දූපත වශයෙන් සැළකෙන්නේ කච්චතිවු නොහාත් කැස්බැ දූපතයි. මෙහි ජනාවාසයක් නැතද ශාන්ත අන්තෝනි මුනිඳුන්ට කැපවුණු කතෝලික දේවස්ථානයක් ඇත. පරංගීන් යාපන අර්ධ දීවීපය අල්වා ගත් පසු සිදු කරන ලද මිෂනාරී ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ දූපත්වල කිතුණු දේවස්ථාන ඇති විය.ලන්දේසි යුගයේ දී ද ඒ තත්වය තවදුරටත් වර්ධනය විය.ඉන්දීය ධීවරයන්ද ලංකාවේ ධිවරයන්ද මසුන් මැරීමේ නිරතව සිටින අතර තුර මෙම දූපතේ වාඩි පිහිටුවාගෙන කටයුතු කරති. මහුදේ අතරමං වූ ධීවරයන් කීප දෙනෙකු අන්තෝනී මුණිදුන්ට යාඥා කොට මේ දූපපතෙහි දී දිවි ගලවා ගත් හෙයින් විසිවන සියවස මුල් භාගයේ දී මේ දේවාස්ථානය අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් ඉඳි වී ඇතැයි කියති. එහි වාර්ෂික මංගල්ල දිනයට ලංකාවේ සහ ඉන්දීය ධීරවරයන් මෙහි පැමිණෙති.

             ලංකාවට නිදහස ලැබීමෙන් පසු මෙම දූපතේ අයිතිය පිළිබඳ ඉන්දියාවත් ලංකාවත් අතර මත භෙදයක් හට ගැණුනි. යටත් විජිත සමයේ දී එය ගැටළුවක් නොවුණද දෙරට ස්වදේශික පාලකයන්ගේ අණසකට ලක් වූ පසු තත්වය වෙනස් විය.මේ පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වරින් වර දෙරට අතර පැවැත්වුණ නමුත් එකඟතාවයක් ඇති කර ගැනීමට අවස්ථාව නොලැබුණි.සිරමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති බවට පත් වීමෙන් පසු අවධානය යොමු කළ ප්‍රමුඛ ප්‍රශ්න දෙකෙන් එකක් වූයේ කච්චතිවු පිළිබඳ අයිතිය තහවුරු කර ගැනීමයි. මේ අවදියේ දී බෙංගාල බොක්කේ සමුද්‍රීය සීමාව පිළිබඳ තීරණයක් ගැනිමට අන්තර් ජාතිකව බල කෙරුණු පසුබිමක ඉන්දීය අගමැතිති ඉන්දිරා ගාන්ධි  සමග තිබූ සුහද සම්බන්ධ තාවයද ප්‍රයෝජනයට ගෙන යම් ද්වීපාර්ශවික ගිවිසුමක් කරා යන්නට උත්සුක වී තිබේ. ඒ අනුව 1974ජූනි මස 26 දින එම ගිවිසුමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විදේශ කටයුතු අමාත්‍යංශයේ දී අත්සන් තැබූ අතර ජූනි 28 දින දී ඉන්දීය අගමැතිණියද එම ගිවිසුමට අත්සන් කොට ඇත. මෙම ගිවිසුම පිළිබඳ සම්පූර්ණ වාර්තාව සිරිමාවෝ මැතිණිය විසින් 1974 ජූලි මාසයේ දී එවකට පැවතී ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කරන ලදී. එම වාර්තාව 1974 ජූලි  23 දින හැන්සාඩ් වාර්තාවේ දක්නට හැකිය.එහි කච්චතිවු ගැන මෙසේ සඳහන්ය.



       'දැන් මම මෙම සභාවේ  ගරු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කරන්නේ හ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර අර්බුදකාරීව තිබුණි දෙවනි ප්‍රහ්නය වෙතටයි. ඒ දෙවනි ප්‍රශ්ණය කච්චතිවු ප්‍ර්ශ්නයයි. ඒ කියන්නේ කච්චතිවු දූපතේ අයිතිය නැත්නම් ආධිපත්‍ය පිළිබඳ ප්‍රශ්ණයයි. මීට ඉහත කාලයේ දී මෙම ප්‍රශ්ණයට විසඳුමක් සෙවීමට ප්‍රධාන වශයෙන් තුඩු දුන්නේ අපේ රටට හොරෙන් නීති විරෝධී ලෙස පැමිණෙන්නවුන්  කල්ලතෝනීන් වළක්වාලීම සහ හොරෙන් නීති විරෝධී ලෙස බඩු එහා මෙහා ගෙන යෑම වැළැක්වීමත් ධීවර කර්මාන්තයේ අවශ්‍යතාවයනුත් පමණයි. නමුත් මෑත කාලයේ දී මේ ප්‍රදේශයේ ඛනිජ සම්පත් සංවර්ධනය කිරීමට අපි සැලසුම් කරගෙන යන නිසා මේ ප්‍රශ්ණය වහාම විසඳීමක් අවශ්‍ය  වූ වැදගත් ප්‍රශ්නයක් ලෙසට පත් වුණා. මේ ප්‍රශ්ණය පිළිබඳව 1968 සහ1969 යන වර්ෂ වලදී අභවප්‍රාප්ත ඩඩ්ලිසේනානයක  මහතා විසින් ඉන්දියානු අගමැති සමග සාකච්ඡා පවත්වන ලද නමුත් කිසියම් සම්මුතියකට එළඹීමට අපොහොසත් වුණා. මේ ප්‍රශ්ණය පිළිබඳව මා සකච්ඡා ආරම්භ කලේ 1973 අප්‍රියෙල් මාසයේ දී ඉන්දිරා ගාන්ධි මැතිණිය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දීය. මේ සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන් අප රටවල් දෙකේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ලවා මේ ප්‍රශ්ණයට අදාල කරුණු ගැන විමසා බලවා වාර්තාවක් ලබාගැනීමට තීරණය කර ගත්තා ලබා ගත හැකි සියලුම ‌ෙඑතිහාසික හා වෙනත් සාක්ෂි නීතිමය කරුණු ආදිය ගැන ඉතා හොඳින් විමසා බලන ලෙස නිළධාරීන්ට නියෝග කලා මේ නිළධාරීන් කොළඹදී සහ නව දිල්ලියේ ත් සාකච්ඡා  මාලාවක්පවත්වා  අදාළ කරුණු ගැන ඉකා හොදින් සළකා බලා  වර්තාවක් ඉදිරපත් කලා.ඒ වාර්තාවල ඇතුළත් කරුණු හා නිගමනයන් ඉතා සුපරීක්ෂාකාරීව සලකා බැලීමෙන් පසුව දෙපැත්තටම සතුටුදායක හා සාධාරණ තීරණ අඩංගු ගිවිසුමකට එළඹීමට ඉන්දියාවේ අගමැතිනියට හා මට පුළුවන් වූ බව සතුටින් ප්‍රකාශ කිරීමට කැමතියි.

     මේ සාකච්ඡා වලින් අපි කච්චතිවු දූපත පමණක් වෙන් කොට ගෙන සලකා බැලුවේ නැහැ පෝක් සමුද්‍ර සන්ධියේ සිට ආදම්ගේ පාළම දක්වා ඇති මුහුදු තීරයේ අප දෙරට අතරේ මුහුදු මායිම ලකුණු කර ගැනීමට තීරණය කලා එසේ කිරීම මේ ප්‍රදේශයේ අපේ ඛණිජ සම්පත් සොයා ගැනීමට හා සංවර්ධනය කිරීමට දීර්ඝ කාලීනව අපට වාසියක් හා වැඩි ප්‍රයෝජනය් ගෙන දෙන ක්‍රියා පිළිවෙලක් වන බව පැහැදිලියි.'

     මෙම ද්වීපාර්ශවික ගිවිසුම වගන්ති අටකින් යුක්ත වන අතර එහි පළමුවන වගනන්තියෙන් දක්වා තිබෙන්නේ ඉන්දීයාවත් ලංකාවත් අතර මුහුදු තීරයේ මායිමේ අක්ෂාංශ හා දේශාංශක සටහනයි. පසුව එන වගන්ති වලදී ඉන්දියාවේ සිට කච්චතිවු කරා වන්දනාවට පැමිණෙන වන්දනා කරුවන් ගේ අයිතිය පිළිබඳව සහ රටවල් දෙක අතර මුහුදු තීරයේ ධිවරයන් තමන් භුක්ථි විඳින අයිතිවාසිකම් දිගටම පවත්තා ගෙන යා යුතු බවද දක්වා තිබේ. මෙම දූපත නැවත ඉන්දියාවට පවාරා ගන්නා ලෙසට ඉන්දීය පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සහ ජයලලිතා ජයරාම් විසින ඉල්ලීම කළද ද ඉන්දීය නීතිපති වරයා තීරණය කරනු ලැබූවේ තිවිසුමේ ඇති බලවත් භාවය ඊට හරස් වන බවයි.කෙසේ වතත් සිරිමාවෝ මැතිණිය ඉතා මත් සුපරීක්ෂාකාරීව ගන්නා ලද පියවර නිසා අදටත් අපගේ මුහුදු තීරය සුරක්ෂිතව ඇත.එය ආක්‍රමණය කිරීමට  පැමිණෙන ඉන්දීය ධීරවරයන් වරින් වර අත්අඩංගුවට පත් වන අතර ඔවුහු මේ මුහුදේ පතුලේ කරන හානි කර ට්‍රොලින් නිසා අර්බුද රැසක් හට ගෙන තිබේ. ඒබැවින් මෙම ගිවිසුම කිසිසේත් අවලංගු කිරීමට කටයුතු නොකළ යුතු අතර ලංකාවේ ස්වාධීනත්වයට එය ඉතා වැදගත්ය.එ බැවින් මේ ගිවිසුම පිළිබඳ තත්වය ඉන්දීය බලධාරීන්ට පෙන්වා දීම ලංකාවේ දේශපාලකයන්ගේ බලවත් යුතුකමකි.

මතුගම සෙනෙවිරුවන්

Tuesday, April 2, 2024

සිංහල අවුරුද්ද යනු නිෂ්පාදනයට පිවිසෙන සුබ මුහුර්තයයි

 

                                

             සූර්යයා පෘතුවියට සාපේක්ෂව යන ගමනේ දී ලංකාවට මුදුන්වන්නේ බක් මාසයේ දීය.සූර්ය රශ්මියේ තෙදබල වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ ගහකොළ බවභෝග වර්ධනයටයි. පැවති වර්ෂයේ යල සහ මහකන්න යන්හි අස්වනු කපා පා ගැනීමෙන් පසු ඉටු දෙවියන් සතුටු කිරීමට ගම්භාර වැව් කොටු භාර දෙවි දෙවතාවුන් සතුටු කිරීමට ගම්මඩු දෙවොල් මඩු නටා දේව දානය අහවර වීමෙන් පසු බක් මාසයේ ප්‍රථම වර්ෂාව පතිත වන බව පැරැන්නන් දැන සිටියහ. ඒ නිසා අවුරුදු උත්සවයට පළමු යල කන්නයේ ගොවිතැන සම්පූර්ණ කරති.එහෙත් එළඹෙන වසර සඳහා නිෂ්පාදන සැලසුමක් පිළිබඳ සුභ මුහුර්තයක් ගනු ලබන්නේ සූර්යයා මේෂ රාශියෙන් මීන රාශියට සංක්‍රමණය වීමෙන් අනතුරුව අවුරුදු දිනයේ දීය.

           සෙයිලාන් සිලෝන් සෙරන්ඩිබ් සිංහලද්වීප සහ ශ්‍රී ලංකාව යනුවෙන් හඳුන්වනු ලබන මේ කුඩා දිවයින ආසියාකරයේ වැදගත් ස්ථානයක පිහිටා තිබෙන මුතු ඇටයකැයි කියති.මෙහි ජීවන ක්‍රමය කෘෂිකර්මයයි. බත් ප්‍රධාන ධාන්‍ය වලින් සපිරුණු අල බතල බුලතින් කිරි ගිතෙලින් ස්වයංපෝෂිත ආර්ථිකයක් එයට තිබුණි. පැරණි රජවරු කෘෂිකර්මයට විශේෂ තැනක් දුන්හ. ලොකු කුඩා වැව් සෑදිමට මෙන්ම නඩත්තුවට කැප වූහ. විදෙස් සතුරු ආක්‍රමණිකයන් විසින් වැව් කොටු කඩා බිඳ දමා  ආර්ථිකය වනසා ලීමට වරින් වර උත්සාහ කළහ. සතුරු බිය මැඩ පවත්වා කළ පළමු කාර්යය නම් වැව් අමුණු යලි ගොඩ නැන්වීමයි. ඉරිපින්නියාව ශිලාලේඛනයේ සඳහන් පරිදි ඒවා පෙර සිරිත අනුව සිදු කළහ. ධන ධාන්‍ය බැංකු වල තැන්පත් කොට ඒ ලබන පොළියෙන් සද් ධර්මයේ චිරස්ථිතියට කටයුතු කළ බව තෝනිගල ශිලා ලේඛනයෙන් පැහැදිලි වේ.මේ නිසා ගොවිතැන රටේ සියලුම දෙනගේ ජීවන ක්‍රමය විය.රජවරු වප් මඟුල් උත්සව තබා ගොවීන්ට කලට වේලාවට කෙතට බැසීමට මුල් ආදර්ශය දුන්හ. නිසි කළට වැසි ලැබීමට එතුමන්ලා දස රාජ ධර්මයෙන් රාජ්‍ය විචාලහ.

        යුරෝපීය ආක්‍රමණයන්ට දීර්ග කාලීනව නතු වීම නිසා අපට රටට නායකයෙකු නැති විය. මහා බ්‍රිතාන්‍යයේ රජෙකුට යටත්  වූ කාල වකවානුවේ දී අපේ පෙර සිරිත කඩ විය. ශාසනික සම්ප්‍රදායයන් උඩු යටි කරු විය. ධර්මය වල් වැදී දුෂ්චරිතය නැග ආයේය. මේ කාලයේ දී මෙරට පැවති අවුරුදු චාරිත්‍ර  හින්දු අවුරුද්ද යනුවෙන් වර්ග කර ඇත.ඉංග්‍රීසි පාලකයන් එයට දිනයක් වෙන්කොට දුන්හ.නිවාඩු ද ලබා දුන්හ. නමුත් සිංහල ගැමියන් සුපරුදු පරිදි අවුරුදු දිනය එළඹෙත්ම ගමේ නැකැත්තා ළඟට ගොස් නැකැත් සීට්ටුවක් සාදා ගෙන අවුරුදු චාරිත්‍ර ඉටු කළහ.මේ චාරිත්‍ර තුළ කුටුම්භය ට නව පෙනුමක් ලබා දීම අලුත් පිරිසිදු ඇඳුම් එක් කර ගැනීම දිවි පැවැත්මට බලපාන ආහාර තෝරා බේරාගෙන අනුභව කිරීම සෞඛ්‍යට වැදගත් වන හිස තෙල් ගෑම ආදී වැදගත් පියවරයන් අනුගමනය කළහ.එසේම  නව නිෂ්පාදන වර්ෂයක් ආරම්භ කිරීම පිණිස අවුරුදු දිනයට සුබ මුහුර්තිය අනුව වැඩ අල්ලා නව අවුරුද්ද වෙනුවෙන් පූර්ව  සැලසුමක් සකස් කිරීම දැක්විය හැකිය.රජුගේ නැකැත්තා රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය විවිධ නැකැත් සාදා දෙන අතර ගමේ නැකැත්තා විසින් ගොවිතැන් කටයුතු ආරම්භය වැපිරීම අස්වනු කපා පාගා ගැනීම ගව මහේෂාදීන් ගේ සුභ සිද්දියට අවශ්‍ය නැකැත් වැව් කොටු අමුණු සකස් කිරීමට අවශ්‍ය වන නැකැත් සෙක්කු ආදී තෙල් හිඳින යන්ත්‍රයන්ගෙන් වැඩ ගැනීමට නැකැත් ආදී රටේ ආර්ථික පැවැත්මට අදාල සියලුම නැකැත් සාදා දුන්හ. ඒ අනුව ඊළඟ වසරේ නිෂ්පාදනය කළ යුතු බවභෝග ගැන තීරණයක් කර ගත්හ.ගොයම් අස්වද්දන්ටද ධාන්‍ය වර්ග සුලභ කිරීමටද කිරි ගිතෙල් උක් හකුරු නිෂ්පාදනය අවුරුද්දට වැදගත් බැවින් ඒ පිළිබඳ වෙසෙසි අවධානයක් යොමු කලහ.

         යටත්විජිතකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ පෙර සිරිත ක්‍රමයෙන් අභාවයට ගිය අතර ගොවිතැනට වැදගත් වන චන්ද්‍ර මාස ක්‍රමයත් සූර්ය මාස ක්‍රමයත් නාමිකව පමණක් භාවිතයට පත් වූහ.භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම් වශයෙන් ඒ මාස ක්‍රමය ගණන් ගත් නමුත් දවසේ ආරම්භය සඳහා ක්‍රමානුකූලව සැවොම රාත්‍රී දෙළෙහ කණිසම භාවිතා කරන්නට පටන් ගත්හ.සංකර වූ සිංහල සමාජය ජනවාරි පළමුවනදා නොහොත් ජනේරුව ව්‍යවහාර වශයෙන් තම ජීවිතයට එක් කර ගත් අතර සිංහල අවුරුද්ද නැකැත් කෙළියක් නෑදෑ හිතවතුන් හමු වීමක් කෙළි සෙල්ලම් කිරීමට අවස්ථාවක් මෙන්ම අවුරුදු ආහාර එකට එක්වී අනුභව කිරීමටත් පමණක් යොදා ගත් බව කිව යුතුය.

      2024 අවුරුද්දේ රාජ්‍ය නැකැත් සීට්ටුව පරිදි උක්හකුරු සහිත කිරිබතක්ද තල මිශ්‍ර කැවිලිද අනුභව කළ යුතුය .මේ ආහාර අතරින් ප්‍රධාන වන බත් සුලභ වීම තවමත් සාම්ප්‍රදායිකව සිදු වුණද උක්සකුරු සහ තල නිෂ්පාදනයට කිසිවෙක් තැනක් දී නැත. විකල්ප නැකැත් සීට්ටුව අනුව ගිතෙල් මිශ්‍ර කිරිබතක් සහ තල මිශ්‍ර කැවිලි යොදා ගත් යුතුය. එතනදී ගිතෙල් නිෂ්පාදනය පිළිබඳ කිසිවෙක් උනන්දු වූ බවක් පෙනෙන්නට නැත. අතීතයේ දී නම් එළ දෙනුන්ගෙන් දොවා ගත් කිරි  වල යොදය ඉවත් කර මත් ගා ගිතෙල ගෙදරදීම සාදා ගත්හ. මී ගවයන්ගේ කිරි වල යොදය ඉවත් කර මත ගා දුන්තෙල් සාදා ගත්හ. දැන් එවැනි උනන්දුවක් නැත. මග පෙන්වීමකුත් නැත. තල නිෂ්පාදනය ඉතා මද වශයෙන්ය. එවිට විදෙස් වලින් අනයනය කළ යුතුය. උක්හකුරුද වැඩි වශයෙන් දැන් ගෙන්වන්නේ ඉනිදියාවෙන්ය.නිෂ්පාදනය ප්‍රමුඛ කාර්ය වශයෙන් අවුරුද්දට ගැනෙන බව සියලුම දෙනට අමතක වී ගොසීන්ය. ඒ වෙනුවට නැකැත පමණක් මුල් තැනට පැමිණ ඇත. නිෂ්පාදනය ආරම්භ කළ යුත්තේ ඒ සඳහා වැඩ ඇල්ලිය යුත්තේ සූර්යයාගේ බලය උපරිම වශයෙන් ලැබෙන උදය කාලයේ දීය.නැකැතට පමණක් වහල් වීම නිසා මේ ප්‍රමුඛ අරමුණ දෙවනි තැනට පත් වීම රටේ ආර්ථිකය නගා සිටුවීම පැත්තෙන් ගතහොත් ‌ෙඛ්දනීය තත්වයකි.මෙරට සංස්කෘතික අමාත්‍යංශයක් තිබුණද අමාත්‍යවරයෙකු සිටියද මෙවැනි මත භේදාත්මක අවස්ථාවකදී අවශ්‍ය මග පෙන්වීම නොකිරීම නිසා ඇතිවී තිබෙන දෙගිඩියාව නිසා සිංහල අවුරුදු චාරිත්‍ර හෑල්ලු වී රටම එක මිටට ගත හැකි වඅස්ථාව වළක්වා තිබේ.මේ නිෂ්පාදන අවුරුද්දට සිංහල ජනයා පමණක් නොව දෙමළ ජනයාටද මුස්ලිම් ජනයාටද සියලුම ආගමිකයන්ටද සාභාගි විය හැක්කේය.ඒ අවස්ථාව මග හැරීම රට පැත්තෙන් විශාල පාඩුවකි.

මතුගම සෙනෙවිරුවන්

Thursday, February 8, 2024

උතුරේ නව දේශපාලන ප්‍රවණතා සහ සිංහල ජාතික ව්‍යාපාරය

 

                              


         යාපන අර්ධ ද්වීපයේ දේශපාලනය අරුම පුදුම ක්‍රියාවලියකි.යාපන රජ පවුල නැතහොත් ආර්ය චක්‍රවර්තී රාජකීයත්වය අවසන් කර පරංගින් ගේ ආධිපත්‍ය පිහිටුවීම තුළ යාපනයේ සිටි බ්‍රාහ්මණයන් ගේ හැසිරීම විවිධාකාර විය.කතෝලික ආගම පැතිරවීම නිසා ඔවුන් ඇතැමෙක් සිය ලබ්ධිය වෙනස් කළහ. ලන්දේසි සමයේ දී කතෝලික ආගම වෙනුවට රෙපරමාදු ඇදහීම් පෙරට ඒමේ දී දකුණු ඉන්දියාවෙන් ආනයනය කරන ලද වහල් ශ්‍රමිකයන් අතර වූ වෙල්ලාලර් සහ වෙල්ලාලස් යන ගෝත්‍ර ද සිය ලබ්ධිය වෙනස් කර ගනිමින් කුල වතුන් ලෙසට නම්බුනාම ලබා ගත්හ. ඒවා ලබා ගත්තේ කාසි පොට්ටනියක් ප්‍රදානය කිරීමෙන් යැයි යාල්පාන වෛපමාලය කියයි.පරංගීන් විසින් විනාශ කරන ලද බෞද්ධ වෙහෙර විහාර අභිමුව ලන්දේසි පල්ලි ඉඳි වන්නේ මේ කාලවකවානුවේ දී බව බල්දෙයස් නම් ලන්දේසි පූජක තැන සිය ග්‍රන්ථයේ දක්වා තිබේ.මලලගම නැතිනම් මල්ලාකම් ප්‍රදේශයේ තිබූ සංඝ ඝණ විහාරය අබියස තිබෙන චෙන්ගානේ පල්ලිය අදටත් දැක ගතහැකිය. විහාරයේ නටබුන්ද ශේෂව පවතී.තොගපිටින් මලබාරයෙන් ගෙනා විවිධ කුල වලට අයත් ජනයා යාපන සිංහල ගම් වල පදිංචි කර දුම්කොළ වගාවලට සහ වෙනත් වෘත්තීන් කරා යොදවන ලද්දේ ලන්දේසීන් විසිනි.මේ මලබාර් වහලුන් පැමිණෙන  විට යාපනයේ ඉතිරිව සිටියේ කිසිවක් කරකියා ගත නොහැකිව සිටි සුලු කුල වල ජනයා පමණකි. ඔවුන්ගෙන් ඇතැමෙක් අසුර නාග ගෝත්‍ර වලට අයත් වූහ.මලබාර් වහලුන් උදෙසා පැණවුණු තේසවලාමෙයි නීතිය සමස්ත අඩු කුල ජනතාවටම ආදේශ කරලීමට ලන්දේසීන් සමත් විය. ඒ නිසා අලුත් ආගම වැළඳ ගත් බ්‍රහ්මණයන්ටද මුදල් දී කුල වතුන් බවට පත් වූ වෙල්ලාලරයන්ටද සිය දෙවනි පෙලේ ආධිපත්‍ය ගෙන යෑමට හැකි විය.

       ලන්දේසීන් පාලනය කල මුහුදුබඩ පළාත් ඉංග්‍රීසීන් විසින් පවරා ගත් පසු තත්වය තව දුරටත් වෙනස් විය.1796 සිට 1798 දක්වා උතුරේ තිබුණේ මදුරාසි පාලනයකි. මේ නිසා දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් තව දුරටත් උතුරට සංක්‍රමණය විය.ඔමින්දාර් නම් මදුරාසි පාලක පනිතියක්ද උතුරට පැමිණියහ.මදුරාසි නීති රීති අනුවද උතුර පාලනය විය. උතුරේ ජනතාව ආගමට හරවා ගැනීමේ ව්‍යාපාරයට නව මුහුණුවරක් දීමට මේ අවස්ථාවේ දී ඉංග්‍රීසීන් සමත් විය. ඇමරිකන් මිෂනරි කණ්ඩායම් වලට උතුරට පැමිණීමට ආරාධනා කරන ලදී. එහි පල්ලි පිහිටුවීමටද පාසල් ඇති කිරීමටද ඔවුන් සමත් විය. ඉන් බලාපොරොත්තු වන ලද්දේ උතුරේ ප්‍රභූ පන්තිය සිය අණසක යටතට ගැනීමයි.මේ තුළින් අනාගතයේ දී සිංහල ජනතාවට විරුද්ධ දෙමළ නායකයන් ඇති කිරීම ඔවුන්ගේ ශූර උපායමාර්ගය විය.1819 දී ගාල්ලේ දී රැස්වූ මිෂනාරීන් උතුර දෙමළ රටක් ලෙසටද දකුණ සිංහල රටක් විදියටද පිළිගෙන ඒ අනුව ආගම් ප්‍රචාරක වැඩ ආරම්බ කළහ.වර්තමාන දෙමළ නායකයන් වන බොහෝ පිරිස් මලබාරයෙන් පැමිණි වෙල්ලාලර් ගෝත්‍රයන්ට අයත් වූහ. ඔවුහු ලන්දේසීන් ගෙන් ලබාගත් වරප්‍රසාද තවත් දියුණු කර ගනිමින් ඉංග්‍රීසීන්ට සමීපව සිටිමින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා රජයේ ඉහළ තනතුරු වලට පැමිණියහ.ඒ අතර  උතුරේ මලබාර් සමාජයේ බහුතරයක් වූ කුලහීන ජනතාව තව දුරටත් පාගාගෙන සිටීමට ඔවුහු තේසවලාමේ නීතිය භාවිතා කළහ.එහිදී වෙල්ලාලයන් කවුරුද යන්න ප්‍රශ්ණයක් විය හැකිය.වෙල්ලාල නාමය සිංහල ගොවි කුලයට සහ බ්‍රාහ්මණයන්ටද යෙදූවකි.උතුරේ පමණක් නොව දකුණේ පාණදුරයේ ද ඇතැම් මුහුදු බඩ පළාත් වලද වෙල්ලාල කුලයේ  අය අදටත් සිටී.මේ දේශීය කුල සහ මලබාර් කුල පටලවා නොගත යුතුය.

        ලංකාවේ දෙමළ ජාතිවාදය බිහි වීමට පසුබිම සකස් වූයේ ඉංග්‍රීසීන් විසින් ව්‍යවස්ථාදායක සභාවට සිංහල මන්ත්‍රීවරයෙකු සහදෙමල මන්ත්‍රීවරයෙකු පත් කිරීමෙනි..ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් යටතේ ප්‍රභූ පන්තියක් ලෙසට වර්ධනය වූ වෙල්ලාරයන් සයිමන් කාසි චෙට්ටි ගේ මග පෙන්වීම යටතේ ඉංග්‍රීසි පාලනයේ මුල් තැන් වලට පත් වූහ. මේ අය අතර සිටි දෙමළ උගතුන් උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් තිබූ බවට පොත් ලිවූහ.ඒවාට මුල් වූයේ යාල්පාන වෛපමාලය ඇතුලු පැරණි පොත් කීපයක් වුවද පියසිරි අමරකෝන් මහතාගේ පර්යේෂණ අනුව පැහැදිලි වන්නේ ඉංග්‍රීසින් ගේ මෙහෙයවීම මත මේ පොත් ලිවූ බවයි.මෙකී දෙමළ උගතුන් මුල්වී වෙල්ලාලර් සමාජය සිංහල ජනතාවට එරෙහිව සංවීධානය කළහ.යාපන සංගමය ඉන් බිහිවිය.ඉංග්‍රිසීන් ගෙන් ඔවුන් විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වූහ. දෙමල ජාතිවාදයට මූලිකව අඩිතාලම වැටුණේ එලෙස වුවද දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් පක්ෂය බිහිවීම තුළ එයට පන්නරයක් ලැබුණු බව කිව යුතුය.1947 න් පසු ඉන්දියාවට නිදහස ලැබුණි. දකුණු පෙදෙසේ  ආධිපත්‍ය ඉසුලූවන් අතර බ්‍රහ්මණයන් ප්‍රමුඛ වූහ.අයියර් අයියනාගර් ශාස්ත්‍රී  සහ භාරද්වාජ වැනි බ්‍රාහ්මණයන් ඉන්දීය දේශපාලනයේ සුපිරි පන්තිය සමග ගනුදෙනු කළහ. නිදහස ලැබීමෙන් පසු රාමසාමි නායක්කර් නම් පුද්ගලයෙකු විසින් මේ ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් ව්‍යාපරය ආරම්භ කරන ලද්දේ හීන කුල වල ජනයා  බ්‍රාහ්මණ ආධිපත්‍යයෙන් මුදවා ගැන්මටයි. ඒ නිසා ඉහළ ගෝත්‍ර විසින් අදහන විවිධ දෙවිවරුන් කෙරෙහි ඔවුන් ගේ විරෝධය එල්ල විය. නුමුත් ශිව සම්බන්ධව එසේ නොවීය. පසුව අන්නදොර් විසින් මේ ව්‍යාපාරය පසුබිම් කරගෙන ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් පකෂය පිහිටුවා ලීමෙන් පසු ඉන්දීය දේශපාලනයට කේවල් කිරීමට හැකි ශක්තිමත් ජන බලවේගයක් බිහිවුණි.මදුරාසි ආන්ද්‍ර කේරල සහ මධ්‍ය ප්‍රදේශ් හි ජීවත් වූ කුල අතරින් බහුරතයක් හීන කුල වලට වර්ග කර ඇති පිරිසක් බැවින් මේ කාර්යය ඉතා පහසු විය.නිදහස් ඉන්දියාවේ අභිනවයෙන් බිහිවුණ මේ බලවේගය විසින් ඇති කරන ලද අභියෝගය මැනවින් තේරුම් ගත් බ්‍රාහ්මණයන් අවසානයේ තමන්ගේ ගෞරවයන් නොසලකා මෙකී පක්ෂයට එක් වූහ. එක් වූවා පමණක් නොව එහි නායකත්වයටද පත් වී වෙනම දෙමළ රටක් නම් සංකල්පය පෝෂණය කිරීමටද දායක විය.මේ බලපෑම එකල ශ්‍රී ලංකාවට ද බලපෑය.1949 දී තමිල් අරසුපක්ෂය බිහිවන්නේ ඒ නිසාය.  මලබාර් හි සිට පැමිණි වෙල්ලාලර් සහ වෙල්ලාලස් වැනි හීන කුල ජනයා මෙයට එක් විය.නමුත් මේ දෙමළ නායකයන් උතුරේ පවතින ජන පීඩනය පෙරසේම නොතකා හැර ප්‍රභූ පන්තියක් ලෙසට වැජඹීමට කළ උත්සාහයන් නිසා දෙමළ විමුක්ති කොටි සංවිධානය බිහිවිය. අවසානයේ දී ඒ සංවිධානය යටතේ ඇති වූ ත්‍රස්තවාදයත් එයට ඇති වූ විදේශ  සහයෝගයත් එය මර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් උත්සාහයත් පිළිබඳ අප මැනවින් දනිමු.

     දැන් වසර ගණනාවක් ගෙවී ගොස් මේ දෙමළ නායකයන්ගේ ආධිපත්‍ය සහ ඔවුන්ගේ හැසීරීම යාපන දෙමළ ජනයා නොපිළිගන්නා තත්වකට පත්ව තිබේ. ඔවුන්ට අවශ්‍ය දකුණේ සිංහල ජනයා සමග එක්ව ජීවත් වීමටයි. ඒ සඳහා බලය බෙදීම පාදක කරගත් පොලිස් ඉඩම් බලතල අනවශ්‍ය වේ. යාපන අර්ධද්වීපයේ ජීවත් වන බහුතර සාමන්‍ය ජනතාව සිංහලයන් සමග එක්වීමට බලවත් කැමැත්තක් දක්වති. උතුරේ විහාරස්ථාන විසින් සිදු කරන පින්කම් වලට බලවත් කැමැත්කක් දක්වති. දන්සැල් පැවැත්වීම ඉතා ආශාවෙන් බලපොරොත්තු වෙති. නුමුත් වෙල්ලාලර් දෙමල නායකයන් විසින් ඇති කරවනු ලබන දෙමළ ජාතිවාදී දේශපාලනය නිසා තවමත් උතුරත් දකුණත් යාකරන සැබෑ පාළමක් නිර්මණය වී නොමැත.මෙලෙස පාළමක් නිර්මාණය විය යුත්තේ වසර තිහකට අධික කාලයක් උතුර සිංහල ජනයාගෙන් ඈත්ව පැවතීම නිසාවෙනි.අරූන් සිද්ධාර්ථන් නමැති තරුණ සිවිල් නායකයෙකු සමාජය ඉදිරියට පැමිණෙන්නේ මෙවැනි කාලවකවානුවයි. ඔහු උපතින් බෞද්ධයෙක් නොවුණද ඔහුගේ පියා අම්බෙඩ්කාර් තුමාගේ මග ගත් පුද්ගලයෙකු බව කියැවේ ඒ අභාෂය නිසාදෝ අරූන් බෞද්ධ සමාජයට සිය සුරත දික් කර ඇත.අරූන් නියෝජනය කරන නලවර් කුලය ඉන්දියාවේ නැත. ඒ කුල දකුණේ දුරාව කුලවල කාර්යයන්ට සමානය. නුමුත් එකී හීන කුලවලට දකුණේ නැති පීඩනයක් නලවර් කුලයට උතුරේ තිබූ බව ඔහු කියන සත්‍ය්‍ය සමාන වන්නේ දකුණු ඉන්දියාවේ තිබූ තත්වයටයි.

          යාපනන සිවිල් සංවිධානය විසින් පැවැත්වූ නිදහස් උත්සවයක් පසුගියදා පැවැත්වුණි.දකුණේ ජාතික ව්‍යාපාරය නියෝජනය කරන පිරිසක් සරත් වීරසේකර මන්ත්‍රී තුමා අනුරාධා යහම්පත් හිටපු ආණ්ඩුකාර තුමිය ඇතුලු දකුණේ භික්ෂූන් වහන්සේලා ඊට සාභාගි විය.යාපනයේ සිවිල් සංවිධානය දේශපාලන අරමුණකින් ගොඩ නැගී තිබෙන්නක් වුවද එහි පදනම කුල පීඩනයයි.දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් ව්‍යාපාරයට මෙය සමාන බව කීවේ එහෙයිනි.යාපන සිවිල් සංවිධානයේ නැගී සිටීම පිළිබඳව ඉන්දියාව මෙතෙක් අදහසක් පළ කර නොමැත.නමුත් රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා යාපනයට පැමිණි අවස්ථාවේ දී අරූන් සිද්ධාර්ථන් කොරෙහි ඔහුගේ අවධානය යොමු විය. උතුරේ බිඳි වැටුණු පාසල් ගොඩ නැන්වීමට යාපන සිවිල් සංවිධානයේ සහාය රනිල් බලාපොරෙත්තු විය.රනිල් වික්‍රමසිංහ බටහිර දේශාපලන නියෝජනය කරන එයට ගැති පුද්ගලයෙකි. ඔහුට අවශ්‍ය සිංහල ජනතාවගේ හෝ දෙමල ජනතාවගේ සමගියෙන් යුතු ශක්තිමත් ලංකාවක් නොව බටහිර විසින් පෝෂණය කරන ඔවුන් විසින් පාලනය කරන ලංකාවකි.නුමුත් ඉන්දියාවෙ බලාපොරාත්තු වන්නේ උතුරේ වෙල්ලාලර් නායකයන් වෙනුවෙන් වෙන් කරන ලද පළාත් සභා දෙකක් ඒ යටතේ ඉන්දියාවට ගැති පාලනයක් ඉන් පසුව සමස්ත ලංකාවම හැසිරවිය හැකි ආර්ථික සහ මූල්‍ය යාන්ත්‍රණයකි.මේ අවස්ථාවේ දී ජවලාහල් නේරු ගේ න්‍යාය පත්‍රයට වඩා නරේන්ද්‍ර මෝදි ගේ න්‍යාය පත්‍රය වඩාත් පුලුල් වී තිබේ.එක්ටා වැනි ගිවිසුම් හරහා ඉන්දියානු කම්කරුවන්ට සහ වෘත්තිකයන්ට ලංකාව විවෘත කර දී ඉන්දියානු රුපියල මෙහි භාවිතයට පැමිණවීම මගින් ලංකාව පාලනය කිරීම ඔහුගේ අදහසය

ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් ව්‍යාපාරයට මදුරාසි ප්‍රාන්තය තුළ බලය හිමි වීමත් සමග ජාතික කොන්ග්‍රසයේ නායකයෙකු වූ රාජගෝපාලචාරි මහතා සූක්ෂමව කටයුතු කරමින් අන්නදොරේ සමග එකතුව බ්‍රාහ්මණ ආධිපත්‍ය නැවත එම පක්ෂය තුළට ඇතුලු කළහ. මේවාට ආධාර කරන ලද්දේ නොයෙකුත් තානාපති කාර්යාල බව ප්‍රකටය.මෙවැනි තත්වයක් වර්තමාන යාපනයේ වුවද ඇතිවිය හැකිය. ද්‍රවිඩ සංවිධානය විසින් ඒ පක්ෂයේ නායකත්වයට ශ්‍රී ධරන් පත් කරන ලද්දේ යාපන සිවිල් සංවිධානයේ නැගීසිටීම නිසාය.ද්‍රවිඩ සංන්ධානය ඉන්දියාවේ බළල් අතකි.අනෙක් පැත්තකින් මිෂනාරීන්ගේ බළල් අතකි. අරූන් සිද්ධාර්ථන් බෞද්ධයන්ගේ පැමිණීම සාදරයෙන් පිළීගෙන උතුරේ යළි පන්සල් ඇති කිරීමට සහාය දේ.ඔහු සමග එකතු වන සිංහල ජාතික ව්‍යාපාරය මේ පිළිබඳ අමන්දානන්දයට පත්ව සිටිති. නුමුත් ආර්ථික වශයෙන් දුර්වල කේවල් කිරීම අතින් දුර්වල මේ ජාතික ව්‍යාපාරයට උතුරේ කල හැකි දේ පිළිබඳ තක්සේරුවක් නැතිය.කෝසල පත්තිනිගේ මහතා කියන පරිදි උතුරෙන් අවතැන් සිංහලයන් නැවත පදිංචි කිරීමට සහ සිංහල පාසල් යළි ඇති කිරීමට උනන්දුවන්නන් අතලොස්සකි.යාපනයේ අඩුකුල ජනයා දේශපාලන වශයෙන් නැගී ඒ මේදී ඒ පිරිස ඉන්දීය දේශපාලනයේ ගැත්තන් වීමට තිබෙන් ඉඩකඩ වළක්වාගත හැක්කේ උතුරේ සිංහල ජනයා ශක්තිමත් කිරීමෙන් සහ දේශපාලන බලයක් ස්ථාපිත කිරීමෙනි. ඒ නිසා ඒ සඳහා  ලබන මැතිවරණයේදී අවස්ථාවක් ලබා ගත හැකිය.නුමුත් ඊට පෙර යාපන සිවිල් සංවිධානයත් සිංහල ජාතික ව්‍යාපාරයත් අතර යම්කිසි සම්මුතියක් බිහි විය යුතුය.

මතුගම සෙනෙවිරුවන්

Monday, January 15, 2024

ඩෝසරයට වැව් යට කළ මහවැලිය මාදුරු ඔයෙන් යළිත් වැඩ පටන් ගනී.

 


                      

               1912 දී ව්‍යවස්ථාදායක මණ්ඩලයේදී මහවැලිය උතුරට හැරවීමේ වැදගත්කම ගැන කතා කලේ දෙමළ මන්ත්‍රී වරයෙකු වූ ඒ. කනක සබේ මහතාය. එයට ප්‍රධාන හේතුව වූයේ දෙමළ ඊළාම් සිහිනය එදත්  තිබුණු බැවිනි.ව්‍යාජ දෙමළ ඉතිහිසයක් මත පදනම්ව උතුරේ දෙමළ පාලනයක් තිබුණේ යැයි ඇති කළ මතය අනුව ඊළාම් රාජය්‍යට ජලය සපායා ගැනීම ඔවුන්ගේ අරමුණක්ව තිබුණි.වසර සියයකට පමණ පසු මොරගහකන්ද ජලාශය හරහා උතුරු මැද කොන්ක්‍රීට් ඇළ කපා ඒ සිහිනය ඉටු කර දෙන්නට වර්තමාන දේශපාලනඥයන් උත්සාහ කරමින් සිටින සමයක මහවැලියේ වර්තමාන මෝඩකම් සහ කුරිරුකම් පිළිබඳ සැකෙවින් දැක්වීම මැනවි යයි සිතමි.

       චෝල ආක්‍රමණ වලදී සිංහලයන්ගෙන් කොල්ලකන ලද උතුරු දිග තැනිතලාවේ ඉඩම් සංවර්ධනය කොට ගෙන දෙමළ ජනතාව පදිංචි කර සිංහල ජනතාව අභිබවා යෑමේ වුවමනාවක් මේ දෙමළ ජාතිවාදීන් තුළ එදා පටන්ම තිබුණි. සමස්ත මහවැලි සංවර්ධන සැලැස්මේ ජේ. කේ. එල්.එම්. යන පළාත් සංවර්ධනය කරන්නට හැකි වූවා නම් තම නිජ භූමිය අහිමි වූ සිහලයන්ට පමණක් නොව දෙමළ මුස්ලිම් ජනතාවට පවා සාධාරණයක් ඉටු වන්ට තිබුණි. නමුත් මහවැලි ව්‍යාපාරය මුලසිටම ක්‍රියාත්මක කරන ලද්දේ විදේශ අදිසි හස්තයන්ගේ වුවමනාව පිටය. මහවැලි මහ සංවර්ධන සැලැස්මේ සඳහන්ව තිබෙන පරිදි ප්‍රධාන ඇළ මාර්ග වලින් පමණක් සමස්ත ප්‍රදේශ වලට ජලය සැපයිය යුතුව තිබුණි. ඇතැම් ගම් බිම් මෙම ඇළ මාර්ගයන්හි ජල පිරවුම් ස්ථාන ලෙසට භාවිතා කළ යුතුව තිබුණි.එසේම අනෙකුත් සියළුම ගම්වැව් කපාදැමීම කළ යුතුව තිබුණි. ජනපදිකයන්ට ඉඩම් භාරදීමට පළමු සියලුම් වගා බිම් සුද්ද කළ යුතු අතර සමතලා කොට මට්ටම් කළ යුතුය.(all crop land will be cleared and leveled prior to hand over to the settlers ) මෙහි යෝජනා කරන ලද අනෙකුත් ක්‍රියාකාරකම් අතර වෙසෙසි දෙයක් විය. ඒ නම් ගුරුත්ව බලයෙන් යුතු ජල සම්පාදනය වෙනුවට පිරිසෙයින් දියයෙදුම ( sprinkler Irigation ) ක්‍රමය යෝජනා කිරීමයි. මේ සඳහා විදේශීය ආයෝජන රැසක් යෙදිය යුතුව තිබෙන බැවින් තාවකාලිකව අත් හැරියද අනාගතයේදී එම ක්‍රමය සලකා බැලිය යුතු යයි නිර්දේශ කර තිබුණි.

        ලංකාවේ දිගම ගංගාව වූ මහවැලිය මූලික කරගෙන අතීතයේ සිටම පුරාණ රජ දරුවන් විසින් විශේෂ වාර්මාර්ග සකස් කොට ගොවි ජනතාවට දියවර සැපයූහ.ඔවුන් ඒ සඳහා අනුගමනය කරන ලද්දේ ඉතාම සරල තාක්ෂණයකි. විදෙස් ආධාර කිසිවක් නොමැතිව දේශීය හිල්පීන් ගේ උසස් ඥාණයෙන් මේ වාර්මාර්ග ව්‍යාපෘති සකස් කළ බව දැකිය හැකිය. හොඳමඋදාහරණය කලාවැවේ සිට ගලන යෝධ ඇළ නොහොත් මීමත කඳුරයි.අනෙක නම් මහවැලිය හරස් කොට ලූ මිණිබේ යෝධ ඇළයි.මහවැලි ගඟ වක් වූ ස්ථානයක උස්බිමකට ගිය දිය අත්තක් සාර්ථක ලෙසට සරළ බැම්මක් යොදා හරස් කර මිණිබේ කඳු වැටි වල සමෝච්ච වැටි ඔස්සේ පොළොන්නරුව දක්වා ජලය ගෙන ගිය හැටි අපූරුය.කලාවැවේ යෝධ ඇළත් එයට දෙවනි නැත.සැතපුම් පනස් හතරක් මේ යෝධ ඇළ අනුරාධපුර නුවර වැව දක්වා ගමන් කරනුයේ නිසොල්මනේ තමන්ගේ ජලයට ප්‍රවේගයක්ද එක් කර දෙමිනි. ඒ ගමනේදී කුඩා වැව් රැසක් පෝෂණය කරමින් කෙත් වලට ජලය ලබා දුන් හැටි මවිත කරය.හුරුලු වැවෙන් නිදහස් කරන ජලය යාන් ඔයට වැටුණු කල්හි.තැන් කීපයකින් කුඩා බැමි යොදා යෝධ ඇළවල් නිර්මාණය කර පදවිය සහ වාහල්කඩටත් අනතුරුව උතුරේ ඉරනමඩු වැව දක්වාත් වැව් පෝෂණය කරමින් ඇදුණු හැටි බ්‍රොහියර්  මහතා සිය ග්‍රන්ථ වල සඳහන් කර ඇත.

      නව තාක්ෂණය නව යන්ත්‍ර උපකරණ මහවැලියට ලැබුණි.අධිකාරිමය බලතල ලැබුණි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලද දරුවන් ඉංජිනේරුවන් බවට පත් වී මහවැලි උසස් නිලතල වලට පත්වූහ.කඩිනම් මහවැලිය යටතේ වසර පහකින් එය නිම කිරීමට සැලසුම් කෙරිණ. අනතුරුව සිදු වූයේ කුමක්ද එලිච්චියකගේ ගමන අනුව සමෝච්ච වැටි දිගේ ගලා ගිය කලාවැව යෝධ ඇළ කෙළින් කර ගැඹුරු කළහ.පැරැන්නන්ගේ තාක්ෂණය නොදත් මහවැලි දරුවන් කුඩාවැව් එකින් එක කපා දැමූහ. ව්දේශිකයයන් කියාදෙන අයුරින් සිය ඉංජිනේරු ශිල්පය මෙහයවූ එක් මහවැලි ඉංජිනේරුවරයෙකු වන මහින්ද පනාපිටිය මහතා මේ කළ විනාශය පිළිබඳ වසර ගණනාවකට පසු සිය පාපෝච්චාරණය ඉදිරිපත් කළේමෙසේය.

     'හැත්තෑ ගණන් වලදී පැරණි යෝධ ඇළ යටතේ තිබූ ඉඩම් සංවර්ධනය කිරීමේ අප නියැලී සිටි අතර ප්‍රදේශයේ තිබුණු වැව් බොහොමෙයක් නවීන සැලසුමට අනුව අවශ්‍ය වූ පරිදි විනාශ කිරීමට අපට සිදු විය. ප්‍රදේශයේ සාම්ප්‍රදායික ගම්වල මුල් පදිංචිකරුවන්ගෙන් එල්ල වූ බලපෑම් හේතු කොට ගෙන වඩා විශාල වැව් කීපයක් එසේ විනාශ නොකොට ඉතිරි කිරීමට ද සිදු විය මහවැලි අධිකාරිය විසින් වැව් කඩා බිඳ දැමීම වැළැක්වීමට මහජනතාව විසින් එවකට සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාද කැඳවන ලදී. අප තවදුරටත් නිරීක්ෂණය කලේ කපා එළි කොට ගොවි බිම් බවට පත් කිරීමට නියමිතව තිබූ කැලෑ ප්‍රදේශ වල නිම්න හරහා කුඩා වේලි රාශියක් තනා තිබූ බවය. අපේ සැලසුම් නිර්ණායක අනුව එම වේලි අපට පෙනුණේ කිසිසේතම් නොවටිනා දේවල් හැටියටය.ඉඩම් සංවර්ධන මුල් අවදියේ ව්‍යාපෘති ඉංජිනේරුවරයෙකු  ලෙස මා කටයුතු කළ ප්‍රදේශයේ ම පුනරුත්ථාපන වැඩ සටහනකට සාභාගි වීමට වසර 30 කට පසු 2003 දී මට අවස්ථාව සැලසුණි. පෙරදින වල සිට මේ ප්‍රදේශයේ සිට ගෙදර යන විට මී පැණි මී කිරි සහ කුරක්කන් මුං ඇට වැනි ධාන්‍ය වර්ග බොහොමයක් මිලදී ගෙන රැගෙන යෑමට පුරුදු වී සිටියෙමි. වර්තමානයේ මේ ප්‍රදේශ වල මී පැණි නැත.මක් නිසාද යත් රසායනික වස විස  යෙදූ ඉඩම් ආශ්‍රිතව  මී මැස්සන් වද නොබදින බැවිනි.  දේශීයව පහසුවෙන් වගා කළ හැකි ධාන්‍ය වෙනුවට ඔවුන් ආනයනය කළ පරිප්පු සහ පාන් පිටි මත යැපෙති. මෙහි මුල් පදිංචි කරුවන් හැම කෙනෙකුම පාහේ ගෙවත්තේ ගවයන් සිටි අතර මේ ගවපට්ටි වලට සිදු වූයේ කුමක්ද ජනතාව තමන්ගේ උදෑසන තේ පානය සඳහා  ආනයනය කළ කිරිපිටි මත යැපෙති.'

          තමන් අතින් සිදු වූයේ මහා අපරාධයක් බව ඔහු පිලිගැනීමම සැබවින්ම කෙතරම් අගනේද. රජරට පාරම්පරික සිංහල ගැමියන් කමන්ගේ වැව් ටික ඩෝසර්යට කපා හෙළනවා දැක දැක ඉවසුවේ නැත ඔවුහු ඩෝසරය ඉදිරියේ බමි වැතිර විරොධය පළ කළහ.     මහවැලි ජලය මගින් රජරට ගම්බිම් තෙත් කිරීමෙන් අත්වුනු ආර්ථික භෝග ප්‍රතිඵලද  බොහෝ වෙයි යයි කියති. මිරිස් කව්පී වර්ග පමණක් නොව අර්තපල්ද මහවැලි ගොවි බිම් වලින් එළියට පැමිණ තිබුණි. නමුත් මුදල් අතමිට ගැවසුණ ඔවුන්ගේ ජීවිත දුක්මුසු විය.කුඩා වැව් නොතිබීම නිසා ජලය නැති කමින් පීඩා විඳින ජනපදිකයන් ගැන අසන්නට ලැබුණි.වී විකුණා ගන්නට බැරිව වස බිව් පොලොන්නරු ගොවීහු ගැන එදා පත්තර පුන පුනා කතා කළහ.කුඹුරු වලට ජලය දීමට වඩා විදුලිබල නිෂ්පාදනයට මුල් තැනක් ලැබුණි.සමනල වැවෙන් පෝෂණය ලැබූ උඩවලවේ ගොවීන්ට අත් වූ ඉරණම මෙයට උදාහරණයකි.මහවැලිය නිසා උතුරේ සිංහල ජනපද බහිවූහ. කාලාන්තරයක් තිස්සේ වල් බිහිව තිබූ රජරට යළි මිනිසුන් ගෙන් පිරී ගියේය.ඒ සෑම බිමකම සිංහල පමණක් නොව දෙමළ මුස්ලිම් අයද පදිංචි කරවන ලද්දේ ජන අනුපාතයට සරිලන ලෙසටයි. නමුත් මේ ජනපද කරණයට උතුරේ දෙමල අන්තවාදීන් විරුද්ධ වූහ.වර්තමානය වන විට මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසාන සංවර්ධන බල ප්‍රදේශය වන බී කාලපෙයේ මාදුරු ඔය දකුණු ඉවුර පිළිබඳ අවධානය යොමු වී තිබේ.

      මහවැලියේ ආරම්භක ඉංජිනේරුවරයෙකුව සිටි මහින්ද පනාපිටිය මහතා මතු කරන සත්‍යය වර්තමාන ඉංජිනේරුවන් නොසලකා හරින බව පෙනේ. උගත් පාඩම් අමතක කර ඔවුහු යළිත් පැරණි පාරේම යන්නට උත්සාහ දරති. මාදුරු ඔය දකුණු ඉවුරේ කැඩී බිඳී ගිය කුඩා වැව් රාශියක් වෙයි.පුරාවිද්‍යෘ හානි අගැයුම් වාර්තාවේ ද  මේ කුඩා වැව් වල තිබෙන පුරාවි ද්‍යා වටිනාකම් හුවා දක්වා ඇත..තොප්පිගල නරක මුල්ල සිට නෙලුගල පර්වතය දක්වා වූ බිම්කඩේ දැනට අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්යන්හි පවතින මේ සාරවත් භූමිය තුළ වැව් තුනක් පමණක් ඉතිරි කරවා ඉතිරි සියලු වැව් කපා හැර ආයෝජන කලාපයක් ඇති කිරීම මහවැලියේ සැලැස්මයි. ඒ අතර දිවුල්පතාන බෝගමුයාය වැනි ගම්මානයන්හි දැනට සිටින අනවසර කරුවන් යැයි හඳුන්වන ජනතාව ඉන් පළවා හැර පළතුරු සහ වෙනත් ආර්ථික භෝග වැවීමට දේශීය සහ විදෙස් සමාගම් වෙත ලබා දීමට මේ වන විට සැලසුම් සකස් කොට අවසන්ය. ඒ අතර මඩකලපු දිස්ත්‍රික්කයේ දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි විශාල ගව පට්ටි ඇති කරන්නට හෙහක්ටයාර් 3025 ක් වෙන් කර තිබේ. පෙර දී සෑම ජනපද ව්‍යාපාරයකම ජාතික ජන අනුපාතය අනුව ජනතාව පදිංචි කළහ. මේ ව්‍යාපාරයේ දී ඒ තත්වය වෙනස් වී ඇත. මඩකලපුවේ ඉඩම් දෙමළ මුස්ලිම් ජනතාවට පමණක්ය. ආයෝජකයන් සඳහා ලබා දෙන ඉඩම් ද ඉන්දීය අනුමැතිය හිමිවන සමාගම් වලට පමණක් ලබා දීමේ පිඹුරු පත් සැකසෙමින් පවතී. වැව් කපා හැර අතීත ශිෂ්ඨාචාරය සමතලා කල කාලිංග මාඝටත් වැඩියෙන් වර්තමාන පාලකයන් ඉදිරියෙන් සිටින්නේ විදෙස් මනදොල පුරවා දීමටයි. ඔවුන්ට පරිසර පද්ධතියක වටිනාකමක් නැත. එල්ලංගා පද්ධිතයක වටිනා කමක් නැත. පළමුවත් ඉඩම් දෙවනුවත් ඉඩම් තුන්වනුවත් ඉඩම් පමණකි. මාදුරු ඔය ජලාශයෙන් ජලය නිකුත් වන කල්හි ආයෝජකයන් විසින් යහමින් ජලය පරිභෝජනය කරන කල්හි. හෙක්ටයාර් 2700 පමණ සුලු ඉඩම් ප්‍රමාණයක වී වගාවේ නියකුත් ව සිටින ගොවි ජනතාවට ජල හිඟයෙන් පීඩා විඳීමට අනිවාර්යයෙන්ම සිදු වන නියතය. මෙම සැලසුම් සකස් කිරීමට උපදෙස් දෙන්නේ දෙශපාලඥයන් නමුත් නිර්මාණය මහවැලි ඉංජිනේරුවන්ගේය.නිදහස් අධ්‍යාපනයෙන් පන්නරය ලබා ඔවුහු රට වෙනුවෙන් සේවය කරනවාට වඩා සිදු කරනුයේ රටේ සම්පත් කාබාසිනියා කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමය. මාදුරු ඔය දකුණ ඉවුරේ සංවර්ධන සැලසුම් වලින් අප දකින කටුක යථාර්තය එයයි.

 

මතුගම සෙනෙවිරුවන්