පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, January 30, 2022

මුස්ලිම් කප්පම් මත යළි වැළලෙන මුහුදු මහා විහාරය

 

 

 


                            

       සිංහල බෞද්ධයන්ගේ අද්විතීය වන්දනා ස්ථානයක් වන පොතුවිල් මුහුදු මහා විහාරය කාලයක් තිස්සේම අන්‍යාගමිකයන්ගේ අතවරයන්ට ලක්ව වැනසුණු පුදබිමකි.මහා දාඨිකමහානාග නොහොත් මහදැළියාමානා රජු විසින් ඉඳි කරන ලදැයි සැළකෙන මෙම විහාරය වටා තිබෙන ‌ෙඑතිහාසික නටබුන් රාශියකි.නැගෙනහිර පළාත ලන්දේසීන් විසින් සිය සමාගමේ ආධිපත්‍යට ගැනීමෙන් පසු මෙවැනි ස්ථාන රැසක් අනතුරට පත් විය. මේ ප්‍රදේශ වල සිංහල ජනගහනය ක්‍රමයෙන් තුනීව ගියේය.රජයේ ජන සංගණන වාර්තා නිරීක්ෂණය කරන කල්හි මේ බැව් දත හැකිය.කෙසේ වෙතත් සේරුවිල ‌ෙඑතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරනය කිරීමේ අදිටනින් දකුණේ සිට නැගනහිරට ගිය සිංහල වානිජයන් නිසා මේ පෙදෙස් යලි පිබිදෙන්නට වූයේය. ඒ පිබිදීම අඩපන කරමින් නැගී සිටි දෙමල ත්‍රස්තවාදය නිසා වානිජ ආධිපත්‍ය දැරූ සිංහලයන්ට අවතැන් වීමට සිදු විය.මහුදු මහා විහාරය පමණක් නොව නැගනහිර සියලු ‌ෙඑතිහාසික සිද්ධස්ථානයන් අවදානමකට ලක් වන්නේ එතැන් සිටය.

           මුහුදු මහා විහාරය ඇතුලත් භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ගැසට්ටුවකට නැගෙන්නේ 1951 වර්ෂයේ දීය.ඒ අක්කර හැත්තෑදෙකකුත් රූඩ් තුනකුත් පර්චර්ස් දහතුනක භූමියක් වෙන්කරලමිනි. මතුපිට පවතින පුරාවස්තු සලකා බලමින් නිකුත් කරන ලද එම ගැසට්ටුවෙන් පසුව 1965 දී නැවත වෙනස් කොට අක්කර 30 කුත් රූඩ් තුනකුත් පර්චර්ස් දහතුනක් වන පිරිදි නැවත සංශෝධනය වී තිබේ. ඒ කුමන හේතුවක් නිසාදැයි දක්වන කිසිදු වාර්තාවක් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව සතුව නැත. 1975 වර්ෂයෙන් පසුව හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජාද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් මුහුදු මහා විහාර භූමියේ කරන ලද කැණීම් වල ප්‍රතිඵලයක් වශයෙන් අතිවිශේෂ පිළිමගෙයක් මතු කර ගැනීමට සමත් විය. මෙම පිළිම ගෙය  අනුරාධපුරයේ පසු භාගයට අයත්  සහ මුල් භාගයට අයත් බවට හඳුනා ගන්නට යෙදුණි. එයට අමතරව පොතුවිල මුහුදු තීරයේ වූ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක් ද හඳුනා ගන්නට යෙදුණි.  රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප්‍රතිමාවක්ද මෛත්‍රිය බෝධිසත්ව පිළිමයක්ද මෙම පිළිම ගේ තුළ තිබෙන අතර ඒවා කැණීම් වලින් පසුව සංරක්ෂණය කරන්ට යෙදුණි. බුදු පිළිමයේ හිස කිසියම් පුද්ගලයෙකු විසින් ගලවා ගෙන ගොස් තිබූ අතර එය මෙහි සිටි පුරාවිද්‍යා මුරකරුවන මජීඩ් ගේ ගෙයි ලිප් ගලකට ගෙන ඇති බව පසුව සොයා ගැනීමට හැකි විය.1978 වර්ෂය වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ අතර පිළම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කොට තිබුණි.

      පුරා විද්‍යා රක්ෂිතය භාරව සිටින මුස්ලිම් මුරකරු වරක් විහාරාධිපතිව වැඩසිටි පූජ්‍ය කතරගම සිරිරතන හිමියන්ට අඩන්තෙට්ටම් කිරීම සඳහා මුස්ලිම් පිරිසක් උසිගන්වන ලදහ. බුද්ධ ප්‍රතිමාවට පළන්දන ලද සිවුර ගලවා වීසි කළහ.මේ අකාරයට කොටි ත්‍රස්තවාදී සමයේ හුදකලාවූ මුහුදු මහා විහාරය සතු ඉඩ කඩම් වලින් අක්කර නවයක් ජය භූමි පැවරුම් මගින් මුස්ලිම් වරු සන්තක කිරීමටද ප්‍රාදේශීය ලේකම් වරයා ගත් පියවරට එරෙහිව කිසිවෙක් ක්‍රියා නොකළහ .ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය ලෙසට කටයුතු කළ වකවානුවේදීය.එතුමියගේ අත්සනින් යුතු ජයභූමි ඔප්පු ගත් මුස්ලිම් ජන කොටස් දිගින් දිගටම මෙම ඓතිහාසික භූමිය ආක්‍රමණය කරමින් සිටී.     කතරගම සිර රතන හිමියන් ගෙන් පසුව මෙහි විහාරාධිපති ධූරයට පත් පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ මුහුදු මහා විහාරයේ දියුණුව උදෙසා  විශාල වැඩ කොටසක් ඉටු කර ඇත.

     ඒ අතර 2012 වර්ෂයේ දී දිනක් මුස්ලිම් පිරිස මෙහි පැමිණ වැල්ලට යටව තිබූ පැරණි චෛත්‍ය ඩෝසර කිරීම නිසා මහත් කලබගෑනියක් ඇති විය. මේ තත්වය තුළ රජයට තවත් කරබා ගෙන සිටිය නොහැකි විය. අම්පාර දැයට කිරුළ උත්සවයට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය ආරම්භ කරන ලද අතර අභිනවයෙන් බුදු මැදුරක් ද එයට ප්‍රවිශ්ඨ විය හැකි නව මාවතක්ද විවෘත කරන ලදහ.මෙයට හේතු වූයේ මුහුදු මහා විහාරයට ප්‍රවිශ්ඨ වීමට තිබූ පැරණි මාවත දෙපස ඉඩම් අල්ලා ගෙන යන එන වාහන වලට කරදර පැමිණවීමට කටයුතු කිරීමයි.අලුතෙන් මාවතක් ඉඳි වී විහාරෂ්ථානය සංවර්ධන වීම නිසා  කෝපයට පත් මුසල්මානුවන් යළිත් වරක් සංවිධානය වී ආවාස ගෙයට ගිනි තබන ලද්දේය.

             යහපාලන  රජය සමයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දුන් නියෝගයක් නිසා උතුරු සහ නැගෙනහිර පුරාවිද්‍යා ගවේහන කටයුතුද ගැසට් කිරීමේ කටයුතු ද අත් හිටවින. ඒ යුගයේ දී සාම්පූර් දාගැබ තිරුකෝවිල් සහ සාගම දාගැබ් ඩෝසරයට යට කරන ලද්දේ අන්තවාදීන් ගේ ඉඩම් තණ්හාවට ඉලක්කයක් වෙමිනි.මේවායින් ලැබුණු ඇතැම් පුරාවස්තු අදටත් උසාවි වල නඩු භාණ්ඩ වශයෙන් පවතින බව මතක් කළ යුතුය.මුහුදු මහා විහාරයේ රක්ෂිතය සම්බන්ධ ගැටළුව විසඳීම පිණිස අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් නීතිපති අදහස් විමසන ලද අතර 2019 දී ඒයට පිළිතුර ලැබුණි. නීතිපතිවරයාගේ පිළිතුර වූයේ 1965 වර්ෂයේ නිකුත් කරන ලද නව ගැසට් පත්‍රය වලංගු බවයි. කෙසේ වෙතත් 1951 වර්ෂයේ දී හඳුනාගන්නා ලද මතුපිට පුරාවස්තු සියල්ල ඒ වන විට මුසල්මානුවන් විසින් විනාශ කර තිබුණි.අක්කර හැත්තෑදෙක තිහට අඩුවූයේ ඒ හේතුවෙනි.ඉන්පසු අනූව දශකයේ දී තවත් අක්කර නවයක් මුසල්මානුවන්ගේ ග්‍රහණයට ලක් වී තිබුණේ පළාතේ දෙශපාලකඥයන්ගේ සහ මුස්ලිම් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුග්‍රහයෙනි.ඒවායේද මතුපිට පවතින පුරාවස්තු කිසිවක් ඔවුන්ඉතිරි කර තබා නැත.

             වත්මන් රජය පත් කිරීම ට මූලික හේතුවක් වූයේ මෙරට ජාතික උරුමය සංරක්ෂණයට ආරක්ෂාවට ලැබෙන අනුග්‍රහය පිළිබඳ විශ්වාසයකිනි. කූරගල සහ කුරුඳු මහා විහාරය වැනි තැන් සංවර්ධනය වන්නේ ඒ අනුග්‍රහය නිසා බව බහුතරයකගේ අදහසයි. එහෙත් ඒ තත්වය සැම තැනකම දක්නට නැත. පුරාවිද්‍යා කටයුතු පීළිබඳ නැගෙනහිර කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙන්නේද පෙර කී අරමුණු සාක්ෂ්‍යාත් කර ලීම පිණිසමය.වත්මන් රජය යටතේ මුහුදු මහා විහාර භූමිය නැවත ගවේශනය කරන ලද අතර එහි වාර්තාව 2020 ජූලි මස 21 දින නිකුත් වීඇත. එම වාර්තාව ප්‍රකාරව මුසල්මානුවන් වෙත ලබා දී තිබූ ඉඩම් වල භූඅභ්‍යන්තර ගවේශනයක් නවීන තාක්ෂණය යොදා කිරීමට යෝජනා වී තිබුණි. නමුත් වර්තමාන දේශපාලන තත්වය මත යළිත් මුස්ලිම් බලවතුන්ගේ දේශපාලන කප්පම් වලට වත්මන් ආණ්ඩුව යටවීමේ ප්‍රවනතාවයක් ඇති වී තිබේ යැයි  සැකයක් මතු වී ඇත.පොතුවිල් මුස්ලිම් මන්ත්‍රීවරයෙකු ගේ බලපෑම මත දැන් මුහුදු මහා විහාර භූමිය නිරවුල් කිරීමේ කටයුතු නැවතත් මුල් තත්වයට පත් වීතිබේ.මෑතකදී ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමකදී ප්‍රකාශ කොට ඇත්තේ මුසල්මානුවන් විසින් අල්වා ගෙන ඇති භූමිය පුරාවිද්‍යා රක්ෂිතයෙන් ඉවත් කිරීමට කටයුතු යෙදීම සුදුසු බවයි.එම තීරණය ගත යුතු ද නැතිද යන්න තීරණය කල යුත්තේ පුරාවිද්‍යා අධයක්ෂ ජනරාල් වරයා වුවද ආරකෂක ලේකම් වරයාට ඒ බලතල ලබා දුන්නේ කවුරුද යන්න විමසිය යුතුය. පොතුවිල් මුහුදු තීරය ආරක්ෂාව අතින් අතිශයින් සංවේදී ප්‍රදේශයකි. ඒ ගැන නොසලකා මුසල්මානුවන් වෙනුවෙන් හිත උණුකර ගන්නා පුද්ගලයන් පිළිබඳ අපට නැවතත් සිතා බැලීමට සිදුවන්නේ යැයි මෙහිදී සඳහන් කල යුතුය.

මතුගම සෙනෙවිරුවන්

 

Thursday, January 27, 2022

කූරගල අරගලයට පන්නරය ලැබුණු හැටි

 

 

 


                                

             සපරගමු පළාතේ මැද කෝරලයේ හෙළ උඩ පළාතේ පිහිටා තිබෙන තන්ජන්තැන්න කඩ මණ්ඩිය ළඟින් හැරී කී.මීටරයක් පමණ ගමන් කරන විට හමුවන කුරගල පර්වතය බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් පුදබිමකි.කටාරම් කොටූ ගිරිලෙන් දහතුනකින් පමන සමන්විත මෙම පර්වතය හිටුවන්ගල කූරගල ලැගුම්ගල සහ ඉබ්බන්ගල යනුවෙන් පර්වත සිඛර හතරකින් සමන්විතය.මෙම ගල්ලෙන්වල කටාරමට යටින් තිබූ ලෙන ලිපි තුනක් අපට හමුවෙයි.සද්ධර්මාලංකාර කතා වස්තුවේ එන වත්ථුල පබ්බත  කතා වස්තුවේ හැටියට බැමිණිතියා සාය සමයේ කුහරගල විසූ එක් සැදැහැවත් උපාසකයෙකු සහ උපාසිකාවක විසින් කරකොල සකසා දානය දීමට කළ අධිෂ්ඨානයෙන් පසු කරගස පණුවන්ගේ හානියට ලක් වීමෙන් කළ හැකි දෙයක් නැති තැන ශරීර මාංස කපා දානය දෙන්නට උත්සාහ කරන ලද්දේය.මේ අධිෂ්ඨානය සහ මොවුන්ගේ පින් බලයෙන් සක්‍රයා විසින් දානය සඳහා රත්හැල් සහ ගිතෙල් සපයන ලද්දේය.ඒ දානය පිළි ගැන්වීමේ ආනිසංසයෙන් උපාසක දෙපළ දෙව්ලොව ජනිත වූ බව සද්ධර්මාලංකාර කතාවේ දැක්වේ..

      කූරගල පර්වතය මුදුනේ තපස් පිලක් වෙයි. පෙර තපස්වරුන් බවුන් වැඩූ මේ ස්ථානයේ සිට පබ්බත පාමුළට ගමන් කළ හැකි උමං මගක් තිබුණේ යැයි කියැවේ.මේ කුහරය නිසා කූහරේගල කූරගල යන නාමය ඇති වූයේ යැයි ජන ප්‍රවාදයේ පවතී.‌ෙඑතිහාසික ජනප්‍රවාදයන් අනුව කූරගල  ගල මූදුනට බුදුන් වහන්සේ වැඩම කර තිබේ. සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනල ගල මතුපිට මැණික් ගලක ශ්‍රීපාද සටහන තැබීමෙන් පසු සමන් දෙවියන් ගේ වාසභවන ලෙස සැලකෙන කුරගල පව්වට වැඩම කරන ලද්දේ පැරණි චන්ද්‍රගිරි රාජධානිය නොහොත් තන්ජම මෙහි පැවතුණු බැවිනි.පසුකාලයේ දී කූරගලත් කල්තොට නිම්නයේ පවතින බුදුගලත් යාවෙන පබ්බත ආරාම සංකීර්ණයක් ගොඩනැන්වී තිබේ. කූරගල පර්වත දිගන්තයේ දක්නට ලැබෙන කටාරම් කෙටූ ගිරිගුහා ආරණ්‍ය මගින් ද බුදුගල දක්නට ලැබෙන පධානඝර සංකීර්ණයේ නශ්ඨාවශේෂ මෙන්ම ගල්ටැම්යායේ පංචාවාස ගොඩනැගිලි මගින්ද  කියාපාන්නේ මේ ‌ෙඑතිහාසික කතන්දරයයි.

       කූරගල ‌ෙඑතිහාසික ආරණ්‍ය දහනව වන සියවස වන විට වනගතව තිබූ හුදකලා භූමියක් විය. අලි ඇතුන් කොටි වලසුන් ගේ අභය භූමියක් විය.නමුත් රුහුණේ සිට පැමිණෙන ප්‍රධාන ගමන් මාර්ගයක සමීපයේ පිහිටි බැවින් කූරගල කන්ද නැග බළන්ගොඩ ට පැමිණීමට පුරුදු වූ වෙළහෙලදාම් වල නියුතු පිරිසක් වූහ. ඔවුනතර තැනින් තැන රෙදි පිළි සහ මැණික් වෙළෙදාමේ නියුක්ත මරක්කල පිරිසක් ද වූහ.බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වූ මෙරටේ විශේෂ වරප්‍රසාද ලත් පිරිසක් බවට පත් වූ බැවින් නීති විරෝධී වැඩ කිරීමටද ඔවුහු පසුබට නොවූහ. කංසා තිප්පලක් බවට පත් කරන ලද කූරගල පර්වත මුදුනේ ඔවුනගේ පැලක් අටවෙන්නේ මේ නීති විරෝධී කටයුතු පිණිසමය.වනසතුන් ගෙන් පිරි මේ අඩවියට මුලෑදෑනීන්ගේ පැමිණීම සීමා සහිත විය. නමුත් මේ අනවසර පැළ ගැන ආරංචිය ලත් මුල්ගම කෝරාළ විසින් එය කඩා ඉවත් කර ලෙස 1923 දී පමණ  කල්තොට ආරච්චිට  නියෝග කරන ලද්දේය.පසුව 1930 දී මේ අනවසර මධ්‍යස්ථානය ගැන ඇතිවූ ආරවුලකින් පසු බළන්ගොඩ වාසය කල මරක්කලයන් විසින් මේ ස්ථානයේ ගල්ලෙනක් ආසන්නයේ යාඥා මඩුවක් අටවන ලද්දේ එහිදී මිය ගිය පුද්ගලයෙකු ගේ සොහොනක් ද ඇතිවය.

 කෙසේ වෙතත් එතැන් සිට මේ ‌ෙඑතිහාසික සිද්ධස්ථානය අන්‍යාගමිකයන්ගේ ප්‍රධාන කඳවුරක් බවට පත් විය. ඓතිහාසික කූරගල ලෙන් විහාර සංකීර්ණය අත්පත් කර ගෙන එහි පැවති බුදු පිළිම සඳකඩ පහන් මෙන්ම ශ්‍රී පතුල් ද කඩා බිඳ දැමීම ආරම්භ වන්නේ ඉන් පසුවයි..1939 වර්ෂයේ දී මුල් වරට පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් එහි වැඩම කළ අවස්ථාවේ දී තිබූ තත්වය සබරගමුවේ පැරණි ලියවිලි සංග්‍රහයේ ඇතුලත් කර ඇත. පසුව සපරගමු දර්ශන කෘතියේ ද වැඩි විස්තර වශයෙන් සඳහන් කර තිබේ.මෙම ස්ථානය අන්‍යාගමිකයින්ගෙන් බේරා ගැනීමට උන්වහන්සේ උත්සාහ ගන්නා අවස්ථාවේ දී මුස්ලිම් පක්ෂය විසින් කළ එදිරිවාදුකම් පැහැදිලිව එහි දක්වා තිබේ. පුරාවිද්‍යා නිළධාරීන් සමග සෙල්ලිපි පිටපත් කිරීමට ගිය අවස්ථාවේ දී එයට ඉඩ නොදුන් ආකාරයද උන්වහන්සේට එරෙහිව පොලිසියට පැමිණිලි කළ ආකාරයද එහි ඇතුලත්ව ඇත.ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ප්‍රභූවරුන් ගේ කැපවීම නිසා කාලයකට පසු  මේ ‌ෙඑතිහාසික භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කරන ලද්දේ 1971 වර්ෂයේ දීය.නමුත්  1977 වර්ෂයෙන් පසු පළාතේ දේශපාලන අධිකාරියද මුස්ලිම් පක්ෂය නියෝජනය කළ බැවින් කූරගල පර්වතය නැවත බෞද්ධයන් වෙත නිදහස් කිරීම සිදු නොවීය. ඒ වෙනුවට සෑම වර්ෂයකම මේ ස්ථානයේ විශාල සත්ව ඝාතනයක් සිදු වෙමින් අන්‍යාගමික උත්සව පැවැත්වීම නම් සිදු විය.එයට අමතරව දේශපාලන අධිකාරියේ මැදිහත් වීමෙන් කල්මුණේ වැසි පුද්ගලයන් රැසක් මෙහි පැමිණ  අවට ගම්මානයක් පවා අටවා ගන්නට කටයුතු සිදු කර ඇත.

    මෙලෙස දිනෙන් දින අන්‍යාගමික බලය පැතිරෙන කල්හි පූජ්‍ය වටද්දර ඥාණිස්සර ස්වාමීන් වහන්සේ මෙම ස්ථානයට පැමිණ ගල්ලෙන් ආශ්‍රිතව වැඩ වාසය කරන්නට වීම මේ අරගලයේ වැදගත් සන්ධිස්ථානයක් විය.අසූව දශකයේ දී මේ ස්ථානය නිදහස් කර ගැනීමේ සටන තවත් තීව්‍ර විය. සාකච්ඡා වට ගණනාවකින් පසු ආර්.ප්‍රේමදාස ජනපතිවරයා ගේ කාලයේ දි මුස්ලිම් පක්ෂය වෙත විකල්ප ඉඩම් ප්‍රදානය කරමින් කූරගල නිදහස් කර ගැනීමේ එකඟතාවක් ඇති විය ඒ අනුව 1990 වසරේ මාර්තු මාසයේ දී හිටුවන්ගල පර්වත පාමුළ  අක්කර විසිගණනක් භූමියක්  තිස්අවුරුදු බදු පදනමින් ඔවුනට හිමි වූ නමුත් ගල්ලෙන් ආශ්‍රිතව සිදු වූ ඉඳිකිරීම් කටයුතු නොනවත්වා සිදු විය. එයට හේතු වූයේ මෙම ස්ථානය රැකවල් කළ පුරාවිද්‍යා මුර කරුවන් විසින් මුස්ලිම් පක්ෂයට උදව් උපකාර කිරීමයි.කූරගල පර්වත නිම්නයේ කඩපිල් මෙන්ම  ගල්ලෙන් වල බැඳි මුලු තැන් ගෙවල් ගව ඝාතකාගාර සියල්ල ඉඳිවන්නේ මේ සමයේ දීය.

     මුස්ලිම් පක්ෂයට අක්කර විස්සක භූමියක් ලැබෙන විට පූජ්‍ය වටද්දර ඥාණිස්සර හිමියන්ටද අක්කර දහයක භූමියක් පර්වත පාමුළින් හිමි විය.ඒ ස්ථානයේ විහාරස්ථානයක් ඉඳි වුවද එ සංවර්ධනය වීමට මේ මුස්ලිම් ආක්‍රමණය බාධාවක් විය.අනතුරුව අනූව දශකයේ දී මේ කූරගල අරගලය උච්චස්ථානයකට පත් වීමෙන් පසුව නන් දෙසින් පැමිණි බෞද්ධ සැදැහැවතුන් කූරගල පර්වත මස්තකයේ පින්කම් කිරීම ආරම්භ කරන ලදී. අස්ගිරි විහාරයේ වර්තමාන ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සහ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ප්‍රමුඛ පිරිසක් වටද්දර නාහිමියන් සමග සාකච්ඡා පවත්වා මෙම ස්ථානය බෞද්ධයන් වෙක නිදහස් කර ගැනීමේ අරගලය ආරම්භ වීමෙන් පසු මැදපෙරදිග හෙළ බිම සංවිධානයේ ආධාර උපකර සහිතව පහළ පන්සල ආශ්‍රිතව 2003 වර්ෂයේ දී නව විහාරස්ථානයක් ඉඳි විය.ආචාර්ය දයානන්ද බිනරගම රංජිත් අමරතුංග හෙළවංශ වැනි දායකයන්ගේ අප්‍රතිහත ධෛර්ය ඊට හේතු විය.එම විහාරස්ථානය ඉඳි කිරීමේ දී බළන්ගොඩ සිටි සිංහල දේශපාලකයන්ගේ  ගෙරවීම් වලට පවා ලක් වීමට සිදු විය. ඉන්පසු මෙම අරගලය දිගින් දිගටම ඇවිලී ගිය අතර ලක්වාසී බෞද්ධ සංවිදාන රැසක් මේ පර්වතය මස්තකය වෙත පැමිණි බව සිහිපත් කළ යුතුය.

 

සිංහල රාවය බොදු බලසේනා සංවිධානය  ජාතික හෙළ උරුමය රාවනා සවිය වැනි සංවිධාන එහි ප්‍රමුඛ විය.සිංහලරාවය සමග කල්තොට පොලිසිය ඇති කර ගත් ගැටුම් නිමක් නැති විය. පොලිසිය මුස්ලිම් පක්ෂයට සහාය පළ කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට තහනම් නියෝග පවා ගත් බව මෙහිදී සිහිපත් කළ යුතුය. මේ කාලයේ දී පූජ්‍ය වටද්දර ඥාණිස්සර හිමියන් ගේ ශිෂ්‍යයෙකු බවට පත් වූ කොළොන්නේ ශාන්තවිජය ස්වාමීන් වහන්සේ විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එරෙහිව මානව හිමිකම් කොමිසමේ ඉදිරියේ පවරන ලද නඩුව නිසා හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා විසින් මුස්ලිම් පක්ෂයට එරෙහිව බළන්ගොඩ උසාවියේ නඩු පවරන ලද්දේය.මෙම නඩුවේ තීන්දුව වූයේ පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටි අනවසර ඉඳිකිරිම් සියල්ල ඉවත් කල යුතු බවයි. නමුත් එවක තිබූ දේශපාලන බලපෑම් නිසා මේ කටයුත්ත නිසි පරිදි සිදු නොවීය. මේ කාලයේ ආරක්ෂක ලේකම් ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතා වරක් මෙම ස්ථානයට පැමිණියේය. ඔහුගේ නියෝගය වූයේ නඩු තීන්දුව ප්‍රකාරව අනවසර ඉඳි කිරීම් සියල්ල කඩා ඉවත් කරන ලෙසයි. ඒ අනුව සිවිල් ආරක්ෂක බලකායේද සහායෙන් අනවසර ඉඳි කිරීම් දාහතක් ඉවත් කරනු ලැබීය. කූරගල පර්වතය අවට සත්ව ඝාතනයද අන්‍යාගමික බලපෑම්ද තුනීව යන්නේ ඉන් අනතුරවයි. නමුත් 1930 දී පමණ ඉඳි කරන්නට යෙදුණු ප්‍රධාන මුස්ලිම් යාඥා මඩුව තවමත් ඉවත් වී නොමැත. එහි අවට පුරාවිද්‍යාත්මක කැණීමකින් පසුව වසර අටදාහක් පමණ පැරණි මානව ඇටසැකිල්ලක් සොයා ගැනීමට හැකි විය.මරක්කලයන්ගේ ව්‍යාජ ඉතිහාසය සිඳ බිඳ දමන්නට මේ සොයා ගැනීම් මෙන්ම කූරගල අවට සිදු කරන ලද ගවේශනයන්ද අතිශයින් ඉවහල් වූ බව කිව යුතුය.

     මෙලෙස කූරගල නිදහස් කර ගැනීමේ අරගලය සිදු වෙමින් පැවති සමයේ පූජ්‍ය වටද්දර ඥාණිස්සර හිමියන්ගේ පූර්ණ ආශීර්වාදය ඇතිව අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරත්න හිමියන්ට කූරගල ශ්‍රී පාද දිවගුහා රජමහා විහාරයේ භාරකාරත්වය පවරා දෙන ලද්දේය.වර්තමාන සංවර්ධනය ඇරඹෙන්නේ එතැන් සිටයි.අන්‍යාගමික ඉඳි කිරීම් වලින් නිදහස් කර ගත් කූරගල පර්වත මුදුනේ විශාල චෙත්‍යක් ඉඳි කිරීම ආරම්භ කරන ලද්දේ 2021 වසරේ දීය. පෙරදී මුස්ලිම් පක්ෂය විසින් කූරගලට නැගීම සඳහා ගල්පඩිකපා මුස්ලිම් හැඩයට තොරණක් පවා ඉඳි කර තිබුණි. එය මග හැර හිටුවන් ගල ආසන්යටම මාර්ග පහසුකම් සලසා මේ සංවර්ධන කටයුතු ඇරඹෙන අතර.2022 ජනවාරි 16 දින ශාක්‍ය සිංහ අසදිස සුගත මහා සෑයේ ධාතු තැන්පත් කිරීම සිදු වන්නේ  වත්මන් ජනපති තුමන් අතිනි.වන්දනා කරුවන් ගෙන් පිරීගිය කූරගල පර්වතය එදින බුදුරැසින් බබළන්නට විය.විශාළ පිරිසකට රැඳි සිටිය හැකි ධර්ම ශාලාවක් වන්දනා කරුවන්ට පහසුවෙන් කන්ද තරණය කිරීමට මාර්ග සහ දැවැන්ත සිංහ රූපයක් මේ වන විට එහි ඉඳි වෙයි.සැබවින්ම එදා කූරගල ‌ෙඑතිහාසික පුදබිම අන්‍යාගමිකයනගෙන් බේරා ගැනීමට සිටියේ අතලොස්සක් දෙනෙකි.සිංහල ජාතිවාදීන් ලෙස හංවඩුගසා මේ අරගලය දියාරු කිරීමට උත්සාහ කල විද්‍යුත් මාධ්‍ය අද කූරගල මහ පින්කම තමන්ගේ මාධ්‍ය තුළ වාර්තා කරනුයේ මහත් ඉහළිනි. එදා කූරගල සටනට සිටියේ දිවයින පත්‍රය පමණකි.කෙසේවෙතත් පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ට මේ පුදබිම සංවර්ධනය කරලීමට ශක්තිය ලබා දුන් හමුදාපති තුමා ඇතුළු සිවිල් ආරක්ෂක බලකාය යුගයේ අති වශාල මෙහෙවරක් සිදු කරන බව කිව යුතුය. උතුරේ ඉඳිවන පුදබිම් මෙන්ම නැගෙනහිර දීඝවාපියටද මේ සහාය නොමදව පළවෙයි. තවමත් ඒ සහාය නොලැබී ඇත්තේ මුහුදු මහා විහාරයට පමණි.කෙසේ වෙතත් වර්තමානයේ කොතෙක් ප්‍රශ්ණ ගැටළු තිබුණත් සිංහල බෞද්ධයන්ට සතුටු විය හැකි උදම් ඇණිය හැකි මහත් පින්කමක් වේ නම් ඒ කූරගල ආශ්චර්යන් බව කිවමනාය.ඒ අරගලය පිටිපස සිටි පිරිස අද ඉදිරියේ නොදැක්කද ඔවුන් සදා ජීවමාන වෙත්.

මතුගම සෙනෙවිරුවන්

Friday, January 7, 2022

නව වසරේ බලාපොරොත්තුව එකරටක් එක නීතියක්

 

 


                            

          කෝට්ටේ කල්‍යාණ සාමග්‍රී  සංඝ සභාව විසින් වත්මන් ජනපතිවරයාට පිරිනැමූ සම්මානය තුළ ශ්‍රී ලංකාධීශ්වර අභිධානය මුලටම එක්කොට තිබෙන්නේ යම් කිසි බලාපොරොත්තුවක් ඇතිවයි කල්පනා කළ හැකිය.මහා සංඝරත්නය  බොහෝ දුරට කල්පනා කොට මේ අභිධානය තෝරාගෙන ඇත්තේ ජනාධිපතිවරයා ලවා කළ යුතු වැදගත් වැඩ කීපයක් තිබෙන නිසයි. පසුගිය වසංගත සමයේ මේ කාර්යයන් සියල්ල අතපසු වන්නට යෙදුණි.රුවන්වැලි සෑයේ දිවුරුම මතක් කරන්නටත් මේ සම්මානය හේතු වී තිබේ. අවස්ථා ගණනාවකදී ජනපති මන්දිරයට මහා සංඝ රත්නය කැඳවා උපදෙස් ගැනීමට කටයුතු කළත් එහිදී කතා කල දේ යථාර්ථයක් නොවීම ගැනත් උන් වහන්සේලා කල්පනා කරන්නට ඇතැයි සිතේ. කෙසේ වෙතත් වසර තිහක යුධ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ලැබුණු දායකත්වය අගයා සම්මානයක් දීම මූලීක අරමුණක් වීම වළක්කවන්නට නොහැකිය.

        රට ආර්ථික අගාධයකට වැටී තිබේ.ඒ නිසාම විදෙස් බලවතුන් හමුවේ දණින් වැටී ජාතික සම්පත් බදු දී ඩෙලර් හොයන්නටත් සිදුව තිබේ.ජනතාව පීඩාවට පත් කරන තීන්දු තීරණ හමුවේ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයද ලියලමින් තිබේ. අපනයන අදායම අහිමි වීමත් ආනයන වියදම් වැඩි වීමත් මැද වසර පණහක විවෘත ආර්ථික මොඩලය ගැන නැවතත් සිතන්නට අවස්ථාවක් ලැබී ඇත.මේ මොඩලය ක්‍රියාත්මක කිරීමට කැපවූ දේශීය ඒජන්තයෙකු වූ පී.බී.ජයසුන්දර සිය තනතුරෙන් ඉවත් වූවද ණය මත දුවන ආර්ථිකය  ගැන ආණ්ඩු වල තිබෙන විශ්වාසය බිඳී නොමැත.විදේශීය භාණ්ඩ මත යැපෙන මානසිකත්වය අත් හැරීමට ජනතාවද සූදානම් නැත. ඔවුන් මැසිවිලි නගනුයේ සිය රට දේ සිරි සැපදේ සංකල්පය ක්‍රියාත්මක නොකරන නිසා නොව පිටරට දේ අග හිඟ වී ඇති නිසාය.විද්‍යුත් මාධ්‍ය මාෆියාවට මේ අග හිඟය කුණු රසට ඉස්මතු කළ හැකි මාතෘකාවක් වී තිබේ.

     ලංකාවට විද්වතුන් ගේ හිඟයක් නැත.දොස්තර ඉංජිනේරු ගණකාධිකාරී වෘත්තීන් හි විශේෂඥ තාවය දරන්නන් වාර්ෂිකව විශ්ව විද්‍යාල වලින් බිහිවෙති.කලක් ගත වන විට ඔවුහු හරි හම්බ කර ගැනීම පිණිස රට හැර යති. ඇතැමුන් විදෙස් පුරවැසි කම් ලබා පිටරට පැල පදියම් වෙති.ගම්බද මහ ගෙවල් පාලුවට යති.කුඹුරු වතු පිටි විකුණා දමන්නට සිදු වීම අරුමයක් නොවේ.ලංකාවට හිඟ වී තිබෙන්නේ ගොවියන්ය නොයෙකුත් දක්ෂතවයන්ගෙන් සපිරි ශිල්පීන්ය.රට පොහොර නුදුන් බැවින් උරණ වී සිටින්නේ ගොවියන් නොව බහු ජාතික සමාගම් විසින් කලක් තිස්සේ පෝෂණය කළ ගොවි කම්කරුවන්ය.1948 නිදහස ලබන විට රටට ආදරය කරන දේශප්‍රේමීන් වැඩි පිරිසක් මේ රටේ සිටියහ. පනස් හයේ  හැටේ වෙනස ඇති වන්නට දායකත්වය සැපයූයේ ඔවුන්ය.ඒහෙත් අද ඒ පරපුර අභාවයට ගොසින්ය.එක් රටක් ඒක නීතියක් ගැන සිහින මවන නූතන පරපුරට අවශ්‍ය වන්නේ අභිමානවත් ජාතියක සැබෑ ඒකීයත්වය සහ ‌ෙඑතිහාසික විකාශනයේ නීති රීති නොව අධිරාජ්‍යවාදීන් විසින් අප හිස මත තබා ගිය ගතානුගතික නීතියකි.ජනපතිවරයා විසින් මේ අරමුණ සඳහා සංකල්පයක් ඉදිරිපත් කරලීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනුයේ කුමන අරමුණක් කරා යෑමට දැයි පැහැදිලි නැත.එහෙත් ඒ ගැන ඉතිහාස සාධක අනුව විමසීම අදට ප්‍රයෝජනත්වය. 

     වසර දෙදහස් පන්සීයක ලිඛිත ඉතිහාසාය තුළම ලංකාව එක රටක් ලෙසට පැවතී නැත. වරින්වර සිදු වූ සතුරු ආක්‍රමණ හමුවේ රට බෙදී ගිය ආකාරය ඉතිහාසයෙන් විමසීමට හැකිය.ද්‍රවිඩ ආක්‍රමණ නිසා වරින් වර රට  පරාධීන විය. රජු පලා ගිය අතර පසුව පැහැදිලි ප්‍රබල නායකත්වයක් යටතේ රට එක සේසත් විය.සත්වන සියවසේ මාන වර්මන් යනුවෙන් රාජ්‍යයට පත් වූයේ ඒවැනි ප්‍රබල පාලකයෙකි.එතැන් සිට දහවැනි සියවස දක්වා වූ කාලය තුළ රට එක සේසත් රාජ්‍යයක් වශයෙන් ප්‍රබලව නැගී සිටි ආකාරය ඉතිහාසයෙන් තේරුම් ගත හැකිය.පස්වන කාශ්‍යප රජු මේ පරපුරේ අභිත නායකයෙකි.බුද්ධ ශාසනය වෙනුවෙන් මහත් සේවයක් කළ එතුමා විසින් කරවූ ව්‍යවස්ථාවක් ජේතවනාරාමය අසල ගල් පුවරුවක ඇත. ඉතා දීර්ග ලිපියක් වූ එහි තිබෙන එක් ව්‍යවස්ථාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතු යැයි හැඟේ.එහි  අටවන සහ නව වන පේළිවල දක්වා  තිබෙන්නේ මෙයයි.

(කෙත්කම් සුලබ්කොට් සිරිලක් ළොන්දුරුවයි සාබිය නිවය් රට් සොයය් සැත් බිය නෙරැ නන්ජැයින් නන් සෙය් බුද් බන්ද කරය් )  නන් ජැයින් යනු නනා ජාතීන්ය.හත් වන සියවසට පෙර පැවති දෙමළ පාලන සමයේ දී පැමිණි  ද්‍රවිඩයන් රැසක් රට පුරා විසීරී සිටියහ. ඔවුන්ට ඇරුණු වෙනම නීති රීතිද තිබුණහ.විවිධ ආගම් අදහන්නන් නිසා බුදු සසුන පිරීහීමකට ලක්ව තිබුණි. මේ නිසා මේ විවිධ විදෙසි ජාතීන් බෞද්ධ සංස්කෘතියට අනුගත කර ගැනීම රජුගේ බලාපොරොත්තුව විය.ඒ අවදියෙන් පසු සතරවන මිහිඳු රජු කළ මිහින්තලාපුවරු ලිපියේ දක්වා ඇත්තේ  පෙර දෙමළ් කාලයේ අනුගමනය කළ නීති රීති වෙනස් කළ යුතු බවයි.( කණැවැදිය  වන් තාක් තන්හි පෙරෙ දෙමෙළ් කලැ පෙරෙ සිරිත් දිය බෙදුම් මෙ වෙහෙරට්  මෙ ගතැ යුතු) ඒ කාලයේ සාංඝික දේපළ උකස් කිරීමද බදු දීමද සිදු වී තිබේ. ඒ ව්‍යවස්ථාවේ දක්වා තිබෙන්නේ මේ නීති වෙනස් කොට ශාසනය ට අවශ්‍ය ස්වාධීන්තවය සැලැස්විය යුතු ආකාරයයි.

   වර්ෂ 1766 ට පෙර දවස මෙරට යම් යම් විදෙස් ආධිපත්‍යයන් යටතේ පැවතියද එක රටක් වශයෙන් පැවතුණි.නමුත් එම වර්ෂයේ ලන්දේසීන් සහ සිංහලේ රජු ඇතුළු නිලමේවරු අත්සන් කරන ලද ගිවිසුම ප්‍රකාරව ගව්වක පළලින් යුක්ත රටේ සම්පූර්ණ මුහුදු බඩ තීරය ලන්දේසි කොම්පඤ්ඤය සතු විය. එතැන් පටන් රටවල් දෙකක් වශයෙන් නීති දෙකක් ක්‍රියාත්මක විය.ලන්දේසීන් සිංහල ලේකම් මිටි අනුගමනය කරමින් ඉඩම් තොම්බුද පාසල් තෝම්බුද සකස් කළහ. කෙම්පඤ්ඤයට ආදායම හිමිවන පරිදි ලන්දේසි නීතිය මෙරටට ආදේශ කළහ.ඉන්පසු 1796 ද මෙම මුහුදු බඩ පළාත් ඉංග්‍රීසීන් වෙත පවරා දුන් මුල් කාලයේ එම ප්‍රදේශ පාලනය වූයේ දකුණු ඉන්දියාවේ බ්‍රිතාන්‍ය වෙළෙඳ සමාගම විසිනි.එවිට දකුණු ඉන්දියාවේ පැවති සමින්දාර් නීතිය මෙරටට ආදේශ විය.අනතුරුව 1806 පමණ සිට ඉංග්‍රීසීන් විවිධ ප්‍රකාශන සහ ආඥවන් ගැසට් මගින් පළ කර ඉංග්‍රීසි නීතිය මුහුදු බඩ පළාත් වෙත ආරෝපණය කරන ලද්දේය.

     1806 මුස්ලිම් විවාහ හා දේපළ නීතිය ස්ථාපිත කරන ලද්දේ මේ යටතේය. එමෙන්ම මලබාරයෙන් ගෙන්වන ලද දෙමළ වහලුන් උදෙසා ලන්දේසීන් ක්‍රියාත්මකළ තේසවලාමෙයි නීතිය. ඉංග්‍රීසි නීතියේ විවිධ නඩු තීන්දු  යටතේ දිවයින පුරාවටම ආදේශ කරන ලද්දේය.1815 දී ගිවිසුමකින් කන්ද උඩරට සිංහලේ ඉංග්‍රීසි කිරීටයට භාර දෙන ලද්දේ මෙරට නිලමේ වරු විසිනි.මේ තත්වය හමුවේ සමස්ත රට තුළම ලන්දේසි ඉංග්‍රීසි නීති ක්‍රියාත්මක වන්නට ආරම්භ වුණි.1948 වසරේ අපට බ්‍රිතාන්‍යයන් ගෙන් නිදහස ලැබුණද අද දක්වාම ක්‍රියාත්මක වන්නේ රෝම ලන්දේසි නීතියයි.මේ යටතේ පැරණි සිංහල නීතියකට අද අපට ඉතිරිව තිබෙන්නේ උඩරට විවාහ නීතිය පමණකි.

 වැන්දඹුවන්ගේ ආරක්ෂාව උදෙසා ක්‍රියාත්මක කළ පැරණි සිංහල නීතිය පවා ඉංග්‍රීසි නීතිය යටතේ අහෝසි වීතිබේ. දඹුල්ලේ කලුන්දෑවේ වැන්දඹුවන් සඳහා වෙන් කොට තිබූ  එවැනි ඉඩමක් ඉඩම් නිරවුල් කිරීම යටතේ බැහැර කරනු ලබන්නේ පැරණි සිංහල නීතිය නොසලකා ක්‍රියාකරමිනි.

        දැන් එක් රටක් එක් නීතියක් සඳහා අවශ්‍ය සංකල්ප ගොනුකරන කල්හි. අපට පස්වන කසුප් රජු ගේ ජේතවන ව්‍යවස්ථාවද මිහින්තලා පුවරු  ලිපිය මගින් කියැවෙන ව්‍යවස්ථාවද භාවිතයට ගත හැකිය. පෙර ලන්දෙසි ඉංග්‍රීසි කාලයේ දී පැවති මෙවැනි නීති අවලංගු කල යුත්තේය. විදෙස් වලින් පැමිණි නොයෙකුත් ජාතීන් බෞද්ධ සංස්කෘතියට අනුගත කල යුත්තේය යනුවෙන් නීති පැණවීමට බාධාවක් නැත. එහෙත් මෙවැනි සෘජු තීරණයකට යා හැක්කේ සිංහලයන් ලෙසට පළමුවත් එයට සමාන්තරව රටක් වශයෙනුත් ආර්ථික සමෘද්ධිය අත්පත් කරගතහොත් පමණි. පස්වන කසුප් රජු (සිරිලක් ළොන්දුරුවයි සාබිය නිවයි ) කීවේ ඒ අර්ථයෙනි. මෙරට පාලකයන් බහුතරය දෙමල මුස්ලිම් ධනවතුන්ගෙන් යැපෙන බව නොරහසකි.නැතහොත් ඔවුන් ගජ මිතුරන්ව සිටින බව නොරහසකි. විදෙස් ඩොලර් මත යැපීම අවම කොට අපනයනය ශක්තිමත් කර ගැනීමෙන් සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමෙන් පමණක් එක රටක් එක නීතියක් ස්ථාපනයට අවස්ථාව ඇත්තේය. ඒ සඳහා අභිනව වර්ෂයට ජනතාව පෙළ ගැස්වීම ශ්‍රීලංකාධීශ්වර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වගකීමයි.

මතුගම සෙනෙවිරුවන්