පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, March 22, 2023

පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමට විධායකයෙන් බාධා එල්ල වෙයි

 

 

 

                      

          මෙරට ක්‍රියාත්මක කරනු ලබන පුරාවිද්‍යෘ ආඥා පනත ඉතා බලවත්ය.1940 දී යටත් විජිත යුගයේ දී පණවනු ලැබූ මෙම නීතිය අවස්ථා ගණනාවකදී සංශෝධනය වී තිබේ.වර්තමානයේ ද මෙම පනත යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය මත සංශෝධනයන්ට ලක් කර ඇති නමුදු අදාළ අමාත්‍යවරයා විසින් එම සංශෝධිත පනත මෙතෙක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැත.

          ලංකාව පුරා හඳුනාගත් පුරාවිද්‍යාත්මක ප්‍රදේශ සහ ස්මාරකයන් පන්දහසකට අධික සංඛ්‍යාවක් තිබේ යැයි දක්වා ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයෙකුව සිටි එම.එච්.සිරිසෝම මහතා විසින් අසූව දශකයේ දී උතුර සහ නැගෙනහිර පළාත්වල පමණක් ස්ථාන 276 ක් හඳුනාගෙන තිබූණි . උතුර සහ නැගෙනහිර පැවති යුධ කටයුතු වල පශ්චාත් ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අම්පාර දිස්ත්‍රික්කය මන්නාරම මඩකලපු සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි ගවේෂණ ජාලයක් දියත් කළහ.මෙම ගවේෂණ මගින් මඩකලපු දිස්ත්‍රික්කයේ ස්ථාන පන්සිය තිහක් අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන හාරසිය තිහක් සොයා ගෙන තිබේ.ත්‍රිකුණමලයෙන් සොයා ගෙන තිබෙන්නේ සථාන 284 ක් පමණකි. උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයෙන් ස්ථාන 120 ක්ද කිලිනොච්චියෙන් 27 ක්ද වවුනියා දිස්ත්‍රික්කයේ මන්නාරමෙන් ස්ථාන 66 ක්ද මුලතිවු වලින් ස්ථාන 177 ක්ද වවුනියාවෙන් ස්ථාන 78 ක් ද තිබෙන බව ගවේෂණ වාර්තා දක්වයි. හමුදාවේ සහායෙන්  කල මෙම ගවේෂණ වලදී සොය‌ා ගන්නා ලද තැන් වල තිබෙන පුරාවස්තු ස්ථාන වශයෙන්ද සමස්ත පද්ධතිය වශයෙන්ද වාර්තා කිරීම නිසා සම්පූර්ණ ස්මාරක සංඛ්‍යාව මේ වන තුරු නිශ්චිතව නිර්ණය කර නොමැත් තත්වයක ඇත.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගෝලීය තොරතුරු ඒකකය මගින් ගූගල් සිත්යම් සකස් කිරීමද මේ වන විට ආරම්භ කර තිබේ.සමස්ත දිවයිනම   ආවරණය වන පරිදි ස්ථාන 1565 ක් මේ වන විට එම ඒකකය මගින් මගින් සිතියම් ගත කර ඇත. උතුර සහ නැගෙනහිර පෙදෙස් වල එම සංඛ්‍යාව405 කි. ගවේෂණ වලින් පසුව නිත්‍යානුකූලව ගැසට් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූ අතර දිවයින ම ආවරණය වන පරිදි ගැසට් කරන ලද ස්මාරක සංඛ්‍යාව 2664 කි. ඒ අතරින්  උතුර සහ නැගෙනහිර ප්‍රදේශයන් හි අම්පාර 353 ක්ද  තිකුණාමලය34 ක්ද .මඩකලපුව ස්ථානයන් 03 ක්ද.යාපනය 58 ක් ද. වව්නියාව 29 ක්ද . මන්නාරම ස්ථාන 33 ක් ද. කිලිනොච්චිය 08 ක් ද   මුලතිව් 88 ක්ද ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.තවත් ස්ථාන දහසකට අධික සංඛ්‍යාවක් ගැසට් කිරීමට තිබේ..ඒ සමගම පුරාවිද්‍යා රක්ෂිත වශයෙන් උතුරු නැගෙනහිර පළාත් වල ගැසට් කරන ලද ස්ථාන සංඛ්‍යාවද අල්ප බව කිව යුතුය.මෙම ක්‍රියාවලියෙන් පසු එම ස්ථානයන්හි භූමිය වෙන් කොට මායිම් කණු දැමීමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක විය.නමුත් කොරෝනා වසංගත තත්වයට එම නිළධාරීන්ද ගොදුරු වීම නිසා මායිම් කණු දැමීම අතරමග නැවැත්වීමට සිදු විය.

     වර්තමානය වන විට මෙම පෙදෙස් වල සහ දිවයිනේ අනෙක් පළාත් වලද තිබෙන පැරණි ස්ථාන බරපතල අනතුරකට පත්ව තිබේ.එයට ප්‍රමුඛ හේතුව නිදන් සෙවීමේ ආශාව මත මෙම ස්ථාන හාරා විනාශ කරලීමයි. දෙවනුව ඉඩම් අක්පත් කරගැනීමේ වුවමනාව මත පුරාවස්තු විතැන් කිරීම සහ ඩෝසර කිරීම මත සිදු වන විනාශයයි. තෙවනුව නිසි සංරක්ෂණයකට ලක් නොවී සිදු වන විනාශයයි. නිදන් ඇත හෝ නැත යන්නට දෙපාර්තමේන්තුව නිශ්චිත විද්‍යාත්මක පිළිතුරක් දී නොමැත.අත්අඩංගුවට ගන්නා ලද ඇතැම් චංචල පුරාවස්තූන්ද අනුරූ යයි සළකා අතහැර දමා තිබේ.මෙවැනි තත්වයක් යටතේ මෙරට ජාතික උරුමයන් ලෙසය සැළකෙන පුරාවස්තු සහ වැදගත් වාස්තු නිර්මාණ පත් වී ඇති ශෝචනීය ඉරණම අති බ්‍යානකය.මෙම තත්වය වටහා ගැනීම උදෙසා පවතින දේශපාලන හා සාමාජීය වටපිටාව අසමත් වී තිබේ.

     පුරාවස්තූන් පවතින ස්ථානයක් ආරක්ෂිත ස්මාරකයක් ලෙසට ගැසට් කිරීමේ වගකීම පවතිනුයේ අදාළ ජාතික උරුමයන් පිළිබද අමාත්‍යවරයාට හෝ සංස්කෘතික අමාත්‍යවරයාටය. පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයක් ගැසට් කිරීමේ පූර්ණ බලතල පවතින්නේ පුරාවිද්‍යෘ අධ්‍යක්ෂ ජනරාල් වරයාටය. රජයේ ඉඩම් වල පවතින මෙම ස්ථාන ගැසට් කරලීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට බාධාවක් නැත. නමුත් ඒ සඳහා අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා සහ මිනුම්දෝරු දෙපාර්තමේන්තුව සහයෝගයෙන් සම්බන්ධ විය යුතුය.එහෙත් යුද්ධයෙන් පසුව උතුර සහ නැගෙනහිර පළෘත් වලට පත්ව සිටින දෙමළ සහ මුස්ලිම් ප්‍රාදේශීය ලේකම් වරු මෙම කටයුතු සඳහා සහයෝගයෙන් කටයුතු නොකරති.මෙම තත්වය වෙනස් කර කඩිනමින් ස්ථාන ගැසට් කරලීම පිණිස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක්ද පත් කරන ලද්දේය.නැගෙනහිර ප්‍රදේශයේ පවතින අති විශාල පුරාවස්තු සංඛ්‍යාව රැක ගැනීම උදෙසා විධිමත් වැඩ පිළිවෙලක් සැකසීම එහි අරමුණ විය. මේ තත්වය තුළ මේ ප්‍රදේශයන්හි ස්ථාන රාශියක්ම ගැසට් කිරීමේ ක්‍රියාවලිය ඇරඹුණු අතර පුරාවිද්‍යා රක්ෂිත බිම් හි මායිම් කණු දැමීමද  සිදු කෙරිණ.නමුත් දෙමළ දේශාපලඥයන් විසින් මෙකී ස්ථාන වලට කරන ලද බලබෑම මධ්‍යයේ මේ ගැසට් කිරීමේ ක්‍රියාවලියද මායිම් කණු දැමීමේ කටයුත්තද මේ වන විට අඩාලව තිබේ.

   මෙවැනි තත්වයක් උදාව පවතින අවස්ථාවක 2022 වර්ෂයේ වත්මන් ජනාධිපතිවරයා  සිය ධූරයට පත් වීමෙන් පසු ඔහුගේ ලේකම් වරයා විසින් පුරාවිද්‍යෘ අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත 2023 /01/11 දාතම යටතේ  ලිපියක් නිකුත් කර තිබේ. එහි මෙසේ සදහන් වේ.පුරාවස්තු ආඥා පනත මගින් ඔබ වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පුරාවිද්‍යාත්මක ස්ථාන හා ස්මාරක ප්‍රකාශයට පත් කිරීමට පූර්වයෙන්  යළි උපදෙස් ලබා දෙන තෙක් අදාළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිර්පති කිරීමට කටයුතු කරන ලෙස ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කාරුණිකව දැනුම් දෙමි.

       මෙම බලහත්කාරය කිසිසේත්ම ව්‍යවස්ථානුකූල නොවේ. යම් පනතික් ආයතන ප්‍රධානියෙකුට පවරන ලද බලය නැවත විධායකයට යටත් කිරීමට ඉඩක් නැත. නැතිනම් අමාත්‍ය මණ්ඩලයට යටත් කිරීමට ඉඩක් නැත. ඒ සදහා නිසි උපදෙස් ඉදිරිපත් නොකළ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද වැරදි පූර්වාදර්ශයක් සපයා තිබේ. මැතිවරණ කටයුතු සඳහා අදාළ නාමයෝජනා භාර ගැනීමෙන් වළකින ලෙසට රාජ්‍ය පරිපාලන ලේකම් වරයා විසින් නිකුත් කල ලියමනට මෙය සමාන වේ.

     .මේ වන විටත් උතුර සහ නැගෙනහිර පෙදෙස් වල අන්තවාදී දෙමළ දේශපාලනඥයන්ගේ බල පෑමට සහ නිදන් සෙවීමේ ආශාවෙන් සිටින පුද්ගලයන් විසින් වේගයෙන් මෙම පුරාවස්තු විනාශ කරමින් ඇත. ගැසට් කිරීම  තවත් ප්‍රමාද කිරීම නිසා නීතිමය ක්‍රියාවලියේ දී බාධා එල්ල වේ.උසාවියකට නිසි මිනුම්දෝරු සැලසුම් ඉදිරිත් කල නොහැකි වනු ඇත.මේ වන විට මුලතිවු කුරන්දි විහාර රක්ෂිතයට අභිනවනේ එකතු වූ අක්කර 210 ක භූමිය ගැසට් කිරීමද අතරමග ඇණ හිට තිබේ. අමාත්‍ය විධුර වික්‍රමනායක ඇතුළු අමාතය මණ්ඩලය ද මුලතිවු ප්‍රාදේශීය ලේකම්වරයාද මීට වගකිව යුතුය. ඒ අතර කැලෑ පාලුවන් මුලතිවු රක්ෂිතයට වැද කැලෑ කැපීම අඛණ්ඩව සිදු කරති.මේ සියළු අනිතීක ක්‍රියා සිදු කරනුයේ උතුර සහ නැගෙනහිර පෙදෙස් වෙන් කර ඉඩම් බලතල ලබා දීමට බව නිසැකය.

    විධාකය යනු දේශපාලනයේ සෑමඅංශයකම ප්‍රධානියා වුවද ඔහුට අත්තනෝමතික බලයක් නැත. ඔහු නීතින්ට මෙන්ම රීතින්ටද යටත්විය යුතුය. එසේ නැතහොත් ජනතාවද නීතිය සහ සම්ප්‍රදායන් නොසලකා හරිමින් කුළුමීමන් ලෙසට කටයුතු කිරීමට පටන් ගනිති.මේ නරක තත්වය වහා වෙනස් කළ යුතුය. නැතහොත් ස්වභාව ධර්මයාගේ දඩුවම හෝ අපේක්ෂා කල යුතුය.

මතුගම සෙනෙවිරුවන්