පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, September 22, 2021

කුරුන්දි විහාරය අරභයා පැන නැගුණු සුමන්තිරන් ගේ මනස්ගාත

 

 


 

                          

            උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ නැදුන්කර්නි හි පිහිටි කුරුන්දන් මලේ නම්එ‌ෙතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානය 1933 මැයි මස 12 වෙනි දින  දී  රක්ෂිතයක් ලෙසට රජයේ ගැසට් පත්‍රයේ( අංක 7981 ) පළ කර තිබේ.කුරන්දි අට්ඨ කතාව රචනා කරන ලද ස්ථානය යයි දැක්වෙන හෙයින් කුරුන්දපාසාක විහාරය යන නාමය එයට ඇති වන්නට අතැයි කියති.ක්‍රි.පූ. 109- 103 රජකල ඛල්ලාට නාග රජු විසින් මෙම විහාරය කරවා තිබේ. පසුකාලයේ දී මහ ඝන වනයට යටවුණු මෙම ස්ථානය විසිවන සියවස මුල් භාගයේ දී නැවත සොයා ගන්නට යෙදිණ.මෑත කාලයේ දී මෙම ස්ථානය ප්‍රසිද්ධියට පත් වූයේ පුරාවිද්‍යා නිළධාරීන් විසින් එහි මුර කුටියක් ස්ථාපනය කිරීමට ගිය අවස්ථාවේ දීය. පසුගිය යහපාලන රාජ්‍ය සමයේ දී දෙමළ දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි මෙම ස්ථානය මත කෝවිලක් සංවර්ධනය කරන්නට ගත් උත්සාහය මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.පසුව පූජ්‍ය රාජගිරියේ ශන්තබෝධි හිමියන්ගේ මූලිකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම කුරුන්දි විහාරයේ පුරාවිද්‍යා කැණීම් ආරම්භ කරන්නට යෙදුණි.     

      කුරුන්දි විහාරයේ දැනට සිදු කරන ලද කැණීම්වලින්   පළමු සහ දෙවැනි සියවස්වලට අයත් පුරාණ ස්ථූපයක කොටස්  ද ශිලාමය ගජස්ථම්භයක් හෙවත් යූප ගලක් ද මතු කරන ගැනීමට හැකි වී තිබෙන බව   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇත. දාගැබේ උතුරු, නැගෙනහිර,දකුණු සහ බටහිර දිශාවන්ට හසුවන සේ අගල් හතරක කැණීම් කටයුතු  ආරම්භ කරන්නට යෙදුණි. එම අගල්වල කැණීම් කටයුතු ඉදිරියට සිදු කරමින් පවතින අතර නැගෙනහිර දිශාවෙහි කැණීම් කටයුතු පමණක් මේ වනවිට අවසන් කර තිබේ.

නැගෙනහිර  අගලේ කැණීම් කටයුතු මඟින් දාගැබේ පුරාණ ස්වරූපයට  අදාල තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ. තුන්මහල පේසාව මෙහි ඇති වැදගත්ම වාස්තු විද්‍යාත්මක ස්වරූපයයි. පේසා වළලු සමඟ දැනට දාගැබේ සම්පුර්ණ උස මීටර් 03යි සෙන්ටිමීටර් 50ක් පමණ වන බවට  පුරාවිද්‍යා කැණීම් නිළධාරීන් දක්වති. නැගෙනහිර දිශාවේ කළ කැණීමේ දී  මල් ආසනයක් තබා ඇති බවට තහවුරු  වී තිබේ. එය කැබලී කිහිපයකට පුපුරා හැර තිබේ.ස්ථූපයට අයත් යූප ගලේ කොටසක් නැගෙනහිර අගලේ කැණීම් ස්ථරයෙන් ලබා ගැනීමට හැකි වී ඇත. .  යූප කෑබැල්ලේ ඉහළ අටපට්ටම් වේ. මේ අතර දකුණු පස අගලේ කැණීම් මඟින් මෙන්ම උතුරුපස අගලේ කැණීම් මඟින්ද දාගැබේ සලපතල මළුවට අදාළ  තොරතුරු ද අනාවරණය වෙමින් පවතී..

      මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් සිය ලංකාවේ ස්ථූප නම් ග්‍රන්ථයේ දක්වන පරිදි තුන් මහල් පේසාව විශේෂ වාස්තු විද්‍යාත්මක ලක්ෂණයකි. අනුරාධපුර යුගයේ මෙවැනි මාලක සහිත ස්ථූපයන් කීපයක්ම දැක ගන්නට ඇත.කණ්ඨක චේතිය මිරිසවැටිය අභයගිරිය උදාහරණ වෙති. මහාවංශයෙහි මෙවැනි මාලක වලට පුප්ඵාධාන නම යෙදී තිබේ.මල්පියවසා යන්න සිංහල ව්‍යවහාරයයි. එනම් මේ මාලකයන් හි මල් පිදීමට තැනක් වෙන් කරවා ගෙන තිබේ. කැණීම් වලින් මතුව එන්නේ මෙලෙස මල් පිදීමට යොදා තිබූ මල් ආසනයයි.යූප ගල  ඉන්ද්‍ර කීලය යනුවෙන්ද ගජස්ථම්භය යනුවෙන් ද දක්වා ඇත. ලක්ෂ්මන් ඇඹූල් දෙණිය විසින් රචිත පෞරාණීක චෛත්‍ය හා එහි විද්‍යාත්මක පසුබිම නම් කෘතියේ දක්වා ඇති පරිදි ස්ථූපයට ඉහළින් ආරෝපණය වන අධිවොල්ටීය ධාරාවන් මේ ගජ ස්ථම්භය තුළින්  භූගත වේ. මේ යූපය සඳහා මුල් කාලයේ යොදා ගෙන තිබෙන්නේ දඹ දැවයකි.ගෙරවිලි ගොරතර විදුලි අකුණු මැද මහ දඹ රුක උනු මගෙ අම්මා යයි ජන කවියා දක්වන්නේ දඹ දැවයේ විශේෂත්වයයි. යූපය ශිලාමය  ව්‍යවහාරක් වූ පසුව ස්ථූපයන්හි  භාවිතයේ පූජනීය බව මෙන්ම අධ්‍යාත්මික පසුබිමද ක්‍රමයෙන්  සංවර්ධනය වී තිබේ.යූපයේ අට පට්ටම් හැඩය වර්ධනය වී ඇත්තේ යටකී ආරෝපණ ග්‍රහණය කර ගැනීමටයි.

  කුරුන්දි විහාරයේ කැණීම් වලින් මතු කර ගත් යූප ගල ශිව ලිංගයක් බවත් මෙහි පවතින්නේ ශිව කෝවිලක් බවටත් තර්ක කරන පිරිසක් මේ වන විට බිහි වී තිබේ.කුරුන්දන්මලේ යනු දෙමළ ජනතාව වැඳුම් පිඳුම් කළ ස්ථානයක් බවත් පුරාවිද්‍යා නිළධාරීන් එම අයිතියට බාධා කරන බවද දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුමන්තිරන් මහතා මූලික අයිතිවාසිකම් නඩුවක් ද පවරා තිබේ.කුරුන්දි විහාරයට බලෙන් ඇතුලු වී එහි පැවති ස්ථූපයට හානි කරමින් කොන්ක්‍රීට් යොදා ත්‍රි ශූලයක් සවි කළ ආකාරය වාර්තාකර ඇත්තේ මීට වසර හතළිකට පමණ පෙරදීය.අසූව දශකයේදී කර්මාන්ත සහ විද්‍යා කටයුතු පිළිබඳ ඇමතිවරයාව සිටි සිරිල් මැතිව් මහතා මෙම විහාරය නැවත ප්‍රකෘතිමත් කිරීමට උනන්දුවක් දැක්වූ පුද්ගලයෙකි. 1980 ජූලි 30 දාතම යටතේ එවකට සංස්කෘතික කටයුතු ඇමතිවරයාව සිටි ඊ.එල්.බී හුරුල්ලේ මහතා වෙත ලියන ලද ලිපියට අදාලව පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි සද්ධාමංගල කරුණාරත්න මහතා වෙත 1981 මාර්තු 12 දින යවන ලද ලිපියක්ද රාජ්‍ය සංස්ථා බෞද්ධ සමිති සම්මේලනය විසින් 1981 සැප්තැම්බර් මස 01 දාතමින් යුක්තව නැවත සංස්කෘතික ඇමතිවරයා වෙත යවන ලද ලිපියක්ද 1983 දී යුනෙස්කෝව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ අඩංගු කර ඇත.දෙවනිව කියන ලද ලිපිය ආරම්භයේ දීම මෙම කෝවිල ගැන දක්වා ඇත.ඒ මෙසේය.

    ' පැරණි නෂ්ඨාවශේෂ ආරක්ෂා කිරීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ක්‍රමානාකූලව ලබා ගන්නා ලද අවසරය පරිදි පුරාවිද්‍යා නිළධාරි මහතෙකුගේ ප්‍රයෝජනය සඳහාද මහා සංඝයා වහන්සේ නමකගේ වාසය කිරීම සඳහාද අර්ධ තාවකාලික ගොඩනැගිලි ඉඳි කිරීමට අප සම්මේලනය ක්‍රියාකරගෙන යන කාලය ඇතුලත එම පුරාවිද්‍යා රක්ෂිත භූමියට ඇතුලත් වූ ද්‍රවිඩ ජාතික පිරිසක් විසින් පැරණි ප්‍රතිමා ගෘහයේ ගල් කුළුණු මත දැව කඳන් යොදා වහලයක් ඉඳි කොට රට උළු සෙවිලි කොට දේවාලයක් තනා ඇත. එම ප්‍රතිමා ගෘහය තුළ තිබුණු පත්මාසනය සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ පතුල් කොටස් අතුරුදහන්ව ඇති අතර එය පිහිටා තිබූ ස්ථානයේ කොන්ක්‍රීට් ලෑල්ලක් ඉඳි කොට ඒ මත ත්‍රිශූලයක් සවි කොට ත්‍රිශූලය ඉදිරිපිට පැරණි ගල් ආසනයක් තබා ඒ මත පහන් කපුරු දල්වා යූපස්ථම්බයේ කොටසක් ලෙස සැලකිය හැකි ගල් ටැඹක් මත පොල් ගසා ඒ තුළම ඔප මට්ටම් කරන ලද ගලින් ලිපක් බැඳ ගිනි මොලවා තිබුණි.එසේම මෙම ස්ථානයට යාබදව තිබුණු නටබුන් චෛත්‍යයයේ ගර්භය හාරා සමතලා කොට ඒ මත ත්‍රි ශූලයක් සවි කොට තිබේ.'     

 


    

 උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශයන්හි පවතින සියලුම බෞද්ධ පුරාවස්තු වල ත්‍රී ශූල සවි කරමින් කෝවිල් ඉඳි කරන්නට උත්සාහ කරන ඔවුන්ට න්‍යායත්මක පසුබිම සලසා දෙන්නේ යාපන විශ්වවිද්‍යාලයේ සිටින ඇතැම් ජාතිවාදී ආචාර්ය වරුන්ය. ඒ අතර පුරාවිද්‍යා කටයුතු වල යෙදී සිටින එක් පුරාවිද්‍යා මහාචාර්ය වරයෙකුද සිටී.විශ්ව විද්‍යාලයෙන් බිහිවී යන සිසුන් මේ විද්වතුන් ගේ දෙමළ ජාතිවාදී මත විශ්වාස කරති. මෑතකදී පුරාවිද්‍යාවට බැඳුණු උපාධිදාරින් ද ඉගෙන ගෙන ඇත්තේ මේ රටේ සිංහල ඉතිහාසය නොව ඊලාම් ඉතිහාසයයි. එවැනි තත්වයක් යටතේ යූප ගලකට ශිවලිංගයක් යයි කීමට පෙළඹීඹ පුදුමයට කරුණක් නොවේ. කණගාටුවට කරුණක් වන්නේ මෙරට විශ්ව විද්‍යාල පද්ධති වල සිටින ඉතිහාස ආචාර්ය මහාචාර්ය වරුන් හෝ පුරාවිද්‍යාඥයන් මෙවැනි දෙමළ ජාතිවාදී මත වලට ශාස්ත්‍රීයව පහර ගැසීට ඉදිරිපත් නොවීමයි.එම තත්වය තුළ මෙරට පමණක් නොව ජාත්‍යන්තරව පවා දෙමළ ජාතිවාදී ඉතිහාස මතවාදය හෙවත් ඊලාම් මතවාදය තහවුරු වන්නට අවස්ථාව සැලසී තිබේ.සුමන්තිරන් වැනි දෙමළ ක්‍රිස්තියානි ජාතිවාදීන් උත්සාහ දරනුයේ හින්දුත්වය පෙරට දමා බෞද්ධයන්ට පහරගසා මූලධර්මවාදී එවන්ජලිස්ත කල්ලි වලට උතුර බිලිදීමට ක්‍රියා කිරීමයි.එම ක්‍රියාව මනස්ගාතයකට වඩා එහා යන්නකි.

 

මතුගම සෙනෙවිරුවන්

 

 

 

 

Wednesday, September 15, 2021

 කතුවරයාගේ කෘති - නව වැන්න

යලට මහට කලට ගොවිතැන 

ප්‍රකාශයට පත් කිරීම - 2005

මෙම කෘතිය සිංහල ගොවිතැන පිළිබඳ දැනුම සංග්‍රහ කොට  ලියන ලද්දකි.


අන්තර්ගතය - පුරාණ පුස්කොළ ග්‍රන්ථයක් වන වැහි ලකුණු ශාස්ත්‍රය  මෙහි අඩංගු වේ. ඊට අමතරව යල් මෝසමට සහ මාස් මෝසමට ගොවිතැනෙහි නැකැත් සාදා ගන්නා ආකාරය ජ්‍යෙතිෂයට අනුව විග්‍රහ කිරීමද ඒ පිළිබඳව කරන ලද පර්යේෂණයන් ද මෙහි දක්වා ඇත.

කතුවරාගේ කෘති දසවැන්න -

මිහි මවට වස 

ප්‍රකාශයට පත් කිරීම -2013

නව සිය හැටේ දශකයේ සිට ඇරඹුණු හරිත විප්ලව ක්‍රියාදාමය නිසා සිංහල ගොවිතැන විනාශ මුකයට යෑමත් වස විස කැන්දන නූතන රසායනික ගොවිතැන හඳුන්වා දීමත් ගැන කෙරෙන පර්යේෂණාත්මක කෘතියකි.


කතුවරයාගේ කෘති එකොළොස්වැන්න -

වස විසට එරෙහි පාරිසරික නව නිපැයුම්

ප්‍රකාශයට පත් කරන ලද වර්ෂය - 2013

පරිසර හිතකාමී නව නිපැයුම් බිහිකරන ලද නව නිර්මාණ කරුවන් පිළිබඳව රිවිර පුවත් පතේ පළ කරන ලද ලිපි කීපයක් මුද්‍රණය කොට පළ කරන ලද්දකි.විශේෂයෙන්ම වස විස භාවිතය තුරන් කරලීම සඳහා කරන ලද නව නිපැයුම් විග්‍රහ කරමින් මෙම කෘතිය සම්පාදනය වී තිබේ.



කතුවරයාගේ කෘති දොළොස් වැන්න -

‌ෙඑතිහාසිත කූරගල පුදබිම නොහොත් ශ්‍රී පාද දිවා ගුහාව

ප්‍රකාශයට පත් කරන ලද වර්ෂය - 2013

කූරගල පුදබිම සම්බන්ධව කතුවරයා විසින් රචනා කරන ලද දෙවනි කෘතියයි.කූරගල නැවත බෞද්ධයන් වෙත දිනා ගැනීමේ අරගලය සහ ඒ පිළීබඳව අප්‍රකටව පැවති ලිපි ලේකන කීපයක් මෙහි අන්තර්ගතව ඇත.


කතුවරයාගේ කෘති දහතුන -

සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදාය 

ප්‍රකාශයට පත් කරන ලද වර්ෂය - 2014

සිංහල බෞද්ධයන් ගේ උරුමය විනාශ වී යෑම සම්බන්ධව දිවයින පුවත්පතේ ලියන ලද ලිපි පෙළක් නැවත සංස්කරණය කර ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම මෙහිදී සිදු ව ඇත. අතීතයේ තිබූ සිංහල බෞද්ධ රාජ්‍යය කුමක්ද එහි වටිනාකම් කුමක්ද සහ හර පද්ධතිය කුමක්ද යන්න විග්‍රහ කිරීම මෙහි තේමාවයි.



කතුවරයාගේ කෘති දාහතර -

හෙළය අවදිකරවන එස් මහින්ද හිමි කෞතුකාගාරය

ප්‍රකාශයට පත් කරන ලද වර්ෂය -2014

 පූජ්‍ය එස්. මහින්ද හිමි පිළිබඳ  මැද පෙරදිග හෙළ බිම සංවිධානය විසින් කරන ලද අනුස්මරණ වැඩ සටහන ට සමගාමීව දහම් පාසල් තරඟාවලිය ක් පවත්ව න ලද අතර ජයග්‍රහණය කරන ලද සිසු සිසුවියන්ට තෑගි ප්‍රදාණය කරන ලදී. මේ අවස්තාවේ දී ඉදිිරිපත් කරන ලද අදහසක් අනුව එස්. මහින්ද හිමි අවසන් වරට වැඩ සිටින ලද මහ බෙල්ලන සුධර්මාරාමයේ කෞතුකාගාරයක් ඉඳි කරන ලදී.මෙම කෞතුකාගාරය කතුවරයා විසින් නිර්මාණය කරන ලද අතර මූල්‍ය අනුග්‍රහය සපයන ලද්දේ හෙළබිම සංවිධානය විසිනි. මෙම කෘතිය එම කෞතුකාගාරය සහ පූජ්‍ය එස්. මහින්ද හිමි යන් සම්බන්ධ ශාස්ත්‍රීය ලිපි අරභයා රචනා කන ලද්දක්.






Monday, September 13, 2021

රත කල්කය නොදී කෘතිම ප්‍රතිශක්තිය සඳහා එන්නත සෙවීම

 

                         




          සී.ඩබ්.ඩබ්.කන්නන්ගර අධ්‍යාපන ක්‍රම ආරම්භ වූයේ 1942 දී පමණය.1945 වසරේ නිදහස් අධ්‍යාපන පනත සම්මත වූවායින් පසු ස්වභාෂා සහ ද්වි භාෂා පාසල් සියල්ලේම රජය මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ විය 1962 දී පාසල් රජයට පවරා ගැනීමෙන් පසු එවකට තිබූ බෞද්ධ පාසල්ද පරම විඥානාර්ථ පාසල්ද පල්ලි පාසල්ද රජයට ගෙන පොදු අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කරන ලදී.බ්‍රිතාන්‍ය යුගයේ දී පාසල් පෙළ පොත් වල වූයේ එවකට යුරෝපයේ අනුදත් සෞඛ්‍ය පාඩමකි.පාසලේ දී විසබීජ හා ප්‍රතිශක්තිය ගැන උගෙනීමට දරුවාට සිදු විය.ක්ෂුද්‍රජීවින් ගැන උගෙනීමට සිදු විය.පිරිසිඳු කම ගැන උගෙනීමට සිදු විය.එහෙත් පාසලෙන් නිවසට ගිය දරුවා ගේ පරිසරය වෙනස් විය. හේනේ කුඹුරේ කමතේ මහන්සි වී වැඩ කිරීමට සිදු විය.ඇඟ පතේ මඩද ඇතැම් විට ගොම ද තැවරීම සාමාන්‍ය දෙයක් විය. කමතේ දී ගොම්පස් අල්ලන්නට යෙදුවේ දරුවන්ය.මේ දෛනික වැඩ කන්දරාව නිසා පාසලේ උගත් දේ පාඩමට සීමා විය.විසබීජ යනු හුදෙක් සංකල්පයක් පමණක් යැයි ඔවුන්  සිතන්නට ඇත.කන්නන්ගර මහතා ද මේවා දැන ගෙන ඉන්නට ඇත. ඔහු ප්‍රාථමික පාසල් වල ළමුන්ට නියෝගයක් නිකුත් කළේය. මේ නියෝගය මත උදේට හබරල ගොට්ටකට ගොම රැගෙන එන්නටද පසුව පාසල් ගෙවත්ත එළි පෙහෙළි කොට අල බතල මඤ්‌ෙඤාක්කා සිටුවන්නට   සිදු විය.ඉංග්‍රීසි ක්‍රමයට පණු බෙහෙත් ලබා දුනි.පණුවන් මැරීම ඉන් සිදු විය. නමුත් නිවසේ දී දුන්නේ බටකිරිල්ල අග්ගලා සහ සුරන් විදුර ගුලියයි.එහිදි පණුවන් මැරීම නොකොට පණුවන් හීන් කොට ගුද මාර්ගයෙන් ඉවත් කිරීම සිදු විය.  දරුවා ගෙදරදී විසබීජ හරණයට වඩා විසබීජ සමනය උගෙන ගත්තේ එසේය..වසරකට වරක් නිවසේදී  සියලුම දරුවන්ට විරේක බෙහෙත් දෙන ලදී.අරලු සෙනෙහකොළ තැඹිලි ගෙඩියේ ලා පින්නේ තබා උදේට පෙවීමද ඇතැම් අයට අරලු බුලු නෙල්ලි තිරැස්සවාලු මුද්දරම්පලම් ආදී කෂායද සමහරක් විට ඒ කෂායට එඬරු තෙල් දමා ලබා දීමෙන් විරේක ද කරන ලදී.මේ විරේකය නිසා බඩේ ආමය සමබර කර ගන්නා ලද අතර සිරුරේ සොරොව් වල සිරවී තිබූ මළ කොටස් බැහැර කර ගන්නා ලදී.

         දශක කීපයක් ගත වන විට විට මෙම නිවසේ සෞඛ්‍ය පිළීවෙත් වලට උපදෙස් දුන් ගමේ වෙද මහතාද නිවසේ සිටි මව් වරුන්ද වයොවෘද්ධ වී සිටියහ.මේ දැනුම ඉදිරියට ගෙන යෑමට  ලොකු මහත් වූ දරුවන්ට නොහැකි වූහ. ඔවුහු ඉගෙන ලොකු තනතුරු වලට පත් වී ගමේ දැනුම අමතක කළහ. ඒ අතර සෞඛ්‍ය පාඩමද වරින් වර වෙනස් විය.සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයක් බිහි විය. මව් කිරි සහ එළකිරි දීම ප්‍රවේශම් සහිත නොවේ යයි 1940 දශකයේ දී පත්තර වල දැන්වීම් පළ කරන ලද අතර ටින්කිරි විකුණා ගැනීමට උත්සාහ කරන ලදී. සෞඛ්‍ය අංශ ප්‍රබල වන විට මව්කිරි ඇරුණු කොට  මාස තුනක් පමණ වන තුරු ජලයවත් නොදිය යුතු යැයි නිර්දේශ කරන ලදී.බඩ විරේකය අවඥාවට ලක් කරන ලද අතර කැඳ බී පාසල් ඒමද උපහාසයට ලක් කරන ලදී.එසේම උපතේ පටන් දෙන රතකල්කය නොදිය යුතු යැයි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයන් පත්‍රිකා පවා පළ කරන ලදී. රත් කල්කය දුන්නේ මව් කුසේ සිටි දරුවා ස්වභාවික ලෝකයට පැමිණෙන විට එම පරිසරයට හුරු වීම පිණිස දෙන සරල ඖෂධයක් විලසිනි. ඉන් ලේ පිරිසිදු වී මෘදුව විරේචනය වී ශරීරය සැහැල්ලු වී ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරන ලදී.

 

 

 

 

 

ආමය සමබර කරන ලදී.රත කල්කයේ වට්ටෝරු දෙකක් විය. එකක බරට බරක් සහිඳ ලුණු විය. ඇතැම් වෛද්‍යවරු පවසන පරිදි විරේක පංගුව එය වන්නට ඇත. උපතෙන් දින කට පමණ පසුව මෙම රත් කල්කය දීම ආරම්භ කරන ලදී. නමුත් ඇතැම් වෛද්‍යවරු කියන පරිදි උපතෙන් දින දාහතරකට පමණ පසු දීම වඩාත් යෝග්‍ය වේ.එයට හේතුව පෙකණි වැල වෙන් කල පසු තවදුරටත් මවත් දරුවාත් අතර සංයෝගය තිබෙන බැවිනි.කෙසේ නමුත් රත කල්කය දෙන පළමු දිනයේ දී දෙහි දළු මිටක් තලා ඉස්ම තනකිරි සමගද දෙවනි දිනයේ දී සුදුළූනු උණු අළු පල්ලේ  දමා තම්බා තලා  ගත් ඉස්ම සමගද තෙවනි දිනයේ දී ළපටි ඉඟුරු කැබැල්ලක් රෙදි කඩක ගැට ගසා කඩ පිම්මේ තම්බා පොඩි කර මිරිකා ගත් යුෂයෙන් දීම ද කළ බව පැරණි පතපොතේ සඳහන්ය.ඉන්පසූ වසර දෙකහමාරක කාලයක් තුළ වරින් වර මේ රත කල්කය දුන් බව පැහැදිලිය.හෙම්බිරිස්සාවක් ඇති විට කොත්තමල්ලි වතුරෙන්ද ලේ ශුද්ධ කිරීමට වදමල් තැම්බූ වතුරෙන් ද මළ වියළී ඇත් නම් අරළු තැම්බූ වතුරෙන්ද දුන් බව පැරණියන් කියති.

    පැරණියන් ගේ සෞඛය පිළීවෙත මෙසේ වුවද හැටේ දශකයේ දී පාසල් රජයට පවරා ගත් පසු ඇති වූ පරිවර්තනයේ දී පාසල් අධ්‍යාපනය තුළ දේශීය දැනුමට වටිනාකමක් හිමි නොවීය. හැත්තෑව දශකයෙන් පසු බිහි වූ දරුවන්ට රත කල්කය ගැනීමේ වාසනාව අහිමි කරන ලදී.බටහිර වෛද්‍යවරු තමන් සමීපයට පැමිණෙන පිරිසට උපදෙස් දෙන ලද්දේ රත කල්කය නොගන්නා ලෙසටය.ගලේ අඹරා දෙන රත් කල්කයට ගල් කුඩු එකතු වන්නේ යැයි ද ඒ නිසා රතකල්කය ගැනීම හානිකර විය හැකි යැයිද වරක් එක් වෛද්‍යවරයෙකු මා සමග පැවසීය. එවිට මා ආපිට ඔහුගෙන් විමසූයේ ඔබ ලුනු මිරිස් ආහාරයට ගන්නවාද යන්නයි.සැබවින්ම නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ගිය පිරිසගේ අනුකාරකත්වය සහ පරස්පරය අපට සැම විටම දක්නට ලැබුණි.මේ නිසා වසර දහස් ගණනක් තිස්සේ අත් දුටු සෞඛ්‍ය පිළීවෙත් බැහැර වීමේ ප්‍රතිඵලය නම් ජනතාව තුල බෝ නොවන රෝග වැඩි වැඩියෙන් ප්‍රචලිත වීමයි.

    හැටේ දශකයේ දරුවන් අද තම දිවිමගේ අඩ සියවස පසු කරමින් සිටී.කොරෝනා වලින් වැඩිමනත්ව පීඩාවට පත් වන්නේ මොවුන්ය.කුඩා කළ සිරුරේ ශක්තිය අවදි කර නොගත් ඔවුහු දියවැඩියාව හෘද රෝග අම්ල පිත්තය මේදය බහුල වීම ආදී රෝග වලින් පෙළෙති. ඔවුන්ගේ දරුවන්ද එසේය.ළමා දියවැඩියාව බහුලව ප්‍රචලිත වී තිබේ.මෙයට වැරදි ආහාර රටාවද එක් හේතුවකි.වල්මත් වූ මේ පිරිස එන්නත් පස්සේ දිවීම පුදුමයට කරුණක් නොවේ.වර්තමාන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයද එන්නත් ගැනීමේ අවශ්‍යතාවය මතු කරන්නේ දේශීය වෙදකමට කිසිම ඉඩක් නොතබමිනි. පාසල් වියේ දරුවන්ටද එන්නත් නිර්දේශ කිරීමට තරම් මේ වෛද්‍යරු අපරික්ෂාකරී වී සිටින්නේ අනුකාරක අධ්‍යාපනයේ තරම අපට පෙන්වමිනි.ඔවුන් පවසන පරිදි විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන් යනු පෙර සඳහන් කළ බෝ වන රෝග බහුල දරුවන්ය.එන්නත දීමෙන් සිදු වන්නේ මේ දරුවන් තව දුරටත් අනතුරේ වැටීමයි.මන්ද ඔවුන්ගේ ස්වභාවිත ප්‍රතිශක්තිය තව දුරටත් හීන වන බැවිනි.කාලයක් තිස්සේ අපගේ අනාගත පරපුර අනතුරේ හෙළා දැන් කව දුරටත් ඒ පරපුර විනාශ කිරීමේ කුමන්ත්‍රණයක ඔවුන් නියැලී සිටින්නේ දැයි අපට බරපතල සැකයක් ඇතිවේ.

මතුගම සෙනෙවිරුවන්

 

 

 

Thursday, September 9, 2021

දඹුල්ලේ තලගොයි කථාව

 

 

 


                                               

             රන් ගිරි දඹුල්ලේ ලෙන් ගුහා සංකීර්ණයේ ඇතුලාන්තය දැඩි නිශ්ශබිදතාවයකින් වෙලී ඇත.බිම සවි කරන ලද පහනින් නැගෙන මන්දාලෝකයෙන් ඔප් නැංවෙන සිතුවම් මවන කාන්තිය සිත විනිවිද යන්නේ නැත. ශ්‍රද්ධා බැති සිතින් ඒ සීතල භූමි තලයේ වැතිර නමස්කාර කරමි. සිත එක්තැන් කළ මොහොත භාවනාවට වඩාත් සුදුසුය.  මීට දශක කීපයකට එපිට ඓතිහාසික රන්ගිරි දඹුළු විහාරයේ වැතිර මොහොතක් ලැබූ සැනසීම වර්තමානයේ දී නම්  ලබන්නට නොහැකිය.මහා කලබගෑනියකින් දඹුල්ල නගරය භ්‍රමණය වෙයි. ඉඳහිට වුවද මෙම කලබලය අලකලංචියක් බවට පත් වෙයි. ඒ ක්‍රිකට් තරු උල්කාපාත වලිනි. දඹුල්ලට පැමිණියෙකු ඒ ප්‍රදේශයෙන් පිටත් වන්නේ තල ගොයි මරා ගෙන යයි කථාවක්    ඇත. තලගොයා කෙසේ වුවත් දඹුල්ලේ වෙළෙන්දෝ ගෙවීන්ගෙන් ඉණ ඉහ අත ගා ගන්නට දක්ෂ වෙති. පෙරකී කලබලය රටටම දැනෙන්නට ගන්නේ එලෙසය.

       එහෙත් දඹුල්ලත් ඒ අවට පරිසරයත් මවා පාන්නේ අතිශය සුන්දර දැක්මකි.රජරටට දියවර සපයන ඓතිහාසික කලාවැවට පාත්වන ජල ධාරාව මාතලේ කඳුවැටි අද්දරින් පෙරී දඹුලු ඔයට එකතු වන්නේ මෙම ජනතාවගේ හදවත් තෙත් කරවමිනි. එය පසු ගිය දශක කීපය ඔස්සේ මහවැලියට සින්න වුවද ඉතිහාසය පුරාවටම මෙම හද ගැස්ම මේ ප්‍රදේශයේ නින්නාද වන්නට ඇත. දඹුල්ලේ තලගොයි කථාවේ උත්පත්තිය සිදු වන්නේ ඔවුන්ගේ ලෙන්ගතු කම් ක්‍රමයෙන් වියැකී යන යුගයේ දී වියයුතුය.

        දඹුල්ල කුරුණෑගල පාරේ කිලෝ මීටර් හතරක් පමණ ඉදිරියට ඇදෙන කල්හි ඓතිහාසික ඉබ්බන් කටුව පුරා සොහොන් භූමිය පසු කළ හැකිය. ඉන් අනතුරුව හමුවන්නේ තලකිරියා ගමයි. තල කිරියා ගම නමින් හැඳින්වෙන වැවක් අසබඩ පිහිටි මෙම ගම්මානය සීමා වන්නේ පහළ වැවෙනි. තල ගොයි කථාවට පසුබිමි වන පුවත මෙම ගමෙන් බිහි වූවක් යයි කියැවෙයි. එම නිසා තල කිරියාගම ජීවත් ව සිටින වැඩිහිටි දැනුමැතියන් මුණ ගැසීමේ  බලා පොරොත්තුවෙන් එහි ගියෙමි.   තලකිරියාගම පාර දෙපැත්තේ තිබෙන එළවුළු වෙළෙඳ සල් වලින් කියාපාන්නේ දඹුල්ලේ අභිනව සංස්කෘතියයි. එහෙත් එයට යටින් මේ ජනතාවගේ හද ගැස්ම සහ හෘද සාක්ෂිය නිරන්තරයෙන්ම දකින්නට හැකිය. තලකිරියාගම ජීවත්ව සිටි වයොවෘද්ධතම පුද්ගලයෙකු වූ හිඹුටත්තා නොහොත් කිරිබණ්ඩා මහතා දඹුල්ලේ තල ගොයි කථාවේ පැහැදිළි මූලාශ්‍රයක් විය. මීට වසර පහළොවකට පමණ පෙර මට ඔහු මුණ ගැසුණු අවස්ථාවේ දී කී කතා මෙලෙස සටහන් කරමි.

        තලකිරියාගම ජීවත්වන  මොරගස්පිටිය රාළ නමින් පැවතෙන ප්‍රධාන පරම්පරාව මාතලේ දිශාවේ මොරගස්පිටියෙන් සංක්‍රමණය වූවන්ය. ගමේ නාමය බිහිව තිබෙන්නේ මෙම සංක්‍රමණයත් තල වගා කිරීමත් නිසාවෙනි. කිරිබණ්ඩා මහතාගේ පුරාවෘත්තය ඒ දක්වා දිව යයි.        මොරගස්පිටිය ග්‍රාමය පිහිට තිබෙන්නේ මාතලේ දිස්ත්‍රක්කයේ ගලේවෙල මාර්ගයේ පල්ලෙපොලට නුදුරිනි. මෙම ප්‍රදේශය දේවානම්පියතිසිස රජු දවස දී ඉන්දියාවෙන් සපැමිණි බ්‍රාහ්මණ පෙළපත් වලට වාසභූමි විය.  මාතලේ කඩයිමි පොතේ එය සඳහන් ව ඇත්තේ මෙසේය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා දුන් කල්හි කැටුව ආ මුදලිහුරු සෝමනාද නාග පට්ටලම හිරකර සිටියාය. ශ්‍රී විෂ්ණු බ්‍රාහමණ රාළ අලුවිහාරේ පොරොත්තුව හිටියාය. ශ්‍රී රාම බ්‍රාහ්මණ රාළ රත්වත්තේ පොරොත්තුව හිටියාය. සොලංග්‍රී බ්‍රාහ්මණ රාළ හුලංගමුවේ පොරොත්තුව හිටියාය. කොටුදෙය්‍ය බ්‍රාහ්මණ රාළ කොටුවේ ගෙදර පොරොත්තුව හිටියාය. ශ්‍රී දත්ත බ්‍රාහ්මණරාළ ගෙනා ධාතූන් වහන්සේ දකුණු දිශාවේ දාගැබ කරවා මොනරුවෙල පොරොත්තුව හිටියාය. අකුරන්බොඩ රාළ ගෙනා ධාතූන් වහන්සේ නැගෙනහිර දාගැබ කරවා එම අකුරන්බඩ පොරොත්තුව හිටියාය. කොස්වත්තේ රාළ ගෙනා ධාතූන් වහන්සේ නැගෙනහිර දාගැබ කරවා කොස්වත්තෙ පොරොත්තුව සිටියාය.  මොරගස්පිටිය රාළ මෙහි සඳහන් අකුරන්බඩ රාළ ගේ මස්සිනාය. අකුරණ දේශයෙන් පැමිණ මෙහි වසම ලැබ සිටින කල්හි ගෙනා ධාතූන් වහන්සේලා තැන්පත් කොට කළ අකුරම්බොඩ දාගැබ මෙන් දාගැබ් තුනක් බඳවන්නට මෙම පිරිස කටයුතු කළහ. වර්තමානයේ ඉතිරිව පවතින්නේ කොසොන්පුර රාළ කරවූ මුතු කොළ මුදුන දාගැබ පමණකි.



     ගමිණී අභය නොහොත්  ගැමුණු රජතුමා එළාර රජු ජය ගන්නට මයියංගනයේ සිට විජිතපුර දක්වා යන ගමනේ දී ජය ගත් එක් බලකොටුවක් පිහිටා තිබුණේ අකුරම්බඩය. එය පාළියෙන් අන්තරා සොබ්බ යනුවෙන් ද සද්ධර්මාලංකාරයේ අතුරඹ යනුවෙන් ද දක්වා ඇත. මෙම අතුරඹ බල කොටුව ජය ගත් ගැමුණු රජු එම සටන වස්ථාවේ දී ජීවිතක්ෂයට පත් මහාතුණ්ඩ නමි දෙමළා සිහිවන්ට තුණ්ඩාරාමය යයි විහාරයක් ද කරවූ බවජනප්‍රවාදයේ සඳහන්ය.     දෙවනි රාජසිංහ රජු ලන්දේසීන් සමග කරන යුද්ධයේ දී මෙම ඉතිහාසය සොයා බලා පයියාගල රාළ වැනි රාජ හිතේෂීවන්තයින්ට  මාතලේ දිශාව ලබා දී සේනාව රැස් කරන්නට අණ කරන ලද්දේය. එහෙත් රාජසිංහ රජු උභය කුල පාරිශුද්ධ නොවන බැවින් මෙහි සිටි මුදලි වරු රජුට පක්ෂපාත නොවීය. එසේම පත් කරන ලද දිශාවට  සේනාව රැස් කරන්නට ද ඉඩ නුදුන්නේය. ත්‍රිකුණාමල බලකොටුව ජය ගැනීම පිණිස ගල්ඔය කඳවුරු බැඳගෙන සිටි රජු මෙයින් උදහසට පැමිණ පෙරකී බ්‍රාහ්මණ පරම්පරා වලින් පැවතෙන කිරිඔරුවේ රාළ අකුරම්බඩරාළ රුසිගම රාළ කිනිගම රාළ දඹරාවේ රාළ බෝවත්තේ රාළ ආදී මුදලි වරු පදවි වලින් ඉවත් කොට එම ගම් විෂ්ණු නාථ ආදී දේවාල වල ගබඩාගම් බවට පත් කරන ලද්දේය. අකුරම්බඩ වැව ආසන්නයේ ඔලගම් වත්තේ  විෂ්ණු දේවාලයට අයත් ගබඩාගමේ වී අටුව පිහිටා තිබූ අතර අටුව බාර රාජකාරිය පවරා දී තිබුණේ තලකිරියාවේ පරම්පරාවකටයි. වසමේ රාජකාරියෙන් ඉවත් කොට ඇතැම් විට ජීවිතක්ෂයට පත් කරන ලද මුදලි වරුන් ගේ ඥාතීන් මේ වනවිට රජු හා නොමනාපයෙන් පසු වූහ. එසේම තම වසම් වල ඇතිවූ විපර්යාසය නිසා ගමි වාසීන් ට ඇතිවූ දුක් ගැහැට ද දැන සිටියහ.

     අකුරම්බඩ රාළ ගේ මස්සිනා ගේ පරම්පරාවෙන් පැවතෙන මොරගස්පිටිය එවක එහි සිටි ප්‍රබල රදළයෙකු විය. එම පරම්පරාව ගැන කියැවෙන ජන කවියක එදා එම ප්‍රදේශයේ නිළමේ වරුන් අතර තිබූ සමිබන්ධය  සඳහන් කර ඇත.   ඇහැලේපොළය ගලගම දේදුනු පිටිය-මඩුවන්වෙල ජයබිම මැද්දේ කැටිය-කැප්පෙටිපොල ඒදුම මොරගස්පිටිය-අගුණාවලය වල්ගම යස කෙම්පිටිය. යනුවෙන් කියැවෙන  අතර යථොක්ත මොරගස්පිටිය රාළ එදා   දෙවනි   රාජසිංහ රජුගේ උදහසට පාත්‍ර නොවුනද සිය ඥාතියාට කළ ආරෝව නිසා කෝපයට පත් ව උන්නේය. දිනක් මහ රාත්‍රියේ අකුරම්බඩ ඔලගම වත්තට වැදුණු ඔහු ඇතුළු පිරිස අටුව කඩා වී එළියට ගෙන ඒවා නින්දගමේ ජනතාවට බෙදා දුන්නේය. ඉන් පසු ස්වකීය හිතැසි ඥාතීන් පිරිසක් සමග වල් වැදුණු මොරගස්පිටිය රාළ කිරිඔරුව ඔස්සේ දඹුල්ලට ගොස් එවකට දඹුලු විහාරයේ වැඩහිටි නායක ස්වාමීන් වහන්සේ බැහැ දුටුවහ.   

    නායක ස්වාමීන් වහණ්සේ සමග මාතලේ රදළයින්ට තිබූ ඥාතීත්වය මෙම අවදියේ ඉතා ප්‍රබල විය. රාජද්‍රෝහී වුවද විහාර ස්ථානයකදී කවරෙකුට වුවද අභය ලැබීම සම්ප්‍රදායයි. දඹුලු විහාරයට අයත් රාජකාරි ඉඩම් අතරින් තලකිරියාගම මෙම අනාථ වූවන් සනාථ කරවිය හැකි සශ්‍රීක භූමියක් බව නායක ස්වාමීන් වහන්සේ දැන සිටියහ. එම නිසා රාජකාරියට යටත් කොට මොරගස්පිටිය පරම්පරාවට තලකිරියාගම පදිංචිව සිටීමට අවසර ලැබුණි.

        තලකිරියාගම ගම් වාසීන් තල සිය ප්‍රධාන ආර්ථික භෝගය බවට පත් කර ගත්හ. යල් කන්නයට වැටෙන තල වැස්සෙන් පෙඟෙන ගොඩ කරයේ තල වගා කරමින් ඔවුහු සිය ජීවිකාව සරු කර ගත්හ. තල ගසේ මල් පිපෙන සමය ඔවුන් ගේ ජීවිත වලද වසන්තයයි. බක් මහේ අලුත් අවුරුද්ද ගෙවී වෙසක් මහ ලබන කාලයේ තල මල් රැගෙන දඹුලු විහාරයට ගෙන ගොස් පූජා කිරීම සුලභ දර්ශනයක් විය. දඹුලු විහාරයේ අලුත් සහල් මංගල්ලය ද මෙම රාජකාරි ඉඩම් වල ජීවත් වන ජනතාව එකමුතු කල අවස්ථාවක් විය.  පෙරහැරින් ගම වටා යන කරත්ත කරුවන් දඹුලු විහාරයට වඩම්මවන ලද අපූරු පූජාවක් ද මේ අතර විය. ඒ විශාල තල ගුලියකි .

       බඩ ඉරිගු කුරහන් තල ආදී කටුසර භෝගයන් ගෙන් සශ්‍රීක වූ  තල කිරියාගම විසිවන ශත වර්ෂයේ මුල් භාගය වන විට මහා පරිවර්තනයකට පත් වෙමින් සිටියහ.  දඹුලු විහාරය වන්දනා කිරීමත් වට වන්දනාවේ යාමත් සිංහල බෞද්ධයින් ගේ අගනා සිරිතක් බවට පත් වූයේ එවක ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය හේතු කොට ගෙනයි. ඒ හෙයින් දඹුල්ල කුරුණෑගල පාරේ තලකිරියාගම පාර දෙපැත්තේ කඩ තට්ටු කීපයක් තබා තල කුරහන් මගින් කරන ලද වෙළෙදාම මෙලෙස වට වන්දනාවේ යන පිරිස් අතර ඉතා ජනප්‍රිය විය.  ඔවුහු දඹුලු ගලේ නැගීමට ප්‍රථම පාර අද්දර සිය වාහන නවත්වා තල ගොවීන් ගේ නිෂ්පාදන මිළදී ගැනීමට උත්සුක වූහ. මුදල් භාවිතය සමිබන්ධව එතරම් වටිනාකමකින් කටයුතු නොකළ ඒ යුගයේ ඉතාමත් අඩුලන්සුවකට තල හෝ කුරහන් මිළදී ගන්නට වන්දනා කරුවන්ට හැකි විය.                                                 දඹුලුත් ගොසින් පේවී වැඳලා එන්නේ - තල ගොවියන් මරා රවටා බඩු ගන්නේ යයි ජන වහරට කථාවක් එක් වන්නේ මෙලෙසය. සැබැවින්ම ඓතිහාසික සත්‍ය සිදුවීම් ගණනාවනට මුහුණ දුන් ජනතාවක් තවත් පරම්පරා ගණනාවකට පසු සිය අනන්‍ය වූසංස්කාතික රටාවෙන් බැහැරව දඹුල්ලේ වෙළෙද ප්‍රවාහයට එක්වී සිටින ආකාරය අද දැක බලා ගත හැකිය. ඔවුන් ගේ ජීවන රටාව තුළ ඇති සැබෑ ලෙන් ගතු කම ඉස්මතු කරවිය හැකි හෘදයාංගම සම්බන්ධතාවයක් ඇති නොවන තරම්ය. එවැනි පරිසරයක තම පරම්පරාගත ඉතිහාසය තුලින් හෝ පන්නරය ලැබීමෙන්  ජාතික අභිමානයක් බිහි වුවහොත් සැගවුණු ලෙන්ගතු කම තිගැස්මක් වනු නිසැකය.

                  

                                                            මතුගම සෙනෙවිරුවන්

 

 

 

 

මෙම ලිපියට කරුණු සැපයූ අකුරමිබොඩ බී.එමි සෝමතිලක ආරචිචි මහතාට ස්තූතිය පළ කරමි.

Wednesday, September 1, 2021

පොලොන්නරු ධනපති ඇච්චනි වැව් මව් කෙළසීම නවත්වව්

 

 

 


                        

          උපතිස්ස රජු විසින් සතරවන සියවසේ තැනූ තෝපාවැව බැම්මේ අපරාධයක් සිදු වෙමින් පවතී.බැම්මේ අගිස්සේ රළපනාව වෙනස්කරමින් ඇවිදින මංතීරුවක් සාදන්නට නාගරික සංවර්ධන අධිකාරියත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් උත්සාහ දරමින් සිටී.මේ හෝරාව යක්ෂයාගේ හෝරාවයි.වසංගතය පතුරවමින් බිහිකර ඇති ශාපය පරාක්‍රම සමුද්‍රයේ දෙවියන් සක්මන් කරන තැන සිට දෙගුණ තෙගුණ වෙමින් පුළුල් වන්නට ඉඩ කඩ යෙදී තිබේ.මේ බලධාරීන්ට දෙවියන්ගේ හාල් කැවිලා දැයි කෙනෙකු ප්‍රශ්ණ කර තිබේ.සැබවින්මමේ ශාපය තමන්කඩුව හා රජරට හරහා පතිත වුවහොත් ගොවි ජනතාවට සුණු සාල් වත් නොමැති වනු නිසැකය.  කන්තලේ වැව් බැම්ම කඩා දමා එදා 1986 දී ආර්.ප්‍රේමදාස කළ අපරාධය මේ අවස්ථාවේ දී යලි මතක් කරගත යුතුය.

     දෙවන උපතිස්ස රජු තෝපාවැව සකස්කරන ලද්දේ එවකට පැවති නියඟය තුළ තිබූ අභියෝගයන් ජය ගැනීම සඳහාය. පරාක්‍රම සමුද්‍රයේ වඩාත්ම ගැඹුරු ප්‍රදේශය පිහිටා තිබෙන්නේ තෝපා වැවේය.මෙය හුදෙක් ඉංජිනේරුමය කාර්යයක් පමණක් නොවීය.පුලතිසි සෘෂි භාෂිතය අනුව යමින් කළ ආධ්‍යාත්මික මෙහෙයුමක් වන්නට ඇත.ඒ නිසාම හතරවන සියවසේ සිට අද දක්වාම මෙම තෝපා වැව බිඳී ගොස් නැත.බ්‍රිතාන්‍ය පාලන සමයේ දී 1936 දී තෝපා වැව ඔබ්බෙන් තිබූ එරමුදු වැවේ කඩාඬුව පිළිසකර කොට 1944 දී මුල් වරට පරාක්‍රම සමුද්‍රය යළි පුරවන ලද්දේය.මෙහි වැඩ අවසන් කරන ලද්දේ 1948-52 කාලවකවානුව තුළදීය.1978 සුළි සුළඟින් පසු 1979 සිට වැව් බැම්මේ රළපනාව යලි සකස් කරන ලද්දේය.ඒ සඳහා ගල් කියුබ් 45000 ක් යොදවා ගෙන ඇතැයි කියති.උපතිස්ස රජුත් මහා පරාක්‍රම බාහු රජුත් මේ මහා ජලස්කන්ධයෙන් බලාපොරොත්තු වන ලද්දේ හාත්පස පැතිරී ගිය මහා නිම්න භූමිඅස්වද්දා බත සරි කර එවකට පැවති යුද්ධ වලදී අවශ්‍යතාවය වන ආහාර ස්වයංපෝෂිත බව ඇති කරලීමටය.නමුත් නිශ්ශංකමල්ල රජු වැවට සමීපයේ මාළිගයත් රාජ සභාවත්  සෑදීම කරණ කොට එවකට පැවති පොලොන්නරු නගරය නාගරික වශයෙන් පුලුල් කරන ලද්දේය.එහිදීද වැවක තිබෙන නිර්මිතයන්ට කිසි විටක හානි පමුණුවා නැත.ඒ වෙනුවට පරාක්‍රම සමුද්‍රය පිරී ඉතිරී යන විට වැවෙන් රාජසභාව පැත්තට විවර වන තඩාගයක් නිර්මාණය විය.අද එහි සොරොව් සහ නටබුන් දක්නට ඇති නමුත් තඩාගය නැත.මහපාර තැනවීමේ දී එය විනාශ වී තිබේ.

    නිශ්ශංක මල්ල රජු පවා වැවේ නිර්මිතවලට හානි නොකරන්ට ඇත්තේ වැවක ඉහත්තාව නොහාත් තාවුල්ල පැන්නුම රළපනාව වැව් බැම්ම මෙන්ම බිසෝ කොටුවද වැදගත් ස්තානයන් ලෙසට සැලකීමෙනි. ඒවා වෙනස් කරලීමට හෝ විකෘති කරලීමට පැරණියන් කිසිවිටක උත්සාහ නොකළහ.මහ වැව් ඉස්මත්තේ තිබෙන වැව් එල්ලංගා පද්ධතිය ඔවුහු පණ මෙන්ම ආරක්ෂා කරන ලදහ. පරාක්‍රම බාහු සමයේ දී අමුණු 165 ක් ගොඩ නන්වන ලද්දේ යැයි කියති. මේ අමුණු සියල්ල ඉතා සරල තාක්ෂණයෙන් යුක්ත නිර්මතයන් විය.අංගංමැඩිල්ලෙන් හරවන ලද ජලය පරාක්‍රම සමුද්‍රයට ගලා එන්නේ මේ සරල ශිල්පීයාව අපට පසක් කර දෙමිනි.      පොල‌ොන්නරුවේ තෝපා වැව කෙළවරේ පවතින පුලතිසි ප්‍රතිමාව දෙස් විදෙස්හි පතළය.එය අපගේ සෘෂි භාෂිතයේ සංකේතයයි.එතැන බැම්මේ කෙළවර වර්තමාන තානායම දක්වා භූමිය සැබවින්ම ශුද්ධ භූමියකි.වැව් බැම්මේ තිබෙන පත්තිනි දේවාලයත් එහි කරන පූද පූජා අදියත් පරාක්‍රම සයුරෙන් ජලය ලබා ගන්නා ගොවි ජනතාවගේ දෛනික ජීවිතයේ අංගයන් වෙති.

 

 

 

ඇතැමෙක් පවසන පරිදි මේ වැව් බැම්ම දිගේ ඇතම් විට දේවතා එළි ගමන් කරති.එවැනි තවත් ස්ථානයක් වන්නේ තිවංක පිලීමගෙයයි.එහිද මේ වන තෙක්ම දේවතාවුන්ට සැරි සැරිය හැකි පූජනීයත්වයක් තිබේ.මෙවැනි ශුද්ධ වූ පරිසරයක පිහිට තිබෙන වැව් බැම්ම මත සුදු දිසාපතිවරයාගේ නිල නිවස සාදන ලද්දේය.ඉන්පසු එය තානායම බවට පත් විය. මේ නිර්මිත  ප්‍රථම වරට කෙළසන ලද්දේ එලෙස ඉංග්‍රීසීන් විසිනි. ඔවුහුවැව නැවත ප්‍රකෘතිමත් කළද මේ පූජනීය පරිසරය විකෘති කරන ලද්දේය.නමුත් එදා සිට මේ පරිසරය ඊටත් වැඩිමනත්ව විකෘති කිරීමටලක ලක් නොවිණ. නවනගරයත් කදුරුවෙලත් වන්දනා කාරුවන් නිසාම යැපුණි.මේ නගරය නවීන අංගගොපාංගයන්ගෙන් සමන්විතව වැඩි දියුණට පත් කරන ලද්දේ පොලොන්නරු මහජනමන්ත්‍රී වරයා වූ හිටපු ජනපති වරයාගේ අතිනි.හුදකලාව පැවති නව නගරයත් කදුරුවෙලත් යා කරමින් නවීන මාර්ග ආදී යටිතල පහසුකුම් සංවර්ධනය විය.මින්නේරිය වැව් රක්ෂිතයත් එහි පවතින කුලුවැව් පද්ධතියත් විනාශ කරන ලද්දේද මේ දේශපාලනඥයන් විසිනි.එහි පැවති වීර මොර පලු වැනි අගනා ශාක විනාශ කරනු ලැබූ අතර ඒ වෙන්නට තේක්ක සිටුවනු ලදහ.      2012 වර්ෂය වන විට මේ දෙශපාලනඥයන් පරාක්‍රම සමුද්‍රය අවට භූමි භාග තමන්ගේ අත්අඩංගුවට ගන්නට විය.එසේම වැව් හෑරිල්ලට අවශ්‍ය ව්‍යාපෘති සකස් කර ගනිමින් විශාල ‌ඩෝසර සහ ට්‍රැක්ටර යොදා ගනිමින් වැවේ වැලි ඉවත් කර ගන්නා ලදහ.

       වැව් හෑරිමට සහ ඒ අවට දියුණු කරලීමේ අනෙක් අරමුණ නම් වැව් තාවල්ලේ සහ බැම්මේ සංචාරක හොටල් නඩත්තු කරලීමයි. දැනටමත් ගිරිතලේ පරක්‍රම සමුද්‍රය වැනි වැව් වල මෙලෙස හෝටල් ඉඳි කර තිබේ. පරක්‍රම සමුද්‍රයේ එරමුදු වැව ආසන්නයේ එහි කලිඟු බැම්මේ ඉහත්තාවේ සකස් කර තිබූ පැරණි අරලිය හෝටලය වැවේ ගිල්ම දක්වා තවත් පුලුල් කර තිබේ. මේ නිසා වැව පිරුණු කල්හි හෝටලයේ තණ තලාව ජලයෙන් යටවෙයි. මෙහිදී අදාළ හෝටලය හිමි කර ගෙන තිබෙන පුද්ගලයා විසින් ප්‍රදේශයේ වාරිමාර්ග බලධාරීන්ට  දේශපාලන බලපෑම් ඇති කර ජලය අක්කර අඩි විසිදහසක් පමණ අඩුකර ලීමට ක්‍රියා කර තිබුණි. පරාක්‍රම සමුද්‍රයේ වැව් ගිල්ම යටතේ තවත් හෝටලයක් ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු විසින් දැනට ඉඳිකර ගෙන යමින් පවතී

            පොලොන්නරුව නාගරික වශයෙන් දියුණු කරලීමට ගත් උත්සාහයේ ප්‍රථිපලය වූයේ මුදල් හා තනතුරු බලය තිබෙන ව්‍යාපාරිකයන්ගේ සහ දේශපලානඥයන්ගේ වෙනම බමුණු කුලයක් බිහි වීමයි. කොළඹ අධ්‍යාපනය ලැබීමෙන් හෝ තම ව්‍යාපාරික බලය පදනම්ව නැගුණු මේ පන්තිය අද ගොවීන් ගේ දරුවන්ට වඩා ඉහළින් වැජඹෙති.කෙතේ කමතේ ට්‍රැක්ටරයේ දහදිය හෙළමින් බත සරිකරලීමට වෙහෙසෙන ගොවි පන්තියේ දරුවන්ට වඩා මේ ඇච්චන්ට ඉහළින් වැජඹෙන්නට අවශ්‍ය වේ.ඒ ඇතැම් විට කොළඹ පුරුද්දටය.නිරුවත් දෛයින් තණ පලසක පවා ගමන් කළ නොහැකි ඔවුන් ජොගින් සූෂ් දමාගෙන ජොගින් ට්‍රැක් වලට දිව යන්නට පුරුදු වී සිටිති.ඒ පස්සේ තුවා වතුර බෝතල් අරන් දුවන ආරක්ෂකයන් ද නැතිවා නොවේ.මේ ඇච්චන්ට දොස් කිව නොහැකිය. උන්ගේ අප්පලා පොලොන්නරු ගොවීන්ගේ සාරය උරාබී තර වූවන්ය..පොලොන්නරුවේ දුප්පත්කම වී වලට නිසි මිලක් නැති කමය.වරක් මේ ගොවීහු වස බීහ.

 

 

 

 

දැන් තෝපාවැව කණ්ඩිය හාරා ඇවිදින මංතීරුවක රුදාව හට ගෙන තිබෙන්නේ ගොවීනට නොව පෙර කී ඇච්චන්ට සහ උන්ගේ අප්පලාටය.ඔවුන්ට මේ මංතීරුව ගොවීන් ගේ කෘෂි පාරකට වඩා වැදගත්ය.මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණද ඔහුද අදාළ සංවර්ධන කමිටු වල සිටින්නට ඇත. රුපියල් මිලියන එකසිය දහනමයක් යනු කජු ඇට කොස් ඇට නොවේ.සැලසුම් කළවුන්ට මෙන්ම කරවන්නනන්ටද හොඳ ඉල්ලමකි.ගෙවල් කීපයක් හදන්නට සිමෙන්ති ද  රැස්කර ගත හැකිව තිබේ.

     එහෙත් අතීයේ සිටි වාරි නිළධාරීන් එසේ නොවේ ඔවුහු තමන්ගේ පුද්ගලික ජීවිතයද කැප කරමින් වැව ආරක්ෂා කළහ. 1936 වකවානුවෙහි එරමුදු කපොල්ල අලුත් වැඩියා කරන විට එය භාරව සිටියේ සමන්තුරේ ඉස්මයිල් නම් මහතෙකි. මේ කාලයේ ඔහු මේ වැඩේ පිළිබඳව දැඩි උනන්දුවකින් කටයුතු කරන ලද්දේය.මේ කාලයේ ඔහුලේ පුත්‍රයා අසනීප වී යැයි ඔහුට පණිවිඩයක් ලැබුණි. ඔහු අලුත්වැඩියාව අතරමග නිවසට නොගියේය.අනතුරුව දරුවා මිය ගිය බවද ආරංචි වුවද වැඩය අවසන් කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් සිටි ඉස්මයිල් මහතා පැය විසිහතරක් ඇතුලත අවසන් කටයුතු සිදුවන බව දැන දැනද පුත්‍රයාගේ අවමගුල සාභාගි වීමට නොගිය බව පැවසේ.ඒ කැප කිරීම නිසා පසු කාලයේ ඔහු වෙනුවෙන් විශේෂ සැමරීමක්ද කර තිබේ. මේ පරාක්‍රම සමුද්‍රයේ මෑත අතීතයයි.අද සිටින නිළධාරීන් එසේ නොව්. ඔවුහු දේශපාලනඥයන්ට ව්‍යපාරිකයන්ට නතු වී තමන්ගේ රාජකාරිය පාවා දෙති.තෝපාවැව වැව්බැම්මේ පූජනීයත්වයට වඩා ඔවුනට ඉංජිනේරුමය කාර්යයන් ඉතා වැදගත්ය.

මතුගම සෙනෙවිරුවන්