පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, December 11, 2022

ශ්‍රැන්ග්‍රිල්ලා ගුනෝමයේ අරමුණ කුමක් විය හැකිද

 

 


                               

            නීතිඥ ජීවිතයට වසර පණහක් පිරීම නිමිත්තෙන් පසුගියදා ශ්‍රැන්ග්‍රිල්ලා හෝටලයේ දී උත්සවයක් පැවැත්විණ. ඒ ජනපති රනිල් වික්‍රමසිංහයන්ට සුභ පැතීම පිණිසය.අප දන්නා පරිදි නීතිඥයකු වශයෙන් රනිල් වික්‍රමසිංහ උසාවි වල පෙනී සිටින්නේ නැත.ඒ වෙනුවට ඔහු පාර්ලිමේන්තුවේ සිටිමින් නොයෙකුත් නීතිමය ගැට නිර්මාණය කරමින් දේශපාලන පෙරළි සාදයි. 2015 දී යහපාලන පෙරළිය එවැනි ගැටයකි.19 වන ව්‍යවස්ථා සංශෝධනයද එවැනි ගැටයකි.2022 දී අරගල ගුනෝමයෙන් ජනපති පුටුව කරා යන්නටද ඔහුට තිබූ නීතිමය ව්‍යවස්ථාමය අවබෝධය ඉවහල් විය.ඒ අතින් බලන කල්හි නීතිඥ වෘත්තිය කෙසේ වෙතත් සටකපට දේශපාලනඥයකු වශයෙන් නම් ඔහු අගැයීමට ලක් විය යුතුය.

        ගුනෝමය(Grundnorm) යනු ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ ආන්ඩුවක් පෙරළීම පිණිස පාර්ලිමේන්තුවෙන් පිට ඇති කරන නීතිමය ව්‍යවස්ථාමය අරගල ස්වරූපයක න්‍යායික මූලධර්මයකි. ඔස්ට්‍රියන් ජාතික හෑන්ස් කෙල්සන්  විසින් මෙවැනි ක්‍රියාවලියකට ගුනෝමය යන ජර්මන් වචනය යොදා ගෙන තිබේ.1972 ව්‍යවස්ථාව සම්මත කරන ලද්දේ පාර්ලිමේන්තුවේ නොව නවරඟහල් පරිශ්‍රයේදීය.එයද එක්තරා විදියකට ගුනොමයකි. නමුත් එතැනදී සිරිමාවෝ මැතිණියට ලැබූ ජන වරම විශාල ශක්තියක් බවට පත් විය. විශේෂයෙන්ම යටත්විජිතකරණයෙන් පූර්ණ වශයෙන් නිදහස්ව ස්වතන්ත්‍ර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සාදා ගැනීමටද එය සම්මත කර ගැනීමටද රැජිනගේ ආධිපත්‍යයෙන් මිදීමටද මේ ගුනොමය ඉවහල් විය.ඒ ක්‍රියාවලිය රටට හිතකර වූවක් බව ප්‍රගතිශීලීන් විශ්වාස කරති.1815 දී ගිවිසුමකින් පවරා දුන් රටෙහි නීතිය සහ දේශපාලන ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරමින් ඉංග්‍රීසින් විසින් සිය ආණ්ඩු ක්‍රමය සහ නීතිය ආදේශ කරන ලද්දේය. එයද ගුනොමයකි. ඉන්දියාවේද මෙය අත්හදා බලා තිබෙන්නකි.

         අතීතයේ සිට දෙමළ රජවරු සහ සිංහල රජවරු ලංකාව දෙකට බෙදාගෙන පාලනය කළ බව දෙමළ ඉතිහාසඥයන් මෙන්ම වත්මන් දෙමළ ‌දේශපාලනඥයන්ද කියති. මෙය තනිකරම මිථ්‍යාවකි.මෙම සංකල්පය ගෙන එන ලද්දේ ප්‍රථම වරට හියු ක්ලේගෝන් වාර්තාවෙනි. ඉන්පසු 1819 දී ඇමරිකන් චර්ච්  ඇතුළු  මිෂනාරීන් විසිනි. ගාල්ලේ දී සිදුවූ මිෂනාරි සමුළුවකදී මෙම තීරණය ගත් බව (Notes on Jaffna) ග්‍රන්ථයේ ඇත.මෙම මිථ්‍යාව මෙතරම් කාලයක් රටේ මුල් බැස ගෙන ඔඩු දුවා තිබෙන්නේ යටත් විජිත අධ්‍යාපනය හා පාලනය නිසා අප වෙත ඇති කර දුන් හීන දීන මානසිකත්වය නිසාවෙනි.නිදහසින් පසුව වුවද මේ තත්වය වැඩි දියුණු වූවා මිසක තුනී වී ගියේ නැත. ඒ නිසා චෙල්වනායගම් වැනි අන්තවාදීන් පණහට පණහේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් බලය බෙදා ගැනීමට කැස කැවූහ.පසුව ඇමරිකාවේ සහ ඉන්දීය බලපෑම් මත රට දෙකඩ කිරීම උදෙසා සන්නද්ධ ව්‍යාපාරයක් ඇති කළහ. මෙරට ත්‍රිවිධ හමුදාව සිය ඇස් මස් ලේ සහ ජීවිත පුදකරමින් කුරිරු ත්‍රස්තවාදය අවසන් කර රටේ ඒකීය බව සුරකින ලදහ.නමුත් 1819 දී ඇති කරනලද බෙදුම්වාදී මානසිකත්වය මෙරට දේශපාලනඥයන්ගේ මනසින් බැහැර නොවීය. ජාතික ප්‍රශ්ණයට දෙශපාලන විසඳුමක් කියමින් ඔවුහු නිතර දෙමළ අන්තවාදීන් ගේ කප්පම් වලට යටවී බෙදුම්වාදී න්‍යයා පත්‍ර සම්මත කර ගැනීමට උත්සාහ කළහ. අන්තර් පාලනය ස්වයං පාලනය බෙදුම්වාදී පැකේජය ඔරුමිත්ත නාඩුව ආදී වශයෙන් ගෙනා සියලුම බෙදුම් වාදී මනස් ගාත  මෑත කාලයේ දී ජාතික සංවිධාන විසින් එකමුතුව පරාජයට පත් කරන ලද බව අපි දනිමු.

     ගාලුමුවදොර අරගලය මෙහෙයවූයේ තරුණ අරගල කරුවන් බව සැබෑවකි. එයට අවශ්‍ය අරමුදල් පොම්ප කිරීම කරන ලද්දේ කුවුරන්ද යන්න දැන් හෙළි වී තිබේ. 

වික්ටෝරියා නූලන්ඩ් ගේ ආගමනයත් සමගම ඒ අරගලය උත්සන්න වූ අතර ජනපතිවරයාට පලා යන්නට සැලැස්වීම දක්වා ඒ ක්‍රියාදාමය හොඳින් සංවිධානය විය.නමුත් අරගලයෙන් බලයට පත් වූයේ අරගල කරුවන් හෝ මේ රටේ දූෂිත ක්‍රමයට විරුද්ධව වූ තරුණ ගාමක බලවේගයන් නොවේ. කලින් සූදානම් කරන ලද රූකඩයකි.පෙරකී බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙය යා හැකි දේශපාලන රූකඩයකි. පැවති යහපාලන ආණ්ඩුව සමයේ දී මේ පුද්ගලයා ගේ මග පෙන්වීම මත විදේශ විනිමය පනත වෙනස් කරන ලද්දේය.අපනයන කරුවන් උපයන ආදායම සම්පූර්ණයෙන්ම රටට ගෙන ඒම කළ යුතුය යන නීතිය රවි කරුණානායක ලවා වෙනස් කරන ලද්දේය. එතැන් සිට මෙරටට ගලා එන විදේශ විනිමය ක්‍රමානුකූලව හිඟ වී ඇත. මේ වන විට තේ පොල් රබර් ඇතුලු කෘෂීකාර්මික ක්ෂේත්‍රයේ පමණක් නොව කර්මාන්ත ක්ෂේත්‍රය විසින් උපයන ලද ආදායමින් ‌ෙඩලර් බිලියන 40 ක් විදේශ රටවල බැංකු වල තිබෙන බව අසන්නට ඇත.අරගලයෙන් පසු බලයට පත් වූවන් විසින් රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට නැවත විදේශ විනිමය පනත සංශෝධනය කළ යුතුව තිබුණද  එසේ නොකරති. ඒ වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙන්නේ යැයි කියන බිලියන 03 ක මුදල් ගැන විශ්වාසය තබමින් සිටිති. එසේම ටෙලිකොම් ඇතුළු ලාභ ලබන ආයතන විකුණා ලැබිය හැකි බිලියන 03 ක මුදල ගැන විශ්වාසයෙන් පසුවෙති.විදුලි බල මණ්ඩලය පාඩු යයි කියමින් ජනතාව මත විදුලි බිල පටවමින් විදේශ සමාගමකට ඒ සම්පත් දීමට වලි කන්නේ අදාල සමාගම් වලට අධික ලාභයක් ලබා දීමේ චේතනාවෙන් ය. මේ සඳහා වන කොමිස් මුදල බලශක්ති අමාත්‍යවරයාට නොලැබෙන්නට හේතුවක් නැත.

       ආර්ථික ආපදාවන් නිර්මාණය කරලීම හිතාමතා කළ දෙයක් බව පැහැදිලිය.රාජ්‍ය සම්පත් විකිණීමේ පටන් රටේ බෙදුම්වාදය තහවුරු කිරීම දක්වා යටත් විජිත න්‍යාය පත්‍රය දැන් ක්‍රමයෙන් විවර වීමට පටන් ගෙන ඇත. මෙතෙක් කලක් බෙදුම්වාදී පැකේජයක් හෝ පනත් සංශෝධනයක් පාර්ලිමේන්තු ගැසට් ගත කිරීමට ලක් වුණු සැණින් මෙරෙට දේශප්‍රේමී නිතිඥයන් එකතු වී එම පනත‌් වල ව්‍යවස්ථාමය නොගැලපීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධීකරණය අභිමුවෙහි නඩු දමති. ඒ නිසා 13 වන සංශෝධනයෙන් එපිට කිසිම බලය බෙදීමක් මෙතෙක් කරගන්නට නොහැකි විය. නමුත් පසුගිය දා ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශයෙන් ගම්‍ය වූයේ 13 ට එහා ගිය බලය බෙදීමක් කොට රට එක්සත් කිරීමක් සඳහා සූදානම් බවයි. ඊට පොහොට්ටුවන් සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂයන් එකඟ කරවා ගත හැකි බවද එහිදී ප්‍රකාශ විය.

          ශ්‍රැන්ග්‍රිල්ලාවට නීතිඥයන් රැස්වූයේ මේ බෙදුම්වාදී ගුනෝමය පිළිබඳ සම්මුතියකට එක් වීමටයි. ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට අවශ්‍ය ආණ්ඩුකාරවරයෙකු පත් කරවා ඉඩම් වාරිමාර්ග පුරාවිද්‍යා ආදී පළාත් සභා ප්‍රඥප්ති කීපයක් සම්මත කර ගත් විට 13 ට එහා ගිය බලය බෙදීමක් ඉබේම නිර්මාණය වනු ඇත. උතුර සහ නැගෙනහිර රාජ්‍ය බස දෙමළ වන බැවින්  සියල්ල දෙමළ බසින් මුද්‍රණය වන බැවින් නීතිය බලාත්මක වන්නේ දෙමල බසෙහි අර්ථ නිරූපනය අනුවයි. පළාත් ප්‍රඥප්ති වලට එරෙහිව ඉහළ උසාවි වලට ද යා නොහැකිය.මේ සඳහා ජනපතිවරයාට ශක්තියක් ව සිටින්නේ සංස්ථාගත නීති අධ්‍යයන සභාවයි. හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් නීති ප්‍රවේශ විභාග වලට ලිවීම ඉංග්‍රීසි බසින් පමණක් කළ යුතු යැයි ගැසට් පත්‍රයක් පළ කලේ මේ නීති අධ්‍යන සභාව සමග එක් වී කළ කුමන්ත්‍රණයකට අනුවයි.ඒ නිසා ශ්‍රැන්ග්‍රිල්ලා ගුනෝමය යනු හුදෙක් සුභ පැතුම් උත්සවයකින් එහාට ගිය ඉංග්‍රීසියෙන් කරන ලද කුමන්ත්‍රණ සභාවකි.රට එක්සත් කරනු වස් එක්වන්නට යැයි ජනපතිවරයා එහි දී කළ ප්‍රකාශය මේ ගුනෝමයේ තරම වටහා ගැනීමට හොඳටම ප්‍රමාණවත්ය.

මතුගම සෙනෙවිරුවන්

Tuesday, December 6, 2022

කූරගලට ගියහොත් ගල්ටැම්යාය විහාරයත් දැක ගන්න

 

 

                           


            වසරගණනාවක් තිස්සේ බෞද්ධ ජනතාවට අහිමි වෙමින් පැවති කූරගල ‌ෙඑතිහාසික ලෙන් විහාර සංකීර්ණය යළිත් වැඳුම් පිදුම් කිරීමට විවරව තිබේ. පොහොය දිනවල පමණක් නොව සෑම දිනකම පවා කූරගල වන්දනාවට යනෙන බොහෝ පිරිස් දැන් අපට දැක ගත හැකිය.ක්‍රි.පූ.දෙවනි සියවසේ පමණ සිට රහතුන් වහන්සේලා වැඩ සිටි කූරගල තපෝ වනය ලංකාවේ දක්ෂිණ වේදිකා පර්වත මොහොරය මත පිහිටි අතිශයින් වැදගත් සිද්ධස්ථානයකි.බුදුන් වහන්සේ තෙවැනි වරට  ලංකාවට වැඩම කොට සමන් දෙවිඳු ගේ ආරාධනයෙන් සමනල ගිරි සිඛරයේ ශ්‍රී පාද සටහන තබා මදක් විවේක සුවයෙන් ගත කිරීමට වැඩමවන ලද දිවා ගුහාව පිහිටියේ කුරගල හිටුවන්ගල පාමුළ බව ජනප්‍රවාද ගතය.පණහේ දශකයේ දී මෙහි පැමිණි කෝට්ටේ රජමහා විහාරයේ සුසිලෝදයවීර පෙරමුණේ  සාමාජිකයන් පිරිස මේ බැව් මුල් වරට ලොවට හෙළිකළහ.පසුව කොට්ටේ දේවානන්ද යනුවෙන් පැවිදි භාවයට පත් වූයේ සමන් දෙවිඳුන් සමග සෘජුව සම්බන්ධ වූ කුරුවිටගේ ප්‍රීමන් සිල්වා මහතාය.ආලෝකය ඇති ගුහාවක් දැක ගන්න.ගංගාවක් තරණය කරන්න. එවිට ඔබට දිවාගුහාව දැක ගත හැකි යැයි එදා ප්‍රීමන් සිල්වා මහතාට සිහිනෙන් කී පුවත සැබෑවක් විය. බුදුන් වහන්සේ ප්‍රමුඛ පන්සීයක් රහතුන් වහන්සේලාට විවේක සුවය ලැබූ ස්ථානය හිටුවන්ගල දත්තගේ ගල්ලෙන බව තහවුරු විය. මේ පුවත පසුව පූජ්‍ය වටද්දර ඤාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් ශාස්ත්‍රීය ලිපි කීපයකින් ද තහවුරු කළහ.

          මෙම දිවාගුහාව ශත වර්ෂ ගණනාවක් තිස්සේ සමන් දෙවිඳු විසින් ආරක්ෂා කළහ.ආලෝකය විහිදෙන කූරගල ගුහාව මෙන්ම සිරිපතුල් සටහන් ආරක්ෂා කළහ.මේ සිරිපතුල් ලාංඡන දෙකක් තිබුණු බවට බුදුගල සළකුණින් කියාපායි.කූරගල ගල්ලෙන් රහතුන් වහන්සේලාට පුදා එහි සෙල් ලිපි පිහිටුවා ඇත. බුදුගල පධාන ඝරයක් නිමවා වෘක්ෂ මූල ආරණය පිහිටුවා මහ රහතුන් වහන්සේලාට පූජා කොට ඇත. ලංකා පබ්බතය යයි අද හඳුන්වන වැලිපොත යායේ ගල්ලෙන් සංකීර්ණය පිහිටා තිබෙන්නේ කූරගල ආලෝක ගුහාවට සහ තපස් පිලට එක එල්ලේ පහළින්ය. එයද මහා රහතුන් වහන්සේලාට පූජා කොට තිබුණේ ක්‍රි.වර්ෂයෙන් පෙර සියවස් වලදීය.මෙලෙස බුදුන් වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ කූරගල ට පැමිණි මහමදික සංචාරකයන් එහි තිබූ නටබුන් වූ නුවර යුගයට අයත් ලෙන් විහාරය දැක එහි නැවතී සිට සමනල කන්දට යා නොහැකිව එතැන් සිටම යාඥා කළහ. කල් යත්ම එහි පැලක් අටවා අයිතිය කියා පාන්නට විය.මහා සංඝාය වහන්සේලාට පිදූ ලෙන් ඔවුන්ගේ යයි කියාපාමින් නඩු කියන්නට වූහ.වසර සියයක පමණ කාලයක් තිස්සේ බෞද්ධයන්ට නිදහස් කරගන්නට බැරි වූ කූරගල කතාව එයයි.ඒ කතාව දැන් නිමවී ඇත. 2022 වර්ෂයේ දී පූජ්‍ය වතුරකුඹුරේ ධම්රතන හිමියන් හට කූරගල පිළිබඳ  පූජා භූමි පත්‍රය පිළිගන්වා තිබෙන්නේ මේ සටනේ උච්චතම අවස්ථාවේ දීය.

     කූරගල පර්වත මොහොරයට අතීතයේ දී චන්ද්‍රගිරියයි කීහ. අටවකසඳක් මෙන්ව වක්‍රව තිබූ පර්වතයක් බැවින් එසේ කියන්නට ඇත.අනුරාධපුර යුගයේ දෙවන පෑතිස් රජ සමයේ ශ්‍රී මහා බෝධි ශාඛා බෙදන උත්සවයට රුහුණෙන් චන්දන ග්‍රාම ක්ෂත්‍රියන් පැමිණි බව කියැවෙයි.චන්දන ග්‍රාමය නම් චන්ද්‍රගිරියෙන් විහිදුණු සඳ ගිරි රාජධානියයි.එදා රෝපණය කළ අෂ්ඨ ඵල බෝධිය අදටත් සඳ ගිරියේ නිරුපද්‍රිතව තිබේ.කූරගල වන්දනාවේ පැමිණෙන්නන් සඳගිරි බෝධිය වැඳ රජවක පාරෙන් පිටත්වන්නේ නම් වන්දනාව සම්පූර්ණ වනු නිසැකය..චන්දන ග්‍රාමය සතුරු ආක්‍රමණ නිසා වල් බිහි වන කල්හි චන්ද්‍රගිරයේ කඳු සිඛරයන්ට මුවා වුණු ක්ෂ්ත්‍රියන් වර්තමාන තංජම පදිංචි වූහ.

 තංජම යනු චන්දන ගම බිඳු ණුහැටිය.නුවර යුගයේ දී තංජම බණ්ඩාර ගමක් විය.වලව් පහකට අයත් බණ්ඩාර පංගු එහි වී යැයි කියති.මුල්ගම කෝරාළට යටත්ව පාලනය වූ මේ තංජම වසම එගම පදිංචි මුදියන්සේට දුන් බවට ලියූ තුඩපතක්ද තිබේ. බළන්ගොඩ කල්තොට මහා මාවත සෑදීමෙන් පසු තංජමෙන් තැන්නට පැමිණි මේ පරපුරු වල වැසියන් කුරගල අවට පදිංචි වූහ.ගොවිතැනෙන් ගව පාලනයෙන් සශ්‍රීකව පැවති මේ පෙදෙස තුල තවත් අපූරු පුදබිමක් වෙයි.



        ඉඩම් නිරවුල් කිරීමේ නිළධාරීන් 1949 දී තංජම් තැන්නට පැමිණෙන විට මෙ පෙදෙස ඝන කැලෑවලින් වැසී ගිය මූකලානකි.ඔවුන්ගේ සටහන් අනුව කුරුදියවල මූකලාන නමින් පෙදෙසක් වෙයි.ගල් ටැම් යාය යනුවෙන් සටහන් වූ යාබද පෙදෙසක් ද වෙයි.ගල් කණු කොරවක් ගල් සඳකඩ පහන් පමණක් නොව විශාල පොකුණු කීපය්ද මෙහි විය.ඉඩම් නිරවුල් කොට කට්ටි වෙන් කරන කල්හි. මේවා ඉඩම් හිමියන්ගේ සන්තකයට පත් විය.ගල් ටැම් සහිත මෙපෙදෙස කූරගලට අයත් පැරණි කුරුදියවල විහාරය යනුවෙන් අපට හඳුනාගත හැකිය.ගල් ටැම් යායේ සිට පැවතී පැරණි කූරගල මාර්ගය අද වල්බිව ගොසින්ය.

     අනුරාධපුර විහාර සංකීර්ණ අතර පංචාවාස විහාර සම්ප්‍රදාය බෙහෙවින්ම ප්‍රකට වෙයි. වාස්තු විද්‍යා ශාස්ත්‍රය අනුව රහතුන් වහන්සේලා ගේ විවිධ අවස්ථාවන් සඳහා යෝග්‍ය ලෙසින් තනවන ලද පංචාවාසයක් කූරගලටත් හිමි විය. අනුරාධපුර යුගයේ පසු භාගයේ ඉඳි කරන ලද මේ පංචාවාස ගොඩ නැගිලි කාලයක් වනගතව තිබී අක්කර දෙකක පමණ පුරාවිද්‍යෘ රකෂිතයක් බවට පත් විය.1960 ගණන් වලදී පූජ්‍ය බද්දෙගම විමලවංශ නාහිමියන්ගේ මූලිකත්වයෙන් මෙහි විහාරස්ථානයක්ද ඉඳි විය.මේ කාලයේ පංචාවාසයට නුදුරින් පිහිටි ඉපැරණි බෝධීන් වහන්සේ වන්දනාමාන කරමින් විහාරස්ථානයේ කටයුතු සිදු වුනද 1971 දී කූරගල පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් වීමෙන් පසු ගල්ටැම් යායත් බුදුගලත් රක්ෂිත බවට පත් කිරීමට කටයුතු යෙදී තිබේ.

            කූරගල ප්‍රාග් මානවයාගේ වාසස්ථානයක් වුවද ක්‍රි.ව. 1-6 අතර කාලයේ දී ගිරිගුහා පබ්බත ආරණ්‍ය සේනාසනයක් වෙයි.අචාර්ය දයානන්ද බිනරගම මහතා සඳහන් කරන පරිදි ආරණ්‍ය සේනාසන හඳුන්වන ලද්දේ නගරද්වාරයෙන් හා ග්‍රාමයෙන් පිටත වූ වන ගත පෙදෙස් විලසය.සූත්‍ර පිටකයෙහි සඳහන් පරිදි ග්‍රාමයෙන් පිටත දුණු පන්සීයක් ගිය තැන ආරණ්‍ය සේනාසන වූ බව දක්වයි. ක්‍රි.ව. 7-10 සියවස් අතර කාලයේ දී වර්ධනය වූ පංචායතන පිරිවෙන් හා පධාන ඝර පිරිවෙන් යනුවෙන් තවත් ආරණ්‍ය සේනාසන දෙවර්ගයක් වෙයි. ගල්ටැම් යායත් බුදුගලත් මේ ආරණ්‍ය සේනාසන දෙවර්ගයට අයත් වේ.

         ගල් ටැම් යාය නටබුන් ස්ථානය 2006 වසරේ දී පමණ කැණීමකට ලක් කරන ලද අතර මෙහි ස්ථූපය තුළ කළ කැණීමෙන් සුවිශේෂ ගල් පෙට්ටියක් හමු වූ බව එහි සේවය කළ පිරිස් දක්වා ඇත.මේ සථානය තවමත් කැණීම් අවසන් නැත. අක්කර දෙකක භූමිය ඉක්මවා විශාල නටබුන් කොටසක් විහිදී පවතින බව දැක්විය හැකිය. ගල් ටැම් යාය වැඳ පුදා ගත් කල්හි බුදුගල පධාන ඝරයත් බුදුගල රජමහ විහාරයත් දැක බලා ගැනීමට ළගා විය හැකිය. එතැන් සිට කොට්ටිඹුල් වල රජමහා විහාරය දක්වා දිවෙන මහා මාර්ග පද්ධතිය දෙපස පිහිටි බොහෝ පුරාවිද්‍යෘ ස්ථාන වන්දනා කරුවන්ට මග හැරෙයි.පබ්බත ලෙන ශොණ ගල්ගේ කිරිමකුල් ගොල්ල දියවින්න දේවගිරිලෙන යටිමල් කඩුව ලෙන කෙවලගල ගල්ගේ ලගිනගල ගල්ගේ නූල් කටින ගල ලෙන්දොර විහාර ලෙන වෙහෙර ගල ලෙන ඉන් කීපයකි. කූරගලින් පිටත් වන වන්දනා කරුවන් හට දවසක් නොව දවස් කීපයක්ම ගත කර නරඹන්නට මෙන්ම බණ භාවානාදියෙන් ගත කරන්නටද මේ රමණීය බිම් පෙදෙස ඉවහල් කර ගැනීම වටනේය.

මතුගම සෙනෙවිරුවන්