පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, October 21, 2026

වඩුග නීතියට බුද්ධ නීතිය යටවේ

 

                                 


                                

           ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කරන ලද්දේ 1803 දීය.එයට සාර්ථකව මුහුණු දීමට සමත් වූ කන්නසාමි හෙවත් ශ්‍රී වික්‍රමසිංහ රජු මේ වන විට රජවාසල ආධිපත්‍ය ඉසිදූ රදළයන්ගේ බලය අඩු කරනු වස් නොයෙකුත් උපාය යොදමින් සිටියේය.ඒ අතර නොයෙකුත් ඔත්තු කරුවන් මහනුවර සැරිසරමින් සිටියහ.ඇහැලේපොල නිලමේ සපරගමුවේ කරන පාලනය   පිළිබඳව ද අසුභ පණිවුඩ ලැබෙමින් තිබිණ.ඇහැලේපොලට විරුද්ධව රජුට කේළාම් කියූ නිලමේ වරුන් රජු ඔහු කෙරෙහි බිඳ වූහ.ඒ අතර නුවර වැව විශාලකොට බැඳවීම රජුගේ අදහසක් විය.මේ සඳහා සත් කෝරලේ වැසියන් කැඳවීමට තීරණය කර තිබුණි. නමුත් මාස් කන්නය ආරම්භ කර තිබූ අවස්ථාවක වප් මගුල කඩාකප්පල් කරගෙන සෙංකඩගලට පැමිණීම දුෂ්කර කටයුත්තක් විය.එහෙත් රජුගේ ආඥාව පිට දිසාවේවරු සත් කෝරළ වැසියන් කැඳ වූහ. මේ අතර අවාසනාවන්ත සිදු වීමක් ඇති විය. වැසියෙකු කිතුල් ගසකින් වැටී මරණයට පත් විය. මෙයින් කුපිත වූ වැසියන් රාජකාරිය වර්ජනය කළහ. එයින් සිදු වූයේ එයට සාභාගි වූ වැසියන්ද දිසාවේ වරුන් ද මරණයට පත් කිරීමයි.ඒ සමගම රජු තවත් තීරණයක් ගනු ලැබීය. එනම් නුවර වැව හෙවත් කිරි මුහුද විශාල කිරීමට මල් වත්තේ පුෂ්පාරාමය ඉවත් කර ලීමයි.වැසියන් මරණයට පත් කිරීම ඇති වූ කලබැගෑනිය පීළිබඳ මහානායක හිමියන් ඇතුලු මහා සංඝරත්නය නිශ්ශබ්දව සිටියත් මල්වත්තේ පූජනීය බෝධින් වහන්සේ ඉපැරණි ළිඳ ආදිය ඉවත් කිරීමට තීරණය තිරීම ඉවසුම් නොදෙන්නක් විය. ඒ නිසා සමස්ත මහා සංඝරත්නයම එයට විරුද්ධ විය. මෙයට මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ වර්ෂ 1811 දක්වා මල්වත්තේ මහානායකව වැඩ සිටි මොරතොට ධම්මක්ඛන්ධ මහා නායක හිමියන්ගේ සහෝදරයාගේ පුත්‍රයා වූ පරණාතල රතනපාල නමින් ශාසනයට එළඹ ඒ වන විට අනුනායක පදවියට පත් ව සිටි පරණාතල හිමියන්ය.විරෝධතාව ජය ගත් නමුත් වඩුග රාජු පරණාතල හිමියන් සමග බද්ධ වෛරයකට මුල පිරීය.

        කාලය,ගතවුණි.රජු අනුනායක හිමියන්,කොටු කරලීම,උදෙසා  උපායක් යෙදීය.ඒ සඳහා උන්වහන්සේ ගේ,ආවාසය තිබෙන මැද පන්සලට කාන්තාවක් පිටත් කර යැවීය. ඒ අතර රජුට හිතවත් බමුණෙකු ද  පරණාතල හිමි හමුවට පිටත් කර යැවීය. බමුණා ආවාසය වෙත  ගොස් අනුනායක හිමියන්ගෙන් පැන් බඳුනක් ඉල්වා සිටියේය.පරණාතල හිමියන් පැන් ගෙන ඒමට ළිද වෙත ට ගිය අතර ඒ අතර කලින් ආවාසය වෙත පිටත් කර හැරි කාන්තාව ආවාසයෙන් එළියට පැමිණියේය. බමුණා මෙය දුටුවේය.ඔහු ආපිට රජ වාසලට පැමිණ රජුට මේ පුවත සැළ කරන ලද්දේය.පසුදා උදෙන්ම රජ වාසල කටුපුරුල්ලේ වරුන් මල්වත්තේ අනුනායක හිමියන් වැඩ විසූ දෙගල්දොරු පන්සලට පැමිණියේය. රජු අණින් පරණාතල හිමියන්ට විරුද්ධව මහනඩුව කැඳවන බව  සැළ කර සිටියේය.මේ බැව් ආරංචි වූ මල්වත්තේ භික්ෂූන් වහන්සේලා උන් වහන්සේව වට කර ගත්තේය.තම පැවිදි සහෝදරයා වූ දුනුමාලේ ශීලවංශ හිමියන් ඇමතූ නායක හිමියන් මේ තමන්ගේ අවසාන ගමන විය හැකි බවද පවසා කටුපුරුල්ලේ වරුන් සමග රජ වාසලට පිටත් විය.

        රජු සිහසුන අරා සිටියහ.මල්වත්තේ මහා නායකව සිටි කොබ්බෑකඩුවේ සිරිනිවාස හිමියන් ඇතුලු මහා සංඝරත්නය ඉදිරි පසින් වැඩ සිටියහ.රජු ප්‍රථමයෙන් නඩුවේ  අරමුණ රාජ සභාවට දක්වා සිට පරණාතල හිමියන්ට විරුද්ධව සාක්ෂි දීමට බමුණා කැඳවන ලද්දේය. බමුණා ඇසින් දුටු දේ රජු ඉදිරියේ ප්‍රකාශ කර සිටියේය.මෙම සාක්ෂිය හිස මුදුනින් පිළිගත් රජු පරණාතල හිමියන් විනය කඩකොට තිබෙන්නේ යැයි ප්‍රකාශ කරන ලද්දේය.

        මල්වත්තේ මහා නායක හිමියන් තම අනුනායක හිමියන් කෙරෙහි ඉහළම ගෞරවයක් තබා තිබුණි. එහෙත් රජතුමාම බමුණාගේ සාක්ෂිය පිළිගෙන සිටින බැවින්   උන්වහන්සේට කුමක් කිව හැකිද? හිමිනම කෙරෙහි තිබූ විශ්වාසය තරමක් දෙදරුම් කෑවේය. එහෙත් රජතුමා තම බලය ඉක්මවා කටයුතු කරන බවට කිසිදු සැකයක් නොවීය. රජතුමා නඩු තීන්දුව ප්‍රකාශ කරන ලද්දේය.එනම් කුමාර හපුවේ දී පරණාතල හිමියන්ගේ හිස ගසා දැමිය යුතු බවට අණ කරන ලද්දේය.

නඩුව,අවසාන කල පසු මල්වත්තේ මහානායක හිමියන් මෙසේ පැවසූහ,"මහරජාණෙනි, මහ වාසල චෝදනාවට ලක් වූ අනුනායක හිමියන්ගේ කුටියෙන් කාන්තාවක් පිටතට යනු දුටුවේ නම්,  උන්,වහන්සේට එරෙහිව ඇති සාක්ෂි ඇත්තෙන්ම ශක්තිමත් ය. එසේ වුවද එම කාන්තාව එහි සිටියේ මන්දැයි දැන ගැනීම අවශ්‍ය වේ - සමහර විට යම් පැහැදිලි කර ගැනීමකට පිවිසායා විය හැකිය.  මාගම් සෝලියක් වී,නම්, මෙම වරද පිළිබඳ චෝදනාව බුද්ධ නීතිය අනුව විනයට අනුව, භික්ෂු සංඝයා විසින් රැස්වීමකදී විභාග කළ යුතුය. එය චෝදනාවට ලක් වූ පුද්ගලයාට නිසි ලෙස සැලකීමට පමණක් නොව, සංඝයාගේම යහපත සඳහාද වේ. බ්‍රහ්මචර්යාවේ ප්‍රතිඥාව කඩ කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ භික්ෂූන් පිළිබඳ සිද්ධීන් නොදන්නා ඒවා නොවේ. විනයෙහි එවැනි වරදවල් සඳහා දඬුවම් නියම කර ඇත. වරදකරු වූ අය සංඝයාගෙන් නෙරපා හරිනු ලබන අතර, තමන්ව පෝෂණය කර  චීවර පිණ්ඩපාත දුන් මහජනතාව රැවටීම,පිළිබඳව වන්දි ගෙවීමක් ලෙස යම් ආකාරයක අපකීර්තියක් ඔහුට පැමිණේ. නමුත් ශික්ෂා පදයක් කඩ කිරීම නිසා භික්ෂුවකට ජීවිතය අහිමි වූ බවක් කිසිදා සිදුවී නැත. එවැනි දඬුවමක් බුදුදහමේ මූලධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැනිය. ලංකාවේ කිසිම භික්ෂුවක් තමන්ගේම කැමැත්තෙන් අනුගමනය කිරීමට බැඳී සිටි පාරිශුද්ධ මාර්ගයේ නොරැඳී සිටීම නිසා හිස ගසා දමා නැත."

        මහානායක හිමියන්ගේ වදන් එසේ වුවත් රජු තීරණය වෙනස් නොකලේය. පරණාතල හිමියන් ගේ චීවරය ගැලවීමට භික්ෂූන්ට අණ කොට වධකයන් වෙත භාර දෙන ලෙසට පවසා සිටියේය. සභාව නිහඬ විය. මහා නායක හිමියන් කුමක් කියාවිදැයි බලා සිටීමට රාජ සභිකයෝ විමසිලිමත් විය. කෝපාවිෂ්ට රජතුමාද එසේම බලා සිටියේය. මහානායක හිමියන් එයට එකඟ නොවීය. ඉන්පසු මහානායක හිමි තවත් වචනයක්වත් කතා කළේ නැත. උන්වහන්සේගේ හිස ඉදිරියට නැමී ගියේය; කඳුළක් උන්වහන්සේගේ උකුල මතට වැටුණි.එය දුටුවේ වැඩසිටි මහා සංඝරත්නය පමණකි.ඒ අතර  පරණාතල අනු නා හිමියන් නොසැලී සිටියේය. උන්වහන්සේ සිය කටහඬ මෙසේ අවදි කලේය.

    'නැත මහරජාණෙනි ඔබට ගිහියන් පිළිබඳව නඩු අසන්නට හැකිය.මම භික්ෂුත්වයට පත් බුද්ධ පුත්‍ර යෙකි.මගේ නඩුව මා නාථ දෙවියන් ඉදිරියේ කිව යුතුය.මතු බුදු වන නාථ දෙවියන් ඉදිරියේ කිව යුතුය.'  කන්නසාමි මෙහොතක් කල්පනා කලේය.පසුගිය වර්ෂ කීපය තුළ තමා අතින් ආගමික මෙහෙයක් සිදු නොවුණු බව ඔහුට කල්පනා විය.ඔහු ඉදිරියේ සිටි විරුද්ධ සිංහල බලවේග වල නායකත්වය ගන්නා ලද්දේ පිළිමතලව්වේ සහ පරණාතල නා හිමියන්ය.කෙසේ වෙතත් පරණාතල හිමියන් මරණයට පත් විය යුතු  බවට රජු දැඩි ලෙසට තීරණය කර තිබුණි.වධක ස්ථානයට ගෙන යන අතර මග නාථ දේවාලයට උන්වහන්සේව රැගෙන යන ලෙසට ද අණ කලේය.

   නාථ දේවාලය ඉදිරිපිටට සැපත් වූ පරණාතල හිමියන් හඬනගා මෙසේ කීය.'දෙයියෝ සාක්කි !දෙයියෝ සාක්කි! නාථ දෙවියනි.දශරාජ ධර්මයෙන් යුතුව සතර අගතියෙන් තොරව සතර සංග්‍රහයන් දත් නරපතියෙකු සෑම පැයකදීම සිහිපත් කළ යුතුතේ සත්‍යයයි.චිරාත් කාලයක් තිස්සේ පැරණි රජවරුන් ඒ සත්‍යය අනුගමනය කෙළෙහිය.ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වන වීරෝදාර රණ විරුවන් මේ ජාතිපුත්‍රයන් ඝාතනය කරද්දී මේ සම්ප්‍රදාය වැනසුණු බව නුදුටුවෙහි ද.බීමතින් වැටුණු රජෙකුගේ වියරුව ඔබ නුදුටුවෙහි ද එවන් යුගයක බුද්ධ ශාසනය පන්දහසක් කළ් පවතින්නේ යැයි ඔබ සිතන්නෙහි ද වැඩි කලක් ගත නොවේ මේ පීඩනයෙන් මිරිකී සිටින ජනතාව කැරලි ගසනු ඇත.දෙවියනි ඔබ වහන්සේගේ ආශිර්වාදය මගේ මව්බිමට නොලැබෙන්නේ ඇයි.සාමණේර අවදියේ සිට මම ධර්මයේ පිළිපැද සිටියෙමි.එය එක් දිනකට නොව මාගේ භික්ෂු ජීවිතයෙහිම එය පිළිපැද්දෙමි.නමුත් දැන් මේ රජු මාගේ ජීවිතය නැසීමට අණ දී ඇත්තේය.විනය ධර්මය කඩකර අතැයි රජු කල්පනා කරයි.නමුත් දෙවියනි මාගේ නිදොස් බව දන්නේ ඔබයි.නාථ දිව්‍යාරාජයාණෙනි. මාගේ ජීවිතයෙහි සෑම කල්හිම ඔබ වෙත මල් පුදා පින් අනුමෝදන් කලෙමි.'

         පරණාතල හිමියන්ගේ උස් හඬින්  කරන දේශනාව මාළිගාවේ රජු අසා සිටියේය. වහාම වධක ස්ථානයට උන්වහන්සේ රැගෙන යන ලෙසට නැවතත් අණ කරන ලද්දේය.පරණාතල හිමියන් සිය සිවුර ගලවා නාථ දේවාලය එළි පත්තේ අතුරා එය දෙවියන්ට පූජා කළේය. උන්වහන්සේගේ මුවගට සිහින් සිනාවක් නැගී තිබිණ.වධකයන් උන්වහන්සේ අසලට විත් දනින් වැටුණි.වද මල් පැළඳගෙන රතු වස්ත්‍රයෙන් සැරසී සිටි වධකයන්ගේ ඇස් කඳුළෙන් තෙත් වන්නට ඇත.එහෙත් නා හිමියෝ ඉස්සර වුණි.සිය බුලත් මල්ලෙන් විටක් ගෙන වධකයන් වෙතද පිළිගන්වා තමනුත් විටක් හපා රජ වාසල දෙසට හැරී බුලත් කෙළ පහරක් ගැසීය. අනතුරුවකිල්ලෝටය ගෙන එය කරකවමින් මෙසේ කීය.

සමත මතඟා කුල        මාතඟා

තුරිත තුරඟා සිත,දජ       තුඟා

දුරිත දුරඟා කුල,සිරි           රඟා

මහිම හිමඟා මහ වාලුක ගඟා

මේ උන්වහන්සේගේ අවසන් වදන් කීපයයි. . උන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි තවත් පුර පසලොස්වක සඳක් සෙංකඩගල මහනුවරට සිට නරඹන්නට මද කිපුණි ඇතෙකු බඳු කන්නසාමිට නොලැබුණි.ඇහැලේ පොල කුමාරිහාමි ඇතුලු දරුවන්ට රජු විසින් කළ සාහසික අපරාධය ඉවසුම් නොදුන් විට ඇහැලේපොල නිලමේ කොළඹ  බ්‍රිතාන්‍ය  ආණ්ඩුකාරවරයා හා එක්ව ඉංග්‍රීසි කිරීටයයට රට පාවා දීමට කටයුතු කරන ලද්දේය.ලක් සිහසුන හිස් විය.රටේ පාලනය නොරටුන් අතට ගියේය .ස්වාධීනත්වය,නැති,විය.මේ අප අදටත් විඳවන්නේ ඒ ශාපයෙන් ජනිත වූ අදමිටු පාලනයේ විපාකයයි..

    මහා,සංඝරත්නයේ විනය පිළිබඳ එදා රජුන්,ඉදිරියේ මහා නායක හිමියන් කල ප්‍රකාශය අදටත්,වලංගුය.වඩුගයාට නීතියක්,නැත,යුක්තියක් නොවීය.මහා,සංඝ,රත්නයට,ගෞරවයක් නොවීය.වර්තමානයේ ද සමස්ත,භික්ෂූන්,වහන්සේලාටම අවමන්,කරන අභූත,චෝදනා,නගන පාලනයක් තිබෙන බව ප්‍රත්‍යක්ෂ වෙමින් විපාක දෙමින් පවතී. මතුබුදුවන නාථ දෙවියන් විසින් ශාසනය රකින පාලකයෙකු පත් වන තුරුම ඒ ශාපය විපාකය ක්‍රියාත්මක වනු ඇති බව පැහැදිලිය.

මතුගම සෙනෙවිරුවන්

Friday, October 2, 2026

මහ බැංකු ගුල්ලා -විදී ගොවි බැංකු අල්ලා I M F බිල්ලා - සිටී පිටුපස සතුටු වෙල්ලා

 

                               

       ශ්‍රී  ලංකා මහ බැංකුව විසින් මේ වන විට වගා ආයෝජන සහිත ව්‍යාපාරික සමාගම් කීපයකම වත්කම් අත් හිටුවා තිබේ. මහා බැංකු පනත මගින් හෝ මුදල් ව්‍යාපාර පනත් මගින් මෙම ආයෝජන පිළිබඳ  නියාමනයක්  නොවීම මෙම අත්හිටුවීමට හේතු වශයෙන් දක්වා තිබේ.වැවිලි භෝග පළතුරු භෝග හෝ ධාන්‍ය භෝග මහා පරිමාණයෙන් වගා කිරීම උදෙසා ගොවීන් හවුල් කර ගැනීම අලුත් දෙයක් නොවේ.එසේම එම ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කොට ලාභයක් ලබා ගැනීමට දරණ උත්සාහයන් හි යම් කිසි නව්‍ය ලක්ෂණයන් දක්නට තිබෙන බව ප්‍රකට වෙයි.එහෙත් ඒ මගින් වින්දිතයන් නැතිනම් තම ආයෝජන නැති නාස්ති වී ගිය පුද්ගලයන් දක්නට නොවීම නිසා මෙම වත්කම් අත්හිටුවීම පීලිබඳ සමාජය ඉදිරියේ සංවාදයක් හටගෙන තිබේ. මහ බැංකු අධිපතිවරයා විසින් එල්ල කරන ලද එම ප්‍රහාරය කෙතරම් දුරකට සාධාරණද යන්න අප සළකා බැලිය යුතුය.මන්ද මහ පොළවට ආයෝජනය කිරීම අපේ රටේ ඉතිහාසයට ආවේණික සම්ප්‍රදායක් බැවිනි.එය වැරැද්දක් ලෙසට  නොව රටේ යහපතට යොදවා ගෙන තිබීම පිළිබඳ උදාහරණයන් රැසක් ඉදිරිපත් කළ හැකිය.

           මහ පොළවට ආයෝජනය කරනු ලබන්නේ නිෂ්පාදනයේ යෙදී සිටින ගොවියාය.ඒ ආයෝජනය නිසා ගොවියාට පොළියත් සමග අස්වැන්නක් ලැබේ.මිහි මව ඒ තරමට කාරුණිකය. කිසිදු ලෝභ කමක් නොමැතිව මහ පොළවේ දරුවන් පෝෂණය කරයි.මහ පොළවේ කොටස් කරුවන් ට බැංකුවක් ඇත. රජ රට පෙදෙසේ නම් එය වී බිස්සකි.කඳුකරයේ නම් අටුවකි.තෙත් කලාපයේ දී එය දුම මත්තේ තිබෙන බට පෙට්ටියකි. මේවා ධාන්‍ය බැංකු සහ බීජ බැංකු යනුවෙන් දෙකොටසකි. බීජ නැවත නැවත මහ පොළව වෙත ආයෝජනය වේ.ධාන්‍ය කොටසින් අවුරුද්ද පුරාවට ආහාර  ලබමින් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් ද පෝෂණය කරති.සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය තුළ පැවති මෙම ජීවන පිළීවෙත රටේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා කෙසේ උපයෝගී වූයේ දැයි පහදන්නට තිබෙන හොඳම නිදසුන වවුනියා දිස්ත්‍රික්කයේ තිබෙන තෝනිගල ශිලා ලේඛනයයි.ගොවීන් විසින් සිය ධාන්‍ය තොගය  බැංකුවක තැන්පත් කර අස්වැන්න පොලී කොට වර්ෂය අවසානයේ පැවති කඨින පුණ්‍ය මහෝත්සවයේ දී අරියවංශ දේශනාව කිරීමට පහසුකම් සැලසීම පිළිබඳ සිරිත එහි සටහන් වී ඇත. එසේම රට පුරා පැවති ප්‍රධාන රාජ මහා විහාරයකම විශාල වී අටුවක් පැවතිණ.ගොවීහු කන්නය අවසානයේ මේ අටු පුරුවති.ශක්තිමත් දැව වලින් නිර්මිත මේ අටු වල වී මිටි 700 ක් 800 ක් තැන්පත් කළ හැකිය. කොත්මලේ පුසුල්පිටියේ දැනට ඉතිරිව තිබෙන මෙවන් අටුවක තැන්පත් කළ ධාන්‍ය සියල්ල විහාරයේ පෝෂණයට පමණක් යෙදී නැත. ඒවායින් උපයන පොළිය සඳහා රජු විසින් තඹ කාසි හෝ රන් කාසි අච්චු ගස්වන ලදහ.

     ස්වයංපෝෂිත ආර්ථික රටාවක් තිබූ අතීතයේ ග්‍රාමීය ආර්ථිකය සහ වෙළෙඳ පළ හැසිරවීම සදහා භාවිතා කළ එම ක්‍රමවේදයන් අද ඉතිහාසයට පමණක් සීමා වී තිබේ.රජවරු කාසි අච්චු ගසා සාර්ථකව විදේශ වෙළදාමේ යෙදුණු ආකාරය සාකච්ඡා කරන්නේ නැත.ගමේ වී බිස්සේ සිට විහාර අටුව සමග තිබෙන ආර්ථික හැකියාව ගණනය කිරීමක් නැත. කෘෂීකාර්මික රටක වර්තමානය වන විට දළ ජාතික නිෂ්පාදනය සියයට නවයක දායකත්වයකට සීමා වී ඇතැයි කියති.එය ද කෙප්පයකි.කෘතිම ගණනය කිරීමකි මෙයට හේතුව තිහේ දශකයේ සිට මෙරට පාලන අධිකාරීන් විසින් වැළඳ ගත් කේනේසියානු ආර්ථික මොඩලයයි.ඉන් අනතුරුව.මේ කාලයේ ලංකාවේ විදේශ මුදල වූයේ රන් පවුමයි. මහ බැංකුව සතුව තිබූ රන් සංචිත මගින් ආනයන අපනයන ආර්ථිකය හැසිරවීම සිදු විය.1944 ජූලි මස  දී අත්සන් කරන ලද බ්‍රෙටන්වුඩ් සම්මුතියෙන් පසු ලොව නොයෙකුත් රටවලට ඒ එකඟතා ආදේශ කිරීමේ පියවර ඇරඹිණ. ඒ අනුව 1950 දී මෙම එකඟතාවය ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. එය 1950 අංක  20 දරණ ආඥා පනත යනුවෙන් හැඳින්විණ.මෙම පනත සම්මත වූවායින් පසුව මුදල් අමාත්‍යවරයා එහි බලධරයා බවට පත් විය. එහි 3(1) වගන්තිය අනුව රන්පවුම් වලින් සහ ලංකා රුපියල් වලින් ගනුදෙනු කිරිමේ හැකියාව මෙතෙක් ලැබුණද එහි පස් වන වගන්තිය අනුව රන් පවුම් සහ ඇමරිකානු ඩොලරයට මාරු වීම සඳහා අවකාශ ලබා දී තිබේ.  බ්‍රෙටන්වුඩ් සම්මේලනයේ දී ඇති කර ගත් එකඟතාවය අනුව අතීතයේ දී තඹ කාසියට සහ රන්කාසියට තිබුණු නෛසර්ගික වටිනාගකම අහෝසි කර තිබේ.ඒ වෙනුවට බ්‍රෙටන්වුඩ් එකඟතාවය මත ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තීරණය කිරීම සිදු වෙයි.මේ නිසා වෙළඳ පළ ආර්ථිකය ප්‍රසාරණය වී ඇත. ණය ගැනීම පුළුල් වී ඇත. ස්වයංපෝෂිත ආර්ථිකය හුදකලා වී තිබේ.දළ ජාතික නිෂ්පාදිතය බොරුවක් බවට පත් වී තිබේ.මහ බැංකුව හසුරුවන අධිපතීන්ට එය ප්‍රශ්ණයක් නොවේ.ඔවුහු අධික වැටුප් ලබමින් රටේ ආර්ථිකය සෘණ බවට පත් කරමින්  ලෝක බැංකු හාම්පුතුන් සතුටු කරති.         නූතනත්වය තුළ වෙළඳ පළ ආර්ථිකය ප්‍රසාරණය වන කල්හි දේශපාලන අධිකාරියද මහ බැංකුවද එහි එල්ලී අන්තවාදී ගමනක යෙදී සිටී.මහ බැංකු අධිපතිවරයා හෝ භාණ්ඩාරගාර ලේකම් වරයා සිය තීරණ දැනුම් දෙන්නේ යටත්විජිත ක්‍රමයේ ආර්ථික විද්‍යා ආභාෂයෙනි.ගොවියා සතු ඉඩම් ටික බහු ජාතික සමාගම් වලට විකුණා දමා එනම් මහ පොළව විකුණා දමා ණය ටික ගෙවීම ඔවුන්ගේ අභිමතයයි.ඒ වෙනුවට ගොවියා නගා සිටුවමින් ආර්ථිකයට දායක කර ගැනීමට  වුවමනාවක් නැත.නවසිය අනූව දශකයේ දී රජයක් වශයෙන් මේ පරස්පරය ජයගන්නට යම් සංකල්පයක් හඳුන්වාදෙනු ලැබිණ. එය හැඳින්වූයේ ගිවිසි ගොවිතැන යනුවෙනි.යම් කිසි භෝගයක් වගා කිරීම උදෙසා ගොවියා සමාගමක් සමග ගිවිස්නාවකට පැමිණෙයි.ඒ කාලයේ වගාවට අලුතින් එකතු වූ නොයෙකුත් භෝග මෙම ගිවිස්නාවට ඇතූළත් වූහ.ගොවියා ගේ අදායම නිශ්චිත වූ අතර සමාගම වෙළඳ පළ පංගුව දරමින් ඩොලර් ඉපයීම සිදු කළහ.යටත් විජිත වැවිලි ආර්ථික භෝගය වූ තේ සඳහා වුවද එදා සිටම සාර්ථක ගිවිස්නාවක් ඇත. එනම් සියයට හැට අටක් දළු හිමියාටද සියයට තිස් දෙකක් තේ නිෂ්පාදනය කරන්නාටද ලැබෙන ගිවිස්නාවයි. එය අදටත් ක්‍රියාත්මක වේ.

        ලංකාවට අලුතෙන් හඳුන්වා දෙනු ලැබූ මෙම සංකල්පය රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව භූමියේ වාසිය සලසා ගනිමින් මෑත දශක දෙක තුළ සාර්ථකව ක්‍රියාත්මක වී ඇත. අඩුපාඩු හඳුනාගනිමින් දුර්වලතා මග හැර ගනිමින් සමාගම් කීපයක් විසින් ඉදිරියට ගෙනැවිත් ඇත.මෑත කාලයේ දී සමාගම් කීපයක් TJC අඹ¸ කිලෝ පේර¸ අන්නාසි¸ ලෙමන් වැනි පළතුරු භෝග වගා කිරීම පීණිස ගොවින් සමග ගිවිසුමකට බැඳී සිටිති. එහිදී ගොවියා ද ජනතාව ද සමාගම වෙත යම් මුදලක් ආයෝජනය කරයි. ගොවීහු සමාගමේ කොටස් කරුවන් වෙති.ගොවියා භූමියේ කොටස සාර්ථකව ඉටු කරන අතර සමාගම වෙළෙඳ පලේ කොටසේ සිය වගකීම ඉටු කරයි.අනතුරුව ගොවියාට ද ආයෝජකයාට ද ඉසුරුමත් පොළයක් ලැබේ.දේශිය වෙළඳ පළ පමණක් නොව අපනයනය ඉලක්ක කොටද මේ නිෂ්පාදන ඉදිරියට ගොස් තිබේ.මෙය අතීත සාම්ප්‍රදායික ගොවි බැංකු ක්‍රමයේ නිර්මාණාත්මක නූතන ස්වරූපයයි.බ්‍රෙටන්වුඩ් එකඟතාවයන් මත ලෝක බැංකු  රාමුවක හිරවී සිටින රටේ ආර්ථිකය ඉන් ගලවා ප්‍රසාරණය කිරීම ද  කෘෂිකර්මයේ දායකත්වය පුළුල් කිරීම උදෙසා  ද සකස් කළ සාර්ථක සංකල්පයක් ලෙසට එය හඳුන්වා දිය හැකිය.. ඔස්ට්‍රේලියාව වැනි රටවල මෙම වැවිලි ව්‍යාපාර සංකල්පය ඉකා මැනවින් ක්‍රියාමක වන අතර ඒ රටවල තිබෙන  මහ බැංකු එම ව්‍යාපාර කඩාකප්පල් නොකරති.

        ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැටවෙන මහ බැංකුව රජයෙන් ස්වාධීන වුවත් ජාත්‍යන්තරයට බැඳී පවති.මහ බැංකු අධිපතිවරයා එහි වැඩ කළ පඩි ලැබූ පුද්ගලයෙකි. ඔහුට ස්වාධීනත්වයක් නැත. පුද්ගල වශයෙන් පමණක් නොව මතවාදීව ද ස්වාධිනත්වයක් නැත.පසුගිය දා සිනමන් ග්‍රෑන්ඩ් හි  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු දක්වා තිබූ දත්ත මෙහිදී වැදගත් වෙයි. 2024 දී කෘෂීකර්ම නිෂ්පාදන අපනයනයෙන් ලැබූ විදේශ විනිමය 2025 වන විට ප්‍රසාරණය වී ඇති බව ඔහු ප්‍රකාශ කර තිබුණි. එහෙත් එය කුමන අන්දමින් සිදු වුණි දැයි ඔහු පැහැදිලි කරන්නේ නැක. සැබවින්ම එය සිදු වන්නට ඇත්තේ වැවිලි ව්‍යාපාර ස්වාධීනව ඉදිරියට පැමිණීම නිසයි.  I M F   එකෙන් ණය රැගෙන ඔවුන්ගේ කොන්දේසි මත ඩොරලරයද එයට සාපේක්ෂකව රුපියල ද  පවත්වා ගෙන යෑම ඇරුණු කොට වෙන රාජකාරියක් මහ බැංකු අධිපතිවරයාට නැත. ලෝක බැංකුවේ න්‍යාය පත්‍රය අභිබවා  යන වැඩ පිළිවෙලක් එනම් ආර්ථික ව්‍යුහයක් ගොඩ නැගෙන විටම එය කඩාකප්පල් කිරීමට කලබල වන්නේ ඒ නිසයි. ගොවි ආයෝජන තහනම් කිරීම බරපතල කරුණකි. එක් අතකින් සිංහල ව්‍යාපාර කඩා වැට්ටවීමකි.කළ යුතු වන්නේ වැවිලි ව්‍යාපාර නියාමනයට කොමිසමක් හෝ අධිකාරියක් පිහිටුවීමට අණ පනත් ගෙන ඒමයි. ඒ මගින් ගොවි ආර්ථිකය ද වෙළඳ පළ පංගුවද ප්‍රසාරණය වනවා නිසැකය.එසේ නොමැති ප්‍රයත්නයන් සියල්ල  ආර්ථික ඝාතන ක්‍රියාවලියක් ලෙසට හඳුන්වා දිය හැකිය.

මතුගම සෙනෙවිරුවන්