පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, December 18, 2018

යහපාලන හෙඩ්මාස්ටර් සහ තානාපති පාස්ටර්


                                     
                දින පණහක කෙටි ආණ්ඩුවක් අවසන් කොට දැන් තවත් නව ආණ්ඩුවක් පත්ව තිබේ. මේ කාලය තුළ රටේ තිබූ අස්ථාවර බව කාහටත් ප්‍රශ්නයක් විය. නමුත් ආණ්ඩුවක අවිනිශ්චිත බව තිබුණද රාජ්‍යයක් තිබෙන බව ජනතාව අවබෝධ කරගත්හ.  එනම් රජයේ නිළධාරීන් සිය රාජකාරි කටයුතු වල අඛණ්ඩව යෙදීමෙන් රටේ වියවුල් ඇති නොවීමට මග පාදනු ලැබීය.පාර්ලිමේන්තු සම්ප්‍රදාය මගින් රට කාබාසිනියා කරන ආකාරය පළමු වරට සංවාදයට ලක් විය.කෙසේ වෙතත් දැන් පත්ව පැමිණි නව රජයේ අගමැති දිව්රුම් දෙන අවස්ථාවේදී ජනපතිවරයා යම් ඓතිහාසික ප්‍රකාශකනයක යෙදුණි.  එවැනි ප්‍රකාශනයක යෙදීමට මේ යුගයේ සිටි කිසිම ජනපතිවරයෙකු සමත් නොවූ බව අවංකව කිව යුතුය. ව්‍යවස්ථාදායකය විධාකය සහ අධිකරණ යන බල තුලනය යටතේ ඇති වූ ගැටළුව මැනවින් විග්‍රහ කොට සැකසුණු එම ප්‍රකශනයෙන් ජනතාවට හංගන්නට දෙයක් තිබුණේ නැත. පක්ෂ විපක්ෂ සියළු දෙනාගේම හෙලුව ඉන් ප්‍රදර්ශනය විය. නිදහස ලැබී වසර හැත්තෑවක් ඉක්ම ගොස තිබෙන මේ යුගයේ රට ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝග මෙනවාදැයි මෙම කතාවෙන් හොඳින් ගම්‍ය වේ යැයි සිතමි. සිංහල ජනතාව දෙකට බෙදී සිටීමත් හරි හෝ වැරදි කුමක් වුවත් පක්ෂයේ මතය පිළිගෙන කටයුතු කිරීමත් නිසා රටේ සුලුතරය බොරදියේ මාලු බාන බව ජනතාවට ඒත්තු ගොස් ඇත. මේ සඳහා එකම විකල්පය මහ මැතිවරණය බවට ජනපතිවරයා නැවතත් ඒත්තු ගන්වා තිබේ. මන්ත්‍රී වරුන් 225 දෙනාගේ බලයට හෝ අධිකරණ විනිසුරුවන් ගේ ප්‍රමාණයට වඩා ජනතාව විසින් දෙන තීරණය වැදගත් බව මෙහිදී දැඩිව ඒත්තු ගැන්විණ. නමුත් පාර්ලිමේන්තු ක්‍රමය මහ මැතිවරණය වැනි දෙයකින් පමණක් මෙම අභියෝග වලට මුහුණ දීමට හැකි වේ දැයි යම් ප්‍රශ්ණයක් මතුව තිබේ. පසු ගිය කාලයේ දී පාර්ලිමේන්තුව සහ අධිකරණය හැසිරුණු ආකාරයත් විදේශ තානාපතිවරුන් හැසිරුණු ආකාරයත් දෙස බලන කල්හි රටේ ස්වාධීනත්වය ගැන බරපතල ලෙසට කල්පනා කරලීමේ අවස්ථාව දැන් පැමිණ තිබෙන බව පෙන්වා දිය යුතුය.
          යහපාලන රජය පත්ව වසර තුනහමාරක් ගත වූ අවස්ථාව වන විට එම රජය කුමක්දැයි බහුතර ජනතාව හොඳින් දැන ගත්හ.එම නිසා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව කෙරෙහි වූ අප්‍රසාදය විශාල වශයෙන් පළ කරන්නට ඔවුන් නොපැකිලුණහ. මේ වාසිය උකහා ගනු ලැබූයේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයයි. ඔවුහු ද පසුගිය කාලයේ සටන් වල නිමග්න ව සිටියද යහපාලන රජයේ යම් තීරණාත්මක වැරදි තීරණයන් හිදී එක්කෝ නිශ්ශබ්දව සිටියහ. නැතහොත් සහාය දුන්හ. රණවිරුවන්ට විරුද්ධව ජාත්‍යන්තර පනත් සම්මත කරන කල්හි වැඩි බරක් නොයොදා නිහඩව සිටීම නිසා විශාල හානියක් අද සිදු වී තිබේ. දහනව වන ව්‍යවස්ථා සංශෝධන සිදු කරන අවස්ථාවේ දී සරත් වීරසේකර මහතා හැර අනෙක් සියළු දෙනම එයට පක්ෂව චන්දය භාවිතා කළහ. ස්වාධීන කොමිෂන් සභා තොරතුරු දැන ගැනීමේ පනත ආදී කරුණු වල සාධාරණත්වය උදෙසා මේ කැමැත්ත ප්‍රකාශ කළ බව ඒත්තු ගැන්විණ. එහෙත් ඒ එල්ලය පිට දමා 1978 ව්‍යවස්ථාව විකෘති කරලීමට ගත් උත්සාහය පරාජය කිරීමට ඔවුන්ට නොහැකි විය. ජනමත විචාරණයකට ගොසින් කළ යුතු සංශෝධන පවා ඇති කරන්නට ගත් වෑයම සහ ආණ්ඩුවේ ප්‍රෝඩාතන්ත්‍රවාදය අද වන විට කවුරුත් තේරුම්  ඇත.මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය විශාල උගුලක පැටළුණ බව පැහැදිලිය . අද වන විට ව්‍යවස්ථා දායක සභාවේ තත්ත්වයත් පළාත් සභා සීමා නීරණ වල විකෘතියක්ද ඇති බව පැවසීමට ඔවුන්ට සිදුව තිබේ. අගමැති වරයා මුළු පාර්ලිමෙන්තුවම එක මිටට ගෙන නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට අර අදින කල්හි ඒ උගුලටද ඔවුන් අසුවුණ හැටි අපට හොඳ හැටි මතකය. මේ නිසා ඔවුන් කළ වැරදි බූමරංගයක් ලෙසට ඔවුන් කරා පැමිණීම ගැන පුදුමය පළ කළ යුතු නැත.
         ජනාධිපතිවරයා වර්තමාන අගමැතිවරයා ඉදිරියේ කළ සමස්ත ප්‍රකාශයේ හරය නම්  යහපාලන සංකල්ප අමු අමුවේ උල්ලංඝණය කරමින් හිතුවක් කාර ලෙසට කටයුතු කිරීමට අගමැති උත්සාහ කළ බවයි.. ඇතැම් විට ජනපතිවරයාගේ බලතලද භාවිතා කළ බව පැවසීම මුසාවක් නොවේ. එසේම මේ රටේ තිබෙන ශක්තිමත් සංස්කෘතික සම්ප්‍රදායන්ට පහර ගැසීමට චේතනාන්විතව කළ සියළු දේ ජනපතිවරයා හොඳින් දැන සිටි බව කතාවෙන් පැහැදිලි විය.එහෙත් ඔහු මෙම කතාවේ දී නොකියන්ට පරිස්සම් වූ එක කාරණයක් විය. එය නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවසථාවක් ඉදිරිපත් කොට උතුර සහ නැගෙනහිරට ස්වයංපාලනයක් ලබා දීමට කරන ලද වෑයමයි. මෙම කාරණය පසුගිය වසර තුන පුරාවටම ලංකාවේ ජාතික බලවේග මගින් ජනතාව ඉදිරියේ සාකච්ඡාවට බඳුන් කළහ. එම ව්‍යවස්ථා යෝජනා  මහජන අදහස් වාර්තා අතුරු කමිටු වාර්තා සියල්ල විශාලේෂණයකළ ඔවුහු ඉතා පැහැදිලිව රට ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ   විදේශ න්‍යාය පත්‍රයට සහ දෙමළ ඩයස්පෝරාවේ පදයට ආණ්ඩුව නටන බවයි. . දෙමළ ඩයම්පොරාව විසින් මුදුල් දී මිළට ගන්නා ලද මෙරට මන්ත්‍රී වරු නිළධාරීන් ගැන මේ කාලයේ දී හොඳින් හොළිදරව් විය.සිංගප්පූරුවට ගොසින් රෝ සංවිධානයෙන් මුදල් ගත ඇමැතිවරු ගැනද සවිස්තර වාර්තා තවමත් හොළිදරව් නොවී පවතී. මංගල සමරවීර මහතා විසින් සම එකඟතාවය දක්වා අත්සන් කළ ජිනීවා 30/1 යෝජනාව නිසා මෙරට රණ විරුවන්ට එරෙහිව යුධ අපරාධ ගොනු කිරීමට විශාල ඉඩකඩක් විවිර විය. රණ විරුවන් සිර ගත කෙරුණි. උතුර සහ නැගෙනහිර තිබෙන හමුදා කඳවුරු අනවශ්‍ය ආකාරයට ඉවත් කෙරුණි. පුරාවිද්‍යා සිද්ධස්ථාන ඩෝසර කෙරුණි. උතුර නැගෙනහිර ප්‍රදේශ වල අවතැන් වූ සිංහලයන්ට ඉඩම් නොලැබුණි. මේ සියළ කරුණු යහපාලන හෙඩ්මාස්ටර් නොදන්නවා නොවේ. ඔහු ඒවාට නියඬව සිටි බවද සියල්ල දැන ගත්තේ පත්තරෙන් බවටද ප්‍රකාශ වුණි.විජයකලා වැනි මන්ත්‍රීවරියන් හුරතල් කිරීම දක්වා මෙම නාඩගම දිග හැරුණි.එවැනි තත්ත්වයක් දක්වා යහපාලන සංහිඳියාව රෝල් වී ගියද මේ අතේ රෝල වර්තමාන අගමැතිවරයාට එල්ල කරන කාල බෝම්මබයක් බවට පත් කරන්නට ජනපතිවරයා උත්සාහ ගත් බව පෙනේ.
      වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ චේතනාන්විතවම සිංහල සංස්කෘතියට වෛරකරන්නෙකි. ඔහු දොන් ජුවන් කෙනෙකු බවට චම්පික ඇමතිවරයාගෙන්ම වරක් බෞතීස්ම ලැබූවෙකි. එසේම ඔහු ඔස්ලෝ සම්මුතිය පිළිගන්නෙකි. ඒ වෙනුවෙන් වැඩ කරන්නෙකි. ඔහු ජනතාවට එකක් කියා සංහිඳියාව උදෙසා වෙන දෙයක් කරන පුද්ගලයෙකු නොවේ. තානාපතිවරුන් විදේශ ඇමැති වරුන් ඔහු පසු පස්සේ පැමිණ ඔහුට අත දෙන්නේ පස්සෙන් සිටින්නේ බටහිරයන්ට අවශ්‍ය දේ ඔහු කරන බැවිනි. එහි විවාදයක් නැත. එහෙත් ජනපතිවරයා සිය සැර වදන් වලින් නොකියන දේ නම් මේ රට බෙදීම පිළිබඳ තිබෙන සැබෑ සත්‍යයයි. පසුගියදා ජාතික සංවිධාන කීපයක නියෝජිතයන් ඔහු හමු වීමට ගොස් ඇති අවස්ථාවේදී මෙම ප්‍රශ්ණය ඉස්මතු කරණු ලැබිණ. එහිදී ඔහු පවසා ඇත්තේ දෙමළ ජනතාවට යම් ප්‍රශ්ණයක් ඇති බැවින් යමක් ඔවුන්ට ලැබිය යුතු බවයි. එසේම පසුගිය කාලය පුරාවටම දෙමළ ජනතාවට සිංහලයන් ගේ හිරිහැර සිදු වූ බවද ඔහු පවසා තිබේ. මේවා අමූලික මුසාවන්ය. උතුර නැගනහිර සැබෑ ඉතිහාසය ගැන ඇති වූ සංවාදයට දැන් දශක තුනක් ගත්ව තිබේ. දෙමළ අභිලාශය ඊලාම් සංකල්ප පට්ට ගසා තිබේ. එසේ තිබියදීත් බොරු සංහිඳියාව වෙනුවෙන් දෙමළ අභිලාශ කතා කරන්නා වංචනිකයෙකි. මේ ප්‍රකාශ තුළ යම් දෙශපාලන අවශ්‍යතා තිබුණද ඒ මගින් ජාතික අභිලාශ දුර්වල කරණු නොහේ. එම නිසා අදට අවශ්‍යව තිබෙන්නේ ජාතික නායකයෙකු මිස දේශපාලන පක්ෂ නායකයෙකු( හෙඩ් මාස්ටර් කෙනෙකු) නොවන බව ජනතාව ඉදිරියේ පසක් කළ යුතුය. . එම තත්ත්වය මත දේශපාලන හෙඩ්මාස්ටර් වරයෙකු වේවැල අතට ගෙන  කළ ප්‍රකාශය ගැන අප එතරම් උදම් ඇනිය යුතු නොවේ. සිංහලයා පරාජයට පත් වන්නේ උගුල් වලට වැටීමෙනි. එසේත් නැතිනම් නිදා වැටීමෙනි. ඉදිරියේදී හෙඩ් මාස්ටර් යටතේ තානාපති පාස්ටර් යම් තරමකින් දමනය වනු ඇත. එහෙත් නූතන අරිට්ට කී වෙණ්ඩු ගේ දෙමළ සන්ධානයත් රතු අලි පැටව් නාමධාරී ලිබරල් පැංචන් රැළත් දත් විලිස්සාගෙන උගුල් අදින්නට මාන බලමින් සිටින බව තේරුම් ගත යුතුය.එහිදී මාස්ටර් සහ පාස්ටර් ගේ අඩු තැන් මැනවින් වටහා ගෙන කටයුතු නොකළහොත් ජාතික බලවේග නැවතත් පරාජයට පත් වනවා නිසැකය..


Wednesday, December 5, 2018

ඌව වෙල්ලස්ස සටනේ පාඩම් මගින් මේ පෙරළිය කියැවිය හැකිද


                         
        ඉංග්‍රීසීන් විසින් පිහිටුවන ලද අධිකරණ පද්ධතිය නමැති ගහලයා භාවිතා කොට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති ශීර්ෂය ඡේදනය කර ඇත. කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි ගත් මෙම අධිකරණ තීරණය රටේ ඉරණම කෙරෙහි බරපතල අන්දමින් විශාල අභියෝගයක් එල්ල කොට තිබේ.එක් පැත්තකින් රට දේශපාලන වශයෙන් අස්ථාවරය. තවත් පැත්තකින් ආර්ථික වශයෙන් බිංදුවට වැටී තිබේ.අනෙක් පැත්තකින් රට බෙදීමේ බලවේග සියල්ල සිය සූක්ෂම ඥානයෙන් එක මිටට ගන්නට සුමන්තිරන් නම් ඒජන්තයා සමත් ව සිටී. අහෝ අපගේ ලංකා මාතාව අතිශයින් දුක් වන කාලයක් නැවතත් උදාවූයේ කෙලෙසකද.මේ ගැන තේරුම් ගන්නට තිබෙන හොඳම ඉතිහාස සාක්ෂිය 1818 ජාතික විමුක්ති අරගලයයි.අප රටේ දේශපාලන අධිකාරිය වසර දෙසීයක් තිස්සේ එම අරගලයේ සුවිශේෂී සිදුවීම් අධ්‍යනය නොකර අන්ධයන් සේ කටයුතු කිරීමේ විපාක අපගේ කරමත කඩා වැටී තිබෙනවා නොවේද.
       එක් දහස් අටසිය දාහත වර්ෂයේ  දී ඉංග්‍රීසීන්ට විරුද්ධව සිංහලයන් විසින් ආරම්බ කරන ලද ජාතික විමුක්ති   අරගලයට හේතු වූයේ 1815 වසරේදී අත්සන් කරන ලද සිංහලේ බ්‍රිතාන්‍ය ගිවිසුම ඉංග්‍රීසීන් විසින් ඒකපාක්ෂිකව කඩ කිරීමයි.වඩුග රජෙකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් ගේ ක්‍රෑර පාලනයට එරෙහිව නැගී සිටි ඇහැලේපොළ නිලමේ ඉංග්‍රීසින් වෙතට පැන ගොස් කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසට උඩරට ස්වාධීන කාලපය තමන් සන්තක කර ගැනීමට ඉංග්‍රීසීන් විවිධ කුමන්ත්‍රණ දියත් කළහ. සපරගමුව භාරව පැමිණි ඇහැලේපොළ මහ අදිකාරම ප්‍රබල රදළ පරපුරකින් පැවත එන එසේම සුවිශේෂී   ඥාති  බලයක් ‍ගොඩනගා ගෙන සිටියෙකි. රජ වාසලේ පළමුවන අධිකාරම වූ පිළිමතලව්වේ මෙන්ම දෙවන අධිකාරම වූ ඇහැලේපොළද රජුට යටි සිතින් ද්වේශ කලේය.ශ්‍රී වික්‍රම රාජසිංහ නොහොත් කන්නසාමි ගේ රාජ්‍ය පාලනය ලංකාවේ අතිශයින්ම තීරණාත්මක අවදියක් බවට පත් වන්නේ පිළිමතලව්වේ මහ අදිකාරම් විසින් මේ රජු සහ පාලනය තම සියතට ගැනීමේ කූඨ උපක්‍රමයක යෙදී සිටි බැවින්ය.තරුණ කන්නසාමි මේ බැව් මුලින් දැන නොසිටියද පසුව සිය ආධිපත්‍ය තහවුරු කරගැනීම පිණිස රදළවරුන් ගේ බලය අඩු කරලීමට පියවර ගත්තේය.වඩුග පාලනය පිළබඳව නොසතුටෙන් සිටි භික්ෂූන් වහන්සේලා මේ අවදියේදී කළ කුමන්ත්‍රණ ගැනද ඉතිහාසයේ සඳහන්ය. සංඝරාජ හිමියන් භික්ෂු සමාජය කෙරෙහි ඇති කරන ලද බලපෑම නිසා ඒ වන විට උපසම්පදා භික්ෂූන් රාශියක් ලංකාවේ තැන තැන ශක්තිමත් වෙමින් සිටියහ. රජු මේ බැව් දුටුවේය. සිය වඩුග  නෑ පිරිස් වලට රජ වාසලේ ඉහළතනතුරු ප්‍රධානය කළ ඔහු ඉන්දියාවේදී අහිමි වූ නායක්කර් පාලනය ලංකාවේ පිහිටුවීමට අවශ්‍ය පසුබිම සකසමින් සිටියේය.
                 ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහාසනප්‍රාප්ත වූයේ 1798 දීය. ඒ වන විට රජ වාසල අරක්ගෙන සිටි නායක්කර් වඩුගයන් ජාතික ආර්ථිකයේ කොඳු නාරටිය අත්පත් කර ගෙන උන්හ.ආනයන අපනයන වෙළෙඳාම සහමුලින්ම වඩුගයන් කීප දෙනෙකු අතර විය. රදළවරුන්ට අල්ලස් දීමෙන්ද වැදගත් ඨානාන්තර පිරිනැමීමෙන්ද තම අණසකට ගැනීම නිසා සිංහල නිලමේලා බලවත් වුවද කළ හැකි කිසි දෙයක් නොවීය. ආන්ද්‍ර බස රජ වාසලේ ප්‍රධාන බස බවට පත් විය. සිංහල නිළමේලා වුවද සිය මුද්‍රාව තැබූවේ ආන්ද්‍ර අක්ෂර වලිනි.පිළමතලව්වේ අධිකාරම විසින් කන්නසාමි සිංහාසනයේ තැබෙව්වේ මේ තර්ජනයන්ට මුහුණ දීම පිණිසය. තමන්ට ගැති රූකඩ රජෙකු මගින් සිය අභිප්‍රායන් ඉටු කර ගැනීම එහි බලාපොරොත්තුව විය. ඒ සඳහා ඉංග්‍රීසීන්ගේ අනුග්‍රහය ලබා ගැනීමට ඔහු ක්‍රියාකලේ 1800 දී පමණය. පිලිමතලව්වේ ගේ අනුග්‍රය ගැන සැලකිලිමත් වූ ඉංග්‍රීසීහු කලින් සකසන ලද ගිවිසුමක් ද අතැතිව කනකමය මංජුසාවක් සහ අශ්ව රථයක් ඇතුළු පඬුරු රැගෙන 1800 මාර්තු 2 දා කොළඹන් පිටත් විය. ගිවිසුම මෙසේය. රජු ගේ ආරක්ෂාව පිණිස කොළඹ ආණ්ඩුකාරයාගේ මෙහෙයවීමෙන් හත්සීයක පමණ ඉංග්‍රීසි හමුදාවක් උඩරට නැවැත්වීම. මේ පිරිසගේ වියදම සිංහලගේ රජු විසින් දැරිය යුතුවීම.අවශ්‍යතාව මත  ඉදිරියේ දී එම සෙබළු ප්‍රමාණය වැඩිකිරීම ආදි වශයෙන් විය. වගන්ති නවයකින් සමන්විත මේ ගිවිසුමට රජු එකඟ නොවීය. මේ ගිවිසුම රැගෙන උඩරටට පැමිණි සෙන්පතියා වූයේ මැක්ඩොවල්ය.  මේ ගිවිසුම අසාර්ථක වූවායින්  පසු 1803 දී නෝර්ත් අණුඩුකාරයාගේ ඇණවීමෙන් මැක්ඩොවල් උඩරට ආක්‍රමණය කලේය. සෙන්කඩගලට පැමිණි විට ශ්‍රී වික්‍රම හෝ කිසිවෙක් එහි නොවූයෙන් මුත්තුසාමි එහි රජ කොට ගිවිසුම පරිදි ආරක්ෂාව සැපයීමට ඉංග්‍රීසි ආණ්ඩුව එකඟවිය. ඒ සමගම කොළඹ සිට ත්‍රිකුණාමලය තෙක් මාවතක් ඉඳිකරනු වස් බිම් තීරුවක් දීමටද සත් කෝරළයේ පලනය ඉංග්‍රීසීන් වෙත පවරා දීමද කළ යුතු විය. නමුත් පිලිමතලව්වේගේ හමුදාව නුවරට පැමිණි ඉංග්‍රීසින් පළවා හැරියෙන් ගිවිසුම ඵල රහිත විය.
         මුත්තුසාමි සමග පසුබසිමින් සිටි මැක්ඩොවල් සෙනවි මේ අතරවාරයේ පිලිමතලව්වේ සමග ගිවිසුමක් ඇතිකර ගත්තේය. රජු නෙරපා හැර පිළමතලව්වේට රට භාරවන පරිදි මේ ගිවිසුම සකස් විය.  මීගස්තැන්නේ අදිකාරමත්  මුත්තුසාමිත් මැක්ඩොවල් සෙනවියාත්  මේ ගිවිසුමට අත්සන් කළ බව පැවසේ. මේ තුන් හවුල් ගිවිසුම අනුව කලින් මුත්තුසාමි සමග වූ එකඟතා අළුත්කර ගන්නටත් මුත්තුසාමි වෙනුවෙන්  උතුම් වූ කුමාරයා යන නමින් සිංහලේරටවල් පාලනය පිලිමතලව්වේට ලබාදීමටත් ඉංග්‍රීසීන් ගෙන් පතාග 30000 ක් ලබා යාපනයේ සිට රජ කිරීමටත් එකඟතාවය විය. මෙම ගිවිසුමෙන් පසු හමුදා භට පිරිසක් මහනුවර නවත්වා මැක්ඩොවල් කොළඹ බලා පිටත් විය. එහෙත් සැඟවී සිට ශ්‍රී වික්‍රම රජුගේ දසදහසකට වැඩිතර සෙනග ඉංග්‍රීසීන් වටලා ඔවුන් සමූලඝාතනය කොට මහනුවර යළි අල්වාගෙන පිළමතලව්වේ සහ මුත්තුසාමි ඇතුළු රාජ ද්‍රෝහීනට දඬුවම් ලබා දුන්නේය.
                 ඇහැලේපොළ  මහ අධිකාරම සපරගමුවට යැවෙන්නේ ඔහුට විරුද්ධව රජුට ගතු කියූ පිලමතලව්වේ ගේ මෙහෙයවීමෙනි.මේ අතරවාරයේ අධිකාරම් නිලයට තෙවැන්නෙකුද පත් විය. ඒ මොල්ලිගොඩයි.රජුගේ අරමුණ වූයේ රදළයන් ගේ බලය ක්‍රමයෙන් අඩු කරලීම බව පෙනේ.කෙසේ වුවත් සපරගමුවට වන් මහ නිලමේ එහි වැව් අමුණු සදවා වෙල් අස්වද්දවා රජයට ලැබෙන ආදායම තර කලෙන් රාජ ප්‍රසාදයද ජනතා ප්‍රසාදයද දිනා ගත්තේය. මෙයට ඉරිසියා කළ මහනුවර නිලමේලා ඇහැලේපොළට විරුද්ධවරජුට ගතු කීහ. රජු විසින් පිළමතලව්වේ මැරවූයේ 1811 වර්ෂයේ මාර්තු 26 වනදාය. ඉන්පසු මහ අදිකාරම් ධුරයට පත්වූයේ ඇහැලේපොළය. නමුත් පෙර කී කුමන්ත්‍රණ මධ්‍යයේ  සපරගමුව කරමින් සිටි ඇහැලේපොළ බිඳ වීමට මොල්ලිගොඩ විසින් එවන ලද ලිපියක් හේතු වී යැයි පැවසේ. රජු ඇහැලේපොළ කැඳවූයේ වෙනත් කරුණකටය. එහෙත්  වෙනත් ලිපියක් මගින් ඔහුට දැනුම් දී තිබුණේ රජු උදහස් වී ඇති බවත් නුවර නොපැමිණිය යුතු බවත්ය. එම නිසා රජු කෝප විය. ඇහැලේපොළ ඉංග්‍රීසීන් වෙතට පැණ යන්නේ යැයි රජුට කේලාම් බස් පැවසිණ. මේ වන විටද ජෝන් ඩොයිලි නම් ඔත්තුකරුවා සමග ඇහැලේපොළ සම්බන්ධකම් පවත්වමින් සිටියේය.  කල හැකි දෙයක් නොවූ කළ කළුගඟදිගේ අඟුලක් මගින් පහළට ආ ඇහැලේපොළ පාණදුරයට පැමිණ ඉංග්‍රීසි හමුදාවේ සහායෙන් කොළඹ කොටුවට සැපත් වී ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා සම්මුඛ විය. කන්නසාමි පැන්නවීමට ඉංග්‍රීසින් සමග ඇති කර ගත් ගිවිසුම ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ එතැන් සිටයි.
        වඩුග රජෙකු වූ ශ්‍රී වික්‍රම සිංහල සම්ප්‍රදාය ඉක්මවා දශරාජ ධර්මය කඩකොට රට පාලනය කළ තැනැත්තෙකි. සියවස් ගණනාවක් තිස්සේ රාජඅභිෂේකයේදී ලක් රජවරු නාථ දෙවියන් ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ දැහැමි පාලකයෙක් වන බවට සපථ කරමින්ය. නමුත් උද්දච්ච පුද්ගලයෙකු වූ ශ්‍රී වික්‍රම රාජ සිංහ නාථ දේවල භූමියෙන් නාථ දේවාලය ඉවත් කිරීමට පවා සැලසුම් කලේය. ඒ යුගයේදී නාථ දෙවියන් වෙනුවට පිටියේ දෙවියන් බලවත්ව සිටියේ යයි සැලකෙන්නේඒ නිසාය. කෙසේ වෙතත් එක දිගට රදළවරු සමග ඇති වූ විරසකයන් නිසා 1815 වර්ෂයට ආසන්න කාල වකවානුවේදී ඝාතන රැසක් සිදු විය. අවසාන වශයෙන් ඇහැලේ පෙළ නිළමේ ගේ භාර්යාව කුමාරිහාමි සහ දරුවන් විනාශ කිරීමට අණදී ඒය මහත් අභිරුචියෙන් බලා සිටි ආකාරය ඉතිහාසයේ සඳහන්ය. මෙයට හේතුව නම් ජෝන් ඩොයිලි නම් ඔත්තුකරුවා උඩරට රාජධානිය සියතට ගැනීම පිණිස කළ මෙහෙයුමයි. මෙහිදී රදළවරුන්ට හා රජුට උසස් වර්ගයේ මධ්‍යසාර ගෙන්වා පිළිගන්වා සිහිවිකල් තත්ත්වයට පත් කළ ආකාරය සඳහන්ය.මහාචාර්ය තෙන්නකෝන් වමලානන්ද මහතා ජෝන් ඩොයිලි ගැන සඳහන් කරන්නේ මෙසේය.
       ඩොයිලි අවික්ෂප්තව සන්සුන්ව හා ජයග්‍රහණය පිළිබඳව අධිෂ්ඨානයෙන් යුතුව තම උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන වේදිකාවක් නිර්මාණය කළේය. මේ දේශපාලන වේදිකාවේ ප්‍රධාන නළුවෝ නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රොබට් බ්‍රවුන්රිග් ඇහැලේපොල මහ නිළමේ මොල්ලිගොඩ මහ නිළමේ ජේම්ස් සදර්ලන්ඩ් එඩ්වඩ් ගිෆර්ඩ් කොබ්බෑකඩුව මල්වත්තේ මහානායක හිමියන් අස්ගිරි විහාරයේ යටවත්තේ මහානායක හිමියන් දුනුවිල දිසාවේ කපුලියද්දේ දෙවෙනි අදිකාරම් තම්බි මුදියන්සේ මැලේ මුහන්දිරම් ඉලංගකෝන් මුදලි සේරම් මුදලි හා තල්ගම උන්නාන්සේ වූහ. මේ හැම දෙන ඩොයිලි ගැසූ තාලයට නැටූහ. මේ සියලු දෙනාගේ නිසැක භක්තිය හා විශ්වාසය දිනාගත් අතරම ඔවුන්ගේ ප්‍රකාශනයන්හි සත්‍යාසත්‍ය භාවය වගවිභාගකරන ක්‍රමයද ඩොයිලි සතු විය.
         ඩොයිල් අවසාන වශයෙන් තම අභිමතාර්ථ සාධනයෙහි යොදා ගත් ඇහැලේපොළ මහ නිලමේ දක්ෂ ප්‍රාදේශීය පාලකයෙක් වශයෙන් අවංකව රජුට සේවය කළ තැනැත්තෙකි. එහෙත් අවසාන කාලයේදී රදළවරුන්ගේ උසිගැන්වීම් මත රජු ඔහු හා විරසක වුණි. ඉන්පසු ඔහුට ඕනෑ වූයේ රජු පාවා දී ඉංග්‍රීසින් ගේ සහායෙන් සිහසුන් ගැනීමයි. මෙහි මුල් අදියර සාර්ථක ලෙස ක්‍රියාත්මක වුවද ඉංග්‍රීසින් සිය අභිලාෂය මත සිංහල ජාතික බලවේගය යටපත් කර ගත්තේය. සිංහල බෞද්ධයන්ට ඉතිරිවූයේ උඩරට ගිවිසුමේ පස්වන වග වගන්තිය පමණකි. නූතන ඩොයිලිලා එක්නැලිගොඩලා එක්ව මේ පසවන් වගන්තියෙන් කියැවෙන රටේ  ශාසනික උරුමය ඉවත් කර රට අනාගමික කරන්නටද කෑලී කෑලි වලට කඩා දක්වන්නටද කැසකවති. සිරිසේන ජනාධිපතිවරයා තාවකාලිකව හෝ පරාජයට පත් කරන ලද්දේ මේ පියවරයි. එහෙත් එම පියවර ආපස්සට හැරවීමට විදෙස් බලවේග සියල්ල ඒකාරාශී වී ඇත.රනිල් බලවත්ය.1817-18 සටනේ රජු වූ දොරේසාමි මෙන් ජනාධිපතිවරයා දුර්වල කර තිබේ. දැන් වන විට නූතන කැප්පෙටිපොළ දේශපාලනික වශයෙන් ඝාතනය කර තිබේ. එහෙත් ජනතාවගේ ආදාරයට පත් මහින්ද රාජපක්ෂ ඝාතනයට ලක්ව නොමැත. ඔහු නැවතත් ජයග්‍රහණය කරා යන්නේ මහා මැතිවරණයකින්ම පමණි. නූතන නිදහස් අරගලයේ නව ආරම්භය මේ මගින් සනිටුහන් කරවීමට සිතින් කයින් මෙන්ම අධ්‍යත්මික වශයෙන්ද කැප වීම අප සැමගේ යුතුකමයි.




Thursday, November 22, 2018

සුද්දො දෙබානකින් කුඹුරක් මැඩවූ හැටි


                                   
         සිංහල ජාතියත් සංස්කෘතියත් විනාශ වන්නට ආරම්භ වුණේ එක්දහස් අටසිය පහළොවේ  මහනුවර මගුල්මඩුව ආසන්නයේ දී සිංහල කොඩිය බිම දමා ඉංග්‍රීසි කතිර කොඩිය  උස්සාපු මොහොතේ සිටයි.  සිංහල නිලමේවරු සමග අත්සන් කළ  ගිවිසුම කඩකරලා බුද්ධ ශාසනයටත් සිරිත් විරිත් වලටත් අපහාස වන විදියට කටයුතු කරන්නට ඉංග්‍රීසීන් කටයුතු  කරන බව දැනුණෙන් ජනතාව කෝප ගැන්වුණා. සිංහල රදළයන්ට අයත්ව තිබූ නිලතල මරක්කලයන්ට දෙන්න වූයෙන් තවත් කුපිත වෙලා රහසේ කතිකා වෙලා යුද්ධ සංවිධාන කරන්නට පටන් ගත්තා මේ කැරලි ඌව වෙල්ලස්ස දිශාවෙ බලවත් ආකාරයට පැතිර යන කොට ඒවා මැඩ පවත්වන්නට එවකට ඉංග්‍රීසි ආණ්ඩුවේ තානාන්තර දරාපු ඌවේ දිශාව වන මෙනරවිල කැප්පෙටිපොළට පැවරුවා. ඒත් රටත් ජාතියත් පිළිබඳ ශාද සාක්ෂිය අවදි කර ගත් කැප්පටිපොළ 1817 වසරේ නොවැම්බර් මාසයේදී සිය සේනාංක වල තිබූ අවි ආයුධ ආපසු භාරදීලා කැරලි කරුවන් ට එකතු වුණා. මෙම සිදුවීම ඓතිහාසිකයි. එතැන් පටන් සුදු අධිරාජ්‍ය වෙවුලවන්නට සමත් යුධ තාක්ෂණයක් විදුලි වේගයෙන් පැතිරෙන්නට පටන් ගත්තා. බ්‍රිතාන්‍ය යුධ නිළධාරීන් දන්න තරමක් උපක්‍රම යොදමින් රාජ ද්‍රොහීන් ලෙස නම් කරමින් දේපළ තහනම් කරමින් වෙල්ලස්ස ගිනි තබමින් සැහැසි ක්‍රියා කළත් කැප්පෙටිපොල නවත්වන්නට බැරි වුණා.මේ විමුක්ති අරගලය වසරකට ආසන්න කාලයක් ඇදී ගියත් එන්න එන්නම සිංහල හමුදා තුළ ශක්තිය වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. නමුත් කැප්පෙටිපොළ අතින් වැරැද්දක් වුණා. මෙතෙක් කර ගෙන පැමිණි ගරිල්ලා සටන් නවත්තලා ඔහු ඉංග්‍රීසින්ට මුහුණට මුහුණ ලා ප්‍රහර එල්ල කරන්නට පටන් ගත්තා. මේක තමන් සතු ශක්තිය පිළිබඳ කළ අධිතක්සේරුවක්. තුවක්කු කාල තුවක්කු වෙඩි බෙහෙත් ආදිය ප්‍රමාණවත් පරිදි නැතිවම කළ අනුවණ වැඩෙන් සිංහල හමුදාවට විශාල හානියක් සිදු වෙලා කැප්පෙටිපොළට පසු බසින්නට සිදු වුණා.ඔහු අසනීප වුණා. ඒ අස්සේ මරක්කල ඔත්තු කරුවන්  කැප්පෙටිපොල ගැන සෝදිසියෙන් හිටියා.මේ ඔත්තු වල ප්‍රතිඵලයක් විදියට ඉංග්‍රීසීන් සත් කෝරළේදී ඔහු අත් අඩංගුවට ගන්නවා. මේක තමයි 1817 ඓතිහාසික අරගලයේ ඛෙදවාචකයේ කතාන්තරය.
         මෙම අරගලයෙන් පස්සෙ වියරු වැටුණු ඉංග්‍රීසි ආණ්ඩුව උඩරට මුල් ගිවිසුම සංශෝධනය කරල ඔවුන්ට වාසිදායක වන ලෙස නව ආඥාවක් නිකුත් කලා.පස්සෙ කොල්බෘක් සහ කැමරන් කියන කොමසාරිස් වරු ලංකාවට ගෙනැල්ල රටේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් සඳහා වාර්තාවක් සකස් කලා.මේ නිසා තමයි මුඩු බිම් පනත් මගින් රටේ සිංහලයා සතු ඉඩකඩම් මෙන්ම විහාරසන්තක දෙපළත් ඉංග්‍රීසි ආණ්ඩුව සතු වුණේ.ඒ වගේම සිංහලයන්ට දරන්නට බැරි බදු පැනෙව්වා. මේ බදු වලට විරුද්ධව 1848 දී මාතලෙන් කැරැල්ලක් ආවත් එයත් නිහීන ලෙසට මර්දනය කලා. සිංහලයන් තමන්ගේ කුඹුරු වතු පිටි කරගෙන හුදකලාව ජීවත් වන්නට පටන් ගත්තේ එතැන් සිටයි. සුද්දන් සමග එකතුවුණු රටේ රදළ පෙලැන්තිය ධන ලෝභයෙන් කටයුතු කරද්දී වතු ආශ්‍රීත ගම්වල අසරණ වුණ සිංහල ගැමියන් ගැන සොයා බලන්නට කිසිවෙක් හිටියේ නැහැ. මේ නිසා කුඹුරු වතු පිටි පාලු වුණා. වාර්මාර්ග වැව් අමුණු නොසලකා හැරියා. ගංවතුරාවට ඒවා කැඩී බිඳී ගියා. රටේ සම්පත් ඒ කියන්නේ මුතු සහ මිනිරන් නිධි සොයා ගෙන කළ මංකොල්ලයත් මේ සමගම ඇරඹුණා. ඉංග්‍රීසීන්ට අවශ්‍ය වූයේ ධනය විතරයි. ඒවා තම මව්රටට ගෙන ගියා.ඒ අස්සේ අසරණ ගැමියන්ගෙන් නව බද්දක් අය කරන්න තීරණය කලා. ඒ කට කියන්නේ ධාන්‍ය බද්ද කියලියි.1880 ආඥා පනතකින් තමයි. මේ නීතිය පැනෙව්වේ.ධාන්‍ය බදු එකතු කිරීමේ ක්‍රියාවලියට පළාතේ ආණ්ඩු ඒජන්තට සහාය වන්නට දිස්ත්‍රික් ඒජනත්ල පත් කලා. බස්නාහිර පලාතේ කළුතර දිසිත්‍රික්කයේ සහකාර ඒජන්ත වූයේ එච්.එච්. කැමරන් කියන සුද්ද බවයි ලියැවී තිබෙන්නේ. ඔහු තමයි තමන්ගේ නිළධාරීන් ලවා ධාන්‍ය බදු එකතු කලේ.
        කළුතර දිශාව ඒ කාලෙ හැඳින්වූයේ පස්දුන් කෝරළය කියලයි. ඉද්දගොඩ පත්තුව මහ පත්තුව ගඟ බඩ පත්තුව සහ වලල්ලාවිටි පත්තුව කියල ගම් දහයේ කොටස් නම් කලේ රජ කාලෙ ඉඳලමයි. සුද්දො මහ පත්තුව පැත්තේ ධාන්‍ය බදු එකතු කරන්නට ගියේ අස්සය පිටෙන් පාරවල් තිබුණේ නෑ. කැලෑ අස්සෙන් පාලම් නැති දිය පාරවල් තරණය කරමින් ගිය මේ ගමන් අතිශයින් දුෂ්කරයි. මහ පත්තුවේ හිටිය බොහෝ දෙනා කෝට්ටේ යුගයේ නිල තානාත්තර දැරූ පවුලේ උදවියයි. වීදිය බණ්ඩාර සෙනවියා පැලදි නුවර කරන කාලෙ සපරගමුවෙන් පැමිණි රණවීර කියල ප්‍රභූ පවුලක් මේ අතර හිටියා. වාසය බදුරලිය අසල කඹුරාවලයි. ගමේ ආරච්චි රණවීර පවුලක කෙනෙක්. ඔහු වැසියන්ගෙන් බදු එකතු කලේ නැහැ. සාම්ප්‍රදායිකව ගැමියන් ගෙන් ධාන්‍ය බද්දක් අය කලේ නෑ. ආරච්චි ට සලාරිස් ගෙව්වා විතරයි. ඒක රජයට අයත් නෑ. කන්න ගණනාවක් ගංවතුරෙන් පීඩාවට පත් වෙලා බත බුලත අහිමි වෙලා අසරණ වෙලා හිටිය ගැමියන්ට ධාන්‍ය වලින් බදු ගෙවන්න  විදියක් නෑ. ගෙදර තියෙන වී ටිකෙන් තමයි පවුල නඩත්තු කලේ. මේ නිසා දිසාපති ගේ අණින් ආරච්චිව අත්අඩංගුවට ගන්න සුද්දො සිවු දෙනෙක් අස්සය පිටින් මහපත්තුවේ කඹුරාවලට පිටත් වුණා.. ගම ආක්‍රමණය කරන්නට පැමිණියාම ගම්මුන් කුපිත වුණා. සුද්දො හතර දෙනා අල්ලලා ගස් බැන්දා. මේ අතර ආරච්චිට නෑකම් කිවූ රණවීර පවුලක ඉලන්දාරියෙක් හිටියා අගෝරිස් කියලා. ඔහු දිව ගිහිල්ලා බෙලි පට්ටා වලින් වියූ කඹයක් ගෙනල්ලා සුද්දො හතර දෙනා බාන් දෙකකට ගැලැත්තුවා. හරියට හරක් බාන් දෙකක් ගලත්තනාවා වගේ . ඒ දිනවල කුඹුරු මඩ වන කාලේ. දණක් ඉඟක් පමණ එරෙන කූඹුරක් මේ අසල තිබුණා. සුද්දො බාන් දෙක ඒකට දැම්මා .කෙවිටක් අරගෙන දක්කගෙන ගියා.වගුරේ ගමන් දන් නැති සුද්දො දෙබාන එරි එරී ඇදෙන හැටි  දැක්ක කොල්ලො කුරුට්ටො හූ හඬ තියලා කෑ ගහන්නට පටන් ගත්තා. මේ සංගෙදිය ආරංචි වෙච්චචි ආරච්චි විගැහින් දුවලා ඇවති මේ සුද්දන් බේරලා කුඹුරේ බුබුලට ගෙනවුත් දිය නා ගැනීමට පහසු කම් සලසලා ආපසු පිටත් කලා කියලයි කියන්නේ.
       සුද්දන්ට දඬුවම් දුන්නු අගෝරිස් සහ ඔහු ගේ සහොදරයන් දෙදෙනෙක් ගමෙන් පැන්නා. ඒකකෙනෙක් පයියාගලට ගියා අනෙකා නෑහින්නට ගියා ඊළඟට අගෝරිස් පුහාඹුගොඩ නැවතුණා. කියලා තමයි කියන්නේ ඔවුහු එතැන් සිට රණවීර නාමය සඟවා ගෙන කඹුරාවල කන්කානම් ගේ විදියට පෙනී සිටියා.  වර්තමානය වන විට මේ පවුල් වැඩි දියණූ වෙලා ඉංග්‍රීසි ආණ්ඩුවෙන් වෙල් විදානේ පොලිස් විදානේ කම් පවා ලබලා දියුණට පත් වලා තිබෙනවා. නමුත් එදා සුද්දන්ට මතක හිටින පාඩමක් ඉගැන්වූ අගෝරිස සහ සහෝදරයන් නම් පළාතේ අයට අමතක වෙලා.

         
             


Thursday, November 8, 2018

දහනවය කිනම් ලියවිල්ලක ෆොටෝ කොපියක් ද


                                        
                  වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලංකා පාර්ලිමේන්තුවේ 2018 වසරේ සැසිය අවසාන කර කල් තැබීම ව්‍යවස්ථානුකූලව කර ඇති බව විද්වතුන් පෙන්වා දී තිබේ. පරිණත දේශපලනාඤයෙකු වූ වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා මේ සම්බන්ධව දරන අදහස ඉතාමත් ම නිරවුල්ව ඉදිරිපත් කර ඇත. ඒ මතය අපට ඉතා වැදගත් වෙයි.ජනාධිපතිවරයා මෙවැනි තීරණයකට එළඹියේ කුමන කාරණයක් නිසාදැයි ඔහුගේ කතාවේ  පැහැදිලි කරන්නට ද යෙදුණි.රටට ජනතාවට අහිතකර ලෙස කටයුතු කිරීම ජනතාව පීඩාවට පත් කිරීම රටේ ඉඩම් හිමි කම් අන්සන්තක කිරීම ආදී ක්‍රියා කාරිත්වයන් නිසා තම පරමාධිපත්‍ය බලය යෙදවීමට සිදු වූ බව සිරිසේන ජනාධිපතාවරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේය. වසර තුනහමාරක් පමණ කාලයක් තුළ මෙවැනි තත්ත්වයන් වර්ධනය වද්දී නිහඬව එම විනාශයන් දර ගෙන සිටීම පිළිබඳවද ඔහු වගකිව යුතු නමුත් අවසාන වශයෙන් හෝ තම බලය අනුව ජනතාවගේ පැත්නේ හිතා බලා කටයුතු කිරීම පැසසුම් කට යුතුය.අසාධ්‍ය රෝගියෙකු වෛද්‍යවරයෙකු වෙත පැමිණි විට චක්‍රල්ඛන  වලින් හෝ යම් නීතියකින් වෙදකමකරන්නට බාධාවක් ඇති විට ගන්නා තීරණය කුමක්ද. රෝගියා සුවපත් කරලීමට ක්ෂණිකව කටයුතු කිරීම නොවේද.
    ලංකාවට නිදහස ලැබීමෙන් පසුව ඇති කළ වෙස්ට්මිනිස්ටර් ආණ්ඩුක්‍රමය යටතේ ලංකා පාර්ලිමේන්තුව තුළ සිදු වූ බල පෙරළි කලබගෑනි ඉතිහාසයේ ලියැවී තිබේ. ඇතැම් අවස්ථාවලදී අස්ථාවර ආණ්ඩු බිහි වීම දක්වා මේවා වර්ධනය වූ බව පැහැදිලිය. නිදහස ලැබී මුල් කාලයේ තිබූ එක්සත් ජාතික පක්ෂයත් සමසමාජ පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර මේ බල හුවමාරුව සිදු වුවද ඒ ක්‍රමය තුළ ජාතිවාදී අන්තවාදී සවරූපයක් ක්‍රියාත්මක නුවුණි. නමුත් අවාසනාවකට 1965 න් පසුව උඩරට වතු කම්කරුවන්ට අනවශ්‍ය ආකාරයට පුරවැසි බලතල හිමිකර දීමත් ඒවා  දෙමළ දේශපාලනඥයන් කොල්ල කෑමත් නිසා ජාතිවාදය තුළින් බල දේශපාලන කේවල් කිරීම ඇරඹුණි. මේ තත්ත්වය වඩාත් නරකට හැරුණේ මුස්ලිම් පක්ෂ පිහිටුවා ගනිමින් අන්තවාදයට තල්ලු වී යෑමෙන්ය.මේ නිසා එදා ජේ.ආර්.ජයවර්ධන මහතා ඉතා කාල්පනාකාරීව කටයුතු කරමින් ජනපති තනතුර රටේ ප්‍රධනතම ජනතා පරමාධිපත්‍ය බලය බවට පත් කරන ලද්දේය.ඒ මුළු රටේම ජනතාවගේ චන්ද බලයෙන් පත් කරන්නෙකු වීමෙන්ය.
         ජයවර්ධන හිටපු ජනාධිපති වරයා 1977 වසරේ බලයට පත් වූ විගසම සිය ව්‍යවස්ථා සංශෝධනය රටට ඉදිරිපත් කලේය.1966 වසරේ දී ඔහු මෙම අදහස ප්‍රථම වරට ඉදිරිපත් කොට ඇත්තේ එම වසරේ දෙසැම්බර් මස 14 දි විද්‍යාභිවර්ධන සංගම් ශාලවේ පැවති රැස්වීමකදීය.මේ එහිදී ඔහු පළ කල අදහසයි. විධායකය තෝරා ගැනෙන්නේ ජනතාව විසින් වන අතර එය ව්‍යවස්ථාදායකයට නියමිතව ඇති කාලසීමාව මත රඳා පවතින්නේ නැත. එබඳු විධායකයක් ශක්තිමත් විධායකයක් වේ. එය නියමිත කාලසීමාවක් සඳහා බලයට පත් කොට සිටින අතර ජනතාව තෝරා ගෙන ඇති විධායකයක රුචි අරුචිකම්වලට යටත් වන්නේ නැත. එසේම ජනප්‍රිය නොවූවත් තම පාර්ලිමේන්තු කණ්ඩායමෙහි අප්‍රසාදයට පත් වීමට බිය නැති නිසා අවස්ථාවට අවශ්‍ය පියවර ගැනීමට එය බිය නොවන්නේය. අද අප මුහුණ පා සිටින්නාක් වැනි බරපතළ ප්‍රශ්ණයන්ට මුහුණ පාන අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට අත්‍යන්තයෙන්ම අවශ්‍යව ඇති බව මගේ විශ්වාසයයි. මේ යෝජනාව ඊට  අවුරුද්දකට පසු ඔහු සාකච්ඡාවට ගත් කල ඩඩ්ලි සේනානායක මහතා ඊට විරුද්ධ විය. නමුත් ආර්.ප්‍රේමදාස මහතා එම යෝජනාව ස්ථීර කළ බව පැවසේ. ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහතාද සමගි පෙරමුණ කණ්ඩායම මෙහෙයවමින් ඊට විරුද්ධ විය.
          1978 ව්‍යවස්ථාවට ජනාධිපති තනතුරු පිළිබඳ ඉදිරිපත් කළ අදහස අද අර්ථයෙන් ගත් කල්හි ඉතා කාලෝචිත බව දැන් පසක් වනු නිසැකය. ඊට හේතුව වන්නේ පසුගිය වසර තුනහමාර තුළ සිදු වූ ක්‍රියාදාමයන් සිහිපත් කරන විටය. රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ගේ බලතල සියතට ගෙන ඉතා අත්තනොමතික ලෙසට හැසිරුණු ආකාරය ජනපතිවරයාගේ කතාවෙන්ද පැහැදිලි විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒකායන අරමුණ වූයේ දෙමළ ජාතිවාදය ට ආවඩමින් තම බටහිර හාම්පුතුන් සතුටු කිරීමයි. දේශීය කර්මාන්ත ගොවිතැන සංස්කෘතිය පිළිබද ඔහු කිසිම තැකීමක් නොකළේය. බ්‍රිතාන්‍ය පාලනසමයෙන් පසු ඉතා වෙහෙස මහන්සියෙන් ගොඩ නගාගෙන තිබූ දේශීය කර්මාන්ත ඇද වට්ටවීම පිණීස ඔහු හිතා මතා කටයුතු කළේය.මහා සංඝ රත්නය සිරගත කොට කුමන්ත්‍රණ මගින් මුස්ලිම් අන්තවාදයට සහ දෙමළ ජාතිවාදයට සිංහල ජාතික ව්‍යාපාරයේ ක්‍රියාධරයන් තල්ලු කොට අත් අඩංගුවට ගැනීම නිතිපතා සිදු විය. දහනව වන ව්‍යවස්ථා සංශෝධනය රනිල් ගේ වුවමනාවට ඉංග්‍රීසීයෙන් පිටපත් කර පවතින ව්‍යවස්ථාවට රිංගවන ලද්දේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී නීතියක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායයක් අනුගමනය නොකරමිනි.2014 වසරේදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සංවිධානය කළ පිවිතුරු හෙටක් සමුලුවේදී ජනපති අගමැති ව්‍යවස්ථා සන්ධානය යනුවෙන් ලියැවිල්ලක් රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වනු ලැබීය. දනවයට මුල් වූයේ මේ ලැයැවිල්ල බවට සැක නැත. එය බටහිර තානාපති කාර්යාලයකින් හෝ වෙනත් ඔත්තු සංවිධානයකින් කෙටුම්පත් කරවූවක් බවට ඉතා පැහැදිලිය.
   
    
පැවති යහපාලන ආණ්ඩුව කාන්තා නියෝජනය ඉදිරියට දමමින් පළාත් සභා කොට්ඨාස ක්‍රමයට සියයට පණහේ ප්‍රතිශතය ඇතුලත් කරන ලද්දේ විද්වතුන් ගෙ මත වලට කන් නොදෙමිනි.කාරක සභා අවස්ථාවන්හිදි කරන ලද ව්‍යවස්ථා විරෝධී එක් කිරීම් වලින් අද වන විට භයානක ප්‍රතිඵල ලැබී ඇත.උතුර සහ නැගෙනහිර පැවති පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන දෙමළ ජාතිවාදී මන්ත්‍රීවරුන්ට පැවති ආණ්ඩුව උඩ ගෙඩි දුන්නේය.රනිල් වික්‍රමසිංහ  ගේ හිතවත් රාජ්‍ය නොවන සංවිධාන නඩයට මේ රටේ මර්මස්ථාන සියල්ල ආක්‍රමණය කරලීමට ඉඩ ලබා දුන්නේ ජනතා විරෝධයද නොතකමිනි. රාජ්‍ය ලේඛනාගාරය පුරාවිද්‍යාව වැනි අතිශයින් වැදගත් ආයතන තුළට නෝර්වේ කුලී කරුවන් රිංගවා ජාතික උරුමයන් කොල්ල කෑමට ආශීර්වාද ලබා දුන් අතර මේ පීළීබඳව ජනතාව වෙතට  කිසිම සන්නිවේදනයක් ඇති නොවීමට මාධ්‍ය වාරණයක්ද ඇති කළේය..
        රනිල් වික්‍රමසිංහ යනු වඳ පීදුණු කෙසෙල් ගසක් වැනියෙකි. එවැනි පුද්ගලයෙකු නායකත්වය දෙන රජයක් ප්‍රදේශයක්  හෝ පවුලක්  සශ්‍රීක නොවන බව පසුගිය කාල වකවානුවේ ඔප්පු කර තිබේ. රජරට වසර තුනහමාරක් තිස්සේ බරපතල නියඟයට මුහුණ පෑහ.රජයේ ආර්ථිකය කඩා වැටීම සිදු වූයේ ඉඳ හිට නොවේ. දිනපතාම මේ කඩා වැටීම මගින් සුළු ව්‍යාපාරයක්වත් හරිහැටි ක්‍රියාත්මක කරලීමට අසීරු විය.මේ නිසා ඇතිවූ අර්බුදය අස්ථාවරත්වය ජනාධිපතිවරයා දකින්නට ඇත. නමුත් දෙවරක්ම රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කළ පුද්ගලයෙකු වශයෙන් ඔහු නැවත වරක්  පසුතැවිලි නොවන්නට හිතා ගන්නට ඇත.. එහෙත් ජ.වි.පෙ. ලවා ජනපති බලතල කප්පාදු කරවීමට තැත් කළ පසුව සහ ඝාතන කුමන්ත්‍රණයේ තොරතුරු හෙළි වූ  පසු කවදුරටත් මෛත්‍රීපාල මහතාට පිළිසරණක් නොවුණු බැව් පැහැදිලිය.  ක්ෂණිකව කේන්ති යන පහරදෙන පුද්ගලයෙකු ලෙසට මහින්ද රාජපක්ෂ මහතා  ප්‍රකටය. එහෙත් කෙනෙක් පසු පස්සේ ගොස් දිගින් දිගටම කුමන්ත්‍රණ මගින් පහර දීමේ පුරුද්දක් ඔහුට නොමැති බව  සිරිසේන මහතා දනී. එම නිසා ඔහු අවසාන වශයෙන් මහින්ද අගමැති කොට පාර්ලිමේන්තුවේ වාර අවසාන කළේය.
        මෙලෙස නොකලා නම් රනිල් වික්‍රමසිංහ මහාතාගේ පීඩාකාරි පාලනය තුළ ඉතා ඉක්මනින් රට තුළ කැරැල්ලක් මතු වීම වළක්වන්නට නොහැකි වනු ඇත. එවිට ආරක්ෂක අංශ ලවා මේ කැරලි කරුවන් මර්දනය කිරීමට ආණ්ඩුවට සිදුවේ . රට බෙදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවද එවිට සම්මත කර ගත හැකිය.මේ කැරලි වලින් සිද්ද වන්නට ගිය ජීවිත හානි සියල්ල වැලකී ජනපති ගේ බලතල මත මේ බල පෙරළිය සිදු වීම දෙවියන්ගේ බැල්මක් ලැබීමක් බව කිව යුතුය. වර්ෂ 1592 වර්ෂයේදී බල පෙරළියකින් කොනප්පු බණ්ඩාර උඩරට සිංහාසනය අල්වා ගෙන පරංගින්ට විරුද්ධව සෙංකඩගල නව පාලනය ආරම්භ කිරීම මෙහිදී මට මතක් වේ. එහීදීද ජනතාව හානියට පත් වූයේ නැත සිදු වූයේ කීප දෙනෙක් මිය යෑම පමණකි. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතා ඇද වැටීම මේ රටේ සංස්කාතිය අගයන ජාතික අනන්‍යතාවයන් අගයන සියලු දෙන ගේ සැනසීමට හේතුවකි . නමුත් මේ රටේ සවාධීනත්වයත් ඇති කළ හැක්කේ මේ බල පෙරළියෙන් පසුව යන්න අපගේ වැටහීමයි.එයට ඉතා ඉක්මනින් මැතිවරණයකට යා යුතුය.  දළදා වහන්සේට වග කියන ප්‍රඥාවන්ත නායකයෙකු බිහිකළ හැක්කේ  ඉදිරි අස්ථාවර තත්ත්වයන් සමහන් වූ විටය.එහෙත් ජාතික ව්‍යාපාරය නැවතත් නිද්‍රාශීලී වුවහොත් සතුරා යළි හිස එසැවීම සිදු විය හැකි බව ද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.



Thursday, October 25, 2018

ඔරුමිත්තනාඩු වේ බුද්ධශාසන සංහාරය


                                             
         දෙදහස්නවය වසරේ කොටි ත්‍රස්ත සංවිධානය පරාජයට පත් කොට ජන ඝාතක යුද්ධය නිමා කළ පසු උතුරේ ජන ජීවිතය නැවත යාථා තත්ත්වයට පත් කරලීමට රජය විශාල මහන්සියක් ගන්නා ලද අතර මහා මාර්ග තනවා එම ප්‍රදේශ වල ජනතාවට අනෙක් ප්‍රදේශ සමග සම්බන්ධ වීමට ඉඩ හසර ලබා දුන්හ. මේ යටිතල පහසුකම් ඇති කිරීමට යුධ හමුදාව කළ කැපවීම ඉතා විශාලය.ජාති භේදයකින් තොරව ඔවුහු ගම්මාන ගොඩ නැගූ බව උතුරේ සිවිල් ජනතාව දනී.මේ ජනතාව යුද්ධය නිසා පීඩාවට පත් වූයේ කොටි ත්‍රස්තයන්ගේ බිහිසුණු ක්‍රියාමාර්ගයන් නිසාවෙනි. උතුරත් දකුණත් අඩු වැඩි වශයෙන් බියෙන් සැකයෙන් නොසිටි දිනක් එකල නොවුණු බව අපට මතක් වේ. රටේ රජයට විරුද්ධව සන්නද්ධ අවි ඔසවා ලූ මේ කණ්ඩායම දණ ගස්වා යුද්ධය නිමා කළ පසු කවුරුත් සැනසුම් සුසුම් හෙලූහ. අවසාන සටන පැවතී නන්දිකඩාල් කලපුවෙන් එගොඩ වී හමුදාව භාරයට පැමිණි සිවිල් ජනතාවද හමුදාවේ ආදරය සහ සැලකිල්ල ලබා ගනිමින් පුනරුත්ථාපනය වූහ. මෙවැනි මානුෂීය මෙහෙයුමක යෙදී සිටි හමුදාවට විරුද්ධව ගතු කියා ජාත්‍යන්තරය උසි ගන්වා  යුධ අපරාධ චෝදනා සකස්කර ලන්නට ඉඩ හසර ලබා දුන් නායකයන් අද රට පාලනය කරති. මේ පාලකයන් රජයට එරෙහිව යුධ වැදුණු කොටි පවුල් වෙනුවෙන් වන්දි ගෙවීමට හානිපූර්ණ පනතක්ද සම්මත කළහ. ඒ පනත දිනවන්නට රජයේ සිටි පනස්නව දෙනෙකු අත් ඉස්සූ බව දැන් හෙළි වී අවසන්ය.
         මෙම හානිපූර්ණ පනතේ කිසිම තැනක කොටින්ට වන්දි ගෙවීමක් ගැන සඳහන් නොවුණත් ප්‍රතිසන්ධානයට අදාල ලියවිල්ලේ ප්‍රකාර ව වින්දියන්ට වන්දි ගෙවීම ගැන දක්වා ඇත. මේ ප්‍රතිසංන්ධානය යනු මංගල සමරවීර විසින් ජිනීවා වලදී එකඟ වූ 30/1 යෝජනාවලියේ සඳහන් ක්‍රියාවලියයි.අනෙක නම් මීට පෙර සම්මත කළ අතුරුදහන් කාර්යාල පනතට අදාලව හෙළිවන පුද්ගලයන් වෙනුවෙන් වන්දි ගෙවීමයි. එවිට ත්‍රස්තවාදීන් සඳහා වන්දි ගෙවීම පිණිස මේ පනත ඉදිරිපත්ව ඇති බව පැහැදිලි වේ.මේ පනත පරාජයට පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයට  පවා කිසිම වුවමනාවක් තිබූ බව නොපෙනේ. දහනවවන සංශෝධනයට සිය එකඟතාවය පළ කලා සේම හානි පූර්ණ පනතට එකඟ නොවී එහෙත් මග හැර ගොස් සම්මත වීමට ඉඩ හලේ කිනම් දේශපාලන සූදුවක් නිසාදැයි ජනතාව දැන් ක්‍රමයෙන් තේරුම් ගනිමින් සිටිති.
         යුද්ධ කාලයේ උතුරේ යම් නීතියක් ක්‍රියාත්මක වූයේ ප්‍රභාකරන් සිය එකාධිපතිත්වය ඔස්සේ සියල්ල පාලනය කළ බැවිනි. ඔවුහු අවි බලයෙන් වෙනම රටක් දිනාගන්නට තැත්කළහ. එම නිසා උතුරේ සහ නැගෙනහිර පෙදෙස් වල තිබූ පූජනීය ස්ථාන හෝ පුරාවස්තු හෝ විනාශය පත් නොවුණි. කල්ලඩි වැනි තැන්වල ඔවුහු කොටි සම්ප්‍රේෂණ කුළුණු පවා ඉඳි කොට තිබුණද එවා විනාශ නොකළහ. යුද්ධයෙන් පසු හමුදාව විසින් මහ කැලයෙන් වැසී තිබූ පුරාණ බෞද්ධ නටබුන් රාශියක් සොයා ගන්නට යෙදුණි. හමුදා කඳවුරුද ඒව අසල තිබූ බැවින් මෙම තැන්වල බුදු පිළිම පවා තැන්පත් කළහ. නමුත් යහපාලන රජය පත් වූ පසු රජය විසින්ම දෙමළ බෙදුම්වාදීනට පහසුකම් සැපයීම නිසා දකුණ සමග එක් වෙමින් තිබූ උතුර නැවතත් වෙන්කරලීමට පිඹුරු පත් සැකසූහ.උතුරේ මහ ඇමති වරින් වර කරන  ප්‍රකාශ මෙන්ම සිවාජිලිංගම් විජයකලා වැන්නවුන් විසින් නීතිය නොතකා කරන ලද ඇතැම් ක්‍රියා දෙස බලන කල්හි. දකුණේ සිංහලයාට නොමැති නීතියක් උතුරේ දැන් බල පැවැත්වෙයි.ඔවුන් ගේ දෙමළ නිජබිම තහවුරු කලීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට ඔවුහු පසුබට නොවෙන බව පෙනේ. ඔවුන් ගේ අලුත්ම සෙල්ලම පුරාවස්තු ඩෝසර කිරීමයි. මෙම ක්‍රියාදාමය පටන් ගත්තේ මුස්ලිම් අන්තවාදීන් අතිනි. ඒ 2014 දී පමණය.මොට්ටාගල හිරුකෝවිල් වැනි තැන්වල තිබූ ස්ථූපයන් ඔවුහු ඩෝසර කළහ.  කුඹුරු වලට සමතලා කළහ. හිරු කෝවිල් වල දාගැබ දෙපළු කරමින් ඩෝසරය ගමන් කරවූහ.මේවායින් සම්භ වූ පුරාවස්තු තවමත් නැගෙනහිර උසාවි වලගබඩා වල තිබෙන බව දැන ගන්නට ඇත.දැන් දෙමළ ජාතිවාදීන්ද මේ මග ගනිමින් පැරණි ස්ථූප විනාශ කරමින් බෞද්ධ අනන්‍යතාවය නැති කර දමමින් සිටී.ත්‍රිකුණාමලේ සාම්පූර් ස්ථූපය කඩා ඒ මත කෝවිලක් ඉඳි කරන්නට තැත්කළ පූජකවරයෙක් සහ ඩෝසර ක්‍රියා කරුවෙක් අත්අඩංගුවට පත් වූ අතර තවමත් එම ස්ථූපය යථා තත්ත්වයට පත් කරලීමට පුරාවිද්‍යාවට නොහැකිව තිබේ. කුරුන්දි අට්ඨ කතාව ලියූවායි සැලකෙන  කුරුඳුමලේ විහාරයට වැඩම කොට ආපසු එමින් සිටි හිමිනමකට විරුද්ධව ඔඩ්ඩුසුඩාන් පොලීසිය තහනම් නියෝගයක් ගනු ලබනුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යටිතල පහසුකම් සැපයීමට ඉදිරිපත් වීම නිසාවෙනි.මෙම මස විසිදෙවනි දා මුලතිවු අධිකරණය එම තහනම  ඉවත් කර ගත්හ. එහෙත් කිසිම ආගමකට අයත් පිරිස් මේ සංරක්ෂණයට සහාය කර නොගෙන පුරාවිද්‍යා කටයුතු කළ බවටද නියෝගයක් නිකුත් වී තිබේ. එයින් කියැවෙන්නේ කුමක්ද. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තියෙන් කියැවෙන දේ උතුරේ දී අවලංගු වන බවයි.
              බුද්ධ ශාසනය යන්නෙහි  අර්ථ දැක්වීමක් නව සිය පණස් හතේ බුද්ධශාසන කොමිෂන් සභා වාර්තාවේ සටහන් වී තිබේ..බෝධි වෘක්ෂ පෙති පිළිම ස්ථූපයන්ද එයට අයත්ය.උතුරේ පමණක් පැරණි බෞද්ධ සිද්ධස්ථාන දෙසීයකට අධික සංඛ්‍යාවක්  හඳුනා ගෙන තිබේ. එයට අමතරව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ අසූවක්ද  මඩකලපු පළාත ගවේශණය කොට 2017 වසරේදී සම්පූර්ණ පුරාවස්තු 648 ක්  ද හඳුනාගෙන ඇත. ඉන් පන්සීයක් පමණ බෞද්ධ සිද්ධස්ථානයන්ය.මෙම ස්ථාන ගැසට් කිරීමට දෙපාර්තමේන්තුව ක්‍රම දෙකක් අනුගමනය කරති එකක් නම් ස්මාරක වශයෙන් ගැසට් කිරීමයි.අනෙක නම් රක්ෂිත වශයෙන් ගැසට් කිරීමයි. ස්මාරක වශයෙන් ගැසට් කිරීම සරල දෙයක් වුවද රක්ෂිත ගැසට් කිරීමට කල් ගත වේ. මීට වසරකට පමණ ප්‍රථම 2017 ඔක්තෝබර් මාසයේදී අධ්‍යාපන අමත්‍යංශය මගින් චක්‍ර ලෙඛණයක් නිකුත් කරමින් දන්වා සිට ඇත්තේ රක්ෂිත වශයෙන් පමණක් ගැසට් කරන ලෙසටයි. එම නිසා යටකී නැගෙනහිර පළාතේ ස්ථාන නීත්‍යානුකූල කරලීමට යම් බාධාවක් පැමිණ තිබෙන්නේ යයි දැන ගන්නට ඇත.2018 ඔක්තෝබර් මාසයේ   උතුරේ පුරාවස්තු සංහාරය නිරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් දෙනෛකු මුලතිවු බලා ගියහ.මේවා මාධ්‍ය මගින් ප්‍රකශ වූ පසු කලබලයට පත් සංස්කාතික ඇමතිවරයා 2018 ඔක්තෝබර් මස 10 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කරමින් ඉතා නින්දිත කතාවක් සිදු කර තිබේ. එයින් ගම්‍ය වන්නේ මෙරටේ පුරාවස්තු වැඩිපුරම විනාශ කරන්නේ සිංහල ජනතාවව බවයි. අනුරාධපුර දිසත්‍රික්කයෙන් වැඩි පමණයක් පුවස්තු විනාශ සිදු වන බව ඔහු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබේ.
        ලංකාවේ දිස්ත්‍රික්ක විසිදෙකෙන් වැඩිමනත් විනාශයන් සිද වන්නේ රජරට බව සැබෑය. ඒ සියල්ල දේහපාලකයන් ගේ ග්‍රහණයට හසුව තිබන තැන්ය. එක් කාලයක් උතුරු මැද පළාතේ මහ ඇමතිවරයෙකු ව සිටි පුද්ගලයෙකු පොකුණු හාරන්නට කියා නිදන් හෑරූහ. තවත් බලවතෙක් යෝධ සංවර්ධන ව්‍යාපර වලට කියා ඉඩම් හෙළි පෙහෙළි කොට  මේ නිදන් හෑරූහ.ඊටත් පෙර එක් අගමැති පුතෙක්ද මේවා ජයටම කර ගෙන ගියිහ.මේ ආදර්ශය ගත් ජනතාවද මේ මග යමින් පැරණි ස්ථාන සොයමින් යකුළු පහර හෙළමින් බුදු පිළිම පවා  විනාශ කර තිබේ.වස්තු තණ්හාවත් මේවායේ ආදීනවත්( වේතරණී නරකයේ උපදින බව ) නොදත් ඔවුහු  බෞද්ධ ස්ථාන පවා කඩා විනාශ කළ බව සත්‍ය්‍යකි.එම නිසාම පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාසයක් පවා පිහිටුවීමට පුරාවිද්‍යා දෙපාර්මේන්තුවට සිදු විය.මුල් කාලයේදී එයින් යහපත් මෙහෙයක් සිදු වුවද පසුවන විට පොලිසියේ තිබෙන අල්ලස සහ පගාව මේවාටද බෝවිය. දඹුල්ලේ කලුදිය පොකුණ අසබඩ සෙල් ලිපියක් ග්‍රයින්ඩර් කළ පුද්ගලයන් පිලිබඳ සාධක තිබියදී පවා මාතලේ පුරාවස්තු අංශයන් අදාල පුද්ගලයන් අත් අඩංගුවට නොගත්තේ අල්ලස සහ පගාව නිසාවෙනි. මේ තත්ත්වය මෙසේ වුවත් උතුරේ සහ නැගෙනහිර දැන් සිදු වන්නේ මීට හාත් පසින් විරුද්ධ පැත්තකි. ඔවුහු නිදන් පස්සේ නොයති. එහෙත් බෞද්ධ ස්ථාන සොය සොයා ඒවායේ ත්‍රිසූල සවි කරමින් කෝවිල් ඇටවීමද ඇතැම  දාගැබ් ඩෝසර කරමින් ඒවායේ කුඹුරු කරවීමද ජයටම කරත්. පසුගියදා මන්ත්‍රී වරු දෙපල මුලතිවු පළාතේ දී මේවා සියැසින් දුටුවහ. යාන් ඔය දාගැබ ඩෝසර කරන ආකාරය සියැසින් දුටුවහ.ඉතින් විජේදාස රාජපක්ෂ ඇමති වරයාට නම් මේ ප්‍රකාශ ජාතිවාදය අවුස්සන සුලු ප්‍රකාශ වෙයි.මේ ඔහුගේ නින්දිත කතාවේ සාරාංශයයි.
     ගරු නියෝජ්‍ය කතා නායක තුමනි මේ කරුණු විශේෂයෙන්ම මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න තීරණය කලේ අපේ රටේ ඉතා වටිනා පුරාවස්තු සහ පුරාවිද්‍යා වටිනාකමක් තිබෙන ස්ථාන විනාශ වනවා කියා මේ දිනවල නිරන්තරයෙන්ම මාධ්‍ය වල විශාල ප්‍රචාරයක් ගෙනයන නිසයි. ඒවා ආගමික භේද ඇති කිරීමේ යටි අරමුණින් කරන බව සමහර මාධ්‍ය කරුණ ඉදිරිපත් කරනවා. ජාතීන් වශයෙන් යම් යම් මතභේද ඇති වන ආකාරයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.යාපනය විනාශ කිරීම් 01 මන්නාරම 03 කිලිනොචිචිය 03 මුලතිවු 05 අම්පාර 20 ත්‍රීකුණාමලය 24මඩකලපුව 06 .මේ අතින් ගත්තාම ගරු නියෝජ්‍ය කතා නායක තුමනි.බොහොම පැහැදිලි වශයෙන් තිබෙනවා. උතුරේ හෝ නැගෙනහිර සිදුවුණු යම් හුදකලා සිද්දියක් හෝදෙකක් අලලා විශාල වශයෙන් ජාතීන් අතර ඝට්ටන ඇති කරන්න ආගම් අතර ඝට්ටන ඇති කරන්න ජාතිවාදීන් හා ආගම් වාදීන් හදනවා.අන්තාවාදීන් ඉතා සුළු ප්‍රමාණයක් හැම තැනම සිටිනවා.
          ඇමතිවරයා තම ජාම් බේරා ගන්නට හදන්නේ උතුර ගැන නොකියා අනුරාධපුරයේ පුරාවස්තු විනාශ ය ගැන කියමිනි. එක්සත් ජාති පක්ෂයේ හිටපු නායකයෙකු වූ සිරිල් මැතිව් මහතා ගේ යුනෙස්කෝ වාර්තාව පවා ඇමතිවරයා කියාවා නැති බව මෙයින් පෙනේ. එදා සිටම  උතුරේ පුරාවස්තු විනාශ කර තිබෙන්නේ නිදන් සෙවීමේ අරමුණින් නොවේ ඒවා සියල්ල උතුම් බුද්ද ශාසනය අතු ගා දැමීම සඳහා කරන ලද ක්‍රියාවන් වෙති. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකාව ඔරුමිත්තනාඩුවක් ලෙසට නම් කර තිබේ.ඉංග්‍රීසි සිංහල දෙමළ පිටපත් තුනේම එසේය. ඔරුමිත්ත නාඩුව යනු ෆෙඩරල් රාජ්‍යයකි. එසේම ශ්‍රීංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිකරන්නේය. යන්න වෙනස් කොට ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිකරන්නේය යනුවෙන් වෙනස් කර තිබේ.පුරාවස්තු ඩෝසර කරමන් දැනටමත් මේ දෙමළ සහ මුස්ලිම් අන්තවාදීන් ඔරුමිත්තනාඩුව ගොඩනගමින් ඇත. ව්‍යවස්ථාව සම්මත වුවහොත් උතුරේ සහ නැගෙනහිර එකදු බෞද්ධ පුරාවස්තුවක් ඉතිරි නොවනු ඇත. ඒ වෙනුවට විකෘති කරන ලද ස්ථාන මත කෝවිල් සහ මුස්ලිම් පල්ලි ඉඳි වීම  සිදු වනු ඇත. ඔක්තෝබර් 23 වන දා එරාවුර් කදුරුවෙල පාරේ මයිලන්ඛාවලි වල තිබෙන බෝධීන් වහන්සේ නමක් යාන්ත්‍රික කියත් භාවිතා කරමින් කපා ඉවත් කරලීමට මුස්ලිම් අන්තවාදීන් කටයුතු කළ ආකාරයද අප දුටිමු.සංහිඳියාව පෙන්වා බුද්ධශාසනය සංහාරය කරන්නේ එලෙසයි

Monday, October 15, 2018

චන්දෙට දුන්නු කප්පම් වල පඩික්කම් -මන්නාරමෙන් හෙළිවූ රජ කොලොප්පම්


               
        යුද්ධය නිසා අවතැන්ව සිටි පුත්තලමේ ජනතාව මන්නාරමේ මුසලි ප්‍රදේශයේ නැවත පදිංචි කරන ලද බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් දැන් පිළිගෙන ඇත.පරිසරවේදීන් කුමක් පැවසුවද ඔහු ගේ අණින් විල්පත්තු රක්ෂිතය කපා විනාශ කර නැත.නමුත් ඔහු ගේ අණින් මුසලි ප්‍රදේශය තුළ පිහිටි කලින් හෙළි පෙහෙළිව නොතිබූ මහ කැළයේ ඉඩම් නිදහස් කර එහි ජාසිම් සිටි නමැති නව ජනාවාසය ඉඳි කර තිබේ.මේ බැව් 2018 වර්ෂයේ විගණකාධිපති වාර්තාවෙන්ද හෙළිදරව් වී ඇත. පසුගිය සතියේ මන්නාරමේ  දී පැවැත්වුණු පරිසර සමුළුවකදී ජනධිපත්වරාය විසින්  රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා ඉදිරියේම පවසා ඇත්තේ අතීතයේ කළ වැරදි නැවත නොකල යුතු බවත් සිටුවන ගස් ලක්ෂය ඔහු විසින් රැක බලා ගත යුතු බවත්ය. වැරදි පිළිගැනීම  සමාව දීම සිංහල බෞද්ධයන් ගේ සිරිතකි.එහෙත් සමාව දෙන්නට ප්‍රථම කළ වැරදි යම් කිසි තාක් දුරට නිවැරදි කර ගත යුතුය.යහපාලන රජය හෝ අමාත්‍යවරයා එයට සූදානම් දැයි විමසිය යුතුය.
          මන්නාරම අතීතයේදී හැඳින්වූයේ මන්නාරමය කරඹවලානය හා නෙල්ලිවලානය යනුවෙනි.එය පැරණි පිහිටි රටට අයත් වැදගත් ඓතිහාසික ප්‍රදේශයකි. මෙම පෙදෙස පිහිටිරටින් වෙන්කොට මන්නාරම් නමින් වූ දිස්ත්‍රික්කයට එක් කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. එයට හේතුව ලන්දේසීන් විසින් 1766 ගිවිසුම මගින් මෙම ප්‍රදේශය උඩරට රාජධානියෛන් ලබා ගෙන සිටීමයි. උඩරට රජු විසින් අත් හරින ලද කොටසේ මායිම අදටත් නුවර කලාවියත් මන්නාරම් දිස්ත්‍රික්කයත් වෙන් කරන සීමාව වෙයි.එය කොටි ත්‍රස්තවාදීන් විසින් ඊළාම් සීමාව ලෙසටද ගෙන ඇත. මන්නාරම් තොට අතීතයේදී සිංහල රජවරුන්ට වැදගත් වූවා සේම ඉංග්‍රීසීන්ටද මහත් වැදගත්කමක් ඉසිලීය. එයට හේතු වූයේ මන්නාරමේ සිට කල්පිටිය දක්වා මුහුදු තීරයේ හමුවන මුතු බෙල්ලන්ය. මේ මුතු බෙල්ලන් කිමිදීම දුරාතීතයේ පටන් රජයේ ආදායම් මාර්ගයක් විය. වරින් වර අක්‍රමණිකයන් විසින්ද මේ මුතු කිමිදීම සිය පාලනයට ගෙන ආධිපත්‍ය පතුරුවා ගෙන සිටියහ. වරක් උඩුගම්පල විසූ සකලකලාවල්ලභ රජු මලවරායන් නමැති අක්‍රමණිකයෙකු පළවා හැර ඔහු ගේ නැව් ද පොඩිපට්ටම් කළ බවට ඉතිහාසයේ ලියැවී තිබේ.ඉංග්‍රීසීහු මේ මුතු කිමිදීම කාර්යක්ෂමව විධිමත්ව කරලීමට වාර්තාවක් සකස් කළහ. ඒ අනුව 1887 වර්ෂයේදී ඉන්දියාවෙන් සහ අරාබියෙන් මුතු කිමිදින්නන් ගෙන්වා මුසලි ප්‍රදේශයේ  නවත්වා ගෙන මුතු කිමිදීම ආරම්භ කළ බවට සාක්ෂි හමු වෙයි.ව්‍යවස්ථදායක මන්ත්‍රණ සභා වාර්තාවකට අනුව මුසලි හි මරිච්චකට්ටුව සහ මුල්ලිකුලම් අසල ඉංග්‍රීසීහු මේ මුතු කිමිදින්නන් ගේ කඳවුරු කීපයක් ඇති කළහ.
     
දෙමළ පිරිසට එක් කඳවුරක්ද මරක්කල අයට තවත් කඳවුරක් ද වශයෙන් ඇති කොට සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියළු දේ ලබා දී මුතු කිමිදීම ධෛර්යමත් කළ බව දැක්විය හැකිය. මේ ආකාරයට 1887 සිට 1891 දක්වා කාලය තුළ ඉන්දීය දෙමළ පුද්ගලයන් සහ මරක්කලයන්  මේ කඳවුරු වලට ගාල් කරන ලදහ.මෙම කඳවුරු පිළිබඳ අදින ලද සිතියමක්ද පෙරකී වාර්තාවට අමුණා ඇත. මෙම වාර්තාවට අනුව දකුණු ඉන්දියාවේ කීලකාරි වලින් ගෙන්වන ලද දෙමළ සහ මරක්කල පිරිසට වෙන වෙනම කඳවුරු දෙකක් සාමය ඇති කිරීමට පොලිසියක්  උසාවියක් පානීය ජල පහසුකම් සඳහා අඩම්පන් කුලම් නමැති වැව ද දිය නෑමට පලන්ඩිකුලම් නම් වැව ද වශයෙන් වෙන් කර තිබූ බවට හෙළි වෙයි. 1891 වර්ෂය වන විට ඉන්දියාවේ කීලකාරි කායලපට්ටනම ටියුටිකොරින් බොම්බාය  ඇතුළු ගම් දොළසකින් ගෙනෙන ලද  මුතු කිමිදින්නන් සහ වෙළෙන්දන් නිසා කඳවුරේ දෙමළ මරක්කල අරාබි ජනගහනය 24000 ක් ප්‍රමාණයකට ඉහළ ගොස් තිබූ බව එහි රෝහල් සුපරින්ටෙන්ඩට් වරයා වූ නවරත්නසිංහම් වාර්තා කර ඇත. අරාබී මුතු කිමිදන්නන් නිතරම ඉන්දියාවේ සිට පැමිණෙන දෙමළ මරක්කල පිරිසට හිරිහැර කළ බවද ඔවුන් ගේ වාඩි ගිනි තැබූ බවද එහි වාර්තා වේ. මේ ප්‍රදේශයේ හින්දු කොවිල් දෙකක් පිහිටා තිබූ අතර 1897 වන විට එකදු මුස්ලිම් පල්ලියක්  හෝ පිහිටා තිබී නොමැත.
          මේ වාර්තාව අනුව දැන් අපට ඉතිහාසය පැහැදිලිය. දීර්ඝ සතුරු අක්‍රමණ වලින් පසුව විශේෂයෙන්ම ලන්ද්සින් මේ ප්‍රදේශ ස්ථීරව අතපත් කර ගැනීමෙන් පසුව ඉන්දීය සක්‍රමණිකයන්ට මෙහි වාසභූමි ඇති වූ බවයි. ඉංග්‍රීසීහු එම පිළිවෙත ඉදිරියට ගෙන යමින් මුතු කිමිදින්නන්  ගේ කඳවුරු ඇති කොට ඔවුන් ගේ මුතු බෙලි ජාවාරම ඉදිරියට ගෙන ගොස් තිබේ.අවසානයේ මේ කඳවුරු වසා දැමූ පසු බොහෝ දෙනෙක් ඉන්දියාවට නැවත සංක්‍රමණය වූ අතර යම් පිරිසක් මෙහි ඉතිරිවූහ දෙමළ අය මේ දුෂ්කර පරිසරයේ වැව් ආශ්‍රිතව පැලපදියම් වූ අතර මරක්කලයන්ද යම් පිරිසක් මෙහි වෙළ හෙළදාමක නිරත වූහ.          1981 ජන සංගණන වාර්තාව අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ මුවර් ජනයා(මරක්කල) 27717 ක් පමණ විය. එයිනුත් මුසලි ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශයෙහි 8665 ක ප්‍රමාණයක්  විය.යුද්ධයෙන් පසුව 2012 වර්ෂය වන විට  සමස්ත මන්නාරම් දිස්ත්‍රික්කය තුළම සිටි මුස්ලිම් ජනගහනයෙන් අවතැන් වූ ගණන 11281 ක් පමණය.එම නිසා ලක්ෂයක් අවතැන් වී යැයි අමාත්‍යවරයා පවසන දේ මුසාවකි. 1981 වර්ෂය වන විට මුසලි බල පෙදෙසේ සිංහල ජනගහනය දක්වතොත්  එක්දහස් අට සිට අසූ දෙකකි.මුසලිහි  බෞද්ධ ජනගහනය 842 කි. යුද්ධ කාලයේදී මෙම මුසලි පළාතේ සිටි බොහෝ දෙනෙක් අවතැන් වූහ. මුස්ලිම් පිරිස පුත්තලම් පැත්තට සංක්‍රමණය වූ අතර සිංහලයන් අනුරාධපුරයටත් වෙනත් පළාත් වලටත් සංක්‍රමණය වූහ. 2009 යුද්ධය අවසාන වීමෙන් පසුව මුස්ලිම් ජනතාව නැවත පදිංචියට පැමිණ සිටි අතර ඔවුන් ගේ පැරණි ජනාවාස වන මුල්ලිකුලම් කරඩිකුලි පල්ලෙකුළි ආදී තැන් වල පදිංචි වූහ.1960 දශකයේ දී මෙහි ග්‍රාම වසම් හතක් විය. 1980 දශකය වන විට මෙම මුසලි පළාතේ ග්‍රාම වසම් 08 දක්වා වර්ධනය විය. ඒවා නම් මෙතැන්වැලි අරිප්පු සිලාවතුර අකාතිමුරුප්පු මරිච්චකට්ටි කොක්කුපඩයාන් මුල්ලිකුලම් වෙප්පල් සහ කරඩිකුලි වශයෙන් විය. මරිච්චකටුට්වෙන් ඔබ්බට ජනාවාසකරණය ආරම්භ කරන ලද්දේ 2010 වසරේදී පමණය. ඒ සඳහා ඉඩම් ඉල්ලා වන සංරක්ෂණ අධ්‍යක්ෂ වරයා වෙත යැවූ ලියුම් වලට අනුව ඉඩම් නිදහස් කළ බව පැවසේ. නමුත් ඔවුහු මෙලෙස ඉඩම් ඉල්ලා සිටින ලද්දේ මරිචිකට්ටුවෙන් හෝ කරඩිකුලි ගම්මානයෙන් නොව ඉන් ඔබ්බට යන මන්නාරම් මාර්ගයේ කල්ලාරු වනාන්තරයෙන්ය. රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයාගේ අනුදැනුමෙන් ජනතාව පදිංචි කරන ලද්දේ මේ වනාන්තරය හෙළි පෙහෙළි කරමින්ය.
         යුද්ධයෙන් අවතැන්වූ පුද්ගලයෙකු වශයෙන් සැලකෙන මෙම අමාත්‍යවරයා අද මන්නාරම් දිස්ත්‍රික්කයේ පමණක් නොව වවුනියා දිස්ත්‍රික්කයේ ද මහ බලවතා වෙයි. ඔහු විසින් ප්‍රදේශයේ ජනතාවට විහාරස්ථානයන්ට විසි කරන මුදල් අසීමිතය.මේවා කෙසේ උපයා ගන්නේ දැයි කිසිවෙකුත් නොදනී. එහෙත් මුස්ලිම් මූල්ධර්මවාදය පතුරුවන කටාර් රාජ්‍යය මගින් මෙලෙස මුදල් පොම්ප කරන බව දැන ගන්නට ඇත. එසේම නීති විරෝධී මත්ද්‍රව්‍ය ව්‍යාපාරයන් මගින්ද මෙවැනි මුදල් එක්රැස් කරගන්නා දේශපාලකයන් එමට ඇත. කෙසේ වුවත් උතුරේ සිංහල අනාථයන්ට තම මුල් ගම්බිම් වලට යන්නට අත නොදුන් ආණ්ඩු දෙකක පැටි කිරිය අපි දනිමු.ඔවුහු නැවත පදිංචි කිරීම් අමාත්‍යංශය හරහා මරක්කලයන් සහ දෙමළ ජනයා පදිංචි කරලීමට වැඩි වෙහෙසක් ගනු ලබන්නේ චන්ද බලාපොරෙත්තුවෙනි. වත්මන් යහපාලන රජයද එලෙසම ඉදිරි චන්ද වලදී උතුරේ දෙමළ සහ මුස්ලිම් ජනයාගේ  චන්ද බලාපොරොත්තු වෙන් සිටිති. ඒ වෙනුවෙන් ඕනෑම කප්පමක් දීමට ලෑස්ති වීම වර්තමාන ස්වභාවයයි. නීති විරෝධී ලෙස කැලෑ එළි කළ උසාවියට ගල් ගැසූ බද්යුදීන් අමත්‍යාවරයා තවමත් නිදහසේය..මෙම අමාත්‍යවරයා මුස්ලිම් ව්‍යප්තවාදය වෙනුවෙන් කටයුතු කරන්නේ මේ අනුහසිනි. ඔහුට ඉතා ඉක්මනින් සමාව දිය හැකිද යන්න ප්‍රශ්නයකි .යහමින් මුදල් විසිකරන නිසා ඔහු වෙනුවෙන් හඬ නගන ස්වාමීන් වහන්සේලා පිරිසක්ද වවුනියා දිස්ත්‍රික්කයේ සිටිති. එවැනි අවස්ථාවක ජනපති වරයා මන්නාරමට ගොස් ගස් හිටුවීමට පෙළඹවීම රජ කොලෙප්පමක් බව නොකියා බැරිය. පිදුරංගලදී පස්ස හරවා පෙන්නූ සිසුන් මෙන් මේ යහපාලනයද සිංහල ජනයාට පස්ස හරවා පෙන්වා කොලොප්පම් කරන බව අවසාන වශයෙන් කිව යුතුය.


      

Sunday, September 30, 2018

රුපියලට ශක්තිය දිය හැක්කේ ඩොලරයට පමණක්ද


                       
        ලංකාවේ භාවිත සම්මත මුදල අව ප්‍රමාණය වීම නිසා රටේ ආර්ථිකය බරපතල ලෙසට කඩා වැටෙමින් ඇත.බොහෝ දේ වෙළෙඳ පලෙන් මිළට ගන්නා ජනතාවට සිය එදිනෙදා වියදම් කළමනාකරණය කරගන්නටවත් අවස්ථාවක් නොදී රුපියල කඩා වැටෙයි. එය පාලනය කිරීමටවත් විකල්පයක් සෙවීමටවත් පාලකයන් උනන්දු නැත. අතීත වර්තමාන සංඛ්‍යා ලේඛන සහ ලෝක ප්‍රවණතා ගැන කතා කරනවා විනා නව අදහසක් කියන්නට සමත් පුද්ගලයෙක් මේ ආර්ථික ක්ෂේත්‍රය තුළන් හමු නොවේ.මෙය කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා සඳහන් කරන්නේ ඉන්දුනීසියා උදාහරණද දක්වමිනි.
        1949 අංක 58 දරණ මුදල් නීති පණතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන ලද්දේ ප්‍රධාන අරමුණු කීපයක් සඳහාය.ලංකා රුපියලේ ස්ථාවර භාවය සුරැකීම ජාත්‍යන්තර ගනු දෙනු සඳහා රුපියල නිදහස් කිරීමට පසුබිම සැලසීම එහි ප්‍රධාන අරමුණු අතර වෙයි.අද රුපියගේ අගය තීරණය කරනු ලබන්නේ ඇමරිකානු ඩොලරයට සාපේකෂකවයි.මහ බැංකුව සතු විදේශ විනිසමය සංචිත ප්‍රමාණයත් දළ ජාතික නිෂ්පාදනයත් පදනම් කර ගෙන ඩොලරයට  සමගාමීව මෙම අගය තීරණය කෙරේ.මහ බැංකුව විසින් විදේශ සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යනුයේ කීප ආකාරයකිනි. විදේශ බැංකුවල තැන්පතු විදේශ රාජ්‍ය බැඳුම්කර විදේශ රාජ්‍ය සහතික කළ සුරුකුම් පත් රත්තරන් සහ ජගත් මූල්‍ය අරමුදල භාවිතා කළ හැකි විශේෂ ගැනුම් හිමිකම් එම අවස්ථාවන්ය.ජාත්‍යන්තර ගනුදෙනු වලදී අතර මැදි මුදල ලෙස භාවිතා කරන ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිළ  සහ විකුණුම් මිළ මහ බැංකුව මගින් තීරණය කරයි.එසේ කරනු ලබන්නේ රුපියලේ පරිවර්ත්‍ය භාවය රැක ගැනීමටත් ලංකාව තුළ ක්‍රමානුකූල විදේශ මුදල් වෙළෙදපළක් ඇති කරලීම සඳහාත්ය.මෙහිදී වානිජ බැංකු ක්‍රමය ඉතා දියුණු නම් මහ බැංකුව මුදල් වෙළෙඳ පලෙන් ඉවත් වී සිටී.
       විදේශ විනිමය කළමනාකරණයේදී විනිමය අනුපාතය  ඉතා වැදගත්ය.මහ බැංකුව විසින්  රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව  මුදල අව ප්‍රමාණ සහ අධිප්‍රමාණ කරනු ලැබේ.අපනයනය වැඩිකර ගැනීම පිණිසත් මුදල අව ප්‍රමාණ කරනු ලැබේ. 1967 දී එවකට පැවති රජය මුදල අව ප්‍රමාණ කරනු ලැබීය පසුව විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුව ස්ථාවර විදේශ විනිමය අනුපාත ක්‍රමය වෙනුවට පාලිත පාවෙන විදේශ විනිමය අනුපාත ක්‍රමය ආදේශ කරන ලදී.මෙතැන් සිට ඇමරිකානු ඩොලරයට සමගාමීව මූලක වශයෙන්ම ණය ගැනීම අරමුණු කොට ගෙන මුදල් වරින් වර අව ප්‍රමාණ කර තිබේ.1977 දී ඩොලරයේ විටිනාකම රුපියල් අටක් විය. විනිමය අනුපාතය පාවෙන්නට සැලැස්වීම නිසා 1978 වන විට එය රුපියල් 15.61 දක්වා වර්ධනය විය.2001 වර්ෂය වන විට එය රුපියල් 89.36 දක්වා ඉහළට එසැවී ගොස් තිබුණි. 2001 වර්ෂයේදී ජගත් මූල්‍ය අරමුදල මගින් ඇමරිකානු ඩොලර 253 ක් ණය වශයෙන් ලබා දීමට තීරණය කරන ලදී.මේ මුදල් ලබා දීමත් සමගම මෙම අරමුදල මගින් රජයට කොන්දේසි ද දමනු ලැබීය . නමුත් ජී.එල්.පීරිස් ඇමති වරයා සහ මහ බැංකු අධිපති ව සිටි ඒ.එස්.ජයවර්ධනත් ප්‍රකාශ කර සිටියේ එවකට පැවති පොදු පෙරමුණ රජයේ ප්‍රතිපත්තිය අනුව 21 වන සියවස සඳහා දර්ශනය නමැති ජනාධිපතිනිය ගේ වැඩපිළීවෙලට මේ මුදල් ලබා දී ඇති බවයි.රුපියල 70 සිට 100 දක්වා වැඩි වූයේ මේ මුදල් ලබාදීමත් සමගමයි. පසුව එය 90 දක්වා අඩු කෙරිණ. රුපියල අව ප්‍රමාණය වීම නිසා අප ගෙවිය යුතු ණය සහ පොළිය ඩොලර වලින් වැඩි වෙන හැටි මේ කාලයේ අත් දකින්නට ලැබුණි.
        මෙයින් සිදු වූයේ කුමක්ද 2001 දී ජගත් මූල්‍ය අරමුදල්  වාර්තාවේ නව වන පිටුවේ සඳහන් පරිදි වෙළෙඳ පළ බලවේගයන්ට ප්‍රතිචාර දැක්වීමට රුපියලට ඉඩ ලබා දෙන පරිදි නම්‍ය ශීලී විනිමය අනුපාතයක් පවාත්වාගෙන යා යුතු බවයි. ඒ අනුව සිදු වූයේ අපනයනයන් අභිබවා ආනයනයන් සීඝ්‍රයෙන් වැඩිවීමයි. ඉඳි කිරීම කර්මාන්තය  සංචාරක කර්මාන්තය ප්‍රවාහනය ආදී තැන්වලට ආනයනයන් බහුලව අවශ්‍ය බැවින් එහි යහපත් පැත්තක් තිබෙන බවට කෙනෙකුට තර්ක කළ හැකි නමුත් ලෝකයේ හදිසි අවස්ථාවකදී රුපියල පාලනය කර ගැනීම ලෙහෙසි පහසු නොවේ. අනෙක දේශීය භාණඩ වලට වඩා විදේශීය භාණ්ඩ කෙරෙහි වැඩි රුචිකත්වයක් නැඹුරුතාවයක් ඇති සමාජයකට සිය ආශාවන් පාලනය කර ගැත හැකි නොවේ. එවිට කෙසේ වත් නවොත්පාදන මගින් දේශීය කර්මාන්ත දියුණට පත් නොවේ.ජගත් විශේෂඥයන් තර්ක කරන පරිදි අපනයනයන්ට වැඩි අවස්ථා මේ මගින් උදා වී නැත.ඒවා ඇතැම් විට සීමා කිරීම් වලට යටත් වේ.දුප්පත් කම අඩු කිරීමේ ව්‍යුහාත්මක යොජනා ඉටු කිරීම පෞද්ගලීකරණය බෙදුම්වාදී යෝජනා වලට රාජ්‍ය ප්‍රතිපත්ති තුළ තැනක් ලබා දීම වැනි කොන්දෙසි වලට රජයට යටක් වීමට සිදු වේ.දැනටමත් අසීමාන්තික ලෙසට යටත් වී ඇත. 1954 දී ජගත් මූල්‍ය අරමුදලට සම්බන්ධ වීමෙන් අප රටක් වශයෙන් විශාල ණය උගුලකට අසුවී ඇති වව පැහැදිලිය.ඇමරිකානු කොටස් වෙළෙඳ පළ ඉහළ නැන්වෙන විට ලංකාවේ සිටින කොටස් හිමියන් මෙහි මුදල් එහි ආයෝජනය කිරීම වැඩි වීමෙන් මෙවර වේගයෙන් රුපියල අව ප්‍රමාණය වී යයි අගමැති පවසයි. එහි තේරුම නම් මහ බැංකුව මැදිහත් වීමක් නොකර බලා සිට ඇති බවයි.දැන් ඒ සඳහා මැදිහත් වන බව මහ බැංකුවේ ඉහළ නිළධාරීන් පැවසුවද විනාශය සිදුව හමාරය. බැඳුම්කර මගඩිය නිසාද පසු ගිය කාලයේදී මෙවැනි තත්ත්වයක් උදා විය.
              ලංකාවේ මුදල් භාවිතයට ඉතා දිගු අතීතයක් ඇත.තඹ රත්තරන් රිදී ආදී ලෝහ වලින් තැනූ මෙරට මුදල් නිකුත් කිරීමේ අධිකාරිය නොයෙක් යුග වල අධිපතියන් බවට පත් වූ රජවරුන් සතු විය.ඔවුන් ගේ නමින්ම ඇතැම් විට මේ කාසි නිකුත් කරන ලදී.පළමුවන විජයබාහු එලෙස කාසි නිකුත් කළ ප්‍රථම නරපතියා වෙයි. එකල මේ ලෝහ වල පැවති සුලභතාවය මත මුදලේ අගය තීරණය කර තිබේ. ලංකාවෙන් හමු වූ රන් සහ තඹ එකල ලෝකයේ වෙනත් රටවලද හමු වුවද ලෝකයට සාපෙක්ෂකව මෙහි හමු වීම් ඉහළ අගයක් ගත්හ. රුවන් මැලි සෑය ගොඩ නගන අවදියේ දී  ඒ උතුම් කාර්යයේ ශ්‍රද්ධා භක්තිය නිසා රටේ විවිධ ප්‍රදේශ වලින් රන් රිදී මැණික් මතු වූ හැටි මහා වංශයේ ඇතුලත්ව තිබේ. නගරයෙන් ඊසාන දිග තුන් යොදුන් තන්හි ආචාරවිට්ටි නම් ගමෙහි නානාවිධ රත්තරන් පහල විය. එයින් ලොකුම ඒවා වියතක් පමණද කුඩා ඒවා අඟලක් පමණද විය. වරින් දකුණු දිග අම්බට්ටකොල නම් ජනපදයෙහි ලෙනක රිදී පහළ විය.පුරයෙන් නැගෙනහිර දිග සත් යොදුනකින් එපිට ගෙඟන් එතෙර පිහිටි තඹ විට නම් ගමෙහි තඹ ලෝහ පහළ විය. ලංකා පුරා වෘත්ත සහ කඩයිම් පොත් වල දක්නට ඇති පරිදි සතරක් රිදී ආකාර ගම්ද සොළසක් රන් ආකාර ගම්ද සියයක් රුවන් ආකරගම්ද ලංකාව පුරා තිබී ඇත.යටත් විජිත සමයෙන් පසු ප්‍රථම වරට ලංකාවේ ඛනිජ සම්පත් ගවේශණයට ආයතනයක් පිහිටුවන ලදහ. යකඩ රන් රිදී ආදී ලෝහ වර්ග මෙන්ම මැණික් ගැනද ඔවුහු ගවේශණය කළහ.විසිවන සියවසේ මුල් භාගයේදී ලංකාවට පැමිණී ජී.ජී.ඩික්සන් නම් රන් ආකර පිළිබඳ විශේෂඥයකු සහ ප්‍රකටගවේශකයෙකු වූ ආනන්ද කුමාරස්වාමී මහතා විසින් මෙම ඛනිජ සම්පත් ගැන වැදගත් වාර්තාවන් පළ කරනු ලැබ ඇත.
            රන් සහ රිදී මිශ‍්‍ර කොට රාජ්‍ය යෙහි මුදල් සඳහා කාසි නිපදවනු ලැබූහ. ඒවා කහවණු අඩ කහවණු සහ මසුරන් යන නමින් හඳුන්වන ලදහ.  පසු කාලයේදී තඹ මස්සටද මසුරන් යන නාමය භාවිත කොට ඇත. පළවන විජයබාහු රජු මේ තඹ මස්ස නිකුත් කිරීම අරඹන ලදී. කලක් ලෝකයේ පිළිගත් මුදල් ඒකකය වූයේ රත්තරන්ය.1914 දක්වාම එය එසේ විය.ඉන් පසු 1971 දක්වාම රන් සම්මතයේ පිළිගැනීම් අඩු වැඩි වශයෙන් තිබුණද දැන් එවැනි සම්මතයක් නොමැත නමුත් බොහෝ රටවල් රන් සංචිත  පවත්වාගෙන යන්නේ තම වත්කම් ප්‍රවර්ධනය කර ගැනීමටයි. ලංකාවේ මහ බැංකුව සතුවද ඩොලර මිලියන 786.60 වටිනා රන් සංචිතයක් තිබෙන බවට වාර්තා වෙයි. ඒවා ක්ෂණිකව මුදල් කළ නොහැකියි. නමුත් රටේ වත්කම් තීරණය කර ගැන්මට එය සාධකයක් වේ. මෙම තත්ත්වය තුළ රන් සංචිත තව දුරටත් වර්ධනය කර ගැනීම මගින් ලෝක ආර්ථික අවපාත  සහ වෙනස්කම්  සිදුවන අවස්ථාවලදී යම් පිළිසරණක් අත් වේ යැයි සිතිය හැකිය.අවාසනාවකට ලංකාවේ සොයා ගෙන තිබෙන රන් සහ මිනිරන් ඉල්ලම් වල අයිතිය භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් ඔස්ට්‍රේලියා සමාගමකට බදු දී ඇත. ඔවුහු ඒවායේ රන් නොසොයා කොටස් වෙළෙද පළ තුළ ආයෝජනය කරමින් රන් මිශ්‍ර පස් පිටරට පටවන බවටද පසුගියදා වාර්තා විය. කෙසේ වෙතත් ඛනිජ වර්ග රන් සහ වෙනත් භූ සම්පත් වලින් පොහොසත් රටක් වශයෙන් තිබුණද අප අද ලෝක බැංකුවේ හිඟමනේ යයි. මේ ආර්ථික අර්බුදයෙන් සහ ණය උගුලෙන් ගැලවීමට නම් අප ගේ ආර්ථික ආකල්ප සහ ගතානුගතික පුරුදු වෙනස් විය යුතුය.අජිත් නිවාඩ් කබ්රාල් ජී.එල්. පීරිස්ලා පවසන පරිද පාලිත විනිමය අනුපාත ක්‍රමය එකම විසදුම නොවේ.අපනයනය සඳහා විකල්ප සෙවීමත් නවොත්පාදනය පිණිස වැඩි ආයෝජනයක් කිරීමත් දේශීය කර්මාන්ත වලට වැඩි තැනක් ලබා දීමත් තුළින් ආනයනය පාලනය කළ හැකිය.වානිජ බලවේග වලට රිසි සේ හිතුවක්කාර ලෙසට කටයුතු කිරීමට ඉඩ නොදිය යුතුය.එහි අර්ථය  නම් වානිජ බංකු නිරන්තරයෙන් පාලනය කළ යුතු බවයි.ජගත් මූල්‍ය අරමුදලේ කොන්දේසි සහ බලපෑම් අවම කර ගත හැකි දේශීය විසදුමකට යෑම අනිවාර්ය කරුණකි.


Monday, September 17, 2018

සීගිරි බිතු සිතුවම් සංරක්ෂණයේ අභියෝග


                               
             සිංහල ඉතිහාසයේ  මහා සුරු විරු කම් පෑ නරපතියන් මෙන්ම මහා කාලාකාමී හැකියාවන් ගෙන් සමන්විතව සිටි නරපතියන්ද වූහ.ධාතුසේන මහරජු ගේ පුත් කාශ්‍යප ගැන කිව යුතු වන්නේ සිය ආරක්ෂාව වෙනුවෙන් ඉඳි කල බලකොටු නගරය මහා කලාගාරයක් බවට පත් කර ගත් ආකාරයයි. ඇතෙමෙක් මේ සීගිරි බල නගරය හඳුන්වන්නේ ආලකමන්දාව යනුවෙනි. රාවණ ගේ පරපුරේ කුවෙර ගේ ආලකමන්දාව යනුවෙනි. කෙසේ වෙතත් ලංකාවට කීර්තියක් අත් කර දුන් ස්මාරයකයන් අතර  සීගිරිය ඉදිරියෙන්ම ඇත. එය ලෝක උරුමයක් ලෙසට යුනෙස්කෝව විසින් නම් කරන ලද්දේය  . එහෙත් සැබවින්ම සීගිරිය යනු ජාතික උරුමයකි. සිංහලයන්ට සිය අභිමානය කියැ පෑ හැකි විස්මිත නිර්මිතයකි. සීගිරිය නිර්මාණය කොට එහි කලා කෘති නිර්මාණය කොට දැන් අවම වශයෙන් වසර එක්දහස් පන්සීයක කාලයක් ගතව ඇත්තේය. කලක් ඝන වනයට යටව පැවතුණු සීගිරිය 1831 වර්ෂයේදී   හෙළි පෙහෙළි කර ගනු ලැබිණ. එච්.සී.පී.බෙල් මහතා 1851 වර්ෂයේදී සීගිරිය තරණය කළේය. මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ද ඒ මග ගනිමින් සීගිරි කලාගාරය නැවත ප්‍රකෘතිමත් කිරීමටත් සීගිරි කුරුටු ගී කියවා ප්‍රකාශයට පත් කරලීමටත් කටයුතු කළේය.
             ලක්දිව  චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යනය කිරීමේදී සීගිරි චිත්‍ර මුල් තැනක් ගනී. දැනට අපට සීගිරියෙන් හමුවනුයේ චිත්‍ර 22ක් වැනි සුළු ප්‍රමාණයකි.ක්‍රි.ව.8 වන ශතවර්ෂයේ දී ලියවී ඇති සීගිරි කුරුටු ගීයකට අනුව රන්වන් ලියන් 502කගේ චිත්‍ර පිළිබඳව සඳහන් වේ.ප්‍රධාන වශයෙන් සීගිරි චිත්‍ර බටහිර ගල් පර්වතයෙහි ඇඳ තිබෙන අතර ඊට අමතරව දැරණියගල ගුහාව,  බක්කිගල ගුහාව,නයිපෙන ගුහාව(පරුමක ලෙන) යන ස්ථානවලින් ද සිතුවම් හමු වී තිබේ. මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා ලෙස සුකුමාල ලලනාවන්ගේ උඩුකය රූප  වළාකුළුවලින් නික්මෙන්නාසේ ඇඳ තිබේ. මෙම චිත්‍ර ඇඳීමේදී වර්ණ භාවිතය විශේෂය. වර්ණ සකසා ගැනීමේදී රජරට බහුලව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිතා කර තිබේ. එනම්,ගොකටු කිරි, මකුළු මැටි, රණවරා ආදිය වේ.මෑතකදී ඉතාලියේ ඉක්‍රොම් අයතනයේ  විශේෂඥ ෆැබ්රීසියෝ බන්ධනී විසින් කරන ලද අධ්‍යනයකදී හෙළි වී ඇත්තේ චිත්‍ර සිතුවම් කිරීමේ පෘෂ්ඨය ස්ථර තුනකින් යුක්ත බවයි.ඒවා රතු මැටි (හුඹස් මැටි) ශාක කොටස් සිහින් වැලි වලින් සමන් විතය. ස්ථර දෙකක පමණ හුණු මද වශයෙන් යොදා ගෙන තිබේ.එම වැලි මැටි බදාමය බන්ධනය කිරීමට ගිවුල් ලාටු වැනි ස්වභාවික ගම් වර්ග භාවිතා කර ඇත. ලලනාරූප ශරීර හැඩයන්ට අනුකූලව තෙලිතුඩ හසුරුවාලීම නිසා සීගිරි සිතුවම් ඈතට පෙනෙනුයේ වර්ණයෙන් අඹන ලද රූප ලෙසය. සිංහල සාහිත්‍යයේ   දක්වා ඇති අගින් සිහින් වූ ඇඟිලි,සිහිනිඟ,මස්පිඩු පිරුණු පුළුලුකුල,වට වූ පුන්පියයුරු,දෙතොල් සහ දෙකොන සිහින්ව ගිය දිගු ඇස් සීගිරි සිත්තමින් අලංකාර වී යයි සිතේ.
         මෙම අලංකාර චිත්‍ර කාලයේ විපරීත බවින් දේශගුණික විපරීත බවින් ද මුදවා ගන්නට නොහැකිය. මිල කළ නොහැකි සීගිරි බිතු සිතුවම් වරින් වර විනාශව යන්නට කරුණු ගොනු වන්නේ එහෙයිනි. වරක් සාහසිකයෙකු විසින් සීගිරි සිතුවම් මත තීන්ත ගා කුලු ගෙඩියෙන්ද පලුදු කර තිබුණි. නවසිය හැටේ දශකයේ දී මෙම විනාශය මග හරවා සිතුවම් යලි යථාතත්වයට පත් කිරීමට ඉතාලි ජාතික ලුසියානො මරන්සි පැමිණ ගියහ. පසුගිය කාලයේද ඒවා නැවතත් අභියෝග රැසකට මුහුණ දුන්හ.සීගිරිය සම්බන්ධව වගකීම දරන ආයතන කීපයකි. එකක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. අනෙක මධ්‍යම සංස්කෘතික අරමුදලයි. නව සිය හැටේ දශකයෙන් පසුව සීගිරි චිත්‍ර නැවත අභියෝගයට ලක් විය. ඒ එම චිත්‍ර මතින් විශේෂයෙන්ම ලලනාවන්ගේ මුහුණු වසා ගෙන පැතිරුණු සුදු පැහැ වලා පටලයක් නිසාවෙනි.මෙම ලිපිය සැකසෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම අභියෝගය ජය ගන්නට සහ නිවරදි පරිදි සංරක්ෂණයට ගත් ක්‍රියාමාර්ගයන් පෙන්වා දීමටයි.
       අපගේ පැරණි චිත්‍ර ශිල්පීන් විහාරස්ථාන බිතු සිතුවම් මෙන්ම මෙවැනි ලෞකික සිතුවම් ඇඳීම පිණිස ස්වභාවික අමුද්‍රව්‍යන්ම යොදා ගත්හ. ඒවා වියැකී යන කල්හි. නැවත ඒවා මත සිතුවම් අදිමින් සංරක්ෂණ ක්‍රියාමාර්ගයන් අනුගමනය කළහ.එයට හේතුව බෞද්ධ සංස්කෘතිය  ජීවමාන උරුමයක් ලෙසින් සැලකූ බැවිනි. මහනුවර දළාද මාළිගාවට කොටි ත්‍රස්තයන් එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් පසු. එහි වරිච්චි බිත්ති මත ඇඳ තිබූ පැරණි බිතු සිතුවම් යලි මතු විය. රජ දවස සංරක්ෂණ  ක්‍රියාදාමය එලෙසයි. විසි වන සියවසේ  මෙම චිත්‍ර සංරක්ෂණයට නවීන රසායන ද්‍රව්‍යයන් යොදා ගන්නට සිදු විය.1943 දී ෂානා වුල්ලා ඛාන් හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වා මහතා සහ මහාචාර්ය නන්දා වික්‍රමසිංහ යන  යන විද්වතුන් මේ සීගිරි චිත්‍ර සංරක්ෂණයේ පුරෝගාමීන් වූහ. ඉන්පසු නන්දා වික්‍රමසිංහ මැතිණිය යටතේ එහි දෙවනියා වශයෙන් කටයුතු කළ 1983 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එක්වුණු යූ .වතුගේ මහතා දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ   රසායන සංරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ධූරය දරයි.
    1968 ඔක්තෝබර් 13 දින සීගිරි චිත්‍ර විනාශ කළ පසු මරන්සි මහාතා ගේ උපදෙස් මත ඒම චිත්‍ර  වල ගා තිබූ තීන්ත ඉවත් කර නැවත යථා තත්ත්වයට පත් කර ගන්නා ලදී. 2004 වසරේ දී යට සඳහන් කළ පරිදි ලලනාවන් ගේ මුහුණ මතින් පැතිර ගිය සුදු වලා පටලය කුමක්දැයි නිවරදිව හඳුනා ගන්නා ලද්දේ යූ. වතුගේ මහතාය.ඔහු එම සොයා ගැනීම විස්තර කරන්නේ මෙසේය.

       සීගිරි චිත්‍ර සංරක්ෂණය පිළිබඳ නිරන්තර අවධානයෙකින් ඉන්නට සිදු වන්නේ ඒ චිත්‍ර ලෝක උරුමයන් අතරට එක් වීම නිසයි. මෙම චිත්‍ර සංරක්ෂණයට අපට වරින් වර යුනෙස්කෝ සංවිධානයේ විශෙෂඥයන් ගෙන උපදෙස් ලැබෙනවා. මම රසායන සංරක්ෂණ අංශයට එක් වූවාට පසු ඉන්දියාවට ගොස්  පුහුණුව ලබා පැමිණියා.2004 වර්ෂයේ දී මා දැක්කා මෙම චිත්‍ර නැවත යම් අභියෝගකට මුහුණ දී තිබෙන වග ඒවා සඳහා යම් අකාබනික රසායන වර්ග කීපයක් යොදමින් යථා තත්තවයට පත් කිරීමට වෑයම් කරමන් සිටින අවදියේ 2010 දී පමණ මේ විනාශය පත්‍ර මාර්ගයෙන් ප්‍රසිද්ධ වුණා. එම වාර්තා නිසා මට එරෙහිව පරික්ෂණයක් පවා සිදු වුණා. එහිදී මහාචාර්ය ජගත් වීරසිංහ මොහාන් අබේරත්න මහාචාර්ය නිමල් සිල්වා වැනි විද්වතුන් ගේ කමිටුවක් පත් කලා.නමුත් ඔවුහු තහවුරු කලා මම භාවිත කළ රසායන ද්‍රව්‍ය මගින් එම විනාශය සිදු නොවුණ බව. ඒ සමගම යුනෙස්කෝවේ අනග්‍රහය මත ඉතාලි ජාතික බන්ධනී ද ලෝක උරුම කාර්යාලයේ කැකුලේ සහ ක්‍රිස්ටීන් ප්ලෙෂර්  මෙහි පැමිණ මේ චිත්‍ර ගැන පර්යේෂණ කරමින් වාර්තා දෙකක් එළි දක්වා තිබෙනවා. ඊට අමතරව පුරාවිද්‍යා පශචාත් උපාධි අයතනය මගින් කල පරීක්ෂණය මගින් (පොලිවිනියුල් ඇසිටේට් ) වැනි දෙයක් මෙම පටලය තුළ තිබෙන බව තහවුරු කර ගත්තා.මම කලින් නිගමනය කළ සැකය ඔවුන් තහවුරු කර තිබෙනවා. ඒ කියන්නේ මේ මතුව තිබෙන්නේ ජිප්සම් විශේෂයක්. 2014 වසරින් පසුව මම නිවි හැනිල්ලේ මෙම චිත්‍ර යළිත් සංරක්ෂණය ආරම්භ කොට අද වන විට එය අවසන් කොට තිබෙනවා. මෙම වලා පටලය මතු වීමට හේතුව මරන්සි මහතා විසින් කැඩුණු බදාම සවි කිරීමට භාවිතා කල පෙසොලෝනා බදාමයේ ජිප්සම් සහ ගම් වර්ග තිබීමයයි අනුමාන කරනවා.. වාතයේ තෙතමනය සමග එක්කාසු වී මේවා සිහින් පටලයක් ලෙස විසිරෙන්නට පටන් ගත්තා. නමුත් මම තේරුම් ගත්තා අකාබනික රසායන වර්ග කීපක් පාවිච්චි කිරීමෙන් මෙම උවදුර පහ කර ගත හැකි බව. මොකද මැටි බදාම වල සහ වර්ණ වල තිබෙන කාබනික රසායන සහ අකාබනික රසායන ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එම වෑයම සාර්ථක වුණා. දැන් ඒ ගුහාවේ චිත්‍ර නැවත යථා තත්වයට පත්ව තිබෙනවා.
            සැබවින්ම මෙම අත්දැකීමෙන් අපට පසක් වන්නේ ඉතාමත් අවම පහසුකම් යටතේ වුවද පුරා විද්‍යා දෙපාර්තමේනේතුවේ  විශේෂඥයන්ට ලංකාවේ සංරක්ෂණ කටයුතු කළ හැති ආකාරයයි.2016 දී දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ අර්ජුන මහතා සහ පිරිසක් එක්ව සීගිරිචිත්‍ර නව ඩිජිටල් ක්‍රමයට පිටපත් කිරීම එක් උදාහරණයක්. ඒ ඡායාරූප මගින් සිදුවන හානි ඉතා ඉක්මනින් හඳුනාගන්නට හැකිවනවා. එම නිර්මාණ ශීලී තත්ත්වය වැඩි දියුණු කිරීමට නම් නව තරුණ නිළධාරීන් ඉදිරියට ගත යුතුය. වැඩි දුර පුහුණුවට විදේශ වලට යවා යලි මෙහි ගෙන්වා ගෙන ලංකාවේ බිතු සිතුවම් මෙන්ම වාස්තු නිර්මිතියන් ආරක්ෂා කර ගත යුතුයි.එහෙත් ශෝචනීය තත්ත්වය නම් දෙපාර්තමේන්තුවේ සිටින නිළධාරින් බොහොමයක් සරිලන වැටුපත් නොලැබීමත් උසස් වීම් නොලැබීමත් වැඩි දුර පුහුණු සඳහා අවශ්‍ය පහසු කම් නොලබමින් කළ කිරීමෙන් පසු වීමයි. වතුගේ මහතා ද තව වැඩි කලක් යන්නට ප්‍රථම විශ්‍රාම යන්නේය.ඉන්පසු ඒම රික්තය පිරවීම ලෙසෙහි පහසු නොවේ. ඇමති වරුන්ගේ  සහ ලේකම් වරුන් ගේ බල අරගල වලට මැදි වී මිරිකී තිබෙන මෙවැනි වටිනා ආයතන යලි නගා සිටුවීමට නම් ඒවායේ මුල් පුටුවලට පුරාවිද්‍යාව මෙන්ම රටේ සංස්කෘතිය ස්පර්ශ කරන අවංක නිළධාරීන් පත් විය යුතුය.ලංකාවේ ස්මාරකයන් සියල්ල අයත් වන්නේ ජාතික උරමයන්ටයි. ඒවා කෞතුක වටිනා කමකින් යුක්ත වුවද ජීවමාන සංස්කෘතියේ පැතිකඩයන්ය. ඒවා කලමනාකරනයට පුරාවස්තු ආඥා පණත ප්‍රමාණවත් නැත. ඒ වෙනුවට ජාතික උරුම කළමනාකරන පණතක් අවශ්‍ය වන්නේය.එසේ  නොවන  විට සීගිරිය වැනි අගනා ජාතික උරුමයන් චීනයට හෝ ඉන්දියාවට පවරා දීමට යමෙක් කටයුතු කරන්නේ නම් එය පුදුමයට කරුණක් නොවේ..

         



Wednesday, August 29, 2018

සීමා නිර්ණ වාර්තාව අගමැතිගේ පීල්ලට ඒකාබද්ධය පීලි පනියි


                               

         2017 වර්ෂයේ අග භාගයේදී පැවැත්වීමට තිබූ පළාත් සභා මැතිවරණය  කල් තබා කොට්ඨාශ ක්‍රමයට පැවැත්විය යුතු යැයි යටි කූට්ටු පණතක් සම්මත කරගත් යහපාලන ආණ්ඩුව කොට්ඨාශ සීමා නිර්ණය සඳහා දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව සීමා නිර්ණ කොමිසමක් පත් කළහ. දැන් එම කොමිසමේ වාර්තාව පළාත් සභා අමාත්‍යවරයාට භාර දී පාර්ලිමේන්තු ගත කර තිබේ. මෙම වාර්තාව පසුගිය මාර්තු 22  දින පාර්ලිමේන්තුව තුළ විවාදයට ගෙන සම්මත කර ගැනීමට තිබුණද එසේ සිදු නොවීය.2018 අගෝස්තු මාසයේ 24 වන දින පාර්ලිමේන්තුවට මෙම වාර්තාව ඉදිරපත් කරන තෙක්ම  මෙම වාර්තාව ගැන තොරතුරු ලබා ගැනීමට එය අන්තර්ජාලයේ පළ නොකළ බව සඳහන් කළ යුතුය.. මෙම වාර්තාව සකස් කිරීම පිණිස මහජන අදහස් ලබා ගැනීමට යැයි සාකච්ඡා වට මාලාවක් ලංකාව පුරා පැවැත්වුවද ඒවාට ලක්ෂ 212 ක් වැනි මුදලක් වියදම් කළද මහජන නියෝජිතයන් බහුතරයකට එයට අදහස් පළ කිරීමට හැකියාවක් නොලැබුණි.එම සාකච්ඡා වටය කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වූ දිනයේදී ඒ බැව් කිසිම පළාත් සභා මන්ත්‍රී වරයෙකු දැන නොසිටි අතර එදින බස්නාහිර පළාත් සභාවේ අය වැය විවාදය පැවැත්වූ දිනයද වීම මතක් කළ යුතු කාරණයකි.අහම්බෙන් මෙම අවස්ථාව ගැන දැන ගැනීමට ලැබී එහි පැමිණ අදහස් පළ කළද මාගේ සාක්ෂිය ද එම වාර්තාවේ සඳහන් කර නොමැත.
          මේ සීමා නිර්ණ වාර්තාව මගින්  මා නියෝජනය කරන කලුතර දිස්ත්‍රික්කය එක් අතකින් ජාතිවාදීවද තවත් අතකින් සමාජ විකෘතියක් ඇතිවන ලෙසටද  සකස් කර ඇත. උදාහරණයක් ලෙසට මෙතෙක් බහු ආසනයක් ලෙසට තිබූ බේරුවල ආසනය තුළ සිටි සිංහල ජන සංඛ්‍යාව දෙඩන්ගොඩ නමින් යුක්ත ආසනයකට අනුයුක්ත කිරීම දැක්විය හැකිය. එවිට බේරුවල ආසනය තනි මුස්ලිම් ආසනයක් බවට පත් වේ. සමානුපාතක නියෝජනය මත සිංහල නියෝජිතයෙකු හට පත් විය හැකි නමුදු එය ජයග්‍රාහකයාගේම පක්ෂයෙන් ලැබෙන පත්වීමක් බවට පත් වේ.පළාත් පාලන මැතිවරණයේදී වැලිපැන්න කොට්ඨාශය තුළ එවැනි අවස්ථාවක් ඇති විය.
        මෙම සීමා නිර්ණ වාර්තාව අනුව පැරණි අගලවත්ත ආසනය සම්පූර්ණයෙන්ම අහෝසි වන අතර අලුතෙන් වාද්දුව නම් ආසනයක් නිර්මාණය කර ඇත. එසේම මෙතෙක් දොඩන්ගොඩ ආසනයට තිබූ තෙබුවන ග්‍රාමයද මතුගම ආසනයට කඩා දක්වා තිබේ.කලුතර දිස්ත්‍රික්කය මෙන්ම ලංකාවේ විවිධ දිස්ත්‍රික්කයන් තූළ කර ඇති විකෘති කිරීම්ද අධ්‍යනය කිරීම යෝග්‍ය වේ. මා විසින් මෙම කොමිසම වෙත ඉදිරපත් කළ යෝජනා අතර පසුගිය පළාත් පාලන සීමා නිර්ණ වලදී සිදුවූ වැරදී බෙදීම්ද ඇතුලත් විය. නිදර්ශනයක් වශයෙන් මන්නාරම මුසලි ප්‍රාදේශීය සභාව සඳහා ආසන 07 ක් ඇති කිරීමේ දී  සිදු කළ වැරදි එසේ පෙන්වා දුනිමි. රිෂාඩ් බද්යුදීන් විසින් කපා දමන ලද කල්ලාරු වනයට පවා එක් මන්ත්‍රී අසනයක් වෙන් කර තිබූ ආකාරය පෙන්වා දුනිමි.උතුරේ අවතැන් වූ සිංහලයන් වෙනුවෙන් වෙන් කළ වවුනියා දිස්ත්‍රික්කයේ බෝගස් වැව ප්‍රදේශය පළාත් පාලන සීමා නිර්ණයේදී දිස්ත්‍රික්ක දෙදකටද ප්‍රා දේශීය සභා තුනකටද කඩා වෙන් කර තිබුණි. මේ තුළින් සීමා නිර්ණ කරුවන් බලාපොරොත්තු වූයේ වවුනියා දිස්ත්‍රික්කයට සිංහල මන්ත්‍රී නියෝජනය ශූන්‍ය කිරීමටයි. විශේෂයෙන්ම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී මෙන්ම පළාත් සභා මැතිවරණයකදී. සිංහල ජනතාව එක පොකුරුට සංවිධානය වීම මෙයින් වැලකේ.මේවා නිවැරදි කරන ලෙසට කොමිසමෙන් ඉල්ලීම් කළද ඒවා තමන්ට අයත් කාර්යයන් නොවේ යන්න ඔවුන් ගේ පිළිතුර විය.
        මෙවැනි ජාතිවාදී සමාජ විකෘතිවාදී බෙදීම් ඇති මෙම වාර්තාව සකස් කර තිබෙන්නේ කොටි ත්‍රස්තවාදීන් සඳහා අනුග්‍රහය දැක්වූ හිටුපු මිනුම්දෝරු අධිකාරිවරයෙකු වූ කේ.තවලිංගම් මහතාගේ සභාපතිත්වයෙනි. එසේම කොටි කාන්තාවන් වෙනුවෙන් ලිපි සම්පාදනය කල එන්.ජී.ඕ. ක්‍රියාකාරිණියක වූ ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායකද රිෂාඩ් බද්යුදීන් ගේ උපදේශකයෙකු ව සිටි මහාචාර්ය හිස්බුල්ලා ද(ඔහු පසුගියදා මියගියේය) අනෙක් සාමාජිකයන් වෙති.ඔවුහු තමන්ගේ ස්වාමි වරුන් ගේ අරමුණ වෙනුවෙන් මෙම වාර්තාව සැකසූහ.පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර න තෙක්ම මහජනයාට මෙම වාර්තාව නිකුත් නොකරන ලද්දේ මෙම ජාතිවාදී සීම නිර්ණ සහ විකෘතිතා හෙළිදරව් වන නිසාය
        පළාත් පාලන සීමා නිර්ණයෙන් පසු පැවැත්වූ මැතිවරණයේ දී ප්‍රා දේශීය සභාවල ඇතිවූ විකෘතිතා දැන් කවුරුත් අවබෝධ කරගනෙ සිටිති. පරාජිත පක්ෂ වල නියෝජිතයන් බුරුතු පිටින් මන්ත්‍රී වරුන් බවට පත්වූ යේ  ජ.වි.පෙ. මුස්ලිම් කොන්ග්‍රසය හෙළ උරුමය සහ එ.ජා.ප.ය විසින් බලපෑම්කර සම්මත කර ගත්  සියයට හැත්තෑව සහ සියයට හතළිහේ මැතිවරණ ක්‍රමයෙනි.දැන් ඔවුන්ගේම මැදිහත් වීමෙන් සකස් කළ සියයට පණහක කේවල ක්‍රමයත් සියයට පණහක සමානුපාතික ක්‍රමයත් මගින් පළාත් සභාවන් ස්ථාපිත වුවහොත් පළාත් පාලන ආයතන වල දැනට ඇතිවී තිබෙන අර්බුදයන්ට වඩා එහා ගිය අර්බුද රැසක් නිර්මාණය වනු ඇත. එජා.ප යට දැන් තිබෙන එකම හිසරදය නම් ඉදිරි පළාත් සභා චන්දයට මුහුණ දෙන අන්දමයි.නිසැක පරාජය ඔවුන් අභිමුවේ තිබේ.එසේම දෙමළ ජාතිවාදීන් සහ මුස්ලිම් අන්තවාදීන් සතුටු කිරීමට කළ හැකි තවත් දේද ඉතිරිව තිබේ. එම තත්ත්වය තුළ රජය විසින් සිය අනුග්‍රහයෙන්ම සකස් කළ සීමා නිර්ණ වාර්තාවට විරෝධතාවයක් ගොනු කරනු ලබන්නේ මාස පහකට ආසන්න කාලයක සිටයි.කොට්ඨාශ ක්‍රමය වෙනුවට පෙර පැවති සමානුපාතික ක්‍රමයට මෙම මැතිවරණය පැවැත්වීම හොඳයයි සමාජමය මතයක් ඇති කිරීම එයින් එකකි. එසේම චන්දය කල් දමමින් ජනතා විරෝධය යටපත් කරමින් එකම දිනක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කල් මැරීමද මෙහි තිබේ.මෙම උගුලට ඒකාබද්ද විපක්ෂය පැහැදිලිවම අසුවී ඇත. ඔවුහු රජය සමග එකතුව සිමා නිර්ණ වාර්තවට විරුද්ධව චන්දය ලබා දුන්හ. නමුත් මාස පහක් ගත වීත් මෙම වාර්තාව විශ්ලේෂණය කොට කල එකදු මාධ්‍ය සකච්ඡාවක් හෝ රැස්වීමක්ද නොවීය. එයින් පැහැදිලි වන්නේ ඔවුහු සියල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උගුලකට අසුවී ඇති බවය. මන්ද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අතින්ද මේ ගැන ඉඟියක් පළවූ බැවිනි. එනම් අගමැති ගේ මූලිකත්වයෙන් පත්කරන ලද කමිටුවකින් මෙම වාර්තාව නැවත සමාලෝචනය කොට සම්මත කළ හැති බවයි.අගෝස්තු 28 වන දින කතානායක වරයා විසින් එම කමිටුව පත් කොට අවසන් කර තිබේ. එහි සාමාජිකයන් ලෙසට අගමැතිවරයා අර්.එම්.ඒ.එල්. රත්නායක පෙරියසාමි මුතුලිංගම් මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ සහ ආචාර්ය ඒ.එස්.එම්. නවුෆල් යන මහත්වරුන් පත් කර ඇත. ඒ අතර මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් සීමා නිර්ණය තුළ තම ප්‍ර දේශ වලට බහු ආසන ගණනාවක් අවශ්‍ය බව පසුගියදා ප්‍රකාශ කලේය. දැන් බළලා මල්ලනේ එළියට පැමිණ ඇත.නව කමිටුවට ඇතුලත් වන බහුතරය සිංහලයන් නොව දෙමළ හා මුස්ලිම් පුද්ගලයන්ය. එවිට ඉදිරියේදී සිදු වන්නේ මෙම වාර්තාව අගමැතිට අවශ්‍ය වන ආකාරයට ජාතිවාදීන් ගේ ඉල්ලීම අනුව සංශෝධනය කොට සම්මත කර ගැනීමයි. ඒකාබද්ධය පීලි පනින විට අගමැතිවරයා සිය ඉලක්කයන් අනුව ඊනියා යහපාලන කෝච්චිය ඉදිරියට ගෙනයමින් තිබේ.ජනතාව මේ කෝච්චිය ට බෙල්ල තබනවාද නැතිනම් පෙරලනවාද යන්න ඉතා ඉක්මනින් තීරණය කළ යුතුය.