පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, June 25, 2017

දඹුලු පුදබිමට බැල්ම හෙලන බහිරවයා කවුරුද

                                


            බුද්ධ වර්ෂ තුන්වන සියවසේ සකස් කරන ලදැයි පැවසෙන ගල් ලෙන් සහිත බෞද්ධ පූජා භූමියක් වන රන්ගිරි දඹුලු රජ මහ විහාරය ලෝක උරුමයක් ලෙසට නම් කරන ලද්දේ 1991 වසරේදීය. මෙලෙස නම් කළ පසු එක්සත් ජාතීන් ගේ සංවිධානයේ යුනෙස්කෝ ප්‍රඥප්තීන් ට අනුව ලෝක උරුම ස්මාරක පවත්වා ගෙන යා යුතුය. ඔවුන් ගේ වාර්ෂික කමිටු රැස්වීම් වලදී මෙම ස්මාරක පිළිබඳ තොරතුරු සහ සංරක්ෂණ කටයුතු වල තොරතුරු සලකා බලා යාවත්කාලීන කළ යුතු කාරණා ගැන අදාල රටවලට දන්වති.
      පසුගිය කාලයේ දඹුලු පූජා භූමියේ කටයුතු නොලසකා හැරීමත් විහාර අධිකාරියේ බලපෑම් මත කරන ලද ඉඳි කිරීම් හේතු කොට ගෙනත් මෙම ස්ථානය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බවට රාවයක් පැතිරුණි. රජයේ ඇතැම් බලධාරීන් විසින්ද එවැනි මතයක් ප්‍රචාරය කිරීමට උත්සාහ දරන ලදී.යුනෙස්කෝ ආයතනයේ ලෝක උරුම කමිටුවේ හතලිස් වන සැසි වාරය ඉස්තාන්බුල් නගරයේ දී පවත්වන ලද්දේ 2106 වසරේදීය. එහිදී එම කමිටුව විසින් දඹුලු විහාරය පිළිබඳ ගන්නා ලද තීරණ ප්‍රංශ තානාපති තිලක් රණවිරාජා මහතාට දන්වා යවා තිබේ. ඒ අනුව 2017 දෙසැම්බර් මස පළමුවන දාට පෙර මේ පිළිබඳ වාර්තාවක් අදාල කමිටුවට ඉදිරිපත් කළ යුතුය. එම වාර්තාව සලකා බැලීම සිදු වන්නේ 2018 වසරේදී මුළු ගැන්වෙන 42 වන  සැසිවාරයේදීය.ලංකාවේ දේශපාලන අධිකාරියට ඉදිරිපත් කරන ලද ලිපියේ මෙවැනි නිර්ණායක කීපයක් අන්තර්ගතව තිබේ. ඒවා මෙසේය.

1-      ස්මාරක කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කිරීම. දඹුලු රජමහා විහාරය භාරකාර ස්වාමීන් වහන්සේලා රජයේ නියෝජිතයන් සහ විශේෂඥතාවය ඇති මහජන නියෝජිතයන්  ඊට ඇතුලත් විය යුතුය.
2-      කළමනාකරණ සැලැස්ම වරින් වර යාවත්කාලීන කළ යුතුය. එය කළ යුත්තේ සාම්ප්‍රදායික විහාර පාලනය සමග සහයෝගීතාවයෙන්ය.රජය සහ විහාර පරිපාලනය අතර එකඟතාවයෙන් කෙටිකාලීන සහ දිගු කාලීන  උපාය මාර්ග සකස් කිරීමට කටයුතු කළ යුත්තේ විහාර සංරක්ෂණ කටයුතු සහ වන්දනා කරුවන්ගේ පැමිණීම කළමානාකරණය පිණිසය.
3-      උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීමේදී සංරක්ෂණ එල්ලයන් ගැන සැලකිලිමත් විය යුතුය. එසේම ලෙන් වලට පිවිසෙන වන්දනා කරුවන් ප්‍රමාණය ගැන තක්සේරුවක්ද එහි ඇතුලත් විය යුතුය.මෙම ලෙන් තුළ විදුලි පහර සහිත කැමරා භාවිතය තහනම් කරලීමටද කටයුතු කිරීම සුදුසුය.
           වර්ෂ 1991 දී ලෝක උරුම සමාර්කයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු මෙම රන් ගිරි දඹුලු විහාරය පිළිබඳ ඔවුන් ගේ පැවති මතය එම ප්‍රඥප්තියෙන්ද හොඳින් ප්‍රකට වේ.එහි සඳහන් මෙම වගන්ති කීපයක කොටස් මගින් එම අර්ථය විදහා දක්වන්නට උපකාරී වෙයි.
1-      මෙම ස්මාරකය සහස්‍ර වර්ෂ ගණනාවක  කාලයක සිට මේ  දක්වා ජීවමාන බෞද්ධ පිළිවෙත් සමග බැඳී  අඛණ්ඩ වන්දනා සම්ප්‍රදායක් සමඟ සම්බන්ධ වන බෞද්ධ ලෝකයේ විශිෂ්ට නියෝජනයකි.
2-      දඹුල්ල රන් ගිරි විහාරය මානව වර්ගයාගේ කලාත්මක කුසලතා පෙන්නුම් කරන බිතු සිතුවම් කලාවේ විවිධ පැතිකඩ සහිත විශේෂ ස්ථානයකි. මේ නියෝජනය  ගැමියාගේ නිර්මාණශීලිත්වය හොඳින් ප්‍රකට කරනවා සේම බෞද්ධ වත් පිළිවෙත් සහ පූජා විධි  භාවිත කැපීපෙනෙන උදාහරණයක් සහිත ස්ථානයක්  වේ. 
3-      දඹුල්ල රන්ගිරි විහාරය ක්‍රි.පූ 3 වන සියවසේ සිට මේ ජීවමාන බෞද්ධ සම්ප්‍රදාය හා පුද පිළිවෙත් අවිච්ඡින්නව පවත්වාගෙන යනු ලබන කදිම උදාහරණයකි.
4-      මෙම සමාරකයේ පවතින බිතු සිතුවම් මූර්ති ඇතුළු භෞතික පෙනුම තවමත් හොඳ තත්ත්වයේ පවතී.එසේම එම වටිනාකම් ප්‍රකාශ කිරීමට,එම සංරක්ෂණයන් උපයෝගී වී ඇත.  මෙම සංස්කෘතික දේපල  සංවර්ධන ක්‍රියාකාරකම් නිසා හෝ හෝ වෙනත්  අහිතකර බලපෑම් නිසා අගතියට පත් වී නැත.
      වලගම්බා රාජ සමයෙන් පසු රන්ගිරි දඹුලු පුදබිම කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලය තුළ අත්පත් කරගන්නා ලද රාජකීය අනුග්‍රහය ඉතා විශේෂිතය. බෝධිනාරායන බුවනෙකබාහු නම් අඛණ්ඩ චිත්‍ර ශිල්පී පරම්පරාවක් මෙම චිත්‍ර සංරක්ෂණයට දායක වී තිබේ. අවසාන වශයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙම චිත්‍ර සංරක්ෂණය කරන අවස්ථාවේ දී ගලේවෙල නිලගම ජීවත්ව සිටි ඉහතකී පරපුරේ ජීවන් නයිදේ මහතා සිය දායකත්වය එයට ලබා දී තිබුණි. මෙම විහාරය මහා විහාර සම්ප්‍රදායට අනුව අස්ගිරි මහා විහාරයට අයත්ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස දී නිකුත් කළ දඹුලු විහාර සන්නස අනුව මෙම විහාරයට කළ යුතු වත් පිළිවෙත් රාජකාරිය සඳහා වෙන් කළ ගම්මානයන් ගැන පැහැදිලිව සඳහන් වේ. 1848 ජාතික විමුක්ති අරගලයේ දී මෙම විහාරය මුල් කොට ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව ඇතිවූ අරගලය මධ්‍යයේ වුවද එහි අඛණ්ඩ සම්ප්‍රදාය රැකී ඇත.ඉංග්‍රීසින් විසින් බෞද්ධ විහාර ගම් දේවාලගම් යටතට මෙම විහාර ඝණය ඇතුලත් කළ අතර වාර්ෂිකව අස්ගිරි මහ නාහිමියන් විසින් මෙහි භාරකාරත්වයට යතුරු පයිණ්ඩ දීමේ ක්‍රමයක් අද දක්වාමත් පැවත පැමිණේ. යුනෙස්කෝව සිය ප්‍රඥප්තියෙන් අර්ථ දක්වන්නේ එම වටිනා සම්ප්‍රදායයි.එම නිසා ජීවමාන අඛණ්ඩ අවිච්ඡින්න බෞද්ධ සම්ප්‍රදායකට අතුලත් වන මෙම ස්ථානය හුදෙක් සංචාරකයන් පිනවන කලාගාරයක් බවට පත් කරලීමට හැකි නොවේ.එය පළමුව සිංහල බෞද්ධයන්ගේ ජීවමාන බෞද්ධ සිද්ධස්ථානයකි.මල් සුවඳ මෙන්ම පහන් සිලෙන් ද  අදටත් රන්ගිරි දඹුලු රජමහා විහාරය ඒකාලෝක විය යුතුය.එක් විදේශික කාන්තාවක් මෙහිදී පවසා ඇත්තේ දැන් රන්ගිරි දඹලු විහාරයේ මෙම පන්සල් සුවඳ නැති බවයි.
       1994 වර්ෂයෙන් පමණ පසුව මධ්‍යම සංස්කෘතික අරමුදල මෙහි එකාධිකාරය දරමින් මෙම තත්ත්වයට පරිවර්තනය කිරීමට ගත් උත්සායක් ඇත. නමුත් මෙම ස්ථානය භාරව සිටි ස්වාමීන් වහන්සේලා ඊට ඉඩ නුදුන්හ.මෙහිදී අතර මැද තත්ත්වයකට පත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතින් යම් අතපසු වීම් සිදුව ඇත. විහාරයේ සංවර්ධන උදෙසා යම් යම් ක්‍රියාකාරකම් කිරීම අත්‍යවශ්‍යය.ඒ වා මෙම  ස්ථානයේ විශ්ව අගය පහත හෙලීමට සමත් නොවිය යුතුය. යුනෙස්කෝව බලාපොරොත්තු වන්නේද එයයි.ජීවමාන බෞද්ධ පිළිවෙත් සම්ප්‍රදායන් රකිමින් දෙස් විදෙස් වන්දනා කරුවන් මෙන්ම සංචාරකයන්ද මෙහි අද්දවා ගැනීමට හැකි ස්ථානයක් බවට පත් කිරීම එහි අරමුණ වේ.
        එහෙත් වත්මන් රජය පත් වූ අලුත මෙම ස්ථානයේ පාලනය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ඉවත් කොට මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට ගැනීමට උත්සාහ කළහ.ඒ සඳහා නීතිපති උපදෙස්ද ලබාගෙන තිබුණි. එහිදී එයට විරෝධය පෑ  විහාර පාලනය නිසා එම යෝජනාව ඉවත ලන්නට සිදු විය. පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාව සිටි අචාර්ය සෙනරත් දිසානායක මහතා ඉවත් කරලීමට ආසන්න හේතු අතර මෙම දඹුල්ල පුදබිමේ වෙනස් කම් ද දක්වා ලිය හැකිය.දැන් නැවතත් මේ උත්සාහයන් රජය තුළින් පැන නැගී ඇතැයි වාර්තා වේ. එයට ඔවුන් උපයෝගී කර ගන්නේ විහාර පාලනය මගින් මෙම පුදබිමේ විශ්ව අගය කෙලෙසා ඇතැයි යන ප්‍රසිද්දිය ලබා දෙමිනි. එය පට්ටපල් බොරුවකි.  යුනෙස්කෝ ප්‍රධාන කාර්යාලයේ ලෝක උරුම කමිටුවේ අධ්‍යක්ෂ වරයා විසින් 2016 අගෝස්තු 16 වන දින   නිකුත් කරන ලද ලිපියේ කොතනකවත් එවැනි දෙයක් සඳහන් නොවේ. එම නිසා කළ යුත්තේ මෙම ඓතිහාසික ස්ථානය පළමුව ජාතික උරුමයක් ලෙසට සංරක්ෂණය කොට පවත්වා ගෙන යෑමයි. ජාතික උරුමය යනු සිංහල බෞද්ධ වත් පිළිවෙත් අනුගත සංස්කෘතික ප්‍රඥප්තියකි. දෙවනුව ලෝක උරුම භූමියක් වශයෙන් එහි විශ්වීය අගය පවත්වා ගෙන යෑමට අවශ්‍ය කළමනාකරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම කළ යුතුය. එහිදී යුනෙස්කෝව විසින් මග පෙන්වන ලද සීමාවන් හොඳටම ප්‍රමාණවත්ය. එසේ නොවී. ඇමතිවරුන්ට සහ රජයේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මෙම ස්මාරකය වෙළෙඳ දේපළක් බවට පරිවර්තනය කිරීම සියළුම දෙනාගේම දෝෂ දර්ශනයට ලක් වන්නකි.පසුගිය දා අස්ගිරි කාරක සංඝ සභාව රැස්ව කළ ඓතිහාසික ප්‍රකාශනයෙන් මෙම අත්තනෝමතික තත්ත්වයන් පෙන්වා දී තිබුණි.




Wednesday, June 14, 2017

සිරිමා මැතිණියගේ දේශසීමා ගැටය මෝඩි ලිහයි ද

                                  


            ලංකාවත් ඉන්දියාවත් යා කිරීමට දුම්රිය මාර්ගයක්   ඉඳි කිරීමට 2007 වර්ෂයේ නිකුත් කරන ලද රජයේ භෞතික සැලැස්ම මගින් යෝජනා කර තිබේ. 2003 වර්ෂයේදී හිටපු විදේශ ඇමති ලක්ෂමන් කදිරගාමර් මහතා විසින් අත්සන් කරන ලද ආසියානු අධිවේග මර්ග පිළිබඳ ජගත් ගිවසුම අනුව මෙරට තැනෙන අධිවේග මාර්ග අවසාන වශයෙන් තලේ මන්නාරම හරහා ඉන්දියාවට සම්බන්ධ වෙයි. ගෝලීය ධනවාදයේ අඩුපඬු ආසියානු කලාපයේ සියලුම රටවල් හරහා දිගු කර ගැනීමට මේ සැලැස්ම බලවත් සේ උපකාරී වනු ඇත. මෙම ගිවිසුම් වලින් ලංකාවට අත්වන ප්‍රතිලාභ කෙසේ නමුත් ජගත් කෙළිබිමක් බවට ලංකාව පත් කිරීම එහි අවසාන අරමුණයි.වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සිය දේශපාලන හස්තය ලංකාවට දිගු කරමින් තිබෙන්නේ මෙම ගිවිසුම් මගින් ඇති කළ පසුබිම ප්‍රයෝජනයට ගැනීමෙනි. ඉන්දියානු පුරවැසියනට නිදහසේ ලංකාවට පැමිණීමට හැකි පරිද්දෙන් සහ වතු දෙමළ ප්‍රජාව අතරට ඉන්දියානු දේශපාලනය රිංගා යෑවීම පිණිසද ඔවුන් ගේ මෙම සැලැස්ම දියත් වේ.
        ලංකාව ස්වාධීන රටකි. ප්‍රාග් එතිහාසික යුගයේදී ඉන්දියාවත් ලංකාවත් අතර තිබූ භූගෝලීය සබඳතාවය දැන් නැත. පැරණි දඹදිව ශාක්‍ය ජනපද වලින් පැමිණි කුමාරවරුන් විසින් ලංකාවේ රාජ්‍යත්වය සහ බලය අත්පත් කරගත් නමුත් ඉන්දියාවට පරිබාහිර වූ ස්වාධීන දේශපාලනයක් ගොඩ නගා ගැනීමට මෙරට ස්වදේශිකයන් දැක්වූ කැමැත්ත විශේෂ වෙයි.එම නිසා යුග ගණනක් ඉතිසාහස තුළ සිංහළයන් වශයෙන් විවිධ ඉන්දියානු ආක්‍රමණයන්ට එරෙහිව සිය ස්වාධීනත්වය උදෙසා සටන් වැදී තිබේ.පසුගිය සන්ධාන  රජය විසින් යෝජනා කරනු ලැබූ මේ භෞතික සැලැස්ම මගින් මේ ස්වාධීනත්වය අහිමි කිරීමට පිඹුරු පත් සාදා ඇත.රජයේ භෞතික සැලැසුම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්ව සිටි ජේ.එම්.එල්. ජයසේකර මහතා  මෙම සැලැස්ම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි බව කියැවෙයි.වර්ෂ 2000 අංක 49 දරණ නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පණතේ 5ඒ (බී) වගන්තිය අනුව ද එකී පණතෙහි 4බී(සී) වගන්තිය ප්‍රකාරවද හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික භෞතික සැලසුම් සභාව විසින් 2011-01-03 දින මෙම සැලැස්ම අනුමත කර ඇත.  ඉන්දියාවත් ලංකාවත් යා කරනු ලබන පාළමක් සෑදීමට අවශ්‍ය පසුබිම මෙහි නිර්මාණය වෙයි. එවිට දේශසීමා සහ තම තම අනන්‍යතාවයන් ගෙන් යුක්ත අයිතිවාසිකම් භුක්ති විඳීමට සිදු වන්නේ එකිනෙකා කෙරෙහි බල පවත්වන බලය පාදක කොට ගෙනය.
       1974 වර්ෂයේ ජූනි මස 16 වන දින  ලංකාවේ අග්‍රාමාත්‍යව සිටි සිරිමා බණ්ඩාරනායක මහත්මියත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යව සිටි ඉන්දිරා ගාන්ධි මැතිණියත් දේශසීමා ගිවිසුමක් අත්සන් කළහ. මෙම ගිවිසුම 1974 වර්ෂයෙහි ජූනි මස 23 දින ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කළහ. එය ඉදිරිපත් කරමින් සිරිමා මැති ණිය කළ කතාව මෙහිදී සිහිපත් කිරීම වටී. ඒ මන්ද ලංකාවේ ස්වාධීනත්වය උදෙසා ඉතා අසීරුවෙන් සහ කැපවීමෙන් කළ මෙහෙය අද දින බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇති බැවිනි.සිරිමා මැතිණියගේ කතාවේ කොටස් කීපයක් මෙලෙසය.

     ගරු කතා කතානායක තුමනි. පෝක් සමුද්‍ර සන්ධියෙහි සිට ආදම්ගේ පාළම දක්වා ඇති මුහුදු තීරයේ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර මුහුදු මායිම් සළකුණු කර ගැනීම සම්බන්ධයෙන් මා හා ඉන්දියානු අගමැතිණිය අතර ඇති කරගත් ගිවිසුම අද මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන මා ඉතාමත් සන්තෝෂ වෙනවා. මේ ගිවිසුම පසුගිය ජූනි මාසේ 16 වෙනිදා අත්සන් කිරීමෙන් පසුව අප දෙරටේ ආණ්ඩු විසින් ස්ථීර කර ඇති අතර එය ජූලි මස 8 වනදා සිට වලංගු වී ක්‍රියාත්මකව පවතිනවා. මේ ගිවිසුමෙන් අප රටත් අපේ අසල් වාසී රටත් අතර මුහුදු මායිම නිත්‍ය වශයෙන්ම සළකුණු වනවා පමණක් නොවෙයි. මේ ගිවිසුම නිසා අපේ රටත් ඉන්දියාවත් අතර සම්බන්ධතාවයන් පිළිබඳ අළුත් පරිඡෙදයක් ආරම්භ කරනවා. ඇත්ත වශයෙන්ම අපේ රටවල් දෙක අතර අනොන්‍ය සම්බන්ධතා පිළිබඳ ඉතිහාස ගතවන වැදගත් කරුණක් ලෙස මේ ගිවිසුම පිළිගත යුතු වෙනවා.
     රාජ්‍ය  සභා ගත කරන ලද ගිවිසුමෙහි වගන්ති අටක් අන්තර්ගතව ඇත.එයින් කීපයක මෙසේ සඳහන්ය.ශ්‍රී ලංකා ජන රජය සහ ඉන්දියානු සමූහආණ්ඩුව දෙපාර්ශවයටම සාධාරණ වූත් යුක්ති සහගත වූත් ආකාරයකින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඓතිහාසික මුහුදු තීරයේ මායිම් නිශ්චය කිරීමේ සහ ඊට අදාළ කරුණු නිරාකරණය කිරීමේ අභිලාශයෙන් මුළු ප්‍රශ්ණයම සෑම අංශයකින් පරීක්ෂා කර ඒ පිළිබඳ ඓතිහාසික හා වෙනත් සාධක ද එහි නීතිමය මුහුණුවර ද සැලකිල්ලට ගැනීමෙන් පසු පහත සඳහන් පරිදි ගිවිස ගෙන ඇත්තාහ.
 1-පොක් සමුද්‍ර සන්ධියේ සිට ආදම් ගේ පාලම දක්වා වූ මුහුදු තීරයෙහි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මායිම් පහත දක්වා ඇති අනු පිළිවෙල අනුව පහත සඳහන් අක්ෂාංශයන් හා දේෂාංශයෙන් නිරූපිත පිහිටීම් අතර වූ මහා වෘත්ත චාප වන්නේය.
2- 1 වන වගන්තියෙහි සඳහන් කර ඇති පිහිටීම්වල ඛණ්ඩාංක වන අතර ඒවා සම්බන්ධ කරන සෘජු රේඛා උභය ආණ්ඩු වල බලය ලත් මිනුම්දෝරුවන් විසින් පිළිවෙලින් අත්සන් කරනු ලැබ මීට අමුණා ඇති ප්‍රස්ථාරයෙහි පෙන්වා දී ඇත්තේය.
3 - ඉහත සඳහන් කරන ලද පිහිටීම් මුහුදෙහි හා මුහුදු පත්ලෙහි නියත වශයෙන්ම තිබිය යුතු තැන උභය ආණ්ඩු විසින් ඒ කාර්යය සඳහා පිළිවෙලින් බලය දෙනු ලබන මිනුම්දෝරුවන් විසින් එකඟ විය යුතු වන ක්‍රමයක් අනුව නිශ්චය කරනු ලැබේ.
4 - ඉහත සඳහන් මායිමෙන් තම පැත්තට අයත් වන මුහුදු තීරය දූපත් මහාද්වීපික තටාකය හා ඒවායෙහි යටිපස විශයෙහි පරමාධිපත්‍ය හා පරම අධිකරණ බලය හා පාලනය එක් එක් රට කෙරෙහි වන්නේය.
5 - ඉහත සඳහන් වගන්ති වලට යටත්ව ඉන්දියානු ධීවරයන්ට හා වන්දනා කරුවන්ට මින් පෙර මෙන් කච්චදූවට පිවිසීමට ඉඩ ලැබෙන අතර ඒ කාර්යයන් සඳහා ගමන් බලපත්‍ර හෝ වීසා බල පත්‍ර ලබා ගත යුතු යයි ශ්‍රී ලංකාව විසින් ඔවුන්ට නියම නොකරනු ඇත.
6 - එක් එක් රටට අයත් මුහුදු තීරයෙහි ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ යාත්‍රා මෙතෙක් සාම්ප්‍රදායිකව භුක්ති විඳ ගෙන එමින් පැවති අයිති වාසිකම් ඉදිරියටත් බුක්ති විඳිනු ඇත.
     මෙම ගිවිසුමෙහි පවතින වැදගත්ම වගන්තිය වන්නේ සතරවන වගන්තියයි. එයන් ගම්‍ය වන්නේ එක් එක් රටවල ස්වාධීනත්වය දෙපාර්ශවය විසින් පිළිගෙන ඇති ආකාරයයි. එසේම ඉන්දියානු ධීවරයන් සහ ලංකාවේ ධීවරයන් සාම්ප්‍රදායිකව කුඩා යාත්‍රා මගින් දෙරටේ මුහුදු තීරයෙහි මසුන් මැරීමේ නිකුත්ව සිටියහ. එම කටයුතු මෙහිදී පිළිගෙන තිබේ.සිරිමා බණ්ඩාරනායක මැතිණිය අප රටට වාසි වන පරිද්දෙන් කච්චදූව පිළිබඳ ප්‍රශ්ණය ද මෙහිදී විසඳා ගෙන තිබේ.සාමාන්‍ය යෙන් අප රටට අයත් මුහුදු සීමාව තුළ තිබෙන ඛනිජ සම්පත් අති විශාලය එසේම දකුණු දිග මුහුදු තීරයෙහිද වපසරිය අති විශාල බැවින් ලංකාව රටක් වශයෙන් සිය ස්වාධීනතවයට මෙන්ම වත් පොහොසත් කමටද පසුබිම මෙම ගිවිසුමෙන් සකස් කර ගෙන ඇත. නමුත් අවාසනාවකට මෙන්ම සිරිමා මැතිණිය විසින් අවංකව රටට ඇති ලෙන්ගතු කමින් කළ මේ දූර්දර්ශී ක්‍රියාව බාල්දු කොට යටපත් කිරීමට පසුව පත්වූ ජේ.ආර්. ජයනර්ධන මහතා ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය කටයුතු කර තිබේ.ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට රටේ ස්වාධීනත්වය අහිමි කරගන්නට කටයුතු කර තිබේ. එසේම ලංකාවට වාසි දියක අයුරින් විසඳා ගන්නට තිබූ ඉන්දියානු පුරවැසියන් පිළිබඳ ගැටළුවද බල ලෝභය නිසා සම්පූර්ණයෙන්ම අවුල් කර තිබේ. වර්තමානය වන විට ලංකාව බෙලහීන රාජ්‍යයක් බවට පත් වී තිබෙන්නේ මේ හේතුවෙනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිගු කලක් පැවති යුද්ධය නිමා කලා සේම සිරිමා මැතිණිය ගත් මග ගත්තේ නම් රටේ ස්වාධීනත්වය ට නව මාවතක් විවර කරගන්නට ඉඩ හසර තිබුණි. අවාසනාවකට ඔහු ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ රීගේනින් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියයි. ඒ මත රජයේ භෞතික සැලසුම් සකස් ව තිබෙන බව පැහැදිලිය.නීතිමය තර්ක සහ සාධාරණත්වය අතින් ගත් කල්හි ඉන්දියාවත් ලංකාවත් අතර තිබෙන පෙර ගවිසුම් වඩා බලවත්ය. එවිට ඉන්දු ලංකා ගිවිසුම අවලංගු වේ. එලෙසම ලංකාවේ ස්වාධීනත්වය අහිමි කරන එක්ටා වැනි ආර්ථික ගිවිසුම් වලටද පිවිසිය නොහැකිය.ඉන්දියාව ඉති ඉක්මනින් තව දුරටත් ලංකාවට අත පෙවීමට පළමුව මේ ගිවිසුම් වල ස්වභාවය පිළිබඳව පාර්ලිමේන්තු කතා බහක් ඇති විය යුතුය. සිය අතීත වැරදි අත් හැරීමට මහින්ද රාජපක්ෂ මහතා අවංකව කටයුතු කරන්නේ නම් ඔහු මත තිබෙන ජන බලය ඒ සඳහා යෙදවිය හැකිය.