පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, October 19, 2021

වී ගොවියාට සැබෑ වටිනාකමක් ලබා දෙන්නේ කෙසේද

 

 

 

                             


        බත් ප්‍රධාන ආහාරය වශයෙන් ගන්නා ආසියාතික රටවල් අතරින් ලංකාව ප්‍රමුඛ තැනක් හිමි කර ගෙන ඇත. වී පෑහීමෙන් සහල් ලැබෙන අතර සහල් තැම්බීමෙන් බත් ලබා ගත හැකිය.මෙම ක්‍රියාවලියේ තිබෙන වෙහෙසකර බව පූජාවලියේ මැනවින් දක්වා තිබේ.රතු කුරුට්ට සහිත සහල් ලැබෙන වී වර්ග බහුතරයක් අතීතයේ දී ගොවිබිම් වල දක්නට ලැබුණි.සම්බා වර්ග තිබුණේ අතලොස්සකි.වෙහෙස වී වැඩ කරන ජනතාවට රතු කුරුට්ට සහිත සහල ඉතා වැදගත් වු අතර එම බත් අනුභව කිරීමට විශේෂ රුචිකත්වයක්ද තිබුණි.විදේශ ජයගත් මහා පරාක්‍රමබාහු රජු සිය සංග්‍රාමයන් දියත් කරන කල්හි සහල් පිටරට පැටවූ බව ඉතිහාසයේ සඳහන්ය.ඒ සඳහාම වෙන්වුණු විශාල වැව් සහිත කෙත්යායන් නිර්මාණය කර ගැනීමටද රජු සමත් විය.  කුරහන් මෙනේරි තණ වැනි කටුසර ධාන්‍ය වර්ග වලින්ද පස්ගෝරස වලින්ද  ගොවියා ස්වයංපෝෂිතව සිටි බැවින් එකල ජනතාව දුගී බවට පත් නොවීය.

      බ්‍රිතාන්‍යයන්ට ලංකාව ගිවිසුමකින් ලබා දුන් පසු ඇතිවූ අරගල වලින් පසු මෙම ස්වයංපෝෂිත බව නැති විය. වතු වැවිලි වලට ඉඩම් යටවීමත් වැඩකළ හැකි පුරුෂයන් මරණයට පත් වීමත් වැව් කැඩී බිඳී යෑමත් සමග ජනතාව දුගී භාවයට පත් විය.මෙම පරිවර්තනය ඉංග්‍රීසි ආණ්ඩුවටද බලපෑම් ඇති කලේය. ඒ නිසා වැව් අලුත් වැඩියා කිරීමටත් ගොවිතැන නගා සිටුවීමට ජනපද ඇති කරලිමටත් ඔවුනට සිදු විය.එහෙත් යලි පුනර්ජීවනය ලැබුණේ අතීත ගොවිතැන නොවේ.රසායනික පොහොර පලිබෝධ නාශක සහිත යෙදවුම් කාෂිකර්මයයි. මේ නිසා නිෂ්පාදන වියදම වැඩිවුණු අතර නව අභිජනන බීජ නිසා අස්වැන්න වැඩි කර ගැනිමටත් හැකි විය.අතීත රජවරු ගොවියාට අවශ්‍ය යටිතල පහසුකම සකසා දුන් අතර ගොවිතැන දියුණු කරන ලද්දේ ගොවීන් විසින්මයි.කුඩා වැව් ඇළ මාර්ග අලුත්වැඩියා කර ගැනීමටද ගොවියාට හැකි විය. එහෙත් විසිවන සියවසේ තත්වය එසේ නොවේ.ගොවියාට මග පෙන්වීමට කෘෂිකර්ම නිළධාරීන් පිරිසක් බිහි වුණ අතර 1951 සිට ගොවීන්ට සහනාධාර දීමට ද ආණ්ඩු පෙලඹුණි.නවසිය හැටේ දශකයේ දී ඇති වූ හරිත විප්ලව ක්‍රියාදමය කලින් සැලසුම් කරලූවක් විය. රසායනික පොහොර පලිබෝධනාශක ආදිය සඳහා ආසියාතික රටවල වෙළෙඳ පළක් සෑදීම මෙහි අරමුණ විය. වී අභිජනන ක්‍රියාවලියට අතදුන් ආහාර හා කෘෂීකර්ම සංවිධානය හැට හැත්තෑව දශකයන්හි කල මැදිහත් වීම මත පැරණි ගොවියා රසායනික කෘෂිකර්මයට පරිවර්තනය විය. මේ නිසා අස්වනු වැඩිවුණ නමුත් ලෙඩ රෝගද පැතිරුණී..පැරණි රතු සහල් වෙනුවට සුදු සහල් රුචිකත්වය ප්‍රචලිත විය. සුදු සහල් සමග පාන් කෑමේ රුචිකත්වයද වර්ධනය විය.

    දැන් දශක හයක් පමණ ගතව ගොස් ඇත. වී නිෂ්පාදනය වැඩිවී රට සහලින් ස්වයාංපෝෂිත වී ඇතද ගොවියාගේ ජීවිතය තවමත් කරදරකාරීය. වරක් පොලොන්නරු ගොවීහු වී වලට මිලක් නොමැති බැවින් වස පානය කළහ.ඒ කාලයේ වී කිලෝවක් රුපියල් දහකටවත් විකිණිය නොහැකි විය.අනතුරුව මෑත කාලයේ දී වී ගැණුම් මිල යම් තරමකින් වැඩි වී තිබෙන නුමුත් ජීවන වියදම වැඩි වීමට සාපේක්ෂව  ගොවියා ගේ අතමිට සරු වන්නේ නැති බව පහත දැක්වෙන සංඛ්‍යලේඛන වලින් පැහැදලි වේ.

         වී කිලෝවකකට අවම වශයෙන් දැනට  ලැබෙන්නේ රුපියල් හැටදෙකකි.හැත්තෑවට සහ අසූවට ගන්නා සම්බා වර්ග ද ගතහොත් අක්කරයක් වැඩ කර ලබා ගන්නා අදායම මෙසේය.

අස්වැන්න - අක්කරයට බුසල් 100 ( වී කිලෝ 2100 )

ගොවීනට අතට ලැබෙන මුදල අංක 01 -රු.130200 ( 62 ×2100 )

අංක 02 -147000 (2100×70 )

අංක 03 -168000 (2100×80 )

අක්කරයක නිෂ්පාදන වියදම - රු. 40000 -50000

කන්නයකට ලාභය අංක 01 -90200 (මසක ආදායම -15033)

ලාභය අංක 02 -107000 (මසක ආදායම -17833 )

ලාභය අංක 03 -128000 (මසක ආදායම -21333)

 දැඩි ලෙස වෙහෙස මහන්සි වී ගොවියෙකු විසින් ලබා ගන්නා මෙම අදායම රජයේ කාර්යාලයක සේවය කරන සහායකයෙකුගේ ආදායමටද වඩා අඩුය.දරුවන් ලොකු මහත් කර උගන්නවා පහසු ජීවිතයක් ගත කිරීමට මෙම ආදායම කොහෙත්ම ප්‍රමාණවත් නැත.අස්වැන්න අඩු වුවහොත් නිෂ්පාදන වියදම වැඩි වුවහොත් මෙම ආදායමද පහළ බසී.වී මිළ තවත් වැඩි කළහොත් පාරිභෝගිකයා මත බර පැටවෙයි. සහල් මිළ වැඩි වන නිසාය.එම තත්වය මත ගොවියාගේ ආදායම වැඩි කිරීමට විකල්ප සොයායෑමට සිදු වේ. එකක් නම් වී නොව සහල් විකිණීමට පෙළඹවීමයි. වී කිලෝ 2100 න් සහල් ලැබෙන්නේ සියයට හැට දෙකකි.එනම් කිලෝ 1302 කි.  (පාරම්පරික වී නම් සියයට හැට පහකි) සහල් කිලෝවක් 100-120 අතර ගණනකට අලෙවි කළද ගොවියාගේ ආදායම වැඩි වන්නේ ඉතා සුළු වශයෙනි.ඊළඟ විකල්පය නම් සහල් වලින් පාන් ඇතුළු ආහාර ද්‍රව්‍ය නිපදවා අලෙවි කිරීමයි.මේ සඳහා ක්‍රම දෙකක් ඇත. එකක් සහල් පිටි බවට පත් කිරීමෙන් ආහාර නිපදවීමයි.. දෙවැන්න සහල් පිටි ද්‍රවයක් බවට පත් කර පාන් සෑදීමයි.. ද්‍රවයක් බවට පත් කොට පාන් හදන බේකරියක් බැලීමට වරක් ගාල්ලට ගියෙමි.එය සාර්ථක නිෂ්පාදනයක් බව ද පසක් කළෙමි.නමුත් ගොවියා රැක ගැනීමට හෝ ජනතාවට පහසු ආහාර ජාලයක් රටපුරා ඇති කිරීමට සමත් බලධාරීන් එකල දක්නට නොසිටියහ.

     ගොවියාට තිබෙන ප්‍රබලතම අභියෝගය නිෂ්පාදන මිළ දිනෙන් දින ඉහළ යෑමයි.රසායනික කෘෂීකර්මයට බැඳී දශක හයකින් පසු ඔවුහු එය වෙනස් කරලීමට උත්සාහ කරන පිරිසටද වෛර කරති.නමුත් නිෂ්පාදන මිළ වැඩි වන්නේ රසායනික ද්‍රව්‍ය සහ වෙනත් අමතර වියදම් නිසා බව කල්පනා නොකරති.නිෂ්පාදන මිළ අඩු කරලීමට තිබෙන එක විකල්පයක් නම් ගොවීන් සාමූහිකත්වයට පෙළඹීමයි.ට්‍රැක්ටර් වැනි යන්ත්‍ර වලින් සී සෑමට හූරු වූ කාලයක් බැවින් ගොවි කණ්ඩායාමකට එක් ට්‍රැක්ටරයක් තිබෙන්නේ නම් ඒ යන්ත්‍රය හැසිරවීමට ගොවි සාමාජිකයෙකු ම යොදවා සිටී  නම් කුඹුරු සැකසීමත් ගොයම් කපා පෑගීමත් යන අවස්ථෘ දෙකම ජය ගත හැකිය.

 මේ සඳහා රජය මැදිහත් වීම අත්‍යවශ්‍ය වේ. එසේම ගොවිතැන් කාලයකට ශ්‍රමය සැපයීමට අවශ්‍ය ගොවි හමුදාවක් රජය විසින් නඩත්තු කරන්නේ නම් ගොවියාට ඉන් ලැබෙන්නේ නොමද සහනයකි. මේ ක්‍රමය යටතේ අත්තම් සඳහා ගෙවන්නට වන මිළ යම් නිශ්චිත තත්වයක තබා ගත හැකිය.පොහොර සහනාධාරය දෙමින් ගොවියාත් රජයත් අතර පරතරයක් ඇති කර ගැනීම වෙනුවට ප්‍රායෝගිකව මේ ප්‍රශ්ණය විසඳා ගැනීමට කටයුතු කල යුතුය. එසේත් නැතිනම් ගොවීනට රුපියල් විසිදහසක ගොවි සහනාධාරයක් දිමට කටයුතු කළහොත් ගොවියාගේ ආදායම ඉහළ නැන්වීමට රුකුලක් ලැබෙනු ඇත. නමුත් දිගින් දිගටම මුදල් ලබා දීමෙන් මෙම ප්‍රශ්ණය විසඳිය හැකිනොවේ.මේ පිළිබඳ දීර්ඝ සංවාදයක් අවශ්‍ය වන අතර රටට බත සපයන ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් බව නැවත නැවත මතක් කර දිය යුතුය.මෙම ගොවි ගැටළු ඉතා ඉක්මනින් විසඳා නොගතහොත් ගොවීන්ගේ දරුවන් ගොවිතැන අතහැර නගරයට සංක්‍රමණය වීම වළක්වනු නොහැකිය.විදෙස් අත පෙවීම් දකින කල්හි මෙකී අරමුණ සඳහා පෙළඹවීමක් තිබෙන බවද පැහැදි වේ..

මතුගම සෙනෙවිරුවන්

 

 

Sunday, October 10, 2021

ඇදිහැස විස්කෝතු වලින් රටක් ලෙඩ වුණා -එන්නත් ගැහීමෙන් සිංහල ජාතිය වඳවෙයිද

 

 

 



        ඇමරිකන් ආධාර වලින් රටක් හසුරුවන්නට පිළිවන් බව අප දැන ගත්තෙ තෙල් ජනසතුව වෙලාවෙ ඔවුන් ජාත්‍යන්තරව කල බලපෑමෙන්.නමුත් ඒ වන විට සෝවියට් දේශය සමග ඇති කර ගත්ත එකඟතාවය මත ලංකාවට තෙල් ලැබුණ.ඛනිජ තෙල් සංස්ථාවත් පිහිටුවන්නට හැකිවුණා.ඇමරිකානු ආධාර අපට ලැබෙන්නට පටන් ගත්තෙ පණහේ දශකයේ දී.1954 දී ඇමරිකන් ජනාධිපති අයිසන්හවර් විසින් සකස් කළ P L 480 නම් නිතියක් යටතේ මේ ආධාර ලැබෙන්නට ආරම්භ වුණා.මේ වැඩ සටහන යටතේ 1958 දි විතර ලංකාවට කිරි පිටි ලැබෙන්නට පටන් ගත්තා. ලංකාවෙ ළමුන් මන්ද පෝෂණයෙන් පෙළෙන බවට කළ පූර්ව නිගමන මතයි මේ කාරණය සිද්ද වුණේ.ඒ එක්කම ඇමරිකන් ආධාර යටතේ ඇදිහැස නමින් යුත් බිස්කට් පාසල් වලට බෙදා හැරිය.

     මේ කාලයේදී බිස්කට් ලංකාවෙ එතරම් ජනප්‍රිය වුණේ නෑ.1939 දී ආරම්භ වූ විලියම් බිස්කට් කර්මාන්ත ශාලාවත් 1954 දී ආරම්භ වූ මැලිබන් බිස්කට් ව්‍යාපාරයත් නිසා ක්‍රමයෙන් බිස්කට් නැතිනම් විස්කෝතු  ජනතාව අතට ගියා.ලංකාවෙ මිනිසුන්ගෙන් බහුතරයක් කෑවෙ බත් කුරහන් මෙනේරි වගේ ආහාර.මේ ආහාර සංස්කෘතිය වෙනස් කරන්නට. ඇමරිකාවට අවශ්‍ය වුණා. සාමය සඳහා ආහාර යයි කියමින් ඇමරිකන් ආධාර වැඩසටහනක් වශයෙන් 1958 දි විතර පාසල් වලට කිරි ලබා දෙන්නට ආරම්භ වූ විට දරුවන් එයට මනාපයක් දක්වා නැහැ. රබර් කිරි වගේ දුගඳක් හැමීම ඊට හේතුවයි.ඒ කිරි ලබා දුන් විට ඉවත ට විසික් කොට දැමීම නිසා විදුහල්පතිවරයා වේවැල අතට ගත්තා.කොහොම වුණත් ඒ ආධාරය අසාර්ථක වුණා. ඊළඟට විලියම් බිස්කට් අයිතිකරු ඊට මැදිහත්ව ඇමරිකන් ආධාර වැඩසටහනක් වන කෙයාර් එක සමගින් අධි පෝෂණ ගුණයෙන් යුත් විස්කෝතුවක් නිෂ්පාදනය කලා.ඒකට කිව්වෙ ඇදිහැස කියගයි. ඇමරිකන් ආධාර සැමට සමසේ කියන එකේ කෙටි වදන තමයි ඒක .මේ විස්කෝතු ළමුන් අතර හොඟක් ජනප්‍රිය වුණා.1988 දක්වාම එම වැඩ සටහන ක්‍රියාත්මක වුණා. විස්කෝතු බනිස් පාන් වගේ තිරිඟු පිටි ආහාර ජනතාව අතරට ගියේ එහෙමයි.ඇදිහැස කිරිබීපු විස්කෝතු කාපු පරපුර මේ වන විට ලෙඩ වෙලා. දියවැඩියාව ප්‍රෙෂර් හාදයාබාධ වලින් ලෙඩ වෙලා. පසුගිය කාලෙ කොරෝනා වලින් මියගිය බොහෝ පිරිසක් එලෙස ලෙඩ වුණ අය බව සිතන්නට පිළිවන්.ඇමරිකන් ආධාර වැඩසටහන වන පී.එල්.480 නිසා තවමත් තිරිඟු පිටි සහාධාරය ක්‍රියාත්මකයි.දැන් චූන් පාන් නැතිව අපේ ජනතාවට උදේ වේල පිරිමහගන්න අමාරුයි.කිරිපිටි නැතිව හූල්ල හූල්ල පෝලිම් වල ලගින පිරිස අප්‍රමාණයි.දෙමළ මුස්ලිම් අයට මේ ප්‍රශ්ණ අඩුයි.ඔවුන්ගෙ ජනගහනය වැඩිවෙනව.සිංහල ජාතිය ක්‍රමයෙන් අඩුවෙලා යනව.

    දැන් ඇමරිකන් ආධාර වලින් යැපෙන ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ලංකාවට එන්නත් එනව.ඇමරිකාව මැදිහත් වීමෙන් හැදුව වෛරසයකට ඒ අයම එන්නත් හැදීම පුදුමයට කරුණක් නොවෙයි. ඒ මොකද වර්තමාන වෙළෙඳ මාෆියාවෙ හැටි එහෙම නිසා.ඉතින් ෆයිසර් මොඩර්නා එන්නත් දැන් ලංකාවට නොමිලේම දෙනව . ඒ වැඩ පිළිවෙල ප්‍රමෝට් කරන දොස්තරලට දේශපාලනඥයන්ට ආයතන ප්‍රධානීන්ට හොඳට සලකන බව ආරංචියි. පාසල් පටන් ගත්තම ඒ දරුවන්ට එන්නත් දෙන්න වැඩ පිළිවෙලක් හදල ඉවරයි.1960 දි වගේ විදුහල්පතිතුමා වේවැල අතට ගන්න ලෑස්ති පිටයි ඉන්නෙ. ඒත් මේ සැරේ ඒක ලේසි වෙන්නෙ නෑ.ළමුන්ට තරවටු කළහොත් මුල් ගුරුතුමාටත් නීතියෙන් තරවටු කරන්න රටේ සංවිධාන දැන් පෙළ ගැහිලා කියල ආරංචියි.

 

Sunday, October 3, 2021

ජනයාගේ ඉඩම්වල පුරාවස්තු කළමනාකරණය කිරීම

 


                                  

              ලංකාව පුරා සැමතැනකින්ම ‌ෙඑතිහාසික වටිනාකමකින් යුත් පුරාවස්තු රාශියක් හමු වී තිබේ.විහාස්ථාන නටබුන් ශිලා ලේඛන මෙන්ම වාරිමාර්ග නටබුන්ද ඒ අතර වෙයි.මේවායින් ඇතැම් පුරාවස්තු හමු වන්නේ ජනතාව සන්තක පෞද්ගලික ඉඩම් වලය.ඉංග්‍රීසීන් විසින් මුඩු බිම් පනත යටතේ රජයට පවරා ගන්නා ලද ඉඩම් පසුව වතු වැවිලි සඳහාද මධ්‍යම පන්තික පුද්ගලයන්ටද වෙන්දේසි කිරීම නිසා මෙවැනි තත්වයක් උදා වී තිබේ. උතුර සහ නැගෙනහිර පළාත් වල බහුතරයක් මෙවැනි ඉඩම් දෙමළ සහ මුස්ලිම් ජනයාට වෙන්දේසි කර තිබේ.පුරාවිද්‍යෘ ආඥා පනත යටතේ මෙවැනි පුරාවස්තු ගැසට් කර තිබෙන්නේ ස්මාරක වශයෙනි.එවිට ඉඩමේ අයිතියක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නෑත.එබැවින්  ඒ පුරාවස්තු සියල්ල බෙහෙවින්ම අනාරක්ෂිතය.වෙසෙසින් නැගෙනහිර සහ උතුරු පළාතේ තත්වය ඉතාමත් බරපතලය.කුඹුරු ඉඩම් වලට යාව පවතින ස්ථූප සහ ආරාම ගොඩනැගිලි වරින් වර ඩෝසරයට යටවෙයි.දිවයිනේ අනෙක් පළාත් වලද තත්වය තරමක් බරපතලය.ඉඩම අයිති කරුවා දෙමළ හෝ මුස්ලිම් පුද්ගලයෙකු නම් මෙම පුරාවස්තු විනාශ කිරිම හෝ අතුරුදහන් කරනුයේ ඉඩම් අල්ලා ගැනීමේ අරමුණින් සහ ආගමික වුවමනාවෙන්ය. සිංහල පුද්ගලයෙකු නම් ඉඩම් කට්ටි කිරීම හෝටල් සෑදීම වැනි විවිධ සංවර්ධන අවශ්‍යතා සඳහා පුරාවස්තු වනසා දැමීම සිදු කරයි.මෑතකදී පුරාවිද්‍යා දේපාර්තමෙන්තුව විසින් මඩකලපු දිස්ත්‍රික්කයේ ‌ෙඑතිහිසික ස්ථාන තිස්පහක පමණ මායිම් කණු සිටවා පැමිණි ඇත. මේ වන විට ඒම කණු ගලවා ගත් ප්‍ර දේහ වැසි ජනයා ගෙමිදුල් වල බංකු සාදාගෙන තිබේ.ජනයා සතු ඉඩම් වල තිබෙන පුරාවස්තු සම්බන්ධව කලුතර දිස්ත්‍රික්කයේ අත් දැකීම් කීපයක් බහාලීම උචිතයයි සිතමි.

     කලුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරකගොඩ ගනේ උඩ පවතින පුරාවිද්‍යා භූමියකට අත්වූ ඉරණමයි.ගම්පළ සහ කෝට්ටේ යුගයන්ට සමකාලීන වාස්තු ස්වරුපයෙන් යුක්ත මාළිගා භූමියක් මෙහි හමු වන අතර එම ස්ථානයේ දැනට විහාරස්ථානයක් පවතී.මෙම භූමියට ප්‍රවිශ්ඨ වීම පිණිස පුරාණයේ අඩි 30 ක පමණ පළලකින් යුක්ත පඩි පෙළක් තිබී ඇත.දළදා වහන්සේ වැඩැම්මවීම පිණිස අලි ඇතුන් ට ගමන් කිරීමට පහසු වනු පිණිස මෙම පඩි පෙළ සකස් කරන්නට ඇතැයි සිතමි.ඒ ආසන්නයේ ශිලාලේඛනයක්ද ඇත.අවාසනාවකට මෙම පඩි පෙළ පවතින්නේ පෞද්ගලික ඉඩමකයි.එහි රබර් වවා තිබුණි.මෙහි පැරණි අයිතිකරු කාලයක් තිස්සේ මෙම භූමිය ආරක්ෂා කරගත්තේය. ඔහු වයෝවෘද්ධ වීමෙන් පසු ඉඩම දරුවන්ට ලියා දෙන ලදී. පසුව දරුවන් විසින් ඉඩම කට්ටි කර බෙදා ගැනීමට බෙදුම් නඩුවක් දැමූ  අතර ඒ අතරවාරයේ එක්තරා දිනකදී  ඉඩම් කට්ටියේ  අයිතිකරු විසින් පඩිපෙළ ඩෝසරයකට යට කරන ලදී.නිදන් සෙවීමේ අරමුණින් හෝ ඉඩම් සුද්ද කිරීමේ අරමුණින් ඔහු එසේ කර ඇත. අවසානයේ බන්ධනාගාර ගතව දඩයකට යටත්ව නිදහස් විය.ඒ අගනා පඩි පෙළ විනාශ විය.



     මෙම දිස්ත්‍රික්කය තුල රයිගම් සහ පස්යොදුන් කෝරළ වල අනුරාධපුර යුගයට අයත් නටබුන් රාශියක් විසිර පවතී. විශේෂයෙන් කටාරම් කෙටූ ගල් ලෙන් විශේෂිතය.මෙම ගල් ලෙන් අතැම් විට ජනයා සතු ඉඩම් වලද වැවිලි සමාගම් සතු ඉඩම් වලද බහුලව දක්නට ලැබේ.රයිගම් කෝරළයේ ප්‍රබුද්ධගම අසල ගල්ලෙන කටාරම් කෙටූ විහාල ගල්ලෙනකි. වරාය නගරයට අවශ්‍ය ගල් ලබා ගැනීම සඳහා කලුතර දිස්ත්‍රික්කය තුළ ගල් කොරි රාශියක් මේ වන විට පිහිටුවා තිබේ.විවිධසමාගම් ගල් පර්වත ලබා ගැනීමට දැඩි කැමැත්තකින් පසුවේ.

 

යටකී. ප්‍රබුද්ධගම ගල්ලෙන තිබෙන පර්වතය වතු සමාගමකට අයත් බැවින් එයද ගල්කොරියකට ලබා ගැනීමට උත්සාම දරනු ලැබීය. මේ අවස්ථාවේ දී මදුරාවල ප්‍රා දේශීය ලේකම් තුමිය මැදිහත්ව මෙම ගල් ලෙන බේරා ගැනීමට කටයුතු කර ඇත.වලල්ලාවිට ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගුලවිට ගල්ලෙනකටද මෙවැනි ඉරනමක් අත් වන්නට තිබුණි.එයට හේතුව ගල්කොරියක් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේනුතව විසින්ම අවසර ලබා දීමයි.පසුව ගල් කොරියට ඉස්මත්තේ තිබෙන ගල්ලෙන තුළ ආදි මානවයාගේ ශිලා මෙවලම් හමු වීම නිසා ඒ ගල් ලෙනද බේරා ගනු ලැබිණ.

    මෙවැනි විනාශ කිරීම් මෙන්ම විනාශ කිරීමට උත්සාහ දැරීමද් අනන්ත අප්‍රමාණය. වර්තමාන සංවර්ධන ප්‍රවේශයන් තුළ ජාතික උරුමයන් සහ පරිසරය පිළිබඳ නිවැරදි තක්සේරුවක් නොතිබීම මෙයට එක් හේතුවක්ය.මෙම පැරණි නටබුන්  ආරක්ෂා කරලීමට පුරාවිද්‍යා ආඥා පනතේ .තිබෙන්නේ සීමිත ඉඩකඩක් පමණකි.ඒ. සෑම ඉඩමක්ම පවරා ගැනීමටද නොහැකිය.ඉඩම් භුක්තිය පිළිබඳ විවිධ ගැටළු දක්නට ලැබේ.හවුල් අයිතිය තිබෙන ඉඩම් පවරා ගැනීමද දුෂ්කරය.මෙවැනි ප්‍රශ්ණ වලට පිළීතරු සෙවීමට මෙතෙක් උත්සාහ දරා නොමැත.පුරාවිද්‍යා ආඥා පනත වෙනස් කිරීම පිණිස මේ වන විට යෝජනා කැඳවා ඇති බැවින් යම් විසඳුම් කීපයක් යෝජනා කිරීම උචිත යයි සිතමි. පුරාවස්තුව පවතින ඉඩමේ අයිතිකරු සහ පුරාවිද්‍යා නිළධාරීන් අතර තිබෙන සම්බන්ධය මෙහිදී මූලිකව වැදගත්ය.ඉන්පසු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා සහ අයිතිකරු අතර යම් ගිවිසුමක් ඇති කරලීම කල යුතු යැයි සිතමි.ඒ අනුව  කොන්දේසි ඇතුලත් කර  මෙම ස්මාරක නැවත ගැසට් කිරීම කල යුතුයයි සිතමි.මෙවැනි පියවරයන් මගින්  පුරාවස්තු නිවරදිව කළමනාකරණය කිරීමට හැකිවෙයි. ඒ සඳහා  නව විෂයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වන්නේ  ඉහත කී ගැටළු තත්වයන් නිසාය.නඩු පැවරීමෙන් සහ දඩ නියම කිරීමෙන් පමණකි පුරාවස්තු ආරක්ෂා වන්නේ නැත.

මතුගම සෙනෙවිරුවන්