පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, April 27, 2023

උරුමයේ අයිතිකරුවන්ට උරුමය රැක ගන්න ඉඩ දෙන්න

 

 

 


                             

        මෙරට සංස්කෘතික උරුමය යනු සිංහල බෞද්ධ උරුමයයි. වසර 2500 කට එහා ගිය කාල වකවානුව තුළ හැදී වැඩී ඔප් නැන්වුණු මෙම සභ්‍යත්වය දිවයින පුරාම අපට දක්නට හැකිය. වෙසෙසින්ම වෙහෙර විහාර වැනි වාස්තු නිර්මාණ අදටත් ජීවමානව දක්නට ලැබෙන්නේ තවමත් මෙරට බෞද්ධයන්ගේ වන්දනාමානයට ඒවා ලක් වන බැවිනි. 1815 යනු අපගේ ඉතිහාසයේ කඩ ඉමකි. වසර දහස් ගණනක් අදීනව පැවති රාජ්‍යය පරාධීනව බ්‍රිතාන්‍ය ආණ්ඩුවට භාර දීම එ වසරේ දී සිදු විය. එය සිදු වූයේ දෙපාර්ශවය විසින් අත්සන් කරන ලද ගිවිසුමක් මත වුවද  මෙරට වාසීන් වෙනුවෙන් ගිවිසුමේ සඳහන් කළ වගන්ති ක්‍රියාත්මක කරලීමට නව පාලනය මැළි කමක් දැක්වීය.විශේෂයෙන්ම බුද්ධාගම වෙනුවෙන් සටහන් කළ වගන්තිය බලාත්මක නොවීය. මෙම තත්වය මත  පෙර පැවති බෞද්ධ ශිෂ්ඨාචාරය ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටීමකට ලක් විය.ලංකාවට ගෙන්වන ලද ඇමරිකන් චර්ච් මිෂානරීන් විසින් යාපනයේ දී ඇරඹි මිෂනාරි ව්‍යාපාරය මගින් 1819 දී ලංකාව උතුර සහ දකුණ යනුවෙන් බෙදා දක්වන ලදී. ලන්දේසීන් විසින් දුම්කොළ වගාවට ගෙන්වන ලද මලබාර් වැසියන් උතුරේ  පාරම්පරික වැසියන් ලෙසටද සිංහලයන් දකුණේ පාරම්පරික වැසියන් ලෙසටද බෙදා දැක්වීමක් කළහ. මෙම තත්වයට පැමිණීමට ප්‍රථම 1798 දී පමණ ඉංග්‍රීසීන් විසින් යාපන දස්ත්‍රික්කයේ කෝවිල් 300 ක් රජයේ වියදමින් සාදවන ලදී. මේවා සාදවන ලද්දේ පෙර පැවති බෞද්ධ සිද්ධස්ථාන  විනාශ කර දමමිනි.

       අනතුරුව  බ්‍රිරිතාන්‍ය පාලකයන් විසින් හිතාමතාම ගෙන එන ලද නීති රීති අණ පනත් නිසා උරුමයේ අයිතිකරුවන්ට උරුමය අහිමි විය.මුඩුබිම් පනත එහි මූලික පියවරයි. බෞද්ධ විහාරගම් දේවලගම් පනත දෙවැන්නයි. ඉඩම් ආඥා පනත මගින් සිංහලයන් සතු ඉඩ කඩම් අන්‍ය ජන වර්ග වෙත බෙදා දෙන ලදී. 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත ද  එවැනි නීතියකි.1815 ට පෙර පැවති නටබුන්ව ගිය සියලුම වෙහෙර විහාරස්ථාන පුරවිද්‍යා ස්ථාන බවට පත් විය.කෝවිල් බවට හරවන ලද පැරණි බෞද්ධ ස්ථාන සහ ලන්දේසීන් විසින් විනාශ කරන ලද යාපනයේ සහ මන්නාරමේ සිද්ධස්ථාන මෙයට අයත් නොවීය.1815 ට පෙර  මෙරට පවතින පුරාවස්තු වලින් සියයට අනූ අටක්ම බෞද්ධ නටබුන්  ලෙසට වර්ග කළ හැකිය..අද ලෝක උරුමයක් ලෙසට නම් කර ඇති සීගිරියද ඒ අවටද බෞද්ධ ආරාම සංකීර්ණ රාශියක පද්ධතියකි. මඩු පල්ලියද පැරණි බෞද්ධ ස්ථානයකි. පත්තිනි දේවාලයක්ද ඊට අයත් විය.මෙම පනත නිසා නබුන්ව පැවති සෑම ස්ථානයක්ම   පුරාවස්තු බවට පත් විය.යටත් විජිත යුගයේ පසු කාලයේ දී  මෙම ස්ථාන අසල  මහත් වැර වෑයමෙන් තනන ලද  විහාරස්ථාන කීපයක්  විය. රුවන් මැලි සෑය සේරුවාවිල දීඝවාපිය සෝමාවතිය ඉන් කීපයකි. මේවා අසල විහාරස්ථාන කීපයක් ඉඳි කෙරුණද පුරාවස්තු වලට අත ගැසීම තහනම් විය.සෝමාවතිය අසල වැසිකිලි වලක් හෑරූ විහාරාධිපති හිමියන් අත්අඩංගගුවට පත් වූයේ පුරාවස්තු පනතේ බලතල ප්‍රකාරවය.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා දැනට වසර 123 ක් ගත වී ඇත.ඔවුන් යටතේ තිබෙන නටබුන්ව ගිය වෙහෙර දාගැබ් පෙති පිළිම ජරාවාසව පෙර තත්වයෙන්ම පවතින අතර බාහිර වශයෙන් විහාරස්ථාන ගොඩ නන්වා ඇති තැන්වල පමණක් ජීවමාන ආගමික පරිසරයක්ද බෞද්ධ ප්‍රබෝධයක්ද දක්නට හැකිය.ඒ සමගම පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව විසින් හඳුනාගන්නා ලද දැනට ස්මාරක වශයෙන් ගැසට් කරන ලද ස්ථාන අතරින් වසරකට ස්ථාන 250 ක් පමණ නිදන් හොරුන් ගේ විනාශයට ලක් වෙයි. මේ අතර ඉඩම් මංකොල්ල කෑමේ චේතනාවෙන්ද අන්තවාදී වුවමනාවෙන්ද පුරාවස්තු වලට කරන ලද විනශයන්ද ඇතුළත්ය.

       


 

        මෙම ලිපියට අඩංගු කර ඇති පළමු රූපය  හිරුකෝවිල් වල වෙල් යායක් මැද කිබූ දාගැබකි. නිදන් වස්තු ගැනීමේ වුවමනාවෙන් මෙම දාගැබ යම් පිරිසක් ඩෝසරයක් දමා දෙපළු කර තිබුණි. පසුව එම පුද්ගලයන් අත් අඩංගුවට ගැනුණද පුරාවස්තු ආඥා පනත යටතේ නොව සාමාන්‍ය නීතිය යටතේ දඩ ගැසීම් කර නිදහස් කර තිබුණි.මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන 530 ක පුරාවස්තු හඳුනාගෙන තිබුණද ගැසට් නොකිරීම මත උසාවි වලදී ඇති වන අභියෝගයන් මීට හේතු වශයෙන් දැක්විය හැකිය. දෙවැන්න ගෝමරන්කඩවල මයිල වැව තිබෙන පුරාවිද්‍යාව විසින් මෑත කාලයේ දී තහවුරු කරන ලද ස්තූපයකි. පුරාවස්තු ආඥා පනත තිබුණද මෙම නටඹුම අද විනාශ කර ඇත. අසල හමුදා කදවුරක්ද පිහිටා ඇති නමුත් ආරක්ෂාවක් ලැබී නොමැති බව පැහිදිලිය.  උතුරේ මෙවැනි ස්තානයන්ට හමුදාව මැදිහත් නොවිය යුතුයයි ආඥාවක්ද දැනට නිකුත් කර ඇති හෙයින් හමුදා සාභාගිත්වය අවම මට්ටමින් පවතී. තෙවැනි රූපය 1960 ගණන් වලදී යාපහුව පර්වත මස්තකයේ පැවති හතරැස් කොටුව සහ අඩක් ගරා වැටුණු කොත් කැරැල්ල සහිත ස්තූපයයි. වසර පණහකට පමණ පසු ගන්නා ලද එම ස්තූපයම අද පවත්නා තත්වය හතරවන රූපයෙන් පෙන්නුම් කෙරේ . එහි හතරැස් කොටුව හෝ කොත් කැරැල්ල නැත.පුරාවස්තු ආරක්ෂා කිරීමට බැඳි සිටින පුරාවිද්‍යාවට පුරාවස්තු විනාශය පාලනය කිරීමට නොහැකිය.



           විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පළාත්වල ඉඩම් මංකොල්ල කෑමේ මුවාවෙන් කරන පුරාවස්තු විනාශයද අන්තවාදී ක්‍රියා ද පාලනය කිරීමට නොහැකිය. පුරාවස්තු ආඥා පනතේ නීතිය ක්‍රියාත්මක කරලීමට පොලිසිය මැළිකමක් දක්වයි. ඔවුහු ‌අන්තවාදී දේශපාලඥයන්ට යට වී සිටී. වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුමා කිසිවිටක තම පනතේ බලතල නීතිය ඉදිරියේ පෙන්වා දීමට උත්සුක නොවේ.මුලතිවු අධිකරණයේ දී විභාග වූ කුරුන්දි  නඩුකරය දිගින් දිගටම ඇදී යමින් පවතින්නේ එහෙයිනි. පුරාවස්තු පනතෙන් තමන්ට පැවැරී ඇති බලතල ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු ගෙන් පුරාවස්තු සුරැකෙන්නේ නැත..නමුත් උරුමය අයිති භික්ෂූන් වහන්සේලා මෙම ස්ථාන වල විහාරස්ථාන ඉදි කරනවාට ඔහු සහමුලින්ම විරුද්ධය. මැදිරිගිරිය පුරාවිද්‍යා භූමියට යාබදව විහාරස්ථානය ඉදි කිරීමට ඉල්ලුම් කළ විට ඒ අවසරය ලැබ දුන්නේ අස්ගිරි අනු නායක ස්වාමීන් වහන්සේ ගේ මැදිහත් වීම නිසාවෙනි. වවුනියා සමලන්කුලම පුරාවිද්‍යා ස්ථානය පැරණී බෞද්ධ විහාරයකි.1978 සිට එතැන කෝවිලක් අටවා ගෙන තිබේ. අපි එහිදී යෝජනා කලේ කෝවිල රක්ෂිතයෙන් ඉවත් කර ඉන් පිටත තැනීමටත් විහාරස්ථානද ඒ අසල ඉඳි කිරීමට අවසර දෙන ලෙසටත්ය. මේ පිළිබඳ ඉල්ලීම මඩුකන්ද ශ්‍රී දළදා විහාරස්ථානයේ නායක හිමියන් වන පූජ්‍ය මුවඇටගම ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඉදිරිපත් කල විට එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද අතර කෝවිල සංවර්ධනයට අවසර දී තිබේ. දැනට මේ සම්බන්ධව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.මේ සියලු තත්වයන් හමුවේ  නිෂ්ක්‍රීය ව සිටින අධ්‍යක්ෂ ජනරාල් තුමා   පසුගියද ඉන්දියාවට ගොස්  ලෝක බෞද්ධ සමුලුව ද අමතා තිබේ.  ඉන්දීය මැදිහත් වීම නිසා උතුරේ දේශපාලඥයන් එම පළාත් වල තිබෙන බෞද්ධ ස්ථානයන්ට කරන විනාශය ගැන එහිදී හොඳ පණ්වුඩයක් නිකුත් කිරීමට අවස්ථාව තිබුණි. එහෙත් ඒ සමුලුව ඔහුට පෞද්ලික සංචාරයක් පමණකි.පුරාවස්තු ආඥා පනත යටතේ හුදකලා කරන ලද මෙරට බෞද්ධ උරුමයට දිගින් දිගටම එල්ල වන තර්ජනයන්  තව දුරටත් අපට ඉවසා දරා සිටීමට නොපිළිවන කරුණාකර උරුමය අයිති ප්‍රජාවට උරුමය භාර දෙන්න.ඒ සඳහා පුරාවස්තු සහ උරුම කළමනාකරණ පනතක අවශ්‍යතාවයක් දැඩිව ඉස්මතුව තිබේ.

මතුගම සොනවිරුවන්

 

 

 

 

 

 

 

Thursday, April 6, 2023

නානවනම් නාන්න නෝනේ

 

 

 

ඇමරිකන් තානාපතිනිය සිංහල ඉගෙනීම අරඹා ඇතැයි වාර්තා වන අතර ඇය දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට දළදා මාළිගයට පැමිණි බවද මාධය වල පුවත් පළ විය.මේ අතර වාරයේ කෝට්ටේ මහානායක හිමි පූජ්‍ය කොටපිටියේ රාහිලු හිමි සහ මහනුවර මල්වතු අස්ගිරි නායක් හිමි යන් බැහැ දැකීමට ගිය බවත් දැක්වේ.

1815 දී රට ගිවිසුමකින් බ්‍රිතාන්‍ය ට භාර දීමට කලියෙන් ඉංග්‍රීසි ආණ්ඩුවේ විශේෂ නියෝජතයෙකුද මෙලෙස හැසිරුණු බව අප දනිමු. ඔහු තමයි ජෝන් ඩොයිලි. ඔහු කරතොට හිමියන් ගෙන් සිංහල ඉගෙන උඩරට රාජධානිය තුළ සිදු වන සියලුම දේ තමන්ගේ ආණ්ඩුවට වාර්තා කළ පුද්ගලයෙක්.රජ වාසලේ මත් පැන් ඇබ්බැහි වීමත් මහා නායක හිමිවරුන් ගේ ගූණ අගුණත් ඔහු වාර්තා කළ අනෙක් දේ බවට පත් වෙයි. අවසාන උඩරට රජු බලයෙන් පහකොට බ්‍රිතාන්‍ය රජයට ලංකාව ඈඳා ගැනීම සඳහා කළ මේ විශිෂ්ට ඔත්තු සේවා මෙහෙයුම අද කරන්නේ ජුලී චන්ග් තානාපතිනියයි.

   ගෝඨාභය ජනපතිවරයා බලයෙන් පහකිරීමට ඇය දැක්වූ මැදිහත් වීමද විශිෂ්ට බව යම් දිනක ඇමරිකාව සටහන් කර තබාවි.අරගලය දියත් වූ එක් රාත්‍රියක ඇය මිරිහානේ නිවසට පැමිණ ගෝඨාභය වෙනුවෙන් යාඥා කල බව පැවසෙයි. අනතුරුව කීප විටක්ම ජනපති හමු වීමට ගොස් තිබෙන ඇය අවසාන තත්පරයේ දී අරගලට උත්සන්න වී ජනපති මන්දිරය වට කරන විට වහාම ඉල්ලා අස්වන ලෙසට ජනපතිවරයාට බල කර සිට ඇත. ඇමරිකාව ගැන ඉහළින්ම විශ්වාසය තබා සිටි ගෝඨාභයට ප්‍රභාකරන්ට සිදු වූ දේ සිදු වන්නට වැඩි කාලයක් ගත වී නැත.මේ කාලයේ වරින් වර කතා නායක වරයා විදේශ ඇමතිවරයා මෙන්ම ජ.වි.පෙ. නායකයාද හමු වීමට ජුලී චන්ග් අමතක කර නැත. අරගලය සඳහා අවශ්‍ය පන්නරයද මුදල් ද ඇය ලබා දෙන්නට ඇති. ඇයගේ ආරක්ෂාවට කලු සෙබල කණ්ඩායමක් සිටි බවද දැන ගන්නට ඇත. මේ මගින් මැති ඇමතිවරුන් පමණක් නොව ජනපතිවරයාද බිය ගන්වන්නට ඇති බව නිසැකයි.මරණ බයට මුදලට තිබෙන කෑදර කමට පමණක් නොව ඇමති කටු වලට තිබෙන වුවමනාවට මානව හිමිකම් වලට අරගලයට ඉඩ දී රට අස්ථාවර වුණ බව දැන් අපි දනිමු. ජුලී රනිල්ට කැමති නැත. රනිල් කපටියෙකු බව ඇය දනී.මෝඩයන් අන්දවා වැඩ ගැනීමේදී කපටියෙකු ජනපතිවරයෙකු වූ විට මෙහෙයුමට බාධා එල්ල වේ. ඒ නිසා සරත් ෆොන්සේකා අනුර දිසානායක ආදීන් අල්ලා ගැනීම ඇයගේ සැලසුමේ කාරණා කීපයකි.පෙරටුගාමීන් යොදවා භික්ෂූන් වහ්නසේලා ට අපහාස කිරීම පටන් ගෙන ඇත.භික්ෂු විශ්ව විද්‍යාලයේ කලබගෑනිය ඒ සඳහාය. මාධ්‍ය වලට අවශ්‍ය එන්නත කල් තියා සූදානම් කර තිබුණි.ඩයස්පෝරාවේ මුදල් සඳහා රනිල් එකඟ කර ගැනීම කජ්ජකි.වික්ටෝරියා නූලන්ඩ් පැමිණ තානාපතිනියත් ජනපතිත් අතර යම් සංහිඳියාවක් ඇති කර ඇත.ජගත් මූල්‍ය අරමුදලේ සහාය රනිල්ට ලැබෙන්නේ ඒ නිසාය.රනිල් ලවා ඇමරිකානු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට දැඩි නීති රීති අවශ්‍ය වෙයි. ප්‍රති ත්‍රස්ත පනත ඒ සඳහාය.ඇතැම් විටක මේ පනතේ කෙටුම්පත ඇමරිකානු තානාපතිනිය හරහා පැමිණෙන්නටද පිළිවන. තත්වය භයානකය.

    රට බෙදීමේ න්‍යාය පත්‍රයට රනිල් කැමතිය. ගරුඩෙකු සිටියා කියා සිය නිවසේ වත්තේ පොල් ගසක් කපා දැමූ රනිල්ට ජනවාර්ගික ප්‍රශ්ණය කියා නැති ප්‍රශ්ණයක් ඇදගෙන  රට බෙදීම මහ ලොකු වැඩක් නොවේ.ඔහු වරින් වර ඒකට පසුබිම් හදන්නට උත්සාහ කරයි.ඔහු මේ සෙල්ලම් කරන්නේ ඉදිරි ජනපතිවරණයේ දී විරුද්ධ පක්ෂේ බලවතෙකු නොමැතිවම යළි බලයට පත් වීමටයි.ඒ සඳහා ජූලි නෝනාගාගේ සහාය අවශ්‍ය වෙයි.කෙසේ වෙතත් ජුලී නෝනා මේ නටන්නේ බුදුන් වහන්සේට පූජා කළ පින් බිමක සිටයි. දළදා හාමුරුවන්ට පූජා කළ පින් බිමක සටයි. නෝනා ගේ නැටීම නෑමක් බවට පත් කරන්නට හැකි වන්නේ ද එක් අතකින් ඩොයිලි හැදූ යටත් විජිත දැලේ පැටලුන කැප්පෙටිපොලලා වැනි අයටයි. නැතිනම් ඉතිහාසය මගින් පන්නරය ලබා සැබෑ ජයග්‍රහණයක් සඳහා මෙහෙයවන්නට හැකි පුද්ගලයන්ටයි.ඉරණමත් දෛවයත් එක ලෙස ලියැවී තිබෙන මේ මොහොතේ අපි අපගේ කැප කිරීම කරමු.