පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, January 21, 2021

වෛරස් ප්‍රහාරයකින් මීමැසි ජනපදත් විනාශයි

 

 

 


                                      

         වසංගතයක් මුවාවෙන් පැමිණි කොරොනා වෛරසය නිසාවෙන් ලෝකවාසී මනුෂ්‍ය සංහතියම අර්බුදයට ගොස් ඇත.මෙයට ලෝක මට්ටමින් විසඳුමක් තවමත් දී නොමැත. එන්නත් සූදානම් කිරීම ජංජාලයක් බවට පත්ව තිබෙන්නේ ප්‍රචලිත වෛරසය නැවත නැවතත් අලුත් වෛරස වශයෙන් ඉදිරියට පැමිණෙන බැවිනි. ලෝකයේ තාක්ෂණික ප්‍රගමනයට සාපේක්ෂකව මේ අර්බුදය පුදුමයට කරුණක් නොවේ.සොබාදහම ඉක්මවා යමින් මනුෂ්‍ය ප්‍රජාවම අනතුරට පත් කරමින් කරන නවීන සංවර්ධනය පිළිබඳ නැවත සිතන්නට පෙළඹවීමක් මේ මගින් කරනු ලබන බව නුවණ ඇත්තන්ට තේරුම් ගත හැකිය.නමුත් මේ විපතේ සැබෑ ස්වභාවය බොහෝ දෙනෙකුට තවමත් තෙරුම් ගන්නට නොහැකි වී ඇති බැවින් වෛරස් ප්‍රහාරයන් විවිධ අන්දමින් සිදු වේ.මේ ප්‍රහාරයන් අතර සිතා මතා දියත් කරන සූක්ෂම පහරදීම්ද දක්නට හැකිය. පසුගිය කාලයේ දී දිවයිනේ ගෙවතු සහ කැලෑ අසබඩ මීමැසි ජනපද හරහා පැතිරුණු සැක්බ්රූඩ්(Sacbrood ) නම් වෛරසයද එවැන්නකි.

       මෙම වෛරසය පළමුවරට මෙරටින් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් යැයි කියති. එහෙත් අගලවත්ත රබර් පර්යේෂණායතනයට අයත් කුරුවිට ස්ථානගතව තිබූ මී මැසි ජනපදවල  පැතිරෙන හඳුනානොගත් රෝගයක් ගැන 2006 වර්ෂයේ වාර්තා පළව තීබූ බව අසන්නට ඇත. කෙසේ වෙතත් මෙම වෛරසය ලෝකයේ පළමුවරට හඳුනාගන්නේ 1913 වර්ෂයේ දීය. . මෙම සැක්බ්රූඩ් වෛරසයට සමාන වෛරස ප්‍රභේද කීපයක් ලෝකය පුරා වාර්තා වී තිබෙන අතර 1964 වන විට .ඒවා නිශ්චිතව හඳුනාගන්නට යෙදී ඇත.මෙම ප්‍රභේද විවිධ නම් හඳුන්වන ලද නමුත් සැක්බ්රූඩ් යන නාමයෙන් ප්‍රචලිත විශේෂ වෛරසය පැතිරෙන්නේ ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කොට ගෙනයි.

      ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු මී මැසි පාලනය දියුණු කරලීම අරභයා ආන්දෝලනාත්මක තීන්දුවක් ගත්තේය. ඒ වර්ෂ 1999 දීපමණ විදේශයකින් මෙරටට බම්බල්බී වර්ගයේ මැසි ප්‍රභේදයක් ආනයනය කිරීමයි.නෝර්වේජියානු පුද්ගලයෙකු වූ ආන්ස් නමැත්තෙකුගේ ආයෝජන ව්‍යාපෘතියක් හරහා මේ මී මැසි වර්ගය මෙරටට ගෙනවුත් තිබිණ. පසුව රේගු දෙපාර්තමේන්තු නිළධාරීන් සහ වනජීවී අංශ එකතුවී එම මීමැසි ජනපද නැවත කොළඹ ගෙනවුත් විනාශ කර දමන්නට යෙදුණි.මේ සිද්දිය මත රේගුවට විරුද්ධව නඩුවක්ද පැවරිණ.මෙම මීමැසි වර්ගය නිදහස් කරලීම පිණිස එකල මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා දැඩිව බලපෑම් කොට ඇත. අවසානයේ දී ඔහුට රජයේ සේවකයන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නටද සිදු වී ඇත.

     මේ සිද්දියට පසු නොයෙකුත් පර්යේෂණ කටවුතු මුවාවෙන් වරින් වර නොයෙකුත් රටවලින් මීමැසි වර්ග මෙරටට ගෙන්වීමට බලධාරීන් කටයුතු කළහ.එසේම මීමැසි පාලනයට අවශ්‍ය උපකරණ රාශියක්ම ගෙන්වන ලදහ.මේ අතර වද අත්තිවාරම් විශේෂ වේ.මේ වන විට විදේශීය මී පැණි මෙට්රික් ටොන් 200 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ආනයනය කරති.ඔස්ට්‍රේලියානු මී පැණි ඉන් ප්‍රමුඛ වේ.සැක්බ්රූඩ් වෛරසය ලංකාවේදී පළමුවරට 2013 වාර්තා වන්නේ යැයි නිල වශයෙන් පීළිගනු ලබන්නේ මේ පසුබිම මතයි.මෙම වෛරසය මී මැසි ජනපදයකට ඇතුල් වූ පසු එහි සිටින වැඩකාර මැස්සියන්ගෙන් ඒ බැව් හඳුනාගන්නට හැකිය. අනතුරව පිලා පෙට්ටියේ පිලවුන් ක්‍රමයෙන් විනාශ වීමට පටන් ගනී.මේ සම්බන්ධව ඔස්ට්‍රේලියානු කෘෂීකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උපදෙස් කීපයක් ඔවුන් ගේ වෙබ් අඩවි වල අනතර්ගතය. ඉන් කීපයක් මෙසේය.

  

    මියගිය හෝ මිය යන පැටවුන් සිටීම පළමු රෝග ලක්ෂණයයි. පැටවුන් ගැසූ විගසම පිලවුන් වීමට පෙර මිය යයි. මිය ගිය කීටයන් සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති සෛල තුළ හෝ පසුව නොකැඩූ සෛල වල දක්නට ලැබේ. බලපෑමට ලක්වූ ආවරණ සෛල බොහෝ විට කුඩා සිදුරක් අඩංගු වේ. තරුණ කීටයන් දූෂිත පරාග පැණි හෝ ජලය පෝෂණය කිරීමෙන් සැක්බ්රූඩ් පැතිරීම සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ. රෝගී කීටයන් අඩංගු සෛල පිරිසිඳු කරන අතරතුර වැඩකාර මී මැස්සියන් වෛරසයට ගොදුරු වේ. දූෂිත උපකරණ හෝ මී මැස්සන් හුවමාරු කර ගැනීම හෝ මී මැස්සන් මංකොල්ලකෑම හෝ රෝගය පැතිර යෑමට උපකාරි වේ.

    ලංකාවේ දී මෙම රෝගය පැතිරීමට මූලික හේතුව වී ඇත්තේ දූෂිත උපකරණ එනම් වද අත්තිවාරම් විදෙස් වලින් ගෙන්වා බෙදාහැරීමයි. එසේම මී මැසි ජනපද ප්‍රවාහනයද මීට හේතු වේ.ලංකාවේ පැණි වාරය මාර්තු අප්‍රියෙල් සහ අගෝස්තු වන අතර මී මැසි පාලකයන් විශේෂයෙන්ම ව්‍යාපාරික පාලකයන් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ඒවා ගෙන යති.මේ තත්වය පාලනය කිරීමට ලංකාවේ කිසිම ක්‍රමවේදයක් හඳුන්වා දී නොමැත. මීමැසි සංවර්ධන මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ බණ්ඩාරවෙල බිඳුණු වැව ප්‍රදෙශයේ ය. මෙම ආයතනය තුළ වාර්ෂිකව මී පැණි කිලෝ 1400 ක් පමණ රැස් කිරීමට නියමිතව තිබුණද පසුගිය කාලයේ රැස් කර ගැනීමට හැකි වී තිබෙන්නේ කිලෝ 200 කටත් අඩු සංඛ්‍යාවක් බව වාර්තා වේ.බිඳුණු වැව සහකාර අධ්‍යක්ෂ විමුක්ති මහතා පවසන පරිදි මේ රෝගය මර්දනය කරලීමට මෙතෙක් සාර්ථක ක්‍රමයක් හඳුන්වා දී නොමැති අතර දියර සහිත මුං පිටි සහ සහල් පිටි අඩංගු මිශ්‍රණයක් ලබා දීමෙන් මී මැස්සන්ගේ පෝෂණය දියුණු කිරීමක් පමණක් ඉටු කරයි.කෙසේ වෙතත් 2020 වන විට රට පුරා විශාල මී පැණි හිඟයක් ඇති වී තිබේ. මේ රටේ සංඛ්‍යාලේඛන අනුව මීමැසි ජනපද පවත්වාගෙන යන බිඟු පාලකයන් 13431 ක්  විසින් නඩත්තු කරන මී මැසි පෙට්ටි 25000 ක් පමණ තිබේ. එයට අමතරව වනගත ජනපද සමග එක්කාසු කරන විට 45000 ක් ඉක්මවා යයි. මේ අනුව වාර්ෂිකව මී පැණි  කිලෝ 45000 ක් පමණ නිෂ්පාදනය වන්නේ යැයි කියති. නමුත් මේ වර්ෂය වන විට පෙර කී වෛරස රෝගයේ බලපෑම මධ්‍යයේ මී පැණි නිෂ්පාදනය විශාල වශයෙන් අඩු වී තිබේ.කොරෝනා වලට ඔසු සඳහා නිෂ්පාදනය කරනු ලබන දේශීය ඖෂධීය පැණි සඳහා විහාල මී පැණි තොග අවශ්‍ය වීම බලවත් අභියෝගයක් විය. දැන් සිදුව තිබෙන්නේ මී පැණි විදෙස් වලින් වැඩි වශයෙන් ආනයනය කිරීමයි.

    ලංකාවේ භෝග වලට වෛරස් ආසාදනය කොට විනාශ කිරීම සිදු වන්නේ අද ඊයේ සිට නොවේ.බිබිලේ පැණි දොඩම ට වෛරසයක් බෝකොට විනාශ කළ අන්දම අතීත සිද්දියක් වුවද එය රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රණයක් බව දන්නෝ දනිති. ඉන්පසු විවිධ සංවර්ධන ව්‍යාපෘති හරහා ලංකාවට ගෙන එන ලද සතුන් උපකරණ හරහා මෙරට ගවයන්ට නෙයෙකුත් ලෙඩ රෝග බෝ විය. මේවා හිතා මතා කුමන්ත්‍රණකාරී ලෙසට සකස්කරන සංවිධානාත්මක අපරාධයන්ය.මේ අපරාධයන්ට සුදු කරපටි නිළධාරීන් ඉහළින්ම සම්බන්ධ වේ. රජරට වකුගඩු රෝගයට මෙරටට ගෙන්වන ලද පලිබෝධ නාශක හේතුවන බව සොයා ගත් විට ඒවායේ අඩංගු ආසනික් තහනම් කර ගැනීමට දේශ හිතෛෂී නිළධාරීන් උත්සාහ දැරූහ. නමුත් පෙර සඳහන් කළ මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා මේ ආසනික් අඩංගු පලිබෝධනාශක නිදහස් කරගැනීමට දැඩිව වෙහෙසුණේය. ඔහු අදත් මෙරට මුල් පුටුවක වැජඹෙයි.කෙසේ වෙතත් මෙම රෝගය මර්දනය කරලීමට ලෝක ප්‍රකට විද්‍යාඥයන් පී.සී.ආර්. හඳුනා ගැනීම් ජාන හඳුනාගැනීම් ආදී නොයෙකුත් නවීන ක්‍රම අනුගමනය කරන කල්හි මේ පුංචි ලංකාවේ ගම්බද විද්‍යාඥයන් නොයෙකුත් දේශීය ඖෂධ(කොත්තමල්ලි වෙනිවැල්ගැට වැනි ඖෂධ යොදා ගනිමින් අත්හදා බැලීම් කරති. 

ඒ අනුව මේ වන විට මී මැසි ජනපද වල රෝගී තත්වය බොහෝ දුරට පාලනය කර ගැනීමට සමත් වී තිබේ.නමුත් ගැටලුව වී තිබෙන්නේ වර්තමාන කොරෝනා වසංගතය හමු වේ මී මැස්සන්ට විස සහිත වන විෂබීජ නාශකයන් බහුල ලෙසට පරිසරයට මුදා හැරීමයි.මේ නිසා මේ කාලයේ නව ජනපද සෑදීමට පිටත්ව යන මී මැසි පොදි අපට දක්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙනි.මේ නිසා නව ජනපද ආරම්භකිරීමට තිබෙන ඉඩකඩ ඉතාමත් අඩුය.තවමත් කෘෂීකර්ම අංශවල උනන්දුව නොමැති තරම්වන අවස්ථාවක දේශීය මී පැණි ජීවන රටාව රැක ගැනීමට ඉදිරියට පැමිණිය යුත්තේ ගම්බද බිඟුපාලකයන්ය. ඔවුහු විද්‍යාඥයන් නොවෙතත් පරිසරය සමග සුහදව ගනුදෙනුකරන්නන්ය.අනාගතය පවතින්නේ ඔවුන් අත බව නිසැකය.

    

Saturday, January 16, 2021

කොවිඩ් එන්නත ලබා දීම භයානක ප්‍රවේශයකි

 

 

                                         


             වර්තමාන වසංගත තත්වය පාලනය කිරීම සඳහා තිබෙන එකම විකල්පය එන්නත්කරණය යයි දැඩිව විශ්වාස කරන ආණ්ඩුවක් අප ඉදිරියේ තිබේ. කුමන හෝ එන්නතක් විදේශයකින් ගෙන්වා ගැනීම සඳහා විශේෂ නිළධාරියෙකුද පත් කර ඇති මෙම ආණ්ඩුව වෙනත් විකල්පයක් ගැන නොසිතන තරම්ය.වර්තමාන සෞඛ්‍ය ඇමතිවරියත් වසංගත පාලනය සඳහා පත් කර ඇති රාජ්‍ය ඇමතිවරියත් විකල්පයක් ගැන කතා කිරීමත් කාලය නාස්ති කිරිමක් යයි පවසා ඇත.ලෝකය ඉදිරියේ වරින් වර ඇති වූ වසංගත තත්වය යටතේ එන්නත් ලබා දීමෙන් සිදු වූ සේවය නිසා එන්නත් සම්බන්ධව විශ්වාසයක් ජනිතව තිබීම පුදුමයට කරුණක් නොවේ.වර්ෂ 1886 දී ලංකාවේ දී ප්‍රථම වරට එන්නත් ක්‍රියාවට නීතියක් ආදේශ කිරීමෙන් පසු සියවසකට අධික කාලයක් තුළ විවිධාකාර එන්නත් හඳුන්වා දීම සිදු වි තිබේ. මේ නිසා වසූරිය ගලපටලය කක්කල් කැස්ස පිට ගැස්ම මෙන්ම සෙංගමාලය ද සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත් වූ බව දක්වා තිබේ.

        එන්නත මගින් කරනු ලබන්නේ ශරීරය තුළ කෘතිම ප්‍රතිශක්තියක් ඇති කරලීමයි.ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පිළිගන්නා පරිදි ස්වභාවික ප්‍රතිශක්තිකරණය මෙන්ම කෘතිම ප්‍රතිශක්තිකරණයද මනුෂ්‍ය ප්‍රජාවේ රෝග නිවාරණයට අවශ්‍ය වේ.එහෙත් අද ඉදිරියට පැමිණ තිබෙන්නේ කෘතිම ප්‍රතිශක්තිකරණය පමණකි. මෙරට කෘතිම ප්‍රතිශක්තිකරණ ඉතිහාසයේ පළමු එන්නත වූයේ වසූරිය එන්නතයි.එම තත්වය තහවුරු කරලීම පිණිස ආඥා පනතක්ද ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය රජයට සිදු විය.අනතුරුව ඉදිරිපත් කල එන්නත් අතර ක්ෂය රෝග එන්නත  කක්කල්කැස්ස ගලපටල සහ පිට ගැස්ම එන්නත පෝලියෝ එන්නත සරම්ප එන්නත ජැපනිස් එන්සපලයිටිස් එන්නත රුබෙල්ලා එන්නත හෙපටයිටීස් බී එන්නත හිබ් එන්නත සහ අජීව පෝලියෝ එන්නත ද විය. එන්නත් නිෂ්පාදනයේ දී ආරම්භයේ පටන් අනුගමනය කරන ලද මූලික සිද්ධාන්තය නම් අදාළ රෝගයේ අජීව කොටස් ශරීරයට ඇතුලු කිරීමයි. චීන ගව වයිරසය වසූරිය මර්දනයට යොදා ගැනීම උදාහරණයකි.රෝග විෂබීජයක් ශරිරයට ඇතුල් වීමේ දී සිරුරේ පවතින සුදු රුධිරාණු ඒවාට පහර දී භක්ෂණය කිරීමට පටන් ගනී. නමුත් එම විෂබීජ පැමිණීම සහ එම තොරතුරු සුදු රුධිරාණු වලට සන්නිවේදනය කරනු ලබන්නේ  වසා සෛල මගිනි. නවීන ක්‍රමයට අනුව ස්වභාවික ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වන්නේ එලෙසයි.

       එන්නතක් මගින් කරනු ලබන්නේ සිරුරට ඇතුල්වෙන රෝගය කුමක්ද යන්න කලින් හඳුනා ගැනීමට මාර්ගයක් සැලැස්වීමයි.මිනිස් සිරුරේ සෛල වල ඩී.එන්.ඒ.සහ ආර්.එන්.ඒ (රයිබොනියුලික් අම්ලය )දෙකම පවතී. නමූත් ආගන්තුකව පැමිණෙන විෂබීජයන් හි අතැම් විට පවතින්නේ අර්.එන්.ඒ. පමණි. සුදු රුධිරාණු මගින් කල්තියා හඳුනාගනු ලබන ක්‍රමවේදය එන්නත් මගින් කෘතිමව උත්තේජනය කිරීම සඳහා අජීව එන්නත් සහ ජාන තාක්ෂණයෙන් සකස් කරන ලද එන්නත් වර්තමානයේ භාවිතා කරනු ලැබේ. අජීව එන්නත් යනු අර්ධ සෛලමය එන්නත් සහ පූර්ණ සෛලමය එන්නත් ලෙසට කොටස් දෙකකට බෙදේ .බොහෝ විට ප්‍රෝටීන් හා පොලිසැකරයිඩ භාවිතා කරමින් මේ එන්නත් නිෂ්පාදනය වේ.නමුත් ජාන තාක්ෂණයෙන් යුත් එන්නත් නිෂ්පාදනය වඩාත් සංකීර්ණය.ජාන ඉංජිනේරු විද්‍යාව මගින් යීස්ට් සෛලයේ වර්ණදේහයට බද්ධ කිරීම සිදු කොට එම රෝග කාරක විෂබිජයේ ප්‍රෝටීනය වර්ධනය කරයි.අනතුරව එය පිරිසිදු කොට එන්නත් වශයෙන් භාවිතා කරයි.

     මෙවැනි එන්නත් රාශියක් පසුගිය සියවසක පමණ කාලයක සිට ලංකාවේ ජනතාවට ලබා දී තිබේ.මේවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කරන ලද එන්නත් විය යුතුය.ඉන්පසු ලංකාවට ආනයනය කළ පසු වෛද්‍ය පර්යේෂණායතනය විසින් එම එන්නත් නියැදි ගැන පරීක්ෂණයක් සිදු කළ යුතුය.ඉන්පසු ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහන යටතේ මාර්ගෝපදේශ මාලාවක් යටතේ එන්නත් ජනතාව සඳහා නිකුත් වේ.1886 එන්නත් ආඥා පනත අනුව එන්නත් ලබා දීමේ පිළිවෙල ගැන රෙගුලාසි රාශියක් නිකුත් වී තිබේ. මෙම ආඥා පනතේ 12 වන වගන්තිය අනුව එන්නත් ලබා දීම පැහැර හැරීම සම්බන්ධ චෝදනා ගැනද දක්වා තිබේ.එම වගන්තියෙන් කියැවෙන්නේ එන්නත් ලබා නොගැනීමසුදුසු නොවන දෙයක් බවට ඒත්තු ගැන්විය යුතු බවයි. අනිවාර්යෙන්ම එන්නත් ලබා ගත යුතු යැයි බල කිරීමක් එහි නැති වුවද යම් අනියම් බලපෑමක් මෙම වගන්තිය මගින් දක්වා ඇත. මෙම ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ක්‍රමවේදය අතුරු ආබාධ ආදීය ගැන ලංකාවේ වසංගතරෝග විද්‍යා  අංශය මගින් 2016 වසරේදී අවසන් වරට නිර්දේශ රාශියක් නිකුත් කර තිබේ. කොරෝනා වංසගත තත්වය මර්දනයට එන්නතක් ලබා දෙන්නේ නම්  මේ නිර්දේශ අනුගමනය වනවා නිසැකය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒමග අනුව යන ලංකාවේ සෞඛ්‍ය අංශයත් කෘතිම ප්‍රතිශක්තිකරණය පිළිබඳ වෙසෙසි උනන්දුවක් දැක්වුවද ස්වභාවික ප්‍රතිශක්තිකරණය දියුණු කරලීමට කිසිම වැඩ පිළිවෙලක් යොදා නොමැත.ස්වභාවික ප්‍රතිශක්තිකරණය ඇති වීමට බලපාන හේතු අතර ආහාර විහරණ ගත හැකිය. වර්තමානයේ බහුලව පවතින කෘතිම ආහාර ක්ෂණික ආහාර අජිනොමෝටෝ වැනි කෘතිම ලවණ භාවිතය නිසා ස්වභාවික ප්‍රතිශක්තිය හීනව යා හැකිය.එසේම පලිබෝධ නාශක යොදූ ආහාර  දූෂිත ජලය දූෂිත තෙල් වර්ග මෙලමයින්  ඌරු තෙල් අඩංගු කිරිපිටි වර්ග සියල්ල භාවිතයෙන් ප්‍රකට වන්නේ මනුෂ්‍ය ශරීරය දුර්වල වන අවස්ථාවන්ය.නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයද නඩත්තු කරනුයේ මෙවැනි දූෂිත ආහාර නිපදවන බහුජාතික සමාගම් විසිනි.මේ නිසා වස විස යෙදූ ආහාර පරිභෝජනයෙන් පසුව දුර්වල වන ශරීරයට එන්නත් මගින් ප්‍රතිශක්තිය කෘතිමව ලබා දීම ඔවුන් ගේ රාජකාරිය වී තිබේ.දූෂිත ආහාර නිපදවීමෙන් සහ ඖෂධ නිපදවීමෙන් මෙම සමාගම් අත්පත් කර ගන්නා ලාභය කෝටි ගණනින් ලොව පුරා හුවමාරු වේ.කොවිඩ් 19 පරීක්ෂණ කට්ටල වලට පේටන්ට් හිමිව ඇත්තේ 2015 වසරේදීය.ඉන් කියැවෙන්නේ ලෝක සෞඛ්‍ය ආධිපත්‍ය මේ වෛරසය ගැන දැන සිටි බවයි.වර්තමාන කොවිඩ් එන්නත විදීමට කැස කවන පරිසරය නිර්මාණය වන්නේ මේ වසල වෙළඳ පළ මතය.මෙම කොවිඩ් එන්නත මගින් සිදුවනුයේ  ශරීර සෛල වල පවතින ඩී.එන්.ඒ. අණු වලට හඳුනාගත හැකි ආර්.එන්.ඒ. සහිත අජීව කොටස් ශරීර ගත කිරීමකි. මෙහිදී ඇති වන විපර්යාසය භයානක විය හැකිය. ශරීර සංකූලතා බහුලව ඇතිවීමට අමතරව මනුෂ්‍ය ඩී.එන්.ඒ වෙනස් වීමකට භාජනය වීමට තිබෙන ඉඩකඩ වැඩි වේ.ඒ ගැන පුලුල් අධ්‍යනයක් තවමත් කෙරී නැත. එම තත්වය තුළ කොවිඩ් එන්නත ලංකාවේ ජනතාවට ඉක්මනින් ලබා දීම යනු පර්යේෂණාගාර මීයන් බවට අප පත් කිරීමකි.

      දුරාතීතයේ පටන් මෙරට ජනතාවගේ ප්‍රතිශක්තිය හසුරුවා ගනු ලබන්නේ ස්වභාවික ආහාර මගිනි.යම් රෝගයක් ශරීර අභ්‍යන්තරයේ ඇතිවන්නේ වා පිත් සෙම් කෝපයෙන් බව ඔවුහු පිළිගෙන සිටියහ.සිරුරේ ආම තත්වය මත ක්ෂුද්‍ර ජීවී බලපෑම එල්ල විය හැකි බැවින් ආමය සමබරව තබා ගැනීමට උනන්දු වූහ. සිංහල ජනතාව හැන්දෙන් ගෑරෙප්පුවෙන් නොව අතින් බත් අනා කන්නේ යම් ක්ෂුද්‍ර ජිවීන් ප්‍රමාණයක් ආහාරයත් සමග සිරුරට ඇතුල් කිරීමේ විද්‍යාව ඔවුන් දැන සිටි බැවිනි.එම තත්වය මත ආහාර විහරණ ගැන දැඩි උනන්දුවක් සංස්කෘතිය තුළම නිර්මාණය කර ඇත.

 රෝගයනට ප්‍රතිකාර නියම කිරීමෙදී ද ස්වභාවික ඖෂධ මගින් සුවපත් කර ගැනීමට ඔවුහු දැන සිටියහ. කාස ස්වාශ වලදී ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වූ පවාට්ටා නොහොත් ආඩතෝඩා ඖෂධයක් වශයෙන් සකස් කිරීමේ දී (පැණියක් වශයෙන්) ක්ෂුද්‍රජීවී ක්‍රියාවලියකට ලක් කළහ.ඒ ස්වභාවික ප්‍රතිශක්තියට අමතරව බැහැරින් ප්‍රතිශක්තියක් ලබා දීම පිණිසය.කොරොනා වලට අවශ්‍ය ඖෂධ මෙරට නිර්මාණය වන්නේ ඒ පසුබිම මතය. වර්ෂ 1886 ට පෙර වසූරියට පාරම්පරික සිංහල බේත් නිර්මාණය වූවා සේම අදටත් මේ රටේ සිංහල වෛද්‍යවරුන් දක්ෂතා ප්‍රකට කරමින් ඉදිරියට පැමිණ ඇත. එසේම මුඛයෙන් ලබාදෙන බටහිර ක්‍රමයේ එන්නත් වලට සමාන වෛද්‍යමාතා නම් වූ නව නිපැයුමක්ද අපේ සිංහල වෛද්‍යවරයෙකු විසින් නිර්මාණය කොට තිබේ.කොවිඩ් එන්නත මගින් ඇති කරන භයානක සමාජ තත්වය වෙනස් කරලීමට මෙම ඖෂධ උපයෝගී වනවා නිසැකය.


Sunday, January 10, 2021

ජාතිය බෙදා දැක්වූ පක්ෂ දේශපාලනය සහ පළාත්සභා

 

 

 


                             

              මෙරට දේශපාලනය තුළ පක්ෂ බිහිවීම සිදුවන්නේ ලංකාවට සර්වජන චන්ද බලය ලැබීමෙන් පසු 1935 දී පමණය .බ්‍රිතාන්‍ය රජය ලංකාව සඳහා ආදේශ කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ ඇති කළ ප්‍රබල මතවාදී යාන්ත්‍රණයක් වශයෙන් පක්ෂ ක්‍රමය හැඳින්විය හැකිය.1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීම සඳහා පසුබිම  ඇති කරන ලද්දේ පක්ෂ ක්‍රමය විසිනි. මෙම උත්තේජනය ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තිය විසින් මහත් ආශාවෙන් වැළඳ ගත්හ.ඔක්ස්ෆඩ් පන්නයේ අධ්‍යාපන හික්මීම විසින් මෙම ආශාව සන්තර්පනයට පසුබිම ලබා දුන්නේය.මේ වන විට ලංකාව හසුරුවන ප්‍රධාන ධාරාවක් බවට පත්ව තිබෙන්නේ මේ පක්ෂ ක්‍රමයයි.ආදාහනයද භූමදානයද යන මෑත කාලීන ගැටුම අරභයා මෙරට භික්ෂූන් වහන්සේලා විසින් දැක්වූ විරෝධයට එරෙහිව වාසුදේව නානායක්කාර මහතා වහාම ප්‍රතිචාර දැක්විය.භික්ෂූන් වහන්සේලා පක්ෂ නාකයන් නොවන බව ඔහු පෙන්වා දුනි.මේ සිදුවීමෙන්  පෙන්වා දෙනුයේ වර්තමාන දේශපාලඥයන් කෙතරම් දුරට පක්ෂ දේශපාලන රාමුවේ සිරවී සිටිනවාද යන්නයි.

       පක්ෂ ක්‍රමය හසුරුවන යාන්ත්‍රණය නම් පාර්ලිමේන්තුවයි.පක්ෂ විපක්ෂ භේදය එහි ඉහළින්ම ඇත. රටට ජාතියට වැදගත්වූ කාරණෘ එහි සාකච්ඡා කරන කල්හි පක්ෂය ප්‍රමුඛස්ථානයට පත් වේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තියෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා ඇති නමුදු පාර්ලිමේන්තුවේදී එම බලයට එතරම් වටිනාකමක්   හිමි නොවේ.අපවත් වී වදාළ අති ගෞරවනීය නාපාන ප්‍රේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ පිළීබඳ ශෝකය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලීමට උත්සාහ දැරූ අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා විසින් එය වළක්වන ලද්දේ පක්ෂ රාමුව විසින් බිහිකළ චර්යාධර්ම බුද්ධ ශාසනයට වඩා ඉහළින් තිබෙන නිසාවෙනි.

       පක්ෂ දේශපාලනය තුළ පවතින්නේ සැඟවුණු පන්ති භේදයකි.එක්සත් ජාතික පක්ෂය සැමදිනම ධනපති පක්ෂයක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඉන් පසු බිහිවූ පොදු පෙරමුණු සහ පොදු ජන පෙරමුණ සැම විටම ගොවිකම්කරු පිරිසගේ පක්ෂයක් බවට මතයක් සැකසී ඇත. සමසමාජ කොමියුනිස්ට් සහ ජනතා විමුක්ති පෙරමුණ සැලකෙන්නේ වාමාංශික නිර්ධන පන්ති පක්ෂ ලෙසිනි.1948 පෙර මෙරට තිබූ කුල ක්‍රමයේ රාමුව පක්ෂ දේශපාලනයට අහිතකර ලෙසට බලපා ඇත.ආර්.ප්‍රේමදාස පමණක් නොව කොල්වින් ආර් ද සිල්වා වැනි වාමාංශිකයන් පවා මෙරට පැවති කුල ක්‍රමය පක්ෂ දේශපාලන වාසිය සඳහා අනියමින් යොදවාගෙන තිබේ.

          සිංහල ජාතිය විකසනය වන්නේ වසර දහස් ගණනාවක් තිස්සේ ඇති වූ ජානමය සහ සංස්කෘතික බැඳිමක් අනුවයි.රජුන් ඇමැත්තන් සහ මෙරට ශිල්ප ශ්‍රේණි අතර මනා සබඳතාවයක් පවත්වාගෙන යෑමට ජාතිය ඉවහල් විය.ශිල්ප ශ්‍රේණි යනු මෙරට කුල ක්‍රමයයි.එය ජාතික නිෂ්පාදනයට දායක කරගන්නා ලද්දේ රාජකාරිමය වශයෙනි.බ්‍රිතාන්‍යයන් විසින් රාජකාරිය අහෝසී කිරීම නිසා මේ බැඳීම ලිහිල් වී කලකදී විසිරීමට පත් විය.අවසානයේ ඉතිරි වූයේ ජාතියෙන් ඉවත් කරන ලද කුල ක්‍රමයක් පමණකි.මෙරට සිංහල ජාතියේ මූලාරම්භය මහාවංශය තුළ සඳහන් කරන ලද පුරාවෘත්ත හා බැඳේ.නමුත් මෙරට ශිල්ප ශ්‍රේණි වල ඉතිහාසය ඊට පැරණිය.පුරාවිද්‍යාත්මකව දැනට තහවුරු කොට ඇති පරිදි වසර දෙදහස් පන්සීයයකට වඩා ඉතිහාසයක් අපට හිමිය. 

පැරණි හෙළයන්ගේ ශිල්ප ශ්‍රේණි ක්‍රමය සිංහල ජාතියට එකතු වූ ආකාරය පණ්ඩුකාභය යුගයේ දී දක්නට හැකිය.මෙම තත්වය තුළ සිංහල ජාතිකත්වය ජානමය වශයෙන් බැඳී පැවතුණේ තමන්ගේ වංශ පරම්පරාව සමග බැඳී ඒ සැම අවසාන වශයෙන් රටේ රාජ්‍යත්වය සමග ආත්මීය වශයෙන් එක්වීමෙනි.පස්වාන්දහසකට බුදු වන්ඩ දේවයන්වහන්ස යනුයෙන් වැසියන් රජු ඉදිරියේ වැඳ වැටෙනුයේ මේ ආත්මීය බැඳීම නිසාය.රජු බෝධිසත්වවරයෙකු ලෙසට සැලකීම දේවත්වයෙන් සැලකීම නිසා රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් සුරැකෙන යාන්ත්‍රණයක් බිහිවන්නේ යැයි පැරණීයන් තුළ විශ්වාසයක් ජානගතව පැවතුණි.

        සිංහල බෞද්ධ රජෙකු තවදුරටත් නොවීමත් දුරු රටක සිටින අබෞද්ධ රජෙකුට හිස නමන්නට සිදු වීමත් මෙරට ජනයා ශෝකයට පත් කරවන්නක් විය.මේ නිසා ක්‍රමයෙන් මේ රටේ ජාතිකත්වය ජන මනස් වලින් බැහැර වන්නට විය.1818 මෙන්ම 1848 ජාතික විමුක්ති අරගල දෙකම පරාජයට පත් වන්නට මෙය ප්‍රබල හේතුවක් විය. මේ නිසා සංසාර ගතව ජාතිකත්වය හා ළබැඳි පිරිස් අනගාරික ධර්මපාල තුමා පියදාස සිරිසේන මහතා වැනි නායකයන් වටා රොක් වූහ.මිනිරන් පතල් නිසා ධනවත් වූ එෆ්.ආර්. සේනානායක මහතා ස්වකීය ජාතික නායකයා බවට පත් කරගන්නට ජනතාව කල්පනා කළ බව මෙහිදී මතක් කළ යුතුය.නමුත් සිංහලයන්ට නැවත ජාතිය එක්සත් කළ හැකි රජෙකු බිහි නොවීය. ඒ වෙනුවට පක්ෂ දේශපාලනය නිසා බලවත් වූ දේශපාලන නායකයන් මෙරට ජනතාවගේ ජාතික වීරයන් බවට පත් විය. ඩී.එස්.සේනානායක මහතා බණ්ඩාරනායක මහතා මෙන්ම සිරිමා මැතිණියත් මේ රටේ ජන හදවත් දිනා ගනු ලැබූයේ පක්ෂ නායකයන් ලෙසටයි.පසුව ජේ.ආර්.ජයවර්ධන සහ මහින්ද රාජපක්ෂ වැන්නවුන් ජාතියේ මහා නායකයන් ලෙසට මෙම ජන කොටස් විසින් තෝරා ගත්හ.නමුත් ඒ කිසිවකුට ජාතිය එක්සත් කළ නොහැකි වූයේ මේ නායකයන් සියල්ල මූලිකවම පක්ෂ නායකයන්  වීම නිසාය.

         මෑත කාලයේ දේශපාලනය තුළ මුස්ලිම් අන්තවාදයත් දෙමළ අන්තවාදයත් ඉස්මතු වන්නේ සිංහල ජාතිකත්වය අත්හළ දේශපාලන නායකයන් වසින් මෙරට නායකත්වය හොබවන බැවිනි.ඔවුන් තුළ මෙරට ජානගතව තිබූ සිංහල ජාතිකත්වය නැත්තා සේම සිංහල ජනතාව පුබුදු කරමින් නැවත ජාතිකත්වය ජානගත කරලීමටද හැකියාවක් නොමැත. ගෝඨාභය මහතා සඳහා සිංහල චන්ද බහුරතරයක් වැටෙන්නේ සැඟව තිබූ ජානගත ජාතිකත්වය නැවත මතු වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. පක්ෂ ක්‍රමය විසින් එකිනෙක බෙදා වෙන් කොට ජාතිය විසිරුවා හැර තිබුණත් ජානගත ජාතිකත්වය මතුවීම වැළැක්විය නොහැකිය.නමුත් යම් ජාතික ප්‍රශ්ණයකදී පක්ෂ වලට බෙදී සිටින්නන් නැවත ජානගත ජාතිකත්වය අමතක කොට පක්ෂ මුල් තැනට ගෙන කටයුතු කරති. චන්දයක් අවස්ථාවකදී සිංහල නායකයෙකුට තැන නොලැබෙන්නේ ඒ නිසාය. ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග මහතා මෑත කාලයේ දී සිංහල ජානගත ජාතිකත්වය පුබුදු කළ නායකයා විය. නමුත් ප්‍රධාන පක්ෂ දෙකකට බෙදී සිටින්නන් විසින් ඔහුට ඉදිරියට ඒමට ඉඩනුදුන් බව අප සිහිපත් කල මනාය.මේ ව්‍යයාමය දේශපාලන වශයෙන් සාර්ථක කරගත් චම්පික රණවක මහතාට සැබෑ ජාතිකත්වයක් නොමැති බව දැන් පැහැදිලි වී අවසානය. නමුත්  ජානගත ජාතිකත්වය පෝෂණය කරලීමට ඔහු කළ මෙහෙය අගය කළ යුතුය.      පක්ෂ  ක්‍රමය ප්‍රභලව ඉස්මතු වූ රටක පක්ෂ නියෝජිතයන්ට මුල් තැන් ලැබීම ස්වභාවිකය.පාර්ලිමේන්තු නියෝජනය සඳහා අවශ්‍ය පක්ෂ නායකත්වය මෙන්ම පළාත් පාලන නියෝජිතයන් ගේ පක්ෂපාතිත්වය මේ ක්‍රමයට ඉතා වැදගත්ය. 

 දෙමළ ඊලාම්වාදය වෙනුවෙන් සැකසූ පළාත් සභා අද සිංහල පක්ෂ නායකයන්ට වැදගත්වී තිබෙන්නේ උඩ සිට යටට විහිදෙන පාක්ෂපාතිත්වයක් පවත්වාගෙන යා යුතු බැවිනි.පළත් සභා විසින් මෙරට බෙදුම්වාදය ශක්තිමත් කරන බව දැන සිටියද මේ පක්ෂ නායකයන්ට වඩා වැදගත් වන්නේ බලදේශපාලනය පවත්වාගෙන යෑමට අවශ්‍ය පක්ෂපාතිත්වය පමණි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රාදේශීය සභා වලට පත් වූවන් මහජන නියෝජිතයන්ට වඩා පක්ෂ නියෝජිතතයන් බවට පත්කරලීමට නීති සැකසුණේ මේ පක්ෂපාතිත්වය නායකයන්ට අවශ්‍ය බැවිනි. මේ තත්වය නිසා හැටනව ලක්ෂයක සිංහල බහුතරයකගේ චන්දය ගෝඨාභය හරහා සාර්ථක කර ගැනීමට ප්‍රයත්න දැරූ සිංහලයන් හට වැරදී ගියෙ ඇයිදැයි තේරුම් ගැනීම පහසුය. නමුත් ඉන් කියැවෙන්නේ සිංහල ජාතිකත්වය මෙරට දේශපාලනය තුළ ආසර්ථක වන්නේ යැයි කියා නොවේ.එය සාර්ථක කර ගැනීමට නම් පක්ෂ දේශපාලනය මෙරටින් සම්පූර්ණයෙන් ඉවත් විය යුතු අතර පළාත් සභා සහ පක්ෂ මූලික කරගත් පළාත් පාලන ක්‍රමය අහෝසි කරලීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වේ.

Wednesday, January 6, 2021

කුඹුරේ දමා මැඩවූ පර සුද්දන්ගේ කතාව

                                             


         සිංහල ජාතියත් සංස්කෘතියත් විනාශ වන්නට ආරම්භ වුණේ එක්දහස් අටසිය පහළොවේ  මහනුවර මගුල්මඩුව ආසන්නයේ දී සිංහල කොඩිය බිම දමා ඉංග්‍රීසි කතිර කොඩිය  උස්සාපු මොහොතේ සිටයි.  සිංහල නිලමේවරු සමග අත්සන් කළ  ගිවිසුම කඩකරලා බුද්ධ ශාසනයටත් සිරිත් විරිත් වලටත් අපහාස වන විදියට කටයුතු කරන්නට ඉංග්‍රීසීන් කටයුතු  කරන බව දැනුණෙන් ජනතාව කෝප ගැන්වුණා. සිංහල රදළයන්ට අයත්ව තිබූ නිලතල මරක්කලයන්ට දෙන්න වූයෙන් තවත් කුපිත වෙලා රහසේ කතිකා වෙලා යුද්ධ සංවිධාන කරන්නට පටන් ගත්තා මේ කැරලි ඌව වෙල්ලස්ස දිශාවෙ බලවත් ආකාරයට පැතිර යන කොට ඒවා මැඩ පවත්වන්නට එවකට ඉංග්‍රීසි ආණ්ඩුවේ තානාන්තර දරාපු ඌවේ දිශාව වන මොනරවිල කැප්පෙටිපොළට පැවරුවා. ඒත් රටත් ජාතියත් පිළිබඳ හෘද සාක්ෂිය අවදි කර ගත් කැප්පටිපොළ 1817 වසරේ නොවැම්බර් මාසයේදී සිය සේනාංක වල තිබූ අවි ආයුධ ආපසු භාරදීලා කැරලි කරුවන් ට එකතු වුණා. මෙම සිදුවීම ඓතිහාසිකයි. එතැන් පටන් සුදු අධිරාජ්‍ය වෙවුලවන්නට සමත් යුධ තාක්ෂණයක් විදුලි වේගයෙන් පැතිරෙන්නට පටන් ගත්තා. බ්‍රිතාන්‍ය යුධ නිළධාරීන් දන්න තරමක් උපක්‍රම යොදමින් රාජ ද්‍රොහීන් ලෙස නම් කරමින් දේපළ තහනම් කරමින් වෙල්ලස්ස ගිනි තබමින් සැහැසි ක්‍රියා කළත් කැප්පෙටිපොල නවත්වන්නට බැරි වුණා.මේ විමුක්ති අරගලය වසරකට ආසන්න කාලයක් ඇදී ගිය අතර එන්න එන්නම සිංහල හමුදා තුළ ශක්තිය වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. නමුත් කැප්පෙටිපොළ අතින් වැරැද්දක් වුණා. මෙතෙක් කර ගෙන පැමිණි ගරිල්ලා සටන් නවත්තලා ඔහු ඉංග්‍රීසින්ට මුහුණට මුහුණ ලා ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා. මේක තමන් සතු ශක්තිය පිළිබඳ කළ අධිතක්සේරුවක්. තුවක්කු කාල තුවක්කු විශේෂයෙන්ම වෙඩි බෙහෙත් ආදිය ප්‍රමාණවත් පරිදි නැතිවම කළ අනුවණ වැඩෙන් සිංහල හමුදාවට විශාල හානියක් සිදු වෙලා කැප්පෙටිපොළට පසු බසින්නට සිදු වුණා.ඔහු අසනීප වුණා. ඒ අස්සේ මරක්කල ඔත්තු කරුවන්  කැප්පෙටිපොල ගැන සෝදිසියෙන් හිටියා.මේ ඔත්තු වල ප්‍රතිඵලයක් විදියට ඉංග්‍රීසීන් සත් කෝරළේදී ඔහු අත් අඩංගුවට ගන්නවා. මේක තමයි 1817 ඓතිහාසික අරගලයේ ඛෙදවාචකයේ කතාන්තරය.

         මෙම අරගලයෙන් පස්සෙ වියරු වැටුණු ඉංග්‍රීසි ආණ්ඩුව උඩරට මුල් ගිවිසුම සංශෝධනය කරල ඔවුන්ට වාසිදායක වන ලෙස නව ආඥාවක් නිකුත් කලා.පස්සෙ කොල්බෘක් සහ කැමරන් කියන කොමසාරිස් වරු ලංකාවට ගෙනැල්ල රටේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් සඳහා වාර්තාවක් සකස් කලා.මේ නිසා තමයි මුඩු බිම් පනත් මගින් රටේ සිංහලයා සතු ඉඩකඩම් මෙන්ම විහාරසන්තක දේපළත් ඉංග්‍රීසි ආණ්ඩුව සතු වුණේ.විහාරගම් වල තිබූ නිල පංගු අහෝසි කිරීමට ඉංග්‍රීසීන් සේවා භුක්ති ආඥාවක් ගෙනාව.ඒ වගේම සිංහලයන්ට දරන්නට බැරි බදු පැනෙව්වා. මේ බදු වලට විරුද්ධව 1848 දී මාතලෙන් කැරැල්ලක් ආවත් එයත් නිහීන ලෙසට මර්දනය කලා. සිංහලයන් තමන්ගේ කුඹුරු වතු පිටි කරගෙන හුදකලාව ජීවත් වන්නට පටන් ගත්තේ එතැන් සිටයි. සුද්දන් සමග එකතුවුණු රටේ රදළ පෙලැන්තිය ධන ලෝභයෙන් කටයුතු කරද්දී වතු ආශ්‍රීත ගම්වල අසරණ වුණ සිංහල ගැමියන් ගැන සොයා බලන්නට කිසිවෙක් හිටියේ නැහැ. මේ නිසා කුඹුරු වතු පිටි පාලු වුණා. වාර්මාර්ග වැව් අමුණු නොසලකා හැරියා. ගංවතුරාවට ඒවා කැඩී බිඳී ගියා. රටේ සම්පත් ඒ කියන්නේ මුතු සහ මිනිරන් නිධි සොයා ගෙන පැමිණ කළ මංකොල්ලයත් මේ සමගම ඇරඹුණා. ඉංග්‍රීසීන්ට අවශ්‍ය වූයේ ධනය විතරයි. ඒවා තම මව්රටට ගෙන ගියා.ඒ අස්සේ අසරණ ගැමියන්ගෙන් නව බද්දක් අය කරන්න තීරණය කලා. ඒකට කියන්නේ ධාන්‍ය බද්ද කියලියි.1880 ආඥාවකින්  තමයි. මේ නීතිය පැනෙව්වේ.ධාන්‍ය බදු එකතු කිරීමේ ක්‍රියාවලියට පළාතේ ආණ්ඩු ඒජන්තට සහාය වන්නට දිස්ත්‍රික් ඒජන්තලා පත් කලා. බස්නාහිර පලාතේ කළුතර දිසිත්‍රික්කයේ සහකාර ඒජන්ත වූයේ එච්.එච්. කැමරන් කියන සුද්ද බවයි ලියැවී තිබෙන්නේ. ඔහු තමයි තමන්ගේ නිළධාරීන් ලවා ධාන්‍ය බදු එකතු කලේ.

        කළුතර දිශාව ඒ කාලෙ හැඳින්වූයේ පස්දුන් කෝරළය කියලයි. ඉද්දගොඩ පත්තුව මහ පත්තුව ගඟ බඩ පත්තුව සහ වලල්ලාවිටි පත්තුව කියල ගම් දහයේ කොටස් නම් කලේ රජ කාලෙ ඉඳලමයි. සුද්දො මහ පත්තුව පැත්තේ ධාන්‍ය බදු එකතු කරන්නට ගියේ අස්සය පිටෙන් පාරවල් තිබුණේ නෑ. කැලෑ අස්සෙන් පාලම් නැති දිය පාරවල් තරණය කරමින් ගිය මේ ගමන් අතිශයින් දුෂ්කරයි. මහ පත්තුවේ හිටිය බොහෝ දෙනා කෝට්ටේ යුගයේ නිල තානාත්තර දැරූ පවුල් වල උදවියයි. වීදිය බණ්ඩාර සෙනවියා පැලදි නුවර කරන කාලෙ සපරගමුවෙන් පැමිණි රණවීර කියල ප්‍රභූ පවුලක් මේ අතර හිටියා. වාසය බදුරලිය අසල කඹුරාවලයි. ගමේ ආරච්චි රණවීර පවුලක කෙනෙක්. ඔහු වැසියන්ගෙන් බදු එකතු කලේ නැහැ. සාම්ප්‍රදායිකව ගැමියන් ගෙන් ධාන්‍ය බද්දක් අය කලේ නෑ. ආරච්චි ට සලාරිස් ගෙව්වා විතරයි. ඒක රජයට අයත් නෑ. කන්න ගණනාවක් ගංවතුරෙන් පීඩාවට පත් වෙලා බත බුලත අහිමි වෙලා අසරණ වෙලා හිටිය ගැමියන්ට ධාන්‍ය වලින් බදු ගෙවන්න  විදියක් නෑ. ගෙදර තියෙන වී ටිකෙන් ගව මහීෂාදීන් ගෙන් තමයි පවුල නඩත්තු කලේ. මේ නිසා දිසාපති ගේ අණින් ආරච්චිව අත්අඩංගුවට ගන්න සුද්දො සිවු දෙනෙක් අස්සය පිටින් මහපත්තුවේ කඹුරාවලට පිටත් වුණා.. ගම ආක්‍රමණය කරන්නට පැමිණියාම ගම්මුන් කුපිත වුණා. සුද්දො හතර දෙනා අල්ලලා ගස් බැන්දා. මේ අතර ආරච්චිට නෑකම් කිවූ රණවීර පවුලක ඉලන්දාරියෙක් හිටියා අගෝරිස් කියලා. ඔහු දිව ගිහිල්ලා බෙලි පට්ටා වලින් වියූ කඹයක් ගෙනල්ලා සුද්දො හතර දෙනා බාන් දෙකකට ගැලැත්තුවා. හරියට හරක් බාන් දෙකක් ගලත්තනවා වගේ . ඒ දිනවල කුඹුරු මඩ වන කාලේ. දණක් ඉඟක් පමණ එරෙන කූඹුරක් මේ අසල තිබුණා. සුද්දො බාන් දෙක ඒකට දැම්මා .කෙවිටක් අරගෙන දක්කගෙන ගියා.මඩ වගුරේ ගමන් දන් නැති සුද්දො දෙබාන එරි එරී ඇදෙන හැටි  දැක්ක කොල්ලො කුරුට්ටො හූ හඬ තියලා කෑ ගහන්නට පටන් ගත්තා. මේ සංගෙදිය ආරංචි වෙච්චචි ආරච්චි විගැහින් දුවලා ඇවිත් මේ සුද්දන් සතර දෙනා බේරලා කුඹුරේ බුබුළට ඒ කියන්නේ මගුර පාරේ තියන බුබුළට ගෙනවුත් දිය නා ගැනීමට පහසු කම් සලසලා ආපසු පිටත් කලා කියලයි කියන්නේ.

       සුද්දන්ට දඬුවම් දුන්නු අගෝරිස් සහ ඔහු ගේ සහොදරයන් දෙදෙනෙක් ගමෙන් පැන්නා. ඒකකෙනෙක් පයියාගලට ගියා අනෙකා නෑහින්නට ගියා ඊළඟට අගෝරිස් පුහාඹුගොඩ නැවතුණා. කියලා තමයි කියන්නේ ඔවුහු එතැන් සිට රණවීර නාමය සඟවා ගෙන කඹුරාවල කන්කානම් ගේ විදියට පෙනී සිටියා.  වර්තමානය වන විට මේ පවුල් වැඩි දියණූ වෙලා ඉංග්‍රීසි ආණ්ඩුවෙන් වෙල් විදානේ පොලිස් විදානේ කම් පවා ලබලා දියුණට පත් වලා තිබෙනවා. නමුත් එදා සුද්දන්ට මතක හිටින පාඩමක් ඉගැන්වූ අගෝරිස් සහ සහෝදරයන් නම් ඒ පළාතේ අයට අමතක වෙලා.වසර එකසිය පණහකට ආසන්න කාලයක් ගෙවිල තියෙන මේ කාලවකවානුවේ වුණත් සුද්දන් මේ රටේ හොල්මන් කරන බව කවුරුත් දන්නව.ස්වදේශිකයන් ගේ පාලනයක් තිබුණත් නොයෙකුත් ආධාර දීලා ණය පහසුකම් දීලා රවට්ටගෙන සුද්දන්ට අවශ්‍ය දේ කරගන්න ගහන පැලෑන් බහුතර සිංහලයන්ට තේරුම් ගොසින් නැහැ.එදා ඉංග්‍රීසී කාරය ආව වගේම දැන් ඇමරිකන් කාරයන් රටේ මුදුන වෙලා.කාලයක් තිස්සේ සිංහල යන්ගේ ඉඩම් ටික කොල්ල කාල මහ විනාශයක් කෙරුව මදිවට ඒ උප්පරවැට්ටියට මේ රටේ ද්‍රොහීන් කීප දෙනෙක්වත් අල්ල ගෙන ඉන්නව.සිංහලයගෙ ශක්තිය තියෙන්නෙ ජාන වල.ඒ ජාන සංයුතිය වෙනස් කරන්න හැකි එන්නතක් ලංකාවට ගෙන එන්නත් දැන් සූදානම් වෙනව.කොරෝනා මුවාවෙන් බිස්නස් කරන සෞඛ්‍ය ඇමතිල ඉන්න රටේ මේ වෑයම පුදුමයක් නොවේ. කෙසේ වෙතත් සුද්දන් ගලත්තල කුඹුරු හාපු සිංහලයන්ට මේ අලුත් සුදු සනුහරේ ඒ තරම් මහන්තත්ත නෑ. වැඩි කාලයක් යන්න ඉස්සර පාඩමක් කියල දෙන්න වේවි. රණවීර පරපුරේ කතාව මතක් කලේ ඒකයි.