පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, August 22, 2020

සිංහල අනන්‍යතාවය ශූන්‍ය කරන ජාතික උප්පැන්නය

 

 

 

                                   

              උපත සහ විපත අතර කාල අන්තරය මිනිසෙකු ගේ ජීවිතයට බලවත් අනන්‍යතාවයක් එකතු කරයි.උපන් තැන ගම සහ රට පදනම් කරගෙන බිහිවන මෙම අනන්‍යතාවය මත ඔහු හෝ ඇය සිවිල් බලයකට හිමිකම් කියයි.ඒ අතර බිළිඳු වියේ සිට මහලු විය දක්වා විහිදී පැතිර යන කුසලතාවයන් අධ්‍යාපන මට්ටම් අනුව සමාජයේ  පිළිගැනුමකට ලක්වෙයි. මේ සඳහා පුද්ගලයෙකුට අවශ්‍ය වන ප්‍රධානතම ලියැවිල්ල උප්පැන්න සහතිකයයි.මේ සහතිකය නිර්මාණය වන්නට ආරම්භ වන්නේ ඉංග්‍රීසීන් විසින් 1822 අංක 9 ප්‍රකාශනයෙනි. සැබවින්ම උපත් හා විවාහ  ලියාපදිංචි කිරීම ආරම්භ කරන ලද්දේ ලන්දේසීන්ය. ඔවුහු පාසල් තෝම්බු පවුල් තෝම්බු සකස් කළහ.මේ නිසා රජයේ තනතුරු දැරීමට සුදුසු වන සේ රෙපරමාදු ආගමට බැඳුණු සිංහලයන් බොහෝ පිරිසක්ද එකල විය.

   1822 අංක 09 රෙගුලාසිය වූ කලි මෙලෙස ලන්දේසී යුගයේ කරන ලද උපත් විවාහ ලියාපදිංචිය විධිමත් කිරීමක් විය.ලන්දේසි යුගයේ ඔවුනට අයත්ව තිබූ මුහුදු බඩ පළාත් වල කරන ලද එවැනි ලියාපදංචි කිරීම් රාශියක් විය ජාතික ලේඛනාගාරය විසින් 2007 වසරේ පළ කරන ලද මහජන අවශ්‍යතා සහ ජාතික ලේඛනාගාරය නම් ග්‍රන්ථයේ සඳහන් වන පරිදි එකල පල්ලි පාසල් වල ගුරුවරු විසින් පුස්කොළ ලියවිලි වල උපත් සටහන් කර ඇත.ඒ පුද්ගලයෙකු ආණ්ඩුව ඉදිරියේ ලියාපදිංචි කිරීමට බල කරන ලද ආඥාවක් විය.නොඑසේනම් බෞතීස්ම ලැබීමට පාර කැපීමක් විය. මෙම ආඥාවන් 1975 වසර දක්වාම අවස්ථා ගණනාවකදීම සංශෝධනය වී තිබේ. 1847 අංක 16 ආඥා පනතින් නැවත සංශෝධනයව 1867 අංක 18 පනතින් මේ කටයුත්ත විධිමත් කර ඇත.  මෙයින්   ලංකාව මුලුල්ලේම  උප්පත්තිය ලබන දරුවන් ගේ උපත හා  මරණයද ලියාපදිංචි කිරීම ඇරඹිණ. එතෙක් මෙරට පුරවැසියන් ලෙසට නොසැළකුණු දෙමළ ජන කොටස්  ඉන්දීය දෙමළ සහ ලාංකීය දෙමල යනුවෙන් වර්ග කිරීමට පොළඹවන ලද්දේ මේ කාලවකවානුව තුළය.. 1867 පනත මගින් දැක්වූ රෙජිස්ටරයේ පුද්ගලයෙකු ගේ ජාතිය ගැන සඳහනක් නොවීය. නමුත් පියාගේ තරාතිරම ගැන විමසීමක් විය.1867 න් පසු 1875  හා 1892 යන වසර වලදීද නැවත මෙම පනත සංශෝධනයට බඳුන් විය අවසාන වශයෙන් අද වන විට රජය භාවිත කරනුයේ 1951 අංක 17 දරණ පනතයි.පසුව 1954 දී නැවත මෙම පනත සංශෝධනයේ දී පෙළපත් නාමය දැක්වීමේ තැනදී සමුපූර්ණ නාමය වශයෙන්ද දක්වා මුත්තා ලංකාවේ උපන්නේද යන්න ඉවත් කරතිබේ.

      පුරාණ රජ දවස සිංහලයන්ද සිය උපත පීළිබද සටහනක් පවත්වාගෙන ගියහ. එය අප හඳුන්වන්නේ කේන්ද්‍ර සටහන නැතිනම් හඳහන වශයෙනි. පුස්කොළ වල ලියැවුණු මෙවැනි කේන්ද්‍ර සටහන් සෑම නිවසකම පරිශීලනය කරන ලද්දේ උපත් පමණක් නොව පුද්ගලයෙකු ගේ දෛවය පීලිබඳ අනාවැකි කීම පිණිසමය. උපතේ සිට මරණය දක්වා අවස්ථා ගණනාවකදීම එම පුද්ගලයා මුහුණ දෙන නොයෙකුත් අභියෝග ජය ගන්නා ආකාරය ගැනද ලෙඩ රෝග වලින් මිදීමට කළ යුතු දේ පිළිබඳවද මෙවැනි කේන්ද්‍ර සටහනකින් උපදෙස් ලැබිණ. මේ සම්පූර්ණ වේලා පත් කඩය රජයේ ලියාපදිංචි කිරීම වළක්වාලන ලද්දේ ක්‍රිස්තියානි පූජකවරුන් මේ ක්‍රමය මිථ්‍යාවක් ලෙසට ආණ්ඩුවට ඒත්තු ගැ්වීම නිසාය.යම් හෙයකින් ඉංග්‍රීසි ආණ්ඩුව සන්නස් මෙන්ම හඳහන් ද රජයේ ලියාපදිංචි කලේ නම් නිල පිළිගැනීමක් ඊට ලැබෙයි.එය වළක්වනු ලැබූ නමුත් එයට හිමි වලංගුතාවය අසමසම විය.

 

 

සීතාවක රාජසිංහ රජුගේ ජන්ම පත්‍රය නමැති පුස්කොළ ලිපියකින් කියැවෙන්නේ රාජසිංහ රජු ගේ උපත  පීළිබඳවයි.මෙම ජන්ම පත්‍රය මානියම්ගම රජමහා විහාරය සතුව තිබූ බව මහාචාර්ය රිසිමන් අමරසිංහ මහතා සිය පර්යේෂණ කෘතියේ දක්වා තිබේ.

          ඉග්‍රීසීහු සිංහලයන්ගේ පාරම්පරික ක්‍රමය බැහැර කොට සියලුම පුද්ගලයන් ලියාපදිංචියට යොමු කළහ. ඒහි අරමුණ වූයේ ප්‍රධාන වශයෙන් පෙර දැක්වූ පරිදි වැසියන් ක්‍රිස්තියානි කිරීමයි. රජයේ තනතුරු දැරීමේ දී ක්‍රිස්තියානි වීම සඳහා පෙළඹවීම එයින් සිදු වුවද සිංහල බෞද්ධයන් ලියාපදිංචි ක්‍රිස්තියානි කාරයන් පමණක්ම වූහ. ක්‍රිස්තියානිකාර බෞද්ධ ඇදහිලිවන්තයන් ලෙසට ඔවුන් හඳුන්වා ගැනීමට ඔවුන් විසින්ම උත්සාහ කරන ලදී. ඔවුන් විසින් ආණ්ඩුකාර තැනට ඉදිරිපත් කරන ලද පෙත්සමක් මගින් ඒත්තු ගන්වන්නට උත්සාහ කරන ලද්දේ ක්‍රිස්තියානින් වුවද තමන්ගේ උප්පත්තියෙන් ලැබී තිබෙන පුද පූජා විධි පවත්වා ගෙන යෑමට අවසර දෙන ලෙසටයි.මේ ආකාරයට ඉංග්‍රීසීන් යටතේ තමන්ගේ ආගම පමණක් නොව ජාතියද අහිමි වන්නට කටයුතු යෙදුණී. වරින් වර මෙම තත්වයන් සංශෝධනය වූ අතර 1951 දී සකස් කළ පනතට ඇතුලත් වූ කරුණු නැවත සංශෝධනය කරනු ලබන්නේ 1975 වසරේදීය.1951 පනතේ තිබූ සිලෝන් ටැමිල් සහ සිලෝන් මුවර් යන මේ රටේ ජන වර්ග දැක්වීමට යෙදූ සටහන වෙනසකට භාජනය විය.ඒ වෙනුවට සියල්ලන්ටම ශ්‍රී ලාංකික ජාතිකත්වයක් ආරෝපණය කර තිබේ.

    නමුත් සිංහලයන් දිගින් දිගටමම තමන්ගේ ජාතිය සිංහල ලෙසින් දක්වා ඇත.මෙය යම් වෙනසකට භාජනය කිරීමේ උත්සාහයක් වරින් වර මතු විය. ශ්‍රී ලාංකික යන නාමයට අමතරව සිංහල දෙමල සහ මුස්ලිම් යන කොටස් තුනම ජනවර්ග නමින් යුතු තීරුවකට ඇතුලත් කිරීමට උත්සාහ ගත්හ. සිංහලත්වය ජන වර්ගයක්  බවට පත් කිරීම මෙහි අරමුණ වුණි.2006 වසරේදී මේ සඳහා කළ උත්සාහය. 2019 වසරේ දී  නැවත කරළීයට පැමිණීයේ ජාතික උප්පැන්න සහතික යනුවෙන් වූ විද්‍යුත් උප්පැන්නයක් නිකුත් කිරීමේ මුවාවෙනි.ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යව සිටි අජිත් පී.පෙරේරා ගේ අත්සනින් යුතු ගැසට්ටුවක් මේ සඳහා පළ විය. නවීන පහසුකම් යටතේ උපත් ලියාපදිංචිය විද්‍යුත්කරණය කිරීමේ කිසිම වරදක් නැත. ඒ මගින් ජනතාවට පහසුව සැලසෙන අතර විදේශ ගමන් වලදී ක්ෂණිකව උප්පැන්න ලබා ගැන්මට හැකි වෙයි. නමුත් ජාතික උප්පැන්නය තුළ මේ රටේ භූමිපුත්‍රයන් වන සිංහලයන්ගේ  අනන්‍යතාවය අහෝසි කිරීම බරපතල වරදකි. ශ්‍රී ලාංකික යනුවෙන් ජාතියක් මෙරට නැත. භාෂාවක්ද නැත. සිංහල ජාතිය පමණක් සිය ජාතික අනන්‍යතාවය පැහැදිලිව තහවුරු කර පවතින අතර දෙමළ මුස්ලිම් පිරිස ජන වර්ග ලෙසට සමාජයේ ජීවත් වෙයි.මේ ජන වර්ග අනන්‍යතාවය තුළ සිංහල ජාතිකත්වය ගිල්වා ශ්‍රී ලාංකික ජාතිකත්වයක් ආදේශ කිරීම සඳහා වන කපටි උපාය මාර්ගය තුළින් සිංහල ජාතියේ අනන්‍යතාවය පහළට ඇද දැමීම මේ ක්‍රියාදාමයේ සැලසුමයි. එසේම මෙම උප්පැන්නයෙන්  පෙළපත් නාමය පියාගේ විස්තර ඇදිය ඉවත් කිරීම ද කලින් සිදුව තිබීම මේ අයට වාසියකි. ජාතිය බෙදා වෙන් කරලීමේ බෙදුම්වාදී උපායමාර්ගික සැලැස්මේ කොටසක් ලෙසට මෙය හඳුන්වා ලිය හැක්කේ එබැවිනි.මේ වන විටත්  අලි සබ්‍රි  නම් මුස්ලිම් දේශපාලඥයා  මේ වෙනස්කම් කිරීමට මනාපය පළ කර ඇති බවට අන්තර්ජාලයේ තොරතුරු පළව තිබේ..එම ප්‍රකාශ වලින් ඔවුන්ගේ සැබෑ අභිප්‍රායයන් පැහැදිලි වේ.

     ජාතික උප්පැන්නයක් යනු ජාතිකත්වය පදනම් කොට සැකසිය යුතු ලියැවිල්ලකි. වසර දෙදහස්පන්සීයකට වඩා එහා දිවයන සිංහල ජාතියේ අනන්‍යතාවය  පැහැදිලි වන්නේ හඳහනෙන් වුවත් නව ලියාපදිංචි ක්‍රමය අනුව පොදු උප්පැන්න ක්‍රමයකට අප හැරී සිටිමු.

 

 

එහිදී සිංහල අනන්‍යතාවය පැහැදිලිව විග්‍රහ විය යුතුය.නව සිය පනහ දශකයට පෙර උප්පැන්යේ පෙළපත් නම සටහන් විය. එසේම (Ceylon certificate of birth ) යනුවෙන් ශීර්ෂ කොට ඇති උප්පැන්න සහතිකයේ  පියාගේ ජාතිය සිංහල වශයෙන් දැක්වීමට බාධාවක් නොවිණ. එයට හේතුව සිලෝන් යනු අපගේ රටේ පැරණි ව්‍යවහාරය වූ සිංහලේ යන්නෙන් බිඳී ආවක් වීමයි.

      1948 පුරවැසි පනත පැමිණීමෙන්.පසුව හැට ගණන් වලදී දක්වා ඇති සහතිකයේ ජාතිකත්වය සිංහල ලෙසට සටහන් කර ඇති නමුදු 1978 ව්‍යවස්ථාව නිසා සිංහල දෙමල මුස්ලිම් සියල්ල එ සමාන කරතිබේ.. එහි  අවසාන විකාශනය ලෙසට ඉදිරිපත්  වන්නේ වර්තමාන ශ්‍රී ලාංකික ඩිජිටල් උප්පැන්නයයි.මෙලෙස අනන්‍යතාවය හෑල්ලු කොට දැක්වීමට පෙළඹවීම මගින් මුස්ලිම් සහ දෙමළ පිරිස් වලට ජාතික සංස්කෘතියට එක් වීමට බාධකයක් ඇති කරනු ලබයි. ඔවුහු ප්‍රධාන සිංහල ධාරාවට එක් නොවී මේ රටේ හිමිකරුවන් මෙන් ක්‍රියාකරමින් තමන්ගේ වර්ගයාට අනන්‍ය වූ නීති සාදා ගනිමින්  පසුගිය කාලයේ ඇති කළ විනාශය සුළු පටු නොවේ. ජාතික උප්පැන්නයක් සකස් කරන්නේ නම් එහි පියා සහ මුත්තා පිළිබඳවද ජාතිකත්වය නිවරදිව දැක්වීමද ඇතුලත් කළ යුතුය. පුද්ගලයාගේ ආගම උප්පැන්නයට ඇතුලත් වී නොමැති වුවද එය ඇතුලත් කිරීම වරදක් නැත.මුස්ලිම් සහ දෙමල ජන කොටස් වෙනම තීරුවකින් දැක්වීමෙන් මෙරට සිටින ජනවර්ග පහසුවෙන් හඳුනාගැනීම හැකි වනවා ඇත. ජාත්‍යන්තර වශයෙන්ද එවිට ඒ පිරිසට හිමිවන්නේ නිසි තැනයි.නැතහොත් ඔස්ට්‍රේලියාව වැනි රටවල් කලා සේ ඒ රටවල සිටින දෙමළ අයට ඊලාම් ජාතිකත්වයක් ආරෝපණය කිරීමට ඉඩ තිබේ.

       නව ජාතික උප්පැන්නය තුළ අපගේ පැරණී හඳහනේ තොරතුරුද ඇතුලත් කිරීමෙන් සිංහල ජනතාවගේ අනන්‍යතාවය තව දුරටත් තහවුරු කරවිය හැකිය. විශේෂයෙන්ම බුද්ධ වර්ෂ ව්‍යවහාරය දැක්වීමද උපන්දිනය ජන්ම නැකත හා තිථිය දැක්වීමද තුළින් ජාතික උප්පැන්නය තුළ නිතැතින්ම ජාතිකත්වයක් නිර්මාණය වේ. මෙරට ජීවත්වන ලියාපදිංචියෙන් පුරවැසි බව හිමි වූ පිරිස ට මෙවැනි පූර්ණ ජාතිකත්වයක් නොමැති බව ඉන් පැහැදිලිව ඔප්පු කළ හැකිය. එසේම වරින් වර උප්පැන්නය වෙනස් කරමින් නම් ගන්නා අයටද (සිංහල නම් ගන්නා මුස්ලිම් පිරිස ) යම් බාධකයක් මේ තුළින් නිර්මාණය වේ.මේ ප්‍රශ්ණයේ දී රෙජිස්ටර් ජනරාල් චතුර විතානගේ මහතාට ලිස්සා යෑමට නොහැකිය. අමාත්‍යවරයාට උපදෙස් දීමේ වගකීම ඔහු සතුය.ආරංචියේ හැටියට ඉදිරියේදී දෙමළ ජන වර්ගයට අයත් රෙජිස්ටර් ජනරාල් වරයෙකු පත් වීමට බොහෝ දුරකට ඉඩ තිබේ. එවිට මේ ප්‍රශ්නය තවත් බැරෑරුම්ය.  මෙම විෂය භාර දේශපාලනඥයන් සිංහලයන් වෙනුවෙන් යම් තීරණයක් ගත යුතුය. හැට නව ලක්ෂයක චන්ද බහුතරය ලැබුණේ සිංහල ජාතිකත්වය තහවුරු කිරීමටයි.ඒ බැව් අප නැවත මතක් කර දීමට කැමැත්තෙමු.

මතුගම සෙනෙවිරුවන්