කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ
රාජමහා විහාරයේ තිබූ සඳගල නම් වූ පාෂාණමය ඓතිහාසික පුරාවස්තුවක් තිබූ ස්ථානයෙන්
ගලවා සොරකම් කරන ලද්දේ යැයි සළකා අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද නඩුකරය අවසන් කර චූදිතයන් නිදහස් කලේ
යැයි ද එයට නිසි විමර්ශන නොකලේ යැයි ද
සළකා සී.අයි.ඩී. හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන්
සභාව විසින් අත්අඩංගුවට පත් කරගෙන තිබෙන බව පුවත් පත් වාර්තා කර තිබේ.මෙම
පුරාවස්තු සොරකම මෙයට වසර දෙකකට පමණ පෙර සිදු වූවකි.සැකකරුවන් අත් අඩංගුවට පත් කොට
පුරාවස්තු පණතේ විධි විධාන අනුව නඩු පවරා තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.සඳගල පාෂාණය
පුපුරුවා නිදන් වස්තු ගෙන ඇති බව ද සඳහන්ය.
මෙයට
පෙර දැලිවල කොට වෙහෙරෙන් හමු වූ ඉතා වැදගත් ඓතිහාසික රන් කරඬුවක් ද එනම් චෛත්‍ය ආකෘතියට
තැනූ ඡත්‍ර සහිත කරඬුව ද සොරාගෙන
තිබුණි.එම නඩු කරයද නිසි විමර්ශනයක් නැතිවම මේ වන විට අවසන් වී තිබේ. එයට අමතරව
කොත්මලේ පුසුල් පිටිය රාජ මහා විහාරයේ තැන්පත් කර තිබූ දැව මුවා මකර තොරණ ද රාත්‍රියේ සොරකම් කර තිබුණි.එහි චූදිතයා වූයේ
ඇන්ටික් සාප්පුවක අයිතිකරුවෙකි. අත් අඩංගුවට පත් සැකකරුට මුලින් ඇප හිමි නුවුණද නඩු
වාර කිඵයකින් පසුව නිදහස් කර තිබේ. නමුත් දැලිවල රන් කරඬුව මෙන්ම පුසුල් පිටියේ මකර තොරණ ද නැවත ලැබුණේ නැත.
පුසුල්
පිටිය රාජ මහා විහාරයේ පුරාවස්තු සොරතම පිළීබඳව දැන් අප සලකා බලමු.මෙම සොරකම සිදු
වීමෙන් පසුව 2016/9/20 දින යොමු කරන ලද ලිපිය අනුව මධ්‍යම
පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක වරයාව සිටි ගුණතිලක බණ්ඩා මහතා ක්‍රියාත්මක වී
පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාශයට දන්වන ලදුව 2016 ඔක්තෝබර්
මාසයේ දී අවශ්‍ය ස්ථානීය පරීක්ෂාව සිදු කර තිබේ. අනතුරුව 2017 ජනවාරි මස 27 දින පොලිසිය විසින් යළි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට
දැනුම් දෙන ලදුව 2017 පෙබරවාරි 7 වන දින ගරු
අධිකරණයට මෙම පුරාවස්තුවේ වටිනාකම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ඒ වාර්තාව
අනුව අත් අඩංගුවට ගත් සැක කරුවන් හට ඇප ලබා දිය නොහැකි බව පැහැදිලි වේ.
මෙම දළකඩ
මකර තොරණ උසින් අඩි 3.5 කි. දැවයෙන් සහ ඇත් දළ වලින් නිම කරන ලද මේ මකර තොරණ
සොරාගෙන යන දින විහාරයේ සවි කර තිබූ CCTVකැමරාවේ මෙම
සොරකම කරන ආකාරය මනාව සටහන් වී තිබුණි.මකර තොරණ ගලවා කර තබාගෙන යන ආකාරය තුළින්
ගම්‍ය වනුයේ ඒ ස්ථානයට තිබූ ආරක්ෂාවේ දුර්වල ස්වභාවයයි. මේ මහා හොරකම සිදුව සැක කරුවන් අත් අඩංගුවට
පත් කර ගැනීමට පොලිසියට හැකියාව ලැබුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි
ඉහළ නිළධාරීන් ගේ පක්ෂපාතීත්වය හෝ නොසැළකිල්ල මත අපරාධ කරුවන්ට ඇප ලැබී තිබුණි.
එසේම සොරා ගත් මකර තොරණද ඔවුන් ගෙන් ලබා ගැනීමට හැකියාව මෙතෙක් ලැබී නැත . මේ හා
සමානව දැදිගම කොට වෙහෙරෙන් හමු වූ රන් කරඬුවට ද අත්ව තිබෙන්නේ ද මේ ඉරණමයි.
පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂතාවය නිසා මේ වටිනා පූජනීය වස්තූන්
කිසිවක් මෙ තෙක් නැවත ලබා ගැනීමට හැකියාව ලැබී නොමැත. අවසානයේ දී මේ ඇප දීමට
එරෙහිව නඩු කීමට සිදු වූයේ පුසුල් පිටිය
රාජ මහා විහාරයේ භාරකාර තැන්පත් ලංකා තිලක විහාරයේ බස්නායක නිලමේ ප්‍රියන්ත
අමුණුගම මහතාටය. ඔහු ඉහළ අධිකරණයට
ඉදිරිපත් කරන ලද නඩු කරය බෙහෙවින් ප්‍රබල විය. නඩු වාර ගණනාවකට පසු 2024 මැයි මාසයේ31 වන දින නැවත
නාවල පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පවත්වන ලද නඩු විභාගයේ දී නැවතත් සැක කරුවන්
රක්ෂිත බන්ධනාගාර ගත කළ නමුත් පසුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිද්‍රාශීලිත්වය
නිසා චූදිතයන් නිදහස් විය.
මෙම
පුරාවස්තූන් සියල්ල රාජමහා විහාරස්ථාන සතුව තිබූ පෙර රජ දරුවන් විසින් ශාසනයට පූජා
කරනු ලැබූ පූජා වස්තූන්ය. ඒ සියල්ල බුද්ධ ශාසනයට අයත්ය. බුද්ධ ශාසනයට අයත් පැරණි
වස්තූන් ආරක්ෂා කිරීමේ වගකීම සහ ප්‍රතිසංස්කරණයේ වගකීම පවතින්නේ පුරාවිද්‍යා
දෙපාර්තමෙන්තුවටයි.මෙම ඓතිහාසික ස්ථානයන් වෙත සොර සතුරු බියක් සහ විනාශයක් සිදු වූ
විට ඒවා ගැන සොයා බලා යතාවත් කිරීමේ වගකීම පැවරෙන්නේ රජයටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
නව වන වගන්තිය අනුව කියැවෙන බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජය වෙත
ඉතා දැඩිව පවතින්නකි.එවැනි ප්‍රතිපාදන ව්‍යවස්ථාපිතව
තිබුණද පුරාවස්තු සොරා ගැනීමේ සිද්දියකදී මෙරට පොලිසිය සහ අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව ක්‍රියා කරනුයේ කෙසේද යන්න ඉහතකී සිද්දි තුනෙන්ම සනාථ වී තිබේ. සැක
කරුවන් අත් අඩංගුවට පත් කරගත් පසු කෙසේ හෝ සොරා ගත් ඓතිහාසික පුරාවස්තු සොය ගැනිමේ
වගකීම ඔවුන් සතුය.එසේම පරික්ෂණය සහ නඩුකරය ඉදිරියට යන කල්හි පුරාවිද්‍යා
දෙපාර්තමෙන්තුවේ නීති අංශය සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ වගකීම ද පවතී. නමුත් මෙම
සිද්දි තුනේම පෙනෙන්නට තිබෙන්නේ සැක
කරුවන් අත්අඩංගුවට පත් වූ පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීති අංහ දැනුම්වත්
කරමින් නඩුකර ඉදිරියට නොගිය ආකාරයයි.අතැම්
විට නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි උපදෙස් නිසා විනාශ වන පුරාවස්තු ගැන ද අපට
අසන්නට ලැබේ. වඩුන්නාගල සහ කුරුන්දි විහාරය උදාහරණ දෙකකි.මෙම ලිපියේ මුලින් සඳහන්
කළ පරිදි අල්ලස් කොමිසම මගින් සී.අයි.ඩියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකු අත්
අඩංගුවට පත් කර ගනු ලබනුයේ මෙවැනි දුර්වලාතා සහ පක්ෂපාති ක්‍රියා නිසාවෙන් යයි
සිතන්නට හැකිය.ඒ තත්වය නිසා මෙරට ඓතිහාසික උරුමයන්ට සිදුවන හානිය සුළු පටු නොවේ.
මතුගම සෙනෙවිරුවන්



.jpeg)



