පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, April 12, 2015

යහ පාලනයට අනුව ගැසූ කූරගල තුරුම්පුව


                                         
                                        

              බළන්ගොඩ තන්ජන්තැන්න ගමේ පිහිටා තිබෙන ඓතිහාසික ගල්ලෙන් ආරාම සංකීර්ණයක් වන කූරගල බෞද්ධයන් අතර ජනප්‍රිය ව තිබෙන්නේ බුදුන් වහන්සේ ගේ ලංකාගමනයත් සමග බැඳි සිදුවීම් නිසාය. බෞද්ධයන්ගේ විශ්වාසය වන්නේ බුදුන් වහන්සේ කූරගලට වැඩම කල බවයි.කූරගල හිටුවන්ගල පර්වතයේ පැවති අවතල හැඩයේ සිරිපතුල් ලාංඡන කීපයක් ගැන කූරගල ගමේ වැඩිහිටියන් අතර තිබෙන  ප්‍රවාද මෙයට සාක්ෂි වශයෙන් දැක්විය හැකිය. එබැවින් කූරගල පුදබිම බෞදධයන්ට ඉතා වැදගත්ය. පුරා විද්‍යාවට වසර එකසිය විසිපහක ඉතිහාසයක් තිබෙන්නේ නම් කූරගල බෞද්ධ උරුමයට වසර දහස් ගණනාවක ඉතිහාසයක් හිමිය. එහෙව් කොට 1971දී මේ පුදබිම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. එහි වරදක් නැත. වර්තමාන නීතියට අනුව රජයේ ඓතිහාසික දේපළ ආරක්ෂා කිරීමටත් සංරක්ෂණය කිරීමටත් තිබෙන ආයතනය වන්නේ මේ දෙපාර්තමේන්තුව බැවිනි.

           එහෙත්  1930 පමණ සිට මෙම ලෙන් සංකීර්ණයට වැද එහි තිබෙන බුදු පිළිම හා සිරිපතුල් කඩා ලෙන් චිත්‍ර මත අරාබි අකුරු කුරුටු ගෑ මරක්කලයන් එයට අයිතිවාසිකම් පවසා එහි ඉඳි කිරීම් කරද්දී පුරාවිද්‍යාවේ ඇත්තෝ නිහඬවම සිටියහ. කූරගල ගල මුදුනේ පිහිටි ඓතිහාසික මාරජී සෑයේ ගඩොල් එකින් එක ගලවා කන්දෙන් පහළට හෙළීම මේ මරක්කලයන් විනෝදාංශයක් කර ගත්තේ අද ඊයේ සිට නොවේ. ඔවුන්ගේ සෑම වන්දනා වාරයකදීම එලෙස සිදුවනවිට පුරා විද්‍යා නිළධාරීන් කලේ චෛත්‍ය වටා  කටුකම්බි ගැසීමය.මරක්කලයන් ගේ තාඩන පීඩන නිසා ගරා වැටුණු මාරජී සෑය යළි පිළිසකර කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කීප විටක්ම උත්සාහ දරණ ලදී. එහිදී මෙහි අරක් ගෙන සිටි අබුසාලි ඇතුළු මරක්කලයන් එයට විරුද්ධ විය. මෙහි තිබෙන ලෙන් ලිපි පිටපත් කර ගැනීම සඳහා කිරිඇල්ලේ ාණවිමල නාහිමියන් ඇතුළු පිරිසක් එහි ගිය විට උන්වහන්සේලාට විරුද්ධව බළන්ගොඩ පොලීසියට පැමිණිලි කළ බව ද සඳහන්ය. නමුත් කූරගල වෙනුවෙන් කැප වුණු සිංහල බෞද්ධයන් නිසා දිනෙන් දිනම එහි අයිතිය නැවතත් හෙළි පෙහෙලි වූ බව කිව යුතුය. නමුත් හිටපු පුරා විද්‍යා කොමාසාරිස් වරයකු වූ රාජා ද සිල්වා 1972 සැප්තැම්බර් 13 දින  යැවූ ලිපියක් මගින්  කූරගලට අයිතිවාසිකම් කියන මරක්කලයන් එහි තව දුරටත් ස්ථාවර වූ බව  පැහැදිලිය.

          පසුගිය අප්‍රියෙල්  04 දින  පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඇතුළු සිංහල රාවය කූරගල පැමිණියේ  බුදු පිළිම වහන්සේ නමක්ද හිස මත තබා ගෙනය. වසර දහස් ගණනක් තිස්සේ බෞද්ධයන් ගේ සදා වන්දනයට පාත්‍ර වූ කූරගල ලෙන් කුටිය මත මහත් ගෞරවයෙන් එය තැන්පත් කිරීම ඔවුන්ගේ අරමුණ විය. එහෙත් බළන්ගොඩට පිවිසෙන බදුල්ල මාර්ගයේ පැල්මඩුල්ලේ සිටම මහ පොලිස් පිරිසක් යොදවා සිංහල රාවයට අවහිර ඇති කළහ. තන්ජන් තැන්න ගමට ප්‍රවිෂ්ට වීමේදී පොලිසිය විසින් එල්ල කරන ලද ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් නිසා පැමිණි භික්ෂූන් වහ්නසේලාට උපාසක ඇත්තන්ටද තුවාළ සිදු විය. මෙහි පසුබිම කුමක්ද. කාලයක් තිස්සේම මෙම ස්ථානයේ අනවසර ඉඳිකිරීම් වළක්වාගන්නට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි විය. මෙහි රැඳි සිටි පිරිසට එසේ කරන්නට ඉඩදී එහි කොන්ත්‍රාත් ගත් පුරා විද්‍යා මුරකරුවෙකුද සිටි බව කවුරුත් දනිති. බෞද්ධ සංවිධාන විසින් දිගින් දිගටම මේ අවනඩුව ලිපි මගින් පුරා විද්‍යාවට මෙන්ම අදාල ඇමතිවරුන්ද දැනුවත් කළද කිසිවක් සිදු නොවුණි. පසුව පූජ්‍ය කොළොන්නේ ශාන්ත විජය හිමියන් ගේ මැදිහත් වීමෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට විරුද්ධව මානව හිමිකම් නඩුවක් පැවරීමට කටයුතු සිදු විය. එහි ප්‍රතිඵලය වූයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කූරගල ලැග සිටි මරක්කල වෙළෙන්දන්ට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමයි. එහි තීන්දුව ප්‍රකාරව ඉවත් කළ යුතු අනවසර ඉඳි කිරීම් 19 ක් හඳුනාගන්නා ලදී.ඒවා කඩිනමින් ඉවත්කිරීම සිදු කල යුතු වුවද සෘජු තීරණ නොගැනීම හේතුවෙන් දිනෙන් දිනම කල් පසු විය. පසුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම නිසා එහි සිවිල් ආරක්ෂක බල ඇණියක්ද නිසිපරිදි ස්ථාපිත වූ අතර අනවසර ඉඳි කිරීම් ක්‍රමානුකූලව ඉවත් කෙරුණි. නමුත් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ගේ මනාපය පරිදි පැරණි පිළිම ගෙය පිහිටා තිබූ කොටසේ අටවා තිබූ පල්ලිය ඉවත් කිරීම සිදු නොවුණි. දිගින් දිගටම ඒ පිළිබඳව ඉල්ලීම් ලැබුණද ඒවා මගහරිමින් කටයුතු කිරීම නිසා කෝපයට පත් බෞද්ධයන් කීප වතාවක්ම කූරගලට පැමිණ බල පෑම් කළද බලධාරීන් නොඇසූ කන්ව සිටියහ.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද කීප වතාවක්ම ලිපියොමු කළ නමුත් කිසිවක් සිදු නොවුණි.

          මෙම ප්‍රදේශය බාර කල්තොට පොලිසිය නිරතුරුවම මෙම පල්ලිය ආරක්ෂා කිරීමට උත්සාහ කළ ආයතනයකි. බෞද්ධයන් ගේ පින්කම් සංවිධානය කර තිබූ සෑම අවස්ථාවකදීම කුළු පොළු රැගත් පොලිස් හමුදාවන් සූදානම් කොට තැබීම ඔවුන් ගේ  සිරිතවිය.ගරු ගංගොඩවිල සෝම හිමියන් ගේ අනුස්මරණ පින්කම පැවති අවස්ථාවේදී පොලිස් බල ඇණියක් යොදා ගල්ලෙන් සංකීර්ණයට යෑම පවා වළක්වන ලදී. එහිදී ඔවුන් අනුගමනය කරනු ලැබූයේ  උසාවි වාරණයයි. කූරගල දිවා ගුහා බෞද්ධ සිදධස්ථානාධිපති පූජ්‍ය වටද්දර ාණිස්සර හිමියන් ගෙන් ප්‍රකාශයක් ලැබ ගෙන පුරා විද්‍යා නිළධාරීන් ගේද ප්‍රකාශයක් ලබා ගත් බව පෙන්වා මහේස්ත්‍රාත් අධිකරණය මගින් වාරණය ගැනීම සිදු විය. නමුත් මෙහි සිටි පුරාවිද්‍යා නිළධාරිණිය එවැනි කිසිම ප්‍රකාශයක් පොලිසියට ලබා දී නැති බව තහවුරු විය.

        මෙවර පොලිසියේ තුරුම්පුව වෙනස්  විය. සිංහල රාවය සංවිධානය විසින් සමාජ ජාලා වෙබ් අඩවි මගින් දිගින් දිගටම කූරගල ගමන ගැන පුවත් පළකර තිබීම හේතු කොට ගෙන පොලිසිය විසින් අප්‍රියෙල් 02 දින පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ට එරෙහිව වාරණයක් ලබා ගන්නා ලදී.එයට අමතරව ගත් පියවර මෙසේය. තන්ජන්තැන්න එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාරිකයෙකු හා බළන්ගොඩ මුස්ලිම් ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු මගින් ඔවුහු ජනතාව සංවිධානය කොට පැමිණෙන්නන්ට ගල් ගැසීමට සලස්වා ඇත. මොලමුරේ ප්‍රදේශයේ ගෙවල්ගානේ ගොස් ජනතාව සංවිධානය කලේ පොලිසිය බව ප්‍රදේශ වාසීන් පවසයි. මේ තුරුම්පුව මගින් බලාපොරොත්තු වන්නට ඇත්තේ තන්ජන්තැන්න ගම්වාසීන් මේ පැමිණීමට විරුද්ධ බව කියා පෑමයි. එහෙත් තන්ජන්තැන්න සිංහල බෞද්ධයන් හමුවූකල්හි ඔවුහු අපට ප්‍රකාශ කර සිටියේ වෙනත් කතාවකි. පොලිසිය විසින් කරන ලද නින්දිත ක්‍රියාව ඔවුන් දැඩි ලෙස හෙළා දුටු වහ.

      කූරගල වර්තමාන භාරය පුරා විද්‍යා දෙපාරත්මේන්තුව සතු වෙයි. එම භාරය අනුව එහි ආරක්ෂාවද සංරක්ෂණයද ඉටු කිරීමට ඔවුන් බැඳී සිටී. එහෙත් ඒය ඉටුවී නැත. ඒ වෙනුවට දෙපාර්තමේන්තුවට සිදුව ඇත්තේ වාර්ෂිකව මරක්කලයන් වෙනුවෙන් අවසර පත් නිකුත් කරලීමටයි. 1990 දී අක්කර විසිහයක භූමිභාගයක් මේ මරක්කලයන් වෙනුවෙන්  ආර්.ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ලබා දී ඇත. එයිනුත් හිටුවන්ගල පතන නම් කොටසේ ද ඉපැරණි ගල් ආයුධ හමු වන බව මහාචාර්ය රාජ් සෝම දෙව මහතා ප්‍රකාශ කර තිබේ. මරක්කලයන් මේ විකල්ප ඉඩම්ද රැගෙන කල්මුනේ ප්‍රදේශයෙන් මරක්කලයන් ගෙනවුත් පදිංචි කොට අනවසර ඉඳිකිරීම්ද පවත්වා ගෙන යති. එහෙව් අවස්ථාවක බෞද්ධ සංවිධාන උත්සාහ කොට තිබෙන්නේ සිය නැතිවී ගය අයිතිය යළි තහවුරු කරලනු වස් පුරාවිද්‍යව විසින් නොකරන වැඩකටයුත්තකට අත ගැසීමයි. එය වැරැද්දක් වන්නේ ඇයිදැයි අප විමසමු.

       නමුත් වර්තමාන යහපාලන ආණ්ඩුව සහ එහි නිළධාරීන් විසින් උත්සාහ දරන්නේ සිංහල මුස්ලිම් ගැටුමක් ඇතැයි හුවා දක්වමින් සිංහල බෞද්ධයන් දඩයම් කිරීමට උත්සාහ දැරීමයි. ඓතිහාසික මුහුදු මහා විහාරයේ පුරාවිද්‍යාව සතු අක්කර හැත්තෑ දෙකක භූමි භාගය මරක්කලයන් විසින් ආක්‍රමණය කර පන්සල අක්කර තුනකට සීමා කර ඇත. නීත්‍යානුකූලව එම ඉඩම් යළි පවරා ගැනීමට හැකියාව තිබියදී පුරා විද්‍යාව කිසිවක් නොකරයි. දෙවනගල පුරා විද්‍යා රක්ෂිතය මැන වෙන් කිරීමට මුස්ලිම් පිරිස් බාධා කරද්දී ද පුරා විද්‍යාව නිඬය. එහෙත් අනුරාධපුරයේ මෙන්ම හොරොව්පතානේ ගල්ලෙන් වලසිටි භික්ෂූන් වහන්සේලාට නඩු පැවරීමට පුරා විද්‍යාව පසුබට නොවේ.මෙයට හේතුව සිංහල බෞද්ධයන්ගේ අයිතිය පිළිබඳව ඉංග්‍රීසීන් විසින් නිර්මාණය කළ පුරා විද්‍යා නීතිය යටතේ ප්‍රතිපාදන නොමැති වීමයි. එසේ නම් එය නිවරදි කිරීම අප ඉදිරියේදී තිබෙන අභියෝගයක් නොවේද.

 
            

     

 

 

 

 

Thursday, April 2, 2015

විදුලි කාර් රථය සූදානම් එහෙත් රජය සූදානම් ද


                                      
 


                 විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා මේ වන විට වැදගත් තීරණයක් ගෙන ඇත.. එනම් විදුලියෙන් ක්‍රියා කරන වාහන  වල කෝෂ නැවත පණ ගැන්වීම උදෙසා දිවයින පුරා විදුලි ආරෝපණ ස්ථාන ( charging center ) විවෘත කිරීම ආරම්භයට වැඩ පිළිවෙලක් සකස්කිරීමයි. එහෙත් කණගාටුවට කරුණ නම් මෙවර අය වැය යෝජනා මගින් විදුලියෙන් දිව වෙන මොටර් රථ මත පණවා තිබෙන බද්ද මුදල් අමාත්‍ය වරයා විස්න් අඩු කරනු ලැබීමයි. මේ නිසා බලවත් අසාධාරණයකට ලක්ව ඇත්තේ මෙරට මෝටර් රථ නිෂ්පාදකයෙකි. වාහන ආනයන කරුවෙකු වශයෙන් දීර්ඝකාලීන පළ පුරුද්දක් ලබා සිටින කේ.ටී.කපිල ද සිල්වා මහතා  විසින් නිර්මාණය කොට නිෂ්පාදනය කරනු ලැබූ ලංකාවේ පළමු විදුලි මොටර් රථය මේ ලෙස නිෂ්පාදනය ආරම්භ කිරීමටත් ප්‍රථම රජ්‍ය ප්‍රතිපත්තියක් මගින් පීඩනයකට පත් කර .තිබේ.

       කොළඹ ආනන්ද විදහලේ දීප්තිමත් ශිෂ්‍යයෙක් වන කපිල ද සිල්වා මහතා 1980 දශකයේ  සිටම නිර්මාණ කරණයේ යෙදෙන්නෙකි. එයට හේතුව එකළ පාසල් වල ප්‍රාග් වෘත්තීය නම් විෂයයක් ඉගැන්වීමයි. ඒ තුළින් ඔහු උගෙන ගත්තේ මොටර් කාර්මික ශිල්පයයි.පාසල් දිවියෙන් සමුගත් පසු ජර්මන් තාක්ෂණික ආයතනයට බැඳී මෝටර් කාර්මික ශිල්පය වැඩිදුරටත් ඉගෙන ගත් හෙතෙම එම අධ්‍යාපනයෙක් පසුව තෝරාගත්තේ වාහන ආනයනය කිරීමයි. ඒ එවකට ආරම්භ කෙරුණු විවෘත ආරථික ප්‍රතිපත්තිය කරණ කොට විය හැකිය. කෙසේ වෙතත් එම යුගයේ දී ඔහු අතින්  කෘෂිකර්මයට ගැලපෙන විශේෂයෙන් වී තම්බන කමත් වල වී එක්කාසු කිරීම පහ් කරවන උපකරණයක් නිර්මාණය විය. පසුව 2004 වරෂයේ දී විදුලි බලයෙන් දිවවෙන මොපෙඩ් වර්ගයේ මෝටර් සයිකලයක් සාදා ඔහු ජනාධිපති රන් සම්මානයද දිනා ගත්තේය. අනතුරුව ඔහු අතින් නිර්මාණය වූයේ මේ කියන විදලි කාර් රථයයි.එම නිර්මාණය පිළිබඳව කපිලද සිල්වා මහාත ප්‍රකාශ කරන්නේ මෙවැනි අදහසකි.

        විදුලියෙන් පණ ගැන්වෙන වාහන නිපදවීම ලෝකයේ ආරම්භ කර තිබීම සාමාන්‍ය දෙයක් වුවත් ලංකාවේ දී එය කළ හැකි බව මා ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා. විදුලි කෝෂ පහකින් ක්‍රියා කරන පණ ගන්වා කී.මී. එකසිය විස්සක් ධාවනය කළ හැකි වන මේ මෝටර් රථය සාදා තිබෙන්නේ ෆයිබර් වීදුරු වලින්. මෙහි විශේෂය තමයි සියයට හැත්තෑපහක්ම ලංකාවේ නිපදවා ගත් දෙයින් නිම කර තිබීම. කිලෝ 670 ක් පමණ බරකින් යුතු මේ වාහනය කිලෝ වොට් පහක විදුලියක් මගින් කි.මී. 70 ක පමණ වේගයෙන් ධාවනය කළ හැකියි. වෙසෙසින්ම කොළඹ වැනි නාගරික ප්‍රදේශයකට අනවශ්‍ය ලෙසට වායු දූෂක වායු පිට නොකරන ශබ්ද දූෂණය සිදු නොකරන බැවින් එය පරිසර හිතකාමී වෙයි. මෙහි වේගය කි.මී. 100 දක්වා වුවද වැඩි කළ හැකි වන්නේ පරිඝණක ගතකිරීමෙන්.මෙහි පවතින බැටරි නැවත පණ ගැන්වීම නිවසේදී වුව කළ හැකියි. ඒ සඳහා වැය වන්නේ විදුලි ඒකක 8-10 ත් අතර ප්‍රමාණයක් පමණයි. කෙසේ වෙතත් මේ දක්වා මට මේ වාහනය නිම කිරීම උදෙසා ලක්ෂ පහළොවක් පමණ වියදම්ව තිබෙනවා. මගේ එකම බලාපොරොත්තුව වූයේ මේ විදුලි කාර් රථය මහත් සාඩම්බරයෙන් මේ රටේ ජනතාවට හඳුන්වා දීමයි. වාහනයක් ලක්ෂ 06 කට පමණ මිළ කොට අඩු මුදලකට එය නිකුත් කිරීමට මහරගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් පවා ආරම්භ කරලීමට දේශීය ආයෝජකයෙකු මට සම්බන්ධ වූවා. ලංකාවේ බැංකුවකින් කිසිම මුදලක් ණයට නොගෙන කරන මෙම ව්‍යාපෘතිය මගින් නවොත්පාදන අර්ථිකයක් ඇරඹීමට මුල පිරීමක් වේ යැයි මම විශ්වාස කරනවා.

       කපිල ද සිල්වා මහතාගේ උදාර බලාපොරොත්තු එසේ වුවද රජයේ ප්‍රතිපත්ති වෙනස් වන්නේ දේශයට හිතකර අන්දමින් නොවේ. කිසිවකුත් බලාපොරොත්තු නොවන පරිදි පසුගිය අයවැයෙන් මෙවැනි දේශීය නිෂ්පාදකයන් අමතක කර ආනයනය මත පමණක් රැකෙන ව්‍යාපාරිකයන්ට අත දී තිබේ. මේ නිසා ආනයනික විදුලි කාර් රථයක බදු මුදල රුපියල් ලක්ෂ අටේ සිට ලක්ෂ එකහමාර දක්වා අඩු වී ඇතැයි කපිල ද සිල්වා මහතා පවසයි. මේ නිසා තම කර්මාන්ත ශාලාවට මුදල් ආයෝජනය කිරීමට සිටි ඒ වැදගත් ව්‍යාපාරිකයා සිය අදහස් වෙනස් කොට තිබේ. මෙය සැබවින්ම නව නිපයුම් කරුවන්ගේත් දේශීය කර්මාන්තකරුවන්ගේත් සිත් වේදනාවට පත් කළ කාරණයකි.  රට පුරාවටම විදුලි කාර්රථ ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය සැරසෙන්නේ කුමකටදැයි යන්න දැන් පහැදිලිය. චීනයෙන් ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම එහි අරමුණයි. කපිල ද සිල්වා මහතා ඉදිරියේ මේ අභියෝගය දිග හැරී තිබුණද ඔහු පසුබසින්නට සූදානම් නැත. ආනයනික මෝටර් රථ අභිබවා යන  පරිදි තම නිර්මාණය වැඩි දියුණු කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි. රේවත විජේවර්ධන පරපුරේ මෙවැනි නිර්මාණ කරුවන් තම හැකියාවන්ගෙන් පමණක් නොව මානසික ශක්තියෙන් ද වර්ධන කිරීම අපගේ යුතු කමයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ඔහුගේ දුර කතන අංකය වන 0714117272 අංකය නිතරම විවෘතව පවතින බැවින් එයට අමතා තොරතුරු දැන ගැනීමත් ඔහු ධෛර්යමත් කිරීමත් සියලු දෙන ගේ යුතුකමක් වන බවද අවසාන වශයෙන් සඳහන් කරමි.