වී උප්පත්තිය පිලිබඳව බෞද්ධ සාහිත්‍ය
තුළ දක්වා ඇති මතය බෙහෙවින් සිත් ගන්නා සුළුය. ලෝක උප්පත්තියත් මානවයාගේ ආරම්භයත්
ඉන් පසු ඔවුහු ආහාර සොයා යෑමත් ක්‍රමික විකාශනයේ
සිදු වීම්ය. ආහාර වශයෙන් වෙඬරු මෙන්ව තිබූ පොළවේ රසය ගත් නමුත් කල් යෑමේදී
බදලතා ද අවසාන වශයෙන් ස්වයං ජාත හැල් වර්ගයන්ද ලබා ගැනීමට සොයා ගැන්මට දැක්වූ සමත්
කම් මගින් ආහාර සංස්කෘතියේ විකාශනය සිදු වූ බව සූත්‍ර දේශනාවන්හිද සඳහන්ය. ග්‍රැමිනේ
කුලයට අයත් ගොයම් පැළයෙන් හට ගන්නා වී ගෙඩිය ගැන පුරාවිද්‍යාඥයන් ගේ මතය අනුව ආසියාවට
තිබෙන්නේ විශේෂ අයිතිවාසිකමකි. වසර නව දාහකට
ප්‍රථම ආසියාවෙන් වී ගැන තොරතුරු හමු වන අතර චීනයේ යූ චෑනියන්
නිම්නයේ කර ඇති පුරාවිදු පරීක්ෂණ මගින් වී ගෙඩියේ පොසිල සොයා ගන්නට සමත්ව තිබේ. එම
පොසිල වසර දහතුන්දාහකට වඩා පැරණිය.නවීන විද්‍යාඥයන් ඔරයිසා සැටීවා නමින් මෙම වී
වර්ගයන් දක්වා තිබේ. ඉන්ඩිකා ජැපොනිකා සහ ජැවනිකා වශයෙන් මේවා ප්‍රභේදකරණයට ද ලක්ව
ඇත.
වියැට ගෙඩිය නොහොත් ධාන්‍ය ඉතා සියුම්ව
නිර්මාණයව තිබෙන්නකි. වී ගෙඩියේ පරිණාමය අනුව වී වර්ගයේ හැඩය වර්ණය තීරණය වේ. වී
පොත්ත ඝන ආවරණයකි. පැරණි ස්වයංජාත ඇල් වල ඝන ආවරණයක් නොතිබූ බව කියැවේ. වී පොත්තේ
සිලිකා බහුලය. ඇතැම් විට දිස්නයක් සහිතය. බූවක් තිබේ. වී පොත්ත ඉවත් කළ පසු නිවුඩු
ස්ථර පහක් සහිත සහල් ඇටය හමු වේ. ඉන්ඩිකා වර්ග වල බහුලව හමු වන්නේ රතු කුරුට්ටයි.
කුරුට්ට ඉවත් කළ පසු මදය නොහාත් භ්‍රැණ පොෂය හමු වේ. මදයේ සියයට අසූවක් පමණ ඇත්තේ
පිෂ්ටයයි.වී මදය ඇතුලේ ප්‍රරෝහණයට අවශ්‍ය මූලය වන කළලය අඩංගුය.
මෙම කළලයට අවශ්‍ය ආහාර දින 14 කට
සෑහෙන බව පරීක්ෂණ වලින් සොයා ගෙන ඇත. නමුත් ඒ තත්ත්වය වර්ග අනුව වෙනස්වේ. වියැට
ගෙඩිය ප්‍රරෝහණය වී එක් පෙති දෙපෙති වී ගොයම් පැළයක් වර්ධනය වේ. අවසානයේ නව
පෙත්තේදී බණ්ඩි පුපුරා කොණ්ඩු මල එළියට එයි. තණ පවුලට අයත් ලෙසට සැලකෙන ගොයම් පැළය
තණ පැලෑටියට වඩා වෙනස් වන්නේ එහි කර්ණිකාව සහ ජීහ්වලය යන දෙකම තිබීම නිසාය.ස්ව
පරාගණයෙන් ගොයම් ගස සිය පරම්පරාව ගෙන යයි. නමුත් සියයට දශම එකක ප්‍රමාණයක් පර
පරාගණයට ලක්ව අළුත් පරම්පරාවන් ඇති කරයි. නව වී වර්ග ඇති කරන්නේ මේ මූල ධර්මය යොදා
ගෙනයි. ප්‍රධාන ගොයම් කඳේ එක් පත්‍රයක බැගින් දින හතකට වරක් එහි පත්‍ර ඇති කරයි.
අවසානයේ ඇති වන්නේ ධජ පත්‍රයයි. සෙ.මී. 50 සිට මීටර් පහක් දක්වා උස ගොයම් ගස් වී
වර්ග අනුව දක්නට ලැබේ. ලංකාවේ සහ ඉන්දියාවේ වැවෙන බොහෝ වර්ගයන් මීටර් එකකට වඩා
උසින් යුක්තය. වියැට ගෙඩියේ විද්‍යාත්මක දත්තයන් එසේ නමුත් ගැමියා නම් වී ගෙඩියේ ස්වභාවය රසවත් තේරවිල්ලක් බවට පත් කරයි.
ගසට
නමකි ගස මැරුණම වෙන නමකි -ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට නමකි
මදට
නමකි මද කනකොට තව නමකි -මෙතුන් පදේ තෝරාලා කියන් සකි
ගසවෙයි
ගොයම් පිදුරුයි මළ පසු ගොයම -ගෙඩියයි වී දහයියයි පොතු අළු වලට නම
සහලුයි
මදය කන විට බත් වෙයි එයම - මෙතුන් පදේ තෝරාලා දෙමි ඔහොම
මෙවැනි ආකාරයට වී ගෙඩියට විවිධ නම් පට
බැදුනේ කිමද යන්න කුතුහලයට කාරණයකි. පැරණි
යක්ෂ වංශිකයන් වී ගෙඩියට කිණිර යන නාමයද භික්ෂූන් වහන්සේලා උදෙසා දන් දෙන විට
මිණිර යන නාමයද දෙවියන් උදෙසා පූජා තබන කල්හි සුසිර යන නාමයද කැඳ බත් දීමේදී රධික
යන නාමයද භාවිතා කර තිබෙන බව මානෑවේ යක්ෂ වංශිකයන් පවසති. නමුත් පොදුවේ ඔවුහු ධාන්‍ය
වලට බතක යන නමින් නාමකරණය කර ඇත.කමතේ දී වී බැත වන්නේය. පසුව නිවසේදී වී කොටා
ගැනීමෙන් පසු සහල් වී කෑමට ගැනෙන විට බත් වෙයි.පෙර ජන කවියෙන් කියැවෙන්නේ එයයි. එය
සමාජයේ ක්‍රමික විකාශනය මගින් සිංහල භාෂාව පෝෂණය කිරීමක් ලෙසටද හඳුනා ගත හැකිය. ජන
කවියා වී උපත තවත් ආකාරයකට පෙන්වා දුන්නේ
මෙසේය.
වියේ
වියේ නුඹ කොතනින් ගෙනා වියේ - සක බඹතලේ ගල මුදුනින් ගෙනා වියේ
දිනෙන්
දිනම ගොබ ඇදි ඇදි පමා වියේ - අත්තනගල්ල ගල මතුපිට පඳුර මා වියේ
පැරණි සිංහල ජනතාව මඩ ගොවිතැනට වඩා
කඳුකර ඇල් ගොවිතැනට ප්‍රියමනාප වූ බව පැවසෙයි. ඇල් වර්ග රාශියක නම් අපගේ ජන සාහිත්‍ය
තුළ හමු වෙයි. ඇල් වී ජාති නම් පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් පරිදි ඒවා විවිධ
නාමකරණයෙන් ප්‍රචලිත වී තිබී ඇත.මේ ඇල් වී වර්ග අතරින් සුවදැල් සහ රත් ඇල් උතුම්
බව සැලකෙයි.පැරණි යක්ෂ වංශිකයන් රදල් සහ සුරල් යනුවෙන් දක්වා ඇත්තේ මෙවැනි වී
වර්ගයන් බව නිසැකය.
කෙසේ වෙතත් මෑතකදි මහාචාර්ය රාජ් සෝමදේව
මහතා විසින් බළන්ගොඩ වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉළුක්කුඹුර ගමේ ලුනුගල්ගේ
තුළ කළ කැණිම් වල ප්‍රතිඵලයක් වශයෙන් දැවී ගිය වී පොතු කැබැල්ලක් සොයා ගැනීමට සමත්ව
තබේ. ගල් ආයුධ, මැටි පබළු, රතු කලු මැටි බදුන් කැබලි, සිදුරු කල අවසාදිත මැණික් සහ
යකඩ කැබලි , විවිධ ධාන්‍ය කැබලි අතරින් වී පොත්තක් මතුවීම සැබවින්ම ලංකාවේ
ඉතිහාසයට නව පිටුවක් එක් කර තිබේ. මීට ප්‍රථම හෝර්ටන් තැන්නෙන් ධාන්‍ය වල පොසිල හමු වී තිබුණද වී ගෙඩියේ අංගාරිකෘත පොසිල
හමු වන්නේ පළමුවරටයි. මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ නිගමනයට අනුව දළ වශයෙන් මේ
පොසිලය වසරතුන්දහස් පන්සියයේ සිට පන්දහසක කාලයට අයත් ලෙසට සැලකිය හැකිය.එනම් යක්ෂ
වංශිකයන්ගේ රාජධානි පැතිර තිබූ සමයයි. ලුණු ගල්ගේ පිහිටා තිබෙන්නේ බළන්ගොඩ පර්වත
හෙලේ බැවින් මෙම ස්ථානය ආරක්ෂිත ස්ථානයක් ලෙසට ද හඳුනා ගත හැකිය. නමුත් එහි පැරණි
බව නිවරදිව තීරණය කර ගත් හැක්කේ මේ කැණීම් වලින් හමු වූ අඟුරු විද්‍යාත්මක කාල
නිර්ණයට හසු කිරීමෙනි.