පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, December 16, 2021

වලගම්බා රජ දවස ඇති වූ බැමිණිතියා සාගතය

 

 

 


                                 

             වට්ටගාමිණි අභය නොහොත් වලගම්බා නම් රජ කෙනෙක් පිළිබඳව සිංහල වංශකතා වල දක්වා ඇත්තේ දෙවරක් රාජ්‍යත්වයට පත් වූ නරපතියෙකු ලෙසටයි.අනුරාධපුරයේ ස්වර්ණමය යුගය ඇති කළ දුටුගැමුණු රජු ගෙන් පසුව  වලගම්බා රාජ්‍ය  කාලය තුළ ඇති වූ විවිධ විදෙස් ආක්‍රමණයන් නිසා සිංහල රාජ්‍යය  ක්‍රමයෙන් නැවතත් දුර්වල විය. මේ කාලයේ තීය නම් බමුණෙක් රුහුණු පෙදෙසෙහි නකුල නම් නගරය මූලික කරගෙන කැරැල්ලක් ඇති කළ බව පුරාණකතා වල සඳහන්ය. එහිදී බ්‍රහ්මණයා ගේ මූලිකත්වයෙන් ද්‍රවිඩයන්ට විරුද්ධව සටන් මෙහෙයවන ලද අතර බමුණා පරාජයට පත් වූ ආකාරය දක්වා තිබේ.මෙම හැප්පීම දේශපාලන උපක්‍රමයක් දැයි සැක සිතේ.අවසානයේ දී ද්‍රවිඩ ආක්‍රමණයක් හේතුවෙන් රජුට රජ වාසලින් පලා යන්නට සිදු විය.රාජකීය අශ්ව රථයේ නැගී පලා යන රජුගේ  බිසව ඒ කාලයේ ගැබ්බරව සිටියහ. ඒ නිසා රජුගේ සෝමාදේවිය ස්වකැමැත්තෙන්ම රථයෙන් බැස රජු ගේ ආරක්ෂාව තහවුරු කලේය.මේ පලා යෑමත් සමගම රට ආරාජික විය. ද්‍රවිඩයන් පස්දෙනෙකු අන්‍රක්‍රමයෙන් අනුරාධපුරය පාලනය කරන ලද්දේය. වලගම්බා රජු පැන යන්නේ මේ අභියෝගයන්ට ඒ අවස්ථාවේ දී මුහුණ දී ගත නොහැකිවයි.මේ ආරාජික කාලයේ දී රටපුරා මහා නියන් සායක් ඇතිවුණ බවද ඒ නිසා ජනතාව මහා විපතකට පත් වුණ බවද අතීත කතා වල දැක්වේ.මහාවංශය මේ කතා පුවත ගැන සඳහනක් නොකරයි.නමුත් සද්ධර්මාලංකාරයේ වත්ථුල පබ්බත වස්තුවේ සහ රුක්ඛදේවතා  වස්තුවේ මේ බැමිණිටියාසාය ගැන සඳහන්ය. ඒ සැයෙන් පීඩිතවූ මනුෂ්‍යයෝ යකුන් යකින්නියන් මෙන් දුර්වලව විරූපව අනුන් මරා මස් අනුභව කරන තත්වයට වැටුණු සැටි  විස්තර කරයි.භික්ෂූන් වහන්සේලා ට සිය දානය සපයා ගත නොහැකිව අපවත් වූ අකාරය ඒ කතාවල දක්වා තිබේ.

     ලංකාවේ පුස්කොළපොත් නාමාවලියේ දක්වන බැමිණිතියාසාය නම් වූ ග්‍රන්ථයක දක්වන පරිදි(ජාතික ලේඛනාගාරයේ 5/63/115/1 ) මෙම බ්‍රාහ්මණ ශාපය සිදු වූයේ එවකට දඹදිව විසූ මිළිදු නම් රජුගේ අධර්ම ක්‍රියාවක් හේතුකොට ගෙනය. ඒ මිලිඳු රජු භික්ෂූන් වහන්සේලා නොසලකා හැර බමුණන් වටකොට ගෙන රාජ්‍ය විචාල කෙනෙකි.රජු හා විරසක වූ එක් බමුනෙක් රජ අණින් මරණයට පත් කරන ලද්දේය. ඒ බමුණා ගේ භාර්යාව  බැමිණි තෙම  පතිවෘතාව ආරක්ෂා කළ කාන්තාවකි. ඇය කළ ශාපය නිසා දොලොස් අවුරුද්දක් යනතෙක් මහ පොලවට එක වැසි බිඳකුදු නොවැටුණ බව මේ ග්‍රන්ථයේ දක්වා තිබේ.මේ කතාව විග්‍රහ කර තිබෙන්නේ මෙසේය.

   ' තවද දස දහසක් සක්වල මහ මෙරවල් ද සක්වල ගල සත් කුළු පව් සදත් මහාතල මුළු පොළව නටවන ලද අක් බඹරුන් සේ වෙවුල්ලා සතර වසා කරාට දෙවමින් විශේෂයෙන් කම්පා කරවා නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළහ. සාරසිය අනූනව හවුරුදු පිරුණු සඳ (බු.ව.490 ) සිරිලක වළගම්බා මහ රජහට පසලොස්වැන්නේ දඹදිව මධ්‍ය දෙශයේ වූ සාගල නම් නුවරට දොලොස් හවුරුද්දක් මහත් වූ නියන් සායක් ගැසීය.'ඒ නියන් සාය දඹදිව මධ්‍ය දේශය ඉක්මවා කේරල පුත්‍ර සිට තම්බපණ්නී දක්වා පැතිරුණි.මේ නියන් සායට හේතු වූ අතීත කතාව දක්වා වර්තමාන කතාව කියන්නේ මෙසේය.

      අපගේ ගෞතම සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ පිරිනිවී. සාරසිය හැත්තෑහවුරුද්දක් පිරුණු සඳ (බු.ව.470 ) මිළිඳු දෙව්පුත් දිව්‍ය ලෝකයෙන් චුතව දඹදිව මධ්‍ය දේශයෙහි වූ රජගහ නුවර මිළිඳු නම් මහ රජ වීය. හෙතෙම පණ්ඩිතය.නුවණැතිය. දුටු දුටුවන් තර්කවාදීය.

 

 

 තපස් වීවරුන් හා භික්ෂු සංඝයා වහන්සේ තර්ක කොට පරදවා මහ සඟන රටින් නෙරපා බෞද්ධ හෙයින් බුද්ධ ශාසන නැති කොට තෙමේද මිථ්‍යා දෘෂ්ටි ගෙන ඒබඳුම දෘෂ්ටි ගත් දඹදිව බමුණන් රැස් කොට දවස් පතා දන්දෙවන්නේය. එසේ දන් දෙන කල්හි දන් දෙන බමුණන් අතුරෙන් කිසියම් වරදකට අසවලා යයි වරද නිවරද බව නොවිචාරා  ආයුක්තීයෙන්ම බමුණකු මැරූහ. එකල ඒ බමුණා ගේ අඹු බැමිණි මාගේ අනන්‍ය බමුණා ආද්‍යන්තයේ නිවරදේ මැරූ හෙයින් අඬා වැලප ඕ තොමෝ ස්වභාවයෙන් පතිවෘතා හෙයිනුත් දේවතාවන්ට යැද කියන්නේ මගේ නිවරදි දඹුවාන් මැරූ මේ රජුගේ රාජ්‍යය සැබෑ වූ පතිවෘතා ධර්මයෙන් රැක්මේ වී නම් වැසි නොවසීවයි පතුල් තබා අධිෂ්ඨාන කලාය. එසෙමැයි පස් පරිද්දෙන් වාර්ෂාවෝ නොවස්නාහුය.

     මහාවංශයේ ප්‍රථමවරට සාගතයක් ගැන දක්වා ඇත්තේ කාවන්තිස්ස රජුගේ කාලය වර්ණනා කරන කල්හිය. අක්ඛක්ඛායික  දුර්භික්ෂය හෙවත් බුළු කෑ සැය යනුවෙන් දක්වා තිබේ. අටුවාවල දක්වා ඇත්තේ  ගල් කෑමට සිදු වූ සාගතය යනුවෙනි. කෙසේ වෙතත් වලගම්බා රජු කළ ඇති වූ සාගතය පිළිබඳ මෙම පුස්කොළ  ග්‍රන්ථයේ දක්වන වැදගත්ම තොරතුර නම්වැසි නොවැටීමට හේතුවයි.ඒ සඳහා හේතු පහක් එහි දක්වා ඇත්තේය.ඒ මෙසේය

    ' අහස උඩ උන වලාහක දෙව් පුතුගේ ආනුභාවයෙන් තේජස උත්සන්න වූ කල්හි මහා මේඝ නගා ආ කල්හි අන්තරා වෙයි.එසේම අහස උඩ වැස්ස වලාහක දේවත‌ාවගේ අනුහසින් ධාතු  උත්සන්න වූ කල්හි මහා මේඝ හා වැසි ගප් සුළගේ පතිතව එම මුහුදෙහි අන්තැනෙකට දුවන්නේය.එසේම අහස උඩ වැසි මේඝ නගා ආ කල්හි  රාහු අසුරෙන්ද්‍ර තමාගේ  දෙසීයක් යොදුන් පළල අත්ලෙන් ගෙන මුහුදට වන්නේය. එසේම යම් කලෙක වැස්ස වලාහක  දේවතාවෝ  ප්‍රමාදව සඳු ගම් නොවී නම් පස් වනුව යම් කාලෙක... අධර්මිෂ්ටව පැවතීම ලෝකචාර නොකෙරෙන්ට වී නම් මනුෂ්‍යයා අධර්මිෂ්ට වූ කල්හි වැසි නෙවසිනා පරිදි කෙසේද යත්  යම් කලෙක කලියුගයේ හි රජහු අධර්මිෂ්ටව වේ .රජු බලා රාජ පුරුෂයෝ අධර්මිෂ්ට වේ.රාජ පුරුෂයෝ බලා බ්‍රාහ්මණ ගෘහපති අධර්මිෂට වෙති.ඔවුන් බලා ජනපද නියන්ගම වැසි අධර්මිෂ්ට වෙති. ඔවුහු අධර්මිෂ්ට වූ කල් හිරු සඳු දෙදෙනාද විෂම ගමන් ගිය කල්හි නක්ෂත්‍ර තාරකාවෝ විෂම ගමන් යෙයි.ඔවුන් විෂම පවතින කල්හි රෑ දවල් දෙක විෂම වෙයි. රෑ දවල් දෙක විෂම වූ කල්හි මස අමාවක විෂම වෙයි. මාසයන් විෂම වූ කල්හි ඉර්තු විෂම වෙති.ඉර්තු විෂම පෙරලූ කල්හි විෂම වාත හමා යයි. විෂම වාත හැමූ කල්හි දේවතාවෝ බොහෝ සේ කුපිත වෙත්. දේවතාවෝ කුපිත වූ කල්හි කලට වැසි නොවස්නේය. කලට වැසි නොවට කල්හි ගොවිතැන් සෂ්‍ය පලා සමව වැසී ඵල නොදෙයි.විෂම පැසුණු පලයන් අනුභව කරන මනුස්සයෝ අල්ප ආයුෂ වෙති. කය දුබල වෙයි. බොහෝ ආබාධ වෙයි. ලෙඩ හට ගනියි. නුවණ මද වෙයි. සිත්මුලා වෙයි.'

    වංශ කතා ප්‍රවෘත්ති වල සඳහන් බැමිණිතියා සාය පිළිබඳ වෙනස් අදහසක් අප්‍රකට ග්‍රන්ථයක සඳහන් වන්නේ ඇයිදැයි යන්න මදක් විමසා බැලිය යුතුය.ඒ ග්‍රන්ථය අනුව මේ සාගතයට නිදාන කතාව ඇති වන්නේ දඹදිව රජගහනුවර කේන්ද්‍ර කරගෙනයි.එහෙත් මෙරට ලියැවුණු අතැම් අටුවා වල දක්වන්නේ රුහුණු දනව්වේ නකුල නගරයේ විසූ බමුණා ගේ කැරැල්ල නිසා මේ සාය සිදු වුණ බවයි. නමුත් ඒ සඳහා වංශකතා අනුබල නොදෙයි.ඒ වෙනුවට රාජාවලිය දක්වන්නේ වළගම්බා පුත්‍රයාගේ කාලයේ මිළිඳු රජුගේ අධර්මයෙන් මෙය සිදුවූවක් බවයි.තම්බපණ්නීය දක්වාම මේ සාය පැතිරුණු බව කීම අනුව වළගම්බා රජු පලාගිය සමයේ මේ විපත මෙරටටද බලපෑ බව සිතන්නට හැකිය.

 

 

 

මේ අනුව බැමිණිතියාසාය නම් වූ පුස්කොළ ග්‍රන්ථය වඩා විශ්වාස සහගත බව පෙනේ. මෙම පුස්කොළ ග්‍රන්ථයේ දීර්ඝ කතාවක් පෙළ ගස්වා තිබෙන අතර එහි දී රජුන්ගේ අධර්මය ගැන සහ ඉන් වන ප්‍රතිවිපාක ගැන ගැඹුරින් සාකච්ඡා කරයි.රාවනා ගේඅධර්මයෙන් ලංකාවේ බොහෝ භූමි පෙදෙසක් මුහුදට ගිලී ගිය ආකාරය පවා එහි දක්වා තිබේ.ජනතාව තුළ ශ්‍රද්ධාවත් රජුන් විෂයෙහි ලෝක පාලන ධර්මතා අවබෝධ කර දීමත් මෙම ග්‍රන්ථයේ අරමුණ බව පෙනේ.ප්‍රකට මිලින්ද ප්‍රශ්නය  පිළිබඳ සාකච්ඡාවක් තිබෙන කාලයක බැමිණිතිය සාය ඒ යුගයටම ඇතුලත් කිරීම බමුණු දහමත් බුදු දහමත් පිළිබඳ කරන ශාස්ත්‍රීය සංවාදයක් බඳුය.බුදුන් වදාල ධර්මයේ තිබෙන සත්‍යතාවය මෙහි ඉස්මතු කරයි.ඒ නයින් බලන කල්හි මෙම අප්‍රකට ග්‍රන්ථය ලියැවුණු සමය ගම්පොළ කෝට්ටේ යුගයෙන් මෙපිට ඇති වූ පරිහානි සමය විය යුතු යැයි සිතමි.මෙම පුස්කොළ ග්‍රන්ථයේ ත්‍රි සිංහලයේ කඩයිම් ගැනද සඳහන් වන නිසා ඒ කාලය පිළිබඳව නිසැක ලෙසට සිතන්නට හැකිය. බමුණු දහම බලවත්ව ආඬි ගුරුන් බලවත්ව සිටිද්දී රජුන් බුදු දහම කෙරෙහි පහදවා ගන්නට කරන ලද වෑයමක් ලෙසට ද පෙනේ.බැමිණිතියා සායේ කාල වකවානුව වලගම්බා සමයේ ලක්දිව සිදු වූ පුවතක් ලෙසට ගත් පුරාණ කතා කරුවාට වඩා මෙම අප්‍රකට ග්‍රන්ථ කතුවරයා බුදු දහම කෙරෙහි මහත් භක්තියෙන් මේ රචනාව කළ බව පැහැදිලිය.

මතුගම සෙනෙවිරුවන්

 

Wednesday, December 1, 2021

බටහිර සෞඛ්‍ය ආධිපත්‍යකට ඉණිමං බඳින G M O A

 

 


                              

            ලංකාවේ සෞඛ්‍ය සේවයට ඉතා දීර්ඝ කාලීන ඉතිහාසයක්  ඇත. අනුරාධපුර සහ මිහින්තලේ නටබුන් ආශ්‍රිතව හමුවන පැරණි රෝහල් වලින් ඒ බැව් සනාථ කළ හැකිය. ඒවායේ කැණීම් වලින් සොයා ගත් සැත්කම් උපකරණ ඉතා විශිෂ්ඨය. සිංහඅඩුව යනුවෙන් හදුන්වන්නේ ඉන් එක් සැත්කම් උපකරණයකි. මේ පන්නයේ සැත්කම් උපකරණ රාශියක් වර්තමානය වන විට බටහිර රෝහල් වලදී සැත්කම් සඳහා භාවිතා කෙරේ.පුලතිසි රාවනා බුද්ධදාස වැනි මහ වෛද්‍යවරුනගේ විශ්මිත ප්‍රතිකාර සහිත ඉතිහාසයේ අපට හිමි වූ වෙසෙසි ස්ථානය කෝට්ටේ යුගය දක්වා දක්වාම නොනැසී පැවතුණි. කෝට්ටේ යුගයේ දී ලංකාවට පැමිණි එක් ඉතාලි කුමාරිකාවක් චර්ම රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව සුවපත්ව රජුගේ අවසරය පරිදි සිංහල වෛද්‍යවරු කණ්ඩායමක් ඉතාලිය වෙත රැගෙන ගිය බව ඉතාලි ජන ප්‍රවද වල සඳහන්ය. එම වෛද්‍යවරු රැගෙන ගිය උපකරණ සහ මැටි භාණ්ඩ නාපෝලි කෞතුකාගාරයේ අදටත් ප්‍රදර්ශනයට තබා ඇතැයි කියති.   යුරෝපීය ආක්‍රමණ හේතුවෙන් සිංහල රාජ්‍යය ක්‍රමයෙන් දුර්වල විය. නමුත් වසූරිය වසංගත අවස්ථාවන්හිදී පවා  උඩරට රජුගේ රාජකීය වෛද්‍යවරු වසංගතයට මුහුණ දුන් ආකාරය ඉතා ප්‍රබලය.   ඉංග්‍රීසීන්1815 දී රට භාර ගැනීමෙන් පසුව   ඇලොපති වෛද්‍යක්‍රමය මෙරට ප්‍රමුඛ වෛද්‍ය ක්‍රමය බවට පත් විය.විශේෂයෙන්ම බටහිර වෛද්‍ය අධ්‍යාපනය සඳහා යාපනයේ වෛද්‍ය විද්‍යාලයක් ඇති වීමද මනිපායි හිදී බටහිර රෝහලක් ඇතිවීමද අහුඹුවක් නොවේ. දේශීය වෛද්‍යවරු සතුව පැවති නොයෙකුත් ඖෂධ මේ කාලයේ තහනම් කරන ලදහ. කංසා තහනම හොඳ උදාහරණයකි. 1918 දී ඇති වූ ස්පාඤ්ඤ උණ නම් වසංගතයට ගැමියන් කීවේ බෙලෙක් උණ යයි කියාය. මේ බෙලෙක් උණට වෙදකම් කළ සිංහල වෙදනාවන් අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට තරම් අධිරාජ්‍යවාදීන් සැහැසි වූහ;

    බටහිර වෛද්‍යවරුන් සඳහා වෛද්‍ය සභාවක් පිහිටුවා ස්ථාපිත කරන ලද්දේ 1927 දීය. ලංකාවේ සෞඛ්‍ය ආධිපත්‍ය පැතිරවීමට  ඔවුන්ට නිල බලයක් ඉන් ලැබිණ.මේ කාලයේ දේශීය  වෛද්‍යවරුන් ගේ බලවත් අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් දේශීය වෛද්‍ය පනතක් ඉදිරිපත් කරලීමට1950 දී කෙටුම්පත් සැකසින.පාරම්පරික වෙදකම පදනම් කොට ගෙන  බිහිවූ වෛද්‍යවරු සදහා අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමද මෙහි අරමුණ විය.නමුත් 1947දී දාස් ගුප්තා මහතාගේ මූලිකත්වයෙන් පත් කරන ලද කොමිෂන් සභා නිර්දේශය වඩාත් පිළීගැනුමකට ලක්විය .එහි ප්‍රතිඵලයක් වශයෙන් 1961 දී ආයුර්වේද පනතක් සම්මත කරලීමට සිරිමා බණ්ඩාරනායක මැතිණියට හැකි විය. මේ පනත ගෙන ඒමට විරුද්ධකම් කරන ලද්දේ ද බටහිර වෛද්‍යවරුන්මය. එවකට පාර්ලිමේන්තුව නියෝජනය කල දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා සිංහල වෙදකම හෑල්ලු කොට කතා කරමින් මේ පනතට විරුද්ධව  කතා පැවැත්වීය.

      වර්තමාන වසංගත තත්වය පැමිණි කල්හි ආණ්ඩුවේ ප්‍රධානීන්ට මතක් වූයේ 1897 දී ඉංග්‍රීසීන් ගෙනා නිරෝධායන පනතයි.බටහිර ක්‍රමය දියුණු අඩියක නොතිබූ ඒ වකවානුවේ ඔවුන්ට තිබූ එකම විකල්පය නම් විදෙස් වලින් පැමිණෙන දෙමළ වතු කම්කරුවන් කඳවුරු වල ගාල් කර නිරෝධායනය කිරීමයි. විශේෂයෙන්ම මන්නාරම අසල මේ කඳවුරු පිහිටා තිබුණි.නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනත යනුවෙන් මේ පනත සංශෝධනය වූ අතර ඊට පෙර වසූරිය සඳහා වන එන්නත් ආඥා පනතක්ද සම්මත කරගෙන තිබුණි. කෙසේ වෙතත් බටහිර වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් ඔවුන් ගේ ආධිපත්‍ය යටතේ පිහිටුවාගත් මේ පනත් වතමන් ආණ්ඩුවටද මතක් වූයේ තවමත් තිබෙන බටහිර ගැති මානසික තත්වය නිසා බව කිව යුතුය.

 

ඒ වන විට 2004 මුහුද ගොඩ ගැලීම නිසා ඇති වූ තත්වය සමනය කරලීමට සහ ඉදිරියේ ඇතිවන හදිසි අවස්ථා පාලනය කිරීමට අවශ්‍ය ව්‍යසන කළමනාකරණ පනතක් ද ගෙනවුත් තිබුණි.වසංගත වැළැක්වීමටද එහි ප්‍රතිපාදන තිබුණි. නමුත් ආණ්ඩුව ට අවශ්‍ය වූයේ එක් බලධාරියෙකු ගේ පාලනය යටතේ වසංගතය පාලනය කිරීමයි. මුලු රටම වසා වසංගතය පැතිරීම පාලනය කිරීම සිදු විය. එය ලෙහෙසියෙන් කළ හැකිය.නමුත් සිදු වූයේ ඒ නිසා රටේ ආර්ථිකය ලෙඩ වීමයි.රටේ රැකී රක්ෂා බිඳ වැටීමයි.

     කොරෝනාව පමණක් නොව සියලුම වසංගත තත්වයන් පාලනය කිරීමට සමත්කම් ඇති සිංහල වෛද්‍යවරුන් මේ රටේ සිටියහ.බුද්ධදාස රජතුමා වැනි දක්ෂ වෛද්‍යවරු වර්තමානයේ දක්නට නැත්තේ යටත් විජිත පාලනය නිසා සිංහල වෙදකම පිරිහීමේ ආරම්භය සිදු වූ නිසයි. නමුත් විසිවන සියවසේ ඉන්දියාවට පිටත්ව ගොස් වෛද්‍ය අධ්‍යපනය ලබා ආයුර්වේද වෛද්‍යවරු ලෙසට සේවය කිරීම ආරම්භ කළ පාරම්පරික වෙද දරුවන් නිසා නැවතත් රටේ සිංහල වෛදය ක්‍රමය තුළ පුනර්ජීවනයක් ඇති විය. ගම්පහ වෛද්‍යවරු මීට හොඳම උදාහරණයයි.සිංහල වෙදකමත් ආයුර්වේද වෙදකමත් මේ රට් මුල් බැස ගැනීම වළක්වන යටත් විජිත උපක්‍රම දෙකක් දැන් හඳුනාගත හැකිය.එකක් නම් මෙම දේශීය වෛද්‍ය විද්‍යාල විශ්ව විද්‍යාල පද්ධතියට එක් කර ගැනීමයි.ඉන් බිහිවන බහුතරයකට දේශප්‍රේමී හැඟීමක් නැත.මෙම විශ්ව විද්‍යාල වලින් පිටවන ආයුර්වේද වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය දැන සිටියද වඩා ගරු කරනුයේ බටහිර වෛදය ශාස්ත්‍රයටයි.වෙදනලාව ඔවුන්ට ආභරණයක් වී ඇත. නාඩි වෙදකම ප්‍රගුණ කරන්නේ නැත. අනෙක් ක්‍රමය නම් බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය විසින් සිය නිල බලය භාවිතා කරමින් කරන අරියාදුවයි. වර්තමාන  වසංගතය සඳහා ඖෂද නිපදවූ ප්‍රතිකාර ලබා දිය හැකි දේශීය වෛද්‍යවරුන් හට කොවිඩ් ප්‍රතිකාර සඳහා මූලිකව අවසරයක් ලැබුණේ නැත. පසුව ආයුර්වේද රෝහල් වල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇරඹුනේ බටහිර වෛද්‍යවරුන් ගේ අධීක්ෂණය යටතේය.‍



    දැන් අලුත්ම තත්වය නම් එන්නත් සංකූලතා සඳහා ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන්ට වාරණයන් පනවා කරන හිරිහැරයයි. පසුගියාද අම්පාර නාමල් තලාව ශෛලබිම්බාරාම විහාරස්ථානයේ පවත්වන්නට යෙදුණු එවැනි වෛද්‍ය සායනයක් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වරයාගේ  පැමිණිල්ල පරිදි  පොලිසිය විසින් ලබා ගත් උසාවි නියෝගයකින් නවත්වා තිබේ. පසුව මේ සිද්දිය අලලා GMOA කණ්ඩායම විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් හැඟවෙන්නේ සිංහල වෛද්‍යවරුන්හට වෙදකම් කරගෙන යෑමට පවා ඔවුන්ගේ අවසරය අවශ්‍ය බවයි. ඒවැනි තත්වයක් නීතියේ නැත. 1961 ආයුර්වේද පනතින් සියලුම් බලතල දේශීය වෛද්‍යවරුන්ට ලබා දී තිබේ.2008 දී ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාව ආරම්භ කිරීමේ දී ද මෙලෙසම විරෝධයක් GMOA කණ්ඩායම විසින් පවත්වා ඇත.( 2008 /12/01 දාතම යටතේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට යැවූ ලිපිය ) මෙවැනි  නිර්ලජ්ජිත ක්‍රියා වෛද්‍යවරුන්ට ඔබින්නේ නැත.රෝගීන් සුවපත් කිරීම ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණ විය යුතුය..එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් කල කෙණෙහිලි කම්  ඔවුන් ගත් මග ගිය බටහිර දොස්තරවරු ඇතුලු කලු සුද්දන් විසින් අනුගමනය කරමින් තිබේ.මේ කණ්ඩායමේ අරමුණ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පරිදි නැටවෙන සෞඛ්‍ය බලධාරිත්වයක් රට තුළ ඇති කිරීමයි.එන්නත් බලහත්කාරය එහි එක පියවරකි. දැනටමත් මෙකී දොස්තරලා සුඛෝපභෝගී ජීවිත ගත කරති.රෝගීන් ඇපයට තබා වැඩ වර්ජනය කර ඉහල වැටුප් ලබා ගනිති. මොවුන් මේ පහර දෙන්නේ සිංහලකමටය.රතකල්කයෙන් ලුණු කැඳ වතුරෙන් තැම්බුම් හොද්දෙන් පණවත් වුණු සිය ළමා කාලය ගැන මේ බටහිර ගැති දොස්තරාලාට මතක් කර දීමට අප සූදානම් බව අවසාන වශයෙන් දන්වා සිටිය යුතුය.

මතුගම සෙනෙවිරුවන්

Thursday, November 25, 2021

උතුරේ යුධ ජයග්‍රහණය වෙනුවෙන් ඉඳිකල ගංගොඩවිල විජයාරාමය

 

 

 


                     

         ‌ෙඑතිහාසිකව ගත් කළ ලංකාව නිරන්තරයෙන්ම විදේශ ආක්‍රමණයන්ට නතු වූ රටකි. දෙමළ ආක්‍රමණ සහ යුරෝපීය අක්‍රමණ එහිදී විශේෂ වේ.ඉන්දියාවේ පහළ කොටසට ඔබ්බෙන් පිහිටි මුතු ඇටයක් බඳු පුංචි දූපතකට මේ වටිනාකම ලැබුණේ එහි පවතින සුවිශේෂි සම්පත් නිසාවෙනි.සොළී ආක්‍රමණ වල හේතුවක් වශයෙන් කලක් ලංකාවේ උතුරු ප්‍ර දේශ යටත් කරගෙන තිබුණි.නමුත් සිංහල නරපතියන් ගේ ඉදිරිපත් වීම මත ඔවුන් පළවා හරින්නට යෙදින.දොලොස්වන සියවසෙන් පසු උතුර ආර්ය චක්‍රවර්තී පාලනයට යටත් විය එයට හේතුව සිංහල රාජ්‍යය ක්‍රමයෙන් දුර්වල බවට පත් වීමයි.ආර්ය චක්‍රවර්තී වරු ද්‍රවිඩයන් නොවේ. ඔවුහු කාලිංග සහ ගංගා වංශික සම්භවයක් සහිතව මෙරට පාලනයට අයිතිවාසිකම් කිවූ රජ පෙළපතකි. මේ පිරිස විදේශ වල සිට පැමිණීම නිසා ඔවුන්ගේ හමුදා වල දෙමළ කන්නඩි ජාවක සෙබල බලමුලු වූහ.මේ නිසා ලංකාවේ දී මේ සේනා වලින් සිංහල නරපතියන්ට වූ ගැහැට සුලු පටු නොවීය. කෝට්ටේ යුගයේ දී නිශ්ශංක අලකේශ්වරයන් දියවන්නාව පසුබිම් කොටගෙන ජයවර්ධන පුර බලකොටුව බිහි කරනුයේ මේ ආර්ය චක්‍රවර්තී වරුන්ට මුහුණදීමටයි.එහි අවසාන ප්‍රතිඵලය වූයේ සයවන පරාක්‍රම බාහු නම් ශක්තිමත් සිංහල පාලකයෙකු කෝට්ටේ පසුබිම් කරගෙන බිහි වීමයි. ඔහු විසින් ඇති දැඩි කළ සපුමල් කුමරු සහ අම්බුලු ගල නම් කුමරුන් දෙදෙනෙකු ගැන ඉතිහාසයේ දැක්වේ. තමන්ගේ බිසව වු ස්වර්ණමාණීක්‍ය කීරවැල්ල කුමරියගේ සහෝදරිය වූ සුභද්‍රා කීරවැල්ලේ කුමරියක් මේ කුමරුන් ගේ මව වූයේය. මේ නිසා රාජ්‍ය උරුමයක් ද ඔවුන්ට තිබුණි. මේ කාලයේ උතුරේ පාලනය හෙබ වූයේ ගුණවීර සිංහ ආර්යන් නම් ආර්ය චක්‍රවර්තී පාලකයාය. ඔහු පරාජයට පත් කොට නැවත රට එකසේසත් කිරීම රජු ගේ අරමුණ විය. මේ සඳහා පිටත් කර යැවීමට සුදුසුතරම පුද්ගලයා වූයේ සපුමල් කුමරුය. ඉතිහාසයේ සඳහන් වන පරිදි සපුමල් කුමරු උතුරට ගිය මුල් ගමනේ දී එම වෑයම් අසාර්ථක විය පසුව විවිධ සේනා බල ගන්වා විශේෂයෙන්ව අසුන් ඇතුන් ගවයන් ඇතුලු සත්ව සේනා පෙරටු කෙටගෙන සටනට පිටත්ව ගිය බව පැවසෙයි. මේ සටනට සයවන පරාක්‍රමබාහු රජුගේ දෙවනි බිසව වූ කීරවැල්ලේ   මිහිරි දේවියගේ ප්‍රත් වූ ශ්‍රී වර්ධන කුමරුද එක් විය. සටන ජයගත් සපුමල් කුමරු දිග් විජය කොට ආර්ය චක්‍රවර්තී රජු මරා අඹුදරුවන් ආදී කොට ගත් පිරිස ගෙනත් කෝට්ටේට භාර දුන් බව රාජාවලිය වාර්තා කරයි. යුද්දයෙන් පසුව සේනානායක සපුමල් කුමරු වශයෙන් ප්‍රසිද්ධ වූ ඔහු ක්‍රි.ව. 1469 දක්වා උතුරුකරයේ පාලකයා වූයේය.

    මේ ජය ග්‍රහණයෙන් පසු මේ සටනේදී පෙරමුණ ගත් භික්ෂූන් වහන්සේලාගේ වුවමනාව වූයේ ඒ ජයග්‍රහණය සමරා විහාරස්ථානයක් ඉඳි කරලීමයි. ඒ සඳහා සුදුසුම තැන වශයෙන් කෝට්ටේ ගං‌ගොඩවිල පෙදෙස තොරා ගැනුණි. ගං‌ොඩවිල යනු විශාල විලකින් සමන් විත පැරණී ගම් දනව්වක් විය.ඒ විල දැන් දක්නට නැතත් එහි යම් කිසි කොටස් කීපයක් උඩහමුල්ල පෙදෙසේ දක්නට ලැබේ.වර්තමාන 119 බස් මාර්ගය ගමන් කරනුයේ වැවේ බැම්ම හරහාය. මේ මාර්ගය අසබඩ තිබෙන ජිනරතනාරාමයේ නොහොත් පැරණි වැලිපිල්ලෑව පන්සලේ පවතින විල පැරණි වැවේ එක් අන්තයක කොටසකි.

 අනෙක් කොටස උඩහමුල්ල ඩිපෝව ආසන්යේ තිබී මෑතකදී ගෙඩ කරනු ලැබීය.හොරොව් වත්ත වැවේ ගෙදර දියකඩ හේන ආදී නම්වලින් පැරණි ඔප්පු වල දක්වා ඇත්තේ මේ වැවේ පසුබිමයි.මේ පෙදෙසේ ඉඩම් කෝට්ටේ රජමහා විහාරය සතු වූ බවද පැවසේ. සුදුමල් බණ්ඩාර නොහොත් ශ්‍රී වර්ධන ප්‍රතිරාජයන් සුදු අසෙකු පිට නැගී මේ පෙදෙස් සැරි සැරූ බව පැරණියන් මතකයට නගාගෙන කියති.

     ගංගොඩවිල අසල ගොඩබිම නාවිමන ලෙසින්ද හැඳුන්වුණි. නායක විමන යනු එහි අදහසයි. විසල් වනයකින් හෙබි නොයෙකුත් තුරුලතා මල ගොමු වලින් යුක්ත වූ නාවිමන දැන් හඳුන්වන්නේ නාවින්න යනුවෙනි.එකළ එය කඳු ගැටයකි.සැප වාසයට සුදුසු පෙදෙසකි.යටකී යුධ සැමරුම් විහාරස්ථානය ඉඳි කිරීමට සැලසුම් කරන ලද්දේ මේ ප්‍රදේශය තුළයි.  උතුරුකර යුද්දය ජය ගැනීමටඅනුශාසනා කළ සහයෝගයක් වශයෙන් සේනා බලමුලු සමග පිටත්ව ගිය භික්ෂූන් වහන්සේලා කීප නමක් මේ වන විට සිවුරු හැර තිබුණි. එම අයගේ මූලිකත්වයෙන් සහ ශ්‍රී වර්ධන කුමරුන් ගේ නායකත්වයෙන් ගංගොඩවිල  විහාරස්ථානය ඉඳි කරනු ලැබීය.විජයාරාමය වශයෙන් නම්කරන ලද්දේ යුධ විජයග්‍රහණය සැමරීම සඳහාය. විජයාරාමයේ අද දකක්නට ලැබෙන වටදාගෙය සහිත කුඩා ප්‍රමාණයේ ස්ථූපය සහ කැටයම් සහිත ගල්වැඩ ඒ පැරණි රජමහා විහාරයේ නටබුන්ය.විශාල කබොක් ගල්ද ගල්කණුද විහාර භූමියේ නොමදව දක්නට හැකිය. අනුරාධපුරයේ දුටුගැමුණු රජු විසින් ඉඳි කළ මහා ථූපය මෙන් විශාලත්වයෙන් අනූන ස්ථූපයක් නොවුණත් විජයාරාම ස්ථූපය ද අපට ඉතා වැදගත් වන්නේ එ එකම අරමුණක් වෙනුවෙන් ඉඳි කල නිසාය.විදේශ සතුරන් දිග්විජය කොට ධර්මවිජය කිරීම ධර්මා‌ශෝක මහරජතුමාගෙන් ඉගෙන ගත් සත් ධර්මයකි.යුද්දයකින් පසුව ඇතිවන ප්‍රචණ්ඩත්වය සමනය කර සංහිඳියාව ජනිත කිරීම උදෙසා බුදු දහම ආශ්‍රයෙන් ගොඩ නැගෙන පසුබිම ඉතා වැදගත්ය. වර්තමානයේ සඳහිරු සෑය ඉඳි වන්නේ ද ඒ අරමුණ වෙනුවෙන්මය.දෙමළආක්‍රමණිකයන් නොයෙකුත් කාලවකවානු වලදී විවිධ වේශයෙන් ලංකාව තුළට පැමිණෙති.වර්තමානයේ සිදු වූයේ ඉංග්‍රීසීන් ගේ සහ ඇමරිකන් මිෂනාරීන්ගේ වුවමනාවට ලංකාවට ගෙනවුත් පදිංචි කරන ලද දෙමළ වැසියන් ගෙන් එල්ල වූ ප්‍රහාරයකි. එම ආක්‍රමණයන් පරාජයට පත් කිරීමද සිංහල නරපතියන් ගේ යුතුකමති. ඒ යුතුකම පසුගිය කාලයේ දී ඉටු වී තිබේ.එහිදී ඒ සටන් අව තක්සේරු කිරීම වත් හෑල්ලු කොට කතා කිරමවත් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පතන කිසිවකුගේ යුතක්මක් නොවේ.

මතුගම සෙනෙවිරුවන්

Sunday, October 31, 2021

වසවිස ගොවිතැන පිළිබඳ මගේ අත් දැකීම්

 

 

 


                           

                පොහොර හැදෙන්නෙ පඨවි ධාතුව තුළින්.පංච මහා භුතයන් මගින් එම ක්‍රමවේදය කලමනාකරණය කරන ආකාරය මට තේරුම් ගන්න වසර ගණනාවක්ම ගියා.නවසිය අසූව දශකයේ මුල සිටම පාරම්පරික ගොවීන් ඇසුරු කරමින් පැරණි දැනුම ගැන ගවේශනය කරමින් සිටින විට මෙහි සතය්‍ය ගැන අවබෝධයක් ලැබුණා.හරිස්චන්ද්‍ර කවිරත්න මහතාගෙ උපවන විනෝදය කියල ග්‍රන්ථයක් තිබුණා.එහි තිබෙනවා ගවමුත්‍ර එළකිරි ගිතෙල් ආදිය භාවිතයෙන් විවිධ පොහොර වර්ග සාදා ගන්නා හැටි.මහියංගන පළාතෙ පැරණි ගොවියෙක් ළඟ තිබුණා පලිබෝධ මර්දනය කරගන්න ට ශාකශාර වලින් හැදූ බොහත් වට්ටෝරුවක්.එලු බෙටි සහ ගෙරිකටු පොළවේ වළලා කාලයක් තබලා හදා ගන්න පොහොරක් ගැන තව ගොවියෙකුගෙන් දැන ගන්නට ලැබුණා.

     මේ අතර රසායනික ද්‍රව්‍ය නිසා පස ලෙඩ වන හැටි ගොයමට පලිබෝධකයන් එන හැටි අත්දැකීමෙන්ම දැන ගත්තා.යුරියා මල්ලකට අත දැම්මොත් අත පිච්චෙන තරම්. පසට මේවා වැටුණම පසේ දිවි ගෙවන අපට උදව් වන ගැඩවිල්ලන් රතුපණුවන් කලු පණුවන් ඇසට නොපෙනෙන ජීවින් මැරෙන්නට ගන්න බව මට තේරුම් ගියා. වල් නාශක කෘමිනාශක ආදී කෘෂි රසායන යෙදූ විට ගොවිපලේ සිටින හිතකර සතුන් ද මිය යන ආකාරය නිරීක්ෂණය කරන්නට හැකියි.වරක් අපේ වෙල් යායට කීඩෑ වසංගතය පැමිණියා.ඒ වන විට මගේ කුඹුර මිලදී අරගෙන යන්තම් වසර තුනක් පමණයි( 1995 දී පමණ) ගෙවිලා තිබුණේ.නමුත් කිසි දවසක පලිබෝධ නාශක යෙදුවේ නෑ. අර කීඩෑවන් ඇවිල්ලා මගේ ඉන් නියර ළඟ නැවතුනා. මම ළන් වෙලා බැලුවා ගොයමේ සිටිනවාද කියල. හිටියා. ඒත් උන්ට හානි කරන්නට බැරිවුණා. මොකද කීඩෑවන් ආහාරයට ගන්නා හිතකර සතුන් මගේ කුඹුරේ හිටියා.

    ගොවීන් ගෙන් ලද වැදගත්ම අත්දැකීම තමයි කන්නයට වගා කිරීම යල කන්නයේ නම් සිංහල අවුරුද්දට දවස් තිස්පහක් හෝ දවස් හතක් කලින් වැපිරීමට සූදානම් වීම. ඒ සඳහා අවශ්‍ය වී වර්ග සූදානම් කර ගැනීම ප්‍රධානයි.මහ කන්නයේ නිකිණි මාසයේ දී වැඩිමල් වී වැපිරිය යුතුයි.මාස් කන්නයේ වට වැස්සත් එක්ක ගංවතුර එනවා.එකතුවෙන රොන්මඩකන්දරාව නිසා ගොයම බටගස් වගේ හැදෙනවා.බාලවී නම් උඳුවප් ලබන්නට කලියෙන් වපුරා අවසන් කළ යුතුයි.නැතිනම් උඳු රැත්තට අසුවනවා.මේ මූලධර්ම අනුව  මම කන්නයට වගා කරන්නට පටන් ගත්තා. මේ අත්දැකීම් එකතු කරලා වී වගා කාල සටහනක් සකස් කර ගත්තේ 2001 දී පමණ ඒක සාර්ථක වුණා.බාහිර ගොවීන් සමග මේ දැනුම බෙදා ගත්තා.වරක් කුරුණෑගල කිඹුල්වානා ව්‍යාපාරයේ කන්න රැස්වීමට සාභාගි වුණා.උප දිසාපති තුමා ඉදිරියේ මගේ කාල සටහන ඉදිරිපත් කර ගොවීන් අතර බෙදා හැරියා.ඒ කන්නයේ ඒ ගොවීන් සිංහල අවුරුද්දට කලියෙන් වී වගා කරලා හොඳ අස්වැන්නක් ගත්තා. වැවේ වතුරත් ඉතිරි වුණා.

    පාරම්පරික වී ගොවියා කුඹුර කමත වගේ තැන් වල අනුගමනය කළ සිරිත් විරිත් රැසක් තිබුණා.කුඹුර පිරිතෙන් ආරෝපණය කලා.සකලයන් සහ වන සතුන්ගේ කරදර පාලනය කරගන්නයි ඒදේ කලේ.මේ ක්‍රමය මට අල්ලගන්න ටික කාලයක් ගත වුණා.වල් ඌරන් ගේ කරදරයක් මගේ වෙලට තිබුණා.පස්සෙ කරණය ගැන දැනගෙන ඒ අනුව වී වැපිරීමේ දී සිංහකරණයත් දිවි කරණයත් අනුගමනය කලා. ඒ වෑයම සාර්ථක වුණා. සබ්බ පාපස්ස අකරණං කියන ගාථාවෙන් පැළ වී පිරිත් කරලා වෙලට ඉස්සා.

 


 

උදැල්ලෙන් කොටලා ගොලු මඩට වී වැපිරුවා.දෙමේ කොටන කොට මඩ පිඩැලි අස්සෙන් රතු පණුවන් කලු පණුවන් මතු වන හැටි ආසාවෙන් බලා සිටි හැටි මතකයි. උදැල්ලෙන් කොටන විට ගවයන් යොදා සිංහල නගුලෙන් හාන කොට මේ තත්වය දියුණු වුණා. වපුරන වෙලාවෙ ලියැද්දේ මඩ කරියො මතු වුණා. ඇතැම් කන්න වල රුක්මල් පීදුණ හැටි බලන්න ලස්සණයි.නමුත් ට්‍රැක්ටරයෙන් හාන කොට මේ තත්වය වෙනස් වුණා. මොකද එහි නගුල් පද්ධතිය නොහාත් රොටරිය  මගින් පස විනාශ කරනවා. වැස්සට පස හෝදලා යනවා. අපේ වෙල් යායෙ ගොයම් කැපුවට පස්සෙ මී ගවයින් දානවා. එළ ගවයින් දිගේලි කරනවා.උන් දමන මුත්‍රා වලින් ගොම වලින් පඨවි ධාතුව පෝෂණය වනවා. ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය එන්න එන්නම වැඩි වෙනවා.මේ අතර මැල්ලවලාන ප්‍රේමරත්න මහතා කල අත්හදා බැලීම් ගොවිපළට යොදා ගන්නට අමතක කලේ නෑ.ශ්‍රී ක්‍රමය පැරෂුට් ක්‍රමය ඒ සියල්ල වරින් වර අත්හදා බලන්නට හැකිවුණා.

       කන්නෙට කතාවට නැකතට ගොවිතැන් කලාම යායට අරක් ගත් ගම්බාර දෙවියන් සිහිකර කිරි ආහාර පිදුවාම ගොවිපළ සරුවෙනවා.පොහොර සහනාධාරය මම කවදාවත් ගත්තේ නෑ. නමුත් වස විස නැතිව ගොවිතැන් කරන අනෙක් ගොවීන් ගේ අයිතිය වෙනුවෙන් කතා කිරීම නිසා මේ ළඟ දී අවුරුදක කාලයක් කාබනික පොහොර කියලා ජාතියක් මට ලැබුණා.ඒව හදලා තිබුණේ පුන්නක්කු එඩරු ඇට අඟුරු කුකුළු වසුරු ආදී ජාති වලින්. ඒවා වෙලට දැම්මම ගොයම් කරලට කිරි වැදීමට හොඳ බව පෙනුණා.ඉස්සර අපේ ගොවීන් ළඟ හිටිය ගවයන් මරණයට පත් වුණාම පොළවේ වළලලා වසර පහක් දහයක් තරම ගියාම ඇටකටු ගොඩ අරන් ගලක් උඩ කිතුල් කොට වංගෙඩියක් තියලා කටු පොඩි කරලා කුඩු කරලා ගොවිතැනට දානවා. ඒ නිසා කරල සරු වුණා .හොඳින් කිරි වැදුණා.කාබනික කියන වචනය නිකම් බොරු වචනයක්.විද්‍යාඥයන්ගෙ මනස්ගාතයක් මැදඋයන්ගොඩ විමලකිත්ති ස්වාමීන් වහන්සේ නම් කිව්වෙ සිංහල ගොවිතැන කියලයි.සොබා දහම ආශ්‍රය කරනගෙන කරන සිංහල ගොවිතැන තේරුම් කරගතහොත් ඉතාම අවම යෙදවුම් සහිතව ගොවිතැන පවත්වාගෙන යන්නට පිළිවන් හැබැයි.ගව සම්පත අවශ්‍යයි.ගවයා මස් කඩේට දක්කන එක නවත්වන්නට අවශ්‍යයි.

    ආණ්ඩුවේ වත්මන් කාබනික සංග්‍රාමය අසාර්ථක වේගන යන්නෙ රසායනික කෘෂීකර්මය වගේම යෙදවුම් මත යැපීම නිසයි.දශක හයක් පමණ කාලයක් රසායනික වස විස යොදන්නට පුරුදු වුණ ගොවීනට නැවත සිංහල ගොවිතැන කියාදෙන්න යම් කාලයක් අවශ්‍යයි.කැපවීම අවශ්‍යයි.පවට බයවීම නැති සමාජයකට මෙලොව පරලොව ගැන හිතන ගොවිතැනකට යන්න නම් විශාල පරිවර්තනයක් කළ යුතුයි. විශ්ව විද්‍යාල උගතුන් නිළධාරීන් වගේ ඉහල ස්ථරයේ පිරිස තුළත් මානසික පරිවර්තනයක් අවශ්‍යයි.විද්වත් පර්යේෂණ සිදු වන්නේ ඒ මත්තෙයි. .විජ්ජාවල් මවලා සංඛ්‍යා ලේඛන පෙන්නලා පොහොර උඩින් ජාවාරම් කරල රටේ ආහාර නිෂ්පාදනය වැඩි කරන්නට බැහැ.

මතුගම සෙනෙවිරුවන්

Tuesday, October 19, 2021

වී ගොවියාට සැබෑ වටිනාකමක් ලබා දෙන්නේ කෙසේද

 

 

 

                             


        බත් ප්‍රධාන ආහාරය වශයෙන් ගන්නා ආසියාතික රටවල් අතරින් ලංකාව ප්‍රමුඛ තැනක් හිමි කර ගෙන ඇත. වී පෑහීමෙන් සහල් ලැබෙන අතර සහල් තැම්බීමෙන් බත් ලබා ගත හැකිය.මෙම ක්‍රියාවලියේ තිබෙන වෙහෙසකර බව පූජාවලියේ මැනවින් දක්වා තිබේ.රතු කුරුට්ට සහිත සහල් ලැබෙන වී වර්ග බහුතරයක් අතීතයේ දී ගොවිබිම් වල දක්නට ලැබුණි.සම්බා වර්ග තිබුණේ අතලොස්සකි.වෙහෙස වී වැඩ කරන ජනතාවට රතු කුරුට්ට සහිත සහල ඉතා වැදගත් වු අතර එම බත් අනුභව කිරීමට විශේෂ රුචිකත්වයක්ද තිබුණි.විදේශ ජයගත් මහා පරාක්‍රමබාහු රජු සිය සංග්‍රාමයන් දියත් කරන කල්හි සහල් පිටරට පැටවූ බව ඉතිහාසයේ සඳහන්ය.ඒ සඳහාම වෙන්වුණු විශාල වැව් සහිත කෙත්යායන් නිර්මාණය කර ගැනීමටද රජු සමත් විය.  කුරහන් මෙනේරි තණ වැනි කටුසර ධාන්‍ය වර්ග වලින්ද පස්ගෝරස වලින්ද  ගොවියා ස්වයංපෝෂිතව සිටි බැවින් එකල ජනතාව දුගී බවට පත් නොවීය.

      බ්‍රිතාන්‍යයන්ට ලංකාව ගිවිසුමකින් ලබා දුන් පසු ඇතිවූ අරගල වලින් පසු මෙම ස්වයංපෝෂිත බව නැති විය. වතු වැවිලි වලට ඉඩම් යටවීමත් වැඩකළ හැකි පුරුෂයන් මරණයට පත් වීමත් වැව් කැඩී බිඳී යෑමත් සමග ජනතාව දුගී භාවයට පත් විය.මෙම පරිවර්තනය ඉංග්‍රීසි ආණ්ඩුවටද බලපෑම් ඇති කලේය. ඒ නිසා වැව් අලුත් වැඩියා කිරීමටත් ගොවිතැන නගා සිටුවීමට ජනපද ඇති කරලිමටත් ඔවුනට සිදු විය.එහෙත් යලි පුනර්ජීවනය ලැබුණේ අතීත ගොවිතැන නොවේ.රසායනික පොහොර පලිබෝධ නාශක සහිත යෙදවුම් කාෂිකර්මයයි. මේ නිසා නිෂ්පාදන වියදම වැඩිවුණු අතර නව අභිජනන බීජ නිසා අස්වැන්න වැඩි කර ගැනිමටත් හැකි විය.අතීත රජවරු ගොවියාට අවශ්‍ය යටිතල පහසුකම සකසා දුන් අතර ගොවිතැන දියුණු කරන ලද්දේ ගොවීන් විසින්මයි.කුඩා වැව් ඇළ මාර්ග අලුත්වැඩියා කර ගැනීමටද ගොවියාට හැකි විය. එහෙත් විසිවන සියවසේ තත්වය එසේ නොවේ.ගොවියාට මග පෙන්වීමට කෘෂිකර්ම නිළධාරීන් පිරිසක් බිහි වුණ අතර 1951 සිට ගොවීන්ට සහනාධාර දීමට ද ආණ්ඩු පෙලඹුණි.නවසිය හැටේ දශකයේ දී ඇති වූ හරිත විප්ලව ක්‍රියාදමය කලින් සැලසුම් කරලූවක් විය. රසායනික පොහොර පලිබෝධනාශක ආදිය සඳහා ආසියාතික රටවල වෙළෙඳ පළක් සෑදීම මෙහි අරමුණ විය. වී අභිජනන ක්‍රියාවලියට අතදුන් ආහාර හා කෘෂීකර්ම සංවිධානය හැට හැත්තෑව දශකයන්හි කල මැදිහත් වීම මත පැරණි ගොවියා රසායනික කෘෂිකර්මයට පරිවර්තනය විය. මේ නිසා අස්වනු වැඩිවුණ නමුත් ලෙඩ රෝගද පැතිරුණී..පැරණි රතු සහල් වෙනුවට සුදු සහල් රුචිකත්වය ප්‍රචලිත විය. සුදු සහල් සමග පාන් කෑමේ රුචිකත්වයද වර්ධනය විය.

    දැන් දශක හයක් පමණ ගතව ගොස් ඇත. වී නිෂ්පාදනය වැඩිවී රට සහලින් ස්වයාංපෝෂිත වී ඇතද ගොවියාගේ ජීවිතය තවමත් කරදරකාරීය. වරක් පොලොන්නරු ගොවීහු වී වලට මිලක් නොමැති බැවින් වස පානය කළහ.ඒ කාලයේ වී කිලෝවක් රුපියල් දහකටවත් විකිණිය නොහැකි විය.අනතුරුව මෑත කාලයේ දී වී ගැණුම් මිල යම් තරමකින් වැඩි වී තිබෙන නුමුත් ජීවන වියදම වැඩි වීමට සාපේක්ෂව  ගොවියා ගේ අතමිට සරු වන්නේ නැති බව පහත දැක්වෙන සංඛ්‍යලේඛන වලින් පැහැදලි වේ.

         වී කිලෝවකකට අවම වශයෙන් දැනට  ලැබෙන්නේ රුපියල් හැටදෙකකි.හැත්තෑවට සහ අසූවට ගන්නා සම්බා වර්ග ද ගතහොත් අක්කරයක් වැඩ කර ලබා ගන්නා අදායම මෙසේය.

අස්වැන්න - අක්කරයට බුසල් 100 ( වී කිලෝ 2100 )

ගොවීනට අතට ලැබෙන මුදල අංක 01 -රු.130200 ( 62 ×2100 )

අංක 02 -147000 (2100×70 )

අංක 03 -168000 (2100×80 )

අක්කරයක නිෂ්පාදන වියදම - රු. 40000 -50000

කන්නයකට ලාභය අංක 01 -90200 (මසක ආදායම -15033)

ලාභය අංක 02 -107000 (මසක ආදායම -17833 )

ලාභය අංක 03 -128000 (මසක ආදායම -21333)

 දැඩි ලෙස වෙහෙස මහන්සි වී ගොවියෙකු විසින් ලබා ගන්නා මෙම අදායම රජයේ කාර්යාලයක සේවය කරන සහායකයෙකුගේ ආදායමටද වඩා අඩුය.දරුවන් ලොකු මහත් කර උගන්නවා පහසු ජීවිතයක් ගත කිරීමට මෙම ආදායම කොහෙත්ම ප්‍රමාණවත් නැත.අස්වැන්න අඩු වුවහොත් නිෂ්පාදන වියදම වැඩි වුවහොත් මෙම ආදායමද පහළ බසී.වී මිළ තවත් වැඩි කළහොත් පාරිභෝගිකයා මත බර පැටවෙයි. සහල් මිළ වැඩි වන නිසාය.එම තත්වය මත ගොවියාගේ ආදායම වැඩි කිරීමට විකල්ප සොයායෑමට සිදු වේ. එකක් නම් වී නොව සහල් විකිණීමට පෙළඹවීමයි. වී කිලෝ 2100 න් සහල් ලැබෙන්නේ සියයට හැට දෙකකි.එනම් කිලෝ 1302 කි.  (පාරම්පරික වී නම් සියයට හැට පහකි) සහල් කිලෝවක් 100-120 අතර ගණනකට අලෙවි කළද ගොවියාගේ ආදායම වැඩි වන්නේ ඉතා සුළු වශයෙනි.ඊළඟ විකල්පය නම් සහල් වලින් පාන් ඇතුළු ආහාර ද්‍රව්‍ය නිපදවා අලෙවි කිරීමයි.මේ සඳහා ක්‍රම දෙකක් ඇත. එකක් සහල් පිටි බවට පත් කිරීමෙන් ආහාර නිපදවීමයි.. දෙවැන්න සහල් පිටි ද්‍රවයක් බවට පත් කර පාන් සෑදීමයි.. ද්‍රවයක් බවට පත් කොට පාන් හදන බේකරියක් බැලීමට වරක් ගාල්ලට ගියෙමි.එය සාර්ථක නිෂ්පාදනයක් බව ද පසක් කළෙමි.නමුත් ගොවියා රැක ගැනීමට හෝ ජනතාවට පහසු ආහාර ජාලයක් රටපුරා ඇති කිරීමට සමත් බලධාරීන් එකල දක්නට නොසිටියහ.

     ගොවියාට තිබෙන ප්‍රබලතම අභියෝගය නිෂ්පාදන මිළ දිනෙන් දින ඉහළ යෑමයි.රසායනික කෘෂීකර්මයට බැඳී දශක හයකින් පසු ඔවුහු එය වෙනස් කරලීමට උත්සාහ කරන පිරිසටද වෛර කරති.නමුත් නිෂ්පාදන මිළ වැඩි වන්නේ රසායනික ද්‍රව්‍ය සහ වෙනත් අමතර වියදම් නිසා බව කල්පනා නොකරති.නිෂ්පාදන මිළ අඩු කරලීමට තිබෙන එක විකල්පයක් නම් ගොවීන් සාමූහිකත්වයට පෙළඹීමයි.ට්‍රැක්ටර් වැනි යන්ත්‍ර වලින් සී සෑමට හූරු වූ කාලයක් බැවින් ගොවි කණ්ඩායාමකට එක් ට්‍රැක්ටරයක් තිබෙන්නේ නම් ඒ යන්ත්‍රය හැසිරවීමට ගොවි සාමාජිකයෙකු ම යොදවා සිටී  නම් කුඹුරු සැකසීමත් ගොයම් කපා පෑගීමත් යන අවස්ථෘ දෙකම ජය ගත හැකිය.

 මේ සඳහා රජය මැදිහත් වීම අත්‍යවශ්‍ය වේ. එසේම ගොවිතැන් කාලයකට ශ්‍රමය සැපයීමට අවශ්‍ය ගොවි හමුදාවක් රජය විසින් නඩත්තු කරන්නේ නම් ගොවියාට ඉන් ලැබෙන්නේ නොමද සහනයකි. මේ ක්‍රමය යටතේ අත්තම් සඳහා ගෙවන්නට වන මිළ යම් නිශ්චිත තත්වයක තබා ගත හැකිය.පොහොර සහනාධාරය දෙමින් ගොවියාත් රජයත් අතර පරතරයක් ඇති කර ගැනීම වෙනුවට ප්‍රායෝගිකව මේ ප්‍රශ්ණය විසඳා ගැනීමට කටයුතු කල යුතුය. එසේත් නැතිනම් ගොවීනට රුපියල් විසිදහසක ගොවි සහනාධාරයක් දිමට කටයුතු කළහොත් ගොවියාගේ ආදායම ඉහළ නැන්වීමට රුකුලක් ලැබෙනු ඇත. නමුත් දිගින් දිගටම මුදල් ලබා දීමෙන් මෙම ප්‍රශ්ණය විසඳිය හැකිනොවේ.මේ පිළිබඳ දීර්ඝ සංවාදයක් අවශ්‍ය වන අතර රටට බත සපයන ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් බව නැවත නැවත මතක් කර දිය යුතුය.මෙම ගොවි ගැටළු ඉතා ඉක්මනින් විසඳා නොගතහොත් ගොවීන්ගේ දරුවන් ගොවිතැන අතහැර නගරයට සංක්‍රමණය වීම වළක්වනු නොහැකිය.විදෙස් අත පෙවීම් දකින කල්හි මෙකී අරමුණ සඳහා පෙළඹවීමක් තිබෙන බවද පැහැදි වේ..

මතුගම සෙනෙවිරුවන්

 

 

Sunday, October 10, 2021

ඇදිහැස විස්කෝතු වලින් රටක් ලෙඩ වුණා -එන්නත් ගැහීමෙන් සිංහල ජාතිය වඳවෙයිද

 

 

 



        ඇමරිකන් ආධාර වලින් රටක් හසුරුවන්නට පිළිවන් බව අප දැන ගත්තෙ තෙල් ජනසතුව වෙලාවෙ ඔවුන් ජාත්‍යන්තරව කල බලපෑමෙන්.නමුත් ඒ වන විට සෝවියට් දේශය සමග ඇති කර ගත්ත එකඟතාවය මත ලංකාවට තෙල් ලැබුණ.ඛනිජ තෙල් සංස්ථාවත් පිහිටුවන්නට හැකිවුණා.ඇමරිකානු ආධාර අපට ලැබෙන්නට පටන් ගත්තෙ පණහේ දශකයේ දී.1954 දී ඇමරිකන් ජනාධිපති අයිසන්හවර් විසින් සකස් කළ P L 480 නම් නිතියක් යටතේ මේ ආධාර ලැබෙන්නට ආරම්භ වුණා.මේ වැඩ සටහන යටතේ 1958 දි විතර ලංකාවට කිරි පිටි ලැබෙන්නට පටන් ගත්තා. ලංකාවෙ ළමුන් මන්ද පෝෂණයෙන් පෙළෙන බවට කළ පූර්ව නිගමන මතයි මේ කාරණය සිද්ද වුණේ.ඒ එක්කම ඇමරිකන් ආධාර යටතේ ඇදිහැස නමින් යුත් බිස්කට් පාසල් වලට බෙදා හැරිය.

     මේ කාලයේදී බිස්කට් ලංකාවෙ එතරම් ජනප්‍රිය වුණේ නෑ.1939 දී ආරම්භ වූ විලියම් බිස්කට් කර්මාන්ත ශාලාවත් 1954 දී ආරම්භ වූ මැලිබන් බිස්කට් ව්‍යාපාරයත් නිසා ක්‍රමයෙන් බිස්කට් නැතිනම් විස්කෝතු  ජනතාව අතට ගියා.ලංකාවෙ මිනිසුන්ගෙන් බහුතරයක් කෑවෙ බත් කුරහන් මෙනේරි වගේ ආහාර.මේ ආහාර සංස්කෘතිය වෙනස් කරන්නට. ඇමරිකාවට අවශ්‍ය වුණා. සාමය සඳහා ආහාර යයි කියමින් ඇමරිකන් ආධාර වැඩසටහනක් වශයෙන් 1958 දි විතර පාසල් වලට කිරි ලබා දෙන්නට ආරම්භ වූ විට දරුවන් එයට මනාපයක් දක්වා නැහැ. රබර් කිරි වගේ දුගඳක් හැමීම ඊට හේතුවයි.ඒ කිරි ලබා දුන් විට ඉවත ට විසික් කොට දැමීම නිසා විදුහල්පතිවරයා වේවැල අතට ගත්තා.කොහොම වුණත් ඒ ආධාරය අසාර්ථක වුණා. ඊළඟට විලියම් බිස්කට් අයිතිකරු ඊට මැදිහත්ව ඇමරිකන් ආධාර වැඩසටහනක් වන කෙයාර් එක සමගින් අධි පෝෂණ ගුණයෙන් යුත් විස්කෝතුවක් නිෂ්පාදනය කලා.ඒකට කිව්වෙ ඇදිහැස කියගයි. ඇමරිකන් ආධාර සැමට සමසේ කියන එකේ කෙටි වදන තමයි ඒක .මේ විස්කෝතු ළමුන් අතර හොඟක් ජනප්‍රිය වුණා.1988 දක්වාම එම වැඩ සටහන ක්‍රියාත්මක වුණා. විස්කෝතු බනිස් පාන් වගේ තිරිඟු පිටි ආහාර ජනතාව අතරට ගියේ එහෙමයි.ඇදිහැස කිරිබීපු විස්කෝතු කාපු පරපුර මේ වන විට ලෙඩ වෙලා. දියවැඩියාව ප්‍රෙෂර් හාදයාබාධ වලින් ලෙඩ වෙලා. පසුගිය කාලෙ කොරෝනා වලින් මියගිය බොහෝ පිරිසක් එලෙස ලෙඩ වුණ අය බව සිතන්නට පිළිවන්.ඇමරිකන් ආධාර වැඩසටහන වන පී.එල්.480 නිසා තවමත් තිරිඟු පිටි සහාධාරය ක්‍රියාත්මකයි.දැන් චූන් පාන් නැතිව අපේ ජනතාවට උදේ වේල පිරිමහගන්න අමාරුයි.කිරිපිටි නැතිව හූල්ල හූල්ල පෝලිම් වල ලගින පිරිස අප්‍රමාණයි.දෙමළ මුස්ලිම් අයට මේ ප්‍රශ්ණ අඩුයි.ඔවුන්ගෙ ජනගහනය වැඩිවෙනව.සිංහල ජාතිය ක්‍රමයෙන් අඩුවෙලා යනව.

    දැන් ඇමරිකන් ආධාර වලින් යැපෙන ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ලංකාවට එන්නත් එනව.ඇමරිකාව මැදිහත් වීමෙන් හැදුව වෛරසයකට ඒ අයම එන්නත් හැදීම පුදුමයට කරුණක් නොවෙයි. ඒ මොකද වර්තමාන වෙළෙඳ මාෆියාවෙ හැටි එහෙම නිසා.ඉතින් ෆයිසර් මොඩර්නා එන්නත් දැන් ලංකාවට නොමිලේම දෙනව . ඒ වැඩ පිළිවෙල ප්‍රමෝට් කරන දොස්තරලට දේශපාලනඥයන්ට ආයතන ප්‍රධානීන්ට හොඳට සලකන බව ආරංචියි. පාසල් පටන් ගත්තම ඒ දරුවන්ට එන්නත් දෙන්න වැඩ පිළිවෙලක් හදල ඉවරයි.1960 දි වගේ විදුහල්පතිතුමා වේවැල අතට ගන්න ලෑස්ති පිටයි ඉන්නෙ. ඒත් මේ සැරේ ඒක ලේසි වෙන්නෙ නෑ.ළමුන්ට තරවටු කළහොත් මුල් ගුරුතුමාටත් නීතියෙන් තරවටු කරන්න රටේ සංවිධාන දැන් පෙළ ගැහිලා කියල ආරංචියි.

 

Sunday, October 3, 2021

ජනයාගේ ඉඩම්වල පුරාවස්තු කළමනාකරණය කිරීම

 


                                  

              ලංකාව පුරා සැමතැනකින්ම ‌ෙඑතිහාසික වටිනාකමකින් යුත් පුරාවස්තු රාශියක් හමු වී තිබේ.විහාස්ථාන නටබුන් ශිලා ලේඛන මෙන්ම වාරිමාර්ග නටබුන්ද ඒ අතර වෙයි.මේවායින් ඇතැම් පුරාවස්තු හමු වන්නේ ජනතාව සන්තක පෞද්ගලික ඉඩම් වලය.ඉංග්‍රීසීන් විසින් මුඩු බිම් පනත යටතේ රජයට පවරා ගන්නා ලද ඉඩම් පසුව වතු වැවිලි සඳහාද මධ්‍යම පන්තික පුද්ගලයන්ටද වෙන්දේසි කිරීම නිසා මෙවැනි තත්වයක් උදා වී තිබේ. උතුර සහ නැගෙනහිර පළාත් වල බහුතරයක් මෙවැනි ඉඩම් දෙමළ සහ මුස්ලිම් ජනයාට වෙන්දේසි කර තිබේ.පුරාවිද්‍යෘ ආඥා පනත යටතේ මෙවැනි පුරාවස්තු ගැසට් කර තිබෙන්නේ ස්මාරක වශයෙනි.එවිට ඉඩමේ අයිතියක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නෑත.එබැවින්  ඒ පුරාවස්තු සියල්ල බෙහෙවින්ම අනාරක්ෂිතය.වෙසෙසින් නැගෙනහිර සහ උතුරු පළාතේ තත්වය ඉතාමත් බරපතලය.කුඹුරු ඉඩම් වලට යාව පවතින ස්ථූප සහ ආරාම ගොඩනැගිලි වරින් වර ඩෝසරයට යටවෙයි.දිවයිනේ අනෙක් පළාත් වලද තත්වය තරමක් බරපතලය.ඉඩම අයිති කරුවා දෙමළ හෝ මුස්ලිම් පුද්ගලයෙකු නම් මෙම පුරාවස්තු විනාශ කිරිම හෝ අතුරුදහන් කරනුයේ ඉඩම් අල්ලා ගැනීමේ අරමුණින් සහ ආගමික වුවමනාවෙන්ය. සිංහල පුද්ගලයෙකු නම් ඉඩම් කට්ටි කිරීම හෝටල් සෑදීම වැනි විවිධ සංවර්ධන අවශ්‍යතා සඳහා පුරාවස්තු වනසා දැමීම සිදු කරයි.මෑතකදී පුරාවිද්‍යා දේපාර්තමෙන්තුව විසින් මඩකලපු දිස්ත්‍රික්කයේ ‌ෙඑතිහිසික ස්ථාන තිස්පහක පමණ මායිම් කණු සිටවා පැමිණි ඇත. මේ වන විට ඒම කණු ගලවා ගත් ප්‍ර දේහ වැසි ජනයා ගෙමිදුල් වල බංකු සාදාගෙන තිබේ.ජනයා සතු ඉඩම් වල තිබෙන පුරාවස්තු සම්බන්ධව කලුතර දිස්ත්‍රික්කයේ අත් දැකීම් කීපයක් බහාලීම උචිතයයි සිතමි.

     කලුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරකගොඩ ගනේ උඩ පවතින පුරාවිද්‍යා භූමියකට අත්වූ ඉරණමයි.ගම්පළ සහ කෝට්ටේ යුගයන්ට සමකාලීන වාස්තු ස්වරුපයෙන් යුක්ත මාළිගා භූමියක් මෙහි හමු වන අතර එම ස්ථානයේ දැනට විහාරස්ථානයක් පවතී.මෙම භූමියට ප්‍රවිශ්ඨ වීම පිණිස පුරාණයේ අඩි 30 ක පමණ පළලකින් යුක්ත පඩි පෙළක් තිබී ඇත.දළදා වහන්සේ වැඩැම්මවීම පිණිස අලි ඇතුන් ට ගමන් කිරීමට පහසු වනු පිණිස මෙම පඩි පෙළ සකස් කරන්නට ඇතැයි සිතමි.ඒ ආසන්නයේ ශිලාලේඛනයක්ද ඇත.අවාසනාවකට මෙම පඩි පෙළ පවතින්නේ පෞද්ගලික ඉඩමකයි.එහි රබර් වවා තිබුණි.මෙහි පැරණි අයිතිකරු කාලයක් තිස්සේ මෙම භූමිය ආරක්ෂා කරගත්තේය. ඔහු වයෝවෘද්ධ වීමෙන් පසු ඉඩම දරුවන්ට ලියා දෙන ලදී. පසුව දරුවන් විසින් ඉඩම කට්ටි කර බෙදා ගැනීමට බෙදුම් නඩුවක් දැමූ  අතර ඒ අතරවාරයේ එක්තරා දිනකදී  ඉඩම් කට්ටියේ  අයිතිකරු විසින් පඩිපෙළ ඩෝසරයකට යට කරන ලදී.නිදන් සෙවීමේ අරමුණින් හෝ ඉඩම් සුද්ද කිරීමේ අරමුණින් ඔහු එසේ කර ඇත. අවසානයේ බන්ධනාගාර ගතව දඩයකට යටත්ව නිදහස් විය.ඒ අගනා පඩි පෙළ විනාශ විය.



     මෙම දිස්ත්‍රික්කය තුල රයිගම් සහ පස්යොදුන් කෝරළ වල අනුරාධපුර යුගයට අයත් නටබුන් රාශියක් විසිර පවතී. විශේෂයෙන් කටාරම් කෙටූ ගල් ලෙන් විශේෂිතය.මෙම ගල් ලෙන් අතැම් විට ජනයා සතු ඉඩම් වලද වැවිලි සමාගම් සතු ඉඩම් වලද බහුලව දක්නට ලැබේ.රයිගම් කෝරළයේ ප්‍රබුද්ධගම අසල ගල්ලෙන කටාරම් කෙටූ විහාල ගල්ලෙනකි. වරාය නගරයට අවශ්‍ය ගල් ලබා ගැනීම සඳහා කලුතර දිස්ත්‍රික්කය තුළ ගල් කොරි රාශියක් මේ වන විට පිහිටුවා තිබේ.විවිධසමාගම් ගල් පර්වත ලබා ගැනීමට දැඩි කැමැත්තකින් පසුවේ.

 

යටකී. ප්‍රබුද්ධගම ගල්ලෙන තිබෙන පර්වතය වතු සමාගමකට අයත් බැවින් එයද ගල්කොරියකට ලබා ගැනීමට උත්සාම දරනු ලැබීය. මේ අවස්ථාවේ දී මදුරාවල ප්‍රා දේශීය ලේකම් තුමිය මැදිහත්ව මෙම ගල් ලෙන බේරා ගැනීමට කටයුතු කර ඇත.වලල්ලාවිට ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගුලවිට ගල්ලෙනකටද මෙවැනි ඉරනමක් අත් වන්නට තිබුණි.එයට හේතුව ගල්කොරියක් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේනුතව විසින්ම අවසර ලබා දීමයි.පසුව ගල් කොරියට ඉස්මත්තේ තිබෙන ගල්ලෙන තුළ ආදි මානවයාගේ ශිලා මෙවලම් හමු වීම නිසා ඒ ගල් ලෙනද බේරා ගනු ලැබිණ.

    මෙවැනි විනාශ කිරීම් මෙන්ම විනාශ කිරීමට උත්සාහ දැරීමද් අනන්ත අප්‍රමාණය. වර්තමාන සංවර්ධන ප්‍රවේශයන් තුළ ජාතික උරුමයන් සහ පරිසරය පිළිබඳ නිවැරදි තක්සේරුවක් නොතිබීම මෙයට එක් හේතුවක්ය.මෙම පැරණි නටබුන්  ආරක්ෂා කරලීමට පුරාවිද්‍යා ආඥා පනතේ .තිබෙන්නේ සීමිත ඉඩකඩක් පමණකි.ඒ. සෑම ඉඩමක්ම පවරා ගැනීමටද නොහැකිය.ඉඩම් භුක්තිය පිළිබඳ විවිධ ගැටළු දක්නට ලැබේ.හවුල් අයිතිය තිබෙන ඉඩම් පවරා ගැනීමද දුෂ්කරය.මෙවැනි ප්‍රශ්ණ වලට පිළීතරු සෙවීමට මෙතෙක් උත්සාහ දරා නොමැත.පුරාවිද්‍යා ආඥා පනත වෙනස් කිරීම පිණිස මේ වන විට යෝජනා කැඳවා ඇති බැවින් යම් විසඳුම් කීපයක් යෝජනා කිරීම උචිත යයි සිතමි. පුරාවස්තුව පවතින ඉඩමේ අයිතිකරු සහ පුරාවිද්‍යා නිළධාරීන් අතර තිබෙන සම්බන්ධය මෙහිදී මූලිකව වැදගත්ය.ඉන්පසු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා සහ අයිතිකරු අතර යම් ගිවිසුමක් ඇති කරලීම කල යුතු යැයි සිතමි.ඒ අනුව  කොන්දේසි ඇතුලත් කර  මෙම ස්මාරක නැවත ගැසට් කිරීම කල යුතුයයි සිතමි.මෙවැනි පියවරයන් මගින්  පුරාවස්තු නිවරදිව කළමනාකරණය කිරීමට හැකිවෙයි. ඒ සඳහා  නව විෂයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වන්නේ  ඉහත කී ගැටළු තත්වයන් නිසාය.නඩු පැවරීමෙන් සහ දඩ නියම කිරීමෙන් පමණකි පුරාවස්තු ආරක්ෂා වන්නේ නැත.

මතුගම සෙනෙවිරුවන්

Wednesday, September 22, 2021

කුරුන්දි විහාරය අරභයා පැන නැගුණු සුමන්තිරන් ගේ මනස්ගාත

 

 


 

                          

            උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ නැදුන්කර්නි හි පිහිටි කුරුන්දන් මලේ නම්එ‌ෙතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානය 1933 මැයි මස 12 වෙනි දින  දී  රක්ෂිතයක් ලෙසට රජයේ ගැසට් පත්‍රයේ( අංක 7981 ) පළ කර තිබේ.කුරන්දි අට්ඨ කතාව රචනා කරන ලද ස්ථානය යයි දැක්වෙන හෙයින් කුරුන්දපාසාක විහාරය යන නාමය එයට ඇති වන්නට අතැයි කියති.ක්‍රි.පූ. 109- 103 රජකල ඛල්ලාට නාග රජු විසින් මෙම විහාරය කරවා තිබේ. පසුකාලයේ දී මහ ඝන වනයට යටවුණු මෙම ස්ථානය විසිවන සියවස මුල් භාගයේ දී නැවත සොයා ගන්නට යෙදිණ.මෑත කාලයේ දී මෙම ස්ථානය ප්‍රසිද්ධියට පත් වූයේ පුරාවිද්‍යා නිළධාරීන් විසින් එහි මුර කුටියක් ස්ථාපනය කිරීමට ගිය අවස්ථාවේ දීය. පසුගිය යහපාලන රාජ්‍ය සමයේ දී දෙමළ දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි මෙම ස්ථානය මත කෝවිලක් සංවර්ධනය කරන්නට ගත් උත්සාහය මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.පසුව පූජ්‍ය රාජගිරියේ ශන්තබෝධි හිමියන්ගේ මූලිකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම කුරුන්දි විහාරයේ පුරාවිද්‍යා කැණීම් ආරම්භ කරන්නට යෙදුණි.     

      කුරුන්දි විහාරයේ දැනට සිදු කරන ලද කැණීම්වලින්   පළමු සහ දෙවැනි සියවස්වලට අයත් පුරාණ ස්ථූපයක කොටස්  ද ශිලාමය ගජස්ථම්භයක් හෙවත් යූප ගලක් ද මතු කරන ගැනීමට හැකි වී තිබෙන බව   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇත. දාගැබේ උතුරු, නැගෙනහිර,දකුණු සහ බටහිර දිශාවන්ට හසුවන සේ අගල් හතරක කැණීම් කටයුතු  ආරම්භ කරන්නට යෙදුණි. එම අගල්වල කැණීම් කටයුතු ඉදිරියට සිදු කරමින් පවතින අතර නැගෙනහිර දිශාවෙහි කැණීම් කටයුතු පමණක් මේ වනවිට අවසන් කර තිබේ.

නැගෙනහිර  අගලේ කැණීම් කටයුතු මඟින් දාගැබේ පුරාණ ස්වරූපයට  අදාල තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ. තුන්මහල පේසාව මෙහි ඇති වැදගත්ම වාස්තු විද්‍යාත්මක ස්වරූපයයි. පේසා වළලු සමඟ දැනට දාගැබේ සම්පුර්ණ උස මීටර් 03යි සෙන්ටිමීටර් 50ක් පමණ වන බවට  පුරාවිද්‍යා කැණීම් නිළධාරීන් දක්වති. නැගෙනහිර දිශාවේ කළ කැණීමේ දී  මල් ආසනයක් තබා ඇති බවට තහවුරු  වී තිබේ. එය කැබලී කිහිපයකට පුපුරා හැර තිබේ.ස්ථූපයට අයත් යූප ගලේ කොටසක් නැගෙනහිර අගලේ කැණීම් ස්ථරයෙන් ලබා ගැනීමට හැකි වී ඇත. .  යූප කෑබැල්ලේ ඉහළ අටපට්ටම් වේ. මේ අතර දකුණු පස අගලේ කැණීම් මඟින් මෙන්ම උතුරුපස අගලේ කැණීම් මඟින්ද දාගැබේ සලපතල මළුවට අදාළ  තොරතුරු ද අනාවරණය වෙමින් පවතී..

      මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් සිය ලංකාවේ ස්ථූප නම් ග්‍රන්ථයේ දක්වන පරිදි තුන් මහල් පේසාව විශේෂ වාස්තු විද්‍යාත්මක ලක්ෂණයකි. අනුරාධපුර යුගයේ මෙවැනි මාලක සහිත ස්ථූපයන් කීපයක්ම දැක ගන්නට ඇත.කණ්ඨක චේතිය මිරිසවැටිය අභයගිරිය උදාහරණ වෙති. මහාවංශයෙහි මෙවැනි මාලක වලට පුප්ඵාධාන නම යෙදී තිබේ.මල්පියවසා යන්න සිංහල ව්‍යවහාරයයි. එනම් මේ මාලකයන් හි මල් පිදීමට තැනක් වෙන් කරවා ගෙන තිබේ. කැණීම් වලින් මතුව එන්නේ මෙලෙස මල් පිදීමට යොදා තිබූ මල් ආසනයයි.යූප ගල  ඉන්ද්‍ර කීලය යනුවෙන්ද ගජස්ථම්භය යනුවෙන් ද දක්වා ඇත. ලක්ෂ්මන් ඇඹූල් දෙණිය විසින් රචිත පෞරාණීක චෛත්‍ය හා එහි විද්‍යාත්මක පසුබිම නම් කෘතියේ දක්වා ඇති පරිදි ස්ථූපයට ඉහළින් ආරෝපණය වන අධිවොල්ටීය ධාරාවන් මේ ගජ ස්ථම්භය තුළින්  භූගත වේ. මේ යූපය සඳහා මුල් කාලයේ යොදා ගෙන තිබෙන්නේ දඹ දැවයකි.ගෙරවිලි ගොරතර විදුලි අකුණු මැද මහ දඹ රුක උනු මගෙ අම්මා යයි ජන කවියා දක්වන්නේ දඹ දැවයේ විශේෂත්වයයි. යූපය ශිලාමය  ව්‍යවහාරක් වූ පසුව ස්ථූපයන්හි  භාවිතයේ පූජනීය බව මෙන්ම අධ්‍යාත්මික පසුබිමද ක්‍රමයෙන්  සංවර්ධනය වී තිබේ.යූපයේ අට පට්ටම් හැඩය වර්ධනය වී ඇත්තේ යටකී ආරෝපණ ග්‍රහණය කර ගැනීමටයි.

  කුරුන්දි විහාරයේ කැණීම් වලින් මතු කර ගත් යූප ගල ශිව ලිංගයක් බවත් මෙහි පවතින්නේ ශිව කෝවිලක් බවටත් තර්ක කරන පිරිසක් මේ වන විට බිහි වී තිබේ.කුරුන්දන්මලේ යනු දෙමළ ජනතාව වැඳුම් පිඳුම් කළ ස්ථානයක් බවත් පුරාවිද්‍යා නිළධාරීන් එම අයිතියට බාධා කරන බවද දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුමන්තිරන් මහතා මූලික අයිතිවාසිකම් නඩුවක් ද පවරා තිබේ.කුරුන්දි විහාරයට බලෙන් ඇතුලු වී එහි පැවති ස්ථූපයට හානි කරමින් කොන්ක්‍රීට් යොදා ත්‍රි ශූලයක් සවි කළ ආකාරය වාර්තාකර ඇත්තේ මීට වසර හතළිකට පමණ පෙරදීය.අසූව දශකයේදී කර්මාන්ත සහ විද්‍යා කටයුතු පිළිබඳ ඇමතිවරයාව සිටි සිරිල් මැතිව් මහතා මෙම විහාරය නැවත ප්‍රකෘතිමත් කිරීමට උනන්දුවක් දැක්වූ පුද්ගලයෙකි. 1980 ජූලි 30 දාතම යටතේ එවකට සංස්කෘතික කටයුතු ඇමතිවරයාව සිටි ඊ.එල්.බී හුරුල්ලේ මහතා වෙත ලියන ලද ලිපියට අදාලව පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි සද්ධාමංගල කරුණාරත්න මහතා වෙත 1981 මාර්තු 12 දින යවන ලද ලිපියක්ද රාජ්‍ය සංස්ථා බෞද්ධ සමිති සම්මේලනය විසින් 1981 සැප්තැම්බර් මස 01 දාතමින් යුක්තව නැවත සංස්කෘතික ඇමතිවරයා වෙත යවන ලද ලිපියක්ද 1983 දී යුනෙස්කෝව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ අඩංගු කර ඇත.දෙවනිව කියන ලද ලිපිය ආරම්භයේ දීම මෙම කෝවිල ගැන දක්වා ඇත.ඒ මෙසේය.

    ' පැරණි නෂ්ඨාවශේෂ ආරක්ෂා කිරීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ක්‍රමානාකූලව ලබා ගන්නා ලද අවසරය පරිදි පුරාවිද්‍යා නිළධාරි මහතෙකුගේ ප්‍රයෝජනය සඳහාද මහා සංඝයා වහන්සේ නමකගේ වාසය කිරීම සඳහාද අර්ධ තාවකාලික ගොඩනැගිලි ඉඳි කිරීමට අප සම්මේලනය ක්‍රියාකරගෙන යන කාලය ඇතුලත එම පුරාවිද්‍යා රක්ෂිත භූමියට ඇතුලත් වූ ද්‍රවිඩ ජාතික පිරිසක් විසින් පැරණි ප්‍රතිමා ගෘහයේ ගල් කුළුණු මත දැව කඳන් යොදා වහලයක් ඉඳි කොට රට උළු සෙවිලි කොට දේවාලයක් තනා ඇත. එම ප්‍රතිමා ගෘහය තුළ තිබුණු පත්මාසනය සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ පතුල් කොටස් අතුරුදහන්ව ඇති අතර එය පිහිටා තිබූ ස්ථානයේ කොන්ක්‍රීට් ලෑල්ලක් ඉඳි කොට ඒ මත ත්‍රිශූලයක් සවි කොට ත්‍රිශූලය ඉදිරිපිට පැරණි ගල් ආසනයක් තබා ඒ මත පහන් කපුරු දල්වා යූපස්ථම්බයේ කොටසක් ලෙස සැලකිය හැකි ගල් ටැඹක් මත පොල් ගසා ඒ තුළම ඔප මට්ටම් කරන ලද ගලින් ලිපක් බැඳ ගිනි මොලවා තිබුණි.එසේම මෙම ස්ථානයට යාබදව තිබුණු නටබුන් චෛත්‍යයයේ ගර්භය හාරා සමතලා කොට ඒ මත ත්‍රි ශූලයක් සවි කොට තිබේ.'     

 


    

 උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශයන්හි පවතින සියලුම බෞද්ධ පුරාවස්තු වල ත්‍රී ශූල සවි කරමින් කෝවිල් ඉඳි කරන්නට උත්සාහ කරන ඔවුන්ට න්‍යායත්මක පසුබිම සලසා දෙන්නේ යාපන විශ්වවිද්‍යාලයේ සිටින ඇතැම් ජාතිවාදී ආචාර්ය වරුන්ය. ඒ අතර පුරාවිද්‍යා කටයුතු වල යෙදී සිටින එක් පුරාවිද්‍යා මහාචාර්ය වරයෙකුද සිටී.විශ්ව විද්‍යාලයෙන් බිහිවී යන සිසුන් මේ විද්වතුන් ගේ දෙමළ ජාතිවාදී මත විශ්වාස කරති. මෑතකදී පුරාවිද්‍යාවට බැඳුණු උපාධිදාරින් ද ඉගෙන ගෙන ඇත්තේ මේ රටේ සිංහල ඉතිහාසය නොව ඊලාම් ඉතිහාසයයි. එවැනි තත්වයක් යටතේ යූප ගලකට ශිවලිංගයක් යයි කීමට පෙළඹීඹ පුදුමයට කරුණක් නොවේ. කණගාටුවට කරුණක් වන්නේ මෙරට විශ්ව විද්‍යාල පද්ධති වල සිටින ඉතිහාස ආචාර්ය මහාචාර්ය වරුන් හෝ පුරාවිද්‍යාඥයන් මෙවැනි දෙමළ ජාතිවාදී මත වලට ශාස්ත්‍රීයව පහර ගැසීට ඉදිරිපත් නොවීමයි.එම තත්වය තුළ මෙරට පමණක් නොව ජාත්‍යන්තරව පවා දෙමළ ජාතිවාදී ඉතිහාස මතවාදය හෙවත් ඊලාම් මතවාදය තහවුරු වන්නට අවස්ථාව සැලසී තිබේ.සුමන්තිරන් වැනි දෙමළ ක්‍රිස්තියානි ජාතිවාදීන් උත්සාහ දරනුයේ හින්දුත්වය පෙරට දමා බෞද්ධයන්ට පහරගසා මූලධර්මවාදී එවන්ජලිස්ත කල්ලි වලට උතුර බිලිදීමට ක්‍රියා කිරීමයි.එම ක්‍රියාව මනස්ගාතයකට වඩා එහා යන්නකි.

 

මතුගම සෙනෙවිරුවන්

 

 

 

 

Wednesday, September 15, 2021

 කතුවරයාගේ කෘති - නව වැන්න

යලට මහට කලට ගොවිතැන 

ප්‍රකාශයට පත් කිරීම - 2005

මෙම කෘතිය සිංහල ගොවිතැන පිළිබඳ දැනුම සංග්‍රහ කොට  ලියන ලද්දකි.


අන්තර්ගතය - පුරාණ පුස්කොළ ග්‍රන්ථයක් වන වැහි ලකුණු ශාස්ත්‍රය  මෙහි අඩංගු වේ. ඊට අමතරව යල් මෝසමට සහ මාස් මෝසමට ගොවිතැනෙහි නැකැත් සාදා ගන්නා ආකාරය ජ්‍යෙතිෂයට අනුව විග්‍රහ කිරීමද ඒ පිළිබඳව කරන ලද පර්යේෂණයන් ද මෙහි දක්වා ඇත.

කතුවරාගේ කෘති දසවැන්න -

මිහි මවට වස 

ප්‍රකාශයට පත් කිරීම -2013

නව සිය හැටේ දශකයේ සිට ඇරඹුණු හරිත විප්ලව ක්‍රියාදාමය නිසා සිංහල ගොවිතැන විනාශ මුකයට යෑමත් වස විස කැන්දන නූතන රසායනික ගොවිතැන හඳුන්වා දීමත් ගැන කෙරෙන පර්යේෂණාත්මක කෘතියකි.


කතුවරයාගේ කෘති එකොළොස්වැන්න -

වස විසට එරෙහි පාරිසරික නව නිපැයුම්

ප්‍රකාශයට පත් කරන ලද වර්ෂය - 2013

පරිසර හිතකාමී නව නිපැයුම් බිහිකරන ලද නව නිර්මාණ කරුවන් පිළිබඳව රිවිර පුවත් පතේ පළ කරන ලද ලිපි කීපයක් මුද්‍රණය කොට පළ කරන ලද්දකි.විශේෂයෙන්ම වස විස භාවිතය තුරන් කරලීම සඳහා කරන ලද නව නිපැයුම් විග්‍රහ කරමින් මෙම කෘතිය සම්පාදනය වී තිබේ.



කතුවරයාගේ කෘති දොළොස් වැන්න -

‌ෙඑතිහාසිත කූරගල පුදබිම නොහොත් ශ්‍රී පාද දිවා ගුහාව

ප්‍රකාශයට පත් කරන ලද වර්ෂය - 2013

කූරගල පුදබිම සම්බන්ධව කතුවරයා විසින් රචනා කරන ලද දෙවනි කෘතියයි.කූරගල නැවත බෞද්ධයන් වෙත දිනා ගැනීමේ අරගලය සහ ඒ පිළීබඳව අප්‍රකටව පැවති ලිපි ලේකන කීපයක් මෙහි අන්තර්ගතව ඇත.


කතුවරයාගේ කෘති දහතුන -

සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදාය 

ප්‍රකාශයට පත් කරන ලද වර්ෂය - 2014

සිංහල බෞද්ධයන් ගේ උරුමය විනාශ වී යෑම සම්බන්ධව දිවයින පුවත්පතේ ලියන ලද ලිපි පෙළක් නැවත සංස්කරණය කර ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම මෙහිදී සිදු ව ඇත. අතීතයේ තිබූ සිංහල බෞද්ධ රාජ්‍යය කුමක්ද එහි වටිනාකම් කුමක්ද සහ හර පද්ධතිය කුමක්ද යන්න විග්‍රහ කිරීම මෙහි තේමාවයි.



කතුවරයාගේ කෘති දාහතර -

හෙළය අවදිකරවන එස් මහින්ද හිමි කෞතුකාගාරය

ප්‍රකාශයට පත් කරන ලද වර්ෂය -2014

 පූජ්‍ය එස්. මහින්ද හිමි පිළිබඳ  මැද පෙරදිග හෙළ බිම සංවිධානය විසින් කරන ලද අනුස්මරණ වැඩ සටහන ට සමගාමීව දහම් පාසල් තරඟාවලිය ක් පවත්ව න ලද අතර ජයග්‍රහණය කරන ලද සිසු සිසුවියන්ට තෑගි ප්‍රදාණය කරන ලදී. මේ අවස්තාවේ දී ඉදිිරිපත් කරන ලද අදහසක් අනුව එස්. මහින්ද හිමි අවසන් වරට වැඩ සිටින ලද මහ බෙල්ලන සුධර්මාරාමයේ කෞතුකාගාරයක් ඉඳි කරන ලදී.මෙම කෞතුකාගාරය කතුවරයා විසින් නිර්මාණය කරන ලද අතර මූල්‍ය අනුග්‍රහය සපයන ලද්දේ හෙළබිම සංවිධානය විසිනි. මෙම කෘතිය එම කෞතුකාගාරය සහ පූජ්‍ය එස්. මහින්ද හිමි යන් සම්බන්ධ ශාස්ත්‍රීය ලිපි අරභයා රචනා කන ලද්දක්.