පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, February 28, 2013

අපේ මුතුන් මිත්තන්ගේ දිව්‍ය ඖෂධ

                                        

         චරක සංහිතාව සුශ්‍රැතය යනුවෙන් අද භාවිතා වන්නේ ආයුර්වේද මූල ග්‍රන්ථයන්ය.ඒවා පරිස්සමින් කියවා ගෙන කල්හි තේරුම් ගත හැකි එක් දෙයක් ඇත. මේ වෙදකම ඉසි වරුන් ගේ අභාෂයමත ගොඩ නැන්වී විකාශනය වූ මෙහි දැක්වෙයි. පුලතිසි ධන්වන්තරී වැනි ඉසි වරුන් තමන්ගේ අධ්‍යාත්මික ශක්තිය මෙහෙයවා මේ දැනුම සංග්‍රහ කල ආකාරය මැනවින් පැහැදිලි වේ. මොවුන් දිව්‍ය ආත්ම දරන්නන්ද එසේත් නැතහොත් දිව්‍ය අවේශයන් මත ක්‍රිය කරන්නන්ද යන්න අවිනිශ්චිතය. නමුත් ධ්‍යාන බලයෙන් ලබා ගත් දෙයක් තම සිසුන් හා සාකච්ඡා කරමින් ලොව හිත සුව පිණිස යෙදවීම එහිදී අනුමතකර ඇත. මෙහිදී අපේ වෙද පොත් වල දක්නට ලැබෙන එක් වගන්තියක් කෙරෙහි අවධානය යොමු කළ හොත් මේ පැණයට  යම් කිසි පිළිතුරක් ලබා ගත හැකිය.
      අපේ පැරණි වෛද්‍ය ග්‍රන්ථයන් ලියන ලද පුස්කොළයන් දුරාතීතයේ සිටම වර්ධනය වූ ලේඛන කලාවක උපරිම අවස්ථාවකි. මෙහි අන්තර්ගත දෑඅතර අත් දුටුවයි සත්තයි ප්‍රත්‍යක්ෂයි යන වගන්තියද දිව්‍ය ඖෂධයක් හා සමානය යන වගන්තියද නිතර දක්නට ලැබේ.  අත් දුටුවයි සත්තයි යන්න ලැබෙන්නේ කළ පළපුරුද්දෙනි.ඇතැම් බෙහෙත් වට්ටෝරු නිතර යෙදීමෙන් භාවිතය මත ඒවායේ මනා ගුණයන් පැහැදිලි වී තිබුණි.එහි ඖෂධවේදය ගැන ඇතැම් විට ගැඹුරින් නොදැන හිටියද රෝගියාට ඉන් සුවයක් ලබෙන බව වෛද්‍යවරු දැන සිටියහ.
    බොහෝ විට ස්ත්‍රී රෝග හා ගැබිණි චිකිත්සාවේ දී දක්නට ලැබන ඖෂධ අතර දෙවියන් ගෙන් ලබා ගන්නා බෙහෙත් බහුලය. දෙවියන් යනුවෙන් මෙහිදී හඳුන්වනු ලබන්නේ මනුෂ්‍යයන් වෙත විවිධ පණිවුඩ ලබා දෙන්නන්ය. සිහිනෙන් හෝ වෙනත් අධ්‍යාත්මික බලයකින් මෙම බෙහෙත් පිළිබඳ දැනුම ලැබෙන බව පැරණියන් ගේ මතයයි. රජරට කුඹුරු වල පසෙහි ආසනික් තිබෙන්නේ යයි දෙවියන් ගෙන් ලැබ ගත් දැනුමකින් කියවුණි. එය දැන් නවීන මත අනුව ද ඔප්පු වී ඇත. එම වකුගඩු රෝගයටද දැන් එසේම බෙහෙත් ලබා දේ. මේ පහත පළ වන්නේ දරුවන් නැති කාන්තාවන්ට ලබා දුන් ආහාරමය ඖෂධයකි.එයද දිව්‍ය ඖෂධයකි.
      අරලු බුලු නෙල්ලි සමසේ ගෙන මදක් තෙරපා කුරුම්බා ගෙඩියක් ඇතුලේ දමා පියන වසා තබා පසුව එම පැන් පෙරා ගෙන දරුවන් නැති කාන්තාවට පොවීම පළමු පියවරයි.ඉන් පසු දෙමට කොළ පිල කොළ  එක පමණට ගෙන කොටා හීනටි නම් පාරම්පරික සහල් පිටි මේ යුෂයට කලවම් කොට කබලු නෙහොත් රොටි පුලුස්සා  දියකාවාගේ මස් ඇඹුල් නොදා උයා ගෙන රොටි සමග අනුභව කිරීම මේ බෙහෙතයි. මේ දරුවන් වැදූ මවකට නිර්දේශිත කිරි එරෙන බෙහෙතකි. මඟුල් කරඳ මුල් සිනිඳු කොට ලියා කුඹුරු දලු හීනටි හාල් එක්ව අඹරා එයින් කැවුම් උයා ගිතෙලින් අනා කෑ යුතුය.
          මේ ආකාරයට අපගේ පැරණියන් ළඟ වූ හස්තසාර ඖෂධ රාශියකි. පැරණියන් ආතුර පරායණයෙහි නොහොත් ලෙඩා මූලික ව පමණක් කටයුතු නොකළහ. ඒ වෙනුවට ස්වස්ථ පරායණයෙහිම යෙදුනහ. සුවය අරභයා කළ හැකි වත් පිළිවෙත් ම ඉටු කළහ. ආහාර පාන විහරණ යනු ත්‍රීත්වයම ඖෂධීය වශයෙන් ගෙනන කටයුතු කළහ.එය වර්තමාන ආයුර්වේද චිකිත්සාවේද යොදා නොගන්නා ක්‍රමයකි. මෙහි දැක්වෙන බෙහෙත් වට්ටෝරුවලින් හෙළි වන්නේ එයයි. පහත පෙනෙන ඖෂධය බහුලව යෙදෙන ලෙඩ රෝගයකට පිළියමකි. අන්ඩ වෘද්ධිය ජල වෘද්ධිය හා වාත වෘද්ධිය යනුවෙන් උදරය පහළ කොටසේ අණ්ඩයේ හට ගන්නා ලෙඩ පිරිමි පක්ෂයට බහුලව වැළදේ. ඉනුත් වාත වෘද්ධය නොහොත් අණ්ඩ වාතය වේදනා කාරීය. බලන්න මේ ඖෂධයෙන් නොහොත් ආහාරමය ඖෂධයෙන් බෙහෙතක් සකස් කර ගත්අන්දම. එය දැක්වෙන්නේ මෙසේය.
          අරලු බුලුනෙල්ලි ඉඟුරු ගමිමරිස් අබ වදකහ සුදු ලූණු කරාබු වාසාවාසි සාදික්කා පෙරුන්කායම් සහිඳ ලුණු තිප්පිලි මේවා කලන් තුන බැගින් ගෙන අව්වේ වියළා සියුම්ව කුඩුකර ඒ බරට බරක් හිනටි පිටි එක් කර ඒ සියලු බරට කිතුල් හකුරු කිරා එකට අනා ගත යුතුය. ඉන්පසු නැවුම් මුට්ටියක් ගෙන එයට තුන් කාලක් පමණ වන තුරු දලුක් පලු පෙති ගසා දමා ඉතුරු කොටසට කුරුම්බා ගෙඩි හතරක පමණ වතුර දමා මුට්ටියේ කඩ පිම්ම බැඳිය යුතුය. මේ කඩ පිම්ම උඩ ඉහත සඳහන් ද්‍රව්‍ය කෙසෙල් කොළයක ඔතා තබා හොඳින් තැම්බෙන්නට හැරිය යුතුය. පිට්ටුව තැම්බුනායින් පසුව බෝතලයක අසුරා ගෙන එක් වරකට නෙල්ලි ගෙඩියක් පමණ උදේ හවස අනුභව කළ යුතුය.  මේ බෙහෙතෙන් තුන් දොස් සමනය කරන ගුණය මෙන්ම වාත කොපය නසන ගුණයද අන්තර්ගතය බඩේ කෑ ගැසීම් කොරවීම් පහ කරන මෙම ඖෂධය දලුක් පලු යුෂයෙන් නැගෙන සගන්ධ ශිලීතෙලේ වාෂපයෙන් තම්බා ගැනීමම දිව්‍ය ඖෂධ ගුණය ඉස්මතු කර පෙන්වන්නකි.කුරුම්බා වතුරෙන් දලුක් වල විස නැසෙන අතර එහි පවතින ඖෂධ ප්‍රභාවය ඉදිරියට ගනී. නිතර ගන්නා පිට්ටු ඖෂධයක් වන්නේ සිවස්ථ පරායණයෙහිම අරමුණු තිබූ බැවින්ය. මේ තවත් බෙහෙතකි.
            නවසි කුරුම්බා ඇට්ට හිරමණයෙන් ගා ගෙන හීනටි හාල් පිටි සමග කලවම් කොට ගොලගැට නන්වා කඩ පිම්මේ දමා තම්බා කිතුල්පැණි සමග වැළඳීම මෙහි ක්‍රමයයි. මෙම ඖෂධය ගැනීමෙන් බඩේ නිතර ඇති වන කෑ ගැසීම් බඩ පුරවා දැමීම් මෙන්ම වාත කෝපකර ටික ටික බඩ එළිය යාම් ද නවත්වා ගත හැකිය. පොල් පවුලේ සමාජිකයෙකු වන නවසි ගස ලංකාවේ ජනතාවට ආගන්තුක නොවේ. තැඹිලි කුරුම්බා කුන්දිරා රන් තැඹිලි හා නවසි අතරින් ඖෂධ පිණිස ගැනෙනවානම් වැඩියෙන්ම ගැනෙන්නේ නවසිය. ඒ තුන් දෙස සමනය කරන ගුණයක් එහි පවතින බැවිනි.
   මේ සියලු බෙහෙත් වට්ටෝරු වලට හීනටි හාල් ගැනීමදමෙහිදි වෙසෙසින්ම සගකා බැලිය යුත්තකි. බත් වශයෙන් ගැනිමට වඩා අපගේ පාරම්පරික සහල් වල පවතින මේ ඖෂධ ගුණයන් ඉස්මතු කර යොදා ගැනීම සිංහල වෙදකමේ සිරිතයි.එම නිසා සෑම  කුඹුරකම කොටසක් හීනටි වගාව සඳහා යොදා ගැනීමට තිබූ සම්මතය පැරණියන් ගේ යහ ගුණයන් හෙළි කරන්නකි.
                    

Saturday, February 23, 2013

2013-02-24


                                බටහිර විද්‍යාව නුදුටු සුජාත දියණිය හලාල් කළ දේශපාලනය

 

      ලංකාවේ වාරි මාර්ග පුනරුත්ථාපනය යළි ඇරඹි යටත් විජිත සමයේ දී රජරට වැවු සාගරයන්හි තිබූ සොරොවු සහ නිර්මිතයන් දුටු ඉංග්‍රීසි ජාතිකයින් විශ්මිත වූ බව ඔවුන් ගේ ලියවිලි වල විච්චූරණ සහිතව සටහන් කර තිබේ. අමුඩේ ගසා හිණට වස්ත්‍රයක් පමණක් ඇති සිංහළයින්ට මේ සා විශාල වැඩ කළ හැකි තාක්ෂණයක් භාවිතා කළ හැකි දැයි නිකමට සිතූ ඔවුහු සිංහළයින්ටත් වඩා සමත් ලෙස ඒවා ප්‍රතිසංස්කරණය කළ හැකි යයි කල්පනා කොට දෙපාර්තමේන්තුවක්ද පිහිටුවීම දක්වා කටයුතු කළහ. නමුත් ආරම්භයේ දීම ඔවුන් වැඩේ අනා ගත්හ. හැදූ වැව් ද අමුණු ද ගංවතුරාවට කැඩී ගියේය. මිනිසුන්ගෙන් මුදල් ගෙවා වැඩ ගන්නට ගොස් තවත් වරක් ඔවුන් අමාරුවේ වැටුණු බව සඳහන්ය. මේ ඉංජිනේරුවරු වැව දුටුවේ පොකුණක් විලසය. ඔවුහු වැව්වල බිසෝ කොටු ඇතැම් විට වෙනස් කළහ. මඩ හොරොව් වසා දැමීමට කටයුතු කළහ. මේ නිසා ඉතා ඉක්මනින් වැව්වල රොන් මඩ කට්ටි කපා ඉවත් කිරීමට සිදු විය. නැවත ඔවුන්ගේ මග ගත් වර්තමාන කලු සුද්දන් ද යෝධ ඇලේ ඉසව්වන් වෙනස් කොට එහි ආත්මය විනාශ කළහ. බටහිර විද්‍යව හා තාක්ෂණය හිසින් ගත් දැනුම් පද්ධතියකින් හසුරුවන ලංකාවේ ඉංජිනේරුවන්ට තවමත් වැව හා අමුණ හඳුනා ගත නොහැකිය. වැව හා අමුණ යනු සිංහළයින්ගේ ජීවන පැවැත්මේ කොටස් බව දන්නෝ ද අද ඉතා අල්පය.

     දහ හත් වන සියවසේ යුරෝපයේ වගාවන්ට වෙසෙසින්ම අර්තපල් වගාවට පැතිරුණු වසංගත තතවයන් නිසා ආසනික් නම් රසායන ද්‍රව්‍ය ඉසීමට කටයුතු යෙදූ අන්දම ඉතිහාසයෙන් දැන ගත හැකිය. කොපර් ඇසටො ආසනයිට් නොහාත් පැරිස් ග්‍රීන් යනුවෙන් හඳුනවන ලද මේ සංයෝගය 1760 වසරේ දී ලුවිස් කැලිඩේ නම් පුද්ගලයා සැදූ ආසනික සංයෝගයේ වැඩි දියුණුවකි. පසුව මේ ආසනික් යෙදිම මනුෂ්‍ය සංහාරයක් දක්වා දුර දිග ගියේ 1961 වසරේ දී වියට්නාම් යුද්ධයේ දි ඒවා යෙදීම නිසාය.ඒජන්ට් බ්ලූ නම් වූ ඒ සංයෝගය ගුවනින් ඉස ගරිල්ලන් මැරීමට තැත් කළ අතර ඉන් විශාල ජීවිත ව්‍යසනයක් හා පරිසර ව්‍යසනයක් සිදු විය. ආසනික් යන ද්‍රව්‍ය අප දේශියව හඳුනාගන්නේ පාෂාණම් විශේෂයක් වශයෙනි. පුරාණ කාලයේ සිට මේ ද්‍රව්‍ය නොයෙකුත් රටවලින් මෙරටට ආනයනය කලේ එහි පවතින ඖෂධීය ගුණය හේතුවෙනි. ආයුර්වේදයේ බලගතු ඔසුවක් වන පාෂාණම් කරවිල ගෙඩියේ දමා විෂ මරාපසුව උණු අලු පල්ලේ දමා තම්බා ගැනීමෙන්  පසුව ඖෂධ පිණිස යොදා ගනිති. අපගේ බෙහෙත් ගුලි කල්ක වලට පාෂාණම් බහුලව යොදා ගත් ආකාරය වටිකා ප්‍රකරණය නම් වෙද පොතෙන් හෙළි වේ. හරිත රසායන ක්‍රම වේදයක් මගින් විස මරා එහි ප්‍රභාව ඉස්මතු වන සේ එහි අභ්‍යන්තරයේ වෙනස් කම් ඇති කිරීම දේශිය දැනුම පද්ධතිය අනුදත් පිළිවෙල විය. ඒවා මනුෂය ඝාතනය පිණිස හෝ සත්ව ඝාතනය පිණිස යොදා නොගැනීමට තරම් හික්මීමක් පුරාණ ජන සමාජය සතුව තිබුණි.

        මණුෂ්‍යයාගේ හිත සුව පිණිස එලෙස යොදා ගත් පාෂාණම් පස් වර්ගයක් එකතු කර විස ගලක් නිර්මාණය කර සර්ප දෂ්ඨයකදී  විස ඉරීම සඳහා යොදා ගැනීමද කර තිබේ. විසෙන් විස නැසෙන්නේ යයි කතාවක් ඇතිව තිබෙන්නේ මේ නිසාය. බටහිර විද්‍යාවත් දේශීය පාරම්පරික දැනුම් සම්භාරයත් වෙනස් වන්නේ මෙතනදීය. අපේක්ෂා අරමුණු සහ  පරමාර්ථ සකස් කරන සංස්කාතික හර පද්ධතිය මෙහිදී විද්‍යාවේ දැනුමේ පසුබිමෙන් වෙයි. බටහිරයන්ට නොමැතිව තිබෙන්නේද මේ හර පද්ධතියයි. එවැනි හර පද්ධතියක් තිබුණේ නම් වියට්නාම් යුද්ධයට ඒජන්ට් බ්ලූ යොදා ගන්නේ නැත. යටත් විජිත පාලනය නිසා මේ අගනා හර පද්ධතිය අපෙන් ගිලිහී යාමේ ප්‍රතිඵලය නම් දැනුම පිණිස බටහිරට ණය ගැතිවීමයි. ඒ නිසා වත්මන් විද්වතුන් අන්ධානුකරණයෙන් මේ නව තාක්ෂණය බදා ගැනිමට උත්සාහ දරමින් සිටී.බටහිර විද්‍යාව යනු දේව භාෂිතයක් ලෙසට සැලකීමක් වරත්මාන සාමාජය තුල වෙයි.       පලිබෝධනාශක වල ආසනික් අඩංගු යයි ස්ථිර වශයෙන්ම සොයා ගත්තේ තැළණිය සරසවියේ විදවතුන් කණ්ඩායමක් විසිනි. ඔවුහු භාවනා ක්‍රමයක් මගින් මේ පණිවුඩය ලබා ගෙන ඇත. නමුත් එය ජනතාවට තහවුරු කර පෙන්වීම පිණිස නවීන තාක්ෂණික උපකරණ යොදා ගත්හ. එහි වරදක් ඇතැයි මම නොසිතමි. වර්තමානයේ බොහෝ විද්‍යගාරවල කෙරෙන්නේ නවීන තාක්ෂණය පිහිටෙන් බටහිර මත තහවුරු කරලීමට කාලය වැය කිරිමයි.

    මේ අවදියේදී ඉතාමත් ජනප්‍රිය වූ රූපවාහිනී ටෙලි නාටක මාලාවක් වන සුජාත දියණිය රූප රාමු පෙළක එන සිදු වීමක් මෙහිදී මතක් කරලීමට කැමැත්තෙමි. එහි ප්‍රධන චරිතය වන චන්ගුමිය හෙද නිළධාරිණියකි. ඇය පසල් දනව්වක ඇතිවූ වසංගත තත්වයක් මැඩලීමට පර්යේෂණ ආරම්භ කරයි. එහිදී ඇය නිරීක්ෂණ වශයෙන් පරිසරයෙන් බොහෝ දේ ලැබ ගන්නා අතර ලෙඩ  රෝග වැළඳුණු එළවුලු ජනතාව විසින් ආහාරයට ගැනීම මෙම වසංගතයට ප්‍රමුඛ හේතුව බව සොයා ගැනීමටද සමත් වෙයි. නමුත් රජ වාසලේ ප්‍රධානීන් මෙම සොයා ගැනීම ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් ගේ නිගමන අනුව වසංගත ඇතිවුණු  ගම්  ගිනි තැබීම සිදු වෙයි. නමුත් චන්ගුමී විසින් නිවරදිව ඉදිරිපත් කරන ලද දත්ත හා ප්‍රතිකාර නිසා රෝගීන් සුව පත් වීමෙන් ඇය ජනතා ප්‍රසාදය දිනා ගැනීමට සමත් වෙයි.

      රජරට වකුගඩු රෝගය ට හේතුව ගැන සෙවීමේ දී මේ රටේ විද්වතුන් ද කටයුතු කලේ ඇස් කන් නෑසු පරිද්දෙන්ය. ඔවුහු පිටරටින් දුන් මුදල් සම්භාරයන්ට ගිජු වෙමින් එවා නාස්ති කරමින් රෝගයට සැබෑ හේතුව මග හැරියහ. දේශපාලන බලධාරින්ද රජරට රෝහල් වල වකුගඩු පිරිසිදු කරලීමේ යන්ත්‍ර සවි කරලීමට කෝටි ගණන් මුදල් වැය කිරිමට උත්සාහ ගත් අතර ඇතැම් නායකයින් රජරටට පිරිසිදු ජලය සැපයීමට ජල සම්පාදන ක්‍රමයක් ඇති කරලීමට වාහල් කඩ වැව උපයෝගී කර ගන්නා බවට පොරොන්දු දුන්හ. මේ කිසිවකින් රෝගයට මූලික හේතුව බැහැරකිරිමට පිටුබලයක් ඇති නොවන්නේයයි කිසිවකුත් සිතුවේ නැත.පලිබෝධනාශක වල සුලු වශයෙන් ආසනික් අඩංගු වීම ප්‍රශණයක් නොවන බවට පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා කළ ප්‍රකාශය බරපතලය.  යුරෝපයෙන් ඉවත් කරන ආසනික් අප ද්‍රව්‍යයන් පලිබෝධනාශක වලට කලවම් කර බහුජාතික සමාගම් විසින් මෙරට ආනයනය කරන බව ඔප්පු වූයේ කැළණි සරසවියේ කණ්ඩායමේ පරීක්ෂණ නිසාවෙනි. මේවාද පිළිගැනීමට රජය මැළි විය. නිළධාරින්ද මැළි විය. ඒ මුදලට තිබෙන ගිජු කම නිසාය. නමුත් දැන් ලෝක සෞඛ්‍ය  සංවිධානය ද මේ සොයාගැනීම අනුමත කර ඇති බැවින් රජයටද කළ හැකි කිසිවක් නොමැති වී තිබේ.  

   මේ කතාව  මහාචාර්ය නලින්ද සිල්වා මහතා විසින් ලියන ලද බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ නම් කෘතිය තුලින් සාකච්ඡා කෙරේ. නලින්ද සිල්වා මහතා නොවන්නට කැළණිය සරසවිය තුල මෙවැනි පර්යේෂණයක් දියත් කිරීමට අවස්ථාව නොලැබෙනවා නො අනුමානය. ඒ තරමට මෙරටට ගැලපෙන දැනුම මෙරට බුද්ධිමතුන් විසින් හරාම්(තහනම් ) කරතිබේ. එසේ වූ කල්හි සුජාත දියණිය හලාල් (අනුමත) කර ඇත්තේ ඇයිදැයි  අප මදක් කල්පනා කළ යුතුව තිබේ. ආසියාතිකරයේ පාරම්පරික දැනුම අගය කරමින් ඒ පුරුෂාර්ථ  වලට නව වටිනාකමක් දෙමින් නිර්මාණය කර ඇති සුජාත දියණිය අගනා කතා වස්තුවකි. නොයෙකුත් ශාක වර්ග පාරම්පරික දැනුම අනුව රස ගුණ සපිරිව සකස් කර ගැන්මට එහි ඉදිරි පත් කර තිබෙන ක්‍රමවේදය අති විශිෂ්ඨය. පුරාණ සිංහල සූප ක්‍රමවලට එහි සමාන කමක් තිබේ. එසේම එහි ආසියාතිකරයේ පවතින බල අරගලයේ දේශපාලනයද මැනවින් කියැවීමකට ලක් කර ඇත. එසේ  වූ විට මෙම නාටකය හලාල් කර ඇත්තේ ඇයි දැයි සාකච්ඡා කළ යුතතේ මෙසේය.

   ලංකාවේ හරාම් සහ හලාල් යන වදන් දෙකට ඇත්තේ කෙටි ඉතිහාසයකි. නමුත් මේ රටේ පුරාණයේ සිට භාවිතයේ තිබූ  බලගතු ඖෂධයක් වන ත්‍රෛයිලෝක විජය පත්‍ර නොහොත් කංසා තහනම් කර තිබෙන්නේ දහනව වන සියවසේදීය. ගව ඝාතනය හා ගව මස් බුදීම මෙරට සංස්කෘතියට අනුව හරාම් වුවද  යුරෝපීයන් විසින් එය මෙහිදී හලාල් කර ඇත. එම නීතිය තවමත් අකුරටම ක්‍රියාත්මක වෙයි. දේශපාලනයේ ද සංස්කෘතියේද මේ ආකාර උදාහරණ රාශියක් ගෙන හැර දැක්විය හැකිය. ඒ අනුව මෙරට පාසල් වලට බටහිර දැනුම හලාල් වන අතර දේශිය දැනුම හරාම් වේ. මේවා ද හලාල් කර ගැනීමට අවශ්‍ය නම් පිටරට ව්‍යාපෘතියක් ඔස්සේ පැමිණිය යුතුය. මේ ව්‍යපෘති වලට අනුව සිංහල වෙදකම් විකල්ප වෛද්‍ය ක්‍රමයකි. එහිපවතින පත්තු මැල්ලුම් තෙල් වර්ග යෙදීම නිශ්ඵල වෑයමකි. රත කල්කය කුඩා දරුවන්ට හරාම් බවට පත් කර ඇත. විදේශිකයින් සම්බාහනයට නම් අවශ්‍ය පරිදි ආයුර්වේද ක්‍රමවේද යොදා ගත හැකිය.දේශිය වෛද්‍ය ඇමතිවරයෙකු පත් කර තිබෙන්නේ ඒ සඳහාය. ඒ අතර  සුජාත දියණිය හලාල් කර තිබෙන්නේ වෙන කිසිවක් නිසා නොව කොරියාවෙන් ලැබෙන මුදල් ආයෝජනයන් නිසාය. කොරියාව අතීතයේ  හොඳ බෞද්ධ රටක් වුවද අද එය ඇමරිකන් ගැති ක්‍රිස්තියානි නූතනත්වයට බර රටකි. අන්‍යගමිකයින් විසින් කොරියාවේ බෞද්ධ සිදධස්ථාන විනාශ කළ ආකාරය ද බෞද්ධයින් ක්‍රිස්තියානියට හරවා ගත් ආකාරයද ප්‍රසිද්ධ කරුණකි. මෙවැනි තත්වයක් .තුල සුජාත දියණියක් පෙන්වා කොරියාවේ දේශපාලනය හා ධනවාදයේ සැබෑ ස්වරූපය යට ගසා මෙරට සංස්කෘතියට හලාල් කිරීම දැන් සිදු වී ඇත.එහෙත් නිර්මාණ බංකොලොත් බාවයෙන් පෙළෙන අපගේ රූපවාහිනී කලා කරුවන් මේ අනුමත කිරීම සිය නිර්මාණ වර්ධනය සඳහා යොදා ගැනීමට උත්සාහ දරනු ඇත්දැයි සැකයකි. තමන්ගේ දෙයක් තමන්ගේ රටට ගැලපෙන පරිදි ගොඩනගා ගැනීමට බටහිර දැනුම් පද්ධතිය විසින් අපට ඉඩ නොතැබීමේ ඛේදවාචකය තුල මේ බංකොලොත් බව ඉපදී ඇත.   බටහිර  විද්‍යාව ආසනික් හා දෙවියෝ නම් කෘතිය තුලින් විග්‍රහ කෙරෙන්නේ  මේ දෙගිඩියාවයයි සිතමි.