පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, September 16, 2026

සැදැහැ සිත් පොබයන වේරගල කන්ද රජමහ වෙහෙර

 

                                 


           දකුණු ලක  බටහිර මුහුදු තීරයේ උස් ගල් පර්වතයක සිට රමණීය දර්ශනයක් දැකිය හැකිය. උතුරු පැත්තට වන්නට කලුතර ගංගාතිලක විහාරය හෙවත් වර්තමාන බෝධි සමීප විහාරස්ථානයත් බටහිරෙන් මහා සාගරයත් දකුණෙන් කන්දේවිහාරය බෙන්තර කාලිහෝ මුවදොර පංචකපුදූවත් නැගෙනහිරෙන් ශ්‍රීපාදයත් දකින කල්හි බොදු දනන්ගේ සිත් නිතැතින්ම ශ්‍රද්ධා භක්තිය අවදි කරවන්නේය.මෙම විශේෂිත ස්ථානය ඓතිහාසිකව අනුරාධපුර යුගයේ සිටි ශ්‍රේෂ්ඨ නරපතියෙකු වූ දුටුගැමුණු යුගයෙහි ආරක්ෂිත ස්ථානයක් වශයෙන් පැවතියා යැයි යන ජන ප්‍රවාදය අසන්නට ලැබේ.දුටු ගැමුණු රජ දවස ඔහුගේ වේර නම් අමාත්‍යවරයෙකු මෙහි සැඟව සිට ඇත. හාත්පස කුඹූරු යායන්ගෙන් සමන්විත වගුරු බිම් වලින්ද සමන්විත තපෝවෘද්ධ රහතන් වහන්සේලාට වාස ග්‍රහණයට වේරගලකන්ද පත්වූයේ මෙම අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත බව ජන ප්‍රවාද ගතය.. භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් භාවනා ස්ථාන සකස් කරවා ධාතුන් වහන්සේලා වැඩම කොට පූජා සත්කාර කළ බව අසන්නට ලැබේ.ඉන්පසු පොළොන්නරු යුගයේ දී මහා පරාක්‍රමබාහු රජ පස්යොදුන් රට අස්වැද්දීම සිදු කළහ.එසේම එකල පස්යොදුන්රටට අයත්ව තිබූ බෙන්තොට ගලපාත විහාරය කරවූහ.අනතුරුව කීර්ති ශ්‍රී නිශ්සංකමල්ල රජ දවස දී  පයාගල වේරගල කන්දට එතුමා පැමිණි බවද හාත්පස ගම් බිම් කරවීමට මුල් වූ  ආකාරය ද ජන ප්‍රවාදයේ පැවතෙයි.අදටත් පවතින බෙන්තර නිශ්සංක ගල මහ ගම්මැද්ද ,ගබඩාගම සහ ඇත්ගල ආදී නාමයන් එම පාලනයේ ශේෂයන් වෙති.

        වේරගල කන්ද විහාරස්ථානයට පිවිසීම පිණිස පර්වතය පාමුළ සිට ශිලාමය පඩිපෙලක් පවතී.  අවට පැරණි පොකුණු දෙකක් සහ රහතන් වහන්සේලා භාවනායෝගීව වැඩ හුන් ලෙන් කුටි කීපයක් ද පවතී.මෙම විහාරස්ථානය අද බොදු දනන් ගේ ශ්‍රද්ධාව වඩවන මනරම් පින්බිමකි.ඉලිපැන්ගමුවේ නම් ස්වාමීන්වහන්සේ නමක් මෙහි වැඩ සිටි බවට ජනප්‍රවාද ගතය. ඇතැම් විට අඳුරු සමයේ දී උපසම්පදාව නොලද ගණින්නාන්සේලා වැඩ සිටියා විය හැකිය.ගිරා සංදේශ කාව්‍යයේ වේරගල කන්ද වර්ණනාව ඇත.අසරණ සරණ වැලිවිට සංඝරාජ හිමියන්ගේ ශාසන පුනර්ජීවනයෙන් පසු බෙම්තොට වනවාස විහාරය ,ගලපාත විහාරය ,කැකුළන්දළ රජමහා විහාරය ආදී පුණ්‍ය භූමි වල නැවතත් උපසම්පදාලාභී සංඝ පරම්පරාවන්  ඇති වූහ. වර්ෂ 1856 දී පූජ්‍ය පැපිළියානේ ශීලවංශ යතීන්ද්‍රයන් වහන්සේ ගේ මූලිකත්වයෙන් පහත රට කල්‍යාණී භික්ෂු සංස්ථාව ඇති විය. එතැන් පටන් විශේෂයෙන්ම පූජ්‍ය දෙහිපිටියේ විපුලතිස්ස මාහිමිපාණන් වහන්සේ ගේ මූලිකත්වයෙන් පයාගල පොතුවිල ආදී පැරණි ගම්බිම් සිසාරා කීර්තිය පැතිරවූ සිද්ධස්ථානයකි.මෙම විහාරස්ථානයට ළගා වීමට කළුතර ගාලු පාරේ පයාගල පොතුවිල හන්දියෙන් හැරී පැමිණිය යුතුය.පොතුවිල ග්‍රාමයේ කුඩා කඳු ගැටයක පිහිටා තිබෙන මෙම ස්ථානය යුරෝපා ආක්‍රමණ වලින් පසුව වල් බිහිව තිබී ගම්මානයේ සිටි මුණසිංහගොඩ ගම්මානයේ සිටි දායක මුත්තා නමින් හඳුන්වන උපාසක ඇත්තෙකු විසින් සොයා ගෙන ඇතැයි යන කතාව දනන් තුඩ තුඩ පවතී.වැල් කැපීම පිණිස මෙම කන්දට ගොඩවූ දායක මුත්තාට ගල්තලාව උඩ පැවති බුදු පිළිමයක් සහ කුඩා චෛත්‍යයක් දිස් වී ඇත. ඉන්පසුව එම චෛත්‍ය වටා වර්තමානයේ පවතින ඝණ්ටාකාර දාගැබ නිර්මාණය කර තිබේ.වර්ෂ 1851 දී ප්‍රථම වරට මෙම විහාරයට අයත් බිම් සීමාව මිනුම්දෝරු සිතියම් වලට ඇතුළත් වී තිබේ.

     මෙම විහාරයේ ස්මාරකයන් රැසකි. ඉන් පළමු වැන්න පැරණි හැඩය ගත් චෛත්‍ය රාජයාණන් වහන්සේය.එය නැවත ගොඩ නැන්වීම  පිණිස බෙන්තොට වන වාසයේ සිටි බෙන්තර අත්ථදස්සී ස්වාමීන් වහන්සේ ගේ ශිෂ්‍ය ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වූ පොතුවිල ඉන්ද්‍රජෝති නායක ස්වාමීන්වහන්සේ මුල් වී ඇති බව බෙම්තොට වනවාස විහාරවංශය සඳහන් කර ඇත.අනෙකුත් ස්මාරකයන් අතර වර්ෂ 1846 දී තනවන ලදැයි සැළකෙන ධර්ම ශාලාව දැක්විය හැකිය. එහි ගල් ස්ථම්භයන්හි කොටවා තිබෙන කෙටි ශිලා ලිපි වලින් ඒ බැව් පැහැදිලි වේ.අතැම්හු පවසන පරිදි මෙම ධර්මශාලාව මැද පවතින ශිලාමය මණ්ඩපය නිශ්සංකමල්ල රජ දවස දී නඩු ඇසීම සඳහා භාවිතා කර ඇත. මෙම ධර්ම ශාලාව තුන් මහල්ය. එහි පියස්ස දරා සිටින්නේ පිටත මාලයේ ගල් කුලුණු 28 කින් සහ අතුළත ගල් කුළුණු 16 කිනි. එම ධර්ම ශාලාවේ මධ්‍යයේ තිබෙන ඉතා වැදගත්ම ස්මාරකය වන්නේ පෙර දක්වන ලද සත් මහල් පිරිත් මණ්ඩපයයි.එය අට පට්ටම් හැඩැතිය. අෂ්ට ලෝක ධර්මය හෙවත් ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රසංශා, සුඛ දුක්ඛ, මූලයන් ගැන කියැවෙන අට පට්ටම් හැඩය සිංහල බෞද්ධ කලා නිර්මාණයන්හි  නිරන්තරයෙන් දක්නට හැකිය. එහි පළමු සඳකඩ පහණ මගින් බුදුන් වහන්සේ සංකේතවත් කරමින් අගනා නෙළුම් මලකින් නිර්මත වේ.බුදුන්වහන්සේ  ගත් මග ගැන්ම සංසාර ලාභයට හෙවත් නිවනට හේතු වේ. ඊළඟ කයිරු කොටස අලාභය දක්වයි. මේ අනුව ගත්කළ ලාභය කුඩාය. අලාභය විශාලය.යහපත කුඩාය අයහපත විශාලය.සඳකඩ පහණ තබා තිබෙන්නේ ලාභ  යහපත උදාවන ප්‍රවිශ්ඨයේය. ඒ මගින් කියාපන්නේ ධර්මයේ මාර්ගයයි. ධර්ම මාර්ගය තුළ ගමන් ගන්නාට ඒ සමග එන අධර්මය පසු බස්වා ගත හැකි බව මින් කියාපායි.සතර දිසාවේ පිහිටුවා තිබෙන විවිධ ලක්ෂණය්ගෙන් යුක්ත සඳකඩ පහන් වලින් මෙයට ප්‍රවිශ්ඨ විය හැකි අතර  ගල් පාදම් මත සකස් කළ පිටත කයිරුව පේකඩ සහිත ව අලංකාරවත්ය.ඇතුළත කයිරුව මත අසුන් ගැනීමට වේදිකාවක් නිර්මාණය වී තිබේ.සත්මහල් සැකිල්ල දැවයෙන් නිමවා තිබේ. එහි පහළ ප්‍රවිශ්ඨයන්හි කැටයම් කරන ලද අපූරු කලා නිර්මාණයන් දක්නට ලැබේ. දැවමය කූඩුව මත විවිධ රූප සිතුවම් කර ඇත. නුවර චිත්‍ර සම්ප්‍රදායේ අපූරු චිත්‍ර සටහන් ලෙසට මේවා හඳුන්වා දිය හැකිය. මෙම නිර්මාණයෙහි තිබෙන අපූරුව නම් බණ පිරිත් දේශනයට විශේෂයෙන් අරියවංශ දේශනා, සතිපට්ඨාන දේශනා ආදී විශේෂිත ධර්ම දේශනාවන් මගින් හාත්පස තැන්පත්ව සිටින බෞද්ධ උපාසක ඇත්තන් ගේ සිත් ශ්‍රද්ධවෙන් පිරවීමට සමත් වීමයි.මෙවැනි නිර්මාණයන් ඉතා විරලය.ඒ යුගයේ විසූ මෙම විහාරස්ථානයේ අධිපත්තිවය හෙබවූ යතිවරයාණන් වහන්සේ විසින් මෙම ස්ථානයේ පාරිශුද්ධත්වය ඉස්මතු කරවන විශේෂත්වය ඉස්මතු කරවන මෙම ශිලාමය නිර්මාණය කරවා තිබේ.

         මෙම සිදධස්ථානයේ දෙවැනි වැදගත් ස්මාරකය වශයෙන් දැක්විය හැකි වන්නේ පුරාණ පිළිමගෙයයි. පහත රට ලන්දේසි වාස්තු සම්ප්‍රදාය පදනම් කරගෙන ඒ යුගයේ විශේෂිත ගොඩනැගිලි නිර්මාණයන්ට පාදක කරගත්  බව පෙනේ.මෙහි අභ්‍යන්තරව මාල කොටස් තුනකි. ප්‍රථමයෙන්ම දකින්නට තිබෙන්නේ ඉදිරිපස බරාඳයයි.කොට බිත්ති බැඳ ඇත. දෙවනුව පිළිමගෙය ඉදිරිපස බරාඳයයි. එහි බිත්ති වල විවධ සිතුවම් වලින් අලංකාරවත්ය. වර්තමානය වන විට එහි බිත්ති බොල් වී ඇතැම් සිතුවම් වලට හානි වී පවතී. තුන්වෙනුව සැතපෙන පිළිම වහන්සේ සහ පරිවාර පිළිම වහන්සේලා තිබෙන පිළිමගෙයයි.එයට ඇතුළු වීමට දොරටු දෙකකි.

  මෙහි තිබෙන ගල්ලෙන් වල කටාරාම් කොටවා නැත.කැටගලින් නිමවන ලද ආසනයක් තිබී ඇත. එසේම ඉදිරියෙන් කැටගලින් නිර්මාණය කරන ලද සක්මන් මළුවක් ද දකින්නට ඇත. රහතුන් වහන්සේලා වැඩ සිටියා යැයි මතයකි.වර්තමානයේ විෂ්ණු දේවාලයක් ඇත. සිසිල් පැන් සැනහිය හැකි පෙකුණු දෙක මෑත කාලයේ දී පුරාවිද්‍යාව විසින් සංරක්ෂණය කර තිබේ.පොකුණක දිග අඩි විසිහයකි. පළල අඩි අටකි. එක් පැත්තක ගල් ඇන්දද අනෙක් පස කැටගල් බැමි ද දක්නට තිබේ. පිළිමගෙයි දිරාපත් ස්ථාන ද ඉවත් කර පිළිසකර කරන ලද්දේ 2001 වරෂයේ දීය.2005 වසරේ දී  චෛත්‍ය රාජයාණන් වහන්සේ ගේ කොත නැවත පළඳවා වටා තිබෙන සූවිසි විවරණ සහිත පිළිම තැන්පත කර අති කොන්ක්‍රීට් ස්ථාන සහ මල් ආසන ද ප්‍රතිසංස්කරණය කර තිබේ. කන්ද පහළ සිට උඩට වන්නට මළු සීමා කිරීම උදෙසාද සෝදා පාළව වළක්වාලීම පිණිසද විශාල ගල් යොදා කරන ලද බැමි දක්නට ලැබේ. මෙහි පැරණි බෝධි වෘක්ෂයක් මෙන්ම නව බෝධියක් ද දක්නට ලැබිය හැකිය. පැරණි බෝධියේ බෝධී ඝරය කැටගලින් කළ බවට එහි ශේෂයන් මගින් අනාවරණය වේ යැයි 2001 දී නිකුත් කරන ලද පුරාවිද්‍යා සංරක්ෂණ වාර්තාවේ දැක්වේ.මෙම විහාරස්ථානයේ තිබෙන පැරණි අරලිය ගසේ මල් පිපෙන කාලයට ශ්‍රීපාදස්ථානය වෙතට යොමු වී මල් පිපෙන බවද පැරණි කොහොඹ ගසේ එක් පැත්තක කොළ තිත්ත නොවන බවද අසන්නට ලැබේ. මෙහි විහාරාධිපතිත්වය මුල් වරට ලියාපදංචි කොට තිබෙන්නේ පූජ්‍ය මතුගම වංගීස ස්වාමීන් වහන්සේ වෙනුවෙනි. දැනට මෙම විහාරයේ අධිපතිත්වය හොබවනුයේ පූජ්‍ය මංගලගම මෙත්තානන්ද ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ විසින් ආරමභ කරන්නට යෙඳුණු හිටි බුදු පිළීම වහන්සේ සම්බන්ධ ඉඳි කිරීම් කටයුතු මේ වන විට නිම වෙමින් පවතී.

මතුගම සෙනෙවිරුවන්

     

Saturday, August 8, 2026

වී ගොවිතැන අන්ඩර් වැලිව් - මෝල් ඇමති සුපිරි වැලිව්

 

                            


             විදෙස් රටවලින් ගෙන්වනු ලබන අමුද්‍රව්‍ය සඳහා අඩු වටිනාකමක් පෙන්වා රේගු බදු වංචා කලැයි දක්වන ඇඟලුම් ව්‍යාපාරිකයෙකු පසුගියදා අත් අඩංගුවට පත් විය.රජයට අයවිය යුතු නියමාකාර බදු මුදල මග හැරීම ඔහුට තිබෙන චෝදනාවයි.එයට අමතරව වාහන ආනයන කරුවෙකු ද මේ වන විට අත්ඩංගුවට පත්ව තිබේ. මේ වන විට රටේ කෘෂීකර්ම ඇමතිවරයාද වී කිලෝවක මිළ ට අඩු වටිනාකමක් දී ගොවිතැන හෑල්ලු කර ඇත. ඒ අනුව රටට ලැබිය යුතු දළ ජාතික ආදායම අහිමි කිරීමට කටයුතු කරමින් ඇත.නමුත් ඔහුට චෝදනාවක් නැත. අත්අඩංගුවට පත් වීමක් ද නැත. ඔහු පවසන දෙයට විරෝධතා ගොනුවන්නේ ගොවියන්ගෙන් පමණකි.වී ගොවිතැන අන්ඩර් වැලිව් වන විට රටක් වශයෙන් අහේනියට පත් වන බව බොහෝ අයට නොතේරේ.මෙලෙස වී වලට අඩු වටිනාකමක් හිමි වීමට කාරණා කීපයක් බලපානු ලබයි. එකක් නම් වී වල ප්‍රමිතියයි. දෙවැන්න දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතියක් වශයෙන් එයට පහළ අගයක් හිමි වීමයි.තුන් වැන්න නම් අපනයනය සඳහා සහල් පදනම් කර ගත් නිමි ආහාර සඳහා රාජ්‍ය මට්ටමින් උනන්දුවක් ඇති කර නොතිබීමයි.දැන් ඉන් පළමු වැන්න බලමු.

            උතුර හා නැගෙනහිර යුද්ධය නිමා වූ පසු ඒ පෙදෙස සීඝ්‍ර ලෙසට සංවර්ධනය වීමත් ගොවිතැනට අවශ්‍ය නිදහස ලැබීමත් නිසා වර්තමානය වන විට සහලින් රට ස්වයංපෝෂිතය. එහෙත් හරිත විප්ලව ක්‍රියාදාමය මගින් අභිජනනය කරන ලද වී වර්ග අතිරික්තයෙන් කිසිම පළක් නොවේ. ඒවායේ  සංයුතියේ විකෘතිතා නිසා විදේශ රටවල් විසින් ප්‍රතික්ෂේප කිරීම මීට හේතුවයි.බතලගොඩ  පර්යේෂණ මධ්‍යස්තානය මගින් වැඩි දියුණු කරන ලද BG 1165  වී වර්ගය මගින් නිපදවන සහල් අපනයනයට සුදුසු නැත. ඊට හේතුව පිටරට වෙළෙඳ පළ තුළ ඉල්ලුමක් පවතින්නේ ඇමයිලෝස් අඩු ප්‍රතිශතයක් ඇති දිගැටි සහලට වීමයි.අම්බලන්තොට පර්යේෂණායතනය මගින් නිපදවූ AT306 AT 1382 සහ AT 105 යන වී වර්ගයන් හි මෙකී ගුණාංග පවතින නමුත් එම වර්ග ගුණනය කොට අපනයනයට සූදානම් කිරීමක් තවමත් නොමැත.ඊට හේතු කීපයකි. ලංකාවේ වීගොවීන් අතර ප්‍රචලිත පසු අස්වනු ක්‍රමයන්හි පවතින ප්‍රධාන දුබලතාවයන් මෙහිදී ප්‍රධාන වේ.එකක් නම් ගොයම් කපා පැය හතලිස් අටක් තුළ වියළා ගබඩා කිරීමක් දක්නට නොමැති වීමයි.තවමත් ඔවුන් වී වේලනු ලබනුයේ මහපාරේ හෝ කමතේ බැවිනි.

       ජගත් ප්‍රමිතිය වන (CORD X ) ක්‍රමයට අනුව  ඇපලොටොක්සීන් වැනි ධුලක මෙහි නොතිබිය යුතුය. සියයට තිස්පහක උෂ්ණත්වයක් යටතේ ආද්‍රතාවය සියයට හැටපහක් වන ලෙස පාලනය කරමින් සියයට සීයක් සවෘත ගබඩාවල වී ගබඩා නොකළහොත් මෙම ජගත් ප්‍රමීතීන් වලට අනුව වී සැපයිය නොහැකිය. ලංකාවේ පැරණි වී බිස්සේ තිබූ ප්‍රමිතියවත් අද නැත.එවිට සිදු වන්නේ ලංකාව තුළ පමණක් වී වෙළෙඳ පල හැසිරවීමට කටයුතු සැලසීම පමණකි. එහෙත් මේ වන විට බතලගොඩ පර්යේෂණායතනය මගින් ඇමයිලෝස් ප්‍රමාණය අඩුවෙන් ඇති වී වර්ග නිපදවීමට උත්සාහ දරමින් සිටී. එහි ප්‍රතිඵල නෙලා ගැනීමට කලක් ගත විය හැකිය.

  දෙවැනි කාරණය බරපතල තත්වයකි.මහ බැංකු වාර්තාවලට අනුව රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් කෘෂිකර්මය සහ ධීවර අංශය දායක වනුයේ සියයට 9.0 ක් පමණකි. ඉන් වී ගොවිතැනට හිමි වනුයේ සියයට 1.0 කි.රටේ වාර්ෂික අස්වැන්න මෙට්රික් ටොන් දශ ලක්ෂ 4.5 කි. එහෙත් වී මිළට අඩු වටිනාකමක් දීම නිසා එනම් සෑම කන්නයකදීම වී කිලෝවකට රුපියල් සීයයෙන් අඩු ලංසුවක් තැබීම නිසා වී වල සැබෑ වටිනාකම ගණනය නොවන්නේය.මේ කතාව අතීතයට සමපාත කොට  ද බැලිය හැකිය.එනම් වී අලෙවි මණ්ඩලය පිහිටුවා ලූ වකවානුවේ දේශපාලකයන් ඊට දැකුවූ ආකල්ප සැලකිල්ලට ගැනීමෙනි.        1972 දෙසැම්බර් මස 22 වෙනිදා ජාතික රාජ්‍ය සභාවේ හැන්සාඩ් වාර්තාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. නවරත්න මහතාගේ කතාවේ මෙසේ සඳහන් වී ඇත.

   ' හැමදාම ගොවිතැන් කර ජීවත් වූ මේ රටේ ගොවියා කම්මැලියකු බවට පත්වුණේ බ්‍රිතාන්‍ය අධිරාජවාදීන් මේ රට යටත් කරගත්තාට පසුවයි. අප කවුරුත් ඒක පිළිගත යුතුයි. අද ගොවියන් වී වගාවට අධෛර්ය වී සිටින්නේ වී මිලට ගැනීමේ ආණ්ඩුවේ ඒකාධිකාරයේ නිසා යයි දැදිගම ගරු මන්ත්‍රීතුමා ඩඩ්ලි සේනානායක මහතා ප්‍රකාශ කළා. එහෙත් සිදුවී තිබෙන්නේ එහි අනිත් පැත්තයි. අද ගොවියා උනන්දුවී සිටින්නේ රජය වී මිළට ගැනීමේ ඒකාධිකාරය නිසයි. මා නියෝජනය කරන්නේ ගොවියන් සීයට සීයක් සිටින ගොවි ජනපදයක්. එදා පෞද්ගලික වෙළෙන්දා  ගොවියන්ගෙන් වී මිලට ගත්තේ කීයටද.  බුසල රුපියල් පහට හයට හතට අටට විකුණන්නටයි. එදා අපේ ගොවියන්ට සිදුවුණේ. ඉතින් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බව කාටත් පේනවා. දැන් වී මණ්ඩලයට වී දීමෙන් ගොවියාට වී බුසලයකට රුපියල් දාහතර බැගින් ලබා ගන්නට පුළුවනි. බී.ජී එකොළහ ගෙනත් දෙන විට රුපියල් දාහතරක් ගොවියාට ලැබෙනවා සමහර විට රුපියල් 15ක් ලැබෙනවා. ඒ විදියට අද ආදායම වැඩි වී තිබෙනවා අද ගොවියාට ලැබෙන වැඩි මිල නිසා ධෛර්යට පත් වී තිබෙනවා .පසුගිය රජයේ අවසාන අවුරුද්දේදී වී බුසල් කෝටි හතක් ලැබුණු බව දැනගෙන ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා. ගොවීන් නිෂ්පාදනය කරන සෑම වී ඇටයක්ම රජය මගින් මිළට ගත යුතු බවයි අපි එදා කිව්වේ. එදා අප එහෙම කිව්වේ ඇයි? පෞද්ගලික වෙළඳුන් මිණිපේ ජනපදයට ආවොත් මේ රුපියල් 14 බැගින් 18 බැගින් මිලට ගත්තා. බොල් මිශ්‍ර වී පවා ඒ විදියට ගත්තා ඇයි ඒ වී අරගෙන ගිහින් එක්කෝ හොරෙන් පිටරටවලට විකුණනවා නැතිනම් මොකක් හෝ දෙයක් කරනවා. වී රට ඇතුලේ විකිණෙන්නේ නැහැ කොටින්ම ඒ කාලේ රජයට සෑම වී ප්‍රමාණයක් ම ලැබුණේ නැහැ කෝටි හත් ලක්ෂයක් ලැබුණා කීවත් පොත්පත්වල තිබෙන ගණන් හිලවූ මා විශ්වාස කරන්නේ නැහැ

       මෙම අමාත්‍යංශය යටතේ සාකච්ඡා ආරම්භ කළේ මහනුවර ගරු මන්ත්‍රීතුමා ඊ.එල් සේනානායක මහතා වන අතර එතුමා තම කතාවේ දී පණ්ඩුකාභය රජතුමා ගැන අනුරාධපුරය ගැන ධාතුසේන රජතුමා ගැන පරාක්‍රමබාහු  රජතුමා ගැන සඳහන් කළා .අපත් හැම රජ කෙනෙක් ගැනම අසා තිබෙනවා. ඉතිහාසය කියවා ඇති. කවුරුත් ඔය රජවරුන් ගැන දන්නවා රජුන් ගැන සඳහන් කරමින් එතුමා කී හැමදේකට මා එකඟ වෙනවා  1945 දී   රයිට් නැමැති කෙනෙකු ලියූ පොතක් බලාගෙන මේ රටේ වී නිෂ්පාදනය ගැන එහි  බොහොම හොඳ රෙකමදාරුවක් කර තිබෙනවා යැයිද මේ රටේ මහජනයා ගොවිතැන් කරන්නට උනන්දු කළ යුත්තේ කෙසේදැයි ඒ සඳහන් වී තිබෙනවා යයි ඒ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා. එතුමාගේ අන්න ඒ ප්‍රකාශය  නම් මාත් පිළිගන්නේ නැහැ. එයා හරි රයිට් කෙනෙක් නොවෙයි. 1815 මාර්තු මාසයේ දෙවෙනිදා මේ රට බ්‍රිතාන්‍යයට යටත් වුණා. ඉන් පසුව තමයි අපට මෙසේ සිදුවුණේ. වරක් පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී මේ රටින් හාල් පිටරට යැව්වා කියා කියනවා. එහෙත් ඔය රයිට්ලා ආවාට පසුව තමයි හාල් ගෙන විත් සත දොළහ ගණනේ විකුණා අපේ ගොවියා අධෛර්යයට පත් කලේ පිටින් හාල් ගෙනවිත්  තිබුණු නිසා තමයි  අපේ ගොවියන් අධෛර්ය වූයේ. එදා තමයි අපේ ගොවියා රෝං වුනේ. ඒ නිසා මහනුවර ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ ඒ කොටසට නම් මා එකඟ වන්නේ නැහැ.'

       මා මෙය උපුටා දක්වනුයේ 1972 දී වී අලෙවි මණ්ඩලය පිහිටුවායින් පසුව ගොවියා ශක්තිමත් වූ ආකාරය දැක්වීමට නොවේ. පසු කාලයක වී අලෙවි මණ්ඩලය බංකොලොත් වන්නට ඉඩ හැර 1995 දී පමණ ඈවර කල බව සැවොම දනී. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ගේ පාලන සමයේ දී  මෙම මණ්ඩලය නැවත ආරම්භ කළහ. වී නැවතත් මිලට ගත්හ..නමුත් 1995 න් පසුව වී වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක පහේ ධාන්‍ය අතිරික්තය නිසා පොහොසත් වී සිටින වී ව්‍යාපාරිකයන් පාලනය කරමින්  ගොවියාට සැබෑ වී මිළක් ලබා දීමට හැකියාවක් ලැබුණේ නැත.රටේ වී අතිරික්තයක් තිබුණත් විදෙස් වලින් සහල් ගෙන්වා අඩු මිලට දීම එක් හේතුවකි. 2025 වර්ෂයේ දී හාල් මෙට්රික් ටොන් එක් ලක්ෂ විසිදාහක් පමණ ආනයනය කර තිබේ. 2026 වර්ෂයේ මේ වන විට 177000 ක ප්‍රමාණයක් ආනයනය කර තිබේ. ඉන්දියාවෙන් ගෙන්වන ස්වර්ණ නාඩු යනු දෙකඩ කැඩූ සහල් ප්‍රභේදයකි.ඒවා රුපියල් දෙසීයෙන් අඩුවට ස.තො.ස. හරහා දිය හැකිය.නමුත් එහි ගුණාත්මක බවක් නැත. සම්බා සහල් දෙසිය තිහ ඉක්මවා යයි.මේම තත්වය මත රජය වී මිළ 120 ට නියම කලද ගන්නා වි ප්‍රමාණය ස්වල්පයක් වීම නිසා මෝල් හිමියන්ට අවස්ථාව ලැබී තිබේ. ඔවුහු මිළට ගන්නේ කිලෝවක් සියයටත් අඩුවෙනි. රටේ වී මිල තීරණය කරන්නේ  පසු අස්වනු තාක්ෂණ ආයතනය හෝ හෙක්ටර් කොබ්බෑකඩුව වැනි විද්‍යාත්මක ආයතන නොවේ. ඒ බැව් ඇමති තුමාද පිළීගෙන ඇත. කෘෂිකර්ම ආර්ථික අංශයෙන් මේ මිළ තීරණය කරන්නේ දේහපාලන අර්ථයෙනි.  ඒ අය සැබෑ නිෂ්පාදන වියදම හංගා වී වලට  අඩු වටිනාකමක් දී ඇත.එයට හේතුව සහල් පිරටින් ගෙන්වා පාරිභොගිකයන් සතුටු කිරීමට උත්සාහ දැරීමයි. ඒ මගින් අතරමැදියන්ට එනම් මෝල් හිමියන්ට සහ සහල් ආනයනය කරන්නන්ට ලාභ ගෙන දීම සිදු වන අතර  වී නිෂ්පාදන ආර්ථිකය බරපතල ලෙසට බිඳ වැට්ටවීමට පසුබිම සැලසේ. ගොවියා වී වගාව අත්හළහොත් ඒ ඉඩම් බහු ජාතික සමාගම් වලට ලබා දීමේ අරමුණු යටින් ඇත.

       තුන්වන කාරණය ලෙස සහල් වලට අගය එකතු කිරීම ගත හැකිය. කලකට ඉහත ලංකාවේ සහල් වලින් නූඩ්ලස් පාන් පිටි වර්ග  අයිස් ක්‍රීම් පවා හැදූ බව මතකයට නැගේ ඒ කර්මාන්ත අද කඩා වැටී ඇත. පසු අස්වනු තාක්ෂණ ආයතනය ඩ්‍රැගන් නම් වූ නූඩ්ලස් වර්ගය නිපදවන්නේ නැත. චීන රජයෙන් දුන් යන්ත්‍රය දිරාපත් වීමට ඉඩ හැර ඇත.විදෙස් වලින් සහල් ගෙන්වීමටද පවතින වී වෙළඳ පළ කඩා වැට්ටවීමට ඉඩ හැරීමට ඉඩ දීමද නිසා අගය එකතු කිරීම් ස්ථාවර නොවේ එවැනි කිර්මාන්තයක් පටන් ගන්නා ද පවත්වා ගෙන යන්නා ද අමාරුවේ වැටෙති.

      විදුලි බිල වැඩි වීම තෙල් මිළ ඉහළ යෑම ලෝක යුද්ධය ආදී කරුණු නිසා සෑම දෙයකම මිළ වැඩිවී තිබේ.කුඹුරු හෑමට  මී ගවයන් නැත. වගුරු මී ගවයා මස් කඩයට දක්කා ඇත.ඒ වෙනුවට කිරි වැඩි ගංගා මීගවයා ආනයනය කර ඇත.ඩීසල් මිල වැඩිවෙන විට පිරිවැය ඉහළ යයි. සහනාධාර දෙන්නේ මුදල් වලින් නමුත් ගොවියා පවතින වෙළඳ පලින් සියල්ල මිළට ගත යුතුයි.එවිට ගොවියාගේ නිෂ්පාදන වියදම ජීවන වියදම ඉහළ යෑම ස්වභාවිකය. මේ තත්වය හරි හැටි ගණනය නොකරයි. ගොවියා  වී අතිරික්තයක්  නිපදවූවත් තාමත් දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 1.0  ක් පමණක් හිමි කර දීමෙන් වී ගොවිතැන අනාර්ථික බවට  පත් කර තිබේ.  එම අන්ඩර් වැලිව් කිරීම නිසා රටේ මුදල් ඒකකය වන රුපියල ද අන්ඩර් වැලිව් වේ. ඩොලරයට සාපේක්ෂව රුපියල උඩට පහළ ගැනීම නිසා දළ දේශීය නිෂ්පාදිතය යන වචනය පවා හෑල්ලු වී තිබේ.වර්තමාන කෘෂිකර්ම ඇමති  නූතන ධනපති පන්තියට එකතුවූ අලුත් සාමාජිකයෙකු ලෙසට අදහස් පළ කරනු පෙනේ. මෙවැනි අය පැරණි ප්‍රභූන්ට  වඩා ගොවියා පගා දමන්නට කැමතිය. ඊට හේතුව නූතන ධනපතියන් පාලනය කරන්නේ විදෙස් බලවේග විසින් බැවිනි.තක්කඩි කතා කියමින් ගොවියාද ගොවිතැනද හෑල්ලු කරනුයේ එහෙයිනි.

මතුගම සෙනෙවිරුවන්

Tuesday, June 2, 2026

බෞද්ධ විහාරගම් පනත සංශෝධයෙන් සාසනික අරමුණු ඉටු වේවි ද

 

                 


           මාතර පැවති රාජ්‍ය  වෙසක්  උත්සව දින  ජනපතිවරයාගේ කතාව තුළින් පැහැදිලි වූයේ 1931 බෞද්ධ විහාරගම් සහ දේවාලගම් පනතට සංශෝධනයක් කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙම ප්‍රකාශයට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්ෂය මැයි මස 31 දින  ප්‍රකාශයක් නිකුත් කර තිබේ. භික්ෂූන්වහන්සේලා විශාල පිරිසක් ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන ආණ්ඩුවක් යටතේ මෙවැනි නීති සම්පාදනයෙහි අරමුණ දේපල හිමි විහාරස්ථාන වල ඉඩම් රජයට පවරා ගැනීමට උත්සාහ කිරීම දැයි එම පක්ෂය සැක පහළ කර තිබේ.

        1931 බෞද්ධ විහාරගම් සහ දේවාලගම් ආඥා පනත බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නීති ගත කරන ලද්දේ 1815 උඩරට ගිවිසුමේ පස්වන වගන්තියෙන් ලැබෙන ප්‍රතිපාදන අනුවයි.එම පස්වන වගන්තියට අර්ථ සැපයෙනුයේ මිහිඳු මහ රහතන් වහන්සේ  ගේ ආගමනයෙන් පසු ඇති වූ බුද්ධ සාසනයට රජවරුන් විසින් දැක්වූ සහයෝගයයි. එම සහයෝගය  තුළ බිහිවූ සාසනික නීති රීති ගණනාවක් පණවනු ලැබීය.  ඒ පදනම මත  සන්නස් සහ ශිලා ලේඛන වලින් විහාර නඩත්තුවට දේපළ පැවරූහ.බ්‍රිතාන්‍යයන් මෙම පසුබිම අධ්‍යනය කොට මහා  භාරකාර තුමා යටතේ පරිපාලනය වූ විහාරගම් සහ දේපළ නීතියක් ඇති කළහ. ඒ නීතිය පසුව බෞද්ධ කටයුතු කොමසාර්ස්වරයෙකු යටතට පත් විය.වරින් වර එම පනත සංශෝධනයට ලක් වූ අතර එහි 41 සහ 42 වගන්ති වලින් කියැවෙනුයේ  භික්ෂූන් වහන්සේලා ලියාපදිංචි කිරීම පිළිබඳවයි. සාසනික දේපළ පාලනය කිරීම ට අදාල භාරකාර ස්වාමීන් වහන්සේලා ලියාපදිංචි කිරීමට මෙම පනතට අදාල නමුත් සමස්ත භික්සූන් වහන්සේලාගේ ලියාපදිංචිය මෙම පනතට අදාල  නැතිද යන්න මෙතෙක් සාකච්ඡා වී නොමැත.එසේම දළදා මාළිගාවේ භාරකාර තැන්පත් දිය වඩන නිලමේ පීලිබඳවද මෙම පනතේ සාකච්ඡා වෙයි.භාරකාර තැන වශයෙන් එම නීතිය සාධාරණ වුවද දන්ත ධාතුන් වහන්සේ ගේ භාරකාරත්වය පිළිබඳ වැදගත් අර්ථ නිරූපණයක් එහි නොමැත.

      උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය යටතේ පැනවෙන ප්‍රතිපාදනය පසුව වෙනස් කර සොල්බරි ව්‍යවස්ථාව තුළ විසිනව වන ව/න්තිය ඇතුළත් කර සියලුම ආගම් සමාන කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කරන ලද්දේය. පසුව එය නිවැරදි කරමින් 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බුද්ධාගම යනුවෙන් තනි ප්‍රතිපාදනයක් ගෙන ඒමට හැති විය. එයම වැඩි වර්ධනය කරමින් 1978 ව්‍යවස්ථාව තුළ ද එම ප්‍රතිපාදනය ඇතුළත් විය. එසේම එම ව්‍යවස්ථාවේ 105(4) වගන්තිය අනුව භික්ෂුන් වහන්සේලාගේ විනය සම්බන්ධව සහ දේපළ ආරවුල් සම්බන්ධව කටයුතු කළ හැකි විනිශ්චය අධිකාරියක් පිහිටුවිය හැකි බවට දක්වා තිබුණි.මෙය සංඝාධිකරණයක් ද නැතිනම් වෙනත් විනිශ්චය අධිකාරියක්ද යන්න පැහැදලි නැත.

      ඒ අතරේ 2015 යහපාලන සමයේ දී විජෙදාස රාජපක්ෂ අධිකරණ ඇමති  විසින් ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත යනුවෙන් පනතක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන ලදී.මෙම පනතෙන් බලාපොරොත්තුවන ලද්දේ දැනට ත්‍රෛනිකායික වශයෙන් භාවිතා කරන කතිකාවත් නීතිය ඉදිරියේ බලාත්මක කරලීමයි.පොලොන්නරු කතිකාවත දඹදෙණි කතිකාවත පරමධ්ම්ම කතිකාවත ආදී වශයෙන් වරින් වර භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධව ගත් තීන්දු තීරණ වර්තමාන නීතිය හමුවේ බලාත්මක කිරීමට උත්සාහ දැරුවද ඒ කුළින් සම්බුද්ධ සාසනය තුළ ඇතිවන බෙදීම ගැන නීති සම්පාදකයන්ට වැටහීමක් නොවුණි.නිදර්ශනයක් වශයෙන් දැනට නිකාය තිස් දෙකකට බෙදී පවතින භික්ෂූන් වහන්සේලා උදෙසා කතිකාවත් 32 ක් පණවන්නට ගියහොත් එතනදී ඇති වන බෙදීම බෙහෙවින්ම හානිකරය.මෙවැනි හානිකර පනතක් කෙටුම්පත් කරන්නට අධිකරණ අමාත්‍යවරයා සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට සිදු වූණේ භික්ෂු විනය සහ වර්තමාන නීතිය අතර සමබරතාවය පිළිබඳ අනවබෝධය නිසා බව පැහැදලිය. එසේම මහා සංඝරත්නය වර්තමාන නීතියෙන් බැඳ තබා රටේ කාලීන ප්‍රශ්ණ සඳහා ඉදිරිපත් වීම වළක්වාලීමටත් ඇතැම් පිරිසකට අවශ්‍ය වන්නට ඇත. මෙහි පණවා ඇති දණ්ඩනයන් බෞද්ධ කටයුතු කොමසාරිස් තුමා හරහා ක්‍රියාත්මක කරලීමට එහි බලය දී තිබෙන්නේ එහෙයිනි.කෙසේ වෙතත් එම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ දීත් අභියෝගයට ලක් විය. ව්‍යවස්ථාවට පටහැනි වගන්ති කීපයක් තිබෙන බවට ද තහවුරු විය.

රාජ්‍ය නීතිය සහ බුද්ධ නීතිය දෙකකි.මහනුවර යුගයේ අවසාන වඩුග පාලන සමයේ දී බොරවෙ වීදිය තුළ ගමන් කිරීම ජනතාවට  තහනම් කිරීමට රජු ආඥාවක් නිකුත් කර ඇත.. මෙහිදී කුංකුනාවේ හිමියන් එයට විරුද්ධව රජුට කරුණු පැහැදිලි කොට කීයේ බුද්ධ නීතිය අනුව මහා සංඝයාවහන්සේලාට ඒ නීතිය අදාළ නොමැති බව පෙන්වා දී තිබේ. එලෙසම මල්වතු අනුනායකව වැඩ සිටි පරණාතල රතනපාල අනුනායක ස්වාමීන් වහන්සේ ශ්‍රී වික්‍රම පාලනය යටතේ ඝාතනයට ලක් වූ පසු අනුනායක පදවියට තිබූ දේපළත් උන්වහන්සේ ගේ පරපුරට තිබූ දේපළත් රාජ සන්තක කරන ලදී. පසුව උඩරට ගිවිසුමෙන් රට භාර දුන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව වෙත පෙත්සමක් මගින් කරුණු සැළ කෙට ඇත්තේ බුද්ධ නීතිය අනුව මෙම දේපළ යලි විහාරයට අයත් විය යුතු බවයි. ඉංග්‍රීසි ආණ්ඩුව ඒ අනුව ක්‍රියා කර තිබේ. අනුරාධපුර යුගයේ පස්වන කාශ්‍යප සමයේ පිහිටුවා ලූ ජේතවනාරාම පුවරු ලිපිය අනුව සංඝයා වහන්සේලා විසින් විසඳිය යුතු ගැටළු උන්වහන්සේලා ම විසඳා ගත යුතු යැයි දක්වා ඇත. එසේ නැතහොත් රජු මැදිහත්ව සහාය දිය යුතු බවද දක්වා ඇත. මේ උදාහරණ මගින් පැහැදිලි වනුයේ බුද්ධ නීතිය අනුව ශාසනය පාලනය වන ආකාරයයි.

       සෑම භික්ෂූන් වහන්සේ නමක්ම ධර්මය හැඳින භික්ෂූන් වහන්සේ නමකට අවශ්‍ය කරන ස්වයං විනය ගොඩනගා ගැනීම සිදු කළ යුතුය යන ඔවදන බුදුන් වහන්සේ ගේ දේශනාවයි.සංඝ සමාජය තුළ කිසියම් විධිමත් භාවයක් ඇතිවිය යුතු නිසාත් භික්ෂූන් වහනසේලා සඳහා ශික්ෂා පද 227 කින්ද භික්ෂුණින් වහන්සේලා සඳහා ශික්ෂාපද 311 කින්ද යුතු සඟ විනයක් තිබෙන බව ධර්ම ග්‍රන්ථයන්හි දැක්වේ.. එබැවින් ධර්මය දැන හැඳින ඒ අනුව ජීවත්වන අතරම බුදුරදුන් විසින් අනුදත් භික්ෂු භික්ෂුණී විනය රැකීම ද භික්ෂු භික්ෂුණින් වහන්සේලා සතු යුතුකමක් ලෙස සැළකීම සංඝ සමාජයේ පොදු පිළි ගැනීමකි.. මහණකම නැතිවන ඡෙද්‍යගාමිණී ආපත්තීන් 4 ක් තිබේ. පාරාජිකා ලෙස සැලකෙන්නේ එම ආපත්තීන් හතරය. පාරාජිකා හැරුණු විට ඉතිරි ශික්ෂා පද සියල්ලම උට්ඨාන ගාමිණී ශික්ෂා පද වේ. භික්ෂූත්වය නැතිවන්නේ පාරාජිකා ආපත්තීන්ට පැමිණීමෙන් පමණි. සෙසු ආපත්තීන්ට පැමිණි විට එම ආපත්තීන් ගෙන් විමෝචනය වන්නේ කෙසේ දැයි සඟවිනය තුළ පැහැදිලිව දක්වා තිබේ. භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ඇතිවන ඕනෑම ගැටළුවක් විසඳාගත හැකි ආකාරය සඟ විනය තුළ නිර්දිෂ්ට වේ. භික්ෂුව ඒ අනුව ජීවත් විය යුතුය.

    වර්තමානයේ දී භික්ෂුන් වහන්සේලා අරභයා පැණ නැගී ඇති ගටළු වලදී ඉහත දක්වා ඇති පරිදි විහාරගම් සහ දේවාලගම් පනත සංශෝධනයෙන් හෝ භික්ෂු කතිකාවත් පනතකින් විසදුම් සෙවීම උගහටය.පළමුව කළ යුත්තේ සැබූ ලෙසටම භික්ෂුන් වහන්සේලා හමුවෙමි තිබෙන අභියෝග රජය විසින් අවබෝධ කර ගැනීමයි. සම්බුදු සසුන නැසීමට කඳ පණු න්‍යාය අනුගමනය කරන ගමන් භික්ෂුන් උදෙසා කැප වන්නේ යැයි හැඟවීම දෙබිඩි පිළිවෙතකි.රටේ පාලකයා සැබෑ බෞද්ධ පාලකයෙකු ලෙසට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. අනතුරුව රාජ්‍ය නීතිය තුළ විශේෂයෙන්ම දණ්ඩනීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ භික්ෂු විනයට සහ ශාසනයේ විනාශයට හේතු වන වගන්ති පිළීබඳ විමර්ශනයක් කොට ඒවා හානිකර යැයි තහවුරු වන්නේ නම් ඉවත් කළ යුතු වෙයි.මන්ද ඒ නීති පණවන ලද්දේ බ්‍රිතාන්‍ය පාලකයන් වන බැවිනි. ඉන්පසු දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(4) වගන්තිය අනුව පැවරෙන ප්‍රතිපාදන මත මහා සංඝ රත්නයට සිය විනය කරුණු විසඳා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය. නිකාය ගණනාවකටම අදාලව නොව එක් විනය නීතියක් එනම් බුද්ධ නීතිය ක්‍රියාත්මක කරලීමට ඉඩ ප්‍රෂ්ථා සැලසිය යුතුය. අනතුරුව එහිදී ගන්නා තීරණ අධිකරණය විසින් පිළිගන්නා බවට සහතිකයක් ලබා දිය යුතුය.එසේම යම් භික්ෂුන් වහන්සේ නමකට විරුද්ධව සමාජය තුළ චෝදනාවක් එල්ල වී ඇතිනම් ඒ චෝදනාවන් උසාවිය ඉදිරියේ පවතී නම් පළමුව සංඝ සභාවේ විනය කමිටුව ඉදිරියේ විමර්ශනය කොට උන්වහන්සේ නිවැරදි නම් යම් විත්ති වාචකයක් උසාවිය ඉදිරියට ගෙන ඒමට සංඝ සභාවට බලය තිබිය යුතුය. වැරදි කරු නම් ඒ කරුණුද උසාවියට ඉදිරිපත් කළ හැකිය.මේ ආකාරයට බුද්ධ නීතිය යටතේ වන සමස්ත සංඝ සාසනයටම සාධාරණයක් කරනවා විනා හුදු පනත් සංශෝනයකින් මේ බැරෑරුම් කටයුත්තට අත ගැසීම ප්‍රඥාගෝචර නැත.එසේම මේ අවසථාවේ දී බොර දියේ මාලු බෑමට බලා සිටින අන්‍යාගමිකයන් ශරියා නීතිය සහ තේසවලාමෙයි යන විදේශ නීති මෙහි නීති පද්ධතියට පනත් වශයෙන් සම්මත කර ගැනීමට මාන බලන බැවින් ඒවා ගැනද පරිස්සම් විය යුතුය.

මතුගම සෙනෙවිරුවන්

Sunday, May 17, 2026

අනුරාධපුර පුවරු ලිපියෙන් හෙළි වන භික්ෂු විනය නීති

 


                              

              භික්ෂූන් වහන්සේලා නිර්වාණ මාර්ගයට පිලිපන් විශේෂිත සංස්ථාවකට අයත්ය. මහණ වූ දා සිට යම් කිසි ශික්ෂාවකට අනුව හැඩ ගස්වනු ලබති. මහණ උපසම්පදාවට  පත් වූ පසු රැකිය යුතු සංවර ශිලයන් රැසකි. රහත් බවට නොපැමිණි භික්ෂූන් ද වෙති. උන්වහන්සේලා අතින් වැරදි සිදු වෙති. රහත් භික්ෂූන් ද එක් වූ කළ ඇති වන ආපත්තීන් කරණ කොට විනය නීති පැනවීය යුතු යැයි සැරියුත් තෙරුන් වහන්සේ පැවසූ  කල එය නිසි කළ කරන්නෙමැයි බුදුන්  වහන්සේ වදාල සේක.අනතුරුව භික්ෂූන් වහන්සේලා පාරාජිකා තත්වයට පත් වන අවස්ථා හතරක් ගැන දේශනා කර තිබේ. එසේම පරාජිකා වලට හේතු වන සංඝාදිසේෂයන් ගැන කරුණු දක්වමින් ඒවා විග්‍රහ කර දී තිබේ. පරාජිකා නොවූ භික්ෂුවක් අතින් වන වැරදි නිවැරදි කර ගැනීමටද නිර්වාණ මාර්ගයට පලිබෝධ රහිතව ඉදිරියට යෑමට ද පහසු වන පරිදි අධිකරණ සමථ හතක් ද පැණ වූහ. අධිකරණ යනු විවාදිකරණ ආපත්තිධිකරණ සහ කිච්චා අධිකරණ ලෙසට විග්‍රහ කර තිබේ.මෙහිදී මෙම අධිකරණ සත පිළීබඳ සලකා බැලූ කල්හි මහණ උපසම්පදා ලත් භික්ෂූන් වහන්සේ නමක් සසුනෙහි තැන්පත් කොට තබා ගන්නට සහ චිත්ත පාරිශුද්ධිය තුළින් නිර්වාණ මාර්ගය මතු කර ගැන්මට ගත් උත්සාහයන් ප්‍රකට වේ. රාජ නීතිය සහ බුද්ධ නීතිය නොගැටිය යුතුය.ගිහි සමාජයේ පලිබෝධ නිසා භික්ෂු චිත්තය කිළිටි නොවිය යුතුය. පෙර සිරිත අනුව රජු එයට ව්‍යවස්ථා පැණවූහ. ඒ සම්බන්ධව තිබෙන ප්‍රකට ශිලා ලේඛනය නම් අනුරාධපුර පස්වන කසුප් රජුගේ පුවරු ලිපියයි.

        අනුරාධපුරය  ජේතවනය අසල රත්න ප‍්‍රාසාදය ආසන්නයේ තිබී දශවන ශත වර්ෂයට අයත් පුවරු ලිපියක ලැබුණු බව රජයේ සෙල් ලිපි සංග්‍රහය වාර්ථා කර ඇත. උසින් අඩි පහක් ද පළලින් අඩි තුනයි අඟල් තුනක් ද වූ මෙම පුවරු ලිපිය පිහිටුවා ඇත්තේ වර්ෂ 914 සිට 923 දක්වා කාලයේ රාජ්‍ය විචාල පස්වන කසුප් නොහොත් සලමෙවන් අභය රජු විසිනි.වත්මනෙහි අපට අනුරාධපුර සිද්ධස්ථාන වන්දනාමානයට ඉඩ හසර ලැබ තිබෙන්නේ මෙම රජුගේ ඥාණාන්විත ක්‍රියා හේතු කොටගෙනයි.බුදු සස්න රැකුමට එදා ගත් නිවැරදි තීරණයන් මෙයට හේතු වේ.  දෙවන සේන රජු ගේ පුත‍්‍රයා වූ කාශ්‍යප කුමරු උපන් විගස යුවරජු ලෙසින් නමි කළ පින්වත් කුමරෙකි. දෙවරක් අභිශේක ලත් සංඝා බිසවගේ කුසින් උපන් මෙම කුමරා කුඩා කළ පටන්ම මහා සංඝයාගේ ආශ‍්‍රයෙන්  ලබන ලද මහත් ශාස්ත‍්‍ර ඥාණයක් ඇත්තෙක් විය. මොහුගේ විශාරද  භාවය මහා වංශයෙන් ප‍්‍රකට වන්නේ මෙසේය.

       ¨ හෙතෙම සෝවාන් වූවකු මෙන් ශ‍්‍රද්ධාවත්ය.අභිඥා ලැබූවෙකු මෙන් ප‍්‍රඥාවත්ය. සුරගුරු මෙන් ව්‍යක්ත කථිකයෙකි. කුවේරයා මෙන් ත්‍යාග වන්තයෙකි.බහුශ‍්‍රැතයෙකි. ධර්ම කථිකයෙකි. යුතු අයුතු විමසීමෙහි නිපුණ වූවෙකි.නීතියෙහි දක්ෂයෙකි. බුද්ධ ශාසනයේ අචල ශ‍්‍රද්ධාව ඇති මෙතෙම පරවාදීන්ට චංචල කළ නොහැකිය.දශ රාජ ධර්මයෙන් රජ කළ මෙතෙම සිවු සගරාවතින් ලොවට සංග‍්‍රහ කොට සිය ඇස මෙන් පාලනය කළේය.බුද්ධ ශාසනය ධර්මානුකූලව ශුද්ධ කළේය.¨  කසුප් රජුගේ පුවරු ලිපිය කීප අතෙකින් වැදගත් වන්නෙකි. එය ශාසනික ව්‍යවස්ථාවක් වැන්නකි.සංඝයා වහන්සේලා කෙරෙහි පිහිටා ධර්මය කෙරෙහි පිහිටා කටයුතු කළයුතු ආකාරය මෙම ලිපියෙන් මොනවට පැහැදිලි වේ. පේළි පණස් හයකින් යුක්ත මෙම ශිලා ලේඛනයේ  ආරම්භය අතිශයින් සිත් අලවන සුලුය. රජුගේ වංශය සුපුරුදු පරිදි පැහැදිලි කිරීමෙන් අනතුරුව ඇරඹෙන පේළි දාහතරෙන් ඉස්මතුව පවතින්නේ සිංහල රජ කෙනෙකුන් විසින් ලෝ සසුන් වැඩීමට කළ යුතු කාර්යයන්ය.

        කසුප් රජු පඩිවරයකු ග‍්‍රන්ථ කර්තෘවරයෙකු විශාරද බුද්ධිමතෙකු වශයෙන් ප‍්‍රකට වූයේ ධමිපියා අටුවා ගැටපදය වැනි විවරණයන් කළ හෙයිනි. බුද්ධඝෝෂ හිමියන් කළ ධම්ම පදට්ඨ කථාව සිංහල බසින් පැහැදිලි කිරීමට මෙම ග‍්‍රන්ථය රචනා කළ බව පැවසේ .කතුවරයාගේ කවීත්වයත් පාණ්ඩිත්වයත් නිර්මාණ ශක්තියත් රචනා චාතූර්යත් කලා නිපුණත්වයත් ග‍්‍රන්ථ ඥාණයත් විචාර බුද්ධියත් මෙම සන්න ග‍්‍රන්ථයෙන් හෙළි වන්නේයයි කොටහේනේ පඤාකිත්ති හිමියන් පවසති. එය පාළි රීතිය අනුව සකස් වී ඇතැයි උන්වහන්සේ තවදුරටත් පවසා තිබේ.   නමුත් සෙල්ලිපියේ ව්‍යවස්ථා සංග‍්‍රහය ආරම්භ කරන්නට මත්තෙන් රජු කර ඇති වැඩ කොටස පැහැදිලි කරවන පේළි දාහතර  කියවන්නෙකු ගේ සිත් සතන් පොබයන්නේ එහි තිබෙන පද විරිතේ   ගී රසයෙනි. සීගිරි ගී ලියූ පිටිසර ගැමියෙකු මෙන් හේ සිය කවීත්වයෙන් කියවන්නා අමන්දානන්දයට පත් කරවයි. ව්‍යවස්ථාවක් හෝ නීති සංග‍්‍රහයක් වැනි බල පණතක තිබිය යුතු ගැඹුරු බව එසේම තබා ගනිමින් එය කියවන්නාගේ  සිත් එයට ඇද බැඳ තබාගන්නා පිණිසම මෙම කවි පද පෙළ ගී විරිතකට සකස් කරන්නට ඇතැයි සිතේ. එසේම සිය කවි කමෙන් ඔහු විශාල ආශ්වාදයක් ලබා ඇති බව මෙම පද ගයන්නට උත්සාහ කරන්නෙකුට නිතැතින්ම දැනේ.                   

             මහාවංශයෙහි සඳහන් පරිදි විහාරයෙහි කරවූ මණ්ඩපයක සියලු භික්ෂූන් හා නුවරුන් පිරිවරා ගෙන හිඳ ආචාර්ය පාදයන් හමුවෙහි  රජු අභිධර්මය දේශනා කළේය.රන්පත්වල අභිධර්මය ලියවා ධමිමසංගණී නම් අභිධර්ම ප‍්‍රකරණයට විශේෂ පුද පෙරහැර පැවැත්වීය.අවුරුදු පතා පෙරහැර පවත්වා නුවර සැරිසරවා නුවර මැද ධම්මසංගණී මන්දිරයේ රන් පුස්තකයන් තබා ධම්මසංගණී පූජාව කරවීය.           පුරාණ නීති සමිප‍්‍රදාය අනුව රජු විසින් කළ යුත්තේ  භික්ෂූන් වහන්සේලාගේ චාම් ජීවිතයට කරදරයක් ඇති නොවන පරිදි විහාරාරාමවල සංඝාරාම වල විනය පවත්වාගෙන යෑමට ඉඩකඩ සැලැස්වීමයි.  පොළොන්නරු කතිකාවත ,දඹදෙණි කතිකාවත ආදී ව්‍යවස්ථා වලින් ප‍්‍රකට වන්නේ මෙයයි. එසේම සසුනට එරෙහි බලවේග මර්දනයටද රජුන් පියවර ගත්හ. මවු මැරීම ,පියා මැරීම, රහතුන් මැරීම ,පෙති පිළිම වැනසීම,  බුද්ධ ධර්මය හැර අන් ආගමක් ඇදහීම යන පංච  මහා සාවද්දයෙන් වැලකී  සිටීමට හැකිවන පරිදි රට  පරීක්ෂා කර බලන ලෙස කසුප් රජු කළ නියෝගය ඒ පුරාණ සම්ප‍්‍රදාය නැවත සිහිගන්වයි.  


                                       

           සංඝයා වහන්සේලා එක්ව කතිකා කොට තම නිකායන්ට අයත් විනය ද සමගිය ද පවත්වාගෙන යෑමට කටයුතු කිරීම සදහා රජු විසින් පහසුකම් සැලසීම පෙර සිරිත විය. එසේ නොමැති අවස්ථාවලදී සම්දරුවන් නොහොත් නිළධාරීන් මැදිහත් කරවා නීති පැණවීමට උත්සුක වූහ.    මෙම පුවරු ලිපියේ විසිනවය සහ තිස්වන පේළියේ සදහන් මෙම අර්ථය වර්ථමානයටද එකසේ වැදගත්ය. එසේම සම්දරුවන් පැණවූ යමි නීතියකට දඩයකට ගිගිරියක් නොහොත් විරුද්ධතාවයක් ඇතොත් සියලු දෙනා එක්ව විචාරා නීතිය සංශෝධනය කිරීමේ පිළිවෙතක් ද මෙහි වෙයි. එය සිංහල බෞද්ධයාගේ වැදගත් රාජ්‍ය තාන්ති‍්‍රක‍ ලක්ෂණයක් යයි කිව හැකිය.මෙම නීති සඳහා එතුමා නිසැකව ආභාෂය ලබන්නට ඇත්තේ බුදුන් වහන්සේ ජීවමාන කාලයෙහි ඇති වූ ශාසන පලිබෝධයන් වලදී උන් වහන්සේ කටයුතු කළ ආකාරය අධ්‍යනය කිරීමෙන් බව පැහැදිලිය. බුදුන් වහන්සේ ජීවමාන කාලයෙහි අනාචාර විෂයෙහි චෝදනා එල්ල වූ භික්ෂූන් සහ භික්ෂුනියන්ද වූහ. ඒ අවස්ථා වලදී ඉතාමත් ඥානවන්තව කටයුතු කළ උන් වහන්සේ සමාජය කැළඹීමට පත් නොවන සේ මැදිහත් විනිශ්චයන් ලබා දුන්හ.

මහාශ්‍රාවක කුමාර කාශ්‍යප මාතාවට අනාවාර චෝදනා නැගුණ අවස්‌ථාව උදාහරණයකි. එම මාතාව දරුවකු පිළිසිඳගත් බව නොදැන දේවදත්ත තෙරුන් වහන්සේ  සමීපයේ  පැවිදි වූවාය.  ටික දිනකින් ඇයගේ ගර්භය මෝරා වැඩෙන්නට වූ අතර සෙසු මෙහෙණියෝ ඇයට අවලාද නගා දෙව්දත් තෙරුන්ට දැන්වූවාය. දෙව්දත් තෙරුන් කිසිදු වගවිභාගයක්‌ නොකරම ඇය පැවිදි බවෙන් ඉවත් කළ බව සඳහන්ය.  කුමාර කාශ්‍යප මාතාව බුදුන් වහන්සේ සොයා ගියාය. බුදුරජාණන් වහන්සේ කරුණු විමසා ඇයගේ නිර්දෝෂිභාවය තේරුම්ගෙන අන් අයටද ඒ බව ඒත්තු ගැන්වීම සඳහා කරුණු සොයා බැලීමට විනය කමිටුවක් පත් කර ඇත. ඒ සඳහා කොසොල් මහ රජතුමාත්, අනේපිඬු සිටුතුමාත් විශාකා මහා උපාසිකාවත් පත්කරන ලද  බව සඳහන්ය. විසාකා මහා උපාසිකාව පත්කරන ලද්දේ කාන්තාවකගේ ප්‍රශ්නයක්‌ විසඳීමට කාන්තාවක්‌ වඩාත් සුදුසු නිසාත්, ඇය දරුවන් විසිදෙනකුම ප්‍රසූතකර හසළ අත්දැකිම් තිබූ නිසාත්ය. මෙම ත්‍රි පුද්ගල කමිටුව කුමාර කාශ්‍යප මාතාවගෙන් කරුණු විමසා ඇගේ නිර්දෝෂිභාවය බුදුරජාණන් වහන්සේට දැන්වූහ. බුද්ධ නීතිය අනුව මේ අවස්ථාව ඉතාම වැදගත්  ළෙස සැලකිය හැකිය. කුමාර කාශ්‍යප මාතාව නිර්දෝෂීබව බුදුරජාණන් හොඳාකාරවම දන්නා නමුත්  එය දිවැසින් බලා දැනගැනීමට හැකියාව තිබුණද . වරදක්‌ කළ විට සමාජය ඉදිරියේ නිරිදෝෂීහාවය ඔප්පු කළ යුතු බවත් එය වඩාත් සාධාරණ බවත්, එය සමාජය ඉදිරියේ ස්‌ඵුට කළ යුතු බවත් බුදුන් අදහස්‌ කළ සේක. මෙම ත්‍රිපුද්ගල කමිටුවට ඇයගේ නිරිදෝෂීභාවය සෙවීමට පත්කළේ එම නිසාය. පස්වන කසුප් රජු මෙම බුද්ධ නීතියෙන් ආදර්ශය ගෙන භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධ කටයුතු කිරීමට උන්වහන්සේලාටම අවස්ථාව ලබා දී ඇත. ආන්දෝලනයකට තුඩු දෙන අවස්ථාවක් නම් නිළධාරීන්  මැදිහත් කර  ගැනිම අනුමත කරන ලද්දේය.මෙම සම්ප්‍රදාය වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(4) වගන්තිය වෙත ආරෝපණය කර ඇති බවද මෙහිදී මතක් කළ යුතුය.

මතුගම සෙනෙවිරුවන්

 

Sunday, May 3, 2026

විදේශ කටයුතු ලේකම් ගේ හදිසි තීරණය පිටිපස සිටින්නේ කවුරුන්ද

 

                       

         මේ වන විට භික්ෂූන් වහන්සේලා විසි දෙනමක් මත් ද්‍රව්‍ය සමග කටුනායක ගුවන් තොටුපලේ දී අත් අඩංගුවට පත් වී ඇත. කාලයක් තිස්සේ කළ මගඩියක් මේ ලෙස හෙළිදරව් වූයේ මත්ද්‍රව්‍ය නාශක පොලිසියට ලැබුණු ඔත්තුවක් නිසා බව සැළවේ.මෙම මත්ද්‍රව්‍ය පැන්නවීම පිටිපස කඩවත රන්මුතුගල විහාරයක භික්ෂුවක් ද ගාල්ල ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ද සිටින බවට මේ වන විට වාර්තා පළ ව තිබේ.ඒ අතර අන්තර් ජාල සාකච්ඡාවකට සාභාගි වෙමින් නාමල් කුමාර මහතා ප්‍රකාශ කර සිටින්නේ මෙම ජාවාරම පිටිපස තායි කාන්තාවක්ද එංගලන්තයේ වසන ඇයගේ සැමියාද ඇතුළු විශාල පිරිසක් සිටින බවයි. මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන පැමිණි භික්ෂූන් වහන්සේලාගෙන් වැඩි පිරිසක් මේ සම්බන්ධව තොරතුරු නොදන්නා කමින් උගුලකට හසුව තිබෙන බව මේ සිද්දිදාමයෙන් පැහැදිලි වේ.

        භික්ෂූන් වහන්සේලා විදේශ ගත වීම අහම්බයක් නොවේ. විශේෂයෙන්ම ඉන්දියාව තායිලන්තය වැනි පැරණි බෞද්ධ රටවල් හි ආරාධනයෙන්ද වන්දනාව සඳහාද වැඩම කිරීම සුළභය.සියම් දේශය සහ අමරපුරය උප සම්පදා කර්මයන් සමග අතීතයේ සිටම තිබුණු සම්බන්ධය නිසා මෙරට භික්ෂූන් වහන්සේලා කෙරෙහි ඒ රටවල තිබෙන ගෞරවය අති මහත්ය. මෙම මත් ද්‍රව්‍ය සිද්දිය නිසා මෙම ගෞරවය පළුදු වීම සැබවින්ම ඛේදවාචකයකි. මෙතෙක් කලක් භික්ෂූන් වහන්සේලා විදේශ ගත වීමේ දී නායක ස්වාමීන් වහන්සේලා ගේ නිර්දේශය බුද්ධ ශාසන අමාත්‍යංශය හරහා නිකුත් කිරීම සිදුව ඇත. මන්ද වැඩම කරන කරණු ලබන භික්ෂූන් වහන්සේලා පිළීබඳව සංඝ සංස්ථාව දැන සිටිය යුතු බැවිනි. එම නිර්දේශය තානාපති කාර්යාල සඳහා ඉදිරිපත් කළ යුතු විය.පසුගිය ජනවාරි මස පළමු වන දින සිට මෙම නිර්දේශය අවශ්‍ය නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් විසින් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියකින් දන්වා ඇත. තානාපති කාර්යාල වලට මෙම යොමු කරලීම සිදු කර තිබෙන්නේ 2025 දෙසැම්බර් මාසයේ දීය.පසුව එහි පිටපතක් සහිතව බුද්ධ ශාසන අමාත්‍යංශයට දන්වා යවා ඇත. අනතුරුව එම තත්වය භික්ෂූන් වහන්සේලා වෙතද මෙහෙණින් වහන්සේලා වෙත ද ලිඛිතව දන්වා යවා ඇත.

       තායිලන්තය වැනි රටවලට වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවය පසුගිය කාලයේ අහෝසි කෙරුණු නමුත් නායක ස්වාමීන් වහන්සේලාගේ නිර්දේශය ලබා ගැනීමේ වැදගත්කමක් ඇත.ඒ නිර්දේශය මගින් විහෙෂයෙන්ම තරුණ භික්ෂූන් වහන්සේලා ගේ සංචාරයන් ගැන  පූර්ව අවබෝධයක් නායක ස්වාමීන් වහන්සේලාටත් අදාළ අමාත්‍යංශයටත් ලැබෙන බැවිනි.එහෙත් එම තත්වය නොසලකා හැර  විදේශ කටයුතු ලේකම් වරයා විසින් නිකුත් කරන ලද ලිපියේ බරපතල කාරණා අඩංගු  වෙයි. විදේශ ගත වීමක දී පොදු මහජනතාව ,අන්‍යාගමික පූජකයන් තානාපති කාර්යාල වලට ඉදිරිපත් කරන ලේඛන ලෙසටම භික්ෂූන් වහන්සේලාද කටයුතු කළ හැකි බව එහි දක්වා ඇත. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තිය මගින් කියැවෙන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන්නේය යන වගන්තිය මේ මගින් උල්ලංඝණය කර තිබේ. මෙම තීරණය ගැනීමට ප්‍රථම මහා නායක ස්වාමීන්වහන්සේලාගේ අදහස් විමසීමට විදේශ කටයුතු ලේකම් වරයා කටයුතු කර නැත. තානාපති කාර්යාල වලට ලිපිය තැපැල් කිරීමෙන් පසුව බුද්ධ ශාසන අමාත්‍යංශයට දන්වා යවා ඇති බව ලිපියෙන් පැහැදිලි වේ. මෙම තත්වය උදාවූයේ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම නිසාවෙන්ද එසේත් නැතිනම් අමාත්‍ය මණ්ඩල තීරණයකින් ද නැති නම් ජනාධිපතිවරයාගේ තීරණයකින් ද යන්න පැහැදිලි නැත.

       මෙම ක්‍රියාව මත බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ලිපියක් ගෞරවනීය ස්වාමීන් වහන්ලොට තැපැල් කළ පසු සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් මහා නායක ස්වාමීන් වහ්නසේලා දැනුම්වත් කරමින් 2026/ 01/ දින ලිපියක් යවා තිබුණි. ඒ සම්බන්ධව මහා නායක ස්වාමීන් වහන්සේලා සෘජුව මැදිහත් වූ බවක් පෙනෙන්නට නැත. මෙම තත්වයේ බරපතල කම ඉස්මතුව පවතින්නේ මත්ද්‍රව්‍ය ගෙන පැමිණි තරුණ භික්ෂූන් වහන්සේලා බහුතරයක් තම නායක ස්වාමීන් වහන්සේලා දැනුම්වත්ව විදේශ ගතව නොමැති බවයි.එලෙස කරුණු වසන්ගා ගැනීමට හේතු වන්නට ඇත්තේ වටස්ඇප් සමූහ වල උන්වහන්සේල සම්බන්ධ කොට ගෙන කරන සංවාද අනුව විය හැකිය. නායක ස්වාමින් වහන්සේලා දැනුම්වත් වීමෙන් ගමනට බාධාවක් ඇති වන්නට ඉඩ ඇති බව එහිදී සාකච්ඡා වන්නට ඇත. කෙසේ වෙතත් මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විහාරස්ථාන වල ඉතා වැදගත් කාර්යයන් කළ තරුණ භික්ෂුන් වහන්සෙලා සිවුරු අරවන්නට ද ගිහියන් ලෙසට නඩු කටයුතු සඳහා යොමු කරවන්නට ද මහා නායක ස්වාමීන් වහ්නසේලා අනුමැතිය දී තිබේ. මෙම තත්වය මෙම ප්‍රශ්ණය තවත් සංකීර්ණ කරන්නට හේතු වී තිබේ.මත්ද්‍රව්‍ය ගෙන ඒම සංවිධානය කිරීම ඊට සමගාමීව විදේශ ගත විමේ නිර්දේශය අවංලංගු කිරීම පැහැදලිව පවතින ආණ්ඩුවේ මැදිහත් වීමකින් සිදු වූවකි. මෙම භික්ෂූන් වහ්නසේලාගෙන් කීප දෙනෙකු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට ද සෘජුව සම්බන්ධ වී ඇති බව ප්‍රකටය. එලෙස සම්බන්ධ වූවන් දඩමීමා කරගෙන කිසිවක් නොදන්නා බහුතර තරුණ භික්ෂූන් වහ්සේලා මෙයට මැදිහත් කර ගැනීම ඛේදවාචකයකි.

යටත් විජිත සමයේ දී වැඩ සිටි නැණවත් ප්‍රාචීන පණ්ඩිත උගතෙකු වශයෙන් කටයුතු කළ ප්‍රකට යතිවරයෙකුට අත්වූ ඉරණම මෙහිදී සටහන් කර ලිපිය අවසන් කරමි. උන්වහන්සේ නමින් සූරියගොඩ සුමංගල විය. වර්ෂ 1919 දී බ්‍රිතාන්‍ය යේ ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයට ඇකුල් වීමට වරම් ලැබූ මෙරට ප්‍රථම භික්ෂූන් වහන්සේ වූයේ පූජ්‍ය සූරියගොඩ සුමංගල තෙරණුවෝය.බ්‍රිතාන්‍යයේ හෙන්රි මැන්චෙස්ටර් ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ උන්වහන්සේ උගෙනුම ලැබූ බව දක්වා ඇත. භික්ෂුවක් ලෙසට තම තරුණ වියෙහිදීම 1903 වසරේ දී සංයුක්ත නිකාය ගාථා සන්නය ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ උන් වහන්සේ ඉන්පසුව 1914 දී ධම්මපදය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද්දේය..පසුව දශකුමාර චරිතයද ප්‍රකාශයට පත් කර ඇත.මේ ග්‍රන්ථයන් ප්‍රකාශයට පත් කරන ලද්දේ ප්‍රාචීන භාෂෝපකාර  සමිතිය සහ රාජකීය ආසියාතික සඟරා ප්‍රකාශන මගිනි.ප්‍රාචීන භාෂා පිළිබඳ මහත් උනන්දුවක් දැක්වූ හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයා ගේ අනුග්‍රහයෙන් පූජ්‍ය සූරියගොඩ සුමංගල හිමියන්ට ඔක්ස්ෆඩ් මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයට දෙවසරක ශිෂ්‍යත්වයක් ලැබුණේ පෙර අපරදිග භාෂා පිළිබඳ උන්වහන්සේ සතුව තිබූ දැනුම නිසාවෙනි. මහා බ්‍රිතාන්‍යයේ වැඩි දුර අධ්‍යාපනය පිණිස  වැඩම කළ සූරියගොඩ සුමංගල හිමියන් යළි ලංකාවට වැඩම කළ පසු ලංකා විශ්ව විද්‍යාලයේ පෙරදිග භාෂා අධ්‍යන අංශය ආරම්භ කිරිමට උනන්දු කර අනුග්‍රහය ලබා දී ඇත.

      උන්වහන්සේ  එංගලන්තයට බල පිටතව ගොස් එහි සිටද තම ඥානාලෝකය බබුළුවමින් උපන් රටට ගෞරවයක් අත් කර දුනි.උන්වහන්සේ ආපසු සිය රටට වැඩම කර නැවෙන් ගොඩ බසින විට  ගෙනා ගමන් මළු පරීක්ෂා කෙරුණි. එහිදී කාන්තා නිරුවත් පින්තූර රැසක් සොයා ගන්නට හැකි විය. උගත් නැණ භික්ෂූන් වහන්සේ නමක් ලෙස උපන් බිමේ ගෞරවය ලබන්නට සිටි උන්වහන්සේ ගේ කීර්තියට කළු පැල්ලමක් එකතු විය.ස්වල්ප කාලයක් නිහඩව සිටි උන්වහන්සේ උපැවිදි වී සුමංගල සූරියගොඩ නමින් ප්‍රකටව සිට මෙරට බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට සිය කාලය ධනය වැය කරන ලද්දේය.නමුත් සුසුනට වැදගත් යතිවරයන් වහන්සේ නමක් අහිමි විය.ඒ අඩුව පිරිමැහිය නොහැකි තරම්ය.එම නිසා වරදෙහි යෙදෙන භික්ෂූන් වහන්සේලා නිවැරදි මගට පත් කර බුදු සසුන ආරක්ෂා කර ගැනීම අද දවසට වඩා සුවිශේෂීය. මන්ද සසුනෙහි පිහිටුවන්ට තරමේ දරුවන් ජාතියට අද දායාද නොවන බැවිනි.

මතුගම සෙනෙවිරුවන්

Saturday, April 18, 2026

සී.අයි.ඩිය යටින් හැංගෙන පුරාවස්තු හොරකම්

 

                            


     කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රාජමහා විහාරයේ තිබූ සඳගල නම් වූ පාෂාණමය ඓතිහාසික පුරාවස්තුවක් තිබූ ස්ථානයෙන් ගලවා සොරකම් කරන ලද්දේ යැයි  සළකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද නඩුකරය අවසන් කර චූදිතයන් නිදහස් කලේ යැයි ද එයට  නිසි විමර්ශන නොකලේ යැයි ද සළකා සී.අයි.ඩී. හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට පත් කරගෙන තිබෙන බව පුවත් පත් වාර්තා කර තිබේ.මෙම පුරාවස්තු සොරකම මෙයට වසර දෙකකට පමණ පෙර සිදු වූවකි.සැකකරුවන් අත් අඩංගුවට පත් කොට පුරාවස්තු පණතේ විධි විධාන අනුව නඩු පවරා තිබෙන්නේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.සඳගල පාෂාණය පුපුරුවා නිදන් වස්තු ගෙන ඇති බව ද සඳහන්ය.

          මෙයට පෙර දැලිවල කොට වෙහෙරෙන් හමු වූ ඉතා වැදගත් ඓතිහාසික රන් කරඬුවක් ද එනම් චෛත්‍ය ආකෘතියට තැනූ ඡත්‍ර සහිත කරඬුව  ද සොරාගෙන තිබුණි.එම නඩු කරයද නිසි විමර්ශනයක් නැතිවම මේ වන විට අවසන් වී තිබේ. එයට අමතරව කොත්මලේ පුසුල් පිටිය රාජ මහා විහාරයේ තැන්පත් කර තිබූ දැව මුවා මකර තොරණ  ද රාත්‍රියේ සොරකම් කර තිබුණි.එහි චූදිතයා වූයේ ඇන්ටික් සාප්පුවක අයිතිකරුවෙකි. අත් අඩංගුවට පත් සැකකරුට මුලින් ඇප හිමි නුවුණද නඩු වාර කිඵයකින් පසුව නිදහස් කර තිබේ. නමුත් දැලිවල රන් කරඬුව මෙන්ම  පුසුල් පිටියේ මකර තොරණ ද නැවත  ලැබුණේ නැත.

      පුසුල් පිටිය රාජ මහා විහාරයේ පුරාවස්තු සොරතම පිළීබඳව දැන් අප සලකා බලමු.මෙම සොරකම සිදු වීමෙන් පසුව  2016/9/20 දින  යොමු කරන ලද ලිපිය අනුව මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක වරයාව සිටි ගුණතිලක බණ්ඩා මහතා ක්‍රියාත්මක වී පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාශයට දන්වන ලදුව 2016 ඔක්තෝබර් මාසයේ දී අවශ්‍ය ස්ථානීය පරීක්ෂාව සිදු කර තිබේ. අනතුරුව 2017 ජනවාරි මස 27 දින පොලිසිය විසින් යළි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලදුව 2017 පෙබරවාරි 7 වන දින ගරු අධිකරණයට මෙම පුරාවස්තුවේ වටිනාකම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ඒ වාර්තාව අනුව අත් අඩංගුවට ගත් සැක කරුවන් හට ඇප ලබා දිය නොහැකි  බව පැහැදිලි වේ.

       මෙම දළකඩ මකර තොරණ උසින් අඩි 3.5 කි. දැවයෙන් සහ ඇත් දළ වලින් නිම කරන ලද මේ මකර තොරණ සොරාගෙන යන දින විහාරයේ සවි කර තිබූ CCTVකැමරාවේ මෙම සොරකම කරන ආකාරය මනාව සටහන් වී තිබුණි.මකර තොරණ ගලවා කර තබාගෙන යන ආකාරය තුළින් ගම්‍ය වනුයේ ඒ ස්ථානයට තිබූ ආරක්ෂාවේ දුර්වල ස්වභාවයයි.    මේ මහා හොරකම සිදුව සැක කරුවන් අත් අඩංගුවට පත් කර ගැනීමට පොලිසියට හැකියාව ලැබුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි ඉහළ නිළධාරීන් ගේ පක්ෂපාතීත්වය හෝ නොසැළකිල්ල මත අපරාධ කරුවන්ට ඇප ලැබී තිබුණි. එසේම සොරා ගත් මකර තොරණද ඔවුන් ගෙන් ලබා ගැනීමට හැකියාව මෙතෙක් ලැබී නැත . මේ හා සමානව දැදිගම කොට වෙහෙරෙන් හමු වූ රන් කරඬුවට ද අත්ව තිබෙන්නේ ද මේ ඉරණමයි. පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂතාවය නිසා මේ වටිනා පූජනීය වස්තූන් කිසිවක් මෙ තෙක් නැවත ලබා ගැනීමට හැකියාව ලැබී නොමැත. අවසානයේ දී මේ ඇප දීමට එරෙහිව නඩු කීමට සිදු වූයේ  පුසුල් පිටිය රාජ මහා විහාරයේ භාරකාර තැන්පත් ලංකා තිලක විහාරයේ බස්නායක නිලමේ ප්‍රියන්ත අමුණුගම මහතාටය. ඔහු  ඉහළ අධිකරණයට ඉදිරිපත් කරන ලද නඩු කරය බෙහෙවින් ප්‍රබල විය. නඩු වාර ගණනාවකට පසු 2024 මැයි මාසයේ31 වන දින  නැවත නාවල පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පවත්වන ලද නඩු විභාගයේ දී නැවතත් සැක කරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ නමුත් පසුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිද්‍රාශීලිත්වය නිසා චූදිතයන් නිදහස් විය.

          මෙම පුරාවස්තූන් සියල්ල රාජමහා විහාරස්ථාන සතුව තිබූ පෙර රජ දරුවන් විසින් ශාසනයට පූජා කරනු ලැබූ පූජා වස්තූන්ය. ඒ සියල්ල බුද්ධ ශාසනයට අයත්ය. බුද්ධ ශාසනයට අයත් පැරණි වස්තූන් ආරක්ෂා කිරීමේ වගකීම සහ ප්‍රතිසංස්කරණයේ වගකීම පවතින්නේ පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවටයි.මෙම ඓතිහාසික ස්ථානයන් වෙත සොර සතුරු බියක් සහ විනාශයක් සිදු වූ විට ඒවා ගැන සොයා බලා යතාවත් කිරීමේ වගකීම පැවරෙන්නේ රජයටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය අනුව කියැවෙන බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජය වෙත ඉතා දැඩිව පවතින්නකි.එවැනි  ප්‍රතිපාදන ව්‍යවස්ථාපිතව තිබුණද පුරාවස්තු සොරා ගැනීමේ සිද්දියකදී මෙරට පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරනුයේ කෙසේද යන්න ඉහතකී සිද්දි තුනෙන්ම සනාථ වී තිබේ. සැක කරුවන් අත් අඩංගුවට පත් කරගත් පසු කෙසේ හෝ සොරා ගත් ඓතිහාසික පුරාවස්තු සොය ගැනිමේ වගකීම ඔවුන් සතුය.එසේම පරික්ෂණය සහ නඩුකරය ඉදිරියට යන කල්හි පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ නීති අංශය සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ වගකීම ද පවතී. නමුත් මෙම සිද්දි තුනේම පෙනෙන්නට තිබෙන්නේ  සැක කරුවන් අත්අඩංගුවට පත් වූ පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීති අංහ දැනුම්වත් කරමින් නඩුකර ඉදිරියට නොගිය  ආකාරයයි.අතැම් විට නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි උපදෙස් නිසා විනාශ වන පුරාවස්තු ගැන ද අපට අසන්නට ලැබේ. වඩුන්නාගල සහ කුරුන්දි විහාරය උදාහරණ දෙකකි.මෙම ලිපියේ මුලින් සඳහන් කළ පරිදි අල්ලස් කොමිසම මගින් සී.අයි.ඩියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකු අත් අඩංගුවට පත් කර ගනු ලබනුයේ මෙවැනි දුර්වලාතා සහ පක්ෂපාති ක්‍රියා නිසාවෙන් යයි සිතන්නට හැකිය.ඒ තත්වය නිසා මෙරට ඓතිහාසික උරුමයන්ට සිදුවන හානිය සුළු පටු නොවේ.

මතුගම සෙනෙවිරුවන්

Saturday, March 28, 2026

ඩොලර් ගිවිසුම් සමග තෙලෙන් නැටවෙන ශ්‍රී ලංකාව

 

                           


         ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති වූ යුධ ගැටුමට මැදිහත් වූ ඇමරිකානු අවි මෙහෙයුම නිසා ලෝක ප්‍රමාණ අර්බුදයක් නිර්මාණය වී තිබේ.ප්‍රධානතම ප්‍රශ්ණය ගොඩ නැගී තිබෙන්නේ මැද පෙරදිග තෙල් ලබා ගැනීම  තිබෙන අවිනිශ්චිතභාවයයි. ඒ නිසා ඛනිජ තෙල් මිළ ඉහළ ගොස් ඇති අතර ඒවා ලබා ගැනීමට තිබෙන බාධා නිසා තෙල් ලබා ගන්නා රටවල් රැසක් අමාරුවේ වැටී තිබේ. ලංකාව මේ දැවැන්ත අර්බුදය නිසා විශාල අපහසුතාවයකට පත් වී තිබේ.ඛනිජ තෙල් රටේ සෑම ආර්ථික ක්‍රියාකාරකමකටම බලපාන බැවින්  ආහාර නිෂ්පාදනය පවා කඩා වැටීමට තිබෙන ඉඩකඩ විශාලය.1970 දශකයේ දී හිටපු ඇමරිකානු ජනපති රිචඩ් නික්සන් විසින් තෙල් ගනුදෙනු වලදී භාවිත කළ යුතු මුදල් ඒකකය ඩොලරය බවට පත් කිරීමෙන් පසු එය පෙට්රො ඩොලරය ලෙසින් හඳුන්වන්ට විය.අද පවතින අර්බුදයේ ස්වභාවය නිර්මාණය වන්නේ මෙම මුල්‍ය ඒකාධිකාරය බිඳ දැමීම පිණිස චීනය රුසියාව ඇතුළු රටවල් කීපයක් උත්සාහ දැරීම මගිනි.නමුත් මෙහි ඉතිහාසය ඊට වඩා පැරණිය.

 දෙවන ලෝක යුද්ධයෙන් පසුව කඩු වැටුණු යුරෝපය නැවත ගොඩ නැන්වීම පිණිස 1944 දී බ්‍රෙටන්වුඩ් හි මුළු දුන් ලෝක නායකයන් ගේ එකමුතුව තුළ ඇති වූ එකඟතාවය මෙයට මූලික පදනම දැමූ බව පැවසේ.මෙම එකඟතාවයට රටවල් 44 ක් අත්සන් තැබූ අතර එයට ලංකාව ද අයත් විය.බ්‍රෙටන්වුඩ් සම්මුතියේ අරමුණ බවට පත් වූයේ ලොව පුරා රටවල ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීමයි.ඒ මගින් ලෝක ආර්ථීකය පාලනය කළ හැකි බව සාකච්ඡා වී ඇත. ඒ සඳහා මූලිකව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවන ලදී. එයට අමතරව ලෝක බැංකුව හෙවත් නැවත ගොඩනැන්වීමේ සහ සංවර්ධන කිරීමේ ජාත්‍යන්තර බැංකුව වෙළෙඳ හා තීරු බදු ගිවිසුම සහ ආහාර හා කෘෂීකර්ම සංවිධානය යන ආයතන ඇති විය. අවියෙන් සහ මංකොල්ලකෑමෙන් අත්පත් කරගෙන තිබූ රටවල් ඉන් නිදහස් වන විට ඒ රටවල් ආර්ථීක වශයෙන් නැවත බැඳ තබා ගැනීමට මෙම එකඟතාවයන් ඉතා වැදගත් විය.

       එක් දහස් නමසිය හතලිස් අටේ බ්‍රිතාන්‍ය විසින් අපට ලබා දුන් නිදහස 1815  කරා ආපසු කැඳවා  ගෙන යෑමක් නොවුණු බව  සඳහන් කළ යුතුය.1815 වන විට ලංකාවට  රජෙකු සිටියේය. රජු කවරෙකු වුවද සියවස් ගණනාවක් විකාශනය වූ රාජකීය සම්ප්‍රදායක් විය. 1815 උඩරට ගිවිසුම මගින් සිදු වූයේ  රාජ්‍යත්වය අහෝසි වීම නොව එංගලන්ත රජුට රටේ පක්ෂපාතිත්වය හිමි වීමයි.1948 වන විට එම පදනම මත ලංකාව එංගලන්ත රැජින යටතේ පාලනය වෙමින් තිබිණ. නිදහස ලැබිය යුතු අවස්ථාව උදා වුවද රටේ පැරණි සම්ප්‍රදාය මත පදනම්ව නිදහස නොලැබුණි. ඒ වෙනුවට එංගලන්තය ට පත්ෂපාතී අග්‍රාමාත්‍ය වරයෙකු පත් විය.ඒ තත්වය 1972 දක්වාම පැවතිණ. 1972 ඇති කළ ජනරජ ව්‍යවස්ථාව සකස් කරන ලද්දේ ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා විසිනි. මාක්ස්වාදියෙකු වූ ඔහු කිසි විටක රටේ රාජකීය සම්ප්‍රදාය පිළීබඳව හිස නැමීමක් සහිත පුද්ගලයෙකු නොවීය.එම නිසා රටේ අග්‍රාමාත්‍ය තනතුර සහ ව්‍යවස්ථාදායකය ආදී බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තවදුරටත් ස්ථාපිත වූවා මිස ස්වාධීන ගමනක් යෑමට මුල පිරිමක් සිදු වූයේ නැත.මේ කාලයේ ලංකාවේ විදේශ මුදල වූයේ රන් පවුමයි. මහ බැංකුව සතුව තිබූ රන් සංචිත මගින් ආනයන අපනයන ආර්ථිකය හැසිරවීම සිදු විය.1944 ජූලි මස  දී අත්සන් කරන ලද බ්‍රෙටන්වුඩ් සම්මුතියෙන් පසු ලොව නොයෙකුත් රටවලට ඒ එකඟතා ආදේශ කිරීමේ පියවර ඇරඹිණ. ඒ අනුව 1950 දී මෙම එකඟතාවය ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. එය 1950 අංක  20 දරණ ආඥා පනත යනුවෙන් හැඳින්විණ.මෙම පනත සම්මත වූවායින් පසුව මුදල් අමාත්‍යවරයා එහි බලධරයා බවට පත් විය. එහි 3(1) වගන්තිය අනුව රන්පවුම් වලින් සහ ලංකා රුපියල් වලින් ගනුදෙනු කිරිමේ හැකියාව මෙතෙක් ලැබුණද එහි පස් වන වගන්තිය අනුව රන් පවුම් සහ ඇමරිකානු ඩොලරයට මාරු වීම සඳහා අවකාශ ලබා දී තිබේ.

    1859 දී ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පොළව කැණීමකින් පළමු වරට ඛනිජ තෙල් ලබාගෙන තිබේ. ඒවා පිරිසිඳු කර කාර්මික ලෝකයේ යන්ත්‍ර සූත්‍ර දිවවීමට යොදා ගත හැකි බව තේරුම් යෑමෙන් පසු එය පිස්සුවක් මෙන් පැතිරුණි. මේ පිස්සුවට අසුවූ රොකෆෙලර් නම් තරුණයෙකු ඒ තෙල් ගොඩ නැගිමෙන් විශාල ධනවතෙකු බවට පත් විය.ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ තෙල් අධිකාරිය ආරම්භ කරන ලද්දේ එලෙසිනි. ඉන්පසු  රුසියාවේ සහ මැද පෙරදිග පොළව යටින් ද මේ තෙල් මතුකර ගැනීමෙන් තෙල් සඳහා තරඟකාරිත්වයක් ඇති විය. මේ තෙල් තරඟකාරිතවය පාලනය කිරීමට ඔපෙක් සංවිධානය බිහි වූ අතර  බ්‍රෙටන් වුඩ් සම්මුතියෙන් පසු ඇමරිකානු ඩොලරයේ බලපෑම් මත වක්‍රකාරයෙන් මැද පෙරදිග තෙල් සම්පතේ ඒකාධිකාරය ඔවුන් සතු විය.තෙලෙන් නැටවෙන ලෝකයක ශ්‍රී ලංකාව එහි ඉත්තෙකු බවට පත් වීමේ පසුබිම මෙයයි. ලංකා පාර්ලිමේන්තුව මෙයට එකඟ විම ජනතා පරාමාධිපත්‍ය ‍ලෙසට හැඳින්වේ.ජනතාව විසින් තෝරා පත් කර යවන මන්ත්‍රීලා විසින් ඕනෑම ගිවිසුමකට ඕණෑම පනතකට එකඟවන බැවින් එය මන්ත්‍රී පරාමාධිපත්‍ය ලෙසට ද හැඳින්විය හැකිය. ලංකාව සහ එහි ජනතාව අද  මේ ඉරණමෙහි හිර වෙමින් පීඩාවට පත් වෙමින් ඇත.ඩෙලරය මගින් විදේශ සංචිත ඉහළ නන්වා ගැනීමේ ක්‍රමවේදය ආරම්භ වූවායින් පසුව රට ස්වාධීනව ඉදිරියට යෑමක් සිදු නොවිය.උපයන මුදල් ණය ගොවීම සඳහාම වැය කෙරිණ. එම ණය උගුල නිසා වර්තමානය වන විට රට තදබල ලෙස කඩා වැටීමකට ලක්ව තිබේ.

 පසුගිය කාලයේ හිටපු බල ශක්ති අමාත්‍යවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම් හල් විශාල ප්‍රමාණයක් සිනොපෙක් සහ තවත් විදෙශීය සම්ගාම් වෙත නිදහස් කරන ලද්දේ ඒ මගින් ඇතිවන තරඟකාරිත්වය මත ජනතාවට අඩු මිළට තෙල් ලබා ගත හැකි බව පවසමිනි  නමුත් එය ඉටු වූයේ නැත.  සංස්ථාව   දරා  සිටින පාඩුව නැති කර ගැනීම ද අරමුණක් වුවද එයද ඉටු වූයේ නැත. නමුත් ඇත්ත තත්වය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දෙසි මත රජය ව්‍යාපාර වලින් ඈත් වීම සිදු වීමයි.බ්‍රෙටන්වුඩ් සම්මුතිය නිසා  (IMF) හෙවත් ජගත් මූල්‍ය අරමුදල රටේ අදිසි පාලකයා බවට පත්ව තිබේ. රට කොයි තරම් උගුලක අසු වී ඇත්දැයි මේ නිදසුන් වලින් තේරුම් ගත හැකිය.

         තෙල් සහ ඩෙලර් මත පවතින ලෝකයක මේ බැඳීම් වලින් නිදහස් වීම ලෙහෙසි පහසු නොවේ. විශේෂයෙන්ම ඩොලරයෙන් නිදහස් වී ම ලෙහෙසි නැත. නමුත් වර්තමානයේ ඩොලරය අභිබවා යුවාන් සහ රූබලය ඉදිරියට එමින් ඒක ධ්‍රැවීය ආධිපත්‍ය බිඳ වැටෙමින් පවතී.එවැනි තත්වයක් තුළ ලංකාව හැසිරිය යුත්තේ නෙලසකදැයි තීරණය කර ගත යුත්තේ පක්ෂයක නායකයෙකු විසින් නොවේ යයි සිතමි.එයට හේතුව පක්ෂය ප්‍රවර්ධන කිරීම හැරුණු කොට ජාතික න්‍යාය පත්‍රයක් ඔවුන්ට නොමැති බැවිනි.මෙය වෙනස් කළ යුතු තත්වයකි.බුද්ධිමතුන්ගේ සහයෝගය සහ ප්‍රඥාවන්ත නායකත්වයක අවශ්‍යතාවය රට ඉදිරයේ පවතින්නේ එහෙයිනි.

 මතුගම සෙනෙවිරුවන්