පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Showing posts with label ඉතිහාසය පළමු ලිපිය. Show all posts
Showing posts with label ඉතිහාසය පළමු ලිපිය. Show all posts

Tuesday, October 27, 2026

දළදා පාදා ආඥාය තුනුරුවන් ආඥාය

 

                                        


             සතරවන මිහිඳු රජුගේ  ශිලාලේඛනයට අනුව ලක්දිව නොබෝසත්හු නොරජ්වම්හයි දැක්වේ. .එනම් රජු බෝධිසත්වයෙකු විය යුතුය.නිස්සංකමල්ල රජුගේ ශිලා ලේඛනයකට  අනුව බුදු සසුනට හිමි ලක්දිව අබෞද්ධ පාලකයන්හට අත් නොවිය යුත්තේය.චෝල පාඩි කේරළාදීන්ට රට දිය නොහැකිය.අරන්කැලේ සන්නසට අනුව තුනුරුවන් ගුණදත් රාජ මැති ඇමැත්තන්  විසින් අධිකරණ විනිශ්චය කොට වියවුල් දුරුකොට දිව්‍ය මනුෂ්‍ය සම්පත් සංඛ්‍යාත වූ නිර්වාණ සම්පත් අත් කර දීම පිණිස ජනතාව පෙළඹවිය යුතුය.

       සෙංකඩගල මහනුවර අවසාන නරපතිඳු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් මෙම නියමයන් කඩ කොට භික්ෂූන් වහන්සේලාට අනදර කොට වැසියන් පෙළීම නිසා බලවත් අධීරාජ්‍යයකට අයත් මහා බ්‍රිතාන්‍ය රජුන්ට රට භාර දෙන්නට නිලමේ වරු කටයුතු කළහ. ඒ සඳහා උඩරට ගිවිසුම සකස් කළහ.අස්ගිරි විහාරයේ මූලිකත්වයෙන් සකස් කළ එම ගිවිසුම ප්‍රකාරව එන  පස්වන වගන්තියට අනුව බුද්ධ ශාසනය ද දේවාගමද කඩ නොකොට පවත්වාගෙන යන යුතුකම එංගලන්ත රජු විසින් පවත්වාගෙන යා යුතුය.යටත් වූ රාජ්‍යයක් ලෙසට නොව ගෞරවාන්විතව භාර දුන් රාජ්‍යයක් වූ සිංහලේ රටවල් පාලනය කිරීම පිණිස පැරණි සිංහල නීතිය අනුගමනය කළ යුතු විය.එහෙත් එය එසේ නොවීය.මෙරට ව්‍යවස්ථාපිත අයිතියක් හිමි නොවන ජන වර්ගයක් වන මුවර් ජනතාව හෙවත් මුස්ලිම් ජනතාවට විශේෂ වරප්‍රසාද දුන් බැවින් ඉන් අසතුටු වූ සිංහල ජන ප්‍රධානීන්  ඌව වෙල්ලස්සේ සිට ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව අරගලයක් දියත් කළහ.හිරු නොබසින අධිරාජ්‍යයයි විරුදාවලිය ලද්දේ වුවද වෙල්ලස්සේ අරගල කරුවන් ගේ අප්‍රතිහත ධෛර්ය නිසා ඉංග්‍රීසි හමුදාවට ලජ්ජා සහගත පරාජයන්ට මුහුණ දීට සිදු විය.ඉන් කෝපාවිෂ්ට වී ගම්බිම් වනසමින් අටු කොටු ගිනිතබා හරකා බාන මරා ළිං වලට දමා ඒවා දූෂණය කොට සමස්ත වෙල්ලස්සම එකම මළ ගෙයක් කොට කල නිහීන මර්දනය ඉතිහාසයේ ලියැවී ඇත්තේය.සිංහල රාජ්‍යයේ ස්වාධීනත්වය නැතිවූයේ මේ මර්දනකාරී  ජනඝාතක  ක්‍රියාවලිය නිසාය.1824 සහ 1848 දී ද නැවත වරක් ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් මෙහෙයවීමට උත්සාහ කිරීමට පෙළඹුණ නමුත් සිංහලේ රටවලට ස්වාධීනත්වය ලැබුණේ නැත. එය නැවත ලබා ගන්නට සියවසක් ඉක්මවන්නට සිදු විය.

       රාජ සම්ප්‍රදායක් සහිතව ගලේ කෙටූ ව්‍යවස්ථාවන් අනුව පාලනය වූ රටකට ඉංග්‍රීසීන්ගේ සාමිවරයෙකු වන සෝල්බරි විසින් ලිඛිත ව්‍යවස්ථාවක් ලබා දුන්නේය.එහි විසිනවවන වගන්තිය අනුව උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය කඩකොට තිබුණි.එම තත්වය වෙනස් කොට නැවත බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් අත් කර දීමට ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ගේ 1972    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමත් විය. ඉන් පසු එයම තවත් පුළුල් කරමින් 1978 දි   සිංහල භාෂාවෙන් රචිත ව්‍යවස්ථාවේ නවවන වගන්තිය තුළ   බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය හිමි වන්නේය.යනුවෙන් විශේෂ වාක්‍යයක් ඇතුළත් වුණි.එහිම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම වන්නේය යනුවෙන් රජයේ යුතුකම මැනවින් සංගෘහිත විය.

    ව්‍යවස්ථාව තුළ මෙරට පැරණි සම්ප්‍රදායට පිළි ගැනීමක් ලබා දුන්නද ඉංග්‍රීසීන් විසින් මෙරට පාලනය පිණීස සම්මත කරන ලද අණ පනත් රෙගුලාසි තුළ එම ව්‍යවසථාවට අනුකූල යටත් වීමක්  නොමැත. දණ්ඩ නීති සංග්‍රහය¸ අපරාධ නඩු විධාන සංග්‍රහය¸ සුරාබදු ආඥා පනත¸ පුරාවිද්‍යා ආඥා පනත  ඇතුළු බොහෝ ආඥා පනත් වෙනස් වී නැත. ව්‍යවස්ථාපිත සංශෝධනයක්  සිදුව නොමැත.පවත්නා දේශපාලනය අනුව ද පොලිස් නිළධාරින් ගේ රුචි අරුචි කම් අනුව ද මෙරට විශේෂිත කොට සළකන සංඝ සංස්ථාව අරභයා ක්‍රියාත්මක වන නීතිය විවාදාත්මකය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (4) යටතේ සංඝයා වහන්සේලා ගේ විනය සහ සාංඝික දේපළ පිළීබඳ වියවුල් විසඳීම පීණිස යම් විනිශ්චය අධිකාරියක් පිහිටුවිය යුතු වුවද එය තවම පිහිටුවා නැත.අනුරාධපුරයේ පස්වන කාශ්‍යප රජුගේ ශිලාලේඛනයේ 30 වන වගන්තිය අනුව භික්ෂූන් වහන්සේලා ගේ ගැටළු මහා සංඝයා එක් රැස්ව විසඳිය යුත්තේ ය යන්න දක්වා තිබේ.එසේ නොකළ හැකි වූ විට පමණක් රජය මැදිහත් විය යුතුය යන්න දක්වා තිබේ.වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (4) එයට සමානය.එහෙත් භික්ෂූන් වහන්සේලා  රටේ බෞද්ධ ජනතාවට බලපාන යම්කිසි ප්‍රශ්ණයක දී  සිදු කරන මැදිහත් වීම ට එරෙහිව පොලිසිය දණ්ඩ නීති සංග්‍රහය භාවිතා කරමින් උසාවියට කරුණූ වාර්තා කරයි. පසුගිය කාලයේ ත්‍රිකුණාමලයේ වෙරළ ආසන්නයේ විහාරස්ථානයට පූජා කරන ලද ඉඩමක බුදු පිළීමයක් තැන්පත් කිරීම නිසා පොලිසිය විසින් ඇති කළ ගැටුමට මැදි වූ භික්ෂූන් වහන්සේලාට ඇප නොදී මාසයක් පමණ තබා ගත්තේ මේ දණ්ඩ නීතිය භාවිතා කරමිනි.මීට කලකට ඉහත කූරගල ඉපැරණි සිද්ධස්ථානය වෙත බුදු පීළිමයක් පෙරහැරින් වැඩම්මවීමේ දී එයට බාධා කළ පොලිසිය විසින් ද මහා සංඝරත්නයට විරුද්ධව එවැනිම නඩුවක් පවරා තිබුණි.

      මෙවැනි නිදර්ශන රාශියක් පෙන්වා දිය හැකිය. ඉන් අපට පසක් වන්නේ රටේ ව්‍යවස්ථාපිතව මෙන්ම සම්ප්‍රදාය අනුව බුද්ධ ශාසනයට හිමි ආඥාවේ බලය වරින් වර පවතින දේශපානලය අනුව අඩු වැඩි කිරීමට උත්සාහ දරා ඇති බවයි.අතීතයේ දී මහා සංඝරත්නය තුනුරුවන් සිහිකොට ආඥා පැණවූහ. දළදා පාත්‍රා ධාතුන් වහන්සේලා සිහි කොට ආඥා පැණවූහ. රජවරුද එම මග අනුගමනය කරමින් ආඥා පැණවූහ. සයවන බුවනෙකබාහු රජට විරුද්ධව තොටගමුවේ රාහුල හිමියන් එසේම සයවන පරාක්‍රමබාහු ගේ පුත් සිරිවර්ධන ප්‍රතිරාජ කූරගම ඉමියා ඇතූළු රදළ සමූහය රට පුරා කැරැල්ලක් ගැසූහ. එය රාජාවලියේ හඳුන්වනුයේ සිංහල සංගේදම යනුවෙනි. සිංහල පෙරළිය යනුවෙන් ද දක්වා ඇත. රටේ තොටමුණු වල බලය විදේශිකයන්ට අත්පත් කර දීමට රජු කැමති වීම ඊට මූලික හේතුවයි. රජු කැරල්ල මැඩ පවත්වා සිරිවර්ධන කුමරු දඟගෙයි ලැවූහ.මෙම කැරැල්ලට සාභාගි වූ සතර කෝරලේ වැසියන්ට පසුව අභය දානය දුන් බව දැදිගම සෙල් ලිපියේ දක්වා තිබේ. එහි දක්වා තිබෙන් වැදගත්ම පාඨය මෙසේය.

     ' තුණුරුවන්ගේ ආඥාය දළදා පාත්‍රධාතුන් වහන්සේගේ ආඥාය ලෝකපාලක දෙවියන්ගේ ආඥාය.යි ගිවිස භුවනෙකබාහු මහරජාණන් වහන්සේ  වදාල මෙහෙවරින් මේ අභය දාන ශිලා ලේඛනය ලීව බවට සන්නස් තිරුවරගන් වික්‍රමසිංහ අධිකාරි වම්හ.'

දැතිගම සෙල් ලිපිය පමණක් නොව සේනාසම්මත වික්‍රමබාහුගේ ගඩලාදෙණිය ශිලාලේඛනයේ දී ද තුනුරුවන්ගේ ආඥායෙන් දළදා පාත්‍ර ආඥායෙන් කළ පූජාවන් ගැන සඳහන්ය.වර්තමාන මහා සංඝ රත්නය තමන් අයත් කෝට්ටේ සාමග්‍රී සංඝ සභාව සමග  සාකච්ඡා කොට ජනාධිපතිවරයා වෙත කරුණු දක්වන්නේ එම සම්ප්‍රදායේ අභාෂයෙනි.රජුගේ නීතියටත් උඩින් තුනුරුවන් සහ දළදා පාත්‍ර ධාතුන් වහන්සේලා තැබිය යුතු බව අතීතයේ දී දක්වා තිබෙන අතර වර්තමාන භික්ෂුන් වහන්සේලාට ඒ පීළිබඳ හරිහැටි අවබෝධයක් නැතදු එලෙස ජනාධිපතිවරයාට ලිපි ඉදිරිපත් කිරීම සාධාරණය.

   ගරුතර ඥානසාර හිමියන්ට වර්තමාන නීතිය එනම් රෝම ලන්දේසි නීතිය අනුව  උසාවි දඬුවමක් පැණවිණ. එම දඬුවම පැණවීමට සකස් වූ පසුබිම කෙසේ වුවත් ගෞරවනීය මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි හිටපු ජනාධිපතිවරයා විසින්  තමන්ට පැවරී තිබෙන ව්‍යවස්ථාපිත බලය කරණ කොට ඥානසාර ස්වාමීන් වහන්සේ වෙත නිදහස ලබා දී තිබුණි. අපේ පැරණි රජවරුන් සතු අභය දාන නීතිය එයින් නැවතත් ස්ඵුට වන්නේ යැයි සිතමි.එසේම පැරණි ශිලා ලේඛන වලට අනුව යම් කිසි වැරැද්දක දී දඩ ගැසීමත් හෝ දඬුවමක් පැණ වූ පසු එම වැරැද්දටම නැවත අභිනවයෙන් දඩුවම් පැණවීම සම්ප්‍රදායට එකඟ නැත. වර්තමාන නීතිය තුළද ස්වභාවික යුක්ති මූලධර්මයන්ට එය එකඟ නැත. එම නිසා කොයි අන්දමින් තර්ක කළද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ වෙත නැවත නිදහස ප්‍රදානය කිරීමට බාධාවක් නැත. එය නීතියට ඉහළින් යෑමක් නොවේ.ජනපති කාර්යාලයේ යම් තාක්ෂණීක දෝශයක් සිදු කොට ඇත්නම් එය නිවැරදිව පරීක්ෂා කොට බලා ඒ පීළිබඳව අධිකරණයට වාර්තා කොට ඒ නිදහස ලබා දීම කළ හැකිය.එසේ නොමැතිව බලහක්කාරයෙන් සිවුරු ගැලවීම භික්ෂූත්වය අපහාසයට පත් කිරීම ඒ වෙනුවෙන් පෙළ ගැසෙන මහා සංඝරත්නයට අඩන්තෙට්ටම් කිරීම වැනි දේ අනුමත කළ නොහැකිය. එය අබෞද්ධ පාලකයන්ගේ නිහීන ක්‍රියාවන් මිස  තනුරුවන් ගුණදත් පාලකයන් අනුදත් මග නොවේ.

මතුගම සෙනෙවිරුවන්

Wednesday, October 21, 2026

වඩුග නීතියට බුද්ධ නීතිය යටවේ

 

                                 


                                

           ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කරන ලද්දේ 1803 දීය.එයට සාර්ථකව මුහුණු දීමට සමත් වූ කන්නසාමි හෙවත් ශ්‍රී වික්‍රමසිංහ රජු මේ වන විට රජවාසල ආධිපත්‍ය ඉසිදූ රදළයන්ගේ බලය අඩු කරනු වස් නොයෙකුත් උපාය යොදමින් සිටියේය.ඒ අතර නොයෙකුත් ඔත්තු කරුවන් මහනුවර සැරිසරමින් සිටියහ.ඇහැලේපොල නිලමේ සපරගමුවේ කරන පාලනය   පිළිබඳව ද අසුභ පණිවුඩ ලැබෙමින් තිබිණ.ඇහැලේපොලට විරුද්ධව රජුට කේළාම් කියූ නිලමේ වරුන් රජු ඔහු කෙරෙහි බිඳ වූහ.ඒ අතර නුවර වැව විශාලකොට බැඳවීම රජුගේ අදහසක් විය.මේ සඳහා සත් කෝරලේ වැසියන් කැඳවීමට තීරණය කර තිබුණි. නමුත් මාස් කන්නය ආරම්භ කර තිබූ අවස්ථාවක වප් මගුල කඩාකප්පල් කරගෙන සෙංකඩගලට පැමිණීම දුෂ්කර කටයුත්තක් විය.එහෙත් රජුගේ ආඥාව පිට දිසාවේවරු සත් කෝරළ වැසියන් කැඳ වූහ. මේ අතර අවාසනාවන්ත සිදු වීමක් ඇති විය. වැසියෙකු කිතුල් ගසකින් වැටී මරණයට පත් විය. මෙයින් කුපිත වූ වැසියන් රාජකාරිය වර්ජනය කළහ. එයින් සිදු වූයේ එයට සාභාගි වූ වැසියන්ද දිසාවේ වරුන් ද මරණයට පත් කිරීමයි.ඒ සමගම රජු තවත් තීරණයක් ගනු ලැබීය. එනම් නුවර වැව හෙවත් කිරි මුහුද විශාල කිරීමට මල් වත්තේ පුෂ්පාරාමය ඉවත් කර ලීමයි.වැසියන් මරණයට පත් කිරීම ඇති වූ කලබැගෑනිය පීළිබඳ මහානායක හිමියන් ඇතුලු මහා සංඝරත්නය නිශ්ශබ්දව සිටියත් මල්වත්තේ පූජනීය බෝධින් වහන්සේ ඉපැරණි ළිඳ ආදිය ඉවත් කිරීමට තීරණය තිරීම ඉවසුම් නොදෙන්නක් විය. ඒ නිසා සමස්ත මහා සංඝරත්නයම එයට විරුද්ධ විය. මෙයට මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ වර්ෂ 1811 දක්වා මල්වත්තේ මහානායකව වැඩ සිටි මොරතොට ධම්මක්ඛන්ධ මහා නායක හිමියන්ගේ සහෝදරයාගේ පුත්‍රයා වූ පරණාතල රතනපාල නමින් ශාසනයට එළඹ ඒ වන විට අනුනායක පදවියට පත් ව සිටි පරණාතල හිමියන්ය.විරෝධතාව ජය ගත් නමුත් වඩුග රාජු පරණාතල හිමියන් සමග බද්ධ වෛරයකට මුල පිරීය.

        කාලය,ගතවුණි.රජු අනුනායක හිමියන්,කොටු කරලීම,උදෙසා  උපායක් යෙදීය.ඒ සඳහා උන්වහන්සේ ගේ,ආවාසය තිබෙන මැද පන්සලට කාන්තාවක් පිටත් කර යැවීය. ඒ අතර රජුට හිතවත් බමුණෙකු ද  පරණාතල හිමි හමුවට පිටත් කර යැවීය. බමුණා ආවාසය වෙත  ගොස් අනුනායක හිමියන්ගෙන් පැන් බඳුනක් ඉල්වා සිටියේය.පරණාතල හිමියන් පැන් ගෙන ඒමට ළිද වෙත ට ගිය අතර ඒ අතර කලින් ආවාසය වෙත පිටත් කර හැරි කාන්තාව ආවාසයෙන් එළියට පැමිණියේය. බමුණා මෙය දුටුවේය.ඔහු ආපිට රජ වාසලට පැමිණ රජුට මේ පුවත සැළ කරන ලද්දේය.පසුදා උදෙන්ම රජ වාසල කටුපුරුල්ලේ වරුන් මල්වත්තේ අනුනායක හිමියන් වැඩ විසූ දෙගල්දොරු පන්සලට පැමිණියේය. රජු අණින් පරණාතල හිමියන්ට විරුද්ධව මහනඩුව කැඳවන බව  සැළ කර සිටියේය.මේ බැව් ආරංචි වූ මල්වත්තේ භික්ෂූන් වහන්සේලා උන් වහන්සේව වට කර ගත්තේය.තම පැවිදි සහෝදරයා වූ දුනුමාලේ ශීලවංශ හිමියන් ඇමතූ නායක හිමියන් මේ තමන්ගේ අවසාන ගමන විය හැකි බවද පවසා කටුපුරුල්ලේ වරුන් සමග රජ වාසලට පිටත් විය.

        රජු සිහසුන අරා සිටියහ.මල්වත්තේ මහා නායකව සිටි කොබ්බෑකඩුවේ සිරිනිවාස හිමියන් ඇතුලු මහා සංඝරත්නය ඉදිරි පසින් වැඩ සිටියහ.රජු ප්‍රථමයෙන් නඩුවේ  අරමුණ රාජ සභාවට දක්වා සිට පරණාතල හිමියන්ට විරුද්ධව සාක්ෂි දීමට බමුණා කැඳවන ලද්දේය. බමුණා ඇසින් දුටු දේ රජු ඉදිරියේ ප්‍රකාශ කර සිටියේය.මෙම සාක්ෂිය හිස මුදුනින් පිළිගත් රජු පරණාතල හිමියන් විනය කඩකොට තිබෙන්නේ යැයි ප්‍රකාශ කරන ලද්දේය.

        මල්වත්තේ මහා නායක හිමියන් තම අනුනායක හිමියන් කෙරෙහි ඉහළම ගෞරවයක් තබා තිබුණි. එහෙත් රජතුමාම බමුණාගේ සාක්ෂිය පිළිගෙන සිටින බැවින්   උන්වහන්සේට කුමක් කිව හැකිද? හිමිනම කෙරෙහි තිබූ විශ්වාසය තරමක් දෙදරුම් කෑවේය. එහෙත් රජතුමා තම බලය ඉක්මවා කටයුතු කරන බවට කිසිදු සැකයක් නොවීය. රජතුමා නඩු තීන්දුව ප්‍රකාශ කරන ලද්දේය.එනම් කුමාර හපුවේ දී පරණාතල හිමියන්ගේ හිස ගසා දැමිය යුතු බවට අණ කරන ලද්දේය.

නඩුව,අවසාන කල පසු මල්වත්තේ මහානායක හිමියන් මෙසේ පැවසූහ,"මහරජාණෙනි, මහ වාසල චෝදනාවට ලක් වූ අනුනායක හිමියන්ගේ කුටියෙන් කාන්තාවක් පිටතට යනු දුටුවේ නම්,  උන්,වහන්සේට එරෙහිව ඇති සාක්ෂි ඇත්තෙන්ම ශක්තිමත් ය. එසේ වුවද එම කාන්තාව එහි සිටියේ මන්දැයි දැන ගැනීම අවශ්‍ය වේ - සමහර විට යම් පැහැදිලි කර ගැනීමකට පිවිසායා විය හැකිය.  මාගම් සෝලියක් වී,නම්, මෙම වරද පිළිබඳ චෝදනාව බුද්ධ නීතිය අනුව විනයට අනුව, භික්ෂු සංඝයා විසින් රැස්වීමකදී විභාග කළ යුතුය. එය චෝදනාවට ලක් වූ පුද්ගලයාට නිසි ලෙස සැලකීමට පමණක් නොව, සංඝයාගේම යහපත සඳහාද වේ. බ්‍රහ්මචර්යාවේ ප්‍රතිඥාව කඩ කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ භික්ෂූන් පිළිබඳ සිද්ධීන් නොදන්නා ඒවා නොවේ. විනයෙහි එවැනි වරදවල් සඳහා දඬුවම් නියම කර ඇත. වරදකරු වූ අය සංඝයාගෙන් නෙරපා හරිනු ලබන අතර, තමන්ව පෝෂණය කර  චීවර පිණ්ඩපාත දුන් මහජනතාව රැවටීම,පිළිබඳව වන්දි ගෙවීමක් ලෙස යම් ආකාරයක අපකීර්තියක් ඔහුට පැමිණේ. නමුත් ශික්ෂා පදයක් කඩ කිරීම නිසා භික්ෂුවකට ජීවිතය අහිමි වූ බවක් කිසිදා සිදුවී නැත. එවැනි දඬුවමක් බුදුදහමේ මූලධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැනිය. ලංකාවේ කිසිම භික්ෂුවක් තමන්ගේම කැමැත්තෙන් අනුගමනය කිරීමට බැඳී සිටි පාරිශුද්ධ මාර්ගයේ නොරැඳී සිටීම නිසා හිස ගසා දමා නැත."

        මහානායක හිමියන්ගේ වදන් එසේ වුවත් රජු තීරණය වෙනස් නොකලේය. පරණාතල හිමියන් ගේ චීවරය ගැලවීමට භික්ෂූන්ට අණ කොට වධකයන් වෙත භාර දෙන ලෙසට පවසා සිටියේය. සභාව නිහඬ විය. මහා නායක හිමියන් කුමක් කියාවිදැයි බලා සිටීමට රාජ සභිකයෝ විමසිලිමත් විය. කෝපාවිෂ්ට රජතුමාද එසේම බලා සිටියේය. මහානායක හිමියන් එයට එකඟ නොවීය. ඉන්පසු මහානායක හිමි තවත් වචනයක්වත් කතා කළේ නැත. උන්වහන්සේගේ හිස ඉදිරියට නැමී ගියේය; කඳුළක් උන්වහන්සේගේ උකුල මතට වැටුණි.එය දුටුවේ වැඩසිටි මහා සංඝරත්නය පමණකි.ඒ අතර  පරණාතල අනු නා හිමියන් නොසැලී සිටියේය. උන්වහන්සේ සිය කටහඬ මෙසේ අවදි කලේය.

    'නැත මහරජාණෙනි ඔබට ගිහියන් පිළිබඳව නඩු අසන්නට හැකිය.මම භික්ෂුත්වයට පත් බුද්ධ පුත්‍ර යෙකි.මගේ නඩුව මා නාථ දෙවියන් ඉදිරියේ කිව යුතුය.මතු බුදු වන නාථ දෙවියන් ඉදිරියේ කිව යුතුය.'  කන්නසාමි මෙහොතක් කල්පනා කලේය.පසුගිය වර්ෂ කීපය තුළ තමා අතින් ආගමික මෙහෙයක් සිදු නොවුණු බව ඔහුට කල්පනා විය.ඔහු ඉදිරියේ සිටි විරුද්ධ සිංහල බලවේග වල නායකත්වය ගන්නා ලද්දේ පිළිමතලව්වේ සහ පරණාතල නා හිමියන්ය.කෙසේ වෙතත් පරණාතල හිමියන් මරණයට පත් විය යුතු  බවට රජු දැඩි ලෙසට තීරණය කර තිබුණි.වධක ස්ථානයට ගෙන යන අතර මග නාථ දේවාලයට උන්වහන්සේව රැගෙන යන ලෙසට ද අණ කලේය.

   නාථ දේවාලය ඉදිරිපිටට සැපත් වූ පරණාතල හිමියන් හඬනගා මෙසේ කීය.'දෙයියෝ සාක්කි !දෙයියෝ සාක්කි! නාථ දෙවියනි.දශරාජ ධර්මයෙන් යුතුව සතර අගතියෙන් තොරව සතර සංග්‍රහයන් දත් නරපතියෙකු සෑම පැයකදීම සිහිපත් කළ යුතුතේ සත්‍යයයි.චිරාත් කාලයක් තිස්සේ පැරණි රජවරුන් ඒ සත්‍යය අනුගමනය කෙළෙහිය.ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වන වීරෝදාර රණ විරුවන් මේ ජාතිපුත්‍රයන් ඝාතනය කරද්දී මේ සම්ප්‍රදාය වැනසුණු බව නුදුටුවෙහි ද.බීමතින් වැටුණු රජෙකුගේ වියරුව ඔබ නුදුටුවෙහි ද එවන් යුගයක බුද්ධ ශාසනය පන්දහසක් කළ් පවතින්නේ යැයි ඔබ සිතන්නෙහි ද වැඩි කලක් ගත නොවේ මේ පීඩනයෙන් මිරිකී සිටින ජනතාව කැරලි ගසනු ඇත.දෙවියනි ඔබ වහන්සේගේ ආශිර්වාදය මගේ මව්බිමට නොලැබෙන්නේ ඇයි.සාමණේර අවදියේ සිට මම ධර්මයේ පිළිපැද සිටියෙමි.එය එක් දිනකට නොව මාගේ භික්ෂු ජීවිතයෙහිම එය පිළිපැද්දෙමි.නමුත් දැන් මේ රජු මාගේ ජීවිතය නැසීමට අණ දී ඇත්තේය.විනය ධර්මය කඩකර අතැයි රජු කල්පනා කරයි.නමුත් දෙවියනි මාගේ නිදොස් බව දන්නේ ඔබයි.නාථ දිව්‍යාරාජයාණෙනි. මාගේ ජීවිතයෙහි සෑම කල්හිම ඔබ වෙත මල් පුදා පින් අනුමෝදන් කලෙමි.'

         පරණාතල හිමියන්ගේ උස් හඬින්  කරන දේශනාව මාළිගාවේ රජු අසා සිටියේය. වහාම වධක ස්ථානයට උන්වහන්සේ රැගෙන යන ලෙසට නැවතත් අණ කරන ලද්දේය.පරණාතල හිමියන් සිය සිවුර ගලවා නාථ දේවාලය එළි පත්තේ අතුරා එය දෙවියන්ට පූජා කළේය. උන්වහන්සේගේ මුවගට සිහින් සිනාවක් නැගී තිබිණ.වධකයන් උන්වහන්සේ අසලට විත් දනින් වැටුණි.වද මල් පැළඳගෙන රතු වස්ත්‍රයෙන් සැරසී සිටි වධකයන්ගේ ඇස් කඳුළෙන් තෙත් වන්නට ඇත.එහෙත් නා හිමියෝ ඉස්සර වුණි.සිය බුලත් මල්ලෙන් විටක් ගෙන වධකයන් වෙතද පිළිගන්වා තමනුත් විටක් හපා රජ වාසල දෙසට හැරී බුලත් කෙළ පහරක් ගැසීය. අනතුරුවකිල්ලෝටය ගෙන එය කරකවමින් මෙසේ කීය.

සමත මතඟා කුල        මාතඟා

තුරිත තුරඟා සිත,දජ       තුඟා

දුරිත දුරඟා කුල,සිරි           රඟා

මහිම හිමඟා මහ වාලුක ගඟා

මේ උන්වහන්සේගේ අවසන් වදන් කීපයයි. . උන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි තවත් පුර පසලොස්වක සඳක් සෙංකඩගල මහනුවරට සිට නරඹන්නට මද කිපුණි ඇතෙකු බඳු කන්නසාමිට නොලැබුණි.ඇහැලේ පොල කුමාරිහාමි ඇතුලු දරුවන්ට රජු විසින් කළ සාහසික අපරාධය ඉවසුම් නොදුන් විට ඇහැලේපොල නිලමේ කොළඹ  බ්‍රිතාන්‍ය  ආණ්ඩුකාරවරයා හා එක්ව ඉංග්‍රීසි කිරීටයයට රට පාවා දීමට කටයුතු කරන ලද්දේය.ලක් සිහසුන හිස් විය.රටේ පාලනය නොරටුන් අතට ගියේය .ස්වාධීනත්වය,නැති,විය.මේ අප අදටත් විඳවන්නේ ඒ ශාපයෙන් ජනිත වූ අදමිටු පාලනයේ විපාකයයි..

    මහා,සංඝරත්නයේ විනය පිළිබඳ එදා රජුන්,ඉදිරියේ මහා නායක හිමියන් කල ප්‍රකාශය අදටත්,වලංගුය.වඩුගයාට නීතියක්,නැත,යුක්තියක් නොවීය.මහා,සංඝ,රත්නයට,ගෞරවයක් නොවීය.වර්තමානයේ ද සමස්ත,භික්ෂූන්,වහන්සේලාටම අවමන්,කරන අභූත,චෝදනා,නගන පාලනයක් තිබෙන බව ප්‍රත්‍යක්ෂ වෙමින් විපාක දෙමින් පවතී. මතුබුදුවන නාථ දෙවියන් විසින් ශාසනය රකින පාලකයෙකු පත් වන තුරුම ඒ ශාපය විපාකය ක්‍රියාත්මක වනු ඇති බව පැහැදිලිය.

මතුගම සෙනෙවිරුවන්

Wednesday, September 16, 2026

සැදැහැ සිත් පොබයන වේරගල කන්ද රජමහ වෙහෙර

 

                                 


           දකුණු ලක  බටහිර මුහුදු තීරයේ උස් ගල් පර්වතයක සිට රමණීය දර්ශනයක් දැකිය හැකිය. උතුරු පැත්තට වන්නට කලුතර ගංගාතිලක විහාරය හෙවත් වර්තමාන බෝධි සමීප විහාරස්ථානයත් බටහිරෙන් මහා සාගරයත් දකුණෙන් කන්දේවිහාරය බෙන්තර කාලිහෝ මුවදොර පංචකපුදූවත් නැගෙනහිරෙන් ශ්‍රීපාදයත් දකින කල්හි බොදු දනන්ගේ සිත් නිතැතින්ම ශ්‍රද්ධා භක්තිය අවදි කරවන්නේය.මෙම විශේෂිත ස්ථානය ඓතිහාසිකව අනුරාධපුර යුගයේ සිටි ශ්‍රේෂ්ඨ නරපතියෙකු වූ දුටුගැමුණු යුගයෙහි ආරක්ෂිත ස්ථානයක් වශයෙන් පැවතියා යැයි යන ජන ප්‍රවාදය අසන්නට ලැබේ.දුටු ගැමුණු රජ දවස ඔහුගේ වේර නම් අමාත්‍යවරයෙකු මෙහි සැඟව සිට ඇත. හාත්පස කුඹූරු යායන්ගෙන් සමන්විත වගුරු බිම් වලින්ද සමන්විත තපෝවෘද්ධ රහතන් වහන්සේලාට වාස ග්‍රහණයට වේරගලකන්ද පත්වූයේ මෙම අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත බව ජන ප්‍රවාද ගතය.. භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් භාවනා ස්ථාන සකස් කරවා ධාතුන් වහන්සේලා වැඩම කොට පූජා සත්කාර කළ බව අසන්නට ලැබේ.ඉන්පසු පොළොන්නරු යුගයේ දී මහා පරාක්‍රමබාහු රජ පස්යොදුන් රට අස්වැද්දීම සිදු කළහ.එසේම එකල පස්යොදුන්රටට අයත්ව තිබූ බෙන්තොට ගලපාත විහාරය කරවූහ.අනතුරුව කීර්ති ශ්‍රී නිශ්සංකමල්ල රජ දවස දී  පයාගල වේරගල කන්දට එතුමා පැමිණි බවද හාත්පස ගම් බිම් කරවීමට මුල් වූ  ආකාරය ද ජන ප්‍රවාදයේ පැවතෙයි.අදටත් පවතින බෙන්තර නිශ්සංක ගල මහ ගම්මැද්ද ,ගබඩාගම සහ ඇත්ගල ආදී නාමයන් එම පාලනයේ ශේෂයන් වෙති.

        වේරගල කන්ද විහාරස්ථානයට පිවිසීම පිණිස පර්වතය පාමුළ සිට ශිලාමය පඩිපෙලක් පවතී.  අවට පැරණි පොකුණු දෙකක් සහ රහතන් වහන්සේලා භාවනායෝගීව වැඩ හුන් ලෙන් කුටි කීපයක් ද පවතී.මෙම විහාරස්ථානය අද බොදු දනන් ගේ ශ්‍රද්ධාව වඩවන මනරම් පින්බිමකි.ඉලිපැන්ගමුවේ නම් ස්වාමීන්වහන්සේ නමක් මෙහි වැඩ සිටි බවට ජනප්‍රවාද ගතය. ඇතැම් විට අඳුරු සමයේ දී උපසම්පදාව නොලද ගණින්නාන්සේලා වැඩ සිටියා විය හැකිය.ගිරා සංදේශ කාව්‍යයේ වේරගල කන්ද වර්ණනාව ඇත.අසරණ සරණ වැලිවිට සංඝරාජ හිමියන්ගේ ශාසන පුනර්ජීවනයෙන් පසු බෙම්තොට වනවාස විහාරය ,ගලපාත විහාරය ,කැකුළන්දළ රජමහා විහාරය ආදී පුණ්‍ය භූමි වල නැවතත් උපසම්පදාලාභී සංඝ පරම්පරාවන්  ඇති වූහ. වර්ෂ 1856 දී පූජ්‍ය පැපිළියානේ ශීලවංශ යතීන්ද්‍රයන් වහන්සේ ගේ මූලිකත්වයෙන් පහත රට කල්‍යාණී භික්ෂු සංස්ථාව ඇති විය. එතැන් පටන් විශේෂයෙන්ම පූජ්‍ය දෙහිපිටියේ විපුලතිස්ස මාහිමිපාණන් වහන්සේ ගේ මූලිකත්වයෙන් පයාගල පොතුවිල ආදී පැරණි ගම්බිම් සිසාරා කීර්තිය පැතිරවූ සිද්ධස්ථානයකි.මෙම විහාරස්ථානයට ළගා වීමට කළුතර ගාලු පාරේ පයාගල පොතුවිල හන්දියෙන් හැරී පැමිණිය යුතුය.පොතුවිල ග්‍රාමයේ කුඩා කඳු ගැටයක පිහිටා තිබෙන මෙම ස්ථානය යුරෝපා ආක්‍රමණ වලින් පසුව වල් බිහිව තිබී ගම්මානයේ සිටි මුණසිංහගොඩ ගම්මානයේ සිටි දායක මුත්තා නමින් හඳුන්වන උපාසක ඇත්තෙකු විසින් සොයා ගෙන ඇතැයි යන කතාව දනන් තුඩ තුඩ පවතී.වැල් කැපීම පිණිස මෙම කන්දට ගොඩවූ දායක මුත්තාට ගල්තලාව උඩ පැවති බුදු පිළිමයක් සහ කුඩා චෛත්‍යයක් දිස් වී ඇත. ඉන්පසුව එම චෛත්‍ය වටා වර්තමානයේ පවතින ඝණ්ටාකාර දාගැබ නිර්මාණය කර තිබේ.වර්ෂ 1851 දී ප්‍රථම වරට මෙම විහාරයට අයත් බිම් සීමාව මිනුම්දෝරු සිතියම් වලට ඇතුළත් වී තිබේ.

     මෙම විහාරයේ ස්මාරකයන් රැසකි. ඉන් පළමු වැන්න පැරණි හැඩය ගත් චෛත්‍ය රාජයාණන් වහන්සේය.එය නැවත ගොඩ නැන්වීම  පිණිස බෙන්තොට වන වාසයේ සිටි බෙන්තර අත්ථදස්සී ස්වාමීන් වහන්සේ ගේ ශිෂ්‍ය ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වූ පොතුවිල ඉන්ද්‍රජෝති නායක ස්වාමීන්වහන්සේ මුල් වී ඇති බව බෙම්තොට වනවාස විහාරවංශය සඳහන් කර ඇත.අනෙකුත් ස්මාරකයන් අතර වර්ෂ 1846 දී තනවන ලදැයි සැළකෙන ධර්ම ශාලාව දැක්විය හැකිය. එහි ගල් ස්ථම්භයන්හි කොටවා තිබෙන කෙටි ශිලා ලිපි වලින් ඒ බැව් පැහැදිලි වේ.අතැම්හු පවසන පරිදි මෙම ධර්මශාලාව මැද පවතින ශිලාමය මණ්ඩපය නිශ්සංකමල්ල රජ දවස දී නඩු ඇසීම සඳහා භාවිතා කර ඇත. මෙම ධර්ම ශාලාව තුන් මහල්ය. එහි පියස්ස දරා සිටින්නේ පිටත මාලයේ ගල් කුලුණු 28 කින් සහ අතුළත ගල් කුළුණු 16 කිනි. එම ධර්ම ශාලාවේ මධ්‍යයේ තිබෙන ඉතා වැදගත්ම ස්මාරකය වන්නේ පෙර දක්වන ලද සත් මහල් පිරිත් මණ්ඩපයයි.එය අට පට්ටම් හැඩැතිය. අෂ්ට ලෝක ධර්මය හෙවත් ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රසංශා, සුඛ දුක්ඛ, මූලයන් ගැන කියැවෙන අට පට්ටම් හැඩය සිංහල බෞද්ධ කලා නිර්මාණයන්හි  නිරන්තරයෙන් දක්නට හැකිය. එහි පළමු සඳකඩ පහණ මගින් බුදුන් වහන්සේ සංකේතවත් කරමින් අගනා නෙළුම් මලකින් නිර්මත වේ.බුදුන්වහන්සේ  ගත් මග ගැන්ම සංසාර ලාභයට හෙවත් නිවනට හේතු වේ. ඊළඟ කයිරු කොටස අලාභය දක්වයි. මේ අනුව ගත්කළ ලාභය කුඩාය. අලාභය විශාලය.යහපත කුඩාය අයහපත විශාලය.සඳකඩ පහණ තබා තිබෙන්නේ ලාභ  යහපත උදාවන ප්‍රවිශ්ඨයේය. ඒ මගින් කියාපන්නේ ධර්මයේ මාර්ගයයි. ධර්ම මාර්ගය තුළ ගමන් ගන්නාට ඒ සමග එන අධර්මය පසු බස්වා ගත හැකි බව මින් කියාපායි.සතර දිසාවේ පිහිටුවා තිබෙන විවිධ ලක්ෂණය්ගෙන් යුක්ත සඳකඩ පහන් වලින් මෙයට ප්‍රවිශ්ඨ විය හැකි අතර  ගල් පාදම් මත සකස් කළ පිටත කයිරුව පේකඩ සහිත ව අලංකාරවත්ය.ඇතුළත කයිරුව මත අසුන් ගැනීමට වේදිකාවක් නිර්මාණය වී තිබේ.සත්මහල් සැකිල්ල දැවයෙන් නිමවා තිබේ. එහි පහළ ප්‍රවිශ්ඨයන්හි කැටයම් කරන ලද අපූරු කලා නිර්මාණයන් දක්නට ලැබේ. දැවමය කූඩුව මත විවිධ රූප සිතුවම් කර ඇත. නුවර චිත්‍ර සම්ප්‍රදායේ අපූරු චිත්‍ර සටහන් ලෙසට මේවා හඳුන්වා දිය හැකිය. මෙම නිර්මාණයෙහි තිබෙන අපූරුව නම් බණ පිරිත් දේශනයට විශේෂයෙන් අරියවංශ දේශනා, සතිපට්ඨාන දේශනා ආදී විශේෂිත ධර්ම දේශනාවන් මගින් හාත්පස තැන්පත්ව සිටින බෞද්ධ උපාසක ඇත්තන් ගේ සිත් ශ්‍රද්ධවෙන් පිරවීමට සමත් වීමයි.මෙවැනි නිර්මාණයන් ඉතා විරලය.ඒ යුගයේ විසූ මෙම විහාරස්ථානයේ අධිපත්තිවය හෙබවූ යතිවරයාණන් වහන්සේ විසින් මෙම ස්ථානයේ පාරිශුද්ධත්වය ඉස්මතු කරවන විශේෂත්වය ඉස්මතු කරවන මෙම ශිලාමය නිර්මාණය කරවා තිබේ.

         මෙම සිදධස්ථානයේ දෙවැනි වැදගත් ස්මාරකය වශයෙන් දැක්විය හැකි වන්නේ පුරාණ පිළිමගෙයයි. පහත රට ලන්දේසි වාස්තු සම්ප්‍රදාය පදනම් කරගෙන ඒ යුගයේ විශේෂිත ගොඩනැගිලි නිර්මාණයන්ට පාදක කරගත්  බව පෙනේ.මෙහි අභ්‍යන්තරව මාල කොටස් තුනකි. ප්‍රථමයෙන්ම දකින්නට තිබෙන්නේ ඉදිරිපස බරාඳයයි.කොට බිත්ති බැඳ ඇත. දෙවනුව පිළිමගෙය ඉදිරිපස බරාඳයයි. එහි බිත්ති වල විවධ සිතුවම් වලින් අලංකාරවත්ය. වර්තමානය වන විට එහි බිත්ති බොල් වී ඇතැම් සිතුවම් වලට හානි වී පවතී. තුන්වෙනුව සැතපෙන පිළිම වහන්සේ සහ පරිවාර පිළිම වහන්සේලා තිබෙන පිළිමගෙයයි.එයට ඇතුළු වීමට දොරටු දෙකකි.

  මෙහි තිබෙන ගල්ලෙන් වල කටාරාම් කොටවා නැත.කැටගලින් නිමවන ලද ආසනයක් තිබී ඇත. එසේම ඉදිරියෙන් කැටගලින් නිර්මාණය කරන ලද සක්මන් මළුවක් ද දකින්නට ඇත. රහතුන් වහන්සේලා වැඩ සිටියා යැයි මතයකි.වර්තමානයේ විෂ්ණු දේවාලයක් ඇත. සිසිල් පැන් සැනහිය හැකි පෙකුණු දෙක මෑත කාලයේ දී පුරාවිද්‍යාව විසින් සංරක්ෂණය කර තිබේ.පොකුණක දිග අඩි විසිහයකි. පළල අඩි අටකි. එක් පැත්තක ගල් ඇන්දද අනෙක් පස කැටගල් බැමි ද දක්නට තිබේ. පිළිමගෙයි දිරාපත් ස්ථාන ද ඉවත් කර පිළිසකර කරන ලද්දේ 2001 වරෂයේ දීය.2005 වසරේ දී  චෛත්‍ය රාජයාණන් වහන්සේ ගේ කොත නැවත පළඳවා වටා තිබෙන සූවිසි විවරණ සහිත පිළිම තැන්පත කර අති කොන්ක්‍රීට් ස්ථාන සහ මල් ආසන ද ප්‍රතිසංස්කරණය කර තිබේ. කන්ද පහළ සිට උඩට වන්නට මළු සීමා කිරීම උදෙසාද සෝදා පාළව වළක්වාලීම පිණිසද විශාල ගල් යොදා කරන ලද බැමි දක්නට ලැබේ. මෙහි පැරණි බෝධි වෘක්ෂයක් මෙන්ම නව බෝධියක් ද දක්නට ලැබිය හැකිය. පැරණි බෝධියේ බෝධී ඝරය කැටගලින් කළ බවට එහි ශේෂයන් මගින් අනාවරණය වේ යැයි 2001 දී නිකුත් කරන ලද පුරාවිද්‍යා සංරක්ෂණ වාර්තාවේ දැක්වේ.මෙම විහාරස්ථානයේ තිබෙන පැරණි අරලිය ගසේ මල් පිපෙන කාලයට ශ්‍රීපාදස්ථානය වෙතට යොමු වී මල් පිපෙන බවද පැරණි කොහොඹ ගසේ එක් පැත්තක කොළ තිත්ත නොවන බවද අසන්නට ලැබේ. මෙහි විහාරාධිපතිත්වය මුල් වරට ලියාපදංචි කොට තිබෙන්නේ පූජ්‍ය මතුගම වංගීස ස්වාමීන් වහන්සේ වෙනුවෙනි. දැනට මෙම විහාරයේ අධිපතිත්වය හොබවනුයේ පූජ්‍ය මංගලගම මෙත්තානන්ද ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ විසින් ආරමභ කරන්නට යෙඳුණු හිටි බුදු පිළීම වහන්සේ සම්බන්ධ ඉඳි කිරීම් කටයුතු මේ වන විට නිම වෙමින් පවතී.

මතුගම සෙනෙවිරුවන්

     

Tuesday, June 2, 2026

බෞද්ධ විහාරගම් පනත සංශෝධයෙන් සාසනික අරමුණු ඉටු වේවි ද

 

                 


           මාතර පැවති රාජ්‍ය  වෙසක්  උත්සව දින  ජනපතිවරයාගේ කතාව තුළින් පැහැදිලි වූයේ 1931 බෞද්ධ විහාරගම් සහ දේවාලගම් පනතට සංශෝධනයක් කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙම ප්‍රකාශයට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්ෂය මැයි මස 31 දින  ප්‍රකාශයක් නිකුත් කර තිබේ. භික්ෂූන්වහන්සේලා විශාල පිරිසක් ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන ආණ්ඩුවක් යටතේ මෙවැනි නීති සම්පාදනයෙහි අරමුණ දේපල හිමි විහාරස්ථාන වල ඉඩම් රජයට පවරා ගැනීමට උත්සාහ කිරීම දැයි එම පක්ෂය සැක පහළ කර තිබේ.

        1931 බෞද්ධ විහාරගම් සහ දේවාලගම් ආඥා පනත බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නීති ගත කරන ලද්දේ 1815 උඩරට ගිවිසුමේ පස්වන වගන්තියෙන් ලැබෙන ප්‍රතිපාදන අනුවයි.එම පස්වන වගන්තියට අර්ථ සැපයෙනුයේ මිහිඳු මහ රහතන් වහන්සේ  ගේ ආගමනයෙන් පසු ඇති වූ බුද්ධ සාසනයට රජවරුන් විසින් දැක්වූ සහයෝගයයි. එම සහයෝගය  තුළ බිහිවූ සාසනික නීති රීති ගණනාවක් පණවනු ලැබීය.  ඒ පදනම මත  සන්නස් සහ ශිලා ලේඛන වලින් විහාර නඩත්තුවට දේපළ පැවරූහ.බ්‍රිතාන්‍යයන් මෙම පසුබිම අධ්‍යනය කොට මහා  භාරකාර තුමා යටතේ පරිපාලනය වූ විහාරගම් සහ දේපළ නීතියක් ඇති කළහ. ඒ නීතිය පසුව බෞද්ධ කටයුතු කොමසාර්ස්වරයෙකු යටතට පත් විය.වරින් වර එම පනත සංශෝධනයට ලක් වූ අතර එහි 41 සහ 42 වගන්ති වලින් කියැවෙනුයේ  භික්ෂූන් වහන්සේලා ලියාපදිංචි කිරීම පිළිබඳවයි. සාසනික දේපළ පාලනය කිරීම ට අදාල භාරකාර ස්වාමීන් වහන්සේලා ලියාපදිංචි කිරීමට මෙම පනතට අදාල නමුත් සමස්ත භික්සූන් වහන්සේලාගේ ලියාපදිංචිය මෙම පනතට අදාල  නැතිද යන්න මෙතෙක් සාකච්ඡා වී නොමැත.එසේම දළදා මාළිගාවේ භාරකාර තැන්පත් දිය වඩන නිලමේ පීලිබඳවද මෙම පනතේ සාකච්ඡා වෙයි.භාරකාර තැන වශයෙන් එම නීතිය සාධාරණ වුවද දන්ත ධාතුන් වහන්සේ ගේ භාරකාරත්වය පිළිබඳ වැදගත් අර්ථ නිරූපණයක් එහි නොමැත.

      උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය යටතේ පැනවෙන ප්‍රතිපාදනය පසුව වෙනස් කර සොල්බරි ව්‍යවස්ථාව තුළ විසිනව වන ව/න්තිය ඇතුළත් කර සියලුම ආගම් සමාන කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කරන ලද්දේය. පසුව එය නිවැරදි කරමින් 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බුද්ධාගම යනුවෙන් තනි ප්‍රතිපාදනයක් ගෙන ඒමට හැති විය. එයම වැඩි වර්ධනය කරමින් 1978 ව්‍යවස්ථාව තුළ ද එම ප්‍රතිපාදනය ඇතුළත් විය. එසේම එම ව්‍යවස්ථාවේ 105(4) වගන්තිය අනුව භික්ෂුන් වහන්සේලාගේ විනය සම්බන්ධව සහ දේපළ ආරවුල් සම්බන්ධව කටයුතු කළ හැකි විනිශ්චය අධිකාරියක් පිහිටුවිය හැකි බවට දක්වා තිබුණි.මෙය සංඝාධිකරණයක් ද නැතිනම් වෙනත් විනිශ්චය අධිකාරියක්ද යන්න පැහැදලි නැත.

      ඒ අතරේ 2015 යහපාලන සමයේ දී විජෙදාස රාජපක්ෂ අධිකරණ ඇමති  විසින් ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත යනුවෙන් පනතක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන ලදී.මෙම පනතෙන් බලාපොරොත්තුවන ලද්දේ දැනට ත්‍රෛනිකායික වශයෙන් භාවිතා කරන කතිකාවත් නීතිය ඉදිරියේ බලාත්මක කරලීමයි.පොලොන්නරු කතිකාවත දඹදෙණි කතිකාවත පරමධ්ම්ම කතිකාවත ආදී වශයෙන් වරින් වර භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධව ගත් තීන්දු තීරණ වර්තමාන නීතිය හමුවේ බලාත්මක කිරීමට උත්සාහ දැරුවද ඒ කුළින් සම්බුද්ධ සාසනය තුළ ඇතිවන බෙදීම ගැන නීති සම්පාදකයන්ට වැටහීමක් නොවුණි.නිදර්ශනයක් වශයෙන් දැනට නිකාය තිස් දෙකකට බෙදී පවතින භික්ෂූන් වහන්සේලා උදෙසා කතිකාවත් 32 ක් පණවන්නට ගියහොත් එතනදී ඇති වන බෙදීම බෙහෙවින්ම හානිකරය.මෙවැනි හානිකර පනතක් කෙටුම්පත් කරන්නට අධිකරණ අමාත්‍යවරයා සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට සිදු වූණේ භික්ෂු විනය සහ වර්තමාන නීතිය අතර සමබරතාවය පිළිබඳ අනවබෝධය නිසා බව පැහැදලිය. එසේම මහා සංඝරත්නය වර්තමාන නීතියෙන් බැඳ තබා රටේ කාලීන ප්‍රශ්ණ සඳහා ඉදිරිපත් වීම වළක්වාලීමටත් ඇතැම් පිරිසකට අවශ්‍ය වන්නට ඇත. මෙහි පණවා ඇති දණ්ඩනයන් බෞද්ධ කටයුතු කොමසාරිස් තුමා හරහා ක්‍රියාත්මක කරලීමට එහි බලය දී තිබෙන්නේ එහෙයිනි.කෙසේ වෙතත් එම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ දීත් අභියෝගයට ලක් විය. ව්‍යවස්ථාවට පටහැනි වගන්ති කීපයක් තිබෙන බවට ද තහවුරු විය.

රාජ්‍ය නීතිය සහ බුද්ධ නීතිය දෙකකි.මහනුවර යුගයේ අවසාන වඩුග පාලන සමයේ දී බොරවෙ වීදිය තුළ ගමන් කිරීම ජනතාවට  තහනම් කිරීමට රජු ආඥාවක් නිකුත් කර ඇත.. මෙහිදී කුංකුනාවේ හිමියන් එයට විරුද්ධව රජුට කරුණු පැහැදිලි කොට කීයේ බුද්ධ නීතිය අනුව මහා සංඝයාවහන්සේලාට ඒ නීතිය අදාළ නොමැති බව පෙන්වා දී තිබේ. එලෙසම මල්වතු අනුනායකව වැඩ සිටි පරණාතල රතනපාල අනුනායක ස්වාමීන් වහන්සේ ශ්‍රී වික්‍රම පාලනය යටතේ ඝාතනයට ලක් වූ පසු අනුනායක පදවියට තිබූ දේපළත් උන්වහන්සේ ගේ පරපුරට තිබූ දේපළත් රාජ සන්තක කරන ලදී. පසුව උඩරට ගිවිසුමෙන් රට භාර දුන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව වෙත පෙත්සමක් මගින් කරුණු සැළ කෙට ඇත්තේ බුද්ධ නීතිය අනුව මෙම දේපළ යලි විහාරයට අයත් විය යුතු බවයි. ඉංග්‍රීසි ආණ්ඩුව ඒ අනුව ක්‍රියා කර තිබේ. අනුරාධපුර යුගයේ පස්වන කාශ්‍යප සමයේ පිහිටුවා ලූ ජේතවනාරාම පුවරු ලිපිය අනුව සංඝයා වහන්සේලා විසින් විසඳිය යුතු ගැටළු උන්වහන්සේලා ම විසඳා ගත යුතු යැයි දක්වා ඇත. එසේ නැතහොත් රජු මැදිහත්ව සහාය දිය යුතු බවද දක්වා ඇත. මේ උදාහරණ මගින් පැහැදිලි වනුයේ බුද්ධ නීතිය අනුව ශාසනය පාලනය වන ආකාරයයි.

       සෑම භික්ෂූන් වහන්සේ නමක්ම ධර්මය හැඳින භික්ෂූන් වහන්සේ නමකට අවශ්‍ය කරන ස්වයං විනය ගොඩනගා ගැනීම සිදු කළ යුතුය යන ඔවදන බුදුන් වහන්සේ ගේ දේශනාවයි.සංඝ සමාජය තුළ කිසියම් විධිමත් භාවයක් ඇතිවිය යුතු නිසාත් භික්ෂූන් වහනසේලා සඳහා ශික්ෂා පද 227 කින්ද භික්ෂුණින් වහන්සේලා සඳහා ශික්ෂාපද 311 කින්ද යුතු සඟ විනයක් තිබෙන බව ධර්ම ග්‍රන්ථයන්හි දැක්වේ.. එබැවින් ධර්මය දැන හැඳින ඒ අනුව ජීවත්වන අතරම බුදුරදුන් විසින් අනුදත් භික්ෂු භික්ෂුණී විනය රැකීම ද භික්ෂු භික්ෂුණින් වහන්සේලා සතු යුතුකමක් ලෙස සැළකීම සංඝ සමාජයේ පොදු පිළි ගැනීමකි.. මහණකම නැතිවන ඡෙද්‍යගාමිණී ආපත්තීන් 4 ක් තිබේ. පාරාජිකා ලෙස සැලකෙන්නේ එම ආපත්තීන් හතරය. පාරාජිකා හැරුණු විට ඉතිරි ශික්ෂා පද සියල්ලම උට්ඨාන ගාමිණී ශික්ෂා පද වේ. භික්ෂූත්වය නැතිවන්නේ පාරාජිකා ආපත්තීන්ට පැමිණීමෙන් පමණි. සෙසු ආපත්තීන්ට පැමිණි විට එම ආපත්තීන් ගෙන් විමෝචනය වන්නේ කෙසේ දැයි සඟවිනය තුළ පැහැදිලිව දක්වා තිබේ. භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ඇතිවන ඕනෑම ගැටළුවක් විසඳාගත හැකි ආකාරය සඟ විනය තුළ නිර්දිෂ්ට වේ. භික්ෂුව ඒ අනුව ජීවත් විය යුතුය.

    වර්තමානයේ දී භික්ෂුන් වහන්සේලා අරභයා පැණ නැගී ඇති ගටළු වලදී ඉහත දක්වා ඇති පරිදි විහාරගම් සහ දේවාලගම් පනත සංශෝධනයෙන් හෝ භික්ෂු කතිකාවත් පනතකින් විසදුම් සෙවීම උගහටය.පළමුව කළ යුත්තේ සැබූ ලෙසටම භික්ෂුන් වහන්සේලා හමුවෙමි තිබෙන අභියෝග රජය විසින් අවබෝධ කර ගැනීමයි. සම්බුදු සසුන නැසීමට කඳ පණු න්‍යාය අනුගමනය කරන ගමන් භික්ෂුන් උදෙසා කැප වන්නේ යැයි හැඟවීම දෙබිඩි පිළිවෙතකි.රටේ පාලකයා සැබෑ බෞද්ධ පාලකයෙකු ලෙසට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. අනතුරුව රාජ්‍ය නීතිය තුළ විශේෂයෙන්ම දණ්ඩනීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ භික්ෂු විනයට සහ ශාසනයේ විනාශයට හේතු වන වගන්ති පිළීබඳ විමර්ශනයක් කොට ඒවා හානිකර යැයි තහවුරු වන්නේ නම් ඉවත් කළ යුතු වෙයි.මන්ද ඒ නීති පණවන ලද්දේ බ්‍රිතාන්‍ය පාලකයන් වන බැවිනි. ඉන්පසු දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(4) වගන්තිය අනුව පැවරෙන ප්‍රතිපාදන මත මහා සංඝ රත්නයට සිය විනය කරුණු විසඳා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය. නිකාය ගණනාවකටම අදාලව නොව එක් විනය නීතියක් එනම් බුද්ධ නීතිය ක්‍රියාත්මක කරලීමට ඉඩ ප්‍රෂ්ථා සැලසිය යුතුය. අනතුරුව එහිදී ගන්නා තීරණ අධිකරණය විසින් පිළිගන්නා බවට සහතිකයක් ලබා දිය යුතුය.එසේම යම් භික්ෂුන් වහන්සේ නමකට විරුද්ධව සමාජය තුළ චෝදනාවක් එල්ල වී ඇතිනම් ඒ චෝදනාවන් උසාවිය ඉදිරියේ පවතී නම් පළමුව සංඝ සභාවේ විනය කමිටුව ඉදිරියේ විමර්ශනය කොට උන්වහන්සේ නිවැරදි නම් යම් විත්ති වාචකයක් උසාවිය ඉදිරියට ගෙන ඒමට සංඝ සභාවට බලය තිබිය යුතුය. වැරදි කරු නම් ඒ කරුණුද උසාවියට ඉදිරිපත් කළ හැකිය.මේ ආකාරයට බුද්ධ නීතිය යටතේ වන සමස්ත සංඝ සාසනයටම සාධාරණයක් කරනවා විනා හුදු පනත් සංශෝනයකින් මේ බැරෑරුම් කටයුත්තට අත ගැසීම ප්‍රඥාගෝචර නැත.එසේම මේ අවසථාවේ දී බොර දියේ මාලු බෑමට බලා සිටින අන්‍යාගමිකයන් ශරියා නීතිය සහ තේසවලාමෙයි යන විදේශ නීති මෙහි නීති පද්ධතියට පනත් වශයෙන් සම්මත කර ගැනීමට මාන බලන බැවින් ඒවා ගැනද පරිස්සම් විය යුතුය.

මතුගම සෙනෙවිරුවන්

Sunday, May 17, 2026

අනුරාධපුර පුවරු ලිපියෙන් හෙළි වන භික්ෂු විනය නීති

 


                              

              භික්ෂූන් වහන්සේලා නිර්වාණ මාර්ගයට පිලිපන් විශේෂිත සංස්ථාවකට අයත්ය. මහණ වූ දා සිට යම් කිසි ශික්ෂාවකට අනුව හැඩ ගස්වනු ලබති. මහණ උපසම්පදාවට  පත් වූ පසු රැකිය යුතු සංවර ශිලයන් රැසකි. රහත් බවට නොපැමිණි භික්ෂූන් ද වෙති. උන්වහන්සේලා අතින් වැරදි සිදු වෙති. රහත් භික්ෂූන් ද එක් වූ කළ ඇති වන ආපත්තීන් කරණ කොට විනය නීති පැනවීය යුතු යැයි සැරියුත් තෙරුන් වහන්සේ පැවසූ  කල එය නිසි කළ කරන්නෙමැයි බුදුන්  වහන්සේ වදාල සේක.අනතුරුව භික්ෂූන් වහන්සේලා පාරාජිකා තත්වයට පත් වන අවස්ථා හතරක් ගැන දේශනා කර තිබේ. එසේම පරාජිකා වලට හේතු වන සංඝාදිසේෂයන් ගැන කරුණු දක්වමින් ඒවා විග්‍රහ කර දී තිබේ. පරාජිකා නොවූ භික්ෂුවක් අතින් වන වැරදි නිවැරදි කර ගැනීමටද නිර්වාණ මාර්ගයට පලිබෝධ රහිතව ඉදිරියට යෑමට ද පහසු වන පරිදි අධිකරණ සමථ හතක් ද පැණ වූහ. අධිකරණ යනු විවාදිකරණ ආපත්තිධිකරණ සහ කිච්චා අධිකරණ ලෙසට විග්‍රහ කර තිබේ.මෙහිදී මෙම අධිකරණ සත පිළීබඳ සලකා බැලූ කල්හි මහණ උපසම්පදා ලත් භික්ෂූන් වහන්සේ නමක් සසුනෙහි තැන්පත් කොට තබා ගන්නට සහ චිත්ත පාරිශුද්ධිය තුළින් නිර්වාණ මාර්ගය මතු කර ගැන්මට ගත් උත්සාහයන් ප්‍රකට වේ. රාජ නීතිය සහ බුද්ධ නීතිය නොගැටිය යුතුය.ගිහි සමාජයේ පලිබෝධ නිසා භික්ෂු චිත්තය කිළිටි නොවිය යුතුය. පෙර සිරිත අනුව රජු එයට ව්‍යවස්ථා පැණවූහ. ඒ සම්බන්ධව තිබෙන ප්‍රකට ශිලා ලේඛනය නම් අනුරාධපුර පස්වන කසුප් රජුගේ පුවරු ලිපියයි.

        අනුරාධපුරය  ජේතවනය අසල රත්න ප‍්‍රාසාදය ආසන්නයේ තිබී දශවන ශත වර්ෂයට අයත් පුවරු ලිපියක ලැබුණු බව රජයේ සෙල් ලිපි සංග්‍රහය වාර්ථා කර ඇත. උසින් අඩි පහක් ද පළලින් අඩි තුනයි අඟල් තුනක් ද වූ මෙම පුවරු ලිපිය පිහිටුවා ඇත්තේ වර්ෂ 914 සිට 923 දක්වා කාලයේ රාජ්‍ය විචාල පස්වන කසුප් නොහොත් සලමෙවන් අභය රජු විසිනි.වත්මනෙහි අපට අනුරාධපුර සිද්ධස්ථාන වන්දනාමානයට ඉඩ හසර ලැබ තිබෙන්නේ මෙම රජුගේ ඥාණාන්විත ක්‍රියා හේතු කොටගෙනයි.බුදු සස්න රැකුමට එදා ගත් නිවැරදි තීරණයන් මෙයට හේතු වේ.  දෙවන සේන රජු ගේ පුත‍්‍රයා වූ කාශ්‍යප කුමරු උපන් විගස යුවරජු ලෙසින් නමි කළ පින්වත් කුමරෙකි. දෙවරක් අභිශේක ලත් සංඝා බිසවගේ කුසින් උපන් මෙම කුමරා කුඩා කළ පටන්ම මහා සංඝයාගේ ආශ‍්‍රයෙන්  ලබන ලද මහත් ශාස්ත‍්‍ර ඥාණයක් ඇත්තෙක් විය. මොහුගේ විශාරද  භාවය මහා වංශයෙන් ප‍්‍රකට වන්නේ මෙසේය.

       ¨ හෙතෙම සෝවාන් වූවකු මෙන් ශ‍්‍රද්ධාවත්ය.අභිඥා ලැබූවෙකු මෙන් ප‍්‍රඥාවත්ය. සුරගුරු මෙන් ව්‍යක්ත කථිකයෙකි. කුවේරයා මෙන් ත්‍යාග වන්තයෙකි.බහුශ‍්‍රැතයෙකි. ධර්ම කථිකයෙකි. යුතු අයුතු විමසීමෙහි නිපුණ වූවෙකි.නීතියෙහි දක්ෂයෙකි. බුද්ධ ශාසනයේ අචල ශ‍්‍රද්ධාව ඇති මෙතෙම පරවාදීන්ට චංචල කළ නොහැකිය.දශ රාජ ධර්මයෙන් රජ කළ මෙතෙම සිවු සගරාවතින් ලොවට සංග‍්‍රහ කොට සිය ඇස මෙන් පාලනය කළේය.බුද්ධ ශාසනය ධර්මානුකූලව ශුද්ධ කළේය.¨  කසුප් රජුගේ පුවරු ලිපිය කීප අතෙකින් වැදගත් වන්නෙකි. එය ශාසනික ව්‍යවස්ථාවක් වැන්නකි.සංඝයා වහන්සේලා කෙරෙහි පිහිටා ධර්මය කෙරෙහි පිහිටා කටයුතු කළයුතු ආකාරය මෙම ලිපියෙන් මොනවට පැහැදිලි වේ. පේළි පණස් හයකින් යුක්ත මෙම ශිලා ලේඛනයේ  ආරම්භය අතිශයින් සිත් අලවන සුලුය. රජුගේ වංශය සුපුරුදු පරිදි පැහැදිලි කිරීමෙන් අනතුරුව ඇරඹෙන පේළි දාහතරෙන් ඉස්මතුව පවතින්නේ සිංහල රජ කෙනෙකුන් විසින් ලෝ සසුන් වැඩීමට කළ යුතු කාර්යයන්ය.

        කසුප් රජු පඩිවරයකු ග‍්‍රන්ථ කර්තෘවරයෙකු විශාරද බුද්ධිමතෙකු වශයෙන් ප‍්‍රකට වූයේ ධමිපියා අටුවා ගැටපදය වැනි විවරණයන් කළ හෙයිනි. බුද්ධඝෝෂ හිමියන් කළ ධම්ම පදට්ඨ කථාව සිංහල බසින් පැහැදිලි කිරීමට මෙම ග‍්‍රන්ථය රචනා කළ බව පැවසේ .කතුවරයාගේ කවීත්වයත් පාණ්ඩිත්වයත් නිර්මාණ ශක්තියත් රචනා චාතූර්යත් කලා නිපුණත්වයත් ග‍්‍රන්ථ ඥාණයත් විචාර බුද්ධියත් මෙම සන්න ග‍්‍රන්ථයෙන් හෙළි වන්නේයයි කොටහේනේ පඤාකිත්ති හිමියන් පවසති. එය පාළි රීතිය අනුව සකස් වී ඇතැයි උන්වහන්සේ තවදුරටත් පවසා තිබේ.   නමුත් සෙල්ලිපියේ ව්‍යවස්ථා සංග‍්‍රහය ආරම්භ කරන්නට මත්තෙන් රජු කර ඇති වැඩ කොටස පැහැදිලි කරවන පේළි දාහතර  කියවන්නෙකු ගේ සිත් සතන් පොබයන්නේ එහි තිබෙන පද විරිතේ   ගී රසයෙනි. සීගිරි ගී ලියූ පිටිසර ගැමියෙකු මෙන් හේ සිය කවීත්වයෙන් කියවන්නා අමන්දානන්දයට පත් කරවයි. ව්‍යවස්ථාවක් හෝ නීති සංග‍්‍රහයක් වැනි බල පණතක තිබිය යුතු ගැඹුරු බව එසේම තබා ගනිමින් එය කියවන්නාගේ  සිත් එයට ඇද බැඳ තබාගන්නා පිණිසම මෙම කවි පද පෙළ ගී විරිතකට සකස් කරන්නට ඇතැයි සිතේ. එසේම සිය කවි කමෙන් ඔහු විශාල ආශ්වාදයක් ලබා ඇති බව මෙම පද ගයන්නට උත්සාහ කරන්නෙකුට නිතැතින්ම දැනේ.                   

             මහාවංශයෙහි සඳහන් පරිදි විහාරයෙහි කරවූ මණ්ඩපයක සියලු භික්ෂූන් හා නුවරුන් පිරිවරා ගෙන හිඳ ආචාර්ය පාදයන් හමුවෙහි  රජු අභිධර්මය දේශනා කළේය.රන්පත්වල අභිධර්මය ලියවා ධමිමසංගණී නම් අභිධර්ම ප‍්‍රකරණයට විශේෂ පුද පෙරහැර පැවැත්වීය.අවුරුදු පතා පෙරහැර පවත්වා නුවර සැරිසරවා නුවර මැද ධම්මසංගණී මන්දිරයේ රන් පුස්තකයන් තබා ධම්මසංගණී පූජාව කරවීය.           පුරාණ නීති සමිප‍්‍රදාය අනුව රජු විසින් කළ යුත්තේ  භික්ෂූන් වහන්සේලාගේ චාම් ජීවිතයට කරදරයක් ඇති නොවන පරිදි විහාරාරාමවල සංඝාරාම වල විනය පවත්වාගෙන යෑමට ඉඩකඩ සැලැස්වීමයි.  පොළොන්නරු කතිකාවත ,දඹදෙණි කතිකාවත ආදී ව්‍යවස්ථා වලින් ප‍්‍රකට වන්නේ මෙයයි. එසේම සසුනට එරෙහි බලවේග මර්දනයටද රජුන් පියවර ගත්හ. මවු මැරීම ,පියා මැරීම, රහතුන් මැරීම ,පෙති පිළිම වැනසීම,  බුද්ධ ධර්මය හැර අන් ආගමක් ඇදහීම යන පංච  මහා සාවද්දයෙන් වැලකී  සිටීමට හැකිවන පරිදි රට  පරීක්ෂා කර බලන ලෙස කසුප් රජු කළ නියෝගය ඒ පුරාණ සම්ප‍්‍රදාය නැවත සිහිගන්වයි.  


                                       

           සංඝයා වහන්සේලා එක්ව කතිකා කොට තම නිකායන්ට අයත් විනය ද සමගිය ද පවත්වාගෙන යෑමට කටයුතු කිරීම සදහා රජු විසින් පහසුකම් සැලසීම පෙර සිරිත විය. එසේ නොමැති අවස්ථාවලදී සම්දරුවන් නොහොත් නිළධාරීන් මැදිහත් කරවා නීති පැණවීමට උත්සුක වූහ.    මෙම පුවරු ලිපියේ විසිනවය සහ තිස්වන පේළියේ සදහන් මෙම අර්ථය වර්ථමානයටද එකසේ වැදගත්ය. එසේම සම්දරුවන් පැණවූ යමි නීතියකට දඩයකට ගිගිරියක් නොහොත් විරුද්ධතාවයක් ඇතොත් සියලු දෙනා එක්ව විචාරා නීතිය සංශෝධනය කිරීමේ පිළිවෙතක් ද මෙහි වෙයි. එය සිංහල බෞද්ධයාගේ වැදගත් රාජ්‍ය තාන්ති‍්‍රක‍ ලක්ෂණයක් යයි කිව හැකිය.මෙම නීති සඳහා එතුමා නිසැකව ආභාෂය ලබන්නට ඇත්තේ බුදුන් වහන්සේ ජීවමාන කාලයෙහි ඇති වූ ශාසන පලිබෝධයන් වලදී උන් වහන්සේ කටයුතු කළ ආකාරය අධ්‍යනය කිරීමෙන් බව පැහැදිලිය. බුදුන් වහන්සේ ජීවමාන කාලයෙහි අනාචාර විෂයෙහි චෝදනා එල්ල වූ භික්ෂූන් සහ භික්ෂුනියන්ද වූහ. ඒ අවස්ථා වලදී ඉතාමත් ඥානවන්තව කටයුතු කළ උන් වහන්සේ සමාජය කැළඹීමට පත් නොවන සේ මැදිහත් විනිශ්චයන් ලබා දුන්හ.

මහාශ්‍රාවක කුමාර කාශ්‍යප මාතාවට අනාවාර චෝදනා නැගුණ අවස්‌ථාව උදාහරණයකි. එම මාතාව දරුවකු පිළිසිඳගත් බව නොදැන දේවදත්ත තෙරුන් වහන්සේ  සමීපයේ  පැවිදි වූවාය.  ටික දිනකින් ඇයගේ ගර්භය මෝරා වැඩෙන්නට වූ අතර සෙසු මෙහෙණියෝ ඇයට අවලාද නගා දෙව්දත් තෙරුන්ට දැන්වූවාය. දෙව්දත් තෙරුන් කිසිදු වගවිභාගයක්‌ නොකරම ඇය පැවිදි බවෙන් ඉවත් කළ බව සඳහන්ය.  කුමාර කාශ්‍යප මාතාව බුදුන් වහන්සේ සොයා ගියාය. බුදුරජාණන් වහන්සේ කරුණු විමසා ඇයගේ නිර්දෝෂිභාවය තේරුම්ගෙන අන් අයටද ඒ බව ඒත්තු ගැන්වීම සඳහා කරුණු සොයා බැලීමට විනය කමිටුවක් පත් කර ඇත. ඒ සඳහා කොසොල් මහ රජතුමාත්, අනේපිඬු සිටුතුමාත් විශාකා මහා උපාසිකාවත් පත්කරන ලද  බව සඳහන්ය. විසාකා මහා උපාසිකාව පත්කරන ලද්දේ කාන්තාවකගේ ප්‍රශ්නයක්‌ විසඳීමට කාන්තාවක්‌ වඩාත් සුදුසු නිසාත්, ඇය දරුවන් විසිදෙනකුම ප්‍රසූතකර හසළ අත්දැකිම් තිබූ නිසාත්ය. මෙම ත්‍රි පුද්ගල කමිටුව කුමාර කාශ්‍යප මාතාවගෙන් කරුණු විමසා ඇගේ නිර්දෝෂිභාවය බුදුරජාණන් වහන්සේට දැන්වූහ. බුද්ධ නීතිය අනුව මේ අවස්ථාව ඉතාම වැදගත්  ළෙස සැලකිය හැකිය. කුමාර කාශ්‍යප මාතාව නිර්දෝෂීබව බුදුරජාණන් හොඳාකාරවම දන්නා නමුත්  එය දිවැසින් බලා දැනගැනීමට හැකියාව තිබුණද . වරදක්‌ කළ විට සමාජය ඉදිරියේ නිරිදෝෂීහාවය ඔප්පු කළ යුතු බවත් එය වඩාත් සාධාරණ බවත්, එය සමාජය ඉදිරියේ ස්‌ඵුට කළ යුතු බවත් බුදුන් අදහස්‌ කළ සේක. මෙම ත්‍රිපුද්ගල කමිටුවට ඇයගේ නිරිදෝෂීභාවය සෙවීමට පත්කළේ එම නිසාය. පස්වන කසුප් රජු මෙම බුද්ධ නීතියෙන් ආදර්ශය ගෙන භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධ කටයුතු කිරීමට උන්වහන්සේලාටම අවස්ථාව ලබා දී ඇත. ආන්දෝලනයකට තුඩු දෙන අවස්ථාවක් නම් නිළධාරීන්  මැදිහත් කර  ගැනිම අනුමත කරන ලද්දේය.මෙම සම්ප්‍රදාය වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(4) වගන්තිය වෙත ආරෝපණය කර ඇති බවද මෙහිදී මතක් කළ යුතුය.

මතුගම සෙනෙවිරුවන්

 

Saturday, April 18, 2026

සී.අයි.ඩිය යටින් හැංගෙන පුරාවස්තු හොරකම්

 

                            


     කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රාජමහා විහාරයේ තිබූ සඳගල නම් වූ පාෂාණමය ඓතිහාසික පුරාවස්තුවක් තිබූ ස්ථානයෙන් ගලවා සොරකම් කරන ලද්දේ යැයි  සළකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද නඩුකරය අවසන් කර චූදිතයන් නිදහස් කලේ යැයි ද එයට  නිසි විමර්ශන නොකලේ යැයි ද සළකා සී.අයි.ඩී. හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට පත් කරගෙන තිබෙන බව පුවත් පත් වාර්තා කර තිබේ.මෙම පුරාවස්තු සොරකම මෙයට වසර දෙකකට පමණ පෙර සිදු වූවකි.සැකකරුවන් අත් අඩංගුවට පත් කොට පුරාවස්තු පණතේ විධි විධාන අනුව නඩු පවරා තිබෙන්නේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.සඳගල පාෂාණය පුපුරුවා නිදන් වස්තු ගෙන ඇති බව ද සඳහන්ය.

          මෙයට පෙර දැලිවල කොට වෙහෙරෙන් හමු වූ ඉතා වැදගත් ඓතිහාසික රන් කරඬුවක් ද එනම් චෛත්‍ය ආකෘතියට තැනූ ඡත්‍ර සහිත කරඬුව  ද සොරාගෙන තිබුණි.එම නඩු කරයද නිසි විමර්ශනයක් නැතිවම මේ වන විට අවසන් වී තිබේ. එයට අමතරව කොත්මලේ පුසුල් පිටිය රාජ මහා විහාරයේ තැන්පත් කර තිබූ දැව මුවා මකර තොරණ  ද රාත්‍රියේ සොරකම් කර තිබුණි.එහි චූදිතයා වූයේ ඇන්ටික් සාප්පුවක අයිතිකරුවෙකි. අත් අඩංගුවට පත් සැකකරුට මුලින් ඇප හිමි නුවුණද නඩු වාර කිඵයකින් පසුව නිදහස් කර තිබේ. නමුත් දැලිවල රන් කරඬුව මෙන්ම  පුසුල් පිටියේ මකර තොරණ ද නැවත  ලැබුණේ නැත.

      පුසුල් පිටිය රාජ මහා විහාරයේ පුරාවස්තු සොරතම පිළීබඳව දැන් අප සලකා බලමු.මෙම සොරකම සිදු වීමෙන් පසුව  2016/9/20 දින  යොමු කරන ලද ලිපිය අනුව මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක වරයාව සිටි ගුණතිලක බණ්ඩා මහතා ක්‍රියාත්මක වී පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාශයට දන්වන ලදුව 2016 ඔක්තෝබර් මාසයේ දී අවශ්‍ය ස්ථානීය පරීක්ෂාව සිදු කර තිබේ. අනතුරුව 2017 ජනවාරි මස 27 දින පොලිසිය විසින් යළි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලදුව 2017 පෙබරවාරි 7 වන දින ගරු අධිකරණයට මෙම පුරාවස්තුවේ වටිනාකම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ඒ වාර්තාව අනුව අත් අඩංගුවට ගත් සැක කරුවන් හට ඇප ලබා දිය නොහැකි  බව පැහැදිලි වේ.

       මෙම දළකඩ මකර තොරණ උසින් අඩි 3.5 කි. දැවයෙන් සහ ඇත් දළ වලින් නිම කරන ලද මේ මකර තොරණ සොරාගෙන යන දින විහාරයේ සවි කර තිබූ CCTVකැමරාවේ මෙම සොරකම කරන ආකාරය මනාව සටහන් වී තිබුණි.මකර තොරණ ගලවා කර තබාගෙන යන ආකාරය තුළින් ගම්‍ය වනුයේ ඒ ස්ථානයට තිබූ ආරක්ෂාවේ දුර්වල ස්වභාවයයි.    මේ මහා හොරකම සිදුව සැක කරුවන් අත් අඩංගුවට පත් කර ගැනීමට පොලිසියට හැකියාව ලැබුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි ඉහළ නිළධාරීන් ගේ පක්ෂපාතීත්වය හෝ නොසැළකිල්ල මත අපරාධ කරුවන්ට ඇප ලැබී තිබුණි. එසේම සොරා ගත් මකර තොරණද ඔවුන් ගෙන් ලබා ගැනීමට හැකියාව මෙතෙක් ලැබී නැත . මේ හා සමානව දැදිගම කොට වෙහෙරෙන් හමු වූ රන් කරඬුවට ද අත්ව තිබෙන්නේ ද මේ ඉරණමයි. පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂතාවය නිසා මේ වටිනා පූජනීය වස්තූන් කිසිවක් මෙ තෙක් නැවත ලබා ගැනීමට හැකියාව ලැබී නොමැත. අවසානයේ දී මේ ඇප දීමට එරෙහිව නඩු කීමට සිදු වූයේ  පුසුල් පිටිය රාජ මහා විහාරයේ භාරකාර තැන්පත් ලංකා තිලක විහාරයේ බස්නායක නිලමේ ප්‍රියන්ත අමුණුගම මහතාටය. ඔහු  ඉහළ අධිකරණයට ඉදිරිපත් කරන ලද නඩු කරය බෙහෙවින් ප්‍රබල විය. නඩු වාර ගණනාවකට පසු 2024 මැයි මාසයේ31 වන දින  නැවත නාවල පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පවත්වන ලද නඩු විභාගයේ දී නැවතත් සැක කරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ නමුත් පසුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිද්‍රාශීලිත්වය නිසා චූදිතයන් නිදහස් විය.

          මෙම පුරාවස්තූන් සියල්ල රාජමහා විහාරස්ථාන සතුව තිබූ පෙර රජ දරුවන් විසින් ශාසනයට පූජා කරනු ලැබූ පූජා වස්තූන්ය. ඒ සියල්ල බුද්ධ ශාසනයට අයත්ය. බුද්ධ ශාසනයට අයත් පැරණි වස්තූන් ආරක්ෂා කිරීමේ වගකීම සහ ප්‍රතිසංස්කරණයේ වගකීම පවතින්නේ පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවටයි.මෙම ඓතිහාසික ස්ථානයන් වෙත සොර සතුරු බියක් සහ විනාශයක් සිදු වූ විට ඒවා ගැන සොයා බලා යතාවත් කිරීමේ වගකීම පැවරෙන්නේ රජයටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය අනුව කියැවෙන බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජය වෙත ඉතා දැඩිව පවතින්නකි.එවැනි  ප්‍රතිපාදන ව්‍යවස්ථාපිතව තිබුණද පුරාවස්තු සොරා ගැනීමේ සිද්දියකදී මෙරට පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරනුයේ කෙසේද යන්න ඉහතකී සිද්දි තුනෙන්ම සනාථ වී තිබේ. සැක කරුවන් අත් අඩංගුවට පත් කරගත් පසු කෙසේ හෝ සොරා ගත් ඓතිහාසික පුරාවස්තු සොය ගැනිමේ වගකීම ඔවුන් සතුය.එසේම පරික්ෂණය සහ නඩුකරය ඉදිරියට යන කල්හි පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ නීති අංශය සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ වගකීම ද පවතී. නමුත් මෙම සිද්දි තුනේම පෙනෙන්නට තිබෙන්නේ  සැක කරුවන් අත්අඩංගුවට පත් වූ පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීති අංහ දැනුම්වත් කරමින් නඩුකර ඉදිරියට නොගිය  ආකාරයයි.අතැම් විට නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි උපදෙස් නිසා විනාශ වන පුරාවස්තු ගැන ද අපට අසන්නට ලැබේ. වඩුන්නාගල සහ කුරුන්දි විහාරය උදාහරණ දෙකකි.මෙම ලිපියේ මුලින් සඳහන් කළ පරිදි අල්ලස් කොමිසම මගින් සී.අයි.ඩියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකු අත් අඩංගුවට පත් කර ගනු ලබනුයේ මෙවැනි දුර්වලාතා සහ පක්ෂපාති ක්‍රියා නිසාවෙන් යයි සිතන්නට හැකිය.ඒ තත්වය නිසා මෙරට ඓතිහාසික උරුමයන්ට සිදුවන හානිය සුළු පටු නොවේ.

මතුගම සෙනෙවිරුවන්