පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Showing posts with label සිංහල ගොවිතැන. Show all posts
Showing posts with label සිංහල ගොවිතැන. Show all posts

Saturday, August 8, 2026

වී ගොවිතැන අන්ඩර් වැලිව් - මෝල් ඇමති සුපිරි වැලිව්

 

                            


             විදෙස් රටවලින් ගෙන්වනු ලබන අමුද්‍රව්‍ය සඳහා අඩු වටිනාකමක් පෙන්වා රේගු බදු වංචා කලැයි දක්වන ඇඟලුම් ව්‍යාපාරිකයෙකු පසුගියදා අත් අඩංගුවට පත් විය.රජයට අයවිය යුතු නියමාකාර බදු මුදල මග හැරීම ඔහුට තිබෙන චෝදනාවයි.එයට අමතරව වාහන ආනයන කරුවෙකු ද මේ වන විට අත්ඩංගුවට පත්ව තිබේ. මේ වන විට රටේ කෘෂීකර්ම ඇමතිවරයාද වී කිලෝවක මිළ ට අඩු වටිනාකමක් දී ගොවිතැන හෑල්ලු කර ඇත. ඒ අනුව රටට ලැබිය යුතු දළ ජාතික ආදායම අහිමි කිරීමට කටයුතු කරමින් ඇත.නමුත් ඔහුට චෝදනාවක් නැත. අත්අඩංගුවට පත් වීමක් ද නැත. ඔහු පවසන දෙයට විරෝධතා ගොනුවන්නේ ගොවියන්ගෙන් පමණකි.වී ගොවිතැන අන්ඩර් වැලිව් වන විට රටක් වශයෙන් අහේනියට පත් වන බව බොහෝ අයට නොතේරේ.මෙලෙස වී වලට අඩු වටිනාකමක් හිමි වීමට කාරණා කීපයක් බලපානු ලබයි. එකක් නම් වී වල ප්‍රමිතියයි. දෙවැන්න දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතියක් වශයෙන් එයට පහළ අගයක් හිමි වීමයි.තුන් වැන්න නම් අපනයනය සඳහා සහල් පදනම් කර ගත් නිමි ආහාර සඳහා රාජ්‍ය මට්ටමින් උනන්දුවක් ඇති කර නොතිබීමයි.දැන් ඉන් පළමු වැන්න බලමු.

            උතුර හා නැගෙනහිර යුද්ධය නිමා වූ පසු ඒ පෙදෙස සීඝ්‍ර ලෙසට සංවර්ධනය වීමත් ගොවිතැනට අවශ්‍ය නිදහස ලැබීමත් නිසා වර්තමානය වන විට සහලින් රට ස්වයංපෝෂිතය. එහෙත් හරිත විප්ලව ක්‍රියාදාමය මගින් අභිජනනය කරන ලද වී වර්ග අතිරික්තයෙන් කිසිම පළක් නොවේ. ඒවායේ  සංයුතියේ විකෘතිතා නිසා විදේශ රටවල් විසින් ප්‍රතික්ෂේප කිරීම මීට හේතුවයි.බතලගොඩ  පර්යේෂණ මධ්‍යස්තානය මගින් වැඩි දියුණු කරන ලද BG 1165  වී වර්ගය මගින් නිපදවන සහල් අපනයනයට සුදුසු නැත. ඊට හේතුව පිටරට වෙළෙඳ පළ තුළ ඉල්ලුමක් පවතින්නේ ඇමයිලෝස් අඩු ප්‍රතිශතයක් ඇති දිගැටි සහලට වීමයි.අම්බලන්තොට පර්යේෂණායතනය මගින් නිපදවූ AT306 AT 1382 සහ AT 105 යන වී වර්ගයන් හි මෙකී ගුණාංග පවතින නමුත් එම වර්ග ගුණනය කොට අපනයනයට සූදානම් කිරීමක් තවමත් නොමැත.ඊට හේතු කීපයකි. ලංකාවේ වීගොවීන් අතර ප්‍රචලිත පසු අස්වනු ක්‍රමයන්හි පවතින ප්‍රධාන දුබලතාවයන් මෙහිදී ප්‍රධාන වේ.එකක් නම් ගොයම් කපා පැය හතලිස් අටක් තුළ වියළා ගබඩා කිරීමක් දක්නට නොමැති වීමයි.තවමත් ඔවුන් වී වේලනු ලබනුයේ මහපාරේ හෝ කමතේ බැවිනි.

       ජගත් ප්‍රමිතිය වන (CORD X ) ක්‍රමයට අනුව  ඇපලොටොක්සීන් වැනි ධුලක මෙහි නොතිබිය යුතුය. සියයට තිස්පහක උෂ්ණත්වයක් යටතේ ආද්‍රතාවය සියයට හැටපහක් වන ලෙස පාලනය කරමින් සියයට සීයක් සවෘත ගබඩාවල වී ගබඩා නොකළහොත් මෙම ජගත් ප්‍රමීතීන් වලට අනුව වී සැපයිය නොහැකිය. ලංකාවේ පැරණි වී බිස්සේ තිබූ ප්‍රමිතියවත් අද නැත.එවිට සිදු වන්නේ ලංකාව තුළ පමණක් වී වෙළෙඳ පල හැසිරවීමට කටයුතු සැලසීම පමණකි. එහෙත් මේ වන විට බතලගොඩ පර්යේෂණායතනය මගින් ඇමයිලෝස් ප්‍රමාණය අඩුවෙන් ඇති වී වර්ග නිපදවීමට උත්සාහ දරමින් සිටී. එහි ප්‍රතිඵල නෙලා ගැනීමට කලක් ගත විය හැකිය.

  දෙවැනි කාරණය බරපතල තත්වයකි.මහ බැංකු වාර්තාවලට අනුව රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් කෘෂිකර්මය සහ ධීවර අංශය දායක වනුයේ සියයට 9.0 ක් පමණකි. ඉන් වී ගොවිතැනට හිමි වනුයේ සියයට 1.0 කි.රටේ වාර්ෂික අස්වැන්න මෙට්රික් ටොන් දශ ලක්ෂ 4.5 කි. එහෙත් වී මිළට අඩු වටිනාකමක් දීම නිසා එනම් සෑම කන්නයකදීම වී කිලෝවකට රුපියල් සීයයෙන් අඩු ලංසුවක් තැබීම නිසා වී වල සැබෑ වටිනාකම ගණනය නොවන්නේය.මේ කතාව අතීතයට සමපාත කොට  ද බැලිය හැකිය.එනම් වී අලෙවි මණ්ඩලය පිහිටුවා ලූ වකවානුවේ දේශපාලකයන් ඊට දැකුවූ ආකල්ප සැලකිල්ලට ගැනීමෙනි.        1972 දෙසැම්බර් මස 22 වෙනිදා ජාතික රාජ්‍ය සභාවේ හැන්සාඩ් වාර්තාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. නවරත්න මහතාගේ කතාවේ මෙසේ සඳහන් වී ඇත.

   ' හැමදාම ගොවිතැන් කර ජීවත් වූ මේ රටේ ගොවියා කම්මැලියකු බවට පත්වුණේ බ්‍රිතාන්‍ය අධිරාජවාදීන් මේ රට යටත් කරගත්තාට පසුවයි. අප කවුරුත් ඒක පිළිගත යුතුයි. අද ගොවියන් වී වගාවට අධෛර්ය වී සිටින්නේ වී මිලට ගැනීමේ ආණ්ඩුවේ ඒකාධිකාරයේ නිසා යයි දැදිගම ගරු මන්ත්‍රීතුමා ඩඩ්ලි සේනානායක මහතා ප්‍රකාශ කළා. එහෙත් සිදුවී තිබෙන්නේ එහි අනිත් පැත්තයි. අද ගොවියා උනන්දුවී සිටින්නේ රජය වී මිළට ගැනීමේ ඒකාධිකාරය නිසයි. මා නියෝජනය කරන්නේ ගොවියන් සීයට සීයක් සිටින ගොවි ජනපදයක්. එදා පෞද්ගලික වෙළෙන්දා  ගොවියන්ගෙන් වී මිලට ගත්තේ කීයටද.  බුසල රුපියල් පහට හයට හතට අටට විකුණන්නටයි. එදා අපේ ගොවියන්ට සිදුවුණේ. ඉතින් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බව කාටත් පේනවා. දැන් වී මණ්ඩලයට වී දීමෙන් ගොවියාට වී බුසලයකට රුපියල් දාහතර බැගින් ලබා ගන්නට පුළුවනි. බී.ජී එකොළහ ගෙනත් දෙන විට රුපියල් දාහතරක් ගොවියාට ලැබෙනවා සමහර විට රුපියල් 15ක් ලැබෙනවා. ඒ විදියට අද ආදායම වැඩි වී තිබෙනවා අද ගොවියාට ලැබෙන වැඩි මිල නිසා ධෛර්යට පත් වී තිබෙනවා .පසුගිය රජයේ අවසාන අවුරුද්දේදී වී බුසල් කෝටි හතක් ලැබුණු බව දැනගෙන ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා. ගොවීන් නිෂ්පාදනය කරන සෑම වී ඇටයක්ම රජය මගින් මිළට ගත යුතු බවයි අපි එදා කිව්වේ. එදා අප එහෙම කිව්වේ ඇයි? පෞද්ගලික වෙළඳුන් මිණිපේ ජනපදයට ආවොත් මේ රුපියල් 14 බැගින් 18 බැගින් මිලට ගත්තා. බොල් මිශ්‍ර වී පවා ඒ විදියට ගත්තා ඇයි ඒ වී අරගෙන ගිහින් එක්කෝ හොරෙන් පිටරටවලට විකුණනවා නැතිනම් මොකක් හෝ දෙයක් කරනවා. වී රට ඇතුලේ විකිණෙන්නේ නැහැ කොටින්ම ඒ කාලේ රජයට සෑම වී ප්‍රමාණයක් ම ලැබුණේ නැහැ කෝටි හත් ලක්ෂයක් ලැබුණා කීවත් පොත්පත්වල තිබෙන ගණන් හිලවූ මා විශ්වාස කරන්නේ නැහැ

       මෙම අමාත්‍යංශය යටතේ සාකච්ඡා ආරම්භ කළේ මහනුවර ගරු මන්ත්‍රීතුමා ඊ.එල් සේනානායක මහතා වන අතර එතුමා තම කතාවේ දී පණ්ඩුකාභය රජතුමා ගැන අනුරාධපුරය ගැන ධාතුසේන රජතුමා ගැන පරාක්‍රමබාහු  රජතුමා ගැන සඳහන් කළා .අපත් හැම රජ කෙනෙක් ගැනම අසා තිබෙනවා. ඉතිහාසය කියවා ඇති. කවුරුත් ඔය රජවරුන් ගැන දන්නවා රජුන් ගැන සඳහන් කරමින් එතුමා කී හැමදේකට මා එකඟ වෙනවා  1945 දී   රයිට් නැමැති කෙනෙකු ලියූ පොතක් බලාගෙන මේ රටේ වී නිෂ්පාදනය ගැන එහි  බොහොම හොඳ රෙකමදාරුවක් කර තිබෙනවා යැයිද මේ රටේ මහජනයා ගොවිතැන් කරන්නට උනන්දු කළ යුත්තේ කෙසේදැයි ඒ සඳහන් වී තිබෙනවා යයි ඒ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා. එතුමාගේ අන්න ඒ ප්‍රකාශය  නම් මාත් පිළිගන්නේ නැහැ. එයා හරි රයිට් කෙනෙක් නොවෙයි. 1815 මාර්තු මාසයේ දෙවෙනිදා මේ රට බ්‍රිතාන්‍යයට යටත් වුණා. ඉන් පසුව තමයි අපට මෙසේ සිදුවුණේ. වරක් පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී මේ රටින් හාල් පිටරට යැව්වා කියා කියනවා. එහෙත් ඔය රයිට්ලා ආවාට පසුව තමයි හාල් ගෙන විත් සත දොළහ ගණනේ විකුණා අපේ ගොවියා අධෛර්යයට පත් කලේ පිටින් හාල් ගෙනවිත්  තිබුණු නිසා තමයි  අපේ ගොවියන් අධෛර්ය වූයේ. එදා තමයි අපේ ගොවියා රෝං වුනේ. ඒ නිසා මහනුවර ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ ඒ කොටසට නම් මා එකඟ වන්නේ නැහැ.'

       මා මෙය උපුටා දක්වනුයේ 1972 දී වී අලෙවි මණ්ඩලය පිහිටුවායින් පසුව ගොවියා ශක්තිමත් වූ ආකාරය දැක්වීමට නොවේ. පසු කාලයක වී අලෙවි මණ්ඩලය බංකොලොත් වන්නට ඉඩ හැර 1995 දී පමණ ඈවර කල බව සැවොම දනී. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ගේ පාලන සමයේ දී  මෙම මණ්ඩලය නැවත ආරම්භ කළහ. වී නැවතත් මිලට ගත්හ..නමුත් 1995 න් පසුව වී වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක පහේ ධාන්‍ය අතිරික්තය නිසා පොහොසත් වී සිටින වී ව්‍යාපාරිකයන් පාලනය කරමින්  ගොවියාට සැබෑ වී මිළක් ලබා දීමට හැකියාවක් ලැබුණේ නැත.රටේ වී අතිරික්තයක් තිබුණත් විදෙස් වලින් සහල් ගෙන්වා අඩු මිලට දීම එක් හේතුවකි. 2025 වර්ෂයේ දී හාල් මෙට්රික් ටොන් එක් ලක්ෂ විසිදාහක් පමණ ආනයනය කර තිබේ. 2026 වර්ෂයේ මේ වන විට 177000 ක ප්‍රමාණයක් ආනයනය කර තිබේ. ඉන්දියාවෙන් ගෙන්වන ස්වර්ණ නාඩු යනු දෙකඩ කැඩූ සහල් ප්‍රභේදයකි.ඒවා රුපියල් දෙසීයෙන් අඩුවට ස.තො.ස. හරහා දිය හැකිය.නමුත් එහි ගුණාත්මක බවක් නැත. සම්බා සහල් දෙසිය තිහ ඉක්මවා යයි.මේම තත්වය මත රජය වී මිළ 120 ට නියම කලද ගන්නා වි ප්‍රමාණය ස්වල්පයක් වීම නිසා මෝල් හිමියන්ට අවස්ථාව ලැබී තිබේ. ඔවුහු මිළට ගන්නේ කිලෝවක් සියයටත් අඩුවෙනි. රටේ වී මිල තීරණය කරන්නේ  පසු අස්වනු තාක්ෂණ ආයතනය හෝ හෙක්ටර් කොබ්බෑකඩුව වැනි විද්‍යාත්මක ආයතන නොවේ. ඒ බැව් ඇමති තුමාද පිළීගෙන ඇත. කෘෂිකර්ම ආර්ථික අංශයෙන් මේ මිළ තීරණය කරන්නේ දේහපාලන අර්ථයෙනි.  ඒ අය සැබෑ නිෂ්පාදන වියදම හංගා වී වලට  අඩු වටිනාකමක් දී ඇත.එයට හේතුව සහල් පිරටින් ගෙන්වා පාරිභොගිකයන් සතුටු කිරීමට උත්සාහ දැරීමයි. ඒ මගින් අතරමැදියන්ට එනම් මෝල් හිමියන්ට සහ සහල් ආනයනය කරන්නන්ට ලාභ ගෙන දීම සිදු වන අතර  වී නිෂ්පාදන ආර්ථිකය බරපතල ලෙසට බිඳ වැට්ටවීමට පසුබිම සැලසේ. ගොවියා වී වගාව අත්හළහොත් ඒ ඉඩම් බහු ජාතික සමාගම් වලට ලබා දීමේ අරමුණු යටින් ඇත.

       තුන්වන කාරණය ලෙස සහල් වලට අගය එකතු කිරීම ගත හැකිය. කලකට ඉහත ලංකාවේ සහල් වලින් නූඩ්ලස් පාන් පිටි වර්ග  අයිස් ක්‍රීම් පවා හැදූ බව මතකයට නැගේ ඒ කර්මාන්ත අද කඩා වැටී ඇත. පසු අස්වනු තාක්ෂණ ආයතනය ඩ්‍රැගන් නම් වූ නූඩ්ලස් වර්ගය නිපදවන්නේ නැත. චීන රජයෙන් දුන් යන්ත්‍රය දිරාපත් වීමට ඉඩ හැර ඇත.විදෙස් වලින් සහල් ගෙන්වීමටද පවතින වී වෙළඳ පළ කඩා වැට්ටවීමට ඉඩ හැරීමට ඉඩ දීමද නිසා අගය එකතු කිරීම් ස්ථාවර නොවේ එවැනි කිර්මාන්තයක් පටන් ගන්නා ද පවත්වා ගෙන යන්නා ද අමාරුවේ වැටෙති.

      විදුලි බිල වැඩි වීම තෙල් මිළ ඉහළ යෑම ලෝක යුද්ධය ආදී කරුණු නිසා සෑම දෙයකම මිළ වැඩිවී තිබේ.කුඹුරු හෑමට  මී ගවයන් නැත. වගුරු මී ගවයා මස් කඩයට දක්කා ඇත.ඒ වෙනුවට කිරි වැඩි ගංගා මීගවයා ආනයනය කර ඇත.ඩීසල් මිල වැඩිවෙන විට පිරිවැය ඉහළ යයි. සහනාධාර දෙන්නේ මුදල් වලින් නමුත් ගොවියා පවතින වෙළඳ පලින් සියල්ල මිළට ගත යුතුයි.එවිට ගොවියාගේ නිෂ්පාදන වියදම ජීවන වියදම ඉහළ යෑම ස්වභාවිකය. මේ තත්වය හරි හැටි ගණනය නොකරයි. ගොවියා  වී අතිරික්තයක්  නිපදවූවත් තාමත් දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 1.0  ක් පමණක් හිමි කර දීමෙන් වී ගොවිතැන අනාර්ථික බවට  පත් කර තිබේ.  එම අන්ඩර් වැලිව් කිරීම නිසා රටේ මුදල් ඒකකය වන රුපියල ද අන්ඩර් වැලිව් වේ. ඩොලරයට සාපේක්ෂව රුපියල උඩට පහළ ගැනීම නිසා දළ දේශීය නිෂ්පාදිතය යන වචනය පවා හෑල්ලු වී තිබේ.වර්තමාන කෘෂිකර්ම ඇමති  නූතන ධනපති පන්තියට එකතුවූ අලුත් සාමාජිකයෙකු ලෙසට අදහස් පළ කරනු පෙනේ. මෙවැනි අය පැරණි ප්‍රභූන්ට  වඩා ගොවියා පගා දමන්නට කැමතිය. ඊට හේතුව නූතන ධනපතියන් පාලනය කරන්නේ විදෙස් බලවේග විසින් බැවිනි.තක්කඩි කතා කියමින් ගොවියාද ගොවිතැනද හෑල්ලු කරනුයේ එහෙයිනි.

මතුගම සෙනෙවිරුවන්

Friday, August 22, 2025

එක මිටට ගොවිබිමට -එහෙත් කෘෂිකර්මය ඉවතට

 

                                    


         මෙවර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මගින් සිදු කරන විෂය මාලා වෙනස් කම් වලදී ඉතිහාසාය, සෞන්දර්ය කලා විෂයයන් පමණක් නොව කෘෂීකර්ම විෂයද ඉවත් කර තිබේ.ඒ විෂය මොඩියුල් වශයෙන් කෘෂී කළමනාකරණය සහ තාක්ෂණය යනුවෙන් වරණීය විෂයයන්ට   ඇතුළත් කර තිබේ. කෘෂිකර්මය යනු මෙරට ජනතාවගේ ජීවිතයට බද්ධව පවතින ආත්මීය සම්බන්ධයක් තිබෙන විෂයක් බව ඕනෑ කමින්ම අමතක කර තිබෙන බව පෙනීයයි.කෘෂිකළමනාකරණය යනු සමාගම් වළට අවශ්‍ය කළමනාකරුවන් බිහි කරන ක්‍රමවේදයයි.කෘෂි තාක්ෂණය යනු කෘෂිකර්මය පහසු කරවන එක් මාර්ගයක් පමණකි.ජීවන පැවැත්මට අවශ්‍ය ආහාර නිපදවීම එනම් ආහාර සුරක්ෂිතතාවය සහ ස්වෛරීත්වය උදෙසා මේ විෂයයන් සිදුවන මෙහෙයක් නැත.

          වර්තමාන රජයේ වගා සංග්‍රාමය සඳහා යොදා ඇති තේමා පාඨය නම් 'එක මිටට ගොවිබිමට' යන්නයි. මෙයට කලින් විවිධ ආණ්ඩු යටතේ මෙවැනි තේමා පාඨ සහිත ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වූ බව අප දනිමු. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරයාගේ වකවානුවේ දී වැව් දහසක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද්දේ එවකට කෘෂිකර්ම ඇමතිවරයාව සිටි වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා විසිනි.අරමුණ යහපත් වුවද ඒ අවස්ථාවේ දී කිසිම වග විභගයක් නොමැතිව වැව් හාරා යම් විනාශයක් කර තිබුණි.එක මිටට ගොවි  බිමට නමින් වන  වැඩ සටහනද සැබවින්ම යහපත් අරමුණකි. රටේ කෘෂිකාර්මක ඵලදාව නැන්වීම උදෙසා සෑම දෙනම ගොවි බිම් කරා කැන්දන දිරිමත් කරන පාඨයක් සහිත වැඩ සටහනකි. එහෙත් රටේ වී ගොවිතැන වාර්ෂික හා අර්ධ වාරෂික භෝග ආදිය වගා කිරීමේ දී පවතින ශ්‍රම සම්පත ගැන කල්පනා කළ යුතුය.

 නිදහසින් පසු රටේ කෘෂිකර්මයට ලැබුණු වටිනාකම නිසා ගම්වල සිටි තරුණ පිරිස් විශාල උනන්දුවකින් ගොවි බිම් අස්වද්දන්ට යොමු වුණද හැත්තෑවේ දශකයෙන් පසුව ඇති වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් ඒ මත සංවර්ධනය වූ වෙළෙදපළ ආර්ථිකයත් නිසා ඊට සරිලන ලෙසට තරුණ තරුණියන් අධ්‍යාපනය ලබාගෙන ඇත. ඒ තත්වය තුළ ගොවිබිමට නිරන්තරයෙන් එක් වන ශ්‍රමික පිරිස අඩුවී ඇති අතර අර්ධකාලීනව ගොවිබමට එන එනම් ගෙවතු වගා කරන විවේක කාල වලදී ගොවිතැන් කරන ශ්‍රම බලකායද හීන වෙමින් පවතී. එවැනි තත්වයක් යටතේ එක බිමට ගොවි බිමට සාර්ථක කර ගැනීමට නම් ගොවි බිමට බසින ශ්‍රම සම්පත වර්ධනය කරගත යුතුය. එවැනි දිගු කාලීන අරමුණක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුළ නැත. ඒ අතර 2025 යල සහ මාස කන්න වල එක විටම ගොවි බිමට බසින්නට කළ ආයාචනය ද පුස්සක් වී තිබේ.

        මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ගොවිජන සේවා කොමසාරිස් රෝහණ රාජපක්ෂ විසින් 2025 අප්‍රියෙල් 09 දින 7/11/60 යනුවෙන් නිකුත් කළ චක්‍ර ලේඛනයක් ඇත.  2000 අංක 46 ගොවිජන සංවර්ධන පනතේ 30(3) වගන්තිය යටතේ කුඹූරු ඉඩමක් වෙනත් භෝග වගාවකට යෙදිය හැකිය. එහෙත් 2020 නිකුත් කරන ලද 2020/1 චක්‍ර ලේඛනයකට අනුව කුඹුරු ඉඩම් A B C යනුවෙන් කොටස් තුනකට වර්ග කර තිබුණි. එහි විද්‍යාත්මක පදනමක්නොමැතිය. ඊට හේතුව රටේ පවතින විවිධ කෘෂිකාර්මක ඉඩම් වලට යොදා ඇති නාමයන්ය. ඒවා ඒ බිමේ භූගෝලීය සාධක අනුව වර්ග කිරීමට පැරණියන් පුරුදුව සිටියහ. කුඹූර, ඕවිට, අස්වැද්දුම, උඩුමුල්ල ,දෙණිය, පිට කට්ටිය , කමත ආදී වශයෙන් ඒ ඉඩම් නම් කර තිබුණි. කුඹුර යනු වී ගොවිතැනට සෘජුවම යොදා ගත් ඉඩම්ය අස්වැද්දුම යනු අලුතෙන් වගා කටයුතු වලට යොදා ගන්නා ලද ඉඩම්ය. ඒවා කුඹූරු විය හැකිය. නැතිනම් ගොඩ භෝග වගා කිරීම සඳහා විය හැකිය.අනෙක් ඉඩම් සියල්ල  කුඹූරු ආශ්‍රිත ගොඩ ඉඩම්ය. බොහෝ විට ජලාශ්‍රිත ඉඩම්ය. ඒ නිසා ජල උල්පත් සහිත පරිසර පද්ධිතියක් ඒවාට තිබේ. ඉහතකී වර්ගීකරණයේ දී සී කාණ්ඩයට වැටෙන්නේ ඒ ඉඩම්ය. නමුත් ඒ චක්‍ර ලේඛනය වගකීමක් සහිතිව ඉඩම් වල නාමයෙන්ම වර්ගීකරණය කර තිබුණා නම් වගාවට පමණක් නොව පරිසර පද්ධතීනට ද සාධාරණයක් ඉටු කරන්නට ඉඩ තිබුණි.

  කෙසේ වෙතත් 2025 නිකු ත් කරන ලද චක්‍ර ලේඛනය මගින් මේ වර්ගීකරණය ද නොසලකා හැර තිබේ. ඕනෑම කුඹුරු ඉඩමක වාර්ෂික හෝ අර්ධ වාර්ෂික භෝග වගා කිරීමට ඒ මගින් අවසර ලබා දිය හැකිය.ලංකාවේ  පවතින භූගෝලීය සාධක අනුව විවිධ පළාත්වල ගොවිතැනේ දී භාවිතා කරන සම්ප්‍රදායන් තිබේ. උඩරට පළාත්වල එක් කන්නයක් එළවලු කරන අතර ඊ ළඟ කන්නය වී ගොවිතැනට යොදා ගනිති.තවත් ප්‍රදේශයක වැව් පද්ධති රැසක් තිබෙන බැවින් වාරි ජලය තිබෙන ප්‍රමාණය අනුව වී ගොවිතැනේ කන්නය තීරණය කරති.මහාවැලි ජලයෙන් වගා කරන කුඹූරු පාස්සවා ගන්නේ මධ්‍යගත වාරි ජල සම්පාදන කාල සටහනකට අනුවයි. ඒවායේ ද ඇතැම් කන්න වල මුං ඇට ,රටකජු වැනි ධාන්‍ය භෝග වගා කරති. බස්නාහිර පළාත දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කයන්හි පවතින ගංගා ද්‍රෝණි ගොවිතැන සහමුලින්ම වෙනස්ය.යල සහ මහ කන්න දෙකේදීම ඒවා වගා නොකරති.ඇතැම් කුඹූරු හරහා ගං වතුරාව ගලන්නේ යල කන්නයට යි. ඇතැම් තැන්වල මාස් කන්නයට ද යල සහ සහ කන්න දෙකටම ගංවතුරාටවට යට වන කුඹුරු ද තිබේ.වගුරු කඩොල් පස තිබෙන බැවින් ඒවා සුදුසු වනුයේ වී ගොවිතැනට පමණකි.

          2025 චක්‍ර ලේඛනය මේ සියලු විවිධ වූ කුඹූරු පද්ධති අරභයා ක්‍රියාත්මක වන්නකි.එහි (111) කාණ්ඩය අනුව කුඹූරු ඉඩම් හි වෙනත් භෝග වගා කිරීමට අවසර ලැබෙන අතර 2020/1 චක්‍ර ලේඛනය අනුව ඒ බී.සී. යනුවෙන් කළ වර්ගීකරණය ගණන් නොගැනේ.ඒ අවසර දීම වසර තුනක් සහ මාස හයක් වැනි කාලයකට ලබා දිය හැකි අතර මේ වන විට බස්නාහිර පළාතේ විවිධ තැන්වල වගුරු කඹූරු සඳහා අවසර ලබා දී තිබේ. මෙම ලිපියේ ප්‍රථමයෙන් සඳහන් කරන ලද අධික ශ්‍රම හිඟයක් ද ශ්‍රමය සඳහා ඉහළ මිළක් ද ගෙවිය යුතු සමයක. ගං වතුරාවට යටවන  කුඹූරු වල කාණු කපා පස් කණ්ඩි සාදා එලවළු හෝ කෙසේල්  පළතුර වැවීමට යමෙක් ඉල්ලන්නේ නම් එහි යටි අරමුණක් තිබිය යුතුය.එවැනි වගා මේ පසේ එතරම් සාර්ථක වන්නේ නැත. විශේෂයෙන්ම කඩොල් පසේ පොල් වගාව එතරම් සාර්ථක වන්නේ නැත.වැලි සහිත කඩොල් පසේ නම් එය සාර්ථක කර ගත හැකිය. මෙහිදි සිදු වන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන යම් කොටි කාලයක් වගා කරන බව පෙන්වා ඉඩම ගොඩ කිරීම සඳහා ප්‍රවේශ වීමයි. බස්නාහිර පළාතේ ඉඩම් වල වටිනාකම ඉතා සීග්‍රයෙන් ඉහළ යන වකවානුවක එක මිටට ගොවි බිමට නොව එක මිටට ඉඩම් වෙලෙඳපළ ශක්තිමත් කිරීමට නම් ඒ මාර්ගය සුදුසුය. චක්‍ර ලේඛනය අනුව අවසර ලබාගත් ස්ථානයක යම් පිරවීමක් කළහොත් ගොවිජන ප්‍රාදේශිය නිළධාරීන්ට නඩු පැවරිය හැකිය. එහෙත් ඒ කටයුත්ත ප්‍රායෝගික නැත. කෘෂිකාර්මික ප්‍රශ්ණ සඳහා වෙනම අධිකරණ ක්‍රමයක් නැති තත්වයත වසර ගණනන් ඇදෙන නඩු වලට මුදල් වැය කිරීමට දෙපාර්තමේන්තුවට හැකියාවක් නැත.

       වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුලලේ කොන්දේසි වලට යටත් වී අවසන්ය. වී වගාව පාඩු බව මෑතකදී ලාල් කාන්ත ඇමතිවරයා පවසා ඇත. අවශ්‍ය නම් විදෙස් වලින් හාල් ගෙන්වා පාරිභෝගිකයා වෙත සහල් ලබා දෙන්නට පැකිලෙන්නේ නැති බව ඔහු පවසා ඇත. එවැනි ප්‍රකාශ හමුවේ වී ගොවිතැනට වඩා වෙළඳපළ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා මේ රජයද කටයුතු කරනු නිසැකය. එක මිටට ගොවි බිමට යනු ප්‍රෝඩාවකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව අධ්‍යනය කිරීමෙන් සහ මෙකී චක්‍රෙල්ඛනය කියැවීමෙන් එය පසක් කර හැකිය.

මතුගම සෙනෙවිරුවන්

Sunday, February 16, 2025

බත් කන මිනිසුන්ට සාධාරණ විසඳුමක් දෙමු

 

                                   


                බත සහ බරත යනුවෙන් දෙකොටසක ජනතාවක් අතීතයේ දී සිටි බව අපේ ශිලා ලේඛන වලින් පැහැදිලිය.කුරහන් ඇතුළු කටුසර ධාන්‍ය වලින් යැපුණු ලංකාවේ ජනතාව බත්කෑම ප්‍රධාන බවට පත් කර ගන්නට ඇත්තේ බත වරුන් ගේ පැමිණීමත් සමග බවට සිතන්නට හැකිය. නිවසේ දී බත් කනවා යැයි කියන මිනිසුන් කුඹුරේ කමතේ දි ඉතාමත් ගෞරවයෙන් ඒවාට බැත යයි කිවූහ. බැත ගෙදරට ගෙන ආයේ දෙවියන්ට කොටසක් වෙන් කරමිනි. නැතිනම් කමතේම බැත සුද්ද කර වී කොටා සහල් වලින් අලුත් බත් දානයක් දීමෙන් පසුවයි.බත් සමග සංස්කෘතියක් බිහි වීම මෙරට ජනතාවගේ සභ්‍යත්වය පුළුල් කරන්නට සමත් විය. වර්තමානය වන විට ලංකාව පුරා ජනතාව බත් ප්‍රධානතම ආහාරය වශයෙන් සලකති. ඒ නිසා බත් නිසා සහල් නිසා අනවශ්‍ය ප්‍රශ්ණ ගැටුම් ඇති කර ගැනීම අපට නොහොබිනේය.ඒ අපගේ ශ්‍රේෂ්ඨ සංස්කෘතියට ඉන් අවැඩක් සිදු වන බැවිනි.

       කෙසේ වෙතත් මේ වන විට බත් කන මිනිසුන්ට පොදුවේ මහත් ගැහැටක් විඳින්නට පසුබිම සැලසී තිබේ.රටේ සහල් හිඟයක් කෘතිමව නිර්මාණය වී තිබීම මීට හේතුවයි. රතු කැකුළු සහල් සහ සුදු කැකැළු සහල් විශේෂයෙන්ම හිඟ වී තිබේ.නාඩු යනුවෙන් ව්‍යවහාරයක් වෙළෙඳුන් අතර තිබුණද අතීතයේ දී ගොවි ජනතාව භාවිතා කල වචන අතර තිබුණේ කැකුළු සහ තැම්බූ සහල් සහ සම්බා සහල් යනුවෙනි. ඉන් තැම්බූ සහල් බහුලව භාවිකා වූ අතර සම්බා පරිභෝජනය රජ වාසල සහ සිටු වරුන්ට සීමා වී තිබුණි. සම්පන් යාත්‍රා මගින් ඉන්දියාවේ සිට සහ අනෙකුත් රටවලින් ගෙන්වා ගත් බැවින් සම්බා යනුවෙන් ව්‍යවහාරයක් ඇති වූ බව දැක්වේ.කයිවර සම්බා ,මුතු සම්බා, කොත්තමල්ලි සම්බා ආදී නම් අතීතයේ අපට අසන්නට පිළිවන් විය. හරිත විප්ලව ක්‍රියාවලිය සහ වී අභිජනන සංවර්ධනය නිසා සම්බා භාවිතය සහ සුදු සහල් දෙන වී වර්ගයන් ජනතාව අතර වැඩි වැඩියෙන් ප්‍රචලිත කරනු ලැබීය. රතු සහල් භාවිතය ක්‍රමයෙන් අඩු කිරීමට මේ වෑයම හේතු විය. විශේෂයෙන්ම ආපන ශාලා වල සහ හෝටල් වල ප්‍රයිඩ් රයිස් භාවිතයේ වර්ධනය නිසා විශේෂ සම්බා වර්ග අවශ්‍යතාවය වර්ධනය විය.මේ තත්වය මත මහා වාරි කලාප වල සහ මහවැලි කලාප වල සම්බා වර්ග වැඩි වැඩියෙන් වගා කිරීම තේරුම් ගත හැකිය.ඒ කලාප වල ගොවීන් යැපුම් මට්ටමේ සිට වානිජ මට්ටමට පරිවර්තනය වීම මෙයට හේතුවයි.

        ගොවියා, කම්කරුවා, ඉංජිනේරුවා, වෛද්‍යවරයා ඇතුළු සමස්ත ජනතාව ම පාරිභෝගිකයන් වෙති. ඒ සැම දෙනටම අත්‍යවශ්‍ය ආහාර මෙන්ම විවිධ භාණ්ඩ ලබා ගැනීමට සිදු වේ.ඩොලර්යේ උච්චාවචනය අනුව ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන අතර රුපියලේ මිළ උච්චාවචනය අනුව දේශීය භාණ්ඩ වල මිළ ඉහළ පහළ යයි.ගොවිතැන අතහැර පාරි‌භෝගිකයන් බවට පත් වූ ජනතාවට මේ කාරණය තදින්ම බලපායි. ඒ නිසා වැටුප් වැඩි කර ගැනීමට ඔවුහු සටන් වදී.පහසුකම් ඇති කර ගැනීමට පෙළ ගැසෙති. මධ්‍යම පන්තියේ වර්ධනය නිසා චන්දයකින් පත්වන රජයකට නිතරම පාරිභෝගිකයාට හිස නමන්නට සිදු වේ. හඳෙන් හාල් ගෙනවිත් දෙන පොරොන්දුව සහ ධාන්‍ය රාත්තල් අටේ කතාව චන්ද වේදිකාවේ රැව් දුන්නේ මේ තත්වය නිසාය.වෙළඳ පළ ආර්ථිකය වර්ධනය නිසා මේ ගැටළුව තවත් සංකීර්ණ වී තිබේ. විපක්ෂයේ සිට පැවති ආණ්ඩු විවේචනය කරමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බලයට පැමිණීමෙන් පසු මහත් අර්බුදයකට පත් වූයේ ප්‍රායෝගික තත්වය අත් දකින්නට වූ බැවිනි.එම නිසා වර්තමානයේ පවතින වී අර්බුදයට නිසි පිළියමක් සෙවීම සඳහා දේශපාලන පක්ෂ කෝණයෙන් බැහැරව කටයුතු කිරීම සඳහා බලධාරීන් උනන්දු විය යුතුය.

         ස්වයංපෝෂිත ආර්ථිකයක සිටි ගොවියා පාරිභොගික භාණ්ඩ පරිහරණය කරන ලද්දේ අල්ප වශයෙනි. ඒවා මිළදී ගැනීමට ඔවුහු තල මුං කුරහන් ඇතුළු ධාන්‍ය වර්ගද කිතුල් පැණි සහ හකුරුද පුවක් ද අලෙවි කළහ.අනෙකුත් සියළුම ආහාර ඔවුහු ගමෙන්ම සපයා ගත්හ. 1977 න් පසු සිදු වූ ආර්ථික පෙරළියෙන් පසු සීඝ්‍ර ලෙස මේ තත්වය වෙනස් විය. 1972 දී වී අලෙවි මණ්ඩලය පිහිටුවනු ලැබූයේ එවකට විශාල වශයෙන් වී අස්වනු රැස් කරගත් ගොවියාට වෙලඳ පළ තුළ යම් සහතික මිළක් ලබා දීමට සහ සහල් හිඟ කාලයට පාරිභෝගිකයා ආරක්ෂා කරලීම සඳහා ආරක්ෂත තොග රැස් කිරිමටත්ය. නමුත් වෙළදපළ ආර්ථිකය වර්ධනය වීමත් සමගම රජය ව්‍යාපාරික කටයුතු වලින් ඉවත්ව වෙළඳ පළ හැසිරීමට ඉඩ සැලැස්විය යුතුය යන මතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොන්දේසියක් ලෙසට පැමිණියහ. එහි ප්‍රතිඵලය වූයේ වී අලෙවි මණ්ඩලය වසා දැමීමට තීරණය කිරීමය. එහි ගබඩා විකුණා දැමීමට කටයුතු කිරීමය. ඉන්පසු වෙළඳ පළ වාසිය ලබා ගනිමින් වී මොල් කරුවන් දිවයින පුරාම වර්ධනය විය. ඔවුහු තම ලාභය උපරිම කර ගැනීමට ද කර්මාන්තයක් ලෙසට පවත්වා ගෙන යෑමට ද නවීන තාක්ෂණය සමග ඒකාබද්ධව ඉදිරියට ගියහ. ඒ මගින් ආර්ථිකයට ලබා දෙන දායකත්වය අති මහත්ය.නමුත් ගොවියාගේ පැත්තෙන් බලන කල්හි ඔවුන් ගේ ජීවන තත්වයේ වර්ධනයක් සිදු නොවීය. පූර්ණ කාලිනව ගොවිතැන් කොට කන්නය අවසානයේ අතට ලාභයක් ගැනීමට සිටින පිරිසට වෙනත් රැකියා සොයා යන්නට සිදු විය. එයට හේතුව ලැබෙන ආදායම ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බැවිනි.මෙම තත්වය තවදුරටත් වර්ධනය නොවිය යුත්තකි.ගොවිතැන් කරන මිනිසුන් ගේ සමෘද්ධිය සහ පාරිභෝගිකයා ගේ යහපත සැලසීම රජයේ යුතුකමකි. නමුත් තවමත් වර්තමාන කෘෂිකර්ම අමාත්‍යවරුන් අඳුරේ අතපත ගාමීන් සිටී.ආහාර ස්වෛරී භාවය සහ වෙළඳ පළ ආර්ථිකය අතර සාම්‍යයක් ඇති කිරීමට ඔවුන් අසමත් වී තිබේ.මහජන ආණ්ඩුවක වගකීම ඔවුහු පැහැර හරිමින් සිටී.

     සැබවින්ම මෙම වී සහල් ගැටළුවට සරල විසඳුමක් අපට යෝජනා කළ හැකිය.නූතන වෙළඳ පළ බලවේග තුළ ගොවියා රැක ගැනීම සහ ආර්ථිකයට දක්වන දායකත්වය ප්‍රතිශතයක් ලෙසට ගණනය කිරීමට සැලස්වීම මෙහි අරමුණයි.වර්තමාන රජය වී වලට නිකුත් කල සහතික මිළ රුපියල් එක සිය විස්සකි. සහල් වල පාලන මිළ රුපියල් දෙසිය තිහකි.එවිට ප්‍රතිශතයක් වශයෙන් ගොවියාට ලැබෙන්නේ සියයට පණස් තුනකට ආසන්න ගණනකි..අනෙක් සියළුම ආදායම මොල් කරුවන් ට ,ප්‍රවාහනයට ,තොග වෙළන්දන්ට, සිල්ලර වෙළන්දන්නට ,ඇසුරුම් නිෂ්පාදකයන් ඇතුලු වෙළඳපළට බෙදී යයි. එයට අමතරව මොල් කරුවන්ට සමාජ ආරක්ෂණ බද්දක් ද වැට් එකක් ද ගෙවීමට බල කර තිබේ. එය සියයට විස්සකි.ඒ සියල්ලම සහල් කිලෝවට එකතු වේ.මෙය කිසිසේත්ම සාධාරණ නැත.

      වර්ෂ 1837 දී කොළඹ තේ වෙන්දේසිය ආරම්භ කරනු ලැබිණ.තේ වතු වලට ලැබිය යුතු ලාභාංශ ප්‍රතිශතය ඒ තේ වෙන්දේසියේ දී ගණනය වේ.වර්තමානය වන විට තේ දළු සඳහා සියයට 68 ක්ද තේ නිෂ්පාදකයන්ට සියයට 32 ක් ද වශයෙන් ප්‍රතිශතය තීරණය කරනු ලබයි.වෙන්දේසියේ ලබන මිළ අනුව තේ වතු හිමියන්ට සහ කුඩා තේ වතු හිමියන්ට ආදායම ලැබේ.තේ වතු වල තේ කම්හල මගින් වියළන ලද තේ කිලෝවක් එළියට එන විට සියළුම වියදම් වල ප්‍රතිශතයන් ගිණුම් ගත වේ.තේ වත්තද අතැම් විට පුද්ගලික තේ කම්හලද පවත්වාගෙන යනු ලබන්නේ ඉහත සඳහන් ප්‍රතිශතය අනුවයි.තේමණ්ඩලයේ නීති රීති අනුව වරින් වර මෙම ප්‍රතිශතය පිළිබඳ තීරණ ගනු ලබයි.

      දේශීයව සකස් කරන සහල් යම් තරමකින් අපනයනය කළද එය අපනයන මූලික කරගත් භාණ්ඩයක් නොවේ.එය දේශීය පාරිභෝගික භාණ්ඩයකි.පාරිභෝගිකයාට සහල් සපයනුයේ වෙළන්දන්ය. එතනදී වෙළඳ පල බලවේගයන්ට අවශ්‍ය ප්‍රතිශතය තිරණය නොවේ.වී සහතික මිළ මගින් ප්‍රතිශතයක් පිළිබඳ දැනුම් නොදෙන අතර ව්‍යාපාරිකයාට අවශ්‍ය ආකාරයට සහල් සහ වී මිළ තීරණය කරනු ලබයි.තේ නිෂ්පාදනයේ දී භාවිතා කරන ප්‍රතිශත ක්‍රමය වී වෙළඳ පළටත් ආදේශ කලහොත් යහපත් ප්‍රතිඵල ලැබිය හැකි බව මාගේ විශ්වාසයයි. පහත සඳහන් වගුව පරිශීලනය කරන විට දැනට ගොවියාට සහ වෙළඳ පළ බලවේග වලට ලැබෙන ආදායම් ප්‍රතිශතය පිළිබඳ යම් අවබෝධයක් ලැබිය හැකිය.සහල් පාලන මිළ රුපියල් 230 ක් ලෙසට සළකා සහ අක්කරයක අස්වැන්න(මධ්‍යන අගය ) කිලෝ 2000 ක් ලෙසට සළකා මෙම වගුව සකස් කර ඇත.එසේම අක්කරයක නිෂ්පාදන වියදම ලක්ෂ 02 ක් බව ( අම්පාර පොලොන්නරුව මඩ කලපුව  අනුරාධපුර ) දැනට තහවුරු වී තිබෙන අතර ඒ වියදම අනුව ලාභය ගණනය කර ඇත.

සහල්පාලන මිළ (සහල් කිලෝ 01)

ප්‍රතිශතය (ගොවියාට සහ වෙලෙඳපළට )

ගොවියාගේ තීරුව

වෙළෙඳ පළ තිරුව

ගොවියාගේ ආදායම

ගොවියාගේ ශුද්ධ ආදායම

 

රුපියල් 230

52% -48%

රු- 119.6

රු -110.4

රු -2,39200

රු -39200

   එම

55% -45%

රු- 126.5

රු -103.5

රු -2,53000

රු-53000

    එම

58% -42%

රු -133.4

රු -96.6

රු- 2,66800

රු-66800

    එම

60% -40%

රු -138

 රු-92

රු- 2,76000

රු -76000

 

පූර්ණ කාලීනව ගොවිතැන් කරන ගොවියෙකුට ලැබෙන ඉහතකී ලාභය ජීවත් වීම සඳහා ප්‍රමාණවත් නොවන අතර අර්ධ කාලීනව ගොවිතැන් කොට වෙනත් රැකියාවක ද නිරත වන ගොවියෙකුට එය ප්‍රමාණවත්ය.එහෙත් ගොවියා ගොවිතැනෙහි රැඳී සිටීම ට ඉන් පෙළඹීමක් නැත. ව්‍යාපාරිකයා සිය වෙළඳ පළ තීරුව අනුව උපරිම ලාභයක් ලබා ගන්නා අතර සේවක පිරිසක් ද නඩත්තු කරමින් රජයට බදු ආදායමක් ද ලබා දෙයි.තේ නිෂ්පාදනයේ ප්‍රතිශතයන් තීරණය කරන පරිදිම සහල් වෙළෙඳ පලේ ප්‍රතිශතයන් තීරණය කළහොත් යම් සාධාරණ තත්වයක් රටේ නිර්මාණය වනවා නිසැකය.දැනට සහල් නිෂ්පාදනය මත පටවා තිබෙන අධික වැට් බදු සමාජ ආරක්ෂණ බදු ආදිය අඩු කිරීම මගින් ව්‍යාපාරිකයා ශක්තිමත් වන අතර රසායනික පොහොර භාවිතය ක්‍රමානුකූලව අඩු කර ගනිමින් කෘෂි රසායන භාවිකය ද ඉතාමත් අවම කරමින් නිෂ්පාදන වියදම සමබර කර ගැනීම ගොවියාගේ යුතුකමකි.ස්වයං බිත්තර වී නිෂ්පාදනය ද අත්‍යවශ්‍ය වේ. එසේම ඩීසල් මිළ අඩු කළහොත් සීසෑමට ගොයම් කැපීමට යන වියදම අඩු කරගත හැකිය.ගොවියාගේ පැත්තෙන් වී වෙනුවට සහල් වෙළඳ පළක් නිර්මාණය කර ගැනීමද ලාභ ඉපැයිය හැකි ප්‍රවේශයකි.වර්තමාන ආණ්ඩුවේ දළ දඩු පිළිවෙත සහ අදූර්දර්ශී ප්‍රකාශ නිසා ගොවියා සහ ව්‍යාපාරිකයා අතර ගැටුමක් නිර්මාණය කිරීම ද වී ගොවිතැනෙහි තිරසාර බවට බලවත් අනතුරකි. දැන් විපක්ෂ දේශපාලනය කරන කාලය නොවේ. රට හැදීම සඳහා යහපත් කළමනාකරණයක් සකස් කිරීමේ කාලයයි. ඒ බැව් දේශපාලකයන් මැනවින් තේරුම් ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්

 

 

Saturday, December 21, 2024

මිනිසා සහ වන සතුන් අතර ගැටුමේ සැබෑ මුහුණුවර

 

                                  

           ජනතාවගේ ආහාරයට පොල් හිඟවීමත් සමග වනසතුන් විසින් වගාවන්ට කරන හානි පිළිබඳ මාතෘකව යළිත් කරළියට පැමිණ තිබේ.මෙය අලුත් ප්‍රශ්ණයක් නොවේ.වඳුරන් ,රිලවුන් ,වන අලි, ඉත්තෑවන්,මොනරුන්  සහ දඬුලේනුන් වැනි වන සතුන් ගෙන් මනුෂ්‍ය සමාජයට සිදු වන බලපෑම ගැන මීට කලින්ද කතිකාවන් වූ අවස්ථාවලදී ඇති තරම් විසඳුම් ඉදිරිපත් වී තිබේ.ප්‍රශ්ණය තිබෙන්නේ මේ විසඳුම් පිළිබඳ නිවැරදි තක්සේරුවක් සිදු කර නොමැති වීමයි. වන ජීවින් සම්බන්ධව කටයුතු කරන නිළධාරීන් සහ වන සතුන්ගේ වාස භූමි පිළිබඳ කටයුතු කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන වැඩ කරන ගතානුගතික රාමුව තුළ මෙවැනි ප්‍රශ්ණ මතුවෙමින් යළි යට යමින් තිබෙන බව නිරීක්ෂණය වේ. වඳුරාගේ චර්යාවන් සහ රිලවා ගේ චර්යාවන් වෙනස්ය. උන් බුදින ආහාරයන්හි රුචිකත්වයන් ගැනද වෙනස් කම් දක්නට හැකිය. දඬුලේනා ගිරවා ඉත්තෑවා සහ මොනරා වැනි සතුන් පිළිබඳ අධ්‍යනය කරන කල්හි උන්ගේ වාසස්ථාන සහ අහාර සංස්කෘතිය පිළිබඳ නිවැරදි අධ්‍යනයක් කර නැති තරම්ය. වන අලියා ගැන සැමදාම කතා කරමු.උන්ගේ ගහනයන් කොටු කිරීමට හෝ විදුලි වැටවල් ගැසීම පිළිබඳ ගත් ක්‍රියාමාර්ග සාර්ථක වූ අවස්ථාවන්ද අසාර්ථක වූ අවස්ථාවන්ද බහුලය. වන අලි සංගණනය සහ උන්ගේ වාසස්ථාන ගැන සහ දිනකට උන්ගමන් කරන මාර්ග ගැන විද්‍යාත්මක දත්ත වර්තමානයට අවශ්‍ය වේ.

       වඳුරාගේ ආහාර අතර දළු සහ කොළ විශේෂිතය.කරාබු ගස් වල දළු උන්ගේ විශේෂිත ආහාරයකි.රිලවා එසේ නොවේ. රිලවා  අනුකරණයට දක්ෂ සත්වයෙකි.උන් ජීවත් වන රූස්ස ගස් මණ්ඩි අතහැර මනුෂ්‍ය වාසයට පැමිණෙන්නට හේතු කීපයක් බලපායි. එකක් නම් උන් ජීවත් වූ පරිසර පද්ධතියේ විනාශයයි. වන ගඩා ගෙඩි හිඟ වීම ප්‍රධානය.වැව් පෝෂක ප්‍රදේශයන්හි තිබෙන වන ගහනයන් උන්ට සුවිශේසි තැන්ය. රිලවාට වින කටින දිවියා සහ කොටියා කැලෑවලින් ක්‍රමයෙන් වඳවෙමින් පවති.මීට අවුරුදු හැට හැත්තෑවකට පෙරද පැරණි ගම්වල දඩයක්කරුවන් සිටියහ. ඔවුන් අවුරුද්දේ එක කාලයකට මහ කැලේ යෑම කළහ. දඩයමක් සපයා ගත්හ. මී පැණි ලබු කබල් කීපයක් රැස් කර ගත්හ. ගමේ කොළු ගැටවු බීමත්වීමට තැබෑරුම් ගානේ රස්තියාදු නොවූහ. ඒ වෙනුවට රංචු වට එක් වී කැලෑ බූටෑවට වැදී තල ගොයින්, ඉත්තෑවන් ,වඳුරන් දඩයම් කොට කලෑ ආහාර සමග ඒවා පලහා කා විනෝද වූහ.ඒවා ඉඳහිට කළ දේවල්ය.සතුන් අතර මනුෂ්‍යයාද ආහාර දාමයේ පුරුකක් ලෙසට ගණන් ගත හැකිය. මනුෂ්‍යයා දැන් නාගරීක ජීවිතයකට හැඩ ගැසී අවසන්ය. රැකියාවට යයි. මස් පිණිස සතුන් ඇති කරයි. වල් ඌරන් වැනි සතුන් ඔවුන්ට ලැබෙන්නේ රජරට ගමකට ගොස් පාටි දමනා විටය.මොනර මස් ප්‍රණීතය. කුකුළු මස් වලට වඩා රසවත්ය. මොනරා දඩයම් කොට කෑම වෙනම රටාවකි.මොනර ගහනය වැඩි වන්නට නරියාගේ වඳවීම බලපා ඇත. නරියා මොනර බිත්තර වලට රුචිකත්වයක් දක්වයි.කෘෂීරසායන නිසා විනාශ වී තිබෙන කුඹුරු වලට දැන් කක්කුට්ටන් කෑමට නරියා නොපැමිණේ.නරි හූවක් ගමකින් දැන් ඇසෙන්නේ කලා තුරකිනි. කිඹුලාද දඩයම් කළහ. උගේ මස දුමේ දමා වේලා තබා ගත්හ.ඒ මස් ඇස් වල පෙනීම වර්ධනය කර ගැනීමට ඉතා අගනා බව කියති.වන අලියාට වාසස්ථාන තිබුණි. අලි පාරවල් තිබුණි. උන් ඒවා දිගේ දිනකට සැතපුම් අට දහය ගමන් කරති. වැව් තණ පිටි වල උන්ට කන්නට තණ කොළ තිබුණි.ගංගා අසබඩ පිටාර තැනිතලා වල මේ තණ කොළ ඉතා යස රඟට වැවුණි. අලි රංජු නිතර මේවායේ දක්නට තිබුණි. ගම් ආසන්නයේ දිවුල් කැලෑවල් තිබුණි. ඇති පදමට දිවුල් කාලයට දිවුල් ඇහිදින්නට මිනිසාට ඉඩකඩ ලැබුණු තරමට අලියාටද ඒ අවස්ථාව ලැබුණි.

     සියළුම දිවුල් කැලෑවන් ගඩොල් පෝරණු සඳහා කපා පිටමං කර ඇත. ගමක සිටින කොලු ගැටවු ආස කළ දිවුල් ඇහිදීම අද කළ නොහැකිය. අලියා දිවුල් කැලෙන් මෑත්වී ගමට එයි. අනුරාධපුර ප්‍රදේශයේ තිබූ මහා ගංගා අතර යාන් ඔය ප්‍රධානය. යාන් ඔය ඉහත්තාවේ  හුරුලු වැව දකින්නට ලැබේ. හුරුලු වැව සහ මින්නේරිය වැවට උඩින් මූකලන් වැව් නැතිනම් ඉස්වැටි රැසක් තිබුණි. අලි ඒ වැව් ගිල්මේ නිතර සෙල්ලම් කරනු දැක ඇති පැරණියන් අද දුලබය. දැන් ඉස්වැටි ‌ඩෝසර කර ඇත. නැතිනම් කුඩා වැව් තනා ඇත. යාන්ඔය නිම්නයේ වාහල්කඩට පහළින් යාන් ඔය ජලාශය තනවා ඇත. ඒ නිම්නයේ තැන්පත්ව තිබූ විශාල වැලි නිධිය දේශපාලකයන් සහ ඔවුන්ගේ චක් ගෝලයන් රැගෙන ගොස් පොහොසත් වූහ. යාන් ඔය නිම්නයේ අද රසවත් තණකොල නැත. වසර දෙකකට වරක් ඇතින්න පැටවු දමන්නේ යැයි කියති. ඉතින් කන්න නැතත් අලි ගහනය වැඩිවී ඇත. මිනිසා විසින් අලින්ගේ තණ බිම් විනාශ කර ඇත.අලි ඇතුන් දැන් මිනිසා විසින් ඉවත් කරන කුණු කන්නට සහ ගෙවතු වල තිබෙන වගාවන් කන්නට වැඩි රුචිකත්වයක් දක්වති.

       අනුරාධපුර පූජා නගරය අවට සිටි රිලවු රංචුව වන්දනා කරුවන්ට කරදරයක් බැවින් හිටපු වන ජීවි ඇමතිවරයෙකු මැදිහත්ව උන් කූඩු වල පටවා හුරුලු පත්තුවේ කැලෑවලට අතහැරියහ.දැන් ගම් අවට රිලවු ගහනය වැඩිව ගොසින්ය. නගරයේ වන්දනා කරුවන්ගේ කෑමට රස වැටී සිටින රිලවා ගමට වැදී නිවෙස් වලට වැදී ආහාර කොල්ල කයි. නැතිනම් ගෙවත්තේ තිබෙන කෙසෙල් කැනකට හානි කරයි. පොල් ගසක් තිබුණහොත් ගොබළු ගෙඩියක් කඩාගෙන වතුර වී ගහ පාමුළ ගොඩ ගසයි. මිනිසා කැමති ආහාර වලට රිලවාද මහත් සේ රුචි කරයි. මිනිසා දෙස බලා සිට ඔහු අනුගමනය කිරීමට ඌ දක්ෂය. සමහරක් රටවල පොල් කැඩීමට පවා රිලවුන් යොදා ගනිති.  රිලවා කපටි සතෙකි. නුවණක්කාරය මිනිසාටද පාඩම් උගන්වන්නට දක්ෂය. දුක කියන්නටද දක්ෂය. වරක් නිවසක ගෙහිමියෙකු වායු තුවක්කුවකින් රිලවෙකුට වෙඩි තැබුවේය. රිලවා ගේ බඩ තුවාල විය. ලේද ගලා ගියේය. රිලවා ගෙමිදුලට පැමිණ තුවාලය පෙන්වමින් ලේ ඇඟිල්ලේ ගා පෙන්වමින් තම දුක කියා පෑවේය. කාන්තාවන්ගේ අදාරය දිනා ගැනීමටද රිලවා දක්ෂය. ගෙවත්ට පැමිණ ඒ ඇත්තියන් රවටා ගෙතුලට පැන ආහාර සොරකමේ යෙදෙන්නේ ඒ නිසාය. රිලවු සහ වඳුරන් දින තුනකට වඩා එකම ගම් මණ්ඩි වල නොසිටිති. උන්ගේ බල ප්‍රදේශයන්හි තැනින් තැන සංක්‍රමණය වීම පුරුද්දක් කරගෙන සිටී.රැඳී සිටින කාලය තුළ උපරිමව ආහාර සපයා ගැනීම උන්ගේ අරමුණයි.මිනිසා පරිණාමය වන විට රිලාව ඇතුළු වන සතුන්ද ක්‍රමානුකූලව පරිණාමය වී ඇත. ආහාර දාමය තුළ සිටි මිනිසා වන සතුන් ගෙන් ඈත්වී සුපිරි සත්වයෙකු වී සාහසික වී ඇත.රජරට තත්වය මෙසේ වන අතර දිවයිනේ අනෙක් ප්‍රදේශයන්හි තත්වය නොයෙකුත් වෙනස් කම් සහිතව පවතී. රබර් වතුවල ඌරන්ගේ ගහනයද කටුපොල් වතුවල මොනර ගහනයද වර්ධනය වී ඇති ආකාරය නිරීක්ෂණය කල හැකිය.

        මෙකී වන සතුන් සහ මිනිසා අතර වන ගැටුමට විසඳුම් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. එහෙත් වගාවන් වනසා දැමීම. ගෙවල් කඩා දැමීම . මිනිසුන් ඝාතනය කිරීම වැනි කරුණු බරපතල තත්වයකට පත්ව තිබේ.ඒවාට කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් අවශ්‍ය වෙයි. විදුලි අලි වැට සහ තල් ගස් වලින් සපිරි අලි වැට සහ මී මැසි ගහන සහිත ප්‍රදේශ ඇති කිරීම වැනි විසඳුම් මේ වන විටත් අත්හදා බලමින් තිබේ.සතුන් පලවා හැරීමට සමත් ශබ්ද සහ තරංග ඇති කරන උපකරණ නිපදවා ඇත.රිලවුන් විදේශ ගත කිරීම සහ ව්‍යන්ධීකරණයට ලක් කිරීම ගැන කතා බහක් මේ වන විටත් ඇරඹී ඇත. මේ සියල්ල කරණුයේ මිනිසා පරිසර පද්ධතියෙන් වියුක්ත පුද්ගලයෙකු ලෙසට මෙන්ම සුපිරි මානවයෙකු ලෙසට වර්ධනය වෙමින් ය. ලංකාව වැනි රටක නූතන දියුණුවත් සමග යන අගක් මුලක් නැති ප්‍රජාවක් බිහිවීම හානිකර වී ඇත. මේ සියල්ල පිළීබඳවම සංවාදයක් ඇති වීමද විද්වතුන් සහ නව නිපැයුම් කරුවන් සමග විසඳුම් පිළීබඳ තීරණ ගැනීමද ඉතා වැදගත් වෙයි. ජනතාව උද්ඝෝෂණය කිරීම නිසා දේශපාලන තීරණ නොගත යුතුයි. විද්‍යුත් මාධයන්ටද මේ සම්බන්ධව බලවත් වගකීමක් ඉටු කළ හැකිය. ප්‍රවෘත්ති තොරොම්බල් කිරීම නොකළ යුතු දෙයකි. සමාජය තුළ හැඟීම් අවුස්සා පටු දේශපාලන වාසි හෝ රේටින්ස් වැඩි කර ගැනීමෙන් වන්නේ කිසිදාක මේ ප්‍රශ්ණයන් නිරාකරණය නොවීමයි. ඒ සමගම වටිනා පරිසර පද්ධතීන් අප අතරින් සදහටම තුරන් වනවා නිසැකය.

මතුගම සෙනෙවිරුවන්

මෙම ලිපියට කරුණු සැපයූ ප්‍රසාද් ප්‍රේමරත්න මහතාට ස්තූතිය පළ කරමි.

Saturday, November 9, 2024

ගොවියාට කටුපන හාල් මෝලට ඔඩපන

 



       රජය විසින් සහල් සඳහා පාලන මිළක් නියම කිරීම නිසා සහල් වෙළෙඳ පළ උණුසුම් වි ඇත.  නාඩු වශයෙන් නාමකරණය වූ සහල් වර්ගයේ හිඟයක් තිබෙන අතර කීරි සම්බා මිළදී ගැනීමට නොහැකි වන හෝ රුචිකත්වයක් නොදක්වන පාරිභෝගිකයන් අසරණ වී තිබේ. ඒ අතර රටේ නොයෙකුත් තැන්වල තිබෙන ප්‍රධාන සහල් ගබඩා සහ කුඩා ප්‍රමාණයේ සහල් ගබඩා පරීක්ෂා කරමින් දත්ත පද්ධතියක් ස්ථාපිත කරලීමට රජය උත්සාහ දරමින් සිටී.ඉදිරි මාස් කන්නයේ අස්වනු නෙලන විට වී අලෙවි මණ්ඩලයේ ගබඩා වී වලින් පුරවන බව ජනාධිපති තුමා පවසයි.මේ අතර ලංකාවේ ප්‍රධාන සහල් මෝල් හිමියන් පස් දෙනා අතරින් ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය වලට ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ ඔහු පළ කරන මතවාදාත්මක අදහස් හේතුවෙනි.

          අතීත ලංකාවේ මෙවැනි සහල් ප්‍රශ්නයක් තිබුණේ නැත. ගොවියා වගා කරන්නෙකු වූවා සේම පරිභෝජනය කරන්නෙකුද විය.නමුත් ඔහු අලෙවිකරුවකු නොවීය. කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල නාගරික ජනගහනයේ වර්ධනයත් සමගම විවිධ අවස්ථාවන්හිදී පැවති රජයන් ට සහල් පිළිබදව මිළ පාලනයක් ඇති කරන්නට සිදු විය.ඉංග්‍රීසි ආණුඩුවටද මේ සහල් මිළ සහ සහල් හිඟයට පිළිතුරක් නැති විය. ඒ නිසා 1942 දී පමණ සහල් සලාක ක්‍රමයක් ඇති කරන්නට සිදු විය. 1953 දී  හාල් සේරුවක මිළ ශත විසිපහේ සිට ශත හැත්තෑව දක්වා එක වරම ඉහළ ගිය අවස්ථාවක එම තත්වය දඩ මීමා කරගෙන හර්තාල් පවා ඇති විය.ඒ නිසා ඩඩ්ලි සේනානායක ආණ්ඩුවට ඉල්ලා අස්වීමට ද සිදු විය.

        1817 ජාතික විමුක්ති අරගලය දැඩි ලෙස මර්දනය කල බ්‍රිතාන්‍ය පාලනය  ඌව වෙල්ලස්ස ගොවිබම් දහස් ගණනක් ගිනි තබා විනාශ කිරීමෙන් අනතරුව 1848 අරගලයෙන් ද පීඩා විඳි ගොවි ජනතාව ආර්ථික වශයෙන් බෙලහීන විය. බිත්තර වී පවා සපයා ගනු නොහැකිව සිටි සමයක ඉංග්‍රීසි ආණ්ඩුව මැදහත්ව නුමුහුන් බිත්තර වී සැපයීමට රජයේ ගොවිපලවල් සූදානම් කිරීම නිසා හතළිහ දශකය වන විට රටේ ගොවි ජනතාව අතර ප්‍රබෝධයක් ඇති විය. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපරය, මින්නේරුය ,ඇල්ල කන්තලේ ව්‍යාපාරය, ගල්ඔය වැනි ගොවි ජනපද පිහිටුවීම මගින් සශ්‍රීකි ඉඩම් පරිහරණය කරමින් ගොවීන් රටේ වී නිෂ්පාදනය තර කළහ.ඒ සමගම වී අභිජනනය කිරීම සදහා මහඉලුප්පල්ලම ,බතලගොඩ ,බොම්ඹුවල වැනි පරියේෂණායතන පිහිටුවීමත් බිත්තර වී ගොවිපළවල් පිහිටුවීමත් නිසා නව හරිත විප්ලවයකට අඩිතාලම දැමිණ. ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගන් ලද ආධාර මත කෘෂීරසායන සහ රසායනික පොහොර පැකේජ ලබා දීමත් නෑඹුල් පොළවේ ඒ මගින් සරු අස්වනු ලැබීමත් හේතු කොට ගෙන පරිභෝජනයට එහා ගිය වී වෙළඳ පළක් නිර්මාණය විය.

       1972 දී පැවති රජය විසින් වී අලෙවි මණ්ඩලය පිහිටුවා වී මිළදී ගැනීම තුළින් ගොවියා ගේ ආර්ථිකය නැන්වීමට විශේෂ වැඩ සටහනක් ඇරඹීය. රට පුර නිෂ්පාදනය කළ වී මිලදී ගැනීමටත් ගබඩා කිරීමටත් විශාල වී ගබඩා ඉඳි විය.ඒවායේ ඇති කළ සහල් මෝල් මගින් වී සහල් බවට පත් කර සමූපකාර වලට නිකුත් කෙරිණ. මේ නිසා වී වෙලඳ පළ පිළිබඳ විශ්වාසයක් ගොවියා හට තිබුණි. සහල් වෙලෙඳ පළ පාලනය කිරීමට රජයට හැකි විය.විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග රජය සතු ව්‍යාපාර අධෛර්ය කිරීම සිදු විය. සමූපාකාර ව්‍යාපාරය කඩා කප්පල් කෙරිණ. වී ඇඹරීම සඳහා ලංකාවේ නිෂ්පාදනය කළ නව යන්ත්‍ර පවා දිරාපත් වීමට ඉඩ හැර තිබුණි. ඒවායේ තාක්ෂණය ඉන්දියාවට විකුණා දැමිණ. රටේ නව නිපැයුම් කරුවන් තැනක් නැති විය.   1995 වර්ෂයේ එවකට චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිණිය යුගයේ දී දි.මු.ජයරත්න කෘෂිකර්ම ඇමතිව සිටි කාලවකවානුවේ වී අලෙවි මණ්ඩලය අහෝසි කරලීමට කෙටුම් පත් සකස් කළ අතර පසුව එය කළ නොහැකි වූ තැන මණ්ඩලය අක්‍රීය කර නිළධාරීන් කීප දෙනෙකුට පමණක් පඩි ගෙවමින් තාබා ගත්හ. එසේම වී අලෙවි මණ්ඩලය සතු ගබඩා ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා විකුණා දැමීමට කටයුතු කළහ.(එක්සත් ජාතික පක්ෂ රජය කාලයේ සිට එය සිදු විය) එහිදී ඉන් වැඩි ප්‍රතිලාභ ලැබූයේ  බහුජාතික සමාගම්ය.රජය විසින් ගොඩ නගා නඩත්තු කරනු ලැබූ රාජ්‍ය සම්පත් වන බිත්තර වී ගොවිපළවල් වල පරම අයිතිය පවා ලබා ගන්නට මේ සමාගම් සමත් විය.

    වර්තමාන සහල් අර්බුදය තේරුම් ගන්නට මේ අතීතයට යන්නට අපට සිදු වන බව කිව යුතුය. මන්ද බිත්තර වී සැපයීමේ සිට වී වපුරා අස්වැන්න ගෙන කර  සහල් නිෂ්පාදනය දක්වා ක්‍රියාවලිය ගැට ගැසී තිබෙන්නේ ඉහත දැක්වූ අතීතයෙන් උරුම වී තිබෙන විවිධ ගැටළු සමගින් බව තේරුම් ගත යතුය.  උදාරහරණයක් වශයෙන් නාඩු වශයෙන් අද හදුන්වන සහල් ප්‍රභේදය ට අදාළ වී වර්ගය ගොවියාට   හදුන්වා දී තිබෙන්නේ කෘෂීකර්ම දෙපාර්තමේන්තුවයි. විවිධ බී.ජී. වර්ග , බී.ඩඩ්. සහ ඒ.ටී. වී ප්‍රභේද වලින් මේවා නිෂ්පාදනය වේ.රටේ පාරිභෝගිකයා වැඩි රුචිකත්වයක් දක්වන සම්බා වර්ග අතරට කීරි සම්බා නමින් නව ප්‍රභේදයක් හඳුන්වා දී තිබෙන්නේ ද මෙම දෙපාර්තමේන්තුවයි.වෙළෙඳ පලේ දී එයට ඉහළ මිළක් ලැබුණි. මිළ වැඩියෙන් ලබෙන වී වර්ගය ගොවීන් විසින් වගා කරති. නාඩු හෝ රතු සහල් ලැබෙන වර්ග වගා කරනු ලබන්නේ හම්බන්තොට ගාල්ල මාතර වැනි පළාත් වලය. බිත්තර වී ගොවිපළවල් රජය විසින් පෞද්ගලික අංශයට විකුණා දැමීමත් සමග රජයේ ඒකාධිකාරය අහෝසි කරනු ලබිණ. පෞද්ගලික සමාගම් බිත්තර වී නිපදවන්නේ ලාභ ඉපැයීමටයි.රට පුරා රයිස් කඩ බිහිවීම නිසා කීරි සම්බා වලට විශේෂ ඉල්ලුමක් ඇති විය.සමාගම් විසින් කීරි සම්බා බිත්තර වී නිකුත් කර වැඩි වැඩියෙන් වගා කිරීමට ද දිරි දුන්හ. ඉතින් නාඩු රතු සහල් සහ රතු සහල්  වර්ග හිඟ වීම පුදුමයට කරුණක් නොවේ.

      මේ වන විට රජයේ නිළධාරීන් ප්‍රධාන වී මෝල් කරා ගොස් ඒවායේ තිබෙන වී ප්‍රමාණය පිළිබඳ දත්ත එකතු කරමින් සිටිති. එහෙත් වී මෝල් හිමියාගේ සැබෑ තොග සංචිතය තිබෙන්නේ ගොවියා ළඟ බව බොහෝ අය නොදනිති. අම්පාර, මඩකලපුව, පොලොන්නරුව, අනුරාධපුර වැනි ප්‍රධාන වශයෙන් වී නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කයන්හි ගොවින් විසිදාහක් පමණ ප්‍රමාණයක් ප්‍රධාන මෝල් හිමියන් සමග බැඳී සිටිති. මේ බැඳීම ඇති කරන්නේ ඔඩපන නමින් හඳුන්වන ණය දීමකිනි. මේ ණය ක්‍රමය මුලින් හඳුන්වා දුන්නේ ලංකා බැංකුව ,මහජන බැංකුව වැනි රාජ්‍ය බැංකු විසිනි. ගොවියාගේ වී තොග නිවසේ රඳවා තබා ගැනීමට අඩු පොළියට ණය දීම මෙහි ක්‍රමයයි. වී මිළ ඉහළ යන විට වැඩි මිළකට වී විකිණිමට මේ මගින් හැකි වෙයි. අද වන විට මේ ඔඩපනය ක්‍රියාත්මක කරනුයේ වී මෝල් හිමියන්ය. ඔවුහු ගොවින් තෝරා ගෙන බිත්තර වී ලබා දී කෘෂීරසායනද ලබා දි තවත් ජීවන සහනාධාරද සපයමින් ගොවියා ඇද බැඳ තබා ගනිති. අස්වනු නෙලන කාලයට ගොවිපළට යන මොල් හිමියන්ගේ නියෝජිතයන් ඇප් එකක් මගින් කුඹුරේ තිබෙන වී ප්‍රමාණය මැන ගන්නා අතර ගොවියා තමන්ගේ වී ටික වේලා නිවසේ ආරක්ෂිතව ගබඩා කරයි. වෙලෙඳ පලේ සහල් මිළ ඉහළ යන කාලයට මෝල් හිමියා විසින් තවත් අමතර මුදලක් ගොවියා අත මිට මොලවා වී ටික රැගෙන යන අතර ඉන් අධික ලාබයක් ලබති. ඊට අමතරව ඇතැම් ගොවිබිම් වලදී  ඇප් එකක් මගින් අස්වැන්න පෙරසේම  මැන භූතයන් යොදවා ගොයම් කැපීමට මුස්ලිම් දෙමල කොන්ත්‍රාත්කරුවන් යොදවති. ඔවුහු කෙලින්ම මෝල හිමියාගේ ටැංකි වලට වී පුරවන අතර මෝල් හිමියා ඒවා සිය ගබඩාවට ගෙන වියළා ගබඩා කර ගනිති. මේ ක්‍රම දෙකින්ම අප ඉගෙන ගත යුත්තේ ගොවියා කෙරෙහි වන බැඳීම රඳවා තබා ගැනීමට මෝල් හිමියා සකස් කල ගිවිසි ක්‍රමයයි. එය එක් අතකින් මානුෂික වන අතර නව ගොවි වහල් ක්‍රමයක්ද නිර්මාණය කිරීමට සමත් වී තිබේ.

     වී අලෙවි මණ්ඩලය වසා දැමීමත් පසුව එය අක්‍රීය මට්ටමින් සිදු කරන අකාර්යක්ෂම ක්‍රියා පිළීවෙත නිසාවෙන්ද ගොවියාට රජය කෙරෙහි බැඳීමක් නැත. ලබා ගන්නා සහල් කෙදිනකවත් සමූපාකාරයට ලැබෙන්නේ නැත. ඒ නිසා අඩු ආදායම් ලබන අයට සහනයක් නැත. පහල මධ්‍යම පන්තියටද සහනයක් නැත. රජය කළ යුත්තේ සහල් මෝල් හිමියන් සමග රණ්ඩුවකට යෑමේ ක්‍රියාවලිය නොවේ. ඔවුන් මෙරට වෙළඳ පළ ආර්ථිකයට දක්වන දායකත්වය රජයට සපුරාලිය නොහැකිය. නමුත් රජයේ වගකීම විය යුත්තේ ‌ගොවියා සහ පාරිභෝගිකයා අතර සිදුවන ක්‍රියාදාමය සාධාරණව යුක්ති සහගතව සිදු වන්නේ යන්න පීළිබඳ විශ්ලේෂණය කොට එයට කලමනාකරණ ක්‍රියාවලියක් සැකසීමයි. රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකීම වනුයේ  විවිධ වර්ග වල බිත්තර වී නිපදවා  එකාධිකාරය පාලනය කර ඒ ඒ වර්ග ගලප්පා ගත හැකි දිස්ත්‍රික්කයන්ට සහන මිළට ඒවා බෙදා හැර පාරිභෝගිකයගේ රුචිකත්වය අනුව වෙළඳ පළට අවශ්‍ය සහල් නිපදවීමේ පදනම සකස් කිරීමයි. ඒ අතර කුඩා ප්‍රමාණයේ සහල් මෝල් හිමියන්ටද වී මිළඳ ගැනීමට ණය නිකුත් කර මේ වෙලඳපල සමබර කර ගත හැකිය. කලින් කලට මාධ්‍ය සංදර්ශන පවත්වමින් මේ ප්‍රශ්ණ තොරොම්බල් කිරීමෙන් ගොවියාටවත් පාරිභෝගිකයාටවත් ආර්ථිකයටත් වැඩක් නොවන බව දැන්වත් වටහා ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්