පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, November 29, 2013

පුරා විද්‍යාව නොදත් පුරා විද්‍යාව හා ගල් පර්වත වල වටිනාකම


                                පොලොන්නරුවේ එගොඩ පත්තුවේ නුවර ගල රූස්සමලේ කන්දේකරන ලද පුරාවස්තු සංහාරය ගැන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අන්ද මන්ද වී සිටින ආකාරය පසු ගියදා දැක ගන්නට ලැබුණි. 2004 වසරේ දී හඳුනා ගන්නට යෙදුණු පුරා විද්‍යා භූමියක් ගල් කොරියකට ලබා දීමට දෙපාර්තමේන්තුවේ අවසරය ලැබී ඇත. නමුත් අවසරය දුන කෙනෙකු තම වගකීම බාර ගත් බවද පෙනෙන්ට නැත. ඒසේ කළ පුද්ගලයන් සොයා ගැනීමටද නොහැකි වීතිබෙන බවද පෙනේ. කෙසේ වෙතත් පුරා විද්‍යා විෂය පථයට පරිබාහිරෙන් වන පුලුල් විෂය ක්ෂේත්‍රයක් මින් අනාවරණය වූ බවද මෙහිදී හෙළිදරව් කළ යුතුය.

            පුරා විද්‍යාවට විෂය වන්නට නම් පුරා වස්තු ස්මාරක හෝ සෙල් ලිපි වැනි යමක් තිබිය යුතු යයි සම්මතයකි. ලංකාවේ එවැනි ස්ථාන රාශියක් දැක ගන්නට හැකිය. පුරා වස්තු ආඥා පණත යටතේ සිදු කරන්නේ මෙම ස්ථාන සංරක්ෂණය කිරීමටත් ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කිරිමයි.ලංකාවේ  නිධන් තිබෙන්නේ යයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විශ්වාස නොකරයි. එහෙත් ස්ථුපයක ධාතු ගර්භයක් ඇතැයි ද එහි යම් යම් නිධන් වස්තු තැන්පත් කර ඇතැයිද නිගමනය කර තිබේ. නමුත් ගල් පර්වතයක් යට නොපෙනෙන්නට යම් කිසි පැරණි දෙයක් තිබේ නම් ඒ පිළිබඳව හැදෑරීමක් හෝ ගවේශණයක් අදාළ ආයතනය යටතේ සිදු කෙරන්නේ නැත. පසු ගිය කාලයේ දී වනයට යටව තිබූ ස්ථූප රාශියක් විනාශ කරමින් ඒවායේ ඇති නිධන් සොයා ගිය පාදඩයන් ගැන අපට අසන්නට ලැබුණි. ඒ තත්ත්වය තුළ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඔවුන් අත් අඩංගුවට ගැනීමට වෙනම පොලිස් ඒකකයක් ද පිහිටුවා කටයුතු කළහ. නමුත් ගල් පර්වත බෝර දමා හෝ බැකෝ යොදා හෑරීමට තැත් කිරීමේ දී යම් නිහඬ පිළිවෙතක් දෙපාර්තමේන්තුව පැත්තෙන් අනුගමනය විය. ඇතැම් විට අල්ලා ගත් පුද්ගලයන් සතුව පූජා ද්‍රව්‍ය  අයුධ ආදිය තිබුණහොත් ඔවුන්ට විරුද්ධව නඩු පැවරූ අවස්ථා තිබුනි. නමුත් සමස්තයක් වශයෙන් ගල් පර්වත තුළ නිධන් නැතිය යන පූර්ව නිගමනය යටතේ සිටින දෙපාර්තමේන්තුව ඒ පස්සේ ගවේශණය කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

           සුගලා දේවියගේ යයි කියන මමිය හමු වූවා යයි කට කතාවක් ඇති වන්නේ මේ අවස්ථාවේ දීය.  දිරා පත් නොවන පරිදි ශරීරයක් දීර්ඝ කාලයක් තබා ගන්නට නොහැකි යයි මෙහිදී අධ්‍යක්ෂ තුමා සඳහන් කර තිබුණි. එහෙත් වර්තමානයේ අප දකින තාක්ෂණයට වඩා වෙනස් පැති කඩක් පැරණි දැනුම තුළින් ගවේශණය කළහැකි බව මෙහිදී සඳහන් කළ යුතුය. එකක් නම් ගල් පෑස්සීමේ තාක්ෂණයයි. දෙවැන්න නම් ගල් කපා ගැනීම සදහා භාවිතා කළ තාක්ෂණයයි. සෙල් ලිපි කෙටවීම පිණිස කටාරම් සෑදිමේ දී මෙම තාක්ෂණය භාවිතා කරන්නට ඇත. තෙවැන්න නම් ගල් හෑරීමේ තාක්ෂණයයි. ඒ ගැන ද උදාහරණ දැක්විය හැකිය. සිවු වැන්න නම් ගල් කුඩු වලින් නිර්මාණ ඇති කිරීමේ තාක්ෂණයයි. මෙම ශිල්පීය ක්‍රමයන් මිථ්‍යාවක් බව පුරා විද්‍යා බලධාරීන් ප්‍රකාශ කරති. එහෙත් ගල් පෑස්සූ තැන් ගල් භාජන හමු වූ අවස්ථා ගැන මෙහිදී සඳහන් කළ යුතුය.

          පොළව යට රත්තරන් වැනි නිධන් වස්තු තැන්පත් කිරීම බොරුවක් බවද  එවැනි තැන් සොයා යාම මුලාවේ වැටීමක් බවද බලධාරීන් පවසති. නිධන් වදුල මිථ්‍යාවක් බවද වැඩි දුරටත් ප්‍රකාශ කරති. එහෙත් ඔයා මඩුව සහ අනුරාධපුරයේ විවිධ තැන් වලින් ලැබෙන ආරංචි අනුව නම් එවැනි තැන් තිබී ඇත. ඒවා දඩයම් කිරිමට දේශපාලකයන්ද ආරක්ෂක අංශ ද කරන ලද උත්සාහයන්ද ප්‍රකටව කැපී පෙනුණි. ප්‍රාදේශීය දේශපාලකයන් හිටි හැටියේ පෝසතුන් වූයේ මෙලෙස නිධන් ගොඩ ගැනීමෙන් යයි ද සඳහන් වේ. එසේම එලෙස ධාතු පෙති පිළිම විනාශ කොට නිධන් ගොඩ දැමූ අයට අත්වූ ඉරණම ගැනද කටකතා අසන්නට ලැබේ. කෙසේ වෙතත් මමිය ගැන කතාව අලුත් කතාවකි. එය එලෙස ගොඩ ගෙන විනාශ කලේ යයි ගැමියන් පවසන අතර බලධාරීන් එයට මිථ්‍යාවක් යයි පවසයි. නමුත් ආරංචියේ හැටියට මමියක් හමු වූ පළමු අවස්ථාව මෙය පමණක් නොවේ. ඇඹිලිපිටිය පැත්තනේද එලෙස බෙහෙත් ගල්වන ලද කාන්තා ශරීරයක් හමු වී විනාශ කළ බව කටකතාවක් පැතිරුනේ මීට වසරකට පමණ එපිටදීය. තොටගමුවේ රාහුල හිමියන්ගේ දේහය තවමත් ගෝවේ පවතින බවද මෙහිදී අපට අමතක කළ නොහැකි  කාරණයකි.මෙම සිද්දි මාලාවෙන් අපට පැහැදිලි වන්නේ පුරා විද්‍යාව නොදත් පුරා විද්‍යාවක් ලක් ඉතිහාසය තුල සැඟව ඇති බවයි. එසේනම් මේ ඉතිහාසය සොයා යාමද පැරණියන් භාවිතා කළ ශිල්පීය විධි ක්‍රමයන් යළි මතු කර ගැනීමද අද දවසේ විද්වතුන්ගේ කාර්ය භාරය වෙයි. එහෙත් ඒ සඳහා මේ නව ප්‍රවණතාවය පිළිබඳව විශ්වාශයක් ජනිත විය යුතුය. නමුත් එසේ වන ආකාරයක් දක්නට නොමැතිය. නවීන ස්කෑන් යන්ත්‍ර ලබා ගත හැකි වන අද දවසේ පුරා විද්‍යා විධි ක්‍රමයන්ද නව ඉසව්වකින් ඉදිරියට යායුතු බව සඳහන් කළ යුතුය.

               අනෙක් කාරණය තුළින් කියවෙන්නේ පුරා විද්‍යා ස්මාරක හෝ සෙල් ලිපි නොමැති තැන් වල ගල් කොරි දමා ගැනීමට බල පත්‍ර දීමේ වැඩපිලිවෙලක් අරඹන බවයි. රට පුරා මාවත් වලකාපට් දමන තරමට පාර වල් අලුතින් කපා තාර දමන තරමට ගල් අවශ්‍ය බව සැබෑවකි. එසේම රටේ ගොඩනැගිලි හැදෙන සීඝ්‍රතාවය අනුවද කලු ගල් අවශ්‍යතාවය වෙන කවරදාටවත් වැඩියෙන් දැනී තිබෙන බව සත්‍යයකි. එහෙත් කලු ගල් අවශ්‍ය වූ පමණින් යාපහුව හෝ දෙවනගල  බෝර දමා කැඩීමට අවසර දෙන්නට තීරණය කරන්නේ නම් එතැන ඇත්තේ මේ රටේ සංස්කෘතිය නොදත් එසේම පරිසර පද්ධතිය ගැන හරි හැටි අවබෝධයක් නොමැති ඇත්තන් ගේ අමන ප්‍රතිපත්තියකි.

        කලුගලක් ආරක්ෂා කර ගත යුත්තේ පුරා වස්තුවක් තිබීම නිසා පමණක් නොවේ. ලාංකාව පුරා විහිදී යන කඳු පංති හා එහි භූවිෂමතාවයන් දෙස බැලුවහොත් මේ කඳුකරය විසින් පරිසරයට ඇති කරන බල පෑම සුලු පටු නොවේ. ලංකාවේ පිට කොන්ද ලෙසට සැලකිය හැක්කේ මධ්‍යම කඳුකරයෙන් ඇරඹී  උතුරට නැගෙනහිරට හා වයඹට විහිදී යන කඳු පන්තියයි. ඒවා ක්‍රමානුකූලව තුනීව ගොස් වන්නියේ දී අවසන් වේ. මේ කඳු පන්ති විශේෂ වැදගත් කමකින් යුක්තය. ඒවා සමහරක් සුදු කඳු පන්ති වලට අයත්ය. මේ කඳු වල තිබෙන ස්වභාවික පැලුම් වල වැඩී තිබෙන ගස් වැල් ද රාශියකි. වර්ෂා කාලයට මේ ගල් පැලුම් ඔස්සේ ගල් තුළට ජලය කාන්දු වන අතර ඒවා එහි තැන්පත් වේ. අනතුරුව මේ කඳු වල වැවී තිබෙන වීර මයිල වැනි ශාක වල අතු පතර මගින් හෙමින් හෙමින් මේ ජලය   නිදහස් කරන අතර ගල්තුළ ඇති ජලය උල්පත් බවට හැරී පරිසරය තෙත් කිරීමට උත්සාහ ගනී. කුංචුට්ටු කෝරළය මෙයට හොඳම උදාහරණයකි. කැබිතිගොල්ලෑවේ ඇති ජල උල්පත් දාසය පැන නැගෙන්නේ මෙලෙස කඳුකරයෙන් ඇදෙන ජල මූලාශ්‍රයන් හේතු කොට ගෙනයි. ඒ නිසා රජ රට වියළි පරිසරය තෙත් කරන අතර ස්වභාවික වනාන්තරයන් ද ආරක්ෂා කරයි.

           අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි එවැනි ස්ථාන ගණනාවක්  යුද්ධයෙන් පසු කාලවකුවානුව තුළ විනාශ කිරීමට ඇතැම් දේශපාලකයන් කටයුතු කළහ. නිධන් ගැනීමේ වුවමනාවෙන්ම ගල් කොරි දැමූ අවස්ථා දැක ගන්නට හැකි විය. එයටඅමතරව මුස්ලිම් ව්‍යපාරිකයන්ට මේ ස්ථාන බදු දීමට අවසර ලබා දුන් පුරා විද්‍යා ව ගැන ද සඳහන් කළ හැකිය. මේ තත්ත්වය නිසා හොරොව්පතාන කුංචි කුලමේ පුරා විද්‍යා ස්ථානයක් සම්පූර්ණයෙන්ම ඩොසර් කරන ලද්දේය.  මේ පිළිබඳ වාර්තාවක් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුමාට ඉදිරිපත් කිරීමටද කටයුතු කළෙමි. එහිදී මේ ගල් පර්වත වල වටිනාකම හා පරිසරයට තිබෙන සබැඳියාව ගැනද සඳහන් කරන්නට අමතක නොකෙළෙමි. කිසිසේතම මේ අගනා පරිසර පද්ධති විනාශ කිරීමට බල පත්‍ර නොදිය යුතු බවට එහිදී අවධාරණය කළෙමි. එහෙත් පාරිසරික පුරා විද්‍යාව ගැන නොදත් නිළධාරීන් සිටින රටක එවැනි රක්ෂාවරණයක් ලැබීමට නොහැකි වූ බව මෙහි ලියා තැබිය යුතුය. බ්‍රිතාන්‍යයන් ගෙන් උගත් පුරා විද්‍යාව කර පින්නා ගෙන එම නීති රීති වලට කොටුවී තව කෙතෙක් දුරට ලංකාවේ ජාතික උරුමයන් ආරක්ෂා කර ගත හැකි වේ ද යන්න අද අප ඉදිරියේ පවතින ප්‍රශ්ණයකි. සුගලා දේවියගේ යයි කියවෙන මමිය පිළිබද කතාවෙන් මතු කළ යුත්තේ මෙම සංවාදයයි.

       

           

Monday, November 11, 2013

උතුරු මැද අලි ගාල නිසා ගම්වලට අලි කරදර


                           
 
          

 

         අලි ඇතුන් නිසා අපිට හරි කරදරයි. අපගේ වගාවන් විනාශ කරනවා. මිනිස්සු මරනවා. ඉතින් අපි වෙඩි බඳිනවා. මෙහෙම කියන්නේ අලි කරදර නිසා හෙම්බත්වුණු ජනතාවයි. අලි කරදර නිසා වන ජීවී එකටත් හරිම කාර්ය බහුලයි. අලි නිර්වින්දනය කොට වෙනත් පළාතකට ගෙනයාම හිතන තරම් පහසු කටයුත්තක් නොවෙයි. එහෙත් කලට වේලාවට ඒවා නොකලහොත් ගම්මුන්ගෙන් විතරක් නොවෙයි. දේශපාලකයන්ගෙනුත් බැණුම් අහන්න වෙනවා සිකුරුයි. මේ නිසා අලි කරදරේ කියන්නේ අලි ජරමර වැඩක්.

        උතුරු මැද පළාතේ හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉහළ දිවුල් වැව කියලා ගමක් තිබෙන බව කවුරුත් දන්න කාරණයක්. වාහල් කඩ මහා වැව ඉස්මත්තේ තිබෙන පාරම්පරික ගම්මාන අතරින් ඉහළ දිවුල් වැව කපුගොල්ලෑව තාමර වැව දුටු වැව අලියා කඩ වාගොල්ලා කඩ  තවලම් හල් මිල්ලෑව වැනි ගම් විශේෂයි. ඒ මන්ද කොටි කලබල තිබෙන කාලෙදිත් මේ ගම්වල මිනිසුන් තමන්ගේ ගොවිතැනක් බතක් කර ගෙන ජීවිකාව ගෙනගිය නිසයි. සමහර ගමක් දෙකක් කොටි ත්‍රස්තයන් අතින් කැති ගෑවුණත් කිසි කෙනෙක් තමන්ගේ මුල් ගම් බිම් දාලා ගියේ නැත්තේ ඒ ප්‍රදේශය රත්තරන් පොළොවක් නිසයි. මේ කාලයක් තිස්සේ වහන් වෙලා තිබූ ගම්මාන නිසා  වාහල්කඩ වැව්  ඉස්මත්තේ ඇත්තේ ඝන කැලයක්. යාන් ඔයත් තවලම් හල් මිල්ලෑව ඔයත් මොර ඔයත් සීමා වන කලාපයේ තිබෙන ලොකු කුඩා වැව් සියල්ලම ආවරණය වන පරිදි මේ කැලෑ බූටෑව පැතිරී පවතිනවා. මේ නිසා මේ රටේ වතුර බොහොම පිරිසිදුයි. වකුගඩු රෝගීන් හිටියත් ඇත්තේ කලාතුරකින්. උල්පත් වතුරත් බොහොමයි. මේ පරිසරයේ සතා සීපාවත් බොහොමයි. කැලේ ඉන්න අලි ඇතුන් කැලේට වහන් වෙලා හිටියත් කාලයකට ගමට එනවා. ඒ හේන් භෝග ජාති තිබෙන කාලයටයි. ඉතින් ඒ කාලයට ගම්මු පැල් රකින්නට යනවා. කපුගොල්ලෑවේ සිටින පාරම්පරික වෙදහත්මයෙක් වන මුදලිනායක මහතා අලි ඇතුන් ගැන කිව්ව කතාවක් මෙහි ලියා තබතහොත් යසයි කියා කල්පනාවට පැමිණියා. ඒ කතාව මෙහෙමයි.

        එක් දවසක් මං ගොයම් කපලා මිටි බැඳලා ගෙදර ගියා. එදා රෑ පැල් රකින්න යන්න බැරි වුණා.  පහුවෙන්දා බැලින්නම් කොලේ අලි කාලා. කරන්නම්කො යස වැඩක් කියලා මං ගෙදර ආවා. එදා රෑ හෙනේ පැල් රකින්නට ගියා. අටවක හඳ තියන නිසා යාන්තමට වට පිට පේනවා නොපේන ගානයි. ඈත හේනේ බඩ ඉරිඟු හැදිලා දිලිසෙනවා පේනවා. මේ දවස්වල අලියා ගම් වදින නිසා වට පිට විපරන් කලේ පරිස්සමින්. දැන් දෙගොඩ ජාමෙත් පහුවෙලා. පාන් තිස් පැය ගෙවී යනවා. නිදමතක් ආවත් ඇහැ පියවන්නට නම් හිත දුන්නේම නෑ.  එක පාරටම අලියෙක් කුඹුරේ ලියැද්දට පය තැබෙව්වා. මම  ලෑස්තිවෙලයි සිටියේ. මැතිරුවා. බොහොම සීරුවෙන්ම  දැප මන්තරේ මැතිරුවා. වැඩි වේලාවක්  ගියේ නෑ. අලියා සිටි තැනම  ගල් වෙච්චි.පුරු පුරු ගෑවිල්ලේ ඌට මහ දිය යනවා. මගේ මන්තරේ වැඩ කරලා වගෙයි. ඔහේ හිටියා තවත් ටික වේලාවක්. දැන් පාන්දරට ළඟයි. අලියාට කර කියා ගන්න දෙයක් නෑ.පය උස්සන්න බෑ. හොඬවැලත් උස්සන්න බෑ වගෙයි. අනිත් අතට ආයේ පාරක් මැතිරුවා. අලියා ගල් හිටවපු එකෙන් නිදහස් වුණා. ඌ නොවෙයි අයෙත් කුඹුර දිහා බැලුවේ. එක් පිම්මට බැද්දට දිව්වා.

             උතරු මැද පළාතේ ගොවීන් එදා අලි එලෙව්වේ මෙහෙමයි. උන්ට හිංසාවක් කලේ නෑ . ගිනි බින්දේ නෑ. පොඩි දඬුවමක් දුන්නා විතරයි. එක දවසක් මෙහෙම කලාම කාලයකට ආයෙ තනි අලියා එන්නේ නැති බව ගොවීන් දැන සිටියා. මෙහෙව් රටේ තොටේ තමයි අලි ගාලක් හදන්න හිටපු වන ජීවි ඇමති තුමා 2012 වසරේදී මුල් ගල් තැබෙව්වෙ. ඊට ඉස්සරින් රණවිරු ගම්මානයක් හදන්න කියලා කපුගොල්ලෑව පාරේ එක් කොටසක් වෙන් කරලා ඒකේ තිබෙන වීර ගස් එහෙම කපා ගෙන ගිය බව කවුරුත් දන්නවා.  හැඳුණ රණ විරු ගම්මානයක් නෑ. ඊට ප්‍රති විරුද්ධ දිශාවෙන් තමයි දැන් අලිගාල හදන්න සේරොම මට්ටම කරන්නේ කියලයි ගම්මුන්ගේ අදහස. ඒක ඇස් මට්ටට පේනවා කැටපිලර් ගෙනල්ලා ගස් පෙරලලා පාරත් හලා තියෙයි. වැටත් ගහනවා. අලි සේරොම ටික පන්නලා .මෙතැන හිටවපු දැන්වීම් පුවරුවේ නම් තිබෙන්නේ අලි මිනිස් ගැටුම නැති කිරීමේ අදහසින් කරන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් සහ හරිත උද්‍යානයක් කියලයි. ඒත් දැන් අලි ඇතුන් අනාථ වෙලා ගම් වදිනවා. වෙනදට කුඹුරු හේන් පැහෙන කාලයට ගම් වදින අලි දැන් මේ කාලයටත් ගම් වදින්ටට පටන් අරගෙන කියලයි පෙනෙන්නෙ. මේ ප්‍රදේශයේ ඉන්න අලි රංචුව හරි සාමකාමියි. මිනිසුන්ට ජීවිත තර්ජන නෑ. උන් නිදහසේ දිනකට හැතපුම් දාසයක් පමණ ගමන් කරන බවයි ගම්මුන්ගේ අදහස. ඒ කියන්නේ නවරියන් ගෙයකට අවශ්‍ය ගස් වැල් දවසකට කනවා කියන එකයි. මේ අලි මංකඩේ තමයි මේ අලිගාල තනා ඇත්තේ. දැන් අලි බය වෙලා ඒ මදිවාට  දුනුවත්තේගම  වැව ඉස්මත්තේ ගල් ක්‍රෂරයක් සවි කරලා දවල් රෑ නොබලා වැඩ . පළාතටම සද්දේ ඇහෙනවා. අලි තවත් බය වෙලා . දැන් සී සී කඩ වෙලා. මේ ළඟදී මේ ලෙස අනාථ වෙච්ච අලි කීප දෙනෛක් පරංගියාවාඩිය පැත්තට ගිහින් කේන්තියට ගම්මුන්ගේ ගෙවල් කඩලා. එක ජරමරයයි. මෙයින් කුපිත වුණු මිනිස්සු මේ සතුන්ට හක්ක පටස් තියන්න පටන් අරන්. අනේ අපොයි. තරමක අලි පැටවෙක් මේ උගුලට අහුවෙලා වැවක මැරී හිටියේ නොවැම්බර් මාසයේ මුල් සතිය තුළයි.

       මේ අලි ගාලට අක්කර තුන්දහස් දෙසීයක් අයත් වෙනව කියල තමයි සඳහන් වෙන්නෙ. ඉහළ දිවුල් වැවත් තවලම් හල්මිල්ලෑව වන රක්ෂිතය තුළත් තිබෙන ප්‍රදේශය මෙයට අයත් වෙනවා. මේ අඩවියේ දුර්ලභ පැරණි නාඋයන් දෙකක් හමු වන අතර වලස්කුණු වැව නමැති ගල්ලෙන් තපෝවන ආරණය සේනාසනයත් හමු වෙන බව කිව යුතුයි.  මෙහි පැරණි ලෙන් ලිපි හතක් තිබෙනවා. තාම පිටපත් කරලත් නෑ. දැන් මේ සියල්ල අහු වන ලෙසට වටේට පාරත් කපලා ගස් ටික මෝලට පටවලත් ඉවරයි. ඒ අතර එක් පැත්තක සිට අලි වැට ඉඳි කරන්නට පටන් අරන්. මේ නිසා තමයි අලි මංකඩ අවහිර වෙලා අලි අනාථ වෙලා තිබෙන්නේ.මේ අලි රැඳවුම් මධ්‍යස්ථානය නිශ්ඵල වැඩක් කියල මොළය තිබෙනව නම් තේරුම් ගන්නට අපහසු නැහැ. එයට හේතුව අලි ඇතුන් එහෙම එක තැන ගාල් කරල තියා ගන්නට බැරි නිසයි. මේ ජරමරේ මදිවාට අලි ගාලට ප්‍රවිශ්ඨ වන තැන තිබෙන වැව හාරලා ජලචර යාත්‍රා බස්සන්න සැලැස්මකුත් තිබෙයි කියලා වාර්තා වනවා. දැනටමත් වැව පතුලේ වලවල් හාරලා විනාශ කරලා ඉවරයි.බලනකොට මේක අලි සංරක්ෂණ මධ්‍යස්ථායක් නොවෙයි. පනාමුරේ ඇත් ගාල වගේ අලි හිරගෙදරක්. විදේශිකයන්ගේ හිත සුව පහසුව පිණිස අටවා ගන්නා  සංචාරක නිකේතනයක්. මේ මර උගුල නිසා අලි ඇතුන් ගේ ජීවිත තර්ජනයට ලක් වෙනවා වගේම ගම්මුන්ගේ දේපළත් විනාශයි කියල තමයි අවසාන වශයෙන් සඳහන් කරන්නට තියෙන්නේ.