පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, May 19, 2022

ප්‍රජාතන්ත්‍රවාදය, ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී

 


                                                    

      සිංහල අලුත් අවුරුද්දට ප්‍රථම ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ කීපයක් එකතුව ගැසූ කැරැල්ල අද වන විට විවිධ ස්වරූප ගනිමින් පාර්ලිමෙන්තු දේහයත් ජාතික දේහයත් ආක්‍රමණය කරමින් පවතී.රටේ විදේශීය ආදායම බිංදුවට වැටී තිබෙන මොහොතක පාර්ලිමේන්තුවට නව අග්‍රාමාතය වරයෙකු ද පත් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මහගෙදර වන පාර්ලිමේන්තුව තුළ මෙවර එකී තනතුරු පිරවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව නොවේ.එහෙත් අග්‍රාමාත්‍ය වරයා මැයි 17 සඳු දින කළ සිය කතාවෙන් එක් වැදගත් කරුණක් ප්‍රකාශ කළ  බව කිව යුතුය. එනම් පාර්ලිමේන්තුව තුළ තිබෙන දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු බවයි.යමක් වෙනස් කිරීමට නම් අදාල ආයතනය හෝ සංස්ථාව ගැන හොඳ අවබොධයක් තිබිය යුතුය.එම ආයතන වැඩ කරන ආකාරය කණ්ඩායම් හැඟීම.දූෂණ පමණක් නොව මනුෂ්‍යයාගේ හැසීරීම රටාවත් ගැන හොඳ අධ්‍යයනයක් තිබිය යුතුය.

        ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දැන්  වසර හතළිස් හතරකි.ජනරජ ව්‍යවස්ථාවට වසර පණහක් පිරීඇත.  නිදහස යයි ලබා දුන් 1948 දේශපාලන සංස්කෘතියට වසර හැත්තෑ හතරක් ගත වී තිබේ.විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යනුවෙන් කියැවෙන ආයතන තුනට වෙන් වශයෙන් බලය බෙදා දී සැකසුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එකිනෙකා ගෙන් පෝෂණය විය යුතුය.ජනතා පරමාධිපත්‍ය සහතික කිරීමට මේ අයතන තුන එක්ව කටයුතු කිරීම ඉතා වැදගත්ය. අවාසනාවකට වසර තිහක් පුරා ඇදී ගිය කොටි ත්‍රස්ත යුද්ධය නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සැබෑ ලෙසටම අත්හදා බැලීමට දේශපාලකයන්ට නොහැකි විය.ඒ වෙනුවට එක් එක් ආයතන වෙන් කර බෙදා දුන් බලය නොහොත් ජනතා බලය අව භාවිතා කිරීමටත් ව්‍යවස්ථානුකූලව විකෘති කිරීමටත් දැන් විසි වතාවක්ම උත්සාහ කර තිබේ.මෙම විකෘතිය ඇති කිරීම ගැන විද්වත් සමාජය දොස් කියන්නේ විධායකටයි.ව්‍යවස්ථාදායකයේ සෙල්ලම් අධිකරණයේ දූෂණයන් එකිනෙක පෝෂණය කරමින් රට අගාධයට පත් කර ඇති බව තේරුම් ගෙන ඇත්තේ ස්වල්ප පිරිසකි.මූල්‍ය විනයක් නැති කම රටට හෙණයකි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සතු ප්‍රධාන වගකීම් දෙක අතරට ප්‍රථමයෙන් එන්නේ ප්‍රතිපත්ති සම්පාදනයයි.ප්‍රතිපත්ති මත නීති සම්පාදනයයි. දෙවැන්න මූල්‍ය අධීක්ෂණයයි.තෙවැන්න ජනතාවගේ සුභ සිද්ධිය පිණිස යෝජනා ඉදිරිපත් කර ක්‍රියාත්මක කිරීමයි.වසර හැත්තෑහතරක් තිස්සේම මේ දේ නිවැරදිව සිදු කර ඇත්දැයි පරීක්ෂා කර බලන කල්හි.මන්ත්‍රීවරයෙකු ප්‍රධාන තැන දී ඇත්තේ පළමු කී කාරණා දෙකට නොව තෙවනි අවස්ථාවට බව පෙනේ.ජනතාවට රැකියා ලබා දීම රාජ්‍ය සේවයේ මාරුවීම් යටිතල පහසුකම් ඇති කිරීම තම ඥාති හිත මිතුරන්ට සැලකීම කෙතරම් දුරට විහිදී ගොස් ඇත්දැයි කල්නා කර බලන කල්හි රටේ මුදල් නාස්තියට ප්‍රධාන හේතුවක් ලෙසට එය හඳුනාගත හැකිය.

    ප්‍රාදේශීය සංවර්ධනයට අත ගසන දේශපාලඥයා හට විවිධ ගැටළු වලට මුහුණ දෙන්නට සිදු වේ. ජනතාව නොයෙකුත් දේ ඉල්වති.මළ ගෙයට මඟුල් ගෙයට මුදල් බලාපොරොත්තු වෙති.පාරම්පරිකව දෙම්පියන් ගේ යම් දේපොළක් ධනයක් උපයා නැති දේශපාලඥයෙකුට මේවා ප්‍රශ්න පත්තරයක් බවට පත් වේ. ඔහු මත්පැන් බලපත්‍ර ලබාගෙන ඒවා විකුණයි. 

 තමන්ට ලැබෙන බදු රහිත වාහන බලපත්‍රය විකුණයි.එතනින් නොනැවතී තමන්ගේ ආධාර කරුවන් යොදවා ගෙන රජයේ කොන්ත්‍රාත්තු වලට අත ගසයි. විදේශ ව්‍යාපෘති වලින් කොමිස් මුල් ඉල්වයි.මෙලෙස අයථා ලෙසට හරි හම්බ කරන මුදල ඊළඟ මැතිවරණ වියදම් සඳහාද තමන්ගේ සමීප අධාර කරුවන් නඩත්තු කිරීමටද යොදවයි.මේ ක්‍රියාවලියේ නිමක් නැත. ඇති වීමකුත් නැත. සභාවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයාට කියවන්නට වේලාවක් නැත.නැතහොත් ඒවා වැදගත් ලියවිලි බවට පත් නොවේ.  අගමැති හෝ ජනපති කිවූ වේලාවට අත ඉස්සීම ප්‍රමාණවත්ය.පසුගිය කාලයේ දී රටට එරෙහි නොයෙකුත් පනත් කෙටුම්පත් සම්මත වූයේ මන්ත්‍රීවරු බහුතරයකට අවබෝධයක් නැතිවය.පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි මාරු කරන අවස්ථාවකදී කෝටි ගණනාවක් සාක්කුවේ දමා ගැනීම සිරිතක් සම්ප්‍රදායක් බවට පත් වී තිබේ. ඇ තැම් විට මේවාට විදෙස් තානාපතිවරුද  මුදල් ලබා දෙති.

     2015 පත් වූ ආණ්ඩුව මැතිවරණයකින් පෙරළා දමා විද්වතුන් ගෙන් සපිරි ආණ්ඩුවක් පත් කර ගත යුතු බව ජනතා පෙළ ගැස්මක් පැමිණියේ විද්වතුන් මේ අල්ලසට දූසණයට යටනොවන බව විශ්වාස කරගෙනය. ඒ අනුව තරුණ විද්වතුන් කීප පළක්ම 2020 දී පාර්ලිමේන්තුවට තෝරා පත් විය.ඒ හොඳ ආරම්භයක් වන්නට ඉඩ තිබුණි.එහෙත් මා දන්නා පරිදි එම මන්ත්‍රීවරුනටද පෙර පවත්වාගෙන ගිය දූෂිත සම්ප්‍රදායට යම් තරමකින් හෝ අනුගත වීමට සිදු විය.මේ මන්ත්‍රීවරයා ගමේ එක වැසිකිලියක් වත් හදා නුදුන්නේ යැයි ජනතාව විසින් ඔහුට  චෝදනා කරනු ඇසුණි.නමුත් ඔහු පාර්ලිමේන්තුවේද සංවර්ධන කමිටු වලදීද බුද්ධිමත්ව තීරණ ගනිමින් රජයේ පරිපාලන සේවකයන් මෙහයවති. ජනතාවට ඒවා වැදගත් නොවේ.අවසානයේ දී පසුගිය 09දින සිදුවූ මහජන කැළඹීමේ දී තමන්ගේ නිවෙස් ගිනි රකුසාට බලි වෙන්නට ඉඩදී බලා ඉන්නට ඔවුන් කීප දෙනෙකූටම සිදු විය.මෙම දිනයේ දී අරලිය ගහ මන්දිරයෙන් පිටවුණු යම් මහජන නියෝජිතයන් පිරිසක් සහ ආධාර කරුවන් පිරිසක් ගාලු මුවදොර පිටියට බැස එහි තිබූ කූඩාරම් ගලවා පුද්ගලයන්ට පහර දී එළවා දැමූ හැටි දුටුවෙමි.එ සැණින් යක්ෂාවේහයෙන් ඇවිලුණු යම් දේශපාලන සංවිධානයක් විසින් උසා ගන්වනු ලැබූ ජනතාව දිවයින පුරා මහා භීෂණයක් ඇති කළහ.ඔවුන් ගේ එල්ලය වූයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයාගේ දේපොලයි.ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී ආධාර කරුවන් සමගි ජන බලවේගයේ ආධෘර කරුවන් මෙන්ම යම් යම් නගර වල සිටින මැරයන් විසින් මේ කළහකාරී අපරාධමය වාතාවරණය ඇති කළ බවට දැන් සාක්ෂි ලැබෙමින් පවතී. පොලිසිය ආයුධ හංගා ගෙන බලා සිටියේය.නිවෙස් ගිනි තබන විට ඒ නිවසේ බඩු මුට්ටු පවා රැගෙන යනතෙක් බලා සිටීමට පොලිසිය ක්‍රියා කළ බව අම්පාරේ වීරසිංහ තරුණ මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශයක් පාර්ලිමෙන්තු තුළ සභා ගත වී ඇත.

         ප්‍රජාතන්ත්‍රවාදය ලෝකයේ තිබෙන හොඳ ම ක්‍රමය නොවේ. එය යම් කිසි ආකාරයකට සාර්ථක කර ගත හැකි විශේෂ දේශපාලන ක්‍රමයකි.  ජනපති ජේ.ආර්. ප්‍රංශයේ ව්‍යවස්ථාවද පදනම් කරගෙන මේ ප්‍රජාතන්ත්‍ර වාදයට විධායක බලයක්ද එක් කරන ලදී. විධායකය අපරටේ අතීත සම්ප්‍රදායේ මෙවලමක් නිසා එය ජනතාවට ආගන්තුක නොවීය. අනෙක් අතට බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය දෙන රටක ජනපති වරයා දළදා වහන්සේගේ ආශීර්වාද ලබන ප්‍රමුඛ පුද්ගලයා වෙයි.එසේම රටේ සේනාධිනායකයා වෙයි.මෙම ක්‍රමය ඇති කරන්නට වසර දහයකට පමණ   ප්‍රථම ජේ.ආර්. විද්‍යාභිවර්ධන සංගම් ශාලවේදී පවති රැස්වීමකදී කියා සිට ඇත්තේ ජනපතිට ලේකම් කාර්යාලයක් හෝ අවශ්‍ය නැති බවයි. 

නමුත් තිස් වසරක කොටි යුද්ධයේදී රටේ සේනාධිනායක වශයෙන් ජනපතිවරයෙකුට විශේෂ කාර්ය භාරයක් ඉටු කළ හැකි බවට මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.දැන් මේ විධායකයේ තටු කපන්නට සැරසෙන්නේ කුමන අරමුණකින්ද එක් පැත්තකීන් රට ආර්ථික අංශයෙන් අතිශය දුරුවල වී තිබේ.විදේශ වලින් මුදුල් හිඟ කෑම ඇරෙන්නට වෙනත් කිසිදෙයක් ඉදිරිපත්ව නැත.ඒ තත්වය මග ජනපතිවරයාගේ තටු කැපීමට මෙන්ම රාජ්‍ය ආයතන පුදගලීකරණයටද යෝජනා වී තිබේ.මේවා සියල්ල අඩු වැඩි වශයෙන් සිදු වන කල්හි ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අනතුරක්ට ලක්ව ඇත. මානව නිදහස තර්ජනයට ලක්ව ඇත. පසුගිය අපරාධමය තත්වයට වටිනාකමක් දිගින් දිගටම ලැබුණහොත් විදුහල්පති වරයෙකුට හෝ ප්‍රාදේශීය ලේකම් වරයෙකුටවත් තම රාජකාරී කළ හැකි නොවේ.ඔවුන් ගන්නා එක් අභිත ක්‍රියාමාර්ගයකින් ඒ පුද්ගලයා හරි හම්බ කළ දේ පොළ විනාශ කිරීමට මැරයන් ඉදිරිපත් වනු ඇත. ඇතැම් විට සමාජයට ඉදිරියට විත් ජනතා නායකත්වය හෝ මූලිකත්වය ගන්නා සිවිල් පුද්ගලයෙකුටද ඒ තත්වය උදා වනවා නිසැකය.

    ජනපති ක්‍රමයේ තටු කැපීමට වලි කන අග්‍රාමාත්‍ය වරයා ඉදිරිපත් විය යුත්තේ රටේ මෙන්ම පාර්ලිමේන්තුවේද ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට උත්සුක වීමයි.ඔහු ගැන ලෝකය දන්නේ ප්‍රජාන්ත්‍රවාදය ගැන අතැඹුලක් දන්නා කෙනෙකු ලෙසටය.රටේ දුවා දරුවන් හට නිදහස් අධ්‍යාපන හිමිකර දුන් කන්නන්ගර මැතිතුමා තම ප්‍රජාතන්ත්‍රීය වගකීම පාර්ලිමේන්තුව තුළ නිවරදිව උරගා බැලූ පුද්ගලයකි.. ඔහු ජනතාවට සමීපතමයෙකු නොවීය.ඒ නිසා ඔහු දෙවනි වර තම ආසනයෙන් පැරද ගියේය.එම තත්වය උදා කර දුන්නේ ව්‍යවස්ථාදායකයේ අඩු ලුහුඬු කම් නිසාවෙනි.දැන් අප මෙම සාකච්ඡාව සමාජය වෙත මුදා හළ යුතුය.පාර්ලිමේන්තුව තුළ සහ පිටත අප කටයුතු කළ යුත්තේ කෙලෙසකද ජනතා පරමාධිපත්‍ය යනු කුමක්ද යන දැනුම ලබා දිය යුතුය.විධායකයේ වෙනසක් නොව ව්‍යවස්ථාදයකයේ වෙනසක් පිළීබඳ විද්වතුන් සමග සාකච්ඡා පැවැත්විය යුතුය.   අපගේ මව්බිම ඇමරිකානු සහ ඉන්දීය විදෙශ ඔත්තු කරුවන්ට  දඩයම් පළක් බවට පත් කිරීමට ඉඩ නොතැබිය යුතුය.වසර හැත්තෑ හතරකට පසු අපට ස්වර්ණමය අවස්ථාවක් උදා වී තිබේ.එකා වන්ව දේශප්‍රේමය අවදි කර ගනිමින් ජාතිය ගොඩ නැන් වීමට අදිටන් කරලීම කළ යුතු යැයි අපට බලකර තිබේ. මේ එයට කාලයයි.

මතුගම සෙනෙවිරුවන්

Thursday, May 5, 2022

ගෝඨාගෝගම නඩත්තු කරනුයේ කුමක් සඳහාද

 

 

 

                                

            උදාගම් ව්‍යාපෘතියෙන් පසු ලංකාව පුරාම ජනප්‍රිය වූ ගමක් වූයේ නම් ඒ ගෝඨාගෝගම වෙයි.මෙහි   ගෙවල් සාදා නැත.එහෙත් තාවකාලික කූඩාරම් ඇත.මීනිසුන් දෛනික ජීවිතය වෙනුවට රාත්‍රී සැනකෙළියක සිරි ගත් ගෝඨගෝගම අරගල භූමියක් ලෙසට හැඳින්වෙයි.අරගලය යනු හර ගලනයයි.යම් කිසි හරවත් අදහසක් ක්‍රියාවලියක් අඛණ්ඩව පවතින තැන අරගල භූමියකි.මෙහි රැස්ව සිටින තරුණ තරුණියන් ට හරවත් අදහසක් නැත. ගෝඨාභය ජනපතිවරයාට ගෙදර පල යයි කීම හැර එල්ලයක් නැත. පන්නපු ගෝඨා පන්නමු ගෝඨා යනුවෙන් මෙතන සිටින සටන් කාමීන් රැස්ව හඬ නගන්නේ ඒ නිසාය.මේ අරගල භූමිය සකස් කරන ලද්දේ පෙරටුගාමීන් විසිනි.එය පෝෂණය කරන ලද්දේ ජ.විපෙ. ඇගුලු කාඩරයන් විසිනි.මෙය ආරම්භ කරලීමට මුදල් පොම්මප කිරීමට නිර්ලෝභිව ඉදිරිපත්ව ඇත්තේ අසල් වැසි ඉන්දියාවයි. නමුත් දැන් එය නඩත්තු කරනුයේ ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන මුස්ලිම් අන්තවාදී සංවිධාන විසිනි.පහුගිය කාලයේ එක දිනයක වික්ටෝරියා නූලන්ඩ් ලංකාවට පැමිණ ගියාය.ඇය මීට පෙර 2014 දී යුක්රේනයට ගියේද මෙවැනි අරගල භූමියකටයි.ඇය එහි සිටි අරගල කරුවන්ට ඩෝ නට් බෙදීය.යුක්රේන් හිටපු ජනපති රුසියාවට පලා ගියේය.ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් අරගලය මාස හතරක් එක දිගට පැවැත්විණ.ඇමරිකානු පොලිසිය එයට පහර දුනි.නමුත් ජනපතිවරයා හෝ ආණ්ඩුව ගෝඨාගෝ ගමට පහර නුදුන්නේය.නමුත් අරලියගම මැදුර ඉදිරියේ අටවා තිබූ මයිනාගෝ ගම ගලවා ඉවත් කෙරුණි.මහින්ද ගේ සහ ගෝඨා ගේ වෙනස එයයි.

        2019 දී බලයට පත් වූ ගෝඨාභය හිටපු ආරක්ෂක ලේකම් වරයා ද වෙයි. ඔහු තම සෙබල ජීවිතයේ දී යුද්ධය අතහැර ඇමරිකාවට ගියේය.එහි පුරවැසි කමද ලැබගෙන දරුවන්ටද අවශ්‍ය පුරවැසි පසුබිම සකසා දුන්නේය.මහින්ද රාජපක්ෂ ජනපතිවරයා පැරදී නිවසට ගිය පසු ජනතාවගේ බලාපොරොත්තු අතරට ගෝඨාභය පැමිණියේ අහම්බෙන් නොවේ.මහින්ද සුළඟ තුළින්ඇතිවූ බලවේගයට නායකත්වය ගැනීමට යම් සුදුසු කමක් නිර්මාණය කර දුන්නේ ජනතාව විසිනි. ඔහු ගැන පිරිසිඳු බලාපොරොත්තු තැබූ ජනතාව අවංකය ප්‍රාර්ථනා කල එක දෙයක් විය.ඒ නම් 1977 න් පසු ජරා ජීර්ණව ගිය දේශපාලනය නැවත යථාතත්වයට පත් කර රට එකසේසත් කර බුද්ධ ශාසනය සුරැකීමයි. එය එසේ සිදු වි නැත.ජනපතිවරයාගේ ක්‍රියාකලාපය කිසිවෙකුටත් තේරුම් ගත නොහැකි විය. ඊට හේතුව ඔහු ජනතාව අතරින් ඈත් වී තනි මතයට තීරණ ගන්නා උද්දච්ච පුද්ගලයෙතු බවට පත් වීමයි.

    වත්මන් වෙළෙඳ පලේ සහල් මිල වේගයෙන් ඉහල යෑමට ප්‍රධාන හේතුව හාල් මෝල් හිමියන් ඉදිරියේ ජනපතිවරයාට දණ නැමීමට සිදු වීමයි. ආහාර ද්‍රව්‍ය වල පාලන මිළ ඉවත් කිරීම කවුරුන් ගන්නා ලද තීරණයක් දැයි නොදනී.සීනි බදු වංචාව නිසා රජයට අහිමි වූ ආදායම ගැන කිසිම පැහැදිලි කිරීමක් සිදු නොවුණි.දඬුවම් දීමක්ද සිදු නොවුණි.රටේ පරිසර විනාශය තුන් හතර ගුණයකින් ඉහළයෑමට ද ජනපති වරයා වග කිව යුතුය.ජනපතිවරයා වටේ සිටි හොඳම හිතවතා අලි සබ්‍රි අධිකරණ අමාත්‍යවරයාය. ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාණ ඇපයට ගෙන  තම කැමැත්ත අනුව මුස්ලිම් අන්තවාදීන් වෙනුවෙන් ගත් තීරණයන්ට ජනපති වරයා අනුගමනය කළ නිහඩ පිළීවෙත පුදුම එළවන සුලුය.ජනපතිවරයාට කැබිනට්ටුව පාලනයකින් තොර විය. මහින්ද හෝ බැසිල් හෝ ඔහුට සහාය නොවීය.දූෂිතයන්ට ඇමතිකම් හිමි විය.තවදුරටත් ඔවුහු දූෂණයන්හි නිරත විය. ගත් තීරණයක් සියල්ලට වග කිව යතු කෙනෙක්නොවීය. අවසානයේ ආර්ථික අර්බුදය නහයටත් උඩින් ගිය විට  ජන දුක නිවීම වෙනුවට අර්බුදය ජනපතිවරයාගේ නිර්මාණයක් නොවන බව පැවසීමට තරම් ඔහු ආත්මාර්ථකාමී විය.

 

    ගෝඨා පන්නමු යයි සටන් පාටයක් නිර්මාණ කෙරුණේ ජනතාව අතින් නොවේ. ජනතාව නොයෙකුත්  පෝලිම් වල රස්තියාදු වී අසහනයෙන් වීද බැස්සා පමණකි.  මෙම ආර්ථික අරුබුදයට වග කිව යුතු ප්‍රධාන නිළධාරියෙකු වූ කබ්රාල් ඉවත් විය යුතු යැයි මහ බැංකුව ඉදිරිපට උද්ඝොෂණයක් සිදු වූයේ ජනතා විරෝධය ගෑස් පෝලිම් වල නතර ව තිබෙන අවස්ථාවකදීය.මහ බැංකු අධිපි කමින් කබ්රාල් ඉවත් විය යුතු යැයි කීම පමණක් නොව බැසිල්ද  මුදල් ඇමතිකමින් ඉවත් විය යුතු යැයිද යෝජනාවක් මේ උද්ඝෝෂකයන්ට තිබුණි.මේ අතර පක්ෂ 11 ක් රජයෙන් ස්වාධින වී එළියට බැස්සේ එන පොට හොඳ නැති බව ඔවුනට දැනී තිබූ බැවිනි.මෙතෙක් මහින්ද ව කර තබාගෙන ගිය ඔවුහු ආණ්ඩුව නිවැරදි කිරීම සඳහා දුන් දායකත්වය පසුතැවිලි වන්නට ඇත.. ජනපතිවරයා වෙනුවෙන් සංවේදී වූ ඔවුහු විස්සේ අහිතකර වගන්ති වලට හිස නැමූහ.කෙසේ වෙතත් දේශපාලනය තුළ සදාකාලික මිතුරුකම් පවතින්නේ නැත.එහි ප්‍රතිඵලය නම් තිබූ ආමාතය මණ්ඩලය ඉවත් කර නව අමාතය මණ්ඩලයක් පත් කරලීමට සිදු වීමයි.පක්ෂ 1 1 විරෝධතාවෙන් පැණි නැගුන යහපත් කාරණය එය විය.

     ‌ගෝඨා ඉවත් විය යුතු යයි ජනතා සටන් පාඨයක් නිර්ාණය වනු ලබන්නේ පෙර සඳහන් කළ පරිදි වික්ටෝරියා නූලන්ඩ් ගේ ආගමනයත් සමගමය. එය පැහැදිලිව විදේශීය අත පෙවීමක ප්‍රතිඵලයකි. වර්තමානය වන විට ගාලු මුව දොර පිටිය. නොයෙකුත් රාජ්‍ය විරොධි ක්‍රියාකාරකම් වල ට තෝතැන්නක් බවට පත් වී තිබේ. ජනපතිවරයා මහින්ද රජපක්ෂ සහ බැසිල් රජපක්ෂ ආදී න්ගේ දූෂණයන් ගැන කතා කිරීමට අමතරව උතුර සහ නැගෙනහිරසිටින ඊලාම් වාදීන් ගේ සටන් පාටත් ගාලු මුවදොර පිටියට එක්වී තිබේ. දෙමල පෙදෙස් වල බෞද්ධ සිද්ධස්ථාන ඇති කිරීමට විරුද්ධව බැනර් ඔසවා සිටින ඊලාම් වාදීන්ට විරුද්ධව රජය අත නොතබකි.බණ්ඩාරනායක පිළිරුවේ දෑස් බැඳ සිංහල බස රජ බස කිරීමට එරෙහිව නූතන පරපුර හඩනගන විට. සිංහල රජ බස නිසා විශ්ව විද්‍යාල අධ්‍යපානය ලැබූ උගතුන් ද ගාලු මුවදොර ට එක් වී සිටිති. මේ සියල්ලම නිර්මාණය කරලීමට පසු ගිය කාලයේ බිහි වූ ජාතයන්තර පාසල් ද වග කිව යුතුය. මහ පාරේ තාප්ප වල සිතුවම් ඇඳි තරුණයන් මෙන්ම අක් මුල් නැති තරුණ පරපුරක් බිහි කිරීමටද මෑත කාලීන  ආණ්ඩු කරවූ පාලකයන් දැක්වූ දයකත්වය අති මහත්ය. දැන් මේ අලුත් පරපුර නොහොත් සංස්කෘතික හර පද්ධතියෙන් වැතැන් වූ පිරිස එහි  නිරමාපකයන්ට එරෙහිව සටන් පාඨ ගෙන වීදි බැස සිටිති.

       පූජනීය ගංගොඩවිල සෝම හිමියන් ගේ අභාවයත් සමග රට තුල ඇති වූ බෞද්ධ ප්‍රබෝධය සහ ජාතිකවාදී බලවේගයන් එක පැත්තකින් චම්පික රණවක විසින්ද අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ විසින් ද ඩැහැ ගනු ලැබිණ.මහින්ද රාජපක්ෂයන්ට කොටි ත්‍රස්තවාදය පැරදවීමට මේ ජාතිකවාදය පිටුබලයක් විය. නමුත් පසුව ඔහු ඒ ජාතික කොඩිය අත හරිනු ලැබීය.වර්තමානය වන විට ගෝඨාභයට පමණක් නොව මහින්ද රාජපක්ෂයන්ටද ඉවත් වීමට බල කෙරී තිබේ.මූලධර්මවාදී සංවිධාන සහ ඒ පිටිපසින් තිබෙන අදිසි හස්තයයන් විසින් ජාතිවාදයට පහර දෙනු ලබනුයේ මහින්ද ගේ පරාජය ජාතිකවාදයේද පරාජයක් ලෙසට සිතාගෙනය.ජනපතිවරායාද සවිඥානිකව ගෝඨාගෝමට කැමති බව පෙනේ.ඇමරිකාවේ පුරවැසියෙකු ලෙසින් සිටි ඔහු තම දරුවන්ද ආරක්ෂා කර ගත යුතුය.ඇමරිකාවට පක්ෂාපාතී වීම ඇරුණු කොට ඔහුට වෙනත් මගක් නැත.රුසියාවෙන් තෙල් ලබා ගැනීම ඔහු අකමැති වන්නේ එහෙයිනි. දින ගණනාවක් තිස්සේ ගෝඨා ගෙදර පල යයි කියූවද ඔහු ගෙදර නොයන්නේ ඇමරිකාවේ ආශීර්වාදය ඔහුට තිබෙන බැවිනි.

 

 

 

කොරෝනා වසංගත සමයේ ඇමරිකාවේ අවශ්‍යතාවය අනුව එන්නත් විකිණීමට නායකත්වය ගැනීමම මේ පක්ෂාපාතිත්වයේ තරම ගැන තේරුම් ගැනීමට හොඳ උදාහරණයික .ඒ අර්ථයෙන් ගත් කල්හි සිංහල ජාතිකත්වයට එරෙහි වී රට බෙදුම්වාදයට තල්ලු කර රත්මලාන කටුනායක මත්තල ආදී ගුවන් තොටුපළ වල් විකිණීම ට ගෝඨාභය නායකත්වය දුනහොත් පුදුම නොවිය යුතුය.අන්තර්කාලීන ආණ්ඩුව නොහොත් ජාතික එකඟතා ආණ්ඩුව යනු මේ පාවාදීම දක්වා ගෙන යා හැකි ව්‍යවස්ථාපිත ආයතනයකි. සමගි ජන බලවේගයත් එක්සත් ජතික පක්ෂයත් බලාපොරොත්තු වන්නේ නැවත 19ට ගොස් ජනපති ක්‍රමය අහෝසි කරවා ගැනීමටය.මේ පිටපොට ගැසීම තුළ 13 බලවත් වී උතුර සහ නැගෙනහිර ස්වාධින වීමට තිබෙන ඉඩකඩ වැඩිය.

    මේ අවස්ථාවේ දී රටට අවශ්‍ය වන්නේ ව්‍යවස්තා සංශෝධන නොවේ.පවතින ආර්ථික අර්බුදය ජය ගැනීමට අවශ්‍ය පෙළ ගැස්මකි.යම් කිසි ආර්ථක සම්මුතියක් තුළ රටම එකට වැඩ කිරීම එයට ප්‍රවේශයකි.ජනතා විමුක්ති පෙරමුණ හෝ සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණයක් සදහා කරන සූදානම තුලින් පෙනෙන්නේ ඔවුන් තුළ පවතින ආත්මාර්ථකාමී ස්වරූපයයි. රටට මොන හෙණයක් ගැසූවද මේ පක්ෂ වලට නොදැනේ. තමන්ගේ පක්ෂය බලවත් වීමට අවශ්‍ය ඕනෑම පවා දීමක ඔවුන් සූදානම්ය.ඉදිරි යල කන්නයේ වී වගා ඉලක්ක සපුරා ගැනීමත් රට පුරා වගා සංග්‍රාමයක් දියත් කර ලීමට රජය පොලඹවා ගත යුතුයි.ගෝඨාගම බහු පාක්ෂිකයන්ද ලුම්පන් තරුණ පරපුරද වෙලට බස්වා ගැනීමට රැල්ලක් නිර්මාණය කර ගත යුතුය. එවිට ගෝඨාගෝගම නඩත්තු කරලීමට ඇමරිකාවට හෝ ඉන්දියාවට නොහැකි වනු ඇත.

මතුගම සෙනෙවිරුවන්