පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, February 19, 2021

උඩරට ගිවිසුමෙන් පසු සමයේ දළදා ප්‍රාතිහාර්යක් පෑ හැටි

 

 

 


                            

               දළදා වහන්සේ මෙරට බෞද්ධයන් ගේ මුදුන් මල් කඩ වෙයි.රාජ්‍යයේ සංකේතය වෙයි.බුද්ධ ශාසනයේ වත්මන් පැවැත්ම තහවුරු කරන අසමසම ආශ්චර්යමත් වස්තුවක් බවටද පත් වෙයි.කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු සමයේ මෙරටට වැඩම කරන ලද දළදා වහන්සේ පිළිබඳ කතාව බ්‍රහ්මදත්ත රජ පරපුර හා සම්බන්ධ වෙයි. ගුහසීව රජු හා සම්බන්ධ වෙයි. මේ රජ පරපුර සිංහල රාජාවලියේ රජුන් සමග  කළ අවාහ විවාහයෙන් සම්බන්ධ වෙයි.බුද්ධ ආදාහන මලුවෙහි දී ඉතිරි වුණ ද්‍රෝණයක් පමණ වූ ධාතුන් වහන්සේලා අතරින් දකුණු දළදා වහන්සේ සහ යටි වම් දළදා වහන්සේ ලංකාවට වැදගත් ව තිබූයේ මේ රාජාවලියේ අවිච්ඡින්න පැවැත්ම උදෙසාය.

    එදා දන්ත කුමරු ගුහසීව රජු වෙත පැමිණ දළදා වහන්සේ වැඩ සිටි දළදා මාළිගයෙහි තේවාව ඉල්වා අයැදීය. ශ්‍රද්ධාවන්ත බවින් උසස් ඒ තරුණයා හට ගුහසීව රජු දළදා වහන්සේ භාරකරන ලද්දේ බුදුන් වහන්සේට කරන සත්කාර සංග්‍රහ  දළදා වහන්සේ උදෙසාද කළ යුතු බැවිනි. දඹදිව බ්‍රහ්මදත්ත පරපුර පිළිබද ඉතිහාස කතාවට ලංකාවේ රජ පවුලද සම්බන්ධය.කාලිංග රජපරපුරේ චක්‍රවර්තී මහාමේඝවර්ණ චේතිය රජු ගේ පුත්‍රයා වන දධිවාහන සහ පද්මාවතී දේවියගේ විවාහයෙන් චක්‍රවර්තී කරකණ්ඩු රජ බිහිවෙයි. මේ පද්මාවතී කුමරිය ලංකාවේ කුමරියකි.කරකණ්ඩු රජු විවාහ වන්නේ ද ලංකාවේ රජ කුමරියක් වන රිතිවේගා බිසව සමගයි.. ඒ විවාහයෙන් උපන් වාසුපාල රජුට පසුව සිටි ප්‍රබලතම රජු වූයේ බ්‍රහ්මදත්ත රජුය.බ්‍රහ්ම දත්ත රජුගෙන් පසුව කාරවේලද ඉන්පසු ගුහසීව රජු ද වෙයි.ලංකාවේ රජපවුල සමග වූ දීර්ඝ කාලීන සම්බන්ධය දරන කාලිංගරජ පවුලෙන් දියණියක් වන හේමමාලියත් දන්ත කුමරියත් ලංකාවට පැමිණෙන්නේ මේ දැඩි සබඳකම් හේතු කොටගෙනය.

       දළදා වහන්සේ මුල්වරට ප්‍රාතිහාර්ය පාන ලද්දේ දළදා යුද්ධය අවස්ථාවේ දීය.දළදා වහන්සේ කිණිහිරය මත තබා විනාශ කරන්නට අර අදින විට එයින්  මෑත්ව අහසට නැගී  ප්‍රාතිහාර්ය පෑ බව දැක්විය හැකිය . දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීම සඳහා තාම්‍රලිප්ත තොටුපලෙන් නැව් නැගිමට ප්‍රථම වැලි ගොඩක දළදා වහන්සේ නිදන් කොට තබන ලදී.එහිදී නාග ලෝකයෙන් පැමිණි පණ්ඩු නම් නා රජෙකු දළදා වහන්සේ පැහැර ගෙන නාග ලෝකයට ගිය අතර ඛේම නම් රහතන් වහන්සේ ගුරුලු වෙස් ගෙන නාග ලෝකයට ගොස් ආපසු තොටුපලේ වැල්ලට පැමිණි බවත් එහිදී දළදා වහන්සේ හේමමාලාවෝ ගේ ශීර්ෂයට වැඩම කොට ප්‍රාතිහාර්ය පෑ බවත් දැක්වේ. ඉන් පසු රාජකීය යුවල ට බිහිසුණු අත්දැකීම් කීපයකටම මුහුණ දෙන්නට සිදු විය. නැව දියත් කොට දියඹේ දී ඇති වූ කුණාටුව මැඩ පවත්වා යහතින් ලංකාවේ ලංකාපටුනට ගොඩ බැසීමට හැකි වූයේ ඛෙම නම් රහතන් වහන්සෙ නිසාය.මේ රහතන් වහන්සේ බ්‍රහ්මදත්ත රජ පරපුරට ඥාති සබඳකම් ඇති භික්ෂුන්වහන්සේ නමකි.

     දළදා වහන්සේ අනුරාධපුරයට සැපත් කරවීමේ ගමනද එදා දුෂ්කර වන්නට ඇත. ලංකාපටුනේ සිට නාග දේවාලයට වැඩම කොට රැයක් එහි තබා පිටත් වූ බව ජනප්‍රවාදයේ ඇත.එම ගමන් මග පිළිබඳ ප්‍රවාදකතා බහුලය. කෙසේ වෙතත් අනුරාධපුරයට වැඩම කල දළදා වහන්සේ මහත් භක්තියෙන් මේඝ විහාරයෙහි තැන්පත් කළහ. එහිදී රාජකීයන් විස්මයට පත්කරමින් දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පෑහ.මේ ආශ්චර්යයෙන් ඔද වැඩී ගිය රජු මුලු සිංහල ද්වීපයම දළදා වහන්සේට පූජා කොට සත්කාර කළහ..

  දළදා වහන්සේ සිය සිංහසාන මස්තකයේ තබා නව කරඬුවකට ඇතුලත් කර වාර්ෂිකව අභයගිරි විහාරය දක්වා දළදා පෙරෙහැර පැවැත්වීමට රජු කටයුතු කලේය. දළදා වහන්සේ ලංකාවට වැඩම කළ දන්තකුමරු සහ හේමමාලී කුමරියට කෑගල්ල දිසාවෙන් ගම්වරයක් දී පදිංචි කල අතර එතැන් පටන් දළදා භාරකාරත්වය(දාඨා රක්ඛ ) මේ දෙපළගේ දරුවන් සහ අනතුරුව පැමිණි කාලිංග රජදරුවන් විසින් ඉසිලූ ආකාරයත් ඉතිහාසයෙන් පැහැදිලි කරගත හැකිය.     පොලොන්නරුව අවදියේ දී මහා විජයබාහු රජු අභිනව දළදා මන්දිරයක් ඉඳි කල අතර තමන්ගේ බිසව ලෙසට කාලිංග කුමරියක් ගෙන්වා ගත්තේ දළදා උරුමයට සාක්ෂි වශයෙන් බව පැහැදිලිය.පොලොන්නරු යුගයෙන් පසුව ඇතිවූ සතුරු ආක්‍රමණ හමුවේ දළදා වහන්සේ කොත්මලේ පුසුල්පිටියේ නිදන් කොට තබා මහා සංඝ රත්නය විදෙස් ගත වූ බව ඉතිහාසයේ සඳහන්ය.මේ බැව් දැන ගන්නට ලැබුනු කාලිංග විජයබාහු කුමරු ( එකල රාජ්‍යත්වයට පත්ව නොමැත ) මහත් හරසිරින් දළදා වහන්සේ බෙලිගලට වැඩමවා දළදා මැදුරක් සාදවා තැන්පත් කල බව දැක්වේ. 1226 වසරේ මැදින් මාසයේ දී බෙලිගලදී දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පාන්නට යෙදුණු බව කීරවැල්ල පරපුරේ ප්‍රවාද අතර වෙයි.විජයබාහු කුමරුට රාජ්‍යත්වය හිමි වූයේ දළදා වහන්සේ ගේ අයිතිය ලැබුණු පසුවයි.

     .අනතුරුව දෙවනි පරාක්‍රමබාහු රජු සමයේ දඹදෙණියේ දළදා මන්දිරයට වැඩම කළ දළදා වහන්සේ එහිදීද ප්‍රාතිහාර්ය පෑ බව සඳහන්ය. දඹදෙණියෙන් පසු දළදා වහන්සේ යාපහු බලකොටුවේ අභිනව දළදා මැදුරේ තැන්පත් කර තිබූ අතර සතුරු ආක්‍රමණයකින් පසු දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ පාණ්ඩව දේශයට පැහැර ගෙන ගොස් තිබේ.නමුත් දළදා භාරය ඉසිලූ පරපුරේ රාජකීයන් යාපහුවේ වැඩ සිටි දළදා වහන්සේ රහසේම ඉන් පිටමං කොට සඟවන ලදැයි ජනප්‍රවාදයේ සඳහන්ය. පාණ්ඩව රටට පැහැර ගෙන යන ලද්දේ දළදා අනුරුවකි.  බුවනෙකබාහු රජු විසින් නැවත ලංකාවට මේ ධාතුන් වහන්සේ වැඩම කරවාලූ අතර වාරයේ කුරුණැගල අසල රත් කැරැව්වේ සපු ගසක් මස්තකයේ දී දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පා ඇත.එසේ ප්‍රාතිහාර්ය පාන ලද්දේ යාපහුවෙන් රහසේම සඟවා ගෙන යන ලද  සැබෑ දළදා වහන්සේය. මේ ආකාරයට විටින් විට රට අස්ථාවර වූ කාල වකාවානු වලදී දළදා වහන්සේ සඟවන ලදහ.දළදා අනුරුවක් තබා දිව නිලමේ විසින් දළදාව දුරු රටකට ගෙන ගොස් ඇත. කෝට්ටේ යුගයේ දී එලෙස සිදු විය. කීරවැල්ල පරපුරට අයත් හිරිපිටියේ දිවන නිලමේ තුමා දළදා අනුරුවක් දළදා මැදුරේ තබා රහසේම පිටමං විය.අනතුරුව සෙංකඩගල මහනුවරට දළදා වහන්සේ වැඩම කොට රාජ්‍යත්වය උදෙසා කොනප්පු බන්ඩාර ගෙන් යම් දිවුරුමක් ලබා ගත්තේය.ඒ අවස්ථාවේ දීද දළදා වහන්සේ හිරිපිටියේ නිලමේ වරයාගේ දෑත් මස්තකයේ සිට ප්‍රාතිහාර්ය පා ඇත. අනතුරුවකොනප්පුබණ්ඩාර කුමරු පළමුවන විමලධර්මසූරිය නමින් ඔටුණු පැළඳ  දළදා මන්දිරයක් කරවා දළදා වහන්සේ එහි තැන්පත් කොට මහත්සේ සත්කාර කළහ..

         දළදා ප්‍රාතිහාර්ය වනාහි රටසෙමෙහි තබන්නට උත්සාහ කළ නරපතියන්හට ලබා දුන් ආශිර්වාදයකි.ධාර්මික පිළිවෙත මේ යැයි පෙන්වා දීමට කළ වෑයමකි.දළදා භාරය හිමි කීරවැල්ල පරපුර දිවි හිමියෙන් දළදාව ආරක්ෂා කරමින් රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත කරලීමට කැපවූ ආකාරය ඉතිහාසයේ දැක්වේ.වීරපරාක්‍රමනරේන්ද්‍ර සිංහ රජුගෙන් පසු සිංහල රාජාවලිය අවසන් විය. දළදා භාරකාරත්වය උසුලන කාලිංග පෙළපත් වන වැදින. ඉන් පසුව මේ පරපුරු වලට ඥාති සම්බන්ධ කම් දැක්වූ මහා සංඝ රත්නය දළදා භාරකාරත්වය ඉසිලූහ.එසේම දළදා තේවාව ඉටු කලහ. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේ සිල්වත් සමාගම සමග රටෙහි ධාර්මික පෙරළියක් ඇති කළහ. උපසම්පදාව ගෙන ඒමට නායක්කාර රජුගේ දෑස් පෑදුහ.

උන්වහන්සේ ගේ ශාසනික පුනර්ජීවනයෙන් පසු දළදා වහන්සේ අවසාන වශයෙන් ප්‍රාතිහාර්ය පෑ බව සැලකෙන පුස්කොළ ලේඛනයක් දැනට ජාතික ලේඛනාගාරය සතුව ඇත. එම තල්පත් ඉරු දෙකේ මෙසේ දැක්වේ.

සකල සාමාන්‍ය ගුණගනා ලංක්‍රතවූපාතරට වාසී භූත ස්ථවීර මධිම නිකාදී සැම සංඝයා ලගන්නා පිනිස ලියා එවන වදන් පත්‍රයේ වග හැටිනන් ......ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් තුන්සිය තෙශටක් වූ මෙම වර්ෂයෙහි  දුරුතු පුර විසේනිය නම් තිථිය ලත් සියාවසේ නැකත ලත් සඳු දින මධ්‍යාන වේලෙහි නොහොත් ඉර උදාවූ තෙලෙස් පැයහමාර නිසම  හරිහර ත්‍යාග රබහ පුහු සම සත සුරෙන්ද්‍ර භ්‍රනැ වන්දිත ශ්‍රී මර තර විනැ.. නෙන්ද පත ක්ෂිත ජිනේද්‍රතමයන් වහන්සේ ශ්‍රීමත් ශ්‍රී ධාංෂඨ්‍රා දළදා ස්වාමීන් වහන්සේ වැඩ හුන් නානා විධ රතන කමමාප සෝභිත රන් කරඬුවෙහි ථූපිකාග්‍රයෙන් රිදී සම සුදු බුදු රැස් කදෙන් නෙග්ගිතව මාලිගාවෙහි රන් කොත සමීපයෙන් අහසට පැන නැගී  පහලොස් බඹයක් වැඩියක් පමන අද්‍රිසපයෙන් ගොස් එතැන්හිදී සමන් මාල්රාශියක් මෙන්ද සෙවුවන්දි මල් රැසක් මෙන්ද සුදු නෙලුම් මල් රාශියක් මෙන් පොළඟුන් රැසක් මෙන්ද ඉතා සුදු බුදු රැස් කඳන් අහස් කුස බුබුළුවා ආකාසයෙන් නොපෙනෙන තැන දක්වා ඉතා උස්ව පැන නැගී විනාඩියකට වරක් දෙවරක්  වාගේ සත් පැයක් ප්‍රමාන කල් බුදු රැස් විහිදුනු හැටි දකින්ඩ ලැබුණා ඇත.ඉන් නිසා  බුදුන් ගේ මෙබඳු ප්‍රාතිහාර්යයක් මෙබඳු ආශ්චර්යක් මෙබඳු විස්මයක් මෙබඳු මහිමතාවයක් නුදුටුවෝ අවාසනාවන්තයෝයි හැඟිම්හ.

   එතකුදු වුවත් පාතරට වාසී බුද්ධාගම යාදීම්ත්වය ඇති ශ්‍රද්ධාවේ බුද්ධි සම්බේත....රදල ප්‍රධානීන් ප්‍රමුඛ කොට සියලු ස්ත්‍රී පුරුෂයන් අතුරෙහි මේ ගැන සැළ කොට කියා බුදුන් කෙරෙහි සිත් පහදවා සඟ මොක් ඉසුරට පැමිණ විය යුතුය.අපිම කීර්ති ශ්‍රී මහ වාසල රාජසිංහ මහවාසල ප්‍රස්ථාවෛහිදී බුදුරැස් වැඩිය අන්දමට මේ මෝසමෙන් බුදු රැස් වැඩම කර වදාලේ බුද්ධ ශෑශන පසු බස්නා නිසාවෙන් බව සත්තය. එ බැවින් සංඝයා වහන්සේලා එක්වී සිය අන්තේවාසිකාදී දුස් කථා පත්තියෙන් දුරුව සම්‍යක් ප්‍රතිපත්තියෙන් දාරව පිහිටා තම තමන් ආශ්‍රය කරන ගෘහස්ථ උපාසක උපාසිකා දීන්ටත් අවවාදානුශෑසන කොට සම්‍යක් පිලිවෙත්හි යොදවා ස්වර්ග සම්පත්හි ප්‍රතිලාභයට පැමිණෙන ලෙසත් උත්සාහ කටයුතුය. මේ වගදක්වාලූවෙ පෝයමළු විහාරෙ වැඩ සිටිනා වැලිවිට නායක පදවිය ලැබීතිබෙන මහානායක උන්නාන්සේය.( වර්ෂ 1819 -1822 කාලයේ මහානායක පදවිය හෙබවූ වැලිවිට සරණංකර මහනාහිමි )

         දළදා ප්‍රාතිහාර්ය පාන අවස්ථා ගණනාවකදී රජුන් ප්‍රමුඛ කොට එය සිදු වී ඇත. රජුන් ගේ ශ්‍රද්ධාවත් දළදා භාරකාරිත්වය ඉසිලූ පරපුරේ ශ්‍රද්ධාව හා කැපවීමත් නිසා මෙවැනි අශ්චර්යයන් සිදු වී තිබෙන බව පැහැදිලිය.මෙයට හේතුව දළදාවහන්සේ ට පූජා කරන ලද සිංහල ද්වීපය ආරක්ෂා වීමටත් සිංහල රාජ්‍යත්වය ආරක්ෂා වීමටත් ඉන් මග සැලසීමය. මෙම තල්පතේ සඳහන් දළදා ප්‍රාතිහාර්ය ප්‍රවෘත්තිය මීට මදක් වෙනස්ය.පරංගි සහ ලන්දේසි පස්සේ වැටී සිටි ක්‍රිස්තියානිකාර බුද්ධ ඇදහිලිවන්තයන් ගේ පූජාසත්කාරයට ලක්ව සිටි පහතරට භික්ෂු සංඝයා වහන්සේලා පැහැදවීම මෙම ලියමනේ අරමුණයි.එසේම ඉන් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තහවුරු වන බව  මල්වත්තේ පුෂ්පාරාමයේ වැලිවිට පන්සලේ වැඩසිටි  වැලිවිට සරණංකර සඝ පරපුරේ මහ නා හිමියන් දකින්නට ඇත. 1815 න් පසු දළදා වහන්සේ සඟවා ගෙන සිටි කීරවැල්ල පරපුරේ වාරියපොල සුමංගල හිමියන් සිරභාරයට ගත් පසු ඉංග්‍රීසීන් විසින් දළදා වහන්සේ ඔවුන් සන්තක කරගන්නා ලදී.අද දක්වාම මහනුවර දළදා මාළිගයෙහි වැඩ සිටිනුයේ ඒ දළදා වහන්සේය.වත්මන් ශාසනික ප්‍රබෝධය උදෙසා දළදා වහන්සේ නැවතත් ප්‍රාතිහාර්ය පෑ යුතු බව සිංහල බෞද්ධයන්ගේ අධීෂ්ඨානයයි.

 

No comments:

Post a Comment