පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, August 8, 2026

වී ගොවිතැන අන්ඩර් වැලිව් - මෝල් ඇමති සුපිරි වැලිව්

 

                            


             විදෙස් රටවලින් ගෙන්වනු ලබන අමුද්‍රව්‍ය සඳහා අඩු වටිනාකමක් පෙන්වා රේගු බදු වංචා කලැයි දක්වන ඇඟලුම් ව්‍යාපාරිකයෙකු පසුගියදා අත් අඩංගුවට පත් විය.රජයට අයවිය යුතු නියමාකාර බදු මුදල මග හැරීම ඔහුට තිබෙන චෝදනාවයි.එයට අමතරව වාහන ආනයන කරුවෙකු ද මේ වන විට අත්ඩංගුවට පත්ව තිබේ. මේ වන විට රටේ කෘෂීකර්ම ඇමතිවරයාද වී කිලෝවක මිළ ට අඩු වටිනාකමක් දී ගොවිතැන හෑල්ලු කර ඇත. ඒ අනුව රටට ලැබිය යුතු දළ ජාතික ආදායම අහිමි කිරීමට කටයුතු කරමින් ඇත.නමුත් ඔහුට චෝදනාවක් නැත. අත්අඩංගුවට පත් වීමක් ද නැත. ඔහු පවසන දෙයට විරෝධතා ගොනුවන්නේ ගොවියන්ගෙන් පමණකි.වී ගොවිතැන අන්ඩර් වැලිව් වන විට රටක් වශයෙන් අහේනියට පත් වන බව බොහෝ අයට නොතේරේ.මෙලෙස වී වලට අඩු වටිනාකමක් හිමි වීමට කාරණා කීපයක් බලපානු ලබයි. එකක් නම් වී වල ප්‍රමිතියයි. දෙවැන්න දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතියක් වශයෙන් එයට පහළ අගයක් හිමි වීමයි.තුන් වැන්න නම් අපනයනය සඳහා සහල් පදනම් කර ගත් නිමි ආහාර සඳහා රාජ්‍ය මට්ටමින් උනන්දුවක් ඇති කර නොතිබීමයි.දැන් ඉන් පළමු වැන්න බලමු.

            උතුර හා නැගෙනහිර යුද්ධය නිමා වූ පසු ඒ පෙදෙස සීඝ්‍ර ලෙසට සංවර්ධනය වීමත් ගොවිතැනට අවශ්‍ය නිදහස ලැබීමත් නිසා වර්තමානය වන විට සහලින් රට ස්වයංපෝෂිතය. එහෙත් හරිත විප්ලව ක්‍රියාදාමය මගින් අභිජනනය කරන ලද වී වර්ග අතිරික්තයෙන් කිසිම පළක් නොවේ. ඒවායේ  සංයුතියේ විකෘතිතා නිසා විදේශ රටවල් විසින් ප්‍රතික්ෂේප කිරීම මීට හේතුවයි.බතලගොඩ  පර්යේෂණ මධ්‍යස්තානය මගින් වැඩි දියුණු කරන ලද BG 1165  වී වර්ගය මගින් නිපදවන සහල් අපනයනයට සුදුසු නැත. ඊට හේතුව පිටරට වෙළෙඳ පළ තුළ ඉල්ලුමක් පවතින්නේ ඇමයිලෝස් අඩු ප්‍රතිශතයක් ඇති දිගැටි සහලට වීමයි.අම්බලන්තොට පර්යේෂණායතනය මගින් නිපදවූ AT306 AT 1382 සහ AT 105 යන වී වර්ගයන් හි මෙකී ගුණාංග පවතින නමුත් එම වර්ග ගුණනය කොට අපනයනයට සූදානම් කිරීමක් තවමත් නොමැත.ඊට හේතු කීපයකි. ලංකාවේ වීගොවීන් අතර ප්‍රචලිත පසු අස්වනු ක්‍රමයන්හි පවතින ප්‍රධාන දුබලතාවයන් මෙහිදී ප්‍රධාන වේ.එකක් නම් ගොයම් කපා පැය හතලිස් අටක් තුළ වියළා ගබඩා කිරීමක් දක්නට නොමැති වීමයි.තවමත් ඔවුන් වී වේලනු ලබනුයේ මහපාරේ හෝ කමතේ බැවිනි.

       ජගත් ප්‍රමිතිය වන (CORD X ) ක්‍රමයට අනුව  ඇපලොටොක්සීන් වැනි ධුලක මෙහි නොතිබිය යුතුය. සියයට තිස්පහක උෂ්ණත්වයක් යටතේ ආද්‍රතාවය සියයට හැටපහක් වන ලෙස පාලනය කරමින් සියයට සීයක් සවෘත ගබඩාවල වී ගබඩා නොකළහොත් මෙම ජගත් ප්‍රමීතීන් වලට අනුව වී සැපයිය නොහැකිය. ලංකාවේ පැරණි වී බිස්සේ තිබූ ප්‍රමිතියවත් අද නැත.එවිට සිදු වන්නේ ලංකාව තුළ පමණක් වී වෙළෙඳ පල හැසිරවීමට කටයුතු සැලසීම පමණකි. එහෙත් මේ වන විට බතලගොඩ පර්යේෂණායතනය මගින් ඇමයිලෝස් ප්‍රමාණය අඩුවෙන් ඇති වී වර්ග නිපදවීමට උත්සාහ දරමින් සිටී. එහි ප්‍රතිඵල නෙලා ගැනීමට කලක් ගත විය හැකිය.

  දෙවැනි කාරණය බරපතල තත්වයකි.මහ බැංකු වාර්තාවලට අනුව රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් කෘෂිකර්මය සහ ධීවර අංශය දායක වනුයේ සියයට 9.0 ක් පමණකි. ඉන් වී ගොවිතැනට හිමි වනුයේ සියයට 1.0 කි.රටේ වාර්ෂික අස්වැන්න මෙට්රික් ටොන් දශ ලක්ෂ 4.5 කි. එහෙත් වී මිළට අඩු වටිනාකමක් දීම නිසා එනම් සෑම කන්නයකදීම වී කිලෝවකට රුපියල් සීයයෙන් අඩු ලංසුවක් තැබීම නිසා වී වල සැබෑ වටිනාකම ගණනය නොවන්නේය.මේ කතාව අතීතයට සමපාත කොට  ද බැලිය හැකිය.එනම් වී අලෙවි මණ්ඩලය පිහිටුවා ලූ වකවානුවේ දේශපාලකයන් ඊට දැකුවූ ආකල්ප සැලකිල්ලට ගැනීමෙනි.        1972 දෙසැම්බර් මස 22 වෙනිදා ජාතික රාජ්‍ය සභාවේ හැන්සාඩ් වාර්තාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. නවරත්න මහතාගේ කතාවේ මෙසේ සඳහන් වී ඇත.

   ' හැමදාම ගොවිතැන් කර ජීවත් වූ මේ රටේ ගොවියා කම්මැලියකු බවට පත්වුණේ බ්‍රිතාන්‍ය අධිරාජවාදීන් මේ රට යටත් කරගත්තාට පසුවයි. අප කවුරුත් ඒක පිළිගත යුතුයි. අද ගොවියන් වී වගාවට අධෛර්ය වී සිටින්නේ වී මිලට ගැනීමේ ආණ්ඩුවේ ඒකාධිකාරයේ නිසා යයි දැදිගම ගරු මන්ත්‍රීතුමා ඩඩ්ලි සේනානායක මහතා ප්‍රකාශ කළා. එහෙත් සිදුවී තිබෙන්නේ එහි අනිත් පැත්තයි. අද ගොවියා උනන්දුවී සිටින්නේ රජය වී මිළට ගැනීමේ ඒකාධිකාරය නිසයි. මා නියෝජනය කරන්නේ ගොවියන් සීයට සීයක් සිටින ගොවි ජනපදයක්. එදා පෞද්ගලික වෙළෙන්දා  ගොවියන්ගෙන් වී මිලට ගත්තේ කීයටද.  බුසල රුපියල් පහට හයට හතට අටට විකුණන්නටයි. එදා අපේ ගොවියන්ට සිදුවුණේ. ඉතින් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බව කාටත් පේනවා. දැන් වී මණ්ඩලයට වී දීමෙන් ගොවියාට වී බුසලයකට රුපියල් දාහතර බැගින් ලබා ගන්නට පුළුවනි. බී.ජී එකොළහ ගෙනත් දෙන විට රුපියල් දාහතරක් ගොවියාට ලැබෙනවා සමහර විට රුපියල් 15ක් ලැබෙනවා. ඒ විදියට අද ආදායම වැඩි වී තිබෙනවා අද ගොවියාට ලැබෙන වැඩි මිල නිසා ධෛර්යට පත් වී තිබෙනවා .පසුගිය රජයේ අවසාන අවුරුද්දේදී වී බුසල් කෝටි හතක් ලැබුණු බව දැනගෙන ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා. ගොවීන් නිෂ්පාදනය කරන සෑම වී ඇටයක්ම රජය මගින් මිළට ගත යුතු බවයි අපි එදා කිව්වේ. එදා අප එහෙම කිව්වේ ඇයි? පෞද්ගලික වෙළඳුන් මිණිපේ ජනපදයට ආවොත් මේ රුපියල් 14 බැගින් 18 බැගින් මිලට ගත්තා. බොල් මිශ්‍ර වී පවා ඒ විදියට ගත්තා ඇයි ඒ වී අරගෙන ගිහින් එක්කෝ හොරෙන් පිටරටවලට විකුණනවා නැතිනම් මොකක් හෝ දෙයක් කරනවා. වී රට ඇතුලේ විකිණෙන්නේ නැහැ කොටින්ම ඒ කාලේ රජයට සෑම වී ප්‍රමාණයක් ම ලැබුණේ නැහැ කෝටි හත් ලක්ෂයක් ලැබුණා කීවත් පොත්පත්වල තිබෙන ගණන් හිලවූ මා විශ්වාස කරන්නේ නැහැ

       මෙම අමාත්‍යංශය යටතේ සාකච්ඡා ආරම්භ කළේ මහනුවර ගරු මන්ත්‍රීතුමා ඊ.එල් සේනානායක මහතා වන අතර එතුමා තම කතාවේ දී පණ්ඩුකාභය රජතුමා ගැන අනුරාධපුරය ගැන ධාතුසේන රජතුමා ගැන පරාක්‍රමබාහු  රජතුමා ගැන සඳහන් කළා .අපත් හැම රජ කෙනෙක් ගැනම අසා තිබෙනවා. ඉතිහාසය කියවා ඇති. කවුරුත් ඔය රජවරුන් ගැන දන්නවා රජුන් ගැන සඳහන් කරමින් එතුමා කී හැමදේකට මා එකඟ වෙනවා  1945 දී   රයිට් නැමැති කෙනෙකු ලියූ පොතක් බලාගෙන මේ රටේ වී නිෂ්පාදනය ගැන එහි  බොහොම හොඳ රෙකමදාරුවක් කර තිබෙනවා යැයිද මේ රටේ මහජනයා ගොවිතැන් කරන්නට උනන්දු කළ යුත්තේ කෙසේදැයි ඒ සඳහන් වී තිබෙනවා යයි ඒ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා. එතුමාගේ අන්න ඒ ප්‍රකාශය  නම් මාත් පිළිගන්නේ නැහැ. එයා හරි රයිට් කෙනෙක් නොවෙයි. 1815 මාර්තු මාසයේ දෙවෙනිදා මේ රට බ්‍රිතාන්‍යයට යටත් වුණා. ඉන් පසුව තමයි අපට මෙසේ සිදුවුණේ. වරක් පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී මේ රටින් හාල් පිටරට යැව්වා කියා කියනවා. එහෙත් ඔය රයිට්ලා ආවාට පසුව තමයි හාල් ගෙන විත් සත දොළහ ගණනේ විකුණා අපේ ගොවියා අධෛර්යයට පත් කලේ පිටින් හාල් ගෙනවිත්  තිබුණු නිසා තමයි  අපේ ගොවියන් අධෛර්ය වූයේ. එදා තමයි අපේ ගොවියා රෝං වුනේ. ඒ නිසා මහනුවර ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ ඒ කොටසට නම් මා එකඟ වන්නේ නැහැ.'

       මා මෙය උපුටා දක්වනුයේ 1972 දී වී අලෙවි මණ්ඩලය පිහිටුවායින් පසුව ගොවියා ශක්තිමත් වූ ආකාරය දැක්වීමට නොවේ. පසු කාලයක වී අලෙවි මණ්ඩලය බංකොලොත් වන්නට ඉඩ හැර 1995 දී පමණ ඈවර කල බව සැවොම දනී. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ගේ පාලන සමයේ දී  මෙම මණ්ඩලය නැවත ආරම්භ කළහ. වී නැවතත් මිලට ගත්හ..නමුත් 1995 න් පසුව වී වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක පහේ ධාන්‍ය අතිරික්තය නිසා පොහොසත් වී සිටින වී ව්‍යාපාරිකයන් පාලනය කරමින්  ගොවියාට සැබෑ වී මිළක් ලබා දීමට හැකියාවක් ලැබුණේ නැත.රටේ වී අතිරික්තයක් තිබුණත් විදෙස් වලින් සහල් ගෙන්වා අඩු මිලට දීම එක් හේතුවකි. 2025 වර්ෂයේ දී හාල් මෙට්රික් ටොන් එක් ලක්ෂ විසිදාහක් පමණ ආනයනය කර තිබේ. 2026 වර්ෂයේ මේ වන විට 177000 ක ප්‍රමාණයක් ආනයනය කර තිබේ. ඉන්දියාවෙන් ගෙන්වන ස්වර්ණ නාඩු යනු දෙකඩ කැඩූ සහල් ප්‍රභේදයකි.ඒවා රුපියල් දෙසීයෙන් අඩුවට ස.තො.ස. හරහා දිය හැකිය.නමුත් එහි ගුණාත්මක බවක් නැත. සම්බා සහල් දෙසිය තිහ ඉක්මවා යයි.මේම තත්වය මත රජය වී මිළ 120 ට නියම කලද ගන්නා වි ප්‍රමාණය ස්වල්පයක් වීම නිසා මෝල් හිමියන්ට අවස්ථාව ලැබී තිබේ. ඔවුහු මිළට ගන්නේ කිලෝවක් සියයටත් අඩුවෙනි. රටේ වී මිල තීරණය කරන්නේ  පසු අස්වනු තාක්ෂණ ආයතනය හෝ හෙක්ටර් කොබ්බෑකඩුව වැනි විද්‍යාත්මක ආයතන නොවේ. ඒ බැව් ඇමති තුමාද පිළීගෙන ඇත. කෘෂිකර්ම ආර්ථික අංශයෙන් මේ මිළ තීරණය කරන්නේ දේහපාලන අර්ථයෙනි.  ඒ අය සැබෑ නිෂ්පාදන වියදම හංගා වී වලට  අඩු වටිනාකමක් දී ඇත.එයට හේතුව සහල් පිරටින් ගෙන්වා පාරිභොගිකයන් සතුටු කිරීමට උත්සාහ දැරීමයි. ඒ මගින් අතරමැදියන්ට එනම් මෝල් හිමියන්ට සහ සහල් ආනයනය කරන්නන්ට ලාභ ගෙන දීම සිදු වන අතර  වී නිෂ්පාදන ආර්ථිකය බරපතල ලෙසට බිඳ වැට්ටවීමට පසුබිම සැලසේ. ගොවියා වී වගාව අත්හළහොත් ඒ ඉඩම් බහු ජාතික සමාගම් වලට ලබා දීමේ අරමුණු යටින් ඇත.

       තුන්වන කාරණය ලෙස සහල් වලට අගය එකතු කිරීම ගත හැකිය. කලකට ඉහත ලංකාවේ සහල් වලින් නූඩ්ලස් පාන් පිටි වර්ග  අයිස් ක්‍රීම් පවා හැදූ බව මතකයට නැගේ ඒ කර්මාන්ත අද කඩා වැටී ඇත. පසු අස්වනු තාක්ෂණ ආයතනය ඩ්‍රැගන් නම් වූ නූඩ්ලස් වර්ගය නිපදවන්නේ නැත. චීන රජයෙන් දුන් යන්ත්‍රය දිරාපත් වීමට ඉඩ හැර ඇත.විදෙස් වලින් සහල් ගෙන්වීමටද පවතින වී වෙළඳ පළ කඩා වැට්ටවීමට ඉඩ හැරීමට ඉඩ දීමද නිසා අගය එකතු කිරීම් ස්ථාවර නොවේ එවැනි කිර්මාන්තයක් පටන් ගන්නා ද පවත්වා ගෙන යන්නා ද අමාරුවේ වැටෙති.

      විදුලි බිල වැඩි වීම තෙල් මිළ ඉහළ යෑම ලෝක යුද්ධය ආදී කරුණු නිසා සෑම දෙයකම මිළ වැඩිවී තිබේ.කුඹුරු හෑමට  මී ගවයන් නැත. වගුරු මී ගවයා මස් කඩයට දක්කා ඇත.ඒ වෙනුවට කිරි වැඩි ගංගා මීගවයා ආනයනය කර ඇත.ඩීසල් මිල වැඩිවෙන විට පිරිවැය ඉහළ යයි. සහනාධාර දෙන්නේ මුදල් වලින් නමුත් ගොවියා පවතින වෙළඳ පලින් සියල්ල මිළට ගත යුතුයි.එවිට ගොවියාගේ නිෂ්පාදන වියදම ජීවන වියදම ඉහළ යෑම ස්වභාවිකය. මේ තත්වය හරි හැටි ගණනය නොකරයි. ගොවියා  වී අතිරික්තයක්  නිපදවූවත් තාමත් දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 1.0  ක් පමණක් හිමි කර දීමෙන් වී ගොවිතැන අනාර්ථික බවට  පත් කර තිබේ.  එම අන්ඩර් වැලිව් කිරීම නිසා රටේ මුදල් ඒකකය වන රුපියල ද අන්ඩර් වැලිව් වේ. ඩොලරයට සාපේක්ෂව රුපියල උඩට පහළ ගැනීම නිසා දළ දේශීය නිෂ්පාදිතය යන වචනය පවා හෑල්ලු වී තිබේ.වර්තමාන කෘෂිකර්ම ඇමති  නූතන ධනපති පන්තියට එකතුවූ අලුත් සාමාජිකයෙකු ලෙසට අදහස් පළ කරනු පෙනේ. මෙවැනි අය පැරණි ප්‍රභූන්ට  වඩා ගොවියා පගා දමන්නට කැමතිය. ඊට හේතුව නූතන ධනපතියන් පාලනය කරන්නේ විදෙස් බලවේග විසින් බැවිනි.තක්කඩි කතා කියමින් ගොවියාද ගොවිතැනද හෑල්ලු කරනුයේ එහෙයිනි.

මතුගම සෙනෙවිරුවන්