පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Showing posts with label පළ කළ පොත පත. Show all posts
Showing posts with label පළ කළ පොත පත. Show all posts

Friday, May 21, 2021

යාපහු නුවර පුරාණ විස්තරය

 

 


 

                                               

          ලංකාවේ රාජධානි අතර සිවුවැනි රාජධානිය යාපහුවයි. පොලොන්නරු රාජධානිය බිඳ වැටීමත් සමග ඇති වන සතුරු ආක්‍රමණ හමුවේ  සිංහල රාජ්‍යත්වය තවදුරටත් දුර්වල වී යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් වඩා ශක්තිමත් බලකොටු නගරයක් පිහුටවනු ලබන්නේ දඹදෙණියේ දීය. තෙවන විජයබාහු රජු  දළදා වහන්සේ නැවත බෙලිගලට වඩම්මවා සිංහල රාජ්‍යත්වයේ ස්ථාවරත්වය නැවත ශක්තිමත් කරලීමත් සමග දඹදෙණියේ බලකොටු රාජධානිය ඇරඹෙයි.ඉන්පසු ඔහුගේ පුත් දෙවන පරාක්‍රමබාහු රජු කාලිංග මාඝ පරදවා දඹදෙණිය සශ්‍රීක නගරයක් බවට පත් කළ බව පැහැදිලිය.ඔහුට පුත්‍රයන් දෙදෙනෙකි.සතරවන බෝසත් විජයබාහු ලෙසින් දඹදෙණියේ රජ වූයේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය.නමුත් වසර දෙකක් ඉකුත්වූ පසු මිත්‍ර නම් සෙනෙවියෙකු අතින් රජු මරණයට පත් විය. මේ වන විට රජුගේ සොහොයුරු බුවනෙකබාහු කුමරු ප්‍රාදේශීය පාලකයෙකු ලෙසින් යාපහුවේ නැවතී සිටියහ.සතරවන විජයබාහු ගේ ඇවෑමෙන් බුවනෙකබාහු කුමරු පළමුවන බුවනෙකබා ලෙසින් දඹදෙණියේ දී රජ විය. නමුත් මේ අවදියේ දිගින් දිගටම ජාවකයන් ගේ ආක්‍රමණ වලට මුහුණ දෙන්නට සිදුවිය.ජාවක චන්ද්‍රභානු පළවා හැරීමට බුවනෙකබා රජුට හැකිවූයේ   දඹදෙණියට වඩා යාපහු ගිරි දුර්ගය ශක්තිමත් බලකොටුවක් වූ බැවිනි.

    යාපහුව ක්‍රි.පූ. සියවස් ගණනාවක සිට ජනාවාස භූමියකි.යාපහු පර්වත මුදුනේ ගල්ලෙන් 40 ක් පමණ පිහිටා තිබේ.ගල්ලෙන් විසිපහක පමණ කටාරම් කොටවා ඇත. ඉන් ගල් ලෙන් තුනක ලෙන් ලිපි ඇත.පර්වත මස්තකයේ පවතින බෝධිඝරය පැරණිය.දෙතිස්ඵල බෝධින්වහන්සේ නමක් වැඩම වූ බව සිංහල බෝධිවංශ ටීකාව දක්වා ඇත. එකල මෙම පර්වතය හඳුන්වන ලද්දේ සුන්දරගිරි පව්ව යනුවෙනි. යාපහු ගිරි දුර්ගය පොළොන්නරු අවදියේ සුභ නම් සෙනෙවියෙකුට වාසස්ථානය වී ඇත.එකල එය සුභවාල සුභගිරි යනුවෙන් දක්වා ඇත. කාලිංග මාඝ ආක්‍රමණයෙන් බේරෙනු වස් ඇති කළ මේ බලකොටුව වටා මුර කපොලු රාශියක් ද විය.වලස්ගල ඉන් එකකි. අච්චගිරිය යයි ප්‍රසිද්ධ වළස්ගල ආසන්නයේ ආරණ්‍ය සේනානසනයක් ද විය.දඹදෙණි රාජධානි සමයේ දී පළමුවන බුවනෙකබා නිරිඳු මේ සුභ පර්වතය අංග සම්පූර්ණ බලකොටු නගරයක් බවට පත් කරන ලද්දේය.එලෙස සිදු වූ පරිවර්තනයට අවදි කීපයක් ගත වන්නට ඇතැයි කල්පනා කළ හැකිය.මුල් ප්‍රාග් ‌ෙඑතිහාසික ජනාවාස. පසුව අනුරාධපුර යුගයේ පූජ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය විය. පව්ව මතු පිට ගරාවැටුණු ස්ථූපයක් දක්නට ඇත්තේ එබැවිනි. අනතුරුව බලකොටුවක් වශයෙන් ගොඩනැගීම  නිසා මාළිගා ප්‍රාකාර අටලු ආදියෙන් සම්පූර්ණ විය...මෙම නුවර ගොඩ නැගූ ආකාරය දනවන අගනා පැරණි විස්තරයක් වෙයි.දෙවන පරාක්‍රමබාහු රජ දවස විසූ පූජ්‍ය ඉහළගම සංඝරක්ඛිත නායක හිමියන් විසින් රචිත යාපහු නුවර විස්තරය යනු එම අගනා ලේඛනයයි.එහි මෙසේ දැක්වේ.

    ඒ පළමුවන බුවනෙකබාහු මහරජතුමා අනුරාධපුරයෙන් අටගව්වක් ගිය තැන ඈපා මාපා ඇමතියන් පිරිවරා යාපා නමින් නුවරක් කරවන්ට පටන්ගත්තේය.විසිදාහක් පමණ ගල් වඩුවන් හා ඒ සීයක් මූලාචාරීන්  හා දෙසිය පණසක් සංගලියන් හා තුන්දහසක් සිත්තරුන් හා හතර දාහක් ගල්ගෙනෙන්නන්ද යන මේ ආදීහු අධිකාරි නිලමේ ගේ අණ පරිදි සමහරෙක් සිංහ රූප නෙලති. සමහරෙක් ව්‍යාඝ රූ නෙලති සමහරකේ හංස රූ නෙලති සමහරක් දේවරූප නෙලති සමහරෙක් බහිරව රූප නෙලති.

 


 

 

 සමහරෙක් ඉරහඳ ඡායාරූප නෙලති සමහරෙක් තෝලක්කාර රූප නෙලති සමහරෙක් දළදා ආසන නෙලති.සමහරෙක් දළදා කරඬු නෙලති. සමහරෙක් දළදා පෙරහර නෙලති. සමහරෙක් ගල් උලුවහු නෙලති.සමහරෙක් ගල්කණු කපති.සමහරෙක් ලියපත් වැල් නෙලති.සමහරෙක් ගල් පඩි කපති.සිත්තරු සිතියම් කරති.මෙකී මේ සියල්ලක්ම ගල් වැඩයි.      මෙසේ මේ සේනාව නව මහලින් යුත් මාළිගා හතරක් හා උඩුමහල්නවයක් හා බිම් මහල් නවයක් හා ඒවාට කුළු ගෙවල් පන්සීයක් හා අසූ රියන් මහ ගබඩාවක් හා පිට වාසල ගෙවල්ද නිමවා සෙලොස් රියන් උස ගල් පහුරක්ද ලෝකඩ කෝෂ්ටයක්ද රන් තොරන් දහසක්ද රිදී තොරන් දහසක්ද මෙ පරිද්දෙන් බුවනෙකබාහු නරදේවයන්වහන්සේ සියලු කටයුතු සම්පාදනය කොට නුවර මධ්‍යයෙහි කලු වැල්ල පියවා සුදු වැල්ල අතුරවා ලද පස්මල් ඉස්වා පුංකලස් තබ්බවා මාරුප්මල් කදලි තොරණාදීන් මොනවට සරසවා සඟ දහසක් රැස්කොට මහ දන්දී අනික් පිරිස තිසරණ පංචශීලයෙහි පිහිටුවා.ලීය.

     රජතුමා සොක්කන් වඩක්කන් වීරක්කන් කිලා මුක්කන් කාරික්කන් පටකඩ පට්ටෝලි දෙවාංගං දේවගිර කුජරාති  කම්බාතික මාරුපි වලිංගාදියං කංශපට සුදුපට රටපට ජිනපට කොජා සලු දීන සලු දිවයින් සලු නිල්මිණි සවඩි රන්මිනි සවඩි කේයුරාභරණ ඌරුජාල  ඉන සැද උදර බන්දන මකර බන්දන නලල්පට පාදසංකාරා පාදාභරණ පාද ජාලා කිංකිණක ජාලා පාදංගුලි පාද ජංගල් පත්‍රාවලලු සාදං මුතුදං රංදං රිදී දං මුත්හර අවුල්හර යනාදී සිව්සැට ආභරණයෙන් සැරසී සිද්ධ ඔටුණු රන් ඔටුණු මිණි ඔටුණු සත්රුවන් ඔටුණු යනාදී ඔටුණු වලින් ඔටුන්නක් ගෙන පැලඳ මගුල් කඩුව අතට ගෙන ‌ෙඑරාවතානන් හස්ති රාජයා ප්‍රධාන ඇතුන් හාරසිය අසූ නව දෙනෙක් හා අසුන් හාරසිය අසූනව දෙනෙක් හා මහත් පෙරහරින් දඹදෙණි පුරයට  පැමිණ එහි තිබුණ  දන්ත ධාතුන් වහන්සේ වැඩමවා ගෙන සමහරක් රන් කොණ්ඩි ගනිති.සමහරෙක් රිදී කොන්ඩි ගනිති.සමහරෙක් රන් සින්නන් ගනිති. සමහරෙක් රිදී සින්නන් ගනිති. සමහරෙක් රන් චාමර ගනිති.සමහරෙක් රිදී චාමර ගනිති. අහෝ සාදු අහෝ සාදු කියා මහත් පෙරහරින් යාපවු පුරවරයට පැමිණ යාපහු පුරයෙහි සත්මහල් ප්‍රාසාදයෙහි දන්තධාතුන් වහන්සේ වඩා හිඳුවා උදයට හාල් සේරු සියයක බත් වෑංජන සීයක් වර්ගයක් හා කැවිලි සීයක් වර්ගයකින් බුද්ධ පූජාව පවත්වා දහවල් දානයට හාල් සේරු පන්සියයක බත් හා වෑංජන් පන්සිය වර්ගයක් හා කැවිලි පන්සිය වර්ගයකින් බුද්ධ පූජාව පවත්වා සවස අෂ්ට විධ පාන වර්ගයෙන් ගිලන් පස බුද්ධ පූජාව පවත්වා  උදේට එක නම් ඇති මල් වර්ගයකින් මල් ලක්ෂයක් පූජා කරවීම.

    අමු කපුරෙන් පහන් ලක්ෂයයි.එළඟි තෙලෙන් පහන් ලක්ෂයයි. මෙසේ දන්තධාතූන් වහන්සේට නිසි පතා පූජා කොට. අතාවුදයෝ සළු වඩන්නෝ බුලත් වඩන්නෝ තෙල් වඩන්නෝ නානු වඩන්නෝ කපුරු වඩන්නෝ ඡත්‍ර වඩන්නෝ පවන් වඩන්නෝ කපුවෝය.කිලිංගයෝය. නැකැත්වොරුය වෙදවරුය බැට්ටවරුය පුලවරුය ගබඩා නායක බණ්ඩාරනායක රට නායක අර්ථනායක ගජනායක බදු නායක මුදලිගෙයි බාලයන් රහස්ගෙයි බාලයන් තටුගෙයි බාලයන් සවරිබාලයන් මේරු බාලයන් මල්ලවයන් අට භාගයේ මුර පිරිස් කොත්මලේ අට පෙට්ටියේ වැද්දන් මස් වැද්දන් ඔටුණු පඬිවරුන් සුද්දචාරීන් බඩාලුන් දඬුවඩුවන් ඊ වඩුවන් කුලු පොතුවන් කලල් ගසන්නන් රදවුන් ඇම්බැට්ටයන් බලි පතුවන් කාලි නටන්නන් යන මේ ආදීන් හා නුවර අවට සෙට්ටි වීථිය අගංපඩි වීථිය පරිවාර වීථිය උතුරු මධ්‍යම වීථිය යන මේ වීථි සාදවා උඩු වහල පල්ලෙ වහල උඩගම්පහ පල්ලේ ගම්පහ දිසා අදිකාරම් රැස් කරවා

 

 

 

දන්ත ධාතූන් වහන්සේ ට නැගෙනහිරින් මාහෝ හා දකුණු දිගින් ගමගොඩ හා බස්නාහිරින් රත්වෑ මියර හා උතුරු දිගින් වෑ මියර හිම්කොට කවුඩා බල්ලා කෙස්ස වටහපත ඉරහඳ කොටා දන්ත ධාතුන් වහන්සේට ගම් නියම්ගම් රාජධානි පිළිවෙලින් පූජා කොට මැඩියා වැව බඳවා යාපහු වැව බඳවා සැස්සේරුවේ ගල් පිළිමය නෙලා සීයයට විස්සක් අඩු විහර කරවා දැහැමින්  රාජ්‍යය කොට කම්වූ පරිද්දෙන් වෙසක් මස පුර පසලොස්වක් පොහෝ දින බ්‍රහස්පතින්දා විසා නැකතින් රජතුමා ස්වර්ගස්ථ වූහ.

      පළමුවන බුවනෙකුබාහු රජු දෙවනපරාක්‍රමබාහු ගේ දෙවන පුත්‍රයා වෙයි.පරාක්‍රමබාහු රජුගේ මව් බිසව වූ සෝමමාලා දේවිය දළදා වැඩමවූ කීරවැල්ලේ පරපුරේ කුමරියකි. පියා කාලිංග වංශික දළදා පරපුරට සම්බන්ධ වෙයි.මේ නිසා කොත්මලේ සඟවා තිබූ දන්තධාතුන් වහන්සේ බෙලිගලට වැඩම්මවීමත් පසුව දඹදෙණියේ තැන්පත් කරවීමත් සිදු වූයේ දළදා වහන්සේ කෙරෙහි පැවති අසීමිත භක්ත්‍යාධරයෙනි.දළදා වහන්සේ දඹදෙණියේ වත්මන් විජයසුන්දරාරාම වෙහෙර ඉදීරිපසදී රජු අභියස ප්‍රතිහාර්ය පෑ බව සඳහන්ය.මේ නිසා දළදා වහන්සේ කෙරෙහි අසීමිත ගෞරවයක් භක්තියක් ඒ පරපුරේ රජුන්ට තිබුණි.     මෙම පුස්කොළ ලේඛනයේ තිබෙන විශේෂතා කීපයකි . ඉන් එකක් නම් දළදා වහන්සේට කල බුද්ධ පූජාවයි.මෙම ලිපිය රචනා කරන ලද භික්ෂූන් වහන්සේ  සඳහන් කරන ආකාරයට  උදෑසනව ට හාල් සේරු සීයක් වෑංජන සීයක් කැවිලි සීයක් සූදානම් කරති. දහවල් දානයට හාල් සේරු පන්සීයක් වෑංජන පන්සීයක් සහ කැවිලි පන්සීයක් වෙති.යාපහුව දළදා මාළිගය සත් මහල් ප්‍රාසාදයකි.යාපහුව බලකොටුවේ රමණීය පියගැට පෙල කරණය කර කෙළින්ම ප්‍රවිෂ්ට වනුයේ මෙම දළදා මන්දිරයටයි.ඉතා දැඩි ආනතියකින් යුක්තව මේ පඩිපෙළ තනා තිබෙන්නේ සතුරන්ට ලෙහෙසියෙන් තරණය කළ නොහැකි වන ලෙසටය. මෙකී දළදා මන්දිරයේ විශාල ප්‍රමාණයක බුද්ධ පූජාවක් සකස් කරන්නට ඇත්තේ කුමක් නිසාදැයි පැනයක් නගී. වර්තමාන දළදා පූජාවට නම් ගැනෙන්නේ හාල් සේරු තිස් දෙකක් පමණි. දළදා භාර පැරණියන් පවසන පරිදි යාපහු රාජධානියේ මහා සංඝ රත්නය දළදා පූජාවට වැඩම වීම මෙහිදී සිදු කර ඇත. සැස්සේරුව ඇතුලු වෙහෙර විහාර අසූවක් පළමුවන බුවනෙකබාහු රජු විසින් තැනවීම කොට ඇත.ඒවායේ වැඩ වසන මහා සංඝරත්නය මෙන්ම දළදා තේවාවන්ට සම්බන්ධ සියලුම පුද්ගලයන් මෙම අවස්ථාවන්ට සාභාගි වී තිබේ. බුද්ධ පූජාව අවසානයේ මහ දන් පවත්වා බුද්ධ ශාසනයේ චිරස්තිථියට ආශිර්වාද කර තිබේ.

     යාපහුව නගරය පිට නගරය හා ඇතුල් නගරය යනුවෙන් දෙකට වෙන් කරනුයේ මහා ප්‍රාකාරයකිනි.මෙම ලේඛනයේ සඳහන් පරිදි ඒ කර්මාන්තය කරලීමට ගල් වඩුවන් විසිදහසක් පමණ සේවයේ යොදවා තිබුණි.එතරම් ආශ්චර්යක් සිදු වූයේ කෙලෙසකද.රජු විදෙස් සම්බන්ධ කම් පවත්වා තිබේ.චීන කාසි අඩංගු මුට්ටියක් යාපහුවෙන් ලැබී තිබෛන බව මෙහිදී දැක්විය හැකිය .වර්තමානය වන විට මේ ගල් වැඩ වල නටබුන් අප දකින්නේ බෙහෙවින් හුදකලාබවකිනි.පිට නගරයේ පවතින යාපහු මහ වැවත් මහව නගරයේ පවතින මැඩියා වැවත් රජුගේ නිර්මාණයන්ය.නැගෙනහිරෙන් මහව නගරයත් බස්නාහිරෙන් රත්වෑ මියරත් ( ප්‍රාකාරයත් ) දකුණෙන් ගම්වාසීන්ට නියමිත ගමගොඩත් උතුරෙන් යාපහු වෑ මියරත් අඩංගු සීමාව දළදා වහන්සේ වෙත පූජා කරවා තිබේ.

       බුවනෙකබාහු රජු ගේ රාජකීය වාස්ත්‍රාභරණ පිළීබඳවද ඔහුගේ නිළධාරීන් පිළිබඳවද මෙහි තිබෙන විස්තරය කුහුල දනවන සුලුය.යාපහු පුරවරය ගොඩනැන්වීමට ශිල්පීන් විසින් කරන ලද සමත්කම් අද අප දකින්නේ ඉස්තරම් කලාකෘති ලෙසිනි. බුවනෙකබාහු රජුගේ අභාවයෙන් පසුව ආර්යචක්‍රවර්තී ප්‍රධාන පාණඩ්‍ය හමුදාවක් පැමිණ  දළදා පාත්‍රා ධාතූන් වහන්සේ පැහැර ගෙන ගොස් තිබේ.නමුත් මේ කතාව පිළිබඳ දළදා භාර පරපුර පවසන්නේ මෙවැනි දෙයකි. මේ යුගයේ දළදා භාරව සිටියේ කලුගමුවේ නිලමේ නොහොත් කීරවැල්ලේ බෝපිටියේ දිව නිලමේ වරයාය. මේ දිව නිලමේ වරුන් සතුව සැම විටම දළදා අනුරුවක් තිබී ඇත.. පාණ්ඩ්‍ය ආක්‍රමණ හමුවේ බෝපිටියේ නිලමේ වරයා දළදා අනුරුව මන්දිරයේ තබා සැබෑ දළදා වහන්සේ රැගෙන සැඟවුණි.වසන් වී ගොස් දරාණේ ලෙන නම් ස්ථානයේ තැන්පත් කොට තබා තිබී ඇත. කුරුණෑගල රාජධානි සමයේ දී සතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු පොළොන්නරුවේ සිට දළදා අනුරව වඩම්මවා  පැමිණි අතර කුරූණැගල රත්කැරැව්වේ දී නැවතී සිටි තැන දී සැබෑ දළදා වහන්සේ අහසට නැගී සපු ගසක් මස්තකයේ දී  ප්‍රාතිහාර්ය පාන ලද්දේය.යාපහු රාජධානියෙන් පසුව කුරුණෑගල ශ්‍රී විභූතිය ඇරඹෙන්නේ එතැන් සිටයි.

මතුගම සෙනෙවිරුවන්

     

   

Saturday, May 8, 2021

රබර් ගසෙන් හදන අඟුරු - පස සරු කර නසයි අතුරු

 

                                   


        කාර්මික විප්ලවයේ වත්මන් ක්‍රියාකාරීත්වය අති වේගවත්ය. කර්මාන්ත ශාලා වලින් පිටකරන නොයෙකුත් විෂ වායූන් නිසා ජෛව ගෝලය විශාල විපර්යාසයකට ලක් ව ඇත. කාබන්ඩයොක්සයිඩ්  වැනි වායු විමෝචනය සීඝ්‍ර වීම ගෝලීය උණුසුම වැඩි කිරීමට විශාල පිටුවහලක් සපයයි. ජෛව ගෝලයේ මේ විෂ වායු තත්වයන් සමහන් කරන්නේ ශාඛයන් විසිනි. වෙසෙසින්ම කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගනිමින් ඔක්සිජන් වායුව පරිසරයට මුදාහරින්ට ඒවා සමත් වේ. ශාඛයක ජීව කාලය තුලදී මෙලෙස ජීව ප්‍රතික්‍රියා සිදු කරමින් තැන්පත් කර ගන්නා කාබන් ප්‍රමාණය එහි අභාවයත් සමගම ක්ෂය වීමට පටන් ගනී. මහ පොළවේ සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය මීට හේතු වේ. එවිට පරිසරයෙන් ලබා ගත් සියලු කාබන් ප්‍රමාණයන් නැවතත් පරිසරයටම මුදා හැරීමකට ලක් වේ යයි කිව හැකිය.

      දෙදාහ වසරේදී ඇමෙරිකන් විද්‍යාඥයින් කණ්ඩායමකට ඇමසන් වන්යේ දී අපූරු පස් ස්ථරයක් දක්නට ලැබුණි. එහි විශාල අඟුරු ප්‍රමාණයක් තැන්පත්ව තිබුණි. විමර්ශනය කිරීමේ හෙළි වූයේ මෙම වනයේ ජීවත් වූ වෙසෙසි ජන කොට්ඨාශයක් විසින් සිය කෘෂිකර්ම හා ජීවන කටයුතු වලදී භාවිතා කළ අඟුරු මෙලෙස තැන්පත්ව තිබූ බවයි. මේවා වසර හත්දහසක් පමණ පැරණි අඟුරු බවට  සොයා ගෙන ඇත. මේ නිසා2004 වසර වන විට විද්‍යාඥයින් ගේ අවධානය මීට යොමු වී පර්යේෂණ ආරම්භ විය. ශාඛයක  ජීවිත කාලය තුලදී තැන්පත් වන කාබන් වලින් සියයට පණහක් පමණ  ක්ෂය නොවී ජීව අඟුරු වශයෙන් ස්ථායිව  රැස් කරතබා ගත හැකි බව මෙහිදී සොයා ගන්නා ලදී.

     අගලවත්තේ ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ ශාක පෝෂණ හා පාංශු විද්‍යා අංශය විසින් මේ පිළිබඳව පර්යේෂණ ආරම්භ කරන්නේ 2005 වර්ෂයේ දී පමණය. එහි ප්‍රධාන පර්යේෂණ නිළධාරී සමන් ධර්මකීර්ති මහතා බතීගම විදුහලෙන්  දික්වැල්ල විජිත මහ විදුහලෙන් හා මාතර රාහුල විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාංශු විද්‍යාව පිළිබඳව ගෞරව උපාධිය ලබා ගන්නේ 1991 වසරේ දීය.එම වසරේම රබර් පර්යේෂණායතනයට සම්බන්ධ වී 2002 වසර වන විට සිය ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කර ගැනීමට සමත් වන්නේ පාංශු විද්‍යාව පදනම් කොට ගෙනයි. සමන් ධරමකීර්ති මහතා රබර් පර්යේෂණායතනයට ඇතුලත් වන යුගය එහි ස්වර්ණමය අවධියෙකි. එහි අධ්‍යක්ෂ වරුන් වශයෙන් සිටි ආචාර්ය තිලකරත්න හා ආචාර්ය නුගවෙල යන මහත්වරුන් ගේ මග පෙන්වීම යටතේ රබර් වගා කේෂ්ත්‍රයේ වෙසෙසි පර්යේෂණ කටයුතු දියත්ව තිබුණි.නව නිපයුම් රැසක් ම එකළ බිහිවූ බව කිව යුතුය. ඒ පසුබිම යටතේ සිය නව පර්යේෂණ දියත් කිරීමට ධර්මකීර්ති මහතාට හැකිවිය. පාංශු පෝෂණයට මෙන්ම ගෝලීය උණුසුම අඩු කිරීමට ජීව අගුරු වල දායකත්වය ලබා ගත හැකි බව ලොව පුරා කරන ලද පර්යේෂණ රබර් වගා කේෂ්ත්‍රයේ අත්හදා බැලීම ඔහුගේ බලාපොරොත්තුව විය.

        දහනව වන සියවසේ රබර්වගාව ලංකාවට හඳන්වාදීමත් සමගම ලංකාවේ කෘෂීකර්මයේ සිදු වූ විප්ලවය රටේ කාර්මික කේෂත්‍රයේ ද මහා පරිවර්තනයකට මග පෑදීය. රබර් වගාව තෙත් වනාන්තර පරසරයට ගැලපී යාම නිසා එහි දිගුකාලීන ප්‍රයෝජන රැසක් දක්නට හැකි විය.    වනාන්තරයක තිබෙන ස්වභාවික ශක්තිය මගින් කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගැනීම නිරන්තරයෙන් සිදු වේ. වනාන්තර වැඩි වශයෙන් තිබෙන ඝර්මකලාපීය රටවල් වලට මේ සඳහා කාර්මික රටවලින් ගෙවීමක් කිරීමට නීති රීති සැකසී ඇත. රබර් ද වැසි වනාන්තරයක් බැවින් අනාගතයේ දී එය පැතිර පවතින රටවලටද එම හිමිකම ලැබිය හැකිය. සමන් ධරමකීර්ති මහතාගේ පර්යේෂණ කේෂ්ත්‍රය පුලුල් කිරීමට මේ සංකල්පය ද ඉවහල් විය. රබර් ගස සිය ජීවිත කාලය පුරාවට උරා ගන්නා කාබන් ප්‍රමාණය දර වශයෙන් අලු බවට පත් වීමෙන් හෝ දිරාපත් වීමෙන් ශුන්‍ය වීම පාලනය කරන්නට නම් ජීව අඟුරු භාවිතය දිරි ගැන්විය යුතු බව ඔහුගේ අදහස විය.

   වසර තිහක පමණ ආයු කාලයකින් පසු රබර් ගස දර වශයෙන් ප්‍රයෝජනයට ගැනෙයි. රබර් කම්හල් වල බේකරි වල තේ කම්හල් වල ප්‍රධාන ඉන්ධනය වන්නේ රබර්මුල් හා දර කොටන්ය. රබර් පර්යේෂණායතනයේ රබර් කම්හලේ පෝරණුව තුල මේ පර්යේෂණ මගින් අඟුරු නිර්මාණයට කුටීරයක් තැනුණි. සෙන්ටිග්‍රේඩ් 600 ට පමණ උෂ්ණත්වය ඉහළ නැගීමක් සිදු වන කල්හි රබර් කම්හලට අවශ්‍ය තාපය ජනිත වෙයි. ඒ සමගම මේ නිර්වායු කුටීරය තුල සියයට විසිපහක පමණ ප්‍රමාණයක් ජීව අගුරු ඉතිරි වෙයි. සමන් ධර්මකීර්ති මහතාගේ නව නිර්මාණය වන්නේ මෙම ජීව අඟුරු තිර කරලීමේ තාක්ෂණයයි. ජීව අඟුරු සකස් කරලීමට ප්‍රශස්ථ උෂ්ණත්වය වන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 450 කි. එයට අඩු උෂ්ණත්වයක දී වුවද ජීව අගුරු සෑදිය හැකිය. දහයියා ලීකුඩු හා පරිසරයේ තිබෙන ශාක කොටස් රාශියක්ම මෙලෙස ජීව අඟුරු නිෂ්පාදනයට යොදා ගත හැකි බවට ධර්මකීර්ති මහතාගේ පර්යේෂණ වලින්  ඔප්පු වී ඇත.

  වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මගින්  2010 වසරේ දී පවත්වනු ලැබූ වැවිලි භෝග සම්මණ්ත්‍රණයේ දී රබර් වැවිලි කේෂ්ත්‍රයේ හොඳම පර්යේෂණය ලෙසට මෙය සම්මානයට පාත්‍ර විය. රබර් තවාන් සඳහා මෙන්ම රබර් පැළ සඳහා පාංශු පෝෂක ද්‍රව්‍යයක් ලෙසට යොදා ගැනීමට තිබෙන හැකියාව විශාල බව මෙම පර්යේෂණය තුලින් තව දුරටත් සනාථ වී තිබේ. වසර දෙකක් පමණ වැඩුණු පැළයකට කිලෝ දෙකක් පමණ යෙදිය හැකිය. මෙම ජීව අඟුරු යෙදීමෙන් පොස්පරස් පොටෑසියම් මැග්නීසියම් කැල්සියම් යන පෝෂක ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රබර් ගසකට ලබා ගත හැකි බව මූලික පර්යේෂණ වලින් තහවුරු කර ගැනීමට සමත් වී තිබේ.ඒ අනුව පොස්පරස් හා  පොටෑසියම් යෙදීම සියයට සියයකින්ම අඩු කර ගත හැකි වේ. එම දායකත්වය නිසා මෙම පර්යේෂණය රබර්වගා කරුවන් අතර ද කම්හල් හිමියන් අතර ද ඉක්මනින් ජනප්‍රිය වේ යයි විශ්වාශයක් ඇත

                             මතුගම සෙනෙවිරුවන්

   

 

 

Saturday, April 10, 2021

මරණ පරීක්ෂක(මුස්ලිම් ) තනතුර සහ ආණ්ඩුවේ වර්ගවාදය

 

 

 


                            

         හදිසි මරණ පරීක්ෂකවරු සඳහා තනතුරු බිහි කිරීම සිදු වන්නේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 108 වගන්තිය අනුවයි. සිවිල් පුරවැසියන්ගෙන් තෝරාගත් උගත් බුද්ධිමත් පුද්ගලයන්  සීමිත පොලිස් බලතල සහිතව මෙම තනතුරට  පත්කිරීමට  අධිකරණ ඇමතිවරයාට බලය හිමිවී තිබේ.මෙම තනතුර සඳහා පඩිනඩි සැපයීමක් සිදු නොවන අතර හදිසි මරණයකදී කරන ලද පරීක්ෂණයකින් අනතුරුව ලබා දෙන වාර්තාව උදෙසා යම් දීමනාවක් ගෙවනු ලබයි. ඒ අනුව මෙම තනතුරු ගරු කටයුතුය.බුහුමන් ලබන්නකි.වගකීමක් ඇති බැවින් තනතුර හොබවන පුද්ගලයා සමාජයේ පිළිගත් තැනැත්තෙකු බවට තක්සේරුවක් තිබිය යුතුය. මරණ පරීක්ෂණයකදී යම් තැනැත්තෙකුගෙන් සාක්ෂියක් ලබා ගැනීමට බලය පාවිච්චි කිරීමටද එලෙස සාක්ෂි දීම පැහැර හරින්නකුට විරුද්ධව වරෙන්තුවක් නිකුත් කරලීමටද මෙම මරණ පරීක්ෂක වරයාට හැකිය.

      වර්තමානයේ පවතින කොවිඩ් තත්වය හේතුවෙන් මෙම හදිසි මරණ පරීක්ෂක වරුන්ට කාර්ය බහුල වී තිබේ.මරණයට පත් වූ රෝගියෙකු පරීක්ෂා කොට පී.සී.ආර්. කොට මිනිය නිදහස් කරලීමේ භාරධූර කටයුත්තේ කොටසක් ඔවුන් වෙත පැවරී තිබේ. අධිකරණ අමාත්‍යංශය පවසන පරිදි දිවයිනේ කොට්ඨාශ ගණනාවකම මෙම තනතුර සඳහා පුරප්පාඩු 297 ක් ඇතිව තිබේ. මේ නිසා පුරප්පාඩු පිරවීමට අමාත්‍යංශයේ ලේකම් වරයා‌ගේ අත්සනින් යුතුව 2021 පෙබරවාරි 01 දාතම යටතේ අයැදුම්පත් කැඳවීමක් අන්තර්ජාලය තුළ පළ කර තිබේ.මෙම අයැදුම්පත් කැඳවීම අනුව හදිසි මරණ පරීක්ෂක වරයෙකු වීමට සුදුසුකම් හයක් සම්පූර්ණ කළ යුතුය.ඉන් වගන්ති පහකම කියැවෙන්නේ සාමාන්‍ය වශයෙන් තනතුරක් හෙබවීමට පළ කරන පොදු සුදුසුකම්ය.නමුත් සයවන වගන්තිය තුළ කියැවෙන්නේ හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම් ) තනතුර සඳහා සුදුසුකමක් වශයෙන් දෙමළ භාෂාව කතාකිරීම හා ලිවීම අවශ්‍ය බවයි. මෙම ප්‍රකාශනයෙන් කාරණා දෙකක් ගම්‍ය වෙයි. එකක් නම් පොදුවේ හදිසි මරණ පරීක්ෂක තනතුරු වලට අමතරව මුස්ලිම් ජනතාවට ආවේණික මරණ පරීක්ෂක තනතුරක්ද ඇති බවයි.එසේම මෙම අපේක්ෂකයාට දෙමළ භාෂාව ලිවීම හා කතා කිරීමටද හැකියාව තිබිය  යුතුබව කියැවෙයි.සැබවින්ම මෙම පළ කිරීම තුළින් ආණ්ඩුවේ අමාත්‍යංශයක වර්ගවාදය එළියට පැමිණ තිබේ.පොදුවේ සිංහල ජනතාවට මේ මගින් වෙනස්කමක් සිදු කර ඇති අතර දෙමළ භාෂාව ස්වකීය භාෂාව වශයෙන් භාවිතා කරන දෙමළ පුද්ගලයන්ටද වෙනස් කමක් ඇති කර තිබේ.මරණ පරීක්ෂක (මුස්ලිම් ) තනතුර නිසා ඔවුන්ටද මේ තනතුරට ඉල්ලීම් කල නොහැකිය.මෙලෙස මරණ පරීක්ෂකවරුන් පත්කිරීම සම්බන්ධව ජනතාවගේ බලවත් විරෝධය පසුගිය කාලයේ එල්ල විය. අනතුරුව අධිකරණ අමත්‍යංශයේ මාධ්‍ය ලේකම් වරයා මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරන ලද්දේය. එහි සඳහන්ව තිබුණේ 2018  දී එවකට සිටි අධිකරණ අමාත්‍යවරිය විසින් කමිටුවක් පත්කරන ලද අතර එහි නිර්දේශ මත මෙය සිදු කළ බවත්ය.මෙම තනතුර අලුතින් ඇතිකරන ලද්දක් නොවන බවද එහි දක්වා තිබේ.



    1979 න් පසු දිවයින පුරාම පත්කරන ලද හදිසි මරණ පරීක්ෂක වරු සමාජයට පොදු කාර්ය භාරයක් ඉටු කරන ලදහ.මුස්ලිම් ජනගහනය වැඩි පෙදෙස් වල පවා ඔවුහු අගනා කාර්යයක් ඉෂ්ඨ කර ඇත. ඔවුන් ගේ සාමාජිකයන් ගෙන් සැදුම් ලත් මරණ පරීක්ෂක සංගමක් තිබෙන අතර එහි ලේකම්වරයා මුස්ලිම් පුද්ගලයෙකු බව මෙහිදී සඳහන් කළ යුතුය.

සාමාන්‍යයෙන් මුස්ලිම් ජන සමාජය තුළ තිබෙන මත කීපයක් මෙහිදී ගෙනහැර දැක්වීම කාලෝචිතය. පුද්ගලයෙකු මරණයට පත් වූ විට පැය විසිහතරක් ඇතුලත භූමදාන කටයුතු කළ යුතු බවට ඔවුන් ගේ ආගාමික සංස්කෘතික නීතියයි.එසේම මිය ගිය පුද්ගලයා කතා බහ නොකළද ඇසි පිය නොගැසුවද මෘත ශරීරයට සියලු දැනීම් ඇති බවටද විශ්වාසයක් ඇත. මේ තත්වය තුළ මුස්ලිම් පුද්ගලයෙකු හදිසි මරණයකට පත් වූ පසු මරණ පරීක්ෂණ පැවැත්වීමත් මිනිය කැපීමත් නොකළ යුතු බවට දැඩි මතයක සිටී.මේ නිසා යම් මරණ පරීක්ෂකවරයෙකු එලෙස කිරීමට තැත්කළ විට එයට දැඩි විරෝධය පළ කොට කෙසේ හෝ එය වැළැක්වීම ට උත්සාහ දරති.බේරුවල ප්‍රදේශයේ 19 හැවිරිදි මුස්ලිම් ගැහැණ ළමයෙකු හදිසියේ මිය ගියේය. මරණයට ආසන්නම සිද්දිය වූයේ ඇයගේ මාමා විසින් ලබා දුන් තල කැරැල්ලකි.මෙහිදී මෙම මරණය සැක සහිත බැවින් මරණ පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්යයනේම සිදු විය යුතු විය.එසේ නැතහොත් දැරියගේ මාමා සහ තල කැරලි විකුණූ වෙළෙන්දාද නිෂ්පාදකයාද චූදිතයන් බවට පත් වේ. මෙහි තර්කානූකූල බව එසේ වුවත් දැරියගේ ඥාතීන් මිනිය කැපීමට දැඩි ලෙසට විරුද්ධ විය.නමුත් මරණ පරීක්ෂක වරයාගේ සෘජු තීන්දුව මත මිනිය විවර කොට බැලුණි.එහිදී  අධිකරණ වෛද්‍යවරයා ගේ නිගමනය වූයේ දැරිය හදිසි හෘද්‍යාබාධයකින් මිය ගිය බවයි. මෙහිදී දැරියගේ මාමා මෙන්ම අනෙකුත් චූදිතයන් දෙදෙනාම සැකයකින් තොරව නිදහස් විය.නමුත් මුස්ලිම් සමාජය මෙම තර්කානූකූල බව පිළිගන්නේ නැත. අතැම් මරණ පරීක්ෂක වරු මුස්ලිම් පුද්ගලයන් හදිසි මරණයකට පත් වූ කල්හි අල්ලස් ලබාගෙන මිනිය නිදහස් කරන අවස්ථා නැත්තේ නොවේ. නමුත් බහුතරයක් මරණ පරීක්ෂක වරු එලෙස කරන්නේ නැත. එයට හේතුව මෙම තනතුර වගකීම් සහිත ගෞරවනීය තනතුරක් වීමයි.

           2018 දී හිටපු අධිකරණ අමාත්‍යවරිය විසින් පත් කරන ලද කමිටුව ඉදිරියේ සාකච්ඡා කරන්නට යෙදී ඇත්තේ මෙවැනි ප්‍රායෝගික කරුණුය.හදිසි මරණ පරීක්ෂක සංගමයේ ලේකම් වරයාද මුස්ලිම් පුද්ගලයෙකු බැවින් මුස්ලිම ජන සමාජයේ ඉල්ලීම් වලට වැඩි බරක් ලැබෙන්නට ඇත. නමුත් වගකිව යුතු රජයක් ඇමතිවරයෙකු සහ ලේකම් වරයෙකු ගේ කාර්ය භාරය විය යුත්තේ යම් ජන සමාජයක පවතින පිළිගත නොහැකි අන්තවාදී ඉල්ලීම් වලට ඉඩ දීම නොවේ.මරණ පරීක්ෂකවරු පොදුවේ පත් කරන කල්හි. සියලුම ජන කොටස් වලට ගැලපෙන පරිදි එම තනතුර සකස් කිරීම ඔවුන්ගේ වගකීමයි.මෙලෙස එක් වර්ගයක ජන කොටසකට ආවේණික පුද්ගලයන් පත් කිරීමෙන් සිදු වන අනර්ථය මෙම වගකිව යුත්තන් හට තේරී නොමැත. එකක් නම් මුස්ලිම් පුද්ගලයෙකු අන්‍යජාතික කාන්තාවක් විවාහ කරගෙන ඇති අවස්ථාවක ඔහුගේ අඩන්තේට්ටම නිසා ඇය මිය ගිය හොත් මරණ පරීක්ෂණයක් සිදු නොකරම වළ දැමීමට ක්‍රියාකිරීමට මේ පසුබිම මත හැකිවීමයි.එසේම යම් මුස්ලිම් කාන්තාවක් අන්‍ය ජාතිකයෙකු සමග ප්‍රේම සම්බන්ධතා පවත්වන විට ඇය ශරියා නීතය අනුව මරණයට පත් කොට මරණ පරීක්ෂණයක් සිදු නොකරම වළ දැමීමට තිබෙන ඉඩකඩයි. ලංකාවේ පමණක් නොව ඇමරිකාවේ පවා මුස්ලිම් තරුණියන් අනාරක්ෂිත බව පැවසෙන්නේ මෙම ශරියා නීතියේ බලපුලුවන්කාරකම නිසාය.දැනටමත් කාති උසාවි හරහා මුස්ලිම් කාන්තාවන්ට විශාල අසාධාරණයක් සිදු වේ.ග්‍රාම නිළධාරී කොට්ඨාශයක මුස්ලිම් ජනගහනය 5000 කට වැඩි නම් මුස්ලිම් මරණ පරීක්ෂක වරයෙකු පත් කල යුතු බවට ද යම් යෝජනාවක් පැමිණ තිබෙන බවද දැන ගන්නට ඇත.මෙය  භයානක තත්වයකි. මේ මගින් දිවයින පුරා ම ආවරණය වන පරිදි මුස්ලිම් ජන කොටස් වෙනම අනන්‍යතාවක් සහිත පුද්ගලයන් ලෙසට වර්ග වේ. මෙම පියවර  සහාරාන්ලා බිහි කිරීමට පසුබිම සලසන වර්ග වාදයකි.

  වර්ෂ 1806 සිට මුස්ලිම් විවාහ දේපළ නීතය ස්ථාපිත කොට ගෙන පැමිණි මුස්ලිම් විශේෂ නීති පිළිබඳ ක්‍රියාකාරිත්වය නිදහසින් පසු ස්වදේශික ආණ්ඩු විසින් තවදුරටත් පෝෂණය කර ඇත. මෙරට අධිකරණ පද්ධතියට මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙකුම පත් විය. ඒ අවස්ථා දෙකෙහෙදීම සිදු වූයේ බහුතර සිංහල ජනතාගේ වරප්‍රසාද කප්පාදු කරමින් ඔවුන් ගේ ජන වර්ගයට සාධාරණයක් ඉටු කර ගැනීමයි.නීති විදයාලයේ සිංහල බසින් ඉගෙනීමටත් විභාගයට ලිවීමත් යන දෙකම මෙම ඇමතිවරු දෙපළ විසින් අවලංගු කර ඇත.වර්තමාන අධිකරණ ඇමතිවරයා තමන්ගේ බල පරාසය තුළ ඉතා සූක්ෂමව කටයුතු කරනු පෙනෙන්නට තිබේ.එක් අතකින් මුස්ලිම් පිරිසට රැකියා සපයා දීමට අවස්ථාව සලසන අතර ඒ මගින් මුස්ලිම් වැඩි පිරිසක් සිටින ගම්වල ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අනුබල දෙයි.පාස්කු ප්‍රහාරයෙන් සිංහල දේශපාලකයන් ඉගෙන නොගත් පාඩම නම් මුස්ලිම් දේශපාලකයන් හුරතල් කිරීමේ අනර්ථයයි.එය විසින් සමස්ත සමාජයම අනතුරකට පත් කර තිබේ.

 මතුගම සෙනෙවිරුවන්

Tuesday, October 16, 2012

නවතම පොත් -2012 සැප්තැම්බර්



හෙළ බදාම වරුණ ග්‍රන්ථයේ තෙවනි මුද්‍රණය දැන් නිකුත් වී ඇත. සම්බුද්ධ ජයන්ති මන්දිරය මැදිමාල බෞද්ධ මධ්‍යස්ථානය නුගේගොඩ සරසවි පොත් හල සහ නුගේ ගොඩ කියවන නුවණ පොත් හලෙන් මෙම කෘතිය මිළදී ගත හැකිය.
මෙම කෘතියේ අඩංගු වන්නේ ගෘහ නිර්මාණ ශිල්පයේ දී වෙසෙසින්ම බදාම සකස් කිරීමේ දී ලංකාවේ ශිල්පීන් භාවිතා කල පාරම්පරික දැනුමයි. දළදා මාළිගාව ලංකා තිලක විහාරය යන ඓතිහාසික ස්ථානයන්හි අත්දැකීම් ඇසුරෙන් මෙය සකස් කර ඇත.

Wednesday, March 7, 2012

කතුවරයාගේ කෘති අට වැන්න

සංචාරක සටහන් ----------                     සත්කාර සංග්‍රහ

මුල් පළ කෙරුම -----------                     2002 අගෝස්තු

උපුටනය ------------------                     පටුන

                                                               *අපෙ මුතුන් මිත්තෝ ගතට හිතකර අහර ගත්තෝ
                                                               *කෙට්ටුවට හොඳයි අපේ කුරහන් පිට්ටු
                                                               * කැහැටු අඟනන්ට දිව බෙහෙතකි හෙරලී
                                                               *අතපය සවි ඇත එළවුලු කනකොට
                                                               *මෙකී අල සියල ඇති විය සිහළ මිහිතල
                                                               *නෑයින් දකින කැඩපත වැනි කපු හේන
                                                               *අලු ගෝමර පෙති ගොමර දයි අව්වේ

                                                               ** මිහිරි රසැති අහර පිසිමින් සුන්දර සිහින ආශ්වාදනය කරමින් දරු සෙනෙහස සමග හුරතල් වෙමින් ගැමි ලියන් ගත කළ ජීවිතය සිංහල බෞද්ධ සාර ධර්මයන් විසින් හැඩ ගසවන ලද්දකි. මේ කවිය ඇයගේ දහිරිය ද සුන්දරත්වය ද කියාපාන්නකි.
ලා සක් විතර වී අව්වේ            වනලා
දෙලෙසක් විතර පෙති ගෝමර ඉසීලා
අතක් දිගට නිල් වරලස            මිදීලා
කෙනෙක් හිඳිති හිමි එනතුරු  බලාලා

කතුවරයාගේ කෘති සත්වැන්න

ඉතිහාසය --------------                            කූරගල ශ්‍රී පාද දිවා ගුහාව

මුල් පළ කෙරුම --------                            2003 සැප්තැම්බර්

උපුටනය ---------------                            පටුන
                                                                 * ශ්‍රී පාද වන්දනාවේ ප්‍රභවය
                                                                 *ශ්‍රී පාද ලාංඡන පිහිට වූ තැන්
                                                                 *මක්කම සිරි පතුල හා මහමදාගම
                                                                 *කූරගල ප්‍රාග් ඉතිහාසය
                                                                 *කූරගල හෙවත් රාවන රජුගේ ලංකා පුරය
                                                                 *කූරගල ගල්ලෙන් තපෝවන ආරණ්‍ය සේනාසනය
                                                                 *කූරගල දිවා ගුහාව අබෞද්ධයින් සතු වීම

*සාර සංඛ්‍ය පෙරුමන් පුරමින් පාරමිතා දස              බලයෙන්     දා
  නොහැරම බුදු බව පතමින් බෝසත් තිලොවට බුදුවන මන නන් දා
  ගෝර බලැති රුපු බිඳහැර බෝසත් පාරමිතා දස බලයෙන්         දා
  සාර උතුම් සිරි පතුල් පිහිටුවේ කුහරේගල පිට        මන       නන්දා

කතුවරයාගේ කෘති සත් වැන්න

ඉතිහාසය -----------                      සිංහල ජාතිය රැකුමට සිංහල රජ සිරිත

මුල් පළ කෙරුම -----                     1999 නොවැම්බර්

උපුටනය ------------                     1/ සිංහල රජ වංශයේ මූලාරම්භය
                                                      2/ සිංහල රාජ වංශයේ පැතිරියාව
                                                      3/සිංහල රාජ වංශයේ බිඳ වැටීම
                                                      4/සිංහල ජාතිය රැකුමට සිංහලරජ සිරිත

                                                      සිංහල ක්ෂත්‍රිය මන්ඩල වරිග සභාවේ පංච තන්ත්‍රය
                                                     * ආර්යයන්ගේ පැවැත්මේ සම්ප්‍රදායේ චාරිත්‍ර වාරිත්‍ර දිරියට පවත්වා ගෙන යාමට ක්ෂත්‍රියන්ගේ මෙතෙක් පැවත් ආ රාජකීයන් තුලින් වූ විවාහයන් ඉදිරියට පවත්වමින් ඒ අනුව පැවති උරුමය මත  වූ තනතුරු අදාල ක්ෂත්‍රීය පරපුරු වෙත පිරි නැමීම.
*එම තනතුරු හෙබවීමේ  චාරිත්‍ර වලදී ශිව විෂ්ණූ මහා බ්‍රහ්ම පැරණි දේව සම්ප්‍රදාය අභිබවා සිංහල ථෙරවාදී බෞද්ධ දර්ශණය නිර්මලව  ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දිය යුත්තේ මතු බුදු වීමට පාරමී ධර්ම සපුරන අවලොකිතේෂ්වර නාථ දෙවිඳුන් ඉදිරියේ දී සහ රාජකීයන් හා වන්නි වරු ඇතුලු රට කෝරලේ රදළ වරු ඉදිරිපිටදීය.
** වත්මන් ජනසම්මත වාදය(DEMOCRACY) සහ මෙකී රාජ වංශික පාලනය අතර සහජීවනයක් ඇති කිරීමේ පරමාර්ථ සාධනය සඳහා  උපයෝගී කර ගන්නා දර්ශණය කුමක් ද.
** වත්මන් පාලකයින් ගේ නිර්මාතෘ වරුන් වන චන්ද දායකයින්ට ජන සම්මත වාදී සංකල්පයන් ගැන අධ්‍යාපනයක් නොදෙන්නේ නම් එම ව්‍යුහය පරිහරණය කිරීමට ශක්තියක් නැති බව ඡන්ද දායකයිනටම හැඟී යන බව නූතන සත්‍යයයි. මේ නිසා අද සර්ව ජන චන්දය රටට ශාපයක් වී ඇත්තේය. දහකින් කෙනෙකු පාලකයෙකු වන්නේ ජන සම්මත විනාශ කර දමමිනි. නමුත් සූර්ය වංශික කුමාරයෙකුට හිස නැමීමේ සම්ප්‍රදාය නැවත බිහි කලහොත් ජන සම්මත වාදයට ද නව වටිනාකමක් හිමි කල හැකිය.


Saturday, March 3, 2012

කතුවරයාගේ කෘති සය වැන්න

ගෘහ නිර්මාණ ශීල්පය---------         හෙළ බදාම වරුණ

පළමු පඝ කෙරුම ------------          1998 ජූනි

දෙවන පළ කෙරුම ----------           2001 දෙසැම්බර්


උපුටනය --------------------- බදාම වට්ටෝරුව
                                               බොරලු අස් කරන ලද මැදි පමණ වූ වැලි
                                               පොල් කොහු ඉඹුල් පුලුන්
                                               දහයියා වී පොතු
                                               ඉදුණු ඇඹුල් කෙසෙල් හා අලු හුණු
                                               වැලි සෑහෙන පමණ ද ඊට අඩුවෙන් පොල් කොහු ද ඊට අඩුවෙන්  ඉඹුල් පුලුන්                                                ද ඊට අඩු වෙන් වී පොතු ද ඊට අඩුවෙන් දහයියා අලු ද ප්‍රමාණවත් පරිදි ගෙන                                                 එකට කලවන්කර වලක දමා වතුර වත් කර සිලුම ද්‍රව්‍ය හොඳට අනා දින තුනක්
                                               තිබෙන්නට හැර ඊට පසු ඉටි පදම එන තුරු මෝල් ගසකින් කොටා කටු මාරන්
                                               ගැසිය හැකිය.

Tuesday, February 21, 2012

කතුවරයාගේ කෘති පස් වැන්න

වාස්තු විද්‍යාව ----------                      සිංහල වාස්තු කිරිත්තම

මුල් පළ කෙරුම --------                                               1998

උපුටා ගැනීම -----------    වාස්තු නිර්මාණ කලාවත් ඊට පසුබිම් වන වාස්තු විද්‍යාවත් නිරනතරයෙන්ම 
                                         සමාජ   සම්ප්‍රදායන්ගෙන් පෝෂණය වනවා මෙන්ම ඒවා බිහි කරන්නටත් පවත්වා 
                                         ගන්නටත් රුකුල් දෙයි. මේ හේතුව නිසා කිසියම් සමාජයක සංස්කෘතිය හා 
                                         සම්ප්‍රදායය වාස්තු  නිර්මාණ තුලින් අපූරුවට පිළිබිඹු වෙයි. හෙළ වාස්තු නිර්මාණ 
                                         තුලින් අප දකින්නේ සමාජ සංස්කෘතියට නෑකම් කියන ආකල්ප මත හා 
                                         සංස්කෘතිය සම්ප්‍රදායන්ය.මේ සම්ප්‍රදායන්හි පැවැත්ම ,නිර්මාණ කලාව මෙන්ම 
                                         දේශිය  අනන්‍යතාවය ද ඔප මට්ටම් කරයි. මතුගම සෙනෙවිරුවන් විසින අධ්‍යනය 
                                         කොට   අප වෙත ඉදිරිපත් කෙරෙන මේ ග්‍රන්ථය තුලින් අප හඳුනා ගන්නා , වාස්තු
                                         නිර්මාණ සම්ප්‍රදායන් අපේ වාස්තු නිර්මාණ කලාවේ අනන්‍යතාවය හඳුනා
                                         ගන්නටත් එය ඉදිරියට ගෙන යන්නටත් රුකුලක් වනවා නොඅනුමානය.

                                         ආචාර්ය රංජිත් දයාරත්න
                                         වාස්තු විද්‍යා ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය 

 

Monday, February 20, 2012

කතුවරයාගේ කෘති සිවු වැන්න

ගොවිතැන ----            බිත්තර වී ශිල්පය

මුල් පළ කෙරුම ------                  1995
දෙවනි පළ කෙරුම ---                  1999


ඇතුලු මැය -----------  වී ගෙඩිය
                                    බිජු තර කිරීමේ තරම
                                    පොහොර කිරීම
                                    පැල හැදීම
                                    රෝග පිරික්සුම
                                    ඉර හඳ ගොවිතැන
                                    කොළ දින් කිරීම
                                    ගබඩා කිරීම

උපුටා ගැනීම --------- බිත්තර වී යනු මොනවා ද -
                                   පැරණි සිංහලයින් ගේ බසේ වන් හුරුව අනුව සලකතොත් බිත්තර යන පදය සකස වැ 
                                   පවතින්නේ මෙලෙසයි.
                                   බිජු (බීජය හෝ ඇටය)
                                   තර  ( තර කිරීම)
                                   බිජු තර --බිත්තර
                                   වී ගෙඩිය බීජයෙකි. එය තර කිරීමේ ශිල්පය සෑම ගොවියෙකුම දැන සිටිය යුත්තකි. ඒ
                                   මන්ද ගොවිතැනේ සාරවත් භාවයට අවශය පළමු සාධකය එය බැවිනි. එසේම ඒ    
                                  ශිල්පය අපේ මුතුන් මිත්තන් වසින් සිය පරම්පරා ගත ඉතිහාසය තුල දී එත් රැස් කර ගත්
                                  දැනුමක් ලෙසින් සැලකෙන හෙයිනි

කුවරයාගේ කෘති තෙවැන්න

විමසුම් ------- සුළ මුල 

මුල් පළ කෙරුම -------                                           1988

ඇතුලු මැය ------------ සිවු හෙළ සිංහල
                                    මැජික් ලන්තෑරුම
                                    නෙස්ලේ සීයාගේ සුරංගනා කතා
                                    වෙලෙඳුන්ට අනුව යන ළඳුන්
                                    කැවුතු සතුන්
                                    බඩු මුට්ටු කළ මට්ටු
                                    දෙවියන්ගේ සම්මතය

උපුටා ගැනීම - 1 ----- කිරි ගිතෙල් වෙඬරු හා
                                   දිය ලූ දී කිරි මෝරුවෙන්
                                   සියෙ දූ රස ගුණ ගතට
                                   සැපයෙකි බලයෙකි මහත්

                                   බෙලි පත් මද මල හා
                                   ඉර මුසු පොල් පලා තැම්බූ දියෙන්
                                   සැදුණු ඔසු පැන් සුව ගෙනෙයි
                                   රසයි බීමෙන් සැපයි

                                   ෆැන්ටා ටොනික් පිටි කිරි පිරි බඩ
                                   ඇඹුල් වැ කැටිවැ ලෙඩ වඩයි
                                   විදැ වෙළෙඳුන් ඉන් මහත් වෙයි
                                   හෙළ රටින් අදම දුරු කළ යුතුයි.
                                     



Sunday, February 19, 2012

කතුවරයාගේ කෘති දෙවැන්න

කවි ------- බලව සගයිනි පිපෙයි ඉරමල,
                  නව කවීන් එකොලොස් දෙනකු සමග

මුල් පළ කෙරුම ------- 1982

උපුටා ගැනීම අංක 1-------    දුක් ගන්නා රාළ

                                             මහත් වියවුලක ලකුණු දකින්නට ඇත
                                             හැර දමා ගොස් ඇත මුරකාවල්
                                             හිස් ලූ ලූ අත දිව යන්නට ඇත නිවැසියෝ
                                             පැමිණි කළ වියරුව කැරලි කරුවන්

                                             සෙව්වේය ඔහු බරාඳ පුරා දිව යමින්
                                             කාමර එකින් එක විවර කරමින්
                                             රහස් උමගයෙන් පලා ගොස් ඇති බව දකිමින්
                                             අවසානයේ නතරවිය මහත් විස්සෝපයෙන්

                                             දං ගෙඩියට ගෙන යන ඇහැලේපොල දරුවන්
                                             දුටු මතින් කෝපයෙන් වියරුවුණු මහ රජුන්
                                             ගිලන් කල්හි අසලටව දිවා රෑ නොබලමින්
                                             සිටියේය ඔහු මහත් සේ දුක් ගනිමින්

                                             අතරමංව පෑරුණු සිතින් මහ මගට බසිමින්
                                             යන විට ඉබා ගාතේ දෙකකුල් පැටලී ඇද වැටෙමින්
                                             ලං වූයේ මගියෙකි නැගිටුවාගෙන වාරුවෙන්
                                             දිය පොදක් එක් කලේ මහත් වූ දයාවෙන්

                                             පියවි සිහි ලද කල්හි මග වූ මුලක හිඳ ගනිමින්
                                             මගියා අතගත්තේ දෙන්නටයරන් මසුරන්
                                             සැනෙකින් දැනී අතට කර ගැට පොකුරක පහස
                                             කෙමෙන් ඔහු තේරුම්  ගනියි
                                             ලොවෙහි සිටින බව තවත් දුක් විඳින්නන්

                                             අස් වැද්දූ කුඹුරු රටක සාගින්න වෙනුවෙන්
                                             හෙලූ දහදිය බිඳක අගය වටහා දෙමින්
                                             ඒ අතරම පෑ දයාව තම සෙහොයුරන් වෙනුවෙන්
                                             දුකක් නොව සතුටකැයි අසා
                                             සිප ගත්තේය ඔහු , ඒ දෑතම සෙනෙහසින්

කතුවරයාගේ කෘති


 කවි  -------------  ගඟ පිටාර ගලා ඇත,
                              ලක්ෂ්මන් කහට පිටිය සහ ඉන්ද්‍රා කුමාරී වීරකෝන් සමග

මුල් පළ කෙරුම ------------ 1980

උපුටා ගැනීම-1          ප්‍රාර්ථනා           -         දේදුනු පාටැති සැන්දෑ යාමෙක
                                                                           මළ හිරු සැඟවෙන සිතිජ ඉමේ
                                                                           බලා සිටින්නෙමි ඉරබටු තරුවේ
                                                                           ඔබ මා හමුවෙනා තුරා

                                                                           පොකුරු පොකුරු මල් විකසිත පඳුරක
                                                                           ගොලු බව බිඳෙනා සුලු මොහොතක් ගැන
                                                                           බලා සිටින්නෙමි ඉරබටු තරුවේ
                                                                           ඔබ මා හමු වෙනා තුරා

                                                                           සමන් පිච්ච මල් අත්ල පුරා ගෙන
                                                                           දළදා සමිඳුන් වඳින්න යන්නට
                                                                           බලා සිටින්නෙමි පුරා හඳේ
                                                                           ඔබ මා හමු වනා තුරා

                                                                           අකලට වියලුන ගසක ඉපල්ලක
                                                                           තනිවු කුරුල්ලෙකු දකින දෙනෙත් හැර
                                                                           බලා සිටිනනෙමි වසත් සඳේ
                                                                           ඔබ මා හමු වනා තුරා