පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, January 19, 2016

මහා සංඝ රත්නයේ ව්‍යවස්ථා යෝජනා රාජරත්න සභාගත කරයි

                         


           සිරිමාවෝ බණ්ඩාරනායක රජය නවසිය හැටේ සහ හැටපහ අතර කාලය තුළ ජනතාවට පිරිමහින ප්‍රගතිශීලී වැඩ කොටස් රාශියක් ඉටුකළහ. ඒ අතරින් සිංහල රාජ්‍ය භාෂාව බවට පත්වීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය  ක්‍රියාමාර්ග දියත් කිරීම ප්‍රධාන වේ.  මැතිණියගේ නායකත්වයෙන්  විශාල වැඩ කොටසක් ඉටු කෙරුණද ඇතැම් අනවශ්‍ය තීන්දු තීරණ නිසා රජය අප්‍රසාදයට පත් විය. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම රජයට පවරා ගැනීම සඳහා ඉදිරිපත් කල යෝජනාවෙන් සිරිමා  රජය පරාජයට පත් වූයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ පණතට විරුද්ධව කේ.එම්.පී.රාජරත්න මහතා චන්දය භාවිතා කලේය.ඊට හේතුව ඔහු දැක්වූ ස්වාධීන මතයයි. 1965 මැතිවරණයෙන් රාජරත්න මහතා පරාජයට පත්වීමට ආසන්නම හේතුව එය නොවේ. ඔහු යටතේම දේශපාලනයේ අත් පොත් තැබූ පර්සි සමරවීර මහතාට එක්සත් ජාතික පක්ෂය උදව් කිරීමයි.රාජරත්න මහතා නොකී කතාවකට මාධ්‍ය විසින් ප්‍රසිද්ධිය ලබා දීම නිසා ජනතාව අතර අප්‍රසාදයට පත් කිරීම එ.ජා.ප යේ එක් පියවරක් විය. කෙසේ වෙතත් අළුතෙන් පත්වූ ඩඩ්ලි සේනානායක රජයේ හිත දිනාගෙන සිටි රාජරත්න මහතා නිසා වැලිමඩ සහ ඌව පරණගම සිටි ඔහුගේ හිතවතුන්ද එක්සත් ජාතික පක්ෂයට ළබැඳිව කටයුතු කළ බව රාජරත්න මහතාගේ සමීපතමයෙකු වන මුහන්දිරම්ලාගේ කළුබණ්ඩා මහතා පවසයි.රාජරත්න මහතා දේශපාලනයෙන් සමුගෙන අධිනීතිඥවරයෙකු ලෙසට කටයුතු කළ අවදිය දක්වාම ඔහු සෙවණැල්ලක් මෙන් සිටි හිතෛෂි වන්තයෙකි.  
      ජාතික විමුක්ති පෙරමුණෙන් තරඟ කළද  සිරිමා රජයේ මන්ත්‍රීවරයෙකු වූ රාජරත්න මහතා වැලිමඩ ආසනයට සරිලන සේවයක් කිරීමටද අමතක නොකලේය. තමා අධ්‍යාපනය ලැබූ පළමු විදුහල වූ දඹවින්න විදුහල වැලිමඩ මධ්‍යමහා විද්‍යාලය බොරලන්ද විදුහල දිග්ගහපිටිය විදුහල වැනි විද්‍යාල රාශියකටම අඩුපාඩුවක් වූ ගොඩනැගිලි පහසුකම් ඇති කර දීමට ඔහුට පිළිවන් විය. බණ්ඩාරවෙල ගුරු විදුහල ආරම්භ කරන ලද්දේ ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩු කාලයේදීය. ඒ සඳහා රාජරත්න මහතාගේ දායකත්වය ඉතා ඉහළින්ම විය.හැටේ දශකයට ප්‍රථම වැලිමඩ ප්‍රදේශය සාම්ප්‍රදායික ගොවිතැනින් යැපුණු ග්‍රාමීය පළාතක් විය. රාජරත්න මහතාගේ පියා වන ගංඇතිගේ අප්පුහාමි මහතා ඌව කොළතැන්න නමින් තේ කම්හලක් ආරම්භ කොට ඉංග්‍රීසීන් අභිබවා ගියේ මේ ආර්ථිකය වෙනස් කරන්නටයි.රාජරත්න මහතා මේ ඉඩම් ඇතැම් විට සිය හිතවතුන්ට බෙදා දුන්නේ නොමිලේ බව මුහන්දිරම් මහතා පවසයි. මැතිවරණ වලට වියදම් කිරීට ඇතැම් විට මේ ඉඩ කඩම් විකුණා දැමීය. වැලිමඩ ප්‍රදේශයේ අල වගාව නැන්වීමට රාජරත්න මහතා මුල් වූ බවද සාම්ප්‍රදායික ගොවියා ඉදිරියට ගෙන ඒමට කැපවූ බවද අද බොහෝ දෙනට අමතකය.ඔහුගෙන් ඉඩම් ලබාගෙන ගොවිතැනින් පොහොසත් වූ අය රාජරත්න මහතාට විරුද්ධව චන්දය භාවිතා  කලේ කළ ගුණ නොදත් පුද්ගලයනි මෙනි. ඒ පක්ෂ දේශපාලනයේ ස්වභාවයයි.
      1970 වසරේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට පත් වූ රාජරත්න මහතා එහිදී ඉදිරිපත් කළ අදහස් මගින් රට තුළ මෙන්ම රජය  තුළද විශේෂ වෙනසක් ඇති කරන්නට සමත් විය. ස්ත්‍රී දූෂකයන්ට සහ මිනී මරුවන්ට මැති සභයට පැමිණීමට හැකි වන පරිදි පනතක් සම්මත කිරීමට උත්සාහ දරද්දී එයට සහමුලින්ම විරුද්ධ වූයේ කේ.එම්.පී.රාජරත්න මහතාය. මේ එදා ඔහු කළ කතාවයි.
        අප වෙත ඉදිරිපත් කරන ලද පළමු වැනි පණත ගෙනාවේ මීනීමරුවන්ටත් ස්ත්‍රී දූෂකයන්ටත් මැති සභයට එන්න පුලුවන් තත්ත්වයක් ඇති කිරීම සඳහාය. ඒ පණත ප්‍රගතිශීලී පණතකැයි යමෙක් කියනවානම් ඔහු පිස්සෙක් මුග්ධයෙක් බේබද්දෙක් වන්ට ඕනෑ. ඒ පණත තරම් මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මැති ඇමතිවරුන්ට චන්ද දායකයන්ට හා ඔවුන්ගේ බුද්ධියට අවමාන කළ පණතක් මේ රටේ ඉදිරිපත් වී නැහැ.1972 ජනරජ ව්‍යවස්ථාව සකස් කරන  කල්හි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් පත් කරන ලදී. මේ මණ්ඩලයය විසින් ගෙනා යෝජනා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සම්මත විය යුතු විය. මෙහිදී රජරත්න මහතා කළ කතා මගින් පැහැදිලි කරන ලද්දේ ව්‍යවස්ථා සම්පදානය සඳහා භික්ෂූන් වන්සේලාට ද අයිතියක් තිබෙන බවයි. 1970 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී දිනමිණ පත්‍රයේ පළවූ වාර්තාවන් උපුටා දක්වමින් කතා කල රාජරත්න මහතා අස්ගිරි මල්වතු අමර පුර සහ රාමඤ්ඤ යන ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය විසින්  ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතු යෝජනා ගැන පළ කරන ලද අදහස් රාශියක් සෙනට් මන්ත්‍රී මන්ඩලය ඉදිරියේ සභාගත කළේය.  1970 ඔක්කෝබර් මස 17 දාතම සහිතව එය සෙනට් මන්ත්‍රී මණ්ඩලයේ තිස් වන වෙළුමට ඇතුලත් කර තිබේ. එහිදී  අස්ගිරි මහානායක අතිපූජ්‍ය ගොඩමුන්නේ ධම්මා නන්ද මල්වතු විහාරයේ මහානායක අතිපූජ්‍ය මඩුගල්ලේ ධම්මසිද්ධි ප්‍රමුඛ කොට ගත් උභය විහාරීය මහා සංඝ රත්නය  විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අතර තිබූ වටිනා අදහස් කීපයක් මෙසේ දැක්විය හැකිය.

1/ රජයේ ප්‍රධානියා සේනා සම්මත ජනාධිපති විය යුතුය.
2/ සිංහල බෞද්ධ රටක් වශයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති නිසාද බහුතර ජනතාව සිංහල බෞද්ධයන් වන නිසාද රටේ ප්‍රධනියා  බෞද්ධයෙක් ම විය යුතුය යන සම්මතය අවුරුදු දෙදහසකට වැඩි කලක පටන් පැවති නිසාද ජනාධිපතිවරයා සිංහල බෞද්ධයෙකු විය යුතුය.
3/ අති දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා ද්විපයෙහි ජනතාවගේ සදාචාරය සභ්‍යත්වය සංස්කෘතිය සාහිත්‍යය කලාශිල්ප අධ්‍යාත්මික ගුණ වගාව යනාදිය සංවර්ධනය කිරීමේලා උපයෝගී වූ අසහාය බලවේගය බවට සිද්ධානත්ව පවත්නා බුද්ධ ශාසනයද එහි කටයුතුද සංඝයා වහන්සේලාද පූජනීය වස්තූ සහ විහාරස්ථනයන්ද වත් පිළිවෙත් පුද පූජා අඛණ්ඩව පැවැත්වීමට සලස්වා තිබෙන විධිවිධානයන්ද සිංහල රජ කාලයේ මෙන්ම අනාගතයෙහි ද ස්ථීරව පැවැත්වීමට සහ ආරක්ෂා කිරීමද මෙම රජය විසින් කළ යුතු වේ.
4/ ආගමික කටයුතු පිළිබඳව බුද්ධගමට සහ සංඝයා වහන්සේලාටද බෞද්ධයන්ටද අවුරුදු දහස් ගණනක් මුලුල්ලේ හිමිව තිබුණ විදේශීය පාලන යුගයෙහි නැතිවී ගිය සාධාරණ හිමි කම් වරප්‍රසාද හා විශේෂ සහනයන් මේ රජය විසින් තහවුරු කරනු ලැබේ.ඒ සඳහා අවශ්‍ය විධිවිදාන සැලැස්වීමේදී මේ රටේ පවත්නා ආගම් බුද්ධාගම හා සම තත්ත්වයෙන් නොසලකනු ලැබිය යුතුය.
5/ සංඝයා වහන්සේලාගේ විනය කර්ම චිරාගත සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍ර නිකාය පාලක සංඝ සභා නොහොත් පාලක මණ්ඩලය එහි අභ්‍යන්තර කටයුතු යන මේවා කෙරෙහි බලපානා අණ පණත් රෙගුලාසි ව්‍යවස්ථා ආඥා ව්‍යවස්ථාදායක මණ්ඩලය හෙවත් රජය විසින් නොපැනවිය යුතුය.
රාජරත්න මහතා විසින් සභාගත කළ අනෙක් යෝජනා අතර ශ්‍රීලංකා රාමඤ්ඤ නිකායේ කාරක  සංඝ සභා රැස්වීමේදී ගත් තීරණයක්ද විය.1970 /9/20 දිනමිණ පත්‍රයේ පළවූ එය යොජනා 11 කින් සමන්විත විය.එම යෝජනා සකස් කරන ලද්දේ රාමඤ්ඤ මහා නිකායේ මහා නායකව සිටි දීපේගොඩ චන්ද විමල හිමියන් සහ ගැටඹේ රාජෝපවනාරාමාධිපති ලබුදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේලා ගේ මූලිකත්වයෙනි. එම යොජනා අතරින් කීපයක් මෙසේය.
1/ ලංකාවේ එකම රාජ්‍ය භාෂාව සිංහල විය යුතුය. ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව අභිනව ආණ්ඩුක්‍රම පනතින් ප්‍රකාශයට පත් විය යුතුය. ප්‍රජා පාලනය පිලිබඳ බෞද්ධ මූල ධර්ම පදනම් කොට අභිනව ආණ්ඩු ක්‍රම පණත සකස් විය යුතුය.
2/ ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති ධූරයද අග්‍රාමාතය  පදවියද සිංහල බෞද්ධයෙකු සතු විය යුතුය. අභිනව ජන රජය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ඒකීය පාලන ක්‍රමයක් විය යුතුය.
3/ 1815 උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය වැනි බුද්ධ ශාසනයද බෞද්ධ සංස්කෘතියට අයත් අංගෝපාංගයන්ද ආරක්ෂා කිරීමේ ප්‍රතිඥාවක් ආණ්ඩුක්‍රම පණතෙහි අතුලත් විය යුතුය.
4/ බෝ පත් සතර සහිත පැරණි සිංහ කොඩිය අභිනව ජනරජයේ කොඩිය විය යුතුය.
5/ නව ආණ්ඩුක්‍රම පනත යටතේ රාජ්‍යෝපදේශක මන්ඩලයක් පිහිටු විය යුතුය. අභිනව ජනරජය යටතේ ධර්මාමාත්‍ය පදවියක් ඇති කොට සියලු ආගමික කටයුතු ඒ හා සම්බන්ධ කටයුතුය.
6/ සිංහලයාට අයත් සාධාරණ තැන ලාබා දෙනු පිණිස තාවකාලිකව හෝ ජාතින්ගේ අනුපාතය අනුව පොදු අයිතිවාසිකම් බෙදී යන නීති රීති අභිනව ආණ්ඩුක්‍රම පනතෙහි ඇතුලත් විය යුතුය.
        රාමඤ්ඤ නිකායට පසු අමරපුර නිකායට අයත් මහා සංඝරත්නය රැස්වී ආණ්ඩුක්‍රම මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාද සභාගත කෙරිණ. ඒ වායින් සමහරක් මෙසේය.
1/ බුද්ධාගම රාජ්‍ය ආගම කල යුතු අතර සිංහල භාෂාව නියම වශයෙන්ම රාජ්‍ය භාෂාව කළ යුතුය.
2/ පක්ෂ දේශපාලනය අහෝසි කළ යුතු අතර මහජන චන්දයෙන් තෝරා පත් කෙරෙන සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙකු පත් කළ යුතුය.
         ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයට අමතරව රත්තොට ප්‍රාදේශිය මහා සංඝ සභාව  වයඹ පළාතේ ත්‍රෛනිකායික සංඝ සභාව   වැනි සංඝ සභාවන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉතා වැදගත් යෝජනා කීපයක්ද රාජරත්න මහතා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ සභා ගත කරන ලද්දේය. ඒ යෝජනා අතර ද ඉතා වැදගත් අදහස් රාශියක් විය. ඒ මෙසේය.
1/ තෙරුවන් සන්තක දේපළ අන්සතු වීම වළක්වන නීති රීති සකස් විය යුතුය.
2/තුන් නිකායේ පාලක මූලස්ථාන මගින් ඒ ඒ නිකායික භික්ෂූන් පිළිබඳව පොදු නීති මාලා ( කතිකාවත්) සම්පාදනය කරවා සම්මත කළ යුතුය.
3/ අලුත් ජන රජයට අනුශාසනා කිරීමට රාජ්‍යානුශාසනා උත්තරීතර මණ්ඩලයක් පිහිටවනු ලැබිය යුතුය.
4/ 1958 පනවන ලද කුඹුරු පනතින් සඟසතු දේපල වලට හානි වී ඇති හෙයින් එසේ නොවන පරිදි අඳ ගොවියාගෙන් ඒවා මුදා ගැනීම සඳහා නීති සම්පාදනය කල යුතුය.
5 / ජන රජය බෞද්ධ ප්‍රතිපත්ති පසුබිම් කොට ගත් බෞද්ධ රාජ්‍යයක් ලෙස පිහිටුවීමට කටයුතු කළ යුතුය.
  මෙම යෝජනා සියල්ලේම සාරංශය වශයෙන් ගත් කල්හි ලංකාව බෞද්ධ රටක් බවට  නැවත පත් කිරීම මහා සංඝරත්නයේ මූලික අභිලාශයයි. රාජ්‍ය නායකයා බෞද්ධයෙකු වීමත් ප්‍රධාන භාෂාව සිංහල වීමත් කඩ කල නොහැකි කොන්දෙසි වේ. ඒකීය රාජ්‍ය සංකල්පයද මෙයට ඇතුළත් වේ.ත්‍රෛයිනිකායික මහා  සංඝ රත්නය තුළින් මතු වූ මේ යෝජනා පත්‍රවල පළ වූ නමුත් ආණ්ඩු ක්‍රම සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් වූ නමුත් එතරම් සැලකිල්ලකින් ඒ දෙස බැලීමක් එකළ නොවූ බව පෙනේ. නමුත් මේවා සභාගත කොට එයට පිළිගැනීමත් ලබා දී ඇත්තේ කේ.එම්. පී.රාජරත්න මහතා විසිනි. රෙජිනෝල්ඩ් පෙරේරා වැනි සෙනෙට් මන්ත්‍රී වරුන් මෙම යෝජනා වලට  කලේ කල අකලේ යයි සිනාසුණ ආකාරයද සෙනෙට් වාර්තා වල දක්වා තිබේ. කෙසේ වෙතත් ව්‍යවස්ථා සම්පාදනයේදී අතීත රජදරුවන්ගේ සිට භික්ෂූන් වහන්සේලා ගේ දායකත්වය සහ අනුශාසක්තවය ලැබුණු බව ප්‍රකට කිරීමට මෙම සභාගත කිරීම බෙහෙවින්ම වැදගත් වූ බව කිව යුතුය.වසර හතලිස් පහකට පසුව  වර්තමානයේ ව්‍යවස්ථා සම්පාදනයක් සිදු කිරීමට අර අඳී. කලින් සකස් කරන ලද කෙටුම්පතකට මහජන අදහස් එහෙන් මෙහෙන් ලබා ගෙන ආණ්ඩු ක්‍රම සම්පාදකයන්ගේ වුවමනාවන් සම්මත කර ගැනිම මෙහි අභිප්‍රායයි. මහානායක හිමිවරුන් ගෙන් විශේෂ යෝජනා ලබා ගැනීමක් මෙහිදී සිදු වන්නේ නැත. එම නිසා අතීත ආදර්ශයන් පදනම් කොට ගෙන   ත්‍රෛනිකායික මහා සංඝ රත්නයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය යෙන්ම සිදු විය යුත්තේය. කේ.එම්.පී.රාජරත්න මහතා එදා සිදු කළ සභාගත කිරීමට වටිනාකමක් සහ ගෞරවයක් හිමිවන්නේ එවිටයි..

2016/01/18 දිවයින



Friday, January 15, 2016

රාජ්‍යත්වය පෙර සිරිත සහ කතිකාවත්

                                        

                 ලංකාවේ රාජ්‍යත්වයට දිගු ඉතිහාසයක් ඇත. අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහයන් එක් දහස් අටසිය පහළොවේ දී අත්අඩංගුවට පත් කොට ගෙන පිටුවල් කිරීමෙන් පසු මෙහි ගොඩ නැගී තිබූ රාජ්‍යත්වය අහෝසි විය. අනතුරුව උඩරට රදළයින් හා ගිවිසුමකට එළඹුණු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට යටත් කර ගන්නා ලදී. ලංකාවේ රාජ්‍යත්වය අහෝසි වී 2015 වසරට වසර දෙසීයක් ගත වෙයි. 1972 ජන රජ ව්‍යවස්ථාව අනුව ලංකාවේ ජනාධිපති තනතුරක් ඇති කරන ලදී.අනතුරුව 1978 ව්‍යවස්ථාව අනුව එය සංශෝධනය කරමින් විධායක බලැති ජනාධිපතිවරයෙකු ද පත් විය. මේ අර්ථයෙන් ගත් කල්හි ලංකාවේ වර්තමානයේ රාජ්‍ය පාලනයේ ප්‍රධනියා වශයෙන් කටයුතු කරන්නේ රාජ්‍යත්වයට සමාන කම් ඇති තනතුරකින්ද යන්න මතු කළ හැකිය. එයට හේතුව වර්තමානය තුල රටේ බොහෝ තීන්දු තීරණ තනිවම උසුලන්නේ ජනාධිපතිවරයා වීමයි. රටේ ඉඩකඩම් පවා අවශ්‍ය පරිදි අන්සන්තක කරලීමට අවශ්‍ය ගිවිසුම් වලට යන්නේද ජනාධිපතිවරයාය. ගාලු මුව දොර පිටියේ හමුදාව පදිංචි වී සිටි ඉඩමෙන් කොටසක් චීන සමාගමකට බදු දීම උදාහරණයක් ලෙසට ගත හැකිය. මෙය අපට සිහිපත් කරන්නේ කෝට්ටේ යුගයේ දී විදේශිකයින්ට නින්දගම් පවරාදීමයි. 
           ලංකාවේ පැවති රාජ්‍යත්වය පිළිබඳව වැටහීමක් වර්තමාන ජනතාව සතුව නැත. වැඩවසම් යුගයක පැවති නෂ්ඨවූ සාම්ප්‍රදායික පාලන තන්ත්‍රයක් ලෙසට ඇතැම් අය හඳුන්වා දී තිබුණද ලෝකයේ ප්‍රජාත්නත්‍රීය සමාජ අතරින් ප්‍රමුඛ යයි සැලකෙන බ්‍රිතාන්‍යයේ ද වඩා ධනවත් යයි සැලකෙන ජපානයේ ද රටේ ප්‍රධාන පුද්ගලයා ලෙසට සැලකෙන්නේ රජුය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය හා රාජ්‍යත්වය අතර ගැටුමක් ඇතිකර ගැනීමට ඒ රටවල් උත්සාහ නොගනිති. නේපාලයේ ද රජ්‍යත්වය මෑතක් වන් තුරු පැවතියද ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා එම ක්‍රමය පෙරළා දැමීමට රටෙන්ම පැන නැගුණු බලවේග සමත් විය. කලකට ඉහත සිකීම් රාජ්‍යයේ පැවති රාජාණ්ඩුව ද පෙරළා රට ඉන්දීය ප්‍රාන්තයක් බවට පත් කරලීමට ඉන්දීය රජය කටයුතු කළ ආකාරය ද මෙහිදී සිහිපත් කළයුතු වෙයි.
               රාජාණ්ඩුවක් යනු හිතුවක්කාර අත්තනෝමතික පාලනයක් ලෙසට වර්තමානයේ දී සැලකුවද එය එසේ නොවේ. රාජාණ්ඩු සම්ප්‍රදාය පිළිබඳව දිගු ඉතිහාසයකට හිමිකම් කිව හැකි ශ්‍රි ලංකාවේ ඉන්දියාවේ රාජ්‍ය පාලනයටද වඩා අනන්‍යතාවයක් තිබූ බව ප්‍රකටය. ඊට හේතුව එය සිංහල බෞද්ධ රාජ්‍යයක් වීමයි. මෙයට අභාෂය ඇතිකරගන්නා ලද්දේ අශෝක ධර්ම රාජ්‍ය පාලනයෙන් බව සැබවි. නමුත් ලංකාවේ සම්ප්‍රදාය එයම නොවීය. එයට සාක්ෂි සපයන වැදගත් ම ලේඛනය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ ඕලන්ද ජාතික ආණ්ඩු කාරවරයෙකු වූ විලියම් ෆැල්ක්ය. 1769  වර්ෂයේ දී මල්වතු විහාරයේ සංඝ සභාව වෙත එම ආණ්ඩුකාරවයා  විසින් ඉදිරිපත් කරනු ලැබු ප්‍රශ්ණ මාලාවකට දුන් පිළිතුරු මෙම ලේඛනයට ඇතුලත් වේ. එය ලංකාවේ රජ සිරිත් හා  ලෝකචාරිත්‍ර යනුවෙන් හැඳින්වුණි. එම ලියවිල්ල බ්‍රිතාන්‍ය  පුස්තකාලයේ තිබි වියතුන් ගේ සැලකිල්ලට භාජනය විය. අනතුරුව මහාචාර්ය අභය ආර්යසිංහ මහතා විසින් එය සිංහලට පෙරළා 1985 වසරේ දී මුද්‍රණයෙන් පළ කර තිබේ.
            වර්තමානයේ රජය එක් අතකින් ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් පත් කරමින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ වුවමනාවෙන් සිටී. අනෙක් අතිකින් සංඝයා වහන්සේලා ගේ නොමනා ක්‍රියා නතර කරලීම උදෙසා යයි කියමින් කතිකාවත්  ලියාපදිංච කරලීමේ නීති රීති ගෙන එන්නට පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කර තිබේ.මේ තත්ත්වය තුළ සංඝ සභා වල හෝ නිකායන්හි විනය නීති නොහොත් පෙර සිරිත් නීතිරීති ගැන ලියූ විවරණයන් සාකච්ඡා කිරීම වැදගත්යයි සිතමි. එයට හේතුව ජේ.ආර්.ජයවර්ධන රජයේ අගවිනිසුරු වරයාව සිටි නෙවිල් සමරකෝන් මහතා ඉහතකී අගනා ග්‍රන්ථයට ලියූ වෙසෙසි ප්‍රස්ථාවනාව තුළ අපට අවශ්‍ය ප්‍රවේශය සටහන්ව තිබීමයි. එහි මෙසේ සඳහන්ය.
    ‘ ආරෝවන් විසඳීම සඳහා අධිකරණයට සහාය දෙන නීතිවේදියෙකු වශයෙන් ද ගතවූ අවුරුදු නව තිසක් තිස්සේ දිවයින තුල යුක්තිය පසිඳලීමේ කාර්යයන්හි මම නිරත වීමි. අපේ කාර්යයන්හිදී  ශ්‍රී ලංකා වේ චිරාගත නීතියට හසුවන බොහෝ ආරෝවන් පිලිබඳ විනිශ්චය කටයුතු කළෙමි. එහෙත් එම නීති පද්ධතියේ සමූලාරම්භයවත් එහි වර්ධනයවත් දැක ගැනීමට අප ලැබූ අවස්ථා සුලභ නොවේ. නීති වාර්තාගත පෙර තීරණ විසින් නිරන්තරයෙන් අප මෙහෙයවන නිසාද අපට ඒවා මග පෙන්වන නිසාද එබඳු පර්යේෂණයක් ඉඳුරා අවශ්‍ය නොවීය. එසේ වුවද මහාචාර්ය අබය ආර්යසිංහ ඉදිරිපත් කර ඇති ලංකාවේ රජසිරිත් හා ලෝක චාරිත්‍ර නම් නිබන්ධානුගත පර්යේෂණ කෘතිය මා කිය වූයේ දැඩි ඇල්මකිනි. පැරණි සිංහල රජවරුන් අත්තනෝමතික වූද නීති ඒකාධිකාරය තමන් කෙරෙහි ම පවරා ගත්තාවූද පාලකයින් වශයෙන් හඳුන්වා දෙන ජන විශ්වාශය සාවද්‍ය වූවකි. ඔවුන් මෙහෙයවූ රාජ ධර්ම වශයෙන් නම්කර ඇති ඒ නිත්‍යාංග පමණින් දහයකි. ඇතැම් අවස්ථා වලදී රජතුමා වෙතම අභියාචනා එළඹියේය. සුසංවිධිත සමාජයක් ගොඩනැගීම සඳහා සියුලු අවස්ථා උදාවී තිබුණේය.’
        නෙවිල් සමරකෝන් මහතා මතු කරන වැදගත්ම කාරණය නම් වර්තමාන නීතිය පෙර වාර්තාගත තීන්දු තීරණ මත බලපැවැත්වෙන්නේය යන්නයි. වෙසෙසින්ම 1815 දී බ්‍රිතාන්‍යයන්ට ලංකාව පවරාගත්තාට පසුව ඇති කරන ලද වාර්තානුගත නීති මෙයට අසුවෙයි. එයට පෙර නීති සංග්‍රහ නීතිපොතේ පැවතියද වලංගු කර නොගනී. උඩරට ගිවිසුම එක් උදාහරණයකි. 1 948 න් පසුව වුවද එය එසේම වී ඇත. ඒ අනුව ලංකාවේ ඉඩම් වෙසෙසින්ම සඟසතු ඉඩම් හා බැඳි පැරණි නීති පිළිබඳව සැලකිල්ලක් නොදැක්වෙයි. එහෙත් ඕලන්දයින් විසින් සකස් කරන ලද තේසවලාමේ නීතිය හා ඒ හා සැබැඳිව පසුව ගන්නා ලද තීරණ අධිකරණයේ දි සැලකිල්ලට ගෙන ඇත.වාර්තා කර ගැනීමට නම් පණතකින් සම්මත කර ගත යුතු වෙයි.වර්තමාන නීති  පද්ධතියේ ස්වභාවය එසේ වුවද  ලංකාවේ පැරණි රාජාණ්ඩු සමයේ දී ක්‍රියාත්මක වී ඇත්තේ මීට වඩා යුක්ති ධර්මයට සමීප නීති රිති බව පැහැදිළිය. රජු වුවද වැරැද්දක් කරන්නේ නම් එයට දඬුවමක් හෝ දෝෂාරෝපණයක් කිරිමට ඉඩ තිබී ඇත්තේය උදාහරණයක් වශයෙන් ගත් කළ්හි. නරේන්ද්‍රසිංහ රජු එක්තරා බෙරවායෙකු ගේ රාජකාරියකට පැහැදී තම රාජ කංචුකය  සම්මානයක් ලෙසට පළඳවන්ට උත්සාහ ගත්තේය. මෙයින් රජ සිරිත් උල්ලංඝණය වව බව දැනගත් රම්මලක දිශාව එය ඇද දමා භේරිවාදයා දඟගෙයි ලවා රජුටද දොස් පවරා දඩයක්ද නියම කලේය.
      රාජ නීතියෙහි පදනම දශ රාජධර්මයයි.  ලංකාවේ රජ්ජුරුවන් වහන්සේ ගේ තනි කැමැත්තට ඕනෑ වූ දෙයක් කරන්ඩ පුලුවන්ද යන්න ප්‍රශ්ණයක් වශයෙන් ෆැල්ක් ආණ්ඩුකාරවරයා විමසූ කල්හි මල්වතු මහ නා හිමියන්  දුන් පිළිතුර මෙසේය. ‘රජ්ජුරුවන් වහන්සේ ලෝක නීතිය යන පුරාතන පැවති නඩු අනඩු සිරිත් චාරිත්‍ර දැනීමද ධර්ම නීතිය යන ආගම පුරාගම දැනීමද යන මෙසේ  මහත් වූ නුවණ ඇති පණ්ඩිත කෙනෙක් ය. තමන්ගේ කැමැත්තට තීන්දු කරන්ඩ පුලුවන් රාජ්ජේ කාරණාවලුත් ඇත. අමාත්‍ය මණ්ඩලයෙන්ද රට වාසීන්ගෙන්ද හොඳ හැටි විචාරා කරන දේත් බොහෝ දේ ඇත.   මේ රාජ නියමයට පදනම් වී ඇත්තේ දශ රාජ ධර්මයයි. එය එම ලියවිල්ලේ සඳහන් කර ඇත්තේ මෙසේය. දන්දීමය සිල් රැකීමය තෑගි දීමය සෘජු භාවය මැදහත් බවය තපස් ඇති බවය. ක්‍රෝධ නොකිරීමය ක්ෂමා වීමය අවිරුද්ධ බවය. දන්දීම නම් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට යාචකයින්ට බත් පිළි ආදිය දීමය. සිල් රැකීම නම් නොකඩ කොට ආගම දැරීමය. ත්‍යාගි බව නම් කෙත්වත් ආදී උතුම් වස්තු දීමය.සෘජු බව නම් සිත වංක චාටු නැති බවය. මැදහත් බව නම් සියල්ලන්ම එකසැටි බවය. තපස් ඇති බව නම් රූප ශබ්දය ගන්ධය රසය ස්පර්ශය යන මෙකී ඇලුම් පසේ පැවති තෘෂ්ණාව මැඩ පැවැත්වීමය. ක්‍රොධ නොකිරිම නම් නිරපරාධ අයට වද නොයෙදීමය. ක්ෂමා වීම නම් නොවිචාරා වරදට නොකිපීමය. අවිරුද්ධ බව නම් සියලු අය විරුද්ද නැති බවය. ’
                 මෙහිදී පැහැදිලිවන්නේ රටේ නිතිය යුක්ති ධර්මය අනුව තීරණයවී ඇති බවයි. පෙර පූර්වාදර්ශ ද ගණන් ගන්නා නමුත් යුක්ති ධර්මය එහිදී ප්‍රධාන බවන බව පැහැදිලිය. රජු දේවත්වයෙන් සැලකීමද බෝසත් ගුණ යෙන් යුතු වීමද කල යුතු බව සම්ප්‍රදායක් විය. නුවර නාථ දේවාලය ඉදිරියේ පැවති රාජ අබිෂේකයේ දී දශ රාජ ධර්මය රකින්නට දිවුරුම් දීමෙන් ඒ බැව් සනාථ වේ. එසේ නොවුනහොත් තමන්ගේ හිස සත්කඩකට පැලේවා යයි ද රජු කියයි. මේ නිසා ලංකාවේ  රාජ්‍යත්වය වනාහි හිතුවක්කාර පාලනයක සංකේතයක් ලෙසට සැලකීම වැරදිය.
   වර්තමාන නීති සම්ප්‍රදායද  පවත්වාගෙන යන විධායක ජනාධිපතික්‍රමයද එයට වඩා අඩු ලුහුඬුකම් වලින් යුක්තය. හිටපු අගවිනුසුරුවරිය හැසිරුනු  ආකාරයද හිටපු ජනාධිපතිවරයා හැසිරුනු අකාරය දෙසද වඩා විමර්ශනාත්මක බැලීමෙන් ඒ බැව් පැහැදිලි වේ. ජනාධිපති වරයා රජෙකු විලාසයෙන් පිළිගැනීමට ජනතාව සූදානම් ව ඇතැයි මතයක් මේ වන විට ඇතිවී තිබේ. එයට හේතුව 2015 ජනාධිපතිවරණ දෙකේදීම අති මහත් බහුතරයක චන්ද පදනමක්  මහින්ද රාජපක්ෂ මහතාට හිමි වීමයි. මෙම ලැබීමට ප්‍රධාන හේතුව මහ ජනතාව පීඩාවට පත් කළ යුද්ධය ජය ගැනීමට නායකත්වය දීම බව කාගේත් පිළි ගැනීමයි. එහෙත් නායකත්වය විසින් තේරුම් කර ගෙන ඇත්තේ ඕනෑම දෙයක් හිතූමතයේ කිරීමට බලය ලබා දීමක් ලෙසටය. එම පිළිවෙත රජකම ඔලුවෙන් සිටවීමකි. ඔල්මාදය යයි ඇතැම් විට කියන්නේද මෙයටය.යටත් විජිත සමයේ සිටි ගමේ රාළහාමිලාට මෙවැනි ඔල්මාද තිබුණි. මෙහිදී විරුද්ද වාදියාට ක්‍රෝධ කිරීමද නිරපරාද වරදට පටලැවීමද යුක්ති ධර්මයක් ලෙසට කල්පනා කරති. සරත් ෆොන්සේකා මහතාගේ සිද්දියේ දී මේ වග ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කලේය. 1815 දී ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත්ව පිටුවහල් කළ රාජසිංහ රජුද අවසාන කාලයේ ක්‍රියා කලේ මෙලෙසය. ඔහු රාජ ධර්මය තුට්ටුවකටවත් මායිම් නොකොට පරණාතල හිමි වැනි භික්ෂූන් වහණ්සේලාද රදළයින්ද සාමානය ජනතාවද ඝාතනය කරන්නට අණ දුන්නේ පළි ගැනීමේ චේතනාවෙනි. එයින් රටට අත් වූ ප්‍රතිඵලය නම් ස්වාධීනත්වය අහිමි වීමයි.
       අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන්නේයයි වගන්තියක් ඇත.එහෙත් එය නීතිය ඉදිරියේ බලාත්මක නොවේ.නමුත් අන්‍ය ආගම් ඇදහීමට තිබෙන නිදහස පිළිබඳව තිබෙන වගන්තිය නීතිය ඉදිරියේ බලාත්මකය. එයට හේතුව 1806 වර්ෂයේ සිටම මහමත් වරුන් සහ දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ චාරිත්‍ර සම්බන්ධයෙන්  නීති සම්මතව තිබීමයි.වකුෆ්  පණත එයට තවත් උදාහරණයකි.නමුත් පෙරසිරිත පරිදි එන සිංහල නීතිය සහ සංඝ නීතියට අදාලව එන බහුතර සම්ප්‍රදායයන් බලාත්මක නොවේ. සංඝ සභාවක කතිකාවත් අනුව ක්‍රියාකිරීම බලාත්මක නොවීම එක් උදාහරණයකි.දෙමල හා මුස්ලිම් සිරිත් පණත් වලින් සම්මත කර ගත යුතු වුවත් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන්නේ යයි කියවෙන් වගන්තිය නිසා සිංහල බෞද්ධයන්ට මෙහිදී යම් වරප්‍රසාදයක් හිමිව තිබේ.ඒ නම් සිංහල පෙරසිරිතට අර්ථ නිරූපණයට ඉඩක් එයින් විවර කර තිබීමයි. නමුත් එය නීතිය ඉදිරියේ බලාත්මක කර ගැනීමට මෙතෙක් කිසිවෙක් උනන්දුවී නොමැත. සැබවින්ම පෙර සිරිත නීති ගත කිරීමට නම් කළ යුත්තේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන්නේ යයි තිබෙන වගන්තියට අනුවගන්ති කීපයක් එකතු කොට අර්ථ නිරූපණය කර ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමයි. එවිට කතිකාවත් සංඝාධිකරණ මෙන්ම වාරිමාර්ග සහ ඉඩම් පිළිබඳවද තිබෙන පෙර සිරිත් නීතිය ඉදිරියේ පිළිගැනීමකට ලක් වෙයි. කතිකාවත් පණත් සංඝාධිකරණ පණත් වැනි දේ භාවිතා කර බුද්ධ ශාසනයට එරෙහිව  කුමන්ත්‍රණය  කිරීම නතර කරගත හැක්කේ මේ ක්‍රමයෙන් පමණකි.
          අඛණ්ඩව පැවති රාජ්‍යත්වය අහෝසි වුවද එය අද ජනාධිපතිවරයෙකුගෙන් සංකේතවත් වෙයි. නමුත් මහා විහාරය ඇතුළු සාම්ප්‍රදායික සංඝ සංස්ථාව අඛණ්ඩව පවතී.එහිදී  රටේ ව්‍යවස්ථා නීතිය සකස් විය යුත්තේ මේ බල මූල දෙක ආරක්ෂා වන පරිදිය. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් සංඝ සංස්ථාව බෙලහීන කිරීමත් රටේ ස්වාධීනත්වයට හානි කරය. එම නිසා කතිකාවත් සම්බන්ධව අද ඇතිවී තිබෙන අර්බුදය විසඳිය හැක්කේ සිංහලත්වයට බුද්ධාගමට සහ පෙර සිරිතට තැන ලබා දෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කරගතහොත් පමණකි. 1972 ජනරජ ව්‍යවස්ථාව සකස් කරන කල්හි මහානායක හිමි වරුන් මේ හා සම්බන්ධ අදහස් රාශියක් ඉදිරිපත් කර තිබේ.ඒවා එදා 1970 වර්ෂයේදී සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ සභාගත කර ඇත. පෙර රජ වරුන් නම් මහනායක හිමිවරුන් ගේ බසට කන්දුන්හ. නමුත් අද එසේ නොවේ.  ලක්දිව නොබෝසත්හු නොරජ්හු විය යුතු යයි  අනුරාධපුරයේ ගලේ කොටවා තබා ඇත්තේ බෝසත් ගුණ ඇති දශ රාජ ධර්මයට හිස නමන මහා විහාරයේ අනුශාසනා පිළිගන්නා පුද්ගලයින් රජ විය යුතු නිසාය. එවැනි රජෙක් පිළිබඳ සිහිනයක් සිංහල ජනතාවට තිබේ. බෙදුම්වාදය ශක්තිමත් කරන විදේශ ගැති රනිල් මෛත්‍රී පාලනය පෙරළා දැමීමට පිඹුරු පත් සැකසිය යුත්තේ ඒ අරමුණිනි.
                 

        

Friday, January 1, 2016

වැලිමඩින් පැමිණි රාජරත්න මැතිසබ තුළ නැන්වූ සිංහල හඬ



                                  
          1956 පාර්ලිමේන්තු මැතිවරණය ලංකා දේශපාලනය වෙනස් කල කඩයිමකි. සිංහල ජාතික ව්‍යාපාරයේ පිහිටෙන් බලට පත් වූ මහජන එක්සත් පෙරමුණු රජය ජනහිතකාමී රජයක් වශයෙන් ඉදිරි පියවරයන් රැසක් ක්‍රියාත්මක කරන්න්ට සැලසුම් කළහ.  රජයට එකතු වූ ජාතික විමුක්ති පෙරමුණ බණ්ඩාරනායක මහතාට වෙසෙසි ශක්තියක් දුන් ව්‍යාපාරක් විය.වැලිමඩ උපන් කෝනාර මුදියන්සේලාගේ පොඩිඅප්පුහාමි රාජරත්න මේ ශක්තියේ බලකණුව විය.ඌව පළාතෙන් විශ්ව විද්‍යාලයට පැමිණි ප්‍රථමයා වූ රාජරත්න සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල‍යේ උසස් අධ්‍යාපනය ලැබූවෙකි.විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා අවදියේ සිෂ්‍ය සංගම‍‍යේ මහා සභා රැස්වීමට බන්ඩාරනායක මහතා දේශනයකට ගෙන්වා ගැනීමට කටයුතු කළ රාජරත්න සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේය.බදුල්ල දඹවින්න විදුහලෙන්  සහ මහනුවර ධර්මරාජ විදුහල යන පාසල් දෙකේ අධාපන ලබා පසුව ආනන්ද ශස්ත්‍රාලයට ඇතුලත් වූ රාජරත්න සටන්කාමී පුදගලයෙකු විය.ඒ.අමිර්තලිංගම් ඔහුගේ සමකාලිනයෙකි. 1952 වසරේ දී රාජරත්න මහතා අලියා ලකුණින් වැලිමඩ අසුනට තරඟකල නමුත් පරාජයට පත් විය. 1956 දී ඔහු අත ලකුනින් තරඟ වැදී චන්ද 12336ක් ලබා විශිෂ්ඨ ජයක් ලද්දේය. නමුත් චන්ද පෙත්මසමකින් පරාජට පත් විය. ඔහු වෙනුවට කුසුමා රාජරත්න මහත්මිය වැලිමඩ අසුනට තේරී පත් වූයේ අතුරු මැතිවරණයෙනි.පසුව 1960 ජූලි මැතිවරණ‍යේදී අහස්යානය ලකුණින් තරඟ වැදී චන්ද 7557 ක් ලබා නැවත පාර්ලිමේන්තුවට තේරී පත් විය.නමුත් 1965 වසරේදී ඔහු පර්සිසමරවීර මහතාට පරාජයට පත් වූයේ ඉතා සුළු චන්ද සංඛ්‍යාවකිනි. ‍ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ගැටයකට ඔහු අසු වූ බව තතු දන්නෝ පවසති. මැතිවරණ පරාජ‍යෙන් පසුව ඩඩ්ලි ‍සේනානායක මහතා ගේ හි‍‍තෛෂි වන්ත‍යෙකු වූ රාජරත්න මහතා කලක් ධීවර සංස්ථාවේ සභාපති විය. ‍සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටි යුගයද ඔහු ගේ දේශපාලන ගමන් මගේ සටන්කාමී අවදියක් විය.
      බණ්ඩාරනායක රජය සිංහල රජ බස කිරීම ආදී කරුණු වලින් ඉදිරියෙන් සිටියද පසු පසුවන විට දෙමල බසටත් සම තැන දෙන තැන දක්වා තල්ලු විය. රජරත්න මහතා මේ තත්ත්වය විග්‍රහ කලේ වේදනාවකිනි.1956 ආණ්ඩුවේ තැපැල් ගුවන් විදුලි හා පවෘත්ති  උපඇමති ලෙස සිටි නමුත් මේ තත්ත්වය තුළ ඇමතිකමින් ඉල්ලා අස්විය.  මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද එෆ්.ආර්.ජ සූරිය ජේ.ආර්.පී. සූරියප්පෙරුම සහ අධිනීතිඥ හරිස්චන්ද්‍ර විජේතුංග න මහත්වරුන් සමග එකතුව ජාතික විමුක්ති පෙරමුණ නම් නව දේශපාලන සංවිධානයක් පිහිටුවීමට කටයුතු කලේ.ය.1957 වස‍රේදී ‍ෆෙඩරල් පක්ෂය ශ්‍රී අකුරට තාර ගෑම නිසා රාජරත්න මහතා සිටියේ දැඩි සිත් ‍වේදනාවකිනි. එ‍සේ නම් ‍දෙමළ පුවරු වලටද තාර ගෑ යුතු යැයි කළ ප්‍රකාශය නිසා අත්අඩංගුවට පත්ව ‍දෙවසරක් පමණ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින්නටද සිදු විය. බණ්ඩාරනායක ඝතනයෙන් පසුව 1960 මැතිවරණ‍යෙන් වැලිමඩින් සහ ඌව පරණගම ආසානදෙකෙන් කේ.එම්.පී. රාජරත්න මහතා සහ කුසුමා රාජරත්න යන අඹුසැමි යුවළම පාර්ලිමේන්තුවට  නැවතත් පිවිසියහ. 1960 රාජාසාන කතාව විවේචනය කරමින් රාජරත්න මහතා පාරිල්මේන්තුව තුළ කළ කතාව සුවිශේෂී විය. ඒ මෙසේය.
      රාජාසන කතාවේ සඳහන් ප්‍රතිපත්ති මාලාවේ වැඩි කොටසක් මෑතකදී පවත්වන ලද මැතිවරණයේදී මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට දෙන ලද ප්‍රතිඥාවක් පාවාදීමක් වේ. ඉහතකී ප්‍රතිපත්ති නිසා උතුරු හා නැගෙනහිර පළාත් වල ද්‍රවිඩ ෆෙඩරල් රාජ්‍ය්‍යක් ප්‍රතිෂ්ඨාපනය වනවා පමණක් නොව මුළු උඩරට ප්‍රදේශයෙහිද මීගමුව පුත්තලම බොරැල්ල රත්මලාන අළුත්ගම හම්බන්තොට යන නොයෙකුත් ප්‍රදේශවල හා නගර වලද ජිවත් වන සිංහල ජනතාව ෆෙඩරල් ද්‍රවිඩයන්ගේ හා මෙරට සිටින දකුණු ඉන්දියානු කුලී කරුවන්ගේ වහලුන් හැටියට පත්වන බවද මදුරාසි නගරයේ සිට පේදුරුතුඩුව හා දෙවුන්දර තුඩුව දක්වා ඒකාබද්ධ රාජ්‍යකට පරිවර්තනය වීම වෙන බවද රාජාසාන කතාවේ සඳහන් කර තිබෙන කාරණා රාශියක් නිසා පහත සඳහන් අයුරින් මේ රජය කෙරෙහි ජනතාව තබන ලද විශ්වාසය මේ රජය විසින්ම පාවා දීතිබෙන බව කිව යුතුය.
1/ මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වල පදනම වන 1815 උඩරට ගිවිසුම ආණ්ඩුක්‍රම පණත වෙනස් කරනවිට ආණ්ඩුක්‍රම පණතේ අන්තර්ගත කරන බවට කිසිදු සඳහනක් නොකිරීම.
2/ 1958 නොම්මර 28 දරන දෙමළ පණත කියාත්මක කිරීමේ තීරණ 1956 නොම්මර 33 දරන රාජ භාෂා පණත අහෝසි කිරීම.තෙවනි ‍ශ්‍රේණි ආධාර පාසල් පමණක් රජයට ගැනීමේ තීරණ යෙන් ආගමික ආයතන වලට පෞද්ගිලක පාසල් හා අභ්‍යාස විදුහල් පවත්වාගෙන යෑමට දෙන ලද වරප්‍රසාද ජාතික අධ්‍යාපන ක්‍රමයක් පිහිටුවීමට  ඉවහල් නොවීම.
3/ විදේශිකයන් සතු වතු හා වෙනත් වානිජ ව්‍යාපාරවල් ජනසතු නොකිරීමට ගත් තීරණ දිවංගත ගරු එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනාක මහතාගේ ප්‍රතිපත්ති සම්පූර්ණ වශනේ ප්‍රතික්ෂේප කිරිමක් වේ..
1960 මැතිවරණ වේදිකාවේ රහස් ගිවිසුමක් ගැන කතාවුණි. ශී ලංකා නදහස් පක්ෂයත් ෆෙඩරල් පක්ෂයත් අතර එකඟවූ මේ ගිවිසුම ගැන සඳහන් වූයේ මෙසේය.
1/ මේ රටේ රාජ්‍ය භාෂාවක් හැටියට දෙමළ භාෂාව පිළිගැනීම.
2/ රට සභා ඇති කිරීම.
3/ උතුරු නැගෙනහිර පළාත් වල පිහිටි ගොවි ජනපද වල පදිංචියට සිංහලයන් නොයැවීම.මේ රටේ ඉන්දියානු කලීකරුවන් වෙනුවෙන් තොන්ඩමන් මහතා සහ අසීස් මහතා පත් කරන ලද මන්ත්‍රීන් හැටියට පාර්ලිමෙන්තුවට පත් කිරීම.
             රජය පත් වූ පසු රාජරත්න මහතා රහස් ගිවිසුමෙන් ගිවිස ගත්කාරණා සත්‍යවන බව පැහැදිලි කලේ මෙසේය. ගරු කතා නායක තුමනි. පසුගිය මැතිවරණයේදී මේ රටේ ජනතාව මෙවැනි රහස් ගිවිසුමක් නොතිබුණ බව විශ්වාස කරමින් කිසිම සැකයක් නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට සහයෝගය දුන් බවත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීම වරදක් නැතැයි මා විශ්වාස කරනවා. මේ රටේ සිංහල බෞද්ධ ජනතාව ඒ අන්දමට පසුගිය මැතිවරණයේදී චන්දය දුන්නේ ඉහත සඳහන් කොන්දේසි හතර ක්‍රියාත්මක නොකරාවි යැයි යන බලාපොරොත්තු වෙනි. නමුත් කණගාටුවෙන් කියන්නට සිදුව තිබෙනවා මේ කොන්දේසි හතරෙන් එකක් ඉටු කරමින් ‍තොන්ඩමන් මහතා පත් කරන ලද මන්ත්‍රීවර‍යෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පත් කර ලද බව. ගරු කතානායක තුමනි ගරු අගමැතිණිය විසින් ඉන්දියානු ප්‍රවෘත්ති පත්‍ර වලට දෙන ලද ප්‍රකාශයේ වැදගත් කොටස් කීපයක් ගැන මේ අවස්ථාවේදී මතක් කරන්නට සතුටුයි. රාජාසන කතාව පිලිබඳ උත්සවයට අපේ ජාතික විමුක්ති පෙරමුණෙනුත් සාභාගි වුණා. එදා අපි හීනෙන්වත් හිතුවේ නැහැ දෙමළෙනුත් රාජසන කතාව කරාවි කියා. එසේ කරනු ලබන බව දන්නවා නම් අප මේ උත්සවයට සාභාගි වන්නේ නැහැ සම්පූර්ණ යෙන් වරජනය කරනවා. මට පුදුමයි කතානාක තුමනි ඉන්දියානු ප්‍රවෘත්ති පත්‍රයක පළ වූ ප්‍රකාශයකින් මෙබදු වැදගත් දෙයක් කරන්නට යන බව ප්‍රකාශ කරලා තිබෙනවා. මෙයින් හැඟි යන්නේ ඉන්දියානු ප්‍රවෘත්ති පත්‍ර කරුවන් පවා මෙය දන්නා බවයි.
     කතා නාක තුමනි මේ රට සභා ක්‍රමය ඉතා භයානක දෙයක් හැටියට මෙ රටේ සිංහල බෞද්ධ ජනතාව පිළිගෙන අවසන් බව මට කියන්න පුළුවන්. යම්කිසි කෙනෙක් සමහර විට උත්සාහ කරන්නට පුලුවනි කච්චේරි ක්‍රමය වෙනස් කොට රටසභා ඇති කොට වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇති කරනවා කියා. නමුත් ඇත්ත වශනේම රට සභා ඇතිවූ විට සිදු වන්නේ උතුරත් නැගෙනහිරත් පළාත් සම්පූර්ණ යෙන් ෆෙඩරල් පක්ෂයට යටත් වී දෙමළ රටසභා ඇති වී එහි සිංහලයන්ට අඩිය තියන්නට බැරි තත්ත්වයක් ඇති වීමයි. සිංහලයන් උතුරු හා නැගෙනහිර පළාත්වල පිටමං කරන ලද පිරිසක් වන්නට පුලුවන් වීමයි.
      අගමැතිනිය විසින් ‍තොන්ඩමන් මහතා පත් කිරිම රාජරත්න මහතා‍‍ ගේ දැඩි වි‍වේනයට ලක් විය. එහිදී ඔහු ‍මෙසේ පැවසිය. ලංකා ආණ්ඩු ක්‍රම පණත යට‍තේ වි‍ශේෂ ‍කොටස් සම්බන්ධ‍යෙන් ‍මෙම ගරුසභාවට පත් කිරී‍මේ අයිතිය අගමැතිවරියට පැවරී ති‍බෙනවා. ඒ නිසා ‍ෆෙඩරල් පක්ෂය කියන හැටියට ‍‍මෙම ගරු සභාවට ‍තොන්ඩමන් මහතා පත් කිරි‍මෙන් උඩරට ද්‍රවිඩ ජනකාය ‍වෙනුවෙන් පත් කිරි‍මෙන් ‍මේ ආණ්ඩුව අළුත් කොටසක් ඇති කර ති‍බෙනවා . උඩරට ද්‍රවිඩ ජනතාව යයි හැඳින්‍වෙන වි‍‍ශේෂ ‍කොටසක් ‍මේ ර‍ටේ ‍මේ වනතුරු සිටි‍යේ නැහැ. වවුනියා‍වේ හිටපු මන්ත්‍රී ගරු සුන්දරලිංගම් මහතාද උඩරට ද්‍රවිඩ ජනතාව ‍නොහොත් කැන්ඩියන් ටැමිල්ස් යයි කියයි. මට අද වාගේ මතකයි කතානායක තුමනි එවැනි එක් අවස්ථාවකදී එය වැරදි අදහසක් බවත් නැසීගිය බණ්ඩාරනායක අගමැතිතුමා ‍මෙම ගරු සභාව තුළදීම ප්‍රකාශ කළ බව. අපඅද කියන්‍නේ ‍මේකෙන් ඇති වන භයානක ප්‍රශ්ණයක් භයානක තර්ජනයක් ගැනයි. එතකොට උඩරට ද්‍රවිඩ ජනතාවක් ඇති වෙනවා ‍මේ රජයට මෙවැනි තත්ත්වයක් ඇති කිරීමට කවුද ඉඩ දුන්නේ.
     රාජරත්න මහතා පාර්ලිමේන්තුව තුළදී කල මේ ප්‍රකාශන වලින් ගම්‍ය වන්නේ සිංහලයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට නිදහසින් පසු රජයයන් කටයුතු කළ ආකාරයයි. ප්‍රගතිශීලී යයි කියා ගන්නා රජයයන්ද රටට සාපේක්ෂව ඉතා භයානක තීරණ ගන්නා ලද බව පෙනේ. තොන්ඩමන් වැනි ජාතිවාදී පුද්ගලයන් පසු කාලයේදී උඩරට කඳුකරය තුළ ඇවිලවූ ජාතිවාදී ගිනිදළු කාහටත් අමතක කරන්නට නොහැකිය. ‍මේවාට අවශ්‍ය පසුබිම සලසා දුන්‍නේ සිංහල පාලකයන්ය. රාජරත්න මහතා නිවරදිව ‍මේවා ‍පෙන්නා දුන් කල්හි.ඔහුට විරුද්ධව ‍නොයෙකුත් අවලාද නගන්නට එක්සත් ජාතික පක්ෂ‍යේ ඇතැම් නායකයන් කටයුතු ක‍ළේය. අන්තිම දෙමලා ගේ හමෙන් සෙරෙප්පුවක් මහන තෙක් මට නින්ද යන්‍නේ නැහැ යයි. රජරත්න මහතා ප්‍රකාශ කළ බව ප්‍රවෘත්ති පත්‍ර වලින් නිකුත් කරන ලද නිවේදනය ජේ.ආර්. ගේ කුමන්ත්‍රණයකි. එදත් අදත් ක්‍රියාත්මක ජඩමාධ්‍ය සංස්කෘතිය මේවාට දැඩි ‍ලෙසට වග කිව යුතුය.