පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, June 24, 2015

සිංහල වඩමාරච්චිය සහ උතුරේ දෙමළකරණය


                             

                     යාපනය ඇතුළු උතුර සහ අලිමංකඩින් මෙපිට වන්නිය දෙමළ ප්‍රදේශ යන ඊනියා හඳුන්වාදීමෙන් කර තිබෙන්නේ ඊලාම්වාදය ශක්තිමත්  කොට නිජ භූමියක අයිතිය හිමිකර දීම පමණකි. නිජභූමි සංකල්පය පදනම්ව ඇරඹි රට බෙදීමේ ව්‍යාපාරය දකුණේ දේශපාලකයන් විසින් ද අද පිළිගනු ලබනහෙයින් බොහෝ දුරට සාර්ථක අඩියට පත්ව තිබේ. නමුත් දෙමළ ආක්‍රමණිකයන් විසින් උතුර අත්පත්කර ගෙන තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව උගතුන් අතර පවා සාර්ථක විමර්ශනයක් මේ වනතෙක්ම සිදුව නොමැත. ඉතිහාසය සැබවින්ම ග්‍රන්ථයන්ට සීමාව තිබේ. නොයෙකුත් අය තමන්ට අවශ්‍ය පරිදි ඒවායේ කොටස් ගෙන ඊලාම් මතවාදය ශක්තිමත් වන පරිදි ප්‍රබන්ධයන් ඇති කර තිබේ. ඇතැම් විට අන්තර්ජාලයේ සැරි සරන්නෙකුට පවා බොහෝවිට හමු වන්නේ මේ විකෘති කරන ලද ඉතිහාස පුවත් පමණකි. උතුරේ දේශපාලන බලය හා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබෙන අනුකම්පාව සියල්ල ලැබෙන්නේ මේ නිසයි.

        උතුරේ ද්‍රවිඩ රාජ්‍යයක් තිබුණේද යන්න අසූව දශකයේ පටන් ඉතිහාසඥයන් අතර සාකච්ඡාවට බදුන් වූ කාරණයකි. 1961 වර්ෂයේ දී මහාචාර්ය පරණවිතාන මහාතා ලියූ ඉංග්‍රීසි ලිපියක් පරිවර්තනය කොට  මහාචාර්ය අබය ආර්යසිංහ මහතා පළ කොට තිබූ උතුරුකරයේ  ආර්ය රාජ්‍යය නම් ග්‍රන්ථයේ යාපන රජ පෙළපත පිළබඳව ගැඹුරින් සාකච්ඡා කර ඇත. එසේම මහාචාර්ය විමල විජේසූරිය මහතා මේ සම්බන්ධව දිගින් දිගටම එකළ පුවත්පත වලට ලිපි සැපයූවෙකි. එහෙත් මේ මතවාද තුළින් දෙමල ඊලාම් සංකල්පය දේශපාලනික වශයෙන් පරාජය කිරීමට අසමත් වී තිබේ. කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කරන ලද නමුත් ඊලාම් මතවාදයෙන් අන්ධ වූ ජාත්‍යන්තර දේශපාලනයේ මනස් වෙනස් කරගැනීමට මෙරට රාජ්‍යතාන්ත්‍රිකයන් දිගින් දිගටම අසමත්ව තිබේ. මේ නිසා අද සිදුව ඇත්තේ නැවතත් උතුර සහ නැගෙනහිර ද දෙමළ ජනතාවට පමණක්ම අයත් භූමි ප්‍රදේශයක්ය යන සංකල්පයට සිර වී පාවා දීම් කිරීමට ඉදිරිපත් වීමයි. එම නිසා දෙමළකරණය ගැන නිවරදි තක්සේරුවක් අප සමාජයට ඇති කරලීමට ගැඹුරු සංවාදයක් අදවන විට අවශ්‍ය ව ඇති බව අපගේ හැඟීමයි. ඒ මන්ද ජාතියක ඉඩම් අයිතිය පොදු දේපළ පිළිබඳ උරුමකම මගින් හිමිකම් ගැන සහතිකයක් ලැබෙන බැවිනි.

         උතුර දෙමළකරණයට බඳුන්වීම පිළිබඳ අවස්ථා තුනක් පෙන්වාදිය හැකිය. පළමුවන තැත ලෙස අපට පෙනී යන්නේ මීට වසර ගණනාවකට පෙර පෘතුගීසි සෙන්පති ෆූටාඩෝ මැඩොන්සා සහ සිංහල කරවයන් අතර  වර්ෂ 1591 දී අත්සන් කරන ලද නල්ලූර් ගිවිසුමයි.1561 වන විට පළමුවන සංකිලි යටත් කොට පෘතුගීසීන් විසින් උතුරේ තෙන්මාරච්චිය පාලනය සියතට ගත් අතර වඩමාරච්චිය හා අනෙක් කොටස් යාපන රජ පවුල් සතුව තිබුණි. නමුත් 1591 දී උතුර අවට මුහුදුකරයේ තිබූ කරවයන්ගේ බලය නිසා රජපවුල පසෙකට කර කරවයන්ගේ බලය ඉස්මතු වන ලෙසට පසුබිම සකස් වුණි. නල්ලූර් ගිවිසුම එහි ප්‍රතිඵලයකි. මෙ ගිවිසුම සම්පූර්ණයෙන්ම සකස්ව තිබෙන්නේ සිංහල භාෂාවෙන් බව අප අසා ඇත. එහෙත් අද එය දක්නට නැත. එස්.ජී.පෙරේරා පියතුමා සිය ඉතිහාස ග්‍රන්ථයේ සඳහන් කර ඇති පරිදි යාපන රජු ගේ පුත්‍රයා සයිමන් පින්තෝ විසින් යටත් කරගැනීමද ( මෙම පුවත සමන්දේවාල ගල් කැටයමේ සටහන්ව තිබේ.) පෘතුගීසීන්ට අවනතව රට පාලනය කරලීම පිණිස පරරාජසේකරන් රජු බවට පත් කිරීමද එකවර සිදුව තිබේ. මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ මෙම පසුබිම තුළය. ඒ අනුව උතුරේ වැසියන් ගේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට පරංගීන් ගිවිසගෙන ඇති නමුදු පසුව ඇතිවූ සිදුවීම් වලදී සිංහලයන් රාශියක් ඝාතනයට ලක්ව තිබෙන බව පෙනේ.

        දෙමළකරණයට ලක්වූ දෙවනි අවස්ථාව ලන්දේසි යුගයයි.ලන්දේසීන් ගේ ආගමික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැන්වීම පිණිස ලංකාවට පැමිණි පිලුප්පුස් බල්දෙයස් නම් පූජකයා රචනා කළ(True and exact description of the  great island of Ceylon ) නම් ග්‍රන්ථයේ උතුරේ තිබූ සිංහලගම්මාන  හා ස්වදේශිකයන් වන සිංහලයන් ගේ ක්‍රියාකාරකම් වෙනස් කිරීමට ගත් පියවරයන් දක්වා තිබේ. අච්චුවේලි හි පිහිටා තිබූ විහාරස්ථානය අසලදී පිලිප්පු ඩි ඔලිවේරා විසින් සිංහල හමුදා පරජයට පත්කරන ලද බව මෙම ග්‍රන්ථයේ සඳහන්ය. දැන් දක්නට තිබෙන්නේ එම විහාරයේ නටබුන් සහ විශාල ළිඳ පමණක් බව බල්දෙයස් දක්වා තිබේ. ඊට අමතරව චන්ගානේ  උරේපුට්ටි පරේතිතුරේ මුහමලේ කාටවෙල්ලි යන ස්ථාන වල පිහිටා තිබූ බෞද්ධ විහාර භූමි වල තමන් ගේ රෙපරමාදු පල්ලි පිහිට වූ බව ඔහු පිළි ගෙන තිබේ. එහිදී ඉතිරී වූ ස්ථුපයන්හි නටබුන් එම පොතේ චිත්‍ර සටහන්  වලින් පෙන්නුම් කර තිබේ.උදාහරණයක් වශයෙන්මෙම ග්‍රන්ථයේ 323 පිටුවේ දක්වා ඇති මනිපායිහි ඉඳිකර තිබෙන රෙපරමාදු පල්ලිය ගැන ඔහු දැක්වූ අදහස පෙන්වා දිය හැකිය. මෙම පල්ලිය විශාලය. එකවර 2000 කට පමණ රැඳී සිටිය හැකිය.පල්ලිය ඉඳිකර තිබෙන්නේ තල් අතු සහිත වරිච්චි මැට්ටෙනි. පල්ලිය ඉදිරිපස මනරම් දර්ශනයකින් හෙබි වැවකි. එහ ආසන්නයේ පැගෝඩාවක් (විහාරයක් ) පිහිටා ඇත. මෙහි ජීවත් වන්නේ මඩප්පුලි කුලයට අයත් මිනිසුන්ය.බල්දෙයස් සිංහලයන් ගැන සඳහන් කර හැම විටම ස්වදේශිකයන් ලෙසට හැඳින්වීමටත් දෙමළ අය හැඳින්වීමේදී මලබාර් යන නාමය යෙදීමටත් උත්සුක වීඇති බව මෙහිදී  සඳහන් කළ හැකිය.

           එමෙන්ම නෙදර්ලන්තයේ ( Beeldbank National Archives ) හි තැන්පත් කර තිබූ 1695 වර්ෂයට අයත්  උතුර පිළිබඳ සිතියම් වල වැලිගම නොහොත් වලිකාමම් පළාතේ සිංහල ගම්මාන පණහක් දක්වා තිබේ. ඒ අතර චෙල්ලාලේ තල්වාන පූනාල බටකෝට්ටේ එළුවිල කොට්ටියවත්ත මලලගම තොලිපළ මහමුලන මනිපාය මල්වත්ත සියනෑවත්ත තඹාල අවිස්සන්ගල්ල මැදගල්ල උන්විල තෝඩමලය කොන්ඩාවිල කකුවිල කෝපාය ආදිය දැක්විය හැකිය.හිටපු පුරාවිද්‍යා කොමසාරිස් එම්.එච්.සිරිසෝම මහතා රචනා කළ උතුරු නැගෙනහිර පෙදෙස්හි හෙළ උරුමය නම් ග්‍රන්ථයේ මේ ස්ථාන වලින් හමුවූ  බ්‍රාහ්මී අක්ෂර සහ බෞද්ධ පුරාවස්තු ගැන සඳහන් කර ඇත.  පැරණි ලෝහ මුද්‍රාවක් සම්මුඛ වූ ආනකෝට්ටේ ගම්මානය ද සිංහල ගම්මානයකි    .  යාපන අර්ධද්වීපයේ දකුණට වන්නට පිහිටා තිබෙන තෙන්මාරච්චි පළාතේ  සිංහල ගම්මාන පහළොවක් තිබේ. වර්තමාන යාපනයේ තිබෙන එකම සිංහල ගම්මානය වන නාවක්කුලියද ඊට අයත්ය. වඩමරච්චි  පළාතේ සිංහල ගම්මානයන් දහසයක් තිබූ බව සටහන්ව ඇත. වඩමරච්චි පළාතේ අදටත් ටික්කම නමින් ගමක් තිබේ. ටිකාගෝත්‍රය ගැන අභය ගිරි තඹතහඩු ලිපියේද සඳහන්ය. මේ ටිකා ගෝත්‍රයට අයත් අලකේශ්වර පරපුර පල්ලව රාජධානියේ සිය බලය තහවුරු කර ගැනීමෙන් පසු ලංකාවට පැමිණ මානවර්මන් නමින් ලක්දිව රජ බවට පත් බව මහාවංශයේ ඇත. මේ පරපුරේ උග්‍රසිංහ නම් කුමාරයෙකු වඩමාරච්චියට පැමිණ එහි බලය තහවුරු කර ගෙන තිබෙන්නේ නව වන සියවසේදී පමණය. ඊට සමගාමීව දෙවුන්දර තුඩුවේද එම පරපුරේ තවත් කුමාරයෙකු බලය තහවුරු කර ගෙන තිබේ. මාන කුමාරයාගේ නමින් වඩමරච්චියේ මානයි වත්ත යනුවෙන් ගම්මානයක්ද ඇත. මේ ටිකා ගෝත්‍රය ගොඩ නැන්වූ සාගර වෙළෙඳ බලය ටිකා අන්නුරුවාර් නමින් ව්‍යවහාර විය. පසු කාලයේදී මේ සාගර බලය කරවයන් අතටද දෙමළ වානිජයන් අතටද මාරු විය. රාමේශ්වරමේ සිට ලංකාවට ඇති කෙටිම මග සේතුව පාලනය ආරම්භ කලේ සිංහල රජවරුන් නමුත් පසුව දෙමල වානිජයන් විසින් එම බලය උකහාගෙන තිබුණි. පච්චලීපලේ පළාතේ ගම්මාන පහළොවක්ද සඳහන් කර තිබේ. පරංගි ඉතිහාස ක්වේරෝස් පූජකවරයාගේ  ග්‍රන්ථයේ ප්‍රථම වරට ජන සංගණන වාර්තාවක් පළ කර තිබේ. එහිදී හෙළි වන්නේ උතුරේ බහුතරයව සිට ඇත්තේ සිංහළයන් බවයි.කාරදිව නයිනදිව කැස්බදිව  පුළිඟු දිව වැනි යාපන අර්ධද්වීපයට සමීප කුඩා දිවයින් වල පවා බහුතරය සිංහලයන් ලෙසට ඔහු දක්වා තිබේ. ඉන් වැඩිම සිංහල ජනගහනයක් ජීවත්ව සිට ඇත්තේ වර්තමාන කයිට්ස් දූපතේය.   කතෝලිකාගමට හරවා ගැනීමද රෙපරමාදු ආගමට හරවා ගැනීමද නිසා උතුරේ සිංහළයන් ක්‍රමයෙන් වන්නියට හා උඩරටට සංක්‍රමණය වී තිබේ. ලන්දේසීන් ගේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ අලි ඇතුන් වෙළෙදාමත් පුවක් වෙළෙඳාමත් දුම්කොළ හා කපු වැවීමත්ය.  ජන ශූන්‍ය වූ උතුරේ සිය සමාගමට අවශ්‍ය ආර්ථික කටයුතු සම්පාදනය කරගැනීම පිණිස ඔවුහු දකුණු ඉන්දියාවේ සිට දෙමළ වහලුන් ගෙන්වීම හා උතුරේ හා වන්නියේ පදිංචි කිරීම  මගින් උතුරේ දෙමළකරණයට මග විවර වූ බව පැහැදිලිව පෙන්වා දිය හැකිය.

         තෙවනි අවස්ථාව නම් ඉංග්‍රීසීන් විසින් තෙසවලාමේ නීතිය පිළිගත් නීති සංග්‍රහයක් බවට පත් කිරීමත් සිය මිනුම්දෝරු සිතියම් වල සිංහලගම් නම් වෙනුවට දෙමළ ගම් නම් ඇතුලත් කිරීමයි. මේවා බොහෝ දුරට සිදු වූයේ එකල මිනුමදෝරු පාටියේ දෙමළ නිළධාරින් නිසා බව කියවේ. උතුරු හා නැගෙනහිර පළාත් වල ද්‍රවීඩීකරණය වූ සිංහලයින් වැද්දන් මුක්කුවාර් වරුන් ද සිටියහ. මේ නිසා ඉංග්‍රිසි ආණ්ඩුව තම බලය තහවුරු කරගත් පසු 1806 දී පමණ මේ නීති රීති වලට අර්ථ කථන සැපයීම සිදු කරන ලදී. මේවා සිදු වූයේ ඔවුන් අතර තිබූ නඩු ආශ්‍ර යෙනි. උදාහරණයක් වශයෙන් නිල්ලෙයිනාදන්ට එරෙහිව රාමස්ස්වාමි චෙටිටියාර් නඩුවේ දී බොන්සර් අගවිනිසුරු තේසවලාමෙයි හඳුන්වාදුන්නේ යාපන පළාතේ ද්‍රවිඩ පදිංචි කරුවන් ගේ පැරණි සිරිත් ලෙසිනි. මන්නාරමේ මඩකලපුවේ මෙන්ම දකුණේ ද සිටි ද්‍රවිඩයින්ට වෙනත් සිරිත් මෙන්ම රීතිත් තිබුණද උතුරු පළාතේ වාසය කරන සෑම ද්‍රවිඩයෙකුම තේසවලාමෙන් ආවරණය කරන බව මේ නඩු තීන්දු වලින් ප්‍රකාශ විය. නමුත් මධ්‍යම පළාතේ ජීවත් වන ඉන්දීය දෙමල වැසියෙකු මේ නීතියෙන් ආවරණය නොවන බවට තීන්දුවක් රජයට එරෙහිව පෙරුමාල් නම් නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත් ව ඇත. ඇතැම් නඩු වලදී පෙළපත් මත වාසය ඔප්පු නොකළ හැකි යයි තීරණය කර ඇත. වුඩ්රෙන්ටන් නම් අග විනිසුරු වරයා මෙයට දුන් අර්ථ නිරූපණය අනුව උතුරු පළාතේ පදිංචියක් හෝ ස්ථීර නිවාසයක් ලබා ගැනීමත් වැදගත් බව ඔහු වේලුපිල්ලේ ට එරෙහිව සිව කාමි පිල්ලේ නඩුවේ දී කියා සිටියේය. මේ අනුව සිදු වූයේ සංක්‍රමණියන්ටද තමන්ට ස්ථීරව පැලපදියම් විය හැකි නීතිමය ආවරණයක් ලැබීමයි.මෙම නීතිය පුද්ගල නීතියක් ලෙසටද සලකනු ලැබූ අතර කොළඹ සිටි පුද්ගලයෙකුට යාපනයේ ඉඩම් තිබුණ අවස්ථාවකදී වුවද ඔහුට තේසවලාමේ අවරණය ලැබීමේ හිමි කම ඇති විය.

             දේපළ අයිතිය පැවරීම වැනි අවස්ථා මත උතුරේ පදිංචි ද්‍රවිඩයින්ට මේ නීති ආවරණය ලැබීම නිසා සිංහලයින්ට සිදු වූයේ උතුරු පළතට ආගන්තුක වූ වෙළෙන්දන් බවට පත් වීමටයි.ඔවුන්ට ස්ථීරව යාපන පළාතෙන් ඉඩම් මිලදී ගත නොහැකි විය.  ඉංග්‍රීසි යුගයේ සිටම මූදුකර වැද්දන් ඇතුලු වැදි ජන වර්ගයා දෙමළ භාෂවට හුරු කර සිටීම නිසා ඔවුන්ද ද්‍රවිඩයින් ලෙසට සැලකූ අතර තේසවලාමේ නීතියෙන් ඔවුන් ද ආවරණය විය. මේ නිසා උතුරු පළාත යනු දෙමළ වාසභූමියක්ය යන මතය දීර්ඝකාලීනව තහවුරු විය.කොටි ත්‍රස්තවාදීන් ඇතුලු ඊලාම් අරමුණු සහිත බලවේග සියල්ල ඓතිහාසික දෙමළ වාසභුමි නම් මිථ්‍යාවට පදනම් සකස් කර ගැනීමට අවශ්‍ය නීතිමය රාමුව මේ මලබාර් සිරිත් සංග්‍රහයෙන් ලබා ගත් බව පැහැදිලිය.දැන් තත්ත්වය දරුණු අතට හැරී තිබේ. ඉන්දීය වුවමනාවට සහ බටහිර වුවමනාවට අවශ්‍ය පරිදි උතුරේ දෙමළකරණයට අවශ්‍ය සහතික සහ දේශපාලන බලය ලබාදීම සිදු වේ. හතරවටින්ම සිංහල ජනතාව කොටු වෙමින් සිටින අතර දෙමළ මුස්ලිම් චන්ද නිසා සිංහල දේශපාලනඥයන් ඔවුන් වෙනුවෙන් ස්වයං කලාප ඇති කිරීමට සූදානම්ය. ඉතිහාස ඔප්පුව ලේඛනාගාර වල සේප්පු වල දමා යතුරු දමා  සිංහලයන් පක්ෂ වලට බෙදී කල්ලතෝනීන්ට රට දීමට සූදානම්ව සිටිති.මෙය සැබවින්ම ඛේදවාචකයක් නොවේද.

 


 

 

Saturday, June 6, 2015

මර උගුල් ජල ප්‍රතිපත්තිය යළිත් කරළියට


                                      

 

                 මෝසම් වර්ෂා කලාප දෙකකින් පෝෂණය වෙමින් දිවයින පුරා ජල උල්පත් මෝදු කරන අපූරූ ක්‍රියාත්මක සැලැස්මක් හිමි රටක වර්තමානය  වන විට ජලය ප්‍රශ්ණයක් බවට පත් වෙමින් ඇත. එයට හේතු ලෙස සැලකිය හැක්කේ අධික ලෙස කෘෂි රසායන භාවිතය කාර්මික අපද්‍රව්‍ය මුදා හැරීම වැනි කාරණාය. එලෙසම නවීන සංවර්ධන ක්‍රියාදාමයන් මගින් ඇතිකරන ලද අහිතකර ප්‍රතිඵලයන්ද ඉතා සූක්ෂම අන්දමින් මේ ජල දූෂණයට බලපාන බව කිව යුතුය.වර්තමානය වන විට පානීය ජලය පිළිබඳ සංකල්පය ඉතා සංකීර්ණ අඩියකට පත් වෙමින් ඇත. නල ජලය මගින් පැන්ලබා දීම රජයේ වගකීමක් ලෙසට සැලකේ. රටපුරාම පානීය ජලව්‍යාපෘති ඇති කිරීමට  විදේශ ආධාර මත විශාල ව්‍යාපෘති ගණනාවක්ම පසුගිය කාලයේ දී ක්‍රියාත්මක කරන ලදී. ඒ වායින් ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක නමුදු සමහරක් අතහැර දමා තිබේ. මේ අතහැර දැමීම් වලට හේතුව කිවුල් ජලය මගින් විස වීම හෝ උල්පත් සිඳී යෑමයි.

          රටේ දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක කරන රජයයන් අළුතින් පත් වූ සෑම අවස්ථාවකදීම ජලය පිළිබදව ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබේ. මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ලංකාවේ විද්‍යාඥයන් ගේ අදහස් සෘජුවම භාවිතා කර නැත. ඒ වෙනුවට විදේශ වල අත්දැකීම් සංවර්ධන ක්‍රියාදාමයන් ආදිය සැලකිල්ලට ගෙන සකස් කරන ලද සංකල්ප මත එම ප්‍රතිපත්ති සකස් කර තිබේ.ලංකාවේ රජය ආසියානු සංවර්ධන බැංකුව  සමග 2000 වසරේ දී ලෝන් ශ්‍රී  1575 යනුවෙන් ගිවිසුමකට එළඹීම නිසා  කැබිනට් අනුමැතිය සහිතව ජාතික ජල සම්පත් කවුන්සලයක් පිහිටුවීමට අනුමැතිය හිමි විය.මෙම යෝජනාවට අනුමැකිය හිමි වූයේ 2000 මාර්තු මාසයේදීය. මුල් වරට ජල හිමිකම් බලපත්‍ර සංකල්පය මෙහිදී ඉදිරිපත් විය.නමුත් ඇතිවූ මහජන විරෝධය හේතුවෙන් එය ක්‍රියාවට නැගීම අසීරු විය. පසුව ජලය විකිණීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟව විදේශ මුදල් ලබා ගත් නිළධාරීන් ගේ පෙළඹවීම මත 2004 වසරේදී ද මෙම ක්‍රියාවලිය නව මුහුණවරකින් එළියට පැමිණියේය.එවක ඉදිරිපත් වූ රට පෙරට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැති දෙයක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක සැලැස්ම නමින් වූ තවත් පත්‍රිකාවක් මුද්‍රණය විය. එහි සඳහන් වූයේ පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව ආරම්භ කරන ලද ජාතික ජල කළමනාකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කර ක්‍රියාත්මක කෙරේ යන්නයි. අංක 1349/3 සහ 12.07.2004 දිනැති රට පෙරට ප්‍රතිපත්තිය අනුව අහෝසි කිරීමට පොරොන්දු වූ අන්තර්වාර ජල සම්පත් අධිකාරිය අහෝසි නොකර එවක තිබූ ගංගාධාර හා මහවැලි සංවර්ධන හා රජරට සංවර්ධන අමාත්‍යංශය යටතේ පිහිටුවීමට යෝජනා කර ගන්නාලදී.  එහිදී බලාපොරොත්තු වූයේ ජල සම්පත් කළමනාකරණ සභාව හා ජාතික ජල සම්පත් කළමණාකරන අධිකාරිය පිහිටුවීමයි.එවක සිටි නිළධාරීන් බොහොමයක්ම ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනවලට සෘජුවම බැඳී සිටි හෙයින් මේ ප්‍රතිපත්ති සකස් කිරීමට විදේශගත ධනය කෙතරම් යෙදවන්නට ඇත්දැයි සිතා ගත හැකිය. මෙහි අරමුණ වූයේ ජල දූෂණය කළමනාකරණය කර ගැනීම පිණිස සියළුම ගංගා ද්‍රෝණි ආවරණ කරමින් අධිකාරියක් පිහිටුවීමයි.නමුත් මේ ක්‍රමය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අහෝසී වී යෑමේ තර්ජනය මතුව ආ හෙයින් වෘත්තීය සමිති විසි නවයක් පෙරමුණු ගෙන ඉදිරි පත්වූ එම යෝජනාව පරාජය කරන ලදී.

         2008 වසරේදී  ද මෙම යෝජනාව හිටපු ජල සම්පත් අමාත්‍ය වරයා වූ චමල් රාජපක්ෂ මහතා විසින් නැවතත් කැබිනෙට්ටුවට ඉදිරිපත් කරන ලදී.1964 අංක 29 දරන ජල සම්පත් මණ්ඩල පණතේ 16 ( 4) (2) වගන්ති අනුව 2008 /07/09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙය ඉදිරිපත් කර තිබුණි. එහි අරමුණ වූයේ ජල සම්පත් පුද්ගලිකකරණය සඳහා රෙගුලාසි පැනවීමයි.හොර ඔප්පු ලීවාට ජලය විකුණන්න බෑ යනුවෙන් මා විසින් 2008 සැප්තැම්බර් 07  ඉරිදා දිවයින පත්‍රයේ මෙම කරුණු පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් පළ කරන ලදී. කෙසේ වෙතත් එකල ඇති වූ විරෝධය නිසා රජයට මෙම රෙගුලාසි ද හකුලාගන්නට සිදු විය.

       මහින්ද රාජපක්ෂ රජය පෙරළා දමා  යහපාලනයක් තේමා කර ගත් නව රජයක් බිහිවී දැනට දින සීයයක්  ඉකුත් ව ඇත. එහිදී ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදු වන්නට ඇති ඉඩ කඩ ක්‍රමයෙන් නැති වී යනු දක්නට ලැබේ. පැරණි එක්සත් ජාතික පක්ෂයට ආවේණික දූෂණයන් සහ බලහත්කාරයන් ඉස්මතු වෙමින් පවතී. ඒ අතර බටහිරයන්ට අවශ්‍ය වූ දැනට ප්‍රමාද වී පවතින න්‍යාය පත්‍ර තුළ පවතින කරුණු ද එකින් එක කරළියට දමමින් ඇත. ජලය විකිණීම සඳහා 2000 වසරේදී ගෙනා යෝජනාව දැන් නව මුහුණුවරකින් වර්තමාන අමත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව තිබේ. වර්තමාන ජල සම්පත් අමත්‍යවරයා වන රවුෆ් හකීම් මහතා එම තනතුරට පත් වී නොබෝ කලකින්ම එනම් 2015 මර්තු මස 28 ඉදිරි පත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට  මෙම යෝජනාව ඇතුළත්ව තිබීමම බරපතල කරුණකි.මෙහි මූලික අරමුණ වන්නේ දැනට කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වැලි ගොඩ දැමීමෙන් සෝදා පාළුවෙන් සහ නාගරික සංවර්ධනය නිසා දිය බෙත්මයන් තුළ සිදු වන දූෂණයන් වැලැක්විමට නීතිමය ප්‍රතිපාදනයන් සැලැස්වීම යනුවෙන් දක්වා තිබේ. දැනට ගංගා වල වැව් වල හා ජලාශ වල  ජලකළමණාකරණය ඉටු කරන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරියයි. එයට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල  වන ජීවී හා වන සංරක්ෂණ යන දෙපාර්තමේන්තු යටතේ පවතින වපසරියන් මත නීතිය ක්‍රියාත්මක වේ. මේ ආයතනයන්හි පරිපාලනයේ අඩු ලුහුළඩුකම් තිබෙන බව සැබෑය. එයට ප්‍රධාන හේතුව වන්නේ කාලාන්තරයක් තිස්සේ  රාජ්‍ය සේවය කඩා වැටීමයි. නැතහොත් පක්ෂ දෙශපාලනයට නතු වීමයි. ඒ අතර අල්ලස හා දූෂණයද පවතී. රජයේ ඉහළින් එන ප්‍රතිපත්ති මත ඇතැම් කාර්මික ව්‍යාපාර ක්‍රියාත්මක වීම මත ග්‍රාමීය ඉඩම් සමූහ වශයෙන් විනාශයට පත්ව තිබේ.කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑමට සහ අපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර කරලීමට තාක්ෂණික සංකල්ප සහ නව නිපයුම් හඳුන්වා දී ඇති නමුදු ප්‍රාග්ධන හිමියන් ඒවා ක්‍රියාත්මක කරනුයේ වාර්ෂික බලපත්‍ර ගැනීම පිණිස පමණකිය.ඇතැම් විට පරිසර නිළධාරීන්ට අල්ලස් හෝ සන්තෝෂම් දී ගැටළු යටපත් කර අපද්‍රව්‍ය සෘජුවම ජල මූලාශ්‍ර වලට මුදා හරියි.එවිට ප්‍රශ්ණය පැහැදිලිය. යටත් විජිත යුගයේදී පවා ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම උදෙසා කරන ලද කාර්ය භාරයන් අද අකර්මණ්‍ය ව තිබේ. එසේ හෙයින් නව ගංගා ද්‍රෝණි අධිකාරියක් පිහිටුවීමෙන් මේ ප්‍රශ්ණයටන්ට පිළිතුරු ලැබේ යැයි සිතුවහොත් එය මුලාවකි.

           රවුෆ් හකීම් අමත්‍යවරයා විසින් කැබිනට්ටුවට ඉදිරිපත් කරන ලද  15/0483/6/009  අංක දරන සංකල්ප පත්‍රිකාව  පරිස්සමින් කියවාබලන කල්හි. 2000 වසරේදී ඉදිරිපත් කරනලද ජල විකුණුම් බලාපොරොත්තු සියල්ල මෙහි අන්තර්ගත ව ඇති  බව පැහැදිළි වේ. දැනට වාරිජලය විශාල වශයෙන් පරිහරණය කිරීම ජලාශ නඩත්තු කිරීමට විශාල මුදලක් වැයවීම සහ වාරි ජලය ගොවීන්ට බෙදා දීම සඳහා කිසිම ගාස්තුවක් අය නොකිරීමද මෙම සංකල්ප පත්‍රිකාවෙන් ප්‍රශ්ණ කොට තිබේ. එයට අමතරව ගංගා ද්‍රෝණි අධිකාරිය පිහිටවූ පසු එම අයතනය නඩත්තු කිරීමටද ජල මූලාශ්‍ර පරිහරණය කිරීම උදෙසාද ජල බලපත්‍ර ක්‍රමයක් ඇතිකිරීමට මෙහි යෝජනා කර තිබේ. මෙහි අදහස නම් පවත්නා වාරිමාර්ග අංශයන් ක්‍රමයෙන් බෙලහීන කොට එක් අධිකාරියක් යටතට ගෙන පෞද්ගලික අංශයේ සාභගිත්වයෙන් ජලය පරිහරණය කිරීම උදෙසා නීතිමය හා ආයතනික ප්‍රතිපාදන සැලැස්වීමයි.ඒ සඳහා ලංකාවේ දැනට භාවිතා කරනු ලබන පානීය ජල මූලෘශ්‍රයන් සහ තොග වශයෙන් භාවිතා කරන වාරි ජල මූලාශ්‍රයන් එකම ආයතනික ව්‍යුහයක් යටතට ගෙන එයට අවශ්‍ය ප්‍රතිපත්ති මාර්ගෝපදේශයන් සහ විධානයන් සැපයීම සහ ඉහළ මට්ටමේ සම්බන්ධීකරණය සිදු කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්ද ස්ථාපිත කිරීමද මෙහි අරමුණයි.

        ජල පරිහරණය සහ කළමනාකරණය උදෙසා සිය ඉතිහාසයේ යුගණනාවකම අත්දැකීම් හිමි රටක් වශයෙන්  ලෝකයේ කීර්තියක් දිනා සිටියද වර්තමානය වන විට මෙම දැනුම යොදා නොගැනෙන තරම්ය. ඒ වෙනුවට විදේශ ආධාර මුදල් මත යැපෙන නිළධාරීන් සහ දේශපාලනඥයන් විදේශ රටක ක්‍රියාත්මක කරන ලද ජල කළමනාකරණ මූලධර්ම ලංකාවට ආදේශ කරයි. 1985 වැනි ඈතකාලයකදී පිහිටවූ ජාත්‍යන්තර වාරි කළමණාකරණ ආයතනය  මත යෑපීම ආරම්භ වූ දා පටන්ම එය එසේ වෙයි. ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක මහවැලි ව්‍යාපාරය විදිලි උත්පාදන ව්‍යපෘති සියල්ල අද වන  විට පරිසරයට බෙහෙවින්ම තර්ජනයක් බවට පත්ව ඇත්තේය. ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ උපදෙස් මත ලංකාවට ආදේශ කරන ලද කෘෂි රසායන හා රසායනික පොහොර නිසා ජල දූෂණය වී රජරට ජනතාව සදාකාලික රෝගීන් කර තිබේ. එවැනි තත්ත්වයක් තුළ තව දුරටත් ජාත්‍යන්තර ආයතන වලින් උපදෙස් ලැබ ගෙන මෙරටේ ජල සම්පත් පරිහරණය වෙළෙඳපළට ගැට ගැසීමට දරන උත්සාහයන් සංකල්පයන් ලෙස භාර ගැනීම කෙතරම් ප්‍රඥාගෝචරද යන්න සලකා බැලිය යුතුය. යහපාලන මුහුණුවර ඉදිරියට දමමින් ජල බූවල්ලන්ට රට වෙලා ගැනීමට ඉඩකඩ සැලැස්වීම මෙන්ම රට අස්ථාවර කිරීම  තේරුම් ගැනීමට කාලය පැමිණි ඇති බවද මෙහි දී අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.