පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Showing posts with label වාස්තු විද්‍යාව. Show all posts
Showing posts with label වාස්තු විද්‍යාව. Show all posts

Monday, November 28, 2016

තලගුණේ පෙහෙකරුවන්ගේ ලෝකය

                                         


                    විජය කුමරු සත්සීයයක් පිරිස සමග තම්මැන්නාවට ගොඩ බසින විට කපු කටිමින් සිටි කාන්තාව නමින් කුවණ්නා විය.  කපු කටිමින් නූල් සාදා ගනිමින් රෙදි වියාගන්නට සමත් කම් දැක්වූවා නම් කුවණ්නා ගේ පරපුරේ ඇත්තන්ගේ ශිෂ්ඨාචාරය කෙලෙසක වී දැයි අපට සිතා ගත හැකිය. කුවණ්නා ගේ පරපුරේ හෙළයන් අදටත් ජීවත්ව සිටීද. මේ මාගේ සිත තුළ නැගුන පැණයකි. මධ්‍යකාලීන සිංහල කලා යන නමින් අගනා ග්‍රන්ථයක් කළ ආනන්ද කුමාරස්වාමි මහතා මෙම පැණයට පිළිතුරක් සපයා ඇත. ඔහු ගේ ග්‍රන්ථයේ සිංහල පේෂකාරයන් ගැන සඳහනක් ඇත.  දකුණු ඉන්දියාවෙන් ලංකාවට සැපත් ද්‍රවිඩ පේෂකාරයන්ගෙන් මේ පිරිස වෙනස් බව ඔහු තව දුරටත් සඳහන් කර තිබේ. සැබවින්ම මොවුන් පිළිබඳ මට මහත් කුතුහලයක් දැනුණි. ඔවුන් ගේ වත්මන් ජීවන පිළිවෙත කෙසේ වීද.යන්න දැක බලා ගැනීම මාගේ ආශාව විය.
          සිංහල පෙහෙකරුවන් ගේ නිජ භූමිය කන්ද උඩරට උඩුදුම්බර තලගුණේ ගම්මානයයි. උඩුදුම්බරින් හැරී කි.මී. තුනක් පමණ පහළට මෝටර් රථ මාර්ගයක ගමන් කළ පසු මේ පෙහෙකරුවන් ගේ පාරම්පරික නිවාස හමු වෙයි. ඔවුන් සොයා එක් හිමිදිරි උදයක මගේ සංචාරය පිළියෙල විය. උඩුදුම්බර සිට කළුගලට බසයක් තිබෙන්නේ යැයි කියැවුණද බසය නොමැති වූයෙන් පරිසරය දැක බලා ගනු රිසියෙන් පයින්ම  මග තරණය කරන්නට ඉටා ගතිමි. උදෑසන පිනි තවත් වේලී නොමැත. උඩුදුම්බරට ආවේණික කුරු වනාන්තර පද්ධතිය පාර දෙපස රූස්සව නැගී සිටී. මේ වනය අතරින් පතර  හෙළි පෙහෙළි කොට තැනූ එළවුළු කොරටුය. තලගුණේ විහාරස්ථානයට හැරෙන කඩමණ්ඩියේ සිට මහ නියරක් දිගේ පියමං කළ විට මේ පෙහෙකරුවන්ගේ නිවාස හමු වෙයි. ආනන්ද කුමාරස්වාමි මහතා මෙම ස්ථානයට පැමිණෙන්නට ඇත්තේ එක්දහස්අටසිය ගණන් වල අවසාන භාගයේදීය.ඒ දැනට වසර සියයකට පමණ පෙරදීය. එදා ඒ නිවසේ සිටි පෙහෙකාර කාන්තාවක් විය. ඇය නමින් ටිකිරාති විය. ඇයගේ චායාරූපයක් මධ්‍ය කාලීන සිංහල කලා පොතේ පිටු අතර ඇත.කාලය වෙනස් වී ඇත. ටිකිරාති ගේ පරම්පරාවේ පිරිමි දරුවා රාජපක්ෂ පංචනාදයාලෑ යක්දෙස්සලාගේ ගෙදර සිල්පා නම් විය.ඔහු 1921 සිට 1941 දක්වාත් ඔහුගේ පුත් උක්කුවා 1972 දක්වාත් ඉන්පසු   යක්දෙස්සලාගේ ගෙදර රන්කිරා අසූව දශකය දක්වාත් මේ ශිල්පය රැගෙන විත් තිබේ.. මා දැන් පැමිණි සිටින්නේ රන්කිරා විසූ ඔහුගේ පාරම්පරික නිවසටයි. රන්කිරා මෙන්ම රන්කිරා ගේ පුත්‍රයා වූ පද්ම සිරි ද මීට කලකට ඉහත අප අතරින් සදහට සමු ගෙන ගොසින්ය. දැන් වත්මන් පරපුරේ පෙහෙකම් දක්ෂයා වශයෙන් සිටින්නේ අශෝක පද්ම සිරි මහතාය.
                    ආනන්ද කුමාරස්වාමි මහතා උඩරට කලා සංගමය ඇතිකොට මේ පාරම්පරික ශිල්පීන්ට වර්තමාන සමාජය විවෘත කොට දුන්නේය. ඉන්පසු දුම්බර පෙහෙකම් රටාවෙන් සැරසෙන්නට නිවෙස් අලංකාර කරන්නට කැමැත්තක් දක්වන විශාල මධ්‍යම පන්තික පිරිසක් බිහිවිය. නවසිය හැට ගණන් වලදී මේ අත්යන්ත්‍ර පෙහෙකම් ශිල්පය ගැමි කාන්තාවන්ට යලි උගන්වනු රිසියෙන් රජය මැදිහත්ව කටයුතු කල ආකාරය මෙහිදී මතකයට නැගේ. නමුත් විවෘත ආර්ථික සංකල්ප රට පුරා පැතිරීයන්නට වූයෙන් අත්කම්  පෙහෙකම් සියල්ල නැවතත් සමාජයෙන් මුලු ගැන්විණි. එහෙත් දුම්බර රටාවන් නම් තවමත් කොළඹ සමාජයට නැතිවම බැරිය. නවසිය අසූ ගණන් වලදී ෆෙයා ෆුට් අයතනය මගින් දුම්බර රෙදි පිළි වලට හොඳ වෙළෙද පළක් අත්පත් කර දුන්හ.රන්කිරා ගේ බෑනාවරයෙකු වූ තලගුණේ ඒ.කේ.ටී සෝමවංශ පෙහෙකම් ශිල්පියා අදටත් මේ වෙළෙඳ පළට රෙදි පිලි සපයයි.ඔහු ගේ කලා ලෝකය ගැන අද ඔහු පවසන්නේ මෙසේය.
        
ආනන්ද කුමාරස්වාමි මහතා ඉන්න කාලෙ ටිකිරාති කියල සිටිය අපේ මිත්තනියක් තමයි තලගුණේ රෙදි පිළි රටා ඉදිරිපත් කරල තියෙන්නෙ. එදා තලගුණේ කපුවත්ත කියන ඉඩම් වල කපු වවල නූල් කැටල නූල් සායම් පොවල තමයි රෙදි වියල තියෙන්නෙ. පොළවේ සවි කළ අලුව තමයි රෙදි වියන යන්ත්‍රය. මේ අල්වලෙ රෙදි වියන එක ආසියාතික බොහෝ රටවල තියන ක්‍රමයක්. නමුත් අපේ අළුව අපටම ආවේණිකයි. වර්තමාන රෙදි වියන යන්ත්‍ර යේ ෂටල් එකට  අපි කිව්වේ නඩාව කියලයි.වොප් එකට කීවේ. නූල හැදය කියලයි.රීඩ් එක පනාව යනුවෙන් නම් කලා. නූල් ඔතන යන්ත්‍රය හුළුදෑවයි. ඔහොම සවිමත් භාෂාවකින් තමයි මේ හැම දෙයම තොරුම් කරල දීල තියෙන්නේ. අපේ පරපුර රාවණා යුගයේ සිට පැවතෙනවා  කියල තමයි අහල තියෙන්නේ. ඉන්දියාවෙන් ලංකාවට ආ ශිල්පීන් නිසා අපි වෙනස් වුණේ නැහැ.වර්මානයේ තලගුණේ පවුල් දහයක පමණ මේ රෙදි පිළි කර්මාන්තය කෙරෙනවා. අපිට හොඳ වෙළඳෙ පළක් තිබෙනවා. නමුත් ක්‍රමයෙන් අපේ දූදරුවන් මේ කර්මාන්තයෙන් ඈත් වෙලා යනවා. නමුත් මම  මගේ දරුවන්ට මෙය උගන්වලයි තියෙන්නෙ.
           ටිකිරාති පරපුරේ රන්කිරා ඇත්තා ගේ මුණුබුරු අශෝක පද්මසිරි කියන්නේ මෙහෙම කතාවක්. කොළඹ කොම්පැණියකට අවශ්‍ය විදියට තමයි රෙදි පිළි වියල දෙන්නේ මේ දින වල සාරි ඕඩරයක් අරගෙන වැඩ කරනවා. සාරියත් හැට්ටයට අවශ්‍ය රෙද්දත් වියන්න දින දෙකහමාරක් විතර යනවා. අපේ මුත්ත වැඩ කල අලුව  දැන් වැඩ කරන්නෙ නැහැ. නමුත් රජයෙන් දුන්නු අළුත් පෙහෙකම් යන්ත්‍රවල පරණ විදයට රටා දාල හදන දුම්බර රෙදි පිළි වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා.බිත්ති සැරසිලි දොර රෙදි මේ කොයිවත් ජනප්‍රියයි. මංගල සාරි වුණත් හදන්න පුළුවන්. මේ සාරි වියමනට අවශ්‍ය අසූවෙන් දෙකේ නූල් කිලෝවක් අපිට ගන්න සිද්ද වෙලා තියෙන්නේ එක්දහස් පන්සීයකට. සාරියක් වියල ගැනුම් කරුවන්ට දීල අත ඉතිරි වෙන්නෙ රුපියල් පන්සීයක් පමණයි. නමුත් මම විශ්වාස කරනව අපි එකතු වුණොත් අපේ පාරම්පරික කර්මාන්තය ලෝකයේ පිළිගත්ත ශිල්පයක් විදියට ඉදිරියට ගෙනයන්න හැකි වේ කියල.
          දුම්බර රටාවෙන් හැඩ ගැසුණු පුරාණ දිය කච්චිය අද වියමනට යන්නේ නැත.රටා දැමූ බුලත් මඩිස්සලයද එසේමය. ඒවා කෞතුකාගාරයට එක් වී තිබේ.අලුව ප්‍රදර්ශන උපකරණයක් පමණි. නමුත් ඉන්දියාව බුරුමය වැනි රටවල තවමත් මේ අලුවෙන් වැඩ ගන්නා හැටි අන්තර්ජාල තොරතුරු වලින් හෙළිවෙයි. තලගුණේ හේන් වල කපු වැවීමෙන් පසු කපු ඇට වෙන් කරන්නට ගත් යන්ත්‍රය කපු කපන යන්ත්‍රයයි. මේ කපු කපන යන්ත්‍රය වටා එක් රොක් වී තලගුණේ අඟනුන් කපු කැපූ හැටි කියැවෙන පුරාණ කවි සිවුපද දෙකක් දක්වමින් මේ සටහන අවසන් කරමි.ඒ එදා තලගුණේ පෙහෙකරුවන් ගේ ලෝකය විය.
මූකලන් කොටා කපු ඇට ඉසින්නේ. දෙපෙති වෙලා පැලපත ලොකුව යන්නේ
සමසක් ගිය කලට මල් බොකල වන්නේ-වෙසක් මසට සුරතල් කපු පිපෙන්නේ
රටින් ගෙනා වද විරුදු යන්තරේ - මෙරට තිබෙන්නේ කපු කපන යන්තරේ
ගැරෙන්ඩියට මතුලට අහයිද මන්තරේ -දී යන් ළඳේ නුඹ කපු කපන යන්තරේ

Wednesday, July 17, 2013

බණ මඩුවේ වාස්තු විද්‍යාව

                                                    

            බුදුන් වහන්සේ රජ ගහ නුවර ගිජු කුලු පව්වේ වැඩ  වසන සමයෙහි කථා ප්‍රවෘත්ති ඇතුලත් මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවට අනුව වජ්ජීන් ලිච්චවීන් ආදී ක්ෂත්‍රියන් ද නුවරුන්ද බුදුන් වහන්සේ බැහැ දුටු  අවස්ථාවන් හිදී ධර්ම ශ්‍රවණය ට තැන්පත් වූයේ කලෙසකදැයි පැණයක් නගී.  එහි සඳහන් කළ තවත් වැකියකින් කියවෙන්නේ අජාසත් රජතුමා ඇමති වරුන් සහ සුනීධ වස්සකාර දෙදෙනා බුදුන් වහන්සේට දානය පිලිගැන්වීම හා ධර්ම දේශනාවට සවන්දී  සිටිය ආකාරයයයි. බුදුන් වහන්සේ පිටව ගිය ද්වාරය ගෞතම ද්වාරය වශයෙන් නම් කළ බව මෙහි සඳහන් කර තිබේ.
         එදා බුදුන් වහන්සේ වැඩ හිඳ ධර්ම දේශනා කල මණ්ඩපය කෙසේ වී දැයි අපට නිශ්චිතව මවා ගත නොහැකි වුවුද දැනට  ගිජ්ජකූඨයේ සහ ජේතවනාරාමයේ ඇති නටබුන් පිරික්සන කල්හි එම ස්ථාන ගැන යම් කිසි අවබෝධයක් ලබා ගැනිම එතරම් අපහසු නැත. එහෙත් ස්ථානීය ලක්ෂණ කෙසේ වුවත් ගිහි පිරිස සහ සංඝයා වහන්සේ ලා උන්වහන්සේ වටේට තැන්පත්ව ධර්ම ශ්‍රවණය කළ බව කරන සඳහන කෙරෙහි අවධානය යොමු කළ යුතුය. සතර වටේ සියලු දිශාවන්හි සෙනග පිරී සිටියද එහි සිටි සැමට උන්වහන්සේ දර්ශනය වූයේ තමන් දෙසට හැරී දහම් දෙසන ආකාරයෙනි. බුදුන් වහන්සේ වැඩ සිටි කේන්ද්‍රස්ථානය දහම් මණ්ඩපය විය. ගිහි පිරිස සහ සංඝයා වහන්සේලා පමණක් නොව දෙවි දේවාතාවුන් වහන්සේලා ද උන් වහ්නසේ වටේට රැස්ව බුද්ධ දේශනාවට සවන් දුන් සැටි බෞද්ධ සාහිත්‍ය යේ දැක්වේ.
         ක්‍රි. පූ. තෙවන සියවසේ ලංකාවේ පිහිට වූ බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා යන සතර වැදෑරුම් පිරිස සඳහා විය. භික්ෂූන් වහ්නසේලා ග්‍රාම වාසි සහ ආරණ්‍ය වාසී වශයෙන් දෙකොටසකට බෙදීම ලංකාවේ අනන්‍ය තාවයක් යයි සිතිය හැකිය. ඒ අනුව රජුන්  ඇමති වරුන් මෙන්ම ගැමියන්ද භික්ෂුන් වහන්සේලාට සිවු පසයෙන් උපස්ථාන සැලසීම සඳහා විහාරස්ථාන ඉඳි කළහ. මෙම විහාරස්ථාන යන්හි වෙසෙසි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත ගොඩනැගිලි රැසක් විය. මිහිඳු මා හිමියන් ලංකාවට වැඩම කළ පසු උන්වහන්සේ ඇතුලු මහ රහතන් වහ්නසේලාද පසුකාලීන සංඝයා වහන්සේලාද වැඩ සිටි ස්ථාන දෙස පරීක්ෂා කාරීව බලන් කල්හි මෙකි ලක්ෂණ හඳුනා ගත හැකිය. උපොසථාගාර උප්පන්න ශාලා ධර්මශාලා ධර්ම මණ්ඩප සන්නිපාත ශාලා පධාන ඝර ආදියේ මෙකී වෙසෙසි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ගැබ්වී ඇත.
     අනුරාධපුර බෞද්ධ සංස්කෘතිය මහා විහාර සම්ප්‍රදාය සහ අභය ගිරි සම්ප්‍රදාය වශයෙන් වෙන්ව විකාශනය  වූ ගති ගක්ෂණ වලින් සමන් විතය. මහායානිකයින්ගේ බල පෑම නිසා අභය ගිරි සම්ප්‍රදාය තුල විචිත්‍ර ලක්ෂණ දක්නට ලැබේ. මෙකී සම්ප්‍රදාය තුල විදේශීය ලක්ෂණ මෙන්ම ස්වදේශීය අනන්‍යතාවයන්ද ගැබ්ව ඇත. එහි දී ඒ ලක්ෂණ සියල්ල දේශිය කලා සම්ප්‍රදාය මගින් පෝෂණය කොට ගෙන සිංහල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ප්‍රකට කරවන නිර්මාණ ලෙසින් විකාශනය වී තිබේ.මෙකී ගොඩනැගිලි අතර සුවිශේෂී හැඳිනියාවක් ප්‍රකට කරවන ගොඩනැගිලක් ලෙසට ධර්මශාලාව හැඳින්විය හැකිය.හාර පන්සීයකට පහසුවෙන් වාඩිව සිටිය හැකි වන පරිද්දෙන් නිමවා ඇති මෙම ධර්ම ශාලා අනුරාධපුර සංස්කෘතිය තුල දක්නට හැකිය. ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ අංකුර රැගත් ක්ෂ්ත්‍රියන් ලංකාවේ ගම් දනව් වල ට විසිරි ගොස් එම ස්ථාන වල බුද්ධ ශාසනය තහවුරු වූ පසු එහි ද ධර්මශාලා ඉඳි විය. නමුත් අනුරාධපුරයේ මෙන් නොව ඒවා තාවකාලික බණ මඩු විය. ඇතැම් විට දුර බැහැර සිට වැඩම කර ගත් ස්වාමීන් වහන්සේ නමකට වැඩ සිටීමට පහසු වන අකාරයට ධර්මාසනය සකස් කර වා ඒ වටේට පෙති කඩ චිත්‍ර එල්වා ශ්‍රද්ධා භක්තිය ට මුල් තැන් දුන් අකාරය ද සිහිපත් කළ හැකිය.
            මහ රහතන් වහන්සේලා නැතිව ගිය කල්හි ලංකාවේ බුද්ධ ශාසකනය පිරිහීමට පත් විය. විදේශීය සතුරු ආක්‍රමණ නිසා උපසම්පදාව පවා නැති වුණි. නමුත් රජවරුන්ගේ අප්‍රතිහත ධෛර්ය නිසා නැවත උපසම්පදාව ඇති කර බුදු සසුන් බබළවන්නට හැකි විය. අද අපට දක්නට ලැබෙන්නේ කෝට්ටේ හෝ මහනුවර යුගයන්හි ඉඳිකළ ධර්මශාලාවන්ය. ග්‍රාම වාසී භික්ෂූන් වහන්සේලා ගේ මූලිකත්වයට පැවරුණු විහාරස්ථානයේ පැවැත්ම සඳහා වාස්තු විද්‍යා ශාස්ත්‍රය උපයෝගී කර ගත් බව පෙනේ. මෙම ධර්ම ශාලාවන්හි ආකෘතිය දකින විට සිහිපත් වන්නේ එදා බුදුන් වහන්සේ වැඩ සිටිආකාරයත් සියලු දෙනාට උන්වහන්සේ දර්ශනය වූ ආකාරයත්ය. ඇතුලේ වාඩිව ධර්ම ශ්‍රවණය කිරීමේ පහසුව මෙන්ම පිටත සිට දහම් අසනු සඳහා ද ධර්ම ශාලාවන්හි ආකෘතිය වැදගත් විය. පොහෝ දින වල දී පිරී ඉතිරි යන සැදැහැවතුන් ධර්ම ශාලාවේ වාඩිවීමට පහසුකම් නොලද විට එහි අවට හාත්පස රැස්ව බණ අසති. ධර්ම කථිකයින් වහන්සේලා ගේ මුවින් පිටවන ශබ්දය මෙහිදී දෝංකාර නොවේ. ඉහළට ගමන් කර කොත් කැරැල්ලේ ඉහළම තැනින් අනන්ත අප්‍රමාණ විශ්වයට ගමන් කරයි.
     පොළොන්නරුව දඹදෙනිය කුරුණෑගල ගම්පල ආදී යුගවලදී ලැබූ විදේශීය ගාහ නිර්මාණ ශිල්පයන්ගේ අභාෂය සිහලයින් ප්‍රතික්ෂේපනොකළහ. ඇතැම් රටවල කලා නිර්මාණ ලක්ෂණ වල සේයාවන් අපේ ගොඩනැගිලි වලද නොමදව දක්නට ලැබේ. මහනුවර යුගය වන විට මේ අභාෂය බෙහෙවින්ම සංකීර්ණ වෙයි. හින්දු සංස්කෘතිය දැඩි ලෙස කළ බලපෑම හේතුවෙන් අපේ කලාකරුවෝ තම නිර්මාණ සම්ප්‍රදාය රැක ගැන්ම සඳහා දැඩි උත්සාහයක් දරා ඇති බව පැහැදිලිය.  අපේ ගම්වල අද දක්නට ලැබෙන ධර්මශාලා පිළිබඳ සම්ප්‍රදාය නුවර යුගයේ සිට විකසනය වූවකි. තුන්මහල් ආකාරයට තැනුණු මේ ගොඩනැගිල්ලේ හාත්පස විවෘතය. දහවලට හොඳ හැටි ආලෝකය ඇත. රෑට ශාලාවට රැස්ව දහම් අසන පිරිස සඳහා පහන් එළි දැල්වේ. ඔවුන් ආශ්වාශ ප්‍රාශ්වාශ කරන වාතය ඉහළම මාලය කරා ගමන් කර ඉන් පිට වේ. දෙවනි මාලයෙන් සහ හාත්පස කවුලු විවර වලින් පිරිසඳු වාතාශ්‍රය ශාලාවට ඇතුලු වේ. මෙම බණ මඩු වල සතර පේරුවේ දායක දායිකාවන්ට ඇතුලු වීමට දොරටු සතරක් තනවා ඇත. සතර වරම් දෙවියන් සතුටු කරවීම සහාද එම දොරටු සතරේ විවරය ප්‍රයෝජනවත් වෙයි. ධර්මශාලාවේ දිග පළළ එක සමාන නොවේ. ඇතැම් විට බැලූ බැල්මට එය එලෙස පෙණුනද වඩු රියන් දෙකකින් පමණ පළල වෙනස් කර තනා ඇත.
            ඇතුලු වන දොරටු සතර දිග හෝ පළල දිශාවන්හි හරි මැද ලක්ෂයේ තැබීම වාස්තු විද්‍යා විරෝධී වෙයි. එම නිසා අඩි එකහමාරකින් පමණ  දොරටුව මධ්‍ය ලක්ෂයෙන් මෑත්ව ඉඳි කරති. ධර්ම මණඩපයද මැද බ්‍රහ්ම පාදයේ ඉඳිකිරීමක් නැත.  නරක පාදවල දොරටු තැබීමෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ගේ ආයුෂ කෙටි වන අතර දායකකාරකාදීන් ට පවා ලෙඩ දුක් ඇති වන  ව සඳහන්ය. එවැනි දෝෂ එක පිට එක සිදු කළ අවස්ථාවන්හිදී විහාරස්ථානය තුල තිබෙන ශාසනික පරිසරය අතුරුදහන් වන අතර මහණ උපසම්පදා වූ ස්වාමීන් වහන්සේලා ද සිවුරු හැර යාමට පටන් ගනී. පන්සල් භුමියේ උසම ස්ථානයේ විහාර මන්දිර දැගැබ් බෝමලු ආදී පූජනීය ස්ථාන ඉඳිකරනු ලැබේ. විහාර භූමියට ඇතුලු වන ස්ථානයට නුදුරින් උතුරට හෝ නැගෙනහිට මුහුණලා බණමඩු නොහොත් ධර්මශාලා ඉදිකරවනු ලැබේ. සංඝාවාස ධර්මශාලා ආදී ගොඩනැගිලි වල පියසි සකස් කරන විට එක් එක් ගොඩනැගිලි වලට විරුද්ධ නොවන පරිද්දෙන් එය සිදු කළ යුතු බව පැරණි වාස්තු විද්‍යාඥයින් පවසති.
      පසුගිය යටත් විජිත දමයේ දී ඇතිවූ යුරොපීය බලපෑම් අපේ විහාරස්ථානවලටද රිංගා ඇත. ඕලන්ද හැඩයේ කුලුණු මෙන්ම යාඥා මධ්‍යස්ථාන වැනි ධර්මශාලා ද ඒ අතර වෙති. මාලක තුනක ආකාරය වෙනුවට බින්දමක් සහිත  අගුව ඇති කළ කළ අට්ටවාල සහිත ධර්මශාලා ද  සංඝාවාස ද දක්නට ලැබේ. ඉංග්‍රීසි යුගයේ ඉඳිවුණු ශ්‍රවණාගාර වැනි ධර්මශාලා කිසි ලෙසකින්වත් බෞදධ හැදියාව නොපෙන්වන බව කිව යුතුය. එය තුල ශබ්දය දොංකාර නගන අතර අලෝකය හා වාතාශ්‍රය නැත. ශ්‍රාවකයාගේ අවධානය බිඳ වැටේ. ශබ්ද විකාශන භාවිතා කළ යුතු අතර නිතර ශබ්ද දූෂණය සිදු වේ. ගමට ගැමියන්ට බරක්  නොවූ පැරණි ධර්ම ශාලා පන්සලෙන් ඉවත්ව යද්දී එම වාස්තු නිර්මාණය ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ ශාලාවන් සඳහා උපයෝගී කර ගන්නට උත්සාහ කරන්නේ යුරෝපීය රටවල්ය. ඔවුහු ඉතා සැලකිල්ලෙන් ශ්‍රාවකයා හා කථිකයා අතර ඇති විද්‍යත්මක සම්බන්ධය සමබර කිරිමට ගොඩනැගිලි තැනීමට උත්සාහ දරති.
                 

Friday, February 24, 2012

වාස්තු පුරුෂයා හා නිර්මිත


               වාස්තු විද්‍යාවේ ආරම්භය තේත්‍ර යුගයේ දී සිදු වූ බව ශිල්ප ශාස්ත්‍රීය ග්‍රන්ථ දක්වෙයි. විශ්ව කර්ම¸ මය මනු ¸තවෂ්ට්‍ර වැනි ඉසි වරුන් ගේ ප්‍රවාදයන් අනුව සකස් වුණු වාස්තු සම්ප්‍රදාය යුගයෙන් යුගයට නව අරුත් සපයමින් වැඩි දියුණු වී ඇත. තේත්‍ර යුගයේ දී මහ පොළවේ සිදු වූ වෙනස් කම් අනුව මහා බ්‍රහ්මයා විසින් වාස්තු පුරුෂයා හට දුන් වරදානය හේතු වෙන් නව ඉඳි කිරීමක දී මේ වාස්තු පුරුෂයා මුල් තන්හි ලා සැලකෙයි. මෙය සිදුවූ අයුරු සඳහන් කර ඇත්තේ මෙසේය.
පෙර තේත්‍ර යුගයේ දී සිය සිරුරෙන් මුලු ලොව වසා නිදන මහා භූතයෝ විය. මේ දුටු බියට පත් සක් දෙවිඳු මහ බඹු වෙතට ගියේය. බඹු ගේ උපදෙස් අනුව දෙවියන් මේ භූතයා අල්ලා යටි මුව කොට බිම හෙළීය. සුරයෝ එය මත හිඳ ගත්හ. බිණර මස අව පස තියවක දවස් හි දී මහ බඹු විසින් මේ භූතයා වාස්තු පුරුෂයා නැතහොත් බහිරවයා බවට පත් කර ලීය. උපත ශනි දිනක කැති නැකතේ වෙයි.
ගණනය කරන ලද දිගින් හා පළලින් යුතු වර්ග ඵලයක යම් ගොඩ නැගීමක් වෙත් නම් වාස්තු පුරුෂයා ගේ අරක් ගැනීමක් එහි වන බව පැවසේ. ඊශාන දිගට හිස ද නිරිතට දෙපය ද තබා ගෙන සිටින මේ වාස්තු පුරුෂයා තේරුම් ගෙන ගොඩ නැගීම කළ යුතු යයි පැරණි මතයයි. මෙහිදී ගෘහ හිමියා හා වාස්තු පුරුෂයා අතර සාපේක්ෂ සාම්‍යයක් ඇති විය යුතුය. මෙය තේරුම් ගැනීමට සරල උදහරණයක් ගනිමු. වාස්තු පුරුෂයා මහ පොළව බදා ගෙන සිටින අතර එම පිණ්ඩය x යයි ගත හොත් මහ පොළවේ කොතනක හෝ තනන ගෘහ පිණ්ඩයක් x-1 ලෙසට ගත හොත් මේ වර්ග පිණ්ඩයන් අතර සාම්‍යයක් හට ගැනීම සිදු විය යුතුය. වාස්තු පුරුෂයා හා ගෘහ හිමියා අතර සාපේක්ෂ බව ඇතිකරන්නේ වඩු රියෙනන් මැන ලබා ගත් වර්ග ඵලයෙනි.මෙය ඇති කල හැක්කේ ගෙයි හිමියාගේ දකුණු අතේ දිග අනුව ගෘහ පිණ්ඩය වර්ග කිරීමෙනි. අතේ දිග වඩු රියන වශයෙන් ද එහි පුරුක් අඟුල නැතහොත් අඟල වශයෙන් ද ව්‍යවහාර වේ.
මේ මිනුම් ක්‍රමයන්හි දී විස්කම් මතය හා මය මතය දෙකකි. ලංකාවේ වාස්තු විද්‍යා ඥයින් මේ ක්‍රම දෙකම අනුගමනය කරති. ක්‍රි.. 1892 දී ඩී.පී. සිල්වා අප්පුහාමි විසින් අවසාන වරට පිටපත්කරන ලද ජනප්‍රිය පැරණි ශිල්ප ග්‍රන්ථයක් වන මය මතය නෙහොත් සිංහල මයිමතය කවි පොතේ එන හැටියට වඩු රියනට අර්ථ දක්වා ඇත්තේ මෙසේය.
යහපත් ලෙස සිඳ ගත් මගුල් කප ගෙන – මනිනා වඩු රියන මෙලෙසට ගනු    හැඳින
දකුනෙන් එක් රියන් වියතක් සිවු ගුලෙන – මෙලෙස වඩු රියන මැන ගනු වඩු විසින
මය ලංකාපති රාවන ගේ මාමණ්ඩිය වෙයි. අසුරයන් ගේ කර්මාන්ත කරුවා ද වෙයි. එහෙයින් ම ලක් ජනතාව හට වඩාත් ලංව සිටින්නේ මය ඉසිවරයාය. ඔහු ගේ මාන ක්‍රමයන් අනුව වඩු රියන මෙසේය. වැලමිට හන්දියේ සිට සුලැඟිලි දක්වා රියන ද මහපටැඟිල්ලේ සිට සුළැඟිල්ල දක්වා වියතද දබරැඟිල්ලේ මැද පුරුකේ දිග අඟුල වශයෙන් ද සැලකේ. මෙය එකතු කර ගත් කල්හි ආසන්න වශයෙන් අඟල් තිස් එකකට සමානය. මෙලෙස තනා ගත් වඩු රියනක ආදර්ශයක් දැනට මහනුවර කටු ගෙයි තැන්පත් කර ඇත. පරිපූර්ණ මිනිසෙකුගේ උරහිසේ සිට සුළැඟිල්ල දක්වා දුර ද මෙයට සමානය. මේ වඩු රිනයි. . ශිල්ප ශාස්ත්‍රීය ග්‍රන්ථයන්හි සඳහන් ගුරු අදහස් කඩ නොකොට අනුගමනය කළ බැවින් පැරණි මුතුන් මිත්තන් මිනුම් ක්‍රමයන්ගෙන් වැඩ ගත්හ.
සමහරක් වාස්තු විද්‍යාඥයින් වැලමිට හන්දියේ සිට සුළඟිල්ල දක්වා වූ මිටි රියන ද ගෙවල් ගොඩ නැගීමට යොදා ගනිති. එය නිවරදි නොවේ. මිටි රියන භාවිත කරන්නේ දුර මැනීමටයි. අබ ඇටයෙන් පටන් ගැනෙන ඒ මිනුම් ක්‍රමය අනුව වියත හා රියන තීරණය වෙයි. වියතට විග්ගුහු දෙකකි.විගුස්ස යනු මිට මොළවා ගත් අත සහ දිග හැර ගත් මහ පටැඟිල්ලයි(අඟල් 4.5). එයින් දෙකක් වියතක් වෙයි. ( වත්මන් අඟල් නවයයි) වියත් දෙකෙක් මිටි රියනක්(අඟල් 18) වෙයි. මේ මිනුම් ක්‍රමය අවසන් වන්නේ මහ දුර නැමැති මිනුමෙනි. නගර පවුරු වීදි මැනීමේ දී මේ මිනුම භාවිත කර තිබේ. නමුත් වඩු රියන යනු වෙන් පැහැදිළිව සඳහන් වන්නේ වාස්තු පුරුෂයාට සාපේක්ෂව ගෙ හිමියගේ අතින් ලබා ගන්නා දුරකි. නමුත් මේ දුර පොදු වශයෙන් ගෙන අඟල් තිස් එකේ මිම්ම ගෙන ගෙවල් වර්ග කිරීම ද කරති. එය ද වර්තමානයට අනුව නිවරදිය.
මේ වඩු රියන පුරුක් විසි හතරකට විසි අටකට සහ තිස් දෙකකට බෙදා භාවිතා කරන ක්‍රමයක් ද පුරාණ ග්‍රන්ථ වල දක්වා තිබේ. සිටු ගෙවල් තැනීමට මාළිගා තැනීමට හා සාමාන්‍ය ගෙවල් තැනීමට මෙවැනි ප්‍රභේදයක් තිබූ බව තේරුම් ගත යුතුයි. සමහරුන් මේ ව්‍යවහාරය වැරදි ලෙසට තේරුම් ගෙන වර්තමාන අඟල් විසි හතරද වඩු රියන ලෙසින් ගැනීමට උතසාහ කරති. මෙසේ කිරීමේන් ගෘහ පිණ්ඩය නිවරදිව සකස් නොවේ. අවශ්‍ය වන්නේ වාස්තු පුරුෂයා ට සාපේක්ෂව මහ පොළව මත නිර්මිතයක් ගොඩ නැගීමයි. එවිට එය පරිසරයේම වස්තුවක් බවට පත් වේ.

Monday, February 20, 2012

ළිඳ හා වැසිකිලි වල සඳහා වාස්තු

                                                  නිවස යනු වෙසෙසි වාසය සලසන ස්ථානයයි. ගල් ගෙයක් හෝ ගස් දෙබලක හෝ වාසය කිරීමට වඩා නිවාසය මනුෂ්‍ය ප‍්‍රජාවගේ සමාජ ජීවිතය ඔපවත් කරන්නකි. සිරිකත නැතිනම් ශ‍්‍රීයා කාන්තාව නිවසකට නිරන්තරයෙන් කැන්දා ගෙන පැමිණීමට හැකියාව ලැබේ නමි එම ස්ථානය නිවසක් ලෙසට හඳුනා ගත හැකිය. ලංකාවේ නිවාස පිළිබඳ නිර්මාණ ශිල්පය වසර ගණනාවක සිට විකාශනය වූ සම්ප‍්‍රදායකි. ඒ සම්බන්ධව පාරම්පරිකව පවතින දැනුම පරිහරණය කිරීමෙන් යට සඳහන් කල නිවාසයක විසීමට භාග්‍ය උදාවේ.
       ගෘහ නිර්මාණ ශිල්පය හෙවත් වාස්තු විද්‍යාව බෙහෙවින්ම ගැඹුරු ශාස්ත‍්‍ර වේදයකි. ලංකාවේ ජනතාව අතර ප‍්‍රචලිත වාස්තු විද්‍යාව සම්ප‍්‍රදායයන් දෙකක් මත පදනමි ව තිබේ යයි සිතිය හැකිය. එකක් විශ්ව කර්ම මූලික වාස්තු විද්‍යාවයි. අනෙක මය ඉසි මූලික වාස්තු විද්‍යාවයි. මෙම ක‍්‍රමවේද දෙක අතරේ පවතින මාන ක‍්‍රම  පවා විවිධත්වයක් ගනී. මෙම අගනා ශාස්ත‍්‍රයට නොයෙකුත් විදේශීය සම්ප‍්‍රදායන්ගෙන් ආභාෂය ලැබී තිබේ එය වඩාත් ශක්තිමත්ව පවතින්නට හැකිකම් ලැබුවේ එවැනි ගුරුහරු කම් නිසාවෙන් යයි සිතිය හැකිය. මෙම ලිපියට අදාළව සටහන් කරන්නට යෙදෙනුයේ වාස්තු විද්‍යාව යයි හඳුන්වනු ලබන සිංහල ගෘහ නිර්මාණ සම්ප‍්‍රදායේ පාරම්පරික දැනුම් පද්ධතියෙන් උකහා ගත් කොටස් කීපයෙකි. වෙසෙසින්ම ගෙයකට අත්‍යවශ්‍ය වූ ළිඳ හා වැසිකිලිය සම්බන්ධව තිබෙන වාස්තු සම්ප‍්‍රදාය ඉස්මතු කරලීම මෙහි අරමුණයි.
      ළිඳ පිරිසිඳු වතුර නොහොත් පානීය ජලය සපයන උල්පතකි. බුබුලකි. එය භෞතික වශයෙන් ම උල්පතක් බැවින් වාසනාව පිළිබඳ සංකේතයකි. ළිඳෙන් නිවසට වාසනාව ලබා ගැන්මට නම් එය නිවැරදි දිශාවකට ස්ථාපිත විය යුතුය. එසේම ගෙට නුදුරින් එහෙත් සම්මත දුරකින් ස්ථාපිත විය යුතුය.       පෘතුවියේ ගමන් වේගය අනුව සියලුම වස්තූන් ගුරුත්ව බලයට යටත් වේ. මනුෂ්‍යා මෙන්ම අනෙකුත් භෞතික වස්තූන් ද ඒ ධර්ම නියාමයට යටත්ය. මනුෂ්‍යයෙකුගේ ජීවිතය පිළිබඳ හඳහනකින් පවසන දේ සොබා දහමට සාපේක්ෂ වේ. හඳහනේ කොටු දොළහ මගින් සංකේතවත් කරන දුක සැප මනුෂ්‍යා වෙත නිරන්තරයෙන් ළඟා වේ. එය තේරුම් ගැනීමට ජ්‍යෙතීර්වේදීන් ගේ මග පෙන්වීම අත්‍යවශ්‍යවේ. මනුෂ්‍යා විසින් භෞතිකව නිර්මාණය කරන ලද යම් කිසි වස්තුවක් මහ පොළවේ කෘතිම ව පිහිටුවා ලීමේ දී මෙකී සොබා දහම් නියමය එයට අදාල පරිදි ක‍්‍රියාත්මක වීමට පටන් ගනී. ඒ අනුව  ගෙදරකට සාපේක්ෂව ළිඳක් ස්ථාපිත කිරීමේ දී එයටද හඳහනක් නිර්මාණය වේ. පොළවේ කාන්දම් බලය හා විශ්ව ශක්තිය නිවසට බලපාන ආකාරය එහිදී තේරුම් ගැනීමට හැකි වන්නේ හඳහන ආශ‍්‍රයෙනි. මෙහි සඳහන් රූප සටහන මගින් එය වටහා ගැනීම වඩාත් පහසුය.

එක් එක්  දිශාවට සාපේක්ෂව පිහිටුවන ලද ළිඳ මගින් නිවසට ඇතිවන සුභා සුභ මෙලෙස දැක්විය හැකිය.

උ/ව. ස්ථාන-- ධන හානි සිදු වේ. ලෙඩදුක් කරදර ඇතිවේ. පිරිමි පක්ෂයට බඩේ අමාරු සෑදීමට ඇති ඉඩකඩ                     බෙහෙවින්ම වැඩිය. .
ව/බ.  ස්ථානය----දූවරු හිතුවක්කාරවේ. විවාහය දෙදරීමට ලක් වේ.
බ.  ස්ථානය----අඬ දබර ඇතිවේ. අඹු සැමි කෝලාහල ඇතිවේ. කාන්තාවන් ගෘහයේ නායකත්වයට පත් වේ.
                 අසල්වාසීන් ගෙන් කරදර ඇති වේ.
බ/නි.  ස්ථානය----සාමාන්‍යයෙන් සුභයි. අඩි විස්සක් පමණ එහායින් ළිඳ සකස් කළ යුතුය.
නි/ද.  ස්ථානය----ස්වාමියා හැරලා යයි. දූවරු හිතුවක්කාර වේ. කාන්තාව හැරලා යයි.
ද.  ස්ථානය----කාන්තාවන්ට විපත්තිකරය. ඇතැමි විට මරණය පවා සිදුවිය හැකිය. අඬ දබර ඇති වේ. පිරිමි
                 කාලකන්ණි ස්වභාවයකට පත් වේ
ද/ගි.   ස්ථානය----මහා විපත්ති සිදු වේ. දූවරු නොගැලපෙන අය සමග විවාහ වේ.
ගි/නැ.   ස්ථානය----පුත‍්‍රයින් ට හොඳ නැත. රැකී රක්ෂා විනාශ කරයි. ගර්භාෂ රොග ඇති කරයි.
නැ.   ස්ථානය----පිරිමින්ට හිසේ කැක්කුම්. ආයුෂ කෙටි වෙයි.
නැ/ඊ.ස්ථාන------ධන ලාභ ගෙන දෙයි . වාසනාව ගෙන දෙයි.
          ළිඳ ගොඩ නැන්වීමේ දී නිවසේ සිට පවතින දුර පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. සාමාන්‍යයෙන් රියන් 07 13 15 19 25 සහ 27 යන දුර සීමාවන් භාවිතා කිරීමෙන් දොස් රහිතව ළිඳේ වාසනා ගුණය ලැබෙන පරිදි පවත්වාගෙන යා හැකිය.

වැසිකිළිය----
   වැසිකිලි හා කැසිකිලි නොහොත් මල මූත‍්‍රා බැහැර කරන ස්ථාන පිළිබඳ වැටහීමක් පුරාණ සමාජයට මනා සේ පිහිටා තිබුණි. භික්ෂූන් වහණ්සේලා උදෙසා තැනූ ආරාමයන්හි කැසිකිලි වැසිකිලි පරීක්ෂා කරන කල්හි එය තහවුරු වේ. මලමුත‍්‍ර ආදී අප ද්‍රව්‍ය බැහැර කරන හෙයින් ඒ ස්ථාන ස්වභාවිකවම අපවිත‍්‍ර වේ. ඒ ආශ‍්‍රයෙන් වෙසෙසි භූත කොටස් වර්ධනය වීමක් නිරන්තරයෙන් සිදු වේ. එවිට නිවසට සාපේක්ෂව ඉඳි කරනු ලබන වැසිකිලි කැසිකිලි නිසා ගෙදර නිවැසියන්ට වන අපල උපද්‍රව පිළිබඳ වැටහීමක් රූප සටහන ආශ‍්‍රයෙන්ම ලබා ගත හැකිය. එයද දිශාව අනුව මෙලෙස වෙනස් වේ
උ/ව.  ස්ථානය---- සුදුසු නැත. අනතුරු සිදු වේ.
ව/බ.     ස්ථානය----අඩි දහයා මාරක් එහායින් තැනිය හැකිය.
බ.     ස්ථානය----සදුසු නැත. අපල උපද්‍රව ඇති වේ.
බ/නි.     ස්ථානය----අඩි හයකින් එහා තැනීමට සුදුසුය.
නි/ද.     ස්ථානය----අඩි දහයකින් එහා සුදුසුය.
ද.     ස්ථානය----කාන්තාවන්ට විපත් සිදුවේ.ගර්භාෂගත රෝග ඇතිවේ. සැත්කම් කිරීමට සිදු වේ. පිරිමින්ට
          කරදර සිදු වේ.                   
ද/ගි.     ස්ථානය----විවාහය කඩාකප්පල් වේ.දූවරු හිතුවක්කාරවේ.
ගි/නැ.     ස්ථානය----පිරිමින්ට අපල උපද්‍රව ඇති වේ.
නැ.     ස්ථානය----පිය පුතු විරසක වේ. ලෙඩදුක් කරදර ඇති වේ.
නැ/ඊ.  ස්ථාන-----උමතු රෝග ඇති වීමට හේතු කාරණා යෙදේ.
        මෙම ස්ථාන වල ළිඳ හා වැසිකිලි තැනීමෙන් සුභ අසුභ ඇති වන්නේ එම නිවැසියාගේ කර්ම ශක්තිය අනුව බවද සිහි තබා ගත යුතුය. එම නිසා අපල උපද්‍රව තුනී කර ගැනීමට ධර්ම මාර්ගයේ හැසිරීම වඩා වැදගත් වන බව ද කල්පනා කට යුතුය.

                                                  
                                     

Monday, January 23, 2012

මහා කරැණාව

බෝසත් ගුණැති මිනිසුන් -අතරින් එකෙකු රැඳෙමින්
මහා ගල් කුල මෙලෙක් කරමින්
තැනූ කරුණා පිළි රූ
පණ ලබන්නට නම්
කල්පයක් තව බලා ඉන්නට වේවිදෝ