පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, February 1, 2023

දහතුන සහ දහසය වන සංශෝධනයන් මගින් එළඹෙන භයානක ඉරණම

 

 

 


                

     ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයට ගොස් 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කරන ලද ප්‍රකාශය අලුත් තත්වයක් නොවේ. නිදහස් දිනයට ප්‍රථම බලය බෙදා අවසන් කරන බවටද ඔහුගේ කලින් ප්‍රකාශයක් විය. දැනට ඔහු ඉදිරියේ අභියෝගයන් දෙකක් ඇත. පොහොට්ටුවේ බලය ගිලිහෙන්නට නොදී බලයේ සිටිමින් බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ යම් කිසි කොටසක් බිම් මට්ටමේ සිදු කිරීම සහ පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීම මගින් තමන්ට පැමිණෙන අභියෝගය තාවකාලිකව පස්සට දමා ගැනීම මේ කරුණු දෙකයි.පොහොට්ටුවේ ආයු කාලය අවසන් බව ඔහු දනී.මහින්ද රාජපක්ෂ මහතාගේ ඇවෑමෙන් තව දුරටත් පොහොට්ටුව විසිරෙන ආකාරය පිළීබඳ වැටහීමක්ද තිබෙනවා වන්නට පිළිවන. රටේ ප්‍රධානත්වයට නව නායකත්වයක් නැති පසුබිමක මාර්තු මාසයෙන් පසු ජනපතිවරනයකට යෑම සඳහා සූදානම් වීමක් මෙහිදී දක්නට ලැබේ. දෙමළ ජාතික සන්ධානය ට සහ ඉන්දියාවට දොල පිදේනි දෙමින් කල්මරමින් සිටින්නේ බලය තහවුරු කර ගැනීමේ වුවමනාවට බව පැහැදිලිය.ඒ අතර ඉන්දීය විදේශ ඇමති ජය ශංකර්ගේ පැමිණීමෙන් පසු පළාත් සභාවද පැවැත්වීමට බල කිරීමක් සිදු කර තිබේ.

          දහතුන් වන සංශෝධනය යනු ජාතිය ඉදිරියේ ඇටවූ මර උගුලකි.එවක ඉන්දීය දඩු අඩුවට අසු කර ගත් ජේ.ආර්. ජයවර්ධනයන් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තබා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනවුත් පළාත් සභා පිහිටුවන්නට යෙදුණි.බෙදා වෙන් කර ගැනීමට තැත් දරන උතුර සහ නැගෙනහිර පෙදෙස් වලට අමතරව තවත් පළාත් හතක ස්වයං පාලනය සදහා නැතිනම් ෆෙඩරල් ක්‍රමය ස්ථාපිත කරලීමට ඇටවූ මේ උගුල ජේ.ආර්. ජයවර්ධනගේම කපටි උපාය මත අක්‍රීය කර ඇත්තේ ව්‍යවස්ථාවට එක් වගන්තියක් එකතු කරමිනි.පසුගිය කාලයේ කීප වරක්ම මෙම වගන්තිය ඉවත් කරලීමට බෙදුම්වාදීන් තැත්කලහ. චන්ද්‍රිකා මැතිණිය මහින්ද රාජපක්ෂ  යන දෙදෙනාම ඊට කැමැත්තක් දැක්වුවද හේතු ගණනාවක් නිසා ඒම අරමුණට ළගා විය නොහැකි විය.ජේ.ආර්. ජයවර්ධනට පසු බලයට පත් ආර්.ප්‍රේමදාස මහතා 13ටත් එහා ගොසින් දහසය වන සංශෝධනය සම්මත කර ඇත. එයින් බලාපොරෙත්තු වන ලද්දේ දෙමළ බස උතුර සහ නැගෙනහිර පෙදෙස් වල පරිපාලන බස කර ගැනීමයි. වෙනම දේශයක් වෙනම භාෂාවක් වෙන් වී යෑමට අවශ්‍ය සාධකයන්ය. අන්තර් ජාතිකව පිළිගන්නා සාධකයන්ය.මේ වන විට උතුර සහ නැගෙනහිර ප්‍රදේශයන්හි උසාවි කටයුතු සියල්ල කරනු ලබන්නේ දෙමළ භාෂාවෙනි.මේ නිසා පුරාවිද්‍යා ස්ථානයන් පිළිබද මහේස්ත්‍රාත් අධිකරණ වලදී පවත්වන නඩු විභාග වලදී පුරාවිද්‍යා නිළධාරීන්ට දැඩිදුෂ්කරතා වලට මුහුණ දීමට සිදුව තිබේ.ඉදිරියේදී පළාත් සභා මගින් පුරාවිද්‍යා ප්‍රඥප්තියක් සම්මත කරගතහොත් උතුරු සහ නැගෙනහිර සියලු බෞද්ධ ස්මාරකයන් අනතුරේ වැටෙනු ඇත.

     මේ ප්‍රශ්ණයේ ඊළඟ අදියර නිර්මාණය වනුයේ මධ්‍යම පළාත අරභයාය. 2012 ජන සංගණනයට අනුව මධ්‍යම පළාත එනම් මහනුවර මාතලේ සහ නුවර එළිය දිස්ත්‍රික්කයන් හි සමස්ත සිංහල ජනගහනය 2012 ජන සංගණනයට අනුව 4599476 කි. දෙමළ බස කතා කරන ජනතාව එනම් ඉන්දියානු දෙමළ ලංකා දෙමළ සහ මුස්ලිම් ජනගහනය 2255804 කි. 2023 දී පැවැත්වීමට නියමිත ජන සංගණනයේ දී මේ තත්වයත තවදුරටත් වෙනස් විය හැකිය. මේ සංඛ්‍යා ලේඛන ගත් විට සිංහලයන් අභිබවා දෙමළ බස කතා කරන ජනයා ගේ වර්ධනයක් නොමැති බව කෙනෙකුට පෙන්වා දිය හැකිය.

 


 

 නමුත් යතාර්ථය එය නොවේ.  නුවර එළිය දිස්ත්‍රික්කය තුළ ජනගහනය සලකා බැලීමෙන් සබෑ තත්වය වටහා ගත හැකිය  එහි සමස්ත සිංහල ජනගහනය 282053 කි. දෙමළ බස කතා කරන ජනයා එම දිස්ත්‍රික්කය තුළ 427856 දක්වා වර්ධනය වී තිබේ.විශේෂයෙන්ම මෙහි දෙමළ ජනගහනය 410204 ක් සිටින  අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් තුළ ද සිංහල ජනගහනය අභිබවා දෙමළ ජනයාගේ වර්ධනයක් දක්නට හැකිය. මෙය මෙලෙස සිදු වූයේ අවසාන වශයෙන් 1987 දී සම්මත කරන ලද පුරවැසි පනත මගින් ඉන්දියාවට පිටත් කර යැවිය යුතු එතෙක් ලංකාවේ ඉදිරව සිටි සිටි ඉන්දියානු සම්භවයක් සහිත සියලුම  දෙමළ ජනයාට කිසිම කොන්දේසියක් නොමැති පුරවැසි කම පිරිනැමීමයි.

      මෙම පුරවැසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කල්හි මෙයට සහමුලින්ම විරුද්ධ වූ ප්‍රධාන පුද්ගලයා වූයේ වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගණවර්ධන මහතාය.මේ සම්බන්ධව ඔහු විසින් පාර්ලිමේන්තුව අමතා කරන ලද කතාව ඇතුලත් කර ජාතියේ උරුමය වැළලයි යනුවෙන් කුඩා පොත් පිංචක්  මහජන එක්සත් පෙරමුණ විසින් 1987 දී ප්‍රකාශයට පත් කර ඇත. එම ප්‍රකාශනයෙන් පැහැදිලි කරනුයේ පුරවැසි පනතේ හත් වන වගන්තියේ භයානක කමය.විශේෂයෙන්ම 16 වන සංශෝධනය අනුව උතුර සහ නැගෙනහිර පළාත් වල පමණක් නොව නුවර එළිය දිස්ත්‍රික්කයේ දෙමළ ජනයා වර්ධනයව  සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් තුළද දෙමළ බස පරිපාලන බස වන අකාරය ඔහු පෙන්වා දී තිබුණි.16 වන සංශෝධනයේ දී එම තත්වය විග්‍රහ කොට ඇත්තේ මෙසේය.

උප දිසාපති කොට්ඨාසයක් සංයුක්ති වන යම් ඒකකයක සුළු ජනගහනයට එම ප්‍රදේශයේ සිංහල හෝ දෙමළ භාෂාමය සුළු ජන කොටස දරන අනුපාතය කෙරෙහි සැලකිල්ල ඇතිව ජනාධිපතිවරයා විසින් සිංහල සහ දෙමල භාෂා දෙකම හෝ ඒ ප්‍රදේශය පිහිටි පළාතේ පරිපාලන භාෂාව වශයෙන් භාවිතා කරනු ලැබූ  භාෂාව නොවන වෙනත් භාෂාවක් හෝ ඒ ප්‍රදේශය සඳහා පරිපාලන භාෂාව වශයෙන් භාවිතා කරනු ලැබීමට විධාන කරනු ලැබීමට විධාන කරනු ලැබිය හැකිය.

         දැන් නුවර ඒළිය දිස්ත්‍රික්කයේ භාෂමය තත්වයේ අනාගත තීරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම 22 වගන්තිය අනුවයි.පසුගිය යහපාලන සමයේ දී අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා නුවර එළි දිස්ත්‍රික්කයට අයත් අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කොටස් තුනකට කැඩීමට තම තනි බලය පාවිච්චි කරන ලද්දේ එවක කඳුකරයට පැමිණි නරේන්ද්‍ර මෝදී ගේ  දෙශපාලන මැදිහත් වීම මතය.දැන් මේ වන විට අඹගමුව නෝර්වුඩ් සහ හැටන් දික්ඔය යනුවෙන් ප්‍රාදේශීය සභා බල ප්‍රදෙශ තුනක් වෙන්ව පවතින අතර නෝර්වුඩ් සදහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ද ස්ථාපනය කර තිබේ. නෝර්වුඩ් වල බහුතර ජනගහනය දෙමළ වන අතර ඉදිරියේ දී 13 සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළහොත් කඳු කර දෙමළ රාජ්‍යය සඳහාද පදනම භාෂාමය තත්වයෙන් සහතික කරනු ඇත. 1957 දී බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඇති කරන කල්හි. ඊට විරුද්ධ වූ එක්සත් ජාතික පක්ෂය මේ මගින් බෙදෙන රට යනුවෙන් කුඩා පොත් පිංචක් රට පුරා බෙදා හැරීය.එ පොත් පිංචේ යෝජිත දෙමළ රාජ්‍යය යනුවෙන් සටහන් කර තිබුණු ප්‍රදේශයන් වශයෙන් උතුර සහ නැගෙනහිර සහ මධ්‍යම පළාතද දක්වා තිබුණි.ඒ මධ්‍යම පළාතේ ජනගහනය අනාගතයේ දී තව දුරටත් දෙමළ ජනයාගෙන් සංතෘප්ත වුවහොත් අතැම් විට ඉන්දීය මැදිහත් වීම මත  දෙමළ ජනයා පදිංචි කිරීමෙන් හෝ පළමුව නුවර එළිය දිස්ත්‍රික්කයේ ද දෙවනුව මහනුවර දිස්ත්‍රික්කයේ ද තෙවනුව මාතලේ දිස්ත්‍රික්කයේ ද ඉන්පසුව සපරගමුව පළාත පමණක් නොව ඌව පළාත දක්වාමද දෙමළ බස පරිපාලන බස කර ගත් දෙමල රාජ්‍යයක් ස්ථාපිත වීමට තිබෙන ඉඩ කඩ බොහෝය.

   හැට නව ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂට චන්දය භාවිත කරන ලද්දේ මේ ටික කරගන්නට නොවේ.ඔහු සියලු සිංහලයන් පාවා දී පැන ගියේ රනිල් වික්‍රමසිංහ වැනි බෙදුම්වාදියෙකුට රට පවරා දීමෙන් පසුවයි.රනිල් වික්‍රමසිංහ මේ මෑතකදී උලමා සංවිධානයේ සමුලුවකදී ප්‍රකාශ කරන ලද්දේ නූතනත්වය අනුව අපි බටහිර ශිෂ්ඨාචාරයට නතුවී අවසන් බවයි. ඒ අනුව සිංහල කමද බෞද්ධ කමද අප අත්හැරිය යුතුය.ඒ ඔහු ගේ බටහිර ගැති ආකල්පයන්ය. නමුත් වර්ෂ දෙදහස් පන්සීයක් තිස්සේ පමණක් නොව මෑතකදී පැවති කොටි ත්‍රස්ත සමයේ දී පවා ජීවිත පූජා කරමින් රැකගත් මාතෘ භූමිය මේ මනස්ගාත වලට යට කළ යුතු නොවන බව අප සමස්ත සිංහල ජාතිය වවටහා ගත යුතුය.ඒ නිසා ඉන්දීය මැදිහත් වීමත් බටහිර න්‍යාය පත්‍රයත් අප විසින් පරාජය කිරීම අනිවාර්ය සාධකයක් වනු ඇත.

මතුගම සෙනෙවිරුවන්

     

Wednesday, January 18, 2023

උතුර සහ නැගෙනහිර පෙදෙස්හි දාගැම් බෑඳීම සහ දාගැබ් බිඳීම

 

 

 


                     

            දීර්ඝ කාලීනව පැවති කොටි ත්‍රස්ත යුද්ධය නිමා වීමෙන් පසුව යටිතල පහසුකම් සංවර්ධනය වීමත් සමග ඇති වූ පරිවර්තනය බඩාත්ම  බලපෑම් ඇති කරන ලද්දේ වෙහෙර විහාරස්තාන ගොඩ නැන්වීම සම්බන්ධයෙනි. නිදහස ලැබූ අවදියේ දී නාග ද්පීපය සේරුවිල දහ දීඝවාපිය වැනි අතිශය වැදගත් බෞද්ධ සිද්ධස්ථානයන් නැවත පිළිසකර කරනු ලැබූවේ දකුණේ විසූ සැදැහැවත් බෞද්ධ පින්වතුන් ගේ දායකත්වයෙනි.මේ පරිවර්තනයත් සමග විහාරස්ථානයන් සමග දකුණේ වෙළඳ ව්‍යාපාරයන් පවා උතුරේ විවෘත විය. දකුණේ බේකරි කර්මාන්තය යාපනයට පැමිණියේ මෙලෙසිනි. නමුත් අසූව දශකයේ දී විහිදුවන ලද දෙමළ ඊළාම් ද්‍රවිඪීකරණ සංකල්පය  මත ඇවිලවූ යුද්ධය නිසා 1987 වන විට උතුරේ සිටි සිංහලයන් පළවා හැරීමේ ව්‍යාපාරයක් බවට පත් විය.මෙම යුද්ධය අවසන් වීම මත නැවත පෙර පැවති තත්වයට යා යුතුවව තිබුණි. උතුරු නැගෙනහිර ජීවත් වූ දෙමළ ජනතාව සමග පෙර පැවති සහෝදරාත්මක ජීවන රටාව නැවත ගොඩ නැන්විය යුතු විය.මේ සඳහා උතුරට වැඩම කරලූ ගරුතර මහාසංඝරත්නයෙන් ඉටු වූයේ මහඟු යුතුකම් සමුදායකි. යුධ හමුදාවත් අනෙකුත් ආරක්ෂක අංශත් තමන් ගේ කඳවුරු භූමියෙන් පිට ජීවත් වන ජනතාවට සලකන ලද්දේ බේදයකින් තොරවයි. ඒ නිසා උතුරේ විහාරස්ථාන ගොඩ නැගීම යනු දෙමළ ජනතාවට විරුද්ධ වීමක් ලෙසට ඔවුහු කල්පනා නොකළහ.

          උතුර සහ නැගෙනහිර ප්‍රදේශයන්හි 2009 වර්ෂයෙන් පසු විශේෂයෙන්ම 2012 වර්ෂයේදී පමණ ආරම්භ කරන ලද පුරාවිද්‍යා ගවේෂණ කටයුතු වලදී අනාවරණය වූ පුරාවිද්‍යා ස්ථාන 1700 කට වැඩි තරම්ය. 1981 දී සිරිල්මැතිවි මහතා විසින් පළ කළ යුනෙස්කොවට ඉදිරපත් කරන ලද වාරතාවේ තිබුණේ 276 ක් පමණි. නමුත් ඒ සීමාවට වඩා එහායින් මෙම ස්මාරකයන් විසිරී පවතින බවට තොරතුරු හෙළි විය.මේවායින් සාතිශය බහුතරයක් බෞද්ධ ස්මාරකයන් බවටද හෙළි විය. ඒ තත්වය තුළ අරිසිමලේ සෙම්බු මලේ මාතොට විහාරය කුරුන්දි විහාරය සපුමල්ගස්කඩ කන්කසන්තුරේ තිස්ස විහාරය මුහුදු මහා විහාරය සහ දීඝවාපිය ආදී ඉතා වැදගත් බෞද්ධ සිද්ධස්ථාන රැසක් පීළිසකර වන්නට විය. දීඝවාපීයට ප්‍රථම වරට හමුදාවේ දායකත්වය ලබා දෙමින් එහි ගර්භය බැඳීමේ කොටස නිමා කරන්නට උත්සුක වී තිබේ.



    දාගැම් බඳින්නෝ දෙවිලොට යති දාගැබ් බිඳින්නෝ අපාය ගාමී වෙති. වෙතරණි නම් නරකයේ උපදිති.මේ පීලිබඳ පොත පතින් පමණක් නොව  අපේ ගම්වල විහාරස්ථානයන් තුළ බිතු සිතුවම් මගින් ද පෙන්නුම් කර තිබේ.විහාරස්ථානයක තිබෙන වැදගත් අංග අතරින් බෝධිය සහ චෛත්‍ය ප්‍රධාන වෙති පිළිම ගෙය හැදුණේ පසු කාලීනවයි.සිරිපතුල් ගල් ආසනඝර ආදී බෞද්ධ වාස්තු විද්‍යාවේ වැදගත් සන්ධිස්ථානයන් පසු කර යන විට මේ විහාර අංග පිළිබඳ වැදගත් කමත් ඒවා වන්දනාමානයෙන් සිදුවන කුසල් පිළිබඳවත් අපට දැනුමක් ලබා දේ.මිහිඳු මහ රහතන් වහන්සේ කලක් බුදු රදුන් නොදුටු බැවින් දඹදිව වඩිනු කැමතිව දේවානම් පියතිස්ස රජුට සැළ කරසිටියහ. මිහිඳු මා හිමියන් මෙයින් අදහස් කරන ලද්දේ සර්වඥ ධාතු නුදුටු හෙයින් බව අවබෝධ කරගත් රජු ධාතු නිධාන කොට ගත් චෛත්‍යක් ගොඩ නන්වා යොදුනෙන් යොදුනටද කුඩා චෛත්‍ය ගණනාවක් ද කරවූ බැව් සඳහන්ය.ධාතු පිහිටුවා දාගැබක් කරවීම බුදු රදුන් ඒ විහාරස්ථානයෙහි වැඩ වාසය කරවා ගැනීමක් ලෙස සලකා තිබේ. චෛත්‍යය වැඳ බෝමලුවට පිවිස බුසු රදුන් හමුවෙහි මෙන් යටහත් පහත් පැවතුම් දක්වා බෝධිය වැඳිය යුතු යයි සූත්‍ර දේශනා වල සඳහන් ය.

 

චෛත්‍යක් වන්දනා කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමයක් වීය. එම වන්දනා ක්‍රමය සකස්ව තිබෙන්නේ බුදුන් වහන්සේට වන්දනා මාන කළක්‍රමය අනුව යයි සිතිය හැකිය.සැරියුත් මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේට කළ අවසන් වැඳුම පිළිබඳව ධර්මග්‍රන්ථයන්හි විස්තර වෙයි. තෙරුන් වහන්සේ තුන් වරක් බුදු රදුන් පැදකුණු කොට සිව් තැනක සිට වැඳ වැටී හිමියනි මම ඔබගේ දැකීම පැතුවෙමි. මාගේ ප්‍රාර්ථනාව සමෘධ වී යැයි කීය.ඔබ වහන්සේ දුටු වෙමි. ඒ මුල් දැකීමයි. මේ අන්තිම දැකීමයි.මෙසේ වදාරා දොහොත් මුදුන් තබා වැඳගෙනම පේන තෙක් දුර මුහුණ බලාගෙනම පසුපසට ගොස් මෙතැන් පටන් චුති ප්‍රතිසන්ධි වශයෙන් නැවත කිසිම තැනක ඉපදීමක් නැතැයි වැඳ වැටුණු බව දක්වා ඇත.

   මේ සම්ප්‍රදාය අනුගමනය කළ සිංහල බෞද්ධයන් ට ඔවදන් දුන් භික්ෂූන් වහන්සේලා මෙසේ කීහ. මහා සෑයක් නම් තෙවරක් පැදකුණු කොට සතර තැනක පසඟ පිහිටුවා වැඳිය යුතුය. කුඩා සෑයක් නම් එසේම ප්‍රදක්ෂිණා කොට අට තැනක සිට පසඟ පිහිටුවා වැඳිය යුතුය. දුටු ගැමුණු මහ රජතුමා විසින් කරවන ලද රුවන්වැලි මහා චේතිය  මහා චෛත්‍යය නමින් හැඳින්වේ. අන්‍ය චෛත්‍ය වලට වඩා පූජනීය වස්තු නිදන් කොට ඇති හෙයින් අසදෘස මහා සෑය නමින්ද ප්‍රකට ය.මෑත කාලයේ දී අසදෘෂ සෑයක් බැඳ වී නම් ඒ කූරගල අසදෘෂ ශාක්‍ය සිංහ චෛත්‍ය රාජයාණන් වවහන්සේය.චෛත්‍ය විකාශනයේ දී නොයෙක්  අංග එකුතු වී තිබේ. බුබ්බුලාකාර ධාන්‍යාකාර පද්මාකාර ඝණ්ඨාකාර ඝඨාකාර ආදී වශයෙන් හැඩයන් කීපයකි.මල් පිදීමේ තැන් වශයෙන් පුප්ඵදාන නැතිනම් මල් පියවසා යනුවෙන් වේදිකාවකි.මෑතකදී සංරක්ෂණය කරන ලද කුරුන්දි විහාර පද්මාකාර ස්ථූපයේ තුන් මහල් පේසාවක් ඇත.පොළොන්නරු යුගයේ දී තවත් අතකින් චෛත්‍ය නිර්මාණයන් විකාශනය විය. රන්කොත් වෙහෙර සහ කිරිවෙහෙරේ පාදයන් වටා බුදු පිළිම සහිත කුඩා පිළිම ගෙවල් අටක් පිහිටා තිබේ. අනුරාදඵුර මුල් යුගයේ එසේ නැත.

   චෝල අක්‍රමණයන් නිසාද කාලිංග මාග ආක්‍රමණ නිසාවෙන්ද නටුබන්ව ගිය චෛත්‍ය නැවත ගොඩනැන්වීම ආරම්භ කරන ලද්දේ විසිවන සියවස්හි මුල් භාගයේ සිටය. සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් කරන මේ කටයුතු  බුදු රදුන් වෙනුවෙන්මය යන පැරණි මග සිංහල බෞද්ධයන් අතින් අනුගමනය විය. රුවන් මැලි සෑය කතරගම කිරි වෙහෙර  ආදිය නැවත එලෙස පිලිසකර කර සුදෝ සුදුවන්ව බබළන ස්වරූපයෙන් කොත් පැළන්දුවද පුරාවිද්‍යාවට පවරා ගැනීමෙන් පසු ජේතවනයත් අභය ගිරියත් පමණක් නොව පොළොන්නරු රන්කොත් වෙහෙර කිරි වෙහෙර ආදියද කපලාරු කිරීමටද නොහැකි විය.ජේතවනාරාම පුවරුලිපියෙහිදී සතරවන මිහිඳු රජු පවසා ඇත්තේ නවකම් කිරීමටය.නොබෝසත්හු නොරජ් වම් යැයි එතුමා පවසා ඇත්තේ මෙවැනි පුණ්‍යකර්මයන් නොකර රජකම් කළත් පළක් නැතැයි හඟවන්නටයි.ඉතින් ජේතවනයත් අභය ගිරියත් සුණු පිරියම් කොට කොත් පැළැන්දූ දිනයට රටම එකසේසත් වනවා නිසැකය.

     වර්තමානයේ දී විශේෂයෙන්ම උතුරු නැගෙනහිර චෛත්‍යක් තහවුරු කරවන්නටද බාධක පවතී නීතිමය බාධා පවතී.කිලිනොච්චියේ උරතිපුරම් දාගැබත් කන්නියා උණු වතුර ළිං ළඟ තිබෙන දාගැබත් තහවුරු කරවීමට ගිය නිළධාරින්ට බැණ තර්ජනය කොට ආපසු එවූහ. නඩු දැමූහ.මේ දාගැබ් හි පේසාව ළඟින්ම ගිහියන්ගේ ටොයිලට් වලවල් හෑරීමටද නිවෙස් සෑදීමටද උත්සුක වී සිටිති. සමලන්කුලම දාගැබ සහ  යාපනයේ වෙහෙර පිටිය දාගැබ් උදාහරණ වෙති.මේ ඉඩම් මැන වෙන් කිරීමට ආරක්ෂා කිරීමට ඇමතිවරුන් පමණක් නොව ජනපතිවරුන්ද අගමැති වරුන්ද තහංචි පණති. යහපාලන සමයේ දී ඒවැනි තහංචියක් පැණවූ පුද්ගලයා අද ජනපති වී සිටී.මේ තත්වය නිසා දාගැබ් හැදීමේ සීඝ්‍රතාවයට වඩා දාගැබ් කැඩීමේ ඩෝසර කිරීමේ ක්‍රියාවලිය යස රඟට සිදු වේ.මඩකලපුවේ හිරිකෝවිල් දාගැබ දෙපළු කරලූයේ ඉඩම් තණ්හාවටයි.ප්‍රථමයෙන් පැහැදිලි කළ ලෙස දාගැබ් සෑදීමෙන් දෙව්ලොව වෙතද දාගැබ් බිඳිමෙන් නරකයෙහිද උප්පත්තිය ලැබීමට හේතු වෙයි.මේ ගැන නිමි ජාතක කතා වස්තුවෙහි හොඳින් පැහැදිලි කර දී තිබේ.ඉතින් අද උතුරෙහි සෑදෙන දාගැබ් දෙස බලමින් අප සාධු කාර නොදෙන්නේ මන්ද.

මතුගම සෙනෙවිරුවන්

 

     

Sunday, January 1, 2023

සිංහලයන්ගේ කාඩ් කුඩු කිරීම සහ දෙමළුන් ගේ කාඩ් පොලිෂ් කිරීම

 

 

 


                      

              වැවිලි ආර්ථිකය ලංකාවෙ ගොඩ නගන්නට ඉංග්‍රීසීන්ට විශාල ප්‍රතිසංස්කරණ රැසක් කරන්නට සිද්ධ වූඅකාරය අපට ඉතිහාසයෙන් දැන ගත හැකියි. මුඩු බිම් පනත එහි එක් පියවරක් විය.මෙරට සිංහල ජනතාව සතුව තිබූ පාරම්පරික වගා බිම් සහ මූකළාන් රාජ සන්තක කොට ඒවායේ කෝපි තේ සහ රබර් වැවීම ආරම්භ වූයේ දහනව වන සිය වසේ මැද භාගයේ දීය .රාජකාරිය තහනම් කිරීම මගින් සිංහල පරිපාලන ක්‍රමය අවලංගු කොට නව ශ්‍රම බලකායක්  ආදේශ කිරීම ඉංග්‍රීසීන්ගේ උත්සාහය විය. සිංහල ජනතාව කම්මැලි පිරිසක් බවද ඔවුන් වැඩ නොකරන නිසා දෙමළ කම්කරුවන් ඉන්දියාවේ සිට ලංකාවට ගෙනා බව කීම පට්ටපල් බොරුවකි.ඉංග්‍රීන්ට අවශ්‍ය වූයේ සිංහලයන්ගේ බල පරාක්‍රමය හීන දීන කොට ආර්ථිකය නට්ටන් කර විදේශික ශ්‍රම පිරිසක් සමගින් රට ඉදිරියට ගෙන යෑමයි.වෙල්ලස්ස අරගලයේ අමිහිරි පාඩම් සහ මාතලේ නිදහස් සටනේ අමිහිරි පාඩම් නිසා ඉංග්‍රීසීන් මදක්වත් පසුබට වූයේ නැත.නව ආඥා පනත් සම්මත කරමින් සිංහල ජනතාව අඩපණ කිරීම දිගින් දිගටම සිදු වුණ හැටි පෙන්වා දීමට හැකිය.

          මහ මූකළාන් හෙළි පෙහෙළි කොට වතු වැවිල්ලට බිම් සකස් කිරීම යනු රටේ හදවත බඳු උඩරට කඳුකරය විනාශ කිරීමකි.අඛණ්ඩව ගලා ගිය ස්වභාවික දිය උල්පත් මේ විනාශය නිසා මළ දොළවල් බවට පත් වීමට වැඩි කලක් ගත වූයේ නැත. තේ වතු වවල අදටත් දක්නට තිබෙන කලෑ කට්ටි ඔවුන් ඉතිරි කලේ මේ දිය උල්පත් හිඳෙන්නට පටන් ගැනීම නසයි.ඒ වගේ ම දොළක රක්ෂිතය දම්වැලක ප්‍රමාණයකට ඉතිරි කර ඇත .එහෙත් සුද්දන්ගෙන් කලු සුද්දන් රට භාර ගැනීමත් සමග මේ කැලෑ කුට්ටිත් එළි කරමින් වතු වගාව පුළුල් කළ අතර කටු පොල් වගාව නිසා අද වතු වැව්ල්ලේ බොහෝ ඉඩම් නිසරු බිම් බවට පත්වී ඇත.නදිහස ලැබී වසර හැත්තෑ පහක් ගත වීද කඳුකරයේ සිට ගලා බසින මේ දෙළවල් වල රක්ෂිත වෙන්කොට වන වගාව පුළුල් කිරීමට අපට නොහැකිව තිබෙන්නේ මන්ද.

      වතු වැවිල්ලට දෙමළ පිරිස් ලංකාවට ගෙන පැමිණියේ තලේ මන්නාරම් තොටින්.ඉන්පසු මැදවච්චිය හරහා උඩරට කඳු කරයටත් පසු කාලයක රත්නපුරයට සහ දුම්රියෙන් කලුතරටත් ගෙන පැමිණි බව සංඛ්‍යා ලේඛන අනුව පෙනේ.1917 -18 කාලේ මෙරටට පැමිණෙන දෙමළ කම්කරුවන් ස්පාඤ්ඤ උණට ගොදුරු වී මිය යන්නට වූ අතර ඔවුන් මගින් සිංහල ගම් වලටත් රෝගය බෝ වූ හැටිත් පැරණි පරිපාලන වාර්තා වල දක්නට ඇත. දෙමළ කම්කරුවන් ගෙන පැමිණියේ දකුණු ඉන්දියාවේ විවිධ දිස්ත්‍රික්ක වලින් ලංකාවට රැගෙන ආ පසු කංගානි කෙනෙක් යටතට පත් කරන අතර එක් එක වතු වල ලියාපදිංචි කර තිබේ.දෙමල කම්කරුවාට අදාල විස්තරය තිබෙන්නේ පත්තු සීට්ටුව නම් කඩදහියකයි.මේ කඩදහියේ කම්කරුවා පැමිණි රට දිස්ත්‍රික්කය ජන වර්ගය සහ කුලය ආදී වශයෙන් සියල්ල දක්නට ඇත.දෙමළ කම්කරුවන් රෝග වලින් මන්ද පෝෂණයෙන් පිරුණු පිරිසකි. තරුණ අය චණ්ඩයි. ඒ නිසා වතු පාලකයන් නිරතුරු ඔවුන් පාලනයටද විවිධ උපක්‍රම යොදනු ලැබූ අකාරය දක්නට හැකියි. තුවක්කු ගත් පිරිස් යෙදවීම එකක්.අනෙක තමයි පත්තුසීට්ටුව අවලංගු කොට පිටමං කරන්නේ යැයි තර්ජනය කිරීම. පත්තුසීට්ටු තාන් කුඩ කරද යනුවෙන් ව්‍යවහාරයට පත්ව තිබෙන්නේ එයයි.ලයිම් කාමර වලට ගාල් කොට වහලුන් මෙන් වැඩ ගත් දෙමළ ජනතාවට පුරවැසි කම් දෙන්නට ගත් උත්සහයන් වාර්තා වන්නේ පණහේ දශකයේ දී පමණ.

 


 

           ලංකාවට නිදහස ලැබීමෙන් පසු පුරවැසි පනතක් සම්මත වූ අතර නේරු කොතලාවල ගිවිසුම මගින් ඉනිදියාවට වතු කම්කරුවන් ආපසු යෑවිමටද යම් උත්සාහයක් ගැනුණු බව පැහැදිලියි.. ඉන්පසු හැටේ දශකයේ දී දෙමළ වතු කම්කරුන් පිරිසක් ඉන්දියාවට පිටත් කර යැවීමටත් සුලු සංඛ්‍යාවක් ලංකාවේ රඳවා තබා ගැනීමටත් සිරිමා ශාස්ත්‍රී ගිවිසුම ඇති කලා.මෙලෙස පිටත්ව ගිය පිරිස විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල උදව්වවෙන් නැවත ලංකාවට ගෙනවුත් කිලිනොච්චියේ පදිංචි කිරීම සිදු වන්නේ අසූව දශකයේ දී පමණ.ජේ.ආර්.ජයවර්ධන රජය විසින් වතු කම්කරුවවන් බොහෝ දෙනෙකුට දිව්රුම් පෙත්සමක් පමණක් පාවිච්චි කොට පුරවැසි කම දුන්නේ සිංහල ජනතාවගෙන් විමසා නොවෙයි. ඒ නිසා මධ්‍යම කඳු කරයේ මධ්‍යම පළාතේ චන්ද පදනම වෙනස් කොට තිබේ. වර්තමානය වන විට මධ්‍යම කඳු කරය මලය නාඩුවක් බවට පත් කිරීමට කැසකවන දෙමළ දේශපාලඥයන් බිහි ව තිබෙන්නේ වතු කම්කරුවන් ගේ චන්ද වලට ලොභ කළ සිංහල දේහපාලකයන් නිසයි.යහපාලන සමයේ දී 2017 දී රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම හිතූමතයට සීමා නිර්ණ කොමිසම් වාර්තාවද නොසලකා හැර අඹගමු ප්‍රාදේශීය සභාව කඩා නෝර්වුඩ් මස්කෙළිය සහ අඹගමුව යන නමින් පළාත් පාලන ආයතන කීපයක් බිහි කොට ඇත්තේ ජාතිවාදී පදනමිනි.ඒදෙමළ දේශපාලඥයන්ගේ  චන්ද පදනම ශක්තිමත් කිරීමටයි. ඒ වගේම උඩරට කඳුකරයේ සිංහල බලය විනාශ කිරීමටයි.



        රනිල් වික්‍රමසිංහ නියෝජනය කරනුයේ බටහිර නව යටක් විජිත පාලනයයි. ඔහු සේවය කරනුයේ ඉංග්‍රීසීන්ට සහ ඇමරිකානුවන්ටයි.දෙමළ වතු කම්කරුවන් ලංකාවට ගෙනවුත් වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් ඔවුන් අගැයීම සඳහා කැබිනට් අනුමැතිය ගත් බවටපුවත් වාර්තාවක් පිටව ඇත.එය සත්‍යයක් නම් රනිල් ගේ නවතම චන්ද තුරුම්පුව එය බවට පත්වෙයි. අනාගතයේ දී ජනපතිවරණයකදී තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් හෝ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සිංහල ජනතාව ගේ බලය ශූන්‍ය කොට දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ බලය වැඩි කිරීම ඔහුගේ අරමුණ වෙයි.වතුකම්කරුවන් ලංකාවට ආනයනය කළ සමයේ ඉංග්‍රීසීන්ට තිබූ අරමුණ දැන රනිල් වික්‍රමසිංහ තුළ ද ඇත.සිංහල තරුණ තරුණියන්ට රට යෑමට දිරි දෙන්නේ ඔවුන්ට ඇති ආදරයට නොවේ .සිංහලයන්ගේ හිස් වූ රටක දෙමළ ජනතාව රජ කිරීම රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තුව බව පැහැදිලිය. පත්තු සීට්ටුව පුරවැසි කම බවටත් පුරවැසි කමෙන් මෙරට ප්‍රධන ජාතිය බවටත් ඉන්පසු ක්‍රිස්තියානියට හරවා ගැනීමත් මේ අරමුණ අතර තිබේ. දැනටමත් විශාල දෙමල කම්කරුවන් පිරිසක් ක්‍රිස්තියානි ආගම වැළඳගෙන සිටිති.වසර දෙසීයක් සපිරීම වෙනුවෙන් රනිල් වික්‍රසිංහ ජනපතිවරයා නැටීමට යන නාඩගම සිංහලයන්ට නොතේරේ නම් මහා අවාසනාවක් බව කිව යුතුයි. මීට පෙර පරංගින් මෙරට පැමිණීම සැමරීමට ගිය රනිල් ගෙන් රටේ ඒකීය බව බලාපොරෙත්තු විය හැකි නොවේ.සිංහලයන්ගේ කාඩ් කුඩු කොට දෙමළ ජනතාවගේ කාඩ් පොලිෂ් කිරීම දක්වා මේ යටත් විජිතකරණය ඉදිරියට පැමිණ තිබේ. මෙය කෙතරම් ඛේදවාචකයක්ද.

මතුගම සෙනෙවිරුවන්