පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, June 2, 2026

බෞද්ධ විහාරගම් පනත සංශෝධයෙන් සාසනික අරමුණු ඉටු වේවි ද

 

                 


           මාතර පැවති රාජ්‍ය  වෙසක්  උත්සව දින  ජනපතිවරයාගේ කතාව තුළින් පැහැදිලි වූයේ 1931 බෞද්ධ විහාරගම් සහ දේවාලගම් පනතට සංශෝධනයක් කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙම ප්‍රකාශයට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්ෂය මැයි මස 31 දින  ප්‍රකාශයක් නිකුත් කර තිබේ. භික්ෂූන්වහන්සේලා විශාල පිරිසක් ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන ආණ්ඩුවක් යටතේ මෙවැනි නීති සම්පාදනයෙහි අරමුණ දේපල හිමි විහාරස්ථාන වල ඉඩම් රජයට පවරා ගැනීමට උත්සාහ කිරීම දැයි එම පක්ෂය සැක පහළ කර තිබේ.

        1931 බෞද්ධ විහාරගම් සහ දේවාලගම් ආඥා පනත බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නීති ගත කරන ලද්දේ 1815 උඩරට ගිවිසුමේ පස්වන වගන්තියෙන් ලැබෙන ප්‍රතිපාදන අනුවයි.එම පස්වන වගන්තියට අර්ථ සැපයෙනුයේ මිහිඳු මහ රහතන් වහන්සේ  ගේ ආගමනයෙන් පසු ඇති වූ බුද්ධ සාසනයට රජවරුන් විසින් දැක්වූ සහයෝගයයි. එම සහයෝගය  තුළ බිහිවූ සාසනික නීති රීති ගණනාවක් පණවනු ලැබීය.  ඒ පදනම මත  සන්නස් සහ ශිලා ලේඛන වලින් විහාර නඩත්තුවට දේපළ පැවරූහ.බ්‍රිතාන්‍යයන් මෙම පසුබිම අධ්‍යනය කොට මහා  භාරකාර තුමා යටතේ පරිපාලනය වූ විහාරගම් සහ දේපළ නීතියක් ඇති කළහ. ඒ නීතිය පසුව බෞද්ධ කටයුතු කොමසාර්ස්වරයෙකු යටතට පත් විය.වරින් වර එම පනත සංශෝධනයට ලක් වූ අතර එහි 41 සහ 42 වගන්ති වලින් කියැවෙනුයේ  භික්ෂූන් වහන්සේලා ලියාපදිංචි කිරීම පිළිබඳවයි. සාසනික දේපළ පාලනය කිරීම ට අදාල භාරකාර ස්වාමීන් වහන්සේලා ලියාපදිංචි කිරීමට මෙම පනතට අදාල නමුත් සමස්ත භික්සූන් වහන්සේලාගේ ලියාපදිංචිය මෙම පනතට අදාල  නැතිද යන්න මෙතෙක් සාකච්ඡා වී නොමැත.එසේම දළදා මාළිගාවේ භාරකාර තැන්පත් දිය වඩන නිලමේ පීලිබඳවද මෙම පනතේ සාකච්ඡා වෙයි.භාරකාර තැන වශයෙන් එම නීතිය සාධාරණ වුවද දන්ත ධාතුන් වහන්සේ ගේ භාරකාරත්වය පිළිබඳ වැදගත් අර්ථ නිරූපණයක් එහි නොමැත.

      උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය යටතේ පැනවෙන ප්‍රතිපාදනය පසුව වෙනස් කර සොල්බරි ව්‍යවස්ථාව තුළ විසිනව වන ව/න්තිය ඇතුළත් කර සියලුම ආගම් සමාන කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කරන ලද්දේය. පසුව එය නිවැරදි කරමින් 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බුද්ධාගම යනුවෙන් තනි ප්‍රතිපාදනයක් ගෙන ඒමට හැති විය. එයම වැඩි වර්ධනය කරමින් 1978 ව්‍යවස්ථාව තුළ ද එම ප්‍රතිපාදනය ඇතුළත් විය. එසේම එම ව්‍යවස්ථාවේ 105(4) වගන්තිය අනුව භික්ෂුන් වහන්සේලාගේ විනය සම්බන්ධව සහ දේපළ ආරවුල් සම්බන්ධව කටයුතු කළ හැකි විනිශ්චය අධිකාරියක් පිහිටුවිය හැකි බවට දක්වා තිබුණි.මෙය සංඝාධිකරණයක් ද නැතිනම් වෙනත් විනිශ්චය අධිකාරියක්ද යන්න පැහැදලි නැත.

      ඒ අතරේ 2015 යහපාලන සමයේ දී විජෙදාස රාජපක්ෂ අධිකරණ ඇමති  විසින් ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත යනුවෙන් පනතක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන ලදී.මෙම පනතෙන් බලාපොරොත්තුවන ලද්දේ දැනට ත්‍රෛනිකායික වශයෙන් භාවිතා කරන කතිකාවත් නීතිය ඉදිරියේ බලාත්මක කරලීමයි.පොලොන්නරු කතිකාවත දඹදෙණි කතිකාවත පරමධ්ම්ම කතිකාවත ආදී වශයෙන් වරින් වර භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධව ගත් තීන්දු තීරණ වර්තමාන නීතිය හමුවේ බලාත්මක කිරීමට උත්සාහ දැරුවද ඒ කුළින් සම්බුද්ධ සාසනය තුළ ඇතිවන බෙදීම ගැන නීති සම්පාදකයන්ට වැටහීමක් නොවුණි.නිදර්ශනයක් වශයෙන් දැනට නිකාය තිස් දෙකකට බෙදී පවතින භික්ෂූන් වහන්සේලා උදෙසා කතිකාවත් 32 ක් පණවන්නට ගියහොත් එතනදී ඇති වන බෙදීම බෙහෙවින්ම හානිකරය.මෙවැනි හානිකර පනතක් කෙටුම්පත් කරන්නට අධිකරණ අමාත්‍යවරයා සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට සිදු වූණේ භික්ෂු විනය සහ වර්තමාන නීතිය අතර සමබරතාවය පිළිබඳ අනවබෝධය නිසා බව පැහැදලිය. එසේම මහා සංඝරත්නය වර්තමාන නීතියෙන් බැඳ තබා රටේ කාලීන ප්‍රශ්ණ සඳහා ඉදිරිපත් වීම වළක්වාලීමටත් ඇතැම් පිරිසකට අවශ්‍ය වන්නට ඇත. මෙහි පණවා ඇති දණ්ඩනයන් බෞද්ධ කටයුතු කොමසාරිස් තුමා හරහා ක්‍රියාත්මක කරලීමට එහි බලය දී තිබෙන්නේ එහෙයිනි.කෙසේ වෙතත් එම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ දීත් අභියෝගයට ලක් විය. ව්‍යවස්ථාවට පටහැනි වගන්ති කීපයක් තිබෙන බවට ද තහවුරු විය.

රාජ්‍ය නීතිය සහ බුද්ධ නීතිය දෙකකි.මහනුවර යුගයේ අවසාන වඩුග පාලන සමයේ දී බොරවෙ වීදිය තුළ ගමන් කිරීම ජනතාවට  තහනම් කිරීමට රජු ආඥාවක් නිකුත් කර ඇත.. මෙහිදී කුංකුනාවේ හිමියන් එයට විරුද්ධව රජුට කරුණු පැහැදිලි කොට කීයේ බුද්ධ නීතිය අනුව මහා සංඝයාවහන්සේලාට ඒ නීතිය අදාළ නොමැති බව පෙන්වා දී තිබේ. එලෙසම මල්වතු අනුනායකව වැඩ සිටි පරණාතල රතනපාල අනුනායක ස්වාමීන් වහන්සේ ශ්‍රී වික්‍රම පාලනය යටතේ ඝාතනයට ලක් වූ පසු අනුනායක පදවියට තිබූ දේපළත් උන්වහන්සේ ගේ පරපුරට තිබූ දේපළත් රාජ සන්තක කරන ලදී. පසුව උඩරට ගිවිසුමෙන් රට භාර දුන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව වෙත පෙත්සමක් මගින් කරුණු සැළ කෙට ඇත්තේ බුද්ධ නීතිය අනුව මෙම දේපළ යලි විහාරයට අයත් විය යුතු බවයි. ඉංග්‍රීසි ආණ්ඩුව ඒ අනුව ක්‍රියා කර තිබේ. අනුරාධපුර යුගයේ පස්වන කාශ්‍යප සමයේ පිහිටුවා ලූ ජේතවනාරාම පුවරු ලිපිය අනුව සංඝයා වහන්සේලා විසින් විසඳිය යුතු ගැටළු උන්වහන්සේලා ම විසඳා ගත යුතු යැයි දක්වා ඇත. එසේ නැතහොත් රජු මැදිහත්ව සහාය දිය යුතු බවද දක්වා ඇත. මේ උදාහරණ මගින් පැහැදිලි වනුයේ බුද්ධ නීතිය අනුව ශාසනය පාලනය වන ආකාරයයි.

       සෑම භික්ෂූන් වහන්සේ නමක්ම ධර්මය හැඳින භික්ෂූන් වහන්සේ නමකට අවශ්‍ය කරන ස්වයං විනය ගොඩනගා ගැනීම සිදු කළ යුතුය යන ඔවදන බුදුන් වහන්සේ ගේ දේශනාවයි.සංඝ සමාජය තුළ කිසියම් විධිමත් භාවයක් ඇතිවිය යුතු නිසාත් භික්ෂූන් වහනසේලා සඳහා ශික්ෂා පද 227 කින්ද භික්ෂුණින් වහන්සේලා සඳහා ශික්ෂාපද 311 කින්ද යුතු සඟ විනයක් තිබෙන බව ධර්ම ග්‍රන්ථයන්හි දැක්වේ.. එබැවින් ධර්මය දැන හැඳින ඒ අනුව ජීවත්වන අතරම බුදුරදුන් විසින් අනුදත් භික්ෂු භික්ෂුණී විනය රැකීම ද භික්ෂු භික්ෂුණින් වහන්සේලා සතු යුතුකමක් ලෙස සැළකීම සංඝ සමාජයේ පොදු පිළි ගැනීමකි.. මහණකම නැතිවන ඡෙද්‍යගාමිණී ආපත්තීන් 4 ක් තිබේ. පාරාජිකා ලෙස සැලකෙන්නේ එම ආපත්තීන් හතරය. පාරාජිකා හැරුණු විට ඉතිරි ශික්ෂා පද සියල්ලම උට්ඨාන ගාමිණී ශික්ෂා පද වේ. භික්ෂූත්වය නැතිවන්නේ පාරාජිකා ආපත්තීන්ට පැමිණීමෙන් පමණි. සෙසු ආපත්තීන්ට පැමිණි විට එම ආපත්තීන් ගෙන් විමෝචනය වන්නේ කෙසේ දැයි සඟවිනය තුළ පැහැදිලිව දක්වා තිබේ. භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ඇතිවන ඕනෑම ගැටළුවක් විසඳාගත හැකි ආකාරය සඟ විනය තුළ නිර්දිෂ්ට වේ. භික්ෂුව ඒ අනුව ජීවත් විය යුතුය.

    වර්තමානයේ දී භික්ෂුන් වහන්සේලා අරභයා පැණ නැගී ඇති ගටළු වලදී ඉහත දක්වා ඇති පරිදි විහාරගම් සහ දේවාලගම් පනත සංශෝධනයෙන් හෝ භික්ෂු කතිකාවත් පනතකින් විසදුම් සෙවීම උගහටය.පළමුව කළ යුත්තේ සැබූ ලෙසටම භික්ෂුන් වහන්සේලා හමුවෙමි තිබෙන අභියෝග රජය විසින් අවබෝධ කර ගැනීමයි. සම්බුදු සසුන නැසීමට කඳ පණු න්‍යාය අනුගමනය කරන ගමන් භික්ෂුන් උදෙසා කැප වන්නේ යැයි හැඟවීම දෙබිඩි පිළිවෙතකි.රටේ පාලකයා සැබෑ බෞද්ධ පාලකයෙකු ලෙසට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. අනතුරුව රාජ්‍ය නීතිය තුළ විශේෂයෙන්ම දණ්ඩනීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ භික්ෂු විනයට සහ ශාසනයේ විනාශයට හේතු වන වගන්ති පිළීබඳ විමර්ශනයක් කොට ඒවා හානිකර යැයි තහවුරු වන්නේ නම් ඉවත් කළ යුතු වෙයි.මන්ද ඒ නීති පණවන ලද්දේ බ්‍රිතාන්‍ය පාලකයන් වන බැවිනි. ඉන්පසු දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(4) වගන්තිය අනුව පැවරෙන ප්‍රතිපාදන මත මහා සංඝ රත්නයට සිය විනය කරුණු විසඳා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය. නිකාය ගණනාවකටම අදාලව නොව එක් විනය නීතියක් එනම් බුද්ධ නීතිය ක්‍රියාත්මක කරලීමට ඉඩ ප්‍රෂ්ථා සැලසිය යුතුය. අනතුරුව එහිදී ගන්නා තීරණ අධිකරණය විසින් පිළිගන්නා බවට සහතිකයක් ලබා දිය යුතුය.එසේම යම් භික්ෂුන් වහන්සේ නමකට විරුද්ධව සමාජය තුළ චෝදනාවක් එල්ල වී ඇතිනම් ඒ චෝදනාවන් උසාවිය ඉදිරියේ පවතී නම් පළමුව සංඝ සභාවේ විනය කමිටුව ඉදිරියේ විමර්ශනය කොට උන්වහන්සේ නිවැරදි නම් යම් විත්ති වාචකයක් උසාවිය ඉදිරියට ගෙන ඒමට සංඝ සභාවට බලය තිබිය යුතුය. වැරදි කරු නම් ඒ කරුණුද උසාවියට ඉදිරිපත් කළ හැකිය.මේ ආකාරයට බුද්ධ නීතිය යටතේ වන සමස්ත සංඝ සාසනයටම සාධාරණයක් කරනවා විනා හුදු පනත් සංශෝනයකින් මේ බැරෑරුම් කටයුත්තට අත ගැසීම ප්‍රඥාගෝචර නැත.එසේම මේ අවසථාවේ දී බොර දියේ මාලු බෑමට බලා සිටින අන්‍යාගමිකයන් ශරියා නීතිය සහ තේසවලාමෙයි යන විදේශ නීති මෙහි නීති පද්ධතියට පනත් වශයෙන් සම්මත කර ගැනීමට මාන බලන බැවින් ඒවා ගැනද පරිස්සම් විය යුතුය.

මතුගම සෙනෙවිරුවන්