පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, September 25, 2022

ලයිට් ඇමති ගේ ටියුබ් ලයිට් සහ මහ නා හිමිවරුන්ගෙන් රතු ලයිට්

 

 

 

           

          ලයිට් දාන්න ගිහින් දැන් සර්වාංයටම කරන්ට් වැදිලා ඉවරයි.හැටේ දශකය වන විට අපි පාඩම් කලේ ලාම්පු එළියෙන් ගෙදරට වයර් ඇදලා ලයිට් ආවම කවුරුත් සතුටු වුණා. මහවැලි ව්‍යාපාරය යටතේ නව විදුලි බලාගාර හැදිලා රට පුරාම විදුලි රැහැන් ඇදිලා එන කොට අපි තවත් සතුටු වුණා.අපේ දරුවන් ලාම්පු කුප්පියෙන් පාඩම් කරලා නිදහස් අධ්‍යාපනයෙන් නොමිල්ම ඉගෙනගෙන විශ්ව විද්‍යාලයට ගිහින් විදුලි ඉංජිනේරුවන් වෙලා රටෙම් විදුලි බල අවශ්‍යතාවය සපුරාවි කියල අපට තිබුණේ ලොකු බලාපොරොත්තුවක්.රටේ බල ශක්ති ක්ෂේත්‍රය ජනසතු කරලා ඉන් ලැබෙන ලාභයෙන් තෙල් පිරිපහදුවකුත් හැදුවේ හැටේ දශකයේ දි. අපි ස්වාධීන රාජ්‍යයක් විදියට ආඩම්බරයෙන් හිස ඔසවා ගෙන එන විට ඒකට බටහිර රටවල් ඉරිසියා කලා නොයෙකුත් ඔත්තු කරුවන් රටට එවලා නොයෙතුක් සැලසුම් හදලා නායකයන් ඇන්දුවේ කොහොමද කියලා අපි දැන් දන්නවා.හැබැයි ඔවුන් ඇන්දිලා ඔටුණු දාගත්ත වගමෙ අතයට කොමිස් ගහලා ධනවතුන් වුණා.ජනතාව දුප්පතුන් බවට පත් වෙන්නට පටන් ගත්තා.අර නිදහස් අධ්‍යාපනයෙන් ඉහළ  ගිය විදු ලි ඉංජිනේරු මහත්වරු සමග මේ නායකයන් එකතු වෙලා ගහපු ගැහිලි සහ ගැට දැන් තමයි අපිට තේරෙන්නේ.ඇඟ පුරාම කරන්ට් වදින කොට මේ යථාර්ථය පැහැදිලි වන්නට පටන් ගන්නවා.

    ලංකාවෙ ජල විදුලි බලා ගාර මත යැපෙන ප්‍රතිශතය ඉක්මවා ඩීසල් බලාගාර මත යැපෙන්නට පටන් ගැනීම ඛෙදවාචකයක්. අඩු මිලට ජල විදුලිය නිපදවෙව්වත් අවුරුද්දට දෙපාරක් විතර ජලාශ පිරිල ඉතිරිල ගියත් මාසයක් යන විට ජල විදුලිය මගින් විදුලිය නිපදවීමට බැරි වෙනවා. මේකට ගොඩක් හේතු තිබුණත් වැදගත්ම හේතුවක් හොයා ගත්තෙ මෑතකදී. ජලාශ ජලයෙන් පිරුනම නඩත්තුවට කියල ජලය ඇරලා දානවා. මේක පුරුද්දක් විදියට කරනවා.පසුගිය දවස් වල ඉංජිනේරුවන් කීපදෙනෙක් මේ වැරැද්ද කරලා අහුවුණා.ඔවුන්ට කරපු දඬුවමක් ගැනනම් අහන්නට ලැබුනේ නැහැ. ඉදිරි අවුරද්ද තුළ තාප බලා ගාර වලින් කොච්චර විදුලිය මිලදී ගන්නවද කියලා මේ විදුලි ඉංජ්නේරුවො කලින් ගණනය කරනවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය විදියට යාන්ත්‍රණය සකස් කර ගන්නවා.ඉතින් අසීමිත ලෙසට විදුලි බල මණ්ඩලය පාඩු විඳිනන්ට ගන්නවා. මේ සෙල්ලම පටන් අරන් තියෙන්නේ අනූව දශකයේ මුල් කාලයේ වගේ .අපි ලොකු බලාපොරොත්තු තියල නිදහස් අධ්‍යාපනයෙන් ඉහලට ඔසවා තැබූ දරුවන් අද ලොකු පුටුවල ඉන්නවා.තමන් සැප විඳින ගමන්  විදුලි බිල ජනතාව මත පටවා ඒ අය විශ්‍රාම ගිය පසු පිටරට යනවා.වත්මන් ලයිට් ඇමති මේ බැව් දන්නවා හිටපු ගමන් විදුලි ඉංජිනේරුවන්ට බැණලා ටියුබ් ලයිට් වගේ අදහස් කියන්නේ ඒකයි. මේ අක්‍රමිකතාවන් මැඩ ලන්න  නිශ්චිත වැඩපිළිවෙලක් නෑ.

               විදුලි බිල ජනතාව මත පටවා අලාභය නැති කරන්නට හදන මණ්ඩලය තමන්ගේ ණය පියවන්නට විකල්ප වලට යෑමට උක්සාහ දරන්නේ නෑ. ජලාශ වල පිරෙන ජලය දවල් කාලයට ඉහළට අරන් රාත්‍රී කාලයට මුදා හරින වැඩ පිළිවෙලකට යන්න පිලීවන්. රට පුරාම තියෙන වීදි ලාම්පු සහ නාගරික වෙළඳ දැන්වීම් වල එළිය නිවා දමා තවත් විදියකට විදිලිය ඉතිරි කරගන්නට පිළිවන් .සූර්ය පැනල සවි කිරීමත් ලොකු දෙයක් කියලා හිතනවා ඇති. ඒක ලේසි දෙයක් නොවයි. අවම වශයෙන් සූර්ය පැනල සවි කරලා  නිවසකට ලයිට් දෙන්න ලක්ෂ දහයක් වත් යනවා.ඒ සියලු දේ රටින් ගෙන්වන්නට වෙනවා. ලංකාවේ එකලස් කිරීම වාසි දායක වුණත් බැටරි වගේ දේවල් ලංකාවේ හැදීමට පුලුවන් වුනත් සූර්ය කෝෂ වලින් ලංකාවෙ විදුලි බල ප්‍රශ්ණය එක පාරට විසඳන්නට බැහැ.

 

තවත් විකල්ප රාශියකට යන්න වෙනවා.ඇමති ගේ ටියුබ් ලයිට් කතා නිසා නිශ්චිත දිහාවකට ජනතාව තල්ලු වන්නේ නැහැ. ඒ වගේම ඔහු වැරදි මත රාශියක් ප්‍රචාරය කරනවා. මේ රටේ සම්ප්‍රදායට පහර දීමට ඔහු ගන්නා උත්සාහ තුළින් මතක් වන්නේ හිටපු ඇමති මංගල සමරවීර . ඒ පුද්ගලයා සමරිසි පිළවෙත් අගය කරමින් බෝගස් පවා කපන්නට උනන්දු වුනා. දෙමල බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටියා.වත්මන් ලයිට් ඇමති දැන් පන්සල් වල විදුලි බිල අහස උසට නන්වලා පණ්ඩිත කතා කියමින් ජනතාවත් කෝප ගන්වනවා.

    ලංකාවෙ විහාරස්ථාන තිස්දාහක් විතර තිබෙනවා.විදුලිය ලැබෙන්නට කලින් මේ ස්ථාන එළිය කලේ තෙල් පහන් වලින්.උත්ත්සව අවස්ථා වලදී කොප්පරා පහන් වලින්.පෙර රජ වරු විහාරස්ථාන  ආලොකමත් කරන්නට රාජකාරි ක්‍රමයක් ස්ථාපිත කලා.පන්සලේ උත්සව අවස්ථා වලදී කොප්පරා පහන් පත්තු කිරීමට හෝ තෙල් පහන් පත්තු කිරීමට වෙන් වූ පිරිසක් හිටියා. මේ රාජකාරිය සඳහා ගම් බිම් පවරලා අසලින් පදිංචි කලා.බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම පෙර රජ දරුවන් ගේ සිරිතක්. දළදා මාළිගාව ශ්‍රී මහා බෝධිය කතරගම කිරි වෙහෙර මෙවැනි වැදගත් සිද්ධස්ථාන ආලෝකමත් කිරීමට විශේෂ වැඩ පිළිවෙලක් තිබුණා.මේ පෙර සිරිත කඩ කලා නම් යම් කෙනෙක් නිරයට යනවා කියන බය ඇති කරලයි තිබුණේ.අස්ගිරි ගෙඩිගේ මහා විහාරයට තෙල් පහන් ලබා දීමට තිබුණු තෙල් පංගුව සතු ඉඩකඩම් වල තමයි අද මහනුවර මීනක්කම් මුස්ලිම් පල්ලිය හදල තියෙන්නේ.ඔවුන් අස්ගිරි ගෙඩිගේ විහාරයට  අද ලබා දෙන තෙල් ප්‍රමාණයක් නෑ. මේ සිරිත් ඉංග්‍රීසීන් විසින් කඩ කරන්නටට පටන් ගත්තා. අනතුරුව 1948 න් පස්සේ මේ රට භාර ගත් කලු සුද්දන් ටික කිසිම වග විභාගයක් නැතිව සසුනට තලන්නට පටන් ගත්තා.වත්මන් ලයිට් ඇමතිට  මහා නායක හිමියන් රතු එලියක් දල්වා ඇත්තේ මේ ටික කියන්නයි. හැබැයි අපේ නායක හාමුදුරුවරු මේ ගැන තේරුම් බේරුම් ඇතිව කියන්නේ නෑ. දේශපාලඥයන් ආවම පිරිත් නූල් ගැට ගහන වේලාවට මේවා කියන්නට අවශ්‍යයි. රටේ මුර දේවතාවුන් කියන්නේ නිකමට නොවෙයි. ඒ වගේම පන්සල් වලින් රටට අදාර්ශයක් දෙන තරමට හොඳයි.පන්සල් ගොඩ නැගිලි සැලසුම් කිරීමේ දී ස්වභාවික වාතාශ්‍රය එන පරිදි ආලෝකය ලබෙන පිළිවෙලට සැලසුම් කළහොත් වායු සමීකරණ දාන්න අවශ්‍ය වන්නේ නෑ.වායු සමීකරණ නඩත්තු කරන්න සූර්ය පැනල වලින් නොහැකියි.ලයිට් ඇමති ගේ සිහිනය සූර්ය පැනල සවි කිරීම වුවත් අන්තිමට ඒ කොන්ත්‍රාත්තුව යන්නෙ අදානි සමගාමටයි. අපි එක වර සල්ලි බැඳල මේ කොම්පැණි වල වහලුන් බවට පත් වනවා. ඒ නිසා බල ශක්ති ස්වාධිපත්‍ය ගැන තරයේ හිතේ තබා ගෙන විදුලිය කළ කළමනාකරණය කිරීම අපේ වග කීමක්.ටියුබ් ලයිට් පත්තු කරන  ඇමතිලා එක්ක මේ වැඩේ කරන එක ලෙහෙසි පහසු නෑ.

මතුගම සෙනෙවිරුවන්

 

Saturday, September 10, 2022

මිරිස් හිටවූ එරාවුර් ස්ථූපය යලි පිළිසකර වෙයි

 

 


 

                  

        රුහුණු මයා පිහිටි තුන්සිංහලේ රුහුණු රටට අයත් වත්මන් නැගෙනහිර පළාත අතීතයේ දී රෝහණයේ විවිධ රජවරුන් යටතේ පලානය විය.අනුරාධපුරය ද්‍රවිඩ අක්‍රමණ වලින් පීඩිත වන කල්හි සිංහල ජනතාවට එකම පිහිට සැලසූවේ රෝහණ රාජාවලියයි. විශේෂයෙන්ම කාවන්තිස්ස රජුගේ දූර දර්ශී ක්‍රියාකලාපය නිසා මේ ද්‍රවිඩ ආක්‍රමණයන්ට විරුද්ධව නැගී සිටින්නට තරම් සේනා බලයක් රෝහණයේ වර්ධනය විය. පසු කාලීනව ගැමුණු කුමරු විසින් රට එකසේසත් කරන්නට මුල් වූයේ කාවන්තිස්ස රජුගේ කල්පනාකාරී සේනා සංවිධානය හේතුවෙනි.අනුරාධපුරයේ ස්වර්ණමය යුගය ගෙවී යලි අඳුරු කාලපරිඡේදයක් ආරම්භ විය. චෝල පාණ්ඩ්‍ය  ආක්‍රමණ හේතුවෙන් සිංහල රාජාවලිය ඉතා දරුණු ලෙසට දුබල විය.මහා විජය බාහු රජු නෙහොත් කිත්ති කුමරු දීර්ඝ කාලීන සටන් පෙරමුණේ සිට මේ ද්‍රවිඩ බලය යලිත් දුර්වල කොට පො‌ළොන්නරුව කේන්ද්‍ර කොට සිය රාජධානිය ඇති කලේය.පොළොන්නරු අවදියේ දී රෝහණය යලි අවදිවන්නට විය.කොටසර නොහොත් වත්මන් ත්‍රිකුණාමලය පුලියන්දූව නැතහොත් වත්මන් මඩකලපුව එරාහුළුව නොහොත් වත්මන් එරාවුර් ආදී තැන්වල තිබූ අන්‍ය ජාතික බලය ක්‍රමයෙන් බිඳ වැටිණ.එම පෙදෙස් වල යලි බෞද්ධ ප්‍රබෝධයක් ඇති විය. සංඝාරාම ඉඳි වන්ට විය.

           මෙම ලිපියට පාදක වනුයේ ඒරාහුළු ජනපදයේ බෞද්ධ ප්‍රබෝධයයි.මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරු වේ අභිෂේක ලබන්නට පෙර මෙම පෙදෙස මානාභරණ කුමරු යටතේ පාලනය විය.දළදා හා පාත්‍රා ධාතූන් වහන්සේලාද ඔහු සන්තක විය.සද්ධාතිස්ස රජු විසින් සශ්‍රීක කල දිගා මඩුල්ල මේ රාජධානියේ ශක්තිමත්ම ආර්ථික කලාපය විය. තෙවනි සියවසේ රජකල මහාසෙන් රජු විසින් මේ පෙදෙසේ තිබූ අන්‍යාගමික සිද්ධස්ථාන විනාශ කර දැමූ ආකාරය  වංශ කතා වල දැක් වෙයි. ගෝකණ්නය නොහොත් වතමන් ත්‍රිකුණාමලය කලන්ද සහ එරකාවිල්ල යන තන්හි පිහිටි බ්‍රාහ්මණ කෝවිල්  ඔහු විනාශ කර දැමූ බව මේ ඉතිහාස පුවතයි. ඒ සෑම තැනකම ඔහු විහාර තැනීය.මඩකලපුව අසල ඒරුවිලද තවත් ස්ථානයකි.ඒරාහුළුව නැතහොත් ඒරාවුර් අසලින් ඇතුල් වූ ලංකාධිකාරී කිත්ති ගේ මෙහෙයවීමෙන් යුතු  මහා පරාක්‍රමබාහු ගේ සේනා ගිවුලබ යන ස්ථානයේ එනම් දීඝවාපිය අසල කඳුවරු බැඳ මානාභරණ කුමරු පරාජයට පත් කරලීය.ඒරාහුළු දිශාභාගය රුහුණට  අයත් වැදගත් ස්ථානයකි. එයට හේතුව එහි පිහිටි ස්වභාවික වරායයි.ලංකාවේ එවැනි වරායන් රැසක් පිහිටා තිබුණි. නාවික යාත්‍රා මෙන්ම ධීවර යාත්‍රාද එහි නැන්ගුරම් ලමින් වානිජ කටයුතු වල යෙදිණ.      

. එරාවුර් අසන්නයේ දැනට විල්ලුතෝට්ටම යනුවෙන් හඳුන්වන බිම් කඩ එරාවුර් තොටුපළට සාජුව සම්බන්ධය.නාවිකයන් වරායේ සිට මේ විල්ලුවට කුඩා යාත්‍රා වලින් පැමිණියහ. එහි ජලයට යට නොවුණු උස් ගොඩැල්ලක ස්ථූපයක් දර්ශනය වෙයි. සුදෝ සුදුවන්ව බබළන මේ චෛත්‍ය ට පුද පූජා කිරීම ඔවුන් ගේ සිරිත විය. ඈත නවතා තිබෙන නාවිකා යාත්‍රා වලට මේ ස්ථූපය මග පෙන්වන සංකේතයක් විය.චෝල අක්‍රමණ සහ පසු කාලීනව ඇති වූ යුරෝපා ආක්‍රමණ නිසා මේ සිංහල ජනාවාස නැත්තටම නැතිව ගියේය.ලන්දේසි පාලන සමයේ අවසාන භාගය වන විට මේ පෙදෙස මහමදික ජනතාවගෙන් පිරී යන්නට විය.යටකී ස්ථූපය එහි අවට පිහිටා තිබෙන සංඝාරාමයේ විනාශය ආරම්භ වන්නේ ඒ යුගයේ දී. අද වන විට මේ ස්ථූපයත් සංඝාරාමයත් නටබුන් ‌ගොඩකි.

 


 

    පසුගිය කාලයේ මේ විහාරය පිටිහි සාරවත් විල්ලුව එරාවුර් ප්‍රාදේශීය ලේකම්වරයා විසින්  කොටස් කර  ද්‍රවිඩ ජනයාට බෙදා දෙනු ලැබිණ. ඔවුහු එහි විවිධ වගාවන් කළහ. ස්ථූපය ඩෝසර කොට මිරිස් වවන්ට උත්සාහ කළහ. මෙම විනාශකාරී සිදු වීම වළක්වාගත හැකි වූයේ නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධයන්ට මග පෙන්වන පූජ්‍ය  දිඹුලාගල දේවාලංකාර හිමියන් ගේ කැපවීඹ නිසාවෙනි. කෙසේ වෙතත් මේ වන විට උන්වහන්සේ ගේ මග පෙන්වීම යටතේ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා ඇතුළු කණ්ඩායමක් මෙම ස්ථූපය සංරක්ෂණයට මුල් වී සිටී. ඊට අමතරව 1987 වර්ෂයේ දී විනාශ කරන ලද එරාවුර් අසල පිහිටි පුන්නකුඩා සිංහල ගම්මානය ද පිහිටුවා ඒ සිංහල බෞද්ධ ජනතාවගේ ළමුන්ට අධ්‍යාපනය ලැබ ගැනීමට එරාවුර් සිංහල විද්‍යාලයද නැවත ගොඩනන්වා තිබේ.

                විහාර තෝට්ටම යනුවෙන් සිතියම් වල දක්වා තිබෙන මේ ස්ථූපය ඇතුලත් සංඝරාම ප්‍රදේශය පිළිබද දැන් අප විමසා බලමු.කලින්ද දක්වන ලද පරිදි ජලයෙන් යටවූ විල්ලු පෙදෙසක පිහිට මේ සංඝාරාමයේ ප්‍රධානතම ස්මරාකය චෛත්‍ය බවට පත් වෙයි. විෂ්කම්භය අඩි තිහක් පමණ වන මේ චෙත්‍යය නිදන් හොරුන් ගේ ග්‍රහණයට ලක්ව විනාශයට පත් ව තිබේ.නැගෙනිහිර පළාත යලි ජනාවාස වන්නේ 1948 වසරෙන් පසුවයි. දකුණේ සිට නාවික යාත්‍රා වලින් පැමිණි සිංහල වෙළෙන්දන් එරාවුර්හි පදිංචි වි ඒවායේ පුරාණ ස්ථූපයන් ආසන්නයේ විහාරස්ථාන යලි ඉදි කළහ. සේරුවිල එවැනි තැනකි. එරහුළු වේ මේ චෛත්‍ය මළුවේ අනුරාධපුර යුගයට අයත් ගඩොලු විසිරී තිබේ.තද රතු පැහැති මැට්ටෙන් ශක්තිමත්ව තනන ලද ගඩොළු ගෙන ඒමට රාජකීය මැදිහත් වීමක් සිදුවූ බව ඒකාන්තය.ඒ අතරම කලු රක්ත මැටි බඳුන් දක්නට ලැබීමද විශේෂිතය.සඳකඩ පහන්  ‌ගොඩනැගිලි අත්තිවාරම් සහ පාදම් ගල් වලින් සමන් විත සමස්ත ප්‍රදේශයම අද වැලි වලින් වැසී තිබේ. මෙම ස්ථානය යලි ගවේශනයට ලක් වූයේ 2017 වසරේ දීය.ඉන්පසු අම්පාර පුරාවිදු කාර්යාලය මගින් සීමා කණු පිහිටුවන්නට යෙදුණේ ඉතා මෑත කාලයේ දීය. එයට හේතු වූයේ ප්‍රාදේහිය ලේකම් විසින් මෙම ස්ථානය කොටස් කර ජනතාවට දීම නිසා ඇති වූ හානිය වළක්වාලීමටයි.

      සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පිහිටුවා තිබෙන පුරාවිද්‍යා සංරක්ෂණ කමිටුවේ නියෝජිත පිරිසක් පසුගියදා මඩකලපුවේ එරාවුර්  පෙදෙසට පැමිණියේ මෙම සද් කටයුත්තට අත දීමටයි. මෙම ගමනට පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර හිමි වෛද්‍ය චන්දික එපිට කඩුව මහතා මහාචාර්ය නිමල්ද සිල්වා මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය  අධ්‍යක්ෂක ප්‍රසන්න රත්නායක මහතා  සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාගිෂ්ට මහතා ඇතුළු පිරිසක් සාභාගි විය.සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සම්බන්ධීකරණය යටතේ සිදු වන මෙම සංරක්ෂණය නුදුරු දිනකදි ආරම්භ කර ගැනීම අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා ගැනීම මෙම ගමනේ බලාපොරොත්තුව විය. පුන්නකුඩා සිංහල ගම්මානයට ගොඩ වැදී එහි ජීවත්වන සිංහල බෞද්ධ ජනතාවගේ සුව දුක් විමසා ඔවුන් ගේ ආර්ථික තත්වය සොයා බැලීමද ඒරාවුර් සිංහල විද්‍යාලය සහ දේවාලංකාර පිරිවෙන ද දැක බල ගැනීමට බෞද්ධ සම්මේලනයේ නියෝජිත පිරිස  සමත් විය. 1987 වර්ෂයට පෙර එරාවුර් නගර මධ්‍යයේ පැවති කඩ පනස් දෙකක සිංහල වෙළඳ පළට ගොඩ වැදී එහි දැනට වෙළෙඳාමේ යෙදී සිටින එකම සිංහල ව්‍යාපාරික පවුල මුණ ගැසී ඔවුන් ගේ නීතිමය ප්‍රශ්ණ සාකච්ඡා කිරීමද මෙහිදී සිදු විය.

මතුගම සෙනෙවිරුවන්