වසංගතයක් මුවාවෙන් පැමිණි කොරොනා වෛරසය
නිසාවෙන් ලෝකවාසී මනුෂ්‍ය සංහතියම අර්බුදයට ගොස් ඇත.මෙයට ලෝක මට්ටමින් විසඳුමක්
තවමත් දී නොමැත. එන්නත් සූදානම් කිරීම ජංජාලයක් බවට පත්ව තිබෙන්නේ ප්‍රචලිත වෛරසය
නැවත නැවතත් අලුත් වෛරස වශයෙන් ඉදිරියට පැමිණෙන බැවිනි. ලෝකයේ තාක්ෂණික ප්‍රගමනයට
සාපේක්ෂකව මේ අර්බුදය පුදුමයට කරුණක් නොවේ.සොබාදහම ඉක්මවා යමින් මනුෂ්‍ය ප්‍රජාවම
අනතුරට පත් කරමින් කරන නවීන සංවර්ධනය පිළිබඳ නැවත සිතන්නට පෙළඹවීමක් මේ මගින් කරනු
ලබන බව නුවණ ඇත්තන්ට තේරුම් ගත හැකිය.නමුත් මේ විපතේ සැබෑ ස්වභාවය බොහෝ දෙනෙකුට
තවමත් තෙරුම් ගන්නට නොහැකි වී ඇති බැවින් වෛරස් ප්‍රහාරයන් විවිධ අන්දමින් සිදු
වේ.මේ ප්‍රහාරයන් අතර සිතා මතා දියත් කරන සූක්ෂම පහරදීම්ද දක්නට හැකිය. පසුගිය
කාලයේ දී දිවයිනේ ගෙවතු සහ කැලෑ අසබඩ මීමැසි ජනපද හරහා පැතිරුණු සැක්බ්රූඩ්(Sacbrood ) නම් වෛරසයද එවැන්නකි.
මෙම වෛරසය පළමුවරට
මෙරටින් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් යැයි
කියති. එහෙත් අගලවත්ත රබර් පර්යේෂණායතනයට අයත් කුරුවිට ස්ථානගතව තිබූ මී මැසි
ජනපදවල පැතිරෙන හඳුනානොගත් රෝගයක් ගැන 2006
වර්ෂයේ වාර්තා පළව තීබූ බව අසන්නට ඇත. කෙසේ වෙතත් මෙම වෛරසය ලෝකයේ පළමුවරට
හඳුනාගන්නේ 1913 වර්ෂයේ දීය. . මෙම සැක්බ්රූඩ් වෛරසයට
සමාන වෛරස ප්‍රභේද කීපයක් ලෝකය පුරා වාර්තා වී තිබෙන අතර 1964 වන විට .ඒවා නිශ්චිතව
හඳුනාගන්නට යෙදී ඇත.මෙම ප්‍රභේද විවිධ නම් හඳුන්වන ලද නමුත් සැක්බ්රූඩ් යන නාමයෙන්
ප්‍රචලිත විශේෂ වෛරසය පැතිරෙන්නේ ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කොට ගෙනයි.
ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු
මී මැසි පාලනය දියුණු කරලීම අරභයා ආන්දෝලනාත්මක තීන්දුවක් ගත්තේය. ඒ වර්ෂ 1999
දීපමණ විදේශයකින් මෙරටට බම්බල්බී වර්ගයේ මැසි ප්‍රභේදයක් ආනයනය කිරීමයි.නෝර්වේජියානු
පුද්ගලයෙකු වූ ආන්ස් නමැත්තෙකුගේ ආයෝජන ව්‍යාපෘතියක් හරහා මේ මී මැසි වර්ගය මෙරටට
ගෙනවුත් තිබිණ. පසුව රේගු දෙපාර්තමේන්තු නිළධාරීන් සහ වනජීවී අංශ එකතුවී එම මීමැසි
ජනපද නැවත කොළඹ ගෙනවුත් විනාශ කර දමන්නට යෙදුණි.මේ සිද්දිය මත රේගුවට විරුද්ධව
නඩුවක්ද පැවරිණ.මෙම මීමැසි වර්ගය නිදහස් කරලීම පිණිස එකල මුදල් අමාත්‍යංශයේ ලේකම්
වරයා දැඩිව බලපෑම් කොට ඇත. අවසානයේ දී ඔහුට රජයේ සේවකයන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව
ගන්නටද සිදු වී ඇත.
මේ සිද්දියට පසු නොයෙකුත් පර්යේෂණ කටවුතු
මුවාවෙන් වරින් වර නොයෙකුත් රටවලින් මීමැසි වර්ග මෙරටට ගෙන්වීමට බලධාරීන් කටයුතු
කළහ.එසේම මීමැසි පාලනයට අවශ්‍ය උපකරණ රාශියක්ම ගෙන්වන ලදහ.මේ අතර වද අත්තිවාරම්
විශේෂ වේ.මේ වන විට විදේශීය මී පැණි මෙට්රික් ටොන් 200 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට
ආනයනය කරති.ඔස්ට්‍රේලියානු මී පැණි ඉන් ප්‍රමුඛ වේ.සැක්බ්රූඩ් වෛරසය ලංකාවේදී
පළමුවරට 2013 වාර්තා වන්නේ යැයි නිල වශයෙන් පීළිගනු ලබන්නේ මේ පසුබිම මතයි.මෙම
වෛරසය මී මැසි ජනපදයකට ඇතුල් වූ පසු එහි සිටින වැඩකාර මැස්සියන්ගෙන් ඒ බැව්
හඳුනාගන්නට හැකිය. අනතුරව පිලා පෙට්ටියේ පිලවුන් ක්‍රමයෙන් විනාශ වීමට පටන් ගනී.මේ
සම්බන්ධව ඔස්ට්‍රේලියානු කෘෂීකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උපදෙස්
කීපයක් ඔවුන් ගේ වෙබ් අඩවි වල අනතර්ගතය. ඉන් කීපයක් මෙසේය.
මියගිය
හෝ මිය යන පැටවුන් සිටීම පළමු රෝග ලක්ෂණයයි. පැටවුන් ගැසූ විගසම පිලවුන් වීමට පෙර
මිය යයි. මිය ගිය කීටයන් සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති සෛල තුළ හෝ පසුව නොකැඩූ සෛල
වල දක්නට ලැබේ. බලපෑමට ලක්වූ ආවරණ සෛල බොහෝ විට කුඩා සිදුරක් අඩංගු වේ. තරුණ
කීටයන් දූෂිත පරාග පැණි හෝ ජලය පෝෂණය කිරීමෙන් සැක්බ්රූඩ් පැතිරීම සිදුවනු ඇතැයි
විශ්වාස කෙරේ. රෝගී කීටයන් අඩංගු සෛල පිරිසිඳු කරන අතරතුර වැඩකාර මී මැස්සියන්
වෛරසයට ගොදුරු වේ. දූෂිත උපකරණ හෝ මී මැස්සන් හුවමාරු කර ගැනීම හෝ මී මැස්සන්
මංකොල්ලකෑම හෝ රෝගය පැතිර යෑමට උපකාරි වේ.
ලංකාවේ දී මෙම රෝගය පැතිරීමට මූලික හේතුව වී
ඇත්තේ දූෂිත උපකරණ එනම් වද අත්තිවාරම් විදෙස් වලින් ගෙන්වා බෙදාහැරීමයි. එසේම මී
මැසි ජනපද ප්‍රවාහනයද මීට හේතු වේ.ලංකාවේ පැණි වාරය මාර්තු අප්‍රියෙල් සහ අගෝස්තු
වන අතර මී මැසි පාලකයන් විශේෂයෙන්ම ව්‍යාපාරික පාලකයන් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට
ඒවා ගෙන යති.මේ තත්වය පාලනය කිරීමට ලංකාවේ කිසිම ක්‍රමවේදයක් හඳුන්වා දී නොමැත.
මීමැසි සංවර්ධන මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ බණ්ඩාරවෙල බිඳුණු වැව ප්‍රදෙශයේ ය.
මෙම ආයතනය තුළ වාර්ෂිකව මී පැණි කිලෝ 1400 ක් පමණ රැස් කිරීමට නියමිතව තිබුණද
පසුගිය කාලයේ රැස් කර ගැනීමට හැකි වී තිබෙන්නේ කිලෝ 200 කටත් අඩු සංඛ්‍යාවක් බව
වාර්තා වේ.බිඳුණු වැව සහකාර අධ්‍යක්ෂ විමුක්ති මහතා පවසන පරිදි මේ රෝගය මර්දනය
කරලීමට මෙතෙක් සාර්ථක ක්‍රමයක් හඳුන්වා දී නොමැති අතර දියර සහිත මුං පිටි සහ සහල්
පිටි අඩංගු මිශ්‍රණයක් ලබා දීමෙන් මී මැස්සන්ගේ පෝෂණය දියුණු කිරීමක් පමණක් ඉටු
කරයි.කෙසේ වෙතත් 2020 වන විට රට පුරා විශාල මී පැණි හිඟයක් ඇති වී තිබේ. මේ රටේ
සංඛ්‍යාලේඛන අනුව මීමැසි ජනපද පවත්වාගෙන යන බිඟු පාලකයන් 13431 ක් විසින් නඩත්තු කරන මී මැසි පෙට්ටි 25000 ක් පමණ
තිබේ. එයට අමතරව වනගත ජනපද සමග එක්කාසු කරන විට 45000 ක් ඉක්මවා යයි. මේ අනුව
වාර්ෂිකව මී පැණි කිලෝ 45000 ක් පමණ නිෂ්පාදනය
වන්නේ යැයි කියති. නමුත් මේ වර්ෂය වන විට පෙර කී වෛරස රෝගයේ බලපෑම මධ්‍යයේ මී පැණි
නිෂ්පාදනය විශාල වශයෙන් අඩු වී තිබේ.කොරෝනා වලට ඔසු සඳහා නිෂ්පාදනය කරනු ලබන දේශීය
ඖෂධීය පැණි සඳහා විහාල මී පැණි තොග අවශ්‍ය වීම බලවත් අභියෝගයක් විය. දැන් සිදුව
තිබෙන්නේ මී පැණි විදෙස් වලින් වැඩි වශයෙන් ආනයනය කිරීමයි.
ලංකාවේ භෝග වලට වෛරස් ආසාදනය කොට විනාශ කිරීම සිදු වන්නේ අද ඊයේ සිට නොවේ.බිබිලේ පැණි දොඩම ට වෛරසයක් බෝකොට විනාශ කළ අන්දම අතීත සිද්දියක් වුවද එය රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රණයක් බව දන්නෝ දනිති. ඉන්පසු විවිධ සංවර්ධන ව්‍යාපෘති හරහා ලංකාවට ගෙන එන ලද සතුන් උපකරණ හරහා මෙරට ගවයන්ට නෙයෙකුත් ලෙඩ රෝග බෝ විය. මේවා හිතා මතා කුමන්ත්‍රණකාරී ලෙසට සකස්කරන සංවිධානාත්මක අපරාධයන්ය.මේ අපරාධයන්ට සුදු කරපටි නිළධාරීන් ඉහළින්ම සම්බන්ධ වේ. රජරට වකුගඩු රෝගයට මෙරටට ගෙන්වන ලද පලිබෝධ නාශක හේතුවන බව සොයා ගත් විට ඒවායේ අඩංගු ආසනික් තහනම් කර ගැනීමට දේශ හිතෛෂී නිළධාරීන් උත්සාහ දැරූහ. නමුත් පෙර සඳහන් කළ මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා මේ ආසනික් අඩංගු පලිබෝධනාශක නිදහස් කරගැනීමට දැඩිව වෙහෙසුණේය. ඔහු අදත් මෙරට මුල් පුටුවක වැජඹෙයි.කෙසේ වෙතත් මෙම රෝගය මර්දනය කරලීමට ලෝක ප්‍රකට විද්‍යාඥයන් පී.සී.ආර්. හඳුනා ගැනීම් ජාන හඳුනාගැනීම් ආදී නොයෙකුත් නවීන ක්‍රම අනුගමනය කරන කල්හි මේ පුංචි ලංකාවේ ගම්බද විද්‍යාඥයන් නොයෙකුත් දේශීය ඖෂධ(කොත්තමල්ලි වෙනිවැල්ගැට වැනි ඖෂධ යොදා ගනිමින් අත්හදා බැලීම් කරති.
ඒ අනුව මේ වන විට මී මැසි ජනපද වල රෝගී තත්වය බොහෝ දුරට පාලනය කර ගැනීමට සමත් වී තිබේ.නමුත් ගැටලුව වී තිබෙන්නේ වර්තමාන කොරෝනා වසංගතය හමු වේ මී මැස්සන්ට විස සහිත වන විෂබීජ නාශකයන් බහුල ලෙසට පරිසරයට මුදා හැරීමයි.මේ නිසා මේ කාලයේ නව ජනපද සෑදීමට පිටත්ව යන මී මැසි පොදි අපට දක්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙනි.මේ නිසා නව ජනපද ආරම්භකිරීමට තිබෙන ඉඩකඩ ඉතාමත් අඩුය.තවමත් කෘෂීකර්ම අංශවල උනන්දුව නොමැති තරම්වන අවස්ථාවක දේශීය මී පැණි ජීවන රටාව රැක ගැනීමට ඉදිරියට පැමිණිය යුත්තේ ගම්බද බිඟුපාලකයන්ය. ඔවුහු විද්‍යාඥයන් නොවෙතත් පරිසරය සමග සුහදව ගනුදෙනුකරන්නන්ය.අනාගතය පවතින්නේ ඔවුන් අත බව නිසැකය.
No comments:
Post a Comment