පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, December 31, 2023

පරිසර බුදු වදන

 

                                                              

බත් සමග බුදිනට -එළවලු හොඳයි වටපිට

වවාගෙන කන අයට - ආයුෂ තිබෙයි සැම විට

හීනටි සහල් ඒදා කැඳ සාදන්න -බඩදරු මව්වරුන් හට    පිළිගන්වන්න

දැයක් සදා මනසට ජීවය දුන්න - පුතුන් සදන මව්වරු දෙවි රැක දෙන්න

 

උඳුවප් මසේ උඳු රැත්තට අසු වෙනවා

සාරය උරාබොන මැස්සෝ කැරකෙනවා

කාලෙට වැඩ කළොත් බැත බෝවෙනවා

සිංහල දැනුම එහෙමයි ලොව පවතිනවා

 

අඹ ගස් පහක් රෝපණයෙහි නිරතවෙමු

බෙලි බෝ කෑල වවමින් දෙව්ලොවට යමු

මී කොස් කෙසෙල් මොර සිටුවා නිදුක් වෙමු

මේ සැම කළ පිනෙන් සසරින් එතෙර වෙමු

 

සියඹල ගසක් සෙවණෙහි හිඳ ඵලය ලබා

සමබල අහර රස කරමින් ගුණය     තබා

එම බල ඇතිව රට දැය නන්වන්නට සුබා

රුකඹල නැසුම වැනසෙයි රජයන්ද සබා

දැහැමින් සෙමෙන් පවතින රජයක තරම -පළකල රටක කලටයි වැසි දිය පිරුම

පරිසර බුදු දහම සිහිකොට නිරතුරුවම - යුතුකම සැම සතුන් අභයෙහි     තැබුම

 මතුගම සෙනෙවිරුවන්

 

Friday, December 22, 2023

දළදා කරඬුවට ඉබි යතුරු දමා වසර එකසිය හැත්තෑවයි

 

                            


         එක් දහස් අටසිය දාහතේ ඌව වෙල්ලස්සෙන් ඇරඹුණු ජාතික විමුක්ති අරගලය මේ රටේ ස්වාධීනත්වය ලබා ගැනීම උදෙසා කළ විශිෂ්ඨ සටන් ප්‍රයාමයකි. සිංහලේ අවසන් රජතුමා ලෙසට සැළකෙන හ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ හිතුවක්කාරී ඒකාධිපති ක්‍රියා හේතු කොටගෙන කළකිරුණු මහවාසලේ නිලමේ ගොල්ල එකිනෙකා බෙදී කේලාම් බස් අසමින් කළ නොපනත්කම් නිසා ඉංග්‍රීසින් ගේ චරපුරුෂයන් හට උඩරට රාජධානියේ රහසිගත දේශපාලනය වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබුණි.ජෝන් ඩොයිලි ප්‍රමුඛ චරපුරෂයන් ප්‍රථම කොට භික්ෂූන් වහන්සේලා වෙත සමීපව භාෂාව ප්‍රගුණ කර සිත් දිනාගෙන මහවාසලේ දුර්වලකම් සහ රජගේ දුර්වලකම් පිළිබඳ සැබෑ අවබෝධයක් ලබා ගත්හ.රදළ කට්ටුවට යහමින් මත්පැන් ලබා දීම තුළින් රාජකාරිය දුර්වලකළහ. ඔවුන් ලවා රජුට කේලාම් කීමට පිරිසක් ඇති කළහ. ශ්‍රී වික්‍රම නමින් රජ වූ කන්නසාමි කුමරු වඩුගයෙකි. හිටපු රජුගේ බිසව සමග පිළිමතලව්වේ ඇති කර ගත් සම්බන්ධය උඩ බිහිවූ පුත්‍රයා ලෙසටද දැක්වේ . කෙසේ වෙතත් රජු අත්තනෝමතික ලෙසට ක්‍රියා කලේය. පෙර සිරිත නොසලකා හැරියේය. නමුත් රාජ්‍යයේ ස්වාධීනත්වය වෙනුවෙන් යම් යම් තීරණ ගත් බව සඳහන්ය. 1812 දී ඉංග්‍රීසින්ට එරෙහිව සිදු කළ සටන උදාහරණයකි. මේ කාලයේ ඇහැලේපොල නිලමේ ට භාරව තිබූ සපරගමුව ප්‍රදේශයේ ඉතා රහසිගතව ක්‍රියාදාමයක් සිදු වෙමින් පැවතිණ.කුසුමාසන දේවියගෙන් අවසන් වූ සිංහල රජ පෙළපත යළි නගා සිටුවනු වස් ඒ පෙලපතකින් පැවතෙන කුමාරයෙකු යළි සිංහාසනය වෙත කැඳවීම ඒ ක්‍රියාදාමයයි.ඔටුන්නක් පවා සූදානම් කෙරිණ මෙම තත්වය ආරංචි වූ උඩරට මහ වාසල කලබල විය.ඇහැලේපොල රජවීමට මාන බලන්නේ යැයි  රජුට කේලාම් කීමට ඔවුනට පුලුවන් විය. එහි ප්‍රතිඵලය වූයේ ඇහැලේ පොල පවුල රජු අතින් ඝාතනය වීමයි.

        සිංහල රාජධානියේ අවසානය සිදු වීමට මේවා හේතු කාරණා වූ අතර ඉංග්‍රීසීන් ඉතා සූක්ෂමව රජු කොටු කර උඩරට බලය අල්වා ගත්තේය. නමුත් මේ වන විට දළදා වහන්සේ ඉතා රහසින් උඩරටින්  බැහැර කර තිබුණි. විමලධර්මසූරිය රාජ්‍ය කාලයේ දී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දැරූයේ දන්තහේමමාලා යුවළ ගෙන් පැවතෙන කීරවැල්ල පරපුරයි. මේ පරපුරෙන් බිසවක් ලබා ගැනීම සෙනරත්ගේද බලාපොරොත්තුව විය.නමුත් රජ පෙළපතකට සම්බන්ධය නොතිබීමත් දරළයෙකු වීමත් නිසා එය ඉටු නොවිණි. මෙයින් කෝපයට පත් රජු  වෛර බැඳ ගත් බැවින් දළදා වහන්සේගේ භාකාරත්වය ඒ පරපුරේ භික්ෂූන් වහන්සේලාට පවරා දී තිබේ..වාරියපොල සුමංගල හිමියන් ඒ ලෙස ඒ පරපුරෙන් දළදා භාරකාරත්වය දැරූවෙකි.නමුත් සුමංගල හිමියන් තේවාව කරන කල්හි සැබෑ ලෙසම දළදා භාරකාරත්වය දැරූයේ කීරවැල්ලේ බුලුගුණේ බන්ඩාර සෙනෙවිරත්න නිලමේ තුමාය

      ඉංග්‍රීසීන් රට භාරගත් පසු කොත්මලයේ සඟවා තිවබූ දළදාව මහනුවරට වඩමවා තැන්පත් කරන ලද්දේය. නමුත් වසර දෙකක් ඉක්ම යන්නටද මත්තෙන් රදළවරුන් අතර අසහනය උත්සන්න විය. ඉංග්‍රීසීන් සසුනට ඉටු කළ යුතු කම් මග හැරියේය. මුස්ලිම් ජාතිකයෙකු වෙල්ලස්සට පත් කිරීම නිසා ප්‍රශ්ණය තවවත් උග්‍ර විය.මේ නිසා වෙල්ලස්ස බින්තැන්න ආදී ප්‍රදේශයන්හි සිටි මුස්ලිම් ජනතාව සිංහලයන් අභිබවා නැගී සිටියේය. ඉංග්‍රීසීන් ඔවුනට වරප්‍රසාද දුන් බව දැක්වෙන ප්‍රකාශන නිකුත් කර ඇත.එකල නැගෙනහිර පලාත වෙල්ලස්ස හා බින්තැන්න යනුවෙන් වෙන් කර තිබුණි.ඉංග්‍රීසින් රට පළාත් පහකට බෙදා බින්තැන්නත් එරාහුලු දිශාභාගයත් මඩකලපු දිස්ත්‍රික්කය බවට පත් කලේය. තමන්කඩුව නැගෙනහිරට ඈඳීය.මඩකලපුවේ වානිජ මුස්ලිම් ජනතාව ඉංග්‍රීසින් වෙනුවෙන් හරක් ඇති දැඩි කරමින් මසට මර විකුණන ලද්දේය.මේ හරකුන් පට්ටි පිටින් තණ උලා කමින් තමන්කඩුවේ මෙගොඩ පත්තුව දක්වා සංක්‍රමණය වූ බව පැහැදිලිය.

           මේ අසහනය නිසා ඇති වූ ජනතා පිපිරීම මගින් කැරැල්ලක් ඇති කරන ලද්දේය. 1817 මෙන්ම 1820 ද සිදු වූයේ එයයි.මේ නිසා රදළයන් රැසක් මැරම් කෑවේය. මේ අරගලයේ දී වාරියපොල සුමංගල අනුනායක හිමියන් මහවාසල මගහැර දළදා වහන්සේ රැගෙන වනගත විය.බුලුගුණේ බණ්ඩාරයන්ද උන්වහන්සේ අසළම විය.දළදාව උන්වහන්සේ වෙත විය. පසුව උන්වහන්සේ දළදාවද සමග අත්අඩංගුවට පත් වී යැයි දක්වති.  උන්වහන්සේ අවසාන කාලය ගත කරන ලද්දේ දරාණේ ලෙනේ යැයි ජනප්‍රවාදයක් පවතී. 1818 න් පසු ඇති වූ 1820 කැරැල්ල නිසා පෙර සඳහන් කළ තමන්කඩුව පාලු විය. කොබ්බෑකඩුව රාළත් කොස්වත්තේ රාළත් මැරුම් කෑම නිසා තමන්කඩුව පාලනය කිරීමට උඩරට රදළයෙකු සොයා ගැනීම පහසු නොවීය. ඒ නිසා ඒ තනතුරට පහත රැටියෙකු පත් කරන ලද නමුත් එය අසාර්ථක විය.ඉංග්‍රීසි ආණ්ඩුව නොයෙකුත් උපක්‍රම යොදමින් සිංහලයන් පාලනය කිරීමට සහ ආදායම් ඒකතු කිරීමට මාන බැලූ නමුදු ඒවාද සාර්ථක නොවීය.මහානායක ස්වාමීන් වහන්සේලා පත් කිරීමද දළදා වහන්සේ ගේ භාරකාරත්වයද ඔවුනට හිස රදයක් විය. මේ නිසා වර්ෂ 1847 දී දළදා වහන්සේ ගේ භාරකාරත්ය භික්ෂූන් වහන්සේලා වෙත පැවරීමට ඉංග්‍රීසි රජය පියවර ගත්තේය. නමුත් 1848 දී මාතලේ දී ඇති වූ නිදහස් ජන අරගලය නිසා නැවතත් දළදා වහන්සේ තමන් භාරයට ගත් ඉංග්‍රීසි ආණ්ඩුව 1853 දී කොන්දේසි කීපයක්ද සමග දළදා වහන්සේ භාර දීමට කටයුතු කර ඇත. මින් එක් කොන්දේසියක් වූයේ ආගමික කටයුතු වලට හැරුණු කොට කිසිම දේශපාලන කටයුත්තකට දළදා වහන්සේ භාවිතා නොකළ  යතු බවට සපථ කර ගැනීමය. එසේම මෙතෙක් දිව නිලමේ භාරයේ තිබූ දළදා වහන්සේ රජුගේ ඇතුල් කට්ටලේ නිලමේ වරයෙකු වූ දියවඩන නිලමේ වන ලොකු බණ්ඩා නිලමේ වරයාට භාරකොට දළදා වහන්සේ වැඩසිටි කරඬු හත ඉබි යතුරු දමා එක යතුරු කීපයක් ඔහුටද අනෙක් යතුරු දෙක මල්වතු සහ අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලාට භාර දීමට කටයුතු කලේය. දළදා වහන්සේ නැවත දළදා මාළිගයේන් ඉවත් කොට ගෙන පැන යා නොහැකි වන සේ පැනවූ නීතිය අද දක්වාම පැවත පැමිණේ.ඒ ලේඛනයේ අත්සන් කොට සාක්ෂි වශයෙන් යටවත්තේ හා පරකුඹුරේ යන නිලමේවරුන්ගේද අනුමැතිය ලබාගෙන තිබේ. ඒ පිළිබඳව හුවමාරු වූ ලිපි ලේඛන අදටත් රාජ්‍ය ලේඛනාගාරය තුළ දක්නට හැකිය. 


       

      පෙර රජ සිරිත අනුව විටින් විට දළදා වහන්සේ වෙත ගම්බිම් පුදා ඇත.එම ගම් වල උපදින බව භෝග මාළිගාවටද මහා විහාරයටද ලැබෙන පරිදි කටයුතු යොදා තිබුණි. ඉංග්‍රීසි ආණ්ඩුව පත් කළ අලුත මහා විහාරයට වියදම් පඩි දීමේ ක්‍රමයක් ආරම්භ කර ඇත. ඊට අමතරව ගම් බිම් පවරා දීමද සිදු කර තිබේ.තමන්කඩුව පළාත නොහොත් වර්තමාන පොලොන්නරු දිස්ත්‍රික්කය මෙලෙස පවරා දුන් එක් ප්‍රදේශයකි. තමන්කඩුව පාලනය කරන ලද්දේ පෙර දිව නිලමේ තනතුර දැරූ හිරිපිටියේ දිව නිලමේ ගේ මුණුපුරා වන ඒකනායක බණ්ඩාරයන් විසිනි. ඉග්‍රීසින් රට භාර ගත් කාලයේ දී කහව මුදියන්සේද මින්නේරි මුදියන්සේද මේ පෙදෙස පාලනය කර තිබේ. නුමුත් 1820 දී ඇති වූ කැරැල්ල නිසා මේ රදළවරු කීප දෙනෙකුම මැරූම් කෑහ. අනතුරුව තමන්කඩුවේ කොටුවැල්ල නම් වූ දළදා මාලිගාවට පුද දුන් නින්දගම පාලනය කරන ලද්දේ දියවඩන නිලමේ වරයා විසිනි. ඉඩම් භුක්ති ලේඛනයේ මේ ගම පිළීබඳ සඳහන් වන්නේ මෙවැනි දෙයකි.

         මේ ගමේ බාගා තුනක් සහ ගම් වසම් තුනක් තිබෙනවාය. බාගා තුන එකට රාජකාරි කරනවාය. බාගා තුන එක්ව කරණ රාජකාරි නම් මහනුවර මාළිගාවට අවුරුදු පතා සිළින් තිහක් දීමද වේලාපු දඩමස් නොහොත් ගෝනමස් කෑලි හයසීයක් දීමද එක කදට කෑලි තුන බැගින් දුන් තෙල් කත් දෙකක්ද එක කදට කෑලි තුනක් බැගින් මී පැණි කත් තුනක් ද නොම්මර 26 පන්ගුවට අයිති බිත්තරත්  පෑල් හයේ කෙත මාළිගාව ගනනේ වැඩිකර අස්වනු අටුලෑමද අටුව අලුත්වැඩියාකර පවත්වාගැනීමදය. බාගෙකින් දෙන රිදී පහලොහ නොහොත් සිළින් දහය දීමටත් දඩමස් කෑලි දීමටත් ගම්මහේලා හවුල් වන්නේ නැත. ඔවුන් ගේ රාජකාරි නම් බාගාවල නිලකාරයන් ලවා කෙත වැඩකරවීමද අවුරුදු පතා පෙනුන් කත් සහ අනිකුත් දීමනාවල් ගෙන්වාගෙන මහනුවරට යෑමදය. අනික් නිලකාරයන් විසින් ඒ කත් ගෙනියන්නට ඔනෑය. සිලින් තිහ බෙද‌ාදෙන්නේ මෙයාකාරය. දහයක් මාළිගාවටද දහයක් දිව නිලමේටද දහයක් විදානේටදය. වේලාපු දඩමස් කෑලි තුන්සීයක් මාළිගාවටද එක සීයක් දිව නිලමේටද එක සීයක් විදානේටද පනහක් කාරිය කරණ රාළටද එක්කෙනාට විසිපහ බැගින් කන්කානිවරු දෙන්නාටදය. නොම්මර 20 රදා පන්ගුව විසින් අනික් පන්ගුවලින් දෙන දීමනාවල්වලට හවුල්වෙනවා පමණක් නොව  රදළ කෙනෙක් ගමට පැමිණි විට පොරොත්තු ස්ථානයේ වියන් බඳිනවාය. විදානේ ගමට පැමිණි විටක බාගා තුනේ නිලකාරයන් එක්ව ඉඳුම් හිටුම් හොදාකාර සාදා දි මුරෙන් මුරේට දවස් පතා සිංහල බාගෙන් අඩුක්කුද ඉහළ සහ මැද බාගෙන් පැහිදුම්ද දෙනවාය.

         මේ ලේඛනය අනුව පැහැදිලි වන්නේ දියවඩන නම් නිලමේ වරයෙකු දළදා වහන්සේ භාරකාරව නොසිටි බවයි. දිව නිලමේ හෝ දිවන නිලමේ යනු සැබෑ තනතුරයි.1848 දී ඇති වූ ජනතා අරගලය නිසා සිංහල රජෛක් නැවත පත්වී දළදා වහන්සේ උරුම කොට යලි රාජ්‍යය පිහිටවීමට හැකි යැයි ඉංග්‍රීසිහු බිය වූහ. ඒ නිසා රජුගේ ඇතුල් කට්ටලේ නිලමේ වරයෙකුව සිටි ලොකුබණ්ඩා දෙහිගම නිලමේ වරයාට දළදා භාරකොට මල්වතු අස්ගිරි විහාර වල එවකට සිටි මහා නායක හිමි වරු දෙපළට තේවාව භාරකොට ඉබි යතුරු ලා දළදා මාළිගයේ තැන්පත් කර ඇත. අදටත් මේ වරද නිවැරදි වී නැත. හෙන්රිපේද්‍රිස් වීරයා මරා වසර 108 කින් ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන ආණ්ඩුවකට දළදා වහන්සේ සිරගත කළ අපූරු කුමන්ත්‍රණය හෙළිදරව් කිරීම අපහසු කරුණක් නොවේ. නුමුත් අප යථාර්ථයද තේරුම් ගත යුතුය. එදා මෙන්ම අදත් මෙරට පාලනය කරන්නේ විදෙශිකයන්ගෙන් වරම් ගත් කලු සුද්දන් පෙළකි.ඔවුහු දිනෙන් දින රට අගාධයකට හෙළමින් සිටී. මේ ‌ෙඑතිහාසික වරද නිවැරදි කරන තෙක්ම රටට උද්ගතව ඇති ශාපය දුරලනු නොහේ. පක්ෂ මාරු කර පාලනයභාර දුන්නාට දේශමාමක පාලනයක් වන්නේ නැත. කළ යුතු එකම දේ දළදා වහන්සේට වග කිව හැකි නරපතියෙකු බිහි කිරීමයි.රට සුභික්ෂ වන්නේ එවිටයි.

මතුගම සෙනෙවිරුවන්

Thursday, December 14, 2023

හෙන්රි ප්‍රෙද්‍රිස් වීරයා වෙනුවට දුෂ්ඨයා මිනී වලෙන් නැගිටීවිද

 

                           


      එක් දහස් නවසිය පහළොවේ ජූලි මස 07 වන දා උදයේ හිරු සිය ආලෝක ධාරා මහ පොළවට පතිත කරවූයේ අඳුරු වළාකුල් අතරේ සිටිමිනි.හිරුගේ දීප්තිමත් ස්වභාවය එදා නොවීය. ඒ නිසා වැලිකඩ බන්ධනාගාරයේ ඇල්හෝල් නම් රැඳවි ශාලාවටද ආලෝක රැස් දහරා පතිත නොවිය. එම ශාලවේ රඳවා සිටි විශේෂ සිරකරුවන් පිරිසක් විය. එනම් 1915 වර්ෂයේ දිවයින පුරා ඇවිලවුණු කෝලාහලයට නායකත්වය දුන් බවට චෝදනා ලැබ සිටි එවකට ලංකාව පාලනය කල බ්‍රිතාන්‍ය පාලකයන්ගේ යුද්ධ නීතිය යටතේ මරණ දන්ඩනයට ලක්ව සිටියෝ  ද ඒ අතර වූහ. දහනව වන සියවස අගභාගයේ සිට මුලු ගැන්වුණු අමද්‍යප ව්‍යාපාරය සංවිධානය කළ එෆ්. ආර්.සේනානායක වැනි ජන නායකයන් ඒ අතර විය.පියදාස සිරිසේන නීතිඥජෝන් ද සිල්වා රිචර්ඩ් සල්ගාදු පී.සී.එච් .දියෙස් පී.එස්.තිසේරා බොරලුගොඩ රාළහාමි සහ රොමානිස් පෙරේර වැනි ජාති මාමකයන් අසූහය දෙනෙකු හෙන්රි ප්‍රෙද්‍රිස් සමග සිර ගෙදර  රඳවා සිටියහ.

    1915 ජූලි මාසයේ හත්වන දින උදේ හතට පමණ බන්ධනාගාර ජේලර් වරයෙකු පැමිණ මේ රැඳවියන් පිරිසට ඇල්හෝල් නම් ශාලවේ ආලින්දයේ එක පෙළට සිට ගන්නට කීහ. බයිනෙත්තු සහිත රයිෆල් දෙකක් අතින් ගත් යුද්ධ භටයන් දෙදෙනෙකුට මැදිව නගරාරක්ෂක නිල ඇඳුමින් සිටි යොවුන් වියේ තරුණයෙකු මේ පිරිස අතරින් කඳවා ගෙන ගියහ. එඩ්වඩ් හෙන්රි ප්‍රේද්‍රස් නම් ඒ තරුණයා මරණ දන්ඩනයට කැපව සිටියහ.බ්‍රිතාන්‍ය යුද්ධ අධිකරණය විසින් කැඳවූ විශේෂ නඩු වාරයකදී ජූලි මස 1 වන දා ඔහුට මේ මරණ දන්ඩනය පැනවිණ.එයට අභියාචයක් ඉදිරිපත් කිරීමට පවා ඔහුට නොහැකි වුණි.මේ තරුණයා පිටිපසින් යුධ හමුදා විශේෂ කොමසාරිස් ඒ.සී. ඔල්නට් මහත් අභිමානයෙන් ගමන් කළේය.තවත් අඩ හෝරාවක් පමණ ගත වූ කල්හි වෙඩි හඩක් නිකුත් විය. ඇල්හෝල් ශාලවේ සිටිය වුන් භිතියෙන් මුසපත්ව කඳුළු වගුරවමින් ශෝකයෙන් භරිතව තන්හි තන්හි වැතිර උන්හ.හෙන්රි ප්‍රෙද්‍රිස් ඝාතනයෙන් ස්වල්ප වේලාවකට පසු හෙන්රි ප්‍රෙද්‍රිස් වාඩිවී සිටි ලේතැවරුණු පුටුව ඇල්හෝල් ශාලාවට ගෙනා ඔල්නට් නම් යුධ හමුදා කොමසාරිස්වරයා ඒ පුටුව පෙන්වා 'ඔය ඊනියා අමද්‍යප ව්‍යාපාරය වැනි රාජද්‍රෝහී සංවිධාන  පිහිටුවාගෙන ආණ්ඩුවට හතුරුකම් කරන කාටවුවත් අත්වන්නේ මෙවැනි ඉරණමක් බව පෙන්වා දුන්නේය'.මේ ප්‍රකාශයෙන් කිපුණු එෆ්. ආර්. සේනානායක මහතා ශෝකයෙන් පීඩිතව මෙසේ පැවසා ඇත.

'මොනවා අපේ තරුණයෙකුට වෙඩි තබා ඒ තරුණ ලෙයින් සේදුණු පුටුව ගෙනවුත් අපටම පෙන්වීමට තරම් ඔබලා නිවට නියාලු බියසුලු ජාතියක්ද. ඔහු කළ වරද කුමක්ද තමන්ගේ සහෝදර ජනතාවට විරුද්ධව තුවක්කුවක් එල්ල කළ හැකි දුෂ්ඨයා කවුරුද.තමන්ගේ කම නිසා මමත්වය නිසා මගේය යන හැඟීම නිසා මනුෂ්‍යත්වය අගය කරන සත්පුරුෂයෙකුට එසේ කල නොහැකි' යයි කී එෆ්. ආර් දෙස ඔල්නට් නිළධාරි වරයා ගල් ගැසී බලා සිටි යැයි ජයසේන දහනායක ලියූ සේනානායක චරිතයේ තියා ඇත.

          1815 දී මෙරට බ්‍රතාන්‍යයන්ට ගිවිසුමකින් පවරා දුන් පසුව ඔවුන් විසින් ජාතික සටන් නිහීන ලෙසට මර්දනය කොට ඉඩම් කොල්ල කමින් මනුෂ්‍ය ඝාතන කරමින් රට මහත් විපර්යායකට ලක් කලේය.1848 පසු ඉංග්‍රීසීන්ට විරුද්ධව අවි අතට ගැනීමට සමතෙක් නොවීය.  නමුත් භික්ෂූන් වහන්සේලා විසින් දකුණු සිරිලක ආරම්භ කරන ලද බෞද්ධ පාසල් ව්‍යාපරයෙන් පන්නරය ලබා පසුව විදෙසින් පැමිණුන ඔල්කට් තුමාගේ සහ මිගෙට්ටුවත්තේ ගුණානාන්ද හිමියන් ගේ නායකත්වය මත ඔප් නැන්වුණු ජාතික ව්‍යාපාර ඔස්සේ නැවතත් සාමාකාමී ලෙසට ජාතිය සංවිධන ගත විය. අමද්‍යප ව්‍යාපාරය උත්සන්න වූයේ ඉංග්‍රීසින් විසින් 1912 දී දුරාබදු ප්‍රතිපත්තියක් හදුන්වා දීම නිසාවෙනි. අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් ඉන්දියවේ දී සිර අඩස්සියට පත් වූ පසු ඒ සටන අතට ගත් දේශීය ජන නායකයන් මර්ධනය කිරීම පිණිස ඉංග්‍රසින් යොදා ගත්තේ මරක්කල අන්තවාදයයි.දිවයිනේ විවිධ පළාත්වල ඇති කරන ලද ගැටුම් නිසා බෞද්ධයන් කුපිත කිරිම ලේසි පහසු විය. . 1915 මැයි මස 5 වන දාට යෙදී තිබූ වෙසක් උත්සවය සඳහා මහනුවර පැවති බැති ගී කරත්ත පෙරහැර කඩාකප්පල් කිරීම නිදසුනකි. බෞද්ධයන් මේ අවස්ථාවේදී දන්සල් පැවැත්වීම නිසා මුස්ලිම් කඩවල වෙළදාම නැති වී යන්නේ යැයි යන අදහස නගර සභාවේ නිළධාරීන් වෙත ඒත්තු ගැන්වීමට මුස්ලිම් නායකයන් උත්සාහ කළහ. මේ නිසා දන්සැල් පැවැත්වීමට නගර සභාවෙන් නිසි අවසරය නොලැබුණි. එසේම පොලීසිය විසින් කරත්ත පෙරහැරට බාධා කිරීම නිසා ඇති වූ කලබලය මහත් නොසන්සුන් තාවයක් බවට පත් විය. යුද්ධ නීතිය යටතේ දවස් සියයක් නම් ග‍්‍රන්ථය සකස් කළ ආමන්ඞ්ද සූසා මහතා 1915 මරක්කල කෝළාහලයට හේතු දක්වන්නේ බි‍්‍රතාන්‍ය රජයේ සහ නිලධාරීන්ගේ ඔලමොට්ටල කම් ගෙනහැර දැක්වීමෙනි.

               එහිදී කුරුණෑගල උසාවියේ පවරා තිබූ අංක 3649 දරණ නඩුව විභාග කළ ජී. ඩබ්. වුඩ්හවුස් මහතා මුස්ලිම් සිංහල දෙපක්ෂය සමගි කරලීමට බැරි වීම පිළිබඳව පොලීසිය හෙලා දැක්කේය .සමගි කරවීම වෙනුවට පොලිසිය කර තිබෙන්නේ නඩු යාමට දෙපක්ෂයම දිරි ගැන්වීමයයි ඔහු සඳහන් කළේය. 1915 දී බලවත් ජීවිත හානි වලට පසුබිම්  වූ මුස්ලිම් කෝලාහලයට ලංකා පොලිසියේ ප‍්‍රතිපත්තියෙහි පැහැදිලි දුර්වල කම හේතු වී ඇති බව ද හේ වැඩි දුරටත් ප‍්‍රකාශ කලේය.  බෞද්ධයන් ගැටුම් වැලැක්වීමට උත්සාහ කරද්දීත් ඔවුන්ගේ අවංක භාවය පැහැදිලිව පෙනෙන්ට තිබියදීත් මුස්ලිම් අය ඕනෑකමින් පීඩාකාරී වූහ. බෞද්ධයනට පාඩමක් උගන්වන අටියෙන් පෙරහැරට විරුද්ධව මුස්ලිම් ජන කණ්ඩායම් පල්ලි ළගට රැස්වූහ. මෙම ගොඩනැගිල්ල පාඨශාලාවක් විනා පූජනීය ස්ථානයක් නොවන බව අවංකවම විශ්වාශ කළ බෞද්ධයන් ඔවුනට අභියෝගයක් වශයෙන් නොව සාමාන්‍ය පිළිවෙලකට අනුව ඒම ස්ථානය පසුකර ගියහ. මුස්ලිම් අය ඉල්ලා සිටි කෙණෙහිම ඔවුහු තූර්ය වාදනය නැවැත්වූහ. එහෙත් මුස්ලිම් ජනයා පෙරහැර විසිරුවා හැරීමට දැඩිව තීරණය කර ගෙන සිටි හෙයින් ඔවුහු පෙරහැර ට ගල්වලින් ගැසූහ. සමහරෙකුට පහර දුන්හ. පිළිමයට මඩ ගැසූහ.මේ කෝලාහලය පසුබිම් කර ගනිමින් ඉංග්‍රීසින් විසින් සිංහල ජන නායකයන් අත්අඩංගුවට ගත්හ.මේ සියල්ල පිටිපස මහ මුදලි කමේ සිටි සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා සිටි බව පැවසේ.

           හෙන්රි ප්‍රේද්‍රිස් තරණයා ඉංග්‍රීසීන් ගේ තුච්ච නීතිය යටතේ මැරම් කෑවේය.ඒ නීති වලින් අදත් අප පීඩා වඳිමින් සිටිමු. ප්‍රසිද්ධ මිනිරන් ව්‍යාපරිකයෙකු වූ දීසන් ප්‍රේද්‍රස් ගේ පියා ලංකාවට විශාල අපනයන අදායමක් හිමිකර දුන් මිනිරන් නිෂ්පාදකයෙකු   විය. මීගහතැන්නේ ඔහුගේ ප්‍රධාන මිනිරන් පතල තිබුණි.පුතාගේ වියොවින් සොවින් තැවුණු ඔහු සිය ව්‍යාපාරය සහ මිනිරන් පතල් වසා විකුණා දැමූ බව පැවසේ.බ්‍රිතාන්‍යයන්ට  හිස රදයක්ව පැවති දේශීය ව්‍යාපාරිකයාගේ නැගී සිටිම තුළ නැවත ජන නැගිටීමක් වෙතැයි ඉංග්‍රීසීන් බියට පත් වූහ.1948 දී අපට සීමිත නිදහසක ලැබුණේ අහම්බෙන් මෙනි. නමුත් ඒ නිදහස 1972 දී තවත් පුලුල් කරගත්තද මේ වන විට තිරසරව පවත්වාගෙන යෑමට නොහැකි වී තිබේ. රජයේ ව්‍යාපාර විකුණා දමමින් ජනතාවට අධික බදු බර පැටවීම කිරීමට සැලසුම් කරනුයේ මෙරට ආරථිකයට යලි නැගිටීමට හැකි නොවනු සඳහාය.මෙ විදෙශ හාම්පුතුන් විසින් සැලසුම් කරන ලද්දකි.

      2023 දෙසැම්බර් මස 11 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් අපූරු යෝජනාවක් සම්මත කරගෙන තිබේ. හෙන්රි ප්‍රේද්‍රිස් නගරාක්ෂක භටයා ඉංග්‍රීසින් විසින් වෙඩිතබා ඝාතනය කොට වසර 108 ක් පිරීම නිමිත්තෙන් ඒ ඝාතනය සම්බන්ධව පරීක්ෂා කිරීමට සහ වාර්තාවක් ලබා දීමට විශ්‍රාමික විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.ප්‍ප්‍රෙද්‍රිස්  වීරයා පිළිබඳ කතාව  මේ රටේ ජාතිකත්වය සමරන බොහෝ දෙනෙකු දන්නා කරුණකි.යුද්ධ නීතිය යටතේ දවස් සියයක් නම් ග්‍රන්ථයේ මේ පිළිබඳ බොහෝ තොරතුරු සහ ඒ ඝාතනයට තුඩු දුන් හේතු දක්වා තිබේ. හෙන්රි ප්‍රෙද්‍රිස් මහතා වෙඩි තබා ඝාතනය කොට ලේතැවුරුණ පුටුව රැගනෙ බන්ධනාගරයට පැමිණි ජාතික නායකයන්ට පෙන්නීම තුළින් ඉංග්‍රීසීන් බලාපොරොත්තු වූයේ රටේ ස්වාධින්තවය වෙනුවෙන් නැගී සිටින නායකයන් දුර්මුඛ කිරීමයි. ඒ දුෂ්ඨත්වය ඉංග්‍රීසින් ගෙන් වර්තමාන කලු සුද්දන්ට උරුම වී තිබේ. ඔවුන්ට ද අවශ්‍ය මෙරට ඉංග්‍රීසි නීතිය තබාගෙන මෙරට පාරම්පරික ජනතාව මර්දනය කරමින් චෞර රාජ්‍යයක් ලෙසට විදෙස් ගැති පාලනයක් පවත්වාගෙන යෑමයි. ඒ අරමුණ සාර්ථක කර ගැනීමට නම් ස්වාධිනත්වය උදෙසා සටන් වදින මෙරට ජතික නායකයන් භේද භින්න කළ යුතුය. පපුව ඉදිරියට දමා කටයුතු කරන සැමට අත්වන ඉරණම පෙන්වා දිය යුතුය. මේ නායකයන්ට උදව් දෙන නිළධාරීන් සහ මන්ත්‍රීවරුන් දුර්මුඛ කල යුතුය.ජනපති ලේකම් කාර්යාලයේ යෝජනාව එය විය හැකිද යන්න සැකයකි. හෙන්රි ප්‍රෙද්‍රිස් වීරයා මෙන්ම කැප්පෙටිපොළ කුඩාපොළ හිමි පුරන් අප්පු වැනි ජාතික වීරයන් පමණක් නොව වර්තමාන කාලයේ සිංහල ජාතික ව්‍යාපාරයේ ආදර්හය බවට පත් වූ අනාගරික ධර්මපාලයන් ගැනද පුන පුනා සමාජයේ කතාබහ කිරීමද අනාගත පරපුරට කියා දීමද කළ යුතුය. දුෂ්ඨයන් අතරේ අපගේ වීරයන් පඹයන් බවට පත් කිරීම නතර කළ යුතුය.

මතුගම සෙනෙවිරුවන්

Saturday, December 2, 2023

දිවුල්පතාන ඉඩම් ගවයන්ට - ගොවීන් මහ පාරට -අයවැය කොකා පෙන්වයි

 


                   

               මඩකලපු දිස්ත්‍රික්කයට අයත් දිවුලපතාන පාරම්පරික සිංහල ගම්මානයේ  පදිංචිව සිටින ගොවීන් විසිතුන් දෙනාගෙන් දහතුන් දෙනෙකු ට විරුද්ධව රජයේ සන්කය ආපසු ගැනීමේ පනත යටතේ   පැවරූ නඩුව එරාවුර් සංචාරක අධිකරණයේ දින දෙකක් විභාග වූ  අතර මෙම ගොවීන් සිය ඉඩම් වලින් නෙරපීම පිණිස තීන්දුවක් ලැබී තිබේ. මෙම නඩුව පවරන ලද්දේ මහවැලි අධිකාරියේ මහවැලි බී කලාප නිළධාරීන් විසිනි. 2021 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් විසින් මහවැලි අධ්‍යක්ෂ ජනරාල් වරයාට විරුද්ධව පවරන ලද මැන්ඩමුස් නඩුකරය ප්‍රකාරව දිවුලපතාන ගොවීන් දහදෙනෙකු ඉවත් කිරීමට මහවැලි අධිකාරිය දක්වන ලද එකඟතාවය මෙම නෙරපීමට හේතු සාධක වෙයි.

      1979 ජූනි මස 15 වන දින ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරන ලද මහවැලි සංවර්ධන බල ප්‍රදේශය අනුව මෙම කලාපය අයත් වන්නේ මාදුරුඔය ජලාශයෙන් පෝෂණය විය යුතු බී කලාපයටයි.1983 දී මාදුරු ඔය පැරණි මහ වැව ප්‍රතිසංස්කරණය අවසන් කිරීමෙන් පසුව එම ජලාශයේ වම් ඉවුර සංවර්ධනය කරනු ලැබිණ.පොලොන්නරු දිස්ත්‍රික්කයේ අරලගංවිල වැලිකන්ද  ප්‍රදේශ තුළ ජනතාව පදිංචි කරමින් වී ගොවිතැන සඳහා ඉඩම් ලබා දී ඇත්තේ මේ සංවර්ධන ක්‍රියාදාමය අනුවයි.අපවත්වී වදාළ පූජ්‍ය කිතලගම සීලාලංකාර දිඹුලාගල නායක හිමියන් හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් කරන ලද ඉල්ලීමක් මත මාදුරු ඔය සංවර්ධන ව්‍යපෘතිය ඉදිරියට ගෙන යෑමට සැලසුම් සකස් කළ බව ප්‍රකට කරුණකි. මෙම මාදුරු ඔය බී කලාපයේ දකුණු ඉවුර සංවර්ධනය කර හෙක්ටයාර් 14500 කගොවිබිම්ඇති කර 13347ක් පවුල් පදිංචි කළ යුතු වන අතර නගර ඇති කරලීමද මහවැලි සංවර්ධන සැලැස්මේ ප්‍රමුඛ අරමුණක්ව තිබුණි. වම් ඉවුර සංවර්ධනය කරලීමෙන් අනතුරුව මෙම දකුණු ඉවුරු පෙදෙස සංවර්ධනයට ඉදිරි පියවර තැබීමට තිබුණද අසූව දශකයේ දි ඇරඹි කොටි ඝාතක යුද්ධය නිසා ඒ කිසිවකට ප්‍රවේශ වීම කළ හැකිව නොතිබුණි.නමුත් එම පෙදෙස්වල තිබූ පාරම්පරික ගොවිබිම් මෙන්ම කැලෑ ගම්මානයන් හි අහස් වැස්සෙන් සහ වැව් දියවරෙන් ගොවිතැන් කරමින් පැවතුණි.ඒ ඇතැම් බිම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගන්නා ලද සෙසු කැලෑ අතර විය.දිවුල පතාන පාරම්පරික ගම්මානයද ඒ ලෙස දිර්ඝ කාලයක් තිස්සේ ගොවීන් විසින් වගා කරන ලද ජනාවාස ව තිබූ ගොවි බිමක් විය.1989 දී මෙම ගම්මානයට එල්ල කරන ලද කොටි ප්‍රහාරයෙන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

          දිවුල්පතාන මීමිනිගොල්ලෑව හික්කාගල මල්වත්ත මාරවිල ආදී මේ කැලෑ ගම්මාන අනුරාධපුර යුගයේ සිට ජනාවාස ලෙසට පැවති සශ්‍රීක ප්‍රදේශයන් වෙයි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2016 වසරේ දීකළ ගවේශණය මගින් මඩකලපු දිස්ත්‍රික්කයේ පමණක් නටබුන් පවතින ස්ථාන පන්සිය තිහක් හඳුනාගනු ලැබිණ. ඒ අතරින් දිවුලපතාන අයත්වන චෙංකලාඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ස්ථාන එකසිය විස්සකි.දිවුලපතාන අවට ස්ථාන හතරක ස්ථූප ගොඩනැගිලි යකඩ සෑදූ ස්ථාන දක්නට ලැබේ. මීමිනිගොල්ලෑව ශිලාලේඛනයෙ මගින් දක්වා ඇතිතේ ඉසිගිරිය අමාත්‍යවරායා ගේ පුත්‍රයා  විසින් මෙම ප්‍රදේශයේ තිබෙන චුබරවලක නම් වැව (මීමිනිගොල්ලෑව ) අහපරම නම් විහාරයට පූජා කළ බවයි.මෙම ගම්මානයට සමීපතම වැදගත් ස්ථානයක් වන තොප්පිගලින් හමූවූ හත්වන සියවසට අයත් ශිලා ලේඛනයකින්ද කියැවෙන්නේ මේ ප්‍රදේශ ඉතා වැදගත් ශාසනික දේපළ ඇති භූමි භාගයක් බවයි.ඒ අනුව දිවුලපතාන යනු අනුරාධපුර යුගයේ සිට ජනාවාසව පැවති වර්තමාන ඔප්පු තිරප්පු නොමැති වුවද පාරම්පරික උරුමයක් ඇති ගම්මානයක් බව පැහැදිලිව කිව හැකිය.

        2009 කොටි සමූලඝාතනය කර යුද්ධය අවසන් කළ පසු දිවුලපතාන අවතැන් වූ ජනතාව නැවත එම ප්‍රදේශයට ගොස් වගාව ආරම්භ කරන ලදහ. මේ වන විට ජනතවගේ අවශ්‍යතාවයට සරිලතන ලෙස සමූපකාරයක් සිංහල පාසලක් පවා දිවුලපතාන ගමට අයත්ව තිබී ඇත.කොටි යුද්ධය ආරම්භ වීමට ප්‍රථම මෙම පෙදස පාලනය කරන ලද්දේ මහඔය උප දිහාපති යටතේය. චන්ද නාම ලේඛන පවා සකස්ව තිබෙන්නේ දිගාමඩුල්ල මැතිවරණය කොට්ඨාශයටයි.1989 දී පමණ දිවුල් පතාන චන්ද හිමියන් 613 ක් සිටි බව ලේඛන වලින් පෙනේ. ඒ අතර 1981 ජන සංගණනය අනුව මඩකලපු දිස්ත්‍රික්යේ සිංහලජනගහනය සටහන් වන්නේ 11255 කි. යුදධය නිමා වීමෙන් පසු නැවත පදිංචි කර තිබෙන්නේ  2397 ක් පමණි.නමුත් දෙමල සහ මුස්ලිම් ජනතාව තව දුරටත් ව්‍යාප්ත වෙමින් සිංහල ජනතාව සතු පාරම්පරික වාසභූමිද අල්වා ගනිමින් ව්‍යාජ ඔප්පු සකස් කොට පදිංචිය තහවුරු කොට ගත ආකාරය පැහැදිලිව දක්නට ඇත.

.                පෙර කී පරිදි 2021 දී මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී රසාමානිකම් මහවැලි අධිකාරයට විරුද්ධව නඩු මගට බැස ඇත. එයට හේතුව මඩකලපු කිරිගොවීන්ගේ ගවගාල් වලට අයත් ඉඩම් සිංහල ගොවීන් විසින් අනවසරයෙන් වගා කරන බව දක්වමිනි. දිවුලපතාන යනු  මයිලත්තමඩු මාදවනේ යනුවෙන් දක්වන ප්‍රදේශය බවත් ඒ ඉඩම් දෙමළ කිරි ගොවීන් ගේ ඉඩම් බවටත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් ඒ නඩු නිමිත්ත විය. සැබෑව නම් යුද්ධයට පෙර මේ මයිලත්තමඩු මාදවනය (දිවුලපතාන යාබද ගම ) කැලෑ ප්‍රදේශයක් වීමයි. වන සංරක්ෂණයට අයත් මේ ඉඩම් හෙළි පෙහෙළි කොට ගවගාල් තනා ඇත්තේ 2015 න් පසුවයි. ඉන්පසු ඔවුන්ගේ ඉල්ලීම පරිදි මහවැලි අධිකාරිය විසින් මේ ගවගාල් වලට අවසර ලබා දී ඇති අතර වැලිකැණීමට සහ ගවයන්ට ජලය ලබා ගැනීමට වැව් හෑරීමටද අවසර ලබා දී තිබේ.චමල් රාජපක්ෂ හිටපු මහවැලි අමාත්‍යවරයාද රෝෂාන් රණසිංහ වත්මන් මහවැලි අමත්‍යවරයාද මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධනයට කරන ලද සැලසුම් අනුව නව ඉඩම් පරිහරණ සැලැස්මක් හඳුන්වාදී තිබේ. දෙමළ අන්තවාදීන් ගේ ඉල්ලීම් සපුරාලනු සඳහා තෘණභූමි හෙක්ටයාර් 3025 ක් අලුතින් ඇති කරලීමට නිර්දේශ වී ඇත.නමුත් මහවැලි මුල් සැලැස්ම අනුව වාරි පහසුකම් යටතේ තිබූ 14500 ක ප්‍රමාණය 9412 කට අඩුකර ඇත.  මෙම තීරණයන් මුල් සැලැස්මට පටහැනිය. ඉතිහාසය පුරාවටම වාරි දියෙන් පෝෂණය වෙමින් වී ගොවිතැනට මුල් තැන් දුන් අතර ගව පාලනය සිදු වූයේ ඒ යටතේය.

    


අලුතින් තෘණභූමි වෙන් කරලීමට ගන්නා ලද තීරණය  මත දිවුලපතාන ගම තුල හේන් ගොවිතැන් කළ කුඹුරු කල ගොවීන් විශාල පිරිසකට බලවත් අභියෝගයකට මුහුණ දීමට සිදු විය. මෙම හරක් අයාලේ යන්නට ඉඩ හැරීම නිසා කුඹුරු වතු පිටි විනාශ විය. මේ පිළිබඳ කළ පැමිණිලි පොලිසිය හෝ මහවැලිය තුට්ටුවකට මායිම් කලේ නැත. ඒ වෙනුවට පෙර කී පරිදි මේ හරක් ගාල් අයිතිකරුවන්ට සහාය දෙන රාසමානික්කම් මන්ත්‍රීවරයා මහවැලියට විරුද්ධව නඩු මට බැස නීතිපති උපදෙස් මත 2022 දී තීන්දුවක් ලබාගෙන තිබේ. ඒ තීන්දුව අනුව මහවැලි අධිකාරිය විසින් දිවලපතාන වාඩි තනා සිටින සිංහල ගොවීන් 10 දෙනෙකු ඉවත් කල යුතු විය.

          මේ නඩු කටයුතු 2023 ඔක්තෝබර් මසයේ දී ආරම්භ වන අතර එරාවුර් උසාවියේ පැවති ලඝු නඩු විගායකින් පසු ගොවීන් 13 දෙනෙකු නෙරපීමට තීන්දු කරඇත. මේ තීන්දු පිටිපස තිබෙන්නේ රාසමානිකම් ලාගේ දෙමළ අන්තවාදී දේශපාලනයයි. ඔවුහු ජනපතිවරයා මඩකලපුවට ගෙන්වා හොඳින් සංග්‍රහ කර දේශපාලන පොරොන්දුවක් ලබා ගත්හ. 2022 වසරේ දී රෝෂාන් රණසිංහ මහවැලි ඇමතිවරායා අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් අංක IR/ 2022/32 දරණ කැබිනට් සංදේශය අනුව හෙක්ටයාර් 20000 ක් ක ඉඩම් ප්‍රමාණයක් සෘතුමය  බඩ ඉරිඟු වගාව පිණිස දිය යුතුය. ගොවීන්ට ලබා දිය යුතු වන්නේ හෙක්ටයාර් 10000 කි. එයද ආයෝජකයන් හා ගිවිසි ගොවිතැනකට පමණි.නමුත් මහවැලි මහ සැලැස්මේ නියමය නම් මාදුරු ඔය දකුණු ඉවුරේ හෙක්ටයාර් 14500 ප්‍රමාණයකට අවශ්‍ය ජලය ලබාදිය යතු බවයි. එහි ප්‍රමුඛත්වය වී ගෙවිතැනටයි.නිවාස තැනීමට මංමාවත් තැනීමට මෙන්ම කුඩා නගර ඇති කිරීමටද යෝජිතය. නමුත් වත්මන් මහවැලි ඇමතිවරයා සහ ජනපතිවරයා මේ මුල් සැලසුම් කණපිට හරවාගෙන කටයුතු කරන්නට පටන් ගෙන තිබේ.පාරම්පරික සිංහල ගොවීන් ඉවත් කර ඒ වෙනුවට තෘණ භුමි වෙන් කිරීමටත් අනෙකුත් වන සංරක්ෂණ භූමි හෙළි පෙහෙළි කොට බඩ ඉරිඟු වැවීමට ආයෝජකයන්ට ලබා දීමත් සිදු වේ. මේ ආයෝජකයන් බොහෝ විට ඉන්දීය ආයොජකයන් විය හැකිය. ඉන්දීය වුවමනාවන් මත යැපෙන ආණ්ඩුවකට වෙනත් විකල්ප නැත. නමුත් ජනපතිවරයාට ඇත්තේ කටේ නරිවාදම පමණකි. ඔහු අයවැය යෝජනාවට පම්පෝරියක් ඒකතු කර තිබේ. ඉඩම් නැති ජනතාවට ඉඩම් හිමිකම් දීම ඒ පම්පෝරියයි. නමුත් ඔහු කියන්නේ එකක් කරන්නේ ඒකක් බව දන්නෝ දනිති. දිවුලපතාන ඇතුලු උතුර සහ නැගෙනහිර පළාත්වල පාරම්පරික සිංහල වැසියන් ඉවත් කර බ්‍රිතාන්‍යයන් විසින් දහනවවන සියවසේ දී මෙරටට සංක්‍රමණය කරන ලද දෙමළ මුස්ලිම් කල්ලතෝනීන්ට ඉඩම් ලබා දීම ඔහුගේ අරමුණයි.ඒ අනුව   ‌ෙඒතිහාසික වාසභූමි  ද්‍රවීඩීකරණය වීමත් ජනවාර්ගික පවිත්‍රකරණයක්ද සිදු වනු නියතය.  එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මුඩුබිම් පනත ගෙනවුත් සිංහලයන්ට ඉඩම් අහිමි කොට ඒ ඉඩම් සිලිං කීපයකට වතු වැවිල කරුවන්ට සහ බෝරාකාරයන්ට ලබා දුන්හ. දැන් එළඹ තිබෙන්නේ ඒ දෙවනි යටත් විජිත යුගයයි. මහැවැලි ගසට්ටුවකින් 1979 දී පවරා ගත් පාරම්පරික සිංහල වාසභූමි නැවත සංවර්ධනය කර ඒ වැසියන්ට ලබා නොදී. විදෙස් ආයෝජකයන්ට ලබා දී සිංහලයා අනාථයෙකු බවට පත් කරලීම මගින් ජනපතිවරයා බලාපොරොත්තු වන්නේ කුමක්ද දිවුලපතාන ඛේදවාචකය මගින් කියැවෙන්නේ වත්මන් සිංහලයන්ගේ අසරණ භාවයයි.හැටනව ලක්ෂයක් සිංහල බෞද්ධ චන්ද ලබා දී ලැබෙන්නට තිබෙන ත්‍යාගය මෙයද  යන්න අප හිටපු ජනපති ගෝඨාභයගෙන් විමසිය යුතුය.

මතුගම සෙනෙවිරුවන්