පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, March 25, 2022

සිංහලයන් නට්ටන් කර ඩයස්පෝරාවෙන් සල්ලි හිඟාකෑම

 

 

 


                              

              ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරියක වන වික්ටෝරියා නූලන්ඩ් ලංකාවට පැමිණෙන අතර ජනපතිවරයාගේ මූලිකත්වයෙන් සර්ව පාක්ෂික සමුලුවක් පැවැත්වුණි..මෙයට සෙත්පතා මහානායක හිමිවරුන්ද පණිවුඩ නිකුත් කර ඇත.සර්ව පාක්ෂික සමුලු වේදිකාවේ වීරයා වී තිබෙන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.ඔහු සුප්‍රකට බැඳුම්කර මගඩියේ නිර්මාතෘවරයා වෙයි.දේශපාලන ලෝකයේ පිරිසිඳු චරිතයක් ලෙසට සැලකුණු රනිල් අර්ජුන් මහේන්ද්‍රන් සමග එක්ව මහ බැංකුව බකොලාත් කළහ.පසුව අර්ජුන් රටින් පලා ගියේය. රනිල් ඒ පලා යෑමට අනුග්‍රහය දැක්වීය.අදටත් මේ සුදුකරපටි අපරාධකරුවන් නිදැල්ලේය.රනිල් වැන්නකු මෙවැනි අපරාධයට මුල්වන ලද්දේයයි පාක්ෂිකයන් විශ්වාස නොකරති.නමුත් රනිල්ගේ හෘදය සාක්ෂිය එය දනී.සැබවින්ම මෙවැනි අපරාධයක් කිරීමට රනිල්ට උපදෙස් ලබා දුන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ආර්ථිකය බංකොලාත් වීමෙන් පසු ණය පහසුකම් සඳහා ගැතිකමක් ඇතිවෙයි. ඒ ගැතිකම තීව්ර කරලීමට පාස්කු ප්‍රහාරයද උපයෝගී විය.ඒ අල්ලපනල්ලේ එම්.සී.සී. ගිවිසුම ක්‍රියාත්මක කරලීමට රනිල් උත්සාහ දැරීය.ඒ බැඳුම්කර මගඩියෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් තමන්ගේ නිදොස් බවට සහතිකයක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

          මේ බැඳුම්කර බබා ගේ උක්කුන් කම එක්සත්ජාතික පාක්ෂිකයන්ට විශ්වාසය.නමුත් මේ රටේ බහුතරයක් රනිල් වික්‍රමසිංහ පමණක් නොව සමස්ත එක්සත් ජාතික පක්ෂයම එපා වූ වග මැතිවරණයේ දී පෙන්වා  දැක්වීය.ජනතාවට එපා වූ රනිල් සෞභාග්‍ය ලොක්කන්ට එපා වූයේ නැත. ඔහුට ලැබී තිබුණු ආරක්ෂාව එසේම පැවතුණි.බැඳුම්කර මගඩියේ පළමු චූදිතයාට එලෙස හමුදා ආරක්ෂාව දෙන අතරවාරයේ පක්ෂයට තිබූ එකම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයද රනිල්ට ලබා ගැනීමට ආණ්ඩුවේ සහාය ලැබුණි.ආර්ථික ඝාතනයේ පළමුකොටස එලෙස නිමා විය.දෙවනුව වසන්තයක් මෙන් වසංගතයක් පැමිණියේය.මේ වසංගතය අරාබියට ආවේ 2012 දී බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.ඒ බැව් ලංකාවේ වසංගත රෝග අංශයටද දැනුම් දී තිබුණි..නමුත් ලොව වටා පැතිරෙන්නට අවස්ථාවක් නොලැබුණි.ඊළඟ වාරයේ 2019 දී එය නැවත චීනයෙන් මතු විය.කොවිඩි 19 යයි එය නම් කරන ලද්දේය.චීනා සමග වඩා ඇයි හොදයියක් පවත්වමින් සිටි ලංකාවේ පාලකයන්ට චීනා සමග පැමිණි වසංගතයද ආශිර්වාදයක් විය.සුද්දන්ගේ නීති හමස් පෙට්ටියේ තිබූ නිරෝධායන පනත ඉදිරියට ගෙන සංචාරකයන් පමණක් නොව විදෙස් ශ්‍රමිකයන්ද හෝටල් වල නිරෝධායනය කරමින් මුදුල් හම්බ කළ පිරිසක් පිහිවිය. රටවසා දමා ජන ආර්ථිකය නට්ටන් කරලීම ඇරඹුණේ හුදෙක් දොස්තරලාගේ උපදෙස් මතම නොවේ.ඒවා ඉහළින් ලැබුණු උපදෙස්ය. රෝගීන් සංඛ්‍යාව වැඩිවන්නට ඉඩදී වහාම රට වසව් යන පණිවිඩය ජනතාව අතරින්ම ලබා ගැනීම ඒ උපක්‍රමය විය. රටේ එදිනෙදා ජන ජීවිතය පමණක් නොව හරි හම්බ කර ගැනීමේ ක්‍රමවේද සියල්ලම ශූන්‍ය කරන ලද්දේ හිතාමතාමය.ඒ අතර වාරයේ මාධ්‍ය මගින් තොර තෝංචියක් නොමැතිව මරණ සංඛ්‍යාවද රෝගීන් සංඛ්‍යාවද උලුප්පා  දැක්වීමෙන් රට පුරා අනවශ්‍ය වසංගත බියක් ජනිත කරවන ලදී.මරණ බය සියල්ලන්ටම පොදුය.මරණ බියෙන් ඇලලුණු ජනතාවකට බෙහෙත් පෙන්වා වස වුවුද දිය හැකිය. නොමිලේ ලංකාවට ගෙන පැමිණි පළමු එන්නත් තොගයෙන් කරන ලද්දේ එයයි. 

     වෙන විකල්පයක් නැත. පැණීය අසාර්ථකයි යනපණිවිඩයද මාධ්‍ය මගින් පලිප්පු දමා ප්‍රචාරය කරන ලදී.එන්නත මගින් ජීවිත සුරක්ෂිත කරගත යුතුය යන පණිවිඩය රට පුරා කඩිනමින් යන්නට හේතු සාධක වූයේ සෞඛ්‍ය අංශයන්හි මෙන්ම හමුදාකරණය වූ සෞඛ්‍ය ක්‍රමවේදයන් නිසාවෙනි.අවසානයේ ඩොලර් මිලියන 250 ක පමණ වියදමින් ලංකාවට එන්නත් මිලදී ගැනීමට සිදු විය.ඕනෑම වසසංගතයකට මුහුණ දිය හැකි දේශීය හා ආයුර්වේද වෙදකමක් රටේ තිබියදී එලෙස කරවීම සැබවින්ම ආර්ථික ඝාතනයක් විය.සෞභාග්‍යා ඝාතන රැල්ලේ ඊළඟ පියවර කාබනික ගොවිතැන් ක්‍රියාදාමයයි.වසර පහකදී හෝ දහයකදී සම්පූර්ණ කළ යුතුව තිබූ වස විස රහිත ගොවිතැන එක පැහැර ආරම්භ කිරීමට උපදෙස් දෙන ලද්දේද මේ පිටිපස සිටින ආර්ථික ඝාතකයන්ය.කෑමට බත අහිමි කිරීම එහි අරමුණ විය.මේ සියලු විනාශකාරී ක්‍රියාවලීන් නිසා නට්ටන් වූ බහුතරය සිංහලයන්ය.

      සෞභාග්‍යා බබා උක්කුන් පටන් ගැනෙනුයේ මේ උපක්‍රම ක්‍රියාවට යෙදවීමෙනි.රනිල් වික්‍රමසිංහ වරක් දොන් ජුවන්ට සමාන කරන ලද්දේ චම්පික රණවක විසිනි.පසුව චම්පික රනිල්ට එකතුව මෙගා පොලිස් වී එම්.සී.සී.යටද අත ඉස්සුවේය. හැට නව ලක්ෂය විසින් රනිල් පමණක් නොව චම්පික සජිත්ටද පාඩමක් ඉගැන්වූයේය.ඒ ජනතා අපේක්ෂා වූයේ රට නිදහස් කොට ජාතික ආර්ථිකයක් ශක්තිමත් කරලීමයි.සෞභාග්‍යා උක්කුන් රුවන් මැලි සෑය අබියස දිවුරුම් දෙ ලද්දේ  මෙරට මහානායක හිමිවරුන් සහ බහුතර මහා සංඝ රත්නය දැපනේ දමා ගන්නටයි.ඒ වෑයම සාර්ථක විය. අදටත් බෞද්ධ උපදේශක සභාව යනුවෙන් පවත්වනු ලබනුයේ මහා සංඝරත්නය රවටා සෙමෙහි තබා ගැනීමටයි.එදා මහානායක හිමිවරු රටේ ප්‍රශ්ණ වලදී නොබියව කතා කළහ.එම්.සී.සීයට විරුද්ධ විය. නොයෙකුත් ගිවිසුම් වලදී විරුද්ධ මත දැරූහ.අද ඒ තත්වය නැත. උන්වහන්සේලාද නිහඩව මුනිවත රකිති.

            සමස්ත ආර්ථිකය කඩාවැට්ටවීමෙන් පසු රටක කොඳු නාරටිය කැඩේ. කාලයක් තිස්සේ විදේශ ආහාර බෙහෙත් සහ නොයෙකුත පාරිභෝගික ද්‍රව්‍ය කොරෙහි පුරුදු පුහුණු වූ ජනතාවක් ඒ භාණ්ඩ හිඟ වන කල්හි වස අමාරුවක වැටේ.ජනතාව ගමන් කරන්නේ රැලි වලටය.බුද්ධිමත්ව හිතා බලමින් තමන්ගේ ජීවිතය හැඩ ගස්වා ගැනීම කරනුයේ ඉතාමත් ස්වල්ප දෙනෙකි.ගෙදරදොරේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ජීව වායු ක්‍රම කාර්යක්ෂම දර උදුන් ආදී විකල්ප රටට හඳුන්වා දී තිබුණේ බොහෝ කලකට කලියෙන්ය.එහෙත් ඒ ක්‍රම ක්‍රියාවට නැන්වීමට ජනතාවගේ සහාය ලැබුණේ නැත.වස විස නැති ගොවිතැනද එසේය. රටට හිතැති කෘෂි පර්යේෂකයන් සහ ස්වාධීන ගොවීන් කාලයක් තිස්සේ අත්හදා බලන ලද පරිසරහිතකාමී ගොවිතැන් සම්ප්‍රදායට රටේ තැනක් හිමි වූයේ නැත.

            ඉන්ධන බෙහෙත් සහ ආහාර රටින් ගෙන්වීමට විදේශ මුදල් නොමැතිවීම නැතිනම් ක්‍රමානුකූලව අඩු වීම විවෘත ආර්ථික ක්‍රියාදාමයේ අනිටු ප්‍රතිඵලයකි. අධික ණයබර තුලින් බිහිවූවකි.නමුත් එවැනි විෂම තත්වයක් යටතේ වුවුද වසර ගණනාවක් මේ ආර්ථිකය ගමන් කරමින් තිබේ.  ණය කන්දරාව වැඩි වීමත් රජයේ ආදායම අහිමි වීමත් නිසා ආර්ථික මර්මස්ථාන සියල්ල බෙලහීන වන්නට ඉඩ හැර ඇත. ඒවැනි තත්වයක් යටතේ රටේ ඕනෑම සම්පතක් විදෙස් වලට පවරා දී කට බඩ පුරාවා ගැනීමට ජනතාව පෙළඹීම ස්වභාවිකය.සර්ව පාක්ෂික සමුලුව අබියස සෞභාග්‍ය ආණ්ඩුව බබා වෙන්නට උත්සාහ දරමින් ඇත.මහ බැංකු අධිපති තුමා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන වැරදි නැත. රනිල් ගේ ආර්ථික ඝාතන අබියස විදේශ සංචිත ඇදි වැටීම සිදු විය.නමුත් රනිල් ඉදිරියේ සමාව ඉල්ලීම ඇරුණු කොට වෙනත් විකල්පයක් ආණ්ඩුවට නැත. හේතුව රනිල් පිටුපස සිටින විදෙස් බලවේගයයි. 

ඇමරිකානු කොරි‌ඩෝව සඳහා ඩොලර් මිලියන 500 ක් ගැනීමට රනිල් සූදානම් විය.ලලිතසිරිගුණරුවන් වාර්තාවෙන් එම යෝජනාව නිශ්ප්‍රභ විය.එය ජනතා අපේක්ෂාවයි.නමුත් නොදන්නා වැඩ කිරීමට ගොස් වරිගෙ නහ ගත්තා වැනිව සෞභාග්‍ය ආණ්ඩුව බබා පාට් දමමින් සිටී.මේ වන විටත් ඉන්දියාවට අවශ්‍ය දේශපාලනික ආර්ථික මර්මස්ථාන රැසක් ඉන්දියාවට දීමට රජය එකඟ වී තිබේ.උඩරට වතුකරයේ වතු සමාගම් ඩයස්පෝරාවේ වතු සමාගම වෙත විකුණා දැමීම ඇරඹී ඇත. .සංස්කෘතියට රැකීමටද ඩයස්ෆෝරාවේ උදව් ගැනීමට සිදු වන බව සංස්කෘතික අමාත්‍යංශය පැත්තෙන් ආරංචි ලැබෙමින් පවතී.වික්ටෝරියා නූලන්ඩ් ඉදිරියේ දී ජනපතිවරයා පොරොන්දු වී ඇත්තේ උතුර සංවර්ධනයට ඩයස්පෝරාවේ උදව් ගන්නා බවයි. එහි ඊළඟ පියවර නම් උතුරේ සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන මත කෝවිල් සංවර්ධනය වීම සහ ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමයි. රනිල් වික්‍රමසිංහගේ සහයෝගය ලබමින් ජාතික ආණ්ඩුවක් ඇටවීමට උත්සාහ දැරුවහොත් කාලයක් තිස්සේ ඉටුකර ගැනීමට බලා සිටි බෙදුම්වාදී අපේක්ෂාවන් සියල්ල මල ඵල දරනු ඇත.එය අපේ ජාතියේ අවසානයයි.

මතුගම සෙනෙවිරුවන්

Saturday, March 12, 2022

ජිනීවා ලොක්කිට හිසරදයක් වූ සිවු බුදුවරුන්ට පිදූ කන්නියා මහ චේතිය

 

 

 


                           

              ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට යන සංචාරකයන්ගේ ජනප්‍රිය ස්මාරකයක් වන කන්නියා උණූ දිය උල්පත් සහිත ස්ථානය ආසන්නයේ ඉපැරණි බෝධි වෘක්ෂය සමීපයේ 2012 වර්ෂයේ කැණීමක් ආරම්භ වුණි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලැබූ මෙම කැණීම නිසා ඉතා විශ්ම ජනකව ස්මාරකයක් මතු කරගත හැකි විය.එනම් පැරණී ස්ථූපයක් සහ පිළිම ගෙයක්  සම්මුඛ වීමයි.මෙතෙක් උණුවතුර ළිං සහ ඒ හා සම්බන්ධ වෙනත් ජනප්‍රවාද ඔස්සේ වැදගත් වූ මේ ස්ථානයට මේ කැණීම නිසා වෙනත් වටිනාකමක් හිමි විය.මේ උණුවතුර ළිං සඳහා කන්නියා නාමය ව්‍යවහාර කරනුයේ රාවනා සම්බන්ධ පුරාවෘතයකට අනුවයි. රාවනා රජුගේ මෑණීයන්ට ඇති වූ කුෂ්ට රෝගයක් සුව කිරීමට සමත් වූයේ මේ උණුදියෙන් ස්නානය කිරීමේ හේතුවෙන් බව ප්‍රවාද ගතව තිබේ.

        රවනාට සතුරු වූ හින්දූන් සම්ප්‍රදායන් දෙකක් අනුගමනය කරති .එකක් ශිව සම්ප්‍රදායයි. අනෙක විෂ්ණු සම්ප්‍රදායයි.රාවනා යුගයේ තිබුණේ ශිව විෂ්ණු ගැටීමකි. රාවනාට සහාය පළ කරන ලද්දේ ශිව පාර්ශවයයි.රාවනා ගේ දුන්න බිඳිණු ලැබීම මගින් සංකේතවත් කරනුයේ විෂ්ණු සම්ප්‍රදාය ජයගත් ආකාරයයි.සමස්ත ඉන්දියාව තුළ සමරනු ලබන දුශේරා උත්සවය සැබවින්ම දුර්ගා පූජෝත්සවයකි. අධර්මයට විරුද්ධව කරන මේ උත්සවය තුළ රාවනා ගේ මුහුණට ගිනි දල්වන ලද ඊතලයකින් විඳීමෙන් ප්‍රකාශ කරනුයේ අධර්මය පරදා ධර්මය ජයගත් ආකාරය බව හින්දූන්ගේ විශ්වාසයයි.මේ ආකාරයට කල්පනා කොට බලන කල්හි. දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් රාවනාට විරුද්ධය.රාමට පක්ෂය.

      කන්නියා උණු දිය උල්පත් වල වාර්ෂිකව කරන පුද පූජා මගින් රවනා සිහිපත් කරති.හින්දු පූජෝත්සවයත් ලෙසට පවත්වන නමුදු ඒවා සංවිධානය කරනු ලබනුයේ දෙමළ ජනතාව විසිනි.එයින් ඉස්මතු කරලිමට උත්සාහ දරන්නේ දෙමළ ජනතාව රාවනා යුගයේ උරුම කරුවන් ලෙසටය.ඉහත දක්වන ලද කරුණු සලකා බලන කල්හි දෙමළ ජනතාව විසින් රාවනා සැමරීම පටලැවිල්ලකි.මේ පටලැවිල්ල ලිහා බලන කල්හි තහවුරු වන්නේ රාවනාට විරුද්ධ දෙමළුන් ගේ උත්සවයකට වඩා එය ස්වදේශික අසුරයන් ගේ උත්සවයක් බවයි.කන්නියා උණු දිය ළිං වල සිට ත්‍රිකුණාමලයේ වර්තමාන කෝනේශ්වරන් කොවිලට ඇත්තේ කි.මී. පහක පමණ දුරකි.පුරාණ ගෝකණ්න විහාරය පරංගීන් විසින් කඩා දැමූ පසු ඒ නටබුන් මත 1953 දී පමණ වර්තමාන කෝවිල ඉඳි කළ බව දැක්වෙයි.ඒ ෆෙඩරල් පක්ෂයට ත්‍රිකුණමල නගර සභාවේ බලය ලැබී තිබුණු කාල වකවානුවේ දීය.ගෝකණ්න විහාරයේ ඉතිරිව තිබූ නටබුන්ද මුහුදට ඇද දමා බෝධි වෘක්ෂය කපා දමා මේ කෝවිල ඉඳි කර ඇත. කන්නියා උණු වතුර ළිං අසල ශිව කෝවිලක් ඉඳි වන්නේද මේ කාලයේ විය යුතුයි.දකුණු ඉන්දියාවේ රාමේශ්වරමේ කන්‍යා කුමාරි තුඩුවේ පවත්වන චාරිත්‍රයන් උණු දියඋල්පත් අසල පවත්වන්නට යෙදී ඇත්තේ ද මේ සමයේ විය යුතුය.කෙසේ වෙතත් මෙම ස්ථානයෙන් හමු වූ චෛත්‍ය පාදම් මතු කර ගෙන යන අවස්ථාවේ දී දෙමළ දේශපාලඥයෙකු විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට විරුද්ධව නඩුවක් පවරනු ලැබීය. එවකට සිටි දිසාපති වරයා මෙහිදී මැදිහත්ව කැණීම නතර කරන ලදී.කාලයක් ඇදී ගිය නඩුව ට තීන්දුවක් ලැබුණේ 2020 දීය.ස්ථූපය මස්තකයේ ඉඳි කොට තිබෙන කෝවිල ඉවත් කරගන්නට ඒ අනුව සිදු විය. නමුත් ඒ  අසළ නටබුන් යට කරගෙන  නැගී සිටින තවත් ශිව දේවාලයක් වෙයි.

    


 

     ලංකාවේ ස්ථූප නිර්මාණයේ ඉතිහාසය බුදු රදුන් ගේ ලංකාගමනය කාලය දක්වාම දිව යන ආකාරය අපට ඉතිහාසයෙන් පැහැදිලි වේ.තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් ඉඳි කළ හිරිගඬු සෑය මෙයට සාක්ෂි සපයයි.මානෑවේ විමලරතන හිමියන් දක්වන පරිදි බුදුන් වහන්සේ මානෑකන්දට වැඩම කල අවස්ථාවේ දී එහි මස්තකයේ විෂකුම්භ නම් ආකාශ චේතියක් නිර්මාණය විය.මයියංගන ස්තූපයද බුදුන් වහන්සේ ජීවමාන අවදියේ නිර්මාණය කරන ලද්දකි. අම්බස්ථල දාගැබ සහ  ථූපාරාම චේතිය මහින්දාගමනයෙන් පසුව ඉඳිකරන ලද ප්‍රමුඛ ස්ථූපයන් වෙති.ස්ථූප යනු සංස්කෘත වචනයකි චේතිය  පෙළ බසෙහි එයි. තුඹ යනු සිංහල වචනයයි.

.     ස්ථූප නිර්මාණයේ දී ලංකාව පුරා විවිධ හැඩයෙන් යුක්තව ස්ථූපයන් නිර්මාණය වී ඇත. ධාන්‍යාකාර පද්මාකර ඝඨාකාර ඝාණ්ඨාකාර බුබ්බුලාකාර ආදී වශයෙන් හමු වන විවිධ නිර්මාණයන් ලංකා ඉතිහාසයේ නොයෙකුත් අවදි වල දකින්නට ඇත.  බුද්ධ ප්‍රත්‍යෙක  අරහන්ත චක්‍රවර්තී සහ මහාරාජ යන සතර කොට්ඨාශයන්ටම අයත් ශාරීරික ධාතු නිදන් කොට ස්ථූපයන් නිම කිරීම වඩාත් සුදුසු බව මහා පාරිනිබ්බාන සූත්‍රයේ බුදුන් වහන්සේ දක්වා තිබේ.මෙලෙස ධාතු නිදන් කොට නිර්මාණය කරන ලද ස්ථූපයන් ඉතිහාසයේ වරින් වර වෙනස් කම් වලට භාජනය විය.වාස්තු විද්‍යා හැඩ තලයන් වෙනස් විය.විශේෂයෙන්ම පැරණි සිරිපතුල් වන්දනාව මෙහිදී ස්ථූපයන් වෙත පැමිණි ආකාරය නිරීක්ෂණය කල හැකිය.ස්ථූපයක සතර කොණ තුළ සිරිපතුල් ගල් තැන්පත් කිරීම මෙහි සම්ප්‍රදායයි. ත්‍රිකුණාමලයේ කන්නියා චේතිය අසල අප දක්නට ලැබෙන්නේ මෙකී ස්වරූපයයි.කකුසඳ කෝණාගමන සහ කශ්‍යප සහ ගෞතම යන සිවු බුදුවරුන් වහන්සේලා නිරූපනය වන ලෙසට නිර්මාණය වූ මෙම චෛත්‍ය නිර්මාණ උතුරුකරයේ සහ නැගෙනහිර අපට දක්නට හැකිය.

      කන්නියා ස්ථූපය අවට පිළිමගෙයක නටබුන්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මතු කරගෙන තිබේ.මෙම පිළිම ගෙය කැණීමකට ලක් කිරීමේදී දෙවනි සහ තුන්වන සියවස් වලට අයත් බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් රචිත සෙල් ලිපි කැබලි දෙකක් මතු කරනෙ තිබේ. මහරජ කුජවිය ....මරුළවිය හ බොජියපති...හ...ච පලවිය( ම) ත චෙත එතක තනහි සගය දිනි ( අභිලේඛන පර්යේෂණ සංග්‍රහය 2018) යනුවෙන් එම ලිපියේ සඳහන් කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පල කරනු ලැබූ අචාර්ය දම්මි බණ්ඩාර විසින් රචිත සඟරාවක දක්වා තිබේ.මරුළවිය හා පලවිය යන වැව්වලින් ලැබූ දිය බද්ද මෙම බෞද්ධ විහාරයට පූජා කල බව මෙහි කියැවෙන අර්ථයයි.චෙත්‍යය සහ පිළිමගෙය කැණීමේ දී හමු වු පුරාවස්තු අතර ආසන යූප ගල් ප්‍රතිමා කොටස් මැටි බඳුන් දක්නට ලැබේ.මෙම භූමියේ ඇති පොකුණු කීපයද ආරාම සංකීර්ණයේ වැදගත් වාස්තු විද්‍යාත්මක ප්‍රවේශයන් වෙති.සැබවින්ම මේසා විශාල බෞද්ධ ඉතිහාසයක් මතු කරගෙන තිබියදීත් මේ ස්ථානයේ ශිව කෝවිල් සහ වෙනත් දේ ඇටවීමෙන් සහ ඒ අයිතිය සඳහා නීතිමගට එළඹීම වර්තමාන දේශපලනයේ පවතින ඛේදවාචකයක් ලෙසට පෙන්වා දිය හැකිය.ඒ මතුද නොව දෙමළ කෝවිල් මත බෞද්ධ විහාර ඉඳි කරන්නේ යැයි ජිනීවා මානව හිමිකම් සැසියට පවා වාර්තා සපයන අපූර්ව මෙහෙයුමක් බවට පත්ව තිබේ.මෙහි තිබෙන ඛෙදවාචකය නම් වැරදි පුරාවෘතයන් මවා පෑමය. අනෙක නම් එම පුරාවෘත්ත තුළ දේශපාලන සහ බලහත්කාරී නීතිමය රංගන ඉදිරිපත් කිරීමයි.නමුත් ආණ්ඩුව පැත්තෙන් මේ කෙප්ප වලට නිසි පිළිතුරු තවමත් නොලැබේ. කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණයට බඳුන් කරන මේ ස්ථානයේ වැදගත් ඉතිහාස කොටස් නුදුරු අනාගතයේම අපට මැනවින් දැක බලා ගැනීමට හැකි වනවා නිසැකය.

මතුගම සෙනෙවිරුවන්