පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, July 20, 2022

ජනපති කොඩිය වෙනුවට කතිර කොඩිය ඔසවයිද

 

 

 


                                 

                 වැඩබලන රනිල් බලය ලැබුණු විගස වර්ෂ පණහක් තිස්සේ භාවිතා කළ රටේ  නායකත්ව ධජය ඉවතට විසි කර දැමුවේය.මෙරට පළමු ජනපති ලෙසට පත් වූයේ අග්‍රාණ්ඩුකාරවරයාව සිටි විලියම් ගොපල්ලව මහතාය.ඔහු පත් විමෙන් පසු ඒ රාජ්‍ය නායකත්වයට සුදුසු වන පරිදි ධජයක් නිර්මාණය විය.නිල් පාට පසුබිමක මැද රාජ්‍ය ලාංඡනය විය. 1972 මැයි 22 සිට 1978 පෙබරවාරි 04 දක්වා වූ සිය ධූර කාලයෙහි මේ නිල ධජය ඔහු භාවිතා කරන්නට ඇත. අනතුරුව 1982 දී මෙරට පළමු විධායක ජනපති වරයා ලෙසට පත් වූ ජේ.ආර්. ජයවර්ධන මහතා තමන්ගේ ප්‍රතිපත්ති අනුව නිල ධජය නැවත ප්‍රතිනිර්මාණය කරගත්තේය. ඔහුගේ ප්‍රතිපත්තිය වූයේ ධර්මිෂ්ට සමාජයකි.කොළ සුදු සහ රෝස පාට වට තීරු සහිත එම ධජය මැද්දේ ධර්ම චක්‍රයත් සතර කොන බෝපත් හතරත් පෙන්නුම් විය. ඔහුගෙන් පසුව ජනපති තනතුරට පත් වූ රණසිංහ ප්‍රේමදාස මහතාද තමන්ගේ ප්‍රතිපත්ති වලට ගැලපෙන ලෙසට ධජය වෙනස් කර ඇත.ධර්ම චක්‍රය වෙනුවට නෙළුම් මළක්ද බෝපත් හතරක්ද වී කරල් චිත්‍රයක් සහිත් එම ධජය මගින් සෞභාග්‍ය පිළිබිඹු වූයේ යැයි කියති.

    රණසිංහ ප්‍රේමදාස හදිසියේ ඝාතනය වූවායින් පසු එම තනතුරට පත් වූයේ ඩී.බී. විජේතුංග මහතාය.ඔහු ඉතා කෙටි කලක් එම තනතුරෙහි සිටි අතර ඔහුගේ ධජයේ මත දුඹුරු පැහැති පසුබිමක ධර්ම චක්‍රයත්  සක්ගෙඩිය මෙන්ම ත්‍රිශූලයද දක්වා තිබුණි. අනතුරුව බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනපති තනතුරට පත් වූවායින් පසුවද මේ කොඩියේ වෙනස් කම් සිදු වී තිබේ.කහ පැහැති පසුබිමක ධර්ම චක්‍රයත් නෙළුම්මල මෙන්ම සුපුරුදු පරිදි බෝපත් හතරක්ද දක්වා තිබුණි. චන්ද්‍රිකා මැතිණියගේ දෙවනි ධූර කාලයෙන් පසුව බලයට පත් වූ මහින්ද රජපක්ෂ මහතාගේ නිල ධජය වූයේ ද පෙර පරිද නෙළුම් මලක් ද බෝපත් හතරක්ද සහිත කොඩියයි. අනතුරුව 2015 දී ජනපති තනතුරට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ධජය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කොට වෙනස් කම් කීපයක් එක් කර ඇත. නෙළුම්මලත් බෝපත් හතරට අමතරව වටා ඇති වර්ණ තීරයට ඔබ්බෙන් මෝස්තර පේළියක් විය.මේවායේ වර්ණ වරින් වර වෙනස් වී තිබේ.දැන් අවසාන වශයෙන් එළඹ තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයයි.මෙහිදී ජනපති නිල ධජය ඉතා සංකීර්ණ වී තිබේ.එහි අර්ථ ගණනාවකි.

              ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාවිත කරන  නිල ධජය වටා කහ පැහැති තීරුවක් විය.. එම තීරුවෙන් සියලු ජාතීන් අතර එකමුතුව, සාමය සහ අවබෝධයෙන් කටයුතු කිරීම නිරූපණය කෙරෙන්නේ යැයි දක්වා ඇත.. ඊට ඔබ්මෙන් සුදු පැහැති තීරුවක් සහ තද දුඹුරු කුරහන් පැහැති තවත් තීරුවකි. සුදු පැහැති තීරුවෙන් සියලු අතින් සලසන ජාතික ආරක්ෂාවත්, දුඹුරු පැහැති තීරුවෙන් ගොවි අර්ථ ක්‍රමයත් නිරූපණය කරන බව දක්වා තිබේ.ඊට ඔබ්මෙන් තැඹිලි පැහැති තීරුව මත වී කරල් මෝස්තරයක්ද, නාමල් සතරක් සහ කුරහන් මල් සතරක්ද වෙයි. එහි වී කරල් සහ කුරහන් මල් තුළින් සශ්‍රීකත්වයත්, නාමල් සතරෙන් ජාත්‍යන්තර සම්බන්ධතා සහ ලොව සිව් දිගින් පැමිණෙන්නන්ට දක්වන ආගන්තුක සත්කාරයත් නිරූපණය කෙරෙයි. නාමල්වල ඇති තැඹිලි පැහැයෙන් දෙමළ ජනතාවත්, කොළ පැහැයෙන් මුස්ලිම් ජනතාවත් සිහි ගන්වයි. ඉන් ඔබ්මෙහි තද දුඹුරු පසුබිම මධ්‍යයේ කහ පැහැති සහ සුදු පැහැති රවුම් දෙකක් මැද නෙළුම් මලක සිතුවමක් වෙයි.

 

 

 නෙළුම් මල තුළින් පිවිතුරු පාලනයත්, කහ පැහැති රවුමෙන් ප්‍රඥාවත් සුදු පැහැති රවුමෙන් සත්‍යවාදී බවත් නිරූපණය කෙරෙන්නේ යැයි කියති. නෙළුම් මලෙහි කලංකයේ සිට සිව් දිගට විහිදෙන සූත්‍රිකා පෙළක් දිස්වන අතර එමඟින් කීර්තිය සහ යසස දස අත පැතිරීම නිරූපණය කෙරේ. සෙසු ජනාධිපති ධජවල සිව් කොණෙහි නිරූපිත බෝපත් සතර මේ ධජයෙහිද නිරූපණය කර ඇත. එමඟින් බුද්ධාගම සහ එතුළින් ජාතියට ලැබී ඇති ආභාෂය නිරූපණය වෙයි.

              ජනපතිවරයෙකු තෝරා පත් කරගන්නේ පූර්ණ ජනතා චන්දයකිනි. ජනතා පරමාධිපත්‍ය උපරිම වශයෙන් නිරූපණය වන්නේ ජනපති තනතුර විසින් යැයි ජේ.ආර්. ජයවර්ධන මහතා වරක් ප්‍රකාශ කර තිබුණි.ජනතා පරමාධිපත්‍ය උපරිම වශයෙන් ලබන පුද්ගලයා තමන්ගේ ප්‍රතිපත්ති අනුව ජනතාව වෙනුවෙන්ද රට වෙනුවෙන්ද කළ යුතු සේවය අවංගව සාජුව ඉටු කල යුතුය.1972 සිට ප්‍රකාශයට පත් වූ ජනපති කොඩි වල ඉතාමත් සංකීර්ණ සහ ගැඹුරු අරුත් දක්වන කොඩියක් ලෙසට ගෝඨාභය සමයේ භාවිතා කල කොඩිය හැඳින්විය හැකිය.නමුත් ගැටළුව තිබෙන්නේ හිටපු ජනපතිවරයා ඒ ප්‍රතිපත්ති අනුව ක්‍රියාකලාද යන්නයි. මෙහි සඳහන් ජාතික ආරක්ෂාව ගැන ඔහු කිසිම සැලකීමක් කර නැත. ආරක්ෂක අංශ වලට අණ දීමේදී ඔහු දැක්වූ නිවට නියාලු ස්වභාවය නිසා අදවන විට නීතියේ ආධිපත්‍ය විශාල වශයෙන් බිඳ වැටී තිබේ.නොබැඳි රටක් වහයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දැක්විය යුතු අපක්ෂපාතී කම පිළිබඳ ඔහු කිසිවටක් සැලකිල්ලක් දක්වා නැත.කොඩියේ සඳහන් පිවිතුරු පාලනයත් නායකයෙකු සතුවිය යුතු ප්‍රඥාවත් සත්‍යවාදී බවත් කිසිවිටක ප්‍රදර්ශනය නොකෙරුණ බැවින් ජනතාවගේ කෝපය ඔහු කෙරෙහි විශාල වශයෙන් එල්ල විය.

        කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්ව ගිය පසු වැඩබලන ජනපති ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධජය ප්‍රතික්ෂේප කරන ලද්දේ කිනම් හේතුවක් මතදැයි පැහැදිලි කර නැත. මෙවැනි ඉල්ලීමක් ජනතාව වෙතින් ලැබුණේ ද නැත.එම නිසා ඔහුගේ අප්‍රකාශිත ගුප්ත ක්‍රියාදාමය අර්ථ විවරණය කළ හැක්කේ වසර ගණනාවක් තුළ ඔහු මෙරට දේශපාලනය තුළ කළ කී දේ මත පදනම්වය.ලාබාල තරුණ මන්ත්‍රීවරයෙකු ලෙසට පාර්ලිමේන්තුවට තේරී පත්වූ රනිල් සිය මාමා අනුගමනය කරමින් ලිබරල් ප්‍රතිසංස්කරණ වාදියෙකු විය. අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙන ඒමෙන් මෙරට අධ්‍යාපනය තුළ ඇති කළ වෙනස්කම් අනාගතයට කෙලෙස බලපා ඇත්දැයි වර්තමාන අධ්‍යාපන රටාව දෙස බැලීමෙන් පැහැදිලි වේ. කොටි සංවිධානය රට බෙදා වෙන් කර ගැනීම සඳහා ඇති කළ යුද්ධය ඔහු සාධාරණීකරණය කරන ලද්දේය.ඔස්ලෝ සම්මුතිය තමා පිළි ගන්නා බව ඔහු පුන පුනා ප්‍රකාශ කරමිනි .ඒ අනුව ක්‍රියාකරමින් බෙදුම්වාදීන්ට වෙනම රටක් බිහි කරලීමට අවශ්‍ය නීතිමය තත්වය ලබා දෙන්නට දිගින් දිගටම උත්සාහ දරා ඇත.විධායක ජනපති ක්‍රමය ඇති කළ ජේ.ආර්. රටේ ඒකීය බව වෙනුවෙන් දැමූ ව්‍යවස්ථාමය ගැටය ලිහා ලන්නට අවස්ථා කීපයකදීම ඔහු උත්සාහ දැරීය.19 වන සංශෝධනය ගෙන ඒම එහි එක් පියවරකි.පළාත් සභා තබා ගෙන විධායක ජනපති ධූරය අතහැරිය කල්හි. වෙනම රටක් බිහි කරලීමට අවස්ථාව ලැබෙන බව ඔහු දනී.

 

 

මෙම ලිපිය සටහන් කරන අවස්ථාව වන විට පාර්ලිමේන්තුව තුළ ජනපති සටන ඇවිළී ඇත. මුදල් වලින් වෙන්දේසියේ වැටුණු මන්ත්‍රී චන්දය දෙස ජනතාව බලනුයේ ජුගුප්සා ජනක හැඟීමකිනි.කෙසේ වෙතත් දැන් වැඩ බල ජනපති වශයෙන් කටයුතු කරන රනිල් වික්‍රමසිංහ වැඩි චන්දයෙන් නව ජනපති තනතුරට පත්ව තිබේ. අභිනව ජනපති  වශයෙන් කොඩිය ප්‍රතික්ෂේඵ කරන්නේ ඇයි දැයි පැහැදිලි කල යුතුය.  යම් විදියකින්  එම ධජය ඉවතට විසි කොට පඩියට දමා නිග්‍රහ කරනු ලැබුවහොත් රටේ  ඒකීය බවත් රටේ සුරක්ෂිත බව අනතුරේ වැටෙනු ඇත. ජනපති තනතුර  වෙනුවට බ්‍රිතාන්‍ය සහ ඇමරිකාවට අවනතව ක්‍රියාකරන අග්‍රාණ්ඩුකාරයෙකු ලෙසට තම ප්‍රභූත්වය රැකගෙන වැජඹීමට දරණ උත්සාහයක් මේ ක්‍රියාවලියෙන් ඉස්මතු වන බව පැහැදිලිය.1815 දී රට මහා බ්‍රිතාන්‍යට පැවරූ කල්හි රජු විසින් භාවිතා කල සිංහ ධජය බ්‍රිතාන්‍යයට රැගෙන ගොස් ඉංග්‍රීසි අධිරාජ්‍ය යේ කතිර කොඩිය මෙරට භාවිතා කිරීමට ආරම්භ කරන ලද්දේය.ඒ නයින් බලන කල්හි රනිල් වික්‍රමසිංහ විසින් ජනපති කොඩිය ප්‍රතික්ෂේප කරන ලද්දේ නව යටත් විජිත පාලනයකට යෑමට දැයි යන්න අප සැවොම පැහැදිලි කරගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්