පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, May 26, 2024

ත්‍රිකුණාමලේ බෞද්ධ ත්‍රිකූටයේ අනාගත ඉරණම

 

                                   


               දුරාතීතේ දී ත්‍රිකුණාමලය හඳුන්වන ලද්දේ ගෝකර්ණය යනුවෙනි. ගෝණ කර්ණය යනු ගෝණ විසින් පාලනය කරන ලද ප්‍රදේශයයි.මෙහි තිබෙන වරාය එකල ලෝකයේ තිබූ හොඳම ස්වභාවික වරායන් අතරින් එකක් විය.මේ ගෝකණ්න වරායේ නෙරා ගිය තුඩුවක කඳු වැටි තුනක් නාවිකයන්ට දිස් විය. ඒ කඳු වැටි තුනේ ස්ථූපයන් තුනක් සෑදීම නිසා සාගරයේ යාත්‍රා කරන්නන් ඒ ස්ථානය විශේෂ කොට සැළකූහ.වර්තමාන නැගෙනහිර පළාතේ මුහුදට විවර වන සියලුම කඳු වැටි වල මෙලෙස බෞද්ධ ස්ථූපයන් සෑදිම එකල සිරිතක් විය. ඒවා ප්‍රදීපාගාර නොවේ.නැතිනම් නාවිකයන්ට මග පෙන්වන ස්ථාන නොවේ.ලොව පුරා සිටින බෞද්ධ ජනතාව ලංකාවට ආකර්ශණය කරවන වැදගත් සන්ධිස්ථානයන් විය.  මන්ද ඒ වන විට ලොව පුරා පැතර තිබූ බෞද්ධ  ශිෂ්ඨාචාරය ශක්තිමත්ව දිවමන්ව තිබූ බැවිනි.ඒ ශක්තිය ලංකාවේ ආර්ථිකයට අවශෝෂණය කර ගැනීමට මේ ස්ථාන අතිශයින් වැදගත් විය.ගෝකණ්න වරාය ඉස්මත්තේ මහසෙන් රජු විසින් ඉඳි කළ ගෝකණ්න විහාරය සිංහල බෞද්ධයන් ගේ ගෞරවාදාරයට පාත්‍ර වූ වැදගත් සිද්ධස්ථානයක් විය. මානවම්ම සහ පස්වන අග්බෝ රජවරුන් එම ස්ථානය වැඩි දියුණු කරමින් තපෝවනයක් ලෙසට සංවර්ධන කල බව පෙනේ. අග්බෝ රජු විසින් මෙම විහාරය අසල පධාන ඝරයක් සකස් කල ආකාරය මහාවංශයේ දැක්වෙයි.

       . පසු කාලයේ දී චෝල ආක්‍රමණ සමයේ ඉපැරණි වෙල්ගම් වෙහෙර මෙන්ම ත්‍රිකුණාමලයේ ගෝකණ්න විහාරයද හින්දු බලපෑමට නතු විය.ගෝකණ්න විහාරය අසබඩ හින්දු දේවාලයක් නිර්මාණය වන්නේ මේ යුගයේදීය.විදේශීය හින්දු සංකල්පය බෞද්ධ සංස්කෘතියට උකහා ගැනීම තුළින් විවිධ ජන වර්ග අතර ඒකාග්‍රතාවයක් ඇති කිරීම එහි අරමුණ විය.පරංගීන් ලංකාවට කඩා වැදුණු දහහතරවන සියවසේ දී ඔවුන්ගේ ආක්‍රමණයට ලක්වූ මුල්ම ස්ථානයක් ලෙසට ගෝකණ්නය සැලකේ.   පරංගීන් මෙම විහාරය සුණු විසුණු කර දැමූහ.බුදු පිළිම ගල් කණු කොරවක් ගල් සඳකඩ පහන් සියල්ල මුහුදට ඇද දැමූහ.ඉන්පසු වර්ෂ 1623 දී මෙම කඳු ගැටය ඔවුන් ගේ සුපුරුදු බල කඳවුරක් බවට පත් කරගත්හ.විහාරය සහ දේවාලය විනාශ කරලන්නට ප්‍රථම පරංගීන් විසින් මෙහි එකතු වන ධනයෙන් පණම් 1280 ක් කප්පම් ගත්හ.අනතුරුව දෙවන රාජසිංහයන් ලන්දේසීන් සමග එකතුවී ත්‍රිකුණාමල බලකොටුවට පහර දී අල්වා ගත්හ. බලේ බලේ රාසිං දෙවියන්ගේ බලේ -ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ යයි ජන කවියා සඳහන් කලේ මේ වික්‍රමය දැක්වීමටයි.

    වර්ෂ 1766 දී ලන්දේසීන් සමග කීර්ති ශ්‍රී රාජසිංහයන් ගිවිසුමක් ඇති කර ගෙන මුහුදු වෙරළේ සිට ගව්වක ප්‍රමාණයක් අත් හරින තෙක් මේ බල කොටුව උඩරට රාජධානිය සතු විය. ඉන්පසු ලන්දේසීන් ගේ යුධ මධ්‍යස්ථානයක්ව පැවත පැමිණ 1796 න් පසු මෙම බල කොටුව වැඩි දියුණු කරගත් ඉංග්‍රීසීන් නැගෙනහිර පළාතේ මර්මස්ථානය එය බවට පත් කරගත්හ. මෙම පේද්‍රික් බලකොටුවේ ඉහළ අන්තයේ පැරණි බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව පැවති අතර බෞද්ධයන් එයට වන්දනාමාන කළහ.ස්ථූපයේ නටබුන් පැවති බවට පැරණිපේද්‍රික් කොටුවේ සිතියමෙන් තහවුරු වේ. 1927 දී පමණ  මෙහි කෝවිලක් ගොඩ නැන්වෙන අතර  1964 වර්ෂයේ දී මෙහි පැවති ඉපැරණි බෝධින් වහන්සේ කෝවිල් කොමිටිය විසින් කපා දමා තිබේ.මුහුදට ආසන්න කඳු ගැටයේ පැවති ස්ථූපයේ නටබුන්ද විනාශ කර දැමෙන අතර කෝවිල ඒ මත සංවර්ධනය කර තිබේ. ඒ කාලයේ ත්‍රිකුණාමලයේ සිටි සිංහල බෞද්ධයන් නැවත බෝධි රෝපණයක් කරලීමට සැරසුනද ත්‍රිකුණාමලයේ හිටපු දිසාපති වරයෙක් වන එම්.බී.සේනානායක මහතා විසින් එය වළක්වා තිබේ.

     1980 වසරේ දී ගෝකණ්න විහාරය විනාශ කර ඉඳිකරන ලද පේද්‍රික් බල කොටුව පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් ගැසට් කර ප්‍රකාශයට පත් කරතිබේ.එහෙත් ඉපැරණි ගෝකණ්න  විහාරය වශයෙන් හෝ පැරණි බෞද්ධ සිද්ධස්තානයක් වශයෙන් ගැසට් කිරීමට පුරාවිද්‍යාව අසමත් වී තිබේ. මෙහි ප්‍රතිඵලය වන්නේ වරින් වර වෙනස් වන දේශපාලන අධිකාරියේ තීන්දු තීරණ මත විහාරය අභිබවා කෝවිල සංවර්ධන ය වීමයි.අචාර්ය සෙනරත් දිසානාක මහතා පුරාවිද්‍යෘ අධ්‍යක්ෂ ජනරාල් වශයෙක් කටයුතු කරන සමයේ මෙම කොවිලේ නන්දි ගව ප්‍රතිමාවක් තැන්පත් කිරීමට අවසර ඉල්ලා කෝවිල් කොමිටිය පුරාවිද්‍යෘව දැනුම්වත් කළද එයට අවසර නොලැබුණි.නමුත් අනුර මනතුංග මහතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත් වූ පසු ඉහළ දේශපාලන අධිකාරියේ  බලපෑම් මත එයට අවසර දී ඇත. මෙම අවසරය ලබා ගැනීමේ දී එවකට සිටි පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා විසින් දිගින් දිගටම අධයක්ෂ ජනරාල් තුමාට ලිපි යොමු කළ ආකාරය නිරීක්ෂණය වෙයි.එහිදී ඔවුන් අවධාරණය කර තිබෙන්නේ හින්දු බැතිමතුන් ගේ අවශ්‍යතාවය පමණකි. ඉපැරණි ගෝකණ්න විහාරය පිළිබඳව හෝ ඒ ස්ථානයේ කල යුතු කළමනාකරණ සැලැස්මක් පිළිබඳව හෝ කල්පනා නොකොට කටයුතු කිරීමද නිරීක්ෂණය වෙයි. මෙහි ප්‍රතිඵලය ව ඇත්තේ මෙහි තිබූ  කෝනේශ්වරන් නමැති හින්දු කොවිල කඩා පරංගින් විසින් බලකොටුව ඇටවූ බවට ව්‍යාජ ඉතිහාසයක් දේශීයව සහ ජාත්‍යන්තරව සමාජ ගත වීමයි.නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් වරයෙකු වූ එම්. එච්. සිරිසොම මහතා සන්සොනි කොමිසම ඉදිරියේ දුන් සාක්ෂි වලින් මේ බොරුව කුමක්දැයි පැහැදිලි ලෙසට ප්‍රකාශයට පත් වීතිබේ.



            පසුගිය කාලයේ දී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය වෙනස් විය. ඉන්දියාවට හිතැති පුද්ගලයෙකු ආණ්ඩුකාර ධූරයට පත් කරන ලද්දේය.ඔහු පත්වීමෙන් පසු මෙම ස්ථානය පුරාවිද්‍යා නීතියට පටහැනි ලෙසට කළමානකරණයට උත්සාහ ගනු ලැබීය.ඉන්දියාවේ ආධාරය සහිතව පේදුරු කොටුවේ හින්දු දාන ශාලාවක් සෑදීම අවසර ඉල්වා සිටියේය. නමුත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරියෙගෙන් ඊට අවසර නොලැබුණි.එසේම මෙ කොවිල හින්දු පූජා භූමියක් ලෙසට ප්‍රකාශයට පත් කරන්නයැයි ඉල්වා සිටියේය. එයද වැලකුණේ සිරිසෝම මහතා ගේ සන්සොනි කොසමිසම් වර්තාව උපුටා දක්වමින් සකස් කළ පුරාවිද්‍යා වාර්තාව නිසාවෙනි.මෙකී කටයුතු වලදී පුරාවිද්‍යා නීතිරීති ද නොසලකා හරිමින් කටයුතු කිරීමට වාචිකව උපදෙස්  ඉහළින් ලැබේ. කන්නියා උණුවතුර ළිං පරිශ්‍රය සඳහා සංචාරකයන්ගෙන් ගාස්තු අය කර එය බෞද්ධ පරිසරයක පිහිටි නාන ළිං සමූහයක් බවට හැඟවෙන අවසර පත්‍රයක් නිකුත් කර තිබූ අතර ඒ බෞද්ධ පරිශ්‍රය යන වචන ඉවත් කිරීමට දැඩිව බලපෑම් කර ඇති ආකාරයද නිරීක්ෂණය වෙයි.

       මේ තත්වය අද වන විට බෙහෙවින් ඔඩු දුවා ඇත. ඉන්දීය අඛණ්ඩ භාරත් සංකල්පය යටතේ ලංකාවේ හින්දු කෝවිල් සවර්ධනය කර ඒවා සඳහා සංචාරකයන් ගෙන්වා ගැනීමේ රාමායණ මංපෙත වැඩ සටහන් යටතේ කෝනේශ්වරම ද සංවර්ධනය සඳහා ඉලක්ක ගත කර තිබේ. ඒ කටයුතු ඒලෙස සිදුවුවහොත් පෙර දුන් පුරාවිද්‍යා නියෝග සහ නිර්දේශ ආපස්සට හැරවීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිදු වීමයි. ජනපතිවරණයක් හෝ මහා මැතිවරණයක් ආසන්නව තිබෙන මොහොතක අන්තවාදීන් සතුටු කිරීම ඉන්දීය භූ දේශපාලනය සමබරව තබා ගැනීම ආදී ක්‍රියා මාර්ග ගැනීමට වත්මන් ආණ්ඩුවට සිදු වන්නේ ඔවුහු බලය උරගා බැලීමේ තරඟයක යෙදී සිටින බැවිනි.දේශපාලන බල පොරය අතරේ අපේ අතීත උරුමය  වැනසී යෑම වලක්වාලිය නොහැකිය.ඒ මතුද නොව ඒ අතීත බෞද්ධ උරුමය අකා මතා ව්‍යාජ ඉතිහාසයක නව පරිඡේදයක් ආරම්භ කිරීමද සිදු වනු නියතය. උතුර සහ නැගෙනහිරවෙන් කර ගැනීමට මාන බලමින් සිටින බෙදුම්වාදීන්ට මෙය සුභදායී කාලවකවානුවක් විය හැකිය.

 මතුගම සෙනෙවිරුවන්

Sunday, May 19, 2024

චීන වරාය නා හිමි ඝාතනය පිළිබඳ දිවයින පත්‍රයේ මතකය

 

                              


           ලංකාවේ දේශපාලන නායකයන්ගේ අත කරකවා අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමේ එක් කොන්දේසියක් මත ඉන්දියන් සාම සාධක හමුදාවක් ලංකාවට පැමිණියහ.මේ හමුදාව ඉන්දියානු සෙබළුන් ගෙන් සහ දෙමළ සෙබළුන්ගෙන් සමන්විත විය. ලංකාවේ සිට ඉන්දියාවට පැන ගොස් එහි යුධ පුහුණුව ලැබූ වතුකරයේ දෙමල පිරිස් සහ වන්නියේ දෙමළ පිරිස් මෙයට අයත් විය. ඉන්දියන් සාම සාධක හමුදාව නිසා උතුර සහ නැගෙනහිර පදිංචිව සිටි සිංහල ජනතාවට විශාල පීඩනයක් එල්ල විය.1987 ඔක්තෝබර් මස 03 දිනට උදා විය. එදින ත්‍රිකුණාමල පහේ කණුව සහ හතරෙ කණුව(ධාන්‍යගම ) අතර සිංහලයන් උපවාසයක් ආරඹන ලද්දේ තමන්ට එල්ල වූ පීඩා ඉවසා දරා ගත නොහැකි බව ප්‍රකාශ කරන්නටයි.

          මේ අනාථ තත්ත්වය එකළ දිවයින ප්‍රවෘත්ති පත්‍රය වාර්තා කරන්නේ මෙසේය.'අපට කරදර ඇති වෙන්නට පටන් ගත්තේ 1984 වර්ෂයේ සිටයි.අපිට ජනපදයේ ඉන්ඩ බැරිව ගිය අවස්ථා තිබෙනවා.එහෙම අවස්ථාවක  කඳවුරක සිටි අපට තුවක්කු 45 ක් දුන්නා. රුපියල් 500 කුයි පොල් අතුයි දීලා රිසිවේෂන් ඉඩම් වල පදංචි වෙන්න කීවා. අපි පොල් අතු වලින් ගෙවල් තනා ගෙන ජීවත් වුණා. මෙහෙම ගෙවල් හදා ගෙන ගොවිතැන් කරගෙන ඉන්න විට අපේ තුවක්කු ආපහු රජයට ගත්තා. ඒ ටික දවසකින් ත්‍රස්තවාදීන් ආවා. ඒ ආවේ ඉන්දියන් හමුදාවත් එක්කයි. ඒ ඇවිත් කීවා එහෙන් පිට වෙන්න. නැතිනම් මරා දමනවා කියලා.අපිට යන්න තැනක් නැති නිසා ජයපුර ග්‍රාම ආරක්ෂක මහත්වරුන් සමග හමුදා කඳවුරකට ගියා.චීන වරායෙන් හතරේ කණුවෙන් අපිව පැන්නුවේ එහෙන් නොගියොත් මරල හම ගලෝල යුනිෆෝම් මහනවා  කියලයි.'මේ කාලයේ චීන වරාය විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ වාසය කරන ලද්දේ පූජ්‍ය රඹුකන සද්ධාලංකාර ස්වාමීන් වහන්සේය.

          හතරේ කණුවේ ඇරඹි උපවාසය රජයට පීඩනයක් එල්ල කිරීමට සමත් විය. චීනවරාය පොලිසියේ ස්ථානාධිපතිව සිටි ජයන්ත ප්‍රනාන්දු මහතා මේ තත්ත්වය  ගැන චීන වරයා නායක ස්වාමීන් වහන්සේට පැහැදිලි කර දෙන ලදී. පොලිසියේ හඬට කන්දුන් රඹුකන සද්ධාලංකාර නායකහිමියන් පොලිස් ස්ථානාධිපති සමග වහා හතරේ කණුවට වැඩම කරන ලදී.උපවාසය නැවැත්වීමට උපදෙස් දුන් නායක හිමියන් ආපසු වැඩම කිරීමට පය ඉක්මන් කළ විගසම මෙම ස්ථානයට පැමිණි ඉන්දීය හමුදාව දිගින් දිගටම වෙඩි තබන්නට වූ අතර ස්වාමීන් වහ්නසේටද වෙඩි වැදුණි.මේ තත්ත්වය ඇසින් දුටු ත්‍රිකුණාමලේ හතරෙ කණුවේ සිටි එම්. මැගිනෝනා දිවයින පත්‍රයට එය වාර්තා කර ඇත්තේ මෙසේය.



         'ත්‍රස්තවාදීන්ගේ අකටයුතුකම්වලට විරුද්ධව හතරේ කණුවේ සහ පහේ කණුවේ උපාසකම්මලා එකතුවෙලා උපවාසයක් ආරම්භ කලා 4 කණුවේ හන්දියේ. අපිට හොඳින් ආරක්ෂාව ලබා ගන්නයි ග්‍රාමාරක්ෂකයන්ට තුවක්තු ලබා ගන්නයි අපි එහෙම උපවාස කලේ. පස්සේ ගුවන් හමුදාවේ විස්සක් පමණ දෙනා ආරක්ෂාව ලබා දුන්නා ඒ අතරතුරේදී ඉන්දියන් හමුදාව ඇවිත් ඒ අය දණ ගස්වලා  ගුවන් හමුදාවේ අයට වද දුන්නා. වද දීලා ඒ අය ඉන්දියානු හමුදා විසින් අරගෙන ගියා. ඊට පස්සේ ඒ අය ඉල්ලලා අපි උපවාසයක් කලා. හැන්දෑවේ හයට විතර චීන වරායේ හාමුදුරුවන් ආවා. ඇවිත් බණ කතාවක් එහෙම කරලා උපවාසය නවත්වා විසිර යන ලෙසට උන් වහන්සේ අපෙන් ඉල්ලීමක් කලා. එහෙම කියලා හාමුදුරුවන්ට බඹ දෙකක් යන්ඩ ලැබුණේ නැහැ. ඉන්දියන් හමුදා ට්‍රක් හතරක් ආවා. අපි වාඩි වෙලා සිටියා. යකඩ තොප්පි දාපු කීප දෙනෙක් දණ ගසා ගෙන අපිට තුවක්කු එල්ල කර ගෙන සිටියා. තවත් කීප දෙනෙක් සිංහලෙන් කතා කලා. පිටිපස්සේ සිටි පිරිමි ළමයින්ට ඉදිරියට එන්න කීවා. අපි පුදුම වුණා මේ මොකද සිංහලෙන් කතා කලේ කියලා. අප මොනවවත් පැමිණිල්ලක් කරන්න ගියාම දෙමළත් සිංහලත් බැරි ඉන්දියන් හමුදාවේ අය මේ වෙලාවේ සිංහලෙන් කතා කරන්නේ කොහොමද කියලා අපි පුදුම වුණා. කොහොම වුණත් ඒ අයගේ නියෝගයට කීකුරු වූ අපේ පිරිමි ළමයි ඉදිරියට ආවා. ඒ ආවායින් පස්සේ තොප්පි දමාගෙන සිටි එක් අයෙක් මැෂින් තුවක්කුවක් පට පට ගාලා වටේට එල්ල කලා. අපි බිම දිගා වුණා. හාමුදුරුවන්ට වෙඩි වැදුණා.හාමුදුරුවන් ළඟට ආ තරුණයෙකුටත් වෙඩි වැදුණා. හාමුදුරුවෝ එතැනම වැටුණා.ඒ වෙලාවේ එතැනට ඇවිත් හිටිය චීනවරායේ පොලීසියේ ලොකු මහත්තයා ඉන්දියන් හමුදාව අල්ල ගත්තා. එහෙම අරගෙන පොලිසියේ ලොකු මහත්තයාගේ පටි බොත්තම් කඩලා දැම්මා.පස්සේ අත් දෙක පිටි  පස්සට කරලා කෝට් එක පැන්නුවා. එහෙම කෝට් එක පන්නලා දන ගැස්සුවා. එහෙම කරලා අත්දෙක පස්සට කරලා දම්වැලක් දැම්මා. එහෙම දාලා පොලිසියේ ලොකු මහත්තයවයි හාමුදුරුවොයි ඇද ගෙන ගියා. පිරිමි ළමයි අසූවක් විතර ට්‍රක් වලට නග්ගා ගත්තා. ඒ ළමයින්ට අද වෙනකන් මොකද වුණේ කියලා දැන ගන්නට ලැබුණේ නැහැ.'

     චීන වරාය නායක හිමියන් අපවත් වී මේ වර්ෂය වන විට වසර  තිස් හතක් සපිරෙයි. වර්තමානයේ ත්‍රිකුණාමලයේ තත්වය සාමකාමීය. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ඒ ප්‍රදේශ වල සැලකිය යුතු දියුණුවක් ඇති වී තිබේ. එහෙත් එදා ඉන්දීය සාම සාධක හමුදාව විසින් ඇති කල පීඩනය වෙනත් අයුරකින් ඒ ප්‍රදේශ වල ජීවත් වන ජනතාව වෙත එල්ල වන්නට පටන් ගෙන තිබේ.එක් පැත්තකින් එය සංස්කෘතික ආක්‍රමණයක වේශයෙන් පැමිණ තිබේ. පැරණි බෞද්ධ සිද්ධස්ථාන කඩා ශිව ලිංග තැන්පත් කිරීම එහිදී සිදු වෙයි.අනෙක් පැත්තකින් වානිජ ආධිපත්‍ය මගින් ඒ ප්‍රදේශ පාලනය කිරීමේ මුහුණුවරින් පැමිණ තිබේ.වතුකරයේ සම්භවයක් ලත් පුද්ගලයෙකු ආණ්ඩුකාර පදවියට පත් කරලීම මෙහි මුල් පියවර වශයෙන් හඳුනා ගත හැකිය.ත්‍රිකුණාමලය වරාය අවට ඉඩම් වරාය අධිකාරිය සතුය.මේ පරිසරය තුළ අක්කර පන්සීයක පමණ විශාල ආයෝජන කලාපයක් නම් කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ. ඒ අනුව විහාරස්ථාන අටක් ගම්මාන කීපයක් ඉවත් කිරීමට යෝජනා කර ඇති බව දැන ගන්නට ඇත.චීන වරාය විහාරස්ථානයද මීට අයත්ය.එදා ඉන්දියන් සාම සාධක හමුදාව විසින් එල්ල කළ වෙඩි උන්ඩයකින් සිය ජීවිතය අවසන් කරන්නට උන්වහන්සේට සිදු විය. ඒ රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙනි.මේ ඝාතනයට මැදිහත් වූයේ ඉන්දියන් හමුදාවේ සිටි දෙමළ සෙබළුන් අතිනි. එලෙස ඝාතනයට පත් නායක ස්වාමීන් වහන්සේගේ අදාහන  කෘත්‍ය පවා ඉටු කරන්නට එදා ඉඩ නුදුන්හ. එයට හේතුව එවකට දිසාපති බලතලද සාම සාධක හමුදාව සතුව තිබූ බැවිනි  .  කන්තලේ බෝධිරාජාරාම විහාරාධිපති හිමිව වැඩ සිටි පූජ්‍ය ගන්නෑවේ ගුණරතන නා හිමියන් එදා කැලෑ පාරකින් චීන වරයා පන්සලට පැමිණ නායක හිමියන් ගේ ශිෂාය පූජ්‍ය දෙහිඕවිට පියතිස්ස හිමියන් සමග එක්ව ඉතා දුෂ්කරව දර සොයාගෙන රෙදි සිවුරු පොරවා දර සෑයක් ගසා  පාංශු කූලය ලබා දී අදාහන කෘත්‍ය නිම කර තිබේ.සාමයේ වේශයෙන් පැමිණි හමුදාව අතින්ද වානිජ වේශයෙන් එන වානිජ බලවේග අතින්ද ඒ ප්‍රදේශ වල ජනතාව ගේ උරුමය අහිමි කරන්නට තැත්කරන්නවුන් ගැන රටම නිහඬය. වර්තමාන ඛේදවාචකය එයයි.එහෙත් දිවයින පත්‍රය එදත් අදත් ඒ වගකීම ඉටු කරමින් සිටී.

මතුගම සෙනෙවිරුවන්

 

 

Monday, May 6, 2024

කතිර බාගත කළ හැකි හාල්කෑලි ආර්ථිකය

 

                                    


            ලෝකයේ කොහේවත් නැති ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාවේ ඇත.පක්ෂ විශාල ප්‍රමාණයක් සමග හැල හැප්පෙන  චන්ද දායකයා සිටින්නේ මහා වික්ෂිප්ත තත්වයකයි.බ්‍රිතාන්‍ය පාර්ලමේන්තු සම්ප්‍රදාය අනුව චන්ද බලයෙන් තේරී පත්වන පුද්ගලයා. පාර්ලිමේන්තු සාමාජිකයෙකු බවට පත් වේ.බ්‍රිතාන්‍යයේ පවතින්නේ දේවරාජ්‍යයකි. එවිට රජු දෙවියන්ගේ සෘජු නියෝජිතයා වෙයි. මන්ත්‍රීවරු මේ දේවරාජ්‍යය ක්‍රියාත්මක කරන සාමාජිකයන් වෙති. ලංකාවේ වෙස්මිනිස්ටර් ක්‍රමයද ඇරඹුනේ එසේමය.එයට තේරී පත්වන්නා පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විඳී.ස්ථාවර නියෝග පිළි පදී. මහජනතාවගේ චන්දයෙන් පත් වුවද පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඇතැම් විට ඔවුන්ට විරුද්ධව යෑමටද මන්ත්‍රී වරුනට සිදු වේ.පාර්ලිමේන්තුව නැතහොත් ව්‍යවස්ථාදායකය ට යන පුද්ගලයා චන්ද දායකයාගෙන් ඈත් වන්නේ එලෙසය.උදාහරණයක් වශයෙන් කන්නන්ගර මහතා දැක්විය හැකිය. ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා මතුගම ආසානයෙන් තේරී පත්ව පාර්ලිමේන්තුවට ගොස් රටට පිරිමහින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉහළින්ම වැඩ කළ පුද්ගලයෙකු වෙයි. ඔහු බ්‍රිතාන්‍ය සම්ප්‍රදායෙන්ද පිට පැන මෙරටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට මහන්සි ගත්තේය.එහෙත් ඔහු මහජනතාව සමග පයිරු පාසානමට නොගියේය.ගමෙන් පැමිණි චන්ද දායකයා වෙනුවෙන් කාලය වැය කිරීමට ඔහුට අවස්ථාවක් නොමැති විය. මේ නිසා ඊළඟ චන්දයේ දී ඔහුව පරාජයට පත් කිරීමට චන්දදායකයාට සිදු විය.

          ජනතාව ඉල්ලන්නේ තෙවරප්පෙරුම වැනි පුද්ගලයන්ය.ජනතාවට ව්‍යවස්ථාදායයේ බුද්ධිමත් හැසිරීම් වැඩකට නැත. ඔවුන්ට ඒවා දැනෙන්නේ සම්මත කළ නීතිය  මගින් තමුන් පීඩාවට පත් වීමට සිදු වූ දිනක දීය.එවිට මහජන මන්ත්‍රීවරයා ආසනයෙන් පවා පැරදී ගොසින් විය හැකිය. එසේත් නැතිනම් වෙනත් පක්ෂයකට හේත්තු වී වෙනත් මගක ගමන් කරනවා විය හැකිය.චන්ද කාලයට ඇති පදම් ජනතාවට හාල් කෑලි ලැබෙන්නේ මෙම පරතරය පියවා ගැනීම පිණිසය . හාල් කෑලි යනු හාල් කිලෝ විස්ස පමණක් නොවේ. මත්පැන් බෝතලයේ සිට  ගොඩනැගිලි කොන්ත්‍රාත්, බාර් පර්මිට් දක්වා එය වෙනස් විය හැකිය.දැන් අලුත්ම ප්‍රවණතාවය මන්ත්‍රීවරයෙක් බා ගැනීමට කෝටි විස්සක් පමණ වැය කිරීමය. එසේත් නැති නම් බාර් පරිමිට් එකක් දීමය.නමුත් ජනතාවට ලැබෙන්නේ රුපියල් පන්දාහක් පමණ වටිනා හාල් කිලෝ විස්සක් පමනී. ඒ සියල්ල තමන්ට තමන්ගේ පක්ෂයට කතිර බා ගැනීම පිණිසය.

       ලංකාවේ කුඹුරු  ප්‍රමාණය ගත හොත් හෙක්ටයාර් 851043 කි.ඒ සියල්ල යල මහ අස්වද්දනේ නැති නමුත් වාර්ෂිකව වී මෙට්රික් ටොන් දශලක්ෂ 3.8 ක ප්‍රමාණයක් උත්පාදනය කරයි.ගොවි පවුල් 87900 ක් පමණ ජීවත්වන අතර දළ ජාතික නිෂ්පාදනයේ කෘෂිකර්ම අංශ දායකත්වය වන සියයට 16.5 න් අඩක්ම වී වගා කරන ගොවීන් ගෙන් ලැබේ. නිදහස ලැබෙන විට රන් පවුම සහ වී බුසල එක තරමේ වාටිනාකමකින් යුක්ත වී යැයි කියති.රන් පවුම දිනෙන් දින ඉහළ ගියේ වෙළෙඳ පළ ආර්ථිකය අධිරාජයවාදය නිසා ව්‍යාප්ත වීමත් සමගය. අද රන් පවුමට වඩා ඇමරිකන් ඩොලරය ගැන කා කරති. ඒවා ඉහළ වටිනාකමකින් යුක්ත වන්නේ වාර්ෂිකව අච්චු ගහන ඩොලර් කඩදාසි ලොව පුරා බෙදා හරිමින් කරන සූදුව නිසාවෙනි.රුපියල උඩ යට යන්නේද පහළ යන්නේද  ඩොලරය නිසාය.ලංකාවේ වී මෙට්රික් ටොන් 3.8 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් සහලින් ස්වයංපෝෂිත වුවද රුපියල උඩ යන්නේ නැත. තේ රබර් පොල් නිෂ්පාදනය කරමින් අපනයනය කළද රුපියල උඩ යන්නේ ඉතාමත් සෙමින්ය.මන්ද අපනයනයෙන් ලැබෙන ඩොලර් සම්පූර්ණ වශයෙන් ලංකාවට ආපසු නොඑන  බැවිනි.ඩොලර්ය කෘතිමව පහළ ගිය හොත් එවිට ඒ ආදායම ලංකාවට ප්‍රේෂණය වේ.ඩොලර් හුවමාරුව එක අතිකින් සූදුවකි.ඒ සූදුව හරියට කරන්නා සූදු අන්තුවෙකි. ලෝකයේ බලගතු රටවල මිත්‍රයෙකි.වෙළෙඳ පළ බලවේග මගින් රට පාලනය කරන විද්වතෙකි.

       එහෙත් ඒ පුද්ගලයාට ද කතිර බාගත කර ගැනීම සඳහා හාල් කෑලි විස්සක් දීමට සිදුවේ. ලංකාව සහලින් ස්වයංපෝෂිත වී ඇති නම් සහල් කෑලි ලබා දීමේ අවශ්‍යතාවයක් නැත. වී අලෙවි මන්ඩලයක් තිබුණද වී ගන්නට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට  විවිධ එළවලු වර්ග ,වතුර බෝතල් ,ලුණු ඇතුලු ආහාර ද්‍රව්‍ය රැසක් විදෙසින් මෙරටට ගෙන්වීමට විදේශ විනිමය නිකුත් කෙරේ.  ගොවියා දස අතේ ණය වී වී වගා කරයි එලවලු වගා කරයි. නමුත් ඔහුගේ අස්වැන්නට නියමිත මිලක් ලැබෙන්නේ නැත. පසුගිය කාලයේ කොමඩු අක්කර පහක් පමණ වගා කළ ගොවියෙකු ලක්ෂපතියෙකු වූ හැටි මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.නයි මිරිස් වගා කරන ගොවීන්ද එසේ උපයති. හාල් කෑලි ආර්ථිකය තුළ සුහුරු කෘෂිකර්මය අගය කරන්නේ ඒ නිසාය.නමුත් කොමඩු අක්කරයකින් ලක්ෂ පහක් උපයන විට ලක්ෂ තුනක් පිටරටට ඇදී යයි. ඒ මන්ද ඒ සඳහා යොදා ගන්නා නවීන බීජ පොහොර කෘෂි රසායන සින්තටික් දැල් හෝ ආවාරණ ගෘහ වලට අවශ්‍ය සියලු දේ පිටරටින් ගෙන්වන බැවිනි. නයි මිරිස් ගොවියෙකු සාමාන්‍යයෙන් අක්කරයක වගාවක් සඳහා ලක්ෂ දහයක් පමණ වැය කරයි. වියදමෙන් භාගයක්ම ඔහුට පොලිතින් බෑග් දැල් ,කෘෂි රසායන ආදියට වැය වේ.ඒ අතින් බලන කල්හි සුහුරු කෘෂිකර්මය යනු විදෙස් මත යැපෙන තවත් බරවා කකුළකි.වෙළෙඳ පළ බලවේග මත රට පාලනය කරන්නේ විදෙස් කොම්පැණි වලට අවශ්‍ය ගොවීන් රට තුළ බිහි කරලීමෙනි.හැටේ දශකයේ දී හරිත විප්ලවය මගින් කරන ලද්දේද එයයි. නමුත් තමන්ගේ නිවසේ ගෙවත්තේ හෝ හේනේ ධාන්‍ය එලවුලු පළතුර වවන ගොවියෙකුගේ අස්වැන්නට සාධාරණයක් නැත. ලැබුණ අස්වැන්නෙන් රුපියල උඩ යන්නේද නැත.දළ ජාතික නිෂ්පාදනය තීරණය කරනු ලබන්නේ නිපයන තරමට නොවේ ඩොලර් හුවමාරු වන තරමටය.ඒ  නිසා සූදු අන්තුවන්ට වෙළෙඳ පළ බලවේග සහ විදෙස් බලවේග සමග අත්වැල් බැඳගෙන රට පාලනයට ඉඩ හසර ලැබේ.වරින් වර  හාල් කෑලි ආර්ථිකය ට වටිනාකමක් ලැබෙන්නේමේ සූදුව සහතික කර ගැනීමටයි.මේ ක්‍රමයට රටක් ගොඩ යන්නේ නැතිබව තේරුම් ගැනීමට තරම් චන්දදායකයා බුද්ධිමත් නැත..

මතුගම සෙනෙවිරුවන්

 

Saturday, May 4, 2024

රන්මසු උයන අසල චක්‍ර වළල්ලේ සැඟවුණු කතාව

 

                                


             නූතන පර්යේෂකයන් විසින් තාරකා දොරටුව යයි හඳුන්වනු ලබන අනුරාධපුරයේ රන්මසු උයනේ ගල්තලයක පවතින චක්‍ර සටහන කුමන අරමුණකින් කෙටුවාදැයි මේ වන තෙක් නිගමනය කර නැත. ක්‍රි.පූ. තෙවන සියවසේ පමණ සාදන ලද තිසාවැව පාමුළ  ඉඳි කළ රන්මසු උයන ද ක්‍රි.පූ. 250 වකවානුවේ දී සකස් කරන ලද්දක් යැයි දක්වා ඇත. මෙම සක්වල චක්‍රය ගැන මුල වරට විද්වතුන්ට කරුණු දක්වනුයේ බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයෙකු වූ එච්.සී.පී. බෙල් මහතාය. H C P බෙල් 1911 වසරේ එවක සිටි ආණ්ඩුකාරවරයාට මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.එහි මෙසේ සඳහන්ය.''ඇතැම්විට දැනට සොයාගනු ලැබ ඇති පැරණිතම නිර්මාණය විය හැකි මෙම පෞරාණික ''ලෝක සිතියම'' පැහැදිලි ලෙසම අපූරු නිර්මාණයකි. ලංකාවේ ඇතැම් බෞද්ධ ආශ්‍රමයන්හි තවමත් අනුගමනය කෙරෙන තාරකා විද්‍යාත්මක දැනුමෙහි පුරාතන පැවැත්ම සඳහා මෙය සාක්ෂියකි''

      බෙල් මහතාගේ මේ පූර්ව හැඳින්වීම නිසා පසුකාලීන විද්වතුන් මෙම චක්‍රය නිතරම තාරකා විද්‍යාවට සම්බන්ධ කිරීමට උත්සාහ දරා තිබේ.රන්මසු උයන වැනි රජවරුන්ගේ ජල ස්නානයට වෙන්වුණු විනෝද උයනක තාරකා දොරටුවක් පැවතීමට කුමන හේතුවක් මත සිදුවූවා දැයි යන්න විග්‍රහ කෙරී නැත.

     අනුරාධපුරයේ රජකල සතරවන මිහිඳු රජුගේ වෙස්සගිරි ශිලා ලේඛනයේ රන්මසු උයන ගැන සඳහනක් ඇත.තිසාවැවේ  ප්‍රධාන සොරොව්ව හරහා නිකුත් වන ජලය පළමුව රන්මසු උයන වෙත ගෙන එන අතර, එතැන් සිට කෙළ ගෙයට (කදලී ගෘහ) ද උද්‍යානයේ පොකුණට (උයන් ගෙය) සහ මහනෙල් පොකුණට (මහනෙල් ගෙය) ටද ගෙනගොස් අවසානයේ ඉසුරුමුණි විහාරය අවට ඇති කුඹුරු වලට ගලා බසින බව ලියා තිබේ.මේ ව්‍යවස්ථා කලේ කළිඟු කීර්ති නම් රාජ නිළධාරියෙකි.ඒ නිසා රන්මසු උයනේ අවශ්‍යතාවය සහ චක්‍ර වළල්ලේ අවශ්‍යතාව පිළිබඳ සියුම්ව කල්පනා කළ යුතුය.

        තාරකා දොරටුව යන අර්ථයෙන් ගත් විට එවැනි ස්ථාන කීපයක්ම ලොව පුරා දකින්නට තිබෙන බව සැළකිල්ලට ගත යුතුය. ආකාශ වස්තූන් නිරීක්ෂණය කිරීමට ගණනය කිරීමට පේරු මිසර කොරියා සහ දඹදිව වාසීන් ගත් උත්සාහයන් පිළිබඳ වාර්තා වේ.ඒවා පිහිටා තිබෙන්නේ විශ්වයට විවෘත වූ ස්ථානයන් හිය. රන්මසු උයන එවැනි ස්ථානයක නොවේ.රාවණා පිළිබඳ පුරාවෘත්ත සොයන අයගේ අදහස නම් මේ චක්‍ර සටහන දෙස බලා ධ්‍යාන වැඩීමෙන් විශ්වය කරා යෑමට අවශ්‍ය ශක්තිය ලැබෙන බවය.මෙම චක්‍රයේ  මැද පවතින වංක ගිරිය පෙනුමැති චක්‍රය දෙස බලා සිටීමෙන් ඒ කුණ්ඩලීනි ශක්තිය උදා කර ගත හැකියයි ඔවුන් විශ්වාස කරති.චක්‍ර වළල්ල ඉදිරිපස තිබෙන ආසන හතර මත හිඳ ගෙන මේ කර්තව්‍ය කළ හැකි බවද කියති.නමුත් නිතර ජල ස්නානයේ යෙදෙන විනෝද උයනක ස්වරූපයෙන් නිර්මිත තැනක එවැනි ශක්තිය අවදිකරන භාවනාවක් වැඩිය හැකි දැයි යන සැකය මතුවේ.මන්ද එවැනි භාවනාවක් දීර්ඝව වැඩිය යුතු බැවිනි.

       එච්.සී.පී.බෙල් මහතා මෙම චක්‍රය ලොව පිළිබඳ සිතියමක් යැයි ද සඳහන් කරතිබේ.මේ ගැන විද්වතුන්ගේ අවධානය යොමු වී නැත. අප දන්නා පරිදි ලොව වටා විශාල වපසරියක වසා සිටින්නේ මහ මුහුදයි. මේ චක්‍ර වළල්ල වටේ විවිධ මසුන් දක්ෂිණාවෘතව දක්වා ඇත. එම මාලු වළල්ලට අභ්‍යන්තරයෙන් කුඩා චක්‍ර විසිතුනක් දක්නට ඇත. සියල්ලම ගත් කල පණස් තුනකි. ඒ බැව් මේ වළල්ලට උඩින් ක්‍රි.පූ. 1 සහ ක්‍රි.ව.1 ට  අයත් අක්ෂර වලින් පනතිපනස යනුවෙන් සටහන් කර තිබේ.මෙය සිතියමක් ලෙසට ගත් කල්හි ලෝකයේ එවැනි සිතියම් පිළිබඳ මූලාශ්‍ර සොයා යෑමට සිදු වේ. මෑතකදී පුරාවිද්‍යාඥයන් විසින් මැටි පුවරුවක අඳින ලද සිතියමක් ලෙසට නිරීක්ෂණය වූ අපූරු පුරාවස්තුවක් බැබිලෝනියාවෙන් සොයා ගෙන තිබේ.මෙහි ද යම් කිසි චක්‍ර වළල්ලක් දක්නට තිබෙන අතර එහි පරිබාහිරවද අභ්‍යන්තරයේ ද යම් යම් භූමි ප්‍රදේශ ලකුණු කර තිබේ. විශේෂයෙන්ම බැබිලෝනියාව මුල් කරගෙන එය වටා තිබෙන දේශ මෙහි ලකුණු කර තිබේ.මැටි පුවරුවේ තිබෙන සටහන්  කියවා බලා ඒ පිළිබඳ නිගමනයකට පැමිණීමටද පුරාවිද්‍යඥයන් සමත් වී තිබේ.ක්‍රි.වර්ෂයෙන් පෙර වසර  පන්දාහකට වඩා පැරණි මේ මැටි පුවරුව ලෝකයේ හමු වී තිබෙන පැරණිතම සිතියමක් ලෙසට සැළකේ.ආදී මිනිසුන් වීසින් ගල් තලවල කොටන ලද සිදුරු ආකාරයේ සිතියම් හැරණු කොට විධිමත්ව අඳින ලද පැරණිතම සිතියම මෙය විය හැකිය.පුරාවිද්‍යාඥයන් කියන පරිදි පැරණිතම ජාතියක් වූ ආකේඩියන්වරු මේ ලෙස සිය අදහස ප්‍රකාශයට පත් කර තිබේ. ආකේඩියන් වරු සිංහලද්වීපයේ  හඳුන්වා තිබෙන්නේ  අක්කඩි යනුවෙනි. ඔවුහු විවිධ කාල වකවානුවලදී ලංකාවට පැමිණ සිංහල රාජ වංශිකයන්ට සම්බන්ධ වී රාජ තනතුරුද ගෙන රාජ වාසලේ සේවය කොට ඇත. ගන්නෝරු සටනේ දී දස්කම් පෑ එක් අක්කඩි වීර සෙන්පතියෙකුට අක්කඩි වික්කඩි වීර රඹුක්කොඩි යන මාන්නය පටබැඳ ඇත. සිංහල සේනාවේ සෙනඟ දෙගුණ තෙගුණ කර පෙන්වීම පිනිස මහවැලි ගඟ ඉවුරේ සිට රඹුක් බට වල හිස් වැසුම් ගසා සතුරු සේනා නොමග යැවීම ඔහු කළ උපක්‍රමයට මේ වීරනාමය ලැබී තිබේ..



        අක්කඩි රාජ වංශය සමග සිංහල රාජ වංශය සම්බන්ධ වීමට තිබෙන ප්‍රබලතම හේතුව ඔවුහුද  සූර්ය වංශිකයන් වීමයි. රන්මසු උයනේ චක්‍ර වළල්ල අනුව කුඩා චක්‍ර නැතිනම් සූර්ය චක්‍ර විසි දෙකක් ඇත. ඊට අමතරව වෙනත් සංකේත එකොළසක් කොටා ඇත. සාගර වළල්ලේ මත්‍යස වර්ගයා විස්සකි. ඒ අනුව පනස් තුනකි. චක්‍ර වළල්ලට උඩින් තිබෙන   ශිලා ලේඛනයේ පනතිපනස ලෙස දක්වා ඇත්තේ මේ ප්‍රාණ පනස්තුන ගැනයි. ඊට අමතරව පෘතුවි මධ්‍ය ලක්ෂය සහ ඒ වටා තිබෙන වළල්ලද විශේෂිතය. සූර්යවංශික රජ දරුවෝ අතීතයේ දී දඹදිව ලංකාව ඇතුළු ලෝකයේ විවිධ රටවල් පාලනය කළහ.ලෝකය පුරා ආධිපත්‍ය පැතිරවූහ. සූර්යා වන්දනාමාන කළ ඔවුහු සූර්ය දේවාල තැනූහ.දඹදිව පහළ වූ මහා මේඝවාහන වංශයද සූර්ය වංශයට අයත්ය. ඔවුහු විමාන වලින් ලොව සැරි සැරූහ. ඒ නිසාම ආකාශචාරි යැයි නමක් දිනාගත්හ. මහා මේඝවාහන ආකාශචාරි පරපුර බුදුන් වහන්සේ දඹදිව පහළවන සමයේ දී ප්‍රබල රාජ වංශයක් ලෙසට කළිඟු රටේ පැවතුණි.ලංකාවේ රජවරුන් සඳහා මේඝවර්ණ නාමය ලැබෙන්නේ මේ රාජ වංශිකයන් නිසාවෙනි.ක්‍රි.ව. තෙවනි සියවසේ රාජ්‍ය විචාල මහසෙන් සමයේ කාලිංගයේ ගුහසීව රජු ළඟ තැන්පත් කර තිබූ බුදුන් වහන්සේ ගේ යටි වම්දළදාව උදෙසා යුද්ධයක් ඇති විය. පාණ්ඩ්‍ය චන්ද්‍ර වංශ රජු දළදාව ඉල්ලා සිටි නමුත් නොදීම නිසා මේ යුද්ධය නිර්මාණය විය. මේ තත්වය යටතේ දළදාව භාරව සිටි ගුහසීව රජ දියණි හේමමාලී කුමරියට උදේනි රජ පුත් දන්ත කුමරු විවාහ කර දී ලංක්දිවට පිටත් කර හරින ලද්දේ දළදා වහන්සේ ගේ ආරක්ෂාව උදෙසාය. මහසෙන් ඇවෑමෙන් රජ වූ කිත්සිරි මෙවන් රජු දවස දළදා වහන්සේ ලක්දිවට සැපත්ව අනුරාධපුරය වෙත වඩම්මාගෙන පැමිණි පසු ඉසුරුමුණි විහාරයේ නොහොත් එකළ මේඝගිරි විහාරයේ තැන්පත් කරන ලද්දේය.මේඝගිරි විහාරය මේඝවර්ණ පරපුරේ නිර්මාණයක් යැයි සිතිය හැකිය.නමුත් චක්‍ර සටහන ඊට පෙර සකස් කර ඇත.

    චක්‍ර වළල්ලේ අක්ෂර අනුව එය ක්‍රි.පූ. දෙවන සියවස දක්වා දිව ගියද රජවරු මෙම චක්‍රය පිළිබඳ මෙනෙහි කරන්නට වූයේ ඉන් සියවස් දෙකක් පමණ ගත වූ පසු යැයි හැඟේ. මේඝවර්ණාභය රජු ගේ පියා වූ මහසෙන් ගේ සොයුරිය සාගරිකා කුමරිය ගුහසීව රජුගේ බිසවකි.  මේ ඥාති සම්බන්ධය නිසා දඹදිව ආකාශචාරි පරපුර ලොවපුරා සූර්ය වංශිකයන් සමග දැඩි ලෙස බැඳී සිටින්නට ඇත. මෙම චක්‍රයෙන් නිරූපණය වන්නේ ලොව වටා විහිදී තිබූ සූර්ය වංශික රාජ්‍ය්‍යන් විසි දෙකකි.රජු රන්මසු උයනට ගොස් තමන් සමග රාජ සභාවේ කටයුතු කරන ශ්‍රී මහා බෝ ගෙනා පරපුර ටිකාගොත් පරපුර ආකාශචාරි පරපුර සහ බෝධිගුප්ත කුමාරයන්ගෙන් පැවතෙන ජය මහ ලේනා පරපුර ආදී සූර්යවංශ සමග සම අසුන් ගෙන මේ චක්‍ර වළල්ල ඉදිරියේ සිට රාජ්‍ය කරවීම පිළිබඳ විශේෂයෙන්ම දශරාජ ධර්මයෙන් රාජ්‍ය කරවීම පිළිබඳව  විචාරීමක යෙදෙන්නට ඇතැයි යන උපකල්පනය මේ අවස්ථාවේ දී ඉදිරිපත් කරමි. රජ දරුවන්ගේ  ශික්ෂණය පිණිස මේ ස්ථානය නිර්මාණය වන්නට ඇතැයි යන නිගමනය අවසාන වශයෙන් දක්වමි.

මතුගම සෙනෙවිරුවන්