ලංකාවේ ජනගහනය අතරින් සියයට 81.9 ක් සිංහල ජනතාව දිවි ගෙවන කල්හි ඉතිරි ජන වර්ග සැලකෙන්නේ කුඩා ජන අනුපාතයක් ලෙසටය. දෙමළ ජනගහනය සියයට 4.4 ක් ද මුස්ලිම් 8.0 ක් ද ඉන්දියන් දෙමළ 5.1 ක් ද මැලේ 0.3 ක් ද බර්ගර් 0.2 න් ද වන බව 2001 සංගණනයේ දී තහවුරුව තිබුණි. මේ අනුව දෙමළ මුස්ලිම් බර්ගර් පමණක් නොව වැදි ජනතාව ද සුළු ජන වර්ග අතරට වැටේ.
දෙමළ ජනතාව අතරින් බහුතරයක් ජීවත් වන්නේ උතුර සහ නැගෙනහිර පළාත් වලය. මේ ප‍්‍රදේශය පූර්ව ඓතිහාසික යුගයේ දී කෙවේතස්ථ පදියම ලෙසට ද ඉන්පසු නාග ද්වීපය ලෙසට ද ව්‍යවහාරයේ තිබුණි. මහාචාර්ය රාජ් සෝමදේව විසින් නිවරද ලෙස කියවන ලද ආනකෝට්ටේ ලෝකඩ මුද්‍රිකාවෙන් මෙම පළමු
ව්‍යවහාරය තහවුරු වෙයි. ( 2010 ඔක් 27 දිවයින බලන්න )දෙවැන්න වල්ලිපුරම් රන්පත් ඉරුවේ තිබෙන නකදිව යන්නෙන් තහවුරු වෙයි. ක‍්‍රි.පූ. අටවන සියවසේ සිට විජයා ගමනය දක්වා කාලය තුලදී මේ ප‍්‍රදේශ සමස්ත සිංහල රාජධානියේ කොටසක් බවට විය. ඒ තත්වය තුල යක්ෂ ගෝත‍්‍රිකයින් මෙන්ම නාග ගෝත‍්‍රිකයින් ද සිංහල ජාතියට එකතු වූහ.
කාලිංග මාඝ චන්ද්‍ර භානු ආක‍්‍රමණ සහ දොලොස් වන ශත වර්ෂයෙන් පසු උතුරේ ඇති වූ විදේශ ආර්ය පාලනය නිසා එහි සිටි සිංහල ජනතාව ක‍්‍රමයෙන් දකුණට සංක‍්‍රමණය විය. එහි රැඳී සිටි පිරිස ද කලක් යන විට විදේශිකයින් ගේ අත වැසියන් බවට පත් වූහ. දෙමළ බස එහි වානිජ ව්‍යවහාරය වූ බැවින් සිංහල අය තුලින් ද සිංහල භාවිතය තුරන් ව ගියේය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ගේ ආගමනයෙන් පසුව උතුර යටත් වී එහි සිටි සියළු ජන කොටස් දෙමළ ගණයේ ලා සලකන්නට පෙළඹුණි. ඒ අතර දුම් කළ වගාවට ද වී වගාවට ද මලබාරයෙන් ගෙනා ලන්දේසි කොම්පඤ්ඤයේ වහලුන් පිරිස නිසා ( ලංකාවේ ලන්දේසි බලය-අරසරත්නම්) දෙමළ මලබාර් ජනගහනය වර්ධනය විය. ඉංග‍්‍රීසීන් විසින් දෙමළ ජන ගහන අනුපාතය සිය ලේඛන වල ඇතුලත් කර තිබෙන්නේ දිවයිනේ අනෙක් පළාත් වල තිබූ පොදු ව්‍යවහාරය නොසලකා හරිමිනි. පෙර ලංකාව ඒකීය රටක් ව පැවතුණ බව ද විදේශීය ආක‍්‍රමණ නිසා එම ඒකීය බාවය බිඳී ගිය බව ද වූ යථාර්ථය ඉතිහාසයට පමණක් සීමා විය. පෙර ලංකාවට පැමිණි දෙමළ යවන ජාවක විදෙස් ජනයින් ගෙන් ඇතැමෙක් මෙහි පදිංචිව සිංහල සංස්කෘතියට එකතුව කටයුතු කළ ආකාරය ඉතිහාසයෙන් අපට දත හැකිය. එම ස්භාවික සූත‍්‍රය යුරෝපීය පාලන සමයෙන් පසු ක‍්‍රියාත්මක නොවීම ද්‍රවිඩකරණයට මූලික හේතුවයි.
උඩරට රාජධානිය බිඳ වැටෙන විට සිංහල රදළයින් බෙලහීන වී රටින් පිටුවහල් කරන විට සිංහල ජනතාවට නායකත්වය දීමට කිසිවෙකුත් ඉතිරි නොවීය. ඉතිරි වූ පිරිස සහ ග‍්‍රාමීය නායකයින් බ්‍ර්තාන්‍යයන්ට පක්ෂපාතී වූහ. සිංහල රජ පවුල් වල කිසිවෙකුත් නෑර ඝාතනය කරන්නටත් පිටුවහල් කරන්නටත් කටයුතු කළ ඉංග‍්‍රීසීන් යාපන ප‍්‍රදේශයේ රදළවරුන්ට පහසුකම් සලසා දුන්හ.මේ අය ආර්ය චක‍්‍රවර්තී පාලනයෙන් ශේෂ වූ
මුදලිවරුන් වීම නිසා ඇමරිකන් මිෂනරිය විසින් ඒ අයගේ අධ්‍යපන මට්ටම පවා උසස් කරන්නට කටයුතු කළ බව සිහිපත්කළ මනාය. මෙසේ ඉහළ පිළි ගැනීමක් ලද යාපන මුදලිවරුන් වෙනම රාජ්‍යයක් සඳහා මත වාද සකස් කරන්නටත් පසුව සටන් මගට බසින්නටත් වීම පුදුමයට කරුණක් නොවේ. ඔවුන් තේරුම් නොගත් එකම දෙය නම් සිංහල ජනතාව හා තමන් අතර වූ සමානකම්ය. මිෂනාරි අධ්‍යාපනය නිසා සාමාන්‍ය ජනතාව පමණක් නොව වැදි ජනතාව ද දෙමළ භාෂාව හරහා ද්‍රවිඩකරණය කරන ලදහ. වාකරේ දිවි ගෙවන පන්දහසක් පමණ වැදි පවුල් එලෙස ද්‍රවිඩකරණය කරන ලද්දවුන්ය. මෙලෙස දෙමළ වූ නායකයින් භාෂා භේදය නිසා සැම විටම ඉන්දීය ගැති මානසිකත්වයකින් යුතුව වෙන්වී යාමට උත්සාහ කළහ. මනුෂ්‍ය ජීවිත ලක්ෂ ගණනක් විනාශ කළ ත‍්‍රස්තවාදය බිහිවූයේ මෙවැනි පදනමක් තුලය.
උතුරේ තරුණයින් කැරලි ගසමින් ජීවිත විනාශ කිරීම ආරම්භ කරන කාලවකවානුවේ දීම මේ රට බෙදීමේ ප‍්‍රශ්ණය නිමා කළ හැකිව තිබුණි. නමුත් බ්‍ර්තාන්‍යයන්ට ගැති කම් කළ සිංහල නායකයින් තමන්ගේ රටේ ඒකීය බව රැකගැනීමට උත්සාහ නොකළහ. ඉතිහාසය වරදවා තේරුම් ගෙන මේ පිරිස උතුරු ප‍්‍රදේශය දෙමළ ජනතාවගේ නිජබිම ලෙසට හදවතින් පිළිගත්හ. මේ නිසා එක්සත් ලංකාවක් උදෙසා එකම සංස්කෘතියක් බිහිකර ගැනීමට තිබූ ඉඩ ප‍්‍රස්ථා බොහෝ විට නැති කර ගත්තේ වියුක්ත දෙමළ ජන අනුපාතයට අනවශ්‍ය ලෙසට සැලකීමේ පුරුද්ද නිසාය. උතුරෙ වාරි මාර්ග ව්‍යාපාර ක‍්‍රමයෙන් නැවත පිළිසකර කෙරෙන විට ජන අනුපාතය අනුව ජනතාව පදිංචි කරලීම කළ යුතුව තිබුණි. එය සිදු වූයේ උතුරු මැද ගල් ඔය සහ මහවැලි ප‍්‍රදේශ වල පමණි. ඉරන මඩු යෝධ වැව ආදී මහා වාරි මාර්ග පිළිසකර කරන විට එය වෙනස් විය. පසුව දෙමළ ජාති වාදීන් ගේ ඉල්ලීම මත මේ ජනපදකරණය අත්හිටවුණි. නමුත් මහවැලි ප‍්‍රදේශ වලද වන්නියේ ද නැගෙනහිර ද දෙමළ හා මුස්ලිම් ජනතාව පමණක් වරින් වර පදිංචි කරන ලදහ.
වත්මන් සිංහල ජනතාව වසර තිහක් තිස්සේ යුද්ධයෙන් බැට කෑහ. රටේ ජනගහනයෙන් බහුතරයක් දරුවන් යුද්ධයට යාම නිසා මැරුම් කෑහ. උතුරේ හා නැගෙනහිරේ දිවි ගෙවූ සිංහල ජනතාවට උන්හිටි තැන් අහිමි වූහ. මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් යුත් සන්ධාන රජය හා ජාතික බල වේග එකමුතුව ශාපලත් යුද්ධයෙන් රට බේරා ගැනීමට නායකත්වය දීමට කටයුතු කළ බව කවුරුත් දනිති. නමුත් මේ බව අද සන්ධාන රජයේ සිටින වැඩි පිරිසක් පිළිගැනීමට මැලිකමක් දක්වති.
යුද්ධයෙන් පසු රටේ ඒකීය බව ස්ථාපිත කරලීමට රජය යම් යම් ක‍්‍රියාමාරග ගෙන ඇත. සංවර්ධන කටයුතු ඉන් ප‍්‍රධාන වේ. ත්‍රෛයි භාෂා සංකල්පය මත එක් සංස්කෘතයක් ඇතිකිරීම ද බලාපොරොත්තුවක් වී ඇත. නමුත් එයින් සිදුවී ඇත්තේ දකුණේ පසල් වල පමණක් දෙමළ බසට වටිනාකමක් ලැබීමයි. උතුරෙ හෝ නැගෙනහිරේ කිසිම තැනක සිංහල බස ඉගැන්වෙන්නේ නැත. පැරණි දෙමළ භාෂා පණත ක‍්‍රියාත්මක වීම නිසා උතුරේ ප‍්‍රධාන භාෂාව බවට පත් ව ඇත්තේ දෙමළ බසයි. නාම පුවරු පවා අලුතින් ඉඳි කරනු ලබන්නේ දෙමළ හා ඉංග්‍රීසි බස පමණක් භාවිතා කරමිනි.මේ නිසා අම්පාර දිශාවේ මඩකලපුවේ සිංහලයින්ට තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය අහිමි වී ඇත. ඒ අතර උතුරෙන් අවතැන් වූ කිසිම සිංහලයෙකුට තමන්ගේ ඉඩ කඩම් තව වෙන තුරුවත් ලැබී නොමැත. 1981 සංගණනයේ දී යාපනයේ සිංහලයින් 4615 ක් ද මන්නාරමේ 8710 ක් ද මඩ කලපුවේ 10646 ක් ද ත‍්‍රිකුණාමලයේ 86341 ක් ද විය. 1953 වසරේ දී යාපනයේ 4724 ක් ද මඩකලපුවේ 17751 ක් ද සිටි බව මතක් කළ යුතුය. නැගෙනහිරේ තත්වය විනාශකාරී වේ. මුස්ලිම් ජිහාඩ් කල්ලි විසින් හොර ඔප්පු ලියා එහි සිංහල උරුමයන් නැති භංගස්ථාන කරන අතර සිද්ධස්ථාන පවා විනාශ මුඛයට ඇද දමා ඇත.
යුද්ධය අවසන්ව පැමිණි පළමු සාම වටයේ දී ම රටේ දෙමළ ජාතිවාදය මුලිනුපුටා දැමීමට රජයට හැකියාව ද බලය ද තිබුණි. පොලිස් හා ඉඩම් බලතල වැනි අනවශ්‍ය පළාත් බලතල ඉවත් කිරීම තුලින් එයට පදනම දැමිය හැකිව තිබුණි. රටේ සැබෑ ඉතිහාස කථාව ජගත් ප‍්‍රජාව ඉදිරියේ දිග හැර සිංහල ජනතාවට ඓතිහාසිකව සිදු වූ අසාධාරණකම් හෙළිදරව් කොට ඒ අයගේ අනුකම්පාව දිනා ගැනීමට හැකිව තිබුණි. එසේම බ‍්‍රිතාන්‍ය ඇතුළු බටහිර ප‍්‍රජාව විසින් පසුගිය යුද්ධ සමයේ දී කොටි ත‍්‍රස්තවාදයට උදව් කරමින් කළ ද්‍රෝහීකම් ද මැනවින් හෙළි දරව් කිරීමට සාක්ෂි ඕනෑතරම් තිබුණි. නමුත් රජය තුලම සිටින බෙදුම් වාදීන්ගෙන් එයට ඉඩක් ලැබී නොමැත.
රටේ ඒකීය භාවය පිළිබඳව රජය ගැඹුරින් කල්පනා නොකළහොත් එය දීර්ඝ කාලයකට රැක ගැනීමට අවශ්‍ය ඓතිහාසික සූත‍්‍රයන් ආදේශ නොකළහොත් දෙමළ ජාතිවාදය තවත් වටයකින් ඉදිරියට ඒම වැළක්විය නොහැකිය. අතීතයේ දී කෝට්ටේ හයවන පරාක‍්‍රමබාහු යුගයෙන් පසුව උතුර නැවතත් ස්වාධීන රාජ්‍යයක් වීම සහ රට පුරා දෙමළකරණය ව්‍යප්ත වීම සිහියට නගා ගත යුතුය. එය නැවත වෙනස් වූයේ ඉංග‍්‍රීසීන් යටතේ රට එක රාජ්‍යයක් බවට පත් වීමෙනි. එම නිසා බලය අතැතිව සිටින මොහොතක කේවට්ටයින්ගේ උපදෙස් පිළිපදිමින් බලය අන් සන්තක කිරීම නුවණට හුරු ක‍්‍රියාවක් නොවේ. මේ අවස්ථාවේ දී ජාතික බලවේගයන්හි
කාර්යභාරය විය යුත්තේ එය මැනවින් පෙන්වා දීමයි.
මතුගම සෙනෙවිරුවන්
No comments:
Post a Comment