පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, March 21, 2012

පළාබත්ගල පිරිවෙන ගැන කියැවෙන මැටි මුද්‍රිකාව

                                      
            ශ්‍රී පාද ස්ථානය සිංහල බෞද්ධ යින්ගේ ගෞරවාදරයට ත් වූ අතිශයින් වැදගත් සිද්ධස්ථානයකි. තුනුරුවන් ගේ ආඥාව ශ්‍රී ලංකා ද්වීපයේ පිහිටවීම පිළිබඳ සංකේතයක් ලෙසට ද මෙය සැලකේ. වේදේහ මාහිමියන් විසින් රචිත යයි සැලකෙන සමන්ත කූඨ වර්ණනා නම් පාලි ග්‍රන්ථයේ හත්සිය අසූ එක්වන පැදියේ පරිදි බුදු සිරි පතුල මැණික් ගලේ ඔබ්බන ලද්දකි. නැතහොත් තෙරපීමෙන් සළකුණූ කරන ලද්දකි. එහිදී එම පැදියේ දී මෙය සඳහන් කිරීමට ඛත්තිය මුදද්දිකාය යන වදන භාවිතා කොට ඇත.
    රාක්ෂ ගෝත්‍ර භාෂාවෙන් සළකුණට ව්‍යවහාර වන්නේ මක්කමාම යනුවෙනි. බුදුන් වහණ්සේ ප්‍රථම වරට ලංකාගමනයේ දී මාන් තොට වරායෙන් ගොඩ බැස කල්පිටියට නුදුරු තැනකදී සිරි පද සළකුණක් තබා( ඇත්තල මක්කම) පොම්පරිප්පුව අසළ වත්මන්  වැලිවෙහෙරේ දී ධර්ම දේශනා කළ බව යක්ෂ ගොත්‍රිකයින්ගේ අප්‍රකට තොරතුරු ග්‍රක්ථයේසඳහන් කර ඇත. මේ සිරිපද සලකුණ යටට එබී ගිය එකකි. ඉන්පසු ඒ හැඩයේ සළකුණු රාශියක් විල්පත්තුව අවට විහාරස්ථාන වලත් අනුරාධපුරය දක්වා විහාරස්ථාන වලත් හමුවන්නේ ඒ ආභාෂයෙන් යයි කියැවේ.
                 ශ්‍රී පාද ස්ථානයට පිවිසීම පිණිස වර්තමානෙය් මාර්ග රාශියක් තිබුණද ඒහි ප්‍රධානතම පිවිසුම් මාර්ගය ‍ලෙසට  සැලකෙන්නේ රජවරුන් විසින් භාවිතා කල ගිලීමලේ රජ මාවතයි. මෙම රජ මාවතතේ තිබෙන වැදගත්ම ස්ථානයන් දෙකකි. එකක් පළමුවන විජය බාහු රජු විසින් පිහිටුවාලන ලද ගිලීමලේ සෙල්ලිපිය පිහිටා තිබෙන ගිලීමලේ රජ මහා විහාර මාවතයි. අනෙක් ස්ථානය පලාබත්ගල වනවාස පිවිසුම් මාරගයයි. මෙයින් පළමු වැන්න වන ඉලුක් වත්ත අම්බලමෙන් පටන් ගත් ගිලීමලේ රජ මාවත අද අභාවයට ගොස් තිබුණද පළාබත්ගල සිට රජ මාවත නැවතත් සක්‍රීය තත්වයට පත් ව ඇත. වෙසෙසින්ම යුධ හමුදාවේ මූලිකත්වයෙන් එහි පඩි සකස් කොට තිබීම වන්දනා කරුවන්ට පහසුවක් වී තිබේ.
  පැරණි පළාබත්ගල වනවාසය වර්තමානයේ දකනට නොමැත. එහි අභිනව විහාරස්ථානයක් ඉඳිවී ඇත. මෙම වනවාසයේ ආරම්භය දඹදෙණි යුගයයි. පූජාවලියේ සඳහන් පරිදි දෙවනි පරාක්‍රමබාහු රජු ගේ අනුමැතිය පරිදි ප්‍රතිපත්ති ගරුක භික්ෂූණ් වහණ්සේලා කැඳවා ගම් වාසයෙන් දෙවිසි නමක් ද වනවාසයෙන් දෙවිසි නමක් ද තෝරා ගෙන පළාබත්ගල ප්‍රදේශයේ අභිනව පරිවේණස්ථානක්  ඉඳිකරවා ඇත. ගල්ලෙන් බහුල වට මාර්ගයක් ව පැවති ශ්‍රීපාද රජ මාවත අලි ඇතුන් ගේ වාසය නිසා පවනැල්ලේ සිට මෑතකදී වෙනස්ව ගමන් ගනී. එම නිසා පුරාණ වනවාසයට අයත් ගල්ලෙන් රාශියක් දැනට  ගමන් මාර්ගයෙන් බැහැරව පවතී. මේ ගල්ලෙන් අතීත රහතුන් වහණ්සේලා භාවනායෝගීව සිටි ස්ථාන වෙති.
       පළාබත්ගල වනවාසය මෙන්ම පළාබත් ගල පිරිවෙන ද එකල දසදෙස පූජිත විය. එයට හේතුව පළාබත් ගල ධර්ම කීර්ති පරම්පරාවයි. මෙම සඝ පරම්පරාවේ කීර්තිමත් යතිවරයින් සිවු දෙනෙකි. දිඹුලාගල දීපංකර ස්වාමීන්ද්‍රයන් වහණ්සේගේ අතවැසි පළාබත්ගල ධර්ම කීර්ති මහ නාහිමි ඉන් පළමු යතිවරයින් වහණ්සේය. යාපහුවේ වලස්ගල නෙහොත් අච්චගිරි සේනාසනයේ අධිපති තනතුරට පත් උන් වහණ්සේ  පළාබත් ගල නාමයෙන් ද ශාසනික සේවයෙන් ද ලෝ පූජිත විය. උන් වහණෟසේ ගේ අති ජාත ශිෂ්‍ය රත්නය වූ සීලවංශ ධම්මකීර්ති මහාසාමිවරයා ගම්පළ අවදියේ ගඩලාදෙණි විහාරයේ වැඩසිටියහ. ගඩලාදෙණියේ සද්ධර්මතිලන විහාරය කරවූයේ උන්වහණ්සේ විසිනි. පාරමී ශතකය ජනානුරාග චරිතය ආදී ග්‍රන්ථ රචනා කළ උන් වහණ්සේ සිරි ලක පතළ කීර්තිමත් පඬිවරයෙකු විය.
     සීලවංශ ධර්ම කීර්ති පරම්පරාවේ ඊළඟ පුරුක සද්ධර්මාලංකාර කතුවර දේවරක්ෂිත ජය බාහු ධම්මකිත්ති මහ නාහිමිය. වීරබාහු රජ විසින් රන ලද ශාසන ශෝධනයේ දී මුලසුන ගත්තේ උන් වහණ්සේය. උන් වහණ්සේ එකළ සඝ රජ ධූරය ද දැරීය.  කොට්ටේ ජයවර්ධන පුරයේ සයව‍න පරාක්‍රමබාහු සමයේ ඒ රජු ගේ අනුමැතියෙන් සද්ධර්ම රත්නාකරය රචනා කළ සිද්ධත්ථ ධම්මදින්නාචාර්ය විමල කිත්ති මහ නාහිමි ද පළාබත්ගල ධම්මකිත්ති පරම්පරාවට සම්බන්ධ බව මහාචාර්ය මැන්දිස් රෝහණ දීර මහතා සිය ලිපි වල පෙන්වා දී ඇත.
        ධර්මකීර්ති පරම්පරාවේ සියුලු ස්වාමීන් වහණ්සේලාට මුල් වූ තෙර නමක් ගැන මෙහිදී සදහන් කළ යුතුය. දෙවනි පරාක්‍රමබාහු අවදියේ මෙරටට වැඩම වූ තාඹුලිංගමු රට (තම්බරට්ඨ) ධම්මකිත්ති නාහිමි මේ මහා නායක හිමියන් වෙයි. තාඹුලිංගමුවේ නොහොත් තායිලන්තයේ වසන දොලොස් දහසක් භික්ෂූන් වහණ්සේලා අතරින් තේරස ධුතාංගාදී විදර්ශණා පුහුණු කල ධම්මකිත්ති හිමියන් යන එන මග දෙපස පෙරමග පියුම් පත් නැංගා යයි අසා උන්වහණ්සේට මහත් ගෞරවයෙන් වඩම්මවාගන අවුත්  එකළට අවශ්‍ය භික්ෂූන් වහණ්සේලා පුහුණු කිරීම උන් වහණ්සේට භාර දෙන්නට ඇති බව කල්පනා කළ හැකිය.
       පළාබත් ගල වනවාසය හා පිරිවෙන ආරම්භ වූයේ මේ සඳහාය. කාලිංග මාඝයන්ගේ ආක්‍රමණයෙන් පසු රට වැල් වැදී ගිය කල්හි රටේ සංවර්ධනයද ජනයාගේ සාරධර්මයන් ද අභාවයට ගියේය. බුද්ධ ශාසනය පරහානියට පත් වූයේය. රජු ශාසනික සංවර්ධනය ගැන උනන්දුවක් නොදැක්වීය. මේ බව දත් මයුරපාද පරිවේණාධිපති බුද්දපුත්‍ර ස්ථවීරයන් වහණ්සේ පූජාවලිය රචනා කොට රජුට පිලිගැනවීය. එයින් සතුටටත් ප්‍රීතියටත් පත් රජු ශාසන ශෝධනයක් කොට සැදැහැවත් සිල්වත් මෙන්ම බහුශ්‍රැත භික්ෂූන් වහණ්සේලා පිරිසක් රටට දායක කරනු වස් පලාබත් ගල පිරිවෙන ආරම්භ නලේය. පලාබත්ගල පරිවේනස්ථානයේ සද්ධර්ම ආලෝක කදම්භය සියවස් ගණනාවක් පැවතියේ නිවරදිව එයට අඩිතාලමක් දැමූ බැවිනි.
    පලාබත්ගල පිරිවෙන සියවස් ගණනාවක් තුල ශාස්ත්‍රීය ආලෝකය පතුරුවාලමින් වැජඹුණද අනිත්‍ය යළිත් වරක් මෙනෙහි කරමින් ජරාවාසව ගියේය. බ්‍රිතාන්‍ය සමය වන විට එම ප්‍රදේශය වල් වැදී ඉඩකඩම් පවා අන් සන්තක වුණි. පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල හිමිපාණන් පළාබත්ගල කරන ලද ගවේශණයේ දී හෙළි වූයේ මේ පිරිවෙන් භූමිය තේවත්තකට යටව ඇති ආකාරයයි. එහි අයිතිකරු මෙහි තිබූ පුරා වස්තු සියල්ල එක් රැස් කොට වලක් කපා වල දැමූ බව පැරණියන් පවසති. ඉතිරී වී තිබූ ගල් කණු අභිනව විහාරස්ථානය සෑදීමට භාවිතා කර ඇති අතර ශ්‍රීපාද ගමන් මාර්ගයේ ද ගල් කණු කීපයක් ඉතිරිව ඇත්තේය. පිරිවෙන් භූමියේ තිබූ පතහ සහ ගොඩනැගිලි කිසිවක් ඉතිරි කර නොතබාම මේ කීර්තිමත් ස්ථානය පසින් යටවී තිබේ.
    ඉතිහාසය වෙනස් කළ හැකි දෙයක් නොවේ. වෙසෙසින්ම ප්‍රභාමත් ස්ථානයක් සැඟව ගොස් තිබුණද යලි මතු වෙයි. පලබත්ගල පැරණි පිරිවෙන් භූමියෙන් යලි හමු වූයේ පිරිවෙනේ අනන්‍යතාවය කියාපාන මැටි මුද්‍රිකාවකි.(SEAL) දෙමහල් පිරිවෙන විහාරස්ථානය මෙන්ම ඉන් විහිදුනු ශාස්ත්‍රාලෝකය සංකේතවත් කරන මෙම මුද්‍රිකාව සම්මුඛ වී තිබෙන්නේ පලාබත්ගල වාසය කරන ඩී.තිලකසිරි මහතාටය. යම් කිසි කටයුත්තක්  සඳහා එම භූමියෙන් රැගෙන ආ පස් අතර තිබී මේ වටිනා පුරා වස්තුව හමු වී ඇත.
      ලංකාවේ පැරණි පුරාවස්තු අතර මෙවැනි මුද්‍රිකා රාශියක් හමු වේ. වෙසෙසින්ම කාසි මුද්‍රණ ශිල්යේ දී මෙවැනි අච්චු භාවිතා කරලීමේ පුරුද්දක් තිබුණි. අනුරාධපුර අබය ගිරි කැණීමෙන් හමු වූ පුරා වස්තු අතර කාසි අච්චු රාශියෙකි. කාසි අච්චු තැනීමේ දී ප්‍රථමයෙන් මැටි අච්චු වල හෝ දැලි පොතු වල අච්චු මුද්‍රාව සකස්කර ගන්නේ යයි කියති. මැටි අච්චු වල සළකුණු ලබා ගන්නේ මුද්‍රාවක් එබ්බවීමෙනි. මෙරට භාවිත වූ පැරණි තම කාසි වර්ගය හස් එබූ කහපණයි. එයද මැටි මුද්‍රිකාවකින් සකස් කර ඇත. රජ වරුන් පාලන අධිකාරය පෙන්වීමටද මුද්‍රා තැබූහ.ආනකෝට්ටේ මුද්‍රාව ද එවැන්නකි. වෙසෙසින්ම මුදල් ගනුදෙනු වලදී එම මුද්‍රාව වැදගත්වෙයි. නාගරික සභ්‍යත්වය වැඩීම පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා තිස්සමහාරාමයේ කළ ගවේශණයේ දී හා කැණීම් වලින් හමු වී ඇති මුද්‍රා විශේෂය තුල සවස්තිකය සළකුණූ කර ඇත. අනුරාධපුර ගෙඩි ගේ කැණීම් වලදී ද මෙවැනිම මුද්‍රා විශේෂ හමු වේ.  පළාබත් ගල පැරණි පුරාවස්තු භූමියෙන් හමු වී ඇති මැටි මුද්‍රිකාව ද එසේමය. එම පිරිවෙනේ වැඩ සිටි භික්ෂූන්වහණ්සේලා සිය අධ්‍යාපනය අවසන් කර ගමන් ආරම්භ කරන අවස්ථාවේ දී දුන් උපාධිය සහතික කරවනු වස් මේ මුද්‍රිකාව භාවිතා කර ඇත. එහි මැද පවතින අලෝක වෘක්ෂයෙන් මේ උපාධිය සංකේතවත් කරන්නේ යයිසිතිය හැකිය. දෙපස තිබෙන සංකේත මගින් කියාපාන්නේ පිරිවෙන ආශ්‍රයේ පැවති  ගොඩනැගිලි වල වාස්තු විද්‍යා ස්වරූපයයි. සියුම් මැට්ටෙන් තනන ලද මෙම මුද්‍රිකාව නිසැකයෙන්ම දඹදෙණි අවධියට අයත්ය. මෙම මුද්‍රිකාව මගින් කඩදාසියක තල්පතක හො මැටි පුවරුවක හෝ තබන ලද මුද්‍රාව එදා එතනනින් පිටවූ ධම්ම කිත්ති පරම්පරාවේ භික්ෂූන් වහණ්සේලා  ගේ කිර්ති නාමය සනිටුහන් කරවන්නක් වන්නට ඇත.
      මැටි මද්‍රිකාව මගින් පළබත්ගල පිරිවෙනේ අනන්‍යතාවය හෙලි වුවද මේ ස්ථානය තවමත් පුරාවිද්‍යා භූමියක් බවට පත්ව නොමැත. මෑතකදී පළබත්ගල අබිනව විහාරස්ථානය අම්බලම හා ඒඅවට ප්‍රදේශය පූජා නගරයක් කරන සැලැස්මට පවා මේ වැදගත් පැරණි නටබුන් කලාපය අයත්කරගෙන නැත. එම නිසා මෙම ඓතිහාසික ස්ථානයේ වැදගත්කම සදහටම පසට යට වන්නට ඉඩ ඇත. පැරණි පළාබත්ගල පිරිවෙන යනු කුඩා ප්‍රදේශයක් නොව ශ්‍රී පාද වට මාර්ගයද අයත් ගල්ලෙන් ද සහිත විශාල ආරණ්‍ය සේනාසනයක් බව මෙහිදී මතක් කර දියු යුතුව තිබේ.
                                                          

No comments:

Post a Comment