පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, March 7, 2012

යාන් ඔයේ ජල කඳ මුහුදට නැමුණූ-පාත් වෙන්න හැදුවේ වැව් හොය අමුණූ


                  පදවිය සහ වාහල් කඩ වැව් යුගලය ලංකාවේ මහා වාරි සමිප‍්‍රදායට අයත් විශ්මිත නිර්මාණ වෙති. එයට අමතරව මේ වැව් දෙකට වඩා කුඩා නමුත් ප‍්‍රමාණයෙන් විශාල තවත් මහා වැවක් පදවිය වම් ඇළයේ තිබූ බව ද පැවසේ. මේසා මහා දිය රඳනයන් උදෙසා පිළිවෙලින් මහා සාගරය බෑන සාගරය සහ මති සාගරය යන නාමයන් යෙදී තිබුණේ යැයි පුරාතන වාරි මාර්ග ග‍්‍රන්ථයේ සඳහන් වෙයි. පදවිය පිළිබඳ ඉතිහාසය විමසීමේ දී එහි ආරම්භය මහ සෙන් සමය දක්වා දිව යන බව පැවසෙයි. රත්මල් කන්ද නමින් සටහන්ව ඇති වැව මෙය යයි මතයෙකි. නමුත් ලංකා විශ්ව විද්‍යාලීය ලංකා ඉතිහාස කෘතියේ සඳහන් ව පවතින්නේ එය දෙවනි මොග්ගල්ලාන( ක‍්‍රි.ව. 535-555) සමයේ දී ඉඳි කරන ලද්දක් බවයි. එය කලින් ධන වාපී නමින් සිටි බවද එහි ඇතුලත් ව ඇත.
     පදවිය වැව අක්කර හැත්තෑ දෙදහස් පන්සීයක් පමණ ප‍්‍රමාණයක පැතිරී තිබෙන අතර කුඹුරු අක්කර 13000 ක් පමණ ඉන් අස්වැද්දීම කෙරෙයි. පදවිය වැවට පහළින් තිබෙන  මොරගොඩ ගමේ තිබෙන දහ වන සියවසට අයත් ටැම් ලිපියක පදොන් නරු කුළිය යයි මේ වැව හඳුන්වා දී තිබේ. පදවියට ඉහළින් ගලා එන මොර ඔය සහ මුගණු ඔය තිබෙන්නේ කුංචුට්ටු කෝරළය බදවයි. වාහල් කඩ ට ජලය සපයන තවලම් හල්මිල්ලෑව ඔය පිහිටා තිබෙන්නේ හුරුලු පළාතේ මහ පොතානේය. මේ ජල මූලාශ‍්‍ර සියල්ල නියන් කාලයේ දී සිඳී යයි. 
    වාහල් කඩ වැව පදවියට හාත්පසින්ම වෙනස්ය. එය පිහිටුවා තිබෙන්නේ හල්මිල්ලෑව ඔය ගලා යන නිමිනයේ තිබෙන කඳු වැටි කීපයක් එකට යා කරමිනි. මේ නිසා වැව් බැමි දෙකක් මෙහි පිහිටා තිබේ. ඒවා දිගින් විශාල නැත. පුරාණ කාලයේ දී වැව් බැමි දෙකට අදාලව සොරොව් දෙකක් පිහිටා තිබෙන්නට ඇතැයි ආර.එල්. බ්‍රෝහියර් මහතා සඳහන් කරයි. මේ වැව ලංකාවේ පිහිටා තිබෙන රමණිය දර්ශණයන් ගෙන් හෙබි එක් වැවකි. මෛත‍්‍රීපාල සේනානායක මහතා විසින් 1973 දී මේ වැව නැවත පිළිසකර කරන කල්හි මින් එක් බිසෝ කොටුවක් ක‍්‍රියාත්මක කරලීම පසුවට කල්තබා තිබුණි. ඒ නිසා එක් ප‍්‍රදේශයකට වාරි ජලය තවමත් සැපයෙන්නේ නැත.
      වාහල් කඩ වාන්දමන කල්හි එහි ජලය පැන්නුමකින් පිට නොගොස් ආපසු මොර ඔයට එකතු වී පදවිය වැවට පාත් වූ බව පැරණියන් පවසති. මොර ඔය හරස් කර නැබඩ වැව ආසන්නයේ දී අමුණක් බැඳ ඔයේ ජලය වාහල් කඩට ගෙන ගොස් තිබුණි. මෙය යෝධ ඇළකි. මේ අමුණ අසළ ඉරිපින්නියාව නමැති ගමේ තිබෙන දෙවන සේන රජු ගේ කාලයේ දී සිටුවන ලද ටැම් ලිපියක මේ අමුණ ගැන කියැවී ඇත. එහිදී මේ ප‍්‍රදේශය හඳුන්වා දී ඇත්තේ සුළින්නරුගම යනුවෙනි. පදොන්නරු හා සුළින්නරු යනනාම දෙක අනුව මහා සාගරය හා බෑන සාගරය යන්නෙහි සත්‍යතාවයක් ඇතැයි කල්පනා කළ හැකිය. එහිදී සුළින්නරු යනුවෙන් යොදා ඇත්තේ වාහල්කඩ වැවට බව නිසැකය.පෙර සිරිත් සකුර් වඩා හොය කොඩැ බද්බන්දවන්නට්යනුවෙන් සඳහන් සෙල් ලිපි වැකිය මගින් තේරුම් කර දී ඇත්තේ පසු කාලයකදී රජ වරු මේ වාරි මාර්ග නැවත බන්දවන කල්හි පෙර සිරිතටම අනුව කළ බවයි.
         මති සාගරය යනුවෙන් සඳහන් කළ හැකි වැවක් අද දක්නට නොතිබුණද වවුනියාවට මෑතින් තිබූ විශාල වාරි මාර්ග ව්‍යාපාරයක් පිළිබඳ සටහනක් සිතියම් වල අන්තර්ගතය. පදවිය වැවේ වම් ඇළයේ එය පිහිටා තිබුණි යයි සිතිය හැකිය. මෙය නම්බකඩ වැව යයි බ්‍රෝහියර් මහතා හඳුනා ගෙන ඇත. මුගුණු ඔය ඉස්මත්තේ  ඉඳි ගොල්ලෑවෙන් හරස් කර අමුණු බඳවා යෝධ ඇළක් මගින් මෙයට ජලය ගෙන ගොස් ඇති ආකාරය සිතියම් වල දක්නට හැකිය. මේ නිසා වවුනියාවේ විහාරස්ථානයන්හි භික්ෂූන් වහණ්සේලා මේ සාගර තුනේ ජලයෙන් සිය පාත‍්‍රා සෝදා ගත්තා යැයි කියැවෙන ජනප‍්‍රවාදයේ සත්‍යතාවයක් ඇතැයි සිතිය හැකිය.
      හුරුලු පළාත හරහා ගලා යන ප‍්‍රධාන ජල මූලාශ‍්‍රය යාන් ඔයයි. හබරණ රිටිගල කඳු වැටි ආශි‍්‍රිතව පටන් ගෙන පුහුල්මොටේ දක්වා දිවයන මේ ඔය හරස් කර  මහා වැව් තනවා තිබී ඇත්තේ ස්ථාන දෙකකින් පමණි. එකක් හුරුල්ල නොහොත් හුරුලු වැවයි. එය මෑත කාලයේ දී පිළිසකර කර ඇත. අනෙක හම්බාරයාගම වැවයි. එය පිහිටා තිබෙන්නේ හොරොව්පතාන ආසන්නයේ ය. එය දැනට වල්වැදී තිබේ. නමුත් වාහල් කඩ වැනි ප‍්‍රධාන මහා වැවක් පවා සාදා තිබෙන්නේ තවලම් හල් මිල්ලෑව නමැති කුඩා ඔයක් හරස් කරලීමෙනි. මෙයට හේතු භූත වූ රහසක් තිබිය යුතුය.
        යාන් ඔය වසරේ අවස්ථා ගණනාවකදීම ගං වතුරාවට පිරී ඉතිරී පිටාර ගලයි. එහිදී යාන් ඔය පහළ නිම්නය  සැමවිටම පිටාර තැනිතලා බවට පත් වෙයි. සෝදා එන රොන් මඩ සාරවත් පස ආදිය මේවායේ තැන්පත් වෙයි. මේ නිසා මේ පිටාර තැනි මග හැර මහා වැව් තැනවීමේ ශිල්පයක් මෙන්ම සාරවත් ප‍්‍රදේශ පසු බිම් කර ගෙන මහා ගොවි ගම්මාන පිහිටුවාලීමේ බලවත් වුවුමනාවක් පැරණියන්ට තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. පදවිය වැව ඉස්මත්ගේ තිබෙන සමස්ත වැව් කලාපයම ගත් කල්හි  උල්පත් වලින් පෝෂණය වන්නකි. පුංචි උල්පත් නොහොත් කුංචුට්ටු නමින් කෝරළය නම් කර තිබෙන්නේ මේ නිසාය. ඒ අනුව කුඩා වැව් විශාල සංඛ්‍යාවක් මේ පදවියට ජල පෝෂක ප‍්‍රදේශ බවට පත් වෙයි. පදවියට පහළින් වුවද තිබී ඇත්තේ ද මෙවැනිම වූ වැව් රාශියෙකි. මේවා පිරී ඉතිරී ගිය පසු පදවියට පහළින් ඇති මා ඔයට ඔයට පාත් වන අතර වන්නචිචි අමුණ( රිදී බැදිල්ල) මගින් නැවත ජලය  රඳවා උතුරු දෙස තන්නි මුරුප්පු කුළම ට ජලය ගෙන යාමේ ක‍්‍රමයක් පණ ගන්වා තිබිණ.
      යාන් ඔය පහළට ගලා බස්නා කල්හි ඒවායේ දිය දහර ද නොයෙකුත් අකාරයෙන් හරවා ගෙන ගෙස් ඇත. වෙසෙසින්ම හොරොව්පතාන ඉස්මත්තේ තිබෙන වැව් පද්ධතියට ජලය පුරවා ගැනීම ද ඒ ජලය ක‍්‍රමයෙන් පාත්කරමින් යෝධ ඇළ වල් ඔස්සේ වාහල් කඩ සහ පදවිය දක්වා ගෙන යාමද පෙන්වා දිය හැකිය. මේ සඳහා යාන් ඔය දිගටම සාදා ඇති අමුණු රාශියෙකි. කොක් එබේ සිට ම මේ අමුණු වල නටබුන් දක්නට හැකිය.  වාහල්කඩ දක්වා ජලය ගෙන යන ජල මාර්ගය ආරම්භ වන්නේ වඩිගවැව ආසන්නයෙනි. මෙහිදී බැඳි අමුණ ක් ආශ‍්‍රයෙන් ජලය ගෙන වඩිග වැව තිරප්පන් කඩවල මරදන් කඩ වල සිට රළපනාව වැව දක්වා ද ඉන් අනතුරුව ගමන් ගත් යෝධ ඇළ නබඩ වැව පසුකර අඹ ගස් වැව ට වැටේ. අඹ ගස් වැව සිට මූකලාන හරහා කපු ගොල්ලෑව වැවට වැටෙන ජලය එම වැව ඉස්මත්තේ තිබෙන පැන්නුමකින් පසු පත්තෑව ඔස්සේ තාමර වැවට ගමන් ගනී. තාමර වැව පුරාණ විහාර ගමකි. එලෙසම ගබඩා වැවකි. එය පිහිටා තිබෙන්නේ වාහල් කඩ වැවේ ප‍්‍රධාන ජල මූලාශ‍්‍රය වන තවලම් හල් මිල්ලෑව ඉස්මත්තේය. එවිට මෙසේ යෝධ ඇළ දිගේ ඇදී එන ජලයට වාහල් කඩට පාත් වන්නට ඉතා පහසුවෙන් ඉඩ හසර ලැබේ. එසේම ඉන් පසුව ආඬියා වැව මාවත වැව හරහා පදවියට යන්නට ද බාධාවක් නැත.
        මේ ඇළ මාර්ගය ගමන් ගන්නා අතර තුර යට සඳහන් කළ වැව් වලට අමතරව ඒ ප‍්‍රදේශයේ නොයෙකුත් කුඩා වැව් පෝෂණයට මේ ජලය උපකාරි වේ. කුඩා වැවක් යනු පොල්කටුවක් වැනි ජල ගොට්ටක් යයි වර්තමාන වාරි මාර්ග නිළධාරීන් කල්පනා කළහ. ඒ නිසා ඔවුන් නිරන්තරයෙන් පැවසූයේ මේ වැව් උලුප්පා මහා ජලාශයන් පමණක් ඉඳි කරන ලෙසය. නමුත් වැවක පෝෂක ප‍්‍රදේශය ජල උල්පත් ආදිය සලකා බලන කල්හි මේ වැවි වල ජීවමාන ස්වරූපයත් වටිනාකමත් තේරුම් ගත හැකිය. දැනට මේ පළාතේ පානීය ජලය සපයා ගැනීමට ඉතිරී වී තිබෙන එකම ජලාශය වාහල්කඩ වැව බවට පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ. කෘෂි රසායන භාවිතය සීඝ‍්‍ර ලෙසට වර්ධනය වුවද ඉස්මත්තේ පවතින මේ කුඩා වැව් වල ජල පෙරහනය නොහොත් කැලෑ සමූහය නිසා මේ සුවිශේෂී තතවය උදා වී තිබේ.
     වාහල් කඩ දකුණු ඉවුරේ පැරණි සොරොව්වෙන් පටන් ගත් ඇළ මාර්ගය යාන් ඔය නිමිනයේ පහළ කොටස අස්වද්දා ඇත. ඊට අමතරව එබේ ඇළ හා යාන් ඔය එකට හමු වන දෙමෝදරට පහළින් තිබෙන තවත් අමුණු දෙකකින් ජලය නැවතත් නිම්නයට ලබා ගෙන කුඹුරු අස්වද්දා තිබෙන බව පෙනේ. මේ අමුණු ලංකාවේ විශිෂ්ඨ වාරි ශිල්පය විදහා දක්වන නිර්මාණයන්ය. ඒවා තවමත් සංරක්ෂණය කොට නැත. යාන් ඔය ඉහළ නිම්නයේ හොරොව්පතාන ආසන්නයේ සෙල්ලිගෙ ඔය හරස් කර තනවා තිබෙන හම්බාරයාගම වැව අද නටබුන් ව තිබුණ ද එයද ගබඩා වැවක් වශයෙන් තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. එසේම දුටු වැව ආසන්නයෙන්  සාදා තිබූ අමුණ ක් නිසා ඉස්සෙන ජලය යාන් ඔය පහළ නිම්නයේ දකුණු ප‍්‍රදේශයට ගෙන යන්නට ඇතැයි ද කල්පනා කළ හැකිය. මේ සියල්ල ඉතා සූක්ෂම ලෙසට සංවිධානය කර තිබෙන්නට ඇත්තේ සාරවත් නිම්නයන් තුල කුඹුරු අස්වැද්දීමෙන් ලබත හැකි ප‍්‍රතිඵල ගැන කල්පනා කොට විය හැකිය. වර්තමාන සංවර්ධන ක‍්‍රියා දාමයන් තුල දී මේ මූල ධර්මයන් නොසලකා හැර ඇත. යාන් ඔය පහළ නිම්නයට යෝජිත ජලාශය පවා සැලසුම් කර තිබෙන්නේ මේ පෙර සිරිත් නොසලකා හරිමිනි. ඒ මගින් පෙර සඳහන් කළ කුඩා වැව් විසි එකකට වඩා වැඩි සංඛ්‍යාවක් උළුප්පා දැමීමට නියමිතය. මෙහිදී පැරණි අමුණූ ශිල්පයත් වැව් පද්ධති ක‍්‍රමයක් නැවතත් පණ ගැන්වූයේ නම් දැනට වන ගතව තිබෙන වැව් දෙසිය හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක්  පණ ගන්වා ලමින් පුහුල් මොටේ දක්වා වූ මහා සංවර්ධන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකිවනවා නියතය.ඒ සඳහා අවශ්‍ය වන්නේ දේශීය දැනුමත් වුවමනාවත් පමණි.

                                                            

No comments:

Post a Comment