පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, March 24, 2012

චෞර දේශපාලනය හා ලංකාවේ අනාගතය


                                                    තිස් වසරක යුද්ධය නිමා වී සාමය උදා වී ඇති මොහොතක රටට විරුද්ධව ජගත් මානව හිමිකම් සැසියේ දී සම්මත කර ගෙන ඇති යෝජනාව  අනුව ඉතා ඉක්මනින් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ රජය විසින් ඉටු කළ යුතුය. ඒ අනුව පළාත් සභා ව්‍යුහය ඉක්මවා යන බලය බෙදීමකට රජය ප්‍රවිශ්ඨ විය යුතුය. එසේ නොවුණහොත් ඊළග පියවරක දී රජයට එරෙහිව සමිබාධක පැනවීමට හෝ ආරක්ෂක මණ්ඩලය ඉදිරියේ යෝජනාවක් සම්මත කර ගැනීමට වුවද පිළිවන. මේ තත්වය සුලු වෙන් තැකිය හැකි නොවේ. මේ අවස්ථාවේ දී සිහිපත්වන්නේ දහනම වන සියවසේ මුල් භාගයේ දී උඩරට ඇති වුන දේශපාලන පරිසරයයි.  ශ්‍රී වික්‍රම රාජසිංහයන්  ජනතාවට එපාවන තරමට අප්‍රසාදයට පත්ව සිටියහ.  1912 දී සුද්දන්ට පහර පිට පහර දී උඩරටින් එළවා රට බේරා ගන්නට ඉදිරිපත්වූයේ ද මේ රජුය. නමුත් ඔහුගේ හිතුවක් කාරී කියා පිළිවෙත නිසා රදළයින් රජුගෙන්  ඈත් විය. නිරපරාදේ රදළයින් සහ භික්ෂූන් වහණ්සේලා ඝාතනය කරලීමට අණ දීම නිසා රජු කෙරෙහි වෛරයක් ජනිත විය. 1815 වසරෙ දී  මැද මහනුවර දී රජු අන්ත අසරණයෙකු ලෙසට ඉංග්‍රීසීන්ට කොටු වන්නේ මේ පසු බිම දිනෙන් දින වර්ධනය වී මෝරා යාමෙනි.
     වත්මන් ජනාධිපතිවරයා කොටින්ට එරෙහිව යුද්ධයට නායකත්වය දෙමින් බටහිර න්‍යය පත්‍රය පවා වෙනස් කළ පුද්ගලයෙකි. එවක ජනතාව සිටි ස්ථාවරත්වයට ඔහුට නිරායාසයෙන්ම පැමිණෙන්නට සිදු විය. ඔහු කළ විශිෂ්ඨතම සේවය නම් ජනතාව විසින් ( ජාතික බල වේග) ගොඩ නැන් වූ යුධ පෙරමුණ ශක්තිමත්ව ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යාමයි. නමුත් වසර තුනකට පසුව මේ ජයග්‍රාහී දේශපාලනය අවතීර්ණ වී ඇත්තේ කොතනකටදැයි සිතන විට නැවතත් මතක් වන්නේ 1912න් පසුව උඩරට රාජධානියේ ඇති වූ සිද්ධි සමූහයයි. වත්මන් ඇමති වරු නොහොත් රදළ වරු ක්‍රමයෙන් අන්ත දූෂිත තත්වයකට ඇද වැටී ඇත. ඔවුන් ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ මත් ද්‍රව්‍ය වෙළෙඳාමයි.. රජයේ කොන්ත්‍රාත් මෙන්ම විවිධ තනතුරු ද සිය හිතවතුන් සන්තකයේ තබා ගන්නා අතර අල්ලස් ගැනීම් කප්පම් ගැනීම් වශයෙන් විවිධ දූෂිත ක්‍රියා වල ද නියැලෙති. කහවත්තේ ද්වීත්ව ඝාතනයෙන් පසු මේ සියල්ල පැහැදිළි විය. රජයේ ඉහළ පුටුවල සිටින්නන් ගේ දූෂිත ක්‍රියා ආදර්ශයට ගන්නා ප්‍රාදේශීය දේශපාලකයින් නායකයින්ටත් වඩා හොඳට ඒ සියල්ල සංවර්ධනය කරති. ඒ අතර දේශපාලකයින්හට රජ වීමට තිබෙන ආශාව වඩාත් කැපී පෙනේ. කටු ගේ කඩා අසිපත් හා මුදු සොරකම් කිරීම භික්ෂූන් වහණ්සේලා ඝාතනය කොට අසිපත් සෙවීම උතුරු මැද පළාතේ පතස් පොකුණූ හාරමින් දාගැබ් බිඳවමින් ඔටුනු හා වෙනත් රාජ කකුධ භාන්ඩ සෙවීම දිනෙන් දින වර්ධනය වන අපරාධයන්ය.
      ලක් රාජාවලිය අභිමානවත් පරපුරක ඉතිහාසය ගෙන හැර දක්වන්නකි. එහි මිණි මුතු වැල් මෙන්ම බොරලු කැට ද හමුවෙයි. ලංකාව කුඩා දිවයිනක් වුවද එයට සරිලන ශිෂ්ඨාචාරයක් මෙන්ම ආර්ථික සමෘධියක් ද ළගා කර ගන්නට  රජ වරු සමත් ව සිටියහ. එකල ඉන්දියාව හා සහ සම්බන්ධව ගොඩ නගා ගත් ඥාති බැඳීම මේ සමෘද්ධියට එක් හේතුවක් විය. දඹදිව නෙහොත් ඉන්දියාවේ සූර්ය වංශයේ ශාඛාවක් ලෙසින් නමුත් වෙනම අනන්‍යතාවයකින් යුක්තව ගොඩනැගුණූ මහාවංශයක් මෙරටට හිමි විය. පසුකලක උභය කුලපාරිශුද්ධතාවය නැතිව  ගොස්  සුලුවංශයකින් ද රට පාලනය විය.  
    ලංකාවේ රාජ්‍ය පාලනයට පදනම් වූයේ දශ රාජ ධර්මයයි. මෙහි අවසන් රජතුමා සිංහලයෙකු නොවේ. ඔහු නායක්කර් වංශිකයෙකු විය. දාහත් වන සියවසෙන් පසුව ලක් රජාවලියේ  බිඳ වැටීම නිසා මෙලෛස වඩුගයින් බලයට පත් වුවද රාජකීය සම්ප්‍රදායන් ආරක්ෂා කරලීමට රජු ගිවිස සිටියහ.  උඩරට බ්‍රිතාන්‍යයන්ට යටත් වීමට පෙර ලන්දේසි ආණ්ඩකාරවරයෙකුව සිටි විලෙම්  ෆැල්ක් විසින් මහනුවර මල්වතු විහාරයට ඉදිරිපත් කරන ලද ප්‍රශ්ණ මාලාවකට මල්වතු විහාර සංඝසභාව විසින් 1769 වර්ෂයේ දී දෙන ලද පිළිතුරු ලංකාවේ රජ සිරිත් හා ලෝක චාරිත්‍ර නම් ග්‍රන්ථයේ ඇතුලත් ව ඇත.   මේ රජ සිරිත් අනුව ලංකාවේ රජ කෙනෙකු හිතුවක් කාර පාලකයෙකු නොවීමට බලපාන ප්‍රධාන කරුණු රැසක් පෙන්වා දී තිබේ. ඒ අතර දන්දීමය සිල් රැකීමය තෑගි දීමය සෘජු භාවය මැදහත් භාවය තපස් ඇති බවය ක්‍රෝධ නොකිරීමය හිංසා නොකිරීමය ක්ෂමා වීමය අවිරුද්ධ බවය යන දශ වැදෑරුම් සාරධර්මයන් වෙති. මේ අනුව රටක් පාලනය කරන්නා රටෙහි සුඛිත මුදිත භාවය කෙරෙහි සිත යොමුකරමින් කරන සේවය රට වැසියා අගය කළහ. ඔවුන් රජු දෙවියෙකු විලස අගයන්නේ එහෙයිනි. එසේම රජුගේ ධාර්මික පාලනයට නාථ දෙවියන් ගේ අවේශය ඉවහල් වන්නේ යයි මධ්‍ය කාලීන රාජ්‍ය සංස්ථාව දැඩි ලෙසට විශ්වාස කළහ. එම නිසා රජුගේ අභිශේක මංගල්ලය සිදුකරන ලද්දේද නාථ දෙවාලය ඉදරිපිටදීය .පාලකයා දශරාජධර්මයෙන් රට පාලනය නොකරන්නේනම් ඔහු නිරයට ගමන් කරන්නෙක් බව ප්‍රකාශ වී ඇත. මේනිසා රජවරු වුවද පවට බිය වූහ. එතුමන්ලා භික්ෂූන් වහණ්සේලා ගේ අවවාද අනුශාසනා අනුව රට පාලනය කළහ. ජන සම්මතවාදය නොමැති යුගයක පවා රටෙහි සාමය පැවතියේ ද රට දියුණූ වූයේ ද මෙලෙස රජකම පාලනයකට යටත් වූ බැවිනි. නමුත් මේ සම්ප්‍රදාය සැම විටම එක විලස ක්‍රියාත්මක වූයේ නැත. විවිධ සතුරු ආක්‍රමණ හමුවේ ඇති වූ බල පෑම් මධ්‍යයේ රට ආරාජික වූ විට බලවත් පාලකයෙකු ගේ නැගීම ඇති වීය මහා පරාක්‍රම බාහු විජය බාහු ආදීන් ගේ බල ප්‍රාප්තිය සිදුවූ යේ එලෙසය.ඔවුන් සියල්ලම රාජ වංශිකයින් බවට සහතිකයක්ද විය.
     රජ කෙනෙකුට කුමාරවරු කීපදෙනෙකු ඇත්නම් කෙසේද යන්න මල්වතු හිමියන් ගෙන් විමසූ විට උන්වහණ්සේ දුන් පිලිතුර මෙසේය. රාජ කුමාරවරුගෙන් ගෙන් වැඩි මහලු බාල පිළිවෙල රජ කමට නියමයක් නොවෙයි. රජ කමට නියමය නම් ගුණ නුවණ පින් ඇති බව ය. රජ්ජුරුවන් වහණ්සේ කෙනෙකු හැසිරෙන්ට ඕනෑ වූ අඥාවලුත් අද්ද යන වග විමසූ විට දුන් පිළතුර මෙසේය. රාජ්‍යස්‍ය මූලංඉන්ද්‍රියං ජයං කියා නීති ශාස්ත්‍රයෙහි මුලටම දැක්වූ හෙයින් රට ආණ්ඩු කිරීමට මුල් වූයේ පංචේන්ද්‍රියන් ජය ගැන්මය. පංචේන්ද්‍රිය නම් ඇසය කණය නාසය දිවය ඇඟය යන මේ පසයි. මොවුන් ගේ ජය ගැන්ම නම් ඇසින් දුටු අන් සතු ස්ත්‍රීන් ආදී වස්තුවටද කනින් අසන කේලාම් ආදී නපුරු තෙපුල් වලටද මෙකී දේට නො ඇල්මය. නොකීපීමය. නාසය දැනෙන ගන්ධයට ද දිවට දැනෙන රසයටද ඇඟට දැනෙන සැපයටද වඩාත්  නොඇලීමය. .
    මේ ආකාරයෙන් බලන කල්හි අසිපතක් හෝ වෙනත් රාජ කකුධ භාණ්ඩයක් ගෙන කෙනෙකුට රජ වන්නට  පුලුවන් නම් එය රජ්‍යයක විනාශයේ ආරම්භය වෙයි. වස්තු තණ්හාවෙන් සහ රාජ්‍ය ලෝභයෙන් සිටි සිරිනාග නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු ගැන සද්ධර්මාලංකාර කතා වස්තුවේ තිබේ. ඔහු රජ්‍යත්වය හා බලය ලබා ගැනීම පිණිස අනුරාධපුරයේ දකුණු දාගැබ බිඳවන්නට උත්සාහ කලේය. මේ දාගැබ ආරක්ෂා කරන හෙල්ලොලිය නම් ගමේ ප්‍රධානියා ද අවනත කරගන්නට උත්සාහ කලේය. නමුත් පවට තිබෙන බිය නිසා ඔහු ඊට අකමැති විය. මේ ප්‍රධානියා ඇතුලු පිරිස උල හිඳුවා මරණ ලද අතර සිරි නාග වෙනත් දාගැබ් රාශියක් බිඳවා  වස්තුව එක් රැස් කොට ජන බලය ද ගෙන රජ්‍ය  පැහැර ගත්තේය. නමුත් ඔහුට යහතින් සිටින්ට නොහැකි විය. අවසානයේ දී තමන් කළ අකුසල කර්මයන් පලදී තමන් විසින් තමන්ගේම   බඩ පලා ගෙන නිරයට ගියේය. එහි විපාකයන් සද්ධර්මාලංකාරයේ සඳහන්ව ඇත්තේ මෙසේය.
      යම් කිසිවෙක් බුදුන්ගේ උතුම් වූ ශාරීරික ධාතු පිහිටුවා බැඳි දාගැබක් බින්දේ නම් එසේ වූ පව් කළ තැනැත්තන් පාපිෂ්ඨ වූ සිරි නාගයන් පරිද්දෙන් ම අවීචි මහා නරකයේ උපදන්නේමය. තවද යම් කිසි වෙක් බුද්ධ රූපවල අත් පා කන්නසා සිඳ බිඳ නැසූයේ නම් එවැනියන් එපරිද්දෙන්ම මෙම ජාතියෙහි බෙහෝ දුක් විඳ නිරයේම උපදනේය. තවද යම් කිසි කෙනෙකුන් සංඝයා වහණ්සේට කිසියම් අපරාධයක් කලාහු වී නම් එසේවූ සත්වයෝ නරක තිර්‍ය්‍යයක් ප්‍රේත අසුර කාය යන සතර අපායෙහිම මහ දුක් විඳිනාහුමය.
     අපේ බණ පොත් වල මෙසේ අකුසලයෙහි අදීනවයන් පෙන්වා දදෙන ලද්දේ ජනතාව මෙන්ම රජවරු ද සාර ධර්මයන් කෙරෙහි පිහිටුවීමටය. ධාර්මිකව රට කරවීමට නම් රටේ පාලකයා මෙන්ම ඇමතිවරුද ආදර්ශමත් විය යුත්තේය. දැන් සිදු වන්නේ එහි අනෙක් පැත්තය. ඇමතිවරු සහ ප්‍රාදේශිය දේශපාලකයින් දූෂිත ක්‍රියා වල යෙදෙන විට එම පුද්ගලයන් ආරක්ෂා කර ගැනීමට රජය ඉදිරිපත් වේ. මෙහිදී රට වැසියා මෙය තේරුම් ගන්නේ තමන්ට ලැබුණු අවස්ථාවක් ලෙසටය. එවිට පවට බිය වීම පැත්තකින් තබා මංකොල්ල කෑම් වල හා විවිධ අපරාධ වල යෙදෙන්නට පෙළඹිමක් ඇති වේ. බොර දියේ මාලු බෑමට බලා සිටින විදෙස් බල වේගවලට ද මෙය හොඳ අවස්ථාවකි.  රජය ජාත්‍යන්තරයට ඇට වූ උගත් පාඩම් උගුලේ දැන් රජය ම හිරවී ඇත. ලංකාව බිත්තියට හේත්තුකර ඇත. දෙදහස් දොළහ වර්ෂය ද ගෙවී යමින් පවතී. විදේශ ආධිපත්‍ය නිසා රටට නිදහස අහිමි වී දෙදහස් පහළොව වසරට වසර දෙසීය සම්පූර්ණ වෙයි. නිදහස ද යටත් වීමද යන්න තෝරා ගැනීමට තිබෙන හොඳම අවස්ථාව මෙයයි.  
                                                                              

No comments:

Post a Comment