පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, August 26, 2017

බළන්ගොඩ ගල්ලෙනකින් හමු වූ යකාගේ සිතියම

                          


             ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අලෝකමත් කරන බොහෝ සාක්ෂි පසුගිය කාලයේදී සපරගමු පළාතෙන් ලැබිණ. මහාචාර්ය ශිරාන් දැරණියගල කල්තොට ආසන්නයේ බෙල්ලන් බැඳි පැලැස්සේ කරන ලද කැණීමකින් ආරම්භ කරන ලද මේ ගවේශණයන් බෙහෙවින්ම සම්පූර්ණත්වයකට පත් කරන ලද්දේ මහාචාර්ය රාජ් සෝමදේවයන් විසිනි. බළන්ගොඩ කූරගල බිම්තැන්නේ කිරිමකුල්ගොල්ල ගල්ලෙනක තිබූ අප්‍රකට ලෙන්ලිපියක කෙටි පාඨයකින් ඔහු මෙම පැරණි යුගයේ අයිතිකාරයන් වන්නේ යක්ෂයන් බවට විශේෂ අනාවරණයක් කළේය. එයින් නොනැවතුණු මහාචාර්ය වරයා  හල් දුම්මුල්ල හුණු ගලා ගල වැනි ගල්ලෙන් කැණීම් වලට ලක් කරමින් මෙම සංස්කෘතියේ සුවිශේෂතා කුමක්දැයි ශාස්ත්‍රීය දත්ත මගින් පෙන්වා දෙන ලදී. මෙම සංස්කෘතිය අවම වශයෙන් වසර හයදහසක් පැරණි බව ඔහු කාබන් නිර්ණයන් මගින් සනාථ කලේය.එසේම හුණු ගලා ගල කැණීමෙන් හමු වූ පුරාණ යාතු කර්ම සඳහා භාවිත වූ යෝනිගල අතීත මානවයාගේ දැනුම් පරාසය මෙන්ම සභ්‍යත්වය පිළිබඳවද ඉඟි පළ කළ බව සඳහන් කළ යුතුය. මීට වසර දෙකකට පමණ පෙර සිට ඔහු බළන්ගොඩ ඉළුක් කුඹුර ආසන්නයේ ලුණු ගල්ගේ අළු ගල්ගේ  සහ වවුල්ගල්ගේ  යන ස්ථාන වල කැණීම් වල නිරතව සිටී. එහිදී අනාවරණය වූ විශේෂතම කාරණය නම් මීට වසර හයදහසකට පමණ පෙර ලංකාවේ පුරාණ මිනිසුන් භාවිත කළ ධාන්‍ය වර්ග 35 ක් පිළිබඳ උද්භිද විශ්ලේශණයකට ප්‍රවිෂ්ට වීමයි. අඩක් පිලිස්සුනු වී ඇට සහ ධාන්‍ය මගින් කියැවෙන්නේ පුරාණ මිනිසා ගේ ආහාර සංස්කෘතියේ විවිධත්වයයි.දැන් ඔහුගේ නවතම සොයා ගැනීම සමාජය ඉදිරියේ අනාවරණය වී ඇත. බළන්ගොඩ ඉළුක් කුඹුරට නුදුරු පරගහමඩිත්ත පින්නගල කන්දේ බාදාහේන ගල්ගේ නම් ස්ථානයේ තිබී පුරාණ යක්ෂ ගෝත්‍රිකයන් විසින් නිර්මාණය කළ භූමි දර්ශනයක් නිරාවරණය කරගෙන තිබේ. මෙ සටහන ලියැවෙන්නේ ඒ සඳහාය.

          පරගහමඩිත්ත ගම්මානයට පිවිසිය හැකි මාර්ග දෙකක් ඇත. එකක් නම් ඕපනායක උඩවෙල මං සන්දියෙන් හැරී අකරැල්ල හරහා පරගහමඩිත්තට පැමිණීමයි. නැතහොත් බළන්ගොඩ ඉළුක් කුඹුර පනාන මාර්ගයේ පැමිණ පරගහමඩිත්තට ළඟා විය හැකිය.මෙම මාර්ග දෙකම සංවර්ධන නුවූ ග්‍රාමීය මාර්ගයන්ය.පරගහමඩිත්ත බාදාහේන ගල්ගෙයට පිවිසීමට ඉතා දුෂ්කර අඩිපාරක් ඔස්සේ පල්ලම් බැසිය යුතුය.මහාචාර්ය සෝමදේව මහතා ඇතුළු ශිෂ්‍ය කණ්ඩායම උදේ හවස මෙම අඩි පාර දිගේ පහළ ඉහළට යමින් කරන ගවේශණයට ගම්මුන් ගෙන් ලැබෙන සහයෝගයද ඉතා උසස් මට්ටමක පවතී. පරගහ මඩිත්ත පරමදර්ශනාරාමයේ පූජ්‍ය ගල්ඉන්නේ ධම්ම දේව ස්වාමීන් වහන්සේ ගේ මග පෙන්වීම යටතේ මහචාර්ය තුමන්ට ලැබෙන සහාය නොවන්නට මෙම අපූරු ගල්ගෙය සොයා ගැනීම ද දුෂ්කර විය හැකිව තිබුණි.
          මීටර දෙසීයක් පමණ එක දිගට දිවෙන බාදා හේන ගල්ලෙන පින්නගල කන්දේ පාමුළ පිහිටා ඇත. මීට කලින් මහාචාර්ය සෝමෙදේව මහතා විසින් ගවේශණය ට ලක් කළ අළුගල්ගේ මෙම කන්දට ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටා තිබේ. ඒ අනුව නිගමනය කළ හැක්කේ මෙම කඳු වැටි සියල්ලකම බෑවුම් වල පැරණ මානවයාගේ වාසස්ථාන පිහිටා තිබෙන බවයි. පසුගිය මාසයේ මහාචාර්ය සෝමදේව මහතා ඉළුක්කුඹුරට නැවත පැමිණි පසු වවුල්ගල්ගේ  කැණීම් පටන් ගෙන ඇත. එම කැණීම් වලින්ද ධාන්‍ය වර්ග ගල් ආයුධ විශාල ප්‍රමණයක් මේ වන විට ලැබී ඇත.එසේම ලුණුගල්ගෙයින් ලැබුණු සිදුරු කීපයක් සහිත ගලට සමාන  ගලක් වවුල් ගල්ගෙයින්ද   ලැබීමෙන් ඇති වුණු කුතුහලය ඉමහත්ය. මෙතෙක් එවැනි ගල් ගැන තිබූ මතය නම් කැකුණ තැලීම සඳහා යොදා ගත් පහසු උපකරණයක් බවයි. නමුත් මහාචාර්ය තුමා සිය පරිකල්පනය මගින්  මෙම ප්‍රහේලිකාව විසඳන්නට ගත් උත්සාහය මත නව මතයක්ද ඉදිරිපත් කර තිබේ. ඒ නම් සෘතු භේදය හඳුනාගන්නට  පැරණියන් අහසේ තරුරටා ගලේ කොටවා යොදාගත් බව කියැවෙන මතයයි.එලෙස තරු රටා යොදාගත් පුරාණ මානවයන් ලෝකයේ විවිධ තැන් වල විසූ බව විද්‍යාඥයන් පෙන්වා දී ඇත.වවුල් ගල් ගේ කැණීම් වලින් පසු බාදාහේන ගල්ගේ ගවේශණයට යොමු වන්නට හේතු වූයේ ගැමියන් ගෙන් සහ පරගහමඩිත්ත විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ගෙන ලැබුණු ඔත්තුවක් අනුවයි. මෙහිදී  මහාචාර්ය තුමා ගේ මහත් කුතුහලයට ලක් වූයේ ගල් ලෙන මධ්‍ය යේ පැවති තරමකට විශාල  පිහිටි ගලක කොටන ලද සිදුරු සමූහයක් ඇස ගැටීමෙනි. මීට කලින් මෙවැනි ස්ථාන ගැන වාර්තා තබන මහාචාර්ය ශිරාන් දැරණයගල මහතාගේ අදහසද වූයේ පැරණි මානවයා විසින් මෙවැනි ගල් සිදුරු කැකුණ තැලීමට භාවිතා කළ බවයි. එහෙත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඊට වෙනස් මගක යමින් නව මතයක් දැන් සමාජ ගත කර තිබේ.එය මෙසේය.

    පැරණි මානවයා විසූ ගල්ලෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් රාශියක් විසිවන සියවසේ ලෝක ප්‍රකට පුරාවිද්‍යඥයන් ගේ පරීක්ෂාවට ලක්ව තබෙනවා.පුරාණයන්ගේ භූමි දර්ශන සටහන් ගැන ඔවුන් විශෙෂයෙන්ම ගවේශණය කරමින් නිශ්චිත අදහස් සමාජ ගත කර තිබෙනවා.කැතරිනා ස්මිත් නම් විද්‍යඥවරිය  (prehistoric cartography ) නම් නිබන්ධනයේ ගල් වල සහ මැටි පුවරු වල කොටන ලද භූමි දර්ශන ගැන අදහසක් පළ කොට තිබෙනවා 1920 දී මෙම ශිලා සටහන් ගැන කළ ගවේශණ එම කෘතියේ අන්තර්ගතයි.මෙම විද්‍යාඥයන් මේ සටහන් සඳහා යොදන්නේ ස්වප්න දර්ශන නාමයයි. පරගහමඩිත්ත බාදාහේන ගල්ලෙනෙන් අප මතු කරගත් සිදුරු සහිත පිහිටි ගල ලංකාවේ ප්‍රථම වතාවට හඳුනාගත් එවැනි භූමි දර්ශනයක් ලෙසට දැක්විය හැකියි.  දැන් මෙම භූමි දර්ශනය අප ප්‍රස්ථාර ගත කරමින් සිටිනවා. මෙම භූමි දර්ශනය මගින් හෙළිවන වැදගත්ම කාරණය නම්  කඳු වැටි බෑවුම් වල ජීවත් වූ අතීත මානවයා  ආහාර සහ දඩයම් සොයා යෑමට සහ භූමිය බෙදා හදා ගැනීමට කළ කළමනාකරණයි.  මෙම  සිදුරු සහිත ගලෙහි ස්පර්ශ ලාංඡනයත් අඳිනු ලබන  ප්‍රස්ථාරයත් අන්තර්ජාල සිතියම් මත ප්‍රක්ෂේපණය කිරීමෙන් මෙම ජීවන රටාව විද්‍යාත්මකව තේරුම් ගන්නට අප ඉදිරියේ බලාපොරොත්තු වන බව කිව යුතුයි. ක්‍රි.පූ.3000 සිට විජයාගමනය තෙක් කාලවකාවානුව තුළ අපගේ ඉතිහාසයේ ඇති හිඩැස පුරවන්නට මෙම කරුණු ඉවහල් වන බවද ප්‍රකාශ කළ යුතුයි.

         මහාචාර්ය සෝමදේව මහතා සොයාගත් මෙම සිතියම ගැන ගැමියන් ගේ ප්‍රකාශන විවිධය. ඔවුහු මෙයට හුලවාලියා වී කෙටූ ගල යයි කිවූහ. මහාචාර්ය තුමා ගේ ඇසින් බලා අප මෙයට යකාගේ සිතියම යයි කියමු. මෙහි සිදුරු යම් පරිමාණයකට කොටා ඇති බවද පෙනේ. පින්නගල කන්දේ බෑවුමේ පැවති ප්‍රධාන ගල් ලෙන් තුන ඊට නුදුරින් ඇති සිරස් අතට පිහිටි ගල් ලෙන් ලොකු සිදුරු වලින්ද ග්‍රීෂ්ම සෘතුවට යොදා ගත් වාසස්ථාන කුඩා සිදුරු වලින්ද සළකුණු කොට ඇති බව මහාචාර්ය තුමා පවසයි. ප්‍රධාන ගල්ලෙන් දෙකක් අතර පරිමාණය විග්ගුස්සකි.( අඟල් හතරහමාරයි).ප්‍රධාන සිදුරු තුනම එක් කර බලන කල්හි වියතකි. ඒ අතින් බලන කල්හි වසර හය දහසකට පෙරසිටි මානවයා  මැනුම් සැලසුම් කරන්නටද ආරම්භ කර ඇති බව කිව හැකිය. පසු කලයේදී වැව් අමුණු ආදී සංකීර්ණ තාක්ෂණික ව්‍යුහයන් සකස් කරන්නට ඇත්තේ මේ දැනුම් සම්භාරයේ විකාශනයෙනි.ඉතින් මෙවැනි දැනුම් සම්භාරයකට හිමිකම් කිවූ අතීත හෙළයාට අද ඇති තැන කුමක්ද මහාචාර්ය තුමා අපගෙන් අසන ප්‍රශ්ණය එයයි.


Friday, August 18, 2017

ශාසනය වනසන ගුණ්ඩුව -කතිකාවත් තොණ්ඩුව


          2015 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පණත් කෙටුම්පත සම්මත කර ගැනීමේ සංවාදය නැවතත් ඇරඹී තිබේ. පසුගියදා බුද්ධ ශාසන උපදේශක මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී අධිකරණ හා බුද්ධ ශාසන ඇමතිවරයා මෙම පණත් ලියවිල්ලේ නවතම සංශෝධනයක් භික්ෂූන් වහන්සේලා අතර බෙදාහැර ඇත. අපට පෙනෙන ආකාරයට නම් මෙලෙස බෙදා හරින ලද ලියවිල්ලේ නඩු තීන්දුවෙන් ප්‍රකාශ කළ කරුණු ඇරුණු කොට එතරම් වෙනස්කමක් දක්වා නැත. එසේම සංශොධනයක් ඉටු කරන්නට නම් කලින් ඉදිරිපත් කරන ලද පණත පාර්ලිමේන්තු න්‍යාය පත්‍ර යෙන් ඉවත් කොට තිබිය යුතුය. නමුත් එලෙස කළ බවක්ද දැන ගන්නට නැත.
      භික්ෂූන් වහන්සේලා සම්බන්ධව අතීතයේ පටන්ම කරන ලද සැලකිල්ල ඉමහත්ය. පැරණි භික්ෂු සමාජයේ පවා වැරදි කරන භික්ෂූන් වහන්සේලා සිටියහ. ඒ තත්ත්වය පාලනය උදෙසා විනය නීති පැනවීමට බුදුන් වහන්සේ වරින් වර කටයුතු කර තිබේ.බුදුන් වහන්සේ ගේ පරිනිර්වානයෙන් පසුව උන්වහන්සේ ධර්මය මුල් කොට විනය මුල් කොට( ධර්ම විනය දෙක ශාස්තෘ වන බව) කටයුතු කරන්නයැයි උපදෙස් දී තිබුණි. පසු කාලයේදී මේ අදහස් ඇතැම් ශිලා ලේඛණ වල ද සටහන්ව තිබේ. උදාහරණයක් වශයෙන් දහවන ශත වර්ෂයට අයත් පස්වන කසුප් රජුගේ අනුරාධපුර පුවරු ලිපිය දැක්විය හැකිය.එහි මෙම කාරණය සඳහන් වන්නේ මෙලෙසය.
        නිකායෙහි සංඝයා හිඳ විසඳා නිම විය යුතු සංඝයා විසින් නොනිමවන කල්හි සම්දරුවන් හා රැස්ව විචාරා නිමවා පැමිණි පැමිණි සෙයින් දඬුවම් කරනු මැනවි. සංඝයා කැඳ හෝ බත් ආමර්ෂණය කොට කරන විවාදයක් ඇතොත් සම්දරුවන් යවා භික්ෂූන් සන්හුන් කොට හඹු ගන්වනු මිස බලහත්කාරයෙන් හඹු නොගැන්විය යුතු.    භික්ෂූන් වහන්සේලා අරභයා නීති රීති පැනවීමේ දී උන්වහන්සේලා රැස්ව හිඳ කතිකා කර නොගත හොත්  පමණක් රජයෙන් මැදිහත්ව එයට පහසුකම් සැපයීම මිස රජයෙන් නීති පැනවීමක් පෙර නොවීය.එහි ගැඹුරු අර්ථය සෙල් ලිපි වල අවධාරණය කර තිබෙන්නේ ධර්ම විනය පිළිබව බුදුන් වදාළ කරුණු පෙර රජවරුන්ද පිළිගත් බැවිනි.. පෙර සිරිත යනුවෙන් පැවසෙන්නේ එයයි. යම් විරෝධතාවයක් ඇතොත් බලයෙන් මෙන් රජයේ නීති රීති ක්‍රියාත්මක කිරීම මෙහිදී අත් හිටුවා තිබේ. නිකායෙහි ඇතුළත් නීති රීති අනුව මහා සංඝයා අරභයා විනය ක්‍රියාකිරීමේ බලය සංඝයාටම පවරා තිබීම බුද්ධ නීතියටද අනුකූලය. දැනට ලංකාවේ ක්‍රියාත්මක නිකායන්හි යම් යම් කතිකාවත් සංග්‍රහ කරතිබෙන්නේ මෙම බුද්ධ නීතියට අදාළවයි. එම නිකායන්හි ලේකම් කාර්යාලයේ එම කතිකාවත් ලියාපංදිංචි කර තිබේ. එවිට නැවතත් රජයේ ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වන්නේ නැත. සිදු විය යුත්තේ රජය විසින් එම කතිකාවත් පිළිගැනීමට බලාත්මක කිරීමට කටයුතු කිරීමයි.
       මහණකම නැතිවන ඡෙද්‍යගාමිණී ආපත්තීන් හතරක් තිබේ. පාරාජිකා ලෙස සැලකෙන්නේ එම ආපත්තීන් හතරය. මෙය භික්ෂුණින් වහන්සේලාට අටක් වේ. පාරාජිකා හැරුණු විට ඉතිරි ශික්ෂා පද සියල්ලම උට්ඨානගාමිණී ශික්ෂා පද වේ. භික්ෂූත්වය නැතිවන්නේ පාරාජිකා ආපත්තීනට පැමිණීමෙන් පමණි. සෙසු ආප්ත්තීන්ට පැමිණි විට එම ආපත්තීන් ගෙන් විමෝචනය වන්නේ කෙසේදැයි සඟ විනය තුළ පැහැදිලිව දක්වා තිබේ. භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ඇතිවන ඕනෑම ගැටළුවක් විසාඳාගත හැකි ආකාරය සඟවිනය තුළ නිර්දිෂ්ට වේ. භික්ෂුව ඒ අනුව ජීවත් විය යුතුය. එම විනය අමතක කර භික්ෂූන් වහන්සේලා සඳහා රාජ්‍ය නීතියක් සම්මත කර ගැනීම ධර්ම විනයෙන් නිර්දිෂ්ට වන්නේ නැත.නමුත් රටේ පවතින නීති ගරුකළ යුතු බවද එයට භික්ෂූන් වහන්සේලාද අවනත විය යුතු බවද බුදුරදුන් භික්ෂූන් වහන්සේලාට නියම කර තිබේ. එය වැරදි ලෙස අර්ථ කථනය කිරීම මගින් හෝ තේරුම්ගැනීම මගින් රජය ලවා භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් නීතිරීති පැනවීමට කල්පනා කිරීම කිසිසේත්ම නොකළ යුතුය.( පූජ්‍ය පරගොඩ විමලවංශ හිමි -සමස්ත ලංකා ත්‍රෛනිකායික ඒකාබද්ධ මහා සංඝ සභාව )
     කතිකාවත් පණතක අවශ්‍යතාවය භික්ෂූන් වහන්සේලාගෙන්ම පැණ නැගුණු බව රජයෙන් පැවසෙයි.එයට එක් හේතුවක් වන්නේ යම් සංඝ සංස්ථාවක් සම්මත  කරගත් නීති එකඟතාවයන් රජයේ නීති මගින් ඇතැම් විට බලාත්මක නොවීමයි. මෙහි පසුබිම නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි නව වන වගන්තිය ප්‍රකාරව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජය බොහෝ අවස්ථාවලදී පැහැර හැර තිබීමයි. හින්දු මුස්ලිම් මෙන්ම වෙනත් ආගමික සංස්ථා සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩු කාලයේ පටන් සංවිධිත නීති අණ පණත් රජයෙන් සම්මත කර ඇත. ඒ එම ආගමික ස්වරූපයන්ට අනුකූලවයි. රජයේ සාමාන්‍ය නීති රීති අභිබවා මුස්ලිම් කාති උසාවි වලට රජය බලය පවරා දී තිබේ.එහෙත් සංඝ සංස්ථාවකට එවැනි බලයක් පවරා දී නැත.සංඝාධිකරණයකින් එය කළ හැකි වෙත් දැයි මදක් සලකා බැලිය යුතුය.වඩා හොඳම දේ නම් සංඝයා වහන්සේලා ගේ ධර්ම විනය  දෙක සුරක්ෂිත කරලීමට රජයෙන් පහසුකම් සැලසීමයි.බාහිර පළිබෝධ මෙන්ම නොයෙකුත් වාරයන්හි රට තුළ ට වැද්ද ගන්නා ථේරවාදී නොවන සංස්ථා පාලනය කිරීමට පවත්නා නීති ප්‍රමාණවත්ය.එසේම ථේරවාදී නොවන ආගන්තුක යම් සංස්ථාවක් මගින් සසුනට හානි පැමිණෙන් නේ නම් ත්‍රෛයිනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි එම පළිබෝධ ඉවත් කරලීමට රජයට කටයුතු කළ හැකිය. අවශ්‍ය වන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහයට එවැනි නීති ඇතුලත් කර ගැනීමයි.අන්‍යාගම් වලට හරවා ගැනීමට දරන බලහත්කාරයද එවැනි නීති වලින් නැවැත්විය හැකිය.
       රජය පසුගිය වසරේ  ආරම්භයේ සිටම මෙම කතිකාවත් පණත සම්මත කරලීමට උත්සාහ දරනුයේ සසුන ආක්ෂා කර ගැනීමට නොවේ. බෙදුම්වාදය සහතික කරවන නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කාර්යාවලියේ දී බෙදුම්වාදයට එරහිව මහා සංඝ රත්නයෙන් නැගෙන විරෝධතා වෙනතකට යොමු කරලීමේ වුවමනාවක් එහි විය.දැන් යළිත් මෙම පණත කරළියට ගෙනවුත් තිබෙන්නේ ව්‍යවස්ථා ක්‍රියාවලිය අවසාන අදියරට පැමිණ තිබෙන බැවිනි.ව්‍යවස්ථාව පිළිබඳ අවසාන වාර්තාව හෝ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාව වන විට මහා සංඝ රත්නය තම සංඝ සංස්ථාව පිළිබඳ ප්‍රශ්ණයට ගැටගසා තැබීම අරමුණ වෙයි.නිකායන් අතර පවා මෙම පණත මගින් භේදයක් ඇති වන කල්හි රජයේ අරමුණ ඉටු කර ගැනීමට පසුබිම සැකසේ.බුද්ධ ශාසන ඇමතිවරයාට එරෙහිව ගෙනෙන විශවාස භංගය වැනි දේ නාටකීය ස්වරූපයෙන් ක්‍රියාත්මක වන්නකි. මෙම ඇමතිවරයා දහනම වන ව්‍යවස්ථා සංශෝධනය සිදුවන අවස්ථාවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වුවමනාව ගැන දැඩිව පෙනී සිටියෙකි.
         එම සංශෝධනය සිදු වන අවස්ථාවේදී දිනේශ් ගුණවර්ධන  මන්ත්‍රී වරයා ඉදිරිපත් කළ වෙනස්කම් පවා නොයොදන්නට අගමැතිවරයාගේ උපදෙස් පරිදි අධිකරණ සහ බුද්ධ ශාසන ඇමතිවරයා කටයුතු කර තිබේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තිබෙන බලතල කප්පාදුවේදී ඉදිරිපත් කළ සංශෝධන ඔහු නොසලකා හැර තිබේ. මේ නයින් බලන විට වර්තමාන කතිකාවත් පණත් කොටුම්පතද ඔහු විසින් හෝ වෙනත් ඇමතිවරයෙකු විසින් ( ඔහු ඉල්ලා අස්වුවහොත්) භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය සංශෝධන නොසලකාම සම්මත කර ගැනීමට ඉඩ තිබේ. 1980 දී දකුණු කොරියාවේ ජනාධිපති තනතුරට පත් චුන් ඩු හේවොන් නම් පුද්ගලයා විසින් එරට බුදු සසුන දුර්බල කිරීමට මෙවැනි ප්‍රතිසංස්කරණ කර ඇත. පන්සල් වලට බදු පනවා ඇත. විහාරස්ථා ඉඩම් ජාතික උද්‍යාන බවට පත් කර ඇත. මේ නිසා එම රටේ බුදු සසුන සීඝ්‍රයෙන් වැනසුනි. වර්තමාන අගමැතිවරයාද චේතනාන්විතවම බුදු සසුන මෙන්ම රටේ එකීය භාවයද විනාශ කිරීමට කටයුතු කරන්නෙකි.නව දේශීය ආදායම් පණත හරහා ඔහු පන්සල් වලින් බදු එකතු කිරීමටද යෝජනා කර තිබේ.දඹුල්ල පූජා භූමිය රජයට පවරා ගැනීමට උත්සාහයක් දරමින් සිටී. එම තත්ත්වය තුළ මුහුණු දෙකක් ඇති ඇමතිවරුන් ගැන වඩාත් සැලකිලිමත් වෙමින් මෙම කතිකාවත් පණත ප්‍රතික්ෂේප කරලීම මහා සංඝරත්නයේ යුතුකමකි.උන්වහන්සේලාට බුද්ධ නීතියට වැඩි යමක් නොතිබෙන බව සමාජයටද රජයටද කියාපෑම මෙහිදී තරයේ කළ යුතුය.එසේ නැතහොත් ශාසනයට වැටෙන්නේ තොණ්ඩුවකි.

         


Saturday, July 22, 2017

ආයුර්වේද පණතට දොස්තර වික්‍රමසිංහ විරුද්ධ වෙයි

                                 
            ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් යටතේ පැවති ආණ්ඩු ක්‍රමයන්හි දේශීය වෙදකමට නිසි තැනක් අත් නොවීය. ග්‍රාමීය වෛද්‍යාවරයා ඔවුන්ට වෙදරාළ විය.එයි වෙදරාළ මෙහෙට වරෙන් යයි ඇමතූ සුදු දිසාපතිවරු මෙන්ම සිංහල දිසාපතිවරුද  එකල වූහ. 1926 දී පමණ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී දේශීය වෙදකමට ලැබිය යුතු තැන පිළිබඳ කතාබහක් ඇති විය. ඒ අනුව බාලසිංහම් නම් මන්ත්‍රී වරයා යටතේ ස්වදේශ වෛද්‍ය උපදේශක සභාවක් පත් කරන ලදී. මෙම තත්ත්වය මත 1928 කෝට්ටේ පාරේ වෛද්‍ය විදුහලක්ද රෝහලක්ද බෙහෙත් සාදන ස්ථානයක්ද ඇති කරන්නට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු යෙදූහ. පසුව එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙම උපදේශක සභාවේ සභාපති වූවායින් පසුව 1937 ද පමණ කවිරජ් දාස් ගුප්තා මහතා යටතේ කොමිෂන් සභාවත් පත් කර තිබේ. මෙහි කොමිෂන් වාර්තාව අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුවක් පිහිටුවා වෛද්‍ය වරු ලියාපදිංචිය ඇරඹී දේශීය ආයුර්වේදය නව මුහුණු වරකින් ඉදිරියට පැමිණියේය.
         1956 ජයග්‍රහණයේ දී බණ්ඩාරනායක මහතා නැවතත් දෙශීය වෙදකමට අවශ්‍ය ස්ථානය ලබා දීමේ අභිප්‍රායෙන් සිටියද එතුමාගේ හදිසි අභාවයෙන් පසුව එය ඇණ හිටින. නමුත් 1960 බලයට පත් වූ සිරිමා බණ්ඩාරනායක රජය යටතේ ආයුර්වේද පණතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම පණත ඉදිරිපත් කරන ලද්දේ සෞඛ්‍ය ඇමති වෛද්‍ය ජේ. පී. ඔබේසේකර මහතා විසිනි. එම පණත දෙවනි වර කියැවීමේදී විවාදය මදක් උණුසුම් විය. බදුල්ල මහජන මන්ත්‍රී වෛද්‍ය බී.එච්. බණ්ඩාර මහාත එහීදී කරන ලද දීර්ඝ දෙශනය 1961 මැයි 18 දින හැන්සාඩ් ගත වී තිබේ.මේ එයින් උපුටා ගත් කොටස් කීපයකි.
      දැනට වුවත් නොයෙක් වර්ග වල ආයුර්වේද බෙහෙත් කෙළවරක් නැතිව ඉනිදියාවෙන් අපේ රටට ගෙන්වා ගන්නවා. අපේ ඇතැම් වෙද්‍යවරුන් කපාඩියා සමාගම වැනි සමාගම් වල සාප්පු වලින් ආයුර්වේද බෙහෙත් වර්ග මිළයට ගන්නවා. ඒවා ඉන්දියාවෙන් ගෙන්වන්නට පටන් ගෙන තිබෙන්නේ ඒවා අපේ රටේ නොසාදන නිසයි. මේ රටේ වෛද්‍යවරුන් නව බෙහෙත් වර්ග ඉන්දියවෙන් ගෙන්වා ගන්නට වෙනත් හේතුවක් නැහැ. ඒ හේතුවෙන් අපේ රටෙන් විශාල ධනසම්භාරයක් ඉන්දියාවට ඇදී යනවා. මේ අයුර්වේද පණතේ සඳහන් කර තිබෙන අන්දමට ඖෂධ නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයන් ඇති කර එම බෙහෙත් බෙදාහැරිමේ ක්‍රමයකුත් ඇති කිරීමෙන් මේ රටට විශාල ආර්ථීක උන්නතියක් ඇතිවන බව මතක් කරන්නට ඕනෑ.මේ රටේ වැවෙන අරලු බුලු නෙල්ලි හාතාවාරිය රසකිඳ කොතෙක් තිබුණත් ඒවත් සමහර විට ඉන්දියවෙන් ගෙන්වනවා. මෙවැනි අමු බෙහත් වර්ග එකතු කර රජය මගින්ම ඖෂධ බවට හරවා මේ රටේ ආයුර්වේද වෛද්‍ය වරුන්ට බෙදා දීමේ ක්‍රමයක් ඇති කළහොත් ඒ මගින් මහජනතාවට සෙතක් සැලසෙනවාත් හැර මේ රටේ ආර්ථිකයත් පෝෂණය වනවා.
       දැනට තිබෙන සෑම ආරෝග්‍ය ශාලාවකම ආයුර්වේදය පිළිබද වෙනම අංශයක් ඉක්මනින් ඇති කරන්න පිළිවන්. ඒ සඳහා වැඩි මුදලක් යන්නේ නැහැ. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයට සුව කළ නොහැකි රෝග සඳහා ආයුර්වේද බෙහෙත් තිබෙනවා.
    මෙම විවාදයට එක් වූ ගාල්ල මන්ත්‍රී ඩබ්.දහනායක මහතා පළ කළ අදහස් මෙසේය. අලුතෙන් ආයුර්වේද ඉස්පිරිතාල පිහිටුවීම සුදුසු යයි සෞඛ්‍ය ඇමති තුමා කීවත් ඇමති තුමා මුදල් අමාරුකම් කියාවි.මේ රටේ සෑම ප්‍රධාන නගරයකම තිබෙන රෝහල් වල අඩු ගණනේ එක වාට්ටුවක් වත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව වෙදකම් කිරීමේ වැඩ පිළිවෙලක් ඇති කිරීමට කටයුතු කිරීම සුදුසුය. චීනයේ බටහිර වෛද්‍ය ක්‍රමය අනුව පුහුණුවූ වෛද්‍යවරුන් සිටින්නේ ස්වල්ප දෙනයි. එහෙයින් වැඩි පිරිසක් ප්‍රයෝජනය ලබා ගන්නේ පැරණි වෛද්‍ය ක්‍රමය අනුව වැඩ කටයුතු කරන වෛදවරුන්ගෙනුයි. සමහර ලෙඩුන් බටහිර වෛද්‍ය වරුන් වෙත යවන අතර අනෙක් අය අනෙක් වෛද්‍ය වරුන් වෙත යවනවා. ඇයි අපටත් එවැනි වැඩ පිළිවෙලක් කරන්න බැරි. සෑම ඉස්පිරිතාලයකම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව බෙහෙත් කරන වාට්ටුවක් තිබිය යුතුය.
         මෙම ආයුර්වේද පණත සම්මත කර ගැනීමට සෘජුවම විරුද්ධ වූ මන්ත්‍රීවරයා වූයේ අකුරැස්ස මන්ත්‍රී දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතාය. දෙස්තර වරයෙකු වූ ඔහු මෙම පණතට විරුද්ධ වීම පුදුමයක් නොවේ. දහනායක මහතා කතා කරන විට ඔහු කියා සිටියේ ඇටයක් කැඩුනම නිකම්ම එකට එකතු වෙනවා ඒක පාස්සන්න බෙහෙත් තෙල් පත්තු අවශ්‍ය නැහැ කියලයි.එහිදී දහනායක මහතා කියා සිටියේ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය මගින් කකුල් කපා දමන්නේ එම නිසා වෙන්නට ඇති කියාය. දොස්තර වික්‍රමසිංහ මහතා මෙදී වැඩි දුරටත් පවසා  සිටි කරුණු මෙලසෙය.
    වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් පමණක් නොව අනික් හැම ශාස්ත්‍රයන් සම්බන්ධයෙනුත් පුරාණ ඥානයත් වර්තමාන ඥානයත් යන දෙකොටසම සම්බන්ධ කර සම්පූර්ණ ශාස්ත්‍රයක් සම්පූර්ණ නවීන විද්‍යාවක් ඇති කිරීමයි අද ලෝකයේ සෑම තැනකම සිදු වන්නේ. කවුරුත් පිළිගන්නා ඥානවන්ත ක්‍රමය ඒකයි. නමුත් මෙම පණත ඉදිරිපිත් කර තිබෙන පිළිවෙල අනුව අද ලෝකයේ වෛද්‍ය විද්‍යාවන් දෙකක් තියෙනවාය යන අදහසක් ඉදිරිපත් වෙනවා. කතා නායක තුමනි. විද්‍යාත්මක අන්දමට මනුෂ්‍යයාගේ සනීපාරක්ෂාව ඇති කිරීමට මනුෂ්‍යයාගේ ලෙඩ රෝග සුව කිරීමට එකම ක්‍රමයයි ලෝකයේ තිබුණේ. තියෙන්නේ. නවීන වෛද්‍ය විද්‍යාවට පැරණි වෛද්‍ය ක්‍රමයේ වැදගත් කොටස් අඩංගු කර ගන්ට ශක්තිය නැතිකම. ඒ දුර්වලකම මේ වෛද්‍ය ක්‍රම දෙක වෙන්කරලා ගෙන යන්ට ඕනෑ යන තර්කය ඉදිරිපත් කිරීමට හේතුවක් නොවෙයි. මා ගරු පාර්ලිමේන්තු ලේකම් තුමා ඉදිරියේ ප්‍රකාශ කර සිටිනවා මේ විධියේ පණතක් ඉදිරිපත්  කර තිබෙන්නේ අයුතු බලපෑම් උඩ වෙන්න ඕනෑය.කියා. වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව මූලික ප්‍රතිපත්ති මොනවාද කියා නොදැන මනුෂ්‍ය ජීවිත වෙනුවෙන් වගකීමට සුදුසු අය කවුරුන්ද නුසුදුසු අය කවුරුන්ද යන්න හරි අවබෝධයකින් නැතිව මේ පණත පිළියෙල කොට තිබෙන අතර එවැනි දේ ගැන මේ පණතේ එකම වචනයක් එකම වාසගමක් වත් සඳහන් වී නැහැ. ගරු කතා නායක තුමනි. නවීන ක්‍රමයට පුහුණුව ලැබ වෛද්‍ය වෘත්තියෙහි යෙදී සිටින ඇතැම් වෛද්‍ය වරුන් අතින් පවා වැරදි කෙරෙන එක ඇත්තයි. තමන් උගත් ශාස්ත්‍රය අයුතු අන්දමට පාවිච්චි කර පුද්ගලික ප්‍රයෝජනය සලසා ගන්නා අය සිටිනවා. යම් මනුෂ්‍යයකුට ඇතිවන විපතක් තම පුද්ගලික ප්‍රයෝජනය පිණිස යොදා ගැනීම ධනපති ක්‍රමයේ මූලික දෙයක් හැටියට හඳුන්වන්න පිළිවන්. යම් මනුෂ්‍යයකු විපතකට වැටුනාම එවැනි වෛද්‍යවරුන් වැඩියි. ඇතැම් දෙනා ඒ අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා එම ක්‍රමයම ධනපති ක්‍රමයේ දූෂිත වැඩ පිළවෙලක් ලෙසට හඳුන්වන්නට පිළිවන්.
         ආයුර්වෙද පණත ඉදිරිපත් කර සම්මත කර දැන් වසර ගණනාවක් ගතව ඇත. ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සැලකිය යුතු දියුණුවක් ලබා තිබේ. ආයුර්වේද රෝහල් වලින් නොමිළයේ ප්‍රතිකාර ලබන අසරණ රෝගීන් සංඛ්‍යා ඉතා විශාලය. මේ වෙනුවෙන් රජය විශාල මුදලක් කැප කරයි. එය සාමාන්‍ය මහජනතාවට බලවත් සහනයකි. වර්තමානය වන විට මෙම ක්‍රමය දෙස රජය බලන්නේ වෙනත් කෝණයකිනි. ආයුර්වේද මූල ධර්ම අනුව සාදන බෙහෙත් වෙනුවට නවීන රසායනික ක්‍රම මගින් නිපදවන ශාකසාර හඳුනවා දෙන්නට උනන්දුවක් ඇතිව තිබේ. එසේම වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඉන්දීය ශාක ඖෂධ නිපදවන සමාගම් ලංකාවට වැද්දගැනීමට කරන තැත නව ප්‍රවේශයකට පත් වී තිබේ. ඒ නම් ආයුර්වේද පෞද්ගලික රෝහල් ඇති කරලීමටද ඒ යටතේ ආයුර්වේද අධ්‍යාපනය ලබාදීමටද  ගිවිසුම් අත්සන් කිරීමට උත්සාහ දැරීමයි.මේ මගින් දේශීයව පවතින වෛද්‍ය විද්‍යාල අර්බුදයට පත්වනු ඇත. ආයුර්වේද පණතට විරුද්ධ වුවත් දොස්තර වික්‍රමසිංහ මහතා එදා මේ දුෂ්ට ධනවාදී ක්‍රම හෙළා දැක තිබේ.


Monday, July 10, 2017

බලු කපුටු වන්නට කැමැත්තෝ දඹුල්ලට අත තබන්න

                           

          පසුගියදා අස්ගිරි මහා විහාරයේ දී රැස්වුණු ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නයේ මූලිකත්වයෙන්   රජයට ඉදිරිපත් කරන ලද යෝජනා සංඝ ආඥාවක් බවට පත් විය.මහා සංඝ රත්නය විෂයෙහි එවැනි බලයක් නොමැති බව එන්.ජී.ඕ. බත් බැලයන් සහ දේශපාලන කුක්කන් ද මාක්ස් සරණ ගිය ඇතැම් හිමිවරුන්ද පවසති. සංඝ ආඥාවන් මෑත කාලයේ පමණක් නොව අතීතයේ රජුන්ටද  නිකුත් කර තිබේ. මේ සංඝ ආඥාව වර්තමාන විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මගින් නිකුත් කරන ආඥාවක් මෙන් නොව ඊට වඩා බලවත්ව ඉහළින් තැබෙන බුද්ධ නීතියේ සම්ප්‍රදායයි. එය අද ප්‍රකාශයට පත් වනුයේ කන්ද උඩරට මහනුවර වැඩසිටින ලක් ජනතාවගේ මුදුන් මල්කඩවන් දළදා වහන්සේ ගේ ආනුභාවයෙනි.සිංහල බෞද්ධ ජනතාවත් මහා සංඝ රත්නයත්  සිය වගකීම දක්වනු ලබනුයේ දළදා වහන්සේට පමණකි.ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා  පත්වූ පසු දළදා වහන්සේ වැඳ නමස්කාරකොට ආශිර්වාද ලබන්නේ මෙම සම්ප්‍රදාය අඛණ්ඩ අවිච්ඡින්නව පැවතෙන හෙයිනි.
        වර්තමාන සංඝ ආඥාව ප්‍රකාශ කිරීමෙන් පසු ජනාධිපතිවරයා මහනුවරට පැමිණ මහා සංඝ රත්නය බැහැ දුටහ. සංඝ ආඥාවෙන් ප්‍රකාශ වන කරුණු පිළිගත්හ.සත්‍ය සෙවීමට කොමිසමක් පත් කරන බවද දැන්වූහ.ව්‍යවස්ථා කොටුම්පත මහා සංඝ රත්නයට ඉදිරිපත් කරන බවද දැන්වූහ.එහෙත් ජාතික උරුමයන් භාර ඇමැතිවරයා ගෙන් එම විෂය ඉවත් කිරීමට කරන ලද ඉල්ලීම අගමැතිවරයාගේ කැමැත්ත මත කරන බව කියා සිටියහ. මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද.අගමැතිවරයාගේ කැමැත්ත නොමැතිව තීරණාත්මක වෙනසක් කිරීමට ජනාධිපතිවරයාට නොහැකි බවයි. මහ නායක හිමිවරු කුමක් පැවසුවද නව ව්‍යවස්ථාවක් ගෙන එන බව අගමැතිවරයා මන්නාරමේදී කළ ප්‍රකාශය මත මෙය තව දුරටත් තහවුරු විය.
      රන්ගිරි දඹුලු රජමහා විහාරය ලෝක උරුමයක් ලෙස නම් කර ඇති බැවින් තමන්ට තිබෙන බලතල ප්‍රකාරව ප්‍රවේශ පත්‍ර අච්චු ගසා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මුදල් අය කිරීම ආරම්භ කරන බවට ඇමතිවරයා යලි යලිත් ප්‍රකාශ කරයි.දැන් එහි තවත් පියවරක් වශයෙන් දඹුලු විහාරය තාවකාලිකව වසා දමන්නට තීරණය කර තිබේ.ඇමතිවරයා දඹර අමිල හිමි පුරා විද්‍යා අධ්‍යක්ෂ බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුලු පිරිසක් එක්ව එම තීරණය ගත බව මාධ්‍ය වාර්තා කර ඇත.මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ වූයේ 1980 වසරේ වුවද සංස්කාතික ත්‍රිකෝණ ව්‍යපෘතිය පිළිබඳ අදහස මතුව එන්නේ පැරිස් නුවර දී පැවැත්වුණු යුනෙස්කෝ සමුලුවේදීය . පසුව 1970 දී ලක්ෂ්මන් ජයකොඩි සංස්කෘතික ඇමතිවරයාගේ නියෝගයෙන් සංස්කෘතික ත්‍රිකෝණ නාමය ස්ථාපිත කර ඇත. සංස්කෘතික හා ආගමික ස්මාරක සංවර්ධනය කිරීමේ අරමුණින් ද සංස්කෘතික ප්‍රවර්ධනයට දායක වන කලාකරුවන් නගා සිටුවීමේ පුළුල් අරමුණින් ද පිහිට වූ මේ අරමුදල පුණ්‍යාතනයකි.  මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි සභාපති වරයා වන්නේ නිල බලයෙන් අගමැතිවරයාය. සංස්කෘතික ඇමති සංචාරක ඇමති හින්දු සංස්කෘතික ඇමති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්  මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු රජයේ නියෝ ජිත පිරිසක්ද අගමැතිවරයා නම් කරනු ලබන පුද්ගලයන් දෙදෙනෙකුද මේ අරමුදල නියෝජනය කරයි.1998 පුරාවස්තු සංශෝධන පණත මගින් සුදුසු ස්ථාන වලින් මුදල් අය කිරීමේ බලය අධ්‍යක්ෂ ජනරාල් වරයාට ලැබුණි.සුදුසු ස්ථාන යනුවෙන් දැක්වෙන්නේ රජයේ ඉඩම් වල පවතින ස්මාරකයන් හෝ ආරක්ෂිත ස්මාරකයන්ය.රෝලන්ඩ් සිල්වා හිටපු පුරාවිද්‍යා කොමසාරිස් වරයා ගේ කාලයේ ඔහු විසින් සිය බලතල ප්‍රකාරව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහා විදේශීය මුදල් සොයා ගත්හ.යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති ඇරඹෙන්නේ එතැනිනි.පසු කාලයේ එම යුනෙස්කෝ ව්‍යාපෘති අවසන් වූ කළ මධ්‍යම සංස්කෘතික අරමුදලට මුදල් නැති විය. රජයේ භාණ්ඩාගාරයෙන් ලැබුණද එය ප්‍රමාණවත් නොවීය.එම නිසා ප්‍රවේශ පත්‍ර වලින් මුදල් අය කිරීම ආරම්භ කරන ලද්දේ යටකී පුරාවස්තු ආඥා පණතේ බලතල යටතේය.රෝලන්ඩ් සිල්වා මහතා සිය බලතල යොදවාගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළ යුතු ශාස්ත්‍රීය  කැණීම් සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති හරහා ඇරඹීය. පොළොන්නරුවේ තිවංක පිළිමගෙය රන්කොත් විහාරය ආදී තැන් එකල මෙම ව්‍යාපෘති මගින් හානියට පත් කරන ලදැයි චෝදනා එල්ල විය.මේ තත්ත්වය ඇති වූයේ සංස්කෘතික ත්‍රිකෝණය සිය බල සීමාවෙන් එපිට පුරාවිද්‍යා වැඩ කටයුතු වලට පෙළඹීමෙනි. එහෙත් පුණ්‍යාතනයක් වන මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූලික අරමුණ වනුයේ එය නොවේ.
       වර්තමාන රජය පත් වූ පසු අධ්‍යපන ඇමතිවරයා හීන් සීරුවේ මධ්‍යම සංස්කාතික අරමුදල් පණත ට සංශෝධන කීපයක් ගෙනවුත් තිබේ. අගමැතිවරයාට තිබෙන බලතල වලට අමතරව ඇමතිව‍රයාගේ ලේකම්වරයාද පාලක මණ්ඩලයට ඇතුලත් කරගෙන ඇත. ඒ සංස්කෘති ඇමතිවරයා සහ ලේකම් යන පදය වෙනස් කොට රේඛීය අමාත්‍යංශයේ ඇමති සහ ලේකම් යනුවෙන් යොදමිනි. අද වන විට මෙම ආයතනයට සේවකයන් 1600 ක් පමණ අලුතින් බඳවා ගෙන ඇත.පුරාවිද්‍යා ස්ථාන විසිනවයක් සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කරුවන් 12ක් අලුතින් බඳවා ගෙන තිබේ.එසේම සීගිරිය ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් පදනමින් සේවය කළ සීගිරිය අවට ගම් වාසීන් හතලිස් දෙනෙකු පමණ සේවයෙන් ඉවත් කොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමන්ගේ චන්ද දායකයන් විසිදෙනෙකුට පමණ ස්ථීර රැකියා ලබා දී තිබේ.එමෙන්ම සංස්කෘතික ත්‍රිකෝණයේ සේවය කළ පැරණි අයගේ වැටුප් වර්ධක අඩකින් කපා හැර තිබේ.වර්ෂයකට රුපියල් දෂලක්ෂ 3600 ක් පමණ ආදායමක් මෙම සංස්කෘතික අරමුදල උපයා ගන්නේ යැයි කියති.එම සැබෑ ආදායම ජනතාවට හෙළි කළ යුතුව ඇත.මෙම මුදලින්  සියයට විසිපහක් පමණ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු පිනිස නිදහස් කිරීමටද එකඟතාවයක් තිබේ. එහෙත් පසුගිය කාලයේදී විශේෂඥයන් ගේ හිඟය නිසා මෙම මුදලෙන් දෙපාර්තමේන්තුව භාවිත කොට තිබෙන්නේ සියයට පහත් දහයත් අතර ප්‍රමාණයකි.
       අගමැතිවරයාගේ සහ ඇමතිවරයාගේ බූදලයක් බදුවූ මධ්‍යම සංස්කෘතික අරමුදල් පණතේ බලය මගින් මහා විහාරය පාලනය කිරීම ඇමති වරයාගේ අභිප්‍රායයි. දෙමල ඩයස් පෝරාවෙන් සහ එන්.ජී. ඕ. බත් බැලයන්ගෙන් යැපෙන ආණ්ඩුව ඊට එරෙහි වන ඕනෑම බලයක් ශූන්‍ය කිරීමට මුලු ගැන්වෙන බව මෙම සිද්දියේදී පෙන්නුම් කර තිබේ.උතුර සහ නැගෙනහිර සඳහා වෙනම සවයං පාලනයක් ලබා දීමට ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිමය තීරණය ට එරෙහි වන මහා සංඝරත්නය හෑල්ලුවට ලක් කොට අකර්මණ්‍ය කිරීම මෙහි අරමුණයි.අවසානයේ ව්‍යවස්ථාව තුළ බුද්ධ ශාසනයට හිමි තැන අවසන් කොට අනාගමික රාජ්‍යයක් දක්වා ගෙන යෑමට යෝජනාද අගමැති වරයා ගේ වාර්තාවේ දැනටමත් අඩංගුය. දඹුල්ල සිද්දිය තුලින් මේ තරමටම ඇමතිවරයාගේ උද්දච්ඡ කම ඉහවහාගොස් තිබෙන්නේ එහෙයිනි.
      1931 විහාර දේවාලගම් පණත 1940 පුරාවස්තු ආඥා පණත මෙන්ම 1980 මධ්‍යම සංස්කෘතික අරමුදල් පණත ආදී සියල්ල ඉංග්‍රීසීන් රට භාර ගත් පසු ඔවුන්ගේ නීති රීති පද්ධතිය යටතේ මෙරට වර්තමාන ආණ්ඩු විසින් ඇති කරන ලද නීතිමය ලියවිලි වේ. නමුත් මෙම නීතිවලට ඉහළින් මෙරට සාම්ප්‍රාදායික ව්‍යවස්ථා ලියවිලි කීපයක් තිබේ. ඒවා නීති පොතේ නොමැති වුවත් ගලේ කොටවා තිබෙන බව ද ඉර හඳ පවතිනා තාක් කල් වලංගු වන බවද පෙන්වා දිය යුතුය.එයින් එකක් නම් අනුරාධපුර ජේතවන විහාරය අසළ  රත්න ප්‍රාසාද භූමියෙහි පවතින දහවන සියවසට අයත් පස්වන කසුප් රජගේ සෙල් පුවරු ලිපියයි. එහි 53 වන ඡේදයේ මෙලෙස සඳහන් වේ.පිරිවෙන ලදුවන් තමන්ට නියම කල වස්තුවෙන් වැඩි ඉතිරි වූ තාක් දෙයින් සංඝයාගේ දාසයන්ට උපස්ථාන කොට කර්මාන්ත නව කර්මාන්ත පූජා චිත්‍ර කර්ම කොට වැඩියෙන් ඇතොත් ඉඩම් ගැනීම මැනවි.
       මෙයින් කියැවෙන්නේ කුමක්ද ගම් බිම් වලින් සහ රජය විසින් නියම කළ දීමනාවන් ගෙන් ලබන ලද ආදායම පරිහරණය කරන ආකාරයයි. එම මුදල් සහ වැඩ කටයුතු පරිපාලනය කරනුයේ පිරිවෙන් හෝ විහාර භාර සංඝරත්නය විසිනි. විහාර දේවාලගම් පණතින් විකෘති ලෙස ආවරණය වන්නේ ද මෙම සම්ප්‍රදායයි. එබැවින් දඹුලු විහාරයෙන් යම් මුදලක් එකතු කරන ලද්දේද ඒම වස්තුව පරිභෝග කීරීමේ සම්පූර්ණ අයිතිය හිමිවන්නේ විහාර පාලනය කරන මහා සංඝ රත්නයටයි. එයින් විහාර සංවර්ධනය කිරීමටද චිත්‍ර කර්මාන්ත සංරක්ෂණයට සහ පවත්වාගෙන යෑමටද චිත්‍ර ශිල්පීන්ට ගෙවීමටද අවශ්‍ය බලය පවරා දී තිබේ.එම මුදල් පරිපාලනය කිරීමට රජය මැදහත් විය හැකි නමුත් ඒවා වෙනත් කටයුතු වලට යෙදීමෙන් හෝ පුද්ගලික පරිභෝජනයට යෙදවීමෙන් බලු කපුටු වෙන්නට හැකි බවද එම සෙල් ලිපි පාඨවලින් පැහැදිලි වේ.
         රජය විසින් මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටුවන ලද්දේ මහා සංඝරත්නය විසින් කරනු ලැබූ මෙම ඓතිහාසික කාර්යයන්ට යම් කිසි මූල්‍ය ශක්තියක් ලබා දීමටයි.එම ආයතනය පුණ්‍යාතානයක් බවට පත් කරන ලද්දේ එහෙයිනි.2002 බුද්ධ ශාසන ජනාධිපති කොමිසමේ පළමු නිර්දේශය මෙහිදී සිහිපත් කළ යුතුය.  බුද්ධ ශාසනය යන්නට එහි පැහැදිලි නිර්වචනයක් ලබා දී තිබේ.තථාගතයන් වහන්සේ නවලෝකොත්තර ධර්මය සංඝ රත්නය විහාරාංග සහිත විහාර්ස්ථාන ආරණ්‍ය සේනාසන හා භාවනා මධ්‍යස්ථාන බෝධි වෘක්ෂ ස්තූප පිළිම ගෙවල් ධාතු මන්දිර බණ පොත් හා පුස්තකාල ආදී වශයෙන් එහි අර්ථ විවරණයක් තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය ප්‍රකාරව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමයි. මේ සඳහා පිහිටුවා තිබෙන ප්‍රමුඛ ආයතනයක් වන මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්ය භාරය විය යුත්තේ ඉහතකී ශාසනික දේපළ ස්මාරක සංරක්ෂණය කිරීම ප්‍රවර්ධන කිරීම ආදී කටයුතු සංවිධානයයි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ සහාය ලබාගත යුත්තේ එම කටයුතු මනා ලෙසට විධිමත්ව කරවා ගැනීමටයි. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් ලෙසට අරමුදල් එකතු කරමින් සංස්කෘතික උරුමයන් විකෘති කිරීම් වලට භාජනය කරලීමෙන් මෙතෙක් ගෙන ගිය වැඩ පිළිවෙල  වර්තමාන අමතිවරයා විසින් වැඩි දියුණු කර තිබේ.  තමන්ගේ චන්ද දායකයන් හට රැකියා ලබා දෙන ආයතනයක් බවට මධ්‍යම සංස්කෘතික අරමුදල පත් කරගෙන තිබේ.අගමැති වරයාගේ බලය මෙහිදී අයුතු ලෙසට ප්‍රයෝජනයට ගෙන ඇත.
       ගලේ කොටවා තිබෙන පුරාණ සෙල් ලිපි පාඨ මගින් හෙළිවන බලය නැවත ස්ථාපිත කොට සිංහල රට බෞද්ධ රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා මහා සංඝරත්නය පෙරමුණ ගැනීමට දැන් කාලය පැමිණ ඇති බව මෙම සිද්දි වලින් පැහිදිලි වේ.දඹුලු විහාරයේ ප්‍රවේශ පත්‍ර අලෙවියට මධ්‍යම සංස්කෘතික අරමුදලට ඉඩ නොදීම එක් පියවරකි.බුද්ධ ශාසනයට එරෙහි දුෂ්ඨ බලවේගයක් ලෙසින් ක්‍රියාත්මක වන වර්තමාන ආණ්ඩුව විසින් කෙටුම්පත් කර තිබෙන රට බෙදන ව්‍යවස්ථාව සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීම සඳහා ජනතා පෙළ ගැස්වීමද අත්‍යවශ්‍ය වේ. දළදා හාමුදරුවන් කෙරෙහි පවතින භත්තිය  සහ ජනතාවගේ වගකීම වැඩි වර්ධන කොට  එම බලය රට පුරා පිළිගැනුමට ලක් කිරීමෙන් රටේ නායකයන්ද එයට හිස නැමීමට සිදු වනු ඇත.


Sunday, June 25, 2017

දඹුලු පුදබිමට බැල්ම හෙලන බහිරවයා කවුරුද

                                


            බුද්ධ වර්ෂ තුන්වන සියවසේ සකස් කරන ලදැයි පැවසෙන ගල් ලෙන් සහිත බෞද්ධ පූජා භූමියක් වන රන්ගිරි දඹුලු රජ මහ විහාරය ලෝක උරුමයක් ලෙසට නම් කරන ලද්දේ 1991 වසරේදීය. මෙලෙස නම් කළ පසු එක්සත් ජාතීන් ගේ සංවිධානයේ යුනෙස්කෝ ප්‍රඥප්තීන් ට අනුව ලෝක උරුම ස්මාරක පවත්වා ගෙන යා යුතුය. ඔවුන් ගේ වාර්ෂික කමිටු රැස්වීම් වලදී මෙම ස්මාරක පිළිබඳ තොරතුරු සහ සංරක්ෂණ කටයුතු වල තොරතුරු සලකා බලා යාවත්කාලීන කළ යුතු කාරණා ගැන අදාල රටවලට දන්වති.
      පසුගිය කාලයේ දඹුලු පූජා භූමියේ කටයුතු නොලසකා හැරීමත් විහාර අධිකාරියේ බලපෑම් මත කරන ලද ඉඳි කිරීම් හේතු කොට ගෙනත් මෙම ස්ථානය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බවට රාවයක් පැතිරුණි. රජයේ ඇතැම් බලධාරීන් විසින්ද එවැනි මතයක් ප්‍රචාරය කිරීමට උත්සාහ දරන ලදී.යුනෙස්කෝ ආයතනයේ ලෝක උරුම කමිටුවේ හතලිස් වන සැසි වාරය ඉස්තාන්බුල් නගරයේ දී පවත්වන ලද්දේ 2106 වසරේදීය. එහිදී එම කමිටුව විසින් දඹුලු විහාරය පිළිබඳ ගන්නා ලද තීරණ ප්‍රංශ තානාපති තිලක් රණවිරාජා මහතාට දන්වා යවා තිබේ. ඒ අනුව 2017 දෙසැම්බර් මස පළමුවන දාට පෙර මේ පිළිබඳ වාර්තාවක් අදාල කමිටුවට ඉදිරිපත් කළ යුතුය. එම වාර්තාව සලකා බැලීම සිදු වන්නේ 2018 වසරේදී මුළු ගැන්වෙන 42 වන  සැසිවාරයේදීය.ලංකාවේ දේශපාලන අධිකාරියට ඉදිරිපත් කරන ලද ලිපියේ මෙවැනි නිර්ණායක කීපයක් අන්තර්ගතව තිබේ. ඒවා මෙසේය.

1-      ස්මාරක කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කිරීම. දඹුලු රජමහා විහාරය භාරකාර ස්වාමීන් වහන්සේලා රජයේ නියෝජිතයන් සහ විශේෂඥතාවය ඇති මහජන නියෝජිතයන්  ඊට ඇතුලත් විය යුතුය.
2-      කළමනාකරණ සැලැස්ම වරින් වර යාවත්කාලීන කළ යුතුය. එය කළ යුත්තේ සාම්ප්‍රදායික විහාර පාලනය සමග සහයෝගීතාවයෙන්ය.රජය සහ විහාර පරිපාලනය අතර එකඟතාවයෙන් කෙටිකාලීන සහ දිගු කාලීන  උපාය මාර්ග සකස් කිරීමට කටයුතු කළ යුත්තේ විහාර සංරක්ෂණ කටයුතු සහ වන්දනා කරුවන්ගේ පැමිණීම කළමානාකරණය පිණිසය.
3-      උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීමේදී සංරක්ෂණ එල්ලයන් ගැන සැලකිලිමත් විය යුතුය. එසේම ලෙන් වලට පිවිසෙන වන්දනා කරුවන් ප්‍රමාණය ගැන තක්සේරුවක්ද එහි ඇතුලත් විය යුතුය.මෙම ලෙන් තුළ විදුලි පහර සහිත කැමරා භාවිතය තහනම් කරලීමටද කටයුතු කිරීම සුදුසුය.
           වර්ෂ 1991 දී ලෝක උරුම සමාර්කයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු මෙම රන් ගිරි දඹුලු විහාරය පිළිබඳ ඔවුන් ගේ පැවති මතය එම ප්‍රඥප්තියෙන්ද හොඳින් ප්‍රකට වේ.එහි සඳහන් මෙම වගන්ති කීපයක කොටස් මගින් එම අර්ථය විදහා දක්වන්නට උපකාරී වෙයි.
1-      මෙම ස්මාරකය සහස්‍ර වර්ෂ ගණනාවක  කාලයක සිට මේ  දක්වා ජීවමාන බෞද්ධ පිළිවෙත් සමග බැඳී  අඛණ්ඩ වන්දනා සම්ප්‍රදායක් සමඟ සම්බන්ධ වන බෞද්ධ ලෝකයේ විශිෂ්ට නියෝජනයකි.
2-      දඹුල්ල රන් ගිරි විහාරය මානව වර්ගයාගේ කලාත්මක කුසලතා පෙන්නුම් කරන බිතු සිතුවම් කලාවේ විවිධ පැතිකඩ සහිත විශේෂ ස්ථානයකි. මේ නියෝජනය  ගැමියාගේ නිර්මාණශීලිත්වය හොඳින් ප්‍රකට කරනවා සේම බෞද්ධ වත් පිළිවෙත් සහ පූජා විධි  භාවිත කැපීපෙනෙන උදාහරණයක් සහිත ස්ථානයක්  වේ. 
3-      දඹුල්ල රන්ගිරි විහාරය ක්‍රි.පූ 3 වන සියවසේ සිට මේ ජීවමාන බෞද්ධ සම්ප්‍රදාය හා පුද පිළිවෙත් අවිච්ඡින්නව පවත්වාගෙන යනු ලබන කදිම උදාහරණයකි.
4-      මෙම සමාරකයේ පවතින බිතු සිතුවම් මූර්ති ඇතුළු භෞතික පෙනුම තවමත් හොඳ තත්ත්වයේ පවතී.එසේම එම වටිනාකම් ප්‍රකාශ කිරීමට,එම සංරක්ෂණයන් උපයෝගී වී ඇත.  මෙම සංස්කෘතික දේපල  සංවර්ධන ක්‍රියාකාරකම් නිසා හෝ හෝ වෙනත්  අහිතකර බලපෑම් නිසා අගතියට පත් වී නැත.
      වලගම්බා රාජ සමයෙන් පසු රන්ගිරි දඹුලු පුදබිම කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලය තුළ අත්පත් කරගන්නා ලද රාජකීය අනුග්‍රහය ඉතා විශේෂිතය. බෝධිනාරායන බුවනෙකබාහු නම් අඛණ්ඩ චිත්‍ර ශිල්පී පරම්පරාවක් මෙම චිත්‍ර සංරක්ෂණයට දායක වී තිබේ. අවසාන වශයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙම චිත්‍ර සංරක්ෂණය කරන අවස්ථාවේ දී ගලේවෙල නිලගම ජීවත්ව සිටි ඉහතකී පරපුරේ ජීවන් නයිදේ මහතා සිය දායකත්වය එයට ලබා දී තිබුණි. මෙම විහාරය මහා විහාර සම්ප්‍රදායට අනුව අස්ගිරි මහා විහාරයට අයත්ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස දී නිකුත් කළ දඹුලු විහාර සන්නස අනුව මෙම විහාරයට කළ යුතු වත් පිළිවෙත් රාජකාරිය සඳහා වෙන් කළ ගම්මානයන් ගැන පැහැදිලිව සඳහන් වේ. 1848 ජාතික විමුක්ති අරගලයේ දී මෙම විහාරය මුල් කොට ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව ඇතිවූ අරගලය මධ්‍යයේ වුවද එහි අඛණ්ඩ සම්ප්‍රදාය රැකී ඇත.ඉංග්‍රීසින් විසින් බෞද්ධ විහාර ගම් දේවාලගම් යටතට මෙම විහාර ඝණය ඇතුලත් කළ අතර වාර්ෂිකව අස්ගිරි මහ නාහිමියන් විසින් මෙහි භාරකාරත්වයට යතුරු පයිණ්ඩ දීමේ ක්‍රමයක් අද දක්වාමත් පැවත පැමිණේ. යුනෙස්කෝව සිය ප්‍රඥප්තියෙන් අර්ථ දක්වන්නේ එම වටිනා සම්ප්‍රදායයි.එම නිසා ජීවමාන අඛණ්ඩ අවිච්ඡින්න බෞද්ධ සම්ප්‍රදායකට අතුලත් වන මෙම ස්ථානය හුදෙක් සංචාරකයන් පිනවන කලාගාරයක් බවට පත් කරලීමට හැකි නොවේ.එය පළමුව සිංහල බෞද්ධයන්ගේ ජීවමාන බෞද්ධ සිද්ධස්ථානයකි.මල් සුවඳ මෙන්ම පහන් සිලෙන් ද  අදටත් රන්ගිරි දඹුලු රජමහා විහාරය ඒකාලෝක විය යුතුය.එක් විදේශික කාන්තාවක් මෙහිදී පවසා ඇත්තේ දැන් රන්ගිරි දඹලු විහාරයේ මෙම පන්සල් සුවඳ නැති බවයි.
       1994 වර්ෂයෙන් පමණ පසුව මධ්‍යම සංස්කෘතික අරමුදල මෙහි එකාධිකාරය දරමින් මෙම තත්ත්වයට පරිවර්තනය කිරීමට ගත් උත්සායක් ඇත. නමුත් මෙම ස්ථානය භාරව සිටි ස්වාමීන් වහන්සේලා ඊට ඉඩ නුදුන්හ.මෙහිදී අතර මැද තත්ත්වයකට පත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතින් යම් අතපසු වීම් සිදුව ඇත. විහාරයේ සංවර්ධන උදෙසා යම් යම් ක්‍රියාකාරකම් කිරීම අත්‍යවශ්‍යය.ඒ වා මෙම  ස්ථානයේ විශ්ව අගය පහත හෙලීමට සමත් නොවිය යුතුය. යුනෙස්කෝව බලාපොරොත්තු වන්නේද එයයි.ජීවමාන බෞද්ධ පිළිවෙත් සම්ප්‍රදායන් රකිමින් දෙස් විදෙස් වන්දනා කරුවන් මෙන්ම සංචාරකයන්ද මෙහි අද්දවා ගැනීමට හැකි ස්ථානයක් බවට පත් කිරීම එහි අරමුණ වේ.
        එහෙත් වත්මන් රජය පත් වූ අලුත මෙම ස්ථානයේ පාලනය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ඉවත් කොට මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට ගැනීමට උත්සාහ කළහ.ඒ සඳහා නීතිපති උපදෙස්ද ලබාගෙන තිබුණි. එහිදී එයට විරෝධය පෑ  විහාර පාලනය නිසා එම යෝජනාව ඉවත ලන්නට සිදු විය. පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාව සිටි අචාර්ය සෙනරත් දිසානායක මහතා ඉවත් කරලීමට ආසන්න හේතු අතර මෙම දඹුල්ල පුදබිමේ වෙනස් කම් ද දක්වා ලිය හැකිය.දැන් නැවතත් මේ උත්සාහයන් රජය තුළින් පැන නැගී ඇතැයි වාර්තා වේ. එයට ඔවුන් උපයෝගී කර ගන්නේ විහාර පාලනය මගින් මෙම පුදබිමේ විශ්ව අගය කෙලෙසා ඇතැයි යන ප්‍රසිද්දිය ලබා දෙමිනි. එය පට්ටපල් බොරුවකි.  යුනෙස්කෝ ප්‍රධාන කාර්යාලයේ ලෝක උරුම කමිටුවේ අධ්‍යක්ෂ වරයා විසින් 2016 අගෝස්තු 16 වන දින   නිකුත් කරන ලද ලිපියේ කොතනකවත් එවැනි දෙයක් සඳහන් නොවේ. එම නිසා කළ යුත්තේ මෙම ඓතිහාසික ස්ථානය පළමුව ජාතික උරුමයක් ලෙසට සංරක්ෂණය කොට පවත්වා ගෙන යෑමයි. ජාතික උරුමය යනු සිංහල බෞද්ධ වත් පිළිවෙත් අනුගත සංස්කෘතික ප්‍රඥප්තියකි. දෙවනුව ලෝක උරුම භූමියක් වශයෙන් එහි විශ්වීය අගය පවත්වා ගෙන යෑමට අවශ්‍ය කළමනාකරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම කළ යුතුය. එහිදී යුනෙස්කෝව විසින් මග පෙන්වන ලද සීමාවන් හොඳටම ප්‍රමාණවත්ය. එසේ නොවී. ඇමතිවරුන්ට සහ රජයේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මෙම ස්මාරකය වෙළෙඳ දේපළක් බවට පරිවර්තනය කිරීම සියළුම දෙනාගේම දෝෂ දර්ශනයට ලක් වන්නකි.පසුගිය දා අස්ගිරි කාරක සංඝ සභාව රැස්ව කළ ඓතිහාසික ප්‍රකාශනයෙන් මෙම අත්තනෝමතික තත්ත්වයන් පෙන්වා දී තිබුණි.




Wednesday, June 14, 2017

සිරිමා මැතිණියගේ දේශසීමා ගැටය මෝඩි ලිහයි ද

                                  


            ලංකාවත් ඉන්දියාවත් යා කිරීමට දුම්රිය මාර්ගයක්   ඉඳි කිරීමට 2007 වර්ෂයේ නිකුත් කරන ලද රජයේ භෞතික සැලැස්ම මගින් යෝජනා කර තිබේ. 2003 වර්ෂයේදී හිටපු විදේශ ඇමති ලක්ෂමන් කදිරගාමර් මහතා විසින් අත්සන් කරන ලද ආසියානු අධිවේග මර්ග පිළිබඳ ජගත් ගිවසුම අනුව මෙරට තැනෙන අධිවේග මාර්ග අවසාන වශයෙන් තලේ මන්නාරම හරහා ඉන්දියාවට සම්බන්ධ වෙයි. ගෝලීය ධනවාදයේ අඩුපඬු ආසියානු කලාපයේ සියලුම රටවල් හරහා දිගු කර ගැනීමට මේ සැලැස්ම බලවත් සේ උපකාරී වනු ඇත. මෙම ගිවිසුම් වලින් ලංකාවට අත්වන ප්‍රතිලාභ කෙසේ නමුත් ජගත් කෙළිබිමක් බවට ලංකාව පත් කිරීම එහි අවසාන අරමුණයි.වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සිය දේශපාලන හස්තය ලංකාවට දිගු කරමින් තිබෙන්නේ මෙම ගිවිසුම් මගින් ඇති කළ පසුබිම ප්‍රයෝජනයට ගැනීමෙනි. ඉන්දියානු පුරවැසියනට නිදහසේ ලංකාවට පැමිණීමට හැකි පරිද්දෙන් සහ වතු දෙමළ ප්‍රජාව අතරට ඉන්දියානු දේශපාලනය රිංගා යෑවීම පිණිසද ඔවුන් ගේ මෙම සැලැස්ම දියත් වේ.
        ලංකාව ස්වාධීන රටකි. ප්‍රාග් එතිහාසික යුගයේදී ඉන්දියාවත් ලංකාවත් අතර තිබූ භූගෝලීය සබඳතාවය දැන් නැත. පැරණි දඹදිව ශාක්‍ය ජනපද වලින් පැමිණි කුමාරවරුන් විසින් ලංකාවේ රාජ්‍යත්වය සහ බලය අත්පත් කරගත් නමුත් ඉන්දියාවට පරිබාහිර වූ ස්වාධීන දේශපාලනයක් ගොඩ නගා ගැනීමට මෙරට ස්වදේශිකයන් දැක්වූ කැමැත්ත විශේෂ වෙයි.එම නිසා යුග ගණනක් ඉතිසාහස තුළ සිංහළයන් වශයෙන් විවිධ ඉන්දියානු ආක්‍රමණයන්ට එරෙහිව සිය ස්වාධීනත්වය උදෙසා සටන් වැදී තිබේ.පසුගිය සන්ධාන  රජය විසින් යෝජනා කරනු ලැබූ මේ භෞතික සැලැස්ම මගින් මේ ස්වාධීනත්වය අහිමි කිරීමට පිඹුරු පත් සාදා ඇත.රජයේ භෞතික සැලැසුම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්ව සිටි ජේ.එම්.එල්. ජයසේකර මහතා  මෙම සැලැස්ම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි බව කියැවෙයි.වර්ෂ 2000 අංක 49 දරණ නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පණතේ 5ඒ (බී) වගන්තිය අනුව ද එකී පණතෙහි 4බී(සී) වගන්තිය ප්‍රකාරවද හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික භෞතික සැලසුම් සභාව විසින් 2011-01-03 දින මෙම සැලැස්ම අනුමත කර ඇත.  ඉන්දියාවත් ලංකාවත් යා කරනු ලබන පාළමක් සෑදීමට අවශ්‍ය පසුබිම මෙහි නිර්මාණය වෙයි. එවිට දේශසීමා සහ තම තම අනන්‍යතාවයන් ගෙන් යුක්ත අයිතිවාසිකම් භුක්ති විඳීමට සිදු වන්නේ එකිනෙකා කෙරෙහි බල පවත්වන බලය පාදක කොට ගෙනය.
       1974 වර්ෂයේ ජූනි මස 16 වන දින  ලංකාවේ අග්‍රාමාත්‍යව සිටි සිරිමා බණ්ඩාරනායක මහත්මියත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යව සිටි ඉන්දිරා ගාන්ධි මැතිණියත් දේශසීමා ගිවිසුමක් අත්සන් කළහ. මෙම ගිවිසුම 1974 වර්ෂයෙහි ජූනි මස 23 දින ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කළහ. එය ඉදිරිපත් කරමින් සිරිමා මැති ණිය කළ කතාව මෙහිදී සිහිපත් කිරීම වටී. ඒ මන්ද ලංකාවේ ස්වාධීනත්වය උදෙසා ඉතා අසීරුවෙන් සහ කැපවීමෙන් කළ මෙහෙය අද දින බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇති බැවිනි.සිරිමා මැතිණියගේ කතාවේ කොටස් කීපයක් මෙලෙසය.

     ගරු කතා කතානායක තුමනි. පෝක් සමුද්‍ර සන්ධියෙහි සිට ආදම්ගේ පාළම දක්වා ඇති මුහුදු තීරයේ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර මුහුදු මායිම් සළකුණු කර ගැනීම සම්බන්ධයෙන් මා හා ඉන්දියානු අගමැතිණිය අතර ඇති කරගත් ගිවිසුම අද මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන මා ඉතාමත් සන්තෝෂ වෙනවා. මේ ගිවිසුම පසුගිය ජූනි මාසේ 16 වෙනිදා අත්සන් කිරීමෙන් පසුව අප දෙරටේ ආණ්ඩු විසින් ස්ථීර කර ඇති අතර එය ජූලි මස 8 වනදා සිට වලංගු වී ක්‍රියාත්මකව පවතිනවා. මේ ගිවිසුමෙන් අප රටත් අපේ අසල් වාසී රටත් අතර මුහුදු මායිම නිත්‍ය වශයෙන්ම සළකුණු වනවා පමණක් නොවෙයි. මේ ගිවිසුම නිසා අපේ රටත් ඉන්දියාවත් අතර සම්බන්ධතාවයන් පිළිබඳ අළුත් පරිඡෙදයක් ආරම්භ කරනවා. ඇත්ත වශයෙන්ම අපේ රටවල් දෙක අතර අනොන්‍ය සම්බන්ධතා පිළිබඳ ඉතිහාස ගතවන වැදගත් කරුණක් ලෙස මේ ගිවිසුම පිළිගත යුතු වෙනවා.
     රාජ්‍ය  සභා ගත කරන ලද ගිවිසුමෙහි වගන්ති අටක් අන්තර්ගතව ඇත.එයින් කීපයක මෙසේ සඳහන්ය.ශ්‍රී ලංකා ජන රජය සහ ඉන්දියානු සමූහආණ්ඩුව දෙපාර්ශවයටම සාධාරණ වූත් යුක්ති සහගත වූත් ආකාරයකින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඓතිහාසික මුහුදු තීරයේ මායිම් නිශ්චය කිරීමේ සහ ඊට අදාළ කරුණු නිරාකරණය කිරීමේ අභිලාශයෙන් මුළු ප්‍රශ්ණයම සෑම අංශයකින් පරීක්ෂා කර ඒ පිළිබඳ ඓතිහාසික හා වෙනත් සාධක ද එහි නීතිමය මුහුණුවර ද සැලකිල්ලට ගැනීමෙන් පසු පහත සඳහන් පරිදි ගිවිස ගෙන ඇත්තාහ.
 1-පොක් සමුද්‍ර සන්ධියේ සිට ආදම් ගේ පාලම දක්වා වූ මුහුදු තීරයෙහි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මායිම් පහත දක්වා ඇති අනු පිළිවෙල අනුව පහත සඳහන් අක්ෂාංශයන් හා දේෂාංශයෙන් නිරූපිත පිහිටීම් අතර වූ මහා වෘත්ත චාප වන්නේය.
2- 1 වන වගන්තියෙහි සඳහන් කර ඇති පිහිටීම්වල ඛණ්ඩාංක වන අතර ඒවා සම්බන්ධ කරන සෘජු රේඛා උභය ආණ්ඩු වල බලය ලත් මිනුම්දෝරුවන් විසින් පිළිවෙලින් අත්සන් කරනු ලැබ මීට අමුණා ඇති ප්‍රස්ථාරයෙහි පෙන්වා දී ඇත්තේය.
3 - ඉහත සඳහන් කරන ලද පිහිටීම් මුහුදෙහි හා මුහුදු පත්ලෙහි නියත වශයෙන්ම තිබිය යුතු තැන උභය ආණ්ඩු විසින් ඒ කාර්යය සඳහා පිළිවෙලින් බලය දෙනු ලබන මිනුම්දෝරුවන් විසින් එකඟ විය යුතු වන ක්‍රමයක් අනුව නිශ්චය කරනු ලැබේ.
4 - ඉහත සඳහන් මායිමෙන් තම පැත්තට අයත් වන මුහුදු තීරය දූපත් මහාද්වීපික තටාකය හා ඒවායෙහි යටිපස විශයෙහි පරමාධිපත්‍ය හා පරම අධිකරණ බලය හා පාලනය එක් එක් රට කෙරෙහි වන්නේය.
5 - ඉහත සඳහන් වගන්ති වලට යටත්ව ඉන්දියානු ධීවරයන්ට හා වන්දනා කරුවන්ට මින් පෙර මෙන් කච්චදූවට පිවිසීමට ඉඩ ලැබෙන අතර ඒ කාර්යයන් සඳහා ගමන් බලපත්‍ර හෝ වීසා බල පත්‍ර ලබා ගත යුතු යයි ශ්‍රී ලංකාව විසින් ඔවුන්ට නියම නොකරනු ඇත.
6 - එක් එක් රටට අයත් මුහුදු තීරයෙහි ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ යාත්‍රා මෙතෙක් සාම්ප්‍රදායිකව භුක්ති විඳ ගෙන එමින් පැවති අයිති වාසිකම් ඉදිරියටත් බුක්ති විඳිනු ඇත.
     මෙම ගිවිසුමෙහි පවතින වැදගත්ම වගන්තිය වන්නේ සතරවන වගන්තියයි. එයන් ගම්‍ය වන්නේ එක් එක් රටවල ස්වාධීනත්වය දෙපාර්ශවය විසින් පිළිගෙන ඇති ආකාරයයි. එසේම ඉන්දියානු ධීවරයන් සහ ලංකාවේ ධීවරයන් සාම්ප්‍රදායිකව කුඩා යාත්‍රා මගින් දෙරටේ මුහුදු තීරයෙහි මසුන් මැරීමේ නිකුත්ව සිටියහ. එම කටයුතු මෙහිදී පිළිගෙන තිබේ.සිරිමා බණ්ඩාරනායක මැතිණිය අප රටට වාසි වන පරිද්දෙන් කච්චදූව පිළිබඳ ප්‍රශ්ණය ද මෙහිදී විසඳා ගෙන තිබේ.සාමාන්‍ය යෙන් අප රටට අයත් මුහුදු සීමාව තුළ තිබෙන ඛනිජ සම්පත් අති විශාලය එසේම දකුණු දිග මුහුදු තීරයෙහිද වපසරිය අති විශාල බැවින් ලංකාව රටක් වශයෙන් සිය ස්වාධීනතවයට මෙන්ම වත් පොහොසත් කමටද පසුබිම මෙම ගිවිසුමෙන් සකස් කර ගෙන ඇත. නමුත් අවාසනාවකට මෙන්ම සිරිමා මැතිණිය විසින් අවංකව රටට ඇති ලෙන්ගතු කමින් කළ මේ දූර්දර්ශී ක්‍රියාව බාල්දු කොට යටපත් කිරීමට පසුව පත්වූ ජේ.ආර්. ජයනර්ධන මහතා ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය කටයුතු කර තිබේ.ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට රටේ ස්වාධීනත්වය අහිමි කරගන්නට කටයුතු කර තිබේ. එසේම ලංකාවට වාසි දියක අයුරින් විසඳා ගන්නට තිබූ ඉන්දියානු පුරවැසියන් පිළිබඳ ගැටළුවද බල ලෝභය නිසා සම්පූර්ණයෙන්ම අවුල් කර තිබේ. වර්තමානය වන විට ලංකාව බෙලහීන රාජ්‍යයක් බවට පත් වී තිබෙන්නේ මේ හේතුවෙනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිගු කලක් පැවති යුද්ධය නිමා කලා සේම සිරිමා මැතිණිය ගත් මග ගත්තේ නම් රටේ ස්වාධීනත්වය ට නව මාවතක් විවර කරගන්නට ඉඩ හසර තිබුණි. අවාසනාවකට ඔහු ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ රීගේනින් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියයි. ඒ මත රජයේ භෞතික සැලසුම් සකස් ව තිබෙන බව පැහැදිලිය.නීතිමය තර්ක සහ සාධාරණත්වය අතින් ගත් කල්හි ඉන්දියාවත් ලංකාවත් අතර තිබෙන පෙර ගවිසුම් වඩා බලවත්ය. එවිට ඉන්දු ලංකා ගිවිසුම අවලංගු වේ. එලෙසම ලංකාවේ ස්වාධීනත්වය අහිමි කරන එක්ටා වැනි ආර්ථික ගිවිසුම් වලටද පිවිසිය නොහැකිය.ඉන්දියාව ඉති ඉක්මනින් තව දුරටත් ලංකාවට අත පෙවීමට පළමුව මේ ගිවිසුම් වල ස්වභාවය පිළිබඳව පාර්ලිමේන්තු කතා බහක් ඇති විය යුතුය. සිය අතීත වැරදි අත් හැරීමට මහින්ද රාජපක්ෂ මහතා අවංකව කටයුතු කරන්නේ නම් ඔහු මත තිබෙන ජන බලය ඒ සඳහා යෙදවිය හැකිය.


Wednesday, May 17, 2017

උඩරට වතු කරය ගිනිතබන හනුමා කවුරුද

                                    

           ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ලංකාවේ පැවැත්වූ ජගත් වෙසක් දින සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සාභාගි වූවා ඇරුණු කොට වෙනත් න්‍යාය පත්‍රයක් එහි නැතැයි ජනාධිපතිවරයා ඇතුළු රජයේ දේශපාලන අධිකාරිය පුන  පුනා පැවසූහ. නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට වෙසක් දින සැමරුමට සමගාමීව ඉන්දීය අගමැතිවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රය හෙළිදරව් විය. එයින් එක් ප්‍රධාන කාරණයක් වූයේ ත්‍රිමලයේ තෙල් ටංකි පිළිබඳ ගිවිසුමයි.කෙසේ වෙතත් නුවරඑළි දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් හි පැවැත්වූ දේශපාලන රැස්වීමක්ද නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා අමතනු දක්නට ලැබුණි.මෙම රැස්වීම සංවිධානය කරනු ලැබූයේ කවුරුදැයි පැහැදිලි නැති වුවත් ප්‍රචාරක දැන්වීම් වල ජනපති හා අගමැති දෙපළ ගේ චායාරූප සමග වතුකරයේ දේශපාලකයන් ගේ නම් ඇතුලත්ව තිබුණි.  රටේ උත්සවයකට ආරාධිත අමුත්තකු ලෙසට පැමිණි විදේශීය අගමැති වරයෙකු දේශපාලන රැස්වීමකට සාභාගිවීම ම ප්‍රශ්ණාර්තයකි.
          නුවරඑළිය දිස්ත්‍රික්කය හඟුරන්කෙත වලපනේ කොත්මලේ සහ නුවරඑළිය මස්කෙළිය වශයෙන් මැතිවරණ ආසන කීපයකින් සමන්විතය. 1947 වර්ෂයේදී එහි පළමු මැතිවරණය පවත්වා තිබේ . ඉන්පසු 1977 වසර වන තෙක්ම නුවරඑළිය තනි මැති වරණ ආසනයක් විය. 1977 න් පසු නුවරඑළිය මස්කෙළිය නමින් බහුආසනයක් බවට පත් කළ පසු ගාමිනී දිසානායක අනුර බණ්ඩාරනායක මෙන්ම එස් .තොන්ඩමන් මහතා ද ජනතාව නියෝජනයට පත් විය. 1977 ට පෙර නුවර එළිය යනු වතු කාර සුද්දන් සහ වතු කරයේ දෙමළ කම්කරුවන් බහුතරය විසූ කලාපයක් විය. නුවර එළියට සිංහලයන් ගේ ආකර්ශනය සිදු වූයේ එහි පැවති වෙළෙදාමත් ඉන්පසුව සිදු වූ වානිජ වැවිලි ක්ෂේත්‍රයේ දියුණුවත් සමගින්ය.නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ සිතියම ගත් කල්හි එය 1947 සිටම ඉහළ ධනපති පංතියේ දේශපාලනඥයන් ගේ පොරපිටියකි. මෙය පොදු ජනතාව අතරට මාරු වූයේ 1960 මැතිවරණයේදී සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් යුත් රජයක් පත් වීමෙන් පසුවයි. එහිදී නුවරඑළියේ වතුකරයට මැකනික් වැඩට පැමිණි දකුණේ පුද්ගලයකු වූ ටී.විලියම් ප්‍රනාන්දු මහතා එම ආසනයේ මන්ත්‍රීවරයා බවට පත් විය. 1960 -65 කාලය තුළ නුවරඑළි ආසනය විශාල පරිවර්තනයකට ලක් විය.විලියම් ප්‍රනාන්දු මහතා ගේ මූලිකත්වයෙන් එහි පළමු සිංහල ජනපදය වූ ශාන්ති පුරය  බිහිවන්නේ බණ්ඩාරනායක මහතාගේ සහ මැතිණියගේ පූර්ණ ආශීර්වාදය සහිතවයි. සිරිමා රජය 1965 දී පරාජයට පත් වූ පසු විලියම් ප්‍රනාන්දු මහතාටද ආසනය අහිමි විය. නමුත් ඔහු 1970 නගර සභා මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබ සිය පළමු අභිලාශයන් ව්‍යාප්ත කරමින් නුවරඑළිය තුළ සිංහල ජනතාවගේ උරුමය තහවුරු කරවීය.ඒ පියවර මගින් මුඩුබිම් පණතෙන් ඉඩම් අහිමි වූ උඩරට සිංහලයන්ගේ අයිතිවාසිකම් යම් පමණකින් හෝ ස්ථාවර විය. 1960 දී නුවරඑළිය ආසනයේ තිබූ සමස්ත චන්ද දායක සංඛ්‍යාව දෙගුණයක් වන්නේ ඔහු විසින් පදිංචි කරන ලද සිංහල ජනතාව නිසාවෙනි. ඒ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නුවර එළි ආසනයේ වැඩි බලයක් හිමිව පැවතුණි.
        1977 වර්ෂයෙන් පසුව නුවර එළිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බල කඳවුරක් බවට පත් කරවන ලදී. දිව්රුම් පෙත්සමට පවා වතු දෙමළ කම්කරුවන්ට පුරවැසි කම ප්‍රදානය කළ එක්සත් ජාතික පක්ෂය ලංකා කම්කරු කොන්ග්‍රසය මත සිය චන්ද පදනම ශක්තිමත් කරගන්නා ලදී.මේ නිසා කම්කරු කොන්ග්‍රසය සතු දෙමළ චන්ද  වෙන්දේසි කරමින් ජාතික දේශපාලනයට පවා අභියෝග කරන්නට තොන්ඩමන් මහතා සමත් විය. පසුව කම්කරු කොන්ග්‍රසයෙන් කැඩී ගිය තරුණ කොටස් කොටි සංවිධානය සමග සබඳතා පවත්වමින් 1999 දී පමණ කඳුරට ජනතා පෙරමුණ බිහිකළහ. වර්තමානය වන විට උඩරට වතු කරයේ මෙම දේශපාලන බලවේගය ඉදිරියට පැමිණ තිබේ. නමුත් ඔවුහු කණ්ඩායමක් ලෙසට දිගින් දිගටම අසාර්ථක විය. මෙම කරුණු නිසා කවදත් එ.ජාප. යට පිටින් යන බලවේගයකට නුවර එළිය දිස්ත්‍රික්කය ජය ගැනීම පහසු කරුණක් නොවීය. එම බල කඳවුර යම් තරමකින් දෙදරුම් කෑවේ 1994 සහ 1999 ජනාධිපතිවරණ වලදී චන්ද්‍රිකා මැතිණිය ලබා ගත් මනාප හේතු කොට ගෙනයි. විජය කුමරතුංග මහතාගේ ජනප්‍රියත්වයත් කොටි බෝම්බයෙන් ලද පීඩනයෙන් ලද ජනතා අනුකම්පාවත් නිසා චන්ද්‍රිකා මැතිණිය අනෙක් අය අභිබවා ඉදිරියට පැමිණියේය. ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා රටේ ප්‍රධාන දේශපාලන චරිතය බවට පත් විය. මහින්ද රජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණ චන්දය ජයග්‍රහණය කරන කල්හි ඔහුට එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැකි වූයේ චන්ද 99550  ක් පමණකි. නමුත් ඔහුගේ ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ මහතා චන්ද 250428 ක් ලබා ගෙන තිබුණි. පසුව මහින්ද රාජපක්ෂ මහතා යුධ ජයග්‍රණයද ලබා ඔහුට ලබා ගත හැකි වූ චන්ද ප්‍රමාණය 2010 දී 151 604 ක් විය නමුත් ඔහුගේ ප්‍රතිවාදයා වූ සරත් ෆොන්සේකා මහතා චන්ද 180604 ක ගේ කැමැත්ත දිනා ගෙන තිබුණි. මහින්ද රජපක්ෂ මහාතා 2015 වසරේ පරාජයට පත් වන විට ඔහුගේ චන්ද ප්‍රමණය 145 339 දක්වා අඩුවී තිබුණි. නමුත් මෛත්‍රී පාල සිරිසේන මහතා චන්ද 272 600 ලබා ගනිමින් නුවර එළිය දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රතිශතය වාර්තා කර ගෙන තිබුණි.
         සමස්ත නුවර එළිය දිස්ත්‍රික්කය තුළ වතුදෙමළ ජනගහනය 355830 කි.එයට ලංකා දෙමළ ජනතාවද එක්වූ කල්හි 401896 ක් දක්වා එය වර්ධනය වේ. නමුත් සිංහල ජනගහනය 282621 ක් පමණකි. වර්තමාන යහ පාලනය තේරුම් ගෙන තිබෙන්නේ මෙම යථාර්ථයයි.එම නිසා යහපාලන රජය පත්වූ පසු නව කඳුකර ගම්මාන අමාත්‍යංශයක් ඇතිකර වතු දෙමළ ජනතාවට පමණක් ඉඩම් හා නිවාස පිරි නැමීමේ ජාතිවාදී ක්‍රියාදාමය දියත් කරන ලදී. සංහිඳියාව ගැන කුමන කතා කීවත් එක්සත් ජාතික පක්ෂය අන්ත දෙමළ ජාතිවාදී පිළිලයෙන් වෙලා ගෙන ඇත. ඔවුහු දෙමළ චන්ද කේවල් කිරීමේ සාර්ථකත්වවය මත 2020 ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ප්‍රයත්න දරති.නරේන්ද්‍ර මෝඩි ලවා හැටන් දික්ඔය රෝහල විවෘත කරලීමට රැස්වීමක් යොදා ගත්තේ එම අභිලාශය ඉෂ්ට කර ගැනීමටයි.මස්කෙළිය ආසනයේ විශාල දෙමළ චන්ද ප්‍රමාණයක් තිබෙන බව එ.ජා.ප.යේ අය දනී. නමුත් මෙම කේවල් කිරීම නොසිතූ විරූ පැත්තකය දැන් හැරී ඇත. මෝඩි සිය අධිපතිවාදී චින්තනය යොදා ගනිමින් කඳුරට දෙමළ ජනතාව ආමන්ත්‍රණය කරන ලද්දේ රටින් බැහැර ඉන්දීය ඩයස්පෝරාවක් ලෙසට අර්ථ දක්වමිනි. එලෙසම දකුණු ඉන්දීය සංස්කෘතිය රකිමින් මෙතෙක් කලක් දිවි ගෙවීම සම්බන්ධයෙන්ද ඔහු සතුට පළ කර තිබේ.මෙයින් ගම්‍ය වනුයේ කඳුකර දෙමළ ජනතාව සිංහල සංස්කෘතියට ක්‍රමයෙන් අවශෝෂණය වීම වලක්වාලීමයි.මේ අභිලාශයන් පිටිපස කඳුරට ජනතා පෙරමුණේ පැරණි සාමාජිකයන් සිටිති. ඉදිරි කොටි නැගිටීමකදී ඔවුන්ට සහාය වන්නට සිටින්නේ මේ පිරිසය. මෝඩි බලා පොරොත්තු වන දෙකඩ වන ශ්‍රී ලංකාවක් උදෙසා මේ පිරිසගේ දායකත්වය ඉහළින් ලැබිය යුතුය. උතුරේ කොටින්ට උතව් කළ ගාන්ධිලා මෙන් මෝඩිද වතුකරයේ ගිනි අවුලවන්නට කැසකවයි. 
       ජගත් වෙසක් උත්සව සැමරුම් දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණ මෝඩ හමු වීම පරිණත දේශපාලන ක්‍රියාකාරිත්වයකට අයත් බව ඇතැමෙක් කියති. නමුත් මහින්ද වටා පෙළ ගැසී සිටින ජාතික බලවේගයන්හි ඇතැම් කොටස් මේ නිසා කළ කිරී තිබේ. මහින්ද රජය වැට්ටවීමට රෝ සංවිධානය හරහා කළ  මෙහෙයට නායකත්වය දෙනු ලැබූවේ නරේන්ද්‍ර මෝඩි  බව නිසැකය.එවැනි පුද්ගලයෙක් හමු වූයේ කුමකටදැයි බොහෝ අය ප්‍රශ්ණ කරති.පණහේ දශකයෙන් පසු සිංහල දේශපාලකයන් සියල්ල සිංහල ජනතාව රවට්ටමින් චන්ද වෙන්දේසියේ යෙදුණහ. පසුව දෙමළ සහ මුස්ලිම් චන්ද කේවල් කරමින් අවශ්‍ය දොල පිදේනි සපයමින් මේ ජුගුප්සාජනක කටයුත්තෙහි යෙදුණහ. වත්මන් පාලකයන්ද මේ කටයුතු  එළි පිටම කරන්නේ බහුතර සිංහල ජනතාව තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. මහින්ද රජපක්ෂ මහතා මෝඩි අගමැති හමු වීම සහ කතාබහේ යෙදීම ප්‍රශ්ණයක් නොවේ. එහෙත් නරේන්ද්‍ර මෝඩි හැටන් හිදී කළ  බලහත්කාරකමට සහ ජාතිවාදය ඇවිස්සසීමට මහින්ද ඇතුළ පිරිස ගෙන් සවිමත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ලක්ෂ එකහාමාරකට ආසන්න සිංහල චන්ද ප්‍රමාණයක් නුවර එළි දිස්ත්‍රික්යෙන් මහින්දට හිමිය. මේ චන්ද පදනම වැඩි කරගතහොත් උඩරට වතු කරයේ දෙමළ ජාතිවාදයට හිස එසවීමට ඉඩ ප්‍රස්ථා නොලැබේ.එවැනි තත්වයක් යෝජනා කරනුයේ තවමත් සිංහලයන් ගේ වීරයා මහින්ද රාජපක්ෂ බව බහුතරය සිතා සිටින නිසාවෙනි. නමුත් කොළඹ දේශපාලනය සහ ජගත් දෙශපාලන අතර දෝලනය වෙමින්  මහින්ද කරන මේ සෙල්ලමින් අතරමංවන්නේ සැබවින්ම සිංහල ජනතාවයි.එහෙයින් දහසක් බලාපොරොත්තු මත ඔහු වටා රොද බැඳගත් සිංහල ජනතාව වෙනුවෙන් සිය වගකීම ඔහුට ඉටු කරන්නට ඉඩදී ජී.එල් පීරිස්ලා බැසිල් ජපක්ෂලා නිහඬ වනවානම් ඉතා අගනේය. එසේ නොවේ නම් සිංහලයන් නැවුම් නායකත්වයක් සොයා ගමන් කරනවා නිසැකය.