පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, July 22, 2017

ආයුර්වේද පණතට දොස්තර වික්‍රමසිංහ විරුද්ධ වෙයි

                                 
            ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් යටතේ පැවති ආණ්ඩු ක්‍රමයන්හි දේශීය වෙදකමට නිසි තැනක් අත් නොවීය. ග්‍රාමීය වෛද්‍යාවරයා ඔවුන්ට වෙදරාළ විය.එයි වෙදරාළ මෙහෙට වරෙන් යයි ඇමතූ සුදු දිසාපතිවරු මෙන්ම සිංහල දිසාපතිවරුද  එකල වූහ. 1926 දී පමණ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී දේශීය වෙදකමට ලැබිය යුතු තැන පිළිබඳ කතාබහක් ඇති විය. ඒ අනුව බාලසිංහම් නම් මන්ත්‍රී වරයා යටතේ ස්වදේශ වෛද්‍ය උපදේශක සභාවක් පත් කරන ලදී. මෙම තත්ත්වය මත 1928 කෝට්ටේ පාරේ වෛද්‍ය විදුහලක්ද රෝහලක්ද බෙහෙත් සාදන ස්ථානයක්ද ඇති කරන්නට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු යෙදූහ. පසුව එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙම උපදේශක සභාවේ සභාපති වූවායින් පසුව 1937 ද පමණ කවිරජ් දාස් ගුප්තා මහතා යටතේ කොමිෂන් සභාවත් පත් කර තිබේ. මෙහි කොමිෂන් වාර්තාව අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුවක් පිහිටුවා වෛද්‍ය වරු ලියාපදිංචිය ඇරඹී දේශීය ආයුර්වේදය නව මුහුණු වරකින් ඉදිරියට පැමිණියේය.
         1956 ජයග්‍රහණයේ දී බණ්ඩාරනායක මහතා නැවතත් දෙශීය වෙදකමට අවශ්‍ය ස්ථානය ලබා දීමේ අභිප්‍රායෙන් සිටියද එතුමාගේ හදිසි අභාවයෙන් පසුව එය ඇණ හිටින. නමුත් 1960 බලයට පත් වූ සිරිමා බණ්ඩාරනායක රජය යටතේ ආයුර්වේද පණතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම පණත ඉදිරිපත් කරන ලද්දේ සෞඛ්‍ය ඇමති වෛද්‍ය ජේ. පී. ඔබේසේකර මහතා විසිනි. එම පණත දෙවනි වර කියැවීමේදී විවාදය මදක් උණුසුම් විය. බදුල්ල මහජන මන්ත්‍රී වෛද්‍ය බී.එච්. බණ්ඩාර මහාත එහීදී කරන ලද දීර්ඝ දෙශනය 1961 මැයි 18 දින හැන්සාඩ් ගත වී තිබේ.මේ එයින් උපුටා ගත් කොටස් කීපයකි.
      දැනට වුවත් නොයෙක් වර්ග වල ආයුර්වේද බෙහෙත් කෙළවරක් නැතිව ඉනිදියාවෙන් අපේ රටට ගෙන්වා ගන්නවා. අපේ ඇතැම් වෙද්‍යවරුන් කපාඩියා සමාගම වැනි සමාගම් වල සාප්පු වලින් ආයුර්වේද බෙහෙත් වර්ග මිළයට ගන්නවා. ඒවා ඉන්දියාවෙන් ගෙන්වන්නට පටන් ගෙන තිබෙන්නේ ඒවා අපේ රටේ නොසාදන නිසයි. මේ රටේ වෛද්‍යවරුන් නව බෙහෙත් වර්ග ඉන්දියවෙන් ගෙන්වා ගන්නට වෙනත් හේතුවක් නැහැ. ඒ හේතුවෙන් අපේ රටෙන් විශාල ධනසම්භාරයක් ඉන්දියාවට ඇදී යනවා. මේ අයුර්වේද පණතේ සඳහන් කර තිබෙන අන්දමට ඖෂධ නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයන් ඇති කර එම බෙහෙත් බෙදාහැරිමේ ක්‍රමයකුත් ඇති කිරීමෙන් මේ රටට විශාල ආර්ථීක උන්නතියක් ඇතිවන බව මතක් කරන්නට ඕනෑ.මේ රටේ වැවෙන අරලු බුලු නෙල්ලි හාතාවාරිය රසකිඳ කොතෙක් තිබුණත් ඒවත් සමහර විට ඉන්දියවෙන් ගෙන්වනවා. මෙවැනි අමු බෙහත් වර්ග එකතු කර රජය මගින්ම ඖෂධ බවට හරවා මේ රටේ ආයුර්වේද වෛද්‍ය වරුන්ට බෙදා දීමේ ක්‍රමයක් ඇති කළහොත් ඒ මගින් මහජනතාවට සෙතක් සැලසෙනවාත් හැර මේ රටේ ආර්ථිකයත් පෝෂණය වනවා.
       දැනට තිබෙන සෑම ආරෝග්‍ය ශාලාවකම ආයුර්වේදය පිළිබද වෙනම අංශයක් ඉක්මනින් ඇති කරන්න පිළිවන්. ඒ සඳහා වැඩි මුදලක් යන්නේ නැහැ. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයට සුව කළ නොහැකි රෝග සඳහා ආයුර්වේද බෙහෙත් තිබෙනවා.
    මෙම විවාදයට එක් වූ ගාල්ල මන්ත්‍රී ඩබ්.දහනායක මහතා පළ කළ අදහස් මෙසේය. අලුතෙන් ආයුර්වේද ඉස්පිරිතාල පිහිටුවීම සුදුසු යයි සෞඛ්‍ය ඇමති තුමා කීවත් ඇමති තුමා මුදල් අමාරුකම් කියාවි.මේ රටේ සෑම ප්‍රධාන නගරයකම තිබෙන රෝහල් වල අඩු ගණනේ එක වාට්ටුවක් වත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව වෙදකම් කිරීමේ වැඩ පිළිවෙලක් ඇති කිරීමට කටයුතු කිරීම සුදුසුය. චීනයේ බටහිර වෛද්‍ය ක්‍රමය අනුව පුහුණුවූ වෛද්‍යවරුන් සිටින්නේ ස්වල්ප දෙනයි. එහෙයින් වැඩි පිරිසක් ප්‍රයෝජනය ලබා ගන්නේ පැරණි වෛද්‍ය ක්‍රමය අනුව වැඩ කටයුතු කරන වෛදවරුන්ගෙනුයි. සමහර ලෙඩුන් බටහිර වෛද්‍ය වරුන් වෙත යවන අතර අනෙක් අය අනෙක් වෛද්‍ය වරුන් වෙත යවනවා. ඇයි අපටත් එවැනි වැඩ පිළිවෙලක් කරන්න බැරි. සෑම ඉස්පිරිතාලයකම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව බෙහෙත් කරන වාට්ටුවක් තිබිය යුතුය.
         මෙම ආයුර්වේද පණත සම්මත කර ගැනීමට සෘජුවම විරුද්ධ වූ මන්ත්‍රීවරයා වූයේ අකුරැස්ස මන්ත්‍රී දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතාය. දෙස්තර වරයෙකු වූ ඔහු මෙම පණතට විරුද්ධ වීම පුදුමයක් නොවේ. දහනායක මහතා කතා කරන විට ඔහු කියා සිටියේ ඇටයක් කැඩුනම නිකම්ම එකට එකතු වෙනවා ඒක පාස්සන්න බෙහෙත් තෙල් පත්තු අවශ්‍ය නැහැ කියලයි.එහිදී දහනායක මහතා කියා සිටියේ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය මගින් කකුල් කපා දමන්නේ එම නිසා වෙන්නට ඇති කියාය. දොස්තර වික්‍රමසිංහ මහතා මෙදී වැඩි දුරටත් පවසා  සිටි කරුණු මෙලසෙය.
    වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් පමණක් නොව අනික් හැම ශාස්ත්‍රයන් සම්බන්ධයෙනුත් පුරාණ ඥානයත් වර්තමාන ඥානයත් යන දෙකොටසම සම්බන්ධ කර සම්පූර්ණ ශාස්ත්‍රයක් සම්පූර්ණ නවීන විද්‍යාවක් ඇති කිරීමයි අද ලෝකයේ සෑම තැනකම සිදු වන්නේ. කවුරුත් පිළිගන්නා ඥානවන්ත ක්‍රමය ඒකයි. නමුත් මෙම පණත ඉදිරිපිත් කර තිබෙන පිළිවෙල අනුව අද ලෝකයේ වෛද්‍ය විද්‍යාවන් දෙකක් තියෙනවාය යන අදහසක් ඉදිරිපත් වෙනවා. කතා නායක තුමනි. විද්‍යාත්මක අන්දමට මනුෂ්‍යයාගේ සනීපාරක්ෂාව ඇති කිරීමට මනුෂ්‍යයාගේ ලෙඩ රෝග සුව කිරීමට එකම ක්‍රමයයි ලෝකයේ තිබුණේ. තියෙන්නේ. නවීන වෛද්‍ය විද්‍යාවට පැරණි වෛද්‍ය ක්‍රමයේ වැදගත් කොටස් අඩංගු කර ගන්ට ශක්තිය නැතිකම. ඒ දුර්වලකම මේ වෛද්‍ය ක්‍රම දෙක වෙන්කරලා ගෙන යන්ට ඕනෑ යන තර්කය ඉදිරිපත් කිරීමට හේතුවක් නොවෙයි. මා ගරු පාර්ලිමේන්තු ලේකම් තුමා ඉදිරියේ ප්‍රකාශ කර සිටිනවා මේ විධියේ පණතක් ඉදිරිපත්  කර තිබෙන්නේ අයුතු බලපෑම් උඩ වෙන්න ඕනෑය.කියා. වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව මූලික ප්‍රතිපත්ති මොනවාද කියා නොදැන මනුෂ්‍ය ජීවිත වෙනුවෙන් වගකීමට සුදුසු අය කවුරුන්ද නුසුදුසු අය කවුරුන්ද යන්න හරි අවබෝධයකින් නැතිව මේ පණත පිළියෙල කොට තිබෙන අතර එවැනි දේ ගැන මේ පණතේ එකම වචනයක් එකම වාසගමක් වත් සඳහන් වී නැහැ. ගරු කතා නායක තුමනි. නවීන ක්‍රමයට පුහුණුව ලැබ වෛද්‍ය වෘත්තියෙහි යෙදී සිටින ඇතැම් වෛද්‍ය වරුන් අතින් පවා වැරදි කෙරෙන එක ඇත්තයි. තමන් උගත් ශාස්ත්‍රය අයුතු අන්දමට පාවිච්චි කර පුද්ගලික ප්‍රයෝජනය සලසා ගන්නා අය සිටිනවා. යම් මනුෂ්‍යයකුට ඇතිවන විපතක් තම පුද්ගලික ප්‍රයෝජනය පිණිස යොදා ගැනීම ධනපති ක්‍රමයේ මූලික දෙයක් හැටියට හඳුන්වන්න පිළිවන්. යම් මනුෂ්‍යයකු විපතකට වැටුනාම එවැනි වෛද්‍යවරුන් වැඩියි. ඇතැම් දෙනා ඒ අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා එම ක්‍රමයම ධනපති ක්‍රමයේ දූෂිත වැඩ පිළවෙලක් ලෙසට හඳුන්වන්නට පිළිවන්.
         ආයුර්වෙද පණත ඉදිරිපත් කර සම්මත කර දැන් වසර ගණනාවක් ගතව ඇත. ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සැලකිය යුතු දියුණුවක් ලබා තිබේ. ආයුර්වේද රෝහල් වලින් නොමිළයේ ප්‍රතිකාර ලබන අසරණ රෝගීන් සංඛ්‍යා ඉතා විශාලය. මේ වෙනුවෙන් රජය විශාල මුදලක් කැප කරයි. එය සාමාන්‍ය මහජනතාවට බලවත් සහනයකි. වර්තමානය වන විට මෙම ක්‍රමය දෙස රජය බලන්නේ වෙනත් කෝණයකිනි. ආයුර්වේද මූල ධර්ම අනුව සාදන බෙහෙත් වෙනුවට නවීන රසායනික ක්‍රම මගින් නිපදවන ශාකසාර හඳුනවා දෙන්නට උනන්දුවක් ඇතිව තිබේ. එසේම වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඉන්දීය ශාක ඖෂධ නිපදවන සමාගම් ලංකාවට වැද්දගැනීමට කරන තැත නව ප්‍රවේශයකට පත් වී තිබේ. ඒ නම් ආයුර්වේද පෞද්ගලික රෝහල් ඇති කරලීමටද ඒ යටතේ ආයුර්වේද අධ්‍යාපනය ලබාදීමටද  ගිවිසුම් අත්සන් කිරීමට උත්සාහ දැරීමයි.මේ මගින් දේශීයව පවතින වෛද්‍ය විද්‍යාල අර්බුදයට පත්වනු ඇත. ආයුර්වේද පණතට විරුද්ධ වුවත් දොස්තර වික්‍රමසිංහ මහතා එදා මේ දුෂ්ට ධනවාදී ක්‍රම හෙළා දැක තිබේ.


No comments:

Post a Comment