2015 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන
ලද ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පණත් කෙටුම්පත සම්මත කර ගැනීමේ
සංවාදය නැවතත් ඇරඹී තිබේ. පසුගියදා බුද්ධ ශාසන උපදේශක මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී
අධිකරණ හා බුද්ධ ශාසන ඇමතිවරයා මෙම පණත් ලියවිල්ලේ නවතම සංශෝධනයක් භික්ෂූන්
වහන්සේලා අතර බෙදාහැර ඇත. අපට පෙනෙන ආකාරයට නම් මෙලෙස බෙදා හරින ලද ලියවිල්ලේ නඩු
තීන්දුවෙන් ප්‍රකාශ කළ කරුණු ඇරුණු කොට එතරම් වෙනස්කමක් දක්වා නැත. එසේම සංශොධනයක්
ඉටු කරන්නට නම් කලින් ඉදිරිපත් කරන ලද පණත පාර්ලිමේන්තු න්‍යාය පත්‍ර යෙන් ඉවත්
කොට තිබිය යුතුය. නමුත් එලෙස කළ බවක්ද දැන ගන්නට නැත.
භික්ෂූන් වහන්සේලා සම්බන්ධව
අතීතයේ පටන්ම කරන ලද සැලකිල්ල ඉමහත්ය. පැරණි භික්ෂු සමාජයේ පවා වැරදි කරන භික්ෂූන්
වහන්සේලා සිටියහ. ඒ තත්ත්වය පාලනය උදෙසා විනය නීති පැනවීමට බුදුන් වහන්සේ වරින් වර
කටයුතු කර තිබේ.බුදුන් වහන්සේ ගේ පරිනිර්වානයෙන් පසුව උන්වහන්සේ ධර්මය මුල් කොට
විනය මුල් කොට( ධර්ම විනය දෙක ශාස්තෘ වන බව) කටයුතු කරන්නයැයි උපදෙස් දී තිබුණි. පසු
කාලයේදී මේ අදහස් ඇතැම් ශිලා ලේඛණ වල ද සටහන්ව තිබේ. උදාහරණයක් වශයෙන් දහවන ශත
වර්ෂයට අයත් පස්වන කසුප් රජුගේ අනුරාධපුර පුවරු ලිපිය දැක්විය හැකිය.එහි මෙම කාරණය
සඳහන් වන්නේ මෙලෙසය.
නිකායෙහි සංඝයා හිඳ විසඳා නිම විය යුතු
සංඝයා විසින් නොනිමවන කල්හි සම්දරුවන් හා රැස්ව විචාරා නිමවා පැමිණි පැමිණි සෙයින්
දඬුවම් කරනු මැනවි. සංඝයා කැඳ හෝ බත් ආමර්ෂණය කොට කරන විවාදයක් ඇතොත් සම්දරුවන්
යවා භික්ෂූන් සන්හුන් කොට හඹු ගන්වනු මිස බලහත්කාරයෙන් හඹු නොගැන්විය යුතු. භික්ෂූන් වහන්සේලා අරභයා නීති රීති පැනවීමේ
දී උන්වහන්සේලා රැස්ව හිඳ කතිකා කර නොගත හොත්
පමණක් රජයෙන් මැදිහත්ව එයට පහසුකම් සැපයීම මිස රජයෙන් නීති පැනවීමක් පෙර
නොවීය.එහි ගැඹුරු අර්ථය සෙල් ලිපි වල අවධාරණය කර තිබෙන්නේ ධර්ම විනය පිළිබව බුදුන්
වදාළ කරුණු පෙර රජවරුන්ද පිළිගත් බැවිනි.. පෙර සිරිත යනුවෙන් පැවසෙන්නේ එයයි. යම්
විරෝධතාවයක් ඇතොත් බලයෙන් මෙන් රජයේ නීති රීති ක්‍රියාත්මක කිරීම මෙහිදී අත්
හිටුවා තිබේ. නිකායෙහි ඇතුළත් නීති රීති අනුව මහා සංඝයා අරභයා විනය ක්‍රියාකිරීමේ
බලය සංඝයාටම පවරා තිබීම බුද්ධ නීතියටද අනුකූලය. දැනට ලංකාවේ ක්‍රියාත්මක නිකායන්හි
යම් යම් කතිකාවත් සංග්‍රහ කරතිබෙන්නේ මෙම බුද්ධ නීතියට අදාළවයි. එම නිකායන්හි
ලේකම් කාර්යාලයේ එම කතිකාවත් ලියාපංදිංචි කර තිබේ. එවිට නැවතත් රජයේ ලියාපදිංචි
කිරීමක් අවශ්‍ය වන්නේ නැත. සිදු විය යුත්තේ රජය විසින් එම කතිකාවත් පිළිගැනීමට බලාත්මක
කිරීමට කටයුතු කිරීමයි.
මහණකම නැතිවන ඡෙද්‍යගාමිණී ආපත්තීන් හතරක්
තිබේ. පාරාජිකා ලෙස සැලකෙන්නේ එම ආපත්තීන් හතරය. මෙය භික්ෂුණින් වහන්සේලාට අටක්
වේ. පාරාජිකා හැරුණු විට ඉතිරි ශික්ෂා පද සියල්ලම උට්ඨානගාමිණී ශික්ෂා පද වේ. භික්ෂූත්වය
නැතිවන්නේ පාරාජිකා ආපත්තීනට පැමිණීමෙන් පමණි. සෙසු ආප්ත්තීන්ට පැමිණි විට එම ආපත්තීන්
ගෙන් විමෝචනය වන්නේ කෙසේදැයි සඟ විනය තුළ පැහැදිලිව දක්වා තිබේ. භික්ෂූන් වහන්සේලා
සම්බන්ධයෙන් ඇතිවන ඕනෑම ගැටළුවක් විසාඳාගත හැකි ආකාරය සඟවිනය තුළ නිර්දිෂ්ට වේ.
භික්ෂුව ඒ අනුව ජීවත් විය යුතුය. එම විනය අමතක කර භික්ෂූන් වහන්සේලා සඳහා රාජ්‍ය
නීතියක් සම්මත කර ගැනීම ධර්ම විනයෙන් නිර්දිෂ්ට වන්නේ නැත.නමුත් රටේ පවතින නීති
ගරුකළ යුතු බවද එයට භික්ෂූන් වහන්සේලාද අවනත විය යුතු බවද බුදුරදුන් භික්ෂූන්
වහන්සේලාට නියම කර තිබේ. එය වැරදි ලෙස අර්ථ කථනය කිරීම මගින් හෝ තේරුම්ගැනීම මගින්
රජය ලවා භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් නීතිරීති පැනවීමට කල්පනා කිරීම කිසිසේත්ම නොකළ
යුතුය.( පූජ්‍ය පරගොඩ විමලවංශ හිමි -සමස්ත ලංකා ත්‍රෛනිකායික ඒකාබද්ධ මහා සංඝ සභාව
)
කතිකාවත් පණතක අවශ්‍යතාවය භික්ෂූන් වහන්සේලාගෙන්ම
පැණ නැගුණු බව රජයෙන් පැවසෙයි.එයට එක් හේතුවක් වන්නේ යම් සංඝ සංස්ථාවක් සම්මත කරගත් නීති එකඟතාවයන් රජයේ නීති මගින් ඇතැම්
විට බලාත්මක නොවීමයි. මෙහි පසුබිම නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි නව වන වගන්තිය ප්‍රකාරව
බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජය බොහෝ අවස්ථාවලදී පැහැර හැර
තිබීමයි. හින්දු මුස්ලිම් මෙන්ම වෙනත් ආගමික සංස්ථා සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩු කාලයේ
පටන් සංවිධිත නීති අණ පණත් රජයෙන් සම්මත කර ඇත. ඒ එම ආගමික ස්වරූපයන්ට අනුකූලවයි.
රජයේ සාමාන්‍ය නීති රීති අභිබවා මුස්ලිම් කාති උසාවි වලට රජය බලය පවරා දී තිබේ.එහෙත්
සංඝ සංස්ථාවකට එවැනි බලයක් පවරා දී නැත.සංඝාධිකරණයකින් එය කළ හැකි වෙත් දැයි මදක්
සලකා බැලිය යුතුය.වඩා හොඳම දේ නම් සංඝයා වහන්සේලා ගේ ධර්ම විනය දෙක සුරක්ෂිත කරලීමට රජයෙන් පහසුකම්
සැලසීමයි.බාහිර පළිබෝධ මෙන්ම නොයෙකුත් වාරයන්හි රට තුළ ට වැද්ද ගන්නා ථේරවාදී නොවන
සංස්ථා පාලනය කිරීමට පවත්නා නීති ප්‍රමාණවත්ය.එසේම ථේරවාදී නොවන ආගන්තුක යම්
සංස්ථාවක් මගින් සසුනට හානි පැමිණෙන් නේ නම් ත්‍රෛයිනිකායික මහා නායක ස්වාමීන්
වහන්සේලාගේ ඉල්ලීම පරිදි එම පළිබෝධ ඉවත් කරලීමට රජයට කටයුතු කළ හැකිය. අවශ්‍ය
වන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහයට එවැනි නීති ඇතුලත් කර ගැනීමයි.අන්‍යාගම් වලට
හරවා ගැනීමට දරන බලහත්කාරයද එවැනි නීති වලින් නැවැත්විය හැකිය.
රජය පසුගිය වසරේ ආරම්භයේ සිටම මෙම කතිකාවත් පණත සම්මත කරලීමට
උත්සාහ දරනුයේ සසුන ආක්ෂා කර ගැනීමට නොවේ. බෙදුම්වාදය සහතික කරවන නව ව්‍යවස්ථාවක්
කෙටුම්පත් කිරීමේ කාර්යාවලියේ දී බෙදුම්වාදයට එරහිව මහා සංඝ රත්නයෙන් නැගෙන
විරෝධතා වෙනතකට යොමු කරලීමේ වුවමනාවක් එහි විය.දැන් යළිත් මෙම පණත කරළියට ගෙනවුත්
තිබෙන්නේ ව්‍යවස්ථා ක්‍රියාවලිය අවසාන අදියරට පැමිණ තිබෙන බැවිනි.ව්‍යවස්ථාව
පිළිබඳ අවසාන වාර්තාව හෝ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාව වන විට මහා
සංඝ රත්නය තම සංඝ සංස්ථාව පිළිබඳ ප්‍රශ්ණයට ගැටගසා තැබීම අරමුණ වෙයි.නිකායන් අතර
පවා මෙම පණත මගින් භේදයක් ඇති වන කල්හි රජයේ අරමුණ ඉටු කර ගැනීමට පසුබිම සැකසේ.බුද්ධ
ශාසන ඇමතිවරයාට එරෙහිව ගෙනෙන විශවාස භංගය වැනි දේ නාටකීය ස්වරූපයෙන් ක්‍රියාත්මක
වන්නකි. මෙම ඇමතිවරයා දහනම වන ව්‍යවස්ථා සංශෝධනය සිදුවන අවස්ථාවේදී නව ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවක වුවමනාව ගැන දැඩිව පෙනී සිටියෙකි.
එම සංශෝධනය සිදු වන අවස්ථාවේදී දිනේශ්
ගුණවර්ධන මන්ත්‍රී වරයා ඉදිරිපත් කළ
වෙනස්කම් පවා නොයොදන්නට අගමැතිවරයාගේ උපදෙස් පරිදි අධිකරණ සහ බුද්ධ ශාසන ඇමතිවරයා කටයුතු
කර තිබේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට
තිබෙන බලතල කප්පාදුවේදී ඉදිරිපත් කළ සංශෝධන ඔහු නොසලකා හැර තිබේ. මේ නයින් බලන විට
වර්තමාන කතිකාවත් පණත් කොටුම්පතද ඔහු විසින් හෝ වෙනත් ඇමතිවරයෙකු විසින් ( ඔහු
ඉල්ලා අස්වුවහොත්) භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය සංශෝධන නොසලකාම සම්මත කර ගැනීමට ඉඩ
තිබේ. 1980 දී දකුණු කොරියාවේ ජනාධිපති තනතුරට පත් චුන් ඩු හේවොන් නම් පුද්ගලයා
විසින් එරට බුදු සසුන දුර්බල කිරීමට මෙවැනි ප්‍රතිසංස්කරණ කර ඇත. පන්සල් වලට බදු
පනවා ඇත. විහාරස්ථා ඉඩම් ජාතික උද්‍යාන බවට පත් කර ඇත. මේ නිසා එම රටේ බුදු සසුන
සීඝ්‍රයෙන් වැනසුනි. වර්තමාන අගමැතිවරයාද චේතනාන්විතවම බුදු සසුන මෙන්ම රටේ එකීය
භාවයද විනාශ කිරීමට කටයුතු කරන්නෙකි.නව දේශීය ආදායම් පණත හරහා ඔහු පන්සල් වලින්
බදු එකතු කිරීමටද යෝජනා කර තිබේ.දඹුල්ල පූජා භූමිය රජයට පවරා ගැනීමට උත්සාහයක්
දරමින් සිටී. එම තත්ත්වය තුළ මුහුණු දෙකක් ඇති ඇමතිවරුන් ගැන වඩාත් සැලකිලිමත් වෙමින්
මෙම කතිකාවත් පණත ප්‍රතික්ෂේප කරලීම මහා සංඝරත්නයේ යුතුකමකි.උන්වහන්සේලාට බුද්ධ
නීතියට වැඩි යමක් නොතිබෙන බව සමාජයටද රජයටද කියාපෑම මෙහිදී තරයේ කළ යුතුය.එසේ
නැතහොත් ශාසනයට වැටෙන්නේ තොණ්ඩුවකි.
No comments:
Post a Comment